31.3.12

කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනිය 2

 

මම ආපහු අවදි වෙද්දී වෙලාව උදේ හතට විතර ඇති. එළියේ බැඳලා තිබ්බ ළිපකින් අඟුරු කෑල්ලක් අරං දත මැදගත්තු මම මූණ කට හෝදගෙන එද්දී ලොකු අම්මා තේ හදලා තිබුණා . මමත් කිරි කෑල්ලක් කාලා තේ බීවා . මම තේ බොන අතරේ ලොකු අම්මා කලින්දා රෑ ජාමේ තිබිච්චි කිරි දානේ ගැන සිංහාවලෝකනේ පටන්ගත්තා.

"
වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?

පොල් ගස් බඩ ගෑමෙන් කකියන උරිස් දෙකෙන් නැගෙන වේදනාව යටපත් කරගත්තු මමත් බස්සෙක් වගේ "හ්ම්" ගෑවා

"
ඒක නෙවේ ඊයේ පාන්දර පොලීසියෙන් ආවා නේ"

"
ඒ මොකෝ ?" මමත් කලබලෙන් එහෙම ඇහුවා

කවුද එකෙක් කංසා වගයක් අරං එනකොට පොලීසිය දැකලා ඒත් ඌ පැනලා දුවලා . ඌ දානෙ ගෙදරට රිංගුවද බලන්නයි හීල් පාන්දර ජාමේ පොලීසිය ආවේ .

මම තේ කෝප්පේ හෝදලා එළියට ඇවිදින් යක්කු නැටුවා වාගේ තිවුණ වත්ත පිටිය ආයෙමත් සුද්ද කරන්න පටන් ගත්තා . වෙලාව ගත වුණා මට දැනුනේවත් නෑ ඔය අතරේ ගේ ඇතුළේ ඉඳන් වයසක කිරි අම්මලා දෙන්නෙක් එළියට බැස්සා. දෙන්නටම බෝම කෙඩෙත්තු පාටයි ඊයේ රෑ දානේ නිසා නිදි මරලා උදේ නින්ද යන්ඩ ඇති ඒකයි පිටත් වෙන්න පමා වෙන්න ඇත්තේ !

සඳරු පුතේ !!ආයෙමත් ලොක්අම්මා ගිල්ලාමුරේ තියන්න ගත්ත නිසා මමත් ඔළුව නමාගෙන ඒ පැත්තට ගෑටුවා .

අනේ පුතේ මේ එතනා කිරි අම්මයි , මිසි හාමි කිරි අම්මවයි බස් එකට ගිහින් දාලා වරෙංකෝ උඹට පින් සිද්ධ වෙයි .” 

ලොකු අම්මා එහෙම කීවේ ලොකු තාත්තගේ පරණ ජපං බයික්කේ යතුර මගේ අතට මිටි මොලෝන ගමන් .

දෙන්නෙක්ව කෝමද ලොක්කම්මේ බයික්කේ තියාන යන්නේ ? අනික හෙල්ම.. . . ට්

ඉතින් ගොනෝ ඇල පාරෙන් පල. මේ හීල් උදේ පොලීසිය නෑ. හදිසියේවත් ඇහුවොත් කියහං මේ වය‍සක දෙන්නෙක්ව ඇරලවන්න යනවා කියලා .” 

ලොකු අම්මත් එක්ක වාද කරලා වැඩක් නැති බව දන්න නිසාම මම බයික්කේ පණ ගන්වාගෙන පාරට ගත්තා . එතනා කිරි අම්මා මුලින්ම ඇවිදින් මයෙ කරෙන් අල්ලගෙන බයික්කේ පිටි පස්සේ අසුනේ ඉඳගනිද්දී තරමක් මහත මිසි හාමි කිරි අම්මත් ඇවිදින් ඒ අසුනෙම ඉඳගත්තා . පිටුපස අසුනේ හොඳට ඉඩ තිබුණ නිසාත් මම කෙට්ටු තරුණ හාදයා නිසාත් වැඩි අපහසුවක් නැති බව පෙනුණා.ඒත් මොහොතකින් මට තේරුම් ගියා බයික්කේ ගෙනියන්න තියෙන්නේ මේ වයසක උන්දැලා දෙන්නව විතරක්ම නෙවෙයි කියන වග .

ඔහොම ඉඳින් පුතේ අපේ පිරිකර ටික ගේනකම් පොඩියක් ඉඳින්

තව මොහොතකින් මම දැක්කා පොඩි කෙල්ලක් ප්ලාස්ටික් බේසම් දෙකකුයි තවත් මොනාදෝ මන්දා මලු දෙකකුයි උස්සාගෙන එන හැටි .

ඔවුවත් ගෙනියන්න ඕනෙද අත්තම්මේ ?” ‍

නැතුං ! උඹ බය නොවී ඉඳ අපි මෙවුවා අතේ අරගන්නං උඹ මොටෝ සයිකලේ පැදහං ?” 

අතින් කටින් බඩුත් කර පින්නාගත්තු කිරි අම්මලා දෙන්නා බයික්කේ පිටුපස අසුනේ ඉඳං ඉන්දෙද්දී මම බයික්කේ පාරට ගත්තා. තාර කඳුළක් නැති ඇල පාරට පයික් එක දාලා පැදගෙන යද්දී පාර අයින්නේ දිගේලි කරලා ඉන්න හරකුන්ගේ ඇඟේ වහන ගොං හපුටෝ මගේ ඇහැයි කටෙයි යන්න පටන් ගත්තා.හෙල්මට් නැති එකේ විපාකේ තමා .



ඔන්න ඔහොම ඇල පාරේ කිලෝමීටර දෙකක් විතර පෙරට යද්දී එකවරම දැක්ක දසුනෙන් මාව ගැස්සිලා ගියා

පොලීයේ ජිප් එකක් සමග පොලිස් මාමලා රෑනක් පාර අයිනකට වෙලා කවුදෝ එනකම් පෙරමං බලා ඉන්නවා .හොඳට හෝ නරකට මගේ අතින් බයික්කේ වේගේ වැඩි වුණා . පොලිස් මාමලා “ඒයි ඒයි” කියලා හඬ තලද්දී මම තව තවත් බයික්කේ වේගේ වැඩි කළා . .

අනේ පුතේ නවත්තහං පුතේ ! අන්න පොලීසිය පස්සෙන් එනවා නවත්තහං පුතේ .” 

එතනා කිරි අම්මා අඬන්න තියාගත්තා . මිසි හාමි අම්මා ඉතිපිසෝ ගාථාව කියන හඬ මට යාන්තමට ඇහෙනවා . සයිඩ් කණ්ණාඩියෙන් ඊට වඩා බය හිතෙන දසුනක් පේනවා . ! පොලීසියේ 119 ජීප්පුව මගේ පස්සේ එළෝනවා

වයසක උන්දැලා දෙන්නෙක්වත් තියාගෙන වළවල් පිරුණ පාරක හතළිහට වඩා වේගෙන් බයික්කෙක යනවා බොරු . ඒත් උස රෝද තියන ජීප් එකකට ඒක සුලු දෙයක් . ඉතින් මට මේ තරඟය නතර කරලා යටත් වෙන එක හොඳයි කියලා හිතුණා. වේගේ අඩු කල මම පාරේ අයිනේ කොට්ට පුළුන් ගහක් යට බයික්කේ නතර කළා විතරයි මම බයික්කේ ස්ටෑන්ඩ් එක ගහන්නත් කලියෙන් මා ගාවට දුවං ආපු උසස් පොලිස් නිලධාරි තුමෙක් මගේ දකුණු අතින් අල්ලාගත්තා . තවත් නිලධාරි තුමන්ලා රෑනක් මගේ වටේ පිරුණා.හරියටම කීවොත් ඉන්දියන් පොලීසිය වීරප්පන් කොටු කළා වාගේ.

