31.10.11

මහ වරුසාවට හේදුණු පළමු ප්‍රේමයේ මතකය. "ධනංජනී"



දා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා . වෙලාව උදේ දහයට විතර ඇති .වටින් ගොඩින් අහස කලු කරගෙන ටිකක් විතර තදින් වැස්සකුත් වැටෙමින් තිබුණා . හොඳට නොතෙමී ඉන්නට තරමට ලොකු කුඩයකුත් ඉහළ ගත්ත මම ඒ වැස්සෙම ටවුන් එක පැත්තට ගියා . කුඩේ නිසා මගේ දණහිසෙන් ඉහළ කොටසට වතුර බින්දුවක්වත් ඉහුණේ නෑ ඒත් කකුලේ ඇඟිලි නම් දියබුං ගහමිනුයි හිටියේ . සපත්තු ඇතුළට වතුර ගිහිල්ලා . ආයෙත් වැහි කාලේ ඇවිල්ලා .

උසාවිය ඉස්සරහා හැමදාම අවුවේ වේලි වේලි ඉන්න සුදු ඉරි අයියලා දෙන්නා මේ මහ වැස්සෙත් වෙනදා වගේම නොසැලී ඉන්නවා. වැහි කබා පෙරවගත්තු උන් දෙන්නා නිකම් හැරී පොටර් ෆිල්ම් එකේ මන්තර ඉස්කෝලේ ඉන්න ගුරුවරු වගේ . කොයිතරම් වැස්සත් උන් දෙන්නා කොහොමද රාජකාරිය නොකර ඉන්නේ ?. අවුව, වැස්ස රෑ දහවල් එකයිලුනේ උන්ට.!

"ආ..! සඳරු මලේ කොහේද මේ වැස්සේ ?"

ලොකු ට්රැෆික් අයියා මගෙන් එහෙම ඇහුවෙ ! ඌ හැමදාමත් මගෙන් කොම්පියුටර් ඉගන ගන්න එන බුදු ෆිට් එකක් නිසා .

"
මේ අහරෙට යනවා අයියේ ! මම එතනින් ඉක්මනට කැපුනා .”

ටවුමට ආපු මම ටවුම සිසාරා යන්න බැල්මක් හෙළුවා .මගේ ඇස් කෙනෙක්ව දැකගන්න ආසාවෙන් බලාන ඉන්නවා !

ටවුන් එකේ ඔරලෝසු කණුවට දකුණු පැත්තට වෙන්න ලොකු අන්දර ගහක් තියනවා . කෙළින්ම බැලුවාම නම් තියෙන්නේ වැව . ඉදිරියෙන්ම මැර බුවාලා ඉන්න යකඩ බජාර් එකත් . ඒ අසලම බස් නැවතුම්පලත් පේන්න තියනවා . ඒත් මගේ ඇස් හෙවුවේ එවුවයිං එකක්වත් නෙවේ .මම පණ දාගෙන මගේ බෝල ඇස් කරකවමින් හෙවුවේ එයාව .

වම් පැත්තේ අන්දර ගහ යට කුඩයක් ඉහළගෙන , තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක කතා බහ කරමින් ඉන්න ධනංජනීව අන්තිමේදී මට හමු වුණා . එකි තවමත් මාව දැකලා නැහැ ! . ඒකිගෙයි මගෙයි අතර පරතරය මීටර් සීයකට වැඩියි . කලිසමේ චූ කරගන්න පොඩි සන්දියේදී පටන් දැන අඳුනගත්තු නිතර නිතර හමු වුණු . අසල් වැසි ගෙදර ධනංජනී කෙල්ලව මට මහ වැස්සක් මැදදී විතරක් නෙවේ . සහරා කාන්තාරේ චන්ඩ වැලි කුණාටුවක් මැද්දෑවේ වුණත් අඳුනගත්තැහැකි ඒ විතරක් නෙවි. තිත්ත කළුවරක, කෙල්ලෝ සීයක් අතර හැංඟිලා හිටියත් මට ධනංජනීව අඳුනගන්න පුළුවන් .

මම අඩියට දෙකට වම් අත පැත්තෙන් තිබුණු ෂෙඩ් එකට දිවුවා .

මචං මේ කුඩේ පොඩ්ඩක් තියාගනිංකෝ මම එන ගමං ගන්නම්. මම එහම කීවම එතන තෙල් ගහන මගේ මිත්රයා හිතන්න ඇති මට පිස්සු හැදීගෙන එනවා කියලා

සයිඩ් බෑග් එකත් පිටිපස්සට කරගෙන උඩ සාක්කුවේ තිබුණු ෆෝන් එකත් ඒකටම ඔබාගෙන . මහ වැස්සෙම ධනංජනී ඉන්න දිහාවට දිවුවා . ඒත් ඒතරම් වේගෙන් නම් නෙවෙයි ටිකක් හෙමින් . මම ලැසිම ලැසිම ලැසි ගමනින් ඒ කෙල්ලෝ ඉන්න තැනට කිට්ටු වුණා . ළඟට කිට්ටු වුණාම වේග ටිකක් වැඩි කළා .

අනේ සඳරු මොකටද තෙමීගෙන ආවේ ? ඉක්මනට එනවා මෝඩයෝ කුඩේ ඇතුළට .

ඉබ්බා දියේ දැම්මාම මොනවාදෝ කීවලු ! මමත් කුඩේ යටටම රිංගුවා එතකොටම ධනංජනීගේ යෙහෙළියෝ දෙන්නා එයාට අත වනලා යන්න පිටත් වුණා.අන්තිමේදී මමයි එයයි කුඩේ යට තනි වුණා .පහළින් ගලාන යන කුණු කාණුවේ ගන්ධස්සාරේ ධංජනීගේ කොලොන් එකේ සුවඳට යටපත් වුණා .මගෙ හිතේ සතුට උතුරනවා !

එක ලඟ ගෙවල් දෙකක ජීවත් වුණත් . නිතර දෙවේලේ හමුවුණත් ඉස්සර නිතරම මේ වගේ කුඩේ යටින් ගමන් බිමන් ගියත් අපි ආයේමත් මේ වගේ ලං වුණේ කොයිතරම් කාලෙකට පස්සෙද ? මගෙ බඩ බොක්ක කූල් වෙලා ගියා .ඒත් ඒ වැහි වතුර වල සීතලට නම් නෙවෙයි .

මේ කතාව පටන්ගත්තේ මම මහ වැස්සේ ලොකු කුඩයක් යටින් එන සීන් එකෙන් නම් නෙවෙයි . කතාව පටන්ගත්තේ එදා උදේ හයට විතර !

