17.9.13

රාළහාමි

ටවුමට යන අතර මහදී පාරෙ අයිනේ පුංචි ගෙදරක උන්නු මන්දමානසික කොල්ලෙක්ව මම නිතරම දැක්කා .ඌ මට වඩා වයසින් සෑහෙන්න වැඩිමල් වුණත් මනසින් යාන්තමටවත් මෝරලා නැති ඌ බොහොමයක් වෙලාවට පාර අයිනට වෙලා පාරේ යන වාහන දිහාවේ කට ඇරගෙන ඔහේ බලාන හිටියා.

ළඟකදී ඉඳන් මම බයික් එකකින් ටවුන් යන විටදී මම ඒ මන්ද මානසික කොල්ලා පාර අයිනේ ඔහේ බලාන ඉන්නවා දැක්කොත් මම ඌට හිනා වෙලා සැලියුට් එකක් දාන්න පටන්ගත්තා ..මුල් දවස්වල පුදුමයෙන් මං දිහා බලාන උන්නු ඒකා පස්සේ පස්සේ මූන පුරා හිනා වෙලා ඌටම ආවෙණික අමුතුම සැලියුට් එකකින් මටත් සංග්‍රහ කෙරුවා .. මාසයක් දෙකක් ගත වුණාම ඌ මගේ සැලියුට් ෆ්‍රෙඩා බවට පත් වුණා ..

එක දවසක බයික් කටුවෙන් අම්පාර ටවුමට යන අතරේදී මම මගේ ෆ්‍රෙඩාට සැලියුට් කරනවා දැකපු බයික්කේ පිටුපස අසුනේ හිටපු උපුලා මගෙන් මෙහෙම ඇහුවා ..

"මොකදෑ සඳරු උඹ ඔය ලෝකයා හිනස්සන වැඩ කරන්නේ ?"

"නෑ බං ඌ පාර දිහෑ බලාන ඉන්නේ කිසිම අරමුණක් නැතිව ඉතින් මං දැං ටික කාලෙක ඉඳන් ඌට හෝන් ගහලා සැලියුට් දානවා . ඉතින් ඌත් දැං පාර දිහා බලාන ඉන්නේ මං එනකම් ... උඹ දැක්කේ නෑද උපුලේ උගේ මූණේ තිබිච්ච සතුට..? යකෝ ඒ සතුට ඌට දුන්නේ මම නේ .."

බියර් එකකින් සප්පායම් වෙලා හිටි මම උපුලාට ඒ විදිහට ටෝක් කෙරුවා .

"ඌට සතුටු ඇයිද දන්නවාද බං ..?. ඌ වගේ තවත් එක මොංගලයෙක් හරි මේ වැවුගම්පත්තුවේ ඉන්න එකටයි ඌට සතුටු .. උඹටත් මොංගල් බව ඌ දැනගෙන ඌට තනියක් නැති නිසා තමයි ඌට හිනා යන්න ඇත්තේ .."

උපුලා එහෙම කියලා නක්කලේට හිනා වුණාම මගෙ මොංගල් හිත ටිකක් විතර රිදුනා ..

මන්ද මානසික එවුන් ඉදිරියේ මම කොහොමත් සංවේදියි.. මගේම සමහර යාළුවෝ උන්ව පිළිකුල් කරද්දී මම උන්ට මට හැකි විදිහට කරුණාවන්ත වුණා ..කාලෙකට කලියෙන් නොතිබුණු ඒ කරුණාවන්ත කම මගේ හිතට ආවේ මේ මෑතකදී. ඇත්තටම කීවොත් මගේ මොංගල් හිතට ඒ බෝධිසත්ත කරුණාව පහළ වුණේ රාළහාමි හන්දා ...

ජීවිතේ කියන්නේ බොහොම අසාධාරණ තරඟයක් විත්තිය කවදාකවත් දැනගෙන නොහිටි. ජීවිතේ ගැන වගේ වගක් නැතිව ජීවත් වෙච්ච රාළහාමි ගැන මේ විදිහට මට ලියන්න හිතාන හිටියේ දැන් කාලෙක ඉඳලයි....

රාළහාමි කීවේ මගේ ලොකු මාමාගේ -ලොකු දුවගේ -ලොකු පුතාට . අපි කවුරුත් මිනිහට හුරතලේට කීවේ රාළහාමි කියලා . මට නම් රාළහාමිගේ මුළු ජීවිතේම පෙනුණේ චිත්‍ර කතා පොතක් වගෙයි. ඕනෙ නම් කියවලා හිනා වෙන්නත් , අවසාන කොටසට එද්දී ඕනෙ නම් අඬන්නත් පුළුවන්. මම රාළහාමිව දන්නේ ඌ උපන් දා පටන්ම.ඒ හන්දා රාළහාමිගේ ජීවිත කතාව උගේ අම්ම අප්පටත් වඩා හොඳින් මං දන්නවා.

ගිය අවුරුද්දේ හත් වෙනි මාසේට රාළහාමිගේ වයස අවුරුදු 14ක් පිරුණා . වයසින් තරුණයෙක් වුණාට රාළහාමි හිතින් බොහොම පොඩි එකෙක් . කෙටියෙන්ම කීවොත් රාළහාමි මන්ද මානසිකයි. මනස අවුරුදු හයක හතක ළමයෙකුගේ තරමටවත් මෝරලා නෑ . මට තාම මතකයි රාළහාමිගේ දෙමවුපියෝ රාළහාමිව නිතර නිතර ඉස්පිරිතාල ගානෙ එක්ක ගිය හැටි . ඒත් වැඩක් වුණේ නෑ .

නෑදෑ කම හන්දා රාළහාමිට මම මාමා වුණා. ඒත් ඌ කවදාවත් මට මාමා කියලා නම් කතා කළේ නෑ . රාළහාමි කොයි වෙලේත් මට කතා කළේ සඳරු කියලා .

කාලයක් රාළහාමියි මමයි දෙන්නම එකම ඉස්කෝලේ ඉගෙන ගත්තා . මම සාමාන්‍ය විදිහට මගේ වයසේ ළමයි එක්ක ඉගෙන ගනිද්දී රාළහාමි ඉස්කෝලේ වත්තේ කෙළවරේ කැලෑ මායිමේ තිබුණ . මනසින් දුබල ළමයි ඉගෙන ගත්ත විශේෂ පන්ති කාමරයක ඉගෙන ගත්තා . ඒත් පුළුවන් වෙච්ච වෙලාවට හෙමීට පන්ති කාමරෙන් එළියට පැනගන්න රාළහාමි මාව හොයාගෙන ආවා .

"සඳරු සල්ලි එකක් දීයන්.."

මගේ පන්තියේ කොට බිත්තිය බදාගෙන රළහාමි මගෙන් ඒ ඉල්ලන්නේ රුපියල් දෙකක් .

"මොකටද බොල තොට සල්ලි . ?"

"කූල් පැකට් එකක් ගන්ට ."

