මම ආපහු අවදි වෙද්දී වෙලාව උදේ හතට විතර ඇති. එළියේ බැඳලා තිබ්බ ළිපකින් අඟුරු කෑල්ලක් අරං දත මැදගත්තු මම මූණ කට හෝදගෙන එද්දී ලොකු අම්මා තේ හදලා තිබුණා . මමත් කිරි කෑල්ලක් කාලා තේ බීවා . මම තේ බොන අතරේ ලොකු අම්මා කලින්දා රෑ ජාමේ තිබිච්චි කිරි දානේ ගැන සිංහාවලෝකනේ පටන්ගත්තා.
"වැඩේ හොඳට තිබ්බ නේද පුතේ ?”
පොල් ගස් බඩ ගෑමෙන් කකියන උරිස් දෙකෙන් නැගෙන වේදනාව යටපත් කරගත්තු මමත් බස්සෙක් වගේ "හ්ම්" ගෑවා
"ඒක නෙවේ ඊයේ පාන්දර පොලීසියෙන් ආවා නේ"
"ඒ මොකෝ ?" මමත් කලබලෙන් එහෙම ඇහුවා
“කවුද එකෙක් කංසා වගයක් අරං එනකොට පොලීසිය දැකලා ඒත් ඌ පැනලා දුවලා . ඌ දානෙ ගෙදරට රිංගුවද බලන්නයි හීල් පාන්දර ජාමේ පොලීසිය ආවේ .”
මම තේ කෝප්පේ හෝදලා එළියට ඇවිදින් යක්කු නැටුවා වාගේ තිවුණ වත්ත පිටිය ආයෙමත් සුද්ද කරන්න පටන් ගත්තා . වෙලාව ගත වුණා මට දැනුනේවත් නෑ ඔය අතරේ ගේ ඇතුළේ ඉඳන් වයසක කිරි අම්මලා දෙන්නෙක් එළියට බැස්සා. දෙන්නටම බෝම කෙඩෙත්තු පාටයි ඊයේ රෑ දානේ නිසා නිදි මරලා උදේ නින්ද යන්ඩ ඇති ඒකයි පිටත් වෙන්න පමා වෙන්න ඇත්තේ !
“සඳරු පුතේ !!” ආයෙමත් ලොක්අම්මා ගිල්ලාමුරේ තියන්න ගත්ත නිසා මමත් ඔළුව නමාගෙන ඒ පැත්තට ගෑටුවා .
“අනේ පුතේ මේ එතනා කිරි අම්මයි , මිසි හාමි කිරි අම්මවයි බස් එකට ගිහින් දාලා වරෙංකෝ උඹට පින් සිද්ධ වෙයි .”
ලොකු අම්මා එහෙම කීවේ ලොකු තාත්තගේ පරණ ජපං බයික්කේ යතුර මගේ අතට මිටි මොලෝන ගමන් .
“දෙන්නෙක්ව කෝමද ලොක්කම්මේ බයික්කේ තියාන යන්නේ ? අනික හෙල්ම.. . . ට්”
“ඉතින් ගොනෝ ඇල පාරෙන් පල. මේ හීල් උදේ පොලීසිය නෑ. හදිසියේවත් ඇහුවොත් කියහං මේ වයසක දෙන්නෙක්ව ඇරලවන්න යනවා කියලා .”
ලොකු අම්මත් එක්ක වාද කරලා වැඩක් නැති බව දන්න නිසාම මම බයික්කේ පණ ගන්වාගෙන පාරට ගත්තා . එතනා කිරි අම්මා මුලින්ම ඇවිදින් මයෙ කරෙන් අල්ලගෙන බයික්කේ පිටි පස්සේ අසුනේ ඉඳගනිද්දී තරමක් මහත මිසි හාමි කිරි අම්මත් ඇවිදින් ඒ අසුනෙම ඉඳගත්තා . පිටුපස අසුනේ හොඳට ඉඩ තිබුණ නිසාත් මම කෙට්ටු තරුණ හාදයා නිසාත් වැඩි අපහසුවක් නැති බව පෙනුණා.ඒත් මොහොතකින් මට තේරුම් ගියා බයික්කේ ගෙනියන්න තියෙන්නේ මේ වයසක උන්දැලා දෙන්නව විතරක්ම නෙවෙයි කියන වග .
