23.1.12

බලු කූඩුවක පැයක් ගත කළෙමි.



රමක් මල බැඳුණු යකඩ කූරු අතරින් වදින සැර එළියට ඇස් දෙක පොඩ්ඩක් විතර හුරු වෙලා . නොකඩවාම ඇහෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රවලින් නැගෙන ගොරැහැඩි යාන්ත්‍රික හඬ දැන් කන් දෙකටත් තරමක් හුරුයි . මොහොතකට කලින් නහහය දිගේ ගමන් කරමින් මගේ බොකු බඩවැල් අඹරවලා දමාපු වමනේ ගන්ධස්සාරෙත් දැන් නාහෙට නොදැනෙන ගානයි. ඒත් එකම එක දෙයක් මට තාම නුහුරුයි . මම දැන් ලැගලා ඉන්න මේ බලු කූඩුව නම් මට පුරුදු නෑ ..

පරම්පරාවේ නම ගෙනියන්න කොලු පැටියෙක් ලැබුණාය කියලා මම උපන්න දවසේ මගේ නෑදෑ පරපුරම සෑහෙන්න සතුටු වුනාලු . එදා සතුටු වුණු මගෙ නෑදෑ සහනුරේ කවමදාකවත් නොහිතන්න ඇති මම පොලීසියේ හිර මැදිරියක තත්පරයක් වත් ගතකරාවි කියලා . උන් මේ ගැන දන්නවා නම් හරි වැරදි ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මාව පවුලෙන් නෙරපලා දමාවි . ඒ ගැන හිතෙනකොට මේ යකඩ දොරේ කම්බි කූරු අඹරවලා දාලා මෙතනින් පැනලා යන්න තරමේ ආවේගයක් මගේ හිතට දැනුණා .

වෙලාව රෑ 9 විතර ඇති . ඇඟට දැනෙන්නේ පුදුම කෙඩෙත්තු ගතියක් .ගෙදර මතක් වෙලා හිත ඇතුළේ ඇවිලෙන ගින්දර කඳ නිසා වෙන්නැති මගෙ මහන්සිය දෙගුණ තෙගුණ වෙලා දැනෙන්නේ . කැලතෙන හිත සන්සුන් කරගන්න හිතලා මම හිර කූඩුව වටේටම ඇහැ යැවුවා . ඒක සාමාන්‍ය හිර කූඩුවක් . හිර කූඩුවේ වම් පසට වෙන්න සිමෙන්තියෙන් හදාපු කණ්ඩියක් තියනවා. මගෝඩි වැඩක් කරහම පොලීසියට ගෙන එන මදාවියෙකුට ඉඳගෙන ඉන්න හරි වැතිරිලා නිදාගෙන ඉන්න හරි එතන පාවිච්චි කරතහැකි . මමත් දැන් මදාවියෙක් , නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් දැන් ඉතින් මමත් එතන ඉඳගත්තට වරදක් නෑ . සිමෙන්ති කණ්ඩිය උඩ ඉඳගත්තු මම මට වෙච්ච සිදුවීම ටිකෙන් ටික ආයෙමත් ආවජනය කරන්න පටන්ගත්තා .

මේ අලුත් අවුරුද්දේදී නම් කිසිම කඩප්පුලි වැඩකට සම්මාදම් වෙලා වරිගේ නහගන්නේ නැතෙයි කියලා හිතාගෙන බීමත් කමටයි දුම් වැටියටයි දෙකටම ආයුබෝවං කියාපු මට දෛවය දුන්නේ මහ අරුම පුදුම දඬුවමක් . මේ සේරම සිද්ධ වුණේ හරියටම 2012 ජනවාරි 1වැනිදා ඉර බැහැගෙන යන හැන්දෑ වරුවකදී.

ඉඳලා හිටලා යාළු මිත්‍රයෙක් එක්ක පොඩ්ඩක් වීදි සංචාරයක නිරත වෙන එක පොඩි එකා සන්දියේ ඉඳලාම මගේ ගාව තිබුණු පුරුද්දක් . පොඩි එකා කාලේදී නම් ගෙදරින් මගේ මේ වීදී සංචාරයට තදබල විරෝධතා මතුවුණත් ටිකෙන් ටික මගේ කර දඬු උස් මහත් වෙනවත් එක්ක්ම ඒ විරෝධයන් නිකම්ම දියවෙලා ගියා .

ගෙදරින් එල්ලවෙච්ච විරෝධයන් වියැකී යන අතරේ අපි ගාල කඩාගත්ත හරක් වගේ ගම පුරාම අයිලේ යන්න පටන්ගත්තා . ජීවිතේ ඔන්න ඔය අයුරින් කාලකණ්ණි විදිහට ගෙවෙමින් යන අතරේ මගේ පූරුවේ වාසනාවකටද කොහෙද මට රැකියාවක් ලැබුණා .රැකියාව ලැබිච්චි මම අයාලේ ගිය ජීවිතයට පොඩ්ඩක් නැවතීමේ තිත තියලා කාර්‍ය බහුල ජීවිතයකට මුල පිරුවා. ඒත් මගේ පරණ මිතුරු සේනාව නම් රැකියාවක් ගැන ඒතරම් නොහිතා ගමේ පාරවල් අයිනේ බඩවැටි ගානේ , වැවු බැමි උඩ ආදී තැන් වල ජීවිතේ වටිනා කාලේ දියකරලා දමමින් හිටියා .

දවසේ වැඩ නිමා කරලා "පාං" කියාගන්නවත් බැරිව ගෙදරට ගාටන මට උන් ගෙවන නිදහස් ජීවිතේ ගැන මොහොතකට ඉරිසියයි !. ඒත් මට පහු පහු වෙද්දී ටිකෙන් ටික තේරුම් ගියා මුං මේ ගෙවන්නේ නිදහස් ජීවිතයක් නෙවෙයි දුකින්, අග හිඟ කමින් පිරුණු ජීවිතයක් බව .

"
උඹ ජොබක් කරන එක හොඳයි සඳරුවා නැත්නම් උඹත් අපි වගේ කාලකණ්ණි වෙනවා'

නිවාඩු දවසක මගේ අතිජාත මිතුරු කැල හමුවෙන්න ගිය මොහොතක මෙන්න මේ වදන් පෙළ නම් අනිවා එක මිතුරෙකුගේ කටකින් එළියට ගාටනවා.

"මොනවා කළත් මුං එදා ඉඳන් මගේ යාළුවෝ ! මම ජොබක් කළා කියලා මුංව අමතක කරන්න ඕනෙද ? නෑ නෑ මම එදා හිටපු ඒ පරණ අවලම් කොල්ලම තමයි . මම කවදාකවත් මුංව අමතක කරන්න හොඳනෑ" මගේ යටි හිත මට ඔහොම උපදෙස් දුන්නු නිසාම මම කවමදාකවත් මගේ ජීවිතේට ළඟින් උන්නු කිසිම මිතුරෙකුව අමතක කළේ නෑ . මමත් උන්ට මට හැකි පමණින් උදවු පදවු කළා . උනුත් හැමදාම මා එක්ක හිටියා . හැන්දෑ වරුවක මල්පැණි උගුරකට සෙට් වෙන මොහොතක , හොරෙන් පොල්වල්ලක් බාන්න යන මොහොතකත් , මාළු බාන්න වැවට යන වෙලාවකත් උන් මාව අමතක කළේ නෑ ..

"
සඳරුවා අද අපි ටිකක් එකමුතු වෙන්නයි හදන්නේ උඹත් එනවද ? “

පරිගණක පන්තියක් මැද උගන්වමින් ඉන්න අවස්ථාවක මට ලැබෙන මෙන්න මේ තාලයේ දුරකථන ඇමතුම් වලට මම හදවතින්ම වෛර කළා . මේ ජොබ් එක දමලා ගහලා ගිහින් උන් එක්ක එක්කාසු වෙලා ඉන්න ඇත්නම් කියලා මම හීන දැක්කා, සුසුම්ලෑවා . ඒත් සුසුම් වලින් , හීන වලින් පලක් නොවූ තැන මම හිතේ උපදින දාහක් හමාරක් දුක් ගින්දර මැද ඒ යෝජනාවන් ප්‍රතික්‍ෂේප කළා .

"
මට බෑ බං මට අදත් කප්පරක් වැඩ !”

"
අරි ඒනම් අවුලක් නෑ මචා උඹගේ කොටහා අපි උඹලෑ ගේ පිටිපස්සේ කෙහෙල් පඳුර අස්සේ හංඟලා යන්නම් .. “

"
එලම කිරි බං‍‍"

"
බොක්ක තමා"

ඔන්න ඔය විදිහට නිමා වෙන දුරකථන සංවාදයකින් පස්සේ මට ආපහු මම ඉස්සර ඇලිලා උන්නු ආදරණීය රස්තියාදු ජීවිතේ සුවඳ දැනෙන්න ගන්නවා. ඉන් පස්සේ යලටත් නැති මහටත් නැති කුඹුරක් වගේ මගේ හිතත් පුරන් වෙලා යනවා .. ඉතින් එදා මුලු දවසම කරන හැම වැඩක්ම පුදුම විදිහට මස්තයි.

හැමදාකම මේ විදියට යාළුවෝ කාණ්ඩෙ මාව අමතනකොට මාව මැදි කරගෙන උන්නු දාහක් වැඩ රාජකාරි මට යන්න නොදී මාව බදලා අල්ලා ගෙන උන්නා . ඒත් එක දවසක මට ලැබුණු ආරාධනාවක් ප්‍රතික්‍ෂේප කරන්න නම් මගේ හිත කොහොමටවත් මට ඉඩ දුන්නේ නෑ .

"
මචං හෙට අපේ කට්ටිය අලුත් අවුරුද්දට පොඩ්ඩක් එක්සේසත් වෙනවා උඹත් පොඩ්ඩක් ඒ පැත්තේ පද්දලා යන්න වරෙංකෝ !”