කලාතුරකින් මට රාළහාමි ගැන දුක හිතුණා . ඒ වෙලාවට මම රාළහාමිව හෙමිහිට කැන්ටිමට එක්ක ගිහින් අයිස් පැකට් එකක් අරන් දීලා ආයෙමත් ඌව උගේ පන්තියට ගෙනිහින් ඇරළුවා . ඒත් සමහර දාට රාළහාමි මගෙන් සල්ලි ඉල්ලද්දී මට අසූහාරදාට කේන්ති ගියා . ගෙදර වැඩ මග ඇරලා හෝ ගණං වරද්දලා ගුරුවරුන්ගෙන් බැණුම් අහපු, ගුටිකාපු දාට මම ඒ තරහ පිරිමැහුවේ රාළහාමිගෙන් . හැබැයි කොච්චර මම කොයිතරම් ගැහුවත් බැන්නත් රාළහාමි ඒවා හිතේ තියාන උන්නේ නෑ . ඉස්කෝලෙ ඇරෙනකොට මාව හොයාගෙන ආවා .

රාළහාමිත් මමත් දෙන්නම එකම ඉස්කෝලේ ඉගන ගත්ත නිසා කවුරු කවුරුත් රාළහාමිගේ වගකීම මට පවරලා තිබුණා . ඒ බව ඉස්කෝලේ ගුරුවරු වඩා හොඳින්ම දැනගෙන හිටියා . රාළහාමි ඉස්කෝලෙ ඇඳුමේ රුන්නහාම රාළහාමිගේ ගුරුතුමා මට එන්න කියලා පණිවිඩ එවුවා . ඒත් මම රාළහාමිට උදවු වෙන්න ගියේ ජීවිතේටම වතාවයි නැත්තම් දෙකයි අනෙක් හැම වතාවෙම මොනවා හරි කියලා මම මග ඇරියා එක්කෝ හැංගිලා හිටියා .

රාළහාමි ඉස්කෝලේ ගියේ අවුරුදු දෙකහාමාරක් හෝ තුනක් විතරයි . දිගින් දිගටම අසනීප වෙන්න ගත්ත නිසාත් ඌව ඉස්කෝලේ එවීම කාටත් කරදරයක් වීම නිසාත් අන්තිමේදී රාළහාමිගේ ඉස්කෝලේ ගමන නැවතුණා .

ඇත්තටම කීවොත් රාළහාමිගේ ඉස්කෝලේ ගමන නැවතුන එක වඩා හොඳයි . මනසින් දුබල ළමයින්ගේ පන්තිය භාරව උන්නු ගුරුතුමා වුණත් තරමක් මොංගල් වැඩ කරමින් ඉස්කෝලෙ වත්ත වටේ ඇවිදිමින් ගුරුවරියන් එක්ක මුකුළු කරමින් උන්නු නිසාම අහිංසක ළමයින් ගැන හොයන්න බලන්න යන්තම්වත් වෙලාවක් ඒ ගුරුතුමාට තිබුණේ නෑ . අදටත් මම සතුටු වෙනවා රාළහාමි ඒ පන්ති කාමරයක හැඩ හුරුකම් ගත්ත වධකාගාරෙන් ඉක්මනට නිදහස් වෙච්ච එකට .

කාලේ ගත වුණේ හෙමින් නෙවෙයි . කාලේ ටික ටික හත වෙනකොට රාළහාමි තමන්ගේ වැඩ බොහොමයක් තනියම කරගන්න පටන්ගත්තා . අවුරුදු ගාණක් මිදුල මැදම මළපහ කරපු රාළහාමි අපි වගේම කක්කුස්සි යන්නත් ඉගෙන ගත්තා ඒ ගැන කවුරුත් සතුටු වුණා . ඒත් ඒ පිටිපස්සේ දුක හිතෙන කතාවකුත් තිබුණා .

රාළහාමිගේ මූණේ දැලි රැවුල් ආ කාලේ පවා ඌ මළපහ කළේ ගෙයි මිදුලේ . ඌට කවුරුත් මොකුත් කීවේ නෑ ඒත් දවසක් රාළහාමි මිදුල මැද මළපහ කරමින් ඉන්න අතරේ කවුදෝ අසමජ්ජාතියෙක් රාළහාමිගේ පස්ස පැත්තට මිරිස් කුඩු විසි කරලා තිබුණා . එදා රාළහාමි ලතෝනි දීලා ඇඬුව හැටි මට තාමත් ඇහෙනවා වගේ . රාළහාමිට මිරිකුඩු ගැහුවේ කවුද කියලා කාටවත් හොයාගන්න බැරි වුණා . ඒත් එදායින් පස්සේ රාළහාමි කක්කුස්සි යන්න පුරුදු වුණා . ඒක වටේ පිටේ කාටත් ලොකු සැනසීමක්ම වුණා .

රාළහාමි කොයි මොහොතේ වුණත් කන්න ආසා කළේ අල කිරි හොදියි පානුයි . තුන් වේලටම වුණත් පානුයි කිරිහොදියි තියනවා නම් රාළහාමිට වෙන මොකුත් ඕනෙ නෑ . සමහර දාට මට කෝල් කරන රාළහාමි

"සඳරු පාං ගෙනෙං ." කියලා කියනවා .

රාළහාමිට අංකයක් ඔබලා ෆෝන් කෝල් එකක් ගන්න බැරි විත්තිය නොදැන ඉන්න තරම් මම අඳබාලයෙක් නෙවෙයි . ඉතින් ඒ වෙලාවට මම තේරුම් ගන්නවා මගේ අක්කා හරි අයියා හරි මම ලවුවා පාං ගෙන්න ගන්න රාළහාමි ලවුවා ගොතවුව නූල් සූතරයක් කියලා . ඒ නිසාම රාළහාමි මට කෝල් කෙරුව ගමන්ම මම ඌට පාං භාගයක් අරන් ගියා .

රාළහාමිට මම පාං අරගෙන ගිය බොහෝ වෙලාවට ඌ පාං ගිලිනකම් මම ඒ ළඟට වෙලා ඉන්නත් ඕනෑ .හරියට හපන්නේ නැතිව පාං ගිලින රාළහාමි නිතරම පාං වාටි උගුරේ හිරකරගත්තා . ඒ වෙලාවට ඌට තරු විසික් වෙන්න ඇස් වලින් කඳුළු පයින්න තරම් සැරෙන් මම උගේ පිටට මිටි ගුලි පාරවල් හත අටක් දුන්නා .මගේ මිටි ගුලි පාරවල් නිසා උගුරේ හිර වුණ පාං කෑල්ල එළියට විහික් වුණාම රාළහාමි කඳුළු මැදින් හිනහා වෙනවා .