මොකෝ නතර කරන්න කීවාම කඩාගෙන යන්නේ කං ඇහෙන්නැද්ද ?

මහත්තයා මේ . . . !

තමුසේ කොහෙද ? ඇයි මේ තුන්දෙනෙක් දාගෙන ? කවුද මේ දෙන්නා ? බයික්කේ කාගෙද ? මල්ලේ මොනාද? කෝ හෙල්මට් ?, කෝ ලයිසන් ?, අයිඩී එක ගන්නවා බලන්න . ! මොකෝ තමුසේ ඇඹරෙන්නේ ? , පැනලා දුවන්නද හදන්නේ ? ඒව වානා !

"
අනේ නෑ නෑ මහත්තයා මම මේ බිමට බහින්න යන්නේ මාව පොඩ්ඩක් අතාරින්ඩකෝ මම බැහැලා සේරෝම කියන්නං

වෙවුලන කටහඬින් මමත් උත්තර දුන්නා ඇත්තටම ඒ මොහොතේ මගේ ළඟ ෆෝන් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. අඩුම තරමේ ජාතික හැඳුනුම්පතවත් මා ගාව තිබුණේ නෑ .

"
හා කියනවා බලන්ඩ ඒත් දුවන්ඩ ලැහැත්ති වෙන්ඩ එපා වෙඩි තියනවා !”

ඒ නිලධාරි තුමන්ලා අතේ තුවක්කුවක් නැති බව මම දැක්කත් බැටන් පොල්ලෙන් හරි වෙඩි තියන්න බැරිකමක් නැති නිසා මම දුවන් නැතුං ඉන්න තීරණය කළා .

"
මහත්තයා උඩහ වංගුවේ සෝමපාල මහත්තයාගේ දිහෑ ඊයේ කිරි දානේ . මම ඉතින් ඒකට ආපු මේ වයසක කිරි අම්මලා දෙන්නව බස් එකට දාන්න කියලා එක්කං ආවා. පවුණේ පයිං යවන්ඩ බැනේ .

හ්ම් එතකොට මොනාද ඔය කලිසමේ ? ලේ නේද ?” 

මගේ කලිසමේ තවමත් පෙනෙමින් තිබ්බ බුලත් කෙළ කහට පැල්ලම දිහා බලන ගමන් පොලිස් රාළහාමි උත්තමයෙක් හරස් ප්‍රශ්නයක් දැම්මා.

"
අනේ මහත්තයෝ ඒ බුලත් කෙළ .”

"
බුලත් කෙළ තමුන්ට ගහන්න තමුන් පඩික්කමක්ද ? ඇත්ත කියනවා ඔය කොහේ රිංගලාද තුවාල කරගත්තේ ?

"
අනේ බුදු පුතේ මේ අපේ සඳරු කොල්ලා . මුගේ කිසි වරදක් නෑ අනේ ඌට කරදර කරන්න එපා .” එතනා කිරි අම්මා අඬාවැටෙන්න ගත්තා .

"
හරි හරි අම්මලා පොඩ්ඩක් කලබල නොවී මට ඔය මළුවල තියන දේවල් පෙනන්නඩ. ඔය දානෙ ගෙදර දිහාවේ ගංජා කාරයෙක් ඉඳලා තියනවා ඒකයි අපි මග රැකලා හිටියේ .

පොලිස් නිලධාරි තුමෙක් කිරි අම්මලා අතේ තිබුණු සිලි මලු කීපය පරික්‍ෂා කරන්න පටන්ගත්තා . ගැහෙන හදින් මමත් ඒ දිහා බලාන හිටියා . හ්ම් ඒ මලු දෙකේ තිබුණේ කිරිබත් කෑලියි කැවුම් සහ කිරි කෑලි වගේ කෑම ජාති විතරයි .

හොඳයි ඔය අම්මලා දෙන්නා නගින්න ජීප් එකට අපි බස් එකට ගිහින් දාන්නම් . හැබැයි කොල්ලෝ උඹට නම් පොලීසි එන්ඩම වෙනවා .”

"
අනේ පුතේ උඹලට පිං . උඹල තාම කාලත් නැතිවැති මයෙ හිතේ..? ආ මේ කැවිලි ටික කන්ඩ"
කිරි අම්මලා දෙන්නා කැවිලි මලු දෙක එතන උන්නු ලොකු පොලිස් උත්තමයා අතට දුන්නා . ඒ උත්තමයට හීල්ලුණා.

"
කමක් නැද්ද අම්මේ අපි මේව ගත්තට. ඇත්තටම ටිකක් බඩගිනියි අපි ඊයේ රෑ ඉඳලම මෙතන ?

"
අනේ කමන්නෑ දරුවෝ . ඒත් අනේ මේ පොඩි එකාව අතාරින්න . ඌ අප්ප නැති අසරණයා .” 

"මෙහෙමයි අම්මේ ගංජා ගෝනියක් කර ගහගෙන කවුදෝ එකෙක් ඔය දානෙ ගෙදර දිහාට ඇවිදින් තියනවා. අපිට ඔත්තුව ලැබෙද්දී පොඩ්ඩක් පමා වුණා ඒ ඩිංගට මූ ගංජ ගෝනිය මේ කොහේ හරි හගලා මාරු වෙලා තියනවා . අපි මේ හදන්නේ ඔය ජරාව ඉස්කෝලේ පොඩි එවුං අතට යන එක නවත්තන්න අම්මේ .”

"
ඉතින් මහත්තයෝ මේ දරුවා දානෙට උදවු කරන්ඩ ආපු එකෙක් විතරනේ අනේ ඌව ගෙදර යවන්ඩ මහත්තයෝ .පවු එතනා කිරි අම්මා මම වෙනුවෙන් වැඳ වැටෙනවා

"
හ්ම් තමා මේ අම්මලා දෙන්නා ඉස්සරහා දිවුරුවොතින් මේ ගැන දන්නේ නෑ කියලා අපි තමාව ගෙදර යවනවා .”

"
අනේ මහත්තයෝ මම කියන ඕනෙ තැනක දිවුරන්නම් .”

"
කොහෙවත් ගිහිං දිවුරන්ඩ ඕනෙ නෑ අයිෂේ මෙතන ඉඳන් දිවුරනවා .”

"
අනේ මහත්තයා මේ පොළෝ තලේ පල්ලා මම ඔය ගංජා ගෝනිය ගැන දන්නෙම නෑ" මමත් මුලු හදින්ම දිවුරුවා

"
මදි මදි . පොළොව පල්ලා කියලා දිවුරන්න කාටද මනුස්සයෝ බැරි ?

"
මයෙ වැදූ අම්මාපල්ල මම ඔයි කියන ගංජා ගෝනිය ගැන මෙලව සංසාර දෙයක් දන්නේ නෑ මහත්තයෝ .

"
ඒ ගංජා ගෝනිය ගැන නොදන්නවාය කියන්නේ තමුන් වෙන ගංජා ගෝනි ගැන දන්නවද ?
උසස් නිලධාරී උත්තමයා එවුව යෝකර් පන්දුව හමුවේ සූදානමකින් තොරව උන්නු මම කොර වුණා

"
ඔවු . ! නෑ නෑ ! මේ"

"
සාජන් අපි මූව ගෙනියමු !

"
අනේ බුදු පුතේ ඕකව ගෙනියන්ඩ එපා පුතේ එතනා අම්මා ආයෙත් අඬවැඩියාව පටන්ගත්තා .

