31.12.11

මම, හිස් අහස , හත සහ නුඹලා .



අද දෙසැබර් මාසෙ තිස් එක් වැනිදා

අවුරුද්දේ මාස එකොළහක්ම ගිනි කූටක අවුව වැටෙන්න පායන අපේ ගම් පළාතට දෙසැමබර් මාසේදී නම් දැනෙන්නේ දරාගන්න බැරි හීතලක් . උපන්දා පටන් අද වෙනකම්ම මේ පළාතේ වේලෙන මටත් හීතලට වඩා උණුහුම දරාගෙන පුරුදුයි . ඉතින් මේ මාසේ දැනෙන කටුක හීතලට මම කොහොමටත් අකමැතියි . ඒක නිසාම මම මේ දිනවල උදේට අවදි වෙන්නෙත් බොහොම පමා වෙලා .

පහුගිය දවස් කීපයේම වාගේ අදත් මම සුපුරුදු විදියට සරම ඇතුළේ ගුලි ගැහිලා, වකුටු වෙලා හීතලෙන් මිරිකෙමින් නිදියාගෙන උන්නා . කන ගාව තියලා කාලතුවක්කු පත්තු කළත් ඒ මොහොතේ මට නෑහෙන ගානයි ! .. ඒත් එක පාරටම ඇඟට පොඩි කිති කැවීමක් දැනෙන්න ගත්තා ..අනෙක් පසට හැරිලා නිදන්න උත්සහ කළත් ඒ කිති කැවීම වැඩි වෙනවා මිසක්ක අඩු වුණේ නම් නෑ !. මොහොතකින් මගේ පංචේද්‍රියන් වලට මීටර් වුණා ඒ කිති කැවීම දැනෙන්නේ මගේ ජංගම දුරකථනය වයිබ්‍රේට් වීම නිසා බව.

වෙලාව පාන්දර හතට විතර .. ! මම මර නින්දෙන්ම, කෙළ මෝලෙන්ම යාන්තම් ඇස් ඇරලා මගේ ෆෝන් එකේ තිරය දිහා බැලුවා දුරකථන තිරයේ වැටිලා තිබුණු නම දැක්කාම මගේ මර නින්ද මම නිදාන උන්නු ඇඳෙන් පැනලා ඉඩමේ හතර මායිමෙන් ඔබ්බටත් පලා ගියේ සරම අස්සේ උන් මාවත් ඉද්ද ගැහුවා වාගේ නැගිට්ටුවන අතරෙයි .

ෆෝන් එකේ තිරයේ තිබුණේ BOS කියලයි !

බොස් කෝල් එකක් ගනිද්දී මම මොන වැඩේ තිබ්බත් අහක දාලා ඒ ඇමතුමට උත්තර බඳින්න පුරුදු වෙලා හිටියා . ඉතින් අදත් නින්ද එළවා දමාපු මම බොස් ගේ ඇමතුම ලබා ගන්න ෆෝන් එක ආන්සර් කලා .

"ගුඩ් මෝර්නින්ග් සඳරු !

වෙනදා නැති අමුතු ලෙංගතු කමක් බොස්ගේ ෆෝන් එක දිගේ මගේ ෆෝන් එක වෙතට ගලාන ආවා.

"ගුඩ්ම මෝනිං සර්"

"මම දැන් පත්තර ගැන විස්තර ටීවී එකෙන් බලද්දී සඳරු ගැන ආටිකල් එකක් පත්තරේ තියනවා දැක්කා .

"එහෙමද සර් ?”

"හ්ම් එහෙම තමයි කොච්චර ආඩම්බරයක්ද අපට .. උදෙන්ම ගිහිල්ලා පත්තරයක් ගන්න . අපි ඒක නෝටීස් බෝඩ් එකේ දාමු ළමයින්ට පේන්න .”

"හොඳයි සර් "

"මම නම් ඇත්තටම හිතුවේ සඳරුගේ රූපේ දකිනකොට මොනවා හරි මගෝඩි වැඩක් කරලා පොලීසියෙන් වත් හොයනවා ඇති කියලයි .

"අනේ නෑ සෑර් .. මං අහිංසකයිනේ"

"ඒක තමා .. මයි කොග්‍රැඩුලේෂන් ඒනං "

බොස් ෆෝන් එක කට් කලා ..

උදේ වැඩට යන අතරේ ලක්බිම පත්තරයක් ගන්න පත්තර කඩේට ගියපු මට දැනගන්න ලැබුණේ පත්තර මේ තරම් උදෙන් අපේ දිහෑවට කවදාකවත් නොලැබෙන බවයි .

මම ඉතින් ජීවිතේකට පත්තරක් කඩේකින් ගත්ත එකෙක් නෙවෙයි නේ . !

ගෙදර තියන පත්තරේ නිතර කියෙවුවත් මම කඩේකින් පත්තර අරගෙන නෑ ගොඩ කාලෙකින්. ඉතින් පත්තරේ විස්තරේ මම බලද්දී දවල් දොළහට විතර ඇති .

ලක්බිම පත්තරේ පිටු අතරේ මගේ මූනත්තහඩුව දිස් වෙනකොට මට දැනුණේ මාර සතුටක් . ඉතින් ඒ සතුට දවස පුරාම හිතේ රැඳිලා තිබුණ බවත් නොකියාම බෑ . ඉතින් ඉක්මනටම මගේ ස්ත්‍රී රත්නයටත් කෝල් කරලා මේ ශුභාරංචිය දැනුම් දෙන්න මම තීරණය කලා . එයාටත් හරිම සන්තෝසයි .

"මම තාත්තටත් මේ පත්තරේ පෙන්නන්නං"

එයා ගලා බහින සතුටු කඳුළු ගඟේ කිමිදෙමින් කියද්දී මට අමුතු ෆිට් එකක් දැනුණා .