රාළහාමි නාහෙට නාහන එකෙක් . කොයිතරම් එපා කීවත් ඒ එපා කී දේම ආයේ ආයේ කරන එකෙක් . විටෙක ගෙදර කඩුල්ලෙන් පැනලා ඔළුව හැරුණු අතේ ඇවිදින රාළහාමි කොහේ හරි ගාලක අතරමං වෙලා ඌව එක්කරගෙන යන්න කවුරුන් හෝ එනකම් අඬ අඬා උන්නා . රාළහාමි කාටත් නොකියාම ඇවිදින්න යන නිසාම මමත් ලොකු අයියත් එක්කාසු වෙලා උගේ කාමරේ දොර ගාව කටු අතු ගෙනල්ලා දැම්මා . එදායින් පස්සේ රාළහාමි කාමරේටම හිර වුණා .

රාළහාමි කාමරේට වෙච්ච එකෙන් මට උගෙන් තිබුණු කරදර සෑහෙන්න අඩු වුණා .. පාං ගෙන්න කියලා ඌ මට හැමතිස්සේම කරදර කෙරුවේ නෑ . තියෙන සේරෝම වැඩ පැත්තක දාලා නෑදෑකම ආරස්සා කරගන්ඩ ඔනෑ නිසා රාළහාමිව හොයන්න ගමේ පදුරු අකුල් අස්සේ බඩගාන්න වුණෙත් නෑ රාළහාමි හිර කරලා මම මගේ නිදහස හිතේ හැටියට භුක්ති වින්දා .

වයසින් නොමේරූ රාළහාමිට උපකාර නොකර මම නිතරම මග ඇරියා වුණත් මගෙ හිත නිතරෝම කීවේ රාළහාමිගේ වගකීම් මම ගන්න ඔනෑ වග . ඒ නිසාම රාළහාමිට කවුරුත් කොලොප්පං කරනවාටවත් හිරිහැර කරනවාටවත් මම යන්තම්වත් කැමති වුණේ නෑ ..මගෙ හිත කීවෙම මම රාළහාමිගේ ආරක්‍ෂකයා කියලයි .

ජනවාරි පළමු වැනිදා දවසක වැඩ අල්ලන්න එක්කාසු වුණ මමත් මගේ හොඳම යාළුවන් දෙතුන් දෙනෙකුත් මගෙ ලොකු බාප්පත් බෝතල් තුනකට වගකියන්න ලැහැත්ති වුණා . අලුත් ඇඳුමක් ඇඳලා උන්නු රාළහාමිත් මගේ පස්සෙන් වැටිලා එතනට ඇවිත් ඔහේ බලාගත්තු අත බලගෙන විකාර කරමින් උන්නා .

බොතලයක් දෙකක් හිස් වෙන කාලය අතරතුරේදී රාළහාමි නැගිටලා මගේ අතින් අදිමින් කොණ්ඩෙන් අදිමින් මට නොයෙක් වද දෙන්න පටන් ගත්තා ...

"මෙන්න මෙහෙට්ට වෙලා ඉඳපිය පයිං එකක් දීලා එලවන්ඩ කලියෙන් .."

මම රාළහාමිට තර්ජනය කෙරුවාම ඌ මොහොතකට සන්සුන් වෙලා අයිනක් අල්ලාගෙන වාඩිගෙන හිටියා

"ආ මයෙ කොල්ලා කාපිය .."

ලොකු බාප්පා රාළහාමිව පැත්තකට අඬගහලා කන්න දුන්න දේ මොකක්ද කියලා මම දැක්කේ නෑ . ඒත් මගේ නාහෙට ලොකු බාප්පා රළහාමිට කවුවාපු දේ සුවඳ නම් හොර නැතිව දැනුණා .. ඒ මදන මෝදක. මගේ නාහෙට බොරු කරන්ඩ බෑ ...

"ලොකු බාප්පෙ උඹ මොනාද රාළහාමියට ගිල්ලවුවේ ? "

"මේ රාළහාමියට බයිට් කෑල්ලක් දුන්න කොල්ලා .."

"පල ලොකු බාප්පේ බොරු නොකියා .මේ පොඩි එකාට උඹ ගුලි කැවුවා නේද ..?"

"සඳරුවා මයෙ කොල්ලා අපි ඉතරක් ආතල් අරං හරියෑ . මූටත් පොඩ්ඩක් ආතල් දුන්නට මූණා වෙනවා ?.අනික උඹ දැනගනිං මූ මගෙ අයියගේ දරුවා ගේ දරුවා බොට වැඩි අයිතියක් මට තියනව මූ ගැන" ..

ඒ ජනවාරි පළමු වැනිදා රාළහාමි නිසා මමත් මගෙ බාප්පත් නොසෑහෙන්න ගුටි ගහගත්තා ..

"හ්ම් පවුලේ පවුලේ එවුන් කා කොටා ගත්තාට අපිට කමන්නෑ .."

වන් වන් නයින් ජීප් එකෙන් ආපු මහත්තුරු එහෙම කියලා ලොකු බාප්පවත් මාවත් සාමදාන කෙරෙවුවා . මදන මෝදකේ කාපු අසරණ රාළහාමි බකමූණු බිත්තර ගිල්ල එකෙක් වාගේ බලාගත්ත අත බලාගෙන නිච්චි ඔහේ නැතිව උන්නා

ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දවසකදී රාළහාමිට හොඳටෝම අසනීප වුණා . කාලයක් තිස්සේ සෙම් රෝගය නිසා දුක් වින්ද රාළහාමි එදා නම් උගුරේ සෙම හිරවෙලා හුස්ම ගන්ඩ බැරිව ඇඳේ දඟල්ලන්න ගත්තා . හනිකට වාහනයක් කතා කරගෙන අපි රාළහාමිව ඉස්පිරිතාලේ ගෙනිච්චා වුණත් රාළහාමිව ජීවත් කරවන්න කාටවත් බැරි වුණා . රෝහලට අරගෙන යන අතර මගදීයි රාළහාමි මියැදුණේ ..

අපේ පවුලම එක්කාසු වෙලා රාළහාමිගේ අවසන් කටයුතු අපිට හැකි තරම් ඉහළින් සංවිධානය කළා .රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටිය උස්සන්න මොහොතකට කලින් මම මල ගෙදර පැත්තක වෙලා බීඩියක් උරමින් උන්නා රාළහාමි මළා වුණාට මගෙ හිතේ දුකක් කියලා නාමයක්වත් තිබුණේ නෑ .. ඒත් හදිසියේම මා ළඟට ආපු රාළහාමිගේ අම්මා වෙච්ච මගෙ ලොකු මාමගේ දුව මගේ හිතත් දුකින් පිරිලා ඉතිරිලා යන ජාතියේ කතාවක් කීවා ..

"මල්ලී .. රාළහාමි නැති වෙනන්න කලියෙන් උඹ ගැන මතක් කෙරුවා .."

රාළහාමිව රෝහලට ගෙනගිය වාහනය පිටුපස්සේ තරමක් පමා වෙමින් බයික් එකෙන් ගිය නිසාම රාළහාමි මල බව පවා මම දැනගත්තේ පහු වෙලා

"මොනාද අක්කේ රාළහාමි කීවේ ?"

