18.5.12

හූනෙක් නිසා වෙච්චි හදියක්




එදා දවල් වරුවේ යන්තම් වැහිපොදක් වැටුනා මමත් ගෙදර තැපගෙන නොයිඳ උඩහ ගම දිහාවට පොඩ්ඩක් ගෑටුවේ වෙනදා තරම් අවු කූටකයක් එදා නොතිබ්බ නිසයි . මේ තමා වැවුගම්පත්තුවට උපරිමේටම පායන කාලේ . ඉහින් කනින් අනන්ත දඩිය බිංදු බේරිලා කාස්ටක පොලවට වැටෙනකොට ඒ දාඩිය බින්දුව වැටිච්ච තැනින් පොඩි දුම් රැල්ලකුත් උඩට නැගෙනවා . ඉතින් කාලෙකට පස්සේ වැහැපු ඒ පොඩි මල් වැස්ස කාට කාටත් ගෙනාවේ පුදුම සතුටක් .

හෙට දිහාට වහින්න තමා මලයා මේ තරම් අවු කූටකේ ! .

කලින් දවසේ අහස දිහෑවේ බලාන උන්නු ජගත් අයියා මට අනාවැකියක් කීවේ ඇළේ බොර වතුරේ කරවටක් එබීගෙන ඉන්න අතරෙයි .

හෙට දිහාට වැස්සොතින් මොනා හරි කොරමුද ?

දත් මදිමින් උන්නත් කට පරිස්සම් කරගන්න බැරි මම මහා අකුසල කර්මයකට මුලපිරුවා .

හ්ම් හෙට වැස්සොතින් සතෙක් බාමු නේ මලේ ?

හ්ම් යමු යමු ..!

ඔන්න ඔයි විදිහට තමා මම ජගත් අයියා එක්ක දඩයමේ යන්න එක්කාසු වුණේ . !

දඩයමේ යාම මට ඒ තරම් අරුමයක් නෙවේ . මගේ මාමලා සීයලා එක්ක මම අනන්ත දඩයමේ ගිහින් ඇති . උන්ගේ අච්චු තුවක්කු මමත් අනන්ත කර තියාන ගිහින් ඇති . මැරිච්චි සත්තු මේ අත් දෙකෙන් වංගියක් දෙවංඟියක් හම ගහන්න උදවු වෙලත් ඇති . ඒත් මම කවදාකවත් සතෙක්ට වෙඩි තියලා නම් නෑ .

සීයගේ අච්චු තුවක්කුවෙන් වත්තේ කොහු අඹ ගහේ උන්නු දඬුලේනෙකුට එක වතාවක් මම කුරුමානම් ඇල්ලුව හැටි නම් මට හීනිවට වගේ මතකයි .අච්චුව උරිහට තියාන මම වැරදියට මානෙ ගනිද්දී මගේ ගාවට ආව ලොකු සීයා මගේ අත හරියට හැදුවේ “ඔහොම ගිනි බ්න්ඳෝතින් තොගෙ උරපත්ත ගැලවිලා යාවි” කියමින් . පවකටද පිනකටද මන්දා එදා මම තියාපු වෙඩිල්ල නම් වැරදුනා .

උඹට තුවක්කු මානෙ පිහිටන්නේ නෑ . උඹ පවුකාරයෙක් නෙවි .”

එහෙම කියවුව මගෙ සීයා ඊට පස්සේ කවදාකවත් මම තුවක්කුව අතට ගන්නවාට කැමත්තක් දැක්වුවේ නෑ ඒක හන්දා කිසිම දාක මට සතෙක්ට වෙඩි තියන්න ඉඩක් ලැබුනෙත් නෑ . කොලු කමට තුවක්කුවෙන් මානෙ ඇල්ලුවට මම සතුන් මරන්න අකමැතියි . ඒත් කොල්ලොත් එක්ක කැලේ කොලේට වැදිලා දඩයමේ යන්න ලැබෙන අවස්ථාවක් නම් මම ලේසියෙන් මග හැරියේ නෑ .ඉතින් ජගත් අයියා එක්ක දඩයමේ යන්න ලැබුන ආරාධනාවත් මම ඉස් මුදුනින්ම පිළිගත්තා .

ගං තුලානටම උන්න වෙඩික්කාරයෝ අතරින් දෙවනියට දක්‍ෂයා තමා අපෙ ජගත් අයියා .කිසිම වාදයක් නෑ පලමු වැනියා ඉතින් වනිගෙ අයියා තමා . වනිගෙ අයියා සතුන්ට වෙඩි තැබීම කාලෙකට ඉහත නතර කාලයින් පස්සේ ඒ තැන ගත්තේ මේ කියන ජගත් තමා . පොඩි කාලේ කැටපෝලෙන් ගල් දුන්නෙන් කුරුල්ලොන්ට ලේනුන්ට විදලා පහු කාලෙක බේත් කොටන තුවක්කුවෙන් වෙඩි තියන්න පුරුදු වෙච්ච ජගත් අයියා . අද වෙනකොට අච්චු තුවක්කුවට හොඳ පුරුදු කාරයෙක් ඇස් පියාන වුණත් ඉලක්කෙටම වෙඩි තියන්න පුලුවන් නොම්මර එකේ වෙඩික්කාරයෙක්.

ඌ තුවක්කුවෙන් පාන සුරු විරු කම් මට හොඳට මතකයි . එක වංගිටක් ඈත ගලක් මත්තේ යාන්තමට ගෝනෙකුගේ අං තට්ටුවක් හෙලවෙන හැටි කැලේ අයිනේ උන්නු අපි කවුරුත් දැක්කා . මොහොතකින් එතනට ආපු ජගත් තුවක්කුව ගල් දෙබුක්කාවකට හිර කරගෙන අං දෙක විතරක් පේන ගෝනාට මානෙ ඇල්ලුවා .

අපරාදේ බොල පතුරම ! ඔච්චර දුරක් වෙඩි තියන්න බැරුවා . !”

ගමේ එවුන් කියන කතා යන්තම්වත් මායිං නොකරවුව ජගත් අයියා කොකා ගැස්සුවා . ගල් තලාව උඩ උන්නු ගෝනා තත්පරේකින් රෝල් වෙලා ඇවිදින් බිමටම පතබෑ වුණා . එදා ගමේ කොයි කවුරුත් ජගත් අයියට පින් දෙමින් දඩමාලූ කෑවේ පවු පින් ගැන හිතීම පැත්තක තියනගමන් .

මම ජගත් අයියලෑ ගෙදර දිහාවට යද්දී වෙලාව හැන්දෑ ජාමේ 4 විතර ඇති. වෙනදාට නම් මේ ඉරගල පයින ජාමෙට වැටෙන රත්තරන් පාට අවුව ඇස් දෙක ඇරං ඉන්න බැරි තරම් සැරක් ගෙන දුන්නත් දවාලේ වැටුන වැස්ස නිසා ඒ වෙලාවේ තිබුනේ තරමක අඳුරක් .

මම ගෙට ගොඩ වෙනකොටත් ජගත් උගේ පන වගේ ආරක්‍ෂා කරන තුවක්කුව සුද්දකරනවා . මහන මැසින් එකට දාන තෙල් බෝතලයත් අමුඩ ලේන්සුවකුත් ඒ ලඟම වැටිලා තිබුනා .

සඳරු මලයා අනෙ හොඳ එකා වගේ දුවං ගිහින් පාල මාමලෑ කඩෙන් ගිනිපෙට්ටි අටක් ඇන්න වරකෝ රුපියල් හතරේ ගිනිපෙට්ටි තියෙන්නේ පාල මාමා ගාව විතරයි උගෙන්ම ගනිං.. !”

මමත් ආපහු හැරිලා මීටර් දෙසීයක් විතර එහයින් ඇලට උඩහ පාරේ තිබ්බ පාල මාමලෑ කඩේට ගිහින් ගිනිපෙට්ටි අටකුත් අරං ඉතිරි සල්ලි වලට කැප්ටන් දුම් වැටි දෙකකුත් මිලදී ගත්තේ ගාන සමබර කරන හිතාගෙනයි . මම ගිනිපෙට්ටිත් අරන් ආපහු එද්දී ජගත් උගෙ තුවක්කුව හොඳට පිරිසිදු කරලා මිදුලේ තිබුන බූරු ඇඳ උඩ තියලා තිබුනා .

ගිනි පෙට්ටි ගත්තද මලේ ?”

ගත්තා ගත්තා ..

එහෙනම් ඉතින් වෙඩිල්ල හදමු උඹ ගිනිකූරු සුද්දකරහං ..!

එහෙම කියාපු ජගත් කැප්ටන් එකකුත් පත්තු කරගෙන ගිහින් උගේ කබඩ් එකේ ලාච්චුවක් අවුස්සලා පරණ පතුරං කොපු දෙකක් උස්සගෙන ආවා . ! අලුත් පතුරම් ගන්න අහල පහල තැනක් නැති හන්දම ගමේ කොයි වෙඩික්කාරයත් කරන්නේ හිස් පතුරම් කොපු වලට වෙඩිබේත් පුරෝලා පාවිච්චියට ගන්න එකයි .

