26.8.11

පුහු කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයා ගේ අවතාරය.



       මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට අවුරුදු තුනකට නම් වැඩියි. ඉතින් මම මීට කලින් මේ සිදුවීම නොලියා හිටියේ හේතුවක් ඇතිව . මගේ ගමේ දී මම කවුරු හරි කෙනෙකුට මේ සිදුවීම කිවුවා නම් ඒ අය මේක අහගෙන ඉඳලා මට මෙහෙම කියාවි

"
හප්පුච්චියේ ඉතින්! ඔයිං ගියා මදෑ "

ඒත් කොළඹ නුවර වගේ නාගරික කෙනෙකුට මම මේ කතාව කීවොතින් ලැබෙන උත්තරේ මට හිතාගත්තැකි .එක්කෝ මට පිස්සු කියලා හිතයි නැත්තං පිස්සු ඩබල් කියලා හිතයි ..


උඹලට ඕන දෙයක් හිතා ගනිල්ලා මම මේක ලියා දානවා ..!! 

මීට වසර තුනකට විතර ඉහතදී දවසක මගේ හොඳම මිතුරෙක් වෙච්ච අජිත් අයියාගේ ගෙදර පිරිතක් කියන්න කටයුතු සූදානම් වෙමින් තිබුණා . අපේ කොල්ලෙකුගේ වැඩකට අපි නොගිහින් කොහොමද ? මමත් උදේ දහයට විතර වැඩ වලට උදවු දෙන්න හිතාගෙන එහේ ගියා .. ඔය සන්දියේ මම ජොබක් කලේ නෑ ඉතින් මට ඕනෑ විදිහට ඇවිදින්න යන්න නිදහස තිබුණා ..

මම අජිත් අයියලෑ දිහා යනකොට අපේ ගමේ කොල්ලෝ රැලැක්ම එදා ඉස්කෝලේ ගමන අවලංගු කරලා දාලා එහේට සෙට් වෙලා හිටියේ පිරිත් අහනවාටත් වඩා ෆන් එකක් ගන්න අදසින් . අපි උදේ ඉඳන්ම අජිත් අයියලාගේ ගෙදර පිරිසිදු කළා, වත්ත සුද්ද කළා , පිරිත් මණ්ඩප්පේ ගැහුවා .. වැඩ සේරම වගේ කළා ..

"
උඹලා එහෙනම් පිරිත් අහන්න ලෑස්ති වෙලා වරෙල්ලකෝ ..” 
 
හවස අපි යන්න ලැහැස්ති වෙන අතරේ අජිත් අයියා අපිට කීවේ ඇහැක් ගහන ගමන් .එයා ඇහැක් ඉඟි මරලා ඒ කියාපු කතාව මට ටස් ගාලා තේරුණා.. ඒ ඉඟියෙන් කියවුණේ "රෑට බොන්නත් ඇහැකි" ..කියන කියමනයි ..

ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ ! වැඩේ වෙලා තිබුණේ ඒ දිනවල බොන්න මුදල් නැති කම .අම්මගෙන් තමයි මම ඒකාලේ යැපුනේ. ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බොන එක කරන්න මම බොහෝම අකමැතියි ..

පිරිත් අහන්න ඕන නිසා අපි හැමෝම හවස් යාමේ ඇළෙන් නාලා .පිරිත් අහන්න සුදුසු ඇඳුම් වලින් සැරසිලා .හය හමාර හත . විතර වෙනකොට අජිත් අයියලාගේ ගෙදරට එකතුවුණා ..අපේ ගෙවල් වල උදවියත් පිරිත් අහන්න ඇවිල්ලා හිටපු නිසා අපි කට්ටියම හැසිරුණේ නිකං පූස් පැටවු ගානට .

කට්ටියක් තේ හදනවා , කට්ටියක් පුවක් කපනවා , තව කට්ටියක් තේ අල්ලනවා ..! ඔන්න ඔය විදිහට වෙලාව දන්නෙම නැතිව ගෙවිලා ගියා ..අපේ ගෙවල් වලින් ආ උදවිය ආයෙමත් ගෙවල් බලා ගියා. ඒත් එළිවෙනකම් පිරිත් අහන්න සූදානමින් හිටි අය ඉතිරි වුණා .. ඔන්න ඔය අතරේ අපි කට්ටිය අජිත් අයියගේ ගේ පිටි පස්සට එකතුවුණා ..

ගේ පිටුපස තිබුණේ වෙනම සමාජයක් ..ගේ මැද පිරිත් කියන අතරේ ගේ පිටිපස්සේ පන්සිල් පදයක් කඩන්න ලෑස්ති වෙනවා .. මගේ ගෙදර පිරිතක් තිබුණ දවස් වල නම් මම අරක්කු , කසිප්පු බින්ඳුවක් වත් ගේ හරියට ගෙනාවේ නෑ .. ඒත් ඉතින් මේ මගේ ගෙදර නෙවෙයි නේ ..! අනික නිවැසියෝ කැමැත්තෙන් සංග්‍රහ කටයුතු කරනවා නම් අපි මොකටද පිටුපාන්නේ ? අපිත් වීදුරුවකට සෙට් වුණා .

ප්ලාස්ටික් බූලිය ටිකෙන් ටික හිස් වෙන අතරේ මම වට පිට බැලුවා.සමහරු කට් වෙලා .සමහරු මෙතන පිරිත් කියනවා .. සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා ..මම නම් ඔය වෙනකොට දාලා හිටියේ හතර වෙනි ෂොට් එක ..ඒක නිසා මම හොඳටම හොඳින් .ඔය අතරේ අජිත් අයිය ගේ තාත්තා දුවගෙන ආවා ..

"දරුවනේ බලාපල්ලකෝ පුවක් මල්ල කොහේද දාලා හොයාගන්න බෑ .. දැන් හාමුදුරුවොන්ට දැහැත් විට සපයන්න විදිහක් නෑ බං පුවක් ගෙඩි දෙකයි තියෙන්නේ .. අනේ කොහෙන් හරි පුවක් ටිකක් හොයාන වරෙල්ලා ..!”

අජිත් අයියගේ තාත්තා එහෙම කීවා විතරයි අපි සුටුස් ගාලා කර කර හිටි වැඩේ පැත්තට දාලා නැගිට්ටා ..

"
අපි හොයං එන්නං මාමේ

වෙලාව එකොලයයි කාලට විතර ඇති මට හරියටම වෙලාව මතක නෑ .පුවක් ගහක් යටට ගිහිං පුවක් ටිකක් අහුලං එමු කියලා හිතාගෙන අපි කළුවරේම පිටත් වුණා .ඔය වෙලාවේ ගේ ඇතුළේ ආටානාටිය පිරිත වැයෙමින් තිබුණා ..!

ගමේ ඇල පාර දිගේ ටික දුරක් ඉහළට යද්දී පුවක් ගස් යායක් වැවිච්ච පොඩි වගුරු බිමක් හමුවෙනවා .අපි ගියේ අන්න එතනට. කාටවත් අයිති නැති ඒ බිම්කඩේ කොයි වෙලාවේ බැලුවත් පුවක් නම් වරදින්නේ නෑ .

මගෙත් එක්ක තව කොල්ලෝ හතර දෙනෙක් මේ ගමනට එකතු වෙලා හිටියා .. 

එකෙක් සාගර අයියා,එයා ඇවිල්ලා අපිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් අපේ ගමේ ප්‍රධාන මේසන් බාසුන්නැහේ .. "හෙඩ් බාස්" කීවොත් හැමෝම දන්නවා ..අනිකා සමන්ත මල්ලි ඒ අපේ ඉස්කෝලේ සර් කෙනෙකුගේ පුතෙක් .මිනිහා මත් පැන් කටේවත් තියන්න කැමති නෑ ඒත් බොන එවුං එක්ක එකට ඉන්න නම් ගොඩාක් කැමතියි ..ඊළඟට හිටියේ අනුෂ්ක කියලා මගේ පරණ මිත්‍රයෙක් .මිනිහා නම් එදා බීලා හිටියේ කුණු වෙන්න .ඊළඟට ළහිරු සහ මම .සඳරු කීවාම මාව කවුරුත් දන්නවා ..ළහිරු අපේ ගමේ නෙවේ..

සමන්ත මල්ලි අතේ තිබුණු අලි එළවන ලොකු ටෝච් එක කළුවර මකලා අපිට නියම එළියක් දුන්නා ..ඒ ටෝච් එක පත්තු කළාම රෑත් දවල් වගේ ! .ඉතින් අපිත් හෙමිහිට වළවල් වල වැටෙමින් පුවක් ලන්දට කිට්ටු කළා .. විනාඩි හත අටකින් අපි හිටියේ පුවක් ලන්ඳේ ..

පුවක් යායට පිටු පසින් ගලාගෙන යන ඇලේ වතුර වල "ජබු ජබු" හඬ මට හීනිවට ඇහුණා . ඔය අතරේ ..පුවක් ගෙඩි වල දත් ගහන්න ආපු වවුල්ලු වගයක් මහ හඬින් සද්ද කරා ..වවුල්ලුන් ගේ පොරය අතරේ පුවක් ගෙඩි කීපයක් "සරස්" ගාලා පහළ තිබුණු හබරල කොළයක් උඩට වැටුණා ..

පාර දිගේ බීමතින් කියෝ කියෝ ආපු අපේ කට්ටියගේ කටවල් ඔන්න ඔතනදී ගොළු වුණා ! සමන්ත මල්ලී ලොකු ටෝච් එක අල්ලගෙන ඉන්න අතරේ අපි හැමෝම පුවක් එකතු කරා ..එකතු කරන පුවක් ගෙනියන්න මල්ලක් නොගෙනාපු නිසා සාගර අයියා ඒ පුවක් දාන්න එයාගේ සරම බොකු ගහලා හදාගත්තා .. අපිත් එකතු කරන පුවක් ගෙඩි ..එකින් එක සාගර අයියගේ සරමේ පිරෙවුවා . ..

පුදුමයි වෙනදාට ගෝනි ගණං පුවක් පුරුවන්න හැකි මේ ඇල ඉවුරේ අද පුවක් හම්බුනේ දහයක් විතර .ඔය අතරේ ළහිරු ටිකක් එහාට ගියා ළහිරු ගියේ පුහු කොස් ගහ ගාවට ..ඒ කොස් ගහ වසාගෙන හැදුණු ලොකු පිළිලයක් නිසා ඒ කොස් ගහේ මට මතක ඇති කාලෙක පොලොස් ගැටයක් පමණ හදිලා නෑ ..! ඒකයි හැමෝම ඒ දැවැන්ත කොස් ගහට පුහු කොස් ගහ කීවේ ..!

