28.5.12

අසික්කිත සීඩී තැටිය


අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි .

"ආයේ එහෙම කරන්නෑ අම්මා "

වැරදි පිට වැරදි කරලා හැමදාමත් මම දෙන ඒ පිලිතුර අම්මා බාර ගන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා . ඒත් මොනවා කරන්නද .? මේ මම එදා පටන් ජීවත් වෙච්ච හැටි . කණට දෙකක් ගහලා "තෝ ගෙදරින් එලියට බැස්සොතින් අඬු කඩනවා" කියලා බනින්න තාත්තා උන්නා නම් අද මම මීට වඩා දහ ගුණයක් හැදිලා . අම්මගේ කටින් කවදාකවත් බැනුමක්, පරුෂ වචනයක් එලියට ඇවිදිල්ලා නෑ . කවමදාකවත් මට මහ සද්දෙන් කතා කරලත් නෑ . මම වගේ නාහෙට නාහන එකෙක් අයිලේ යන එක නවත්තන්න ඉතින් අම්මට හැකි වුණෙත් නෑ .

*******

දවසක් උදේ ඉස්කෝලේදී ජොන්ටි ගෙනද්දීපු අසික්කිත සීඩී තැටිය මගේ බෑග් එකට දාගන්න කලියෙන් මට මගේ අම්මව මතකෙට ආවා . එයා මම කරන හැම වරදකටම සමාව දෙන හැටිත් මම නිසා කඳුලු හලන හැටිත් මට සීඩී තැටියේ දිලිසෙන පැත්තෙන් මැවිලා පෙන්න වුණා .

"තෝ ඕක රහ කර කර තියාන ඉන්නැතුං දාගිය බෑක්කෙට ”

ජොන්ටිගේ තරවටුව ඇහිච්ච හැටියෙම මගේ දකුණු අත දුන්නක් වගේ ක්‍රියාත්මක වුණේ ඉබේටමයි . මම හනිකට ඒ අසික්කිත සීඩී තැටිට මගේ බෑග් එකේ තිබුනු පොතක් අස්සේ නිධන් කළා . ඒත් මගෙ හිත තාමත් මට බනිනවා .

"ජොන්ටියා මේක අහුවුණෝතින් නම් අපි කපෝතියි බං ..!”

"පික්සුද මස්ෂිනා. මෙවුවා අපි පුරුදු වෙන්ඩ කරන වැඩයෑ ?

"තෝ නං කියාවි දැන් මේක තියෙන්නේ මයෙ බෑග් එකේනෙ . මම එපෑ විඳවන්න .”

"සඳරුවා ඉතින් නූල් සූත්තරේ දන්න එකා කියලා අපි දන්නවානේ බං ඒකනේ අපි උඹගේ බෑග් එකේ මේ වගේ වස්තු තැන්පත් කරන්නේ .

"අඩෝ මේ කැ* වැඩ කරන්නෙපා . මාව අහුවුණොතින් තොපි ඔක්කොමල්ලාගේ නං ගං ගෙහුං කියනවා මං පිනාට .”

"අඩෝ අඩෝ තොට තරහ ගියාද ? ඕකනේ ඉතින්..... හරි හරි ඉස්කෝලෙ ඇරෙන්න තව පැය හතර හමාරයිනේ බං තියෙන්නේ . .. ! එතකං හොඳ එකා වගේ ඔය ගණ රාජයා පරිස්සං කරහං මයෙ දෙයියා .”

"හ්ම් .හැමදාමත් වගේ අවසානෙට මගේ කටින් හ්ම් හඩ පිට වුණා .

ඉස්කෝලේ සමිති සමාගම් වලදී , පන්තියේ උගන්වන වෙලාවේදී කවදාවත් මුල් තැනක් ගත්තේ නැති මම දහදුරා වැඩ කරද්දී නම් හැමදාමත් පෙරමුණ ගත්තා . ඇත්තටම කීවොත් ඒක සුදුස්සාට සුදුසු තැන ලැබීම කියලයි මගේ වටේ හිටිය පාප මිත්‍රයෝ කොයි කවුරුත් කීවේ . හොරෙන් තැඹිලි කඩන්න ගියත් අහල ගෙදරක වත්තට පැනලා අල ගලවන්න ගියත් , ඉස්කෝලෙන් පයින්න ගියත්,මල් ඔතන්න ගියත් අනික් එවුන් ඉන්නේ මම ඉස්සර වෙනකම් .

මදන විසේ ඉහට ගහලා තිබුන කාලේ නිසා වෙන්නැති හරි කොතැනද වැරදි කොතැනද කියලා මම ඒ වෙනකොට දැනං උන්නේ නෑ . ඉතින් එදත් මගේ මිත්‍රයෙක් රුපියල් තුන්සීයක් දීලා කොහේදෝ මන්දා ඈත දීපංකරේකින් ගෙනාපු අසික්කිත සීඩි එකක් මගේ බෑග් එකේ හංඟාගන්න මට සිද්ද වුණා .

මගෙ මිත්‍රයා ජොන්ටි කවදාවත් ඉස්කෝලෙ එනකොට බෑග් එකක් ගෙනාවේ නෑ . පුස් බයිසිකලේ පැදං එනකොට ගොයිජන සේවා එක ගාව තියන මහා පල්ලමෙදී බ්‍රේක් කරන්න අමාරුයි කියලා ඌ හැමදාමත් පොත් ටික ඉස්කෝලේ බංකුවක් අස්සේ හංඟලා ගෙදර ගියා ඉතින් ඌට බෑග් එකක් කවදාවත් උවමනා වුණේ නෑ .

සීඩී එකක් බලන්න හයිය තිබුනත් ඒක හංඟලා තියාගන්න හිත හයිය නැති මගේ ගැන්සියේ හිටි කොල්ලෝ සෙට් එකත් අමුතු අමුතු කතා කියලා සීඩී එක මගේ මල්ලටම පැටෙවුවා . ඒක බලන්න කැමැත්තත් මගේ හිතේ කොනක තටමමින් තිබුණ හන්දා මමත් සීඩී එක මගේ භාරයේ තියනවාට අකමැති වුණේ නෑ . කවුරුවත් එක වරම කඩා පැනලා මගේ බෑග් එක ඇතුලට අත දාලා සීඩි එක මගෙන් උදුරලා ගනීවි කියලා මට බයක් තිබුනෙත් නෑ .

