අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි .
"ආයේ එහෙම කරන්නෑ අම්මා "
වැරදි පිට වැරදි කරලා හැමදාමත් මම දෙන ඒ පිලිතුර අම්මා බාර ගන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා . ඒත් මොනවා කරන්නද .? මේ මම එදා පටන් ජීවත් වෙච්ච හැටි . කණට දෙකක් ගහලා "තෝ ගෙදරින් එලියට බැස්සොතින් අඬු කඩනවා" කියලා බනින්න තාත්තා උන්නා නම් අද මම මීට වඩා දහ ගුණයක් හැදිලා . අම්මගේ කටින් කවදාකවත් බැනුමක්, පරුෂ වචනයක් එලියට ඇවිදිල්ලා නෑ . කවමදාකවත් මට මහ සද්දෙන් කතා කරලත් නෑ . මම වගේ නාහෙට නාහන එකෙක් අයිලේ යන එක නවත්තන්න ඉතින් අම්මට හැකි වුණෙත් නෑ .
*******
දවසක් උදේ ඉස්කෝලේදී ජොන්ටි ගෙනද්දීපු අසික්කිත සීඩී තැටිය මගේ බෑග් එකට දාගන්න කලියෙන් මට මගේ අම්මව මතකෙට ආවා . එයා මම කරන හැම වරදකටම සමාව දෙන හැටිත් මම නිසා කඳුලු හලන හැටිත් මට සීඩී තැටියේ දිලිසෙන පැත්තෙන් මැවිලා පෙන්න වුණා .
"තෝ ඕක රහ කර කර තියාන ඉන්නැතුං දාගිය බෑක්කෙට ”
ජොන්ටිගේ තරවටුව ඇහිච්ච හැටියෙම මගේ දකුණු අත දුන්නක් වගේ ක්‍රියාත්මක වුණේ ඉබේටමයි . මම හනිකට ඒ අසික්කිත සීඩී තැටිට මගේ බෑග් එකේ තිබුනු පොතක් අස්සේ නිධන් කළා . ඒත් මගෙ හිත තාමත් මට බනිනවා .
"ජොන්ටියා මේක අහුවුණෝතින් නම් අපි කපෝතියි බං ..!”
"පික්සුද මස්ෂිනා. මෙවුවා අපි පුරුදු වෙන්ඩ කරන වැඩයෑ ?”
"තෝ නං කියාවි දැන් මේක තියෙන්නේ මයෙ බෑග් එකේනෙ . මම එපෑ විඳවන්න .”
"සඳරුවා ඉතින් නූල් සූත්තරේ දන්න එකා කියලා අපි දන්නවානේ බං ඒකනේ අපි උඹගේ බෑග් එකේ මේ වගේ වස්තු තැන්පත් කරන්නේ . ”
"අඩෝ මේ කැ* වැඩ කරන්නෙපා . මාව අහුවුණොතින් තොපි ඔක්කොමල්ලාගේ නං ගං ගෙහුං කියනවා මං පිනාට .”
"අඩෝ අඩෝ තොට තරහ ගියාද ? ඕකනේ ඉතින්..... හරි හරි ඉස්කෝලෙ ඇරෙන්න තව පැය හතර හමාරයිනේ බං තියෙන්නේ . .. ! එතකං හොඳ එකා වගේ ඔය ගණ රාජයා පරිස්සං කරහං මයෙ දෙයියා .”
"හ්ම් .” හැමදාමත් වගේ අවසානෙට මගේ කටින් හ්ම් හඩ පිට වුණා .
ඉස්කෝලේ සමිති සමාගම් වලදී , පන්තියේ උගන්වන වෙලාවේදී කවදාවත් මුල් තැනක් ගත්තේ නැති මම දහදුරා වැඩ කරද්දී නම් හැමදාමත් පෙරමුණ ගත්තා . ඇත්තටම කීවොත් ඒක සුදුස්සාට සුදුසු තැන ලැබීම කියලයි මගේ වටේ හිටිය පාප මිත්‍රයෝ කොයි කවුරුත් කීවේ . හොරෙන් තැඹිලි කඩන්න ගියත් අහල ගෙදරක වත්තට පැනලා අල ගලවන්න ගියත් , ඉස්කෝලෙන් පයින්න ගියත්,මල් ඔතන්න ගියත් අනික් එවුන් ඉන්නේ මම ඉස්සර වෙනකම් .
මදන විසේ ඉහට ගහලා තිබුන කාලේ නිසා වෙන්නැති හරි කොතැනද වැරදි කොතැනද කියලා මම ඒ වෙනකොට දැනං උන්නේ නෑ . ඉතින් එදත් මගේ මිත්‍රයෙක් රුපියල් තුන්සීයක් දීලා කොහේදෝ මන්දා ඈත දීපංකරේකින් ගෙනාපු අසික්කිත සීඩි එකක් මගේ බෑග් එකේ හංඟාගන්න මට සිද්ද වුණා .
මගෙ මිත්‍රයා ජොන්ටි කවදාවත් ඉස්කෝලෙ එනකොට බෑග් එකක් ගෙනාවේ නෑ . පුස් බයිසිකලේ පැදං එනකොට ගොයිජන සේවා එක ගාව තියන මහා පල්ලමෙදී බ්රේක් කරන්න අමාරුයි කියලා ඌ හැමදාමත් පොත් ටික ඉස්කෝලේ බංකුවක් අස්සේ හංඟලා ගෙදර ගියා ඉතින් ඌට බෑග් එකක් කවදාවත් උවමනා වුණේ නෑ .
සීඩී එකක් බලන්න හයිය තිබුනත් ඒක හංඟලා තියාගන්න හිත හයිය නැති මගේ ගැන්සියේ හිටි කොල්ලෝ සෙට් එකත් අමුතු අමුතු කතා කියලා සීඩී එක මගේ මල්ලටම පැටෙවුවා . ඒක බලන්න කැමැත්තත් මගේ හිතේ කොනක තටමමින් තිබුණ හන්දා මමත් සීඩී එක මගේ භාරයේ තියනවාට අකමැති වුණේ නෑ . කවුරුවත් එක වරම කඩා පැනලා මගේ බෑග් එක ඇතුලට අත දාලා සීඩි එක මගෙන් උදුරලා ගනීවි කියලා මට බයක් තිබුනෙත් නෑ .
වෙලාව ගත වෙලා ඔරලෝසු කටු කැරකිලා පීරියඩ් එකින් එක ඉවර වුණා . පන්තියට ආපු ගණිත සර් කළු ලෑල්ලේ මොකක්ද මන්දා බයිලයක් කරලා මට හුණු කොට්ටෙනුත් පතබාලා යන්න ගියා . ඉංගිරීසි ටීචර් කලු ලෑල්ලේ ලියාපු එකම වචනයක්වත් මට කියෝගන්න බැරි වෙච්ච නිසා හිත හොඳටම රිදිලා ඒ අසරණීත් පන්තියෙන් යන්න ගියා . විද්‍යාව උගන්වාපු සෑර් නම් මට පන්තියට ඇතුලු වෙනකොටම ආදරෙන් කතා කරලා "පුතා ඔයාට නිදි මතයි නම් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .
විවේක කාලය ඉවර වෙලා පටන් ගත්තේ සිංහල පීරියඩ් එක . කෑම දිරවන වේලාවට පන්තියේ බොහොමයක් ළමයි ඉගෙන ගන්න අකමැතියි .ඒ වෙලාවට සමහරු වැසිකිලියේ පැලපදියං වෙන අතරේ තව සමහරු ස්වේච්චාවෙන්ම පාසල් වත්ත සුද්ද පවිත්‍ර කරන්න පටන් ගන්නේ වැටෙන සැර අවුවවත් ගණනකට නොගෙනයි .
එදා සිංහල පීරියඩ් එකේදී කවුරු පන්තියෙන් කට්ටි පැනලා ගියත් මම පන්තියේම රැඳිලා හිටියේ සීඩි එක පරෙස්සම් කරගන්න හිතාගෙන නම් නෙවේ . ඉස්කෝලේදී උගන්නාපු විශයන්ගෙන් මම කැමති වුණ මට තේරුණු එකම විශය සිංහල වෙච්ච හන්දයි .
"කෝ අද මේ පන්තියේ දරුවෝ උන් කොහා පනං වුණාද ?”
සිංහල උගන්වන්න ආපු අශෝක සෑර් පොත් මිටිය මේසේ උඩ අත අරින අතරේ පන්තිය පුරාවටම බැල්මක් දාලා මගෙන් එහෙම ඇහැවුවා .
"වීදි සංචාරයේ ගිහිං වගේ සෑර් !”
"එතකොට මේ දැරිවියෝ ටිකයි සඳරුයි විතරයි පන්තියේ ?”
"ඕ"
"උඹ මේ දැරිවියෝ මුර කරනව වෙන්ටැ ?”
"අනෙ නෑ සෑර් මම ඉතින් හිංඟල මිනිහා නේ"
හඬ නඟා හිනා වෙච්ච අශෝක සර් මගේ පිටට තට්ටුවක් දාලා ලේසුවෙන් අත පිහගත්තා .
මුලු ඉස්කෝලෙන්ම මට වැඩියෙන්ම ආදරේ කරපු ගුරුතුමා වුණේ අශෝක සර් . එතුමා උගන්වන සිංහල වදන් මගේ පපුවේ හිට්ටේ ගලේ කොටාපු අකුරු වගේ .
"ළමයිත් නැති එකේ මම යනවා යන්න . මුන්ට ඉගෙන ගන්න ඕනෙ නැත්තං මං මොනාට මෙහෙට්ට වෙලා කාලෙ කන්නේ ?”
එහෙම කියාපු අශෝක සර් පොත් මිටියත් අරන් පන්තියෙන් එලියට බැහැලා ගුරු විවේකාගාරය දිහාට ඇවිදගෙන ගියා . සිංහල සර් පන්තියෙන් ගියා විතරයි වීදි සංචාරයේ නිරත වෙලා උන්නු කොල්ලෝ හැම එකෙක්ම ආයෙ පන්තියට දුවගෙන ආවා .
"අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ !”
පද්මේ සින්දුවකුත් කියාගෙන ඇවිදින් මගේ මූණ ඉම්බා . මම උගේ අහවල් එකට පා පාරක් දෙන්න හැදුවා විතරයි ඌ ඩෙස් පුටු පෙරලාගෙන මගේ ලඟින් ඈත් වුණා . අද සීඩ් එක බලන නිසා පන්තියේ කොල්ලෝ කවුරුත් හිතේ පුදුම සතුටකින් ඉන්න වග මට හොඳටම තේරුණා . ඒත් කවුද හිතුවේ ඒ සතුට ගෝනි බිල්ලෙක් අරගෙන යාවි කියලා .