ඔන්න ඔය අතරේ තමයි අපි හැමෝටම අමුතු ගඳක් දනෙන්න පටන් ගත්තේ .. නිකං කැරපොතු ගඳ වගේ ගඳක් අපි හැමෝටම දැනුණා ..ඒත් එක්කම අපිට ඇහුණේ ළහිරු අපි හැමෝටම කතා කරන හැටි ..මහා අමුතු හඬකින් ..අමුතුම අමුතු හඬකින්

"
සමන්ත මල්ලීඊඊඊඊ .. සඳ්ඳ්ඳෲ .. අනේ එන්නකෝ මේ බලන්නකෝ ..අනේ මම කියන දේ අහලා වරෙල්ලකෝ .. මෙන්න මේ මෙතන

ඒ කතා කරපු හඬ මට තවම මතක වෙනවා .. මේ ලියන මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිලා තියෙන්නේ එදා මම මුහුණ දීපු කම්පනය තවම මගේ හිතේ නොමැකෙන්නම තියන නිසා .
සමන්ත මල්ලී ළහිරු කතා කරන පැත්තට ටෝච් එක ඇල්ලුවා ..

ඔන්න එතකොටම මම ඒකාව දැක්කා !!

ළහිරු හිටියේ හෙමීට අපේ දිහාට එන ගමං ඌ තණියම කියවනවා .. ළහිරුට පිටිපස්සෙන් හිටියේ අමුතුම අමුතු කෙනෙක් .. සුදු කොණ්ඩයක් සහිත , හම තැන තැන පැලිච්ච අමුතුම කෙනෙක්ව මම දැක්කා .. ඒ දැකපු කෙනාගේ ඇස් දෙක මට කවදාවත් අමතක කරන්න බෑ ...ඒව ඇස් නෙවේ ගිනි බෝල ..!! ඇඟේ තිබුණේ රෙදි නෙවෙයි පැලිච්ච හම ..ඒ මනුස්සයෙක් නෙවේ .. මට ඕන තැනක දිවුරලා කියන්න පුළුවන් ඒ මනුස්සයෙක් නම් නෙවේ ..

"
හුහූඌඌඌඌඌඌඋ"

සාගර අයියා "හූ" කියන සද්දෙ මගේ කන ළඟින් ඇහුණා ..මට ඊට පස්සේ වෙච්ච දේවල් මතක් වුණේ දවසක් විතර ගියාට පස්සේ .. මතක් වෙච්ච විදිහට නම් සමන්ත මල්ලී ඇල පාර දිගේ උඩහට දිවුවා .මමත් සාගරත් ඒ පිටි පස්සෙන් දිවුවා ..

ළහිරු තවම කෑගහනවා .. 

"අනේ මේ බලහල්ල්කෝ අනේ අහපල්ල්කෝ ..අනේ ඉඳපල්ලකෝ .". ඒත් එහම කියමින් ඌත් දුවනවා
අඩි දහයක් දුවන්න ලැබුණේ නෑ ..මට ඉස්සරහින් දුවපු සමන්තයි සාගරයි දෙන්නා එක ගොඩේ වැටුණා .. ටෝච් එක පඳුරක් අස්සට වීසි වුණා ඒත් ඒකෙන් එන එළියට මුලු පාරම එළියයි..! ආපහු හැරෙද්දි මම ආයේ අර අමුතු මිනිහාව දැක්කා ..

කැමරාවක ෆ්ලෑසර් එක අපේ අහැට ලං කරලා පත්තු කළොත් මොහොතක් යනකම් අපිට ඒ එළිය බලන බලන අත පේන්න ගන්නවා වගේ මම හැරෙන හැරෙන පැත්තේ මට මේ නාකි මිනිහව පේන්න ගත්තා ..ඔන්න ඔය අතරේ ළහිරු මාව පහු කරගෙන දිවුවා .. මට සමන්තව නැගිටුවන්න සිහියක් තිබුනේ නෑ .. මටත් මහ හයියෙන් කෑ ගැහුණා ..!

මම සෑහෙන වලි සීන් වලට ගිහිං තියනවා .. මට කවදාවත් මේ තරම් බය දැනුණේ නෑ .. මගේ වෙරි මත කැලේ !! ..මම විනාඩි දෙකක වේගවත් දිවීමකින් පස්සේ හිටියේ පිරිත් ගෙදර ඉස්සරහා තියා තිබුණු ප්ලාස්ටික් පුටු ගොඩත් පෙරලගෙන බිම පතබෑවිලා.. . . . .මට සිහිය තිබුණා හොඳටම ..ඒත් මගේ කන් අගුල් වැටිලා වගේ .. මොහොතකින් මට ආයේ හැමදේම පේන්න තේරෙන්න ගත්තා ..

"
සඳරු උඹට දැන් කොහොමද මයෙ පුතේ ..” අජිත් අයියලෑ තාත්තා මගේ ඔළුව අතගානවා .. 

"පුතේ මේ පිරිත් වතුර ටික බොන්න .." අසල් වැසි නැන්දා කෙනෙක් මට වතුර දෝතක් පෙවුවා .. ඔන්න තව පැයක් විතර ඔළුව ගහගෙන හිටියට පස්සේ මම යන්තම් ඔළුව ඉස්සුවා ..

පුටුවෙන් නැගුටලා ගිටගත්තා .අජිත් අයියගේ වාරුවෙන් ගිහිං පිරිත් අහන්න පැදුරේ ඉඳ ගත්තා .. මගේ කකුල් දෙක තාම මට අවනත නෑ .. මට නිකම්ම කෑගැහෙන්න යනවා ..මම පැයක් විතර යනකම් වැඳගෙන හිටියා . මූණ පාතට නවාගෙන.මට ඕන වුණේ ඉක්මනට එළිය වැටෙනවා දකින්න ..මට උදේ වෙනකම් නින්ද ගියේ නෑ . පිරිත ඉවර වුණාට පස්සේ ස්වාමින් වහන්සේ නමක් මට කතා කරලා මගේ අතේ පිරිත් නූලක් බැන්ඳා ..‍‍

ළමයෝ දැන් ඔවුවා අමතක කරලා දාන්න .. තරුණ ළමයි නේද ඔහොම බය වෙලා පුළුවන්ද

දවල් බත් කෑවට පස්සේ ඔන්න මගේ ළඟට කට්ටිය වට වුණා .. "මොකද සඳරු වුණේ ?” 

මගෙන් එහෙම ඇහුවේ ගෙවල් ළඟ ගීතා ඇන්ටි .එතකොටයි මට මගේ යාළුවෝ කට්ටිය ගැන මතකෙට ආවේ .උන්ට මොකෝ වුණේ ..?

"
කෝ සමන්ත මල්ලි , සාගර , අනුෂ්ක , කෝ ළහිරු .?.” මම වට පිට බලමින් ඇහුවා ..

අනුෂ්ක එතකොට කොහේදෝ ඉඳලා මගේ ළඟට ආවා .. "

මචං උඹලා දුවනවා කෑගහනවා දැකලා මමත් බය වුණා මම උඹලගේ පස්සෙන් දුවගෙන ආවා .. මොකද වුණේ ..?”
 
මේක මාර කතාවක් අනුෂ්ක කිසිදෙයක් දැකලා නැද්ද ?

මම වෙච්ච සිද්ධියම කට්ටියට ආපහු කීවා මගේ වචන ගොත ගැහෙන්න ගත්තා .. ඔන්න එතකොට අජිත් අයියා කතාව පටන්ගත්තා ..

"අපිට රෑ අහුණා කවුද හූ කියන සද්දේ ? තාත්තා කීවා උඹලා පුවක් ගේන්න ගියා කියලා ..ඊට පස්සේ හිටපු හැමෝම තාත්තට දොස් කීවා පිරිතේ ආටානාටිය කොටස කියන වෙලාවේ මොන එහෙකටද උඹලව ඇල පැත්තට යවුවේ කියලා. ඉතින් හූ කියපු දිහාවට අපි හැමෝම යන්නයි හැදුවේ එතකොට තමයි උඹයි ළහිරුවයි සමන්තයි දුවගෙන ආවේ ..”


මම අහලා තිබුණු විදිහට නම් ආටානාටිය පිරිත කියන වෙලාවට අමනුෂ්‍යයෝ එළියට ඇදෙනවා ..මමත් මෝඩයා වගේ බිබී ඇවිදින්න ගියා ..හොඳ වැඩේ මට ..මම හිතෙන් මටම දොස් කියාගත්තා .
අජිත් ආයෙමත් කතාව කියන්න ගත්තා ..

"අපි කට්ටිය සාගරව හොයාගෙන ඇල පැත්තට දුවද්දී පඳුරක් අස්සේ කසුන් මල්ලිගේ ටෝච් එක පත්තු වෙවිවී තිබුණා .. අපි ඒක අරං බලනකොට සාගරගේ සරම එතනම වැටිලා තිබුණා බං..! හික් හික් ..අපි සරමත් අරගෙන සාගර හොයන්න යන්නයි හැදුවේ ඒත් සරම අතට ගත්ත ගම්න්ම අපිට කලන්තේ හැදෙන්න ආවා ..බං ..”

ඇයි ඇයි උඹලත් දැක්කද ?
 
"කෙහෙම්මල අපි දැකපු හොල්මනක් නෑ බං.සාගරට රෙද්දේ රෙවිලා!! සරමෙන් එකයි ගූ !! ගන්ධස්සාරේ බෑ බං ..ඒ ගඳට හොල්මන දුවන්න ඇති..!! උඹලා බේරුණේ ඒකයි ..අපි ආපහු එනකොට සාගර ගේට්ටුව ළඟ කලන්තේ දාලා වැටිලා හිටියා ..! වතුර ගහලා සරමක් අන්දලා ඔන්න ගෙදරට ගිහිං දැම්මා ..”

