දෙවනි කොටස
රුවන් අමාලිගේ කිට්ටුවට යනකොටම අමාලිගේ මූණ හිනාවකින් පාට වැටුණ හැටි මම දුර උන්නට හොඳටම දැක්කා . මට දැන් විශ්වාසයි මේ කෙල්ල හිඹිජ්ජි වගේ හිටියට අපේ රුවන් බතලයා ගැන මොකක් නමුත් කැක්කුමකින් ඉන්න බවට . කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි කාලා බැලුවත් කොහොමවත් තේරුම් ගන්න අමාරුයි .
රුවන් විනාඩි පහකට වඩා අමාලිත් එක්ක කතා කරමින් හිටියා අමාලිගේ දෙපස උන්නු මානවිකාවෝ ඩබල පැත්තකට වෙලා ඉඳන් හාංචිපයිස් ගහලා ඉරිසියාවෙන් බලාන උන්නා . රුවන් කතාව නවත්තලා ආපහු මම උන්නු දිහාවට එන්න හැරුණේ කල්ල වඩන සෑර්ගේ කාර් පොඩිත්ත දූවිලි කාගෙන ඇවිදින් පන්තිය ඉස්සරහා නතර කළායින් පස්සෙයි .
“ඉතින් මොකෝ වුණේ ?”
“මොකුත් නෑ අපි කතා කළා . වැඩේ නම් ඒ හැටි හොඳට කෙරුණේ නෑ .”
රුවන් මූණ එල්ලගෙන උත්තර දෙනකොට මටත් ටිකක් අප්සට් .
“ඉතින් උඹලා ජෝඩුව අර බොහොම ලස්සන මුකුළු කර කර කතා බහ කළේ . මට පෙනුණේ නෑ උඹලා අවුලෙන් කතා කරන වගක් .”
“ඉතින් සඳරු අයියේ මට කෙල්ල අකමැති කොට මම අර ළමයි සේරම ඉස්සරහා අඬන්නද ? මමත් කොල්ලා වගේ ෆේස් කළා . ඒකි ඉඳන් හිනා වෙවී මට බෑ කීවා .”
“කමක් නෑ ඔන්න මගෙන් වෙන්න ඕනෙ හරිය මම කළා . ආයේ එහෙම මාව සල්ලි වලට ගන්න හදන්න එපා . මම මලත් ප්‍රතිපත්ති කඩන එකෙක් නෙවේ .”
“අනේ මම නොදන්න උඹගේ ප්‍රතිපත්ති”
ඔය විදිහට වල්පල් කතා කරමින් පාරට ගියපු අපි ගෙවල් දිහාවට යන බස් කට්ටක එල්ලිලා ගෙදර ගියා . හවහට වැවු පිට්ටනියේ ව්‍යායාම එන බවට මම රුවන්ව පොරොන්දු කරගත්තේ පුදුම දහ දුකක් විඳලයි .
දවස් කීපයක්ම ඔය විදිහට මමයි රුවන් මල්ලියි ව්‍යායාම කරන්න වැවු පිට්ටනියට ගියා . මම හීතල බියර් බොන අතරේ රුවන් වැටෙමින් පෙරළෙමින් ව්‍යායාම කළා . උගේ පරුවතයක් වගේ ඇඟ නම් යන්තම්වත් අඩු වෙලා තියන වගක් මට පෙනුණේ නෑ ඒ වුණත් උගෙන් මම කලින්ට වඩා අමුතුම ප්‍රාණවත් බවක් දැක්කා . සුදුමැලි වෙලා තිබුණ මූණත් පාට වැටිලා ඇවිල්ලා . ඉස්සර ළඟින් ළඟින් තියාපු පියවර වළ පරතරය දැන් වෙනදටත් වඩා වැඩියි .
දවස් ගාණක් තිස්සේ හම්බුවෙච්ච මගේ දවසේ දීමනාව නිසා . මගේ පොකැට්ටුව නම් සෑහෙන දුරට පිරිලා. මගෙ හිතත් අමුතු සතුටකින් පිරිලා . සතුටයි සල්ලියි කොයිතරම් එකතුයිද කියලා මට එදා හිතුණා .