"රාළහාමි උගුරේ සෙම හිරවෙලා දඟලද්දී අපි සෙම පිටට එන්න කියලා එයාගේ පිටට ගැහුවා .. උඹලා ගහලා බෑ .. සඳරු වරෙන් මගේ පිටට ගහපන් කියලා රාළහාමි අමාරුවෙන් කීවා මල්ලී ..ඒ ටික කියලා රාළහාමිට ආයේ කට වහන්න බැරි වුණා .."

මගේ උගුරත් මොහොතකට හිර වුණා .. ගිනියම් වෙච්චි යකඩ කඳක් මගෙ පපුව ඇතුළට බැස්සුවා වාගේ .මෙලෝ සංසාර දුකක් නැතිව හිටි මම ඒ අවසාන මොහොතේ ඉඳන් මගේම දරුවෙක් මළා වාගේ දුක් වුණා .

රාළහාමිගේ මිනී පෙට්ටිය ගෙයින් එළියට ගත්තු මොහොතේම ඒ පෙට්ටියේ එක කොනක බර කරට ගත්තු මම ඒ බර මගෙන් ගන්න කාටවත්ම ඉඩ නොදී කැරකොප්පුවට යනකල්ම කරගහගෙන ගියා .

රාළහාමි ජීවත් වෙලා ඉන්දෙද්දී ඌව මට මහා බරක් වුණාට රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටියේ බර නම් මගේ කරට යාන්තම්වත් දැනුණේ නෑ . ජීවත් වෙලා ඉන්න ටිකේ මම රාළහාමිට සලකාපු හැටියට මේ මිනී පෙට්ටිය මගෙ ජීවිත කාලෙම මම තනිවම උස්සාගෙන ගියත් රාළහාමිට නපුරු වෙච්ච පව මට ගෙවලා අහවර කරන්න බැරි බව මට ඒ මොහොතේ තේරුම් ගියා . .

රාළහාමි මට ලොකු පාඩමක් කියලා දුන්නා . ඌ ජීවත් වෙලා ඉන්න කාලෙ මට කියන්න උත්සාහ කෙරුව ඒ පාඩම මට තේරුම් ගියේ ඌ මළාට පස්සෙයි . ආයේ කිසිම දවසක මන්ද මානසික කොල්ලෙක් කෙලෙක්. ඇණයක් කියලා නොහිතා මට හැකි විදිහට උන්ට උදවු කරන්නත් මම හිතාගත්තා .

                                             ප:ලි
රාළහාමි නැතිවෙලා තුන් මාසයක් ගිය තැන රාළහමිගේ ගෙදර උදවිය සහ මගේ නෑදෑ පරපුරම එක්කාසු වෙලා පන්සලට ලොකු දානයක් දුන්නා .ඒ දානෙට සහභාගි වුණ මමත් මගේ අතින්ම පිරිකරක් පූජා කළා වුණත් මගෙ දුකින් පසුතැවීමෙන් අඬන හිතට සැනසීමක් ලැබුණේ නෑ .. ඒ නිසාම මම මට හැකි විදිහට ගමේ තිබුණු මන්ද මානසික ළමයින්ගේ ළමා නිවාසයට මට හැකී විදිහට උපකාර කළා .

රාළහාම් වගේ අසරණ ළමයි සෑහෙන ගාණක් වැටිලා ඉන්න තැනක් වෙච්ච ඒ ලමානිවාසයට ඇතුළු වෙනකොටම මටත් මගේ යාළුවා රිපිටාටත් ඒ ලමානිවාසයේ අපිරිසිදු බවත් අප්පිරියාවත් දරාගන්න බැරිව ඕක්කාරෙට ආවා ..

75 comments:

  1. උඹ එළටම ලියනවා මචං. ජය වේවා!

    ReplyDelete
  2. හිත හොඳ එකෙකුගෙ හිත හොඳ කතාවක්. රාලහාමිලා ඕනෑ තරම් ඉන්නව මේ සමාජෙ. බොහෝදෙනෙකුට ලැබෙන සැලකිල්ල ඔය ආකාරයි.

    ReplyDelete
  3. මොනවා උනත් සන්ද්රු උඹ ග්‍රේට් කොල්ලෙක්. මන්ද මානසික කියල නැහැ ඒ අයටත් අපි වගේ මිනිස් ජීවිතයක් තියෙන්නේ පෙර කල අකුසල් අනුව තමයි ඔය වගේ ලෙඩ දුක් එන්නේ රාලහාමිට නිවන් සුව පතනවා.

    ReplyDelete
  4. ඔව් බං මේ වගේ කතා සමාජයේ බොහොමයි... ගද ගහන්නේ අපේ හිත විතරයි..

    ReplyDelete
  5. හුගක් කතා කියලා අපිව හිනස්සන උඹ අද ඈඩෙව්වා සදරැවො..
    ඈත්තටම මටත් හරිම අනුකම්පාවයි ඒ වගේ අයව දැක්කාම

    ReplyDelete
  6. niyama kathaawak aiye.. :)

    ReplyDelete
  7. උඹලා ඌට හොදට සැලකුවනේ , හිත හදාගනින් , කිසිම සැලකිල්ලක් නොලබන උන් කොච්චර ඉන්නවද බං අද රටේ

    ReplyDelete
  8. ලෙඩ කපුටට අනිත් කපුටො කොටනව වගේ තමයි ඔය මානසික ආබාධ තියෙන අයට අපේ උතුම් සමාජයේ සලකන්නේ.

    ඒ ගැන ඇස් අරවන මේ කතාව ලියූ එක ගැන පින් සිදුවේවා!

    (මෙතන ලොකු බාප්පා කියන්නේ පුංචි අම්මා කසාද බැඳලා ඉන්න කෙනාද? රාළහාමි කියන්නේ බාප්පා ගේ අයිය ගේ පුතා නම් රාලහාමිට සඳරූ මාමා වෙන්නේ කොහොමද?)

    ReplyDelete
  9. @කකා =ඔබ හරි ලොකු බාප්පගේ අයියගේ දරුවාගේ පුතා තමා රාළහාමි .. මටයි වැරදුනේ ..ස්තූතියි .

    ReplyDelete
  10. උඹට දුක් වෙන්න දෙයක් නෑ සඳරු. බොට හැකි විදයට ඒ කොල්ලට සැලකුව එක ලොකු දෙයක්. යමක් වෙන්න තියෙනවනං ඒ දේ වලක්වන්න කාටවත් බෑ.

    මන්ද මානසික කියල කොන් කරන්නෙ නැතුව ඒ අයත් සමාජෙට ගන්නවනං ඒ අයගෙ තියෙන මානසික තත්වය යම් තරමකින් වැඩිකරගන්න පුලුවං බව මං දැකල තියෙනව. නමුත් අපේ මිනිස්සු බොහෝමයක් ඒ තරං ඒ ගැන සැලකිල්ලක් දක්වන්නෙ නෑ.