මොහොතක් ගිය තැන බට කැලේට ගිනි ඇවිලුණා වාගේ මගේ හත්මුතු පරම්පරාවෙන්ම මට දුරකථන ඇමතුම් ගලාන එන්න ගත්තා . හත් අවුරුද්දකින් මට කතා නොකළ, මම කෑවද ?, නැද්ද ?, උන්නද?, මළාද?, කියලාවත් නොහොයාපු මගේ නෑසියෝ මට මුව නොසෑහෙන්න ප්‍රශංසා කළා ඒ ප්‍රශංසා අතරේ . මෙහෙම දේවල් කියැවුණා

"අපි මෙච්චර කල් හිතාන හිටියේ උඹ ගොබ්බයෙක් කියලා නෙව" = එහෙම කීවේ ලොකු මාමා

"උඹට අකුරු ලියන්න බෑ කියලා නේ මම හිතාන උන්නේ !” -= එහෙම කීවේ පුංචි තාත්තා

"ඇඩෝව් උඹ දැන් පොරද ?” = මම නොදන්නා කෙනෙක් එහෙම ඇහුවා !

"කොයිදබද මයෙ පුතේ උඹේ බ්ලොග් ගල් වාඩිය තියෙන්නේ ?” == එහෙම ඇහැවුවේ බාල ආත්තම්මා

"පුතේ මහ ඕකෙන් රජතුමා ගැන ගුණ වයපන් ගෙදෙට්ට ප්‍රාඩෝ ඒවි" = එහෙම කීවේ පොඩි මාමා

නෑදෑයන්ගේ කන් කීරි ගස්ස්සන ප්‍රශ්න රැසකටම උත්තර දුන්නු මම යන්තම් කටට නිවනක් ගන්න කියලා හිතාගෙන කවුරුත් නැති තැනක් අල්ලගෙන ඉඳ ගත්තා .ඒ අතරේ ආයෙත් ෆෝන් එක නාද වෙනවා.

''කවුද යකෝ මේ ?කියලා ආයෙමත් ෆෝන් එක දිහා බලද්දි ඒ ෆෝන් එකේ තිරේ "අනූ" කියලා සටහන් වෙලා තිබුණා .මගේ කෝප ගින්න නිවිලා ගියේ ගිනි මැලේට වතුර ගැහුවා වාගේ

ඇමතුම මගේ ස්ත්‍රිය ගෙන් !

"හලෝ මයෙ අම්මා, ඇයි මයෙ පැටියෝ කතා කොලේ .. ?

වෙනදා නම් මම එහෙම අහද්දී මගේ කනට බේරෙන ආදර වදන් වැල් වෙනුවට මේදා පොටේ මට
ඇහුණේ කං කඩාන යන ගොරැහැඩි මධුර නාදයක්

"සඳරු පුතා මම අනූගේ අප්පුච්චා !

"හත්තිලව්වුවේ කෙල්ලගේ අප්පුප්පුච්චා !” වම් කණෙන් ඉපිද පිට දිගේ ගලා බහින්න පටන්ගත් දහඩිය බිඳුවක් කලිසම අස්සෙන් ගමන් කරලා දකුණු කකුලේ සපත්තුව අස්සට වැටුණා .

"ඇ ඇයි .. මා මේ .. මම මේ හිතුවේ අනූ කියලා එයාගේ මේ මේ ෆෝං එක නේ ඒකයි"

"හා හා කාරි නෑ කාරි නෑ . මම මේ කතා කළේ පුතා පත්තරේ ඉන්නවා දැකලා . ඉතින් කොච්චර හොඳයිද ? ඔන්න ඉතින් මට දැන් පේනවා පුතා තමන්ගේ අනාගතේ හදාගෙන තියන වග . දැන් ඉතින් ආයේ අපේ ගෙදරින් බලපෑම් නෑ. පුතාලෑ අම්මට කියන්න ඉක්මනටම අපේ ගෙදර ඇවිදින් ඔය දෙන්නාගේ අනාගතේ ගැන කතා බහ කොරලා මේක එකලාසයක් කරන්න කියලා.

"හා මාමා"

"මම විශ්වාස කළේ ම නෑ පුතා ගැන දූ කියන දේවල් . මම හිතුවේ මේ කොහෙද යන රෑ ගුඩ්ඩෙක් හරි ගංජා කාරයෙක් හරි වෙන්නැති කියලයි . ඒකයි මම අර එදා ඔයාට ටිකක් තදින් කතා කළේ .. හික් හික් ඉතින් දන්නැද්ද මේ ..

"ආ ඒකට කමන්නෑ අකංල් "

"ඒනම් පුතා වැඩේ ස්ථීරයි දුව දෙන්නේ උඹට තමා"

"බුදු සරණයි මාමේ"

"බොක්ක තමයි පුතා !”

ෆෝන් එක කට් වුණා .

ඉතින් හැම දේම බොහෝම ලස්සට අවසාන වුණා. කවුද හිතුවේ පත්තර පිටුවක් මගේ ආදරේ මේ තරම් සවි බල ගන්වන්න සමත් වෙයි කියලා . කොහොම හරි ඒක එහෙම වුණා . ඒ ගැන සිහි වෙද්දී ආයෙමත්, ආයේ ආයෙමත් හිත සතුටින් කෑමොර දෙන්න ගත්තා .

"මේ සේරම බ්ලොග් එක නිසා නේද ?මම අන්තිමේදී මගේ හිතෙන්ම ඇහුවා .

මම මහා ලොකු ලියන්නෙක් නෙවෙයි . හිතේ තියන දේ අමු අමුවේ කතා කරන භාෂාවෙන්ම අකුරු බවට හරවන එකෙක් . ඉතින් එහෙවු එකෙක් වෙච්ච මට මේ ලැබුණු ගෞරවය මහ මෙරක් තරම් . උපන්දා පටන් එකම එක සහතිකයක් එකම එක කුසලානයක්වත් ගෙදෙට්ට ගේන්න තරම් වාසනාවන්ත එකෙක් නොවෙච්ච මට ලැබුණු මේ තෑග්ග ගොඩක් වටිනවා .

