26.4.12

වස්තුහාමි ගේ කතාව



පුංචි සන්දියේ පටන්ම අපි දන්න කියන අපේ ගමේ එකෙක් වෙච්චි වස්තු හාමිට අයියා කියන්නද? අක්කා කියන්නද? කියලා මට තවමත් හිතාගන්න අමාරුයි. ඒත් මුලදී නම් අපි කාටත් ඌ වස්තු හාමි අයියා.

වස්තු හාමි අපිට වඩා වෙනස් චරිතයක් බව අපි පොඩි එවුං කාලේ ඉඳන්ම දැනං උන්නා. එකට උන්නු කොලු රැළ ගිනි මද්දහනේ පන්දු කෙළිද්දී වස්තුහාමි අයියා ගස් හෙවණකට වෙලා ඉඳගෙන උන්නා . කොලු කමට හොර පොල් කඩන්න අපි වත්තකට පනින්න සැලසුම් කරද්දී වස්තුහාමි අයියා ගිහින් වැඩිහිටියෙකුට ඒ ගැන ගතු කේලම් කීවා . වංගියක් ඌ තනියම හීන් හඬින් කවි කීවා. තවත් වංගියක බැද්දෙ ගිහිං මල් කැඩුවා .ගමේ කොල්ලෝ ඉඩ ලැබුණු හෑම වෙලාවකම වස්තුහාමි අයියට කොලොප්පම් කළා .

අඩා වස්තුහාමි උඹ කුස්සියේ වැදිලා තලප හැඳිගාපං. උඹ කෙල්ලෙක් නේ අඩා”

අපි කොයිතරම් ඌට කොලොප්පම් කළත් ඌ නෙවෙයි අපි එක්ක හීනියට වත් අමනාප වුණේ . වලං මැට්ට පෑගෙද්දී තව තව පදම් වෙනවා වගේ ඌත් අපි එක්ක තව තවත් රැහේ වැටුණා. කොයිතරම් රැහේ වැටුණත් ඌ අපි එක්ක වැවේ නාගන්ඩ වත්, පොරේ වැටෙන්නවත් කිසිම දාක ආවේ නැති විත්තිය මට හොඳට මතකයි.

අපේ ගං තුලානේ වැඩිහිටියෝ, පොඩි එවුං අතරේ මහ පුදුම බැඳීමක් තිබුණා .ගමේ කාටත් තව කෙනෙක් එක්ක අමනාප වෙලා වැඩි දවසක් ඉන්න අමාරුයි. වැඩිහිටියන්ගේ ඒ ගතිය පොඩි එවුන් වෙච්ච අපිටත් හොඳාකාරවම පිහිටලා තිබුණේ කොටි පැට්ටුන්ට දඩයමේ යන්ඩ උගන්නන්ඩ ඕනෙ නැතුවා වගේමයි.

අපි වස්තුහාමි අයියට කොයිතරම් කොලොප්පම් කළත් ඌව කොන් කරලා තියන්න කිසිම අදහසක් අපිට තිබුණේ නෑ . ඌ කොයි වෙලෙත් තනිවෙලා කාලෙ ගෙවන්න හැදුවත් අපි ඌව අමතක කරලා දාලා නිකම්ම උන්නෙත් නෑ . ඌව අපේ ගානට ගන්න අපිත් පුළුවන් තරම් වලිකෑවා .

වස්තු අයියා මොකක් බං උඹේ ඔය හැටි සෝමාරි කම ? වරෙංකො බං අපි එක්ක සෙල්ලං කරන්ට”

අපි එහෙම කියද්දි වස්තු හාමි අයියා ඉඳන් මෙහෙම කියනවා

මට බැරුං ඔය උඹලා වගේ වැල්ලෙ නටන්ටයි තුවාල කරටන්ටයි .” 

වස්තු හාමි අයියා අපිත් එක්ක ඉන්න වෙලාවට කල සමහර විගඩම් නිසා අපිට පුදුම හිතුණ වාර නම් එමට තිබුණා

ගමේ එකටම උන්නු අපේ යාළු මිත්තරයෝ සමාගමට මුත්‍රා බරක් දැනුණාම ඒ බර හෑල්ලු කරගන්න තැන නොතැන බැලීමක් තිබුණේ නෑ . ගහකට , ගලකට හෝ බිච්චියකට ඒ බර නිදහස් කරලා අපි සාමාන්‍ය විදිහට උන්නත් වස්තුහාමි අයියා එහෙම කළේ නෑ . ඌට මුත්‍රා බරක් දැනුණාම ඌ බැද්දේ ඈතටම ගිහින් ඒ බර හෑල්ලු කරගෙන ආවා .

අඩෝ වස්තු උඹේ අහවල් එක රත්තරන්ද බං ? ඔච්චර හැංඟිලා හුජ්ජ කොරන්න යන්නේ”

කට කැඩිච්චි කොල්ලෙක් එහෙම කියාපු දාට වස්තුහාමි අයියත් නිකම්ම උන්නේ නෑ

උඹලට ලැජ්ජ නැතුවට මං මුනා කරන්න ?” 

වස්තුහාමි කල ඔය වගේ වැඩ නිසා කොලු රැළ ඌව නිතරම කොලොප්පමට ගත්තා ඒත් උගේ අමුතු වැඩ නෙවේ යන්තමට වත් අඩු වුණේ . රොමියෙල් අප්පු මාමලාගේ ගෙදරදී ඌ කරපු තවත් වැඩක් ඒ බවට සාක්කි.

රජේ රස්සාවක් කරවුව රොමියෙල් අප්පු මාමා එක දවසක් උගේ ගෙදෙට්ට පරණ ඩෙක් දණ්ඩකුයි දොඹ සයිස් පීකර දෙකකුයි ගෙනවා. එදා ඉඳන් හැමදාකම හැන්දෑ වරුවේදී ගමේ කොල්ලෝ වැඩිහිටියෝ සෑහෙන ගණනක් එහේට එකතු වෙලා චිත්තරපටි බැලුවා. ඒ හැම චිත්තරපටියක්ම බොහෝම පරණ සිංහල ඒවා. ඒ චිත්තරපටි වැඩිහිටියන්ට අල්ලලා ගියාට අපිට නම් පුදුම විදිහට අප්පිරියා වෙලයි තිබුණේ.

රොමියෙල් අප්පු දෙමහල්ලෝ රස්සාවට යන හන්දා උදේ වරුවේ නම් උන්දැගේ ගෙදර කවුරුවත් හිටියේ නෑ . ඉතින් වංගියක් අපි රොමියෙල් මාමගේ ලොකු පුතා බන්දුට කන්නලවු කරලා කරලා මයෙ තැපැල් හැඳුනුම්පත ඇපේට තියලා ටවුමෙන් ගෙන්න ගත්තු චීන හටන් තියෙන ඩෙක් පීස් එකක් බලන්න කතා වුණා.

පහුවදා ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් පිටත් වෙලා පොඩි දුරක් ගියපු අපි ආපහු හැරිලා කැලෑ පාරකින් රොමියෙල් මාමලෑ ගෙදෙට්ට රිංඟුවා . රොමියෙල් මාමගේ පුතන්ඩියා හදා දුන්නු තේ කහට උගුර ගානේ බොන ගමන් අපි උපන් තේකට නොදුටු චීන හටන් තිබිච්චි චිත්තරපටිය බලන්න ගත්තේ හිතේ කොනක හැංඟුන පුංචි බයකුත් එක්කයි . “මොකෙක් හරි අපිව දැකෝතින් නම් අපි කපෝතියි” කාගෙ කාගෙත් හිත් වලට එහෙම දැනෙන්න ඇති . ඒත් චීන හටන් බලන්න තිබුණ ආශාව හන්දම අපි කවුරුත් ඉස්කෝලේ ඇඳුම් පිටින්ම ටීවී එක වටේ වට වෙලා කටවල් වලින් ඒ දිහා බලන් උන්නා .