තිබහක් හැදුන නිසාම මම කෙල්ලෙකුගේ වතුර බෝතලෙන් වතුර උගුරු දෙකක් බොන්න ලැහැත්ති වුණා විතරයි උසස්පෙළ පන්තියේ ජෙමා කියන නසරාණි ශිෂ්‍ය නායකයා අපේ පන්තියට කඩා පැන්නේ තවත් ටයි පොලු එල්ලගත්ත සහයක ඩැනීලා දෙදෙනෙකු සමගිනුයි .
"බෑග් පෙන්නහල්ලා හැමෝම !”
ජෙමාගේ හඬට මෙච්චර වෙලා මරිය කඩේ වගේ තිබුණ පන්ති කාමරේ මෝචරිය වගේ නිහඬ වෙලා ගියා .
"බෑග් විතරද ?”
ජොන්ටි එහෙම අහද්දී ජෙමා උගේ මූනට එබුණා
"ඔවු ඩෝ !”
ජොන්ටි පැත්තක වුණා
පන්තිය පුරාම තිබුණ කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ බෑග් මලු සහ ඩෙස් පියන් අතර සෝදිසි මෙහෙයුමක් දියත් කරපු ත්‍රිපුද්ගල ශිෂ්‍ය නායක කණ්ඩායම මගේ බෑග් එක ගාවටත් ආවා . මගේ බෑග් එක ඇවිස්සුවොත් සීඩි එක අහුවෙන බව මම හොඳාකාරවම දැනං උන්නා . ඒ සීඩි එක අහුවුණෝතින් මට මගේ ජීවිතේට අලෝගත හැකි අමුම අමු ජරා නාමය වන වනචරයා කියන නාමය ලැබෙන බවත් ගුරුවරු ගුරුවරියෝ මගේ දිහා බලලා කෙල ගහන තත්වෙට මම වැටෙන බවත් මට තත්පරෙන් තේරුම් යද්දී ජෙමා මා ගාවට කිට්ටු කලා .
"බෑග් එක ඇරහං සඳරු !”
"ඇයි ඒ ? මයෙ බෑග්ගෙට එහෙම අත දැම්මොත් අත කඩනවා .”
"ආ උඹ ලොකු සීන් ද ? මෙහෙ දිය බැග් එක"
ජෙමා මගේ බෑග් එක උදුරන්න හදනකොටම මම මගේ බෑග් එක ජොන්ටි ගාවට වීසි කලේ ආලෝකයේ වේගයෙන් ! . ජොන්ටිත් ඒක වෙන එකෙක් ගාවට පාස් කලා .
"කීවම අහලා බෑග් එක දාපං !”
ජෙමා කෑගෑවේ ඉස්කෝලෙන් බාගයකටම ඇහෙන තරම් මහ හයියෙන් ජෙමාගේ සද්දේ හන්දා අහල පන්තියක උගන්වමින් හිටි ගුණපාල සර් අපේ පන්තියට දුවගෙන ආවා .
"මොකෝ මේ සද්දෙ මම කොහොමද යකුනේ උගන්නන්නේ ?”
"සෑර් මේ පන්තියේ ළමයි බෑග් එකේ සීඩී පීස් තියාන ඉන්නවා කියලා ආරංචියක් ආවා. සඳරු එයාගේ බෑග් එක බලන්න දෙන්නෙ නෑ . අනික් අය සේරමලා බෑග් බලන්න දුන්නා . “
"සඳරු තෝ මහ ඒජන්තද ? දීපිය සුනඛයා තොගේ ඔලොඟුව මෙහෙට්ට !”
ගුණපාල සර් මගේ බෑග් එක උදුරලා අරන් ඒක මුනිං හරෝලා ඒකේ තිබුන දේවල් ගුරු මේසේ මතට හැලුවා . දඩබඩ ගාලා මේසේ උඩට වැටිච්ච බඩු මුට්ටු දිහා මුලු පන්තියම ඇසිපිය නොහෙලා බලාන හිටියා .
"දඩස්" හඬින් මේසේ උඩට වැටිච්ච මගේ නකල් එක සිංහල පොතට යට වුණා , ගිණි කූරක් මේසේ දිගේ රෝල් වුණා , රුපියල් පහට ගන්න මැදැඟිල්ලේ රඳවන පණාවක් මේසේට වැටිලා බම්පර් වෙලා බිමට පැන්නා . ඔය අතරේ මල්ලේ සැඟවිලා තිබ්බ අසික්කිත සීඩී තැටිය මේ බඩු මුට්ටු ගොඩ උඩින්ම වැටිලා නතර වුණා . පන්ති කාමරේ උලු වහලේ හිලකින් වැටිච්ච අවු රැල්ලක් ඒ සීඩී එකේ දිලිසෙන පැත්තට වැටිලා ලස්සනට දිස්නෙ දෙන්න ගත්තා . ඒ දිස්නෙ වැදිලා ගුණපාල සර් ගේ ඇස් දෙක රතු වුණා .
"මොනාද යකෝ මේ තැටියේ ?”
ගුණපාල සර්ගේ ප්‍රශ්ණයට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ . ඉතින් මම බිම බලාගත්තා .
"උඹට කියන්න බැරි නම් මම දැන් ගිහින් කෝටස් එකේ තියන මගේ අලුත් ජී එල් සීඩී ප්ලේයර් එක ගෙනල්ලා ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකේ තියලා මේක දාන්නම් ! මොකෝ කියන්නෙ දාන්නද ?”
"එ . එ. එපා සෑර් ! “
මට කියවුණේ එච්චරයි .
"හ්ම් එපා නේ . එහෙනං හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර ! උඹගේ කැරැට්ටුව කියලා දෙන්න ඕනෙ දෙමවුපියෝ ඉස්සරහා . හැබැයි උඹ හෙට ඉස්කෝලේ නාවොත් මම මේකත් අරං පොලීසි යනවා ”
එදා ගෙදර යද්දී මම පුදුම විදිහට බය වෙලා හිටියා . අම්මා බෙදාපු බත් එක කන්නවත් බැරි තරමට වෙනදා ගෙදර ආ හැටියෙම බලන කාටුන් සීඩී නොබලා ඉන්න තරමට මම නොසන්සුන් වෙලා හිටියා .
"හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර !” ගුණපාල සර් ඒ කියාපු දේ මගේ හිතේ දෝංකාර දෙනවා . තාත්තා දන්නවානම් මිණී වලෙන් නැගිටලා ඇවිත් මට ගහනවා . අම්මට මේක කීවොත් ඒ අසරණ ගෑනි කොයිතරම් අඬාවිද ? ඒත් මම දැන් මොකද කරන්නේ ? ඔලුව බදාගෙන මම පැයක් විතර හිතන්න ඇති .හැබැයි අන්තිමේදී මම තීරණයක් ගත්තා . හිත හයිය කරගෙන අම්මා ගාවට ගියපු මම මහා බේගලයක් ඇදබෑවා !
"අම්මේ හෙට ඔයාව ඉකෝලෙට එක්කං එන්න කියලා ගුණපාල සර් මට කීවා "
"ඒ මොකද ඔයා මොනාද මේ වතාවේ කලේ ?”
"මොකුත් නෑ මේ අපේ පන්තියේ ළමයි හැමෝම කලින් ගෙදර යන්න ගිහින් අහු වුණා ඒක කියන්න ඔය එන්න කියන්නේ !”
"මොකට කරනවාද ඔය මෝඩ වැඩ මොකද කලින් ආවේ ?”
"අනේ අනේ ඔයා හෙට එන්නකෝ "
මම හෙමීට එතනින් ලිස්සලා ගිහින් සාලේ ටීවී එකත් ඔන් කරගෙන බෲස් ලී රඟන හටන් සීඩ් එකක් බලන්න ගත්තා .
"ඔය සීඩී බලන නිසා පුතා ඔයා කිසිම පාඩම් වැඩක් දැන් කරන්නේ නෑ මම ඔය ටීවි එක හෙටම විකුණලා දානවා . “
සාලෙට ආපු අම්මා මට දෝස්මුරේ දාලා යන්න ගියා
පහුවදා මම ඉස්කෝලෙට ගියේ මස් කඩේට දක්කන හරකෙක් වගේ . මුලු පන්තියේම හිටපු කොල්ලෝ කෙල්ලෝ හැමෝම මගේ වටේ වට වෙලා මගේ අවසන් ගමන සංවිධානය කරමින් හිටියා . සමහරු "අනේ මචං අපේ අම්මා නම් වයසයි ඒක හන්දා මගේ නම කියන්න එපා" කියමින් නාහෙන් අඬන්න වුණා. "මැරුවත් පාවා දෙන්නේ නම් නෑ "මම නම් තදින්ම හිතාගෙනයි උන්නේ . ඒක එදා වගේම අදත් මා ගාව තියන ප්‍රථිපත්තියක් !
උදේ දහය හමාර වෙනකොට ශිෂ්‍ය නායකයෙක් ඇවිදින් මාව විදුහල්පති තුමාගේ කාමරේට දක්කාගෙන ගියා . කොට බිත්ති උඩින් එබීගෙන උන්නු මගේ මිතුරු මිතුරියෝ සෙට් එක මගේ දිහා බලාන හිටියේ පෝරකේට ගෙනියන ස්ත්‍රී දූෂකයෙක් දිහා බලන්නා වගෙයි !
විදුහල්පති තුමාගේ කාමරයේ පුටුවක අම්මා ඉඳගෙන හිටියා . විදුහල්පති තුමා රජා වගේ මහ පුටුවේ ඈඳිගෙන හිටියා . කාමරේ කොනක ඉඳන් මගේ දිහා හිනා වෙවී බලාන උන්නේ ප්‍රධාන ශිෂය නායක ජෙමා සහ ගුණපාල සර් ! මම කාමරයට ආවා විතරයි විදුහල්පති තුමා නඩුව විභාග කරන්න ගත්තා .
"සඳරුගේ අම්මේ සඳරු ඉස්කෝලේ දෙන වැඩ ගෙදර ගිහින් කරනවාද ?”
"ඔවු සර් සමහර දාට නම් කරනවා ඔය රචනා එහෙම රෑ වෙනකම් ලියනවා .”
"හ්ම් හ්ම් මට අශෝක මහත්තයා කීවා මේකා සිංහලේට ආසයි කියලා .”
ඒ කතාවෙන් මගේ හිතට පුදුම හයියක් ආවා . ඒත් ඊලඟට අහපු ප්‍රශ්ණයට මගේ පපුව නතර වුණා වගේ මොහොතකට මට දැනුනා .
"සඳරුගේ අම්මේ සඳරු ගෙදර ඉන්නකොට වැඩිපුරම මොකද කරන්නේ ?”
"අනේ ඉතින් මෙයා ඉතින් ඔය රස්තියාදුවේ එහෙම වැඩියෙ යන්නේ නෑ සර් ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදරමයි ගෙදර ඉඳන් ඔය සීඩී බලන එක තමා මෙයා වැඩියෙන්ම කරන්නේ !”