"
ඉතින් මම ඉවරයි" නොකළ වරදට පොලීසි යන්ඩ වෙයි කියලා හිතේ ඇති වුණ බයට මට ලොකු හුස්මක් ගැනුණා . ඒ හුස්මම ලොකු සුසුමක් වෙලා එළියට පිටවුණා .

"
මොකෝ හූල්ලන්නේ ? නගිනවා ජීප්පෙකට. තමුංඟේ අහවල් එක ලාච්චුවක දාලා දෙකක් තුනක් දුන්නම යස අගේට කියයි ඇත්ත "

"
අනේ මහත්තයෝ ? මං ඔය මුකුත්ම දන්නේ නෑ

"
තමුං ගාව අයිඩී එකක්වත් තියනවද නෑනේ අයිසේ . අනික තමුන්ට දිවුරන්න කීවම ඒ දිවුරුවෙත් සැක හිතෙන විදිහට. ඒ මදිවට තමුන්ට තියෙන්නෙත් ගුටි කන මූණක් . ඉතින් කොහොමද තමුන්ව අපි රිලිස් කරලා යන්නේ ?

"
මහත්තයෝ මම තමා අහවල් පොලීසියටම පරිගණක උගන්වන කෙනා බොරුණං දැං කෝල් එකක් දීලා බලන්ඩ

කරන්නම දෙයක් නැති තැන මම අවසන් තුරුම්පුවත් ඇදලා දැම්මා .

"
ඉතින් අපේ මොකෝ ? කවුරු කළත් වරද වරදමයි. හ්ම් හ්ම් හොඳ දරුවා වගේ නගින්න අපි ඔයාව පොලීසියට ගෙනියලා ප්‍රකාශයක් සටහන් කරගෙන වරදක් නැත්තම් ගෙනද්දාන්නං . ඔන්න මං හොඳින් කීවා !” 

ඔය අතරේ පාරේ ගිය ගමේ එවුං කීප දෙනෙක් උන්ගේ ගමන් බිමන් නවතලා පොලීසියට මැදි වුණ මා දිහා උපහාසෙන් බලාන උන්නා. අඬන්න තරම් දුකක් හිතට දැනුණත්‍ මම හිත දැඩි කරගෙන යටි තොල හපාගෙන ජීප් එකේ පළමු පඩියට යාන්තම් අඩිය තිබ්බා විතරයි මෙච්චර වෙලා නිහඬ උන්නු මිසි හාමි කිරි අම්මා බිම පෙරළෙමින් අඬන්න පටන්ගත්තා.

අනේ බුදු සෑර් මේ දරුවව අතාරින්න කංස ගෝනිය ගෙනියවුවේ මයෙ ලොකු කොලුවා අජියා. ඌ ඊයේ රෑ දානෙ ගෙදර ආවේ මගෙන් රුපියල් 250ක් ඉල්ලගෙන යන්න. අනේ ඌ කංසා ගෝනිය බැද්දේ හංගන්ඩ ඇති සෑර් අනේ මේ දරුවව යවන්ඩ සෑර්. ඌ මේ මොනවත් දන්නේ නෑ ඌ මනුස්ස කමට අපිව ගෙදර ඇරලවන්න ආවේ .. “

ගිනි කන්දක් වගේ ඇවිලෙමින් තිබ්බ හිත හිම කන්දක් වගේ හීතල වෙලා නිවිලා යද්දී අඩවිය බාර පුල්ලෙයාර් දෙයියංගේ පිහිටෙන් ආනුභාවෙන් මම නිදොස් වුණා . ඒත් එතනා අම්ම ගැන මට හොඳටෝම දුක හිතුණා මම වෙනුවෙන් තමන්ගේ බඩෙන් වදාපු පුතාව පාවා දෙන්න තරම් උන්දෑ අවංක වුණා එහෙනම්.

එතනා අම්මට වරුවක් පොලීසියේ ඉඳලා එයැයිගේ පුත්තරයා ගැන ප්‍රකාශයක් දෙන්නත් සිද්ධ වුණා . ඔය අතරේ මම මුහුණ දීපු මේ සිදුවීම ගමේ හෑම අස්සක් මුල්ලක් නෑරම වෙනස් කතාවක් විදිහට පැතිරිලා ගිහින් තිබුණා . කට කතා වලට තටු තියන නිසා මට මේ වෙච්ච සිදුවීමට තව තව දේවල් එකතු වෙලා මා ගැන මහා අමන කැත කතාවක් ගමේ එවුං අතරේ පැතිරිලා තියන බවත් මම පසුව දැන කියාගත්තා .

සැපේදී වගේම දුකේදිත් මගෙත් එක්ක නිතරම ඉන්න මගේ පෙම්බරී ගේ කනටත් මේ කැත කතා බෝමයක් ගිහින් තිබුණා. මේ මුලු ගමම මට එරෙහි වුණත් ඒකි මාව විශ්වාස කළා . අන්තිමේදී මේ කතාවට මුල් වෙච්ච ගංජා ගෝනිය සහ ඒකේ සාඩම්බර හිමිකරු පොලිස් අත් අඩංගුවට පත් වුණාට පස්සේ කට කතා සේරෝම වාගේ අවසන් වුණා . මං ගැන ගතු කියමින් උන්න එවුන් ආයෙමත් මගේ ගුණ වයන්න ගත්තා . මමත් පහු ගිය දොහේ වෙච්ච මේ මරිසි සිදුවීම් අමතක කරලා ආයෙමත් ලියන්න ගත්තා.

මට මගේ ජීවිතේට අමතක නොවෙන මම මුහුණ දුන් අමිහිරිම සිදුවීම මේකයි. කොහොමින් කොහොම හරි දැන් ඒ සේරෝම ඉවරයි. ඒත් විටෙන් විට මට හිතෙනවා මේ කරදර එන්නේ මාව හොයාගෙන විතරක්ම දෝ ? කියලත් .
නිමිස් .!

ප/ලි -  රාජකීය විද්‍යාලයේ අසෙනිය කුසුම සාහිත්‍ය උලලේදී හිස් අහස බ්ලොග් කෑල්ලටත් හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සහ හොඳම බ්ලොග් අඩවිය කියලා සම්මාන දෙකක්ම ලැබුනා නේ . ගොඩ දෙනෙක් මට සුබ පැතුවා . සුබ පැතුවේ නැති ඈයොන්ට දැන් ඉතින් සුබ පතන්ඩ බැරියැ.

කියවන අය දුන්න හයිය හත්තිය නොවෙන්න හිස් අහස බ්ලොග් එක වැහිලා යන්ඩ ඉඩ තිබුනා. ඉතින් බ්ලොග් එක කියෝලා වගේම අදහස් දීලා මට සහය දුන්න හැමෝටම ස්තුතියි !

30.3.12

කිරි අම්මා ගේ ආදරය සහ ගංජා ගෝනිය



"හෙට දිහාට අපෙ ගෙදර කිරි දානේ. පුතේ උඹ එනව නේ ?

ලොකු අම්මා මගෙන් එහෙම අහද්දී මට දෙන්න තිබුණ එකම උත්තරේ තමා ඔළුව දෙපැත්තට පද්දලා "හා" කියන එක .

උදේ ඉඳන්ම පන්තියේ උගන්වලා නැහිලා නැහිලා. රෑට මුනිං වැටිලා බුදියගන්නං කියලා හිතාගෙන ගෙදරට වදින මම ආයේ උදේට අවදි වෙලා වැඩට යන්නේ හාන්න දක්කාගෙන යන මිවුවෙක් වගේ. එහෙවු එකෙක් වෙච්ච මට රැයක් නිදි මරනවා කියන්නේ පුදුම අමාරු වැඩක් .ඒත් ඉතින් ලොකු අම්මාගේ වචනේ අහක දාලා නෑදෑ කම් නැති කරගන්න මට ඕනෙ නැති නිසාම අකමැත්තෙන් වුණත් උන්දැලෑ දිහා තියන කිරි අම්මා දානෙට මගේ සහයෝගේ උපරිමෙන්ම දෙන්න මමත් හිත හදා ගත්තා .