අතේ සල්ලි තියන කාලේ සතුටෙන් ඉන්න ඕනෙ. අද තියන සල්ලි හෙට වාෂ්ප වෙලා යන්නේ බිම නමාපු ආෆ්ට සේවු වගේ . අදම සල්ලි වලින් වැඩක් නොගත්තොත් හෙට වෙන්නේ හූල්ලන්න . ඒ නිසා මම පහුවදා උදෙන්ම පෙම්වතියත් එක්ක සාප්පු සවාරි යන්න වෙලාවක් වෙන් කරගත්තේ හැමදාම මට සල්ලි වලින් උදවු කරන මගේ කෙල්ලට මොනා හරි සුකුරුත්තං ටිකක් අරගෙන දීලා ඒකිගේ හිත පොඩ්ඩක් නළවන්න හිතාගෙනයි .
ඉතින් එක බ්‍රහස්පතින්දා දවසක හැන්දෑ ජාමේ මමත් මගේ පෙම්වතියත් සාප්පු සවාරියක් ගියා . අතින් කටින් බඩු මලු එල්ලගෙන ගෙවල් බලා එන්න හදන වෙලාවේදී කෙල්ල මට තවත් ඩෙන්ඩර් එකක් පාත් කළා .
“සඳරු මගේ කොණ්ඩේ පොඩ්ඩක් හදාගන්න ඕනෙ . අපි යමුද කුකීගේ සැලුන් එකට . ?”
ගෙදර ගිහින් ඇලට් එකක් දාන්න හිතාගෙන උන්නු මට තවත් මරාලයක් පාත් වුණා . දැන් ඉතින් මෙයා කොණ්ඩේ කපලා හෝදලා වේලගෙන එනකං ඒ ගෑනු සැලුන් එක ඉස්සරහට වෙලා මට වේලි වේලි තමා ඉන්න වෙන්නේ . කුම්බලා කරෝල කෑවා නං විඳපං පූසෝ කියලා හිතෙන් කියාගෙනම මමත් එයාගේ පස්සෙන් ඇදිලා ගියා .
“ඇයි මම ඇතුළට එන්න එපාද ?”
“අපෝ එපා . ඔයා අවොත් මට නිදහසේ කොණ්ඩේ කපා ගන්නවත් නෑ ඔයා හැම දේකම ඇද කුද හොයනවා නේ”
“අනෙ ඔයා බූ ගාගෙන ආවත් මට මොකෝ .. මම එළියෙම ඉන්නවා . !”
කුකීගේ සැලුන් එකේ මිදුලේ ලෑලි වලින් හදපු පුංචි බංකු පොඩියක් තිබුණා . කෙල්ලොත් එක්ක ඇවිදින් මෙතන චාටර් වෙන අහිංසක කොල්ලෝ වෙනුවෙන්ම ඒ බංකු පොඩිත්ත හදන්න ඇති කියලා මට හිතුණා . අතේ තිබුණු බඩු මුට්ට මම ඒ බංකුව උඩින් තිවුවේ බඩු මුට්ටු උස්සගෙන හිටියොතින් මේ සැලුන් එකට එන යන කාන්තාවෝ මම නාටාඹි ගොයියෙක් කියලා සැක හිතාවි කියලා හිතලයි .
සැලුන් එකට යන එන නොයෙක් වර්ගයේ පොමනේරියන් කෙල්ලෝ දිහා බලමින් මම ඒ බංකුව උඩ විනාඩි විස්සක් විතර සතුටෙන් වේලි වේලි ඉන්න ඇති .එක වරම තරමක් වේගෙන් ආපු බයික් දෙකක් මගේ ළඟම නතර කළා . . ඒ බයික් දෙකට පිටිපස්සෙන් පුට් සයිකල් දෙකකුත් ඇවිදින් නතර කළා . ඒ චාටර් බයික් සයිකල් ගැන්සිය දිහා මම බලාන හිටියේ ඔච්චමට වගේ .ඔන්න එතකොටම ඒ බයික් ගැන්සියෙන් එකෙක් ඉදිරියට ඇවිත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
කාගෙද මන්දා බයික් එකක් පෙන්වමින් ඌ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා
“මගේ නෙවෙයි !”
“තොගේ නෙවෙයි වුණාට කමක් නෑ මේක අයිනට දාපිය .”
“මොකද්ද තමුසෙ කීවේ අනුංගේ බයික් අහක දාන්න මම මොකෙක් කියලද තමුසේ හිතුවේ ?”