ඒ මොහොතේ මම ඇඳේ පෙරළිලා හොඳටම බුදි . සීතල නිසා ඔළුවේ ඉඳන් පොරවං හිටපු මට ෆෝන් එක රිං වෙන එක මහම මහ කන්දොස් කිරියාවක්ම වුණා . කීප වතාවක්ම ෆෝන් එක දිහා බලනෙවත් නැතුව ෆෝන් එක කට් කරලා දැම්මත් තුන් වෙනි වතාවේ මම ෆෝන් එක දිහාවේ බැලුවා කවුද මේ තදියම් කාරයා කියලා හිතෙන් බනින ගමන් . ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ Dani කියලා වැටිලා තියනවා දැක්කා විතරයි මගේ නිදිබර සෝමාරි ගතිය අතුරුදන් වෙලා ගියා .

හලෝ

"
ඔයා අද වැඩට යනවද ?”

ඇයි ධනී ?”

මේ..! මට බඩු වගයක් ගන්න තියනවා . අනුත්තරාටයි, සඳමාලිටයි අද වෙන ගමනක් යන්න තියනවාලු ඉතින් ඔයාට බැරිද පැයකට මගෙත් එක්ක ටවුන් එකට යන්න එන්න .

"
මම එන්නම්

ඔයා එහෙනම් ටවුමට එන්න මම ඔරලෝසු කණුව ගාව ඉන්නම් .

ඒ ඉරිදා දවසක් . අනිත් අයට නිවාඩු වුණාට ඉරිදා කියන්නේ මට වැඩ වැඩිම දවස . ඒත් මේ කෙල්ලගේ ඉල්ලිම අහක දාන්න මට ඒ මොහොතේ හිත හදාගන්න නම් බැරිවුණා . ඒ මමත් අනිත් එවුං වගේම මනුස්ස පරාණයක් හින්දා වෙන්නැති..! සීතලේම වතුර බාල්දි දහයක් දොළහක් නාගත්තු මම බස් එකක එල්ලිලා පැය භාගයක් ඇතුළත ටවුන් එකට ගියා . ධනංජනීව මුණ ගැහුණා . ඉතින් මම නතරවුනේ එයාගේ කුඩේ යට .

ධනංජනී මගෙන් උදවුවක් ඉල්ලුවේ අවුරුදු දෙකකට විතර පස්සේ .ඉතින් කොහොමටවත් ඒ උදවුව නොකර ඉන්න මට පුළුවං කමක් තිබුණේ නෑ . ධනංජනී කියන්නේ මම ජීවිතේ වැඩිම කාලයක් ඇසුරු කරපු කෙල්ල. මගේ ළඟින්ම හිටපු කෙල්ල. අපි දෙන්නට තිබුණේ හරිම සුන්දර ළමා කාලයක්. මගේ ගෙවල් ගාවම තමයි ධනංජනීලෑ ගෙවල් තිබුණේ . ඒකි පොඩි කාලේ කොයි වෙලේ බැලුවත් හිටියේ මගෙත් එක්ක .මමත් එහෙමයි ඒකිත් එක්කම හිටියා . ටිකක් ලොකු වුණාමත් අපි දෙන්නා එකට හමු වුණා , නිතර කතා බහ කළා. එත් කලින් තිබුණු ලෙංගතු කම අපි දෙන්නා අතරින්ම ටික ටික ඈත්වෙලා තිබුණා . ඔය කාලෙදී මම ධනංජනීට පපුව පිරෙන්නම ආදරේ කරා . ඒත් ඒ ආදරේ මම කවදාකවත් එළියට දැම්මේ නෑ .

මේ පහුගිය දවසක දංනජනීලෑ අම්මා සහ මගේ අම්මා දෙන්නා අපි දෙන්නව ජෝඩු කරන්නත් පොඩි උත්සාහයක් ගත්තා . ඒත් ඒ වෙනකොට ධනංජනී සහ මම හිටියේ පොඩි හිත් අමනාපෙකින් ඒ වගේම . ඒක නිසා මම කෙළින්ම ඒ යෝජනාවට පයින් ගැහුවා ඊට පස්සේ මට ආයෙමත් ධනංජනීව හමුවුණේ මේ කුඩේ යටදී ..

ඔලුවේ වතුර ලේන්සුවෙන් පිහින ගමන් මම හොරැහින් ධනංජනී දිහෑ බළුවා .දෙයියනේ ඒකි ලස්සන වෙලා . කොණ්ඩෙත් ලස්සනට කඩා හැලෙනවා . මේ වගේ කෙල්ලක් එක්ක කුඩේ යටින් යන මාව දකින කොල්ලෝ මට ඉරිසියා කරාවි !. ඒ තරම්ම ධනංජනී ලස්සනයි. දකින ඕන කොල්ලෙක්ගේ බැල්ම පැහැරගන්න තරම්ම ඒකි ලස්සනයි. ඒත් මම මේ කෙල්ලට ආසා කළේ මේකි හොටු පෙරාගෙන මඩ ගාගෙන සොල්ලම් කරන පුංචි කාලෙදීමයි..

"
අපි යමුද ?

මගේ කල්පනා ලෝකේ සවාරිය ඉවර වුණේ . ධනංජනී එහෙම ඇහුවට පස්සෙයි

"
සඳරු ඔයා අද වැඩට යනවා නේද ?

"
නෑ අද මට එන්න වෙන්නේ නෑ අසනීපයි කියලා මම උදෙන්ම කෝල් එකක් දුන්නා .

"
බොරු කියන්න දන්නෙම නෑ !

"
නැතුව බෑ නේ කෙල්ලෙක් එක්ක ටවුන් ආවා කියලා නිවාඩු ගන්නයැයි"

"
ඒකත් ඇත්ත .

"
ඉතින් ඔයාට මොනාද ගන්න තියන බඩු . මිරිස් ගල් , වංගෙඩි වගේ බර දෙයක් ගෙදර ගෙනියන්න ඕන ඇති ඒකනේ ඔයා මට එන්න කීවේ .

"
ඒව නම් නෑ ඒත් මට බඩු ගොඩක් ගන්න ඕන"

"
තාත්තගේ පඩියට විදින්න ලැජ්ජ නැද්ද ?”

"
හන්නකෝ ලබන මාසේ මම බඳිනවා .! ඉතින් බඩු ගන්න තියනවා .

මහ හඬින් ගොරවලා අකුණක් ගැහුවා .හැබැයි ඒ වැහි බර අහසේ නම් නෙවේ මගේ පපුව ඇතුළේ.එහෙනම් ඒකද අවසානේ ?