"ඈ සීඩී ?”
විදුහල්පති තුමා මේසේ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා . ඊට පස්සේ මොහොතක් එයා ඔලුව කසමින් ඉඳලා මෙහෙම කීවා .
"හරි සඳරුගේ අම්මා ගිහින් එන්න . මෙයාට තව තව පාඩම් කරන්න බල කරන්න . උනන්දුව නම් හොඳටම මදි "
අම්මා ගියාට පස්සේ ප්‍රින්සිපල් සර් මා ගාවට ආවා .
"ඇත්ත කියාපන් කොල්ලෝ උඹ මේවා බලන විත්තිය අම්මා දන්නවයෑ .”
"අනෙ සර් මම ඕවා එකක්වත් බලලා නෑ සර් "
"එහෙනං අර අම්මා කීවේ ගෙදර ඉඳන්ම බලනවය කියලා "
"ඒ සර් කාටුන් , චිත්තරපටි වගේ සීඩී නේ ! අනික සර් ඕක මගේ නෙවෙයි . වෙන කෙනෙක් දීපු එකක් .”
"උඹ මේවා බලනවා කීවොත් උඹගේ අම්මා ඒක කොහොම ඉවසයිද ? ඒකයි මම මේ ගැන වගක් නොකීවේ අදට මම මේ සීඩී එක කඩා දානවා හැබැයි ඊගාව වතාවේ මම උඹ මේ වාගේ වැඩක් කරලා අහුවුනොත් පොලීසිට බාර දෙනවාමයි "
ලොකු සර් කීප වංඟියක්ම තටමමින් ඒ සීඩි එක කඩන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුණා .
"මොනාගෙන් හදලද මන්දා මට කඩන්න බෑ මේව ආ උඹම කඩහං මේක "
මගේ අතින් ඒ සීඩි එක එදා කැඩුනේ බෝංචි කරලක් කැඩෙන්නාක් වගේ .. !
"රං පාල ! රං පාල මේ තැටියේ කෑලි දෙක අරං උදළු බන්ඳෙන් ගහලා කුඩු කරලා කුඩු ටික පුච්චලා දාපං .නැත්තං ඕක ආයේ හදලා අරං ළමයි බලන්න බැරි නෑ “.
ප්‍රින්සිපල් සර් පාසල් මෙහෙකරු රං පාල අයියට කතා කරලා එහෙම කීයලා මට පන්තියට යන්න අණ කලා .....!
රටක් රාජ්ජයක් දිනාපු එකෙක් වගේ මම විදුහල්පති තුමාගේ කාර්යාලයෙන් එලියට බහිද්දී ජෙමා සහ ගුණපාල සර් මා දිහා පුපුරමින් බලාන හිටියා . විදුහල්පති තුමා එදා නොහිටියා නම් මුන් දෙන්නා මගේ ආත්මෙම ගිනිතියලා දාන්න සූදානමින් හිටි වගත් මම දැනගත්තා . කොහොමින් කොහොම හරි එදත් මම බේරුණා ..
අද මේ කතාව හිනා වෙලා ලීවත් එදා මගේ අම්මා ඉදිරියේ විදුහල්පති තුමා මාව අසරණ කළා නම් මට මොනවා වේවිද, මොනවා හිතේවිද ? කියලා අද නම් මට හිතන්නත් බයයි . යක්ෂයෝ යක්ෂනියෝ වගේ ගුරුවරු අතරේ දෙවියෙක් වගේ විදුහල්පති තුමෙක් ටික කාලෙකට හරි මගේ ඉස්කෝලේ උන්නු හන්දා ජීවිතේදී විඳින්න ගිය මහා අවමානයකින් මම බේරුණා . එදයින් පස්සේ මම කිසිම දාක ඉස්කෝලේදී අසික්කිත සීඩී එකක් අල්ලන්න තියා එයින් එකක් තියන අහලකවත් හිටියේ නෑ. . . !
ප/ලි බෝම කාලෙකට කලින් මට වෙච්ච මේ සිදුවීම හදිසියේම මාව බලන්න ආපු මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්‍රයෙක් මට මතක් කර දුන්නා . ඉතින් ඒ කතාවත් අකුරු වෙලා බ්ලොග් පිටුවේ ඇලවුණා.
මාව බේරගත්ත මේ රත්තරන් විදුහල්පති තුමා ගැන මීට කලින් වතාවකුත් මම ලීවා මතකයි ...!
99 comments:
මොනා කරත් බීල අම්මට අහුවෙන්න එපා මිත්‍රය. හොරෙන් ගෙට රින්ගන්න පුලුවන් ගානට බීපන්. නැත්නම් ගෙදර නොයා හිටපන්.
මරො ෆොටො කෑල්ල අෆ්ෆා...... සඳරු අය්යත් මරු වැඩනෙව කරල තියෙන්නේ... අපි හොඳද මංදා
යස වැඩේ තොට
ගුරු දෙවියෙක්කොයින් ගියා මදැයි.අන්තිමට කොහේවත් යන සීඩී එකකට වරදකාරයා වෙන්නෙ ඔයයි...
හෙහ් හෙහ් ඔයිං තැටියක් ඔය පැත්තේ 300 ක් වෙනවද බං.....
අන්න විදුහල්පතිවරු. ඒ විදුහල්පති තුමා ඒ වෙලාවේ උඹව වරද කාරයා කරලා අම්ම ඉස්සරහ උඹට දඩුවම් කළා නම් අද උඹ මේ වගේ පොස්ට් එකක් දාන්නේ නෑ. එහෙනම් ඒ විදුහල්පති තුමා ගැන හිතේ තියෙන්නේ වෛරයක් මිසක් ගරු කිරීමක් නෙවෙයි. එක පාරක් වැරදි කාරයා උනාට පස්සේ ඒ වැරැද්ද ආයේ කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. කෙනෙකුට දඩුවම් කරන්න තියෙන හොදම ක්‍රමේ තමා තමන්ගේ වරද තමන්ටම අවබෝද වෙන්න ඉඩ ඇරීම......
ඔකනේ කියන්නේ නිකන්තියෙන පූ..... වෙජිමයිට් ගාගන්නව කියල..වෙලාවට ඉස්කොලේ ලොකුමහත්තයා කාරුණික නිසා හොඳා...අර පාහර බල්ලන්ට අහු උනානං අප්පේ...
තව පොඩ්ඩෙන් අම්මා කොයි තරම් අපහසුතාවයකට පත් වෙනවද? ළමයි ඔයිට වැඩිය හිතන්න ඕනෙ නේද ?
ඔබලගේ විදුහල්පති හොද නිසා උබ බේරුනා නැත්නම්......?????
මොනවා වුනත් ඔය සීඩි නොබලන තරමට හොදා..... ඔබ ගෙදර බල බල ඉද්දී අම්මා එහෙම දැක්කනම් මොනා හිතෙයිද????? උබව වැදුවටත් ශාබ කරයි... දැන් සදරුවා හැදිලා ඉන්නේ නේද??????
මමනම් ඉස්කෝලේ යන කාලේ කරපු හොර වැඩ එකක්වත් ගෙදරට අහු නොවෙන්න කළා. ඒ නිසා දැන් මං ගැන ගෙදරින් වැඩිය හොයන්නේ නෑ! :D
අම්බෝ ඔය සීන් මතක් කරන්න එපා... මමත් ඕවා බෑග් එකේ දාං ඉදලා තියනවා.. ඒත් ශිෂ්‍ය නායකයෝ එද්දි ඒවා යන්නෙ උන් නොබලන තැන් වලට. කවදාවත් අහු උනේ නං නෑ..... :-)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හප්පේ උඹ බේරුණු බේරිල්ලක් !!
හැමදාම කියවලා හොරාටම මාරු වෙනවා විතරනේ සදරුවෝ. ඔන්න අදනම් කොමෙන්ටුවක් කොටලා දැම්මා. මොනා නැතත් උඹේ ලිවීමේ හැකියාවනම් උපරිමයි මචෝ. ඒත් දැන් ඉස්සර වගේ නිතරම උඹ ලියන්නෑනේ. පෝස්ට් එකක් දානකම් බලා ඉදලම ඇති වෙලා හිටියේ. ඇති යන්තම් දැම්මා. සුපිරි මචෝ කතාව.. ජය...!!!
මට මේක කියවද්දි එක පාරටම මතක් වුනේ අපේ එකෙක් වෑල කෑසට් එකක් ගන්න වීඩියෝ සෙන්ටර් එකකට ගිහින් එලියට බහිද්දිම පොලීසියට මාට්ටු වෙච්ච සීන් එක,
ඒ වෑරෑද්දට දඩුවම් දීම තුල අර කොල්ලගේ ආත්මගරුත්වය සම්පුර්නයෙන්ම විනාස කරලා දෑම්මා,නමුත් උපලයි පිනා වගේ සර් කෙනෙක් එතන හිටියනම් ඒ කොල්ලගේ අනාගතේ දෑන් තියන තවයට වඩා බොහොම වෙනස් වෙන්න තිබුනා.මේ සිද්දිය වුනේ 98/99 කාල වකවානුවේ.
ඒක ඇත්ත සඳරුවො..!! සමහර අසික්කිතයො ඉන්නවා, උන්ට ගුරුවරු කියන්නත් ලැජ්ජයි..!!
ගුරුවරු හිතලා බලලා කරන එක පුංචි දේකින් ජීවිතයක් වෙනස් වෙන්න පුළුවන් හැටි..
කතාව නම් වෙනද වගේම සුපිරියට තිබුන. අම්මො මමත් තවපොඩ්ඩෙන් ඉන්ග්‍රිසි ටිචට(උබ දන්නව ඈති 2010දි heart attack එකකින් අපිව දාල ගියා) අහුවෙනව.වෑලක් නෙවෙය් game cd එකක්.අපෙ ගොනෙක් පොත ඈතුලට දාල උඩින්ම එව්ව උඩදිම ඒක පොතෙන් විසි උනා.වෙලාවට ටිච පොත් බල බල හිටියෙ නෑත්තන් විලි ලෑජ්ජවෙ සන්තොස වෙන්ඩ තමය් වෙන්නෙ.කොහොම උනත් කෙල්ලො ටිකනම් වෙච්ච ඔක්කොම සිද්දිය දෑක්කා :(
මදැයි ඔයිං ගියා...
උඹ හොඳ එකා කියල අපි දන්නවා...
උඹට හැමදාම වෙන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එක...
විදුහල්පති තුමාට නම් මල් තියලා වැන්දත් මදි මචං...
හපොයි ඇග සීතල වෙලා ගියා අම්මට එන්න කියන තැනදි. කුඩු ගහල මාට්ටු වෙනව සැපයි ඔයවගේ සීන් මාට්ටු වෙනවට වඩා.
හෆ්ෆා.. මේ සැරෙත් බේරීලා ඕං!!!