මොහොතකින් හටන ඇරඹුණා .ඩෙක් පීස් එකේ උන්න චීන නළුවා උගේ පෙම්වතිය බේරගන්ට තවත් චීන්නු හැට හැත්තෑවක් එක්ක හරි හරියට පොරේ !. තේ කෝප්ප අත් වල තියාගත්තු අපිත් ඉහළ ඇද්ද හුස්ම පහළට නොගෙන අත් මිටි මොළවාගෙන ගැහෙන හදින් ඒ දිහා බලාන උන්නේ ගුඩු කරපු පොල් ගෙඩි වගේ . ඒත් සටන අවසාන මොහොතට ලං වුණාම අපි කවුරුත් බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වුණා.

අගුළු දා වහලා ගෙදර දොරට කවුදෝ දුන්නු බර පා පහරක් හන්දා ඒ දොර කොන්ඩිපට්ටම් වලින් ගැලවිලා බාගෙට විවර වුණා

බාගෙට ගැලවුණු දොරින් ගේ ඇතුළට පැන්නේ රොමියෙල් අප්පු මාමා !.
උගේ මූණ අලවු යකාගේ මූනටත් වඩා බියකරුයි , ඇස් දෙක ගොරකා යකාගේ ඇස් දෙකටත් වැඩියෙන් රතුවෙලා .

උඹලා ඉස්කෝලේ යනවා කියලා මුනා මේ මේ බලන්නේ ?

අනේ මාමා අපි මේ චීන් හටන් තියන පී. . ස් එකක් බලන්ඩ . . “
 
රොමියෙල් මාමට වග උත්තර බඳින්න අපි උත්සහ කරන අතරේ අපේම කරුමේ එතනදිත් හරහට හිටියා

චීන්නු රොත්තටම හතර අතට නෙලලා දිග්විජය කල චීන නළුවා උගේ පෙම්වතියව බඩට වඩාගෙන තොල්පටි වලින් මහ අසික්කිත හාදුවක් දුන්නා ඒ හාද්ද දැක්ක රොමියෙල් අප්පුහාමි මාමට මරුවා නැංඟා !

හත්තිලවුවේ ! අර වස්තුහාමි පුතා කීව කතාව ඇත්ත උඹලා මේ ගේ ඇතුළට වෙලා අසික්කිත චිත්තරපටි බලවුවා නේද ? දැං කෝමද යකුනේ මම ගමේ උන්ට මූණ දෙන්නේ මේ අටමගලේ තමා මෙවුවට මුල .” 

එහෙම කියවුව රොමියෙල් මාමා ඩෙක් පෙට්ටිය දෑත බදලා උස්සලා පොළවේ ගැහුවා .උතුර දකුණ මාරු වෙච්ච අපිත් ඔළුව හැරුණ අත දුවලා කැලේක හැංඟුණා

පහුවදා උදේ ගෙවල් වලින් හම්බ වුණ ගුටි පූජාව නිසා ඇදුම්කන අත පය වල පොල් තෙල් උලා කියාගෙන අපිත් ඉස්කෝලෙ යන්න පිටත් වුණා .වීරයෝ වගේ අඩිය තිබ්බත් අපේ හිත් වල තිබුණේ මහා ලොකු ලැජ්ජාවක් .එක හාදුවක් නිසා අපි බලාපු චීන හටන් චිත්තරපටිය අසභ්‍ය බවට රොමියෙල් අප්පු මාමාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල රැඟුම් පාලක මණ්ඩලය තීන්දු කරලා තිබුණා .

අපි අසභ්‍ය චිත්තරපටියක් බලා ඇති බව ගං තුලානේ හෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා තිබුණා. ඒ කාලේ හැටියට සහ අපි උන්නු වටපිටාවේ හැටියට අපි කරලා තිබුණේ සමාව දෙන්න බැරි තරමේ මහා ලොකු වරදක් ! . ගමේ එවුංවොන්ගේ කටවල් වලින්ම කියනවා නම් අමු කුපාඩි කමක් ! .

ඕකුං ඔවුවා බලලා තව මොනවා කරනවාද දන්නෑ ? කෙල්ලෙක් වත් ඕකුංට පෙන්න නාන තොටේ තියනවා නෙවෙයි !” 

සුමනාවතී උපාසක අම්මා මම ඉස්සරහ පිටම උඩහ ගෙදර ධනපාල මාමා එක්ක කියද්දි මගෙ සකල සරීරෙම හිරි වැටිලා ගියා .

වස්තුහාමියා අපිව කෑවා !!හැමෝගෙම කටවල් පල්ලෙන් බේරුණේ ඔය වචනේ විතරයි
අන්තිමේදී මේ සිදුවීමට මුහුණ දුන්නු අපි හැමෝම තිරණයක් ගත්තා. මේ හැම දේටම මුල් වෙච්ච කේලම් කාරයා වෙච්ච වස්තුහාමිට අමතක නොවෙන පාඩමක් උගන්වන්න ඕනෙ කියලා කොයි කවුරුත් කතා වුණා.

එදා හැන්දෑවේ කුණු ඇල පිටිපස්සේ තිච්චි කැටකෑල ගහේ වස්තුහාමි අයියව කොහු ලණුවකින් බැඳ දාලා තිබුණා . රංජිත් සහ බන්දු උගේ කටට කොහොඹ කොළ ඔබද්දී සිරිමෙවන් සහ පැට්ටා උගෙ ඇඟට දිමි ගෝට කඩලා දැම්මා .

සත්තයි ආයේ එහෙම කරන්නේ නැතෝ ! මට යන්න දියංකොයි .!වස්තුහාමි අයියා අඬන්න තියාගත්තා.

කඳුළු පෙරමින් අඬන වස්තුහාමි අයියා දැක්කම මොහොතකින් අපි කොයි කාටත් දුක හිතුණා . මොනා වුණත් මූ අපේ එකෙක් . අපි හනි හනිකට උගේ බැමි ලිහලා දිමි කාපු තැන් වලට මෙන්ටේරියා කොළ තළලා තියලා ඌව ගෙදර ගෙනිහින් දැම්මා .එදයින් පස්සේ මම දන්න තරමින් අපේ කාණ්ඩෙ කිසිම එකෙක් වස්තුහාමි එක්ක වැඩි ඇයි හොඳයියට ගියේ නෑ. ඌට කොලොප්පම් කළේ වත් ඌ ගැන හෙවුවේ බැලුවේ වත් නෑ . කෙටියෙන්ම කීවොත් ඌ කොන් වුණා .

ගමේ කොල්ලෝ වස්තුහාමිව කොන් කරද්දී ගමේ කෙළි පැට්ක්කියෝ ටික වස්තුහාමි වටේ වට වුණේ ඇයිද කියන්න මම තවම දන්නේ නෑ . ඉස්කෝලේ ගියත් දහම් පාසලට ගියත් වස්තුහාමි හිටියේ කෙල්ලො එක්ක විතරමයි . ඌ අපිත් එක්ක ඉඳිද්දී මූණේ නොතිබිච්ච අමුතු හිනාවක් කෙල්ලො එක්ක ඉන්නකොට උගේ මූණේ ඇඳිලා තියන හැටි කොයි කවුරුත් දකින්න ඇති .

එවුන්ට හොඳ නම් අපේ මොකෝ ?අපිත් කරබාගෙන උන්නා

කාලෙ ගතවෙද්දි බාල කාලේ හිමිදිරිය ගෙවමින් උන්නු අපේ ජීවිතත් මද්දහනෙට ලං වුණා . ඇඟ පත, කර දඬු උස් මහත් වෙද්දී පැට්ටු වගේ උන්නු අපිත් හාල් දන්ඩෝ වුණා . හරි හැටි ඉගෙන ගත්ත එවුන් විස්ස විද්‍යාලෙට පද්දන අතරේ යන්තම් බේරිච්චි එවුන් පුංචි පහේ රස්සා කරන්නත් , යලටත් නැති මහටත් නැති එවුන් විතරක් ගමේ පාරවල් කඩ පිල් වලත් ඉතිරි වුණා . වස්තු හාමි අයිය නම් අයිති වුණේ විස්ස විද්‍යාලෙට. කෙල්ලො එක්ක පාඩම් කල හන්දත් අපි වගේ සෙල්ලමට මුල් තැන නොදී පොතට කාලේ වෙන්කළ හින්දත් ඌ විස්ස විද්‍යාලෙට තේරිච්ච එක අපි කාටත් අරුමයක් වුණේ නෑ .