“තමුසේ එහෙනම් අපෙ කොල්ලොන්ගේ නංඟිලාට කොල්ලෝ සෙට් කරන්න දඟලන්නේ ඒ ඇයි ?”
එතකොටම මට තේරුණා මෙතන වෙන්නේ මොකක්ද කියලා . මේ ඇවිදින් ඉන්නේ පොල් මීයගේ සෙට් එක . මගේ පපුව වේගෙන් ගැහෙන්න වුණා . කොයි එකටත් කියලා මම අත ගුලි කරගත්තේ ගුටි කනවා වගේම එක ගුටියක් හරි දෙන්නත් හිත හදාගෙනයි .හිත හදාගත්ත මම හතර වටේට ඇස් හරවමින් පොල් මීයව හෙවුවා . ඒත් ඌ එතන හිටියේ නෑ .
එකෙක් පැන්න ගමන් මගේ මූණට දාර පාරක් දුන්නා . මම ඒ පාරට කොහෙත්ම සූදානමින් නම් නෙවෙයි හිටියේ . ඒක නිසා මාව අඩියක් විතර පස්සට තල්ලු වෙලා ගියා . හිතේ තිබුණු තරහවටයි කලබලයයි හන්දා වෙන්න ඇති මට ඒ ගහපු පාර යන්තම්වත් දැනේ නෑ .
මමත් පැන්න ගමන් මට ගහපු එකාගේ මූණටම හොඳ පාරක් දුන්නා මූණ සම්බල් වෙන්නම . ඌ පස්සට විසි වෙනවාත් එක්කම මම පැන්න ගමන් උගේ බෙල්ලෙන් අල්ලාගෙන ඌට තවත් ගුටි කීපයක් දුන්නා . ඔන්න ඔය අතරේ තමයි වටේ හිටි එවුන් ටික මට නෙලන්න ගත්තේ .
එකෙක් මගේ ඔළුව පිටිපස්සට හෙල්මට් එකකින් ගැහුවා . මට දැනුනෙවත් නෑ . තවත් එකෙක් මට පයින් ගැහුවා ඒත් එවේලේ තිබුණු මොකක්දෝ මන්දා අමුතු හැඟීමක් නිසා මට රිදුණේ නම් නෑ . මම වටේ පිටේ ඉන්න එවුන් ගැන යන්තම්වත් නොහිතා මට පළමු පහර ගහපු එකාගේ මූණටම ගුටි ගහමින් හිටියා .. මේ වලිය විනාඩි පහක් හයක් විතර තියෙන්න ඇති මගේ හයිය හත්තිය ටිකෙන් ටික අඩු වෙලා ගියා හතර වටින්ම වදින පාරවල් ටිකෙන් ටික මට දැනෙන්න පටන්ගත්තා .
ඔය අතරේදී දූවිලි කාගෙන ආපු පල්සර් බයික් එකක් අපේ ගැටුම සිද්ධ වෙන තැනට ආවේ පුදුම වේගෙන් .ඒ බයික් එකේ උන්නු එකාව මට ඒ මොහොතේ හරියට නොපෙනුණත් මම බයික් එකේ හඬින් ඒ ආපු එකාව ඇඳින්නා .මගේ හිතට දැනුණේ පුදුම සතුටක් .එක්ක අමුතුම හයියක් . ඒ ආවේ මගෙ හොඳම මිත්‍රයා වෙච්ච කිතුලා.
කිතුලා බයික් එකෙන් බැහැලා ආවේ හරිම සන්සුන් විදිහට . ඒ කිතුලගේ හැටි බය කියනදේ අපි ඇඳින්නට ඌ බය කියන දේ අහලාවත් නෑ . හෙල්මට් එක දෑත බදලා අරන් කිතුලා වලිය මැදට පැන්නා මොනා වුණාද කියලා නම් දන්නේ නෑ වලිය නම් ඉවරෙටම ඉවරයි වලියට ආපු එවුන් ගිහිල්ලත් ඉවරයි .
“සඳරුවා උඹට අමාරුද බං ?” කිතුලා මගෙන් එහෙම ඇහැවුවේ ටිකක් විතර අවුලෙන් වගේ .
“මට අවුලක් නෑ බං අනූ දැක්කොත් තමා කෙළිය . ඒකි කලබල වෙයි ඒක නිසා මම හනිකට ගිහින් මේ අත හෝදගෙන එන්නම් .”