“ඔහොම ඉඳින් පුතේ අපේ පිරිකර ටික ගේනකම් පොඩියක් ඉඳින්”
තව මොහොතකින් මම දැක්කා පොඩි කෙල්ලක් ප්ලාස්ටික් බේසම් දෙකකුයි තවත් මොනාදෝ මන්දා මලු දෙකකුයි උස්සාගෙන එන හැටි .
“ඔවුවත් ගෙනියන්න ඕනෙද අත්තම්මේ ?”
“නැතුං ! උඹ බය නොවී ඉඳ අපි මෙවුවා අතේ අරගන්නං උඹ මොටෝ සයිකලේ පැදහං ?”
අතින් කටින් බඩුත් කර පින්නාගත්තු කිරි අම්මලා දෙන්නා බයික්කේ පිටුපස අසුනේ ඉඳං ඉන්දෙද්දී මම බයික්කේ පාරට ගත්තා. තාර කඳුළක් නැති ඇල පාරට පයික් එක දාලා පැදගෙන යද්දී පාර අයින්නේ දිගේලි කරලා ඉන්න හරකුන්ගේ ඇඟේ වහන ගොං හපුටෝ මගේ ඇහැයි කටෙයි යන්න පටන් ගත්තා.හෙල්මට් නැති එකේ විපාකේ තමා .
ඔන්න ඔහොම ඇල පාරේ කිලෝමීටර දෙකක් විතර පෙරට යද්දී එකවරම දැක්ක දසුනෙන් මාව ගැස්සිලා ගියා.
පොලීයේ ජිප් එකක් සමග පොලිස් මාමලා රෑනක් පාර අයිනකට වෙලා කවුදෝ එනකම් පෙරමං බලා ඉන්නවා .හොඳට හෝ නරකට මගේ අතින් බයික්කේ වේගේ වැඩි වුණා . පොලිස් මාමලා “ඒයි ඒයි” කියලා හඬ තලද්දී මම තව තවත් බයික්කේ වේගේ වැඩි කළා . .
“අනේ පුතේ නවත්තහං පුතේ ! අන්න පොලීසිය පස්සෙන් එනවා නවත්තහං පුතේ .”
එතනා කිරි අම්මා අඬන්න තියාගත්තා . මිසි හාමි අම්මා ඉතිපිසෝ ගාථාව කියන හඬ මට යාන්තමට ඇහෙනවා . සයිඩ් කණ්ණාඩියෙන් ඊට වඩා බය හිතෙන දසුනක් පේනවා . ! පොලීසියේ 119 ජීප්පුව මගේ පස්සේ එළෝනවා !
වයසක උන්දැලා දෙන්නෙක්වත් තියාගෙන වළවල් පිරුණ පාරක හතළිහට වඩා වේගෙන් බයික්කෙක යනවා බොරු . ඒත් උස රෝද තියන ජීප් එකකට ඒක සුලු දෙයක් . ඉතින් මට මේ තරඟය නතර කරලා යටත් වෙන එක හොඳයි කියලා හිතුණා. වේගේ අඩු කල මම පාරේ අයිනේ කොට්ට පුළුන් ගහක් යට බයික්කේ නතර කළා විතරයි මම බයික්කේ ස්ටෑන්ඩ් එක ගහන්නත් කලියෙන් මා ගාවට දුවං ආපු උසස් පොලිස් නිලධාරි තුමෙක් මගේ දකුණු අතින් අල්ලාගත්තා . තවත් නිලධාරි තුමන්ලා රෑනක් මගේ වටේ පිරුණා.හරියටම කීවොත් ඉන්දියන් පොලීසිය වීරප්පන් කොටු කළා වාගේ.
“මොකෝ නතර කරන්න කීවාම කඩාගෙන යන්නේ කං ඇහෙන්නැද්ද ?”
“මහත්තයා මේ . . . !”
“තමුසේ කොහෙද ? ඇයි මේ තුන්දෙනෙක් දාගෙන ? කවුද මේ දෙන්නා ? බයික්කේ කාගෙද ? මල්ලේ මොනාද? කෝ හෙල්මට් ?, කෝ ලයිසන් ?, අයිඩී එක ගන්නවා බලන්න . ! මොකෝ තමුසේ ඇඹරෙන්නේ ? , පැනලා දුවන්නද හදන්නේ ? ඒව වානා !”