මම මේ බ්ලොග් එකෙන් සෑහෙන්න හම්බ කරා .

යාළුවෝ බර ගාණක් හම්බ කරා .ආත්ම ශක්තිය හම්බ කරගත්තා ,ගෞරවය හම්බ කරගත්තා . සේරටම වඩා මම බ්ලොග් නිසා මගේ ජීවිතේ ඉදිරි කාලේ ගෙවන්න ජීවන සහකාරියක් හම්බු කරගත්තා . ඉතින් මට මේ සේරම දීපු හිස් අහස බ්ලොග් එකට දක්වන ගෞරවයක් හැටියට මම මේ මාසේ හත් වෙනි පෝස්ට් එක ලියනවා . මේ තමයි මේ වසරේ අවසන් ලිපිය .

"සඳරු ළිඳකින් වතුර නොගෙන හිටියොත් ළිඳ පල් වෙනවා ,ඒ වගේමයි නිතර නිතර වතුර ගද්දී ළිඳ හිස් වෙනවා . ! ඕනෙවාට වඩා ලියන්නත් එපා, ඒ වගෙමයි නොලියා ඉන්නත් එපා .

මේ පණිවිඩේ මට දුන්නේ මේ බ්ලොග් අවකාසේ ඇතුළේ ඉන්න මම වඩාත්ම ගරු කරන උගත් මනුස්සයෙක් . ඒ කතාව අහපු ගමන් මට ඒ කතාව ඇතුළේ ගැබ් වෙලා තිබුණු අරුත මොහොතකින් වැටහුණා . ඉතින් ලබන අවුරුද්දේ ඉඳලා මම වෙනස් වෙනවා.

ඉතින් 2011අවුරුද්දම මම හිස් අහස බ්ලොග් එක ඇද්දා . මම මාසෙට ලිපි හතක් ලීවා . උඹලා ඇවිදින් මගේ අඩුපඩු පෙන්නා දීලා මාව දිරිමත් කරලා මෙ බ්ලොග් කරත්තේ මට ඇදගෙන යන්න දිරිය දුන්නා. උඹලා මාව දිරිමත් කරනකොට මම තවත් ලිවුවා . වැරදි පාරට මම වැටෙද්දී මේ බ්ලොග් අවකාසෙම අය මාව හරි පාරට ඇදලා දැම්මා . ඉතින් මට දෙන්න තියෙන්නේ උඹලා හැමෝටම හද පිරෙන්න ස්තූතිය විතරමයි.

මාසෙකට හතක් ලියන එක මට ලොකු බරක් . ඉතින් මම ලබන මාසේ ඉඳන් ලිපි හතරක් ලියලා කියවන ඔබට තිළිණ කරන්න කැමතියි . ගොඩගැහුණු වැඩ කන්දරාවකුත් එක්ක මට මාසෙකට ලිපි හතක් ලිවීම තව දුරටත් කරන්න බෑ . රස්සාව බේගන්නත් ඕනෙ . බ්ලොග් එක ඇදං යන්නත් ඕනෙ . කෙල්ලට කෝල් දෙන්නත් ඕනෙ . ඉතින් 2012 සිට අපි ටිකක් හෙමින් ගමන යමු ..

මේ වසර පුරාටම හිස් අහසත් එක්ක රැඳී ඉඳලා මට හයිය හත්තිය දුන්නු ඔබ තමුන්නාන්සේලා හැමෝටම ස්තූතියි . ලූණුයි පානුයි කන සාටර් බුවෙක් වෙච්ච මට උඹලට දෙන්ඩ කියලා තියෙන්නේ මේ පපුව අස්සේ තියන අවංක ස්තූතිය විතරමයි ..


තව මොහොතකින් එළඹෙන 2012 වසර බ්ලොග් කියනවන ලියන ඔබ තමුන්නාන්සේලා හැමෝටම ජයෙන් ජයම වේවා..!!! කියලා මම එක හිතෙන්ම සුබ පතනවා ...

සඳරු .

අයුක්තියට අසාධාරණයට එරෙහි අපේ ගමේ කැට් වුමන් " රම්‍යා අක්කා "




රම්‍යා අක්කා !

ඒකිව මම දැන ඇඳිනගෙන උන්නේ පොඩි කාලේ ඉඳන්මයි .රම්‍යා අක්කා ගමේ හෝල් හන්දියේ හයිරං පාපු බණ්ඩක්කෙයා ගේ පස්සට උඩ පැනලා පයින් පාරක් ගහනවා දුටුදා පටන් මට ඒකිව අමතක කරන්න බෑ . ඒකි ඒ ගහපු පා පහර මට තවමත් මැවි මැවී පේනවා . මම හොඳටම දන්නවා මට කිසිම දවසක ඒක අමතක වෙන්නේ නෑ කියලා . මම මේ වෙනකොට සියක් දහස් වාරයක් ඒ පා පහර හිතෙන් මෙනෙහි කරමින් රස විඳලා ඇති යාළු මිත්‍රයෝ සෙට් එකත් එක්ක කියලා ඇති .

කාටුන් වල, චිත්‍රපටි වල හිටි වීරයෝ වෙන එවුන්ගේ ළමා ලෝකේ කොඩි දාන අතරේ මගේ ලෝකේ වීරවරිය වුණේ රම්‍යා අක්කා . අක්කා කීවට ඒකි මට වඩා අවුරුදු පහළොවක්ද කොහෙද වයසින් වැඩියි . ඒ වුණත් මගෙ ගමේ හිටි චණ්ඩි , ගංජා කාරයෝ , කෂියා කාරයෝ , ගල් කාරයෝ , රා ගුඩ්ඩො අතරේ , රම්‍යා අක්කට නම් වෙන් වෙලා තිබුණේ බොහෝම උසස් ස්ථානයක්.