මරණ ගෙදරකවත්, පිරිත් ගෙදරකවත් රැයක් ගෙවන එක මට අමාරු නෑ . ඒත් කිරි අම්මා දානෙකට සහභාගී වුණා කියන්නේ ඉතින් කොටි වල්ගේ අල්ලගත්තා වගේ තමා . යාළුවෙකුගේ ගෙදරක තියන කිරි අම්මා දානයක් නම් ඉතින් හෙමිහිට මග ඇරලා යන්න තිබුණත් නෑදෑ ගෙදරක තියන ශාන්තිකර්මයක් නිසා මට ඒකට මගේ දායකත්වය උපරිමයෙන්ම දෙන්න සිද්ධ වෙලා.

එදා හවස වැඩ ඇරිලා ආ හැටියෙම තවත් ගමේ එකෙක් අඬගහගෙන මමත් උඩහ ගම පැත්තට පැද්දුවේ මයෙ ලොකු අම්මලාගේ දිහා තිබුණ කිරි අම්මා දානේ වැඩ කටයුතු වලට එක හිතෙන්ම සම්මාදම් වෙන්න කියලා හිතාගෙනයි.

ලොකු අම්මාගේ ලොකු දූට බබෙක් ලැබෙන්න කිට්ටුයි . ඉතින් ඒ උපදින්න ඉන්න පොඩි එකාට කිසීම අතුරු ආන්තරාවක් නොවී පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් යසට උපදින්න හැකි වෙන්න කියලා තමයි මේ කිරි අම්මා දානේ පවත්වන්න කටයුතු කරලා තිබුණේ . ගෙදරක දරුවෙක් උපදින්න ඉන්න කොට කිරි අම්මා දානයක් පවත්වලා බාර හාර වෙන එක ඉස්සර ඉඳන්ම ගොඩක් ගම් වල සිරිතක් .

ලොකු අම්මලාගේ ගෙදර වත්ත පිටිය පොඩ්ඩක් අස්පරස් හෙම කරලා මම නාකියා ගන්ඩ හදද්දී වෙලාව හැන්දෑ ජාමේ පහට විතර ඇති . වැඩි සීනි ප්ලේන්ටියකුත් අතකින් අරගනිපු මම එළියේ අඹ ගහ යට කයිය ගහමින් බාල දුම් වැටි උරන කොල්ලෝ සෙට් එක ගාවට කිට්ටු වුණේ කයියක් දාගෙන කාලේ ගෙවන්නම් කියලා හිතාගෙන . ඒත් මට ඒ බංකුවේ වාඩිගෙන ඉන්න පුළුවන් වුණේ තත්පර තිහක් වගේ සුළු කාලයක් .

"
සඳරූ සඳරු කෝ උඹ ?

ලොකු අම්මා ගිල්ලාමුරේ තියන්න ගත්තා මුලු ගමටම ඇහෙන්න

"
ඇයි ලොක්කම්මේ ? හූ..! මම මේං

මමත් එහෙම කියාපු ගමන් ලොකු අම්මා හනිකට මාව හොයාගෙන දුවගෙන අවා .

"
අනේ සඳරු පුතේ අර කොළ බැඳපු පොල් ගහේ ගෙඩි ටික කඩලා දියංකොයි . තව පොඩ්ඩෙන් ඒ ගැන වගේ වගක් නැති වෙනවා එහෙම වුණා නම් මුලු සේසතම වතුරේ !

"නැන්දා මේ ඩෙනිම පිටින් කොහොම මම ගහේ යන්නේ ? පාල මාමට හරි සුබේ මාමට හරි . . !
 
"අනේ මේ ! තොගෙ ඩෙනිම පිටින් ගහේ යන්ඩ බැරි නං ජංගිය පිටින් හරි කමන්නෑ ඔය ගහේ පොල් ටික කඩලා දියං ! කොළ බැඳපු ගහේ පොල් ටික වෙලාවට කඩා නොගත්තොත් තෙල් හිඳින්නෙයි, කිරි කෑලි හදන්නෙයි තොගෙ ඔළු ගෙඩිය බිඳලද ?

කර කියාගන්ඩ දෙයක් නැතිව අන්ත අසරණ වෙච්චි මමත් තේ පිරිච්චි අසෝක වීදුරුව බංකුවේ පැත්තකින් තියලා කිරි අම්මා දානෙටම කැප කරපු පොල් ගහ ගාවට ගියා . කිරි අම්මා දානයක් දෙන්න සූදානම් වෙද්දී මුලින්ම කරන දේ තමයි පොල් ගහක් වෙන් කරන එක .වෙන් කරගත් ගහ වටේට කොළ බැඳලා ඒ ගහ කලින්ම වෙන් කරලා තියාගැනීමත් දානේ දවස එනතුරු ඒ පොල් ගහෙන් කිසිම කෙනෙක් පොල් නොකැඩීමත් අනිවාර්‍ය කටයුත්තක් . දානේ දවසේදී වෙන් කරපු පොල් ගහෙන් කඩන ගෙඩි වලින් පොල් කිරි අරගෙන කිරි කෑලි හැදීමත් තෙල් හිඳ පහන් දැල්වීමත් සිද්ධ කරනවා . කිරි අම්මා දානෙකට කිරි කෑලි කියන්නේ අනිවාර්‍යයෙන්ම ඕනෙ කරන කැවිල්ලක් .

පොල් ගහ ගාවට කිට්ටු වෙච්චි මම ඔළුව උස්සලා උඩ බලලා අහසට උසට විහිදුණු පොල් ගහේ කරටිය දිහාට ඇහැ යැවුවා .හීනිවට බඩ පපුව හීතල වෙලා යද්දී මම ආයෙත් බිම බලාගත්තා .මීට කාලෙකට උඩදි නම් පොල් ගස් බඩ ගාන එක මට මහ කජ්ජක් නෙවේ .කාලෙකට ඉහතදී නම් මේ ගමේ මට නගින්න බැරි ගහක් කොළක් නෑ . ඕනෙම ගහක මුදුන් දල්ල අතගාල එන්න මට හොඳටම හැකියි . ඒත් දැන් මම ඉස්සර තරම් ක්‍රියාශීලී නෑ . රැකියා විරහිතව ගමේ පඳුරු අස්සෙයි , බෝක්කු උඩයි, බැදි කුට්ටි වලයි කාලෙ ගත කරනකොට ඕනෙම දේකට ඔට්ටු වෙන්න ඇඟ පත හුරු වෙනවා . ඒත් මේ උගන්වන රස්සාවට ගියදා පටන් මම මෝල් ගහට මිසක් වෙන ගහකට කිට්ටු වෙලාම නෑ .

"
මොකද බං මල්ලියේ උඩ බලාගෙන ? පොල් වැටෙයි බං මූණට, උඹ තැරි ගැහෙයි ගහ පල්ලෙ

හිතෙන් ගහේ බාගයක්ම නැගලා උන්නු මම රතු අයියගේ කටහඬ ඇහිලා ආයෙමත් බිමට ඇවිදින් නතර වුණා .

"
නෑ බං අයියේ ලොක්කම්ම කියනවා ගහේ පොල් ටික කඩාදෙන්ඩ කියලා . ඒත් බං මම ඩෙනිම ගහගෙන නේ ඉන්නේ . කොහොම නඟින්නඩද බං ?