වෙලාව ගත වෙලා ඔරලෝසු කටු කැරකිලා පීරියඩ් එකින් එක ඉවර වුණා . පන්තියට ආපු ගණිත සර් කළු ලෑල්ලේ මොකක්ද මන්දා බයිලයක් කරලා මට හුණු කොට්ටෙනුත් පතබාලා යන්න ගියා . ඉංගිරීසි ටීචර් කලු ලෑල්ලේ ලියාපු එකම වචනයක්වත් මට කියෝගන්න බැරි වෙච්ච නිසා හිත හොඳටම රිදිලා ඒ අසරණීත් පන්තියෙන් යන්න ගියා . විද්‍යාව උගන්වාපු සෑර් නම් මට පන්තියට ඇතුලු වෙනකොටම ආදරෙන් කතා කරලා "පුතා ඔයාට නිදි මතයි නම් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .

විවේක කාලය ඉවර වෙලා පටන් ගත්තේ සිංහල පීරියඩ් එක . කෑම දිරවන වේලාවට පන්තියේ බොහොමයක් ළමයි ඉගෙන ගන්න අකමැතියි .ඒ වෙලාවට සමහරු වැසිකිලියේ පැලපදියං වෙන අතරේ තව සමහරු ස්වේච්චාවෙන්ම පාසල් වත්ත සුද්ද පවිත්‍ර කරන්න පටන් ගන්නේ වැටෙන සැර අවුවවත් ගණනකට නොගෙනයි .

එදා සිංහල පීරියඩ් එකේදී කවුරු පන්තියෙන් කට්ටි පැනලා ගියත් මම පන්තියේම රැඳිලා හිටියේ සීඩි එක පරෙස්සම් කරගන්න හිතාගෙන නම් නෙවේ . ඉස්කෝලේදී උගන්නාපු විශයන්ගෙන් මම කැමති වුණ මට තේරුණු එකම විශය සිංහල වෙච්ච හන්දයි .

"කෝ අද මේ පන්තියේ දරුවෝ උන් කොහා පනං වුණාද ?

සිංහල උගන්වන්න ආපු අශෝක සෑර් පොත් මිටිය මේසේ උඩ අත අරින අතරේ පන්තිය පුරාවටම බැල්මක් දාලා මගෙන් එහෙම ඇහැවුවා .

"වීදි සංචාරයේ ගිහිං වගේ සෑර් !”

"එතකොට මේ දැරිවියෝ ටිකයි සඳරුයි විතරයි පන්තියේ ?

""

"උඹ මේ දැරිවියෝ මුර කරනව වෙන්ටැ ?

"අනෙ නෑ සෑර් මම ඉතින් හිංඟල මිනිහා නේ"

හඬ නඟා හිනා වෙච්ච අශෝක සර් මගේ පිටට තට්ටුවක් දාලා ලේසුවෙන් අත පිහගත්තා .

මුලු ඉස්කෝලෙන්ම මට වැඩියෙන්ම ආදරේ කරපු ගුරුතුමා වුණේ අශෝක සර් . එතුමා උගන්වන සිංහල වදන් මගේ පපුවේ හිට්ටේ ගලේ කොටාපු අකුරු වගේ .

"ළමයිත් නැති එකේ මම යනවා යන්න . මුන්ට ඉගෙන ගන්න ඕනෙ නැත්තං මං මොනාට මෙහෙට්ට වෙලා කාලෙ කන්නේ ?

එහෙම කියාපු අශෝක සර් පොත් මිටියත් අරන් පන්තියෙන් එලියට බැහැලා ගුරු විවේකාගාරය දිහාට ඇවිදගෙන ගියා . සිංහල සර් පන්තියෙන් ගියා විතරයි වීදි සංචාරයේ නිරත වෙලා උන්නු කොල්ලෝ හැම එකෙක්ම ආයෙ පන්තියට දුවගෙන ආවා .

"අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ !

පද්මේ සින්දුවකුත් කියාගෙන ඇවිදින් මගේ මූණ ඉම්බා . මම උගේ අහවල් එකට පා පාරක් දෙන්න හැදුවා විතරයි ඌ ඩෙස් පුටු පෙරලාගෙන මගේ ලඟින් ඈත් වුණා . අද සීඩ් එක බලන නිසා පන්තියේ කොල්ලෝ කවුරුත් හිතේ පුදුම සතුටකින් ඉන්න වග මට හොඳටම තේරුණා . ඒත් කවුද හිතුවේ ඒ සතුට ගෝනි බිල්ලෙක් අරගෙන යාවි කියලා .

තිබහක් හැදුන නිසාම මම කෙල්ලෙකුගේ වතුර බෝතලෙන් වතුර උගුරු දෙකක් බොන්න ලැහැත්ති වුණා විතරයි උසස්පෙළ පන්තියේ ජෙමා කියන නසරාණි ශිෂ්‍ය නායකයා අපේ පන්තියට කඩා පැන්නේ තවත් ටයි පොලු එල්ලගත්ත සහයක ඩැනීලා දෙදෙනෙකු සමගිනුයි .

"බෑග් පෙන්නහල්ලා හැමෝම !

ජෙමාගේ හඬට මෙච්චර වෙලා මරිය කඩේ වගේ තිබුණ පන්ති කාමරේ මෝචරිය වගේ නිහඬ වෙලා ගියා .

"බෑග් විතරද ?

ජොන්ටි එහෙම අහද්දී ජෙමා උගේ මූනට එබුණා

"ඔවු ඩෝ !”

ජොන්ටි පැත්තක වුණා

පන්තිය පුරාම තිබුණ කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ බෑග් මලු සහ ඩෙස් පියන් අතර සෝදිසි මෙහෙයුමක් දියත් කරපු ත්‍රිපුද්ගල ශිෂ්‍ය නායක කණ්ඩායම මගේ බෑග් එක ගාවටත් ආවා . මගේ බෑග් එක ඇවිස්සුවොත් සීඩි එක අහුවෙන බව මම හොඳාකාරවම දැනං උන්නා . ඒ සීඩි එක අහුවුණෝතින් මට මගේ ජීවිතේට අලෝගත හැකි අමුම අමු ජරා නාමය වන වනචරයා කියන නාමය ලැබෙන බවත් ගුරුවරු ගුරුවරියෝ මගේ දිහා බලලා කෙල ගහන තත්වෙට මම වැටෙන බවත් මට තත්පරෙන් තේරුම් යද්දී ජෙමා මා ගාවට කිට්ටු කලා .

"බෑග් එක ඇරහං සඳරු !

"ඇයි ඒ ? මයෙ බෑග්ගෙට එහෙම අත දැම්මොත් අත කඩනවා .”