නිතරම සායයි හැට්ටෙයි අඳින රම්‍යා අක්කා කාලෙකට ඉහත ගාමන්ට් පැක්ටේරියක සුපවයිසර් වෙලා හිටියා . ඉතින් එතනින් පටන් ගත්තු චණ්ඩිකම් රම්‍යා අක්කා ගමටත් අරගෙන ආවා . ගෑනුන්ට දාර ටෝක් දාගෙන අග්‍ර ශක්‍රයෝ වගේ හිටපු ගමේ චණ්ඩි එකෙක්වවත් රම්‍යා අක්කණ්ඩි නම් කොහෙන්දෝ ගිය පඩෙයක් තරම්වත් ගණං ගත්තේ නෑ . කිසිම වැඩකින් පිරිමියෙකුට නොදෙවනි වෙච්ච ඒකි නිතරම ගමන් බිමන් ගියෙත් ඩිස්කවර් බයික් එකක නැඟිලයි .

මට මතකයි ඉස්සර ඒකි මාසෙ පඩි දවස අල්ලලා සීට්ටු දානවා . ඒ බොහෝමයක් සීට්ටු සල්ලි වලට අලාපු ඒවා නම් නෙවෙයි . කළගෙඩි සීට්ටු , වලං සීට්ටු , හාල් පරිප්පු වලට දාපු සීට්ටු අතරේ ඔන්න ඔය ඉඳලා හිටලා නම් රුපියල් පන්සීයේ දාහේ සල්ලි සීට්ටුත් ඇල්ලුවා . කවම කවදාකවත් ඒ සීටුවලින් රම්‍යා අක්කා ඇන ගත්තේ නම් නෑ . ඒකිගේ හැටි දන්න නිසාම කොයි එකාත් කලට වේලාවට සීට්ටුව බේරන්න තරම් බුද්ධිමත් වුණා . ඒත් ඔය අතරේ සීට්ටු මුදල් බේරන්න පොඩිත්තක් පමා වුණු බණ්ඩක්කයාට වෙච්ච දේ නම් මෙතනදී නොකියාම බෑ .

රම්‍යා අක්කන්ඩිත් එක්ක සල්ලි සීට්ටුවකට එක්කාසු වෙච්ච බණ්ඩක්කයා කියන්නේ අපේ ගම් පළාතේ හිටපු උන්ගෙන් ටිකක් විතර චණ්ඩියෙක් . කාලෙකට ඉස්සර පොර බයික්කේ නැගලා යන ගමන්ම මගදී හමුවෙච්ච එල්ටිටීඊ කාරයකුට කැරකිලා හරහා වැටෙන්න කනේ පාරක් ගැහුවාය කියලා ගමේ ගොඩේ කසිටිය නිතර කතා වුණා . ඉතින් ඒ කතාව නිසාම කොයි කවුරුත් බණ්ඩක්කයාට ටිකක් විතර බයයි බොරු කියන්නේ මොකටද ? මමත් ඌට බයයි ! . සමහරු නම් උගේ ළඟ වැඳ වටෙනවත් එක්ක . ඒත් උගේ මේ අමුතු මාන්නේ රම්‍යා අක්කා එක පා පහරකින් කඩලා දැම්මේ මෙන්න මේ විදියටයි .

බණ්ඩක්කෙයා කියන්නේ හොඳින් හෝ නරකින් ඕනම දේකට එකතු වෙන එකෙක් . ගමේ කොල්ලෝ ක්‍රිකට් මැච් එකක් ගගහා ඉන්නවා දැක්කොත් ඌ බලෙන් ඒකට රිංගනවා . ඉතින් ඒ බලෙන් කඩා පනින බණ්ඩක්කයා දවසක්දා රම්‍යා අක්කගේ සීට්ටුවකටත් බලෙන්ම එක්කාසු වෙලා තිබුණා . "කමක් නෑ වරෙං" කියලා රම්‍යා අක්කත් බණ්ඩක්කයාව තමන්ගේ සීට්ටුවට එක්කාසු කරගෙන තිබුණා .

ගහෙන් ගහට කොට කොටා ගියත් කෙහෙල් ගහට කොටාපු දාට තමයි කොට්ටෝරුවාටත් කෙලවෙන්නේ. ඉතින් එහෙට බෙහෙට බලෙන් රිංගමින් උන්නු බණ්ඩක්කයාටත් අත් වුණේ ඔය කියන ආනිසංසෙමයි .

සීට්ටුවේ පළවෙනි දෙවනි වාරික හරියට පියවාපු බණ්ඩක්කෙයා කොහොම හරි දෙවනි සීට්ටුව දිනාගෙන තිබුණා . ඉතින් ඊට පස්සේ තමයි ඌ ආයේ කිසිම දාක රම්‍යා අක්කලාගේ සීට්ටුව ගැන වචනයක්වත් නොකියා ඒකිට ගෙවන්න ඕනෙ මුදලත් පැහැර හැරලා තමන්ගේ පාඩුවේ ගමේ ඇවිද ඇවිද හිටියේ ..

"මම වගේ පොරකට ගෑනියෙක් මොනවා කොරන්නද ?බණ්ඩක්කෙයා එහෙමයි හිතාන ඉන්නැත්තේ

ඇත්තටම බණ්ඩක්කෙයා විතරක් නෙවෙයි අපි වුණත් හිතාන හිටියේ කවමදාකවත් බණ්ඩක්කෙයා මේ රම්‍යා අක්කන්ඩිගෙන් ගත්තු සල්ලි ආයේ පියවන එකක් නෑ කියලයි .