දවසක් දා අතින් කටින් බඩු මුට්ටු කරපින්නාගෙන වස්තුහාමි අයියා ගමෙන් පිටත් වෙලා නගරේ බෝඩිං වෙන්න යන්න පිටත් වුණා . ඌට අපිව දාලා යන්ඩ දුකක් තිබුණේ නෑ . ඌ යන්න කලින් දවසේ ගමේ කෙල්ලෝ හැමෝටම ඌ යන විත්තිය කියලා තිබුණත් අපිව නම් බලන්නවත් ආවේ නෑ . අපිටත් ඌ ගැන වගේ වගක් තිවුණේ නෑ !.

නගරේ විස්ස විද්‍යාලෙට තේරුණු වස්තු හාමි අයියා කීප වංගියක් ගමටත් පැද්දුවා. ඒත් වැඩි දොහක් ගමේ රැඳෙන් නැතුං ඌ ආයෙත් නගරෙටම පරන්දු වුණා.ඌ ආයෙ ගමේ ආවෙම නෑ. කාලේ ගෙවෙද්දී කාට කාටත් ඌව අමතක වෙලා ගියා . ඔය විදිහට අවුරුදු ගාණක් ගෙවුණා .

වංගියක් ටවුමේ පොළට ගියපු මම අතින් කටින් බඩුත් එල්ලගෙන බස් එකක් එනකල් බස් නවත්තන නුග ගහ පල්ලේ ඉඳගෙන පාර බලං උන්නා . පාර දිහා බලාන හිටපු මම කවුදෝ කතා කරන හඬකින් ආපහු හැරිලා බැලුවා .මගෙ පිටිපස්සේ උන්නේ මම ජීවිතේට දැකලා නැති ගෑනු පරාණයක් . අරුමෝසම් බඩු අතේ කරේ පුරෝගෙන හිටි උන්දෑ අඩි උස උල් සපත්තු දෙකක් දාලා ඕනෑවට වඩා තොල් රතු කරගෙන උන්නා . ඇඟේ දැවටුණු සාරිය ඉස්තරම් එකක් වගේම කනේ එල්ලං උන්නු කඩුක්කන් දෙකත් වටිනා එවුවා බව මම එක බැල්මකින්ම තේරුම් ගත්තා .

සල්ලි කාර නෝන කෙනෙක් ! මම හිතෙන් මිමිනුවා

මල්ලිට මාව අඳුනන්න පුළුවන්ද ?

බෑ මිසී කවුද ?

මල්ලියේ මම පොඩි කාලේ උඹලත් එක්ක හිටි වස්තු

මට මගේ ඇස් අදහා ගන්ට බැරි වුණා මගෙ ඉහෙන් කණින් දාඩිය බේරෙන්න වුණා. ඇත්තටම ඒ උන්නේ වස්තු හාමි

ඔහෙපලයං. .! ඌ ගෑනියෙක් වෙලා . කලින් නමට විතරක් ගෑනියෙක් වෙච්චි ඌ මොන දහංගැටයක් දාලා හරි හැබෑවටම ගෑනියෙක් වෙලා. උරහිස ළඟට යනතුරු කඩා හැලෙන කොණ්ඩේත්. කන් දෙක පල්ලෙන් එල්ලෙන කඩුක්කන් දෙකත්, ළඟින් හමන කොලොන් සැරත්, ඇඟ වැහිලා තිබුණු සාරියත්, පමණට වඩා ලොකු පියයුරු දෙකත් අමතක කළානම් ඌ පරණ වස්තුහාමිම තමා.

නගරෙට ගිය වස්තුහාමි හාමිනේ වෙලා ඕං ඔහොම ගමට ආවා. උන්දෑ විස්ස විද්‍යාලේ ගිහින් ගමට ගෙනාපු උපාධියක් නම් නෑ. ඒ වෙනුවට ගමේ කිසිදාක නොතිබ්බ විගඩමක් වෙච්චි ගෑනු සැලුන් එකක් පටන් අරං ගෑනුන්ගේ කොණ්ඩෙ, ඇහිබැම් හැඩ කරන්න පටන්ගත්තා. ගමේ කෙලිච්චියෝ ටික වස්තුහාමි වටේ හනිකට එකතු වෙච්ච හන්දා උගේ සැලුන් එක ජයටම නැගලා ගියා . හැබැයි ඒ නැගලා ගිය වේගෙන්ම බැහැලා ගියා .මුලදී කෙල්ලෝ ඒ සැලුන් එකට යන්න ගත්තත් ගෙවල් වලින් උන්ට දඬුවම් කල හන්දා ටිකෙන් ටික වස්තුහාම්ගේ සැලුන් එක පාළුවට ගියා .

රටට ලෝකෙට වැඩි අරුමයක් නොවුන ඔය ලිංග විපර්‍යාසය කියන දේ අපේ මේ වැවුගම්පත්තුවට නම් අරුමයක්ම වුණා. ඉතින් අලුත් වස්තු හාමිනේව පිළිගන්න ගමේ කිසි කෙනෙක් සූදානම් වුණේ නෑ. ගමේ කවුරුත් වස්තු හාමිනේට බය වුණා ඉතින් උන්දෑ සැලුන් එක වහලා දාලා ආයෙත් නගරෙටම පරන්දු වුණා.

වස්තු හාමිනේ දැන් නම් කොයි ලෝකේ ඉන්නවද කියන්න මම නම් දන්නෙ නෑ .ඒත් මම හිතෙනවා මම මැරෙන්න කලියෙන් ආයෙමත් වංගියක් ඌව දැකගන්න හැකි වේවි කියලා . කාට කොහොම වුණත් මට නම් ඌ තවම අපේ එදා උන්නු වස්තුහාමි අයියාම තමා

නම මනංකල්පිතයි

කෘතීම රසකාරක කිසිත් නොදා ඇති කතාව ඇත්තයි .! 

සිත්තම නිරෝෂන් කරුණාතිලක

රැජින පත්තරේට ලියවුව කතාවක්.



21.4.12

ජනාධිපති ලේකම් තුමන් බැහැදැක ගතිමි





   මේ පහුගිය දවසක මටත් අමුතුම චෑන්ස් එකක් වැදුණා . ගෙදෙට්ට වෙලා අට්ටං වෙලා උන්නු මට දැනගන්න ලැබුණු ඒ පයිණ්ඩේ තමයි ජනාධිපති ලේකම් තුමාව බැහැදකින්න අවස්ථාවක් ලැබිලා තියනවා කියන වග . ස්ලම්ඩෝග් මිලියනයර් ෆිල්ම් එකේ පොඩි එකා අමිතාබ් බච්චන් බලන්න නොයිවසිල්ලෙන් උන්නා වාගේ හැඟීමක් මගේ හිතටත් නොදැනුනාය කීවොත් ඒක බොරුවක්

එදා දවසේ මට උගන්වන්න තිබ්බ පරිගණක පන්ති ටික සේරම කලින් අවසන් කරලා දාලා මම කලින් ගෙදර ගියේ ගෙදර අයටත් ගමේ අයටත් මේ ගැන පොඩි විස්තරයක් කියලම ලකුණක් දෙකක් දාගන්නම් කියලා හිතේ යටි අරමුණකුත් ඇතිවයි .


රටේ බැබළෙනනවට වඩා මම ගමේ බැබලෙන්න කැමතියි . ඒත් මෙතුවක් කල් නොවුණෙත් ඒකමයි . බ්ලොග් එක නිසා මා ගැන ගොඩක් හොඳ දේවල් අන්තර් ජාලයේ හිංගල ඒරියා එකේ යන්තම් පැතිරිලා තිබ්බත් ගමේ එවුං නම් මාව හැමදාමත් හැඳින්නුවේ රස්තියාදු ගසන්නෙක් හෙවත් වීදි සංචාරයේ යෙදෙන්නෙක් විදිහටයි . ඉතින් එහෙවු මම රටේ උසස් පුද්ගලයෙක් හමුවට යනවා කියන එක ගමේ එවුං කොහොමට දරාගනීවිද ? . ඒ ගැන හිතට නැගෙද්දී මට නොදැනීම හිනාවක් ගියා


එදා මම ගෙදර යන්න කලින් හන්දියේ තේ කඩේට පොඩ්ඩක් ගොඩ වුණේ තේකෝප්පයක් බොන ගමන් මගේ මේ හමුව ගැන පොඩි පම්පෝරියකුත් ගමේ එවුන්ට ඇද බාන්න ඕනෙයි කියලා හිතේ යටි අරමුණකුත් රඳවාගෙනයි .