ධනංජනීගේ කටින් පිටවුණු ඒ කියත් පටියක් වගේ තියුණු උත්තරේට . මාව සම්පූර්ණයෙන්ම ගොළු වුණා . හිත කඩාගෙන වැටුණා .එක අතකින් මට මෙහෙම වෙන්න ඕන . හැමදේකටම වැරදි කාරයා මම . මම කවදාවත් මගේ ආදරේ එයාට කියලා නෑ .එයාලෑ ගෙදරින් යෝජනාවක් ගෙනාවම ඒකටත් පයින් ගැහුවා . ඉහළට ඇද ගත්තු හුස්මක් හෙමිහිට පහළ දාන අතරේ මම හිත හදාගත්තා .

අපි දෙන්නම රෙදි කඩයක් ඇතුළට ගියා . එළියේ මහ වැස්සක් වහිනවා . අහසත් අඬනවාද මන්දා ? ධනංජනීගේ මූණෙන් අමුතු දුකක්වත් අමුතු සතුටක් වත් පේන්නේ නම් නෑ .ධනංජනී පැයක් විතර ඒ කඩේ ගත කරලා රෙදී මීටර කීපයක් අරගත්තා .

මේවා ජනෙල් දොරවල් වලට දාන්නයි ගත්තේ. එයා එහෙම කියනවා .

ඊළඟට ධනංජනීගේ දෙපා නතර වුණේ රත්තරන් බඩු කඩේක.

"
මේ ඔයා මේවත් ගන්න සල්ලි ගෙනාවද ?

"
අපෝ නෑ අම්මා මට කිවුවා ඩිසයින් එකක් තෝරගෙන එන්න කීවා මම මේ ඒකට යන්නේ .

"
මම එළියේ ඉන්නම් . ! “

"
හ්ම් ඔයාගේ කැමැත්තක්"

ධනංජනී එතනත් පැයක් විතර ගත කළා . කිසිම රත්තරන් බඩුවක් මිලට ගත්තේ නැතත් කඩේ තිබුණු හැම අස්සක් මුල්ලක් නෑරම එයා අවුස්සලා බැලුව බව නම් මම දැක්කා . ඊට පස්සේ අපි ආයෙමත් පිටත් වුණා .ධනංජනීගේ අතේ තිබුනු බර රෙදි මල්ල මම අතට ගත්තා . කෙල්ලෙකුට බර පටවලා කෝමද ?

"
දැන් ඉතින් මට වෙඩින් කියන්නේ නැද්ද ?” හිතේ ඇවිලෙන කෝටියක් දුක් ගින්දර තද කරන් මම එහෙම ඇහුවේ එන්න කියලා කීවත් නොගිහින් ඉන්න කලින්ම තීරණය කරගෙනමයි.

"
මොකද නැත්තේ ? තවම කාඩ් ගහලා නෑ මම ඔයාට වෙනම කියන්නයි හිටියේ .

"
දැන් ඉතින් කිවුව නේ ආයේ කාඩ් ඕන නෑ"

ධනංජනී නිහඬ වුණා .ඔන්න එතකොටම ධනංජනීගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා .

අනේ මේ කුඩේ පොඩ්ඩක් අල්ලගන්න

ධනංජනී එයාගේ හෑන් බෑක්කේ අවුස්සන්න ගත්තා . එයා බෑග් එක අස්සේ අත දාගෙන එහේට මෙහේට දඟලන දිහා මම ආසාවෙන් බලාන හිටියා .මේ තමයි අවසාන වතාව ආයේ මම මැරෙන තුරාවට මේ කෙල්ලට මේ තරම් ළඟින් ඉන්න බැරි වේවි .මේ සුවඳ මට විඳගන්න බැරිවේවි .අවුරුදු දහසයක් පරණ සම්බන්ධයක අවවසානයට මම ටික ටික කිට්ටු වෙලා .

"
හලෝ …… ඔවු ඔවු ………ආවා ආවා .. හ්ම් ..හ්ම් "

ඕක තමයි එයාගේ කෙටි දුරකථන සංවාදය ..ඊළඟට වෙන්න යන දේ මට ඉවෙන් වගේ දැනුණා . කමක් නෑ මම බබා වගේ ඉන්නම් ..මම එහෙම හිතන ගමන් හිත හදාගන්න ලොකු උත්සාහයක යෙදුණා .

"
මේ මේ සඳරු . අයියා මට බෑංක් එක ගාවට එන්න කියනවා මම යන්නද ?

"
එයා බෑංක් එකේද වැඩ . ?”

"
"

"
යමු මමත් එන්නම් මේ බඩු ටික ගෙනියන්නත් එපෑය "

"
අනේ එපා සඳරු ඒක හරි නෑ එයා ටිකක් වෙනස් ඔය ටික මම ගෙනියන්නම් "

"
හෙමද ? එහෙනම් මේ ටික ගන්නකෝ මම යන්නම් .

හිතේ තිබුණු ආදරයයි ඒ ආදරය උඩටම වැටුණු වෛරයයි . ලැජ්ජාවයි මේ තුනම වහින වැස්සට හේදිලාම පලයං කියලා හිතාගෙන මම කුඩෙන් එළියට ආවා. මොරසූරන මහ වැස්ස මැදටම.

"
සඳරු මම ඔයාව එහා පැත්තට ගිහින් දන්නම් තෙමෙන්න ඕන නෑ "

"
නෑ ධනී ආවෙත් නාගෙන නේ නාගෙනම යන්නම් ..

බෑග් එකේ තියන ෆෝන් එක තෙමෙන්නේ නැති බව මට විශ්වාසයි . මම ආපු පාර දිගේ වැස්සෙම ඇවිදගෙන ගියා . “තව වැස්ස වැඩි වෙයං තව වැඩිවෙයං” මම හිතෙන් මිමිනුවා .

මට හිතෙනවා මම ජීවිතේ කොහේ හරි තැනක් වරද්ද ගත්තා කියලා . ඒත් ඒ වරද ආපහු හදන්නවත් ඒ වරද මොකද්ද කියලා හිතන්නවත්. මට පුළුවන් කමක් නෑ . මම ධනංජනීව අවුරුදු ගාණක්ම ඇසුරු කළා . කාලයක් පපුව පිරෙන්න ආදරේ කළා තව කාලයක් වෛර කළා .අපි දෙන්නගේම ගෙවල් වල උදවිය හිතුවේ අපි දෙනට දෙන්නා දෙන්නා ආදරේ කරාවි කියලයි .ඒත් එහෙම වුණේ නෑ. දැන් මට ඒ කෙල්ලට ආයේ බනින්නවත් අවස්ථාවක් නෑ . ලබන මාසේ දවසක ඒකි වෙන ගෙදරක පදිංචියට යාවි . කමක් නෑ මම ආයේ ඒකිට වෛර කරන්නෙත් බැඳගෙන ආදරේ කරන්නෙත් නෑ .