"ආ උඹ ලොකු සීන් ද ? මෙහෙ දිය බැග් එක"

ජෙමා මගේ බෑග් එක උදුරන්න හදනකොටම මම මගේ බෑග් එක ජොන්ටි ගාවට වීසි කලේ ආලෝකයේ වේගයෙන් ! . ජොන්ටිත් ඒක වෙන එකෙක් ගාවට පාස් කලා .

"කීවම අහලා බෑග් එක දාපං !

ජෙමා කෑගෑවේ ඉස්කෝලෙන් බාගයකටම ඇහෙන තරම් මහ හයියෙන් ජෙමාගේ සද්දේ හන්දා අහල පන්තියක උගන්වමින් හිටි ගුණපාල සර් අපේ පන්තියට දුවගෙන ආවා .

"මොකෝ මේ සද්දෙ මම කොහොමද යකුනේ උගන්නන්නේ ?

"සෑර් මේ පන්තියේ ළමයි බෑග් එකේ සීඩී පීස් තියාන ඉන්නවා කියලා ආරංචියක් ආවා. සඳරු එයාගේ බෑග් එක බලන්න දෙන්නෙ නෑ . අනික් අය සේරමලා බෑග් බලන්න දුන්නා .

"සඳරු තෝ මහ ඒජන්තද ? දීපිය සුනඛයා තොගේ ඔලොඟුව මෙහෙට්ට !

ගුණපාල සර් මගේ බෑග් එක උදුරලා අරන් ඒක මුනිං හරෝලා ඒකේ තිබුන දේවල් ගුරු මේසේ මතට හැලුවා . දඩබඩ ගාලා මේසේ උඩට වැටිච්ච බඩු මුට්ටු දිහා මුලු පන්තියම ඇසිපිය නොහෙලා බලාන හිටියා .

"දඩස්" හඬින් මේසේ උඩට වැටිච්ච මගේ නකල් එක සිංහල පොතට යට වුණා , ගිණි කූරක් මේසේ දිගේ රෝල් වුණා , රුපියල් පහට ගන්න මැදැඟිල්ලේ රඳවන පණාවක් මේසේට වැටිලා බම්පර් වෙලා බිමට පැන්නා . ඔය අතරේ මල්ලේ සැඟවිලා තිබ්බ අසික්කිත සීඩී තැටිය මේ බඩු මුට්ටු ගොඩ උඩින්ම වැටිලා නතර වුණා . පන්ති කාමරේ උලු වහලේ හිලකින් වැටිච්ච අවු රැල්ලක් ඒ සීඩී එකේ දිලිසෙන පැත්තට වැටිලා ලස්සනට දිස්නෙ දෙන්න ගත්තා . ඒ දිස්නෙ වැදිලා ගුණපාල සර් ගේ ඇස් දෙක රතු වුණා .

"මොනාද යකෝ මේ තැටියේ ?”

ගුණපාල සර්ගේ ප්‍රශ්ණයට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ . ඉතින් මම බිම බලාගත්තා .

"උඹට කියන්න බැරි නම් මම දැන් ගිහින් කෝටස් එකේ තියන මගේ අලුත් ජී එල් සීඩී ප්ලේයර් එක ගෙනල්ලා ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකේ තියලා මේක දාන්නම් ! මොකෝ කියන්නෙ දාන්නද ?

". . එපා සෑර් ! “

මට කියවුණේ එච්චරයි .

"හ්ම් එපා නේ . එහෙනං හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර ! උඹගේ කැරැට්ටුව කියලා දෙන්න ඕනෙ දෙමවුපියෝ ඉස්සරහා . හැබැයි උඹ හෙට ඉස්කෝලේ නාවොත් මම මේකත් අරං පොලීසි යනවා

එදා ගෙදර යද්දී මම පුදුම විදිහට බය වෙලා හිටියා . අම්මා බෙදාපු බත් එක කන්නවත් බැරි තරමට වෙනදා ගෙදර ආ හැටියෙම බලන කාටුන් සීඩී නොබලා ඉන්න තරමට මම නොසන්සුන් වෙලා හිටියා .

"හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර !” ගුණපාල සර් ඒ කියාපු දේ මගේ හිතේ දෝංකාර දෙනවා . තාත්තා දන්නවානම් මිණී වලෙන් නැගිටලා ඇවිත් මට ගහනවා . අම්මට මේක කීවොත් ඒ අසරණ ගෑනි කොයිතරම් අඬාවිද ? ඒත් මම දැන් මොකද කරන්නේ ? ඔලුව බදාගෙන මම පැයක් විතර හිතන්න ඇති .හැබැයි අන්තිමේදී මම තීරණයක් ගත්තා . හිත හයිය කරගෙන අම්මා ගාවට ගියපු මම මහා බේගලයක් ඇදබෑවා !

"අම්මේ හෙට ඔයාව ඉකෝලෙට එක්කං එන්න කියලා ගුණපාල සර් මට කීවා "

"ඒ මොකද ඔයා මොනාද මේ වතාවේ කලේ ?

"මොකුත් නෑ මේ අපේ පන්තියේ ළමයි හැමෝම කලින් ගෙදර යන්න ගිහින් අහු වුණා ඒක කියන්න ඔය එන්න කියන්නේ !”

"මොකට කරනවාද ඔය මෝඩ වැඩ මොකද කලින් ආවේ ?

"අනේ අනේ ඔයා හෙට එන්නකෝ "

මම හෙමීට එතනින් ලිස්සලා ගිහින් සාලේ ටීවී එකත් ඔන් කරගෙන බෲස් ලී රඟන හටන් සීඩ් එකක් බලන්න ගත්තා .

"ඔය සීඩී බලන නිසා පුතා ඔයා කිසිම පාඩම් වැඩක් දැන් කරන්නේ නෑ මම ඔය ටීවි එක හෙටම විකුණලා දානවා .

සාලෙට ආපු අම්මා මට දෝස්මුරේ දාලා යන්න ගියා

පහුවදා මම ඉස්කෝලෙට ගියේ මස් කඩේට දක්කන හරකෙක් වගේ . මුලු පන්තියේම හිටපු කොල්ලෝ කෙල්ලෝ හැමෝම මගේ වටේ වට වෙලා මගේ අවසන් ගමන සංවිධානය කරමින් හිටියා . සමහරු "අනේ මචං අපේ අම්මා නම් වයසයි ඒක හන්දා මගේ නම කියන්න එපා" කියමින් නාහෙන් අඬන්න වුණා. "මැරුවත් පාවා දෙන්නේ නම් නෑ "මම නම් තදින්ම හිතාගෙනයි උන්නේ . ඒක එදා වගේම අදත් මා ගාව තියන ප්‍රථිපත්තියක් !