ඒ වෙනකොටත් මම මල්පැණි බීම සදහටම අවසන් කරලා දාන්න හිත හදාගෙන ඉවරයි . ඉඳලා හිටලා බීපු බීර ටින් එකක් ඇරෙන්න ඇත්තටම මම ඒ වෙනකොටත් මතින් දුමින් ඈත් වෙලා ඉවරයි .

"
මම දැන් අඩිය දාන එක නම් නතර කළා බං ..”

"
හා හා කමක් නෑ නිකං අපි එක්ක සැටිස්පයි වෙලාවත් යන්න වරෙන්කෝ !!”

"
මම එන්නම් ..”

ඔන්න ඔහොමයි මම සෑහෙන කාලෙකට පස්සේ මගේ මිතුරු සේනාවත් එක්ක ආයෙමත් එකතු වුණේ . ඒත් කවුද හිතුවේ එදා මගේ ජීවිතයේ මාරකයක් පනින්න තියනවාය කියලා !, කවුද හිතුවේ මට කූඩුවක ලගින්න වේවිය කියලා . ජීවිතේ හැටි එහෙමයි හැම දේම වෙන්නේ මිනිස්සුන්ට , මොන තරම් කරණම් ගැහුවත් මේ ජීවිත දුවන්නේ අපිට ඕනෙ විදිහට නෙවෙයි දෛවයේ ලියවිලා තියන විදිහට .

තම්පලාවත්තේ මලිත් කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක් . අම්මා අප්පා වුණත් කියන කිසිම දෙයක් නාහෙට අහන්නේ නැති ඒකා අමු හිතුවක්කාරයෙක් . හැබැයි ඉතින් අපිට නම් ඌ සොමි බර මිත්‍රයෙක්. . ඉතින් ජනවාරි පළමුවැනිදා හවස තුනට විතර මගේ ආදරණීය බොස්ට ගල් පැළෙන බොරුවක් ඇදබාලා ඔෆිස් එකෙන් පැනලා මම කෙළින්ම ගියේ මලිත්ලෑ දිහාට .

මලිත් මාව දැක්ක හැටියෙම බුලත් විටක් එහෙම සප්පායම් වෙන්න දීලා ඇල පාරේ උණ ගස් ලන්ද අසල පැවැත් වීමට නියමිත වෙලා තිබුණු අපේ ගමේ මිත්‍රයින්ගේ සාදය සඳහා යන්න සූදානමින් බාටා සෙරෙප්පු ජෝඩුවකුත් ඇඳගෙන ලක ලැහැත්ති වුණා . මම බුලත් විටේ සෑහෙන දුරට හපනකල්ම ඌ ලැහැත්ති වෙන්න වෙලා අරගත්තේ හරියට නිකම් කෙල්ලෙක් බලන්ඩ යන්න වගේ .

හවස පහයි දහයට විතර අපි දෙන්නා කකුල් දෙකේ තිබුණු බාටා සෙරෙප්පු දෙක වැලි පාරේ අතුල්ල අතුල්ල උණ ගස් ලන්ද පැත්තට හෙමිහිට කිට්ටු වුණා . ඔහොම ටික දුරක් ගාටනකොට ඇනිකට් එක ගාවදී දැක්ක පුංචිම පුංචි සිදුවීමක් තමයි මේ හැම දෙයකටම මුල් වුණේ..

!ඇලේ ඇනිකට් එක ගාව වතුර පාර තරමක් සැරයි ! ඒත් කෙනෙක් ගහගෙන යන්න තරමට නම් සැර නෑ . වෙනදා හැන්දෑවට සෙනග පිරිලා ඉන්න ඇනිකට් එකේ ඒ මොහොතේ නම් උන්නේ උස හීන්දෑරි කෙල්ලෝ දෙන්නෙක් විතරයි . ඇල තියෙන්නේ පාරට තරමක් පාතින් නිසා පාරේ යන කෙනෙක් යාන්තමට ඔළුව හැරෙවුවානම් ඇලේ නාන සොඳුරු යුවතියන් දෙතුන් දෙනෙක් බලා කියාගන්න එක කොහෙත්ම අපහසු නෑ .

"
අඩේ අර බලහංකෝ බං .. “

මලිත් එකවරම මට යමක් පෙන්වන්න උත්සහ කල නිසා ලොකු කල්පනාවක හිටි මම මොහොතකට ඒ කල්පනාවෙන් මිදුණා .

"
කෝ ? මොකද්ද ?, කොහෙද ? , කිඹුලෙක්ද බං ?”

"
කිඹුලෙක් නෙවෙයි බං අර බලහංකෝ අර නාන කෙල්ල දිහා . අපෙ අප්පේ ඉතින් ....... !!!! “

මලිත් උගේ අතේ දබරැඟිල්ල ඒ කෙල්ලෝ දෙන්න දිහාට දිගු කරලා මට පෙන්වන්න උත්සහ කළා ..

"
ඇඟිල්ල දික් කරන්න එපා යකෝ !”

මට ගන දෙවි නුවන තිබුණ නිසා මලිත් හනිකට උගේ ඇඟිල්ල පහතට දැම්මා . මමත් මලිත් පෙන්නාපු කෙල්ලෝ දෙන්නා දිහා නිකමට වගේ බැලුවා . හ්ම් . තරමක් කලු වුණත් ඒ කෙල්ලෝ දෙන්නගේ අමුත්තක් තිබුණා. උන් දෙන්නා අපේ ගමේ කෙල්ලෝ දෙන්නෙක් නම් නෙවෙයි. ඒත් ඒ ඇඟටම ඇලිච්ච දියරෙද්දෙන් එළියට මතුවෙලා පේන සුන්දරත්වය මගේ නේත්‍රා යුගලයෙන් ඇතුළට රිංගලා මගේ හිත මොහොතකට ඔකඳ කළා .දිය බේරෙන්න කඩා දාපු තෙත කොණ්ඩයත් ඇල මායිමේ සැඩ හුළඟට යාන්තමට හෙලවෙනකොට ඒ දිහාවේ බලං හිටපු මගේ කුඩා බඩවැල් පවා ඇඹරිලා ගියා .

හපෝ කෙල්ලෝ නම් ඕනෙම නෑ

මම මගේ හිත තද කරගෙන කලිසමේ සාක්කු දෙකට මගෙ අත් දෙකම තදින් ඔබාගෙන සන්සුන් ගමනින් ඉදිරිය බලාගෙන මගේ ගමන යන්න පිටත් වුණා . ඒත් මම නොදැක්ක දෙයක් තමයි මලිත් තවමත් කෙළ බේරන මුවින් යුතුව අර කෙල්ලෝ දිහා බලාගෙන ගමන් කරන බව .. !

"
මොනාද තමුසේ බලන්නේ ?”

ඇලේ දිය නාමින් හිටි එක කෙල්ලෙක් එකවරම අපේ දිහා බලලා කෝපයෙන් පිපිරෙමින් අහද්දී තමයි මම දැනගත්තේ මලිත් තවමත් කෙල්ලෝ දිහාවේ බලාගෙන අනිමිස ලෝචනයේ යෙදිමින් ඉන්නවාය කියලා .

"
වරෙං බං යන්ඩ "

මම මලින්ත්ගේ අතින් ඇදගෙන එතනින් යන්න උත්සහ කළා .මලිත් මගේ අණට කීකරු වුණා නම් හැම දේම හොඳින් අවසන් වෙන්න තිබුණා . ඒත් ඌ වීසි කල එක කට කැටිච්ච පිළිතුරක් නිසා හැම දෙයක්ම වෙනස් වුණා .

"
අක්කේ ඕම නැවෙන්ඩ එපා අප්පා අපේ හැඟීම් ඇවිශ්ශෙනවා “.

ඒ පිළිතුර දීලා අපි දෙන්නම ඇල පාර දිගේ තරමක් වේගෙන් ඉදිරියට ගියා . මමත් වැඩිය ඒ සිදුවීම ගැන නොහිතුවේ . ඒ කාන්තාවෝ දෙන්නා මීට කලින් අපේ ගමේදී දැකලා නැති නිසයි . "කොහෙන් හරි ආපු කෙල්ලෝ දෙනෙක් වෙන්නැති" එහෙම හිතමින් මමත් සිනාමුසු මුහුණින් හෙමිහිට අඩි තියමින් උන්නා .

ඔන්න ඔය අතරේ තමයි වේගයෙන් ආපු තුන් සක් රියක් අපිව පහු කරලා නැවැත්තුවේ . ඒ තුන් සක් රිය නතර කරනකොටම මම ඉදිරියට වෙන්න යන දේ හිතෙන් මවා ගත්තා . ඒ තුන් සක් රියේ ඉඳලා එළියට බැස්සේ හොඳට කාපු තරබාරු මිනිස්සු හතර දෙනෙක් . මම නම් මීට කලින් උන් හතර දෙනාව උපන්තේකට කවදාකවත් දැකලා නෑ .

"
තොපි දෙන්නගේ හෙණට හැඟීම් ඇවිස්සෙනවා නේද ?”

තුන්සක් රියෙන් එළියට බැහැපු එක තරබාරු පුද්ගලයෙක් අපෙන් එහෙම අහද්දී මටත් ඌරු ජුවල් නැංඟා . පිටගං කාරයෝ කොහොමද අපෙන් එහෙම අහනේ ?.මේ ගම අපේ , ඇල අපේ , පාර අපේ අපි අපේ , ඉතින් අපිට ඉහළින් මේ ගමේ යන්නේ කාක්කෝ විතරයි ඒත් මේ තරබාරු මිනිහා .අපිව බය ගන්නන්න හදනවා !

