4.11.13

සවළෙන් ගහන්නට හිතුණා නුඹට නඟේ

පහු ගිය මාසයක එක දවසක හැන්දෑ වරුවක ජයසේන අත්තගේ තේ කඩේ දී යාළුවෝ කීප දෙනෙක් එක්ක කයිය ගහලා මම ගෙදර ආවේ හවස හයත් පැන්නායින් පස්සේ . මම ගෙදර අවුදිල්ලා වතුර ටිකක් නාගන්න හදන කොටම වාගේ මට කෝල් එකක් ආවා .

"සඳරු මම අජිත් ."

"කියහන් අයියේ .. "

"මල්ලි අපේ අම්මට හොඳටම අමාරුයි බේත් ගන්ඩ සල්ලි වියදම් වුණා. මම අර එදා උඹට දුන්නු රුපියල් දාහ මට ආයේ ඉල්ලගන්න හැකි වේවිද ?"

"කවද්ද මචං ඔනෑ ..?"

"මට හෙටම ඔනෑ .."

"හෙට දෙන්න බෑ මචං මට දවසක් දියන් . මම අනිද්දා උදේ වෙනකොට උඹට සල්ලි දෙන්නම් ."

ඒ දුරකථන ඇමතුමෙන් පස්සේ කඩේ ගාවදී කයිය ගහලා හිනා වෙලා කොල්ලොත් එක්ක ජොලියේ ඉඳලා එකතු කරගනිපු ආතල් සේරම කුඩු වෙලා ගියා .

සුවිප් ටිකට් විකුණලා සල්ලි හම්බු කරපු අජිත් අයියගෙන් මම සල්ලි හදිස්සියකට රුපියල් දාහක් ඉල්ලගෙන මාසෙකටත් කිට්ටුයි. ඒත් මට ඒ මුදල ආපහු දෙන්න බැරි වුණා . හම්බ කරන මුදල අනික් පැත්තට ඉගිල්ලිලා යනකොට ණය ගන්න වෙන එක සාමාන්‍යයි . රට වටේටම ණය වුණේ නැතත් මම මගේ මිත්‍රයන් බොහොමයක් දෙනෙකුට ඒ කියන දවස් වලදී ණය වෙලා උන්නා .

ණයක් වුණා නම් ඒ ණය කොහොම හරි ගෙවන්න ඔනෑ . එහෙම නැතිනම් ලබන ආත්මේ හරකෙක් වෙලා හෝ ඒ නය කාරයාගේ නය ගෙවන්න වෙනවා කියලා කතාවක් මම අහලා තියෙනවා. හරකෙක් වෙනවානම් ඒක වෙන්නේ ලබන ආත්මේ නිසා ඒ ගැන හිතේ බයක් නැති වුණාට අජිත් අයියගේ අම්මගේ අසනීප තත්වය ගැන මම දැනගෙන උන්නු නිසා මට කොහොමින් කොහොම හරි මේ ණය මුදල ගෙවලා ඉවර කරන්න ඔනෑ වුණා . ඉතින් එදා රෑ නින්දත් නොනින්දත් අතර පෙරළෙමින් උන්නු මට පාන්දර ජාමෙට බොහොම තදින් නින්ද ගියා .

පහුවදා උදේ මම අවදි වුණේ ලිපේ තිබුණු කේතලේ වතුර උතුරන විසිල් සද්දෙට . නැගිටලා විනාඩියක් ගිය තැන පහුවදා රෑ පුරාම මගේ හිතට වද දුන්නු කාරණේ ආයෙමත් මගෙ මතකෙට ඇවිල්ලා බොකු බඩවැල් ඇඹරිලා හිත දුකින් පෙඟිලා ගියා .

"හ්ම් එහෙනම් රුපියල් දාහක් හොයන්ඩ ඔනෑ අද දවස ඇතුළත ."