උදේ දහය හමාර වෙනකොට ශිෂ්‍ය නායකයෙක් ඇවිදින් මාව විදුහල්පති තුමාගේ කාමරේට දක්කාගෙන ගියා . කොට බිත්ති උඩින් එබීගෙන උන්නු මගේ මිතුරු මිතුරියෝ සෙට් එක මගේ දිහා බලාන හිටියේ පෝරකේට ගෙනියන ස්ත්‍රී දූෂකයෙක් දිහා බලන්නා වගෙයි !

විදුහල්පති තුමාගේ කාමරයේ පුටුවක අම්මා ඉඳගෙන හිටියා . විදුහල්පති තුමා රජා වගේ මහ පුටුවේ ඈඳිගෙන හිටියා . කාමරේ කොනක ඉඳන් මගේ දිහා හිනා වෙවී බලාන උන්නේ ප්‍රධාන ශිෂය නායක ජෙමා සහ ගුණපාල සර් ! මම කාමරයට ආවා විතරයි විදුහල්පති තුමා නඩුව විභාග කරන්න ගත්තා .

"සඳරුගේ අම්මේ සඳරු ඉස්කෝලේ දෙන වැඩ ගෙදර ගිහින් කරනවාද ?

"ඔවු සර් සමහර දාට නම් කරනවා ඔය රචනා එහෙම රෑ වෙනකම් ලියනවා .”

"හ්ම් හ්ම් මට අශෝක මහත්තයා කීවා මේකා සිංහලේට ආසයි කියලා .

ඒ කතාවෙන් මගේ හිතට පුදුම හයියක් ආවා . ඒත් ඊලඟට අහපු ප්‍රශ්ණයට මගේ පපුව නතර වුණා වගේ මොහොතකට මට දැනුනා .

"සඳරුගේ අම්මේ සඳරු ගෙදර ඉන්නකොට වැඩිපුරම මොකද කරන්නේ ?”

"අනේ ඉතින් මෙයා ඉතින් ඔය රස්තියාදුවේ එහෙම වැඩියෙ යන්නේ නෑ සර් ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදරමයි ගෙදර ඉඳන් ඔය සීඩී බලන එක තමා මෙයා වැඩියෙන්ම කරන්නේ !

"ඈ සීඩී ?

විදුහල්පති තුමා මේසේ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා . ඊට පස්සේ මොහොතක් එයා ඔලුව කසමින් ඉඳලා මෙහෙම කීවා .

"හරි සඳරුගේ අම්මා ගිහින් එන්න . මෙයාට තව තව පාඩම් කරන්න බල කරන්න . උනන්දුව නම් හොඳටම මදි "

අම්මා ගියාට පස්සේ ප්‍රින්සිපල් සර් මා ගාවට ආවා .

"ඇත්ත කියාපන් කොල්ලෝ උඹ මේවා බලන විත්තිය අම්මා දන්නවයෑ .”

"අනෙ සර් මම ඕවා එකක්වත් බලලා නෑ සර් "

"එහෙනං අර අම්මා කීවේ ගෙදර ඉඳන්ම බලනවය කියලා "

"ඒ සර් කාටුන් , චිත්තරපටි වගේ සීඩී නේ ! අනික සර් ඕක මගේ නෙවෙයි . වෙන කෙනෙක් දීපු එකක් .”

"උඹ මේවා බලනවා කීවොත් උඹගේ අම්මා ඒක කොහොම ඉවසයිද ? ඒකයි මම මේ ගැන වගක් නොකීවේ අදට මම මේ සීඩී එක කඩා දානවා හැබැයි ඊගාව වතාවේ මම උඹ මේ වාගේ වැඩක් කරලා අහුවුනොත් පොලීසිට බාර දෙනවාමයි "

ලොකු සර් කීප වංඟියක්ම තටමමින් ඒ සීඩි එක කඩන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුණා .

"මොනාගෙන් හදලද මන්දා මට කඩන්න බෑ මේව ආ උඹම කඩහං මේක "

මගේ අතින් ඒ සීඩි එක එදා කැඩුනේ බෝංචි කරලක් කැඩෙන්නාක් වගේ .. !

"රං පාල ! රං පාල මේ තැටියේ කෑලි දෙක අරං උදළු බන්ඳෙන් ගහලා කුඩු කරලා කුඩු ටික පුච්චලා දාපං .නැත්තං ඕක ආයේ හදලා අරං ළමයි බලන්න බැරි නෑ .

ප්‍රින්සිපල් සර් පාසල් මෙහෙකරු රං පාල අයියට කතා කරලා එහෙම කීයලා මට පන්තියට යන්න අණ කලා .....!

රටක් රාජ්ජයක් දිනාපු එකෙක් වගේ මම විදුහල්පති තුමාගේ කාර්යාලයෙන් එලියට බහිද්දී ජෙමා සහ ගුණපාල සර් මා දිහා පුපුරමින් බලාන හිටියා . විදුහල්පති තුමා එදා නොහිටියා නම් මුන් දෙන්නා මගේ ආත්මෙම ගිනිතියලා දාන්න සූදානමින් හිටි වගත් මම දැනගත්තා . කොහොමින් කොහොම හරි එදත් මම බේරුණා ..

අද මේ කතාව හිනා වෙලා ලීවත් එදා මගේ අම්මා ඉදිරියේ විදුහල්පති තුමා මාව අසරණ කළා නම් මට මොනවා වේවිද, මොනවා හිතේවිද ? කියලා අද නම් මට හිතන්නත් බයයි . යක්‍ෂයෝ යක්‍ෂනියෝ වගේ ගුරුවරු අතරේ දෙවියෙක් වගේ විදුහල්පති තුමෙක් ටික කාලෙකට හරි මගේ ඉස්කෝලේ උන්නු හන්දා ජීවිතේදී විඳින්න ගිය මහා අවමානයකින් මම බේරුණා . එදයින් පස්සේ මම කිසිම දාක ඉස්කෝලේදී අසික්කිත සීඩී එකක් අල්ලන්න තියා එයින් එකක් තියන අහලකවත් හිටියේ නෑ. . . ! 
 