ඔව් එවගේ ඉස්කෝල මහත්තුරු දැන් හිඟයි තමා......... ඕක පත්තු උනනානං අද සඳරුවා බ්ලොග් ලියන එකකුත් නෑ..... සර්ට මගේත් උපහාරය!
ඉස්සර අපි හොර බඩු ඔක්කොම (සී ඩී නම් නෙවෙයි ) පොත් වල පිට කවර අස්සට දානවා...:)
ටයි එකකින් බෙල්ලේ වැල දාගෙන මියැදුණු ටයි බාලිකාවේ කෙල්ලව මතක් වුනා... මෙහෙම හිතන ගුරුවරු සෑහෙන්න අඩුයි ඒක එහෙම වුනානම් සඳරු අයියා කොහේ ඉඳියිද මන්දා...ඔහොම ගුරුවරු ඉන්නවනම් හැමතැනම කොයිතරම් වටිනවද..
අනික සඳරු අයියේ අපි කොයිවෙලෙත් ෂෙලෝටේප් රෝලක් බෑග් එකේ දාගෙන ඉන්නේ ප්‍රිෆෙක්ට්ලා එනවනං ඩෙස් එකේ යටි පැත්තේ සීඩි එක අලවනවා ආයේ මොකෙක්ටවත් අහුවෙන්නෑ... මම ප්‍රිෆෙක්ට් වුනාම එහෙම අලවලා තියෙන ඒවා හොයාගෙන ගෙදර අරන් ආවා ආයෙ මොකටද අසරණ ළමයිව අමාරුවේ දාන්නේ....
උමා අක්කා කිව්ව වගේ ගෑණු ලමයිගේ පොටෝ එහෙම දැම්මේ පිටකවර අස්සේ එහෙම දාපු පොටෝ මගෙ පරණ පොත් අස්සේ තාම ඇති ඒත් ඒක අරගෙන බලන්න හිතෙන්නැ අප්පා
පට්ට පෝස්ට් එක ඈ
අෆොයි .. නූලෙන් නේ බේරිල තියෙන්නෙ. විලිලැජ්ජාවෙ තන්තෝෂෙ බෑ.
අර උඩ තියන ෆොටෝ කෑල්ල කොහෙන්ද බං හොයා ගත්තෙ. මාර ක්‍රියේටිව් නේ ... :)
බූරුව ගැහුවත් එකයි ගහනව බලාගෙන හිටියත් එකයි කියන්නෙ ඕක තමයි සඳරුවෝ...
කොහොම උනත් බොලයි ප්‍රින්සිපල් නම් නියම මිනිහෙක් වගෙයි.
අර ජී එල් කියන්නෙ අලුත් ප්ලේයර් මොඩල් එකක් වෙන්න ඇති නේද?
සිංහල බ්ලොග්වල තියෙන කතා වලින් සඳරු අයියගේ කතා තමයි ලස්සනම ඒවා...
මොනා වුනත් විදුහල්පතිතුමාත් අවස්ථානුකුලව හැම පැත්තම බේරෙන විදියට කටයුතු කරලා තියනව...
ඉස්සර අපි අටේ නවයේ පංති වල ඉන්නකොට ලොකු අක්කලා අපේ පංති වලටත් කඩන් පැන්නා ඔහොම.අපිටනම් ඒ කාලේ ඉස්කෝලෙට පනාවක්වත් ගෙන්න තහනම්.අපිත් 11 , 12 වසර වලට ගියාම අපිත් ඔය වගේම පංති වලට කඩන් පැන්නා.පනාවක් කණ්නාඩි කෑල්ලක් වැඩිම උනොත් පෙම් හසුනක් ඇරෙන්න මේ වගේ දරුණු දෙවල්නම් කවදාවත් තිබිලත් නෑ අහුවෙලත් නෑ.
ඔයාගේ වාසනාවට ඒ වගේ විදුහල්පති කෙනෙක් හිට්යේ නැත්තං ඒ සිද්ධියම ඇති ඔයාගේ ජීවිතේ ආපස්සට ඇදලා දාන්න.
අනේ මන්දා ඔය වගේ අසික්කිත වැඩ කරන කොට ඔයිට වඩා මොලේ කල්පනා කරන්ඩලා කෝ... වචනයේ පරිසමාප්ත අරුතින්ම ගුරුවරු ඒ අය..
රෙප් මහත්තයාගේ කතාවට මමත් එකඟයි. වර්ජින් ඇට්ලැන්ටික් කියන ප්‍රසිද්ද ඒ වගේම වැඩියෙන්ම ලාභ ලබන ගුවන් සේවාවේ අයිතිකරු රිචඩ් බ්‍රැන්සන් වරක් පැවසුවා පලවෙනි වතාවට වැරදි කරපු අයට සමාව දීම තමයි ඔහුගේ දියුණුවේ රහස කියල.
ela sadaruwa... supiri
සඳරු අයියාගෙ පිනකට එහෙම ප්‍රින්සිපල් කෙනෙක් හිටියෙ ළමයෙක්ගේ ජීවිතේ විනාස කරන්නැතුව හරි වැරදි තේරුම් කරල දෙන්න....
අපිත් ඔය අල්ලන ජාතියේ උන් වෙලා හිටියා කාලයක්~! :D
අෆ්ෆෝ අපිනම් ඉස්කෝලේ මල් පදුරු අස්සේ තමා ගහන්නේ...
සර් හොද නිසා අයියා බේරුනා..නැත්නම් පව් අම්මා..අම්මට මොන තරම් දෙයක් හිතෙයිද...දෙයක් කරද්දි ඔන්න හිතලා මතලා තමන් ලග ඉන්න අය ගැනත් ටිකක් හිතන්න..
මාර බේරිල්ලක් බන් උඹ මේ පාරත් බේරිලා තියෙන්නේ.. කොහොමට තියේවිද සර් සීන් එක අම්මට කිවුවනම් එහෙම..
නියම ගුරුවරයෙක් බං. ටික කාලෙකට කලින් තාත්තා කෙනෙක් සිය දිවි නසා ගත්තේ ඔහොම සීන් එකකට ඉස්කෝලෙට ගෙන්නවලා ප්‍රසිද්ධියේ වීඩියෝව පෙන්නුවාට පස්සෙනේ...
මල් තියලා වදින්න ඕන මේවගේ ප්‍රින්සිපල් කෙනෙක්ට නම්....
නියම පොස්ට් එක.....
හපොයි මේක කියෙව්වාම මට මතක් උනේ අපි ඉස්කෝලේ යන කාලේ පට්ටමක් දරලා උදේට ළමයිගේ බෑග් චෙක් කරන්න ගිහින් අපිට අහු උන දේවල් ගැන..ඔය අස්සේ තිබිලා නංගි කෙනෙක්ට කොල්ලෙක් දීපු ලේ වලින් ලියපු පෙම් හසුනක් වගේ තර්ජන තිබ්බ ලිපියක් වගේම, රෙස්ලින් සිඩි 2 කුත් හම්බුනා...ඒවා දැක්කාම අපිටම අප්පිරිය හිතුනා..සිඩි 2 කඩලා, ලියුමේ තිබ්බ ප්‍රශ්නෙත් ඉවරයක් කළා..මිස්ලා කාටවත් නොකියා ඒ නංගිගේ ප්‍රශ්නේ විසදුවා..
ඔය වගේ ප්‍රින්සිපල්ලා දෙවිවරු...
අර.. ශිෂ්‍ය නායකයො කියන එවුන් මහ ජරා සත්තුනෙ උන් ඇත්තටම අලි වංශෙන්ද .. හිටියෙ..දෙන්න එපායැ වෙලා වක ඉස්කෝලෙන් පිටදි අල්ලගෙන.
අනික උන් ඉන්න ඕන අනිත් ශිෂ්‍යයන් හොඳ මගට ගන්න මිසක් වෛර පිරිමහන්න නෙමේ ,ලමයි හොඳ මගට ගන්නයි..!
අනික හරියට උන් ඒව බලන්නැති බෝධි සත්වයෝ වෙන්නැති..
ෆොටෝ කෑල්ල දැක්කම එක පාරට බූත වුනා :)
ලොකු දෙයකින් ඔයා බේරිලා තියෙන්නේ සහෝ මට ඕක වුනා නම් අපේ විදුහල් පති නම් කවදාවත් ඔහොම කරන එකක් නැහැ.
උඹ හිනා වෙලා මේක ලිවුවට ඇඟ සිතල වෙලා කියෙවුවෙ මොකකින් මොකක් වෙයිද කියල. දවසක් අපේ පාප මිත්‍රයෙක් බාගෙට බිලා ඉවර වුනු ගංජා සුරුට්ටුවක් දුන්නා සාක්කුවේ දාගෙන ඉඳල ඉල්ලුවහම දෙන්න කියල. ඌ හිතුවා මම මොඩය වගේ සාක්කුවේ දාගෙන ඉඳීවි කියල.
දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා කියන්න හොඳම උදාහරණයක්.
hoda principal kenek nisa malli beruna ewagema ammatath dukak nodima....
99න් බේරිලා තියෙන්නේ.... :)
අපෙ එකෙක් ඕකකට අහු උනාම අපිත් එක්ක ෆිට් මැඩම් කෙනෙක් අහල තිබ්බ මොකෝ උනේ කියල. මූ ඉතින් විස්තර කරලා කිව්වලු අම්මලවත් එක්කන් එන්න කිව්ව කියල. මැඩම් කිව්වලු ගණන් ගන්න එපා පුතා අපි ඒ කාලෙ ඔයිට එහා වැඩ කරල තියෙනව කියල. අපෙ එකාට දුක, අම්මලාව එක්කන් එන්න උනාට නෙවේ. මැඩම් ඒ කාලෙ කරපු වැඩ මොනවද කියල දැනගන්න.
අද කාලේ නම් මීට වඩා වෙනස් ඇති සඳරු.... අනේ මන්දා...ටීච්ර් කෙනෙක් වෙන්න මට වෙලාවකට මහා බයකුත් ඇති වෙනවා ඕං...
ඔය CD,කොන්ඩ, අල්ලන බල්ලෝ තමයි අපේ ඉස්කෝලෙ හිටපු නපුංසකයෝ සෙට් එක..ඕකුන්ව කව්රුවත් ගණන ගන්නේ නැති නිසා තමයි ඕව කරලා පොඩි උන්ට සද්දේ දාල හීනමානය සංසිදුවා ගන්නේ.මම 8 වසරෙදි පන්තියට පැනපු වෙලේ මගෙ game CD උනා..එදා තමයි මම දැක්කේ day card,CD,jell packet වැස්සක්..වැස්සක් කියන්නේ හැම උඩ පන්ති වල උන් ඕව පහලට දැම්ම ක්ෂණිකව..එදා ඉදන් වලක ගෙනාවොත් කොහෙහරි හංගනවා ගොඩක් වෙලාවට 10 toilet එකේ ලග තිබ්බ කැඩුණු ඩේස් ගොඩේ.මාවත් කීප ඔය නපුංසකයෝ කීප දෙනක් නොට් කරන් උන්න..දැන් ඕකෙක්ව හම්බෙන් නෑනේ කොහෙදිවත්....