අද නම් ගමේ එවුන් දැන ගනීවි මේ සඳරුවා කියන්නේ කවුද කියලා !

මගේ යටි හිත මට චියර් කරන්න ගත්තා . මමත් කඩේ ඇතුළට ආවේ පුදුම ආවේගෙකින්


මගේම වෙලාවටද කොහෙද එදා ඒ පොල් අතු කඩේ ඇතුළේ හත් අට දෙනෙකුගෙන් යුත් සෑහෙන ගමේ උන් පිරිසක් කල් මරමින් හිටියා . මමත් කඩේ ඇතුළට ගිය ගමන්ම වීදුරු සෝකේස් එක ඇරලා රොටියක් අතට ගත්තේ මොනා හරි හපන ගමන් මේ ආරංචිය ගමේ එවුන්ට ඇදලා දැම්මොත් තවත් ටිකක් රහ කරලා ඒක කියන්න හැකි කියලා මට හිතුණ නිසයි

නැන්දේ මම රොටියක් ගත්තා මට තේකකකුත් දාන්ඩකොයි ! සල්ලි ලබන සතියේ දෙන්නම්

ඇයි උඹ මහ ඒජන්තද ණයට ගිලින්න ආවේ ?

කඩේ නැන්දා මුකුත් නොකියා ඉඳිද්දී කොහෙන්ද ආපු ගමේ එකක් මගෙන් හරස් ප්‍රශ්නයක් ඇහුවා

උඹලා වගේ නෙවෙයි මම පඩි ගත්ත දාට ගානට හීන් හිරුවේ ණය බේරනවා

අපොයි ඉතින් අපි නොදන්නවැයි සඳරු මල්ලියේ උඹ ගැන !

උඹලා මම ගැන නොදන්න දේවල් ගොඩක් තියේ බං . ?

මමත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන මගේ ගැන ගමේ එවුන්ට පාරම්බාන්න උපරිමේට ට්‍රයි එකක් දුන්නා .

ඔවු වොවු අපිට හොරෙන් උඹ කල මගෝඩි වැඩ තව එමට ඇති !

කෙහෙම් මල් මගෝඩි වැඩක් නෙවෙයි බං මට ඔන්න ලබන සතියේ කොළඹ යන්ඩ වෙලා !

මම පුළුවන් තරම් උජාරුවෙන් කීවා

පුතේ උඹ පෝන් බිල් එක ගෙවන්නේ නැතුං උන්නා නේද ? ඒකට නඩු වැටිලා උඹට අලුත් කඩේ උසාවියට එන්න කියලා ලියුං එවලා ඇති .. මයෙ නඟාගේ ලොකු කොල්ලටත් ඕකමයි වුණේ !

ප්ලේන්ටි බිබී උන්නු ජයතිලක මාමා එහෙම කියද්දී ගමේ එවුන් හීනියට හිනා වෙන්න පටන් ගත්තා .මගෙත් ඉවසීමේ සීමාව පැනගෙන එන්නයි හදන්නේ .. !

නෑ නෑ මට ජනාධිපති ලේකම් තුමාව හම්බෙන්න තියනවා . ! ඒකයි මම කොළඹ යන්නේ

කඩේ හිටපු එවුංගෙන් වැඩි දෙනෙක් හප හපා උන්නු බුලත් හප විහික් කරලා දාලා මහ හඬින් හිනා වෙන්න ගත්තා . සමහරු උණු ප්ලේන්ටි ඇඟේ හලා ගද්දි . තවත් ඒකෙක් දෙනෙක් සැරේට හූවකුත් තිබ්බා .

දැං උඹලා හිතන්නේ මම කියන්නේ බොරු කියලද ?

මම තරහින් එහෙම අහද්දී . කඩේ මාමා ඒකට උත්තර බැන්ඳා !

පුතේ ළඟ ළඟම පෝයත් එන එකේ බොරු කියන්ඩෙපා !

බොරු නෙවේ මාමා මම කීවේ සහතික ඇත්ත මේ මයෙ වැදූ අම්මා පල්ල ! මට ලලිත් වීරතුංඟ මහත්තයා හම්බෙන්ඩ දින දීලා තියේ .

අනේ පල පල සඳරු මෙතන අම්ම අරං බොරුවට දිවුරන්නේ නැතුං ! තොට බොරුවට දිවුරව්වොත් සහ ගහනවා . !

මම මෙතන මැරීගෙන කීවත් එකෙක්වත් මාව විශ්වාස නොකරන විත්තිය මම හොඳට දැනගෙන උන්නා . ඒක නිසා තේ කෝප්පේ ඉවර වෙනවාත් එක්කම මමත් කඩෙන් එළියට බැහැලා යන්ඩ ගියේ ටිකක් කලකිරීමෙන් .

මම ගමේ වපුරපු දේවල් වල අස්වැන්න තමා මට මේ ලැබෙන්නේ. . ! එකෙක්වත් මාව ව්ශ්වාස කරන්නේ නෑ කමක් නෑ උන් සේරොටම පෙනේවි මම කවුද කියලා එහෙනම් . මමත් හිතෙන් හිතමින් ගෙදර දිහාට යන්න ගියා .

එදා රෑ නින්දට යද්දිත් මට හිතුණේ මේ ගැන . ඔය උසස් ඇත්තන්ට නොයෙක් වැඩ වැටෙනවා . මට දීලා තියන චෑන්ස් එක ඒ උදවියට අමතක වේවිද ? සැහ් එහෙම වුනෝතින් මම ගමේ වසලත් හමාරයි . අපරාදේ මම පම්පෝරි ගැහුවේ !

අනේක වාර ගණනක් මට එහෙම හිතෙන්න ඇති


කොහොමින් කොහොම හරි මට නියමිත දිනය උදා වුණා. ගමේ සිට පැය 10ක කෙටි බස් ගමනකින් පස්සේ 19 වැනිදා මට හැකි වුණා . කොළොම්පුරේට සැපත් වෙලා ජනාධිපති ලේකම් තුමාව බැහැදකින්න .ඒ හමුව සංවිධානය කළේ අපි කොයි කවුරුත් දන්න කියන . අපේ චානුක වත්තේගම මහත්තයා . සුපුන් සුධාරක ,සුපුන් බුධාජීව , මාලින්ද ප්‍රසාද්, ඉසුරු සෙනෙවිරත්න , අරුණ චාමින්ද , , ශෙහාන් සන්දේශ් යන අයත් ඇදිවිදින් උන්නා

හමුවේ මූලිකම අරමුණ වුණේ . රටේ තොරතුරු තාක්‍ෂණ භාවිතාව පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම .තරුණ පරපුර, තොරතුරු තාක්ෂණය භාවිතය, තොරතුරු තාක්ෂණය තුළින් විරැකියාවට පිළියම් සෙවීම ඔය වගේ කරුණු කාරණා කීපකුත් මෙතනදී කතා වුණු බවත් කියන්න ඕනෙ .

බුධාජීව පේපෑල් හරහා ලංකාවට මුදල් ගෙන්වා ගැනීමට තියන බාධක ගැන කතා කළා , මාලින්ද ප්‍රසාද් අන්තර්ජාල සම්බන්ධතාවන්හි ඇති වේගය අඩු කම ගැන, අපේ අරුණ චාමින්ද මහත්තයා තොරතුරු තාක්‍ෂණය නිසා එයාලෑ පාසලේ ඇති කරගත් දියුණුව ගැන කතා බහ කළා . මේ වගේ බොහොමයක් වැදගත් දේවල් ඒ හමුවේදී එළියට ඇදුණා.