එදා ඒ වැටෙන වැස්සේ තෙමීගෙන යන අතරේදී මම තීරණය කළා ධනංජනීගේ මගුල් ගෙදර නොගිහින් ඉන්න . කෙල්ලෙක් නිසා දුක් වෙන කෙනෙක් නම් නෙවෙයි මම ඒ වුණත් මේ ලියන මොහොතෙත් මේ ගතවුණු සතිය පුරාමත් මගේ පපුව ඇතුළේ දඟලන අමුතුම හැඟීමට දෙන්න නමක් නම් මට හිතාගන්න බෑ ..! මම හැම අතකින්ම හිරවෙලා . මට පපුව පිරෙන්න ආදරේ කරන කෙල්ලෙක් මට දැන් ඉන්නවා ඉතින් ආයේ ධනංජනීට ළංවෙන්නත් මට බෑ .

දවසක්දා මම මටම පොරොන්දු වුණා ධනංජනීට කලින් මම කසාද බැඳලා ඒකිගෙන් පලි ගන්නවා කියලා . ඒත් පැරදුනේ මම .පරාජය භාරගත්තු මම මම මේ පැතුම කරන්නේ පිරිසිදු හිතකින් නම් නෙවේ නොකර බැරි නිසා.මගේ හිතේ දුකක් නෑ මේ ලිපිය ලීවෙත් මේ මාසෙට ලිපි හතක් නොතිබුණොත් ඒක අඩුවක් වගේ දැන නිසාම විතරයි .

සුබ මංගලම් ධනංජනී ..!!!

/ලි . හඬන සිත නිවන මල්පැනි නැතුව බැරි හැඩයි . !


30.10.11

කාපට් පාරට පෙම් බැඳි අප්පු හාමි

ගමේ හරක් බලන එකයි
කුලියට වැඩ කරන එකයි
ඉඳ හිට පොල් කඩන එකයි
මගෙ රැකියාව

ආප්පු හාමි නමයි මගේ
ඇල ළඟ පැල් කොටේ මගේ
ගෙවෙණා ජීවිතේ මගේ
මට එපා වෙලා

ගමෙන් එපිට යන්න හිතයි
වෙනසක් දැක ගන්න හිතයි
සල්ලි මිටි බඳින්න හිතයි
දිවිය පුරාම

එහේ දිවිය හරි සැපයි ලු
හමනා සුළඟද සැපයි ලු
හිඟමන් යැද්දත් සැපයි ලු
කොළඹ ජවිතේ

බෝඩිමක් එහෙම හොයලා
පොඩි රැකියාවක් හොයලා
කොළඹ සිරි බලා හොයලා
එන්නට හිතුණේ

දහසක් පැතුමන් අරගෙන
කුකුළත් අතකින් අරගෙන
උපන් ගමෙන් සමු අරගෙන
මම කොළඹ ගියේ

පැය දහයක් බසයෙ ගිහින්
ත්රීවීලර් දෙහෙක ගිහින්
පයිනුත් ටික දුරක් ගිහින්
කොළඹට ආවේ

කොළොම් පුරේ සිරි බලන්න
ගෝල් පේස් එක බලන්න
හෙළු වැලි සුද්දියො බලන්න
මම පිටත් වුණේ

මූණ පුරා තෙල් ගාගෙන
වෙරළ පුරා සූ ගාගෙන
සිරුර පුරා වැලි ගාගෙන
ගෑනු නටනවා

ඉනේ තුවක්කුත් ගහගෙන
කටේ සිගරටුත් ගහගෙන
අරක්කුද කුඩුත් ගහගෙන
පිරිමි නටනවා

මේ විවිධත්වය ඇතුළේ
නගරේ දියුණුව ඇතුළේ
මගේ පිරුණු හිත ඇතුළේ
හිනා මල් පිපෙයි

කුඹුක් ගහේ හෙවන එපා
වෙල් එළියේ සුවය එපා
ගමේ සිසිල තවත් එපා
මේ සුව කදිමයි

ලිපේ ඉදෙන බතත් එපා
අම්ම උයන හොදිත් එපා
ගමේ කෑම තවත් එපා
මැක් ඩොනල් වටී

බැහැගෙන යන හිරුට වඩා
තරු පායන රැයට වඩා
නැග එන පුන් සඳට වඩා
බලුප් ලස්සනයි

ලැජ්ජ බයට හැදුණ කෙල්ලො
දිය රෙදි ඇඳ නාන කෙල්ලො
ගවුම් දිගට අඳින කෙල්ලො
මෙහෙ නම් නෑ නේ

නිතඹ පෙනෙන ලෙස කදිමට
කොටට සාය ඇඳ කදිමට
ලැජ්ජා බය දුරැර කදිමට
කෙල්ලො දස අතේ

ගමේ තිබුණු ජරා පාර
කටු කොහොලින් පිරුණු පාර
වෙනුවට හයි ලෙවල් පාර
නගරෙ තියනවා.

නිදාගන්නටත් පුළුවන්
බත් දා කන්නත් පුළුවන්
වේගෙන් යන්නත් පුළුවන්
මේ හොඳ පාරේ

ආසයි අත ගා බලන්න
ඉඳගෙන වැතිරී බලන්න
හිතුණා සිපගෙන බලන්න
කාපට් පාර

බඩු පැටවූ ටිපර් එකක්
චෙරි කිවු කිවු කාර් එකක්
ගියා ට්රේල් බයික් එකක්
මගේ පිට උඩින්

ගමේ ඉන්න පින නැතුවා
මෝඩ මට බෙහෙත් නැතුවා
තවත් හුස්ම මට නැතුවා
මා මියැදෙන්නේ

උපන් ගමට බණිනු එපා
මුල අමතක කරනු එපා
පාර නම් ඉඹින්න එපා
කිසිදා මිතුරේ



26.10.11

ගාමනී චිත්‍රපටියේ නොතිබුණු , ගෝනගල ගමේ සැඟව ගිය ඇත්තම ආදර කතාව 2



"පිස්සුද බං . මම ඒකිට මීටර් හතරක් විතර පරතරයක් තියාගෙනයි හැම වෙලාවෙම හිටියේ . උඹ දන්නවානේ අපේ ගමේ බුවාලගේ හැටි ! කෙල්ලෙකුගේ ඇඟේ වැරදීමකින් හැප්පුණත් ඇති පදයක් හදන්න . උඹට මතකද ඒ කාලේ කෙල්ලක් සහ කොල්ලෙක් අතරේ "ඔයා" කියන වචනේ හුවමාරු වුණොත් වෙන දේ ?