ගිනි පෙට්ටි හතරක වෙඩි බේත් එක්ක රෙදි කෑලි සහ තව තවත් මොනාදෝ යකඩ කෑලි කීපයක් එකට ඔබලා හෙමිහිට කොටන ගමන් පතුරම් පුරුවන උදවිය මම අනන්ත දැකලා ඇති . ඒත් මම නම් පතුරම් පුරුවන්න දක්‍ෂයෙක් නෙවේ .

අහක තිබ්බ පත්තර පිටුවක් ලඟට ඇදගත්ත මමත් ගිනි කූරු වල තිබුන වෙඩිබේත් ඇඟිලි වලින් හූරමින් එකතු කරන්න ගත්තා . මම එකතු කරන වෙඩි බේත් වටකුරු බෝතලයක් රෝල් කරමින් තව තවත් කුඩු කරන කටයුත්ත ජගත් අයියා කරන්න ගත්තා .

හිස් පතුරමක් පුරෝලා ගත්තාම ඒකට වියදම් වෙන්නේ රුපියල් අටක දහයක විතර පොඩි ගණනක් විතරයි . හරිහමං දඩයමක් හොයාගත්ත එකෙක්ට රුපියල් තුන් හාරදාහක් නිකම්ම අතට ගතහැකි. තරබාරු හොටබරියෙක්, ගෝන නාම්බෙක්, මුවෙක් අල්ලගන්න එකා එදාට ගේ ඉස්සරහා රතු රෙදි කෑල්ලක් එල්ලා දානවා එතකොට ගමේ කවුරුත් ඌට මුදල් ගෙවලා මස් අරගෙන යනවා .හේන් කුඹුරු වැඩ නැති කාලෙට සල්ලි හම්බු කරන්න කියලා ගමේ එකෙක්ට ඉතිරි වෙන්නේ දඩයම විතරයි .

ජගත් දඩයමේ යන්න හුරු පුරුදු වුණේ වයස අවුරුදු දාහතරේදී කියලා තමයි ඌ දවසක් මට කීවේ . ඒ ගැන තවදුරටත් අහගෙන හොයාගෙන යද්දී දඩයමට යේතු වුණ ප්‍රධාන කාරණේ මට ඌ කියාපෑවා .

මීට බෝම කාලෙකට ඉස්සර ගම වටේ තියන බුද්ධංගල කැලේ මහා විසාල මුව රංචුවක් උන්නා.උන් කැලේ තිබුනු පොඩි පොඩි ගස් වල තියන කොල හැම එකක්ම කාලා දාන්න ගත් නියං කාලෙට ගමේ හේන් වතු පිටි වලට වැදිලා ඒවා පාලු කරන්නත් ගත්තා . . අන්තිමේදී වගකිවයුත්තන්ට සිදුවුණා දඩයමේ යන දඩයක්කාරයන්ට ගෙවල් වලට ගිහින් මුව දඩයමේ යන ලෙසට උපදෙස් දෙන්න . ඔන්න ඔයි සන්දියේ තමා අප්පුච්චගේ ගිනිකඳයා අතට ගත්ත ජගත් ජීවිතේ පලවෙනි වතාවට තනියම දඩයමේ ගියේ . ජගත් අයියා කියන විදිහට නම් ඒ වෙනකොට ඌ තුවක්කුව තරමටවත් උස නැහැල්ලු ..

ඔයි ගිනිකූරු වල තව බේත් ඉතිරියි බං ..! සෝමාරි කම නැතුං හරියට හූරහංකෝ .”

ජගත් අයියාගේ තරවටුවෙන් මම ආයෙමත් වැඩේට බැස්සා . මාපට ඇඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් පොඩිකරලා ගිනිකූරු පෙට්ටි හතරක වෙඩිබේත් එක්කාසු කරන්න මට විනාඩි පාලොහක් විතර යන්නැති . මම එකතුකරන වෙඩිබේත් බොහෝම හීනියට පොඩි කරපු ජගත් බූරු ඇඳ මත්තේ හරහට තියාගත්ත ලෑල්ලක් උඩ තියාන පතුරම පුරුවන්න පටන්ගත්තා . ගම්මිරිස් කුඩු වගේ වෙඩිබේත් කුඩු පතුරමට පුරවමින් රෙදි කෑල්ලක් ඒ අතරට තියලා තෙරපන ගමන් කූරකින් හෙමිහිට තලමින් ජගත් පතුරමක් පිරෙවුවා . පොඩි එකෙක් වගේ මමත් ආසාවෙන් ඒ දිහා බලාන හිටියා .

එක පතුරමක් පුරෝලා අහවර කරපු ජගත් ඊලඟ පතුරමත් පුරවන්න පටන්ගත්තා . බූරු ඇඳ මත්තේ එරමිණියා ගොතාන වාඩිවෙලා උන්න මම පොඩියකට එතනින් නැගිටලා බිමට බැස්සේ අතේ ගෑවිලා තිබුනු වෙඩි බේත් හෝදගන්න හිතාගෙනයි .

ජගත්ගේ ගේ පිටිපස්සේ තියන ලිඳ ගාවට ගියපු මම වතුර බාලිදියක් ඇදලා අරං සබන් ගාපු අත බාල්දියේ ඔබලාම හෝදගත්තේ වටේ පිටේ කවුරුහරි දකීවිදෝ කියලා හොරැහින් බලන අතරේදියි . අත හෝදාගෙන ඇඳන් උන්න කමීසෙම පිහදාගත්ත මම ආයෙමත් ජගත් අයියා ඉඳගෙන උන් බූරු ඇඳ ගාවට කිට්ටු වුණා .

මම ජගත් අයියාව පේන මානෙට ආ හැටියෙම ඩෝං ගාගෙන මහා පිපිරුම් හඬක් ඇවිදින් මාව කැරකිලා ගියා කණ ගාවින්ම ඇහිච්ච ඒ පිපිරුම් හඬ නිසා තත්පර කීපයක් යනකම්ම මගේ කණ් දෙක අගුල් වැටුණා . අන්දුන් කුන්දුන් වෙලා උන්නු මම ආයෙමත් හොඳ සිහිය ආපුගමන් හනිකට දුවලා ගියේ ජගත් අයියා උන්න දැහෑවට . මම හිතන්නේ මම පියවි සිහියට එන්න අඩුම ගානේ විනාඩියක්වත් යන්න ඇති

බූරු ඇඳ උඩ උන්න ජගත් අයියා බූරු ඇඳෙන් බිමට බැහැලා හිටගෙන ගල් ගැහිලා බලාන හිටියා . උගෙ කකුල් දෙක පුරාම තිබුන සත විසිපහේ කාසියක ප්‍රමානයට පුංචි පුචි තුවාළ කැලැල් පනහකින් හැටකින් විතර එක දිගට ලේ ගලනවා . බූරු ඇඳේ ගෝනිය තැනින් තැන පිච්චිලා .

ජගත් අයියේ !”!

මම කෑගහමින් ජගත් ලඟට කිට්ටු වෙලා වැටෙන්න ඔන්න මෙන්න වගේ වැනෙමින් උන්න ඒකව වත්තං කරගෙන බිම ඉන්ඳුවා . !

ජගත් ජගත් කතා කරහං කොල්ලෝ !!”

මම උගේ කම්මුලට තට්ටු කරමින් කීප විටක්ම ඌව කතාකරවන්න හැදුවත් ඌ නෙවේ කටක් හෙල්ලුවේ ඒ විතරක් නෙවේ ඌ ඇස් පිය ගැහුවේවත් නෑ . බලගත්ත අතේ බලාගෙන ගල් පිළිමයක් වගේ උන්නා .

සුමති මාමා . කරුණාපාල මාමෝ !! කවුරුත් නැද්දෝ !!!

මම අහල පහල ගෙවල් වලට ඇහෙන්න මහ හයියෙන් කෑගැහුවා . ජගත්ගේ තුවාල වලින් එක දිගට ගලා යන ලේ දැක්කාම මට මොහොතකට හිතුනා ජගත් මැරේවි කියලා .

ඇයි ඇයි මොකද මොකද ?

කඩුල්ලෙන් ඇතුලු වුනු කීප දෙනෙක් හනි හනිකට වත්තට පැනලා මමයි ජගත් අයියයි වටේ වට වුණා .

ජගත් පුතේ ජගත් පුතේ උඹට මොනැයි වුණේ මයෙ දෙයියා ?.ඒ ආපු සෙනග අතරේ උන්න ජගත් අයියාගේ තාත්තා අඬන්න තියාගත්තා .

බලාගෙන ඉඳලා හරියනවෑ තිලක් ගේ ආටා එක කතාකරගෙන මේකව ඩිස්පෙන්සරියට ගෙනියමු ..”

මොහොතකින් වත්තට පිඹගෙන ආපු තුන්සක් රියට පටවලා ජගත්ව ඩිස්පෙන්සරියට ගෙනියද්දී ඒ තුන්සක් රියේ රියදුරු අසුන ගාව පුංචි ඉඩේ වාඩිගත්ත මමත් උන් එක්ක ඩිස්පෙන්සරියට ගියා . අපි යන අතරතුරේදිත් ජගත් කතාබහ කලේ නෑ . ඇස් දෙක ඇරගෙන බලාගත්ත අතේ බලාන ඉන්නවා .පිපිරුම් හඬ ඇහිච්චි මගේ කණ් දෙකෙනුත් හෝ හෝ ගාලා හඬක් නැගෙනවා .