"
ඔයාලා කොහේද ? ඔයාල දන්නවද මේ ඉන්නේ කොහේද කියලා . ? නිකම් ප්‍රශ්න දාගන්න ඔන්නෑ නේ අයියා. පිට ගමකට ඇවිදිල්ලා කේස් දාගන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න “

මගේ වාග් මාලාව වැදිලා තරබාරු මිනිසුන් හතර දෙනාගේ බල මොහොතකට බිඳිලා ගියා . ඉතින් ඒ සම්පූර්ණ ප්‍රශ්නෙම එතනින් අවසන් වෙන්න තිබුණා . ඒත් මලිත්ගේ ශ්‍රී මුඛයෙන් එළියට පැන්න එක ගොං වාග් මාලාවක් නිසා හැම දෙයක්ම ආයෙමත් වෙනස් වුණා .

"
ඇඩෝව් ! මට එක හූවකින් කොල්ලෝ සීයක් මෙතනට ගෙන්නන්න පුළුවන් .. !”

මලිත් උජාරුවෙන් එහෙම කීවේ අර තරබාරු මිනිස්සු හතර දෙනා බයේ පහුබැහැලා යාවි කියලා හිතලා වෙන්නැති .

මලිත් කීවේ බොරු ! මෙතන අපි ගිරිය කඩාගෙන හූ කිවුවත් එකෙක්වත් එන්නේ නෑ . අපි මෙතන හූ කීවොතින් අපේ ගමේ එවුන් නරි ඇවිදිල්ලාය කියලා හිතලා ගල් කැබලි මේ පැත්තට එවන්නත් බැරි නෑ .

"
ආ එහෙමද.? එහෙන් උඹ හූ කියපං .!”

තරබාරු පුද්ගලයෙක් මලිත්ගේ බෙල්ලෙං අල්ලලා මුහුණට වේගවත් පාරක් එල්ල කළා . මම එතනට වේගයෙන් පැන්නේ මලිත්ව බේරගන්නයි . ඔන්න එතකොටම ලොකු ගුටි කෙළියක් ආරම්ඹ වුණා .

මම දකුණු අත උස්සලා වේගවත් පාරක් දෙන්න හදනකොටම නා කපන වැස්සක් වගේ මගේ ඔළුවට මුහුණට ගුටි වදින්න පටන් ගත්තා . මම ඇස් ඇරලා බලද්දී තුන්සක් රිය නොපෙනී ගිහින් . මලිත් ඇල පල්ලමේ නිදිකුම්බා ගාලක ඉඳලා නැගිට්ටා . මගේ නහයෙන් නොකඩවා ලේ ගලනවා . මලිත්ගේ කම්මුල තුවාල වෙලා .

තරබාරු පුද්ගලයින් හතර දෙනෙකු විසින් අපිට තඩිබාපු පුවත මොහොතකින් ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම විදුලි වේගයෙන් පැතිරිලා ගිහින් තිබුණා . සිරිපාල අයියලා , රොමියෙල් මාමලා , ලැම්බට් අයියලා ආදී ගමේ ගණංකාරයෝ හැම දෙනෙක්ම හතර වටින්ම වැටිලා තිබුණු බිං කලුවරත් නොතකා අතට අහුවුණු අවි ආවුදත් අරගෙන කාණ්ඩ හතරකට බෙදිලා ගමේ හැම ගහක් ගලක් ගානෙම පීරමින් තරබාරු මිනිසුන් හතර දෙනා සොයමින් හිටියා .

"
උං පිට ගං කාරයෝ වගයක් උන්ට එහෙම මේ ගමේ වැඩ දාන්න දෙන්න බෑ"

හැම කෙනාගෙම මුවින් පිට වුණේ අපිව දිරිමත් කරවන වදන් විතරමයි . මමත් ලේ පෙරෙන නහයට පුළුන් කෑල්ලක් තියලා තදකරගෙන වමතින් ගිනිසීරිය කෝට්ටකුත් දරාගෙන ගමේ උදවියත් එක්ක සතුරන් සොයමින් උන්නා .

මට නාදුනන පිරිසක් පහරදුන් වග මගේ ප්‍රියාවියට ආරංචි වෙලා තිබුණේ ඔන්න අතරෙයි . එයා නොනවත්වාම හඬා වැටෙන අතරේ මගේ මාමණ්ඩි දුම්මල වරම අතින් ගත් කට්ටඬියෙක් වාගේ පරල වෙලා යකඩ ඉන්නකුත් අරගෙන මට පහරදුන් උදවිය සොයමින් ගේ ඇතුළේ සිට ඒක පුද්ගල මෙහෙයුමක් දියත් කරලා තිබුණා .

පැයක් පමණ දිගු දුර මෙයෙයුමකින් පස්සේ . උඩහ පාරේ කුමාරි නැන්දලාගේ ගෙදර වත්තේ ඉඳපු එක තරබාරු පුද්ගලයෙක්ව අපි දැක්කා . කාණ්ඩ හතරම එකවරම වත්තට කඩා වැදුණේ සතුරු බලකොටුවක් ආක්‍රමණය කරන්න සති ගාණක් බලාන උන්නු බල සේනාවක් වගේ .

"
අනේ මයෙ ලොකු නැන්දගේ පුතාට ගහන්න එපෝ ..!”

කුමාරි නැන්දා විලාප තියන්න ගත්තා . එතකොට තමයි අපි දැනං උන්නේ මේ උදවිය කුමාරි නැන්දලාගේ ගමේ නෑදෑයෝ විත්තිය . ගේ ඇතුලේ ජනේලයකින් එබිකං කරමින් බයෙන් වෙවුලමින් මුවැත්තියන් දෙන්නෙක් වාගේ අර ඇලේ නාපු කෙල්ලෝ දෙන්නත් බලාන උන්නා .

පවු.! උන් මේ තරබාරු පුද්ගලයන්ගේ බිරින්දෑවරු වෙන්නැති . කුමාරි නැන්දගේ මූණ බලාගෙන දැන් ඉතින් මුන්ට ගහන්න බෑ .අලුත් අවුරුද්දේ මේ හැම දේම අමතක කරලා දාන එකයි නුවනට හුරු . මම එහෙම කියලා අපේ කට්ටියව ආපහු යන්න හරව ගත්තා . ඉතින් ඒ විදිහට අපි ආපහු හැරිලා ගියා නම් මේ මොහොත වෙනවිට බොහොමයක් දේ සාමාන්‍ය විදියට සිද්ධ වෙන්න තිබුණා . ඒත් මලිත් ආයෙත් උගේ හැකර කටේ හිරි ඇරගත්තා ..

"
මෙච්චර දුර ඇවිල්ලත් අපි නිකං ගියොත් මුං හිතාවි අපි පොන්** කියලා . අඩෝව් අපි මුන්ට නෙලමූ !!”

මලිත් එහෙම කෑගැහුවාට පස්සේ කීප දෙනෙක් ආයෙමත් ආවේශ වුණා . එතන තත්වය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්තා .

ඔන්න ඔය අතරේදී තමයි කවුරුන් හෝ නීති ගරුක අසල්වැසියෙක් එකයි එකයි නවය අමතලා දැහැමෙන් සෙමෙන් ආතල් එකක් අරගෙන තිබුණේ .. ගේට්ටුව ළඟ පොලිස් ජීප්පුවක් නවත්තනවා දුටු හැටියේම අපේ ගමේ චණ්ඩි සෙට් එක බිම ඉහිරිච්චි ආප්ට සේවු දියර බිඳුවක් වාගේ වාෂ්ප වෙලා ගියා .කකුල් වල වේදනාව නිසා දුවගන්න බැරිව ඉතිරි වුණේ මමත් මලිතුත් විතරයි .

එතනින් එහාට වෙච්ච දේ තමයි කථාවේ මුල් කොටසේ සඳහන් වෙලා තියෙන්නේ .

ඔවු අපි පොලීසියේ කූඩුවේ හිරවුණා !.

මම ආයේ හැරිලා බැලුවා මලිත් කකුල් දෙක අස්සේ උගේ මූණ සඟවාගෙන හිර මැදිරියේ බිම බුදියන්න උත්සහ ගන්නවා .ඌට පයින් එකක් දීලා මගේ තරහා පිරිමහගන්න හිතුවත් මේ අල්ලපු අඩවුව හොඳටම ඇති නිසා මම ආයෙත් නිසොල්මන් වුණා .

මම ආයෙමත් සිමෙන්ති බංකුවේ ඉඳගෙන කල්පනාවට වැටුණා . ගුටි කාපු එකා කූඩුවේ !, ගහපු එවුන් සතුටින් නිදැල්ලේ .

මේ පොලීසිය මට නුහුරු තැනක් නෙවෙයි . මොකද කීවොත් මම තමා මේ පොලීසියේ ඇතුළේ පරිගණක පන්තිය කළේ . ඉතින් ඒ පරිගණක පන්තියට සහභාගී වෙච්ච බොහොමයක් නිලධාරින් මම හොඳින් අඳුනනවා . මම කූඩුවෙන් එළියට නෙත් යොමාගෙන බලාපොරොත්තුවෙන් උන්නේ මම දන්න කියන නිලධාරී තුමෙක් එනතුරු .

වෙලාව රෑ දහයයි හතළිස් පහට විතර ඇති . මම හිතන්නේ මට නින්ද යන්න ඇති . මොහොතකින් කූඩුවේ යකඩ කූරු වලට කෙනෙක් තට්ටු කරනවා දැනිලා මම උඩ ගිහින් ඇහැරුණා .

"
සඳරු මල්ලී මේ මොකෝ මේ..? හද් දෙයියනේ . ! සිරිලෝ..!! සාජන් අතුල..!! කොල්ලනේ ඇරපියවු මේ කූඩුව. යකෝ මේ අපේ කොම්පීතර ඉන්ස්ට්‍රක්ටර් මලයා .. !!" 