ඇඳ උඩ මුනිං වැතිරිලා මම පැයක් හමාරක් කල්පනා කළා . ඔය කියන කාලේ මම මගේ රැකියාවට සමුදීලා තිබුණේ නෑ . ඒත් බොහෝම ලොකු මූල්‍ය අර්බුදයකට මුණපාලා තිබුණු මම වැඩකළ ආයතයෙන් මට මගේ වැටුප් ඉල්ලන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ .ඒත් පුරුද්දට වගේ මම දිගටම පඩි නොමැති වැඩට ගියා ..

"උඹ ඔය බස් එකට දවසට වියදම් කරන ගාන එකතු කරලා තියාගත්තා නම් මාසේ අන්තිමට රුපියල් තුන්දාහක්වත් එකතු වෙනවා . ඇයි බං අතිං වියදං කරං ඔහොම නිකං වැඩට යන්නේ "

මගේ යාළුවෝ මට අනන්තව එහම කියන්න ඇති . ඒත් පුරුද්ද අත හැර ගන්න බැරි කම නිසා වගේම රැකියා විරහිතයෙක් වෙන්න තිබුණ අකමැත්ත නිසා මම අතින් සල්ලි දීගෙන වැඩට ගියා . ඉතින් රුපියල් දාහක් හොයන්ඩ දුක් වින්ඳ ඒ දවසේත් මම වෙනදා වගේම වැඩට යන්න පිටත් වුණෙ හිතේ කිසිම පිරියකින් නම් නෙවෙයි .

අම්මගෙන් සල්ලි ඉල්ලලා ඉල්ලලාම තවත් වතාවක් අම්මගෙන් සල්ලි ඉල්ලන්න තරම් මට කැමත්තක් තිබුන්නෑ . ඔෆිස් එකට ගිහිල්ලා හරි යාළුවෝ කීපදෙනෙකුට කෝල් කරලා ණයක් ගන්න බලනවා කියලා හිත හදාගත්ත මම ටවුමට යන්න කියලා බස් නැවතුමට කිට්ටු කළා ..

හැමදාමත් වගේ උදේට සුන්දර කෙලිච්චියන්ගෙන් පිරිච්චි බස් නැවතුම එදත් මගේ කැළඹුණු හිතට ගෙනාවේ පට්ටම හීතලක් . ගිනි ගහන්න පායන පළාතක් වුණත් මෙහේ ලස්සන කෙල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ . පෙට්ටි කිකිළියෝ රෑනක් වගේ උදේට එළියට බහින මගේ ගම් පළාතේ කෙල්ලො ගැන පුදුම අභිමානයක් මගේ පපුවට දැනුණා .මමත් ලොකු හුස්මක් අරන් හිත හෑල්ලු කරගත්තා

මට මතක හැටියට එදා සඳුදා දවසක් . ටවුමේ රස්සා වලට යන්න බස් එක එනතුරු මග බලන කෙල්ලෝ අතරින් ලස්සන කෙල්ලෝ කීදෙනෙක් ඉන්නවාද කියලා මම හෙමි හෙමිහිට රබර් ඇහින් ගණන් කෙරුවා . මගේ හිතේ මිම්ම අනුව මම ඒ කෙල්ලන්ගේ විවිධ හැඩ හුරුකම් වලට නේක හැසිරීම් වලට හිතින් ලකුණු දුන්නා .

වෙලාව යනවා දැනුණෙ වත් නෑ විනාඩි දහයක් විතර බස් නැවතුමේ ජෝගි නටන කෙල්ලෝ දිහා බලාන උන්නු මම වෙලාව බලන්න කියලා සාක්කුවට අත දමලා ෆෝන් එක අතට ගත්තා . වෙලාව උදේ හතහමාරට කිට්ටුයි . මම ආයෙමත් මගේ ෆෝන් එක සාකුවේ ඔබාගෙන පාර දිහෑ බලාගත්තා .

"අයියේ !!"