ඩිස්පෙන්සරියේ තිබුනු ගිලන් ඇඳ මත්තේ ජගත්ව හාන්සි කරවුවාට පස්සේ ජගත් යන්තම් කට ඇරලා වචනයක් කීවා .

පතුරම කොටාපු කූර කැප් එකට හි .. හි ට්ටා

ජගත් වෙවුලමින් කියද්දී තමයි වෙච්ච දේ කාට කාටත් තේරුම් ගියේ . වෙඩිබේත් පතුරමට දාලා කොටමින් ඉන්න අතරේ ඒ කොටන කූර තදින් වැදීම නිසා පතුරම පුපුරලා ගිහින් . ! අත හෝදාගන්න අහකට නොගියා නම් අද මටත් ඉන්න වෙන්නේ ජගත් උන්න මේ ඇඳේ අහලකින් නේද ? මට එහෙම හිතුනා .

ඩිස්පෙන්සරියෙන් රෝහලට මාරු කරලා යවාපු ජගත් . දවස් තුනකට පස්සේ සනීප වෙලා ගෙදර ආවා. ඉතින් මමත් විජහට මගේ මිත්‍රයාගේ සැප දුක් බලන්න ගියේ හෝර්ලික්ස් පිටි පැකට් එකකුත් අරගෙනයි . මම නිසා මේ හැම දෙයක්ම සිද්ද වෙච්ච බව මට හොඳටම තේරුණා එදා මගේ කටින් අර වචනේ පිට වුණේ නැතිනම් මේ කිසිම දෙයක් නෑ නේ ! මට අනේක වාරයක් එහෙම හිතෙන්න ඇති . සමහරවිට ජගත් මගෙත් එක්ක අමනාපෙන් ඇති . උගේ ගේ ගාවට කිට්ටු වෙද්දී මට එහෙමත් හිතුනා

මම ජගත්ගේ කඩුල්ල ලඟටම යද්දී ගමේ තවත් එවුන් කීප දෙනෙක් එක්ක එලියේ කදේ දාගෙන උන්න ජගත් අයියා මාව දැකලා නැගිට්ටා .. !

අම්මෝ සඳරුවා ! මොනා බං මට ගෙනාවේ . අඩ්ඩඩ්ඩා මෝටමිල්ක් ගෙනල්ලා ! ඔවුවා බිවුවම බඩ වේලනවාලු නේ බං ? කමන්නෑ..! එක්කෝ මම මේක අමුවෙන් කන්නද ?

උගේ හිතේ කහටක් නෑ . ඌට වෙච්ච දේ ගැන ඒ හැටි ගාණකුත් නෑ . පතුරම පුපුරන්න කලියෙන් ගමේ උන්න ඒ ආතල් කොල්ලම තමා .

මං නං හිතුවේ උඹ ඉවරයි කියලා ජගත් අයියේ . !”

මොහොතක් සද්ද නැතුං උන්න මම කතාව පටන්ගත්තේ ඒ විදිහට.

මටනම් හිතාගන්නවත් බැරි වුණා බං . මම හෙමීට කොට කොටා ඉද්දී මගේ අත පොඩ්ඩක් තද වෙලා ගිහින් කොටන කූර කැප් එකටම හිට්ටා කියාපංකෝ !”

නෑ !

නැත්තෙ ? මේං බලාපං මයෙ වමත !

ජගත් උගේ වම් අත මට පෑවා ! එතකොටයි මම දැක්කේ උගෙ වම් අතත් තරමක් දුරට තුවාළ වෙලා තිබුනු හැටි මට ඒ අතේ තුවාළය හරි හැටි දැකගන්න බැරි වුණේ කිරිපාට වෙලුම් පටි වලින් උගේ අත හොඳ හැටි වෙලලා තිබුණ හන්දයි .

ඔයිං ගියා මදෑ බං මයෙ මේ කට හන්දා තමා මේ සේරම . !

උඹෙ කට හන්දා නෙවේ මලයා මේකට හේරෝම වැරද්ද මේ මයෙ . උඹ බේරිච්ච එකට මම දෙයියන්ට පින් දුන්නා බං . .. !

උඹගේ වැරැද්ද කොහේ බං මම නේ දඩයමක් ගැන මතක් කරලා උඹව උසි ගැන්නුවේ ?

මලයා උඹ ලිඳ පැත්තට ගියායින් පස්සේ මගෙ අතින් එක වංඟියක් කොටන කූර වීසික්කා වුණා . මම ඒක ආයි ඇහිඳගනිද්දිම හූනෙක් චික් , චික් ගෑවා බං . ඒත් මම ගොබ්බයා වගේ ඒක මායිං නොකර ආයෙත් කොටන්න ගත්තා බං . ! ඔන්න ඕකයි මට වැරදුනේ

උඹට ඒම හිතෙනවද ජගත්තයියා ?

නැතුං ඉතිං ආයේ මම පතුරං පුරුවන්නේ පුරුදු වෙන්ඩැයි යකෝ තෝ දැනගිය ! මම මේ පතුරං පුරුවන්නේ මම තුවක්කුවටවත් උස නැති කාලේ පටන් .”

ජගත්ගේ කතාව ඇහැවුවායිං පස්සේ මගේ හිතේ තිබ්බ ලොකූ බරක් නිදහස් වෙලා ගියා . හූනු සාස්තරේ හරි හරියටම හරි මගේ හිතේ හැඟිලා තිබුනු මොකද්දෝ හැඟීමක් ආයෙමත් වංඟියක් අලුත් වෙලා කෑමොර දෙන්න ගත්තා . මම මහා ජඩ වැඩක් කලාය කියන හැඟීම මගේ හිතෙන් අහක් වෙලා හූනු සාස්තරේ ගැන හිතේ තිබුන පිළිගැනීම ආයෙත් වංඟියක අලුත් වෙද්දී මම ගෙවල් පැත්තට ගෑටුවේ මේ කතාව ලියා දාන්න හිතාගෙන .

දවස් ගානක් තිස්සේ මගෙ වම් කණෙන් ඇහෙන කීං හඬත් හීන් වේදනාවත් තවම එහෙම්මයි . ටවුමේ මහ ඉස්පිරිතාලේ වම් කණ පිළිබඳ විශේෂඥ දොස්තර මහත්තයා හමුවෙලා මේ වෙච්චි කතාව සේරෝම කියාපාල මම බේත් ටිකකුත් අරගත්තා . සතියක් දෙකක් යනකම් දියේ ගිලිලා නාන්න හෙම එපා කියලා තමා දොස්තර මහත්තයා මට කීවේ . මේ දවස් ටිකේ පොඩ්ඩක් ලියන්න අතපසු වුණේ ඒකයි .


/ලි : ඔබා මාමා ගෙන් කමෙන්ට් එකක් ආයේ කවදාවත් නෑ නේදෝ කියලා හිතෙනකොට හිත හීනිවට අඬනවා ..!

107 comments:

අරුණ හෙට්ටිආරච්චි said...

එක පාරින් සතෙක් ඉලක්ක කරලා වෙඩි තියන්න පුළුවන් පවු කාරයෙකුට කියන කතාව මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ මඩොල් දුව කතාවෙත් තිබ්බා වගේ මතකයි. හුනු සාස්තරේ හරියන්නේ හුනෙක් චුක් චුක් ගෑවම ඒක ගණන ගත්තේ නෑ වගේ හිටියට හුණු සාස්තරේ හිතේ හොල්මන් කරන නිසා කියලයි මට නම් හිතෙන්නේ. මෙතනදීත් හුනා ගැන හිත හිතනේ ජගත් වෙඩි බෙහෙත් පුරවලා තියෙන්නේ. උඹ බෙරිච්ච එක ලොකු දෙයක්. වෙනද වගේම සුපිරි ලියවිල්ල. ජය වේවා..!!!

Samitha said...

hoonu sasthare barapathalakama... :)

Sajith Lab said...

උබ ඔයින් බෙරුනා මදෑ බං... උඔටත් වෙන්න පුදුම දෙවල් තමයි. මම හිතුවා පෝස්ට් එකක් නැති වෙද්දි මොකක් හරි කරගෙනම තමයි කියලා.... තුවාලයක් නැතිව බේරිච්ච එකට සංතෝෂයි...
ජය වේවා !!!!!

meegodaya said...

අනන්තවත් දඩයමේ ගිහින් තිබුනට තුවක්කු අරන් ගිහින් නෑ ඕන්... තුවක්කුවෙන් එලාගන්න තරම් ලොකු සත්තු හිටියෙත් නෑ.. අපි දඩයමේ ගියොත් යන්නෙ හාවෙක්.. මීමින්නෙක් බැරිම උනොත් කොරවක්කෙක් ඇන්න එන්න....