මම බලාපොරොත්තු " වුණේ උඹ ඉඳපන් මල්ලියේ කියලා" රතු අයියා දනි පනි ගාලා ගහට ගිහිං පොල් ගෙඩි ටික එක ගැම්මට බිමට අතෑරලා දාවි කියලයි . ඒත් ඌ දීපු කට කැඩිච්චි උත්තරෙන් මගෙ බඩ පපුව ආයෙත් දන්න ගත්තා .

"
මල්ලියා අර වැලේ තියෙන්නේ කොට කලිසමක් නේද ?ඩෙනිම ගලෝලා ඒක ඇඳන් ගහේ නැගහං මගෙ කකුල පෙරළිලා බං නැත්තං මං මෙලහකට ගහේ !” 

ඩෙනිම ගලෝලා කැප්පෙට්ටියා පඳුරක් උඩට දාපු මම රතු අයියා ගෙනද්දීපු කොට කලිසමත් ඇඳගෙන විළුඹ දෙකට වළල්ලකුත් දාගෙන පොල් ගහට වැඳලා හෙම හෙමීට අඩියෙන් අඩිය ඉහළට ගොඩ වුණා . මුල් මීටර කීපය නිකම් හිමේ යනවා වාගේ ලේසි පාසු වුණත් ඉතිරිය ටික ඉහළට යන එක මට සෑහෙන්න අමාරු වුණා . කීප වතාවක් මගේ උරිස් පණ නැතිව යනවා වගේ දැනුනත් මම පුරුස සක්තිය අරගෙන ගහේ ඉහළටම ගොඩ වුණා .

සරුවට වැඩුණු පොල් කරටියේ ඉඳගෙන හොඳ පොල් ගෙඩි පාළොහක් විතර බිමට අතාරින්න මට ගත වුණේ විනාඩි පහක වගේ කාලයක් . අතරින් පතර තිබුණ කලටි පොල් සහ කුරුම්බා අතහැරලා හොඳ පොල් ගෙඩි ටික බිමට දාලා ඉවර වෙලා හෙමිහිට මම ඒ උස පොල් ගහෙන් බැහැගත්තා .

මම පොල් ගහෙන් බිමට බහිනකොටත් දානෙ ගෙදරට ආපු වැඩිහිටි එවුං කීපදෙනෙක් පොල් ගෙඩි ටික එකට එකතු කරලා ලෙලි ගහන්න පටන්ගෙන තිබුණා . ඒක දැකපු මගේ හිතට දැනුණේ කියන්න බැරි තරමේ සතුටක් . මම හිතාන උන්නේ පොල් කඩාපු මටම ඒවා ලෙලි ගහන්නත් වේවි කියලයි .හොඳට හුස්ම අරං මහන්සිය නිවාගත්ත මම පොල්ගහට නගින්න ඇඳගත්තු කොට කලිසං කෑල්ල ගලෝලා දාලා ආයෙමත් මගේ සුන්දර ඩෙනිමට බහින්න හිතාගෙන මම ඩෙනිම වනාපු කැප්පෙට්ටියා පඳුර ගාවට කිට්ටු වුණා .

කැප්පෙට්ටියා පඳුර උඩ තිවුණ ඩෙනිම් කලිසම කිසිම වෙනස් කමක් නොවී මම වනාපු විදිහටම එතන තිබුණා ඒත් ඒ ඩෙනිම් කලිසමේ වම් කකුල දිහාවේ මොකක් නමුත් වෙනස් කමක් දැක්කා . හත්වලාමේ. . ! කවුද එකෙක් මගේ අලුත්ම ඩෙනිමට බුලත් කෙළ පාරක් විදලා !!

නිල්පාටයි සුදු පාටයි මිශ්‍ර වෙලා බෝම ලස්සනට තිබුණු මගේ ඩෙනිම රතු පාට බුලත් කෙළ පාරක් නිසා බතික් වෙලා තිබුණා. හිතට ආපු කන්දක් තරම් කුණුහරුප කටින් එළියට එන එක නවත්තගන්න මම සෑහෙන්න මහන්සි වුණා . ඒ වෙච්ච මහනිසිය මම පොල් ගහට නගින්න ගත්ත මහන්සියටත් වඩා වැඩියි නේද කියලා මට මොහොතකට හිතුණා.

බුලත් කෙළ ඉහිරිනු ඩෙනිම් කලිසමත් අතකින් අරගෙන මම තරහින් පුපුරමින් පොඩ්ඩක් විතර ඉස්සරහට ගියේ කලිසමට කෙළ ගහපු බුලත් හපයා කවුද කියලා හොයාගෙන ඌට අමතක නොවෙන්න පාඩමකුත් උගන්වන්නම් කියලා හිතන ගමන්මයි.

ඒත් අඩි කීපයක් ඉස්සරහට යද්දී දැක්ක දසුනෙන් මම හොලමං වෙලා ගියා. ලොකු අම්මලාගේ ගෙදර පිටිපස්සේ මඩුව ඇතුළේ ඉඳන් බුලත් විට හපන කිරි අම්මලා හත් දෙනෙක්ව මම දැක්කා ඒ අයගෙන් කෙනෙක් මගේ ඩෙනිම් කලිසම බතික් කල විත්තිය මට දැන් හොඳටම විශ්වාසයි.හ්ම් දැන් ඉතින් මොනා කරන්නද ? මේ වයසක උන්දෑලට බනින්නද ? ළිඳ ළගට ගිය මම ලේන්සුව වතුරෙන් තෙමලා බුලත් කෙළ හෝදලා දාන්න පටන්ගත්තා .

මම කලිසම ලාවට හෝදං එනකොට වෙලාව හතට විතර ඇති. යාන්තම් තෙත පිටින් කලිසමත් ඇඳගත්තු මම එළියේ දැල්වෙන ලිප ගාවට කිට්ටු වුණේ ටිකක් විතර රස්නෙ තැනක ඉන්නම් කියලා හිතාගෙනයි . ඒත් සුපුරුදු පරිදිම මට ආයෙත් ලොකු අම්මාගේ අඳෝනාව ඇහුණා

"
සඳරු සඳරු අනේ අතන කිරි කෑලි හැඳිගාන්න එකෙක්වත් නෑ අනේ උඹ මේ හබල අරං ගිහිං අර කිරි කෑලි ටික හැඳිගාපන්.” 

කිරි දානෙක අමාරුම වැඩේ තමයි කිරි කෑලි හැඳිගාන එක . සුදෝ සුදු පාටින් කල්දේරම ගාවට වෙලා මම මහ රෑ වෙනකල්ම කිරි කෑලි හැඳිගෑවා . කෙළින් ඉන්න බැරි තරමට කකුල් දෙක කකියනකම් , නිදිමත බේරෙන ඇස් දෙක පියවෙනකම් මම කිරි කෑලි හැඳිගෑවා . මගේ ශරීරකූඩුව මටම අවනත නොවන තැන මම ගිහින් එළියේ පඳිකිඩ උඩ පැදුරක් එළාගෙන බුදියගත්තා . ලොකු අම්මලාගේ ගේ ඇතුළේ ඉඳන් කිරි අම්මලා පත්තිනි මෑණියන්ට කවි කියමින් අලුත උපදින දරුවට සහ නිවැසියන්ට ආසිරි පතන හඬ මට හීනෙන් වගේ ඇහෙනවා .

