24.2.11

අයියා ජන්දෙන් දිනුවම මල්ලිට ලැබෙන Benefit



 




           මේ වෙලාව රෑ .1.45 පැනලා හයර් එකට ගත්ත වෑන් එකක නැග්ග අපි හත් දෙනෙක් ගම වටේ පොඩි රවුමක් දාන්න යනවා . වෑන් එකේ ඉස්සරහාම සීට් එකේ වාඩි වෙලා ඉන්නඅතරේ මම නිකමට පිසිපස්ස බැලුවා අපේ පාක්‍ෂිකයෝ බුදිද කියලා නෑ ..එකෙක්වත් බුදි නෑ . කට්ටියම හොඳට තේරුම් අරං හිටියා අපි මේ කරන්න යන වැඩේ වැදගත්කම . අපි යන්නේ ජන්ද වැඩකට .ඇත්තටම කිවුවොත් පෝස්ටර් පාරකට.


 මම පිටිපස්ස සීට් දිහාවට ඔලුව දාල බලනකොට අපි ගෙනාපු ආම්පන්න පෝලිමට පේන්න ගත්තත . පෝස්ටර් මිටි හතර , පාප්ප බල්දි දෙක . තරමක් දිග කෙකි දෙකක්. එහෙම.වාහනේ වලකට වැටෙනකොට හීනිවට බෝතල් එකට ගැටෙන සද්දයකුත් ඇහෙන්න ගත්තා . මම ඒක ඒතරම් ගනං ගත්තේ නෑ .

 මම මීට කලින් කවදාකවත් මේ වගේ  මැතිවරණ අපේක්‍ෂකයොන්ට . කඩේ ගියේ නෑ ! . කාගෙවත් පෝස්ටර් අලව අලව යන්න මගෙ ජීවිතේටම හිතුවේ නෑ ! . ඇයි ..?  කිසිම අපේක්‍ෂකයෙක් මෙතුවක් කාලෙකට අපේ ගමටවත්, මටවත් හරිහමං උදවුවක් කරලා නෑ !.ඒත් මෙදා පාර තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ..මගේ ලොකුතාත්තගේ පුතා පුංචි ජන්දෙට ඉදිරිපත් වෙනවා . ඉතිං සඳරුත් මෙදාපාර ජන්දෙට බැහැලම වැඩ ..

 මහරෑ දොලහෙන් පස්සේ .පාරවල් ගානෙ යන එක . ලයිට් කනු උඩ නැගලා බැනර් එල්ලන එක . ගස් ගල්වල .පෝස්ටර් ගහන එක . විරුද්ධ පාක්‍ෂිකයන්ගේ කටවුට් වලට ගොම ප්‍රහාර එල්ලකරන එක .දැන් මම මේව පුදුම කැමැත්තකින් තමයි කරන්නේ . මම මේව කරන්නේ මගේ එකා වෙනුවෙන් . මගේ එකා දිනනවනම් මට ඇති . බැනර් කපන්න පෝස්ටර් වහන්න . කටවුට් ගලවන්න ගිහිං අම්බානෙට කන්න සෙට් වෙන්නත් බැරි නෑ ! .ඒත් .අපේ එකා දිනවනකම් අපි නවතින්නෙත් නෑ ..

 පහුගිය දවස් කීපයේම අපි පෝස්‍ටර් ව්‍යාපාරෙට සම්මාදම් උනා . පෝස්ටර් මිටියත් පාප්ප බාලිදිත් අරගෙන ෆෝන්වලින් විහිදෙන කනාමැදිරි එලියෙන් . අපි පෝස්ටර් අලවනවා ! . තුම්මං හන්දිවල . හතරමං හන්දිවල තාප්පවල බස් නැවතුම්පලවල් වල. වහල තියන කඩවල් වල. අපේ කොල්ලගේ පෝස්ටර් වරදින්නේ නෑ . . ලයිට් කනුවල . උස ගස්වල . අපේ කොල්ලගේ කටවුට් එල්ලන්නත් අපි අමතක කරන්නෙත් නෑ .  සමහර තැන්වලට අපි පෝස්ටර් අලවන්න යනකොට මේ දැං තව සෙට් එකක් ඇවිල්ලා උනු උනුවේම අලවාපු දුං දාන පෝස්ටර් තියනවා පාප්ප බේරි බේරි . ! අනේ ඉතින් මොනාවා කරන්නද ?. අපිටත් ගොඩක් දුකයි !.ඒත් අපි පෝස්ටර් වලට උඩින් අපේ කොල්ලගේ පෝස්ටර් තියලා තදකරලා එනවා . පාප්ප ගන්න ඕනෙත් නෑ නිකම්ම ඇලෙනවා .!! 