ප/ලි බෝම කාලෙකට කලින් මට වෙච්ච මේ සිදුවීම හදිසියේම මාව බලන්න ආපු මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්‍රයෙක් මට මතක් කර දුන්නා . ඉතින් ඒ කතාවත් අකුරු වෙලා බ්ලොග් පිටුවේ ඇලවුණා.

මාව බේරගත්ත මේ රත්තරන් විදුහල්පති තුමා ගැන මීට කලින් වතාවකුත් මම ලීවා මතකයි ...!


18.5.12

හූනෙක් නිසා වෙච්චි හදියක්




එදා දවල් වරුවේ යන්තම් වැහිපොදක් වැටුනා මමත් ගෙදර තැපගෙන නොයිඳ උඩහ ගම දිහාවට පොඩ්ඩක් ගෑටුවේ වෙනදා තරම් අවු කූටකයක් එදා නොතිබ්බ නිසයි . මේ තමා වැවුගම්පත්තුවට උපරිමේටම පායන කාලේ . ඉහින් කනින් අනන්ත දඩිය බිංදු බේරිලා කාස්ටක පොලවට වැටෙනකොට ඒ දාඩිය බින්දුව වැටිච්ච තැනින් පොඩි දුම් රැල්ලකුත් උඩට නැගෙනවා . ඉතින් කාලෙකට පස්සේ වැහැපු ඒ පොඩි මල් වැස්ස කාට කාටත් ගෙනාවේ පුදුම සතුටක් .

හෙට දිහාට වහින්න තමා මලයා මේ තරම් අවු කූටකේ ! .

කලින් දවසේ අහස දිහෑවේ බලාන උන්නු ජගත් අයියා මට අනාවැකියක් කීවේ ඇළේ බොර වතුරේ කරවටක් එබීගෙන ඉන්න අතරෙයි .

හෙට දිහාට වැස්සොතින් මොනා හරි කොරමුද ?

දත් මදිමින් උන්නත් කට පරිස්සම් කරගන්න බැරි මම මහා අකුසල කර්මයකට මුලපිරුවා .

හ්ම් හෙට වැස්සොතින් සතෙක් බාමු නේ මලේ ?

හ්ම් යමු යමු ..!

ඔන්න ඔයි විදිහට තමා මම ජගත් අයියා එක්ක දඩයමේ යන්න එක්කාසු වුණේ . !

දඩයමේ යාම මට ඒ තරම් අරුමයක් නෙවේ . මගේ මාමලා සීයලා එක්ක මම අනන්ත දඩයමේ ගිහින් ඇති . උන්ගේ අච්චු තුවක්කු මමත් අනන්ත කර තියාන ගිහින් ඇති . මැරිච්චි සත්තු මේ අත් දෙකෙන් වංගියක් දෙවංඟියක් හම ගහන්න උදවු වෙලත් ඇති . ඒත් මම කවදාකවත් සතෙක්ට වෙඩි තියලා නම් නෑ .

සීයගේ අච්චු තුවක්කුවෙන් වත්තේ කොහු අඹ ගහේ උන්නු දඬුලේනෙකුට එක වතාවක් මම කුරුමානම් ඇල්ලුව හැටි නම් මට හීනිවට වගේ මතකයි .අච්චුව උරිහට තියාන මම වැරදියට මානෙ ගනිද්දී මගේ ගාවට ආව ලොකු සීයා මගේ අත හරියට හැදුවේ “ඔහොම ගිනි බ්න්ඳෝතින් තොගෙ උරපත්ත ගැලවිලා යාවි” කියමින් . පවකටද පිනකටද මන්දා එදා මම තියාපු වෙඩිල්ල නම් වැරදුනා .

උඹට තුවක්කු මානෙ පිහිටන්නේ නෑ . උඹ පවුකාරයෙක් නෙවි .”

එහෙම කියවුව මගෙ සීයා ඊට පස්සේ කවදාකවත් මම තුවක්කුව අතට ගන්නවාට කැමත්තක් දැක්වුවේ නෑ ඒක හන්දා කිසිම දාක මට සතෙක්ට වෙඩි තියන්න ඉඩක් ලැබුනෙත් නෑ . කොලු කමට තුවක්කුවෙන් මානෙ ඇල්ලුවට මම සතුන් මරන්න අකමැතියි . ඒත් කොල්ලොත් එක්ක කැලේ කොලේට වැදිලා දඩයමේ යන්න ලැබෙන අවස්ථාවක් නම් මම ලේසියෙන් මග හැරියේ නෑ .ඉතින් ජගත් අයියා එක්ක දඩයමේ යන්න ලැබුන ආරාධනාවත් මම ඉස් මුදුනින්ම පිළිගත්තා .

ගං තුලානටම උන්න වෙඩික්කාරයෝ අතරින් දෙවනියට දක්‍ෂයා තමා අපෙ ජගත් අයියා .කිසිම වාදයක් නෑ පලමු වැනියා ඉතින් වනිගෙ අයියා තමා . වනිගෙ අයියා සතුන්ට වෙඩි තැබීම කාලෙකට ඉහත නතර කාලයින් පස්සේ ඒ තැන ගත්තේ මේ කියන ජගත් තමා . පොඩි කාලේ කැටපෝලෙන් ගල් දුන්නෙන් කුරුල්ලොන්ට ලේනුන්ට විදලා පහු කාලෙක බේත් කොටන තුවක්කුවෙන් වෙඩි තියන්න පුරුදු වෙච්ච ජගත් අයියා . අද වෙනකොට අච්චු තුවක්කුවට හොඳ පුරුදු කාරයෙක් ඇස් පියාන වුණත් ඉලක්කෙටම වෙඩි තියන්න පුලුවන් නොම්මර එකේ වෙඩික්කාරයෙක්.

ඌ තුවක්කුවෙන් පාන සුරු විරු කම් මට හොඳට මතකයි . එක වංගිටක් ඈත ගලක් මත්තේ යාන්තමට ගෝනෙකුගේ අං තට්ටුවක් හෙලවෙන හැටි කැලේ අයිනේ උන්නු අපි කවුරුත් දැක්කා . මොහොතකින් එතනට ආපු ජගත් තුවක්කුව ගල් දෙබුක්කාවකට හිර කරගෙන අං දෙක විතරක් පේන ගෝනාට මානෙ ඇල්ලුවා .

අපරාදේ බොල පතුරම ! ඔච්චර දුරක් වෙඩි තියන්න බැරුවා . !”