ගුරු පියෙක් . වෙන මොනවා කියන්නද . ඕක තමයි කියන්නේ පාප මිත්‍රයෝ ආස්සරය කරන්න එපා කියල . කෝ එකෙක් ඇවිත් කිව්වද ඕක අපි හැමෝගෙම කියල
අපේ ඉස්කෝලේ ළමයි වගයක්... ඔය වගේ සීඩී එකක් බිත්ති පුවත් පත පිටිපස්සෙ හංගපු කතාවක් මම අහලා තියෙනවා....ගුරුවරු ළමයින්ට දඬුවම් කරද්දි ගොඩක් හිතන්න ඕනෑ....ළමයාගෙ ආත්මයටම ඒ දඬුවම් බලපානවා........
ඔය ගුරුතුමා විදුහල්පති වෙලා හිටිය ඉස්කෝලෙ හිටියෙ 5 වසර වෙනකන් විතරය් නම් මේ සිද්දිය උනෙ 5 වසරටත් කලින්ද?
හපුච්චියේ....තව පොඩ්ඩෙන් උඹ ඉස්කෝලෙටම චාටර් වෙනව...........
කරන ඕනෙ දෙයක් කරපං.... හැබැයි අම්මලට මාට්ටු වෙන්න කරන්න එපා. ඒක ඒ මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි මචං...
අපේ පන්තියෙදිත් ඔහොම සීන් වෙලා තියෙනවා. ගුටි නොකා බේරෙන්නෙ බොහොම අමාරුවෙන්.
කොහොම හරි අපි ඉස්කෝලෙ යනකාලේ සී.ඩී තිබුනේ නෑ. තිබුනත් තිබුනේ 1.44 3.5" ඩිස්කට්ස්. ඒත් ඒවායේ ෆිල්ම් එහෙම දාන්න පුළුංකමක් තිබුනේ නෑ. වී.එච්.එස් කැසට් තමයි ඒ කාලේ ඔයවගේ දේවල් වලට පාවිච්චි කොලේ. ඒව ඉතින් පොත් අස්සෙ දාගෙන එන්න බැරි නිසා කවුරුවත් ඉස්කෝලෙට අරගෙන එන්නේ නෑ.
කතාවක් තියෙනව සාමාන්‍ය මනුස්සයෙකුගෙයි හොරෙකුගෙයි තියෙන එකම වෙනස හොරා හොරකම කරද්දි අහුවෙච්ච එක විතරයි කියල. කොහොමත් අනික් අය සුද්දවන්තයො වෙලා අහුවෙච්ච කෙනාට බැස්ටිය දෙන එක මිනිස්සුංගෙ පුරුද්දක්.
විදුහල් පති සැබෑ මහත්මයෙක්....
හැබැයි උබ කරල තියෙන්නෙ අමු ගොං වැඩක්...
ඒ කාලේ උනු දේවල් අහු උනේ නෑ නේ බන් ඒක හින්දා අපි සාන්තුවරු උනා ගෙදරත්,ස්කෝලෙත්,කොහොම හරි හොද ප්‍රින්සිපල් කෙනෙක් නිසා උබ බේරිලා
අම්මියෝ අපේ ඉස්කෝලේ නම් ඔය වගේ ඒවා අහුවුනාම රජකාලේ දඬුවම් දෙන්නේ. අම්මයි තාත්තයි ගෙන්නනවා, ඊට පස්සේ දෙන්න දෙපැත්තේ තියල, ළමය මැද තියල අරක ප්ලේ කරනවා. කොහොමද ආතල් එක???
මගේ හොඳම යාලුවෙක් ඊයේ මට කිව්ව මේ වගේම සිද්දියක් එයාලගේ ඉස්කෝලේ සිද්ද උන :) මම එයාටත් පෝස්ට් ඒක දුන්න බලන්න කියල :)
සිරාවටම උබ කරලා තියෙන්නේ හොද වැඩක් කියන්න බැනේ මල්ලියෝ...
මොනවා උනත් ප්‍රශ්න දෙක තුනක් ඔලුවට ආවා..
ඔය සිඩි ඔය තරම් ගනන්ද?
කොහොමද එක පාරටම ෆිෆෙක්ට්ලා ආවේ..
මොකටද බන් බැග් එකේ ඕක දාගෙන උන්නේ....
අපේ නම් ඔය ඒ කාලේකරපු පිස්සු හැමදෙයකම හන්ගන්න ඕන දේවල් හන්ගලා තිබුනේ පන්තියේ කබඩ් එකේ අහු උනත් අපේ නෙමේ වගේ ඉන්නවා..
@අංජන සතරංග= ඔය බොහොමයක් ඉස්සර දේවල් මචෝ දැන් මම බොන්නේ නෑ . බේබදු ජීවිතයට මම මේ ජනවාරි මාසෙන් සමු දුන්නා
.............................................................................................................................
@Mee Godayaa = ෆොටෝ කෑල්ල නම් මම ගූගාලෙන් හොයලා හොයලා තමා අරගත්තේ උඹලා මොන මොන වැඩ කරලා තියේද කියලා මම කොහොමද බොල දන්නේ ?
.............................................................................................................................
@Anonymous = ඒකෙ නේන්නං
.............................................................................................................................
@නිසූපා = මමත් ඉතින් එක අතකින් වැරදි කරුවෙක් තමා අක්කණ්ඩි
.............................................................................................................................
@රෙප් මහත්තයා = ඒ කාලේ හැටියට මචං ඔයි තැටියක් රු 500 වඩා වැඩි දැන් නම් ඉතින් නිකන් වුණත් හොයාගන්න ඇහැකිනේ . හොඳින් කාරණයක් තේරෙම් බේරුම් කරලා දීලා වරද පෙන්නුවාම කෙනෙක් ආයේ වැරදි කරනවා අඩුයි මේ සර් ඒ කාරණේ අඳුනාගෙන තිබුණා
.............................................................................................................................
@Raj = ඒ අයට අහු වුණා නම් මම කපෝති ඇයි මම මේ වගේ වැඩකට වංඟියක් මාට්ටු වෙලා තියේ ගෙදෙට්ට . අර වස්තු හාමිගේ සීන් එකේදී . ඒක නෙවේ වෙජිමයිට් කියන්නේ මොනා ?
.............................................................................................................................
@Sammani = මදන විසේ ඉහේ ගැහුවාම ආයේ හිතන්නේ ලඟ විතරයි සහෝදරී ඒකයි මට වැරදුනේ
.............................................................................................................................
@Sajith Lab = මම ගෙදරදී කවදාවත් ඕවා බලලා නෑ මම ගෙදරදී බැලුවේ කාටුන් සහ ෆයිට් ෆිල්ම් විතරමයි මොකද කීවොත් අපේ ගෙදර සාලේ තමා ටීවී එකත් ප්ලේයර් එකත් තිබුනේ අපි ඔවුවා බැලුවේ අපේ මිතුරෙකුගේ ගෙදරට වෙලා
.............................................................................................................................
@පූසා = මමත් හොර වැඩ නම් කලා ඒත් වැඩි හරිය මාට්ටු වුණා . අඩේ උඹ හොර පූසෙක් නෙව
.............................................................................................................................
@අඩවි රජ = රජෙක් කරන වැඩද යකෝ උඹ කරලා තියෙන්නේ . අපි නං ඉතින් දුප්පත් එවුන් නිසා වැරදි කලාට අවුලක් නෑ .. සැරද මහ රජ !!
.............................................................................................................................
@පුබුදු = මයිල් කෙලින් වෙනවා මතක් වෙද්දී
.............................................................................................................................
@ගයා = ඉස්සර වගේ ලියන්න කතා නම් තාම මගේ ගාව එමට ඒත් මචං දැන් වැඩත් වැඩියි ලෙඩත් දාගන්නවා මම බලෙන්ම ඒක හන්දා මගේ ලියන්න තියන කාලෙ මමම කාලා දාගෙන වගේ . ඉස්සරහට නම් මේ කම්මැලි කම් සහ ලෙඩ අතෑරලා ලියන්න ඕනෙ දිගටම
.............................................................................................................................
@අසංක = අපේ බුවාලත් ඔවුවා අරන් අනන්ත මාට්ටු වෙලා තියනවා වයසේ වැරද්දනේ බං ඒකනේ කොල්ලෝ ඔවුවා හොය හොයා බලන්නේ ලංකාවේ අයගේ ලිංගික දැනුම වර්ධනය වෙන්නේ ඔය සීඩි වලින් කියන්නේ .
.............................................................................................................................
@චකබ්ලාස් = උඹ හරි මමත් අනන්ත යක්ෂයෝ අතරේ දෙවියෝ දැකලා උන් එක්ක ඉඳලා තියනවා බං
@රූ= හිතලා බලලා ළමයාගේ අනාගතේ හදන්න පුලුවන් වගේම කඩාදාන්නත් ගුරුවරයෙකුට ලේසියෙන්ම හැකියි .
.............................................................................................................................
@Akash tharinda = මල්ලියා මාව උඹ යන ඉස්කෝලෙන් අහක් කලේ මම උපෙ කරන කාලෙදී 2010දී මම ජොබක් කරනවා ඉතින් මට ඒ ටීචර්ගේ අභාවය ගැනත් ආරංචි වුණා ඒත් යන්න නම් වුණේ නෑ බං අවසන් කටයුතු වලට . තෝ ඉතින් කමෙන්ට් දදා ඉන්නේ ඉස්කෝලේ ඉවර වෙලා වරෙංකෝ මාව මීට් වෙලා යන්න . මම ඔයි අහල පහලමනේ ඉන්නේ ආසයි තෝව දැන ඇඳින ගන්න
.............................................................................................................................
@සොමි කොල්ලා = අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න එක මගේ ගාව තිබුන ලොකුම ගොං කමක් බං තාම ඒක ඉහටත් උඩින් තියනවා තාම ඒ පුරුද්ද ඇරගන්න මට බැරි වුණා කියපන්කෝ
.............................................................................................................................
@රාජ් = අඩේ මාට්ටු වුණා නම් මට බෙල්ලේ වැල දාගන්නයි වෙන්නේ . දෙයියන්ට පින් දුන්නා මම එදා
.............................................................................................................................
@හිතුවක්කාරි = මම ලකී යාළු කොහෙන් ගියත් මම යන්තම් බේරි
.............................................................................................................................
@බුද්ධි = සහර විට මගේ අම්මා මාව මග්ගොන යවයි ඕක මාට්ටු වුණා නම් එහෙම වුණා නම් මම කොහොමද බ්ලොග් ලියන්නේ ? උඹ හරි
.............................................................................................................................