    ReplyDelete
  11. මට නම් පොඩි කාළේ ඉඳන් ඔය පිස්සු මිනිස්සුන්ට විහිළු කිරිල්ලයි මොනගල් අයට විහුළු කිරිල්ලයි අරහන්.. ඕවා කරලා මගෙන් කාපු උන් අනන්තයි. අපේ පැත්ත උන්න පාරේ කුණුහබ්බ වනසන් උන්. මම දැක්කම යාලුවෝ වගේ කතා කරලා ගියේ. ඒක දකින උන් නම් ඒකෙන් ආතල් එකක් ගත්තා.

    අපේ සමාජය මහ ගොබ්බ සමාජයක්. ඔය වගේ දරුවෝ වෙන රටවල තනිම බස් එකේ පවා යන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ ඇර විශේෂිත දරුවන්ට ඔටිසම් ඉස්කෝලත් තියෙනවා.. දැන් නම් මෙහෙත් තියෙනවා.. මම දන්න රත්තරන් දොස්තර මහත්තුරු දෙන්නෙක් ඉන්නවා නොමිලේ ප්‍රතිකාර කරන..

    එක්කෙනෙක් දොස්තර සුදත් දම්සිංහ මහතා - 071 681 25 24
    E-mail : info@daddyslanka.com

    අනෙක් කෙනා දොස්තර සින්නයියා තේවනාතන් - එයාගේ නොම්මරේ දෙරණෙන් ගන්න පුළුවන් වෙයි..

    මම මේ වගේ පොඩි අයගේ ඉඳලා මහළු යන අය එක්ක පිට රටක්දි වැඩ කරලා තියෙනවා ස්වේඡ්චාවෙන්.. මේ අය කොන් කරන්න එපා.. සෑහෙන දුරට සමාජගත කරන්න පුළුවන්.. මම මේ කියන්නේ අත්දැකීමෙන්මයි..

    මේ අයට ගරහන්න එපා.. ආදරය කරන්න..

    ReplyDelete
  12. අපේ ඒවට නම් උඹ කිව්වා වගේ ගොඩ වෙන්නත් අප්පිරියයි.. මම දැක්කා ඔමායා ලියපු පෝස්ට් එකක හෙන වාදයක් ගියා අබාධිත දරුවන් කුසේදිම නැති කරන එක ගැන. මෙහෙම අපායවල් වල තියනවට වඩා.. එහෙම මරලා දාන එක සැපතක්.. මම එතන විවාදෙට නොගියෙත් මේ හේතුව උඩ..

    ReplyDelete
  13. ඔයාට පුලූවන් විදිහට ඔයා රාළහාමිට සැලකුවනේ. ඒක ගැන සතුටු වෙන්න.
    සඳරුට දැන් දැන් බ්ලොග් එක මතක් වෙන පාටයි.

    ReplyDelete
  14. අඩෝ උබනම් සිරා කොල්ලෙක් බන්... කියල වැඩක් නෑ... උබ වගේ උන් හොයා ගන්නත් අමාරුයි මචන්.... මම ත් ඔය වගේ ලමයි ඉන්න තැනකට දාන දීල තියෙනව... අම්බානෙක දුකයි බන්....

    ReplyDelete
  15. Really sad Story Sandaruwoooooo....

    ReplyDelete
  16. මාත් එක පාරක් දානයක් දෙන්න ඔය වගේ ළමයි ඉන්න තැනකට ගියා , එදායින් පස්සේ කවදාවත් මාම්ම් එතනට ගියේ නෑ, දානෙට කරන්න පුළුවන් උදව් ඔක්කොම කලත් එතැන් ගේට්ටුවෙන් ඇතුලට ගියේ නෑ, මොකවත් නිසා නෙවෙයි මට ඒ දිහා බලන් ඉන්න බෑ, හිතට එන හැගීම කියන්නත් බෑ, පලවෙනි වතාවෙත් නොගිහින් එක නොදැක් හිටියනම් හොඳයි කියලා හිතෙනවා, හැම උදව්වක්ම තාමත් කලත් යේ කවදාවත් මම ඒවගේ තැනකට නම් යන්නේ නෑ, ඒ ක දැකපු වෙලේ ඉඳන් මාර හිස් බවක් දැනෙනවා එක මතක් වෙන හැම වෙලේම .

    ReplyDelete
  17. අපි අර එදා ඇදුම් දුන්නේ මෙතනට නේද බන්... අම්මෝ.. මතක් වෙද්දිත් ඔලුව නිකන් හිරි වැටුනා වගේ වෙනවා...

    නේක චරිත ඇති නරලොවේ රාළහාමිත් තවත් එක චරිතයක් මචන්...

    ReplyDelete
  18. mage pc eke kalin ube site eka hondata penuna.. dan melo mala daanayak penne na... monawa hari karala hadapan meka... sira goiyage blog ekanam thithata penawa

    ReplyDelete
  19. මව් වගේ අය ගැන දැනුවත් කලාට බොහොම ස්තුතියි. මා දන්නා සමහර කරුණු ටිකකුත් කියන්නම්. මානව වර්ග තිබෙනවානේ මොන්ගලයිඩ්, කොකසයිඩ්, නීග්‍රොයිඩ්, වැනි. ඉතින් අපි මේ අයට 'මොංගල්' කිව්වොත්, එය ජන වර්ගයකට කරන අපහාසයක්. මේ බව මට කියාදුන්නෙත් මන්දමානසික අධ්‍යාපන විශේෂඥ වරියක්.

    මන්ද මානසික හෙවත් Down Syndrome තත්වය සහිත අය සඳහා දැන් ඉතා දියුණු පුහුණු ක්‍රම තිබෙනවා. අපි ඔවුන්ට අනුකම්පා කිරීම නෙවෙයි කලයුත්තේ, අපේ සමාජය තුළ පිළිගැනීම සහ හැකිතරම් ස්වාධීනව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සහ ආධාර උපකාර කිරීම.

    ස්වීඩනය වැනි රටවල මේ අය සඳහා විශේෂ ජංගම දුරකථන ජාලයන් පවා තිබෙනවා. ඔවුන් සඳහා කලින් සැකසු මෘදුකාංග සහිත ජංගම දුරකථන තිබෙනවා. තමන් අතරමං වුනොත් ලංගම සිටින පොලිස් නිලධාරියාට තම ලිපිනය ජංගම දුරකථනය මගින් පෙන්වන්න, කලින් සකසා ඇති කෙටි පණිවිඩයක් තම භාරකරුට යවන්න ඔවුන්ට පුහුණු කර තිබෙනවා.

    ඔවුන්ට විෂයය දැනුම ලබාදිය නොහැකි නමුත් යම් යම් රැකියාවල යෙදවීමේ පුහුණුව ඉතා සාර්ථකව ලබාදිය හැකියි. ඔවුන්ගේ ජීවිත කාලය බොහෝවිට වස 50 නොඉක්මවන තත්වයක පවතින්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  20. මේ යකාගේ වැඩේම අපිව අඬවන එක....

