31.8.11

පෙම්වතියගෙ සල්ලි බලේ





තනිකඩ ජීවිතය මගේ දෙකඩ කරපු පෙම්වතී
මේ දුප්පත් මගේ හිතට දුක් දුන්නා දැන් ඇතී
අපි දෙන්නගෙ කතාව අද ලොවටම කීමට සිතී
කවියක් ලෙස ගලපන්නෙමි පදවැල් වල එති එතී

මතකයි මට අද වාගේ අප හමු වුණ මුල් දිනේ
ඇයයි මමයි හමු වුයේ තාර පාර මැද අනේ
එදා දැනුණු ආදර කඳ උපරිමේට ගිය තැනේ
එකතු වුණා අපි දෙන්නම පෙම් යුවලක් විලසිනේ

හදවත ලස්සන හින්දා මුලදී ඇයට ලං වුණා
පසුව ඇයට සල්ලි බාගෙ ඇති බව මට වැටහුණා
මම අල්ලපු ලොකුම අත්ත අත හරින්ට බැරි වුණා
මටත් හොරෙන් මම ඇයගේ සල්ලි වලට යට වුණා

සල්ලිකාර පෙම්වතියක් දෙවියන් මට ගිෆ්ට් කලා
එදින පටන් මම හිටියේ ඇයගෙන් දත ගලවලා
දාහෙ,සීයෙ කොළ ඇය මගේ අතේ මිටේ ගුලි කලා
ඇගේ මුදල් වලට ඉතින් මම තව තව පෙම් කලා

"තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"
"අම්ම කළා කෘති හදමින් කාලය ගත කරන්නේ"
"අපේ ගෙදර තට්ටු හතයි" කෙල්ල ඉඳන් කියන්නේ
මේව ඇහෙනකොට කෝමද ඔකඳ නොවී සිටින්නේ ?

කෙල්ලගෙ මල් හිනාව මගෙ හද කුල්මත් කලා
හිඟන්නෙකුව සිටිය මාව රජෙක් බවට පත් කලා
ඇගෙන් ලැබෙන දීමනාව බෝතලේට වෙන් කලා
කාණු පල්ලෙ වැටි වැටි මම ජීවිතෙ සැලසුම් කලා

තුන් ලොවටම පෙනෙන ලෙසට මම කසාද බඳිනවා
ගලදාරී හෝටලයේ මගේ වෙඩිම ගන්නවා
හනිමුන් එක එංගලන්තෙ ජයටම සෙට් කරනවා
කාණු පල්ලෙ වැතිරීගෙන මමත් හීන මවනවා

සල්ලි කඳක් වුණත් එයා චාම් ලෙසයි ඉඳින්නේ
කාර් බාර් තිබ්බත් බස් එකේ තමයි අදින්නේ
ඇයට උරුම හැම දෙයක්ම මගෙ නමටලු ලියන්නේ
අම්ම අප්ප මට උඩින්ම කැමති බවත් කියන්නේ

කාර් බාර් හෙලිකොප්ටර් මගෙ කෙල්ලට තියනවා
සිගප්පුරුවෙ හන්දියෙ හෝටලයක් තියනවා
ඇයව බැන්ඳ දා මට ඔය සේරම ටික ලැබෙනවා
මම ඉඳගෙන මිතුරන් ළඟ පම්පෝරිය ගහනවා

සල්ලි නිසා අපෙ ආදරෙ ජයටම නැගලා ගියා
නැඟල ගියපු ඉක්මනටම ආයෙත් බැහැලා ගියා
අද බෑ හෙට යමු කියමින් මගේ හිතේ සැක තියා
ගෙවල් පැත්තෙ යං කීවම කෙල්ල ලිස්සලා ගියා

කෙල්ලගෙ නිවහන බලන්න මට දවසක් සිත් වුණා
ඇගෙ හැඳුනුම්පතේ තිබී ගෙදර ලිපිනෙ හමු වුණා
කේක් ගෙඩියකුත් අරගෙන මම ඉතින් පිටත් වුණා
ඇගෙ ගෙදරදි දුටුව දෙයින් මට නම් තරු විසි වුණා