හීල් පාන්දර ජාමේ උහුලන්න බැරි හීතලට මට හොඳටෝම නින්ද ගියා
 
මම ආපහු අවදි වෙද්දී වෙලාව උදේ හතට විතර ඇති. එළියේ බැඳලා තිබ්බ ළිපකින් අඟුරු කෑල්ලක් අරං දත මැදගත්තු මම මූණ කට හෝදගෙන එද්දී ලොකු අම්මා තේ හදලා තිබුණා . මමත් ලොකු කිරි කෑල්ලක් කාලා තේ බීවා. මම තේ බොන අතරේ ලොකු අම්මා කලින්දා රෑ ජාමේ තිබිච්චි කිරි දානේ ගැන සිංහාවලෝකනේ පටන්ගත්තා.

"
වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?

පොල් ගස් බඩ ගෑමෙන් කකියන උරිස් දෙකෙන් නැගෙන වේදනාව යටපත් කරගෙන මම බස්සෙක් වගේ "හ්ම්" ගෑවා

"
ඒක නෙවේ පාන්දර ජාමේ මෙහෙට්ට පොලීසියෙන් ආවානේ"

"
ඒ මොකෝ ?

මමත් කලබලෙන් එහෙම ඇහුවා
/ලි
පහුගිය ටිකේ ඇති වුණ ප්‍රශ්න වගයක් නිසා කතාවක් ලියාගන්න බැරුං මම හූල්ල හූල්ල උන්නේ දැන් ඒ බොහොමයක් ප්‍රශ්න අහවරයි ඉතින් ආයෙත් මම මේ බ්ලොගේට පණ ගහලා ගන්නම්.

13.3.12

සාටර් පෙම්වතාගේ කවිය



කොණ්ඩය මැදින් බෙදලා පීරා ගත්ත
පරණ කමිසයක් නිතරම ඇඳගත්ත
සෙරෙප්පු කටු දෙකක් දෙපයේ ලාගත්ත
පෙම්වන්තයා මම වෙමි ඔබෙ සිත් ගත්ත

හරි ඉගැනුමක් දැනුමක් මා සතුව නැති
සල්ලිය යාන වාහන ගේ දොර නොමැති
පාරේ හන්දි ගානේ ඇවිදිමින් නිති
චාටර් කන මටද ඔබගේ හිත කැමතී

ඉංගිරිසියෙන් එක වදනක් ලියනු බැරී
දෙවරක් චක්කරේවත් මට කියනු බැරී
මවු බස හැරෙන්නට වෙන කිසි දෙයක් බැරී
මා නොමැතිව ඇයි ඔබ හට ඉන්න බැරී

ගංජා සුරුට්ටුව මම එතුමට දනිමි
අත පය වනා හයිරං පෑමට දනිමි
බොන්නත්, නාන්නත් මම හොඳ හැටි දනිමි
ඔබ මට කැමති හේතුව නම් නොම දනිමි

කකියයි යටිපතුල් ගංජා ගැට හින්දා
කලු වී ඇත දෙතොල් මම දුම් බොන හින්දා
සැවොම බනින බේබද්දා මම හින්දා
නුඹත් දුක් විඳියි දවසක මම හින්දා

මා ගැන මතකෙ දින දින අමතක වීයන්
ඔය රත්තරන් මුහුණේ හසරැල් නැඟියන්
දිනෙන් දිනම නුඹ තව තව හැඩ වීයන්
සඳක් වගේ කොල්ලෙක් නුඹහට ලැබියන්

කයියක්ම පමනයි !

9.3.12

උතුරු වැවුගම් පත්තුවේ සුපිරිම අලි එළවන්නා හමුවී !


"වනිගේ අයියේ !! . . . . වනිගෙ අයියේ !”

මම හතරවෙනි වතාවටත් ගිරිය කඩාගෙන කෑමොර දෙද්දී දෙයියෝ බැලුවා වාගේ ගෙදර දොර ඇරගෙන වනිගෙ අයියා පදිකිඩ මත්තට ආවා .

වෙලාව හීල් පාන්දර එකයි ඒ දෙසැම්බර් මාසයක එක් දවසක්

. අවුරුද්දේ අග කාලේ මුලු සකල සරීරෙම වෙවුළුවලා දාන හීතලෙන් මමත් මිරිකෙමින් උන්නා . නැගෙනහිර පළාතේ කාෂ්ටක පොළවේ පයගහලා ඒ වැටෙන ගිනිකූටක අවුවට පිච්චෙන්න පාරමි පුරාගෙන ආපු එකෙක් වෙච්චි මට ඌස්නේ කෙසේ වෙතත් හීතල නම් දරාගන්න අමාරුයි . ලස්ස ගණං වස්තු දෙනවා කීවත් හුස්මක් කටක් ගන්න බැරි තරමට දත් තිස් දෙකම හිරි වට්ටන හීල් පාන්දර ජාමෙක ගෙයිං එළියට බැහැලා අඟලක්වත් දුර ගාටන්න මම කොහොමත්ම කැමති එකෙක් නෙවෙයි. එත් එදා නම් මම ගෙයිං එළියට බැහැලා හීතලේ වෙවුලමින් වනිගේ අයියලෑ ගේ ඉස්සරහා කෑමොර දුන්නා . පිස්සෙක් නොවුණු මට ඒ විදිහට කෑමොර දෙන්න හොඳ හයිය හේතුවකුත් තිබුණා .

මේ ගං තුලානටම ඉන්න හොඳම අලි එළවන්නා තමයි වනිගෙ අයියා .

නාලාගිරි ඇතා දුවං ආවත් ආපහු හැරිලා දුවන්න කිසි දවසක සූදානම් නොවුණු , තමන්ගේ ඉදිරියේ හයිරම් පාන ඕනෙම සද්දන්ත අලියෙකුගේ කූඤ්ඤයෙන් වුණත් අල්ලන්ඩ තරම් එඩිතර ඒ වගේ මිනිහෙක් මම උපන්තේකට දැකලා නෑ .

"සඳරු මොකද මේ . . . ?

ලෑලි දොර පළුව උස්සලා පැත්තකින් තියලා බෙල්ල ගාවට යනකම් පොරෝගත්ත සරමකින් සැරසිලා උන්නු වනිගෙ අයියා ගාවට මමත් අඩියට දෙකට කිට්ටු වුණා .

"වනිගෙ අයියේ හතරේ කෑල්ලේ චින්තකලෑ ඉඩමට අලි රැළක් පැනලා උන්ගේ අලුත දාපු අත්තිවාරමට කෙළිනවාලු . අනේ විජහට යමං බං.”

 
සරම හනිකට ඉණ වටේ ඔතාගෙන වනිගෙයා එක හුස්මට උගේ ගෙට රිංඟුවා . කඩුල්ල ගාවට දුවලා ගියපු මම හනිකට බයික්කෙත් පණගන්වාගෙන ආපහු හරවගත්තා . බයික්කේ සැර ලයිට් එළිය .වනිගේ අයියාගේ වත්තේ හතරමායිමේ කළුව කපද්දී ඒ සැර එළිය මැදින් වනිගෙයා බයික් එක දිහෑවට දුවගෙන ආවා . උගේ පිටේ පොඩි එකාගේ ඉස්කෝලෙ ගෙනියන පොත් බෑග් එක එල්ලෙනවා . අනුමානයක් නෑ ඒ බෑග්ගේ ඇතුළේ අලි වෙඩිලි ඇති !.

"යමං . !”

වනිගේ අයියා බයික්කෙට ගොඩවෙලා මට විධානය දුන්නා . සක් දෙයියංගෙන් අණක් ලැබෙනතුරු බලා උන්නු මාතලේ වගේ මමත් බයික් එක වේගයෙන් ඉදිරියට පැදගෙන ගියා .