@උමා = ඈ යාළු මොනාද ඔයාලා හංඟාපු හොර බඩු අනේ ඒ ගැනත් පොඩියක් කියන්ඩකෝ :)
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = මෙන්න පිපෙට් බුවෙක් ඇවිල්ලා . අඩේ ඇයි දන්නේ නෑ බං මම ඉස්කෝලේ යන කාලේ මගේ ප්‍රධාන හතුරෝ තමා ශිෂ්‍ය නායක කොල්ලෝ ඒකට ඉතින් උන්ගේ වරදක් නෑ උන් නැත්තං අපිව හදන්නේ කොහොමද ඒත් ඒ කාලේ අපිට ඔවුවා තේරුණ එකක් යැ අපි හිතුවේ ටයි එක නිසා උන් ඉදිමිලා කියලයි . අතරින් පතර හොඳ බුවාලත් හිටිය නිසා හොඳා
.............................................................................................................................
@DDT = පොටෝ කෑල්ල හොයා ගත්තේ ගූගාල පීරලා තමයි ඒක මාර ගති තමා . බොල ස්තුතියි ඈ
.............................................................................................................................
@Praසන්ன = මරේ මරු ඩයල් එකක් තමා මයෙ ලොකු සර් මම දහය වසරට යනකම් එයා මට ආරක්ෂාව දුන්නා . ඊට පස්සේ මා එක්ක ගමන් බිමන් පවා ගියා
.............................................................................................................................
@Budditha Fernando = ස්තුතියි මලයා උඹලා කියෝන නිසා නේන්නම් මම මේ ලියන්නේ උඹලා නැත්තං මේ බ්ලොගේ වහලා ගොඩක් කල්
.............................................................................................................................
@තොටියා = ඒක හැබැයි එයා මාව නියමෙට බය කලා ඒ බය කිරීම කොතරම්ද කියනවා නම් ඊට පස්සේ මම වැලක් දිහා බලන්නත් බය වුණා
.............................................................................................................................
@කාව්‍යා = අනේ ඉතින් නඟේ මේවා වැරදි දේවල් තමා ඒත් ඉතින් ඒකාලේ අයට වැරදි පේන්නෙම නෑ නේ පොඩි නිසා වෙන්නැති . විදුහල් පති තුමාගේ කරුණාවන්ත කම නිසා මම බේරුණා එයා නොහිටින්න අද මම මග්ගොන ගිහින් තමා නවතින්නේ
.............................................................................................................................
@Weni = මොනා කරන්නද බං ඒ අපේ මොලේ වැඩෙන කාලේ නේ ඒකයි ඔන්න ඒකට දැන්නං මොලේ එමට තියනවා
.............................................................................................................................
@අමුතු ඉලන්දාරියා = උඹගේ කමෙන්ට් එක නම් පට්ටයි . සමාව දීම දේව ගතියක් කියලා දැනං ඉන්න අය සීමිතයි නෙව . ස්තුතියි මිත්‍රයා
@Anonymous = ස්තුතියි මචෝ
.............................................................................................................................
@Frozen Heart = ඒ ප්‍රින්සිපල් සර් මුලු ඉස්කෝලෙම පිනකට පහල වෙච්ච සර් කෙනෙක් .
.............................................................................................................................
@Sabith = එහෙමද මචං ඉතින් මම ටක්කෙටම කියන්නං උඹලා අල්ලාපු සීඩී උඹලා සේප් එකේ ගෙදර අරන් ගියා නේද ?
.............................................................................................................................
@Anonymous = අන්න රජ වැඩක් ඒත් මල් පඳුරු අස්සේ ඕව ගහලා පොඩි එකෙක්වත් ඕක අරං ගියෝතින් තමා වැඩේ
.............................................................................................................................
@නිම්ශා = මේක දැන් වසර අටකටත් එහා වෙච්ච දෙයක් නඟේ දැන් ඉතින් ඔය පොඩි කාලේ තිබුන විසේ නෑ .
.............................................................................................................................
@Dinesh = මේ පාර නෙවෙයි අයියා මේක වසර හත අටකට එහා වෙච්ච දෙයක් හැබැයි ඉතින් බේරුණා පෙර පිනකින්
.............................................................................................................................
@ඉඳුනිල් = අඩේ එහෙම සීන් එකකුත් වුණාදෑ පවු අර අසරණ කොල්ලා සහ තාත්තා
.............................................................................................................................
@හිරු = අඬ බෙර ගහන්නේ නැතුව ප්‍රශ්නයක් වුණාම ඒක හෙමිහිට විසඳන එක කොයිතරම් හොඳයිද නැත්තම් ඉස්කෝලෙ යන ළමයෙකුට ඉස්කෝලේ ජීවිතේම එපා වෙන්න පුලුවන්
.............................................................................................................................
@වීපොකුර = ඒක නේන්නම් මචං සමරහ ශිෂ්‍ය නායකයෝ නම් මොනවා හරි සීන් එකක් වෙද්දී කලින්ම අපිව දැනුවත් කරනවා ඒත් සමහරු ඉන්නේ බලෙන් මත් වෙලා කොයි වෙලේ මුන්ට වැඩක් දෙන්නද කියලයි එයාලා බලන් ඉන්නේ
.............................................................................................................................
@මඩිස්සලේ නිශාන් = මටත් එහෙම තමා මචං ඊ ගාවට හිටි විදුහල් පති තුමා පොඩි සීන් එකක් නිසා මාව ඉස්කෝලෙන්ම අස් කරලා දැම්මා . කමක් නෑ එතුමා වැරදිත් නෑ . ජීවිතේ මට හැදෙන්න චාන්ස් දුන්නාට මම හැදුනේ නෑ නේ මගෙනෙ වරද
.............................................................................................................................
@අසරණයා = උඹ ඉතින් ඒක සාක්කුවේ දාගෙන හිටියා නම් උඹට නේන ගංජා සුවඳ උඹ වටේ ඉන්න හැමෝටම දැනෙනවා ඌ පාපම පාප මිත්‍රයෙක් බාගෙට බීපු කොටේකින් කොච්චර ගඳ එනවද
.............................................................................................................................
@geeth = මම හිතන්නේ මම පෙර කල පිනක් නිසා යන්තම් බේරුණා . නැත්තම් මමත් මගේ මවත් දෙන්නම සුන්
.............................................................................................................................
@හසී = තව එකක් ගියා නම් මම කපෝති
.............................................................................................................................
@මුහුදු කොල්ලකාරයා = හප්පට සිරි ඉතින් ඌ කොහොම හරි දැනගෙනද මැඩම්ලා ඒ කාලේ කල විගඩං මටත් දැන් ආසයි බා ඒ මොනාද කියලා දැනගන්න
.............................................................................................................................
@සොඳුරු සිත = ඔයා ටීචර් කෙනෙක් වෙන්න යනවාද අපෙ අක්කේ ? අනේ එහෙම නම් නොවරදාවම අපිට ඒ ගැන කියන්ඩ
.............................................................................................................................
@කම්බි කූරු = සමහර නායකයෝ උන්නා නායක පට්ටමෙන් අයුතු ප්‍රයෝජනේ ගන්න උන් එකට බත් එක කාලේ එකටම ගෙදර ඇවිදිල්ලා වැල බලලා යන උන් ඉස්කෝලෙදි අං තියාන හිටියේ මීමො වගේ මොනා කරන්නද බලේ නැබෙනකොට අලේ ලොකු වෙනවා කියන්නේ
@Bindi = එකෙක් ඇවිදින් කීවා අක්කේ ඕක මගේ කියලා . ඒත් ඒක කීවේ මේ සම්පූර්ණ සිද්දිය වෙලා මම දඬුවම් ලබලා ඉවර වුණාට පස්සේ නේ
.............................................................................................................................
@දම්මි = ඒක ඇත්ත ළමයින්ට පලමු වතාවේ සමාවක් ලැබුණාම ආයේ ඒ වරද කරන්න බයක් ඇති වෙන එක සාමාන්‍යයි පළමු වතාවේ දැඩි දඬුමක් ලැබුනොත් වෛරයක් ඇති වීමත් සාමාන්‍යයි
.............................................................................................................................
@Pavithra = මෙන්න මේකයි වුණේ ඔයි සර් මට එකේ සිට 5 දක්වා විදුහල් පති තුමා වෙලා උන්නා මගේ ගමේ ඉස්කෝලේ තිබුනේ 5 වෙනකම් විතරයි . ඊට පස්සේ මම නගරේ ඉස්කෝලෙට ගිහින් වසර පහක් විතර ගිය තැන ඒ සර් ආයෙමත් මම උන්නු පාසලට විදුහල්පති වෙලා ආවා අනේ ඒත් එයා ඊලඟ වසර දෙකේදී විශාම ගියේ මාව තනි කරලා දමමින්
.............................................................................................................................
@කෝඩුකාරයා = චාටර් වුණා නේ බං ! ඒකනේ කෙලිය .
.............................................................................................................................
@prasanna86k = මම කල කී දේ දැන් අම්මා දැනගෙන ඉන්නේ ඒක නිසා දැන් හිත දුකක් සමගම බයක් තියනවා මචෝ
.............................................................................................................................
@කිරිපුතා = ගුටි කෑවත් මොකෝ බං ලෝකෙට චා නොවී මම නම් එදා හිතුවේ එහෙමයි
.............................................................................................................................
@දුමී = මමත් දහය වසරේ ඉන්න කාලේ තමා මේ සීඩී සීන් එක නගලාම ගියේ ඒ අතරේ ඔය කියන ඩෙක් පීස් වුණත් තිබුණා සීඩි එක සරලයි ලස්සනයි බර නෑ ඉතින් ඒක හන්දා කවුරුත් සීඩී අරගෙන ආවා
.............................................................................................................................
@පරිකල්පන = ඒකනේ නං බං කෝමත් මම ඕක බලන්නම හිතාගෙන උන්න හන්දා මමත් වැරදි අපි සෙට් එකම පස්සේ කතා වුණා ආයේ කවදාකවත් ඉස්කෝලෙට ඇටේක තරම් නොහොඹිනා දෙයක් නොගෙනෙන බවට
.............................................................................................................................
@ඉන්ද්‍රජිත් = ඒ කාලේ ඉතින් අපේ මනස වැඩෙන කාලේ නේ බං . ඒකයි
.............................................................................................................................
@ItalyDilan = ගමේ එවුන්ට ඉතින් කෝමත් මම සාන්තු වරයෙක් බං ඒත් ඉස්කෝලේ දී නම් මගේ නම කෝමත් මම කැත කරගෙනයි උන්නේ ඒකයි මට ඉස්කෝලේදී කෙල්ලක් නොහිටියේ
.............................................................................................................................
@Kasun = ඒ ආතල් එක නම් කවදාකවත් කිසිම කොල්ල්කුට ව්ඳින්න නොලැබේවා කියලා මම පතනවා
.............................................................................................................................