“ආයෙ දකින්න දෙයක් නෑ උඹගේ කෙල්ල තමා මට කෝල් කළේ . එවේලේ මම බාලිකා හන්දියේ උදයපාලගේ ගැරිජ් එකේ හිටියේ බයික්කේ චේන් එක තද කරන ගමන් . කෝල් එක ආපු ගමන් මම පැනලා බයික්කේ අරන් ආවා චේන් එක තද කර කර උන්නු උදයපාලයා බයික් එකට යට වුණාද මන්දා . හෙක් හෙක් .”
මම ආපහු හැරිලා කුකීගේ සැලුන් එකේ ඉස්සරහා අඳුරු වීදුරුව දිහා බැලුවා . ටිකක් වෙලා ඒ දිහා බලද්දී ඒ වීදුරුව විනිවිද යන බැල්මට් එකක් දාන්න මට පුළුවන් වුණා . පර වෙච්ච මලක් වගේ මූණක් එක්ක මගේ දිහා බලාන හිටියේ මගෙ කෙල්ල . එයාට පිටිපස්සෙන් තවත් සැලුන් එකට ආපු ගෑනු පෝලිමක් කම්මුලේ අත තියාගෙන මගේ දිහා බලාන හිටියා . “වසල නෝන්ඩිය” . මම හිතෙන් මිමිනුවා .
එදා රෑ නිදාගන්න ඇඳට වැටුණහම තමා මට හැන්දෑවේ අල්ලපු අඩවුවේ සැප දැන්නෙන්න ගත්තේ .මගේ ඔළුව ගෙඩි ගැහිලා තිබුණා ඒ විතරක් නම් මදෑ යටි බඩත් කොර වුණා. ඒත් පහුවදා අවදි වෙද්දී ඒ අමාරු බොහෝමයක් නැතිවෙලා ගිහින් තිබුණා . ඉතින් එදා මම වැඩට නොගිහින් ගෙදර හිටියේ ඇඟ පතේ අමාරුවෙ ආයෙමත් උත්සන්න වෙයි කියලා හිතලයි .
“උඹට මම කොච්චර කියලා තියනවාද ඔය චීත්ත සීන් වලට යන්න එපා කියලා කෝ උඹ අහන එකක් යැ .”
“මොනා කරන්නද බං.? අර රුවන් මලයා මට සල්ලි පෙන්නුවානේ ඉතින් මම කොර වුණා. උඹ දන්නවානේ මේ දවස් වළ මගෙ අතේ සතේ නැතුව මම වේලි වේලි හිටිය විත්තිය .”
“ඒක නෙවෙයි සඳරු මම ආවේ උඹව යාළුවෙක් හම්බු වෙන්න එක්ක යන්න .”
“කාවද ?”
“පොල් මීයව .”
“ඒ මොකටද ඌට ඕන්නං ඇවිදින් මාව හම්බු වෙන්න කියාපං . මම මොකටද ඌ ගාවට බඩගාන්නේ ?”
“මචං අපිට ඔය යකඩ බජාර් එකේ එවුං එක්ක කේස් දාගෙන මේ පැත්තේ වසන්න වෙන්නේ නෑ උඹ දන්නවානේ උං එක්ක හැප්පෙන්න කවුරුත් නැති විත්තිය . ඉතින් අපි මේක ෂේප් කරමු .”
කිතුලා කීව කතාවට මගේ හිතත් අවනත වුණේ ඉබේටමයි . ඇත්ත..! යකඩ බජාර් එකත් එක්ක පැටලෙනවට වඩා උංව අපේ යාළුවෝ වගේ තියාගන්න එක ඇඟට පතට ගොඩාක් සනීපයි . හෙල්මට් එකකුත් අරගෙන කිතුලාගේ බයික් එකේ පිටිපස්ස සීට් එකේ මම ඉඳගත්තේ යකඩ බජාර් එකත් එක්ක සටන් විරාමයකට සෙට් වෙන්න කියලා හිතාගෙනයි .