"අනේ නෑ නෑ මහත්තයා මම මේ බිමට බහින්න යන්නේ මාව පොඩ්ඩක් අතාරින්ඩකෝ මම බැහැලා සේරෝම කියන්නං"
වෙවුලන කටහඬින් මමත් උත්තර දුන්නා ඇත්තටම ඒ මොහොතේ මගේ ළඟ ෆෝන් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. අඩුම තරමේ ජාතික හැඳුනුම්පතවත් මා ගාව තිබුණේ නෑ .
"හා කියනවා බලන්ඩ ඒත් දුවන්ඩ ලැහැත්ති වෙන්ඩ එපා වෙඩි තියනවා !”
ඒ නිලධාරි තුමන්ලා අතේ තුවක්කුවක් නැති බව මම දැක්කත් බැටන් පොල්ලෙන් හරි වෙඩි තියන්න බැරිකමක් නැති නිසා මම දුවන් නැතුං ඉන්න තීරණය කළා .
"මහත්තයා උඩහ වංගුවේ සෝමපාල මහත්තයාගේ දිහෑ ඊයේ කිරි දානේ . මම ඉතින් ඒකට ආපු මේ වයසක කිරි අම්මලා දෙන්නව බස් එකට දාන්න කියලා එක්කං ආවා. පවුණේ පයිං යවන්ඩ බැනේ .”
“හ්ම් එතකොට මොනාද ඔය කලිසමේ ? ලේ නේද ?”
මගේ කලිසමේ තවමත් පෙනෙමින් තිබ්බ බුලත් කෙළ කහට පැල්ලම දිහා බලන ගමන් පොලිස් රාළහාමි උත්තමයෙක් හරස් ප්‍රශ්නයක් දැම්මා.
"අනේ මහත්තයෝ ඒ බුලත් කෙළ .”
"බුලත් කෙළ තමුන්ට ගහන්න තමුන් පඩික්කමක්ද ? ඇත්ත කියනවා ඔය කොහේ රිංගලාද තුවාල කරගත්තේ ?”
"අනේ බුදු පුතේ මේ අපේ සඳරු කොල්ලා . මුගේ කිසි වරදක් නෑ අනේ ඌට කරදර කරන්න එපා .” එතනා කිරි අම්මා අඬාවැටෙන්න ගත්තා .
"හරි හරි අම්මලා පොඩ්ඩක් කලබල නොවී මට ඔය මළුවල තියන දේවල් පෙනන්නඩ. ඔය දානෙ ගෙදර දිහාවේ ගංජා කාරයෙක් ඉඳලා තියනවා ඒකයි අපි මග රැකලා හිටියේ . “
පොලිස් නිලධාරි තුමෙක් කිරි අම්මලා අතේ තිබුණු සිලි මලු කීපය පරික්‍ෂා කරන්න පටන්ගත්තා . ගැහෙන හදින් මමත් ඒ දිහා බලාන හිටියා . හ්ම් ඒ මලු දෙකේ තිබුණේ කිරිබත් කෑලියි කැවුම් සහ කිරි කෑලි වගේ කෑම ජාති විතරයි .
“හොඳයි ඔය අම්මලා දෙන්නා නගින්න ජීප් එකට අපි බස් එකට ගිහින් දාන්නම් . හැබැයි කොල්ලෝ උඹට නම් පොලීසි එන්ඩම වෙනවා .”
"අනේ පුතේ උඹලට පිං . උඹල තාම කාලත් නැතිවැති මයෙ හිතේ..? ආ මේ කැවිලි ටික කන්ඩ"
කිරි අම්මලා දෙන්නා කැවිලි මලු දෙක එතන උන්නු ලොකු පොලිස් උත්තමයා අතට දුන්නා . ඒ උත්තමයට හීල්ලුණා.
"කමක් නැද්ද අම්මේ අපි මේව ගත්තට. ඇත්තටම ටිකක් බඩගිනියි අපි ඊයේ රෑ ඉඳලම මෙතන ?”
"අනේ කමන්නෑ දරුවෝ . ඒත් අනේ මේ පොඩි එකාව අතාරින්න . ඌ අප්ප නැති අසරණයා .”