මගේ පිටුපසින් ඇහිච්චි කිංකිණි නාදේ නිසා මම සුටුස් ගාලා පිටුපස හැරිලා බැලුවා . මගේ පිටුපසින් උන්නේ කෙලිච්චියෝම තුන්දෙනෙක්. මට කතා කරවුව කෙල්ල නම් වීනස් දෙවුව් දුව වගේ හැඩයි. අනික් එවුන් දෙන්නා නම් ඒබරං භූතයාගේ දූවලා දෙන්නා වගෙ හැඩයි. මුන් තුන් දෙනා නම් මගේ රේඩාර් එකට අහුවෙච්චි එවුන් නෙවෙයි මේ දැන් ටිකකට කලින් මෙතනට පාත් වෙච්චි එවුන්...ඒත් මුං මොකදෑ මට කතා කරන්නේ.

"ඇයි නංඟි ?" කුතුහලය බේරෙන කටින් මම එහෙම ඇහුවේ මට අයියේ කියාපු ගිනි කිකිළියක් වගේ කෙල්ලගෙන් .

"අනේ අයියේ විනාඩියකට කෝල් එකක් ගන්න පුළුවන්ද ? චූටි හදිස්සියක් අයියේ"

"විනාඩියකට නම් බෑ ..!" මම සූටි ජෝක් පාරක් දාලා කෙල්ලව නලෝලා සාකුවෙන් ගත්තු ෆෝන් එක ඒකිගේ අත උඩින් තිවුවා . නුහුරු විදිහට ෆෝන් එකේ අංක ඔබලා කෙල්ල ෆෝන් එක කනේ තියාගත්තා .

මගේ හිතටත් දැනුණේ පොඩි සතුටක් . ෆෝන් පාවිච්චි කරලා හුරු එකියක් නම් කොට්ටෝරුවා ගහට කොටන්නා වගේ සටපට ගාලා ෆෝන් එක ඔබනවා ඒත් මේකි ෆෝන් ඒතරම් අල්ලලා පුරුදු නැති කෙල්ලක් ඒ කියන්නේ කොල්ලෙක් නැති කෙල්ලක් .. හ්ම් .. හ්ම් ,..

"අයියේ ඔයාගේ ෆෝන් එකේ සල්ලි නෑ නේ ! "

"මොක කීවා ...?" මට දැනුණේ මගේ කනට ගැහුවා වගේ මම හනිකට ෆෝන් එක මගේ අතට අරගත්තා .

"නංඟි මේ සිම් වන් එකේ කෝල් යන්නේ නෑ ඒක මයෙ ඩේටා සිම් එක මේල් බලන්ඩ හෙම තමා ඒක තියෙන්නේ .. ඔයා සිම් ටූ එකෙන් කෝල් ගන්ඩ . කෝ දෙන්ඩ මම අරන් දෙන්ඩ . "

කෙල්ලගේ අතින් ෆෝන් එක අරගත්තු මම ඒකි කියන නම්බරේ ඔබලා කෝල් එක අරගෙන දුන්නා .

කෙල්ල තරමක් වෙලා ෆෝන් එකෙන් කතා කෙරුවා ..

"තැන්කිවු අයියේ.. කීයක් කැපිලද අයියේ..?"

කෝල් එක අවසන් කරවුව චූටි කෙල්ල ඒකිගේ අත් බෑග් එකෙන් පර්ස් එක එළියට අදින්න රඟපාන ගමන් මගෙන් එහෙම ඇහුවා . කෙල්ලෝ රඟපානකොට මටත් රඟපාන්න හිතෙන්නේ ඉබේටමයි . කෙල්ලෝ ඉදිරියේදී නම් මමත් සමානනීය නළුවෙක් ..

"ඉන්න නංඟි බලන්න ආ .. රුපියල් දාහතරයි සත දහයක් කැපිලා .. පාළොහක් දෙන්ඩකෝ .. "

රෝස පාට මූණු ඩිංග ඒ මොහොතෙම කළුපාට කරගත්තු කෙල්ල පර්ස් එක අවුස්සන්න ගත්තා .