"දන්නවා දන්නවා !! උඹ ඔය රට බයිලා නොකියා කතාව කියපන්කෝ"

"මම දවස් ගාණක් ඔය විදිහට මාලනීගේ පිටිපස්සෙන් ඇවිදං ගියා .අතර මග තුම්මං හන්දියේදී අනෙක් කොල්ලෝ ටිකත් මට එකතු වෙනවා ඉතින් අපි කට්ටියම ඉස්කෝලේට ඇවිදං යනවා . මම පස්සෙන් එන විත්තිය මාලනී දැනං හිටියා. ඒකි හොරෙන් පිටිපස්ස හැරිලා බලලා අනෙක් කෙල්ලෝ එක්ක හිනා වෙන හැටි මම නිතරම දැක්කා . අපේ සෙට් එකේ ඒ දවස් වල හිටපු කොල්ලෝ එකෙක්වත් අද කාලේ උන් වගේ ඕන්නැති මෝඩ ජෝක් දාන්න හදන උන් නෙවේ . ඉතින් උන් එකෙක්වත් කට හොල්ලන්නෑ මගෙත් එක්ක හෙමීට හිනා වෙවී එනවා විතරමයි . ඒත්‍ දවසක් මචං මට ඔය විදිහට පස්සෙන් ගාටලාම එපා වුණා . ඇයි බං ! මේකේ තේරුමක් තියෙන්න එපෑය . මේ කෙල්ලට මගේ හිතේ තියන දේ කියලා ලියුමක් දෙන එක හොඳයි කියලා ගොඩ දවසක ඉඳන්ම හිතිලා තිබුණා . ලියුමක් ලියලා ඒක මැදට ගැට පිච්ච මලක් දාලා සුවඳ කරලා ගණිතය අච්චුපොත මැද හිරකරගෙන හිටියත් ඒක දෙන්න තිබුණේ පුදුම බයක් බං ..”

"ඒකනේ බොල මම කීවේ ඕන වීරයෙක් කෙල්ල ඉස්සරහා බලු වෙනවා කියලා. !

"එහෙම බයක් නෙවෙයි බං මට තිබුණේ ! වෙන විදිහක බයක් .

"මොන විදිහේ ?

"කෙල්ල ගෙට වෙලාද නැද්ද කියලා මට සුවර් එකක් තිබ්බේ නෑ බං. ඒකි එතකොට අටේ නේ !”

මම මේසෙට හයියෙන් පාරක් ගහලා ටිකක් සද්දෙන් හිනාවක් දැම්මා . මම හිතුවේ සුරේට මල පයින්න ඇති කියලා . ඒත් මොහොතකින් මම දැක්කා පොරත් මගෙත් එක්කම හිනහ වෙන හැටි .

"හ්ම් හ්ම් දැං ඉතින් ඊට පස්සේ මොකද වුණේ ?

"මට ඔය ගැන හොයන්න ඕන වුණාට බං හොයන්න ක්‍රමයක් තිබුණේ නෑ. මොකෝ අම්මගෙන් , තාත්තගෙන් අහන්න කියලයෑ අම්මේ තාත්තේ අහවල් කෙල්ල ගෙට වුණාද? කියලා ! ඒත් දවසක් අපේ ගැංසියේම එකෙක් ඕක හොයාගෙන තිබුණා ඌ මට ඇවිල්ලා කිවුවා ඒකි ගෙට වෙලා මාස හතකටත් වැඩියි කියලා . ඔන්න ඕක ඇහුවහම තමා කාලෙකට පස්සේ මගේ හිතට සතුටක් ආවේ .ඊට පස්සේ මම අනික් පහුවදා උදේ වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියා .

"උඹට ඉතින් පහුවදාට එළි වෙනකම් නින්දක් නැතුව ඇති නේද ?

"ඔවු නිදා ගත්තේ නම් නෑ ! හැබැයි මාලනීව මතක් වෙලානම් නෙවේ මට නින්ද නොගියේ !

"එහෙනම් ?”

"එදා රෑ පියංගල පොලිස් පෝස්ට් එකට කොටි ගැහුවා . ඒ නිසා අපේ බන්ටෙකේ ගෙවල් වල හැමෝම ටිකක් පහළට ගිහින් කැලේ හැංගිලා හිටියා. . ගෙදර එනකොට පාන්දර තුනයි !

පියංගල පොලිස් මුරපොළ පිහිටලා තිබුණේ සුරවීරලෑ ගමේ ඉඳලා තව ගම්මාන දෙකකට විතර දකුණෙන් . එතන හිටි පොලිස් නිලධාරින් රැය ගෙවුවේ කොහොමද කියන්න මම තවම දන්නෑ .ඒ මුරපොළේ සේවයට යන්න ඒ කාලේ ගම් පළාතේ හිටපු පොලිස් නිලධාරීන් පුදුම බයක් දැක්වුවා .ඒ මුරපොළේ හිටි සමහර නිලධාරීන් ගිනි අවියයි , නිල ඇඳුමයි බංකරේක අතැර දාලා රස්සාව අමතක කර දාලා ගෙදර ඇවිදින් හැංගිලා හිටපු අවස්ථා පවා මම අහලා තියනවා .

ජීවිතේට තියන ආසාව අනික් හැම ආසාවකටම වඩා ලොකුයිලු නේ ! . ඒ වගේම මට අද වගේ මතකයි මගේ තාත්තටත් ඔය පියංගල මරු කපොල්ලෙන් එපිටට යන්න බැරි වුණ හැටි .මට මැවිලා පෙනුණා පියංගල තාර පාර මැද වෙඩි උණ්ඩ හයක් වැදුණු තාත්තගේ මිනිය වැටිලා තියන හැටි .