"මෙහෙමයි අම්මේ ගංජා ගෝනියක් කර ගහගෙන කවුදෝ එකෙක් ඔය දානෙ ගෙදර දිහාට ඇවිදින් තියනවා. අපිට ඔත්තුව ලැබෙද්දී පොඩ්ඩක් පමා වුණා ඒ ඩිංගට මූ ගංජ ගෝනිය මේ කොහේ හරි හගලා මාරු වෙලා තියනවා . අපි මේ හදන්නේ ඔය ජරාව ඉස්කෝලේ පොඩි එවුං අතට යන එක නවත්තන්න අම්මේ .”
"ඉතින් මහත්තයෝ මේ දරුවා දානෙට උදවු කරන්ඩ ආපු එකෙක් විතරනේ අනේ ඌව ගෙදර යවන්ඩ මහත්තයෝ .”පවු එතනා කිරි අම්මා මම වෙනුවෙන් වැඳ වැටෙනවා
"හ්ම් තමා මේ අම්මලා දෙන්නා ඉස්සරහා දිවුරුවොතින් මේ ගැන දන්නේ නෑ කියලා අපි තමාව ගෙදර යවනවා .”
"අනේ මහත්තයෝ මම කියන ඕනෙ තැනක දිවුරන්නම් .”
"කොහෙවත් ගිහිං දිවුරන්ඩ ඕනෙ නෑ අයිෂේ මෙතන ඉඳන් දිවුරනවා .”
"අනේ මහත්තයා මේ පොළෝ තලේ පල්ලා මම ඔය ගංජා ගෝනිය ගැන දන්නෙම නෑ" මමත් මුලු හදින්ම දිවුරුවා
"මදි මදි . පොළොව පල්ලා කියලා දිවුරන්න කාටද මනුස්සයෝ බැරි ?”
"මයෙ වැදූ අම්මාපල්ල මම ඔයි කියන ගංජා ගෝනිය ගැන මෙලව සංසාර දෙයක් දන්නේ නෑ මහත්තයෝ .”
"ඒ ගංජා ගෝනිය ගැන නොදන්නවාය කියන්නේ තමුන් වෙන ගංජා ගෝනි ගැන දන්නවද ?”
උසස් නිලධාරී උත්තමයා එවුව යෝකර් පන්දුව හමුවේ සූදානමකින් තොරව උන්නු මම කොර වුණා
"ඔවු . ! නෑ නෑ ! මේ"
"සාජන් අපි මූව ගෙනියමු !”
"අනේ බුදු පුතේ ඕකව ගෙනියන්ඩ එපා පුතේ එතනා අම්මා ආයෙත් අඬවැඩියාව පටන්ගත්තා .”
"ඉතින් මම ඉවරයි" නොකළ වරදට පොලීසි යන්ඩ වෙයි කියලා හිතේ ඇති වුණ බයට මට ලොකු හුස්මක් ගැනුණා . ඒ හුස්මම ලොකු සුසුමක් වෙලා එළියට පිටවුණා .
"මොකෝ හූල්ලන්නේ ? නගිනවා ජීප්පෙකට. තමුංඟේ අහවල් එක ලාච්චුවක දාලා දෙකක් තුනක් දුන්නම යස අගේට කියයි ඇත්ත "
"අනේ මහත්තයෝ ? මං ඔය මුකුත්ම දන්නේ නෑ”
"තමුං ගාව අයිඩී එකක්වත් තියනවද නෑනේ අයිසේ . අනික තමුන්ට දිවුරන්න කීවම ඒ දිවුරුවෙත් සැක හිතෙන විදිහට. ඒ මදිවට තමුන්ට තියෙන්නෙත් ගුටි කන මූණක් . ඉතින් කොහොමද තමුන්ව අපි රිලිස් කරලා යන්නේ ?”
"මහත්තයෝ මම තමා අහවල් පොලීසියටම පරිගණක උගන්වන කෙනා බොරුණං දැං කෝල් එකක් දීලා බලන්ඩ"
කරන්නම දෙයක් නැති තැන මම අවසන් තුරුම්පුවත් ඇදලා දැම්මා .
"ඉතින් අපේ මොකෝ ? කවුරු කළත් වරද වරදමයි. හ්ම් හ්ම් හොඳ දරුවා වගේ නගින්න අපි ඔයාව පොලීසියට ගෙනියලා ප්‍රකාශයක් සටහන් කරගෙන වරදක් නැත්තම් ගෙනද්දාන්නං . ඔන්න මං හොඳින් කීවා !”