@උන්මාදිනී = බලාගෙන යද්දී යාළු මට විතරක්ම නෙවෙයි මේ වාගේ අසික්කිත වැඩ වෙන්නේ
.............................................................................................................................
@දේවාගේ අඩවිය = වැඩේ නම් කැතයි තමා බං .තියාගන්නම ගන්න සීඩී ඒකාලේ 520 මොකද කීවොත් මේ මම දහය වසරේ ඉන්න කාලේ ,දන්නෑ බං උන් ආවනේ ! , අපේ පන්ති වල කවදාකවත් කබඩ් තිබුනේ නෑ අයියා ඉතින් අපි අපේ දේවල් රෙද්ද අසේ හරි බෑග් එකේ හරි ගහලා තියාගත්තා .
මම නම් පිටු 200 පොතක මැද්ද හාරලා හොද බංකරයක් හදාගෙන හිටියේ.......වැල පත්තර එහෙම කිසිම කරදරයක් නැතිව ගබඩා කරලා තියාගන්න පුළුවන්........
අඩේ සදරුවා මෙහෙව් පොරක්ද.. සිරා ආහ්.. ජීවිතේ විදින්න තියෙන්නේ.. ජය !
මුල්ම කාලේ අපේ පන්තියේ කොල්ලෝ බැලුවේ පත්තර, අප්පා ශිෂ්‍ය නායකයින්ගෙන් බේර ගන්න විදපු දුකක්, පස්සේ පස්සේ වී.සි.ඩී. තැටි කරලියට ආවා, මොනවා උනත් එක දවසක්වත් අපිව අහු වුනේ නම් නෑ. කොලු කාලේ කරපු දේවල් ගැන අද තියෙන්නේ සතුට , හිනාව මුසු වෙච්ච , වෙලාවකට අනේ අපොයි කියවෙන ලැජ්ජාවක්.
මේ කතාව කිව්වම මට මතක් උනේ මගේ ඉස්කෝලේ හිටිය පිනා.. ප්‍රින්සිපල් කියල කියන්න මට අදටත් කට දිව හදාගන්න බෑ උන්ද මට කරපු කුප්ප වැඩේට. හිටු එකත් ලියලා දාමු නං ගං එක්කම.
උඹගේ හැම පොස්ට් එකක්ම කියෙව්වා. ඒ ඔක්කොටම වඩා මේක ගැන නම් දුකයි ඇත්තටම. බොලන් ගැන නෙවෙඉ බොල, බොගේ අම්මා ගැන. බොට ඉඳලම තියෙන්නේ පාප මිත්‍රයෝ සෙට් එකක්.. උඹේ අම්මගේ පෙර පිනකටක , උඹේ අසික්කිත වැඩේ එදා උඹේ අම්මාගේ කනට නොගියේ. එදා එහෙම උනා නම් කොච්චර විදවයිද..මම නම් එදාම පරලොව යනවා
හැබැයි නියම විදුහල්පති කෙනෙක්. තැනට සුදුසු නුවන පාවිච්චි කලා. සියලු ගෞරව හිමිවිය යුත්තේ එතුමාට
මම දකින්නේ සම්ප්රදාය වෙනස් විදිහකට එළියට ආපු බවක්.සමහර විට උඹට බැන්න ගුරුවරුත් ඉස්සර කාලේ සීඩී නැතුවට පත්තර එහෙම යහමින් බලන්න ඇති.උන් උඹට දඬුවම් කරන්න හදන්න ඇත්තේ උඹ තුළින් උන්ට උංවම පෙනුණු හින්දා වෙන්නැති.
සඳරු.....උඹට සුවර්ද ඔය ජෙමා ඔව්වා බැලුවේ නෑ කියලා?
oya uba bila perali perali wanda princial sir neda?
Sajith
ඔහොම ගුරු දෙවිවරු දැන්නම් හොයාගන්න බොහොම අමාරුයි සඳරු. අනිවා ඔත්තුවක් ගිහින් තියනවා. නැත්නම් මොකද එදාම උඹලගේ පන්තියම චෙක් කලේ. මම නම් ඔයවගේ දේවල් අම්මට කීප වතාවක්ම මාට්ටු වෙලා තියනවා. අම්ම නොදැක්ක වගේ ඉඳල මාස ගානකට පස්සේ තමයි, උඹ අහවල් දවසේ මේවගේ දෙයක් බැලුව නේද කියල අහන්නේ. උඹේ පොස්ට් එක දැකල, අමතක වෙලා තිබුණු සිද්ධි ගොඩක් අපහු මතක් වුනා.
අපේ ක්ලාස් එකෙත් තැටි නං හුවමාරු උනා! ඒත් භෑග් වල තිබ්බෙ නෑ ඒවා කවදාවත්! හම්! පට්ට කතාව සදරූ! බැරි වෙලාවත් දාලා පෙන්නුවනං එහෙම බඩු බනිස්! ගෙදර ගිහිල්ලත් ඉවරයි!
දැං හරි කමක් නෑ.. අර ශිෂ්‍ය නායකයාට නෙලහං සදරුවො...
මට ඉස්කෝලේ යන කාලේ ඉඳන් පෙන්නන්ට බැරි ජාතිය. අද වෙනකොට මම ආදි ශිෂ්‍ය සංගමේ තනතුරු හිමි සමාජොකයෙක් කොළඹ ප්‍රසිද්ධ පාසලක. ඒත් තවම ඒ කාලේ හිටිය මගේ වයසේ වගේම මට වඩා වැඩිමල් ශිෂ්‍ය නායකයෝ කියන උං පෙන්නන්න බෑ සඳරුවෝ...
මාගේ බ්ලොග් අඩවිය වන mothagamanaya.wordpress.com වෙබ් අඩවිය යම් පුද්ගලයකු විසින් ඉවත් කර ඇත. ඊට දින දෙකකට පසු අනොනිමස් ආතල් බ්ලොග් අඩවියද(anonymousaya.blogspot.com) මකා දමා ඇති බව දක්නට ලැබුණි. මේ පිලිබඳ බොහෝදෙනාගේ අවදානය තවමත් යොමුවී නොමැති බව පෙනේ..
-මොතා
ඒ ඒ වයසේ ස්වභාවය අනුව ළමයින් කරන වැඩ තේරුම් ගන්න තරම් ශක්තියක් තියෙන ගුරුවරු ගොඩක් අඩුයි. ඒ අතින් මේ විදුහල්පතිතුමා දෙවියෙක්.
ගොඩ දෙනෙක් කියලා තිබුණා වගේ මමත් අනුමත කරන්නේ දඬුවම ට වඩා කරපු වැරැද්ද අවබෝධ කරලා දෙන එක......
~~~***දඟ මල්ල***~~~
කියන්න දෙයක් නැහැ...
නිකන් මේ ආව කියල පේන්න කොටල යන්න හිතුවා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1436705
අපි ඉස්කෝලේ යන කාලේ සීඩී නෑ, පත්තර විතරයි, ඒවත් කලුසුදු ඒවා. කොල්ලොන්ට පාට පාට පත්තරයක් හොයාගත්තා කියන එකත් මහමෙරක් වගේ.
මටත් දවසක් උඹට වගේ එකෙක් පත්තරයක් දුන්නා තියාගන්න කියල. මම ඒක කලිසම අස්සේ දාගෙන දවසක් හිටියේ දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහි ගැහී
උඹට උන දේ මට උනා නම් මට සිහිමුරුජා වෙලා ඇම්බියුලන්ස් එකෙන් ගෙදර යන්න වෙන්නේ.
මොක උනත් උඹ සිරා පොරක්
sirawatama sadaru ubata patta hakiyawak tiyanawa liyanna ..man ube article ekak kiyeuuwa pattaren mataka widihata rajina wenna onaa..ali pannana dadayak karayek gana..pattai gud luck brother
අම්මප සඳරුවෝ උඹලගේ principal නම් දෙය්යෙක්. අපේ එකෙකුට අහුඋනානම් විනාසයි.රටම ගිනිතියලා තමයි නවතින්නේ. කොහොම උනත් උඹේ අම්මා පවු කියලා හිතුනා බන් අන්තිමට.
හං.. උඹ බලලම නෑ... එතකොට... ?? සී ඩී ඕනෙ නෑ.. සයිට් එකක දෙන්නෙයි ?
මම සාධාරණ පිපෙට්ටෙක් හරිය මම එකෙක්වවත් සර්ලට අල්ලලා දුන්නේ නෑ අහුවෙච්ච එව්වා අරගෙන අදාල එකාව අම්බානක බය කරලා එනවා මිසක්... ඌ කවදාවත් අහන්නැ අයියේ කෝ අර ගත්තු එක කියලා...
ඉස්සර අපේ පිපෙට් කස්ටියට තිබ්බා ලොකු උණක් ඩේ කාඩ් අරන් ඉරන්නත්.මම කොරන්නේ බොහෝම සාමකාමීව එකෙක්ව පැත්තකට එක්කන් ගිහිල්ලා උගෙ කන පොඩ්ඩක් වෙන්න මිරිකලා ඒ ඩේ කාඩ්වලින් 50%ක් අරගෙන උගෙ නම මං ගාව තියෙන පොතේ ලියාගන්න එක විතරයි... අනික් 50% ඌට දීලා කියනවා ආයේ ගෙනාවොත් උඹව ප්‍රින්සිපල් ගාවට යවනවා කියලා.... ඔන්න ඔහොමයි නඩු විසඳන්න ඕනේ....
ඔය කාලේ ප්‍රිෆෙක්ට්ලට ගහන්න සේනා සංවිධානය වෙද්දි එකා දෙන්නා මට ඇවිත් කියනවා අපි අර ප්‍රිෆෙක්ට්ලට නෙලනවා අයියා ෂේප් එකේ පැත්තකට වෙලා ඉන්න කියලා... මං ඉතිං හොඳම යාළුවෝ ටිකත් එක්කරන් මුකුත් නොදන්නවා වගේ කොහෙට හරි වෙලා ඉඳලා වලිය උපරිම උනාම මැද්දට පැනලා සංසුන් කරනවා එතකොට වදින්න ඕනේ එවුන් කාලා ඉවරයි... හලේ මන්දා මං කපටියිද කියලා ඒත් එහෙම නොවුනනම් මෙලහකට මම කාපු කෑම් හොයන්නත් නෑ
මටත් වෙලා තියනවා.වෙන සිද්දියක්.පහල පන්තියක කෙල්ලෙක් සෙට් කරන් ඉද්දි අතටම මාට්ටු වෙලා.හිතට හයිය අරන් දැනට අත ඇරලා දාල පස්සෙ බැඳ ගන්න කිව්වා.
අදත් උඹ එල කතාවක් ලියා තියෙනවා.
මේක කියවලා මට ආපු ප්‍රශ්ණෙ
ඒ කාලෙ කරන්ට් එක තිබ්බද?