මාමණ්ඩිය අමුඩෙ ගහං කිතුල් මලක් මදිනවා
නැන්දාම්මා මැටි අන අන කළගෙඩියක් අඹනවා
ගරා වැටුණු ගේ පොඩියක් අනේ එතන තියනවා
මගේ කෙල්ල බිම ඉඳගෙන පොල් අත්තක් වියනවා

තාත්ත රා මදින එකයි ජොබ් එකකට කරන්නේ
අම්ම වලං හදන ගමං ගඩොල් කැටත් කපන්නේ
පොල් අතු විකුණලාද මේ කෙල්ල සල්ලි හොයන්නේ.?
මේව දැක්ක මම කෝමද ජීවත් වී ඉඳින්නේ .?

දුප්පත් කෙල්ලකගෙ ලණුව මම කෑ බව වැටහිලා
මම හිටියා පිස්සෙක් වගේ විනාඩියක් ගල් වෙලා
මම තනාපු හීන ලෝකේ මාළිගාව සුන් වෙලා
මට ඇඬුණා අසරණ මගෙ අනාගතය සිහි වෙලා

මාව දැක්ක තැන කෙල්ලගෙ දෑස් බිමට බර වුණා
පැන්න ගමං කනේ පාර දෙන්නට මට සිත් වුණා
මාමණ්ඩිගෙ රා මුට්ටිය දෙස මගෙ නෙත් යොමු වුණා
රාකට්ටක් තොල ගාගෙන මම එතනින් විසි වුණා

පහුවදාට එළි වූ කල මට දෙවියන් සිහි වෙලා
හිඟන කෙල්ල සමග තිබුණු ලවු එක අමතක කලා
ගිය සතියේ පාර මැද්දෙ සෙනඟ හිටිය වට වෙලා
මම යන විට කෙල්ල එතන වහ බීලා මියැදිලා






අත්දැකීමක් නොව සිතිවිල්ලක් පමණි ..!

Image - http://www.itmightbelove.com/2008/07/23/money-in-relationships/

26.8.11

පුහු කොස් ගහ යටදී දුටු චාර්ලිස් සීයා ගේ අවතාරය.



       මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට අවුරුදු තුනකට නම් වැඩියි. ඉතින් මම මීට කලින් මේ සිදුවීම නොලියා හිටියේ හේතුවක් ඇතිව . මගේ ගමේ දී මම කවුරු හරි කෙනෙකුට මේ සිදුවීම කිවුවා නම් ඒ අය මේක අහගෙන ඉඳලා මට මෙහෙම කියාවි

"
හප්පුච්චියේ ඉතින්! ඔයිං ගියා මදෑ "

ඒත් කොළඹ නුවර වගේ නාගරික කෙනෙකුට මම මේ කතාව කීවොතින් ලැබෙන උත්තරේ මට හිතාගත්තැකි .එක්කෝ මට පිස්සු කියලා හිතයි නැත්තං පිස්සු ඩබල් කියලා හිතයි ..


උඹලට ඕන දෙයක් හිතා ගනිල්ලා මම මේක ලියා දානවා ..!! 

මීට වසර තුනකට විතර ඉහතදී දවසක මගේ හොඳම මිතුරෙක් වෙච්ච අජිත් අයියාගේ ගෙදර පිරිතක් කියන්න කටයුතු සූදානම් වෙමින් තිබුණා . අපේ කොල්ලෙකුගේ වැඩකට අපි නොගිහින් කොහොමද ? මමත් උදේ දහයට විතර වැඩ වලට උදවු දෙන්න හිතාගෙන එහේ ගියා .. ඔය සන්දියේ මම ජොබක් කලේ නෑ ඉතින් මට ඕනෑ විදිහට ඇවිදින්න යන්න නිදහස තිබුණා ..