ඔය අතරේ පාරේ ගිය ගමේ එවුං කීප දෙනෙක් උන්ගේ ගමන් බිමන් නවතලා පොලීසියට මැදි වුණ මා දිහා උපහාසෙන් බලාන උන්නා. අඬන්න තරම් දුකක් හිතට දැනුණත් මම හිත දැඩි කරගෙන යටි තොල හපාගෙන ජීප් එකේ පළමු පඩියට යාන්තම් අඩිය තිබ්බා විතරයි මෙච්චර වෙලා නිහඬ උන්නු මිසි හාමි කිරි අම්මා බිම පෙරළෙමින් අඬන්න පටන්ගත්තා.
“අනේ බුදු සෑර් මේ දරුවව අතාරින්න කංස ගෝනිය ගෙනියවුවේ මයෙ ලොකු කොලුවා අජියා. ඌ ඊයේ රෑ දානෙ ගෙදර ආවේ මගෙන් රුපියල් 250ක් ඉල්ලගෙන යන්න. අනේ ඌ කංසා ගෝනිය බැද්දේ හංගන්ඩ ඇති සෑර් අනේ මේ දරුවව යවන්ඩ සෑර්. ඌ මේ මොනවත් දන්නේ නෑ ඌ මනුස්ස කමට අපිව ගෙදර ඇරලවන්න ආවේ .. “
ගිනි කන්දක් වගේ ඇවිලෙමින් තිබ්බ හිත හිම කන්දක් වගේ හීතල වෙලා නිවිලා යද්දී අඩවිය බාර පුල්ලෙයාර් දෙයියංගේ පිහිටෙන් ආනුභාවෙන් මම නිදොස් වුණා . ඒත් එතනා අම්ම ගැන මට හොඳටෝම දුක හිතුණා මම වෙනුවෙන් තමන්ගේ බඩෙන් වදාපු පුතාව පාවා දෙන්න තරම් උන්දෑ අවංක වුණා එහෙනම්.
එතනා අම්මට වරුවක් පොලීසියේ ඉඳලා එයැයිගේ පුත්තරයා ගැන ප්‍රකාශයක් දෙන්නත් සිද්ධ වුණා . ඔය අතරේ මම මුහුණ දීපු මේ සිදුවීම ගමේ හෑම අස්සක් මුල්ලක් නෑරම වෙනස් කතාවක් විදිහට පැතිරිලා ගිහින් තිබුණා . කට කතා වලට තටු තියන නිසා මට මේ වෙච්ච සිදුවීමට තව තව දේවල් එකතු වෙලා මා ගැන මහා අමන කැත කතාවක් ගමේ එවුං අතරේ පැතිරිලා තියන බවත් මම පසුව දැන කියාගත්තා .
සැපේදී වගේම දුකේදිත් මගෙත් එක්ක නිතරම ඉන්න මගේ පෙම්බරී ගේ කනටත් මේ කැත කතා බෝමයක් ගිහින් තිබුණා. මේ මුලු ගමම මට එරෙහි වුණත් ඒකි මාව විශ්වාස කළා . අන්තිමේදී මේ කතාවට මුල් වෙච්ච ගංජා ගෝනිය සහ ඒකේ සාඩම්බර හිමිකරු පොලිස් අත් අඩංගුවට පත් වුණාට පස්සේ කට කතා සේරෝම වාගේ අවසන් වුණා . මං ගැන ගතු කියමින් උන්න එවුන් ආයෙමත් මගේ ගුණ වයන්න ගත්තා . මමත් පහු ගිය දොහේ වෙච්ච මේ මරිසි සිදුවීම් අමතක කරලා ආයෙමත් ලියන්න ගත්තා.
මට මගේ ජීවිතේට අමතක නොවෙන මම මුහුණ දුන් අමිහිරිම සිදුවීම මේකයි. කොහොමින් කොහොම හරි දැන් ඒ සේරෝම ඉවරයි. ඒත් විටෙන් විට මට හිතෙනවා මේ කරදර එන්නේ මාව හොයාගෙන විතරක්ම දෝ ? කියලත් .