මම තනියම කල්පනා කළා වෙච්ච වැඩේ ..එදා අපි බීව එවුවා නිසා මොනවා හරි මායවක් අපිට පෙනුනද ? නෑ එහෙනම් එවුවා කටේ තියාපු නැති සමන්තත් ඒක දැක්කේ කොහොමද

අපි පස්දෙනාම දවසක මේ ගැන කතාබහ කළා .අනුෂ්ක ඇරෙන්න අනික් අය හැමෝම මේ වයසක උන්දෑව දැකලා තිබුණා .එකම හැඩරුව ..ගිනි බෝල ඇස් !. අපි හතර දෙනාටම විශ්වාසයි ඒ දැක්කේ මිනිහෙක් නොවන වග .. සාගර කියන්නේ ලේසියෙන් බයවෙන කෙනෙක් නෙවේ ඒ මනුස්සයාටත් බඩ එළිය යන තරමට බයවෙන්න නම් මේ සිදුවීමේ බියකරු බව කොයිතරම්ද කියලා හිතලා බලන්න .. මම කවදත් හොල්මං අවතාර විශ්වාස කළේ නෑ . ඒ ගැන කියද්දී හිනහා වුණා .මගේ තාත්තත් මට කීවේ ඔවුවා විකාර කියලා .ඒත් මම ඒ දැක්ක දේ මොකද්ද ?

කොහොම හරි ඔය කියන වසක උන්දෑට බය වුණේ අපි හතර දෙනා විතරක්ම නෙවේ .. ඊට මාස ගාණකට පස්සේ ගමේ කිරි විකුණන අංකල් ඔතන සිහි නැතුව වැටිලා ඉඳලා හම්බ වුණා . සිහිය ආව පස්සේ එයත් කීවේ අපි දැකපු දේම තමයි . සමහරු කියනවා ඒ අපේ ගමේ ඉස්සර හිටපු ගුරුවරයෙක්ලු නම චාර්ලිස් සීයලු ..

ඔය සිද්ධියෙන් පස්සේ අපේ ගෙවල් වලින් අපිට කාලයක් යනකම් හැන්දෑවට එළියට යන්න දුන්නෙම නෑ .සගර අයියගේ නමත් වෙනස් වුණා .. එදා "හෙඩ් බාස්" කියලා හඳුන්වපු සාගර අයියව අද හඳුන්වන්නේ ..

රෙවිච්ච හෙඩ් බාස් කියලා" !! 
 
කොහොම හරි මට සතියක් විතර යනකම් ගොත ගැහෙන එක නවත්ත ගන්න බැරුවම තිබුණා .පස්සේ හැමදෙයක්ම වගේ ඔය සිදුවීමත් අතීතයට එකතු වුණා ..දැන් මගේ හිතේ බය කියන එකට ඉඩ නෑ ..!

උපන්දා ඉඳන් මම ජීවත් වෙන මේ ගම ඇතුලේදී මම දැකපු එකම හොල්මං සිද්ධිය මේක වුණත් තව මේවගේ සිදුවීම් සිය ගනනක් මම අහලා තියනවා . ඒවායින් එකක්වත් ඇත්ත වෙන්න බැරිද ? මේ ලෝකේ අපිට හිතාගන්න බැරි ගොඩක් දේ තියනවා . නොදැක්ක පලියට යමක් අවිශ්වාස කරන එක වැරදියි ..ඒත් ඕනෑවට වඩා නොදැක්ක දේවල් විශ්වාස කරන එකත් අමුම මෝඩ වැඩක් ..

මම දැන් හිතන්නේ හොල්මං අවතාර තිබුණත් එකයි නැතත් එකයි .තිබුණත් මගෙ මොකෝ ! නැතත් මගෙ මොකෝ .! .හොල්මන් අවතාර වලට ඕන ඕන විදිහට උං ඉඳීවි මම ඉන්න විදිහට මම ඉන්නම් . එහෙම හිතාගත්තාම හිතට සැනසීමයි ..


සමහර නම් මණංකල්පිතයි ..
Image From [ http://www.livestreetcam.com/ghost/ghost.jpg ]



98 comments:

ලකී සිරි said...

මගේ ඇඟෙත් හිරිගඩු පිපෙනවා උඹ් මේක ලියලා තියන විදිය දැක්කම...

මේ ගැන මට කියන්න දෙයක් නම් නැහැ..කොවුර් මහත්තයගෙ පොත් කියවන දවස් වල අපිත් හරි චන්ඩි වගේ හිටියා....ඒ මොන කතාවත් රෑ පානෙ කොහේ හරි ගිහින් මොනවට හරි බය වුන දවසට වෙනස් කරගන්නවා.....ඒ නිසා ඕවා තියනවද නැද්ද කියලා හිතනවට වඩා හොඳයි, තිබුනත් එකයි නැතත් එකයි කියලා හිතන එක...

හැබැයි මම එකක් කියන්නම්.... මේ බ්ලොග් අවකාශයේ සුපිරි චරිත අතරින් ඉහලම තැනක උඹ ඉන්නෙ...උඹ ලියන විදිය,,උඹගෙ අත්දැකීම් ඒ තරම් සුවිශේෂයි....

පිස්සු පුසා said...

හි හි සදරුවෝ කතාව නියෙමෙට ලියලා තියෙනවා.මම කවදාකවත් දැකලා නැහැ බං හොල්මන් අවතාර.ඒත් කතා නම් ගොඩක් අහලා තියෙනවා.

Ashoka said...

හප්පුච්චියේ ඉතින්! ඔයිං ගියා මදෑ

හ්ම්.. ෂොට් හතරකට පස්සෙ එලියට යන්න හොඳ නෑ එහෙනම්.

බිව්ව වර්ගය මතකද .. මුල්ල පටස් වත් ද ? :-)

නදී said...

අම්මෝ කියවද්දිත් බයයි.ආටානාටිය කියද්දි කාටවත් ගෙදරින් එළියට යන්න එපා කියනවනේ,මදැයි ඔයින් ගියා.

හෙඩ්බාස් පව්.හික්

Ashoka said...

මේ හාමුදුරුවන්ගෙන් නම් බණක් අහන්න වටිනවා...

"ළමයෝ දැන් ඔවුවා අමතක කරලා දාන්න .. තරුණ ළමයි නේද ඔහොම බය වෙලා පුළුවන්ද ? "

මහිම මදුරංග said...

ඕකද අර කියපු කතාව.
මමත් ඕවනම් විස්වාස කරන්නේ නම් නැ
ඒ වුනාට අපි විස්වාස නොකර පලියට ඕවනැ නැ කියන්නත් බැ නේ

සිහින said...

//මම දැකපු එකම හොල්මං සිද්ධිය මේක වුණත් තව මේවගේ සිදුවීම් සිය ගනනක් මම අහලා තියනවා\\
ඒ කියන්නෙ අපිට ඉස්සරහට හිස් අහසෙන් තවත් හොල්මන් කතා සීරීස් එකක්ම අහන්න ලැබෙයි කියන එක.. පට්ට පට්ට..
ඇඟ කිලිපොලා යන සටන් .. නෑ නෑ.. මාරක කතා පෙලක්ම හිස් අහසින් ලඟදීම...
ජය වේවා !!!

මහිම මදුරංග said...

ඒ ටෝච් එක පත්තු කළාම රෑත් දවල් වගේ ! .ඉතින් අපිත් හෙමිහිට වළවල් වල වැටෙමින් පුවක් ලන්දට කිට්ටු කළා ..

යකෝ එච්චර එලිය ටෝච් එකක් තිබිලත් බොලා මොකද වලවල් වල වැටුනේ?

Unknown said...

අම්මෝ..මාත් බය වුනා.මාත් හොල්මන් දැකලානම් නෑ.ඒත් කතා නම් අහලා තියෙනවා.ඔයා ලියන විදිහ නියමයි.ආසාවෙන් කියවන්න පුලුවන්.

තීර්ථ යාත්‍රිකයා said...

සඳරු එහෙමනම් අමනුෂ්‍යෙයකුත් දැකලා තියනවා.ඒ වගේම තව දෙයක් කියන්න තියනවා.ආටානාටිය කියන්නේ අමනුෂ්‍යන්ව එළියට අදින්න තියන දෙයක් නෙවෙයි.ආටානාටිය කියන්නේ ආරක්ෂක පිරිතක්.ආටානාටියෙන් කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයෙකුට අමනුෂ්‍යෙයක් හිරිහැර කරන්න ආවොත් ඒ අමනුෂ්‍යයාට අනෙකුත් අමනුෂ්‍යයන්ගෙන් පස්සෙ හම්බවෙන රිටන් එක ගැන.
ඒ ගැන තව දුරටත් විසතර කියනවා නම්.විරූඩ,විරූපාක්ෂ්‍ය,වෛශ්‍රවන,වෙතරාශ්‍රත කියන සතර වරම් දෙවිවරු විශාල යක්ෂ සේනාවක් සමඟ බුදුරජාණන්වහන්සේ සමීපයට පැමිණි වේලාවක වෙසමුණි නැමති දිව්‍ය රාජයා පවසනවා ඇතැම් යක්ෂයන් බුදුරජාණන්වහන්සේ ගැන නොපහන් සිතින් ඉන්නවා කියා.හේතුව ලෙස දක්වන්නේ බුදුරජාණන්වහන්සේ ප්‍රාණඝාතය ආදී දුරාචාරයන්ගෙන් වෙන්වෙන ලෙස පවසමින් ධර්මය දේශනා කරන නිසා ඔවුන් එසේ වී ඇති බවයි.අනතුරුව වෙසමුණි දිව්‍ය රාජයා වැඩි දුරටත් පවසනවා ශූන්‍ය තැන්වල බණ භාවනා කරන්නවූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට ඒ තැන්වල සිටීමට ඉඩ ඇති අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂාවීමට මා මේ කියන ආටානාටිය නම් වූ ආරක්ෂාව ඉගනගන්නා ලෙසට.

Podi Kumarihami said...

මට නම් ඔය කියන තැනට ඇවිත් ඒක බලන්ටම හිතෙනවා...:D:D:D

තීර්ථ යාත්‍රිකයා said...

බුදුරජාණන්වහන්සේ එම ආරාධනාව පිළිගන්නවා.ඉන්පසු ඒ ආටානාටිය නම් වූ ආරක්ෂාව පවසන්නේ ‍‍වෛශ්‍රවණ දිව්‍ය රාජයා විසින්.
එහි මුල් කොටසින්
විපස්සී,සිඛී,වෙස්සභූ.....ආදී වශයෙන් පෙර වැඩ විසූ බුදුරජාණන්වහන්සේලාටත් ගෞතම බුදුරජාණන්වහන්සේටත් නමස්කාරය කරන අතර අනතුරුව ගාන්ධාර,කුම්භාණ්ඩ,නාග,යක්ෂ ආදී විවිධ දේව ගෝත්‍ර පිළිඹඳ සටහනක් තිබෙනවා.
ඉන්පසු තිබෙන්නේ ආර්ය ශ්‍රාවකයකුට හිරිහැර කලහොත් අදාල අමනුෂ්‍යයාට විඳින්න සිදුවන වධයන් පිළිඹඳවයි.
ඔය ඉතාමත් සංක්ෂිප්ත කරුණු දැක්වීමක් කලේ ආටානාටී ආරක්ෂක පිරිත ගැන බොහෝ දෙනා වැරදි මතවාදයන් තබාගන ඉන්නා හැටි දුටුව නිසයි.
ජය....