සුරවීර ආයෙත් කතාව පටන්ගත්තා 

"වෙනදා නම් කැලේ ඉඳලා ආපුවාම මම ආයේ ඉස්කෝලේ යන්නේ නෑ ඇඟේ පතේ අමාරුවට තෙල් ටිකක් ගාගෙන දවල් වෙනකම් හොඳට නිදියගන්නවා . ඒත් එදා මට ඉස්කෝලේ නොගින්ම බැරිවුණා ඇස් දෙකෙන් නිදි මත බේරි බේරි මම වෙනදා වගේම ඉස්කෝලේ ගියා .ඉස්කෝලෙට යන අතරමගදිත් මම හිතුණා අද මාලනී නෑවිත් ඉඳීද කියලා .. මගෙ කකුල් වෙවුලුවා බං ඒ වෙලාවේ ..හැක හැක හැක "

සුරවීර උගෙ ගිරෙහෙනි හඬෙන් හිනා වුණා. මට නම් ඒ මොහොතේ හිනා නොගියේ මම සුරවීර කියන කතාවට තදින්ම හිත යොමු කරගෙන සිටි නිසා වෙන්නැති . සුරංගනා කතාවක් රස විඳින පොඩි එකෙක් වගේ මමත් සුරවීර කියන මේ කතාව ආසාවෙන් අහං හිටියා .

"මගෙ වෙලාවට දෙයියෝ බැලුවා වාගේ කෙල්ල ඉස්කෝලේ ඇවිදිල්ලා තිබුණා . . ඒකි මමයි තෝයි වගේ කම්මැලි නෑ යකෝ ! ඒකි කොටි නෙවේ අලි ගහනවා කීවත් ඉස්කෝලේ කට් කරන්නේ නෑ ඒකි සිස්සත්තෙත් පාස්.”

"එහෙමද ?”

"ඔවු ඔවු .මම මචං පොඩ්ඩක්වත් පමා වුණේ නෑ . උදේම කෙල්ලත් එක්ක කතා කරන එක හොඳයි මොකද ප්‍රෙස් පිටනේ බං ! අනික දවල් වෙනකොට දාන දාඩිය පොල්ල උඹ දන්නවානේ ? ඔය වගේ දාඩිය දාගෙන, මුට්ට කරගහන එකෙක් වගේ කෙල්ල ගාවට යන්න මම කැමති වුණේ නෑ. ඉතින් මම බුදුන් වඳින්නත් කලින්ම අට වසර පන්තියට ගියා .ගුරු මේසෙට මේස රෙද්ද එල එලා හිටි කෙල්ල ගාවට කිට්ටු වුණා .. ඊට පස්සේ මචං මම ලියුමත් දුන්නා ..

"ඒකි ගත්තද ?

"මුලින්ම ඒකි මෙහෙම ඇහුවා මේ මොකද්ද අයියේ ? කියලා මම කීවා ගන්නකෝ කියලා ඊට පස්සේ ඒකි හිනාවකුත් දාලා ඒ ලියුං කෑල්ල අරං අතේ තියාගත්තා

"උඹට ඉතින් රජ වුණා වගේ දැනෙන්න ඇති ?

"මේ මොනා කියනවාද බං ! මම ඒකිට හෙමීටම කීවා මට උත්තරයක් ඕන කියලා . ඒකිත් ඔළුව වැනුවා . ඉතින් මගේ හිත දැන් දන්නවා වැඩේ ගොඩ කියලා . මචං මම නම් වැඩේ ගොඩ යන බව කලින් ඉඳන්ම දැනගෙනයි හිටියේ . ඒත් මම මේකි ටිකක් පොඩි නිසා තමයි මේක කල් දදා හිටියේ..
"තව කොට කරනවද ? නැත්නම් මේ ඇතිද ?

කතාව ටිකකට නතර කරපු සුරවීර මගේ ඔළුව පිටිපස්සට පොඩි කණ්ණාඩියක් අල්ලන ගමන් තමයි එහෙම ඇහැවුවේ.

"ඔය ගාන හොඳයි .

"උඹ දන්නවා ඇතිනේ ! කෙල්ලෙක්ව සෙට් කරගත්ත අලුත කොල්ලෙකුට දැනෙන ගතිය මොනවගේද කියලා . උඹට කියන්න ඒ දවස් වල මම ඉස්කෝලේ ගියේ එක් සාක්කුවක පනාවයි අනික් සාක්කුවේ කණ්ණාඩියයි දාගෙන .අනිත් එවුං මූණවත් හෝදන්නේ නැතුව ඉස්කෝලේ එනකොට මම නම් හොඳ පිළිවෙළට ඉස්කෝලේ ගියා .ඒක හින්දා මට එක සැරයක් අහවල් හෝටලේ අයිතිකාරයාගේ දුව හිටං ලයින් දදා හිටියා ..

"අනේ මේ කතාව කියහංකෝ බං පම්පො පාර පැත්තකට දාලා" .මට එහෙම කියන්න හිතුණත් ඒ සිතිවිල්ල වචන වලට පෙරළුණේ නෑ 

"කොහොම හරි ඉතින් මම අනික් පහුවදා වෙනදටත් වඩා උදෙන් ඉස්කෝලේ ගියා . මම ඉස්කෝලෙට යනකොටයි දැක්කේ කෙල්ල මටත් කලින් ඉස්කෝලේ ඇවිල්ලා . මමත් ඉතින් වෙන එවුං නැති වෙලාවක් බලලා හෙමීට කෙල්ලට කිට්ටු කළා . මම දුර තියාම දැක්කා ඒකිගේ මූණේ හිනාවකුයි අතේ තනිරූල් පොතක කොලේකුයි ගුලි වෙලා තියන හැටි . මම ළඟට ගියාම කෙල්ල මට ලියමන දුන්නා . හවසට ගෙදර යනකොට මගදී පොඩ්ඩක් කතා කරන්න ඕනෙ කියලත් කිවුවා .”

"ඒ කියන්නේ වැඩේ ගොඩ ගියා . !

"හ්ම් වැඩේ නම් ගොඩ. මම මාලනීව ගෙදර යන අතර මගදිත් හම්බ වුණා . මම ඒකිට ඉතින් මගේ හිතේ තිබුණු සේරම දේ කියලා දැම්මා . ඔන්න ඔය විදිහටයි මම කෙල්ලගේ හිත ඉල්ලගත්තේ .

"ඊට පස්සේ ?”