"පික්සුද නංඟි මම විහිළුවක් කෙරුවේ .. සල්ලි ඕන්නෑ ... "

ඒකිත් හිනා වෙලා ආයෙමත් පර්ස් එක මල්ලට දාගත්තා . මගෙන් වියදම් වුණ රුපියල් දාහතරට හරියන්න මම ඒකිත් එක්ක විනාඩි ගාණක් කතා කරන්නත් අමතක කෙරුවේ නෑ මොකද ඒක මගේ අයිතියක් .

"අයියා කොහෙද වැඩ කරන්නේ ?"

කතා බතා අතරෙදී කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් අනිවා අහන ප්‍රශ්නයක් මේ කෙල්ලත් මගෙන් ඇහුවා මේස් සපත්තුත් දමලා , කමිසය යට කරලා බෙල්ට් එක දමාගෙන උන්නු මගේ දිහා බලලා කෙල්ල එහෙම අහද්දී මට පුදුම සතුටක් හිතට ආවා ..

"මම අහවල් ආයතනයයේ උගන්වනවා නංඟී .. අයිටී තමා උගන්වන්නේ !"

ඔන්න ඕකයි මගේ පඩි නොමැති රැකියාවේ තිබුණ වැදගත් කම . "මොකක්ද රස්සාව..?" කියලා කවුරුන් හෝ ඇහුවාම කියන්න දෙයක් තියෙන්ඩෝන . විශේෂයෙන්ම කෙල්ලෙක් ඒ ඒ විදිහට අහනකොට රස්සාවක් නැතෙයි කියලා රෙදි ඇඳගෙන කීව හැකිද බෑ .. ඒ නිසාමයි මම පඩි නොලැබුණත් රස්සාව ආරස්සා කරන්න පුදුම විදිහට දැඟලුවේ .

"නංඟිගේ නම මොකක්ද ?"

"මම හංසි"

"ලස්සන නම .."

"අනේ මටත් කොම්පියුටර් ක්ලාස් එක්කට නම් යන්ඩ ඕනේ .. ඔයාලෑ එකේ මට හරියන කෝස් එකක් තියේවිද ..?"

මගේ ඉහේ ඉඳන් දෙපතුල් දිහා අභිමානයෙන් බලාපු කෙල්ල තවත් කිට්ටු වෙලා මගෙන් එහෙම ඇහුවා . එක ළමයෙක් හරි අපේ ආයතනයට ගෙන්වා ගන්න තියෙනවානම් මට ඊට එහා දෙයක් තිබුණේ නෑ ..ඉතින් මමත් හනි හනිකට කෙල්ලව අපේ ආයතනයට බාගන්න දැල එළුවා .

"මොකදෑ නැතුං..? අපි පරිගණක උපාධිය දක්වාම උගැන්වීම් කටයුතු කරනවා ! අපි තමා මේ පරිගණක උගන්වන ආයතන අතරින් ලංකාවෙන් උඩින්ම තියෙන ආයතනය . ඔය ටීවී රේඩියෝ වල කයිය ගහන ඊ සුප් එහෙම තියෙන්නෙත් අපිට පහළින් .."

A අකුරින් පටන්ගන්න මගේ පළාතේ නම නිසා මගේ ආයතනය හෑමදාකම තිබුණේ ලැයිස්තු වල මුලට වෙන්න ඉතින් මම කීවේ බොරුවක් නෙවෙයි ..

"මම එන්නම්කෝ අයියේ ලබන සතියේ විතර. අයියා ඉන්නවා නේද ?"

"නැතුං නැතුං ..ආ ඒනං මං තමයි ඔයාටත් ඉස්සරහට උගන්නේ !"

මං පැණි හිනාවක් දාලා කෙල්ලව ලැයින් කෙරුවා .

"අයියලට නම් ඉතින් සෝයි එකට ඒසී යට ඉන්ඩ තමා තියෙන්නේ .."

මම නිහතමානීව හිනා වුණා ...