රාජ් said...

මුලදී හාස්‍ය රසය තමයි හොදට වැදුනෙ.
//ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ !// එතකොට දැන්?
//පිරිත් අහන්න සුදුසු ඇඳුම් වලින් සැරසිලා //
//මගේ ගෙදර පිරිතක් තිබුණ දවස් වල නම් මම අරක්කු , කසිප්පු බින්ඳුවක් වත් ගේ හරියට ගෙනාවේ නෑ // ඒ වුනාට අල්ලපු ගෙදර තිබුනෙත් නැද්ද?
හාස්‍ය, භීතිය, කුතුහලය, ත්‍රාසය විතරක් නෙවේ පිළිකුල් රසයත් මේකෙ තියනව බං.
ඇයි ශාන්ත රසය මේ
//සමහරු මෙතන පිරිත් කියනවා .. සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා//
නියම පොස්ට් එක.

සාටර් said...

මල ගෙදරක වගේ නයිට් ඩියුටි කරන්න ගියොත් හොල්මන් කතා පොතක් ලියත ඇකි :)

පිණිබිඳු... said...

මාත් අහලා තියෙනවා ආටානාටිය කියවද්දි එලියට බහින්න හොඳ නෑ කියලා. මට නම් හිතාගන්න බෑ මොන තරම් බයක් ඇති වෙන්න ඇත්ද ඒ වෙලාවෙ.

සිත්රූ සිහින said...

ඇත්තටම චාර්ලිස් සීයා මොනවද දන්නැහැ කියන්න හැදුවෙ..
"හප්පුච්චියේ ඉතින්! ඔයිං ගියා මදෑ " නේද? :D

සාතන් said...

අහල බලපන් අනුෂ්කය දේව ගනේද කියල... එහෙම උන්ට හොල්මන් පේන්නෙ නෑලු...

මේ පැත්තෙ නම් ආටානාටිය කියන වෙලාවට රති‍ඤ්ඤා දානව.. යක්කු එන කේස් එක හින්ද වෙන්න ඇති...

*මගේ බ්ලොගේ පටන් ගත්තෙ හොල්මන් කතා දාන්න බන්... ඒක පටන් ගත්තත් හරි අහන්න ලැබුන පළවෙනි හොල්මන් කතාව මේ...

ayesha said...

අම්මෝ .! !! මේක කියවනකොටත් මට බය හිතුනා

Anonymous said...

හප්පුච්චියේ ඉතින්! ඔයිං ගියා මදෑ
මමත් අහලනම් තියෙනවා පිරිතෙදි නැගිටලා යන්න හොද නෑ කියලා...මංනම් හොල්මන් දැකලා නෑ හැබැයි ඕන් බයයි...ආයේ ඉතින් බයයි කියන්න ලැජ්ජා වෙන්න ඕනැයි නේ...?

Anonymous said...

"අනික නිවැසියෝ කැමැත්තෙන් සංග්‍රහ කටයුතු කරනවා නම් අපි මොකටද පිටුපාන්නේ"
අනෙ බොල සඳරුවො. මුකුත්ම කිව්වෙ නැහැ කියල හිතාගනින්කො.
අර හොල්මනට එපාවෙන්ඩ ඇතිනේද බන් අරුට බඩගිය විදිය දැකල.
අදත් කතාව නියමයි. උපරිමයි.
JH

කැමීලියා said...

මගේ අම්මෝ සඳරු...
රෑට නම් මට මේ කතා මතක් වෙන්න එපා දෙයියනේ. මට දුවන්න ඉඩත් මදි වෙයි. පව් අපේ අම්මා එහෙම වුනොත්. ඒත් පට්ට සීන් එක. හිනා වෙලාම කඳුලුත් ආවා.

Praසන්ன said...

ඔන්න ඕව අමතක කරල දාපං බං. මංනං කවදාවත් හොල්මනක් දැකල නෑ රෑ දොලහට එකට ඇවිදින්න ගිහිල්ලවත්.
කොහොම උනත් ලෙසටම ලියල තියෙනව.

පන්සල් හංදිය said...

හොල්මන් මම දැකලා නම් නැහැ, ඒත අවිශ්වාස කරන්නෙත් නැහැ, ඒ උනාට ඕනම දෙයක් ගැන ඕනෑවට වඩා පස්සෙන් යන්න නරකයි .........

පව් දෙයියනේ අර බාස් .........

Unknown said...

මමත් ඕවා විස්වාස කරන්නෙ නෑ.ඒත් කියන දේ ඇත්තනම් විස්වාස කරන්නම වෙනවා

පූසා said...

මරුවටම ලියලා තියෙනවා මචං...

මම කවදා හරි දවසක හොල්මනක් දැක්කොත් එහෙම දෙයක් තියනවා කියලා විශ්වාස කරනවා......

නචියා said...

"ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ" දැන් කියලා වෙනසක් තියේද බන්.

මදැයි ඔයින් ගියා. මමත් ඔය වගේ කතා අහලා තියනවා. උඹ කිව්වාම විස්වාස නොකරත් බෑනෙ.

සරත් ලංකාප්‍රිය said...

හොල්මන් අවතාර ගැන නම් මන් දන්නේ නෑ හැබැයි උඹ ලියල තියෙන එක කියවල මගේ හිත මාව අතීතයට අරන් ගිය අපේ ගමට.. අම්ම තාත්ත එක්ක ජීවත් උන කාලෙට. ඇහැට කඳුලක් එක්ක. මට ගමේ සුවඳ හිතට දැනුනා කොල්ලෝ.. කොන්ක්‍රීට් වනන්තරේ දාල ගමට දුවන්න හිතුනා එත් දැන් ගම වෙනස්,.. මිනිස්සු වෙනස්.. අම්මත් තාත්තත් හිටපු හොඳ මිනිස්සුත් යන්න ගිහින්.. ගහ කොළ විනාශ කරලා..

ඉන්දික said...

අම්මෝ බන් මේ අමූලික ඇත්තමද?

කතන්දර Kathandara said...

හොල් + මන

රස්තියාදු කාරය.. said...

මම නම් හොල්මන් දක්කලත් නෑ, දකින්න අදහසකුත් නෑ ( පොර talk දෙනවා නෙමෙයි, දැක්ක දාට තනියෙන් දොට්ට පිලට වත් යන්න බැරි වෙන නිසා දකින්න කැමති නැ ඔං)
කියල වැඩක් නැ, කතාව නම් පට්ට, ලෙසටම ලියල තියනවා.. තව හොල්මන් කතා ටිකක් කියපන්කො, අතල් බන්...
උබලගේ පස්සෙලේ හාමුදුරුවෝ හොද පාටයි බන්.. මන් කියන එක අහවල පන්සල පැත්තේ පලයන්..
"සමහරු මෙතන පිරිත් කියනවා .. සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා"
පට්ට.. මත දැකල තියනවා, අපෝ යාළුවොත් දෙකක් දාගත්තම මතක් වෙන්නේ ආගම තමා.. හික් හික්

යසියා said...

අපරාදෙනේ හලෝ.. එයත් එක්ක ෆොටෝ එකක් ගත්තනම් ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් පික්චර් එකට දන්න තිබුනානේ/..

අනිත් හොල්මන්ස් කතාත් දාන්න බලන්නකෝ.....

ඊට පස්සෙද වැඩිය නොබොන්න තීරනය කලේ???

Weni said...

හොල්මන් වලට වඩා බය වෙන්න ඕනි පන තියෙන අයගෙ හොල්මන් වැඩ වලට.. මමත් හොල්මන් දැකල නම් නැහැ.

networkdisa said...

මමනම් තාම හොල්මන් දැකල නෑ බං.හැබයි ඉතින් උබ කියන හින්ද විශ්වාස නොකරත් බෑනෙ.
අර හෙඩ් බාස්ට මොකද්ද බං උබල කරේ.එකට ගිය මිනිහට ඔහොමත් නම් කියනවද බං

Anonymous said...

//ඔය වෙලාවේ ගේ ඇතුළේ ආටානාටිය පිරිත වැයෙමින් තිබුණා ..!//

කවුද බන් පිරිත් වයන්නෙ...? :D

...........

// නොදැක්ක පලියට යමක් අවිශ්වාස කරන එක වැරදියි ..ඒත් ඕනෑවට වඩා නොදැක්ක දේවල් විශ්වාස කරන එකත් අමුම මෝඩ වැඩක් ..//

එච්චරයි ..!!

Unknown said...

හොල්මන් දකිනකන් විශ්වාස නොකරමි කියන ප්‍රතිපත්තියේ තමයි මම නම් ඉන්නේ.. ( කතාව කියවනකොට නම් බය උනාද මන්දා)

ප්‍රසංග said...

මම තාමත් හොල්මනක් දැකල නෑ.... උබ අන්තිමට කියපු දේට මාත් එකගයි. මමත් හිතන්නෙ එහෙමම තමයි. මොකද හොල්මන් කියල බයවෙලාම ඉන්න පුළුවනෑ....

හිස් අහස said...