මම අජිත් අයියලෑ දිහා යනකොට අපේ ගමේ කොල්ලෝ රැලැක්ම එදා ඉස්කෝලේ ගමන අවලංගු කරලා දාලා එහේට සෙට් වෙලා හිටියේ පිරිත් අහනවාටත් වඩා ෆන් එකක් ගන්න අදසින් . අපි උදේ ඉඳන්ම අජිත් අයියලාගේ ගෙදර පිරිසිදු කළා, වත්ත සුද්ද කළා , පිරිත් මණ්ඩප්පේ ගැහුවා .. වැඩ සේරම වගේ කළා ..

"
උඹලා එහෙනම් පිරිත් අහන්න ලෑස්ති වෙලා වරෙල්ලකෝ ..” 
 
හවස අපි යන්න ලැහැස්ති වෙන අතරේ අජිත් අයියා අපිට කීවේ ඇහැක් ගහන ගමන් .එයා ඇහැක් ඉඟි මරලා ඒ කියාපු කතාව මට ටස් ගාලා තේරුණා.. ඒ ඉඟියෙන් කියවුණේ "රෑට බොන්නත් ඇහැකි" ..කියන කියමනයි ..

ඒකාලේ මට අරක්කු කීවොත් ආයේ ඊට එහා දෙයක් නෑ ! වැඩේ වෙලා තිබුණේ ඒ දිනවල බොන්න මුදල් නැති කම .අම්මගෙන් තමයි මම ඒකාලේ යැපුනේ. ඉතින් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන බොන එක කරන්න මම බොහෝම අකමැතියි ..

පිරිත් අහන්න ඕන නිසා අපි හැමෝම හවස් යාමේ ඇළෙන් නාලා .පිරිත් අහන්න සුදුසු ඇඳුම් වලින් සැරසිලා .හය හමාර හත . විතර වෙනකොට අජිත් අයියලාගේ ගෙදරට එකතුවුණා ..අපේ ගෙවල් වල උදවියත් පිරිත් අහන්න ඇවිල්ලා හිටපු නිසා අපි කට්ටියම හැසිරුණේ නිකං පූස් පැටවු ගානට .

කට්ටියක් තේ හදනවා , කට්ටියක් පුවක් කපනවා , තව කට්ටියක් තේ අල්ලනවා ..! ඔන්න ඔය විදිහට වෙලාව දන්නෙම නැතිව ගෙවිලා ගියා ..අපේ ගෙවල් වලින් ආ උදවිය ආයෙමත් ගෙවල් බලා ගියා. ඒත් එළිවෙනකම් පිරිත් අහන්න සූදානමින් හිටි අය ඉතිරි වුණා .. ඔන්න ඔය අතරේ අපි කට්ටිය අජිත් අයියගේ ගේ පිටි පස්සට එකතුවුණා ..

ගේ පිටුපස තිබුණේ වෙනම සමාජයක් ..ගේ මැද පිරිත් කියන අතරේ ගේ පිටිපස්සේ පන්සිල් පදයක් කඩන්න ලෑස්ති වෙනවා .. මගේ ගෙදර පිරිතක් තිබුණ දවස් වල නම් මම අරක්කු , කසිප්පු බින්ඳුවක් වත් ගේ හරියට ගෙනාවේ නෑ .. ඒත් ඉතින් මේ මගේ ගෙදර නෙවෙයි නේ ..! අනික නිවැසියෝ කැමැත්තෙන් සංග්‍රහ කටයුතු කරනවා නම් අපි මොකටද පිටුපාන්නේ ? අපිත් වීදුරුවකට සෙට් වුණා .