දවසක් ගුණපාල බේකරියෙන් බලෙන්ම උදුරගත්ත උණු උණු පාං ගෙඩියක් අමුවෙන්ම ගිලදදා හිටි බණ්ඩක්කයා ගාවට රම්‍යා අක්කා ඇවිදගෙන යන හැටි මම පුන්සිරිගේ වීඩියෝ සෙන්ටර් එකේ ඉඳලා බලාන හිටියා . මම නම් ඒ වෙලාවේ හිතුවේ රම්‍යා අක්කා බණ්ඩක්කෙයා ගෙන් කනේ පාරක් කාලා එතනින් පැනලා හූ කිය කිය දුවයි කියලා . ඒත් මම හිතුවා වැරදියි ...!

"බණ්ඩයියා උඹ සීට්ටුවේ වාරිකේ ගෙවුවේ නෑ"

"අනෙ පලයං බං ගෑනියෙ යන්ඩ ආවද මගෙන් සල්ලි ඉල්ලන්න ?

"හොඳින් කීවේ බණ්ඩයියේ..! මගෙ සල්ලි දියන්" රම්‍යක්කා ඇඟිල්ල උරුක් කරලා කීවත් බණ්ඩක්කයා නෙවෙයි සැලුණේ !

"උඹට දෙන්න මා ගාව සල්ලි නෑ රම්‍යා ඒ වෙනුවට මගේ අහවල් එක ගනිං ඉඳා !”

ඔහොම කියලා බණ්ඩක්කෙයා පොඩි අසැබි දසුනක් විදහා පාන්න උත්සහ කළා . එතකොටම හිතාගන්නවත් බැරි දෙයක් සිද්ධ වුණා .

රම්‍යා අක්කා දුන්නු පා පාරක් බණ්ඩක්කෙයා ගේ අහවල් ස්ථානයට තදින් වැදුණා. ඊට ඌ එතන අල්ලගෙන බිම වැතිරෙන්න හදනකොට උගේ කමිස කරෙන් අල්ලගත්ත රම්‍යක්කා ඌට තව දෙක තුනක් පහර පිට පහර දුන්නේ බේකරිය ඉස්සරහ හිටපු හැමෝවම අමන්දානන්දයට පත් කරවමිනුයි .

දෙක වදිනකොට බණ්ඩක්කෙයා ගේ චණ්ඩි කම් බැස්සා .ඌ ගෑනියෙකුටවත් ගහගන්න බැරි තරමේ එකක් බව මුලු ගමම දැක්කා . ඒ අතරේ උගේ ඉනේ සරොම් වාටියේ තිබිලා දාහේ කොළ කීපයක් බිමට වැටුණා . එතන බලාන හිටි උන් එතකොටම හෙණ හූවක් දෙන්නත් පටන්ගත්තා ....!

සීට්ටුවේ සම්පූර්ණ වාරික ටික එක්කාසු කරගත්ත රම්‍යා අක්කා එතනින් ඉවත් වෙලා ආපහු ගෙදර ගියේ සිංහ ධේනුවක් වගේ..! . තෙමිච්චි පූස් පැටියෙක් වගේ බණ්ඩක්කයා එයාගේ අසවල් ස්ථානය අල්ලාගෙන බිම වැතිරිලා හිටියා උගේ දකුණු අත පැත්තේ අඩක් කා හමාර කල පාන් ගෙඩියත් ,චීන හෑන්ඩ් ෆෝන් එකකුත් වැටිලා තිබුණා.

ඔන්න ඔහොමයි ගමේ හිටිය සිංහයෙක්ව එක දවසකින් පූසෙක් බවට පත් කරන්න අපේ ගමේ දිරිය කාන්තාවකට හැකි වුණේ .

පහුවදා ගම පුරාම පැතිරුණේ අමුතු කතාවක් !

"රම්‍යා අක්කා බණ්ඩක්කෙයාගේ පු*ට පයිං ගහද්දි උගේ පු*න් දාහේ කොළ මිටියක් විසි වුණා..!” කියලයි

.කථාවේ ඇත්ත නැත්ත දැනං උන්නේ ඒ සිද්ධිය ඇසි දුටු අපිම විතරක්ම වුණත් කට කතා වලට තටු තියන නිසා එක වරුවකින් මේ කතාව අහල ගම්මාන හතකටත් එහා පැතිරුණා .

ඒ වසර කිහිපයකට එහා සිද්ධ වුණු අතීත කතාවක්

. රම්‍යා අක්කා මට ගොඩක්ම ලං වුණේ මගේ මිතුරෙකුගේ ආදර ගැටලුවකදී මට උපකාර කරන්න එකෙන්ම ඉදිරිපත් වුණු හින්දාමයි . ගමේ වගේම මගේ හදවතේ වීරවරිය වෙච්ච මේ ගෑනිට කරන උපකාරයක් විදිහට මේ කොටස නම් මම අනිවා ලියන්නම ඕනෙ .

රන්දික කියන මගෙ මිත්‍රයා පොඩි කාලේ ඉඳම කෙල්ලො වැඩිය ඇසුරු කල කෙනෙක් නෙවෙයි .ඉතින් ඉස්කෝලෙන් අස් වෙනකල්ම ඌට කවදාකවත් කෙල්ලෙක් උන්නේ නෑ . ඒත් මේ පහුගිය දවසක ඌට මාළු මාකට් එකේ මුදලාලි කෙනෙකුගේ දුවෙක් සෙට් වෙලා තිබුණා . කාලෙකින් ආදර සුව වින්ඳ ඌ වතුර හොයාගෙන දුවන මීමෙක් වගේ ඒ කෙල්ල පස්සේ දුවමින් හිටියා . ඒත් ඒ ආදරෙන් ඔකඳ වෙච්ච රන්දිකගේ මොළේට නොතේරුණු තිත්ත ඇත්ත තමයි කෙල්ලගේ පියා ඇවිල්ලා පළාතේ ඉන්න නොම්මර එකේ දාමරිකයෙක් බව .