Luckey = ස්තූතියි මචං මේක ලියන වෙලාවේ මගේ ඇඟේ හිරිඬු පිපෙන හැටි මගේ ලඟ හිටියනම් උඹට දැකගන්න තිබුනා . මගේ මොන අද්දැකීම් ද බං මට තාම අවුරුදු 22යි ඔය ලවු සීන් එකක් වලි සීන් එකක් වගේ දෙයක් දාගත්තට මමත් සාමාන්‍ය බුවෙක් බං ..මගේ පැත්තේ සමහරු ලබලා තියන අත්දැකීම් වලින් කාලක් වත් මම ලබලා නෑ මචං .. ස්තූතියි ලකී අයියා හැමදාමත් මේ ලැබෙන සප් එක මට වටිනවා
.............................................................................................................................
@පිස්සු පුසා = මමත් හොල්මං අවතාර දැකලා නෑ මචං ඒත් හොල්මං යක්කු වැහුනා කියන උදවිය අනන්ත දැකලා තියනවා උන් වැඩි දෙනා කරන්නේ බොරුව ..සමහරුන්ට මානසික රෝග .ඒත් සමහරු කියන දේවල් ඇත්ත .
.............................................................................................................................
@Ashoka = බීපු වර්ගය තමයි මචං රම්‍ය ලතා ස්පැෂල් ..අපේ ගමේ දිරිය මිනිහෙකුගේ බිරිඳක් විසින් නිපදවා බෙදාහරිනු ලබයි
.............................................................................................................................
@නදී = ඇති යන්තම් මට පිස්සු නොකියා මදැයි ඔයිං ගීයා කීවා ..
.............................................................................................................................
@Ashoka = අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒ කතාව කීවේ
.............................................................................................................................
@mahima = විස්වාස කලත් අවිස්වාස කලත් ඒ දෙකම තරමකට ..ඇසින් දකින දේ විස්වාස කරන්න. ඇයි මචං අපි අරගෙන නෙව හිටියේ ඉතින් වලක දෙකක වැටුනා .
.............................................................................................................................
@සිහින = මොකෝ උඹ දැන් නිහඬ ? අපෝ මෙවුවා ලියන්නෑ ආයි මචං මේවා කියන්න හොඳයි අපේ ගමේ බ්ලොග් අවකාසේ මෙවුවා කීවොත් මම මිත්‍යාදුශ්ඨිකයෙක් විදිහට හංවඩු ගහලා දාවි මේ මගේ ෆයිනල් ඇන් ෆ්‍රස්ට් හොල්මං ස්ටෝරියයි !
.............................................................................................................................
@නිසුපා = ස්තූතියි සහෝදරී කියවලා බය හිතුනා නම් දැක්කොත් ?
.............................................................................................................................
@තීර්ථ යාත්‍රිකයා = ඔයා කීව දේ සහතික ඇත්ත . මම මේ පිරිත් වගේ දේවල් ගැන වැඩිමනක් දන්න කෙනෙක් නෙවේ මොකද මම පිරිතකට ගියත් කවදාවත් ඒ කියන දෙයක් කනකට ගත්ත කෙනෙක් නෙවේ .ඒ මගේ නොලැබීම .ඔයාගේ කතාවෙන් පස්සේ තමයි මම ආටානාටිය පිරිත ගැන හරියටම දැනගත්තේ . මම දන්නෑ ඒක කියන්නේ වත් කීයටද කියලා මට එදා අපි ගෙදරින් පිට වෙච්ච මොහොත හරියටම මතක නෑ ..ස්තූතියි මචං අපිව දැනුවත් කලාට ..
.............................................................................................................................
@Podi Kumarihami = එන්න එන්න මම කට්ටඬියෙක් රෙඩි කරගන්නම් ..ඔයා කවදයි එන්නේ ?
.............................................................................................................................
@රාජ් = බොහොම ස්තුතියි රාජ් .ලියන්න ගතාම ඔහේ ලියාගෙන යනවා ඉතින් ඔය හැම හැම දෙයක්ම පෙන්නදීලා මාව දිරිමත් කලාට ස්තුතියි
.............................................................................................................................
@සාටර් = මම එහෙම ඩියුටි කරලා තියනවා අන්නත අප්‍රමාන ඒත් මල බුවෙක්ට පන එනවා නම් දැක්කේ නැතුවා මචං
.............................................................................................................................
@පිණිබිඳු. = බලන්න අක්කේ අපේ තීර්ත යාත්‍රිකයාගේ අදහස .. පට්ටයි ඈ
.............................................................................................................................
@සිත්රූ සිහින = ඒක නේ කියන්නේ මම දන්නෑ උන්දෑ මොනවා කියන්න හැදුවද කියලා ..ඔයින් ගියා මදැයි !
.............................................................................................................................
@සාතන් = අඩේ එහෙම සීන් එකකුත් තියනවා නේද මමත් ඒක අහලා තිවුනා ඒත් මට ඒක මතක තිබුනේ නෑ .මෙහේ මචං එහෙම ඩෝං දාන සිරිතක් නෑ ..තීරත යාත්‍රිකයාගේ අදහස බලපන් මයෙ අම්ම .

හිස් අහස said...

@ayesha = දැක්ක නම් ?
.............................................................................................................................
@අසනි = ආ කවුද බය ? මේං මෙයා බය වෙලා !! මම නම් මයෙ ජීවිතේට බය වෙලා නෑ :)
.............................................................................................................................
@JH = අඩේ ඒක නේන්නං දැං සාගරට සමහරු කියන්නේ "රෙඩ් බාස් " කියලා රෙ කීවේ මොකද්ද කියලා හිතා ගත හැකි නේද ?
.............................................................................................................................
@කැමීලියා = එයාලට හිනා ඔයා රෑට මේ වගේ කෙනෙක්ව දැක්කොත් කෝමද ?
.............................................................................................................................
@Praසන්ன = මමත් අන්නත රෑ පානේ කරක් ගහලා තියනවා ඒත් මේවගේ දෙයක් දැකලා නෑ ..ඒත් ඕන තැනක දිවුරන්න කැමතියි මම මේ වගේ දෙයක් දැක්කා කියලා මගෙත් එක්ක දිවුරන්න ලෑස්ති තව 3ක් ඉන්නවා .. අදත් ආවට ස්තූතියි මචං
.............................................................................................................................
@පන්සල් හන්දිය = තමන් යමක් දකින තුරු ඒක විස්වාස කරන්න එපා ! මචං මම නම් කියන්නේ උඹලට හොල්මං දකින්න නොලැබේවා කියලා
.............................................................................................................................
@තොන්සා = හොල්මං ඉන්නවා කියලා විස්වාස කරලා මොනාද මචං අපිට ලැබෙන්නේ .. මම මේක ලීවේ නිකම් ! ස්තූතියි මචං ආවට
.............................................................................................................................
@පූසා = රායිට් අන්න එච්චරයි දකින තුරාවට යමක් විස්වාස කරන්න එපා මචං
.............................................................................................................................
@නචියා = මම මේ මාසෙටම එක පාරයි බීවේ මචං .. කවුද බං දන්නේ මම වෙන මොකක් හරි දැක්කද කියලා තමන් දකිනකම් යමක් විස්වාස කරන්න එපා ..
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = එහෙනම් ඒක මදෑ මචං මට මේ ලියවිල්ල ගැන සතුටක් ඇති කරගන්න .. ස්තූතියි මචං
.............................................................................................................................
@ඉන්දික = සාක්ක්කියට ඉන්නවා හතර දෙනෙක් ..!
.............................................................................................................................
@කතන්දර = ඒ කීවේ ? හොල් + මන = හොමන . නේ
.............................................................................................................................
@රස්තියාදු කාරයා = අපේ සෙට් එකට මචං බීවම මතක් වෙන්නේ එකට මවු ගුන දෙකට බුදු දහම .. ඒක නෙවේ උඹට අර උඹගේ බ්ලොග් එකේ මොනවත් ලියන්න හිතෙන්න්නැද්ද ?
.............................................................................................................................
@යසියා = එදා කොහොම වෙතත් අදවත් මට කැම් එකක් නෑ බං ! තිබ්බත් ඕක අරං රෙඩි වෙද්දී මම සුං
.............................................................................................................................
@Weni = සහතික ඇත්ත ! ඉන්න උන් තමයි නියම යක්කු .. අපිත් ඇතුලුව ..:)
.............................................................................................................................
@Networkදිසා = අඩේ අපි ඌට මොකුත් කීවේ නෑ බං ගමේ එවුන් තමා අරම කීවේ ..! :) හික්
.............................................................................................................................
@සපතේරු උන්නැහේ = සමා වෙන්න අයියා පිරිත් කියනවා ලෙස නිවැරදි වෙන්න ඕන මම ඉතින් ඕවා ගැන හරියට දැනුමක් නෑ ස්තූතියි ආවට සහ වරද පෙන්නවුවට
.............................................................................................................................
@ChammA = අන්න හරි දකිනකම් කිසිම දෙයක් විස්වාස කරන්න එපා මම නම් දැක්කත් ඒගැන තව පාරක් හිතනවා ..
.............................................................................................................................
@ප්‍රසංග = හොමන් ඉන්න්වානම් ඉඳපුදෙන් අන්න එහෙම හිටියම වැඩේ පිනිස් ..මොකෝ උංව අපි ඔලුවේ තියාගෙන ඉන්නැයි නේද මචං ?

දිනුක said...

එළම තමා බං.අනේ මටත් ආසයි හොල්මනක් දැකලා සරම තෙමා ගන්න.හොල්මන් උනත් හැමෝටම පේන එකක්යැ.ඔයනං මම හිතන්නෙ උඹලගෙ කෙනෙහිලිකං දරාගන්න බැරුව මැරිච්ච එකෙක් පළිගන්න ඇවිත් වෙන්නැති.

BLOG ගඩොල් said...

හපොයි! බොරු කියන්න ඕනෙ නෑ, මටනං අම්බානට බය හිතුනා මේක කියවලා. මමත් ඔය කතා අහලා තියෙනවා විතරයි. දැකලා නෑ. දකින්න අයිඩියා එකකුත් නෑ.

Anonymous said...

තියෙනවද නැද්ද නම් දන්නේ නැ..මම නම් අම්මෝ බයයි..

හසී said...

හෆ්ෆේ මට බය හිතුනා... හොල්මන් ගැන මගේ තියෙන්නේ 50% විශ්වාසයක්

මාතලන් said...

හොල්මන් දැකළා නෑ.. දෙවියෝ දැකල තියෙනව.. තනියෙන් නෙමෙයි.. ඔය් වගේම හතර දෙනෙක් එක්ක...

Dasun said...

මචං එක එක අය තමන් දැකපු හොල්මං ගැන ලියපු කතන්දර මම කියවලා තියෙනවා. හැබැයි සමහරු හොල්මං කතා කියලා කෙව්වට ඒවා කියවන අපිට හිනා යනවා මිසක් භයක්නම් හිතෙන්නේ නෑ. ඒ වුනාට උඹේ කතාව කියෙව්වමනම් ඇඟේ හිරිගඩු පිපෙනවා බං...

ඇත්ත කියපන් උදේ කට්ටිය ඇහින්දේ උඹේ සරම නේද? :)

මැරා... said...

ඉල්ලිම ඉටුකරපු එකට බොහොම ස්තුති සහො ....ඇත්තටම ඔකක් උබල දැක්කද බන්.....මගෙත් පිරිත් ගෙදරක ඔය වගේ සීන් එකක් වුනා පස්සේ කියන්නම්..