ප්ලාස්ටික් බූලිය ටිකෙන් ටික හිස් වෙන අතරේ මම වට පිට බැලුවා.සමහරු කට් වෙලා .සමහරු මෙතන පිරිත් කියනවා .. සමහරු බුදු දහමේ අගය ගැන කට්ටියට වටහලා දෙනවා ..මම නම් ඔය වෙනකොට දාලා හිටියේ හතර වෙනි ෂොට් එක ..ඒක නිසා මම හොඳටම හොඳින් .ඔය අතරේ අජිත් අයිය ගේ තාත්තා දුවගෙන ආවා ..

"දරුවනේ බලාපල්ලකෝ පුවක් මල්ල කොහේද දාලා හොයාගන්න බෑ .. දැන් හාමුදුරුවොන්ට දැහැත් විට සපයන්න විදිහක් නෑ බං පුවක් ගෙඩි දෙකයි තියෙන්නේ .. අනේ කොහෙන් හරි පුවක් ටිකක් හොයාන වරෙල්ලා ..!”

අජිත් අයියගේ තාත්තා එහෙම කීවා විතරයි අපි සුටුස් ගාලා කර කර හිටි වැඩේ පැත්තට දාලා නැගිට්ටා ..

"
අපි හොයං එන්නං මාමේ

වෙලාව එකොලයයි කාලට විතර ඇති මට හරියටම වෙලාව මතක නෑ .පුවක් ගහක් යටට ගිහිං පුවක් ටිකක් අහුලං එමු කියලා හිතාගෙන අපි කළුවරේම පිටත් වුණා .ඔය වෙලාවේ ගේ ඇතුළේ ආටානාටිය පිරිත වැයෙමින් තිබුණා ..!

ගමේ ඇල පාර දිගේ ටික දුරක් ඉහළට යද්දී පුවක් ගස් යායක් වැවිච්ච පොඩි වගුරු බිමක් හමුවෙනවා .අපි ගියේ අන්න එතනට. කාටවත් අයිති නැති ඒ බිම්කඩේ කොයි වෙලාවේ බැලුවත් පුවක් නම් වරදින්නේ නෑ .

මගෙත් එක්ක තව කොල්ලෝ හතර දෙනෙක් මේ ගමනට එකතු වෙලා හිටියා .. 

එකෙක් සාගර අයියා,එයා ඇවිල්ලා අපිට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් අපේ ගමේ ප්‍රධාන මේසන් බාසුන්නැහේ .. "හෙඩ් බාස්" කීවොත් හැමෝම දන්නවා ..අනිකා සමන්ත මල්ලි ඒ අපේ ඉස්කෝලේ සර් කෙනෙකුගේ පුතෙක් .මිනිහා මත් පැන් කටේවත් තියන්න කැමති නෑ ඒත් බොන එවුං එක්ක එකට ඉන්න නම් ගොඩාක් කැමතියි ..ඊළඟට හිටියේ අනුෂ්ක කියලා මගේ පරණ මිත්‍රයෙක් .මිනිහා නම් එදා බීලා හිටියේ කුණු වෙන්න .ඊළඟට ළහිරු සහ මම .සඳරු කීවාම මාව කවුරුත් දන්නවා ..ළහිරු අපේ ගමේ නෙවේ..

සමන්ත මල්ලි අතේ තිබුණු අලි එළවන ලොකු ටෝච් එක කළුවර මකලා අපිට නියම එළියක් දුන්නා ..ඒ ටෝච් එක පත්තු කළාම රෑත් දවල් වගේ ! .ඉතින් අපිත් හෙමිහිට වළවල් වල වැටෙමින් පුවක් ලන්දට කිට්ටු කළා .. විනාඩි හත අටකින් අපි හිටියේ පුවක් ලන්ඳේ ..

පුවක් යායට පිටු පසින් ගලාගෙන යන ඇලේ වතුර වල "ජබු ජබු" හඬ මට හීනිවට ඇහුණා . ඔය අතරේ ..පුවක් ගෙඩි වල දත් ගහන්න ආපු වවුල්ලු වගයක් මහ හඬින් සද්ද කරා ..වවුල්ලුන් ගේ පොරය අතරේ පුවක් ගෙඩි කීපයක් "සරස්" ගාලා පහළ තිබුණු හබරල කොළයක් උඩට වැටුණා ..