ඈතින් ආපු බස් එක අපේ ළඟ නතර කරාට පස්සේ අපි කවුරු කවුරුත් බස් එකේ නැංඟා . බස් එකේ මැද හරියටම වෙන්න මම ගිහින් හිටගත්තාම මගෙන් ෆෝන් එක ඉල්ලාපු කෙල්ලත් හෙමි හෙමිට අවුදින් එතනටම පැක් වුණා . මමත් ඉතින් හෙමි හෙමිහිට ජැක් එක තිවුවා ,, !!

බස් එක වළවල් වල වැටි වැටී මගදී හම්බුවෙන රුපියලේ දෙකේ දුර යන මගීන්ට පවා නවත්තමින් ගිය නිසා අපිට ටවුමට යන්ඩ විනාඩි තිස් පහක් විතර ගත වුණා . ඒ විනාඩි තිස් පහම මට හේත්තු වෙලා හිටිය සුන්දරී එයාගේ මුලු ජීවිත කතාවම මට කියලා ඉවර කළා .. ! ලබන සතියේ අවුදින් මගේ පරිගණක පන්තියේ රෙජිස්ටර් වෙන බවට මගේ අත උඩ එයාගේ සුදු අත තියලා පොරොන්දු වෙච්චි එයා මම බහින්න හෝල්ට් දෙක තුනකට කලින් බස් එකෙන් බැහැලා යන්න ගියා .

මම ඔෆිස් එකට ගිහින් මගේ අතේ තිබුණු යතුරෙන් දොර ඇරලා අතුපතු ගාලා දැම්මා . මුල්ලක පුටුවක් තියාගෙන වාඩිවෙලා පාළුවට ගිය ඒ ආයතනය වටේම ඇහැ යැවුවා . දිග හුස්මක් පහළ හෙළාපු මම ෆෝන් එක අතට ගත්තේ කාගෙන් හරි රුපියල් දාහක් ණයට ඉල්ලගන්න හිතාගෙන ..

ෆෝන් බුක් එකේ නම් අතරින් ජානකගේ නම්බරේ මම මුලින්ම ඩයල් කරේ ඇයිද කියලා මම තාම දන්නෑ මම හිතන්නේ ඒක අහම්බයක් නම් නෙවෙයි ඒක දෛවය විසින්ම කරවුව දෙයක් ..

"හලෝ ජානක .. මම සඳරු කතා කරන්නේ මචං !"

"කියහන් සඳරු .."

"මට හදිසියකට රුපියල් දාහක් ඔනෑ කරලා තියෙනවා මචං !"

"අඩෝ මා ගාව තියෙන්නෙම රුපියල් අසූවයි .."

"හරි සුදා අවුලක් නෑ .. මං තියන්නං .."

"අඩෝ සඳරුවා පොඩියක් ඉඳින් .."

මම ෆෝන් එක තියන්න හදානකොටම ජානක ආයෙත් කතා කෙරුවා ..

"මේ පොඩි වැඩක් තියෙනවා දවසට රුපියල් එක්දාස් දෙසිය පනාක්ම දෙනවා .. මමත් මේ දැන් ඒ වැඩ පොළේ ඉන්නේ .. මෙතනට තව කට්ටිය මදියි උඹත් වරෙන් එකෙන්ම"

"අම්මට සිරි මොකක්ද බං වැඩේ ... ? "

"මචං මේ ටවුමේ පොන්ටි හොටෙල් එකේ අලුතින් තට්ටු දෙකේ බිල්ඩිමක් හදනවා ඉතින් අද ස්ලැබ් එක දාන දවස . කොන්ක්‍රීට් දෙන්ඩ තමා තියෙන්නේ ..මේ කුඹුරු වැඩ කාලේ නිසා අත් උදවුවට කට්ටිය නෑ බං .. එනව නං දැන් වරෙන් සතියක වැඩ අල්ලා දෙන්නම් .. යකෝ එකදාස් දෙසිය පනායි පඩි .."