Chanaka Aruna Munasinghe said...

ලෝකෙ අපි නොදන්න අපි නොතේරෙන ගොඩක් දේවල් තියෙනවා. ස්පාඤ්ඤයේ එක පල්ලියක කුළුනක් උඩ අවුරුදු 300ක් ජීවත් වෙච්ච මකුළුවෙක් ආහාර විදිහට ගත්තෙ පහන් වලට දාන තෙල් විතරයි. ඒ මකුළුවා අවුරුදු 300කට පස්සෙ කුළුනෙන් පහලට බහිනකොට කරත්ත රෝදයක් තරම් ලොකුවට වැඩිලා.

-ඩ්‍රැකියුලා පොතෙන් -

හා පැටික්කි (MS) said...

අනේ මංදා...... මගෙත් වැඩි විස්වාසයක් නම් නැ. ඒත් දකින කම් විතරයි වෙන්නැ. අර සුනාමි දවස් වල මේ පැති වල හොල්මං කතා එමට තිබුනා. ඒත් දැක්කේ නෑනේ අපි.......

සඳරුගේ ලිවිල්ල ඉතින් කියලා වැඩක්යැ. මේ පාර සාහිත්‍ය තරඟෙට ඉඳිරිපත් වෙනවා නේද??????

හා පැටික්කි (MS) said...

බයි ද වේ කතන්දර ආතා කිව්ව හොල් + මන් = හෙල්ලුන මනස. ඒ කියන්නේ ගැස්සුන මනස වගේ.
මං හරි මං හිතන්නේ........

මැණික් - සුදු මැණිකේ said...

නියම කතාව අයියා. කියවද්දී නම් ටිකක් බය හිතුනා. හොල්මන් දැකලා නෑ. එක සැරයක් දකින්න ආසයි. දෙවියෝ නම් එක දවසක් දැකගන්න ලැබුනා. :)

Lahiru Siriwardhana said...

එලකිරි ටිකට ලියලා තියනවා බං..දැං රැ මේක කියවලා නින්ද යයිද මන්දා

ItalyDilan said...

මේ රටවලත් හොල්මන් විශ්වාස කරන උන් ඉන්නවා බන් දැකපු උනුත් ඉන්නවා,,මමත් විශ්වාස කරනවා අපිට නොපෙනෙනෙ හොයා ගන්න බැරි දේවල් ඕනා තරම් තියනවා බන්

මාධව විදුරංග said...

අඩේ මමත් හෙන කුතුහලයකින් ඉන්නේ! ඇත්තටම ගුප්තයි නේද බං! උඹ ඊට පස්සෙ දැක්කෙ නැද්ද ඔය වගේ ඒවා!?

Kanishka said...

හම්මොහ්.. සිරාවට‍ බය උනා බං..

ජීවිතේ මල් said...

අම්මෝ දෑන් වෙලාව රෑ දොලහට ලගයි.. දෑන් කියවන්න නම් බෑ... අම්මෝ... හි හි... හෙට බලන්නම්... :)

Ravi said...

මම නම් මල්ලි හොල්මන් විශ්වාස කරන්නෙ නෑ....ඒත් මම විශ්වාස නොකල පළියට ඒ වගෙ දෙයක් ඇත්තෙම නෑ කියල මම කියන්නෙත් නෑ.........මේ ලෝකෙ අපි නොදන්න අපිට නොතේරෙන දේවල් බොහොම තියනව......එච්චරයි මම දන්නෙ,

උඹ ලියල තියන විදිහට මලේ මට මෙතනම රෙවුනෙ නැති එක තමයි පුදුමෙ.........හෙහ්, හෙහ්,

හිස් අහස said...

@දිනුක ජයකොඩි= අඩේ මට හැමෝම ආදරෙයි කවුරුත් මගෙන් පලි ගන්න හිතන්නේ නෑ ..
.............................................................................................................................
@blog gadol = දවසක උඹලාටත් බූතයෙක් දකින්න වරම් ලැබේවා !!
.............................................................................................................................
@නිම්ශා = ලැජ්ජාවේ බෑ මෙන්න මෙයා බය වෙලා අපෝ අපිනම් බයවෙයි !
.............................................................................................................................
@හසී = අපෝ බය වෙන්න එපා මේ මම වගේ ඉන්න
.............................................................................................................................
@මාතලන් = කොහොමද බං ඒ දෙවියා කියලා සුවර් එකටම දැනගත්තේ ? සිරාවට අහන්නේ
.............................................................................................................................
@නිර්මල = මම මේ බයේ හිටියේ මිනිස්සු මේ සරම මට අන්දවන්න හදයි කියලා බලද්දී උඹ විතරයි මට ඒ සරම අන්දවන්න හදාපු එකම එකා වෙලාවට උඹගේ කමෙන්ට් එක මුලින්ම නොවැටුනේ
.............................................................................................................................
@මැරා = පස්ස පස්ස නෙවේ ඒකත් කියලා දාපන් අපිට බලන්න
.............................................................................................................................
@Chanaka Aruna Munasinghe = හ්ම් මම ඩ්‍රැකියුලා බලලා තියේ ඔහොම කොටසක් දැකලා නෑ ඔයා කියෙවුවේ ඉංග්‍රීසි පොතද ? ඔයා හරි අපිට කවදාවත් හැම දේම දැනගන්න බෑ නේ
.............................................................................................................................
@හා පැටික්කි = ස්තූතී මතක් කලාට හා පැටික්කි ..අනේ මන්දා බලමු තව ටිකක් කල්පනා කරලා .. ඔයාගේ කතාව නම් ඉස්තරම් ..
.............................................................................................................................
@සුදු මැණිකේ(මැණික්) = මෙන්න බොල දෙයියෝ දැක්කයි කියන අයත් ඉන්නවා ! මම නම් මාර ආස දෙයියෙක් බලන්න වරයක් ඉල්ලගන්න බැරියෑ
.............................................................................................................................
@Lahiru Udayanga = ඉතිපිසෝ ගාතාව කියලා බුදියන්ඩ අයියා !!
.............................................................................................................................
@ItalyDilan = ඉතාලිය කියන්නේ මම දන්න විදිහට අද්භූත දේවල් පිරුනු තැනක් ..
.............................................................................................................................
@" මාධව - = ඊට පස්සේ නම් හීනෙන්වත් දැක්කේ නෑ දැන් දැක්කට බයකුත් නෑ හැබැයි දැක්ක අය ඉන්නවා තවත්
.............................................................................................................................
@Kanishka | කණියා = ලොකු සර් !! ඔයත් බිය වුණාද ? වෙල්කම් කීවා මගේ ගෙදරට
.............................................................................................................................
@ජීවිතේ මල් = අද රෑට පෙනියං මේකිට ගෝනි බිල්ලෙක්ව!!:)
.............................................................................................................................
@Ravi = අයියන්ඩිගේ කමෙන්ට් එක දැකලා මට සිනා ගොස් බඩ යන්නයි හැදුවේ !! තාම හිනා

Beetle said...

සදරුවා මෙක උඹ ඇත්තටම දැක්කනම් චාර්ලිස් සීයා මොකද කලේ කියලත් කියපන්කෝ... හිටගෙන බලන් හිටියද? උඩ පාවෙවී හිටියද? උඹලා පස්සේ පැන්නුවද? නැත්තම් බුවත් දිව්වද... මොකද්ද වුනේ..?

උඹලාට වැඩිය මට දුක අර කිරි විකුණන අංකල් ගැන, උඹලට නම් වැටි වැටි දුවන්න හරි හතරදෙනෙක් හිටියා... අර යකා තනියෙන් හොඳටම බයවෙන්න ඇති...

Dakshina said...

මචං සඳරු, කමෙන්ට් එක දාන්න පරක්කු වුනාට සමා වෙන්න ඕනේ.. මුලු පෝස්ට් එකම එක හුස්මට කියෙවුවා... කියලා වැඩක් නෑ.

මේ අත්දැකීම බොරුවක්ද හිතලුවක්ද කියලා නෙවෙයි මම බැලුවේ.. උඹේ රචනා ශෛලිය. කියලා වැඩක් නෑ බං. උපරිමයි. කතාව ලියලා තියෙන විදිහට මගෙත් හිරිගඬු පිපුනා.

මේ වගේ තව කතා තියෙනවා නම් ලියපං. උඹ ලියන විදිහට කතාවක් රසවිඳින්න පුලුවන් උපරිමයට!

ඔබට ජය!

සීතල අයියා said...

අනේ අපි බය වෙයි ඕවට.... :P

හා පැටික්කි (MS) said...

අනිවාරෙන් දාන්න සඳරු ඔයාට මේපාර හොඳම පෞද්ගලික බ්ලොග් අංශෙන් දිනන්න පුලුවන්.ඒක ෂුවර්........ අනිවාරෙන් දාන්න. නොදා නම් ඉන්න එපා. මෙලෝ රහක් නැති අපිත් දාන එකේ දාන්න. ඔන්න අමතක කරන්න එපා. දැම්මා කියන කම් මං අහනවා දැම්මද කියලා. මතක තියා ගන්නකෝ මං දිනනවා කිව්වා කියලා. හික්ස්.......

මේකත් පබ්ලිෂ් කරන්න එපෝ...............

Hasitha Gunasinghe said...

හොල්මන් කියන් එක ඇත්තට දකිනකම් මගේ නම් විශ්වාසයක් නැහැ කියන්නත් බැහැ තියෙනවා කියන්නත් බැහැ. කෝකටත් පාඩුවේ හිටියාම ඉවරයි

ජීවිතේ මල් said...

අඩඩඩේ සඳරුවා... යාලුවට වුනා කිව්වට මට පේන්නෙ යාලුවො හොයාගත්තෙ සඳරුවද කොහෙදෝ ගඳ ගගහා !!! හිකිස්...
මගෙ අම්මෝ.. අද රෑටත් මේක මතක් වේවි ...
(රහසින්) සිරාවට සඳරුවෝ මේක ඇත්ත කතාවක්ද ??
(හයියෙන්) නෑ කියපන්! :)

Kusal said...

අපේ සීයත් කියල තියෙනව බන් එයාලගෙ කාලෙත් නිතරම ඔය වගේ සීන් වෙනව කියල.. ඒත් මන්නන් තාම ඇස් දෙකෙන් දැකල නෑ.. නොදකින තරමටම හොදා :D

නදුන් උයන said...