"ඔය කෙල්ලත් එක්ක තියන ගනු දෙනුව නතර කරපං ! , නතර කරපං " කියලා අපි කට්ටියම කොයිතරම් වාර ගණනක් රන්දිකට කියලා ඇතිද ? . වැඩක් වුණේ නෑ .. අඳ , ගොළු , බිහිරි ආදරයක් ඉස්සරා හිටපු ඌට මේ කිසිම දෙයක් ඇහුණේ, පෙනුණේ , දැනුණේ නෑ . ඉතින් ඌට දවසක් සබ්බුව හම්බුනා ..

අපි හන්දියේ පොඩි කඩේට වෙලා තේ උගුරක් බිබී ඉන්න අතරේදී . අපිට ආපු ආරංචිය තමයි . අපේ ආදරවන්ත කොල්ලා රන්දික, උගේ කෙල්ලගේ ගෙදෙට්ට රිංගන්න ගිහින් තාත්තට අතේ මාට්ටු වෙලා විත්තිය . මාට්ටු වෙලා විතරක් නම් මදෑ ! . ඌ ගෙදරට රිංගපු කේන්තියට කෙල්ලගේ තාත්තා ඌට තදින් නෙලලා බලු දං වැලකින් කකුල් ගැටගහලා ඉබි යතුරු දමලා තියනවාය කියලත් ඒ ආරංචිය මගින් කියැවුණා .

අපේ එකෙක් ගුටි කනවා කියලා ආරංචි වුණාම අපි කාගෙ කාගෙත් හිත් උණු වෙන්න පටන් ගත්තා . ඇඟේ ලේ රත් වෙලා නටන අතරේ අතට අහුවුණ අහුවුණු අවි ආවුද අරගෙන අපි රන්දිකව බේරගන්න දිවුවේ අවසන් සටනෙදී යුද පෙරමුණට ගිය සෙබළු වගේ . ඒත් වැඩි දුරක් යන්න කලින් වාසනාවකට අපිට මගදී රම්‍යා අක්කව හමු වුණා ...

"මල්ලිලා කොහෙද මේ ?” .. බයික්කේ නතර කරලා අක්ක අපෙන් එහෙම අහද්දී අපි ඇත්තම කීවා .

"අක්කේ අපි මේ වලියකටයි යන්නේ !” .. අපි එදා එහෙම කීවේ රම්‍යා අක්කා නිසා ..ඒත් වෙන අක්කා කෙනෙක් ඒ ප්‍රශ්නේ අපෙන් ඇහැවුවානම් "මේ පන්සලට යනවා " “අපි මේ ළඟට යනවා" කියලා අපි එතනින් බොරුවක් කියලා ලෙස්සලා යන බවනම් මට හොඳටම විශ්වාසයි .

"උඹලා දෙන්නා දැන් කාට ගහන්නද ඔය යන්නේ ?

"මාළු මාකට් එකේ රංජි මාමට !”

මගෙත් එක්ක හිටි පැට්ටා එහෙම කියනකොට රම්‍යා අක්කා පුදුමයෙන් පුදුමයට පත් වුණු හැටි මම එයාගේ මූණෙන් දැක්කා ..

"රංජිට ගහන්න යනවා ?, තොපි දෙන්නා ?

ඒ අහපු ප්‍රශ්න දෙකට මොනා කියන්නද කියලා පැට්ටා කට ඇරගෙන කල්පනා කරද්දී මම රම්‍යා අක්කට සිද්ධිය අකුරක් නෑරම කියලා දැම්මා .

"පලයල්ලා තොපි දෙන්නගේ කෑලි ගෝනියකට තමා අහුලන්න වෙන්නේ ..! ඉඳපල්ලකෝ මමත් එනකම් .”

රම්‍යා අක්කා එහෙම කියනකොට මගේ හිතේ පුදුම ධෛර්‍යක් ඉපදුනා . ගෑනියක් පෙරටු කරගෙන වලියකට යද්දී එහෙම දිරියක් ඇතිවෙන එක ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෙ . හ්ම් .. මම අද නම් ටිකක් ටිකක් විතර ඒ ගැන ලැජ්ජා වෙනවා ..

රම්‍යා ආක්කා සෙල් පෝන් එක අරං කෝල් දෙක තුනක් ගත්තා . විනාඩි දහයකින් විතර ත්‍රීවීලර් කීපයක් අපි හිටපු තැනට වට වුණා . ඒ ත්‍රීවීලර් වල හිටියේ උඩහ ගාමන්ට් එකේ වැඩකරන කොල්ලෝ රැළක් .

"මගේ යාළුවෙකුට එකෙක් ගහනවාලු අනේ මල්ලිලා උඹලත් යමල්ලා මං එක්ක ..

රම්‍යා අක්කා එහෙම කියනකොට එකෙක්වත් නෝක්කඩු කීවේ "නෑ" , "බෑ" ගෑවේ නෑ පොල්ලෙන් ඇදලා වීල් ස්ටාර්ට් කරගෙන වෙඩි උණ්ඩ වගේ මාකට් එක පැත්තට ඉඟිල්ලුණා .

අපි ළගට කිට්ටු වෙනකොට දැක්කා අපේ මිත්‍රයා රන්දික පුටුවක වාඩි වෙලා ඉන්න හැටි . හොඳ ලොකු වටකුරු තැලුම් පාරවල් කීපයක් උගේ මූණ පුරා තියන හැටිත් .

"අඩෝව් කවුද අපේ මල්ලියෙක්ට අත උස්සන තරම් හයිකාර මාළු කාරයා . ?

රම්‍යා අක්කගේ හඬ මාළු මාකට් එක පුරා ගිගුම් දුන්නා !!!!

"මමයි මූට ගැහුවේ ?” මාළු විකුණන රංජිත් මාමා කඩෙයක් අස්සේ ඉඳන් එළියට ආවේ සරම කැහැපට ගහගන්නා අතරෙයි ..

"උඹලෑ අම්ම ගෑනිද ඩෝ ?”