    ReplyDelete
  21. ගොඩක්ම සංවේදීව හිතට දැනුනා සඳරු....මට මන්ද මානසික අය ගැන හරි අමුතු හැඟීමක් හිතට ආවා....ආයෙත්නම් මම ඒ අය දිහා අනුකම්පාවෙන් බලන්නෙ නෑ.....

    ඒ අතීතය ගැන දුක් වෙන්න එපා....ඔයා ඔයාට පුලුවන් දේ ඔය කරලා තියෙන්නේ

    ReplyDelete
  22. හෙම්.. ඔව්වා ඔහොම තමා බං ...මේ එක නෙමේ උඹ කවද්ද බකමුනු බිත්තර කෑවේ...!!!

    ReplyDelete
  23. අනේ මන්දා බං.... අපි යන්ත්‍ර වෙලා... හිතන එක නවත්තලා... මනුස්සකම විකුණලා...
    අපි අපේ හිතට එකඟව වැඩ කරමු බං...

    ReplyDelete
  24. සදරු ඔයාගේ ලිපිය කියවද්දි මගේ ඇස් වලට කදුලු ආවා.මගේ පප්පා(අම්මගේ තාත්තා)අවසාන කාලේදී රෝහලක ඇදක බැදලා තිබුනා. හැබැයි මම කතා කරාම දගල දගල හිටපු එයා සන්සුන් උනා.ඒ එයා මට ගොඩක් ආදරේ කරපු නිසා වෙන්න ඇති.එදා පප්පට මගේ අතින් බත් කවන්න තරම් මන් වාසනාවන්ත උනා.එ සිද්ධිය නැවත මතක් කරපු ඔයාට ස්තූති .........දිගටම ලියන්න ඔයාට ජයෙන් ජය!
    http://shanu1987.blogspot.it/2013/03/blog-post_18.html

    ReplyDelete
  25. hmmmmm kanduluth awa....great 1 bro...

    ReplyDelete
  26. දැන් මේ වගේ අයට "disabled" කියන්නෑනෙ "differently abled" කියලනෙ කියන්නෙ

    ReplyDelete
  27. නියම කතාව සඳරු.කොහොමත් අපිට කෙනෙක්ගේ අගයක් වැඩිපුරම දැනෙන්නේ ඒ කෙනා නැතිවුණාට පස්සෙනේ.කොහොමත් අපේ සමාජේ පුරුදුවෙලා ඉන්නේ එහෙම ආබාධිත දරුවන්ව කරදරයක් කියලා හිතන්න.ඒත් ඒ තැනට තමන් පත්වුණොත් කියන සහකම්පනය අපේ හුඟ දෙනෙකුට නෑ.මේ කතාව එහෙම කීපදෙනෙකුගේ හරි ආකල්පය වෙනස් කරන්න සමත්වේවි කියලා හිතනවා.

    ReplyDelete
  28. ඕකට තමයි බන් හිත හොඳ ගැනී හැමදාම බඩින් ] කියන්නේ. හිත හොඳ වැඩි උනාම අනුන්ගේ ජීවිත වල ප්‍රශ්නත් අපේ ජීවිතේට එකතු වෙනවා. ගොඩක් සංවේදී මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳ කාලයක් නෙවේ කලියුගේ.

    ReplyDelete
  29. අපි මන්ද මානසික අයව කරදරයක් කියල හිතන්නෙ අපේ ජීවිතේ රිද්මය එයාල නිසා බිදෙන හින්ද.....ආත්මාර්ත කාමී නොවි අද ඉදන් වෙනස්වෙන්න හිතාගනිමු..

    ReplyDelete
  30. ජීවිතෙ හැටි ඔහොම තම්යි

    ReplyDelete
  31. sadaru!!Oya kiyanna Oya Manda Buddika lamaya inne ampareda ??
    Math ampare kenek man danna lamayekuth innawa amparae ..
    E lamayage dukbara kathawama man dannawa. man hithana lamayama nan oyatata kiyannan

    ReplyDelete
  32. අසෝක හඳගම කියලා තිබුනු දෙයක් නම්, හොඳ කලා කෘතියක් හරියට කන්නාඩියක් (දර්පනයක්) වගෙයි. ඒකෙන් ඇත්තටම පේන්නෙ අපිමයි! (කන්නාඩියෙන් පෙනෙන පින්තූරය කැත යි කියලා කන්නාඩියට බැනලා වැඩක් නැහැ කියලා කිව්වෙ "අක්‍ෂරය" කැපුවමයි). සඳරු මම දිහාට එල්ල කරපු කන්නාඩියෙන් මම මගේ හැටි දැක්කා! පින්තූරෙ නම් කැතයි! ඒත් ඒක පෙන්නුවට ස්තුතියි!
    වසන්ත දේශප්‍රිය

    ReplyDelete
  33. හ්ම්ම් ගොඩාක් දුකහිතුන...ඔයවගෙ අයට විහිලුවට ගන්න මිනිස්සු සම්පුර්නයෙන්ම මිනිස්කම ලැබුන අය නෙමෙයි බාගෙට මිනිස්සු .අනිත් බාගෙ තිරිසන්නු

    ReplyDelete
  34. ඇස් වලට කඳුළු ආවා යකෝ සඳරුවෝ

    ReplyDelete
  35. මං එක මනුස්සයෙක් මැරෙන තැනක උන්නා..මම එතනින් ගිහින් පැය හයකට පස්සෙ එයා මලා..
    මම යන්නං කියලා වඳිනකොට ඒ මනුස්සයාගේ ඇස් දෙක කඳුලු වලින් පිරුනා..එතකොටත් කතා කරන්න බැරුව හිටියෙ..
    ආයි මම ආවෙ මිනිය බලන්න..

    මරණ ගෙදරදි මම එක කඳුලු බිංදුවක් හෙලුවෙ නැහැ. මොකද මට සෝ එකට අඩන්න උවමනාවක් තිබුනෙ නැහැ.. කලින්ම මැරෙන බව දන්න නිසා කලින්ම අඩලා ඉවරවෙල තිබුනෙ..

    ReplyDelete
  36. ඇස් වලට කදුළු ආවා කියල අනිත් අයට පේන්න ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න ලැජජ හිතුන නිසා මෙහෙම අවා.(මම කවුද කියල උඹ දන්නවා මල්ලි)මොන්ගල් ළමයින්ට වැඩියෙන් ආදරය කරුණාව දක්වන එක මමත් ඉස්සර ඉදන්ම කරනවා.

    ReplyDelete
  37. හැමෝටම හෙට දිහාට උත්තර දෙන්නම්කෝ ..