වෙලාවට මේක උදේ වරුවක කියෙව්වේ.. රෑක කියෙව්වනම් නින්ද යන එකකුත් නෑ.
ඔයා දැක්කෙත් ග්‍රීස් යකෙක් එහෙම නෙවෙයි නේද?

Gayan Rupasinghe said...

පට්ටයි මචන්.. තවත් මේ වගේ කතා ලියපන් මල්ලි.. මම දන්නවා.. ම්ම විදල තියෙනව ඔයිට සමාන අත්දැකීම්... උබ කියන ඔය කැරපොතු සුවද සහ ඊට සමාන කජු ලෙලි පුච්චන සුවද මට දැනිල තියෙනවා. පන්සලේ කටිනේ දවසේ ආටානාටියෙ වෙලේ අල්ලපු වත්තේ තැබිලි කඩන්න ගිහින් මරු වැඩක් උනා.. ලියපන් මල්ලි මේ වගේ තව කතා. උබ මටක් කලාට පස්සෙ මටත් හිතුන ලියන්න,,

ජය..

පබලු said...

haffee...:-o matath hithenava holman athi kiyala.A unata kavadavath mata nam penna epoo.. :DDD

Hemadama Vage Oyage Livilla nam Maru..Mare Maru

Nishantha said...

ඇත්තටම මාර ලස්සනට කතාව ලියල තියෙනවා..අකුරක් ගානෙ හරිම ආසාවකින් බැලුවේ.හොල්මන් අවතාර වගේ දේවල් ඇති කියල හිතනවා.අපේ ඇස් වලට ගෝචර නොවන දේවල් මේ විශ්වයේ කොතෙකුත් තියෙනවලු.ඉතින් සදරු සුබ පැතුම් දිගටම ලියන්න...අපි ආසයි ඔයාගේ ලිවීමේ විලාසයට.

jhothishalanka said...

මම නම් අමනුෂ්‍ය බලවේග ගැන විශ්වාස කරනවා.ඒත් මම කවදාවත් හොල්මන් අවතාර දැකලා නැහැ.මම හරි ආසයි හොල්මනක් දකින්න.රෙද්දේ රෙවුනත් කමක් නෑ ඇත්ත හොල්මනක් ගැන ආරංචියක් තියෙනවනම් මටත් කියන්න.දුර කතර ගෙවාගෙන හරි ඇවිල්ල හොල්මන දකින්න ආසයි.රාක්‍ෂ ගණේ අයට යක්කු නොපෙනෙන බවත් මානුෂ ගනේ අයට හොල්මන් අවතාර පෙනීම වැඩි බවටත් මතයක් මිනිසුන් අතර ඇතත් ජ්‍යොතිෂයේ මෙය සනාතව දක්වා නැත.මමත් රාක්‍ෂ ගණේ.දැන් ඔය හොල්මන දැක්කයි කියන සඳරු සාගර මොන ගණ වලද අනිත් උන් මොන ගණවලද කියලා හොයන්න පුළුවන්ද.හොල්මන නොදැක්ක අනුෂ්කයා මොන ගනේද කියලා හොයලා බලන්න

Anonymous said...

මාත් දැකලා නෑ බං, ඒත් බඩු හෑව් කියලා දන්නවා. නිකං මිථ්‍යා මත විදියට විස්වාස කරනවා නෙමේ... විද්‍යාත්මකව තරමක් දුරට විශේෂිත කැමරා මගින් ඔප්පු කරලා තියෙන බව දන්න නිසා.

විමාන කියලා තියෙනවා දෙවිවරුන්ගේ වාස භවන. එව්වා සමහර වෙලාවට ඝනත්වයෙන් වැඩි වෙනවා. ඔය විමාන කියන එව්වා දෙවියෝ එක්කම වගේ තමා පහල වෙන්නේ. අදාල කෙනාට අදාල එක වගේ. ඒ විදියට ඝනත්වය වැඩි වුනාම සමහර වෙලාවට අපිට පේනවා.

දේව් ගේ අඩවිය said...

එහෙමනම් සදරුවාත් දවසකටවත් බය වෙලා තියෙනවා ඕන්....
එතකොට බන් ඔය දා ගත්තු ශොට් 4 පවර් බැහැලද ? හාමුදුරුවෝ කතා කරනකොට

හොරෙන් අහන්නේ අර වැඩේ ඇත්තටම උනේ හෙඩ් බාස් ටමද???

Chanaka Aruna Munasinghe said...

හොල්මන්,අවතාර අපිට කරදර කරන්නෙ නෑ. ඒ අයට ඕනෙ අපේ ආදරය, කරුණාව, අනුකම්පාව

මාක් ට්වේන්ගේ The Mysterious Stranger පොතෙන්

සෝරෝ said...

ඇළ අයිනේ හොල්මන් පේන්නයි සොහොන් පිට්ටනියේ හොල්මන් නොපෙනෙන්නයි පුළුවන් ද බං..

හරි නම් හොල්මන පේන්න තිබුනේ උඹ කැරකෝප්පුවේ නිදිවරපු දවසේ නේ..

මම අහලා තියෙන විදියට “මනස දුර්වල වෙලාවට මැවෙන එක එක චිත්ත රූප“ ලු ඔය.. අර කතන්දර කාරයා කියලා තියෙන්නේ හොල්මන කියන එකේ තේරුම.. ඇත්ත නැත්ත දන්නේ නෑ මමත්..

හැබැයි මම නම් තාම හොල්මනක් දැකලා නෑ...

පූසා කිවුවා වගේ හොල්මනක් දැකපු දවසට මමත් විස්වාස කරන්නම්.. :D

Bindi said...

ඊයේ රෑම දැක්ක කතාව කියෙව්වේ නැහැ . අද තමයි කියෙව්වේ . ලකී වගේ තමයි කොවුර්ගේ හය්ය අරන් හිටියට මෙව්වා දකින කොට හිත ගැස්සෙනවා .

Observer said...

අහුල ගත්ත පුවක් ටික අපරාදෙ, සාගරගෙ සරමෙනේ තිබ්බෙ.

(මඩ පුවක්?)

Anonymous said...

මං අහල තියෙන විදියට ආටානාටිය කියන්නෙ අමනුෂ්‍යයන්ට පිරිත් අහන්ඩ ආරාධනා කරන්ඩයි.. අපේ චූටි නැන්දලගෙ ගෙදර පිරිත් කියද්දි ඒ වෙලාවට පිරිත් ගෙදර එළියෙ ඉන්න හැමෝටමත් ගේ ඇතුලට එන්ඩ කිව්ව
වැඩිහිටි කෙනෙක් උඹලව එහෙම යැව්ව කිව්වම මට පුදුමයි!!

hare :-) said...

මටනම් මේ වෙනකල්ම හොල්මන් පෙනිල නෑ. ‍රෑ දෙගොඩහරියෙ ඕන තරම් මමත් ඇවිදල තියෙනවා. වෙන අයට හොල්මන් පෙණුන කතාවලට මට හොඳ පැහැදිලිකිරීම් කවදත් තිබුණා. ඒත් ඊට වඩා කියන්න තරම් නම් මම ඒ ගැන දන්නෙ නෑ :D

පැණි දොඩම් said...

මෙහෙමයි.. මිනිස්සු ඇරෙන්න වෙන ඕනෙම ජීවියෙක් මේ ලෝකෙ ඉන්න පුළුවන්.. ඉන්නවා කියල මම විශ්වාස කරනවා. ඒත් අපි උන්ට බය වෙන්න නම් කිසිම හේතුවක් නැහැ..
අපරාදෙ උඹ බීල නැතුව ඉන්න තිබ්බ වෙලාවක්.

පවනි said...

මමත් රෑ එලි වෙනකම් කනත්තවල් වල ඉදල තියෙනව යාලුවොත් එක්ක.... කනත්ත ළග ගෙදරක ආටානාටිය කියන වෙලාවෙ කනත්ත ලග ප්ලේස් එකක සෙට් වෙලත් තියෙනව...
අනේ මන්ද ඒ උනාට මම හොල්මන් දැකල නම් නෑ. .. හැබැයි දකින්නත් නොලැබේවා කියල තමයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ.. :)

හිස් අහස said...

Beetle = මම දැක්කේ ඒකා ලහිරුගේ පිටි පස්සෙන් ඔලුව කෙලින් තියාගෙන එනවා විතරයි ඊටපස්සේ මම හැරෙන හැරෙන පැත්තෙදී ඒක දැක්කා . කිරි අංකල් සිහි නැතුං වැටුනේ ඒකනේ
.............................................................................................................................
@Dakshina= බොහොම තැන්කුයි මචං උඹලා බලලා ගියත් මට ඇති මගේ ගාව අමනාප කම් නෑ මචං දැන් උඹගේ පරන බ්ලොග් එක ලියවෙන්නේ නැද්ද ? තව කතා තියේ ඒවත් ලියමු මසකට 7 ගානේ
............................................................................................................................
@සීතල අයියා = අපිනම් මචං ගූ බයයි !! ඃ ඃ ඃ ඃ ඃ ඃ
............................................................................................................................
@Hasitha = ඕනම දෙයක් ඕනවාට වැඩිය ඕනම නෑ මචං
............................................................................................................................
@ජීවිතේ මල් = අපෝ නෑ සහෝදරී මම සරම් අඳින්නේ ගෙදරදී පමනයි .ඕක ඉර හඳ වගේ ඇත්ත කතාවක් !!
............................................................................................................................
@Hasitha = ඉස්සර කාලේ ඔය වගේ සිදුවීම් ගොඩක් තිබුනා ඒකාලේ ඇදහිලි වගේ දේවල් වලට මිනිස්සු යොමුවෙලා හිටියා වැඩියි ඒක නිසා මොනදේ දැක්කත් පැන්නගමං පිලිගන්නවා අපේ සීයත් මට කියලා ඇති ඔහොම කතා 100 විතර
............................................................................................................................
@නදුන් උයන = නෑ මචං මට සුවර් උං එකෙක් නෙවේ ඒකාලේ උං නැතුවා
............................................................................................................................
@Gayan Rupasinghe = ලියපංකෝ මචං ඒක මමත් ආසයි සිංහයා බය වෙච්ච තැඅනක් ගැන දැනගන්න . මේ දවස් වල බ්ලොග් එක නිකම් අත ඇරලා දාලා තියන එකේ ඒවගේ එකක් ලියහංකෝ
............................................................................................................................
@පබලු = අනේ මේකිට හොල්මනක් පෙනීයං ! ස්තූතී අක්කන්ඩි
............................................................................................................................
@Nishantha= බොහොම ස්තූතියි මිත්‍රයා . ඔබේ හයිය හත්තිය හිනදා නේන්නං මම මේ ලියන්නේ ..වටින කාලේ වෙන් කරලා අදහසක් දුන්නට ස්තූතියි
............................................................................................................................
@JHOTHISHALANKA = කොහොමද කෙනෙකුගේ ගණය හොයාගන්නේ ? අනුශ්ක මේ හම්බුන ගමන් මම අහන පලමු දේ තමයි එහෙනම් ඕක .. මම නම් කොයි ගනේද මන්දා
............................................................................................................................
@prasanna86k= මමත් ඔය වගේම අදහස් අහලා තියනවා අපි ඉතින් මේ ලෝකේ බුද්දිමත්ම එවුං වෙච්ච පලියට හැම දේම දන්නෙත් නෑ නේ නේද බං ? ඒක නිසා තමන් යමක් දකිනකම් ඒක අවිස්වාස කරන්නත් වැඩිය විස්වාස කරන්නත් යන්නැතුව ලාවට හිටියනම් ඉවරයි .
............................................................................................................................
@දේවාගේ අඩවිය = සොට් වල බලේ කැලේ ! .. අපෝ ඒ සරම මට අන්දන්න එපා මම සෝට ගහං ගියේ ටොයිලට් ගිහිල්ලා තමයි මම පිරිත් ගෙදර ගියේ

හිස් අහස said...