"මචං ඒත් වැඩට අඳින්න ඇඳුමක්වත් ගෙනල්ලා නෑනේ .. "

"වරෙන් මා ගාව තියෙනවා ඊයේ ඇන්ඳ කිට් එක ඒක දෙන්නම් ..

"එහෙනං මං එන්නම් මචං .."

"එළ හොටෙල් එක ගාවට ඇවිල්ලා මට කෝල් එකක් දාපං .. "

කාටවත් ණය වෙන්ඩ ඕනෑ නෑ .. මෙතන නිකම් ඉඳන් කාලේ කන එකේ මම ගිහින් එතන වැඩ කරලා රුපියල් දාහක් හොයාගන්නවා එහෙම හිතාපු මම කෙළින්ම ගිහින් නතර වුණේ පොන්ටි හෙටෙල් එකේ ඇතුළෙයි..

පළාතටම තිබුණු ලස්සනම විශාලම හෝටලේ තමා පොන්ටි හෝටලේ .පළාතේ හිටපු සල්ලි කාරයෝ විවාහ මංගල්‍යක් කරද්දී අනිවා තේරුවේ පොන්ටි හෝටලේ .. ඉතින් දවසින් දවස ඒක දියුණු වුණා .. දවසින් දවස හෝටලේ තට්ටු ගණන වැඩි වෙලා අහස උසට ඉහළ නැංඟා ..

"
දැං මචං ඉතින් ආයේ ගිනි කෂයා වාගේ වැඩ කරමු .. ඉඳා මේක දාගනිං .. ඔය සපත්තු මේස් බෙල්ට් පටි එහෙම ගලෝලා මේ මල්ලටම දාපං .."

මගේ මිත්‍රයා ජානක හනි හනිකට අවුදින් මාව වැඩට ඔබින ස්මාට් විදිහට ලැහැත්ති කළා ..

"
අර ඉන්නේ හෙඩ් බාස් .. හරි හොඳ බුවා . ඌ කියන විදිහට වැඩ කරහන් නෑ බෑ කියන්න එපා ඌට හරි වැරදි පෙන්නා දෙන්න එපා ඌ කියන දේට එහෙයි කියාපං .."

මට තවත් උපදෙස් දීලා දැනුමින් සන්නද්ධ කරපු ජානක මාවත් එක්කරගෙන හෙඩ් බාස් ළඟට කිට්ටු කළා ..

"
ආ මෙයාද අළුත් කෙනා ..?"

"
ඔවු බාසුන්නැහේ"

"
අනේ වෙලාවට ආපු එක ලොකු දෙයක් දරුවෝ .. අපිට මේ කට්ටිය අඩු වෙලා දඟලනවා .. හා හා ඉතින් එහෙනං දෙන්නා එක්ක ගිහින් වැඩ පටන්ගන්නකෝ .. "

ඇඟ වෙහෙසලා වැඩ කිරීම මට කවදත් ගෙන ආවේ ආතල් එකක් . දවසෙම වැඩ කරලා හවසට නාලා බියර් එකක් බොනකොට ඇඟට දැනෙන්නේ පුදුම හයියක් .දවසක් මහන්සි වුණා නම් සෝමාරි කම කුසීත ගතිය සතියකටවත් ආයේ ඇඟට දැනෙන්නේ නෑ . ඉතින් එහෙට මෙහෙට දුවමින් මමත් ජානකත් රොබෝලා වගේ වැඩ කළා ..

වෙලාව උදේ නවයට කිට්ටු වෙද්දී පොන්ටි හොටෙල් එකේ සෙනඟ පිරුණා . ලස්සන වෛවාරණ ඇඳුම් ඇඳ ගත්‍තු ගෑනු පිරිමි පොඩි එවුන් හොටෙල් එකට කිට්ටු කළා .

"
අද වෙඩින් එකක් වගේ නේද මචං? .." ජානක මගේ කනට කෙඳිරි ගෑවා ..