පාර දිගේ බීමතින් කියෝ කියෝ ආපු අපේ කට්ටියගේ කටවල් ඔන්න ඔතනදී ගොළු වුණා ! සමන්ත මල්ලී ලොකු ටෝච් එක අල්ලගෙන ඉන්න අතරේ අපි හැමෝම පුවක් එකතු කරා ..එකතු කරන පුවක් ගෙනියන්න මල්ලක් නොගෙනාපු නිසා සාගර අයියා ඒ පුවක් දාන්න එයාගේ සරම බොකු ගහලා හදාගත්තා .. අපිත් එකතු කරන පුවක් ගෙඩි ..එකින් එක සාගර අයියගේ සරමේ පිරෙවුවා . ..

පුදුමයි වෙනදාට ගෝනි ගණං පුවක් පුරුවන්න හැකි මේ ඇල ඉවුරේ අද පුවක් හම්බුනේ දහයක් විතර .ඔය අතරේ ළහිරු ටිකක් එහාට ගියා ළහිරු ගියේ පුහු කොස් ගහ ගාවට ..ඒ කොස් ගහ වසාගෙන හැදුණු ලොකු පිළිලයක් නිසා ඒ කොස් ගහේ මට මතක ඇති කාලෙක පොලොස් ගැටයක් පමණ හදිලා නෑ ..! ඒකයි හැමෝම ඒ දැවැන්ත කොස් ගහට පුහු කොස් ගහ කීවේ ..!

ඔන්න ඔය අතරේ තමයි අපි හැමෝටම අමුතු ගඳක් දනෙන්න පටන් ගත්තේ .. නිකං කැරපොතු ගඳ වගේ ගඳක් අපි හැමෝටම දැනුණා ..ඒත් එක්කම අපිට ඇහුණේ ළහිරු අපි හැමෝටම කතා කරන හැටි ..මහා අමුතු හඬකින් ..අමුතුම අමුතු හඬකින්

"
සමන්ත මල්ලීඊඊඊඊ .. සඳ්ඳ්ඳෲ .. අනේ එන්නකෝ මේ බලන්නකෝ ..අනේ මම කියන දේ අහලා වරෙල්ලකෝ .. මෙන්න මේ මෙතන

ඒ කතා කරපු හඬ මට තවම මතක වෙනවා .. මේ ලියන මොහොතේ පවා මගේ ඇඟේ හිරිගඬු පිපිලා තියෙන්නේ එදා මම මුහුණ දීපු කම්පනය තවම මගේ හිතේ නොමැකෙන්නම තියන නිසා .
සමන්ත මල්ලී ළහිරු කතා කරන පැත්තට ටෝච් එක ඇල්ලුවා ..

ඔන්න එතකොටම මම ඒකාව දැක්කා !!

ළහිරු හිටියේ හෙමීට අපේ දිහාට එන ගමං ඌ තණියම කියවනවා .. ළහිරුට පිටිපස්සෙන් හිටියේ අමුතුම අමුතු කෙනෙක් .. සුදු කොණ්ඩයක් සහිත , හම තැන තැන පැලිච්ච අමුතුම කෙනෙක්ව මම දැක්කා .. ඒ දැකපු කෙනාගේ ඇස් දෙක මට කවදාවත් අමතක කරන්න බෑ ...ඒව ඇස් නෙවේ ගිනි බෝල ..!! ඇඟේ තිබුණේ රෙදි නෙවෙයි පැලිච්ච හම ..ඒ මනුස්සයෙක් නෙවේ .. මට ඕන තැනක දිවුරලා කියන්න පුළුවන් ඒ මනුස්සයෙක් නම් නෙවේ ..