අපට බඩ පිරෙන්න කන්න බොන්නත් දෙන්නත් එතුමා අමතක කළේ නෑ . හැඳි ගෑරුප්පු වලින් කන්ඩ වේවි කියලා හිතේ බයෙන් වෙවුල වෙවුල ගිය මට යන්තම් සැනසුමක් දැනුණේ . ඇවිදින් හිටි කවුරුත් අතින් කෑම කනවා දැක්කට පස්සෙයි .

වැරදිලාවත් එදා ඒ ආපු උදවිය බටහිර පන්නෙට කෑම කෑවා නම් . . .! 


එහෙම දෙයක් වුණා නම් අම්පාරේ ඉඳන් එන අතරේ හුන්නස්ගිරියේදී කාපු බිත්තර රොටියක අවුලකින් බඩේ අජීරණයක් අල්ලලා කියලා බොරුවක් දාලා නොකා ඉන්නත් ප්ලෑනක් මගේ යටි හිතේ කොනෙක තිබුණා . දෙයියංගෙ පිහිටෙන් ඒ වගේ කරදරයක් නම් මට ඇති වුණේ නෑ


ලලිත් වීරතුංග මහත්තයත් අපිත් එක්ක බෝම සුහඳව කතා බහ කලා .මමත් ඉඳන් මගේ ගමට වෙන්ඩ ඕනෙ දේවල් කීපයක් ගැන ඒ මහත්තැන්ලා එක්ක කතා බහ කළා .ඒ දේවල් කීපය ඉටු කරගන්ඩ පුළුවන් වෙන බවත් මට විශ්වාසයි .

 ඉතින් නැගෙනහිර හිස් අහස යට උපන්න මට බස්නාහිරට ගිහින් මේ වගේ ලොක්ක්කෝ කීප දෙනෙක් හමුවෙන්න ලැබේවි කියලා මම උපන්තේකට හිතුවේ නෑ .

රටේ පළාත් කීපයකම අය එතන උන්නු නිසා ඒ ඒ පළාත් හැම එකක්ම වාගේ නියෝජනය වෙන්න සාකච්ඡාව පවත්වන්න පුළුවන් වුණා කියලා මම හිතනවා . මේ හැම දෙයක්ම සංවිධානය කිරීම සම්බන්ධයෙන් චානුක වත්තේගම මහත්තයාට ස්තූති වන්ත වෙන්න ඕන .

කොහොමින් කොහොම හරි ආයෙත් පැය 10 ගෙවාගෙන මම ගෙදර ආවා . ෆේස් බුක් එකේ තැන තැන තිබුණු මම ජනාධිපති ලේකම් තුමා එක්ක කතා බහ කරන රූපය මට සාක්කියක් විදිහට ඉදිරිපත් කරලා ගමේ එවුන්ගේ හිත් වල අමතක නොවෙන චරිතයක් වෙන්නත් මට අද හැකි වුණා


අනේ පුතේ අපේ ගමටත් මොනා හරි දෙයක් කරමු නේද ?

අද දවස තිස්සෙම මගෙන් ගමේ වැඩිහිටියෝ බොහෝම දෙනෙක් ඔය ඉහත ප්‍රශ්නය ඇහුවා . මම මුකුත් නොකියා මුනිවත රැක්කා . මොකද තවමත් ගමට යමක් කර දෙන්න තරම් මට හයියක් නෑ

මට විශ්වාසයි එකෝමත් දවසකදී මම මේ බ්ලොග් එකේ නිතරම ලියන මගේ ගමට මගේ පළාතට වැඩක් කර දෙන්න මට පුළුවන් වෙයි කියලා .මට කොණ්ඩ කඩල ඇටේක තරම්වත් දෙයක් එපා ! .මගෙ ගමට මගෙ පළාතට යමක් වෙනවා නම් මට ඒක මහ මෙරක් තරම්



16.4.12

නියඟයට එරෙහිව හෙළුවෙන් සටන් කල මිනිස්සු.


මේ සිදුවීම වුණේ එක නියං කාලෙකදියි

අවුරුද්දේ පොසොන් මාසේ කිට්ටු වෙද්දී අපේ පළාතට තිබහ දැනෙන්න පටන් ගන්නවා . ඉර එළිය වැවු වල ලිං වල තියන වතුර බින්දුව වෙනකම්ම උරාගත්තාට පස්සේ ගමේ එවුන්ට ඉතිරි වෙන්නේ ජල සම්පාදනෙන් එන බවුසරේ එනකම් බලා ඉන්ඩ තමයි . බාල්දිය කොරහ සහ අතට අහු වුණ පොල්කට්ට පවා අරං නගරසභා වතුර බවුසරේ පස්සේ එලෝන ගෑනු මිනිස්සු සහ පොඩි එවුන් ඒ කාලෙට සාමාන්‍ය දර්ශනයක් . ඔන්න ඔය විදිහට ඉරට කිට්ටු වෙච්චි නැගෙනහිර පළාතට ඉරේ කෙනෙහිළි නම් මදි නොකියන්ඩම ලැබෙනවා.

නියගය නිසා උපදින දූවිල්ල හින්දද මන්දා ඔය කාලෙට කිසිම දේශපාලකයෙක් අපේ ගං තුලාන පැත්ත පළාතේ පස් පාගන්ඩවත් කැමති නෑ . පුංචි ප්‍රාදේශීය සභාව ඇතුළේ ඉඳන් ගමේ එවුන්ගෙන් වරම් ලබාගත්තු ගමේ දේශපාලන අයියලා ටික නම් හැමදාම අරක කරමු මේක කරමු අඟහරු ලෝකෙන් හරි වතුර ගේමු කියමින් කෑ ගහමින් උන්නා . ඒත් කාටවත් වතුර හම්බ වුණේ නම් නෑ .

දෙයියංගෙ පිහිටෙන් අපිට යාන්තම් බොණ්ඩයි කෑම උයාගන්ඩයි නම් වතුර තිබුණා .ඒත් නාකියා ගන්ඩ රෙදි හෝදාගන්ඩ වලං පිඟන් හෝදගන්ඩ නම් වතුර තිබුණේ නෑ . බඹ ගණං පතුලට හාරපු ලිං වලත් වතුර තිබුණේ බෝම ටිකයි . ගමේ එක ළිඳක වතුර තිබුණොත් ඒ ළිඳ වටේ මුලු ගමම එකතු වෙනවා . ඉතින් අනික් පහුවදාට ළිඳ හිස් !

අඩා තොපට යනකොට ගෙණියන්නඩ ඔය වතුර තියං ඉන්නේ ?”

වතුර දුන්නැති තොපි ලබන ආත්මේ දියබරි වෙලා උපදියවු !” 

ළිඳක හිමි කරුවෙක් ගමේ එකෙක්ට වතුර ගන්ඩ නොදුන්නොත් ගමේ එකාලා දක්වන ප්‍රතිචාර ඔන්න ඔහොමයි . ඉතින් ඒ වගේ කතා අහගන්න තියන බය නිසාම ගෙවල් වල ලිං තියන උදවියත් වතුර නැතුව වේලෙන වෙලාවල් එමටයි . කවදාවත් හිඳෙන්නේ නැති ළිඳකට තිබුණේ පැඟිරි ගෙදර ළිඳ විතරයි . ඒත් ඒ ගෙදර ළිඳට මොනාද මන්දා බේත් වගයක් කලවං වෙලා කියා කට කතාව නිසාම ගමේ කොයි කවුරුත් ඒ ළිඳෙන් අත පය හෝදන්නවත් කැමති වුණේ නෑ .

දෙයියංගේ පිහිටෙන් අපේ වැවේ යාන්තම් දිය පොඳක් තිබුණා . වැවේ සේරෝම වාන් දොරවල් වහලා දාලා ඒ වතුර ටික මිනිස්සු ඉතිරි කරගෙන තිබුණ හින්දම වැහි කාලෙට ගම හරහා දුවන හීතල පැහැදිලි වතුරෙන් පිරුණු ඇල පාරවල් හිඳිලා අඩිය පෑදිලා ඉරි තැලිලා තිබුණා . මට නම් ඒ හිඳුණු ඇල පාරවල් පෙනුණේ පරණ යුද අගල් වගේ !