කිතුලා බයික් එක පැදගෙන ගිහින් ටවුමේ ප්‍රයිවට් බස්ටෑන්ඩ් එක පිටිපස්සේ තිබුණු කක්කුස්සිය ගාව නතර කළා . යාන්තමට ගැහි ගැහී මම ඒ බයික් එකෙන් බිමට බැස්සේ ආයෙ වතාවක් නම් ගුටි කන්න හයියක් මගේ ඇඟපතේ යන්තමටවත් නැති බව හොඳටම දැනගෙනයි .
කක්කුස්සිය අද්දර තිබුණු අන්දර ගහක් යට පොල් මීයා වාඩි වෙලා හිටියා . යකඩ බජාර් එකේ තවත් අයියලා හත් අට දෙනෙක් ඌ එක්ක බිම ඉඳගෙන බීඩි ගහමින් සතුටු සාමිච්චියේ යෙදෙමින් හිටියා . හෙල්මට් එක අතට අරන් කිතුලා ඉස්සර වුණා .
කිතුලා පොල් මීයට ටෝක් කළ විදිහ දැකලා මට පුදුම හිතුණා . උගේ ඒ හැසිරීම ඉදිරියේ මගේ බයත් කොහෙ ගියාද මන්දා ?
“සඳරු වාඩියං පොඩ්ඩක් අපි ටිකක් ආස්සරේ කරමු .”
මමත් කිතුළත් පොල් මීයා ඉඳගෙන උන්නු අන්දර ගහ යට ඉඳගත්තා සාක්කුවෙන් කැප්ටන් සිගරට් පැකට් එක අතට ගත්ත පොල් මීයා ඒකෙන් එකක් සහ ගිනි පෙට්ටියක් මගේ දිහාවට පාස් කළා . මගේ සිගරට් එකෙන් දුම් නගින්න ගත්තාට පස්සේ පොල් මීයා කතාවට බැස්සා . ඒ කතාව රතු ඉන්දියානු නායක සියැටල්ගේ කතාව තරම්ම උත්කෘෂ්ටයි.
“සඳරු උඹගේ නංඟිට කවුරුහරි කොල්ලෙක් ටෝක් කළොත් උඹ මොකද කරන්නේ ? මම හොඳටම දන්නවා බං උඹ කරන දේ . උඹ ඌව බය ගන්නන්න හදයි බැරිම වුනොතින් නෙළයි . මමත් කළේ ඒ වැඩේ තමයි . අපේ පොඩි කෙල්ලෝ තාම උසස්පෙළ කරන වයසේ බං කොළඹ නුවර එවුන් මේ කාලේ වෙනකොට කරන්න ඕනෙ වල් වැඩ සේරම කරලයි ඉන්නේ ! ඒත් මේ අම්පාර බං ඉස්කෝලේ යන කාලේ ලවු කරන එක මේ පළාතට මැජික් ! . ඔවුවායිං වෙන්නේ කෙල්ල චා වෙන එක.අම්පාරෙදී කෙල්ලෙකුට කැත කතාවක් හැදුණොත් ආයෙ කිරි කළ හතකින් නාවලාවත් ගෙට ගන්න බෑ යකෝ . නැද්ද මං අහන්නේ ?”
“හ්ම්”
“අපි ඉස්කෝලේ යන කාලේ ගන්න තියන හැම ආතල් එකක්ම අරගත්තා . ඒත් අන්තිමට අපිට වුණේ කාලකණ්ණි වෙන්න .අපි මොකටද බං ඒ වැඩේ අපේ පවුලේ අනික් එවුන්ටත් වෙන්න දෙන්නේ ? සඳරුවා මම උඹට මේ හොඳින් කියන්නේ උඹ ආයේ ඔය වගේ සීන් වලට සම්මාදං වෙන්ඩ නම් එපා .”
“හරි උඹ එක්ක අපි ෂේප් ! ඒත් තව පොඩි වැඩක් කරන්න තියනවා . ඔය මගේ නංඟිට අවලං මැසේජ් ගහන තඩියාව මට හොයාගන්න ඕනෙ . හොයාගෙන උගේ ගෙදර මහ එකාලට සද්දයක් දාලා ඌට දෙකක් නෙලන්නත් ඕනෙ . එහෙම කරන්නේ ආය ඌ ඒ වගේ වැඩ නොකරන්න .”