විරුද්ධ පාක්‍ෂිකයන්ගේ කොඩිවැල් කපලා . අපේ ගම පිරිසිදු කරන්නත් අපි අමතක කරන්නේ නෑ . කොඩිවැල් කපන්නම හදපු අඹ කඩන කෙක්කක් අපි නොවැරදීම අරගෙන යනවා . අපේ ඇස්වලට නොගැලපෙන ජරා පාටකින් හදාපු කොඩිවැල් තිබුනොත් අයේ කතා දෙකක් නෑ කැපුවා ! කපලා එවුවා වාහනේට පටවගන්නවා . අපේ ගෙදරට හැරෙන පාරේ තියන . පැත්තක් කැඩිච්ච වැසිකිලි වලක කොඩිවැල් ආදරෙන් තැම්පත් කරනවා !

 කටවුට් ගැලවීම මීට වඩා ගොඩක්ම වෙනස් .  ගොඩක් අපේක්‍ෂකයො කරන වැඩක් තමයි  . බොහෝම අමාරුවෙන් හිනාවෙලා එහෙම නැත්නම් වැඳගෙන ඉන්න පින්තූරයක් දාලා . ලොකුම ලොකු කටවුට් එකක් හදලා . විරුද්ධ පාක්‍ෂිකයකුට ලඟාවෙන්න බැරි තැනක එල්ලන එක . අනිත් කාරනාව නම් ඔය තරම් ලොකු කටවුට් හයි කරපු තැනකින් ගලවන්න අමාරුයි . ! ඒව බාන්නත් අපි ලඟ පිලියම් තියනවා . අහගන්නකෝ එක පිලියමක් ..

බොහෝමයක් අපේක්‍ෂකයෝ කටවුට් එල්ලන්නේ තමන්ගේම අධාරකරුවෙකුගේ ගෙදරක් ඉස්සරහා පාරේ ! . එල්ලලා විතරක් නිකම් ඉන්නේ නෑ .අධාරකරුවගේ ගෙදරින් වයර් එකක් ඇදලා රෑට කටවුට් එක ලස්සනට පේන්න බලුප් එකකුත් දානවා . හරියට තොරන වගේ . ඔහොම එකක් දැක්කොත් අපි කරන්නේ .අපේ කන්ඩායමේ ඉන්න ගස් නගින්න එකාව යවනවා . මිනිහා ගහට නැගලා . කටවුට් එක ලඟට කිට්ටු වෙලා .අපේක්‍ෂකයාගේ මූන රවුමට කපනවා .කපලා සාක්කුවේ දාගන්නවා .අපේක්‍ෂකයාගේ මනාප අංකයත්  කපාගන්නවා . ඔන්න ඔච්චරයි අපි කරන්නේ . වැඩිය කඩන අය නෙවේ අපි ! ඉතින් අනිත් පහුවදාට අයිතිකාරයොම කටවුට් එක බාලා ..

 ඉතින් ඔන්න ඔය විදිහට මැතිවරණ ප්‍රචාරනේට ගිහිල්ලා පාන්දර ජාමෙට මම ගෙදර එනවා . ඇවිල්ලා අනිත් පැත්තට වැඩට යනවා  .! මම වැඩට යනකොට ඇස්දෙක බාගෙට පියවිලා . ඒත් පාර දිගට අපි හදාපු සැරසිලි පෝස්ටර් කටවුට් . දකිනකොට ආසාවේ බෑ ! ඒත් හවස වැඩ ඇරිලා ගෙදර එනකොට . අලවපු ඒවගෙන් 99% ක්ම බිම සමහර එවුවගේ බාගයයි . ඉතින් ගෙදර ඇවිල්ලා ආයේ පටන්ගනවා . .