ඔන්න ඔය විදිහට දරුණුවට පායපු එක හද්ද නියං කාලෙක මමත් හාල් මෝලෙ සුරංජිත් අයියත් වෙල්යාය මැද තිබුණු කාටවත් අයිති නැති තැඹිලි ගහකින් කඩාගත්ත තැඹිලි වගයක් බොමින් හිටියා . තැඹිලි ගෙඩියත් අතර අරං මහ නියරේ ඉඳගෙන උන්නු මම හිටියේ බර කල්පනාවක.

මොකෝ බං ගෑනි මැරිච්චි මිනිහා වගේ ?” 

මගෙ මූණ දිහා බලලා එහෙම අහපු සුරංජිත් අයියා උල් කරපු ලී කෑල්ලකින් තැඹිලි ගෙඩිය සිදුරු කරලා කටේ තියාන ගුඩු ගුඩු ගාලා ගසලා දැම්මා ඉන් පස්සේ ඌ පහත් වෙලා සරමෙන් අත කට පිහදාගත්තා.

ඕක බීපං විජහට !” 

ඌ මට එහෙම කියලා තව තැඹිලි ගෙඩියක් අතට ගත්තා .

සුරංජිත් අයියේ වත්තේ ළිඳක්වත් කපාගන්ඩ ඕනෙ බං” 
 .
මම මගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ එළියට දැම්මා .

දැන් ඒකද මෙච්චර වෙලා උඹ කල්පනා කළේ ?”

හ්ම් . නාගන්නේ නැතුං රෑට නින්දක් නෑ බං .”

උඹට විතරක් නෙවේ මලයා අපි හැමෝටම ඔහොම්ම තමා. මොකෝ වැවේ වතුර තිබ්බා කියලා ඒකෙන් නාන්ඩැයි ?. ඒකෙන් නෑවොත් ඩෙටොල් සර්ජිකල් වතුරෙනුත් නාලා තමයි ගෙදර යන්ඩ වෙන්නේ .

ඌ කීව කථාවත් ඇත්ත . වැවේ යන්තම් වතුර ටිකක් තිබුණත් ඒ වතුර ටිකෙන් මිනිසුන්ට නාන්ඩ පුළුවන් කමක් තිබුණේ නෑ . මොකද කීවොත් දවල් කාලෙට වැවට බහින වල් මිවුවෝ වැවේ වතුර ටික බොර කරලා ඒකෙම ජරා කරලා යනවා . අලි බොට්ටුත් ඉඳලා හිටලා ඇවිදින් වතුර ඩිංගිත්තෙන් වැඩි හරිය බීලා දරු මල්ලොත් නාවගෙන වතුර ටික බොර වෙනකම් නටලා ආයෙ වැළිත් නාන ගමන් පිට වෙලා යනවා . ඉතින් ගිනි අවු කූටකේට රත් වෙච්ච වතුර සත්තුන් නිසා තවත් අපිරිසිදු වෙනවා ඉතින් එහෙම අපිරිසිදු වෙච්ච වැවට බැහැලා නෑවොතින් නෑ එකාට හැදෙන ලෙඩේ පොතක පතකවත් නෑ .

මලයා උඹලෑ වත්තේ ළිඳක් කපන්ඩ බෑ !” 

සුරංජිත් එක පාරටම “බැක්” ගාපු නිසා මටත් පොඩ්ඩක් විතර කේන්ති ගියා

ඇයි ඒ ?

වත්ත පොඩියි නේ බං අනික ඒකෙ බාගයක්ම කක්කුස්සි වල ඉතින් කොහොම ලිං කපන්නේ . අනික මලයා ළිඳක් කපනවා නම් හෙනම යටට හාරලා මිසක වතුර හොයනවා බොරු ! ආඬියා ළිඳක් තමා එහෙම වුණොත් හදන්ඩ වෙන්නේ ?

හ්ම් . මේ පැත්තේ ඉපදුණු කරුමේ තමා බං ! නුවරට හරි බදුල්ලට හරි පැනගත්තා නම් ගොඩම තමා !

හිතේ දුකට මම එහෙම කීවත් උපන් ගම දාලා යන්ඩ මට කවදාවත්ම මගේ හිත හදාගන්ඩ බැරි බව මම හොඳටම දැනං උන්නා .

අනෙ යකෝ මෙන්න මේ පුංචි ළිඳේ වතුර උගුරක් බීලා මෙන්න මෙහෙට්ට වෙලා ඉඳින් බං . වතුර නැතුව අපි මෙච්චර කල් උන්නා කෝ අපි තිබහට මළාද ? යකෝ අපෙ අත්තලා මුත්තලා මෙහේ උන්න කාල වලදී උන් අපිට වඩා දුක වින්ඳා අපි මොනාද බං දන්න දුක ?

කරන්නම දෙයක් නැති තැන මම සුරංජිත් අයියා දීපු පුංචි ළිඳේ වතුර වල රස බැලුවා . ඒ පැණි රහ හීතල තැඹිලි වතුර මගේ ඇඟේ තිබිච්චි කෙඩෙත්තු ගතිය මොහොතකට මකලා දාපු හින්දා හිතේ තිබ්බ තරහවත් ටික ටික නිවිලා ගියා

අපි ආයෙමත් ගෙවල් දිහාවට පැද්දුවේ හැන්දෑ වෙලාවේ නියරක් උඩ ඉන්න එක ඒ තරම් නුවනට හුරු දෙයක් නොවන වග අපි දෙන්නම අද්දැකීමෙන් දන්න හින්දයි .ගෙවල් බලා යන අපි දෙන්නගෙම අත් වල ගෙදර එවුන් වෙනුවෙන් ඇන්න යන තැඹිලි ගෙඩි කීපයකුත් රැඳිලා තිබුණා .

වැලි පාර දිගේ ගෙදර පැත්තට ගාටමින් හිටි අපි දෙන්නට බයිසිකලයක වතුර කළයක් බැඳි බයිසිකලයක් අමාරුවෙන් පාගමින් ගෙදර දිහාට යන අපේ යාළුවෙක් වෙච්ච රත්නේ හම්බුනා .

ත්නේ උඹ කොහේ මේ යන්නේ ?

නාන්ඩ ගියා !

මොකෙං නෑවේ ?

66 හන්දිය ගාව පාරෙං ටිකක් බැද්ද වෙච්චි ලොකු වතුර බටයක් තියේ බං. ඒකට පොරෝ පාරක් දීලා මම ඒකේ පොඩි හිලක් හදාගත්තා ඔන්න ඒකේ වතුර බුසු ගාලා විදිනවා . දැන් බං එතනින් නියමෙට නෑ හැකි. උඹලට කියන්ඩ ටොප් වතුර ටික අඩා මම හෙටත් යනවා උඹලත් වරෙල්ලා හැබැයි වැඩියෙ කාටවත් කියන්ඩෙපා ඕං !.

රත්නේ කීව කතාව වේලිලා කර වෙලා තිබ්බ අපේ හිත් වලට හීතල වතුර ඉස්සා වගේ හැඟීමක් ගෙනවා . “එහෙනම් හෙට ඉඳන් නෑව හැකි !” එහෙම හිතමින් මම බෝම සතුටෙන් ගෙදර ගියේ හෙට පාන්දරම නාගන්න යමු කියලා සුරංජිත් එක්ක කතා වෙමිනුයි .

මම උදේ අවදි වුණේ සුරංජිත් අයියා මාව කූද්දන්න ගත්තායින් පස්සෙයි .

සඳරු මලයා නැගිටහං බං. . . ! අප්පා තෝ ගාව තියන දාඩිය ගන්දස්සාරේ . වර යන්ඩ නාකියාගන්ඩ !” 

සුරංජිත් අයියා විනාඩි පහක් විතර මට පයින් අනිමින් කෑදුන්නට පස්සේ මම නැගිටලා තුවා කෑල්ලක් සබන් කෑල්ලක් එහෙම සිලි සිලි මල්ලක දවටගෙන නාන තැනට යන්න පිටත් වුණා

අපි කඩා දාපු බටේ ළඟට කිට්ටු වෙනකොට වෙලාව උදේ හතට විතර ඇති . පොඩි කැලෑ රොදක් මැදින් අඩි කීපයක් ඉස්සරහට යද්දී එක දිගටම ඇහෙන සූ හඬක් අපි දෙන්නටම ඇහුණා . තව මොහොතකින් අපි දැක්කා වංගෙඩියක් තරම් මහත කලු පාට බටේකින් වතුර පාරක් හීනිවට උඩට විදින හැටි . අපිත් විජහට පැනලා ඒ ඉහළට වතුර විහිදෙන වතුර මලෙන් හිතේ හැටියට නාකියාගත්තා .