ගිණි කූරුවලින් හිස් පතුරන් පුරවනවා කියල දැනගත්තෙනං අද

ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව. said...

හයියෝ මොකට ඔව්වා කරන්න ගියාද?

සෙන්නා said...

අඩේ ඔහොම පතොරොම් කොපු පුරවලා ගන්ඩ පුලුවන්ද බන්.. ඔය හදිය වෙලා තියෙන්නෙ ඉතින් හූනා නිසා නෙමේනෙ බන්.. හූනා කියපු දේ නාහපු නිසානෙ.

උඹ කයියක් එයෙම දාලා දුම් පානයෙන් මිදුනෙමි කියලා කිව්වා නේද.. දැන් ආයෙත් බොනවද ? නැත්නම් කැප්ටන් කූරු ජගත්තයියට විතරමද ?

ලිවිල්ල ගැන ඉතින් කියන්ඩ දෙයක් නෑනෙ බන්.. බොහොම ආසාවෙන් කියෙව්වා..

ඔබා මාමාගෙන් කමෙන්ට් එකක් නැති වෙන එකනම් ලොකු අඩුවක් තමා..

ජයම පතමි !!!

Unknown said...

උඹ වගේම ජගත් අයියත් වාසනාවන්තයි සදරුවෝ, නැත්නමි ඔයිතරමි දෙයක් වෙලත් දෙන්නටම ලොකු අනතුරක් නොවුනු එකම ඇති. ඔබා මාමා හිටියා නමි අදත් හිනාවෙන කොමෙන්ටුවක් බලාගන්න තිබුනා. කමක් නැහැ , ජිවිතේ හැටි එහෙමයි සදරුවෝ...!!!

Kavindi said...

හැබැයි කොහොමෙන් කොහොමහරි , කලේ සතෙක්ගේ ජීවිතේ එදා බේරුනා.. ඒ පිනම ඇති දෙන්නගෙම දෝස දුරිම්භූත වෙන්න

Pisakkaatuwa said...

මේ මාසේ බ්ලොග් පොස්ට් නොදාන්න හේතුව මේකයි එහෙනම්. වෙනද වගේම ලිවිල්ල නම් සුපිරි. චිත්‍ර පටියක් බැලුව වගේ තමයි . මැවිලා පේනවා. පොද වැස්සකට පස්සේ දඩයමේ යන කතාව මං මීට කලිනුත් අහල තියනවා. එකට හේතුව වැස්සට පස්සේ සත්තු වැඩිපුර එලියට ඇදෙනවද?

ගොඩගමයා said...

මම එක...:D

Anonymous said...

-- ටවුමේ මහ ඉස්පිරිතාලේ "වම් කණ පිළිබඳ විශේෂඥ දොස්තර මහත්තයා" හමුවෙලා --

සඳරු , දකුණු කණට තව දොස්තර කෙනෙක් ඉන්නවද ?

LA

ගොඩගමයා said...

අපි ඒත් බලන් උන්න ඇයි කාලෙකින් පොස්ට් එකක් නැත්තේ කියල...
උබට අව්ලක් නැති එක නම් ලොකු දෙයක්...

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ඔකොමටම කලියෙන් මොකක්ද වම් කණ පිළිබඳ විශේෂඥ දොස්තර මහත්තයා අපේ අප්පේ දැන් එහෙමත් ඉන්නවද මම දන්නේ දැනුයි නොවැ. හෙක්.... හෙක්.....

මම නම් හූනු සාත්තර විශ්වාස නොකරමි. හූනාට උගේ පාඩුවේ ඉන්න ඇරියොත් හොදයි. නැත්නම් අර හූනා ගැන වාක්‍ය රචනාව ලියන්න වෙයි. මතකනේ.....

කතාව නම් ඉතාම අගය කළ යුත්යි. උපරිමයි.

ක්සැන්ඩරයා said...

පතුරොම් පුරවන්නේ කොහොමද බං? මම ලබන සතියේ දිහා අම්පාරේ එන්නයි හිතන් ඉන්නේ. බලමුකෝ අවාමවත් බලාගන්න.

Subha said...

//සතියක් දෙකක් යනකම් දියේ ගිලිලා නාන්න හෙම එපා කියලා තමා දොස්තර මහත්තයා මට කීවේ . මේ දවස් ටිකේ පොඩ්ඩක් ලියන්න අතපසු වුණේ ඒකයි.//
සඳරුගේ පෝස්ට් එකක් පරක්කු මොකද කියල බැලුවා. මම අදනේ දන්නේ දියේ ගිලිලා නාන ගමන් ලියන්නේ කියල.:D

සුදීක said...

අම්මෝ සඳරු මලේ උඹ බෙරුණේ පූරුවේ පිනකට. මම ඒත් බැළුවා හුඟ කාලෙකින් පොස්ට් එකක් නැත්තේ මොකද කියලා. හොඳ වෙලාවට උඹේ වම් කන මෙව්ව වුනේ. මොකද දොස්තර මහත්තය දකුණු කන් බලන්නේ නෑනේ. එහෙම වුනානම් උඹට අපේ පැත්තේ දොස්තර කෙනෙක්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නේ. එක හුස්මට කියෙව්ව. කොහොමත් උඹේ කතාවලට මං මනාපයි. එත් උඹ මගේ පොස්ට් එකකට කමෙන්ට් දැම්මා නොව කීප දොහකට කලින්.

Anonymous said...

Hamadama wage maxxa..
ranga

Anonymous said...

තව එකක්,

සතියක් දෙකක් යනකම් දියේ ගිලිලා නාන්න හෙම එපා කියලා තමා දොස්තර මහත්තයා මට කීවේ . මේ දවස් ටිකේ පොඩ්ඩක් ලියන්න අතපසු වුණේ ඒකයි .

ඒ කියන්නේ සඳරු ලියන්නේ දිය යට ඉඳන්ද ?

LA

දිනුක said...

ඔන්න වැඩේ.ඔය ගිනිපෙට්ටිවලිං බෝම්බ හදද්දිත් ඔහොම පුපුරලා ගිය කතා මං අහල තියෙනවා. ඈ බං ඇත්තටම ඔහෙ දඩයං කරන එක අවුලක් නැද්ද? පොලිස් මාමලාගෙං අවුලක් නැතෙයි?

රාජ් said...

අපිනං තුවක්කු කොටන්නෙ රෙදි පාංකඩ ටිකක් දාල. එතකොට මේ අවුල ටිකක් අඩු වෙනව. ඒත් මේක ඉතින් හිස් ප‍තරොමක්නේ. කරුමෙ තමයි.
බලාගෙන! ගාමිණී අයිය ඇවිල්ල උඹව කුදලාගෙන යයි.

Asanka Udayanga said...

අඩේ මාර සීන් එකනේ වලා තියෙන්නේ,ඔයින් ගියා මෑදෑයි..!!!

Sudara Fernando said...

කථාවනම් හැමදාම වගේ එළ...

මමත් ටිකක් හූනු සාස්තරේ විශ්වාස කරනව....

kumaraya said...

නියම කතාව මලයා ....
යමක් වෙන්න තියෙනවානම් වළක්වන්නත් අමාරුයි නේ.

[ඔබා මලයා ගැන ලියපු එක නම් සහතික ඇත්ත. මීට පස්සෙ කමෙන්ට් නෑ කියල හිතෙනකොට හීනියට නෙවෙයි... ලොකුවට ම ඇඬෙනවා බං]

Anonymous said...

අන්න බොට මම මේල් එකක් දැම්ම... කියන්ඩ ඕනෙ එව්ව සේරම ඒකෙ කියලයි තියෙන්නෙ... මට මල පැනල ඉන්නෙ උඹත් එක්ක.. ඒ හන්ද වැඩි කතා නෑ අද...

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

අඩේ මම එක...

මල්සරා @ ≈ මගේ ජීවිතය ≈ said...

මම බැලුවේ මූට මොකෑ වෙලා තියෙන්නේ කියලා.. ඉක්මනටම කණ හොද කර ගනින්..

Akash Tharinda said...

මදැ hunting යන්න ගිහිං කොරගත්ත හරිය.කනේ අමාරුව ඉක්මනිං ම සුව අතට හැරෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව.

Harshana said...

කැලේ සත්තු මරලා කන්ඩ එපා බොල, උනුත් ඉන්ඩ ඕන..... ඒ මදිවට ඒකත් වෙන එකෙක් ලවා කොරගන්න ගියේ පව අඩුවෙන්නද .....

MR. KING said...

අම්මටෂිරි... පික්ෂු කොර... වෙලාවට අයියා මචා එහාට ගියේ.. :-)

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කිව්වලු... (නැසුනෙ නෑනෙ? හොදයි.. )

සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

Sumith Niriella said...

වැව් ගම් පත්තුවේ ජීවත් වෙනවනම් වෙඩිල්ලක භයංකාර සද්දෙ,සතෙක්ගේ උණු ලේ වල පහස,තමන්ගෙම තුවාලෙක වේදනාව ඒ හැටියෙන්ම විඳලා නැත්නම් ඒ ඉඳිල්ලෙන් ඇති වැඩක් නෑ.

සොමිකොල්ලා said...