වැවුගම්පත්තුවේ මිනිස්සුන්ට වල් අලි කියන්නේ මැජික් එකක් නෙවෙයි . සත්තුවත්තේ අලි සෙල්ලම් බලන්ඩ ගිය අපේ ගමේ එවුවෝ කීප දෙනෙක් අලි දැක්ක ගමන් හූ කියලා වටේ පිටේ අයගෙන් බැණුම් ඇහුවාය කියලා ජන කතාවකුත් මගෙ කං දෙකට ඇහිලා තියනවා .

වල් අලින්ගේ කකුල්වලට පෑගෙන්න තරම් පවු කාරයෝ වෙච්ච මයෙ අහල පහළ ගම්මාන වල බොහොමයක් දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගැන මට හැබෑවටම දුකයි . ඉඳලා හිටලා මහ පොළොව බදාගෙන ආයේ නොනැගිටින්නම වැතිරිලා ඉන්න හස්ති රාජයෝ ගැනත් හීනිවට දුකයි .

කවුරු කෝම කීවත් අලි ඇත්තු තමයි නැගෙනහිර පළාතේ අයිතිකාරයෝ ! මේ පුල්ලෙයාර් දෙයියංගෙ අඩවිය. මේ පළාතේ අලියෙකුට දුකක් ගින්දරක් දුන්නු මිනිහෙකුටත් ලේසියන් ජීවත් වෙලා ඉන්ඩ බැරිය කියලා මතයකුත් යාන්තමට කටින් කට පැතිරිලා තියනවා . වෙල්ලස් කැරැල්ල සන්දියේ මේ පළාතට පැනලා ආපු උදවියත් , ගල්ඔය බෝඩ් එක පටන්ගත්තායින් පස්සේ මේ පළාතට ගෙනල්ලා පදිංචි කරවවුව මුල් උදවියත් මේ අද ඉන්න අපිට වඩා අනන්ත අප්‍රමාණ දුකක් අලින්ගෙන් විඳින්න ඇති උං එක්ක බලද්දී අපි ගෙවන මේ ජීවිතේ දාහෙං සම්පතයි .

"ටිකක් ඉක්මන් කරලා හමු බං .”

මෙච්චර වෙලා නිහඬව උන්නු වනිගේ අයියා එහෙම කියද්දී මමත් කල්පනා ලෝකෙන් එළියට බැහැලා ඇවිදින් බයික් එකේ වේගෙ වැඩි කළා .

වනිගෙ අයියත් එක්ක අලි එවළවන්න යාම මට ඒ තරම් අරුමයක් නෙවෙයි . මගේ ගෙවල් ළඟපාත දන්න අඳුනන කෙනෙක්ට වල් අලියෙකුගෙන් කරදරයක් හිරිහැරයක් සිද්ධ වුනෝතින් මම හනිකට දුවලා ගිහින් නතර වෙන්නේ වනිගෙ අයියලෑ ගෙදර පදිකිඩ මත්තේ . අලි වෙඩි හඬට හූ හඬට බය නොවෙන බීරි අලිත් වනිගේ අයියාගේ කටින් විසි වෙන අමු තිත්ත කුණුහබ්බ වචන ඇහුණු ගමන් නැට්ට උඩ තියාගෙන කැලේට දුවන හැටි දැක්කාම අපිට උන් හිටි තැනුත් අමතක වෙලා හිනා යන එක සාමාන්‍ය දෙයක් .

අලින්ට වෙඩි තියන්න , කරන්ටෙක අල්ලන්න හක්කපටස් තියන්න වගේම තන්ඩර් පත්තු කරන්න තහනම් වෙච්චිකොට අද අපේ අහල පහළ ගං කීපයක මිනිසුන්ට පිහිටට ඉන්නේ වනිගේ අයියාගේ කුණුහරප විතරමයි . ඇයිද කියන්න මම දන්නේ නෑ වනිගෙ අයියා කුණු හරප කියද්දී අලි දුවන දිවිල්ලෙන් මට හිතෙන්නේ වනිගෙ අයියා මොකක් නමුත් මන්තරයක් මතුරනවා ඇති කියලයි .

අදට වඩා අලි කරදර තිබුණු ඒ කාලේ මේ පළාතේ මිනිසුන්ට අලි එලවන්ට මන්තර සාස්තර වල පිහිට නම් නොඅඩුව තිබුණා . අලි එන විට මතුරා අත පෑමත් , මතුරා කෙළ ගැසීමත් , පොළවේ ඉරි ඇඳීමත් . ඒ කාලේ උදවියට බෝම සුළුයි .පොඩි එකා පවා මන්තර දන්න ඒ කාලේ මන්තර වරදින තැන කකුල් දෙකට මතුරලා වැඳ වැඳ දුවලා ගිහිං මහා ගහක් උඩ හෝ ගල් තලාවක් උඩට ගොඩ වෙන ඉස්සර කාලේ මිනිස්සු හරිම හපන්නු.

ඒත් දැන් කාලේ වෙනස් වෙලා . අලිත් දැන් මොඩිෆයි වෙලා ! උනුත් දැන් පැරණි මන්තර කියද්දී ඒවා නෑහුණ ගානට ඉන්න පුරුදු වෙලා .දැන් අපේ ගම් වල එවුන්ටත් බයික්කේ නැතුව ගෙයිං එළියට බහින්න බැරි කොට අලිත් එක්ක දුවගන්න නම් කොහොමටවත් බෑ .

****

අපි හතරේ කෑල්ලට එනකොට වෙලාව හීල් පාන්දර 1.30ට විතර . මම බයික්කේ මුල්ලේ ගෙදර වත්තෙන් ගාල් කරේ පාරේ බයික්කේ නතර කරලා අලියෙකුට කියලා ඒක පොළවට රිත්ත කරගන්න බැරි නිසාමයි .

මම බයික්කේ නතර කරනකොටම ඒකෙන් බිමට පැනගත්තු වනිගේ අයියා අඩියට දෙකට චින්තකලෑ ගෙවල් පැත්තට දිවුවා . බයික්කේ යතුර සාක්කුවේ ඔබාගත්තු මමත් හනි හනිකට උගේ පස්සෙන් පැන්නුවා . ඉස්සරහින් ඇහෙන හූ හඬවලුත් , ගිනිපෙනිලි වලින් නැගෙන ආලෝකයත් , මේ නාස් දෙකට එදා ඉඳන් හුරු අලි කුයිලත් නිසා අලි තවම කැලේට වැදිලා නැති විත්තිය මම සහ සුද්දෙන්ම දැනගත්තා .

"අද තමා අලි බොට්ටු හැත්ත වනිගේ අයියාගෙන් ඉල්ලගෙන කන්නේ"

මගේ හිතට කාලකණ්ණි සතුටක් දැනුණා !. ඒත් ඒ මොහොතකට විතරයි . අලි ඩෙඟා නටන පුංචි ඉඩං කෑල්ලට ගොඩ වෙච්ච මට මොහොතකට මගේ දුක වාවගන්න බැරි වුණා .

චින්තකයාගේ ඉඩම වටේම ඔතලා තිබුණ දෙපොටේ කටු කම්බි වැට එක පැත්තකින් කැඩිලා බිමටම පතබෑවිලා ! . අලුත දාපු ගෙයි අත්තිවාරමේ සිමෙන්ති, කල් කෑලි සීසීකඩ විසිරිලා අලුත උපදින්න බලාන හිටි ගේ කෑල්ලක් අලි පයකට අහුවෙලා බිමට සමතලා වෙලා . හීල් පාන්දර ජාමේ හීතලෙන් මිදිලා තිබුණු මගේ ලේ මේ සිදුවීම දැක්කායින් පස්සේ රත් වෙලා නටන්න පටන්ගත්තා . මට මොහොතකින් තේරුම් ගියා ඒ විදියට ලේ රත් වුණේ මගේ විතරක්ම නොවෙන වග .