ගමේ එවුන් කියන කතා යන්තම්වත් මායිං නොකරවුව ජගත් අයියා කොකා ගැස්සුවා . ගල් තලාව උඩ උන්නු ගෝනා තත්පරේකින් රෝල් වෙලා ඇවිදින් බිමටම පතබෑ වුණා . එදා ගමේ කොයි කවුරුත් ජගත් අයියට පින් දෙමින් දඩමාලූ කෑවේ පවු පින් ගැන හිතීම පැත්තක තියනගමන් .

මම ජගත් අයියලෑ ගෙදර දිහාවට යද්දී වෙලාව හැන්දෑ ජාමේ 4 විතර ඇති. වෙනදාට නම් මේ ඉරගල පයින ජාමෙට වැටෙන රත්තරන් පාට අවුව ඇස් දෙක ඇරං ඉන්න බැරි තරම් සැරක් ගෙන දුන්නත් දවාලේ වැටුන වැස්ස නිසා ඒ වෙලාවේ තිබුනේ තරමක අඳුරක් .

මම ගෙට ගොඩ වෙනකොටත් ජගත් උගේ පන වගේ ආරක්‍ෂා කරන තුවක්කුව සුද්දකරනවා . මහන මැසින් එකට දාන තෙල් බෝතලයත් අමුඩ ලේන්සුවකුත් ඒ ලඟම වැටිලා තිබුනා .

සඳරු මලයා අනෙ හොඳ එකා වගේ දුවං ගිහින් පාල මාමලෑ කඩෙන් ගිනිපෙට්ටි අටක් ඇන්න වරකෝ රුපියල් හතරේ ගිනිපෙට්ටි තියෙන්නේ පාල මාමා ගාව විතරයි උගෙන්ම ගනිං.. !”

මමත් ආපහු හැරිලා මීටර් දෙසීයක් විතර එහයින් ඇලට උඩහ පාරේ තිබ්බ පාල මාමලෑ කඩේට ගිහින් ගිනිපෙට්ටි අටකුත් අරං ඉතිරි සල්ලි වලට කැප්ටන් දුම් වැටි දෙකකුත් මිලදී ගත්තේ ගාන සමබර කරන හිතාගෙනයි . මම ගිනිපෙට්ටිත් අරන් ආපහු එද්දී ජගත් උගෙ තුවක්කුව හොඳට පිරිසිදු කරලා මිදුලේ තිබුන බූරු ඇඳ උඩ තියලා තිබුනා .

ගිනි පෙට්ටි ගත්තද මලේ ?”

ගත්තා ගත්තා ..

එහෙනම් ඉතින් වෙඩිල්ල හදමු උඹ ගිනිකූරු සුද්දකරහං ..!

එහෙම කියාපු ජගත් කැප්ටන් එකකුත් පත්තු කරගෙන ගිහින් උගේ කබඩ් එකේ ලාච්චුවක් අවුස්සලා පරණ පතුරං කොපු දෙකක් උස්සගෙන ආවා . ! අලුත් පතුරම් ගන්න අහල පහල තැනක් නැති හන්දම ගමේ කොයි වෙඩික්කාරයත් කරන්නේ හිස් පතුරම් කොපු වලට වෙඩිබේත් පුරෝලා පාවිච්චියට ගන්න එකයි .

ගිනි පෙට්ටි හතරක වෙඩි බේත් එක්ක රෙදි කෑලි සහ තව තවත් මොනාදෝ යකඩ කෑලි කීපයක් එකට ඔබලා හෙමිහිට කොටන ගමන් පතුරම් පුරුවන උදවිය මම අනන්ත දැකලා ඇති . ඒත් මම නම් පතුරම් පුරුවන්න දක්‍ෂයෙක් නෙවේ .

අහක තිබ්බ පත්තර පිටුවක් ලඟට ඇදගත්ත මමත් ගිනි කූරු වල තිබුන වෙඩිබේත් ඇඟිලි වලින් හූරමින් එකතු කරන්න ගත්තා . මම එකතු කරන වෙඩි බේත් වටකුරු බෝතලයක් රෝල් කරමින් තව තවත් කුඩු කරන කටයුත්ත ජගත් අයියා කරන්න ගත්තා .

හිස් පතුරමක් පුරෝලා ගත්තාම ඒකට වියදම් වෙන්නේ රුපියල් අටක දහයක විතර පොඩි ගණනක් විතරයි . හරිහමං දඩයමක් හොයාගත්ත එකෙක්ට රුපියල් තුන් හාරදාහක් නිකම්ම අතට ගතහැකි. තරබාරු හොටබරියෙක්, ගෝන නාම්බෙක්, මුවෙක් අල්ලගන්න එකා එදාට ගේ ඉස්සරහා රතු රෙදි කෑල්ලක් එල්ලා දානවා එතකොට ගමේ කවුරුත් ඌට මුදල් ගෙවලා මස් අරගෙන යනවා .හේන් කුඹුරු වැඩ නැති කාලෙට සල්ලි හම්බු කරන්න කියලා ගමේ එකෙක්ට ඉතිරි වෙන්නේ දඩයම විතරයි .

ජගත් දඩයමේ යන්න හුරු පුරුදු වුණේ වයස අවුරුදු දාහතරේදී කියලා තමයි ඌ දවසක් මට කීවේ . ඒ ගැන තවදුරටත් අහගෙන හොයාගෙන යද්දී දඩයමට යේතු වුණ ප්‍රධාන කාරණේ මට ඌ කියාපෑවා .

මීට බෝම කාලෙකට ඉස්සර ගම වටේ තියන බුද්ධංගල කැලේ මහා විසාල මුව රංචුවක් උන්නා.උන් කැලේ තිබුනු පොඩි පොඩි ගස් වල තියන කොල හැම එකක්ම කාලා දාන්න ගත් නියං කාලෙට ගමේ හේන් වතු පිටි වලට වැදිලා ඒවා පාලු කරන්නත් ගත්තා . . අන්තිමේදී වගකිවයුත්තන්ට සිදුවුණා දඩයමේ යන දඩයක්කාරයන්ට ගෙවල් වලට ගිහින් මුව දඩයමේ යන ලෙසට උපදෙස් දෙන්න . ඔන්න ඔයි සන්දියේ තමා අප්පුච්චගේ ගිනිකඳයා අතට ගත්ත ජගත් ජීවිතේ පලවෙනි වතාවට තනියම දඩයමේ ගියේ . ජගත් අයියා කියන විදිහට නම් ඒ වෙනකොට ඌ තුවක්කුව තරමටවත් උස නැහැල්ලු ..

ඔයි ගිනිකූරු වල තව බේත් ඉතිරියි බං ..! සෝමාරි කම නැතුං හරියට හූරහංකෝ .”