"ඊට පස්සේ තමා මට හෙනේ ගැහුවේ ! . ඔන්න මචං එදාම හවස . මමයි අපේ අල්ලපු ගෙදර ශාන්ත අයියයි , රාල අයියයි (එදා සුරවීරට රාල අයියා කියලා හඳුන්වපු කෙනාගේ නියම නම මතක තිබුණේ නෑ ) වැවට ගියා නාගන්න . රාල අයියා ග්‍රාමාරක්‍ෂක කෙනෙක් . ශාන්ත අයිය නම් කුඹුරු වැඩ තමා කළේ . අපි නාලා අපේ ගමේ තිබුණු බණ ගෙදරක බණ අහන්න යන්න හිතාගෙනයි හිටියේ . කොහොම හරි මල්ලී මම නනා ඉන්න අතරේ අරුන් දෙන්නා ඉක්මනට දෙකක් තුනක් නාලා . පිහගෙන යන්න ගියා . මම කෑගැහුවා මම එනකම් ඉඳපල්ලා !! කියලා උන් දෙන්නා නෑහුණා වගේ ගියා . ඉතින් මම තව ටිකක් වෙලා නාල ගෙදර ගියා . ගෙදර ගියෙත් හිතේ සතුටින් ඇයි මාලනී දීපු ලියමන බලන්න පුළුවන්නේ . ! . ඉතින් ගෙදර ගිහින් ඒක කියවමින් ඉන්න අතරේ මට හිතුණා අද ආයේ බණ ගෙදර යන්න ඕන නෑ මේ ලියුමට උත්තරයක් ලියලා දැම්මා නම් හොඳයි කියලා . ඉතින් මම සේරම වැඩ අහක දාලා කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ලියුම ලියන්න ගත්තා .

"ඒ කාලේ කරන්ටෙක නැද්ද උඹලට . ?

"පිස්සුද ? ඒවෙනකොට 28 හන්දියට එනකම් විතරයි වයර් ඇදලා තිබුණේ . අපි චිමිනි ලාම්පුයි කුප්පි ලාම්පුයි තමා පත්තු කරගෙන හිටියේ .

"ඊට පස්සේ මොකෝ වුණේ..? ලියුම ලීවද ගෙදරට මාට්ටුද"

"ගෙදරට මාට්ටු වුණේ නම් නෑ . මම ලියුම අවසාන කරන්න හදනකොට වෙලාව එකොළහට විතර ඇති .මම ලියුමේ අන්තිමට ලිවුවේ ඔයා හොඳට ඉගන ගන්න නංගි කියලා . මට තවම ඒක මතකයි . මම ඒක ලියලා ගණිත පොතේ ඇතුළට දාලා ගිහිං පැදුරේ ඇල වුණා . මට විගහට නින්ද ගියා . ඒත් පාන්දර එකයි දහයට විතර මම උඩ වීසි වෙලා ඇහැරුණේ ඇඟ හීතල වෙලා යන මහා විලාපයක් ඇහිලා ! ඒක මර ලතෝනියක් බං !!. අපි හොඳට කන් දීගෙන හිටියා .එක පාරටම වෙඩි පාරවල් දෙක තුනකුත් ඇහුණා අපි දැනගත්තා ගමට කොටි පැනලා විත්තිය . ලොකු අයියලා දෙන්නා අල්මාරිය හරස් කරලා අපේ ඉස්සරහා දොර කවර් කළා . ගෙදර පිටුපස ජනේලෙන් පැනගත්තු අපි පණ එපා කියලා දුවලා දුවලා නතර වුණේ පිටිපස්සේ කැලේට ගිහිල්ලා . උදේ හය වෙනකම්ම අපි නින්දක් නැතුව කැලේට වෙලා හිටියා .

"පිස්සු හැදෙනවනේ බං !”
 
"කැලේ නම් නෝමල් මල්ලි .ආයෙ ගෙවල් ගාවට එනකොට වෙලාව හයයි හතළිහට විතර ඇති . අපේ ගෙදරට නම් කිසිම හානියක් වෙලා තිබුණේ නෑ . අපේ ගෙදර කුරුණෑගල බන්ටෙකේ අන්තිමේට තිබුණු නිසා වෙන්නැති . ගමට වෙච්ච දේ බලන්න අපි අනිත් පැත්ත හැරිලා ගියා . මම දැක්ක දේ උබට අමුතුවෙන් කියන්න ඕන නෑ නේ මල්ලි . ගමම අමුසොහොනක් වෙලා තිබුණා . උදේ ඉස්කෝලේ යනකොට හම්බවෙච්ච එවුන් ලේ පෙරාගෙන වැටිලා හිටියා . පාරහ කොටි හැත්ත ගමේ එවුන්ව කෑලි වලට කපා දාලා .

"මම ඔය තැනට යනකොට දහයට විතර ඇති බං" . මමත් මගේ පරණ මතකය අලුත් කරා 

"උඹ යනකොට ගොඩක් ප්‍රමාදයි . ඒත් මම යනකොට පොලීසියෙන්වත් ඇවිදිල්ලා නෑ . අපි ගෙවල් එකින් එක පහු කර කර ඉස්සරහට ගියා .මල්ලිට කියන්න එක ගෙදරක් ඇතුළේ අපෙ රාල අයියා මැරිලා හිටියා අනිත් ගෙදර මිදුලේ ශාන්ත අයියා මැරිලා වැටිලා හිටියා. ඒත් උන් මැරිලා තිබුණේ නියම පිරිමි වගේ . උන් දෙන්නා කොටින්ට අම්බානෙට නෙලලා . රාල අයියා ෆයිට් කරලා තිබුණේ ජනෙල් පළුවකින් ඌ හතර දෙනෙක් එක්ක තනියම විනාඩි විස්සක් විතර ඔට්ටු වෙලා තිබුණා . ශාන්ත අයියත් කොටිත් එක්ක අතින් පයින් ගහගෙන තිබුණා උන් දෙන්නම අන්තිමේදී කඩු පාරවල් කාගෙන මැරිලා . තනි එකෙක් එක්ක කඩු ගත්ත හත් අට දෙනෙක් හටන් කරද්දී කොහොමද බං බේරෙන්නේ . ?”

යන්තම් ඔළුව උස්සලා බලනකොට මම දැක්කේ මේ කතාව අහන්නේ මම විතරක් නොවන වග . කොන්ඩේ කපන්න ආපු තව කීප දෙනෙක් ටීපෝ එක උඩ පිරිලා තිබුණු පත්තර දිහෑ යන්තම්වත් නොබලමින් කටවල් ඇරගෙන සුරවීරගේ කතාව අහගෙන හිටියා .

සුරවීර ආයේ කතාවට වැටුණා. 