දෙයියොම බලන්ඩ ඕනෙ !. ඒ ඇවිදින් උන්නේ අයි පී ගුණතිලක මහත්තයා උන්නාන්සේ මගේ පරිගණක පන්තියේ ඉදිරිපස පේළියේ දීප්තිමත් සිසුවෙක් ඉතින් අන්තිමේදී ඒ උත්තමයාට පින්සිද්ද වෙන්න මම නිදොස් වුණා . ඊට පස්සේ එතුමාගේ මග පෙන්විම මත මම පොලිස් පොතේ පැමිණිල්ලකුත් ලීවා . දින කිහිපයකට පස්සේ අදාල පුද්ගලයන් මා හමුවට පැමිණ හඬා වැටීම නිසා පසුව ඒ පැමිනිල්ල ඉල්ලා අස් කරගත්තා .

කොහොමින් කොහොම හරි ජනවාරි පළමුවෙනිදා පොලිස් කූඩුවක ලගින්න තරම් මම අවාසනාවන්ත වුණා , නාහේ උඩ නොමැකෙන කැළලක් හදාගන්න තරම් මම අවාසනාවන්ත වුණා .

"
මේ කූඩුව තියෙන්නේ බලු වැඩ කරන එවුන්ට මල්ලී. උඹ මොකටද මේක අස්සේ රිංගන වැඩ වලට සම්මාදම් වෙන්න ගියේ .? “

අයි පී ගුණතිලක මහත්තයා මගෙන් එහෙම අහද්දී මට දෙන්න උත්තරයක් ඒ මොහොතේ කල්පනාවට ආවේ නෑ ! . ඒත් මට හොඳටම වැටහුණා එතුමා මට හිමිහිට හින්ට් එකක් පාස් කල විත්තිය .

අපි හරියට සත් ගුණවත්ව හිටියා කියලා අපිට හැමදා යහතින් ඉන්න ලැබෙන්නේ නෑ . කරදර අපිව පන්නගෙන එනවා . මගේ හෘද සාක්‍ෂියට එකඟව මම හොඳටම දන්නවා මම මේ සිදුවීමේදී වැරදි කාරයෙක් නොවන වග . කෙටියෙන්ම කීවොත් වැරදි වෙලාවේදී වැරදි තැනක හිටියාටයි මට මේ විදිහට දඬුවම් ලැබුණේ .

ජීවිතේ හැටි ඔහොමයි කියලා හිතාගෙන මම හිත හදාගත්තා. ! 

මෙම සිදුවීම විදෙස් සිත්තරා දුටු ආකාරය දැක බලා ගැනීමට මෙතනින් සයිබර් යායට හැරෙන්න ! 

නම් ගම් මනංකල්පිතයි

14.1.12

සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක් 2




මේ ඇත්ත කතාවේ පලමු කොටස නොබැලුව කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියෝලම දෙවනි කොටසට එන එක හොඳයි


"මම කුමාරකන්ද ගමට පය ගහනකොටත් ආච්චිලාගේ ගෙදරට අපේ නෑදෑයෝ සෙට් එක කෝල් කරලා කියලා තිබුණා මට තනිවම ගෙයින් එළියට පයගහන්නවත් දෙන්න එපා කියලා . ඒ මිනිස්සුත් මට යන්තම්වත් ගෙදරින් පිටට යන්න දුන්නේ නෑ. උඹට කියන්න මම හුජ්ජ කරන්න යනකොටත් එකෙක් පස්සෙන් එනවා නේ . අනික තමයි සාස්තර කාරයා කියාපු විදිහට අම්මාගේ හිටපු ගම බූස්ස . මම එහේ යන්න හදද්දී මේ ආච්චිලාගේ ගෙදර එවුං මාව බය කරා . බූස්ස පැත්තේ මිනිස්සු ළමයින්ව අල්ලගෙන බැලමෙහෙවර කමට තියාගන්නවා කියලා .”

"උඹ ඉතින් බය වුණාද ?”

"ඒ කාලේ මම පොඩි එකානේ බං මමත් ඔවුවා විශ්වාස කළා . අන්තිමේ දවස් තුනක් එහේ ඉඳලා හිස් අතින්ම ආපහු ගමට ආවා . හැම දේම අමතක කරලා දානවා කියලා හිතාගෙන මම ගමේ ටික කාලයක් ඔහේ නිකම්ම හිටියා .ඔන්න ඔය අතරේ ඒ ලෙවල් රිසල්ට් ආවා . උඹට මගේ රිසල්ට් එක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනේ"

"ඕනෙ නෑ බං අපි දෙන්නම ෆේල් නේ .”

"ඔන්න ඉතින් මම ආයෙමත් දවසක මගේ කෙල්ලගේ ගෙදරට ගියා . ගිහින් අර සාස්තර කාරයාවත් පොඩියකට එහේට ගෙන්නගත්තා . ගෙන්නගෙන මම කීවා මම දකුණට ගිය බවත් මට අම්මව හොයාගන්න බැරි වුණ බවත් . ඒක අහලා ඌ හොඳටම හිනා වුණා . ඌ කීවා ඒක තමා කීවේ යන්ඩ කලින් මාව හමුවෙලා යන්ඩ කියලා . ඉතින් බං මම හොඳටම පසු තැවුණා . මුගෙන් සාස්තරයක් අහලා ගියානම් මට අනිවා අම්මව හමුවෙනවා කියලා මම හිතුවා . ඉතින් මම එදා ඒ සාස්තර කාරයාට රු100 දුන්නා . ඊට අමතරව දෙවියන්ට පලතුරු වට්ටියක් සහ තිරයක් පූජා කලා . ඔය සේරම කරලා මම බලාන හිටියා අම්මා මට හමුවෙයි කියලා“

"ඉතින් සාස්තරෙන් වැඩක් වුණාද බං ?”

මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදීපු කිතුලා පහළින් ගලාගෙන යන කුණු ඇලේ වතුර පාර දිහා බලාගෙන හිටියා . ඌට තව තව කරුණු කාරණා මතකෙට ගන්න ඉඩ දීලා මමත් සද්ද නොකර ඒ කොළපාට ජල තලය දිහාම බලාගෙන හිටියා .මොහොතකින් කිතුලා ආයෙමත් කටහඬ අවදි කලා .

"මචං ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දට කලින් දවසේ මම කෙල්ලගේ ගෙදර ගිහින් මම ඉතුරු කරගෙන හිටි සල්ලි වලින් රු 2000 ඒකිට දුන්නා . අවුරුද්දට මොනවා හරි ගන්ඩ කියලා . උඹට කියන්න මම අම්මටත් ඒ කෙල්ලටත් දෙන්නටම ආදරේ කලා හිත පිරෙන්නම .දවසක අම්මයි ඒ කෙල්ලවයි දෙන්නවම එක වහලක් යටට ගෙනල්ලා මගේ අත පයේ හයිය තියනකම් බලාගන්නම් කියලයි මම හිතාන හිටියේ . ඒකයි මමවත් අවුරුද්දට කිසිම දෙයක් නොගෙන ඒකිට මගෙ සේරම සල්ලි ටික දීලා දැම්මේ .”

"ඒකි ඒ සල්ලි ගත්තද ?”

"අපොයි ඒකි සල්ලි ගත්තා . ඉතින් මම හිත සතුටෙන් ගෙදර ගියා .ඔන්න ඉතින් අනිත් පහුවදා තමයි බං සිංහල අලුත් අවුරුද්ද. ඉතින් මම ගෙදර හදාපු කැවිලි මල්ලකුත් බයිසිකලේ බැඳගෙන කිලෝ මීටර 30 දුර ෂුගර් එක පැත්තට බයිසිකලෙන්ම ඇද්දා .”

මම කිතුලා ආපු බයිසිකලේ දිහා බැලුවා. ඒක සාමාන්‍ය පාපැදියක් තමයි ඒ වුණත් කිතුලා ඒ බයිසිකලය ඌට හැකි උපරිමෙන්ම අලුත් වැඩියා කරලා තිබුණ නිසා ඒක නිකම් යතුරු පැදියකට සමානකම් දැක්වුවා . ඒක පදිනකොට ඒ තරම් වෙහෙසක් වැය කරන්න ඕනෙ නැති වග මම අද්දැකීමෙන්ම දන්නේ මමත් නිතර එහේ මෙහේ ගියේ ඒ බයිසිකලේ නැගිලා නිසයි .

"එදා මට කෙල්ලගේ වෙනසක් පෙනුණා . මට එයා එදා වතුර එකක්වත් දුන්නේ නෑ . ටිකක් නිහඬව හිටි එයා මට ටිකකින් කීවා"

"එරන්ද ආයේ ඔයා මෙහේ එන්ඩ එපා අම්මා මට වෙන කසාදයක් ලැහැත්ති කරලයි තියෙන්නේ කියලා . අවුරුද්ද දවසෙම මට නිකම් හෙන ගැහුවා වගේ වුණා බං . ඉතින් මම ආයේ හැරිලා ගෙදර ආවා .මම ගෙදර නැති විත්තියත් මම කෙල්ලගේ ගෙදර ගිහින් ඇති විත්තියත් ඔන්න ඔය වෙලාවේ මගේ නෑදෑයොන්ට ආරංචි වෙලා තිබුණා"

"නෑ ..! එහෙනං පුතෝ උඹට හම්බුවෙන්ඩ ඇති බඩ පිරෙන්න .”

මම එහම කීවේ කිතුලාගේ නෑදෑයන්ගේ හැටි හොඳට දන්න නිසාමයි . ඒ අය හොඳට හොඳයි නරකට නරකයි . එපා කී දෙයක් කෙරුවොත් ආයේ ඒ වරද කල එකාට ලැබෙන දඬුවම නම් ආයේ සුලු පටු එකක් නෙවේ .