අප්පට සිරි... උඹටත් මාර වැඩනේ වෙන්නේ... උඹ බේරිලා තියෙන්නේ 99 න්... ඕවට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියල...
පරෙස්සමට හිටු බොල...

පූසා said...

මම ආයේ ඔහේ එන දවසකට මට දඩමස් ලෑස්තිකරලා තියපං ඈ!

උමා said...

දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නෙ ඔය වගේ එහෙකට තමා මලයා...ඔයින් ගියා මදැයි...මීට පස්සෙ පව් වැඩකට සම්මාදන් වෙද්දි පරිස්සමින්...

සිහින said...

හූනු සාස්තරේ හරියට හරි - මේ දැන්වීම ඔබ වෙත ගෙන ආවේ ඇම් ඩී කෝඩියල් - තෑගි දෙන සාස්තරේ..

චමී4යූ~chami4u said...

අප්පට සිරි මර වැඩක්නේ වෙලා තියෙන්නේ...ඕක ඔහොම නොව්නනම් කොහේ හරි ඉන්න අහිංසක සතෙක්ගේ ජිවිතයක් අහවර වෙන්න තිබුන නේද...කොහොම උනත් වෙඩි බෙහෙත් සමස සෙල්ලම් හොද නැහැ..

සිතුවිලි නිහඬයි said...

මොන දේ කරත් පරිසමින් කලානම් තමා හොද..එත් ඉතින් ප්‍රානගතය ඒ හැටි හොද දයක් නෙමේනේ....

Praසන්ன said...

උඹට ගිලිල නාන්න ඕනද සඳරු මල්ලි පෝස්‍ට් එකක් ලියන්න.
කොහොම උනත් උඹයි ජගත්තයියයි දෙන්නම බේරිච්ච එක ලොකු දෙයක්.

ඇත්තටම බොලයි පැත්තෙ ගිණි පෙට්ටියක් කීයද?

විමුක්ති said...

මදෑ උබලට අච්චුකොලේනැතුවා,
ඕවලයිසන් තුවක්කුදබං?

ItalyDilan said...

දඩමස් කාපු කාලයක් මතක නෑ බන්,,ඕවට උබලගේ පැත්තටම එන්න වෙනවා දැන් නම්,ඔය වෙඩි බේත් කෙටීම නම් ගොඩක් බයානකයි තමා වැලි කැටයක් තිබුනත් ඇති කොටනකොට පුපුරන්න

MUHUDU said...

හොටබරිය කියන්නෙ මොකෙක්ද? සඳරු කලිනුත් කියල තියෙනව. එත් මට අමතකයි දැන්.

ගැමියාගේ පත් ඉරුව said...

මොකක් හරි පෙර පිනක් තිබිලා තියෙනවා අයියට හම්මෝ ඕක තමා කියන්නේ නරක වෙලාවට මෝල් ගහත් පත්තුවෙනවා කියලා.කනට මොකක් වෙලාද ඈ

නජාත් අක්‍රම් said...

වෙලාව තමයි ඉතින් අයියේ! මොනවා කරන්න ද? හොඳ වෙලාවට බේරුනේ!
ගිනි බිඳින වැඩ වලට මාත් මනාප නෑ ඕන්..

Sindu said...

සතියක් දෙකක් යනකම් දියේ ගිලිලා නාන්න එපා කිවුවට "වම් කණ පිළිබඳ විශේෂ දොස්තර මහත්තයා" කිවුවෙ නෑනෙ පෝස්ට් ලියන්න එපා කියලා.

මම මේ හිතාගෙන හිටියෙ තව ටික දවසක් බලලා මෝල්ටඩ් පිටි පැකට් එකකුත් අරගෙන අම්පාර පැත්තෙ ගිහින් එන්න කියලා, කව්ද දන්නෙ සඳරු මල්ලි අසනීපෙන්වත් ද කියලා. යන්තම් මේ පෝස්ට් එක නිසා මෝල්ටඩ් පිටි එකට යන්න තිබුණ මගෙ සල්ලි ටික ඉතුරුයි.

නියම කතාව, ඒත් ආයෙ නම් ඔය වගේ පව් වැඩ වලට උනන්දු කරවන්න එපා කාවවත්

සරත් ලංකාප්‍රිය said...

අනේ මන්දා පුතේ.. උඹේ කතාව කියෙවුවම අනුකම්පා කරන්න ඕන කාටද (සත්තුන්ටද මිනිස්සුන්ටද _)කියල මට හිතාගන්න අමාරුයි..

Anonymous said...

හොට බරියා කියන්නෙ මොන සතාටද?

හිතුවක්කාර කෙල්ල said...

හම්මෝ.. මේ සඳරු අයියා බේරුණු කීවෙනි සැරේද? ඔය වගේ එක එක කරදර වලින් අයියා මීට කලිනුත් නූලෙන් බේරිලා ගිය හැටි ලියලා තිබ්බා මට මතකයි.. ඇත්තටම අයියා පින්වන්තයි,වාසනාවන්තයි!!!

හූනු සාස්තරේ නම් අනේ මංදා..

තාරා said...

අම්මෝ... මගෙ ඇඟ හීතල වෙලා හියා... ඔයාටත් ජගත් අයියටත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අනෙ අම්මේ.... කරගන්න වැඩ!

ටොපික් එක දැක්කාම නම් මට එකපාරට මතක් උනේ අර නංගි තේ එකට දාල දුන්නා කියපු හූනා..

DDT said...

හෆොයි ! ඔයින් ගියා මැදෑ.
හූනො අඬන්නෙ නැතුව හිනාවෙන්නයැ. මම නම් හූනූ සාස්තර විශ්වාස කරන්නෙ නෑ.

Anonymous said...

patta ban ube blog eka.. gud luck brother

සොඳුරු සඳවතී said...

අහක තිබ්බ පත්තර පිටුවක් ලඟට ඇදගත්ත මමත් ගිනි කූරු වල තිබුන වෙඩිබේත් ඇඟිලි වලින් හූරමින් එකතු කරන්න ගත්තා . මම එකතු කරන වෙඩි බේත් වටකුරු බෝතලයක් රෝල් කරමින් තව තවත් කුඩු කරන කටයුත්ත රංජිත් අයියා කරන්න ගත්තා .

හිටපු ගමන් ජගත් අයියා රංජිත් උනේ කොහොමද ? ඒ ප්‍රශ්නය ඇරෙන්න වෙනදා වගේම කතාවනම් බොහොම හිතට අල්ලලා ගියා.ඒ උනාට අහිංසක සත්තු මරන එකටනම් මගේ මනාපයක් නෑ.ඇති ඔයින් ගියා

අසරණයා said...

පරක්කු වෙන්න හේතුව හෙනං මේකයි නේ.

ඉඳුනිල් said...

උඹේ වෙලාව හොඳයි සඳරු. බැරි වෙලාවත් හුනෙක් වම් උරහිසට වැටෙන්න දෙන්න එපා අකාලයේ... :))

Dinesh said...

උඹටත් වෙන්නෙම ඔහොම දේවල්මයි මලයා.. අතපහු නොකර ඔය වම් කණට හරියට බෙහෙත් කර ගනින්.. පතුරම ලගම හිටපු ජගත් අයියට එහෙම අවුලක් උනේ නැද්ද බං?

Anonymous said...

niyamai sandaru......hamadama wage eka husmata kiyewwa... wenama lokeketa giya wage.

Anu

ඉන්ද්‍රජිත් said...

මාර බෙරිල්ලක්නෙ බං...

geeth said...

්‍මලයත් වෙන වැඩ...ඉක්මනට සනීප වේවා !!

මේ බලන වෙලෙ මාත් බැලුවා නෑමයි මේ ලියවිල්ලයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා....

කතන්දර Kathandara said...

තැන තැන දගයමේ ගියා වගේ නෙමේ තුවක්කු බටේට මොකවත් වුණොත් ඉඳලා හමාරයි!

Anonymous said...

පරිස්සමෙන්!

හූනු සාස්තරේ ගොඩක් වෙලාවට හරි! අනේ මන්දා!

හිස් අහස said...