එහෙම අහපු රම්‍යා අක්කා එකවරම ඉදිරියට පැන්නා .. රම්‍යා අක්කගේ පිරිවරත් අපිව පෙරළාගෙන ඉදිරියට පැන්නා . තෝරු මෝරු අස්සේ රිංගලා නිකං පච වෙන්න ඕන්නැති නිසාම අපි පොඩ්ඩක් සයිඩ් ගහගෙන බලාන හිටියා ..

කාගේ හරි වෙලාව හොඳ නිසා එදා එතන රණ්ඩුවක් සිද්දවුණේ නෑ. කට්ටිය ඇති වෙනකම් බැනගෙන අපේ ගුටි කාපු එකාව වත් එල්ලගෙන ආපහු සතුටින් සෙමෙන් ආයෙත් ගෙවල් බලා යන්න පිටත් වුණා . කාන්තාවක් පෙරටු කොටගෙන සටනකට ගිහින් ජය අරගෙන ආපු ඒ දවස කවම දාකවත් අමතක නොවෙන විදිහට මගේ මතකයේ රැඳිලා තියේවි .

"අක්කේ කොහොමද බං උඹ මිනිස්සුන්ට ඔච්චර හයිරං දාන්නේ ?දවසක් මම එහම අහාපුහාම ඒකි මට දුන්නේ මෙන්න මෙහෙම උත්තරයක් .

"මල්ලි.. මම ඉස්සර වැඩ කල ඔෆිස් එකේ නංඟි කෙනෙක්ට දවසක්දා රෑ ඒ එකේම සිකුරුටි කෙනෙක් බලෙන්ම කළුවරකට ඇදගෙන දුවන හැටි මම උඩ තට්ටුවේ ඉඳලා බලාන හිටියා . ඒකිගේ කෑගැහිල්ල ඇහුණේ මට විතරයි . ඉතින් රීප්ප පටියකුත් ගලෝගෙන මම කළුවරේම එතනට දුවලා සිකුරුටියට ගහලා එලෝලා මම ඒ කෙල්ලව බේරගත්තා . එදා ඉඳන් ඉතින් මම ඔය පිරිමි එකෙක්ට වත් බය නෑ බං . මම කිත්සිරි මාස්ටර්ගෙන් කරාටිත් ඉගනගෙනයි ඉන්නේ . ඕනෙ එකෙක් එක්ක මට හොඳට ඕට්ටු වුණ හැකි .

තත්පරෙන් තත්පරේ ගෙවෙන මේ ජීවිතේදී මට හමුවුණු අමුතු මිනිස්සු අතරේ මම මේ රම්‍යා අක්කටත් මගේ හදවතේ පොඩි තැනක් වෙන් කරන්න කැමතියි . කාන්තාවක් සතු සුකොමාල බව, ළඳ බොළඳ බව ඇත්තටම කාන්තාවකට ආභරණයක් . අතින් පයින් වැඩ කිඩ පෙන්වන කාන්තාවකට පිරිමි ටිකක් ළංවෙන්න අකමැතියි . ඒක නිසා වෙන්නැති රම්‍යා අක්කා තවමත් තනිකඩ .

තනිකඩ ගෑනියක්ට සමාජයේ මොන මොන කතා හැඳුනත් අපේ රම්‍යා අක්කට නම් එහෙම කතා කියන්න කිසිම් කෙනෙක් නෑ .. එහෙවු එකක් තියා ඒකිගේ මූණ දිහා එක එල්ලේ බලන්න තරම් එඩිතර මිනිහෙකුත් මම දන්න තරමට මේ අහල ගම් හතකවත් නෑ ..

රම්‍යා අක්කා කරපු වීර වැඩ ගැන තව ලියන්න නම් දේවල් නම්.. එමටයි එවුණත් ලියන්න කලින් ඒ සමහරක් දේ ගැන නැවත සිය පාරක් හිතා බලන්න ඕනෙ නිසාම මම ඒ අනික් දේවල් නොකියා ඉන්නම්

රම්‍යා අක්කා දකිනකොට මගේ හිතේ මැවෙන්නේ කාලෙකට ඉහත බලාපු ඉංගිරිසි චිත්තරපටියක හිටි කැට් වුමන් කියන චරිතය .අසාධාරණේට එහෙහිර පිරිමි සීයක් එක්ක වුණත් සටන් වදින්න තරම් එඩිතර හිතක් ඇති කැට් වුමන් සහ අපේ ගමේ කොනක ජීවත් වෙන රම්‍යා අක්කා අතර වැඩි වෙනසක් නෑ .. මතුපිටින් පිටින් පේන පැහැදිලි වෙනසකට කියලා තියෙන්නේ ඉතින් පැහැයේ වෙනස විතරයි ...

29.12.11

දුම් වැටියයි පෙම්වතියයි.



දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා
සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා
කවියක් කතාවක් ලියනට සිත් ගත්තා
ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා

දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ
වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ
අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ
හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ

මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ
එනමුදු හඬට මම නම් තැති ගත්තේ
සරම තදකරන් හොඳ හැටි ඇඳ ගත්තේ
හඬ එන දෙසට දෙසවන් යොමු කරගත්තේ

ඇඳ පොල්ලක් අරං ආවුදයක් ලෙසට
හෙමිහිට එබුණි මා නැඟ හුන් ඇඳ යටට
කළුවර නිසා කිසිවක් නොපෙනුණු කලට
එළියක් ඇල්ලුවයි මම මගෙ ඇඳ යටට

ආලෝකයෙන් ඇඳ යට කළුවර මැකුණේ
දුටුව දෙයින් මගෙ සියොළඟ ලේ හිඳුනේ
කඳුළු පෙර පෙරා සෝකෙන් තැවෙමින්නේ
සිගරෙට්ටුවකි හයියෙන් අඬලා තිබුණේ

ෆිල්ටරෙ කෙළවරින් කඳුලැලි වැගිරෙනවා
දුම් කොළ කැබලි අතරින් විසි වෙනවා
දැක්කොත් ඔබ හදත් අනිවා උණු වෙනවා
දුම් වැටියක් හොඳටම කඳුලැල් බොනවා