මලයා අපේ අම්මලවයි උඹලෑ අම්මලවයි විතරක් ගිහිං එක්ක එමු නේද බං ? වැඩිය අයට කියන්ඩ ගියෝතින් මෙතන නාලා ඉවරයි .”
 
නාල ඉවර වෙලා ආපහු ගෙදෙට්ට පද්දන අතරේ සුරංජිත් අයියා මගෙන් එහෙම ඇහුවේ මම මෙතනට මුලු ගමම එක්කං ඇවිදින් නාවයි කියලා හිතලා වෙන්නැති .

අපෙ නැන්දටත් නාගන්ඩ විදිහක් නෑ කියලා නාහෙන් අඬ අඬ උන්නේ . උන්දැවත් එක්ක එන්නං නේ ?

හ්ම්.
මම ගෙදර ගියපු ගමන් කළේ තෙත තුවාය මිදුලේ තිබ්බ පැණි දොඩං ගහේ වනාපු එක . තුවාය වනලා ආපහු එනකොට උළුවස්ස ගාව ඉඳන් පොල් ගෙඩියක් උදැල්ලේ දවටමින් ලෙලි ගහන මයෙ ලොකු නැන්දට මාව මූණටම මුලිච්චි වුණා .

සඳරු පුතේ උඹ නෑවා ?

ඕ නැන්දා මං පාන්දරම ගියේ නාන්ට !

කොහෙං බං උඹ නෑවෙ අර මිවුවො ලගින කුණු වතුරෙං ?

නෑ නෑ කාටවත් කියන්ඩෙපා ! අර 66 වංඟුවේ වතුර බටයක් කැඩිලා ඒකෙන් හෙණ උසට වතුර විදිනවා අපි එහෙන් නාකියාගෙන ආවෙ නැන්දත් යං !” 

මැලවිලා තිබුණු නැන්දගේ මූණු ඩිංගත් මලක් වගේ පිපුණා . නාගන්ඩ කියලා කීවම උන්දැට තියන සතුට . මමත් මගේ පවුලේ උදවියත් සුංජිත් අයියාගේ පවුලේ එවුනුත් හැමෝම එදා හැන්දෑ වැරුවේ රෙදි මහ විශාල පොදියකුත් කර ගහගෙන කැඩුණු බටේ ගාවට ගියේ නිදහසේ නාකියාගන්ඩ හිතාගෙනයි . ඒත් එතනට ලං වෙනකොටම කනට ඇහුණු ඝෝෂාවෙන් මොකක් නමුත් ගැටලුවක් ඇතිවෙලා තියන වග මට තේරුම් ගියා . මමත් අඩියට දෙකට එතනට කිට්ටු වුණා .

හත්වලාමෙ ! කැඩුණු වතුර බටේ ගාවට මුලු ගමම එකතු වෙලා . ඒ මදිවට නාන්න ආපු උන් බටේ කීප පොලකින්ම කඩා දාලා . කාණ්ඩෙයක් රෙදි හෝදනවා , තව එවුං වගයක් හරක් නාවනවා , බයික් හෝදනවා, පොඩි එවුං වගයක් එතනම හෙල්ලිකොටෙන් ඉඳන් මඩේ නටනවා . උදේ බොහෝම නිස් කලංකව තිබ්බ මේ නාන තැන මේ වෙනකොට මරිය කඩේ වගේ වෙලා !

පුතේ වතුර උණත් බෙදා හදා ගන්ඩෙපැයි. ඒක නිසා මම සිරියලතාටයි ,සුදු බණ්ඩිටයි, පිය සෝමෙටයි , ජය තිලකටයි, උනාපාන අයියයටයි . බංණ්ඩෙ මාමලාටයි , ආතර් සීයලාටයි මේ විත්තිය කීවා . !
නැන්දා අහිංසක විදිහට එහම කියද්දි සුරංජිත් අයියා ඔළුවේ අත ගහ ගත්තා .

සඳරු දැං ඉතින් මොනවා කරන්නද බං ගෑනුන්ට කට පියාගෙන ඉන්න පුළුවන් එකක්යැ . මේ ගොබ්බ කම කරපු උඹට ගහන්න ඕනෙ වල් හබරල පිත්තකින් .”

දැං ඉතින් මොනා කරන්නද ආපු එකේ ඔය අයිනක් අල්ලං නාකියාගම්මු .” 

මම එහෙම කියලා නාන්ඩ ලැහැත්ති වෙනකොට සුරංජිත් අයියත් හූල්ල හූල්ල මගේ පිටු පස්සෙන් ඇවිදින් ඇඳුම් මාරු කරගෙන නාගන්ඩ ලැහැත්ති වුණා .
මොහොතකින් අපි කාටත් මීට දවස් කීපයකට කලින් වතුර නැතිව අපි වින්ඳ දුක අමතක වෙලා ගියා . ගමේ එවුං හැමෝම එකිනෙකාට කොලොප්පම් කරගනිමින් බොහෝම සතුටෙන් නෑවා .

මෙවුවා කලරින් වතුර මේ වතුරෙන් නෑවහම විෂබීජ අහක් වෙනවලු හොඳට නාගණියවු කොල්ලනේ !
නාමින් උන්නු කයිතං සීයා එහෙම කියද්දි මට දෙකොනින්ම හිනා ගියා . උන්දැට ක්ලෝරීන් කියන වචනේ කියැවුණේ කලරින් කියලයි

මම කවදාවත් සවර් මලකින් වතුර නාල නෑ . ! අද නාත හැකි

සුදුබණ්ඩි නැන්දා එහම කියමින් උඩ ඉඳන් වැටෙන මල් වැස්සක් වගේ වතුරපාරට ඔළුව ඇල්ලුවා

මේ කෝලම් බොළඳ කම් දිහා බලමින් නනා උන්නු මම නෑම මොහොතකට නතර කරලා ඇඟේ පතේ සබන් ගාගන්ඩ පටන් ගත්තා . ඇඟ පතේ සබන් උලාගත්ත මම ඇස් දෙක තද කරලා පියාගෙන මූණේ සබන් ටිකක් ගාගත්තා විතරයි මහා සද්ද බද්ද වගයක් ඇහිලා මම උඩ විසි වුණා .

ඛවුධ ඩෝ අපෙ ගමට එන වතුර බඩේ කඩා දාපු පුබ්බඩ හැත්ත ?”

අඩෝ අද තොපිව අපි මරාගෙන කනවා පෙනේද මුං අපි සල්ලි ගෙවන වතුර ටිකෙන් නාන අපූරුව අද දෙනවා තොපට ජීවිතේට නාන්ඩ එපා වෙන්ඩම.” 

ඒ ඇහුණු හඬ නිසා කලබල වෙච්ච මම හනික මූණ හෝදාගන්ඩ දුවද්දි නිදිකුම්බා ගහක් පෑගිලා මගෙ ඉස් මුදුනෙන් තරු විහික්ක වුණා . සබන් නිසා දැවිල්ල දෙන ඇස් දෙක මම තද කරලා පියාගෙන උන්න නිසා වටේ පිටේ මොනවා සිද්ධ වෙනවද කියලා මට යන්තම්වත් දැන කියාගන්ඩ බැරි වුණා ඒ වුණත් මගේ කන් දෙක මට කියාපු විදිහට නම් මොනා නමුත් ලොකු ගෝරියක් යන පාටයි.

සඳරු අයියේ අනේ අන්න උඩහ ගමේ උන් ගහනවා ! අනේ අපේ තාත්තව බේරගන්ඩකෝ අයියේ !”කවුද පොඩි එකෙක් මගේ ළඟට ඇවිදින් කෑ ගහනවා

සඳරු අයියේ එන්ඩ හනික

ඉඳපිය යකෝ මම මේ ඇස් දෙක හෝදගන්නකම් . !” 