    ReplyDelete
  38. මන්ද මානසික පිරිමි ලමයින්ගෙන් ටිකක් කරදර අඩුයි. ගැහැනු ලමයින්ගෙන් ඒ වැඩිහිටියන්ට තියෙන්නේ පුදුම කරදරයක්. අැතැම් තිරිසන් මිනිස්සු ඒ ලමයින්ව ලිංගික අපචාර වලට යොදා ගන්නවානේ. රත්නපුරේ පැත්තෙ මම දන්න ගෙදරක ඒ වගේ ලමයෙක් හිටිය. ඒ මිනිස්සු ටිකක් දුප්පත්. ඒ ලමයගේ කකුලකුත් ටිකක් අවුල්.හරියට අඩිය තියන්නත් බැහැ.

    ඔබේ ලිපිය කාගේත් අවධානයට ලක්වෙන අයුරින් ලියල තිබෙනව. ඒය අැත්තටම අගය කලයුත්තක්.

    ReplyDelete
  39. අමාරුවෙන් ලියලා දාපු කොමන්ට් එක මැකිලා ගියා.

    මට දවසින් දවසට රාජකාරිමය තත්ත්ව වලදි මේ අය මුණගැහෙනවා. සමහර වෙලාවට හිත කඩා වැටෙන්නේ හිතාගන්න බැරි තරමට.

    මම දකින හොඳම දේ අපෙ රටවල මේ අයට වෙනම පාසල් මගී ප්‍රවාහන පහසුකම් හා රැකියා අවස්ථා තියෙනවා. ඕනෙම ආයතනයක ඔය මැසෙන්ජර් වැඩ හෙම කරන්න ගන්නේ මේ වගේ අය. මේ අයට රජයෙන් දීමනාවක් දෙනවා. ඊට අමතරව ඒ අය බලාගන්න අයටත් දීමනාවක් දෙනවා. ඕනෙම කෙනෙක්ගේ ආදරය දිනා ගන්නවා. පාරේ යනකොට මිනිස්සු අපහාස කරන්නේ නෑ.
    ඒත් ලංකාවේ ඒක හාත්පසින්ම වෙනස් නේද? මම දැක්කා ඒ අය සමාජේ කොන් කරලා දාලා තියෙන අවස්ථා.
    මට හිතෙන්නේ අපි පිටිපස්සට යන සමාජෙක ඉන්නේ කියලා එතකොට?
    මේ වෙද්දි down syndrome තියෙන්න පුළුවන් බබාලා මෙහේ නම් ටෙස්ට් කරනවා මුලින්ම. කලළයකින් ඒ දේ නැති කරන එකට මාත් එකඟයි. සමාජයට ආවම විඳින දුක් කරදරවලට වඩා කියලා හිතලා මම ආත්මාර්ථකාමි වෙනවා ඇති. ඒත් අපි කවුද කැමති වෙන්නේ අපෙ ළමයා down syndrome වෙනවට?

    ReplyDelete
  40. අපේ රටේ ඔහොම කෙනෙක්ට තාමත් පාරක බැහලා යන්න දෙන්නේ නෑ උසුලු විසුලු අපහස,අනේ මන්දා ඕවා කවදා හරි යයිද කියලා,ඒකට මොකද අපි මහ ලොකු ජාතියක් කියලා හිතන් ඉන්නේ,,,අඩුම ගානේ මන්ද මානසික කෙනෙක්ට සලකන්නවත් දන්නෙ නෑ

    ReplyDelete
  41. අවසානයට කදුලක් නාවානම් තමා පුදුමෙ.
    සංවේදී කතාවක්.සදරු ඇත්තටම ඔබගෙන් වියයුතු සැලකිලි ඔබෙන් ලැබිල තියෙනවා කියල හිතෙනව.
    ලංකාවෙ ඒ අයට තියෙන තත්වය ගැන කතා කරල වැඩක් නැහැ.

    ReplyDelete
  42. Pudume sanwedi kathawak ...................

    ReplyDelete
  43. නියමයි සදරු උබ ලියන රටාව මාර රහයි පෝස්ට් තමා අඩු - ස්තුතියි බන් ජය !

    ReplyDelete
  44. මචො
    රාළහාමිට මොන්ගල් නම් අපිට ඩබල් මොන්ගල්
    උන් කරන වෑඩ වගෙද අපි කරන වෑඩ.

    මේ ලමා නිවසෙ තියෙන්නෙ අම්පාරෙ කොහෙද?

    බොක්කටම වෑදුනා කතාව

    ජය
    SPR

    ReplyDelete
  45. මගේ මිතුරන් තිදෙනෙකුගේම දරුවන් මොංගල්, ඔවුන් විඳින කරදර දැක්කම ජීවිතේම එපා වෙනවා.
    ස්කෑනින් තාක්ෂණය ට අනුව කලලයක තත්වය නිවැරදිව කිව හැකි මෙවන් යුගයක...........!!!!!....මගේ අදහස නම් රාළහාමිලා "ඉපදිය" යුතු නැහැයි කියන එකයි.

    ReplyDelete
  46. සඳරු... මගෙ පුතා වගෙ අය වෙනුවෙන් මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්න.. ලෝකයට ඔවුන් සම සාමාජිකයින් හැටියට පිලිගන්වන්න මේ ලිපිය ඉවහල් වේවි.. ඔබට ස්තුතියි..

    ReplyDelete
  47. ගොඩක් ස0වේදී කතාවක්. මේ වගෙ අයව නොසලකා ඉන්න රටක මිනිස්සු උබලා වගේ අය ගොඩක් වටිනවා සදරුවෝ.

    ReplyDelete
  48. අපේ ගෙවල ලඟත් ඉන්නවා මේවගේ කෙනෙක්.....දැන් වයස අවු.36ක් විතර ඇති....තවම මෙයාගේ හැම වැඩක්ම කරන්නේ එයාගේ අම්ම....අම්මා නැති උන දවසට කව්ද මෙයාට සලකන්නේ කියන එක තමය් දැන් තියන ප්‍රස්නේ .....පරණ දේවල් ගොඩාක් මතක් උනා සඳරු ... මෙයා සමහර දවස්වලට ගෙදර ඉන්න බල්ලාවත් අරගෙන ගෙදරින් යනවා.. දවස් දෙක තුන හොයනවා ...සමහරු මෙයාට ගහනවා පිස්සෙක් කියලා ... අපි මාර කාට්ටක් කනවා ඒ දවස් වල...........
    අනේ මන්ද සඳරු ..උඹ ලියන හැමදේම සමීප බවක් දැනෙනවා...

    ReplyDelete
  49. වදින කතාවක්. හරිම පිනක් සඳරූ. අපිත් මේ වතාවේ ඇතුල්කෝට්ටේ වජිරාශ්‍රී කියන ලමා නිවාසෙට දානයක් දෙනවා මේ 19. එතනත් ඉන්නේ ඔය කියනව වගේ අඩුලුහුඬුකම් තියෙන අය. ඉතින් මේ මතකයත් එක්ක ඒ දේ කරද්දි හිතනවාට වඩා බර හිතකින් පින්කම් කරගන්න පුලුවන් වේවි.