“උඹට උගේ විස්තර දෙන්න බැරිනං හංඟා ගනිං . මට මගේ නංඟි ඌ ගැන සේරම ඩීටේල් දුන්නා . මට තියෙන්නේ වෙලාවක උගේ ගෙදෙට්ට ගිහින් පොඩි සද්දයක් පාත් කරන්න විතරයි . මම ඒක කරනවා .”
පොල් මීයටයි උගේ සේනාවටයි ඕනෙ දෙයක් කරගන්න ඇරලා මමයි කිතුළයි එතනින් හෙමිහිට මාරු වුණා . ආයේ නම් සල්ලි නෙවෙයි මුතු මැණික් දෙනවා කියලා කීවත් මම මේ වගේ වැඩ වලට සම්මාදම් නොවී ඉන්න තදින්ම හිතා ගත්තා . පොල් මීයාගේ පැත්තෙන් බැලුවාම ඌ සීයට සීයක්ම හරි . ඌ අද ඉන්න තැන මම උන්නා නම් මම කරන්නෙත් ඔය දේම නේද කියලා මට නිතරම හිතුණා
******
දවස් දෙක තුනක් ගත වුණා රුවන් නොවරදවාම ව්‍යායාම වලට නම් සහභාගී වුණා ඒ වගේමයි ඌ අමාලිට මැසේජ් යවන එක සහ මිස් කෝල් ගහන එකත් නතර කරලා තිබුණේ නම් නෑ . ඌට ඒ වැඩේ නොකර පාඩුවේ ඉන්න කියලා මම වැන්දේ නැති ටික විතරයි . ඒත් පහන් දැල්ලක් පස්සේ දුවන පලගැටියෙක් වගේ ඌ ඒ කෙල්ල පස්සේ එළවමින් හිටියා . දවසක් රෑ එකොළහමාරට විතර මගෙ ෆෝන් එකට රුවන්ගෙන් කෝල් එකක් ආවා .
“සඳරු අයියේ පොල් මීයා සෙට් එකක් එක්ක ඇවිදින් අපේ තාත්තට බනිනවා . මම පිටිපස්ස ජනේලෙන් පැනලා වැවට ආවා . අනේ උඹත් පොඩ්ඩකට වරෙං .”
අඳුරෙම අතපත ගාලා සෙරෙප්පු කටු දෙකකුත් හොයාගත්ත මම ෆෝන් එකේ ටෝච් එකත් දල්වාගෙන වැව පැත්තට දිවුවා . වැවේ පිටවාන ගාව කඩාන වැටිලා තිබුණු තිඹිරි ගහක කඳක් උඩ රුවන් වාඩි වෙලා හිටියා .ඌ ඒ ඉන්න විදිහ දැක්කාම මගේ හිතට නම් පොඩ්ඩක්වත් දුකක් නම් දැනුණේ නෑ .
රුවන් හයියෙන් අඬනවා මම කළුවරේම දැක්කා. ඒ අඬන ගමන් මොනවාදෝ කියන්නත් උත්සහ කරනවා ඒත් ඒ වචන පැහැදිලි නෑ .
“අඬන එක නවත්තලා ගෙදර යං .” දැන් පොල් මීයා සහ පිරිවර ගිහිං ඇති කියලා හිතුණ නිසා මම එහෙම කීවා .
රුවන් උන්නු තැනින් නැඟිටලා කලිසමේ තිබුණු වැලි පිහදාගෙන මගේ ෆෝන් එකේ එළියෙන් ගෙවල් පැත්තට ගෑටුවා . යන අතරේදී ඌ නාහෙන් අඬන්නත් ගත්තා
“තාත්තා මට බණියි බං . හෙටම මාව නුවර ගිහිල්ලා දමාවි බං . !”
“ඉතින් මල්ලී මේ සේරම අවුල් අමතක කරලා උඹ නුවර ගිහින් හොඳට ඉගෙන ගනු .”
“මට බෑ මට බෑ බං අමාලිව දාලා යන්න මේ ගමේ ඉද්දී ඒකි මට යන්තම් හරි දකින්න ඇහැකි ඒත් මම නුවර ගියාම මම කෝමද ඒකිව බලන්නෙ ?”
“අනේ මන්දා බං”
මම රුවන්ව උගේ ගෙදර ගෙට්ටුව ගාවටම එක්කරගෙන ආවා . ගෙදර පිලේ ඉඳගෙන හිටි තිලකේ මාමා හනි හනිකට අපි ගාවට දුවගෙන ආවා .