"මම ගෙදර යනකොටම මුලින්ම මගෙ මූණටම හමුවුණේ මයෙ පුංචි තාත්තව . එයා මගේ බෙල්ලෙන් අල්ලලා කොහේද යකෝ තෝ රිංගුවේ කියලා අහලා මට දෙක තුනක් දීලා මාව කළුවර කාමරේකට දාලා වහලා දවස් තුනක් තිබ්බා . හැබැයි බං මට කන්න බොන්න නම් හොඳටම දුන්නා . කාමරේ ටීවී එහෙකුත් තියලයි තිබුණේ .”

කිතුලා ඒ කොටස කියද්දී මගේ මූණේ ලාවට හිනාවක් ඇඳුණා . ඌත් යන්තම් හිනා වුණා .

"ඉතින් බං මම ඒ කාමරේ ඉන්න අතරේ තීරණයක් ගත්තා . මේ කොහේවත් යන කෙල්ලක් මට නැති වුණාට කමක් නෑ ඒත් අම්මව නැති කරගන්න බෑ ඒක නිසා මම කොයි දීපංකරෙන් හරි අම්මව හොයාගන්නවා කියලා . කොහොම වුණත් බං මගේ ගාව අම්මගේ පින්තූරයක් තිබුණා .”
"කොයින්ද උඹට පින්තූරයක් . ?”

"දවසක් මම නැන්දලාගේ ගෙදර අස් කරද්දී මට පෙට්ටගමක තිබිලා ෆොටෝ එකක් හම්බ වුණා . ඒ මගේ අම්මා තරුණ කාලේ ගත්ත එකක් . නැන්දත් මට කීවා මේ පින්තූරේ ඉන්නේ මගේ අම්මා බව ඉතින් මම ඒ පින්තූරෙත් හොරකම් කරගෙන ලැමිනේටිං කරලා අරං තියාගත්තා . ඒ විතරක් නෙවේ . මම කොමියුනිකේෂන් එකකට ගිහිං ඒ පින්තූරේ ස්කෑන් කරලා මගේ ෆෝන් එකටත් දාලා තියාගත්තා .
කිතුලා උගේ ෆෝන් එකේ මෙනු එක ඇතුළේ සැරිසරලා කාන්තාවකගේ රූපයක් ඕපන් කරගෙන මට පෙන්නුවා . හ්ම් ඒ තමා කිතුලාගේ අම්මා ! ඇරපු අතක් නෑ එයා කිතුලා වගේමයි .

"දවස් තුනකින් පස්සේ මම ඒ කළුවර කාමරෙන් නිදහස් වුණා . ඊට පස්සේ මම ආයේ අම්මව හොයන්න යන්න සල්ලි එකතු කරන්න පටන් ගත්තා . ඔන්න ඔය අතරේ තමයි බං මට දෙයියෝ බැලුවා වාගේ සල්ලි ටිකක් හම්බ වුණේ . මම හිතන්නේ මගේ ගමනට හයියක් වෙන්න දෙයියෝ දීපු තෑග්ගක් වෙන්නැති .”

"කෝමද සල්ලි හම්බුනේ ?”

"එක දවසක් රෑ මම තැන්නෙ ගෙදර රුවන් එක්ක උගේ කෙල්ලව හම්බ වෙන්න ගියා. රුවනයයි කෙල්ලයි කතා කරන අතරේ බං මම කළේ ගේට්ටුව ළඟට වෙලා ඔත්තු බලපු එක . ඔය අතරේ ඉස්සරහා වැලි පාර දිගේ බයික් එකක් ගියා ඒ බයික් එකේ එළියෙන් මම දැක්කා පාරේ මැද යමක් වැටිලා තියන හැටි. මම ළඟටම ගිහින් බැලුවා. ඒ ෆෝන් එකක් !. මම ඒක අතට ගත්තා ඒක නොකියා 6230 ෆෝන් එකක්. මම ඒ ෆෝන් එකේ නම්බර් වලට කතා කරලා ඒ ෆෝන් එකේ අයිතිකාරයා හොයාගන්න ට්‍රයි කලා . ඒත් ඒකේ සල්ලි තිබුණෙ නෑ බං .ඉතින් ඒක මම තියාගත්තා .”

"කමක් නෑ ඒක උඹගේ වාසනාවට උඹටම ලැබෙන්න තිබුණු දෙයක් බං .”

මම එහෙම කීවේ කිතුලාව සනසන්න නම් නෙවෙයි දවසක් ඌට සල්ලි පිරුණු පසුම්බියක් හමුවෙලත් ඌ ඒක අයිතිකාරයා හොයාගෙනම ගිහිං ආපහු දීලා ආපු එකෙක් බව දන්න නිසාමයි . අන්තෙටම දුප්පතා වුණත් උගේ හිතේ ජරා ගති නෑ .!

"මම ඒ ෆෝන් එක විකුණලා 4500 හොයාගත්තා , සිමෙන්ති ගල් හදලා තව 5000 හොයාගත්තා . දැන් ඉතින් සල්ලි තියන නිසා මම බය වුණේ නෑ ..”

"ඉතින් දැන් අම්මා හොයාන යන්ඩ උඹ එයා ඉන්න තැන හරියට දන්නේ නෑ නේ .”

"මචං උඹට කියන්න මම ඔන්න දවසක් බස්ටෑන්ඩ් එකේ ඇවිදිනකොට ජයන්ත කියලා කෙනෙක් හම්බුනා . පොර අපේ නෑදෑයන්ව හොඳට අඳුනනවා . ඉතින් පොර දැනං හිටියා කාලෙකට කලින් අම්මා හිටි ගෙදර . ඉතින් මිනිහා මට ගෙදරට යන පාර කොළේක ඇඳලා දුන්නා .”

"කොහේද ඒ. දකුණෙමද ?”

"ඔවු බං සාස්තර කාරයා හරියටම හරි. ජයන්ත කියාපු ගම තමා එදා සාත්තර කාරයා මට ඇඳලා පෙන්නුවේ .”

කිතුලා එහෙම කීවේ තරමක පුදුමෙන් . මම මේ සාස්තර ගැන විශ්වාස කරන කෙනෙක් නිසා මට ඒ ගැන වැඩි පුදුමයක් හිතුණේ නෑ

"දැන් සේරම හරි දැන් ඉතිරි වෙලා තියෙන්නේ ගෙදරින් පැනගන්න එක සහ දකුණු පළාත ගැන හොඳින් දන්න කෙනෙක්ව සෙට් කරගන්න එක . උඹ දන්නවානේ ගැලාව"

"මොකද මං නොදන්නේ ?”

"ඉතින් මම ගැලාට සේරම කතාව කියලා ඌත් එක්ක ගමන යන්න පිටත් වුණා . ගැලාගේ ගම ගාල්ල ඉතින් ඌ ඔය පළාත ගැන නියමෙට විස්තර දන්නවා . හැබැයි මචෝ මම ගෙදර හොරෙන් තමා ඒ ගමන ගියේ .”

"උඹට මටවත් කියන්න තිබුණා නේද ?” . මෙච්චර වෙලා කතාව අහං හිටි මම එහෙම කියද්දී කිතුලාගේ මූණ අඳුරු වලාකුළකින් වැහුණා .

"කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නෑ බං. මගෙ ෆෝන් එකට සල්ලි දාගන්නවත් බැරි තරමට මම හිඟන්නෙක් වෙලා හිටියේ එතකොට හැම සතයක්ම මම ගමනට වියදම් කරලයි තිබුණේ ඉතින් හැම දෙයක්ම ඉවර වුණායින් පස්සේ මම මේ කතාව මුලින්ම කියන්න ආවේ උඹට”.

"කමක් නෑ බං උඹ කතාව කියපංකෝ ..”

"ගැලාට ගමන් ගාස්තු දුන්නෙත් මම . කොහොමින් කොහොම හරි අපි ගිය අවුරුද්දේ පෙඹරවාරි 13 වෙනිදා හවස 5.30ට විතර ගැලාගේ නැන්දාලාගේ ගෙදරට යන්න මෙහෙන් බස් එකකට නැග්ගා . අපි ගැලාලෑ නෑදෑ ගෙදරට යනකොට පාන්දර 5.00 විතර ඇති . ටිකක් විවේක අරගෙන අපි උදේ දහයට විතර අම්මව හොයාන යන්ඩ කියලා පිටත් වුණා .. “

"එතකොට එදා වැලන්ටයින් දවස නේද බං ? මම එහෙම ඇහුවේ මගේ පපුව ඇතුළේ උතුරන අමුතුම සතුටකින් .”

"ඔවු ඔවු බං අන්න ඒකයි මට ඒ දවස කවදාකවත් අමතක වෙන්නේ නැත්තේ !. ඉතින් එදා වැලන්ටයින් දවසේ මමයි ගැලයි දෙන්නම අර මගේ ගාව තිබුණු කොලේ බලාගෙන අම්මා ඉන්න ගෙදර හොයාගෙන ගියා . මම සමහරුන්ට අම්මගේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා මෙයාව දන්නවද ? කියලා . ඒත් සමහරු මට මොකුත් නොකියා යන්න ගියා. සමහරු නම් අතට අරං ඕනෑවට එපාවට බලලා දන්නේ නෑ කියලා යන්ඩ ගියා .