"තොපෙ අම් . . . . . !”

වනිගේ අයියාගේ කටින් මහ සද්දෙට අමු තිත්ත කුණුහරුප වදන් මාලාවක්ම පිට වුණා . ඒ මහ හඬට අලි කලබල වෙද්දී වනිගෙ අයියා පිටේ එල්ලගෙන උන්නු මල්ලෙන් ගත්තු කැප් එක සහිත අලි වෙඩිල්ලක් පත්තු කළා .

"ඩෝං ! ! !”

පළාතම දෙදරවාගෙන පුපුරා ගියපු ඒ අලි වෙඩිල්ලෙන් නැගිච්චි හඬත් , ආලෝකයත් වෙඩි බේත් සුවඳත් ගවු ගණනක් දුරට දැනෙන්න ඇති . ඒ පුපුරා ගිය අලි වෙඩිල්ලේ ආලෝකයෙන් මම අලි රැලේ හිටි එක් විශේෂ අලියෙක්ව දැකගත්තා .ඒ තමයි වනිගේ අයියාගේ පරම හතුරෙක් වෙච්චි "කං කොටා !”

අලි වෙඩිල්ලේ සද්දෙටත් වනිගෙ අයියාගේ කුණුහරප වලටත් බයෙන් අලි කාණ්ඩෙම කැලේට රිංඟුවේ වට වෙලා උන්නු ගමෙ එව්වොන්ගේ හූ හඬ මැද්දෙයි . කැලේට දුවන අලින්ගෙන් සමහරක් ආපහු නැවතිලා හොඬවැල උස්සලා "ආපහු බොලාට රිටන් එක දෙන්න එන්නම්" කියන්නාක් වගේ කුංච නාදයකුත් කරලා කැලේට රිංඟුවා .

"හෙහ් කං කොටාට වනිගෙ අයියා දැක්කාම උන් හිටි තැන් මතක නෑ .

ගමේ එකෙක් ආයෙමත් කං කොටා ගැන මතක් කල නිසාම මගේ හිත ඇතුළේ තිබුණු කං කොටා ගැන මතකයත් ආයේ එළියට ආවා .

එදත් අද වගේම හීතල දවසක් . දවස තිස්සෙම ගිනිකූටක අවුවට පිච්චිලා රත් වෙච්චි පොළව රෑ පානේ ඇද හැලෙන පින්නට හීතල වෙනවා . වලාකුළක් ආසාවටවත් දැකගන්න බැරි නැගෙනහිට හිස් අහසෙන් කඩා හැලෙන හඳ එළියෙන් ගමම වෙලෙනවා . අලින්ට ගම් වදින්න ඒ වාගේ රැයක් නම් පංකාදුයි ! .

පිරිත් ගෙදරක පිටිපස්සේ බංකුවක් උඩට වෙලා බාල දුම්වැටියක් අතේ තියාගෙන නිදි කිරමින් උන්න මම එකවරම මහා ලතෝනියක් ඇහිලා තිගැස්සුණා . මෙතෙක් වෙලා මාව මත් කෙරුව නින්ද පලා යද්දී ගමේ බන්දු මුදලාලිගේ කඩේ පැත්තෙන් ඇහෙන හූ හඬ මාව වෙලාගත්තා . සිගරට් කොටේ විහික් කොරලා දමාපු මමත් අනෙක් එවුන් එක්ක හනි හනිකට ඒ කෑගැහිල්ල ඇහෙන දිහාවට දුවලා ගිය හැටි මට අද වගේම මතකයි .

"අලි බොට්ටු ආවෝ .. ! . !. !”

 
කවුදෝ මන්දා එකෙක් ලතෝනි දෙන හඬ බන්දු මුදලාලිගේ කඩේ පැත්තෙන් ඇහෙද්දී, මමත් අඩිය ඉක්මන් කළා . මේ අද වගේම අලින්ගේ කුයිලත් මගේ නාස් දෙකට හොඳ හැටි දැනුණා . කකුල් දෙකේ හයියෙන් අඩියට දෙකට කඩේ ගාවට කිට්ටු වෙද්දි මගේ ජීවිතේටම දැකලා නොතිබ්බ තවත් අමුතු සිදුවීමක් මම දැකගත්තා .

අලියෙක් බඹරයක් වගේ එක තැන කැරකෙනවා උගේ නැට්ට තදින් අල්ලගත්ත මිනිහෙකුත් ඒ එක්කම වටේට වැනෙනවා . හතර වටේටම ඇවිස්සිලා තිබුණු දූවිලි වලාකුළු අතරින් මම දැක්කා කවුද ඒ අලියාගේ නකුටේ එල්ලිලා ඉන්න මිනිහා කියලා .

ඒ උන්නේ වනිගේ අයියා .

ගමේ එවුන් හූ තියන්න පටන්ගත්තායින් පස්සේ අලියා කැලේ පැත්තට දුවන්න හැරුණා එතකොටම ඒ නාහෙට නාහන අලියාගේ නකුට අතෑරපු වනිගෙ අයියා විජහට අහකට පැනගත්තා . පණ බයේ දුවගෙන ගියපු අලියාගේ එක කනක් අක්‍රමවත්ව පිහිටා තිබුණ නිසා ගමේ කවුරුත් එදා ඉඳන් ඒ අලියාව කං කොටා කියලා හැඳින්නුවා . ඒ විතරක් නෙවෙයි අලියා එක්ක හරි හරියට පොරබදපු වනිගේ අයියා ගැනත් ගමේ එවුන් තැන තැන කතා වුණා . එදා ඉඳන් අද වෙනකම් මේ ගමේ ඉන්න නිල නොලත් අලි එළවන්නා තමයි වනිගේ අයියා

වනජීවී ඔෆිස් එකෙන් ගමට එන පළපුරුදු අලි අල්ලන්නෝ පවා වනිගේ අයියාගේ සහය ලබාගන්න කවදාකවත් අමතක කරන්නේ නෑ . ගමේ ඉන්න අපිටත් අලියෙක්ගේ හිරි හැරයක් විඳින්න වෙච්ච ගමන් මතකෙට එන්නේ වනිගේ අයියාව .සමහරු කියන විදිහට වනිගෙයා තමා අපේ අඩවිය භාර දෙයියා . ඌ අලිත් එක්ක හටන් කළේත්, අලියෙකුගේ නකුටේ එල්ලුනෙත් දිවිය ලෝකේ යන්න හිතාගෙන වත් දෙයියෙක් වෙන්ඩ හිතාගෙන වත් නෙවෙයි. ගමේ එවුං බේරගන්ඩ ඕනෙ නිසා .

අද වගේ වනජීවී ඔෆිසිය, අලි වෙඩිලි , අලි වැටවල් නැති ඒ කාලේ හිතේ හයියෙන්, කටේ කෙළ හිඳෙනකම් මන්තර මතුරලා, කෑගහලා. අලි එළවාපු අපේ ගම් පළාතේ බොහෝම ඉස්සර උන්නු මිනිස්සුන් ගාව තිබ්බ ගැම්ම අද වෙනකොට දියාරු වෙලා ගිහිං . සද්දන්තයෝ ඉදිරියේ අද නම් අපි ඔළුව කෙළින් කරගෙන ජීවත් වෙන්නේ වනිගෙ අයියා නිසයි .දැන් අපේ වනිගේ තමයි මේ ගං තුලානේ මිනිස්සුන්ට ඉන්න එකම සද්දන්තයා .

ඔය පින්තූරේ මුලින්ම යන්නේ වනිගේ අයියා 
පින්තූරය ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවියේ අභීත ව්සින් ගන්නා ලදී