“අනේ බුදු සෑර් මේ දරුවව අතාරින්න කංස ගෝනිය ගෙනියවුවේ මයෙ ලොකු කොලුවා අජියා. ඌ ඊයේ රෑ දානෙ ගෙදර ආවේ මගෙන් රුපියල් 250ක් ඉල්ලගෙන යන්න. අනේ ඌ කංසා ගෝනිය බැද්දේ හංගන්ඩ ඇති සෑර් අනේ මේ දරුවව යවන්ඩ සෑර්. ඌ මේ මොනවත් දන්නේ නෑ ඌ මනුස්ස කමට අපිව ගෙදර ඇරලවන්න ආවේ .. “
ගිනි කන්දක් වගේ ඇවිලෙමින් තිබ්බ හිත හිම කන්දක් වගේ හීතල වෙලා නිවිලා යද්දී අඩවිය බාර පුල්ලෙයාර් දෙයියංගේ පිහිටෙන් ආනුභාවෙන් මම නිදොස් වුණා . ඒත් එතනා අම්ම ගැන මට හොඳටෝම දුක හිතුණා මම වෙනුවෙන් තමන්ගේ බඩෙන් වදාපු පුතාව පාවා දෙන්න තරම් උන්දෑ අවංක වුණා එහෙනම්.
එතනා අම්මට වරුවක් පොලීසියේ ඉඳලා එයැයිගේ පුත්තරයා ගැන ප්‍රකාශයක් දෙන්නත් සිද්ධ වුණා . ඔය අතරේ මම මුහුණ දීපු මේ සිදුවීම ගමේ හෑම අස්සක් මුල්ලක් නෑරම වෙනස් කතාවක් විදිහට පැතිරිලා ගිහින් තිබුණා . කට කතා වලට තටු තියන නිසා මට මේ වෙච්ච සිදුවීමට තව තව දේවල් එකතු වෙලා මා ගැන මහා අමන කැත කතාවක් ගමේ එවුං අතරේ පැතිරිලා තියන බවත් මම පසුව දැන කියාගත්තා .
සැපේදී වගේම දුකේදිත් මගෙත් එක්ක නිතරම ඉන්න මගේ පෙම්බරී ගේ කනටත් මේ කැත කතා බෝමයක් ගිහින් තිබුණා. මේ මුලු ගමම මට එරෙහි වුණත් ඒකි මාව විශ්වාස කළා . අන්තිමේදී මේ කතාවට මුල් වෙච්ච ගංජා ගෝනිය සහ ඒකේ සාඩම්බර හිමිකරු පොලිස් අත් අඩංගුවට පත් වුණාට පස්සේ කට කතා සේරෝම වාගේ අවසන් වුණා . මං ගැන ගතු කියමින් උන්න එවුන් ආයෙමත් මගේ ගුණ වයන්න ගත්තා . මමත් පහු ගිය දොහේ වෙච්ච මේ මරිසි සිදුවීම් අමතක කරලා ආයෙමත් ලියන්න ගත්තා.
මට මගේ ජීවිතේට අමතක නොවෙන මම මුහුණ දුන් අමිහිරිම සිදුවීම මේකයි. කොහොමින් කොහොම හරි දැන් ඒ සේරෝම ඉවරයි. ඒත් විටෙන් විට මට හිතෙනවා මේ කරදර එන්නේ මාව හොයාගෙන විතරක්ම දෝ ? කියලත් .
නිමිස් .!
ප/ලි - රාජකීය විද්‍යාලයේ අසෙනිය කුසුම සාහිත්‍ය උලලේදී හිස් අහස බ්ලොග් කෑල්ලටත් හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය සහ හොඳම බ්ලොග් අඩවිය කියලා සම්මාන දෙකක්ම ලැබුනා නේ . ගොඩ දෙනෙක් මට සුබ පැතුවා . සුබ පැතුවේ නැති ඈයොන්ට දැන් ඉතින් සුබ පතන්ඩ බැරියැ.
කියවන අය දුන්න හයිය හත්තිය නොවෙන්න හිස් අහස බ්ලොග් එක වැහිලා යන්ඩ ඉඩ තිබුනා. ඉතින් බ්ලොග් එක කියෝලා වගේම අදහස් දීලා මට සහය දුන්න හැමෝටම ස්තුතියි !