"
හුහූඌඌඌඌඌඌඋ"

සාගර අයියා "හූ" කියන සද්දෙ මගේ කන ළඟින් ඇහුණා ..මට ඊට පස්සේ වෙච්ච දේවල් මතක් වුණේ දවසක් විතර ගියාට පස්සේ .. මතක් වෙච්ච විදිහට නම් සමන්ත මල්ලී ඇල පාර දිගේ උඩහට දිවුවා .මමත් සාගරත් ඒ පිටි පස්සෙන් දිවුවා ..

ළහිරු තවම කෑගහනවා .. 

"අනේ මේ බලහල්ල්කෝ අනේ අහපල්ල්කෝ ..අනේ ඉඳපල්ලකෝ .". ඒත් එහම කියමින් ඌත් දුවනවා
අඩි දහයක් දුවන්න ලැබුණේ නෑ ..මට ඉස්සරහින් දුවපු සමන්තයි සාගරයි දෙන්නා එක ගොඩේ වැටුණා .. ටෝච් එක පඳුරක් අස්සට වීසි වුණා ඒත් ඒකෙන් එන එළියට මුලු පාරම එළියයි..! ආපහු හැරෙද්දි මම ආයේ අර අමුතු මිනිහාව දැක්කා ..

කැමරාවක ෆ්ලෑසර් එක අපේ අහැට ලං කරලා පත්තු කළොත් මොහොතක් යනකම් අපිට ඒ එළිය බලන බලන අත පේන්න ගන්නවා වගේ මම හැරෙන හැරෙන පැත්තේ මට මේ නාකි මිනිහව පේන්න ගත්තා ..ඔන්න ඔය අතරේ ළහිරු මාව පහු කරගෙන දිවුවා .. මට සමන්තව නැගිටුවන්න සිහියක් තිබුනේ නෑ .. මටත් මහ හයියෙන් කෑ ගැහුණා ..!

මම සෑහෙන වලි සීන් වලට ගිහිං තියනවා .. මට කවදාවත් මේ තරම් බය දැනුණේ නෑ .. මගේ වෙරි මත කැලේ !! ..මම විනාඩි දෙකක වේගවත් දිවීමකින් පස්සේ හිටියේ පිරිත් ගෙදර ඉස්සරහා තියා තිබුණු ප්ලාස්ටික් පුටු ගොඩත් පෙරලගෙන බිම පතබෑවිලා.. . . . .මට සිහිය තිබුණා හොඳටම ..ඒත් මගේ කන් අගුල් වැටිලා වගේ .. මොහොතකින් මට ආයේ හැමදේම පේන්න තේරෙන්න ගත්තා ..

"
සඳරු උඹට දැන් කොහොමද මයෙ පුතේ ..” අජිත් අයියලෑ තාත්තා මගේ ඔළුව අතගානවා .. 

"පුතේ මේ පිරිත් වතුර ටික බොන්න .." අසල් වැසි නැන්දා කෙනෙක් මට වතුර දෝතක් පෙවුවා .. ඔන්න තව පැයක් විතර ඔළුව ගහගෙන හිටියට පස්සේ මම යන්තම් ඔළුව ඉස්සුවා ..

පුටුවෙන් නැගුටලා ගිටගත්තා .අජිත් අයියගේ වාරුවෙන් ගිහිං පිරිත් අහන්න පැදුරේ ඉඳ ගත්තා .. මගේ කකුල් දෙක තාම මට අවනත නෑ .. මට නිකම්ම කෑගැහෙන්න යනවා ..මම පැයක් විතර යනකම් වැඳගෙන හිටියා . මූණ පාතට නවාගෙන.මට ඕන වුණේ ඉක්මනට එළිය වැටෙනවා දකින්න ..මට උදේ වෙනකම් නින්ද ගියේ නෑ . පිරිත ඉවර වුණාට පස්සේ ස්වාමින් වහන්සේ නමක් මට කතා කරලා මගේ අතේ පිරිත් නූලක් බැන්ඳා ..‍‍

ළමයෝ දැන් ඔවුවා අමතක කරලා දාන්න .. තරුණ ළමයි නේද ඔහොම බය වෙලා පුළුවන්ද

දවල් බත් කෑවට පස්සේ ඔන්න මගේ ළඟට කට්ටිය වට වුණා .. "මොකද සඳරු වුණේ ?” 