තරහින් කෑගහපු මම හනිකට වතුර ටිකක් හොයාන ඇස් දෙක තෙමාගත්තා .සබන් හෝදගත්තායින් පස්සේ ඇස් ඇරපු මට දැකගන්න ලැබුණේ ඇඟ රත් වෙලා යන සිදුවීමක් .උඩහ ගමේ ඇත්තෝ කීප දෙනෙක් නාන්න ඇවිදින් උන්නු පාල මාමටයි සුංරජිත් අයියටයි බිම දාගෙන තඩි ගහනවා . මම හනිකට අහලක තිවුණ රුකුල අස්සට රිංඟුවේ පොලු කෑල්ලක් කඩාගන්න එක නුවනට හුරුයි කියලා හිතුණ නිසයි.

රුකුල අස්සේ තිබුණු නොයෙක් ප්‍රමාණවලින් සහ හැඩයන්ගෙන් යුත් පොලු කෑලි අතරින් මට ගැලපෙන තාලේ පොල්ලක් හොයාගන්න මට තත්පර තිහක් විතර ගත වෙන්න ඇති . රුකුලේ වැදිලා පොලු තෝරවුවත් මගේ ඇස් දෙක තිබුණේ ගෝරිය දිහාවේ . පොල්ලකින් හටන් කරලා වුණත් මට උඩහ ගමේ වැඩිහිටියෝ පස් හය දෙනෙක් එක්ක ඔට්ටු වෙන්න බැරි විත්තිය මම හොඳටම දැනං උන්නා.මම මයෙ හිතේ උපන්න බයත් , තරවත් එක්ක ඔට්ටු වෙමින් ඉන්න අතරේ අපෙ ගමේ එකියක් වෙච්ච සුදුබණ්ඩි නැන්දා කොහේදෝ මන්දා ඉඳන් දුවං ඇවිත් හෙණ ගහන්නා වාගේ ගෝරිය මැදට පැන්නා

තොපෙ *#$%^&#@**#@ සංඟෙ නැති පාහර බල්ලො ! තොපි අපේ කොල්ලන්ට ගහන්ඩ? ඉඳා..! හයියක් තියේ නම් ගහපියවු මේ මට ! !.

අමු තිත්ත කුණුහබ්බ වැළකුත් කියාගෙන සුදු බණ්ඩි නැන්දා උන්දැ ඇඳන් උන්නු දියරෙද්ද කඩා දාලා අමු නිරිවර්තරෙන් උඩහ ගමේ එවුං ඉස්සහරට පැන්නා

ගෝරිය එක සැණින් නැවතුණා . උඩහ ගමේ එවුං විජහට අහක බලාගෙන ආපහු හැරිලා යන්ඩ ගියා . හයිය වැටහිරියා පොල්ලකුත් අතට අරං මමත් දනිපනි ගාලා රුකුල අස්සෙන් එළියට බැස්සා.

මේ ගං තුලානේ අපිට හයිරං පාණ්ඩ චණ්ඩි නෑ ඩෝ. . ! වරවු !” 

මමත් අහල ගං අහතකට ඇහෙන්න ගිල්ලාමුරේ තිවුව්වේ . කේසර සිංහ රාජයෙක් ගර්ජනාවක් කරනවා වගේ . ඒත් උඩහ ගමේ එකක්වත් ආපහු හැරිලා බැලුවේ නෑ . බය වෙච්ච උඩහ ගමේ උන් මංමුළා වැල් පෑගිලා උතුර දකුණ මාරු වෙලා වාගේ බලාගත්ත අතේ බලාගෙන යන්ඩ ගියා .

ඊට දින කීපයකට පස්සේ පොලීසියත් ජල සම්පාදන මණ්ඩලයත් ඇවිදින් කැඩුණු බටේ අලුත් වැඩියා කරලා දාලා උඩහ ගමේ උන්ට වතුර දුන්නා . තමන්ගේ ගමට උඩින් ක්ලෝරීන් දාලා පිරිසිදු කල වතුර බට දිවුවත් තිබහට වතුර පොදක් නැතිව මගේ ගමේ මිනිස්සු වේලි වේලි උන්නා . වැස්ස වලාහක දෙයියන්ට අපි ගැටගැහැවුව පඬුරු පොට්ට කාසි වගේ පෙනුණ නිසාද කොහෙද උන්දැටත් වගේ වගක් නැතිවා වගේ වලාකුළු නැති හිස් අහසේ කොනක අට්ටං වෙලා උන්නා .

වැහි දෙයියොත් ,මැති ඇමති දෙයියොත් අහක බලවුවත් අපේ පිහිටට එක යකඩ කටක් හිටියා .ඒ යකඩ කටේ අයිතිකාරයා වුණේ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ .උන්නාන්සේ පන්සලට වෙලා දානේ ගිල ගිල නිකම් උන්නේ නෑ ගමේ වතුර ප්‍රශ්නේ ගැන ඉහළ පුටු රත් කරමින් ගෝලීය උෂ්ණත්වය ඉහළ දාන ලොකු උත්තමයෝ බොහෝ දෙනෙකුට ගිහින් පැමිණිලි කළා . ඒත් පලක් නොවූ තැන පොඩි හාමුදුරුවෝ ගමේ හැමෝම එක්කාසු කරං මහා උද්ඝෝෂණයක් පැවැත්තුවා .. !

අඬන්නම ඕනැයි කියනවා නේ කිරි එරෙන්න ! ඉතින් ඔය උද්ඝෝෂණේ දැකලා අහක බලාන ඉන්න බැරි වෙච්ච ලොකු පුටුවල උදවිය ඔය කං කරච්චලෙන් බේරෙන්ඩ හිතාන එක දවසක් අපේ ගමටත් ටැප් වතුර දෙන්ඩ තීරණය කළා .

කාලෙකට ඉහත වතුර නැතුව කක්කුස්සියට යාගන්ඩත් බැරුං උන්න අපේ ගමේ ඇත්තන්ට ඕං අද වෙනකොට ටැප් එක ඇරිය සැනිං බොන්ඩ බැරිනං නාන්ඩ වතුර එමට තියනවා . හිල් කරවුව පොල්කට්ටෙන් නාපු අපේ පොඩි එවුං අද වතුර මලෙන් දිය නාද්දි එදා බයෙන් බයෙන් දිය රෙදි ඇඳන් නාගත්තු ගමේ කෙල්ලෝ අද දිය රෙද්දට සමු දීලා නාන කාමෙරේට වැදිලා යසට දිය නානවා.

කාලෙ ගත වෙද්දි මයෙ ගම බෝම වෙනස් වුණා . එදා වතුර නැතිව මරාගත්ත අපේ ගම් වල මිනිස්සු අද වෙද්දි ඒ අතීතය සිහිපත් කරන්නේ හිනාමුසු මුහුණින් . අත ළඟට හැම දෙයක්ම ලැබෙද්දි මොකටද කාගෙවත් දෙයක් කඩා වඩා ගන්න හිතන්නේ ?. මගෙ ගමේ මිනිස්සුත් එදා බට කඩලා වතුර ගත්තු එක වරදක් කියලා දැක්කේ නෑ . අපි හිතුවේ ගම උඩින් දුවන වතුර නල වල අයිතියත් අපිටයි කියලා .

ඒ වතුර ප්‍රශ්නය දැන් ඉවරෙටම ඉවරයි . අද වෙනකොට අපිට ඕන තරම් වතුර තියනවා . ඒත් කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බැරිවා වාගේ . මටත් මගේ යාළු මුත්‍රයෝ රෑනටත් කාලෙකට ඉහත අපි ගිලිලා පීනලා නාගත්තු මහ ඇළත් ,වැවත් ,අපි පැය ගණං කල්මරාපු වැවු කණ්ඩියත් කවදාකවත් අමතක කරන්න නම් බෑ .

/ලි . හොද්දේ රස වැඩි කරනු වස් සුප් කැටයක් සහ අජිනමොටෝ ස්වල්පයක් බැගින් අතින් දැමූ බව කරුණාවෙන් සලකන්න