“සඳරු පුතේ මේකා කොයිබද උන්නේ ?”
“වැවේ උන්නා මාමේ මම එක්කරගෙන ආවා . බනින්න හෙම එපා හෙමීට කරුණු කාරණා කියාදෙන්න පොඩි එකා නේ !”
“අනෙ මූ හරි හොඳ පොඩි එකා. අර යකඩ බජාර් එකේ උං එක්කයි මූ පෑහෙන්න හදන්නේ . උඹ දන්නවානේ උං මැරයෝ කියලා උං එක්ක පෑහෙන්න අපි හෙහ් .. තෝ හෙටම නුවර යන්න ලැහැත්ති වෙයං . සකලසූරිය බස් එකට මම කෝල් එකක් දීලා සීට් බුක් කළා තෝ හෙටම පල නුවර නැත්තම් මම තෝව පට්ට ගහනවා”
*****
“අයියේ අයියේ නැගිටිනවා හනිකට .. !”
මගේ නංඟිගේ කෑගැහිල්ල ඇහිලයි මම පහුවදා උදේ අවදි වුණේ .
“මොකෝ ?”
“අන්න තිලකේ මාමගේ පුතා හාල් මෝලට අත දාලා අත තුවාල කරගෙන ! උඩහ ලොකු නැන්දලාගේ ත්‍රීවිල් එකෙන් ඉස්පිරිතාලේ ගෙනිච්චා .”
“අර මොකෝ මෝලට අත දාන්න ගිහින් තියෙන්නේ ?”
“රුවන් උදේ අමාලිට කෝල් අරගෙන ඒක දැක්ක තිලකේ මාමා ෆෝන් එක අරන් මෝලට දාලා රුවන් ඒක ගන්න අත දාලා”
“ගොඩක් අමාරුද ඌට ?”
“වම් අතේ ඇඟිලි දෙකක් කැඩිලා ගිහිල්ලලු ? ආයෙ හදන්නේ කොහොමද නේද ඉතින් ?”
මම ලොකු හුස්මක් පිට කරලා ආයෙමත් ඇඳේ මුනිං අතට පෙරළුණා . හිත කෑගහලා කියනවා මේ සිද්ධ වෙච්ච දේට මමත් වැරදි කාරයෙක් කියලා .රුවන්ට පොතේ පතේ දැනුම තිබුණට කෙල්ලො සම්බන්ධ දේවල් වලදී නම් ඌ අමුම අමු මෝඩයෙක් නැත්තම් කෙල්ලෙක් නිසා උගෙ අනාගතේම කාලකණ්ණි කරගනීවිද ?.
රුවන් වමත් කාරයා. ඌ අකුරු ලීවේ වමින්. දැං ඉතින් ඌ ලියන්නේ මොන අතින්ද ? මම උගෙන් සල්ලි අරන් ඌට බ්‍රෝකර් වැඩ කරන්න ගියා කියලා තව ටික දවසකින් මේ ගමම දැන ගනිවී ඊට පස්සේ රුවන් කාට කාටත් රත්තරන් පුතෙක් වෙන අතරේ මාව හැමෝටම කටගැස්ම වේවි .
එදා ඉර ගල පයින ජාමෙට බෝතල්කුයි වීදුරු කීපයකුයි අරන් මම වැවු පිටියට ගියා . මම වැවු පිටියට එනකොටත් කිතුළයි මගෙ තවත් හොඳම මිත්‍රයෙක් වෙච්ච මොරටුයි දෙන්නා .බයිට් සහ සෝඩා එක්ක ඇවිදින් හිටියා . ගිනි වතුරෙන්වත් හිත හෝදලා දාලා යන්තම්වත් පිරිසිදුවෙන්නයි මට ඕනෑ වුණේ . බෝතලේ ඉවර වෙද්දී මේ කැලතිලා තියන හිත සන්සුන් වුණත් ආයේ රුවන් දකින දකින වාරයක් ගානේ මට මේ පවුකාර හැඟීම දැනෙන බව මම දන්නවා ..
හැන්දෑ අඳුර වැවු පිටියට වැටෙන අතරේ වතුර නැතිව හිඳිලා ගියපු වැව පුරාම පැතිරුණේ මහ මුස්පේන්තු බවක්. ඒකත් හරියට මගෙ හිත වගේ !..