ජගත් අයියාගේ තරවටුවෙන් මම ආයෙමත් වැඩේට බැස්සා . මාපට ඇඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් පොඩිකරලා ගිනිකූරු පෙට්ටි හතරක වෙඩිබේත් එක්කාසු කරන්න මට විනාඩි පාලොහක් විතර යන්නැති . මම එකතුකරන වෙඩිබේත් බොහෝම හීනියට පොඩි කරපු ජගත් බූරු ඇඳ මත්තේ හරහට තියාගත්ත ලෑල්ලක් උඩ තියාන පතුරම පුරුවන්න පටන්ගත්තා . ගම්මිරිස් කුඩු වගේ වෙඩිබේත් කුඩු පතුරමට පුරවමින් රෙදි කෑල්ලක් ඒ අතරට තියලා තෙරපන ගමන් කූරකින් හෙමිහිට තලමින් ජගත් පතුරමක් පිරෙවුවා . පොඩි එකෙක් වගේ මමත් ආසාවෙන් ඒ දිහා බලාන හිටියා .

එක පතුරමක් පුරෝලා අහවර කරපු ජගත් ඊලඟ පතුරමත් පුරවන්න පටන්ගත්තා . බූරු ඇඳ මත්තේ එරමිණියා ගොතාන වාඩිවෙලා උන්න මම පොඩියකට එතනින් නැගිටලා බිමට බැස්සේ අතේ ගෑවිලා තිබුනු වෙඩි බේත් හෝදගන්න හිතාගෙනයි .

ජගත්ගේ ගේ පිටිපස්සේ තියන ලිඳ ගාවට ගියපු මම වතුර බාලිදියක් ඇදලා අරං සබන් ගාපු අත බාල්දියේ ඔබලාම හෝදගත්තේ වටේ පිටේ කවුරුහරි දකීවිදෝ කියලා හොරැහින් බලන අතරේදියි . අත හෝදාගෙන ඇඳන් උන්න කමීසෙම පිහදාගත්ත මම ආයෙමත් ජගත් අයියා ඉඳගෙන උන් බූරු ඇඳ ගාවට කිට්ටු වුණා .

මම ජගත් අයියාව පේන මානෙට ආ හැටියෙම ඩෝං ගාගෙන මහා පිපිරුම් හඬක් ඇවිදින් මාව කැරකිලා ගියා කණ ගාවින්ම ඇහිච්ච ඒ පිපිරුම් හඬ නිසා තත්පර කීපයක් යනකම්ම මගේ කණ් දෙක අගුල් වැටුණා . අන්දුන් කුන්දුන් වෙලා උන්නු මම ආයෙමත් හොඳ සිහිය ආපුගමන් හනිකට දුවලා ගියේ ජගත් අයියා උන්න දැහෑවට . මම හිතන්නේ මම පියවි සිහියට එන්න අඩුම ගානේ විනාඩියක්වත් යන්න ඇති

බූරු ඇඳ උඩ උන්න ජගත් අයියා බූරු ඇඳෙන් බිමට බැහැලා හිටගෙන ගල් ගැහිලා බලාන හිටියා . උගෙ කකුල් දෙක පුරාම තිබුන සත විසිපහේ කාසියක ප්‍රමානයට පුංචි පුචි තුවාළ කැලැල් පනහකින් හැටකින් විතර එක දිගට ලේ ගලනවා . බූරු ඇඳේ ගෝනිය තැනින් තැන පිච්චිලා .

ජගත් අයියේ !”!

මම කෑගහමින් ජගත් ලඟට කිට්ටු වෙලා වැටෙන්න ඔන්න මෙන්න වගේ වැනෙමින් උන්න ඒකව වත්තං කරගෙන බිම ඉන්ඳුවා . !

ජගත් ජගත් කතා කරහං කොල්ලෝ !!”

මම උගේ කම්මුලට තට්ටු කරමින් කීප විටක්ම ඌව කතාකරවන්න හැදුවත් ඌ නෙවේ කටක් හෙල්ලුවේ ඒ විතරක් නෙවේ ඌ ඇස් පිය ගැහුවේවත් නෑ . බලගත්ත අතේ බලාගෙන ගල් පිළිමයක් වගේ උන්නා .

සුමති මාමා . කරුණාපාල මාමෝ !! කවුරුත් නැද්දෝ !!!

මම අහල පහල ගෙවල් වලට ඇහෙන්න මහ හයියෙන් කෑගැහුවා . ජගත්ගේ තුවාල වලින් එක දිගට ගලා යන ලේ දැක්කාම මට මොහොතකට හිතුනා ජගත් මැරේවි කියලා .

ඇයි ඇයි මොකද මොකද ?

කඩුල්ලෙන් ඇතුලු වුනු කීප දෙනෙක් හනි හනිකට වත්තට පැනලා මමයි ජගත් අයියයි වටේ වට වුණා .

ජගත් පුතේ ජගත් පුතේ උඹට මොනැයි වුණේ මයෙ දෙයියා ?.ඒ ආපු සෙනග අතරේ උන්න ජගත් අයියාගේ තාත්තා අඬන්න තියාගත්තා .

බලාගෙන ඉඳලා හරියනවෑ තිලක් ගේ ආටා එක කතාකරගෙන මේකව ඩිස්පෙන්සරියට ගෙනියමු ..”

මොහොතකින් වත්තට පිඹගෙන ආපු තුන්සක් රියට පටවලා ජගත්ව ඩිස්පෙන්සරියට ගෙනියද්දී ඒ තුන්සක් රියේ රියදුරු අසුන ගාව පුංචි ඉඩේ වාඩිගත්ත මමත් උන් එක්ක ඩිස්පෙන්සරියට ගියා . අපි යන අතරතුරේදිත් ජගත් කතාබහ කලේ නෑ . ඇස් දෙක ඇරගෙන බලාගත්ත අතේ බලාන ඉන්නවා .පිපිරුම් හඬ ඇහිච්චි මගේ කණ් දෙකෙනුත් හෝ හෝ ගාලා හඬක් නැගෙනවා .

ඩිස්පෙන්සරියේ තිබුනු ගිලන් ඇඳ මත්තේ ජගත්ව හාන්සි කරවුවාට පස්සේ ජගත් යන්තම් කට ඇරලා වචනයක් කීවා .