@මකරා = අනුකම්පාව දෙන්න මට හිතුනෙම නෑනේ මට ඔටෝම දුවවුණා
............................................................................................................................
@සෝරෝ =මමත් ඒක අහලා තියනවා මචං ආයේ දවසක් උඹ ආ දවසට මම උඹට ඔය කතාව අහලා පෙන්වන්නම් ..ඒවගේම තැනත් පෙන්වන්නම් .
............................................................................................................................
@බින්දි = අපෝ බය ගුල්ලි ..!
............................................................................................................................
@ඔObserver= පුවක් ටික ගැන දුකයි අපි ගැන දුක නෑ ! අඩේ අයියා මට කොමන්ට් පබිලිස් කරන්න පමා වෙනවා මන්ද යත් අපේ ආයතනයේ ජාලය කපලා
............................................................................................................................
@hansakinkini = ඒකනේ කියන්නේ අපිත් ඕක දන්නේ එදා දන්නවානම් අපි හොඳ සිහියෙන් තමා එලි බහින්නේ අක්කේ ..ස්තූතියි ඈ
............................................................................................................................
@hare :-)= මමත් අදටත් මහ රෑ තනියම ගමන් යනවා මට තනි වුණාම මතක් වෙන්නේ එදා සිද්දිය .. ආයේ නම් දැක්කේ නෑ ..
............................................................................................................................
@පැණි දොඩම් = ඒකා අපිට ආරූඩ උනා නම් තමා වැඩේ මම අහලා තියනවා සමහරුන්ට ඔය වගේ අය ආරූඩ වෙච්ච හැටි
............................................................................................................................
@පවනි = මමත් කනත්තක නයිටක් ගැහුවා ඒත් ඔහොම දෙයක් දැක්කේ නෑ සමහර විට හිත දුරුවල තැනදී තමා අපිට ඕවා පේනවා ඇත්තෙ

සංකල්ප said...

ඊට පස්සේ කට්ටිය රෙද්දේ රෙවිච්ච සාගර අයියව දකලා හොල්මනක් කියලා බය වෙන්නති නේ. හික්ස් :)
මට බය වෙනව වැඩිය කියවලාම හිනා ගියා.

පිස්සා පලාමල්ල said...

ඈ බන් බූලියේද අරක්කු ගෙනාවේ.... මුල්ල පටස් එහෙම නෙමෙයිනේ.... ?? හැබඇයි සඳරුවො උබේ ලියවිල්ලට මගේ ඇගෙන් හී ගඩු පිපුනා... මේ රෑ 12 වදින්න ඔන්න මෙන්න තියෙද්දි මාත් කියවපු උලව්ව... මම නම් ඔව්ව විශ්වාස කරන්නෙත් නෑ නැත්තෙත් නෑ... ඕනි පුකක් කියල ඉන්නවා... ඒ උනාට කතා ටිකක් මතක් උනා.. ලියන්න...

උබේ ලියවිල්ල සුපිරියි බන්....

පොත් ගුල්ලා said...

බොහෝ දුරට ඔය සිදුවීම සඳරු ඇතුළු යාලුවන්ගේ සිත් වල ඇතිවූ මායාවක් විය හැකියි.
මම නං තාම හොල්මනක් දැකල නෑ. විශ්වාසයක් හෝ අවිශ්වාශයක් හෝ නැහැ. ඒත් ප්‍රත්‍යක්ෂ නැතුව පිළිගන්නේ නං නෑ.
ඇත්තටම හොල්මන් ඉන්නවනං මට එකෙක් බලාගන්න ලොකු උවමනාවක් තියෙනව. පුළුවන් නං කතාකරන්ඩ උනත් කැමතියි. සඳරුගේ ගමේ ආවොත් චාන්ස් එකක් ලැබෙයිද?

පවනි said...

එහෙම වෙන්නත් පුලුවන්... ඒත් හොඳට බීල ඉන්න වෙලාවට ඇඟ කෙසේවෙතත් හිත නම් අපෙ හයියයි නෙ බං.... අනේ මංද.... :)

said...

මන් හිතුවේ බීපු වෙලාවට හොල්මන් පේන්නේ නැහැ කියලා :-D

චතුවා said...

හොල්මන් අවතාර මම විස්වාස කරන්නෙත් නෑ.. ඒත් අවිස්වාස කරන්නෙත් නෑ. ඔය රෑට කළාම හොල්මන් එනවයි කියන වැඩ මම කරලා තියෙනව සමහර වෙලාවට. ඒත් තාම නම් හොල්මනක් සෙට් වුනේ නෑ.. හනේ මන්දා ඉතින්..

හෙඩ් බාස්ට වෙච්ච සීන් එකනම් කැත සීන් එකක්! හික්

සිතුවිලි නිහඬයි said...

අම්මෝ සඳරු කියවනකොටත් බය හිතෙනවා....ඔයින් ගියා ඇති....ඒ සර් එහෙම හොල්මනක් වෙලා තියෙන්නේ ඇයිද දන්නේ නෑ

A.Wickz said...

මචං සඳරු.......
මේකනම් සිරාම සිරා.මම කැමතිම ජාතියේ ලිපියක් .මම සාමාන්‍යයෙන් කමෙන්ට් කරන්නෙ නැති වුණත් මේ බ්ලොග් එකේ හැම ලිපියක්ම කියවලා තියනවා . අන්තර්ජාල ගත වුණොත් මම අනිවා ඕපන් කරන ටැබ් එකක හිස් අහස තියනවා. ඒ අලුත් කතාවක් බලාපොරොත්තුවෙන් . මගේ වයසේ මට වගේම දේවල් සිද්දවුණු තවත් කොල්ලෙක් ලංකාවේ (නැගෙනහිර පළාතේ වෙන්න ඕන ) ඉන්නව කියල හිතෙන එකත් ලොකු දෙයක් .මම තනි නැහැ කියලා හිතෙන්නේ හිස් අහස කියවද්දි .උඹේ බ්ලොග් එක මම දැකපු හොඳම බ්ලොග් එක.සත්තයි! සුබ පතනවා හැමදාමත්.

ශ්‍රී said...

නියමයි මචං! සිරාවට ලියලා තියෙනවා... කියවනකොට ඇඟේ මවිල් කෙලින් වුනා!

Anonymous said...

aney ban tho pacha vena eka nawaththanne kavadda kiyhanko.. edata avilla me blog eka kiyavanna... mokadda ban umbe jeewithe..isella oya bona eka nawatthapiya..avrudu 22 y ne yako, uguduwa vage bonne?

short.kutz said...

හපොයි..මේ මහා රෑ 12 ත් පහුවෙලා තියෙන වෙලාවේ මම මේක මොකට කියෙව්වද මන්ද? ශික්..අම්මප දැන්නම් හිතෙනවා මොකට කියෙව්වද කියල :s

රන්සකු said...

මම නම් සොහොන්වල් තනියම ඉඳල තියෙනවා මහා රෑ. ඒත් දැක්ක හොලමනක් නැහැ. එක දවසක් දෙකක් නොවෙයි.
අනිත් කරණය මම දන්නා විදියට ආටා නාටිය කියන්නේ පාන්දරට. අලුයම 2 3 වගේ වෙලාවට. ඔය කියන වෙලාව වෙනකොට කියන්න ඕනේ ධම්ම චක්කය, වගේ එකක්. එක නිසා මේ කියන කතාව ප්‍රබන්ධයක්‌ වෙන්න ඕනේ.
එහෙම නැත්නම් රමයා වයින් නිපදවන තැනට උඹල ගිහින් තියෙනවා. ඇත්ත කියපන්. පන්න නේද කොටුව රම්‍යා අක්කට. බොලා ගිය අනාචාරයේ උඹලට කලින් ගිය එකා උඹලව බය කර.

scopian said...

Macho, mata sinhala typin behe.
Eth mata oya puhu kos gaha mulata yanna asay.
Puluvan nam mata mail karapan - netadmin.lk@gmail.com
Tks
BS
cc

Nirmal said...

Sadaru Puwak Ehema Onada?????????

ගොඩගමයා said...

හොල්මන් ගැනනම් විශ්වාස කට්‍රන් න
ලියන ක්‍රමය නම් සුපිරි..ජය

nish said...

කතාව ලියල තියන විදියට නම් හොල්මන් වෙනවා. ගොඩක් හොඳය්. අද ඊයේ තමය් මට හිස් අහසට පියාබන්න ලැබුනේ. තාම කියවගෙන යනවා.

ජය වේවා.

nish said...

කතාව ලියල තියන විදියට නම් හොල්මන් වෙනවා. ගොඩක් හොඳය්. අද ඊයේ තමය් මට හිස් අහසට පියාබන්න ලැබුනේ. තාම කියවගෙන යනවා.

ජය වේවා.

Anonymous said...

Mn nm hodhatama hina una, maru kathawa, hisahasa balala vadyenma hina uune me post akata....
Ikmanata tawa katha oneeeeeeee.... my 1St comment....

Post a Comment

තැන්කූ බං