 මේ දවස් ටිකේම මහ රෑ අපි ඇවිදින හින්දා අයියා අපි වෙනුවෙන්ම ඉස්තරම් වර්ගයේ බෝතල් ගෙනැවිත් දෙනවා .! ආයේ ඉතින් මොන කතාද ? ලංකාවම උනත් පෝස්ටර්වලින් වහන්නම් මේ විදිහට බොන්න ලැබෙනවානම් . මහ රෑ ඇවිදලා පින්න වැදිලා මට දැන් හොඳටම හෙම්බිරිස්සව . ඒත් මම මගේ සහෝදරයා දිනනකම් මේ ගේම අතාරින්නේ නෑ ..

  අයියා දිනන එක මට ගොඩක් වැදගත් . මගේ ගමටත් ගොඩක් වැදගත්. අයියා දින්නාම මම මුලින්ම කරන්න හිතාගෙන ඉන්නේ .ගෙදරට එන පාර හොඳට හදාගන්න එක . ඊලඟට ඉතින් හෙල්මට් එකක් නැතුව උනත් බයික් එකේ ගිය හැකිනේ ! .. ඕනම වලියකට බය නැතුව සම්මාදම් උන හැකි . මගේ වටේ ඉන්න යාලුවෝ සෙට් එකටම ජොබ් සෙට් කරන්න ඕන . මට නොමිලේ ත්‍රීපෝෂ ඉල්ලගන්නත් පුලුවන් :)  අයියට වාහනයක් ලැනොත්  අප්පේ ! මට ඒක අරගෙන කෙල්ලෙක් එක්ක රවුමක් ගියහැකි .. වන ජීවී එකට අයිය ලවුවා සද්දෙයක් දාලා වල්අලි ටික ඈතකට එලවලා දානවා . මට බලපත්‍රයක් සහිතව තුවක්කුවක් ගන්න බැරිවෙයිද දන්නේනෑ ? (ආත්මාරක්‍ෂාවට )

දැං ඉතින් මගේ දිහා නපුරු විදිහට බලන්න එපා ! මේවට තමයි මැතිවරණ කියන්නේ ! ඕනෑම අපේක්‍ෂකයෙක් දිනුවාම එයාගේ පවුලේ අයට ලැබෙන Benefit තමයි මේ මම ලියලා තියෙන්නේ !   මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ ..  ඉතින් අයියා දිනුවොත් . මම දිනුම් . මම දිනුවොත් ගම දිනුම් !

 ඉතින් හිස් අහස කියවන සහෝදර සහෝදරියනි .සඳරුගේ අයියාට ජය පතන්න . ! අයියා දිනපු දවසට මම දාන සද්දෙන් බ්ලොග් අවකාසෙත් අහල ගම් හතකුත් හෙල්ලෙයි .!  .

ජය වේවා !!!



සඳරු //












18.2.11

ගමක බයියෙක් දුටු නගරයේ සුන්දරත්වය .




          ටිකෙන් ටික සීතල ගතිය මගහැරිලා ගිහිල්ලා ආයෙමත් අර මුරුගසං දේසගුනේ ලංවෙනවා .ඉන්න බැරි තරමට රත්වෙන බොන්න වතුර ඩිංගක්වත් නැතිව ආයෙමත් අපට දුක් විඳින්න වෙන කාලේ ආයෙමත් ඒවි. කොයිතරම් රත් උනත් හුස්ම ගන්න බැරිතරමට දූවිල්ල පිරිලා තිබුනත් . මම මගේ ගමට මම ඉන්න මේ පලාතට පුදුම විදිහට ආදරේකරා . ආදරේ අන්ධයි !. කතාව හරියටම හරි කියන එක මට පහුගිය සතියේ දවසක තේරුම් ගියා . දැං මට මගේ ගම එපා වෙලා .!