කවුද බං මේ මහා පාවා දීම කරපු එකා. උඹේ බෑග් එකේ සීඩී එකක් තියෙනවා කියලා දන්න උඹලගෙම එකෙක් හරහා වෙන්න ඕනේ මේ කතාව පිට කෙනෙක්ගේ කනට යන්න ඇත්තේ.
ප්‍රින්සිපල් සර් ගේ කතාවෙන්ම මට හිතුනා මේ උඹ කළිනුත් කියපු ඉස්කෝලේ ලොකු මහත්තයා වෙන්න ඕනේ කියලා.
ඒ වගේ ගුරුවරු ලබන්න වාසනා කරන්න ඕනේ බං, වැඩි දෙනෙක් බලාගෙන ඉන්නේ ළමයින්ගේ අනාගතේ අඳුරු කරලා දාන්න මිසක් වැරදි කරන ළමයින්ව යහමගට ගන්න නෙමෙයි.
එහෙම බැලුවම උඹේ ප්‍රින්සිපල් දෙවියෙක්....
අපි ඉස්කෝලේ යනකාලේ සීඩී තිබ්බේ නැහැ බං, තිබුනේ අර පටි(ඩෙක් පීස්) තමයි. හැබැයි කවුරුවත් එව්වා ඉස්කෝලේ අරගෙන ආවේ නැහැ. ඉස්කෝලෙට ගේන්නේ පත්තර තමයි.
කවදාවත් කාවවත් මාට්ටු උනේනම් නැහැ....:))
මම දන්න පාසලක විදුහල්පති තුමා ළමයෙකුගේ phone එකේ මෙ වගෙ vedio එකක් තිබිල අහුවෙලා, ළමයගෙ තාත්තා ඉස්කෝලෙට අඬගහලා ඒක පෙන්නලා.
තාත්තා අහින්සක ගොවි මහතෙක්. එයාට ලැජ්ජාව දරාගන්න බැරුව සත්තුන්ට වෙඩි තියන්න ගෙනත් තිබුන තුවක්කුවෙන් වෙඩි තියාගෙන මැරුණා.
මේ කතාව කියවන කොට මට 9G සෙට් එක මතක් උනා.... මේ සන්තෑසියමයි මට උනේ... ඒත් පන්තියේ 7 වෙනියත් වෙලා Under 15 athletic champion වෙලා හිටපු මගේ අනාගතය ගැන අපේ බලු ගුරුවරු හිතුවේ නෑ නොවැ... මුන් එදා මට සැළකුවේ ලෝකයේ ලොකුම වැරැද්ද කළාවගේ... එදා අපේ අම්මගේ ඉස්සරහ මේ බල්ලෝ ඒ මැගසින් එක පෙන්නපු හැටි මට තාම මතකයි.... අන්න එදයින් පස්සේ තමයි මගේ ජීවිතයට් කණ කොකා හඬන්න ගත්තේ... ගෙදර අපායක් උනා... ඊට අවුරුද්දකට පස්සේ මම ඉස්කෝලෙ යන්න බෑ කියල ඉස්කෝලෙ ගමන නවත්වන කොට ඒ අවුරුද්දෙත් මම under 17 athletic champion... අන්තිමට ගහපු cricket මැව් එකෙත් 40ක් ගැහුවා 6 ඒවා හතරයි 4 ඒවා දෙකකුයි එක්ක... ඉස්කෝලේ ගමන නවත්තලා පිස්සු කෙළ කෙළ ඉඳලා අපේ උන් OL කරලා AL කරද්දී තමයි මට ඉගෙන ගන්න ආසා හිතුණේ... 10 වසරේ බාගයකට වෙනකල් ඉස්කෝලේ ගිහින් 11 වසරේ ඉගෙන ගෙනම නැති ටියුෂන් නොගිය මම OL විශිෂ්ට සම්මාන 4 සම්මාන 4 එක්ක පාස් උනාම සමහරුන්ට ගූ යන සයිස්... මේ බයිලා දැන් කිව්වයි කියලා මොකෝ මට ආයේ ඒ දේවල් ලැබෙනවයැ?... ඔන්න කොළඹ මහානාමේ මට කරපු දේවල් වලින් බිඳක්....
ඔන්න වැඩේ.වැලක් කළ හදියක්!!!!!
හම්බේ ඔව්වගේ ඒවා අපේ ස්කොලේ කොල්ලෝ තියාගෙන ඉඳල උන්ට උන් හිටි තැන පවා නැති වේල්ල ගියා. සමහරු ස්කොලෙන් දොට්ට දැම්ම. හොර වැඩක් කලොත් කවද හරි අහුවෙනවා සඳරු අයියේ.
අපේ ඉස්කෝලේනම් ඔහොම එකක් මාට්ටු වුනොත් ඉතින් එදාම ගෙදර තමයි. ඇත්තටම සඳරු අයියේ ඔයාගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ අනිත් ඉස්කෝල වල ගුරුවරු , ප්‍රින්සිපල් වරු ඉන්නවානම් අපේ රටේ බන්ධනාගාර මෙච්චර පිරෙන එක අඩු කරගන්න පුළුවන්. හැබැයි දැන් කාලෙ නම් ඉතින් ඉස්කෝලෙට සීඩී අරගෙන යන්න ඕනෙ නෑනේ. පෙන් එකක දාගෙන ගියාම හංගන තැන චෙක් කරොත් නඩු දාන්න වුනත් පුළුවන් (අනවශ්‍ය තැන් අතපත ගෑම) අනික ඔය ප්‍රිෆෙක්ට්ලා ව ෆිට් එකේ තියාගත්තහම චෙක් කරන්න කලින් අපිට ඇවිල්ලා කියන එවුනුත් ඉන්නවා. සමහර අඳුරන එවුන් බෑග් එක චෙක් කරද්දී මොනා හරි බෑග් එකේ තිබුනොත් දැක්කෙ නෑ වගේ ඉන්නවා (ඒත් සමහරු විතරයි. තව ඉන්නවා පුළුවන් නම් ඌම මොනවහරි ගෙනල්ලා බැග් එකට දාලා අපිව මාට්ටු කරලා දෙන්න පුළුවන් එවුනුත්) නතාව නම් පට්ට.......
මම සම්පුර්නයෙන්ම කියවපු එකම බ්ලොග් එක හිස් අහස
මමත් අලුතෙන් බ්ලොග් එකක් පටන්ගත්තා.
අපිට ඒ කාලේ සීඩී තිබ්බේ නැහැ
පත්තර සඟරා විතරයි
දෙතුන් පාරක්ම අහුවෙන්න ගිහින් නූලෙන් බේරුනා :-D
හැමදාම කියනවා වගේ පට්ට.. උදේට කන්නෙත් නැතුව මේක කියෙව්වේ.. තම මේ වගේ හිතක් පපුවක් තියනවා විදුහල්පතිලා ලංකාවේ ඉන්නවා.. එත් බොහොම ටිකයි, අන්තම් අර misuse එකේ girl බෙල්ල වැල ගෙන මැරෙන්නේ නැ නේ. ජීවීතේක වටිනාකම දන්නේ නැති මිනිස්සු ගුරුවරු උනාම ළමයි අනාත වෙනවා.
ඇති යාන්තන් මෙදාපාරත් බේරිලා !!!
ඉස්සර අපිත් ආසයි ඔහොම සීඩී බලන්ඩ. ඒත් අපට එහෙම චෑන්ස් එකක් තිබ්බේ නෑ නෙව. අපට සීඩී ප්ලේයර් එකක් තිබුන් නෑ.
ශික් හරි අසික්කිතයි... හික්... මොනා උනත් ප්‍රින්සිපල් සර්නම් දෙයියෙක්... ඔයවගේ හිතල බලල ළමයෙක්ගෙ ජීවිතය ගැන තීරණ ගන්න ගුරුවරු ඉන්නවනම් ජීවිත විනාසවෙන්නෑ...
ගොඩ කාලෙකින් ගොඩවැදුනෙ... උඹේ ලියන වේගෙ අඩුවෙච්ච නිසා මං වගෙ වැස්සට ගොඩවෙන උන්ට චාන්ස් එක... :D
මම හිතන්නේ සදරු උඹ පොත් ලියපං අනිවා ඒවා උණු කැවුම් වගේ විකිනෙයි. ඒ වගේම උඹ වගේ එකෙක් ලැබිච්ච එක උඹේ අම්මගේ වාසනාව බොලව්. මොන දේ වුනත් ලොකු සර් හොද හිතක් තියෙන මනුස්සයෙක් ඒ වගේ මිනිස්සු ගැන අහන්න ලැබෙන එකත් සතුටුයි.
මම ආයෙත් කියන්නම්. උඹ පොතක් ලියහං නවනතාවක් වගේ ඒකටම ඉපදුන මිනිහෙක් මේ කතා කියවන්නේ අපි හරිම ආසාවෙන්. උඹට ජය.බොළද මනස්ගාත වෙනුවට ඒ වගේ පොත් වලට මිනිස්සු කැමැතියි.
මල්ලි උබ නම් මාර ලිවීමේ හෑකියාවක් තියන කොල්ලෙක්.මට අම්පාර නාමල් ඔය එතනින් එහාට නුපුරුදු මිනිහෙක් නෙමේයි.1999 ඉදල මම අම්පාරට ආව ගියා රාජ්කාරි වඩ වලට.නවත් වන්න එපා මම මෙ බ්ලොග් වලට අලුත් නමුත් මම ඉතාම අගේ කරනව උඹේ ලිවීමෙ හෑකියාව .දිගටම ලියපන්. මම ඉන්දික සෞදියෙන්
උබලගේ ඉස්කෝලේ ළමය් ගැන හිතල බුද්දිමත් තීරණ ගන්න විදුහල්පති කෙනෙක් හිටිය එක ගැන සතුටු වෙයන්. එහෙම නැතුව උ පොර වෙන්න හිතාගෙන අම්ම සහ අනිත් ළමය් ඉස්සරහදි දඩුවම් කලානම්, අද උබට ගෙදරට මුණ දෙන්නත්බැ රටට මුණ දෙන්නත්බැ. එහෙම කොල්ලෙක්ගේ ආත්මගෞරවය නැතිකරලා ඌව වනචරයෙක් කියල හංවඩු ගැහුවට පස්සේ උගේ ජීවිතේ උටම එපාවෙනවා. ඒ ඇතිවෙච්ච කැළල මොනවා කරත් මකාගන්න බැ. උබ වාසනාවන්තය්. ඔය වගේ ගුරුවරු හැමතැනම නැ.
අත්දැකීමෙන් කියන්නේ.
තරිදු .
ජෙමාගේ හඬට මෙච්චර වෙලා මරිය කඩේ වගේ තිබුණ පන්ති කාමරේ මෝචරිය වගේ නිහඬ වෙලා ගියා
Post a Comment
තැන්කූ බං