පතුරම කොටාපු කූර කැප් එකට හි .. හි ට්ටා

ජගත් වෙවුලමින් කියද්දී තමයි වෙච්ච දේ කාට කාටත් තේරුම් ගියේ . වෙඩිබේත් පතුරමට දාලා කොටමින් ඉන්න අතරේ ඒ කොටන කූර තදින් වැදීම නිසා පතුරම පුපුරලා ගිහින් . ! අත හෝදාගන්න අහකට නොගියා නම් අද මටත් ඉන්න වෙන්නේ ජගත් උන්න මේ ඇඳේ අහලකින් නේද ? මට එහෙම හිතුනා .

ඩිස්පෙන්සරියෙන් රෝහලට මාරු කරලා යවාපු ජගත් . දවස් තුනකට පස්සේ සනීප වෙලා ගෙදර ආවා. ඉතින් මමත් විජහට මගේ මිත්‍රයාගේ සැප දුක් බලන්න ගියේ හෝර්ලික්ස් පිටි පැකට් එකකුත් අරගෙනයි . මම නිසා මේ හැම දෙයක්ම සිද්ද වෙච්ච බව මට හොඳටම තේරුණා එදා මගේ කටින් අර වචනේ පිට වුණේ නැතිනම් මේ කිසිම දෙයක් නෑ නේ ! මට අනේක වාරයක් එහෙම හිතෙන්න ඇති . සමහරවිට ජගත් මගෙත් එක්ක අමනාපෙන් ඇති . උගේ ගේ ගාවට කිට්ටු වෙද්දී මට එහෙමත් හිතුනා

මම ජගත්ගේ කඩුල්ල ලඟටම යද්දී ගමේ තවත් එවුන් කීප දෙනෙක් එක්ක එලියේ කදේ දාගෙන උන්න ජගත් අයියා මාව දැකලා නැගිට්ටා .. !

අම්මෝ සඳරුවා ! මොනා බං මට ගෙනාවේ . අඩ්ඩඩ්ඩා මෝටමිල්ක් ගෙනල්ලා ! ඔවුවා බිවුවම බඩ වේලනවාලු නේ බං ? කමන්නෑ..! එක්කෝ මම මේක අමුවෙන් කන්නද ?

උගේ හිතේ කහටක් නෑ . ඌට වෙච්ච දේ ගැන ඒ හැටි ගාණකුත් නෑ . පතුරම පුපුරන්න කලියෙන් ගමේ උන්න ඒ ආතල් කොල්ලම තමා .

මං නං හිතුවේ උඹ ඉවරයි කියලා ජගත් අයියේ . !”

මොහොතක් සද්ද නැතුං උන්න මම කතාව පටන්ගත්තේ ඒ විදිහට.

මටනම් හිතාගන්නවත් බැරි වුණා බං . මම හෙමීට කොට කොටා ඉද්දී මගේ අත පොඩ්ඩක් තද වෙලා ගිහින් කොටන කූර කැප් එකටම හිට්ටා කියාපංකෝ !”

නෑ !

නැත්තෙ ? මේං බලාපං මයෙ වමත !

ජගත් උගේ වම් අත මට පෑවා ! එතකොටයි මම දැක්කේ උගෙ වම් අතත් තරමක් දුරට තුවාළ වෙලා තිබුනු හැටි මට ඒ අතේ තුවාළය හරි හැටි දැකගන්න බැරි වුණේ කිරිපාට වෙලුම් පටි වලින් උගේ අත හොඳ හැටි වෙලලා තිබුණ හන්දයි .

ඔයිං ගියා මදෑ බං මයෙ මේ කට හන්දා තමා මේ සේරම . !

උඹෙ කට හන්දා නෙවේ මලයා මේකට හේරෝම වැරද්ද මේ මයෙ . උඹ බේරිච්ච එකට මම දෙයියන්ට පින් දුන්නා බං . .. !

උඹගේ වැරැද්ද කොහේ බං මම නේ දඩයමක් ගැන මතක් කරලා උඹව උසි ගැන්නුවේ ?

මලයා උඹ ලිඳ පැත්තට ගියායින් පස්සේ මගෙ අතින් එක වංඟියක් කොටන කූර වීසික්කා වුණා . මම ඒක ආයි ඇහිඳගනිද්දිම හූනෙක් චික් , චික් ගෑවා බං . ඒත් මම ගොබ්බයා වගේ ඒක මායිං නොකර ආයෙත් කොටන්න ගත්තා බං . ! ඔන්න ඕකයි මට වැරදුනේ

උඹට ඒම හිතෙනවද ජගත්තයියා ?

නැතුං ඉතිං ආයේ මම පතුරං පුරුවන්නේ පුරුදු වෙන්ඩැයි යකෝ තෝ දැනගිය ! මම මේ පතුරං පුරුවන්නේ මම තුවක්කුවටවත් උස නැති කාලේ පටන් .”

ජගත්ගේ කතාව ඇහැවුවායිං පස්සේ මගේ හිතේ තිබ්බ ලොකූ බරක් නිදහස් වෙලා ගියා . හූනු සාස්තරේ හරි හරියටම හරි මගේ හිතේ හැඟිලා තිබුනු මොකද්දෝ හැඟීමක් ආයෙමත් වංඟියක් අලුත් වෙලා කෑමොර දෙන්න ගත්තා . මම මහා ජඩ වැඩක් කලාය කියන හැඟීම මගේ හිතෙන් අහක් වෙලා හූනු සාස්තරේ ගැන හිතේ තිබුන පිළිගැනීම ආයෙත් වංඟියක අලුත් වෙද්දී මම ගෙවල් පැත්තට ගෑටුවේ මේ කතාව ලියා දාන්න හිතාගෙන .

දවස් ගානක් තිස්සේ මගෙ වම් කණෙන් ඇහෙන කීං හඬත් හීන් වේදනාවත් තවම එහෙම්මයි . ටවුමේ මහ ඉස්පිරිතාලේ වම් කණ පිළිබඳ විශේෂඥ දොස්තර මහත්තයා හමුවෙලා මේ වෙච්චි කතාව සේරෝම කියාපාල මම බේත් ටිකකුත් අරගත්තා . සතියක් දෙකක් යනකම් දියේ ගිලිලා නාන්න හෙම එපා කියලා තමා දොස්තර මහත්තයා මට කීවේ . මේ දවස් ටිකේ පොඩ්ඩක් ලියන්න අතපසු වුණේ ඒකයි .


/ලි : ඔබා මාමා ගෙන් කමෙන්ට් එකක් ආයේ කවදාවත් නෑ නේදෝ කියලා හිතෙනකොට හිත හීනිවට අඬනවා ..!