මගෙන් එහෙම ඇහුවේ ගෙවල් ළඟ ගීතා ඇන්ටි .එතකොටයි මට මගේ යාළුවෝ කට්ටිය ගැන මතකෙට ආවේ .උන්ට මොකෝ වුණේ ..?

"
කෝ සමන්ත මල්ලි , සාගර , අනුෂ්ක , කෝ ළහිරු .?.” මම වට පිට බලමින් ඇහුවා ..

අනුෂ්ක එතකොට කොහේදෝ ඉඳලා මගේ ළඟට ආවා .. "

මචං උඹලා දුවනවා කෑගහනවා දැකලා මමත් බය වුණා මම උඹලගේ පස්සෙන් දුවගෙන ආවා .. මොකද වුණේ ..?”
 
මේක මාර කතාවක් අනුෂ්ක කිසිදෙයක් දැකලා නැද්ද ?

මම වෙච්ච සිද්ධියම කට්ටියට ආපහු කීවා මගේ වචන ගොත ගැහෙන්න ගත්තා .. ඔන්න එතකොට අජිත් අයියා කතාව පටන්ගත්තා ..

"අපිට රෑ අහුණා කවුද හූ කියන සද්දේ ? තාත්තා කීවා උඹලා පුවක් ගේන්න ගියා කියලා ..ඊට පස්සේ හිටපු හැමෝම තාත්තට දොස් කීවා පිරිතේ ආටානාටිය කොටස කියන වෙලාවේ මොන එහෙකටද උඹලව ඇල පැත්තට යවුවේ කියලා. ඉතින් හූ කියපු දිහාවට අපි හැමෝම යන්නයි හැදුවේ එතකොට තමයි උඹයි ළහිරුවයි සමන්තයි දුවගෙන ආවේ ..”


මම අහලා තිබුණු විදිහට නම් ආටානාටිය පිරිත කියන වෙලාවට අමනුෂ්‍යයෝ එළියට ඇදෙනවා ..මමත් මෝඩයා වගේ බිබී ඇවිදින්න ගියා ..හොඳ වැඩේ මට ..මම හිතෙන් මටම දොස් කියාගත්තා .
අජිත් ආයෙමත් කතාව කියන්න ගත්තා ..

"අපි කට්ටිය සාගරව හොයාගෙන ඇල පැත්තට දුවද්දී පඳුරක් අස්සේ කසුන් මල්ලිගේ ටෝච් එක පත්තු වෙවිවී තිබුණා .. අපි ඒක අරං බලනකොට සාගරගේ සරම එතනම වැටිලා තිබුණා බං..! හික් හික් ..අපි සරමත් අරගෙන සාගර හොයන්න යන්නයි හැදුවේ ඒත් සරම අතට ගත්ත ගම්න්ම අපිට කලන්තේ හැදෙන්න ආවා ..බං ..”

ඇයි ඇයි උඹලත් දැක්කද ?
 
"කෙහෙම්මල අපි දැකපු හොල්මනක් නෑ බං.සාගරට රෙද්දේ රෙවිලා!! සරමෙන් එකයි ගූ !! ගන්ධස්සාරේ බෑ බං ..ඒ ගඳට හොල්මන දුවන්න ඇති..!! උඹලා බේරුණේ ඒකයි ..අපි ආපහු එනකොට සාගර ගේට්ටුව ළඟ කලන්තේ දාලා වැටිලා හිටියා ..! වතුර ගහලා සරමක් අන්දලා ඔන්න ගෙදරට ගිහිං දැම්මා ..”