පොඩි කාලේ ඉඳලම මම මගේ මේ ගම හොඳට අඳුරනවා . මොකද මම ඉපදුනේ මේ ගමේ නිසා . මම ඉපදිලා තියෙන්නේ රෝහලක නෙවෙයි ගෙදරම. මට උපදින්න උදවුකරපු ඒ වින්නඹු අම්මා තවම ජීවත් වෙනවා .මට උදේ හවස හම්බවෙනවා . ඒක දෙයියනේ අමුතුම අද්දැකීමක් . වෙන ළමයි "අම්මා" , "තාත්තා" කියලා තමන්ගේ මුල්ම වචනේ කතාකරද්දී .මම මුලින්ම කීව වචනයලු "කාක්කා" අම්ම තවම මට ඒ කතාව කියනවා . කාලේ අපේ ගෙදරට හෙවිලිකරලා තිබුනේ ඉලුක් . ඉතින් ඒ ඉලුක් වහලෙ සිදුරකින් එන කාක්කෙක් මට කොටලා මගේ ඇඳ වටේ තියන බත් ඇට .වගේ ඒව කාල යනවා . ඒක නිසා වෙන්න ඇති මම කාක්ක කියලා මගේ වචනය කතා කලේ . මම මේ ගමේ හැම අස්සක මුල්ලකම ඇවිදලා තියනවා . ඉතින් හැමදාම දකින කුකුලගේ කරමලය සුදුයි කියන්නා වගේ දැං මට මේ ගමේ ජීවත් වෙච්ච ජීවිතය තිත්ත වෙලා .ඒකාකාරී වෙලා..!

මම උදේ 6:00 නැගිටිනවා වත්තේ අලි බෙටි තිබ්බොත් උදැල්ල අරගෙන ගිහිල්ලා ඒවා . අල්ලපුගෙදර වත්තට දලා එනවා . ඊට පස්සේ මම නාල වැඩට යනවා . හැමදාම එකම පාරදිගේ . එකම පැත්තෙන් .එකම දේවල් මම මග දිගටම හැමදාමත් දකිනවා . වැඩට ගියාමත් හම්බවෙන්නේ එකම මිනිස්සු . ගිහිල්ලා ළමයින්ට උගන්වන්නෙත් එකම දේ . දවල්ට කන කෑම වල රසත් දැං දිවට දැනෙන්නේ නැති ගානයි . කිඹුලා කිරිමැට්ට කනවා වගේ මමත් ඔහේ කාල දානවා . හවස 6:00 ගෙදර එන්න එලියට බහිනවා . අවුරුදු ගානකින් තාර නොදාපු කවදාකවත් වතුර නොහිඳෙන ලොකු වලවල් තියන ඒ පාර දිගේම මම ආපහු එනවා . අතර මගදී දුං දදා තියන තේ කෝප්පයක් නෑ වැරදුනා ! . දුං දදා තියන අලි බෙට්ටක් දැක්කොත් බයික් එක හරවගෙන ටිකක් ආපස්සට යනවා. විනාඩි 15 විතර එතන ලතවෙනවා . ඉතින් 6.45 ට විතර ආයෙමත් ගෙදර එනවා ! ඩොංගල් එක හතර වටේටම කරකවලා යන්තම් සිගනල් 2 ආවට පස්සේ . ඔන්න මම කස්ටියගේ බ්ලොග් බලනවා . කමෙන්ට් කරනවා . ...

ටිකෙන් ටික රෑ වෙනවා 8:30 න් පස්සේ . මම දෙවුලොව යනවා . ගඩොල් ගොඩ අස්සේ හංගපු බෝතල් එලියට අරගෙන මම .වැඩ පටන්ගන්නවා . ඉස්සරනම් බයෙන් බයෙන් බීවට දැං ඕවට හුරුවෙලා . අම්මට ඉස්සරනම් මම බීල එනකොට ගඳ දැනෙන්න ඇති . ඒත් කාලය ගතවෙද්දී හැම දෙයක්ම සාමාන්‍ය වෙනවා . ඉතින් වැනි වැනී ඉඳලා මහ රෑ 1.30 නිදියන්න යනවා

ඔන්න ඔය විදිහට මගේ පහුගිය කාලේ ගෙවිලා ගියා . මගේ අනාගතයත් ඔය වගේම ගෙවිලා යාවි . මම මේ ගමේම බයියෙක් වගේ ඉපදිලා බයියෙක් විදිහටම මැරිලා යාවි . දෙයියනේ Internet නැති උනානම් මම අද ලිඳක ඉන්න ගෙම්බෙක් වගේමයි ටීවී එකටත් අහුවෙන්නේ එකම එක චැනල් එකයි . ෆෝන් එකටත් සිග්නල් දෙකයි ..මම මගේ ගම ඇතුලේම මටත් නොදැනීම හිරකාරයෙක් වෙලා ! මට මෙතනින් එලියට යන්න ඕන කොහොමහරි ..