"ඒ ගාල්ලේ අයගේ හැටි නේ බං . ඒ පැත්තේ උදවිය ඉන්නේ නිකම් කැත්තට පොල්ල වගේ නේ"


"ඒකනම් ඇත්ත . සමහරු මගෙන් ඇහුවා මොකටද හොයන්නේ කියලත් ! මම ඉතින් එතනදී සේරම කතාව කියලා බේරුණා . ඉතින් බං කොහොම හරි අර කොලේ තිබුණු පාරත් අපි හොයාගත්තා . ඒ පාර දිගේ ඉදිරියට යද්දී මට මුලින්ම හමුවුණේ දර කඩමින් හිටිය ඇන්ටි කෙනෙක්ව . මම අම්මගේ පින්තූරේ පෙන්නලා ඒ ඇන්ටිගෙන් අම්මව දන්නවාද කියලා ඇහුවත් ෆොටෝ එක ගොඩාක් ඉස්සර ගත්ත එකක් නිසා එයාට අඳුනගන්න හැකි වුණේ නෑ .ඒත් ඉතින් මමත් අතහැරියේ නෑ ! මම තව ඉස්සරහට ගියා . ඔහොම යනකොට අපිට පොඩි කඩයක් හමු වුණා. ගොඩක් දුර ආපු මහන්සියටත් එක්ක අපි හිතුවා මේ කඩෙන් බීම එකක් බීලා ගියොත් හොඳයි කියලා . “

කිතුලා කතාව කියන අතරේ ඈත පේන කුඹුරු යායෙන් එහා අපේ කොල්ලෝ කට්ටිය සීමිත ඕවර් ක්‍රිකට් තරඟයකට ලකලැහැත්ති වෙන බව මට පෙනුණා . වෙනදා නම් මම මොන වැඩේ තිබුණත් ඒක දාලා ක්‍රිකට් ගහන්න දුවනවා ඒත් අද ?. අද මම කිතුලාගේ කතාව අහගෙන මිසක් ගෙදර යන්නේ නෑ කියලා හිතාගෙන ඉවරයි .

"මචං ඔය අතරේ මම කඩේ හිටි ඇන්ටිට අම්මගේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා මෙයාව දන්නවද කියලා . ඒ ඇන්ටි එකවරම මගේ අම්මව අඳුනගත්තා බං . එයා ඉක්මනට එළියට බැහැලා පරණ ගෙයක් පෙන්නුවා .ඒ ගෙදර පාළුවට ගිහිං ජරාවාස වෙලයි තිබුණේ . මගේ හිත අමුතු බයකින් පිරෙද්දී ඒ ඇන්ටි කිවුවා මේ තමයි මෙයා ඉස්සර හිටි මහ ගෙදර දැන් මෙයා ඉන්නේ ටිකක් උඩහට වෙන්න කියලා . මම එවෙලෙම කාපු බීපුවගේ සල්ලි ගෙවලා එළියට බැස්සේ ඒ පැත්තට දුවන්න හිතාගෙන . ඒත් ඒ කඩේ ඇන්ටි ත්‍රීවීලර් එහෙකට කතා කළා . “

"ඒ මොකටද ?”

"මමත් මුලින් හිතුවේ මොක් හරි ගේමකටද දන්නේ නෑ කියලා . ඒත් ඒ ඇන්ටි ත්‍රීවීලර් එකේ අයියට කීවා මාව අහවල් ගෙදරට එක්ක යන්න කියලා ඉතින් අපිත් ත්‍රීවීලර් එකේ නැගලා එහේ ගියා . ටික දුරක් යනකොට පාර ත්‍රීවීලර් එකට යන්න බැරි තරම් පටු වුණා . ඔන්න ඔය වෙලේ ඒ අයියා ත්‍රීවීලර් එක නතර කරලා අපිට මග පෙන්වමින් ඉස්සර වුණා .එහෙම ටිකක් දුර ගිහිං අපි පොඩි ගෙයක් ඉස්සරහට ආවා .”

"ඉතින් ඉතින් ?”

"ගේ ගාවට ගිය ත්‍රීවීලර් එකේ අයියා අම්මගේ නම කියලා කීප වරක් කතාකළා . එතකොට ගේ පිටිපස්සේ ඉඳලා අම්මා අපි ගාවට ආවා බං. මම එක තත්පරෙන් මගේ අම්මව අඳුන ගත්තා බං"

ඒ මොහොතේ සියඹලා ගහ යට තිබුණේ ලොකූ නිහඬතාවයක් . මෙච්චර වෙලා කෑමොර දුන්නු රැහැයියෝ කොරවක්කෝ , තාරාවෝ පවා නිහඬයි ! . උනුත් මේ කතාව අහං ඉන්නවද කොහෙද ?

ඒ නිහඬ බව බිඳලා ආයෙමත් කිතුලා කතා කරන්න ගත්තා .

"මචං මම එදා තමයි ජීවිතේ පළමුවෙනි වතාවට අම්මව දැක්කේ . ත්‍රීවීලර් එකේ අයියා මාව පෙන්නලා අම්මගෙන් ඇහුවා මෙයාව අඳුනනවද ? කියලා"

"ඉතින් බං අම්මා අඳුනගත්තද උඹව ?” මටත් ඉවසුමක් නෑ

"අම්මා එකවරම කීවේ හපොයි මේ මගේ ලොකු පුතා කියලා ! . ඊට පස්සේ අම්මා ඇඬුවා . මටත් ඇඬුණා බං . “

මම කිතුලාව පොඩි කාලේ ඉඳන් දන්නවා මට මතක විදියට ඌ කවදාකවත් අඬලා නෑ . මවු සෙනෙහස ඉදිරියේ ඕනෙ කෙනෙක් පොඩි එවුන් වෙන එකේ . ඒක එච්චර දෙයක් නෙවෙයි .

"මචං මම අම්මා ළඟ නතර වෙන්න ගාලු යනවා බං ?”

හෙණ ගැහුවා වගේ කිතුලා එහෙම කියද්දී මගේ බඩ පපුව දාල ගියා . එදා ඉඳන් මාව බලා කියගත්ත මගෙත් එක්කම හිටි මගේ හොඳම මිත්‍රයා මාව දාල යනන්නයි හදන්නේ ..

"එතකොට උඹ ගාල්ලේ යනවද ?”


"ඔවු බං මම මොනවා හරි වැඩක් කරලා අම්මව බලාගන්න ඕනෙ . ආයේ කවදාකවත් මම අම්මව තනි කරන්නේ නෑ . මම කෝම හරි රස්සාවක් හොයාගෙන අම්මව බලාගන්නවා . මට දුකයි බං උඹලව දාලා යන්න . ඒත් මොනවා කරන්නද ? . මම ආවේ මේක උඹට කියලා යන්ඩ . මම අනිද්දා උදේම පිටත් වෙනවා බං .”

මගෙ හිත ඇතුළේ මොකක්දෝ මන්දා මහා අමුතු දුක් ගින්දරක් ඇවිලෙනවා . කිතුලා මට අඹ යාළුවෙක් , සහෝදරයෙක් . මට තව කොතෙකුත් යාළුවෝ හිටියත් ඒ එකෙක්වත් කිතුලා හා සසඳන්න මට කොහෙත්ම පුළුවන් කමක් නෑ . සිංහයෙක් වගේ ඔළුව උස්සගෙන සීයක් එක්ක හරි පැටලෙන්න යන්න මට හයිය දුන්නේ කිතුලා . ඌ මගේ පෞද්ගලික ආරක්‍ෂකයා .

ඇත්ත..! කිතුලා මාව ආරක්‍ෂා කලා. කොයි වෙලත් ඉනේ ගහගෙන උන්නු නංචක්කුවෙන් සටන් කරලා යකඩ බජාර් එකේ බේබදු චණ්ඩි කීප දෙනෙකුගෙන් මාව ආරක්‍ෂා කල හැටි එයින් එක සිදුවීමක් විතරයි .ඒත් දැන් ඒවා හැම දෙයක්ම පරණ මතක සටහන් විතරයි .

මම වම් පැත්තට හැරිලා කිතුලා දිහා බැලුවා . ඌ මහපට ඇඟිල්ලෙන් වළක් හාරනවා . මම දන්නවා ඌට මේ ගම , ගමේ අපිව අතහැරලා දාලා යන්ඩ කොයිතරම් අමාරු ඇද්ද ? මට ඒ දුක තේරුම් ගන්න පුළුවන් . ඒත් අම්මා නැතිව වසර විසි දෙකක් ඌ වින්ද දුක නම් මට හිතාගන්නවත් බෑ . ඌට ආයේ ඒ දුක ඇති වෙන්න දෙන්න බෑ !. කිතුලට අහිමි වුණු මවු සෙනෙහස ඌට ආයෙ ලබා දෙන්න දෛවය කාරුණික වෙලා තියෙද්දී මම මොකටද ඒකට දුක්වෙන්නේ ? ,ඇයි මා හරස් කපන්නේ ?. මමත් ඌට හිතින් සුබ පැතුවා ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්ඩ !! කියලත් පැතුවා .

හැන්දෑ කළුවට ටික ටික අපිව වෙලා ගන්න උත්සහ කරනවා . මෙච්චර වෙලා සුන්දරව නිස්කලංකව තිබුණ සියඹලා ගහත්, කුණු ඇළත්, වෙල්‍ යායත් හෙමිහිට පැතිරුණු අන්ධකාරේ එක්ක මහ අමුතු ගුප්ත බවකට හැරුණා . අපි දෙන්නත් බයිසිකලේ තල්ලු කරගෙන පාර පැත්තට ගියේ එතන ආපු මදුරු , හෝ හපුටු සේනාවගේ දෂ්ට කිරීම් වලින් බේරිලා ඉන්න බැරි නිසාමයි .

ඔහොම ටික දුරක් ඉදිරියට ගියපු අපි තාර පාර ගාවදි වෙන් වෙන්න සූදානම් වුණා . වෙනදත් අපි මෙතනදී වෙන් වෙනවා අනික් පහුවදාට හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා . ඒත් අද ? අපි ආයේ වසර ගණනාවකට හමු නොවෙන්නම සමුගන්නයි හදන්නේ .

"එහෙනම් මචෝ මම යන්නම් ..”