මම තනියම කල්පනා කළා වෙච්ච වැඩේ ..එදා අපි බීව එවුවා නිසා මොනවා හරි මායවක් අපිට පෙනුනද ? නෑ එහෙනම් එවුවා කටේ තියාපු නැති සමන්තත් ඒක දැක්කේ කොහොමද

අපි පස්දෙනාම දවසක මේ ගැන කතාබහ කළා .අනුෂ්ක ඇරෙන්න අනික් අය හැමෝම මේ වයසක උන්දෑව දැකලා තිබුණා .එකම හැඩරුව ..ගිනි බෝල ඇස් !. අපි හතර දෙනාටම විශ්වාසයි ඒ දැක්කේ මිනිහෙක් නොවන වග .. සාගර කියන්නේ ලේසියෙන් බයවෙන කෙනෙක් නෙවේ ඒ මනුස්සයාටත් බඩ එළිය යන තරමට බයවෙන්න නම් මේ සිදුවීමේ බියකරු බව කොයිතරම්ද කියලා හිතලා බලන්න .. මම කවදත් හොල්මං අවතාර විශ්වාස කළේ නෑ . ඒ ගැන කියද්දී හිනහා වුණා .මගේ තාත්තත් මට කීවේ ඔවුවා විකාර කියලා .ඒත් මම ඒ දැක්ක දේ මොකද්ද ?

කොහොම හරි ඔය කියන වසක උන්දෑට බය වුණේ අපි හතර දෙනා විතරක්ම නෙවේ .. ඊට මාස ගාණකට පස්සේ ගමේ කිරි විකුණන අංකල් ඔතන සිහි නැතුව වැටිලා ඉඳලා හම්බ වුණා . සිහිය ආව පස්සේ එයත් කීවේ අපි දැකපු දේම තමයි . සමහරු කියනවා ඒ අපේ ගමේ ඉස්සර හිටපු ගුරුවරයෙක්ලු නම චාර්ලිස් සීයලු ..

ඔය සිද්ධියෙන් පස්සේ අපේ ගෙවල් වලින් අපිට කාලයක් යනකම් හැන්දෑවට එළියට යන්න දුන්නෙම නෑ .සගර අයියගේ නමත් වෙනස් වුණා .. එදා "හෙඩ් බාස්" කියලා හඳුන්වපු සාගර අයියව අද හඳුන්වන්නේ ..

රෙවිච්ච හෙඩ් බාස් කියලා" !! 
 
කොහොම හරි මට සතියක් විතර යනකම් ගොත ගැහෙන එක නවත්ත ගන්න බැරුවම තිබුණා .පස්සේ හැමදෙයක්ම වගේ ඔය සිදුවීමත් අතීතයට එකතු වුණා ..දැන් මගේ හිතේ බය කියන එකට ඉඩ නෑ ..!

උපන්දා ඉඳන් මම ජීවත් වෙන මේ ගම ඇතුලේදී මම දැකපු එකම හොල්මං සිද්ධිය මේක වුණත් තව මේවගේ සිදුවීම් සිය ගනනක් මම අහලා තියනවා . ඒවායින් එකක්වත් ඇත්ත වෙන්න බැරිද ? මේ ලෝකේ අපිට හිතාගන්න බැරි ගොඩක් දේ තියනවා . නොදැක්ක පලියට යමක් අවිශ්වාස කරන එක වැරදියි ..ඒත් ඕනෑවට වඩා නොදැක්ක දේවල් විශ්වාස කරන එකත් අමුම මෝඩ වැඩක් ..

මම දැන් හිතන්නේ හොල්මං අවතාර තිබුණත් එකයි නැතත් එකයි .තිබුණත් මගෙ මොකෝ ! නැතත් මගෙ මොකෝ .! .හොල්මන් අවතාර වලට ඕන ඕන විදිහට උං ඉඳීවි මම ඉන්න විදිහට මම ඉන්නම් . එහෙම හිතාගත්තාම හිතට සැනසීමයි ..


සමහර නම් මණංකල්පිතයි ..
Image From [ http://www.livestreetcam.com/ghost/ghost.jpg ]