"එදා මම බණ ගෙදර ගියානම් මම ගෙදර නොගිහින් මේ රාල අයියා එක්ක නතර වෙනවා . ඒත් මගෙ වෙලාවට මට බණ ගෙදර යන්න බැරි වුණා . මම ඔය ගැන හිත හිතම අයියලා එක්ක ඉස්සරහට ගියා . මල්ල්ලි මගේ පපුව හීතල වෙලා ගියේ මාලනීලගේ ගෙවල් ගාවට ළංවෙද්දී . අනේ ඒ කෙල්ලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම හිතින් කිය කිය ගියා මල්ලී . කලබලේ වැඩි කමට මගේ කකුලේ දාගෙන හිටපු බාටා සෙරෙප්පු දෙක පවා මටම පෑගෙන්න ගත්තා . මමයි ලොකු අයියයි මාලනීලෑගෙවල් ළඟටම ගියා ..අපි මාලනීලගේ ගෙදරට කිට්ටු වෙනකොට මම දැක්කා ඒ ගෙදර දොර දෙකට මැදින් පැලිලා තියන හැටි. පපුව දඩ දඩ ගාලා ගැහෙද්දී මම ගේ ඇතුළට එබුණා"

මම හැරිලා සුරවීර දිහා බැලුවා . මම විතරක්ම නෙවේ කොණ්ඩේ කපන්න ආපු හැමෝම කටවල් වලින් බලං උන්නා ඊළඟට මෙයා මොනවද කියන්නේ කියලා .

"සාලේ මැද මාලනී වැටිලා හිටියා එයාගේ වටේ ලේ විමාණයයි . කොටි ඒකිව දූෂණය කරලා මරලා දාලා තිබුණා .ඒ පුංචි කෙල්ලගේ ඇඟේ තැන තැන කටින් හපා කාපු පාරවල් තිබුණා . ඒ විතරක් නෙවේ ............................ තිබුණා . එකිගේ අම්මයි තාත්තයි දෙන්නත් මරලා දාලා තිබුණා .

ඔය හිස් තැන මට පුරවන්න බෑ මාලනීට කොටි අතවර කරලා තිබුණු හැටි මට කවදාවත් කටින් කියන්නවත් අතින් ලියන්නවත් බැරි වේව් . ඒවා ඇස් පනාපිටම දැකපු සුරවීර කොහොම ඉවසන්න ඇත්ද ?. මට ලියන්නවත් බැරි මේ දේවල් ඒ පජාත සක්කිලි කොටි හැත්ත කොහොම කළාද ?

"උඹ දන්නවද ? මල්ලී මගේ ජීවිතේ බේරගත්තේ ඒ කෙල්ලගේ ආදරේ !!.එදා මම ඒකිට ලියමනක් ලියන්න නොහිතුණා නම් මමත් යනවා අරුං එක්ක බණ ගෙදර. එහෙනම් මටත් කෑලි කෑලි වලට කැපෙන්න වෙනවා සිකුරුයි . මම ඒකිට ආදරේ කල නිසා මම බේරුණා ඒත් ඒකිව බේරගන්න තරම් මගේ ආදරේ බලගතු වෙලා නෑ බං . ඒ කෙල්ල මාව බේර ගන්නම උපන්න දේවතාවියක්ද කොහෙද . මම කොහොමවත් හිතුවේ නෑ මම යාළු වෙන පළවෙනිම කෙල්ල මට වචනේ දීලා අනිත් පැත්තට මැරිලා යාවි කියලා . ඒකිගේ හිතේ මැරෙන වෙලාවේ මොනවා තියෙන්න ඇත්ද බං ? . පවු අසරණී !!

සුරවීර සුසුමක් හෙළුවා

"සතියක් විතර යනකම් මම පුදුම දුකකින් හිටියේ . ඒත් බං උපන්දා ඉඳන්ම කොටින්ගේ කටේ ජීවත් වුණු අපට ඕක දවස් හතකින් අමතක වෙලා ගියා .ඒත් තවම මට මාලනීගේ මූණ විටින් විට මතක් වෙනවා"

මම කොණ්ඩේ කපලා ඉවර වෙලා පුටුවෙන් නැට්ටත් මගේ හිතේ රැඳිලා තිබුණේ සුරවීර කියපු මේ දුක්බර කතාව . ඒ කතාවම විතරක් නෙවේ මේ මුලු සිදුවීමම දුකක් ජීවිත පනස් හතක් නිකම් නැති වුණා . කතා කරගන්න බැරි අත දරුවෝ . මෙලොව එලියවත් නොදුටු අම්මාගේ බඩ ඇතුලෙම මියැදුණු පොඩි එවුන්, වයසක, තරුණ ගොඩ දෙනෙක් නිදි පැදුරෙම මියැදුනා .


කතාව ඉවර වෙලා විනාඩි කීපයකින් ආයේ සුරවීර පරණ පුරුදු සිනා මුසු පෙනුම ආරූඩ කරගත්තා. ඌට දුකක් නෑ. මටත් එහෙමයි කියලම දුකක් නෑ. ඒත් කථාවෙන් පස්සේ හිතට මුත්තක් දැනෙනවා මම දන්නෑ ඒ මොකද කියලා.

එදා දහය වසරේ කොල්ලා වෙච්චි සුරවීර අද වෙනකොට බොහොම සතුටෙන් ජීවිතේ ගතකරනවා . ඌ පරණ මතකය මත්තෙම නැහෙන්නැතුව අලුතෙන් ජීවිතේ ගොඩ නගා ගත්ත එකෙක් .

ඒ වෙනකොට හතර වසරේ හිටපු මට මෙ සිදුවීම යාන්තමට මතකයි. ඒත් මම එදා දැකපු වේදනාවෙන් පිරුණු මල සිරුරු වල මුහුණු මට කවදාවත් අමතක කරන්න බෑ. මේ සම්පූර්ණ සිදුවීම ජායාරූප ගත කළේ මගේ මාමා . එයා අරගත්ත පින්තූර වලින් කොටසක් මගේ ළඟ අදටත් තියනවා . ඒවා බ්ලොග් එකේ පල කරනවද නැද්ද කියන එක පසුව තීරණය කරන්නම් .

දැන් මේ හැම සිදුවීමක්ම අතීතයට එකතු වෙලා ඉවරයි . මමත් මේ සිදුවීම ගැන කතාකරන අවසන් අවස්ථාව තමයි මේ .




















/ලි .මේ සිදුවීමට අදාළව මගේ ළඟ තියන අනෙක් පින්තූර ටික ඉල්ලීමක් ලැබුනොත් පල කරන්නම් ? ඒ පින්තූර දිහා බැලීමත් මටනම් වේදනාවක් .

නම් ගම් මණංකල්පිතයි 

ප/ප/ලි = ඒ සිදුවීමේ ජායාරූප ගත්ත පලමු කැමරා කරු තමයි මගේ මාමා එයාගේ කැමරාවේ සටහන් වුනු ඒ පින්තූර ටික ඕන කෙනෙක්ට මෙතනින් අරගන්න හැකියි .