කිතුලා උගේ කරගැට පිරුණු හැඩිදැඩි අත මගේ දිහාවට දිගුකළා . කීබෝඩ් එකේ යතුරු එක්ක නිතර ඔට්ටුවෙන මගේ අතයි , මේ ගම් පළාතට උරුම අනේක දුක් ගැහට එක්ක ඔට්ටුවුණු උගේ අතයි අතර වෙනස නම් හරියටම අහසට පොළව වගේ .

කිතුලට මේ ලෝකේ කොහේ ගියත් නොවැටී ඉන්න පුළුවන්. මම හොඳටම දන්නවා ගිනියම් අවු කූටකේට පිච්චෙමින් මේ නැගෙනහිර හිස් අහස යට අවුරුදු විසි දෙකක්ම කට්ට කාලා ජීවිතේ ගැටගහගත්තු කිතුලට දකුණේ මූදු හුළඟ එච්චර සැරට දැනෙන එකක් නෑ .

කෙල්ල දාලා ගියා කියලා වස කුප්පියක් සල්ලිවලට අරං ඒකෙන් ඇබිත්තක් බොන, ළිඳේ පනින, බෙල්ලේ වැල දාගන්න සෝබන පෙම්වතුන්ට කිතුලා ආදර්ශයක් . කාගෙන් ලැබෙන ආදරේටත් වඩා අම්මගෙන් ලැබෙන ආදරේ වටින බව කිතුලා වැලන්ටයින් දවසේදී ඔප්පු කරලා පෙන්නුවා .

කිතුලා මේ කතාව මට කීවේ මීට මාස හතකට අටකට විතර කලින්. අද වෙද්දී කිතුලා මේ ගමේ නෑ. ඒත් අදටත් මගේ යටි හිත මට නිතර හඬගා කියන කරුණක් තමයි කිතුලා වගේ මිතුරෙක් ආයේ මට මේ ජීවිතේදී හමු නොවෙයි කියන එක . ජීවිතේ ඌට නියම මග පෙන්නුවා , නියම ආදරේ , නියම සෙනෙහස තියන තැන පෙන්නුවා . දැන් ඌ තමන්ගේ අම්මවත් බලා කියාගෙන ගාල්ලට වෙලා ජීවත් වෙනවා . මතක් වෙන මතක් වෙන වාරයක් පාසා මම ඌට හිතින් සුබ පතනවා .!

/ලි .. 2012ජනවාරි මාසේ 15 වැනිදා තමයි කිතුලාගේ 23 වැනි උපන්දිනේ . ඉතින් ඔය පහළ තියන සබැඳිය හරහා කිතුලාව දැන හැඳිනගෙන ඌට සුබ උපන්දිනයකුත් කීවොත් ඌට ඒක ලොකු සතුටක් වේවි . අනික කිතුලා නිතරම මට ෆෝන් කරලා කියන දෙයක් තමයි ගාල්ලේදී ඌට වැඩිය යාළුවෝ හමුවුණේ නෑ කියන එක . ඉතින් මම හිතනවා මේ පෝස්ට් එකෙන් පස්සේ කිතුලට දකුණෙන් හොඳ යාළුවෝ සෙට් එකක් හමුවේවි කියලා

ප/ප/ලි = කිතුලා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ "එරන්ද ලක්මාල්" නැමති මාගේ මිත්‍රයාගෙන් මෙම කතාව, පින්තූර සහ නම් ගම් ආදිය පළකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ අවසරය ලබාගත් බවත් දන්වා සිටිමි

13.1.12

සැඟව ගිය මවු සෙනෙහසක් සොයා ගිය ඇත්තම කතාවක්

 
මේ පින්තූරේ ඉන්නේ අපේ කිතුලා
සුරනි අක්කලාගේ ගෙට පිටිපස්සේ තියන ලොකු සියඹලා ගහ ගාවට ආවම හවස ඉර බැහැගෙන යන හැටි බෝම ලස්සනට බලාන හිටිය හැකි . ඒ ළඟම තියන කුණු ඇලේ කොළපාට වතුර මත්තේ පීනන දියකාවෝ, වල් තාරාවෝ, ගං කබරයෝ ආදී සාටර් සත්තුත් බලන්න හැකි නිසා කෙනෙකුට තනියක් නැතිව එතන පැය ගාණක් වුණත් කල් මැරුව හැකි . ඕනම අබල දුබල ජංගම දුරකථනයකට වුණත් මේ ලොකු සියඹලා ගහ යටට හොඳට සිග්නල් වැටෙන නිසාම ඒකාලේ ඉඳලා මෙතන ගමේ කොල්ලෝ සෙට් මෝල් වෙන ගජ පොට් එකක් . තැන තැන විසිවුණු හිස් බීර කෑන් , දුම්වැටි වල අලබට (ෆිල්ටරේ), නිවී ගිය ගිනිකූරු, භාවිතා කල ෆෝන් කාඩ් මේ බවට සාක්කි ..

එදා හවස් වරුවේ නම් එතන ඉඳගෙන උන්නේ මම විතරමයි . ගමේ කවුරුහරි ගෑනියෙක් මාව දැක්කා නම් මම තවත් කෙල්ලක් එක්ක තනිපංගලමේ එතන උන්නාය කියලා අනිවා කටකතාවක් හදාවි . ගෑනුන්ට කුද ගහගන්න කියලා මම එතනම බිම දිගේ කුණු ඇල පැත්තට ඇදිලා ගිහින් තිබුණු සියඹලා ගහේ ලොකු මුලක ඉඳගත්තා . වෙලාව හතරයි හතළිහට විතර . මොහොතකින් කුඹුරු යායට එහා පහළ පාර දිගේ බයිසිකලයක් පාගමින් එන පුද්ගලයෙක් මම දැක්කා . ඒ තමයි මම බලාපොරොත්තුවෙන් හිටපු මගේ මිතුරා .

"කිතුලා "

නියර දිගේ කෙළින්ම ආවා නම් ඌට මෙතනට එන්න ගතවෙන්නේ විනාඩි දෙකක් විතර පොඩි කාලයක් . ඒත් බයිසිකලෙන් එන නිසා පහළ ගං සබා පාර දිගේම ඇවිදින් ලොකු වටයකුත් දාලා තමයි මම ඉන්න තැනට ඌට එන්න වෙන්නේ . ඉතින් කිතුලාට මෙතනට එන්න තව විනාඩි දහයක්වත් යනවා සිකුරුයි !.

මම උන් තැනින් නැගිට්ටේ ඌ එන පෙර මග බලාන ඉන්න තරම් මම ලොකු නොයිවසිල්ලකින් උන්න නිසාමයි . එදා දවල් ඌ කෝල් කරලා මට කීවේ බෝම වැදගත් කාරණයක් මට කියන්න තියනවා කියලයි . ඉතින් මමත් මගෙ හිත කුලප්පු කරගෙන කිතුලා එන පෙර මග බලං උන්නේ ඒ වැදගත් කාරණේ මොකද්ද කියලා දැනගන්න තිබුණු කුතුහලේ නිසාමයි .

කිතුලා තමා මට උන්න හොඳම මිත්‍රයා .

මගේ අත මිට සරු සැප කාලවලදී වගේම මම නැත්තටම නැතිවෙන්නම කෙළවගෙන හොම්බ බිම ඇනගෙන උන්න කාල වලදී පවා ඌ මගේ ළඟ හෙවනැල්ලක් වගේ හිටියා. මම වලියක පැටළුණොත් හරි වැරැද්ද මොක වුණත් ඌ මම වෙනුවෙන් ඒකට බැස්සා . වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ඌ නම් නියම මිත්‍රයෙක් .

තරමක් පොඩි සිරුරක් තිබුණට කිතුලා බොහොම ශක්ති සම්පන්නයි . පොල්ගස් බඩගාලා , වගේම දෑතේ වැඩ හොඳින් කරලා උගේ ඇඟපත යකඩෙන් වාත්තු කළා වාගේ සවිමත් . හිතත් එහෙම්ම තමා , ඒ ඔක්කෝමත් හරි ගූ මුට්ටියට පොල්ලෙන් ගැහුවා වාගේ ටිකක් විතර වාචාල කටකුත් ඌට පිහිටලා තිබුණා . තැන නොතැන නොබලා සුද්ද සිංහලේ වදන් නිතර භාවිතා කල උගෙත් එක්ක මම වුණත් කතා කළේ බෝම පරිස්සමෙන් . ඉතින් මගේ මිතුරා මාව හමුවෙලා කියන්න යන්නේ මොනවද කියලා මම මෙතනට ආපු මොහොතේ පටන් නිමක් නැතිව කල්පනා කරමින් උන්නා .

"සමහර විට ඌ අලුත් කෙල්ලෙකුට ට්‍රයි කරනවා ඇති - නෑ නෑ කලින් එක නැවතුණේ මේ ලඟඳිනේ”

"සල්ලි කීයක්වත් උවමනා වෙලාවත්ද
? වෙන්න බෑ ඌ මේ දවස් ටිකේ වැඩ වගයක් කලා නෙව"

"උඩහ ගමේ බුවාලත් එක්ක කොක්කක් වත් දාගෙනද
? කියන්න බෑ ඌ කට හොඳ නැති එකා නේ"

හිතේ නැඟෙන මේ වගේ නිමක් නැති ප්‍රශ්න වලට මමම උත්තර බඳින අතරේ වංගුවෙන් මතුවුණේ කිතුලාගේ පුට්සයිකල් එක .ලොකු වටයක් බයිසිකලේ පාග පාග ආවත් ඌට යන්තම්වත් දාඩිය පොල්ලක් දාලා තිබුණේ නෑ . තරමක් වේගෙන් ආපු බයිසිකලේ මගෙ ගාව නතර වුණේ "කීස්" ගාලා සද්දයකුත් එක්ක.

"උඹ ඇවිදින් ගොඩක් වෙලාද ?”