අසරණ දුම් වැටිය කුමකට හඬන්නෙද
කවුරුන් හෝ නුඹට බැන්නද ගැහුවාද
ඇවිදින් ඉතින් ඔතනින් එළියට ඇවිද
කියහන් මිතුර නුඹහට උනු දුක කිමද

මා කී බස් අසා නැසිලා වේගේ
ආවා දුම් වැටිය ඇවිදං වෙත මාගේ
කරණමක් ගසා හොඳ චණ්ඩියෙක් වගේ
දුම් වැටියත් මගේ ඇඳ උඩටම නැංගේ

වාඩි වෙලා මගෙ ඇඳ විට්ටම අයිනේ
බැල්මක් හෙළා මාදෙස නෙතු අගිනේ
කියූ කතාවම මගෙ පපුවට දැනුණේ
එදා පටන් මගෙ දිවියම වෙනස් වුණේ

රූප පෙට්ටියෙද පත්තර පිටු අතර
සද්ද කලයි ඉස්සර නම් අපි නිතර
දැල්වී නේක තරුණන්ගේ තොල් අතර
එදා ගත්ත ආතල් අද නැත මිතුර

මට දැන් ලැබෙන නින්දා අපහස බෝමයි
බොරු චෝදනා බොරු අවලාදද බෝමයි
ප්‍රසිද්ධියේ සිටියෝතින් දඩ උරුමයි
ඉඳින්නට වඩා ඇති සැප මිය යාමයි

දුම් බීවොතින් ලෙඩ දුක් හිමි වන බවට
කැලෑ පත්තරත් ගහලා ඇත එමට
ටීවී එකෙත් මා ගැන යයි ඇඩ් කවට
විෂ දුම කියයි උන් මගෙ නිර්මල දුමට

දුම් ඉරුවොත්න් ලිංගික සවි වියැකේලු
කටේ උගුරෙ පිළිකා තව ඇති වේලු
වයසට වඩා පෙනුමක් ඔබහට ඒලු
අසන්නට එපා බොරු බස් යාළු

භාවනාවකින් පිට කර ගත නොහැකි
සියක් වේදනා මට නම් නැසුව හැකී
චණ්ඩ සයුර මෙන් කැළඹුණු මනස සකී
නිසල වන්ට ඕනෑ දුම් ෂොට් එකකී

සිගා ගහන අය නෑ පොන්සියො වෙන්නේ
දිනෙන් දිනම ගත සවියෙන් වැඩි වෙන්නේ
දත් තිස් දෙකත් දෙතොලත් සුන්දර වෙන්නේ
කෙල්ලො වුණත් උන්ටයි තම සිත දෙන්නේ

ගිනි කූරක් අරං මගෙ කොන පුච්චාලා
මගේ පස්ස කෙළවර ඔබෙ මුව තියලා
ඇදපන් මචං ලෝකෙම අමතක කරලා
පිට කරලපං දුම් කඳ හද ගිනි නිවලා

දුම් වැටියේ කතා බහ මගෙ සිත රැඳුණේ
මටත් හොරා එය මා දෙතොලේ තැබුණේ
ගිනි පෙට්ටියෙන් එක කූරක් පත්තු වුණේ
මගේ මුවින් දුම් පාරක් නිකුත් වුණේ

දින සති මාස එක දිගටම එදා සිට
දුම් වැටි අරන් ඉරුවයි මම විටින් විට
කාලය ගෙවී යන බව නෑ දැනුණෙ මට
දත්වල රැඳුණි කහ පැහැ සිගරට් කහට

මුලින්ම මගෙ පපුවට හීතල දැනුණා
හදේ රැඳුණු දුක ටිකකට ඉවත් වුණා
මූහුණ වල ගැහී දත් කහ පාට වුණා
ටික ටික මගේ මුලු සිරුරම දුබල වුණා

උදේට තේ නැතත් දැන් සිගරට් ඕනේ
කක්කුස්සියට යන්නත් කලියෙන් ඕනේ
හවස තේ වෙලාවට තවෙකක් ඕනේ
මට ජීවත් වෙන්න ඉන් පසුවට දුම ඕනේ

සොඳුරු යුවතියක් මට හමුවන තුරුම
දුම්වැටි ඉරුවෙ මම දිනෙකට දහයක්ම
ඇගෙ ආදර වදන් මා වෙළනා තුරුම
නොමැදන උනිමි මා කල වරදක තරම

එපා රත්තරන් දැන් සිගරට් බොන්න
ඔබට බැහැ ඔහොම මට ළමයෙක් දෙන්න
තොල් කලු ඔබට හාදුවක් වුණත් දෙන්න
හිත නෑ රත්තරන් මට ඔබ හා ඉන්න

සිගරට් නොබීවොත් මම ඔබ සමග ඉමී
ඔබේ දෙපය ළඟ මම වැතිරි ඉඳිමි
සිගරට් සුවඳ නොම එන ඔය මුව සිඹිමි
මගෙ මුලු දිවිය ඔබ වෙනුවෙන් කැප කරමි

සිගරට්ටුවත් ආදරයත් අතින් ගෙන
දැම්මෙමි තරාදියකට මම බඩු කිරන
බර වුණු පැත්ත ආදරෙ බව දැන හැඳින
සිගරට් අත්හලෙමි ආදරෙ තබාගෙන

ගෙදරට හොරෙන් පස් වසරක් යන තුරුම
සිගරට් බීමි මට ඇය හමුවන තුරුම
අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ළඟ සිටිනා තුරුම

සිගරට්ටුවෙන් ලද මත අමතක කරලා
අලුත් දිවියකට අඩිතාලම දමලා
සිටියත් ඇය සමග අද මුලු සිත පුදලා
ඇය ගියොතින් මැරෙයි මම සිගරට් ගහලා



 ප/ලි : දුම් බීම අත්හලෙමි .