කොළඹ , නුවර වගේ පලාතක පදිංචියට යන්න සල්ලි ගොඩක් තියෙන්න ඕන. අපි ඉන්න ඉඩම ලොකු ගානකට විකුනුවොත් ඒ වැඩේ කරගන්න බැරි වෙන එකකුත්නෑ . ඒත් අම්ම කොහොමටවත් මේ පලාත දාල යන්න කැමති නෑ . නංගිත් එයාගේ යාළුවෝ දාල යන්න කැමති නෑ .ඉතින් මගේ කැමත්තට කිසිම ඉඩක් නෑ . මම හැමදාටමත් බයියෙක් වෙලා මෙතනම තැම්බි තැම්බි ඉන්නවාට අම්මයි නංගියි දෙන්නම කැමතියි වගේ. කොළඹ ගිහිං මොකක්හරි ජොබක් කරන්න ආසාව තිබුනත් තාත්ත නැති අම්මවයි නංගිවයි තනියම දාල යන්න හිත දෙන්නෙමනෑ . යන තැනක යන්න වෙන්නේ මේ දෙන්නවත් අරගෙන .

හැමදාම කරන මේ ඒකාකාරි වැඩවල වෙනසක් දකින්න මම ආසයි . වලවල් නැති බත් දාගෙන කන්න හිතෙන පාරක බයික් එක වේගෙන් පැදගෙන යන්නත් මම ආසයි . තත්පරේකට 100KB Download වේගයක් දැක ගන්නත් ආසයි . විදුලි සෝපානයක ජීවිතේට එකපාරක් හරි යන්නත් ආසයි. Majestic city. එකේ තියන අර කරකැවෙන පඩිපෙලේ උඩට පහලට යන්නත් මාරම ආසයි ..ඒත් ඒ දේවල් මට කවදා දකින්න ලැබෙයිද ඔය පහසුකම් මගෙ ගමට එනකොට මම නාකිවෙලා ඉඳීද ?
 
මම මගේ ජීවිතේටම තුන් ගමනක් විතරයි කොළඹ ගිහිල්ලා තියෙන්නේ . කවුරු කොහොම කිවුවත් කවුරු කොළඹට බැන්නත් මම කොළඹ නගරේ පුදුම ලස්සනට දැක්කා . අපොයි මට මෙහේ ජීවත් වෙන්න තියනවානම් . පොඩි හරි ගෙයක් හදාගන්න තියනවානම් . මට කොළඹ ගිය දවසේ එහෙම හිතුනා . Majestic city එකේ කැරකෙන පඩිපෙලක මම එකම එක වතාවක් ගියා ටිකෙන් ටික පඩිපෙල ඉහලට යනකොට මට නොදැනීම හිනා ගියා . පඩිපෙල ඉහලට ගිහිල්ලා අන්තිම පඩියත් අතුරුදහන් උනාම මම වීසි වෙලා ගියා..! තව පොඩ්ඩෙන් මම වැටෙනවා . !  කවදා කපු ටකරන්ද ?

ඉපදුන ගම දාල යන්න මට ගොඩක් දුකයි . ඒත් වැවේ ගිලිලා නාන එකවත්, වෙල්යායක සරුංගල් අරින එකවත්, වලකජු ගහන එකවත් . කැලෑවේ ඇවිදින එකවත්, ගමේ හදපු කෑම බීම කන එකවත් නෙවෙයි ජීවිතේ කියන්නේ . මම ප්‍රාර්ථනා කරන ජීවිතේ මීට වඩා ගොඩාක් වෙනස් . මගේ එකම එක හීනයක්වත් මට මේ ගමේ ඉඳගෙන . සම්පූර්ණ කරගන්න බැරිබව මම හොඳාකාරවම දන්නවා . ඉතින් මම මගේ හීනේ හැබෑවක් කරගන්න හැම තත්පරයකම මහන්සි වෙනවා. මම කොහොමහරි අම්මව කැමතිකරව ගන්නවා. මම බයියෙක් වගේ ගිවිතේ ගතකරලා වයසට යන්න සූදානම් නෑ .! .