"නෑ දැං ආවේ "

"එහෙනම් මෙහෙං පොඩ්ඩක් වාඩිගනිංකෝ මට උඹට පොඩි කතාවක් කියන්ඩ තියනවා .”

කිතුලා කෙළින් කතා කරන එකෙක් උගෙ ළඟ වහෙංඔරෝ නෑ . ඉතින් මූ වටේ පිටේ නොයා කතාව කෙළින්ම කියාදාන වග මම හොඳටම දැනං උන්නා . ඉතින් මමත් එතන ඉඳගත්තේ ඕන කෙංගෙඩියක් වෙච්චාවේ කියලා හිතන ගමන්මයි

"මම අම්මව හොයාගත්තා බං !”

කිතුලා එහෙම කියනකොට මට දැනුණේ කියන්න බැරි තරමේ සතුටක් . ඒ එක්කම මගේ මතකය අවුරුදු ගාණක් ආපස්සට ගියා .

මම මොන්ටිසෝරි යන පොඩි කාලේ පවා කිතුලා මේ ගමේ ජීවත් වුණාට උගේ උපන් ගම මෙහේ නෙවෙයි . ඌ ගාල්ලේ . පොඩි කාලේදී කිතුලාව සහ උගේ මල්ලිව එක්කරගෙන කිතුලගේ තාත්තා මෙහේට ඇවිදිල්ලා තිබුණා .එදා ඉඳන් ඌ ජීවත් වුණේ මේ ගිනිගහන අවුකූටකේ සැර දැනෙන නැගෙනහිර හිස් අහස යට .

සීයාගේ වඩු මඩුවට වෙලා ඒකේ වැඩ පල වලට අත් උදවු දෙමින් ඉස්කෝලෙත් ආපු කිතුලා ඉන් පස්සේ මගේ හොඳම මිත්‍රයෙක් බවට පත් වුණා . ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ කිතුලාගේ මූලික බලාපොරොත්තුව වුණේ තමන්ගේ අම්මව හොයාගන්න එක . ඒත් ඒක කොහෙත්ම ලේසි වැඩක් නම් වුණේ නෑ . ඇස් දෙකට දැකලා නැති කෙනෙක්ව මේ රට ඇතුළේ කොහොම හොයන්නද ? ඒත් කිතුලා නෙවයි උත්සාහේ අතහැරියේ .

"ඉතින් කෝමද බං අම්මව හොයාගත්තේ ? කොහේද එයා උන්නේ ? “

"ඉඳපන් මම උඹට කතාව මුල ඉඳන්ම කියලා දාන්න"

ඒ ලොකු සියඹලා ගහ යට ඉඳන් කිතුලා දිග කතාවකට මුල පිරුවා .

"මචං මම ඒ ලෙවල් කරලා ඉවර වුණාම තීරණය කළා අම්මව හොයාගෙන යන්න . ඒත් මම දැනං උන්නේ නෑ එයා කොයි ලෝකේ ඉන්නවද කියලා . අනික තමයි බං මගේ අතේ ඒ කාලේ සල්ලි සතපහක්වත් නෑ උඹ දන්නවා ඇති නේ බං මම යැපුනේ නෑදෑයන්ගෙන් . ඉතින් මම කෝමද උන්දැලාගේන් සල්ලි ඉල්ලන්නේ .? කොහොමින් කොහොම හරි මම ඔය පොඩි පොඩි වැඩ ටිකක් කරලා රුපියල් 1500 හොයාගත්තා . සුදු මාමාගේ ගෙදර තීන්ත ගාලා තමයි බං මම ඒක හොයාගත්තේ . “

"ඉතින් උඹට ඒ සල්ලි ඇති වුණාද බං ? “

"ඒ සල්ලි ජුංඩෙන් මොනා කරන්නද බං ?. ඒ වුණත් මම ඒක ගණං ගත්තේ නෑ මේ තියන සල්ලි ටිකෙන් අම්මව හොයාන යනවා කියලා මගේ නෑදෑයොන්ට කීවා . ඒත් බං ඒ කිසිම කෙනෙක් මට අම්මව හොයාන යන්න ඉඩ දුන්නේ නෑ හැමෝම එක පයින්ම විරුද්ධ වුණා . ඒත් බං හැමෝම විරුද්ධ වෙද්දී මගේ පුංචි අම්මා මට ඒ අය ඉදිරියේදීම රු 500ක් ගෙනල්ලා දුන්නා බං අම්මව හොයාගන්ඩය කියලා . මට ඒක පුදුම හයියක් වුණා .”

"ඉතින් උඹ එහෙනම් අම්මව හොයාන ගියා . මේ අපිටත් නොකියම .”

"ඔවුවා කිය කිය කරන්න හැකි වැඩද බං අනික. අම්මා ඉන්න තැන මම දැනගත්තේ නොහිතපු විදියට . “

"ඒ කෝමද ? “

"උඹට මතකයි නේද මම ඒලෙවල් කල සන්දියේ සුගර් එක පැත්තේ කෙල්ලක් එක්ක යාළු වෙලා හිටියා .”

"මට මතකයි . “

"මම ඉතින් බං ඉඳලා හිටලා ඒ ගෙදර ඇද්දා . ඇද්දා කීවේ ඉතින් මේ ගෙදරට ගිහින් ඒකි එක්ක කතා බහ කරලා ආවා විතරයි . ඔන්න ඉතින් දවසක් මම එහේ යද්දී ඒ ගෙදර ඇතිකළ හරකෙක් නැති වෙලා ඒ ගැන පේනයක් බලන්න සාස්තර කාරයෙක් ගෙන්නලා තිබුණා . ගෙදර උදවිය හරකා ඉන්න තැන සාස්තර කාරයා ගෙන් අහන හැටි දැකපු මටත් හිතුණා අම්මා ඉන්න තැන ගැන පේණක් බලන්න .”

"ඉතින් . උඹ ඇහුවා ?”

"නෑ බං පුදුමේ කීයන්නේ මම ඒ ගැන අහන්න සාස්තර කාරයා ගාවට කිට්ටු වෙනකොටම එකවරම ඌ ආවේශ වුණා ඉන්පස්සේ ඌ ඇහුවා නෙව මහ අමුතු ප්‍රශ්නයක් !”

"මොකක්ද ?”

"මෙතන ඉන්නවා නේද මවු කෙනෙක් ගැන අහන්න ආපු කෙනෙක්..? "

"මිනිහා එක පාරටම එහෙම ඇහුවා . ඉතින් මමත් ඉස්සරහට ගිහින් මම ආපු කාරණාව කෙළින්ම උන්දැට කියලා දැම්මා . ඉතින් ඒ සාස්තර කාරයා ආවේශයෙන්ම කියවන්න ගත්තා. ඌ කියාපු කිසිම වචනයක් මට නම් හරියට තේරුණේ නෑ. මට යන්තම්වත් ඇහුණේ තලාඩි සත්‍ය දේවස්ථානම් කියන ටික විතරයි . ඔහොම කියවලා කියවලා අන්තිමේට මිනිහා අම්මා ඉන්නවා කියන ගමේ නම කොළේක ලියාගෙන ගියා කීප විටක්ම එකම නම ලියාගෙන ගියා . අන්තිමේදී කිවුවා අම්මා හොයන්ඩ දකුණට යන්ඩ කලියෙන් ආයෙමත් ඇවිදින් උපදෙසක් අරගෙන යන්ඩ කියලා . ඒවුණත් මම ඌට හොරෙන් ගාල්ලේ ගියා . උඹට මතකද බං ගැමුණුපුර ඉසුරුවා ?”

"මට මතකයි ඉතින් ?”

"ඌ ඒ දවස් වල උන්නේ ගාල්ලේ ඉතින් මම ඌට කෝල් කරලා කීවා මම අම්මව හොයාන ගල්ලේ එනවා මට නවතින්න තැනක් සෙට් කරපන් කියලා .”

"ඌ හිත හොඳ එකා නේ බං ඌ තැනක් අනිවා සෙට් කරන්න ඇති . !”

"හිත හොඳ බව නම් ඇත්ත ඒ වුණත් බං මම ඌට කෝල් කළාම ඌ කීවා ඌ ඉන්නේ කොළඹ කියලා ! ඉතින් මම හෙවුවා දකුණේ තව කොතනද මට නවතින්න තියෙන්නේ කියලා . අන්තීමේට මට අපේ ආච්චි කෙනෙක් ඒ පළාතේ ඉන්නවා කියලා දැනගන්න ලැබුණා . මම ඉතින් කෙළින්ම එහේ යන්න බස් එහෙක නැංගා .”

"උඹ ගෙදරට කීවද දකුණේ යනවා කියලා ?”

"ඔවු මම ගෙදර අයට ඇත්තම කීවා මම අම්මව හොයාන එන්ඩයි යන්නේ කියලා .ඉතින් මම මෙහෙන් පහයි තිහට තිබුණු අම්බලන්ගොඩ බස් එකේ නැගිලා ආච්චිලාගේ ගෙදර ගියා .ආච්චිලා හිටියේ එහේ කුමාර කන්ද කියන ගමේ . “

අපිට පිටිපස්සෙන් තැපැල් නයින්ටි බයික් එකෙක් දූවිලි අවුස්සගෙන කඟවේනේක් වගේ ඉදිරියට ගිය නිසා අපි දෙන්නට මොහොතකට හුස්ම ගන්න අපහසු වුණා . බයික් කාරයාට අමු තිත්ත කුණුහරුප වැලකින් සංග්‍රහ කරපු කිතුලාටයි මටයි කතාව මතක් වුණේ විනාඩි කිහිපයකට පස්සෙයි.


/ලි = කිතුලා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ "එරන්ද ලක්මාල්" නැමති මාගේ මිත්‍රයාගෙන් මෙම කතාව, පින්තූර සහ නම් ගම් ආදිය පළකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ අවසරය ලබාගත් බවත් දන්වා සිටිමි .