@රෙප් මහත්තයා= මුල් වතාවෙම හරියට මානෙ අරගන්න එකාට පවු කාරයා කියලා මේ පලාතේ නම් කියන්නේ නෑ බොහෝ විට මයෙ කොල්ලා ගජ හපනා කියලා අප්පච්චිලා සන්තෝස වෙනවා . ඇත්ත උඹ කීව කතාව තව ඩිංඟෙන් මම කපෝති
.............................................................................................................................
@Samitha = හූනා වුණත් වෙලාවකට හරි වසයි බොල
.............................................................................................................................
@Sajith Lab = ඇඟ මතුපිටින් නම් මට හීරීමක්වත් නෑ බං කන ටිකක් රෙදෙන එක විතරයි
.............................................................................................................................
@mee godaya = අපෝ මෙහේ නම් උදවිය අනන්ත දඩයමේ යනවා . මීමින්නා තමයි මේ පලාතේ වැඩියෙන්ම බෝවෙන සතා ඉතින් කවුරුත් ඌව බාන්න කැමතියි‍‍
.............................................................................................................................
@ඊමේල් කවි කාරි = කොළු කමට නේ අක්කන්ඩි
.............................................................................................................................
@Senna = කැප්ටන් කූරු නම් ඉතින් දෙන්නටම තමා . මචං මෙහෙම පතුරං පුරෝන එක මේ පැත්තේ සාමාන්‍ය දෙයක් අනික් පලාත් වලත් මං දන්න තරමින් ඒක කෙරෙනවා
.............................................................................................................................
@Nadun Shiwantha = සහතික ඇත්ත බං ඔබා උන්නානම් අද මොනවා කියාවිද ? කතා දෙකක් නෑ කට පුරා හිනා වෙන්න පුලුවන් දෙයක් කියාවි .
.............................................................................................................................
@Pisakkaatuwa = මං හිතන්නේ ඒක වෙන්නැති මමත් ඒ ගැන හරියට දන්නෙ නෑ . මයෙ සීයලා එහෙම ඒක නිකං සිරිතකට වගේ කරලා තියනවා
.............................................................................................................................
@ගොඩ ගමයා = මචං උඹ එක නෙවේ . කිසි අවුලක් නෑ දැන් නම් තරමක සැපෙන් ඉන්නවා ඒකම මදෑ .නේද ?
.............................................................................................................................
@LA = ඒක නිකං මේ ආතල් එකට කීවේ මචෝ දන්නැද්ද දැන් ඉතින් තාක්‍ෂනේ දියුනුයිනේ . එහෙම නෙවේ බොල මගෙ හිස කකියනවා ඔය වේදනාව එද්දී ඒකයි මම පොඩ්ඩක් රෙස්ට් පිට උන්නේ
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = වම් කණ ගැන කතාව නම් මේ ජොලියට කීවේ වෙද මාමේ . වෙද මාමගෙන් බේතක් අහගන්නත් හිතලා ආයේ මොකට කරදර කරනවද කියලා රෝහලට ගිහින් බේත් ගත්තා . හූනු සාස්තරේ මටනම් හීනිවට වගේ ..
.............................................................................................................................
@ක්සැන්ඩර් = අප්පද බොල ආවොත් මට ඇමතුමක් දිය මම එන්නම් හනික
.............................................................................................................................
@Subha = එහෙම නෙවේ ඉතින් පැත්තකට වැනුනත් කණ පොඩ්ඩක් කූං ගානවා ඉතින් හිත එක තැනක තියාන ලියන්ඩ බෑ ඒකයි ලීවෙ නැත්තේ
.............................................................................................................................
@ඇවිද්ද පය = ඔයා කීව කතාවේ දෙවනි කොටහත් දැන් දාලා ඇති නේද ද හැන්දෑ කොහේ ඒ පැත්තේ එන්නම් බලන්ඩ . කන්ටිබල් කතාව මමනම් ඕං ගමටම කියනවා
.............................................................................................................................
@ranga = කතා සෝරෝම කියෝනවාට ස්තුතියි
.............................................................................................................................
@දිනුක = අවුල් දඩයම් කරන්න තහනම් මොකද අපි ඉන්න ඒරියා එක අභය භූමියක් ඒත් මචං වෙල් යායෙන් එපිට තියන පොඩි කැලෑ කෑල්ල නම් එහෙම නෑ ඒක නිසා ගොඩ දෙනෙක් එහේ රිඟලා දඩයම් කරන එක තමා කරන්නේ අනික් එවුන් උන්ගේ වත්තට කුඹුරට පයින සතාට වෙඩි තියනවා . ඒව තහනම් නෑ
.............................................................................................................................

හිස් අහස said...

@රාජ් = හුටා ගාමිනී අයියා වයිල්ඩ් මෙවුවා එකේ නේද ? මේ කතාව මම ලීවේ නෑ කියලා සේප් එකක් දාගන්ඩ ඕනෙ . පාංකඩ කෑලි වෙනුවට සමහරු පත්තරත් දානවා
.............................................................................................................................
@අසංක = ඒක නේන්නං මචෝ මගෙම වෙලාව මාරකයක් පැන්නා
.............................................................................................................................
@Sudara Fernando = මමත් ටිකක් විතර ඔවුවා විස්සාස කරන්නවා
.............................................................................................................................
@kumaraya = වෙන්න තියන දේ කාටද මචං වලක්කන්න හැකි ඔබා මාමා ගැන හිතෙනකොට බ්ලොග් ලෝකේ කාටත් එහෙමයි බං
.............................................................................................................................
@hansakinkini = අප්පට සිරි අක්කන්ඩි අමනාපෙන් මොකද ? ඉන්ඩකෝ මම මේල්ලුව බලලා සේප් කරගන්නම් ඔයාව
.............................................................................................................................
@මල් සරා = එක කන්නද බොල සහභාගී වීමයි වටින්නේ කණ තව සතියකින් විතර ඇරිලා යාවි මලේ
.............................................................................................................................
@Akash tharinda = අපි වැඩක් කලොත් ඉතින් මොනාම හරි පරහක් නේ බං
.............................................................................................................................
@Harshana = නෑ නෑ බං ඌ පුරුදු කාරය නිසා මම ඌට කීවේ
.............................................................................................................................
@අඩවි රජා = සැරද මහරජ . නූලෙන් තමා බේරුනේ
.............................................................................................................................
@Sumith Niriella = පස්ට කමෙන්ට් එක බොක්ක දාල ගියා ඒක දැකලා . ස්තුතියි සුමිත්
.............................................................................................................................
@සොමි කොල්ලා = අනේ මන්දා බං මම නම් හිතන්නේ හූනා තමයි මෙවුවට වග කියන්න ඕනෙ
.............................................................................................................................
@පූසා = හැබැයි මට කලින් කියහං එන දවස
.............................................................................................................................
@උමා = අනේ ඉතින් සහෝදරී මම මේ ආතල් එක පතා ගියා විතරයි මම ඒත් මසට වැඩිය මනාප නෑ . අලුත් කෙනෙක්ද ඔබතුමිය ?
.............................................................................................................................
@සිහින = ඕං ඉතින් ඇඩ් එකක් දාගෙන තුවක්කුවක් තිබ්බානම් මම තොට වෙඩි තියනවා බොල
.............................................................................................................................
@chami4u = හැබෑමයි ගිනි කෙලි ආයෙ නම් කරන්නේ පරිස්සමෙන්
.............................................................................................................................
සිතුවිලි නිහඬයි = ෆන් එක සොයා ගිය ගමනක විපාක දැන්නම් වැටහුනා සහෝදරි
.............................................................................................................................
@Praසන්ன = අපේ පැත්තේ ගිනි පෙට්ටියක් හතරයි බොල තවම . දැන් ගාන වැඩියිලු නේද ?
.............................................................................................................................
@විමුක්ති = ජගත්ට නම් ලයිසන් තියනවා බං . ස්තුතියි ආව ගියාට
.............................................................................................................................
@ItalyDilan = ඒක නම් ඇත්ත ඉතාලියේ ඉතින් දඩයමේ ගිය හැකියියැ . නිවාඩුවක් දාගෙන ප්‍රියාවිත් එක්ක එන්ඩකෝ මේ පැත්තේ
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = හොටබරියා කියන්නේ අයියා වල් ඌරට .

හිස් අහස said...

@ගැමියාගේ පත් ඉරුව = කණ නම් ටිකක් අවුල් වගේ කොයි වෙලේ බැලුවත් කූං ගානවයි හෝ හෝ ගානවයි ඇයිද මන්දා ?
.............................................................................................................................
@රැංගෝ = මාත් ඉතින් මනාප නෑ බං මේ නිකං ආතල් එකට කැලේ කොලේට රිංගන්ඩ හිතුනා ඒකයි
.............................................................................................................................
@සිදු = ඉතින් එන්නකෝ අක්කේ මේ පැත්තේ ගාටලා යන්න අපි මැරෙන්නම ඕනෙ ඉතින් උඹලට ගම් රටවල් මතක් වෙන්න . ඒ සිරාවට එක දවසක එන්නකෝ
.............................................................................................................................
@සරත් ලංකාප්‍රිය = දෙන්නම පවු බං බඩ ගින්දර දෙගොල්ලනටම නේ
.............................................................................................................................
@Anonymous = වල් ඌරාට තමා හොටබරියා කියන්නේ
.............................................................................................................................
@හිතුවක්කාරි = වාසනාව හැමදාම නෑ නේ නඟේ ඊලඟවතාවේ මාත් වලකජ්ජ ගහන්න ඉඩ තියනවා .
.............................................................................................................................
@තාරා = අනේ දෙයියනේ මටත් අමතක වෙච්ච ඒ කවිය ඔයාට මතක හැටි . ස්තුතියි අප්පා මයෙ බ්ලොග් එකේ ලියන දේවල් කියෝනවාට
.............................................................................................................................
@DDT = මම නම් මචං සුට්ටක් විතර හූනු සාස්තරේ විස්වාස කරන්නේ ඒකෙ බලේ මයෙ ඇස් පනාපිටම ඔප්පු වෙච්ච හන්දා
.............................................................................................................................
@Anonymous =එලම තමා ස්තුතියි මචා !!
.............................................................................................................................
@කාව්‍යා = තව ඩිංඟෙන් අපේ ජගත් අයියාගේ ඇත්ත නම ලෝකයාට හෙලි දරවු වෙනවා . ඔයාගේ ඇහැ තමා ඇහැ ඔයාට පින් සිද්ද වෙන්න ඔන්න මම ඒ අඩුව සකස් කලා
.............................................................................................................................
@අසරණයා = මෙන්න මේකයි මචෝ හේතුව
.............................................................................................................................
@ඉඳුනිල් = එහෙම වැටුනොත් මොකද බං වෙන්නේ හැබෑට හනික ගිහින් ලිතේ බලන්න ඕනෙ
.............................................................................................................................
@Dinesh = ජගත් ලොක්කට යමරෙට තුවාල මට නම් මේ කණේ අමාරුව විතරයි අයියා
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = දෙයියංගේ පිහිටෙන්
.............................................................................................................................
@geeth = තැන්කිවු අයියා හනික සුව වෙන්නම්
.............................................................................................................................
@කතන්දර =කතන්දර ව්‍යංගයෙන් නමුදු මට කින්ඩියක් පාස් කර ඇති හැඩයි
.............................................................................................................................
@Anu = කවුද අප්පේ මේ අනූ මගේ පෙම්වතියත් අනූ නෙව .. මේක දැක්ක ගමන් මම ගැස්සිලා ගියා නෙව .. ස්තුතියි ඈ
.............................................................................................................................
@විසිතුරු = ඉස්සර ඉඳලම ඔය සාස්තරේ පැවත එන්නේ ජුංඩි හරි ඇත්තක් තියන නිසා කියලා හිතෙනවා