ගම හරිම ලස්සනයි ..ඒත් මට නම් ගම හරියට ජිල් බෝලයක් වගේ ජිල් බෝලෙත් ලස්සනයි ඒත් ලස්සන විතරමයි ඒ ලස්සන පිටිපස්සේ මෙන්න මේ දේවල් හැංගිලා තියනවා . ලෙඩක් හැදුනම බෙහෙත් ටිකක් ගන්න විඳින දුක . අලියෙක් වත්තට ඇවිදින් බිත්ති පෙරලයි කියලා බයෙන් නිදිගන්න එක . පායන කාලෙට වතුර හොයාගන්න විඳින දුක . ඔන්න ඔහොමයි ගමේ ජීවිතේ .

සමහර අය ගමට ආසයි . ගොල්ලන්ට නගරේ ජීවිතය හිර ගෙයක් වගේලු . මටනම් හිතාගන්නවත් බෑ ඒ මොකද කියලා. මම බයියෙක් නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නේ .මට මම ඉන්න ගම අපායක් වගේ. ඉස්කෝලෙකට ගුරුවරු අඩුයිනම්. ලමයින්ට ඉගනගන්න පහසුකම් අඩුයිනම්. පාරවල් කැඩිලානම් . ඒ පලාතේ ලස්සනක් තියනවද ? .මේව කාගෙවත් වැරදි නෙවෙයි . මේ ගමේ ජීවත් වෙන්න ආපු අපේ වැරදි .! කවුරු කොහොම කීවත් මේක තමයි ගමක තියන ඇත්තම ලස්සන .. ලස්සන මටනම් විඳගත්තා හොඳටෝම ඇති. ..

මගේ යාලුවෝ වැඩිදෙනෙක් දැන් මේ ගමේ ජීවිතෙන් හෙම්බත් වෙලා තමන්ගේ නිදහස හොයාගෙන මේ ගමෙන් ඈතට පියාඹලා යන්න ගියා !. මේ ගෙවෙන හැම තත්පරයක් ගානෙම මටත් ගමෙන් ඈත්වෙන්න ආසාව වැඩිවෙනවා..මම ඉන්න ගමෙන් එහා තියන ලෝකේ බලන්න ඒ ලෝකේ ජීවත්වෙන්න. මට කවදාහරි වාසනාවක් තියේවිද දෙවියනේ .! .දෙවියෝ ඉන්නවානම් මාව මෙහෙන් ගලව ගලවාගනීවි . මම මේ ගමෙන් නගරයකට පදිංචියට ගියදාට .අන්න එදාට .මම දෙවියන්ට පොරොන්දුවෙනවා . මම ආයේ කවදාකවත් අරක්කු බොන්නේ නෑ කියලා ඒ බීම මම හැමදාටම නතරකරනවා කියලා .!

මගේ ගම කොහේද කියලා අහන්න එපා ! දන්න අය කාටවත් කියන්නත් එපා ! මම ඉන්නේ කොළඹ ඉඳලා බස් එකක යනවානම් රු 700ක පැය 10ක දුරක .. හරිම ලස්සන පට්ට ගමක . හොඳටෝම ඇති ..ගමට ආදරේ ඇත්තොන්ට ඕනනම් මට බනින්නත් පුලුවන් . මගේ අමනාපයක් නෑ .. මේව ලියන්නේ ගමක ජීවත් වෙන බයියෙක් . ඒකනිසා මේක දැකලා තරහක් ගිය කෙනෙක් ඉන්නවානම් .බයියෙක් නේ ඔය ඕක ලියලා තියෙන්නේ කියලා අමතක කරලා දාන්න .


සඳරු //