    ReplyDelete
  50. හැමදාම වගේ අදත් කථාව පට්ට..ඔය වගේ පුද්ගලයෝ මගේ ජීවිතේට ගොඩක් සමීපයි බන්.. හේතුව නම් කියන්න බෑ..

    ReplyDelete
  51. "රාළහාමි ජීවත් වෙලා ඉන්දෙද්දී ඌව මට මහා බරක් වුණාට රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටියේ බර නම් මගේ කරට යාන්තම්වත් දැනුණේ නෑ "මේ කෑල්ල පපුවෙ ගැඹුරුම තැනට වදිනවා බන් :-(

    ReplyDelete
  52. මචන් මං මෙහෙම කියන්නම්,අපි ඔක්කොමලා එකවෙලාවකට රාළහාමිලා තමයි.

    ReplyDelete
  53. ඉතාලි ඩිලා පtට කථාවක් කියලා තියෙන්නෙ... ලෝකෙන් උතුම්ම රට කියල අඬ බෙර ගහගන්න අපි වගේ රටක් ඔය වගේ මිනිස්සුන්ට සලකන් විදිහ හරිම පහත්..... ඒක තේරෙන්නෙ දියුණු යයි සම්මත රටවල ඔය වගේ පුද්ගලයන් සම්බන්ධයෙන් තිබෙන ක්‍රමවේදය බලපුවහම

    ReplyDelete
  54. රාළහාමි දෑහින් දැකලා නැති උනාට මටත් දුක හිතුනා බන් මේ කථාව කියෙව්වම...මිනිහෙක් මොකා උනත් මළාට පස්සෙ තමයි අපිට අගේ දැනෙන්නෙ වැඩිපුර...ඒ නිසා තමන්ට හැකි විදියට අසරණ මිනිහෙක්ට උදව් කරන එක තමයි මගේ ප්‍රතිපත්තිය...උඹට ජයම වේවා !

    ReplyDelete
  55. This comment has been removed by the author.

    ReplyDelete
  56. අපි මොන තරම් දේවල් හරි හම්බ කරගත්තත් මනුස්සකම, සංවේදීකම හම්බ කරගන්න බැරි ජීවිතේ නිස්සාරයි කියලා නොදන්න මිනිස්සු ‍‍ඕන තරම් අපි අතර ඉන්නවා. විශේෂ අවශ්‍යතා තිබුනත් ඒ මිනිස්සු සමහර දේවල් වලින් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් තුළ තියෙන ඒ කුසලතා ඉස්මතු කරගන්න ඕනෙනම්, ඒ අයත් අපි වගේම මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතියක් ඇතුව ඉපදුනු අය බව අපි තේරුම් ගන්න ‍ඕනෙ.

    ReplyDelete
  57. ///මන්ද මානසික එවුන් ඉදිරියේ මම කොහොමත් සංවේදියි..///

    සඳරූ.......මටත් නංගි කෙනෙක් ඉන්නවා මේ වගේ. මට ඒ හැඟීම හොඳටම තේරෙනවා. මම වෙන මුකුත් නොලිය ඉන්නම්. උඹ රසවත් ලේඛකයෙක්.

    ReplyDelete
  58. හරිම දුක හිතෙන කතාවක්. ඔබ අලුත් ඉසව්වකට මගේ මනස යොමු කළා.

    ReplyDelete
  59. ඇහැට කඳුළු ආවා

    ReplyDelete
  60. මගේ අම්මගේ මල්ලි කෙනෙකුත් ඉන්නවා මන්ද මානසික. එයාලට පුරුදු කරන්න ඕන හැමදේම, එහෙම අයට ගරහන එක නෙමෙයි මනුස්සකම.හැමදේම හරියට සම්පූර්ණව ලැබුණු අපිට ඒ වගේ කෙනෙක්ව තේරුම්ගන්න බැරිනම් මොකක්ද අපේ මනුස්සකම..
    හුඟක් අයව අපිට නැතිඋනාම තමයි අපිට ඒ අඩුව, අපෙන් උනු අතපසුවීම් මහා ලොකුවට දැනෙන්නේ, ඒකනිසා එහෙම අතපසුවීම් පුළුවන් උපරිමයෙන් වලක්වගන්න එක අපේ හිතටම හොඳයි.
    හැමදාමත් වගේ ලියනවා නම් සුපිරි සඳරු.

    ReplyDelete
  61. කියන්න ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒත් නොකියාම ලියනවා මම සඳරු....


    මම - Bora Diyaka Induwara

    ReplyDelete
  62. බෙනා පස්සේ තමයි මෙතනට ආවේ මමත්. හිතට වැදුනා හොදටම

    ReplyDelete
  63. මොකක් කියන්නද කියල හිතා ගන්ට බෑ මල්ලො..බොක්කටම වැදුනා කතාව නම්...හැබෑට මේ පෝස්ටුව කියෝල කී දෙනෙක් අඩන්න ඇත්ද....:O

    ReplyDelete
  64. කාටවත් බෑ ඌට මන්දමානසිකයෙක් කියන්න
    උගෙ උවමනාවට උනදෙයක්ද
    ඔයිට වෑඩිය අපි අතරෙ ඉන්නව මානසික ලෙඩ්ඩු ඔනෑතරම්

    ReplyDelete
  65. මල්ලි... මේ ගැන කොමෙන්ටුවක් නෙමෙයි..පොතක් ලියන්න තරම් පුද්ගලික අත්දැකීමක් තියෙන කෙනෙක් මම.. ඒත් මොකුත් නොලියම ඉන්නම්...
    උඹ ආයෙ ළමානිවාසෙට මොකුත් කරන වෙලාවක මැසේජ් එකක් දාපන්..

    ReplyDelete

  66. ඇස් වලට කඳුළු ආවා සඳරු..

    ReplyDelete
  67. හිතුමතේ26 September 2013 at 11:10

    සංවේදී කතාවක් මචං...
    මෙහෙම ජිවිත කොච්චරක් කියල තියෙනවද?
    උන්ට කිය ගන්න බැරි
    අපිට නොපෙනෙන කතා කොච්චරක් කියල තියෙනවද

    ReplyDelete
  68. " උඹලා ගහලා බෑ .. සඳරු වරෙන් මගේ පිටට ගහපන්"... :'(

    ReplyDelete
  69. aththatama hugak sanwedi..........mn kawadawath e wage ayata hina wennene.welathne.

    ReplyDelete
  70. Sadaruwa uba liyapan...api ubawa kiyawanawa..hamadama liyapan..
    mama lankawata awa gama ubawa balanna ampare anawa..bonna monawada genna oni...oni deyak kiyapan..mama genawa...jaya...

    chanu..

    ReplyDelete
  71. kyanna wachana na....:'(

    ReplyDelete
  72. සෑහෙන්න හිතට වදිනවා... මේක මට සෑහෙන්න දැනෙන්නෙ මගේ අයියා කෙනෙකුත් මේ විදියට දුක් විඳින නිසා.

    ReplyDelete

තැන්කූ බං