Anonymous said...

Ammoooooo deyyo dakka wage....elzzzzzzz.........

පුබුදු said...

මම මෙච්චර කාලෙකට හූනු සාස්තරේ විස්වාස කරේ නෑ බොල ඒත් මේ දැන් ඉඳල විස්වාස කරනවා
එල එල වෙනදා වගේම ලියමන අනර්ඝය්
ජය නියතය් !!

Buddhika Mawella said...

මචන් කතාව නම් නියමයි. කොහොමද මෙච්චර ලස්සනට ලිව්වේ? මේ කතාව ඇත්තටම උන දෙයක් ද?

Dilshan said...

දඩයමේ යාම නම් මම අනුමත කරන්නේ න බොල. ඕකට දිට්ට ධම්ම වේදනීය කරුමේ කියන්නත් පුළුවනි. පතුරම පිපිරිලා ජගත්ට එච්චර අමාරු උනානම් එක වදින සතාට කොච්චර අමාරු වෙයිද?

Dude said...

ගිණිකූරු වෙඩිබේත් වලින් වෙඩි තියනවා ඈ? එතකොට මූණිස්සම් වලට මොනවද දාන්නෙ යකඩ කෑලි කිව්වෙ ඔය කම්මලෙන් අහුලගන්න බොර කෑලි වගේද සඳරුවා? සිගරට් බීම අල්ලලා දාපං බං. සෞඛ්‍යයටත් හොඳ නෑ, පර්ස් එකටත් හොඳ නෑ.
henryblogwalker the Dude

මාධව විදුරංග said...

අඩේ යකෝ සදරුවෝ උඹටත් වෙන ඒවා! හම්! ඉක්මණට සනීප වෙයන් බොල!

හසී said...

කරන දෙයක් පරිස්සමින්.. කන දැන් හොඳයි ද?

Weni said...

අර ලිඳට මල් පහන් ටික පූජා කරහන් මල්ලියෙ..ඒකට ගිය නිසානෙ උඹ කන කීං ගාලා බේරුනෙ..අනේ මන්දා උඹලත් කර ගන්න දේවල්..යාළුවගේ තුවාලෙ දිහා බලලා ඔච්චර බය උනා නම්..උඹලා වෙඩි තිබ්බ සතෙක් දිහාත් බලා හිටින්කො..ඔව් ඔව් සාධාරනීකරනයක් පේනවා..දඩයම් කිරීමේ..ඒත්...

පුංචි said...

හූණු සාස්තරේ ඇත්තක් තියෙනවා කියලා කියනවා. ඒත් අත්දැකීමක් නම් නෑ..

Anonymous said...

කට ඇරලා කතා කරගන්න බැරි අහිංසක සත්තු මරාගෙන කන මිනිස්සුන්ට මැරෙන තත්පරේ හරි ඒ සතෙක් විදින වේදනාව දැනෙනවා කියන කතාව මම හූනු සාත්තරේට වඩා විස්වාස කරනවා. තුවක්කුවට උස නැති කාලේ ඉදන් කලා නම් ඔය වේදනාව සත්තු කී දෙනෙක් විදින්න ඇත්ද. මට නම් උන දේ ගැන දැනෙන්නේ කුරිරු සතුටක්. හරිම කුරිරු සතුටක්.

Beetle said...

උඹලාගේ පැත්තේ සත්තු හෙන ගේමක් දෙනවා ඇති දොට්ට පිලට යන්නත්... එහෙන් මැණිකා, මෙහෙන් වනිගේ අයියා.. අරහෙන් ජගත් අයියා... කොහෙන් පත්තු වෙයිද දන්නේ නෑ... පව් යකෝ... :)

අහවලා said...

පැත්තකට වැනුනත් කණ පොඩ්ඩක් කූං ගානවා නම් ඉතින් වැනෙන්නෙ නැතිව ලියපන්කො... අපි බල බල හිටියෙ මොකද සද්ද නැත්තෙ කියල... කලින් වතාවෙ සද්ද නැතිව ඉඳල ඇවිත් කිව්වෙ, කතා සීරීස් එකක් ම තියෙනව කියලනෙ... වැනෙන්නෙ නැතිව ඒ ටික ලියල ඉඳපන්කො හොඳ එකා වගේ... :D

චමී4යූ~chami4u said...

මුලින්ම ඔය චික් චික් ..කියපු හුනව හොයලා වෙඩි තියලා දාහන්....

තරු said...

@සඳරූ,

උඹ නූලෙන් බේරිලා තියෙන්නෙ, අච්චර තුවාල ගොඩක් වුනෙ , යකඩ බෝල දාලද කොටන්නෙ???
ආහ් ඒක නෙමේ , උඹ කන ඉක්මනට සනීප කර ගනින් විෂ බීජයක් එහෙම ඇතුල් උනොත් කෙලින්ම මොලේට යන්නෙ ..

Buddhi said...

උඔ වගේ කව්රු හරි මොකක් හරි දෙයක් කරන දිහා බලාගෙන ඉන්න මමත් ආසයි. වින්කලේක පැච් එකක් දාන එක හරි කමක් නෑ....! ඒක හරිම විනෝදබරයි. හැබැයි සමහරු කැමති නෑ එහෙම බලාගෙන ඉන්නවට...

Anonymous said...

mechchara hoda blog ekak welath domain ekak gaththe naththe aei bun? Mata email ekak dapan mama domain ekak aran dennam :)

torrentseedbot@yahoo.com

ලහිරු said...

ඈ බොලා... උඹලගේ ඉස්පිරිතාලේ වම් කණ පිළිබඳ විශේෂඥ දොස්තර මහත්තතයෙකුත් ඉන්නවද? එහෙනම් දකුණු කනටත් ඇති නේද? මම නම් කියන්නේ අම්ම ට පින් දෙන්න කියලා, අත හෝදගන්න කියලා දුන්නට! ඇති ඔයින් ගියා!

Anonymous said...

ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ විමට කරුණු 5ක් සම්පුර්ණවීම අවශ්‍යය [ඔබ එය දන්නේයැයි සිතමි]. ඔබ විසින් හුදෙක් විනෝදය තකා වුව දඩයමේ යෑමෙන් එම සියල්ල සපිරෙන බැවින් එයින් හැකිතාක් වැලකි සිටින්න. ප්‍රාණඝාත කරන්නාගෙ අයුෂ කෙටිය. ඔබගේ සේවය රටට අවශ්‍ය වන්නේ මතුවටය. මදක් සිතන්න!

-අම්බි

උමා said...

//@උමා =අලුත් කෙනෙක්ද ඔබතුමිය ?//

ඔව් මලේ මම මේ බ්ලොග් අවකාශෙට ටිකක් අලුත් ළමයෙක්..;) මාව ඉන්ට්‍රඩියුස් කෙරුවේ කැමීලියා නගා..ඉඩ තියනෙ වෙලාවක අපේ පිටුවටත් ගොඩ වැදිලා යන්නකො..

ජිනේ said...

ගොඩ කාලෙකින් පෝස්ට් එකක් නැත්තෙ මොකද කියලා බල බල හිටියෙ.... ඔහොම ගියා ඇති සඳරු අය්යෙ... ඔයාගෙ බ්ලොග් එක කියවලා කවදාවත් අපිට බලන්න විඳගන්න බැරි ගමේ ලස්සන වගේම අපි කවුරුවත් නොදකින කටුක පැත්ත ගැන දේවලුත් ගොඩක් දේවල් දැනගත්තා.. කවදා හරි මමත් ඔයාලගෙ බ්ලොග් සෙට් එකේ ෆිට් පොරක් උන කාලෙක අපිත් උතුරු වැව්ගම්පත්තුවෙ ආපු දවසක ඔය දේවල් බලාගන්න අපිට ඔහෙ එන්න පුලුවන් වෙයිද?

වීපොකුරෙ වීයා said...

මමත්.. බෙහෙත් කොටන තුවක්කුවක් පුරවනව බලන් ඉඳලා තියෙනව පොඩිකාලෙ
දැන්නම් හිතෙනව මොන මෝඩ වැඩක්ද.. කියල..ඒවයෙ බයිසිකල් බෝලත් දානව.
පිපිරුවොත්...සොරිම තමයි...
ජය වේවා...!

Bindi said...

මොකට සත්තු මරණවද මලේ . ඔන්න ඔහේ බ්ලොග් එක ලියාගෙන ඉන්නේ නැතුව . දැන් ජනප්‍රිය ලේඛකයෙක් වෙච්ච එකේ . අපේ බනියලයි තාත්ත කිව්වා මලයාගේ මේ ලිවිල්ලට ගහන්න කෙනෙක් නැති බව කියන්න කියල

Sabith said...

කාලෙකින් උඹෙ පොස්ට් එකක් කියවන්නේ~

පරිකල්පන said...

කුරුමානම පිහිටන්නෙ පවුකාරකමට කියන දේ මාත් විස්වාස කරනව. අපේ ගම් පළාතෙ මනුස්සයෙක් ඉන්නව ඔය විදිහට දඩයමේ යන. මනුස්සයගෙ එක අතක මැණික්කටුවෙං පහල ටික නෑ. තමංගෙ තුවක්කුවම අතේ පුපුරල තමයි එහෙම වෙලා තියෙන්නෙ. ඒත් මනුස්සය අත් කොටේ උඩ තියාගෙන තුවක්කුව මානල ඉලක්කෙටම වෙඩි තියනව.

සත්තු මරණ එක ලේසියෙං ගෙවල ඉවර කරන්ඩ පුළුවං පාපකර්මෙකුත් නෙමෙයි. ඒ පවු වලිං කොටහක් මේ ආත්මෙදිත් පල දෙනව. ඔය මං කිව්ව මනුස්සය එක්ක දඩයමේ ගිය තවත් එක්කෙනෙක් හිටිය. ඒ මනුස්සය මැරුණෙ මස් බදිද්දි තෙල් තාච්චියට ගිණි අරං සර්වාංගෙම පිච්චිල. හරියට හම ගහන්න කලිං වල් ඌරව පිච්චුව වගේ...

rachi said...

මේ දවස් වල පට්ට රස්නෙයි නේ බං, ඒ හින්ද වෙන්න ඇති ඕක පුපුරන්න ඇත්තේ. ගිනිකූරක් අතේ තියාගෙන හිටියටත් පත්තු වෙන ගානයි දැන් නම්.

පොඩි මෑන් said...

හූනා චිකයි....

රත්ගමයා said...

මේකා බේරිච්ච බේරිල්ලක්..තව ඩිංගෙන් මල කෙලියයි.. මීට පස්සේ වතුර විදින තුවක්කුවෙන් වත් දඩයම් යන්නේ නැතිව හිටහන්

කිරිපුතා said...

අඩේ බොටත් වෙන වැඩ.
හුඟක් කාලෙකින් පෝස්ට් එකක් වැටුනෙ නැත්තෙ මොකද කියල බල බලා හිටියෙ.

රයිටර් said...

කොහොම හරි ජගත්ට පව් පල දුන්නා. එත් මම නම් හිතන්නේ නෑ ඒ මනුස්සය දඩයමේ යන එක නම් නවත්තයි කියල. සඳරු අයියට අත හෝදන්න යන්න හිතුන එක නම් පෙර පිනක් පල දීමක්ද කොහෙද.

ගැමියාගේ පත් ඉරුව said...

මගේ කනත් ඔහොම්මයි හෝ හෝ ගානවා දැන් කනට බෙහෙත් දානවා ඇහීමත් අඩුයි.... කංපනාවෙන් ඉඳලා අඩු නොවුනොත් වහාම හොඳ ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරන්ඩෝ

Yasantha said...

මේවා ඇත්තම කතාද සදරුවෝ......!

පිණිබිඳු... said...

හූනු සාත්තරේ හරි!

Anonymous said...

මමත් ඉස්සර පතූරන් පුරවන්න සහබාගිවෙලා තියනවා.ඒත් අපි ඔහොම කෙටුවේ නැනේ මචං

චකබ්ලාස් said...

ඒත් මං බැලුවෙ පොස්ට් එකක් නැතිවෙනකොට උඹ බ්ලොග් ලිවිල්ල අතෑරලා දාලවත්ද කියලා..!!

දිගටම ලියපන්.

ජය හෝ..!!

සෝරෝ said...

යකෝ වම් කණට වෙනම විශේෂඥ දොස්තර කෙනෙක් ඉන්නව ද.... :D

ලොකු පුතා said...

උඹ ආපහු වතාවක් නුලෙන් බේරිලා නේද.
ඔය වැඩ වලට යද්දී ටිකක් පරිස්සමින් කොළුවො, කොයි වෙලේ අනතුරක් වෙයිද කියල කියන්න බැහැනේ....
ඉස්සර වගේ නෙමෙයි දැන් මටත් ජාල ප්‍රශ්නය තියෙනවා බං ටික දවසක් යනකල්
ඒ නිසා ඉස්සර වගේ දවස ගානේ බ්ලොග් බලන්න වෙන්නේ නැහැ.... :(

Unknown said...

මම නම් හූනූ සාස්තර විස්වාස කරන්නෙ නෑ.අනේ මන්දා ඕවානම්.

ඔයින් ගියා මදැයි.මට පේන්නෙ සදරුට හරියට අපල වගේ...

Anonymous said...

A four year old boy in Ampara was trampled to death by a wild elephant at last night, Police said.

The elephant raided the village and attacked the house of the boy killing him and injuring the father.

The Victim was taken to Thottama hospital, but was pronounced dead on admission. Police are conducting further inquiries. (Wasantha Chandrapala)

ගවේෂක said...

මේ පැත්තේ ආවෙ අදමයි...මෙච්චර දවසක් යනකම් මේ බොලොග් එක මම දැක්කේ නෑ අපරාදේ...ලිපිය ලස්සනට ලියලා තියෙනවා....තව පිටු 100 ක් ලිව්වත් එක හුස්මට ආසාවෙන් කියවගෙන යන්න පුලුවන්...මම නම් සත්තු දඩයමට කිසිම විදිහකින් එකග නෑ...හැබැයි ඉතින් කැලෑවල් ගානෙ රින්ගන්න නම් මාර ආසයි...

පොඩ්ඩා said...

අප්පටසිරි හුනු සාස්තරෙත් හරි ගියා නේ බන්..!!
අයි ඔයිං ගියා ..!

Anonymous said...

niyamay machan...mama ada thamay me blog eka dekke...maxxxxxxxxxxxx

වර්ණ said...

හූනු සෑස්තරේ කිව්වම මතක් වුනේ පොඩි මෑන් දාල තිබුන කථාවක්.වම් උරහිසට වැ‍ටුනොත් ස්ත්‍රි සැප කියනවනේ.එතකොට බවලත් උදවියටත් ඒ කථාව වලංගුනන් මේ සෑස්තරෙත් ඇත්තනම් ඔය හෝමෝ සෙක්ස් කියන එකත් අනාදිමත් කාලෙක ඉඳන් එන එකක් වෙන්න ඕන.මම නම් නෙවෙයි.ඕක ඔප්පු කරල තිබුනෙ මතකෙ හැටියට පොඩි මෑන්

සංකල්ප said...

හූනු සාත්තරෙත් හරි ගියා එහෙනම් !!!
අර කිව්වත් වගේ ඔබා මාමා ආයෙම කමෙන්ට් කරන්ඩ එන්නේ නැතී එකට නම් දුකයි බොලවු !!

Anonymous said...

sadaru,oyage gama tiyenne buddangala kittuwada?
giya awurudde api tamai buddangala katina pinkama kale.harima lassana palathak saha harima yahapath minissu

Anonymous said...

හූනු සාස්තරේ ඇත්ත තමයි වෙලාවකට නම්. ඒත් පව්කාර වැඩ වලින්‍ ඈත් වෙලා ඉඳිං. හැමදාම හූනො නෑ උඔල දෙන්නව බේරගන්ඩ.

Anonymous said...

I rarely comment, however i did some searching and wound up here "හූනෙක් නිසා වෙච්චි හදියක්".

And I actually do have 2 questions for you if it's allright. Is it simply me or does it give the impression like some of these comments come across like left by brain dead visitors? :-P And, if you are posting on other sites, I would like to follow everything new you have to post. Would you list of every one of your social sites like your linkedin profile, Facebook page or twitter feed?

My site ... may massage gia re

Post a Comment

තැන්කූ බං