සිමෙන්ති පටවගත්තු ලොරියක් හෝටලේ ගේට්ටුවෙන් ඇතුළු වෙලා හෝටල් මිදුලේ ඉඩ කඩ තියෙන තැනක නතර කෙරුවේ ඔය අතරේදී.

"
දරුවනේ සිමෙන්ති ටික බාලා මේං මේ පැත්තට ගෙනාවානම් .. ඔය තණ කොළ පාගන්ඩ එපා සිමෙන්ති ගේනකොට පරෙස්සමෙන් ඔය ඇවිත් ඉන්න නෝනලා මහත්තුරුන්ගේ ඇඟේ හැප්පෙන්නත් එපා .මේ කණ්ඩියේ අල්ලා තියෙන ටයිල් පාගන්නත් එපා . හරියටම මේං මේ අයින දිගේ ඇවිල්ලා හෝටලේ පිටිපස්සෙ ගබඩාවේ අට්ටි ගහපල්ලා .."

ලොරියේ හිටපු ගෝල බාලයෝ අපේ කර පිට සිමෙන්ති පටවන්න සූදානම් වුණා ..

"
මොකද කියන්නේ සඳරු .. තරඟෙට ගෙනියමුද ? ජානකට මාර ෆන් .. "

"
පිස්සුද බං සෙනග වැඩියි වෙන වෙලේක කරමු .."

මම එක සිමෙන්ති මිටියක් කර තියාගෙන ලොකු බාසුන්නැහේ පෙන්නපු පාර දිගේ හෝටලේ පිටුපසට යන්ඩ පටන්ගත්තා .කිලෝ පනහක් බර වුණත් හරි විදිහට සිමෙන්ති කොට්ටේ කර තියා ගත්තොත් අතින් අල්ලන්නේ වත් නැතිව කිලෝමීටරයක් වුණත් ගෙනිච්ච හැකි ..

සිමෙන්ති කර ගහගෙන කීප වතාවක් ජානකත් මමත් එහා මෙහා ගියා .. හෝටල් මිදුලේ රැස් වෙලා හිටපු සෙනග අපි ලං වෙනකොට අප්පිරියාවෙන් වගේ ඈත් වෙච්ච නිසාම කාගෙවත් ඇඟේ වැදී ප්‍රශ්නයක් ඇති කර නොගන්න තරම් අපි වාසනාවන්ත වුණා .

මම හය වෙනි සිමෙන්ති මිටිය කරගහගෙන සෙනග අතරින් හෝටලේ පිටුපසට යද්දී දැකපු දෙයකින් මට මගේ ජීවිතේම එපා වුණා

මම උදේ බස් නැවතුම් දී දැකලා ඇඳින ගත්ත හංසි කෙල්ල ළමා සාරියක් ඇඳලා පවුඩර් උලාගෙන තවත් ළමා සාරි කෙල්ලෝ තුන් හතර දෙනෙක් එක්ක හෝටලේ ඇතුළු වෙන තැන ඉන්නවා මම දැක්කා .. ජංජාලයයි ! සිමෙන්ති මිටිය කරේ තියාන මම පුදුම වේගෙකින් ගිහින් හෝටලේ පිටුපස නතර වුණා .. මගේ ඇඟෙන් දාඩිය ගලන්න ගත්තේ සිමෙන්ති මිටි වල බරට නම් නෙවෙයි ...!

"
මොකෝ සඳරුවා .. උඹ ජෙට්ටෙක වගේ ආවේ ..?"

මගේ ළඟට ආපු ජානකයි මගෙන් එහෙම ඇහුවේ

"
මාර වැඩේ ජානක උදේ බස් එකේදි මට පට්ට ලස්සන කෙල්ලක් හම්බුනා වුණා ..ඉතින් මම ඒකිට කීවා මම උගන්වන්නේ අහවල් තැන කියලා !"

"
ඉතින් ඒක වැරදියැ ?"

"
ඒත් බං උදේ ඒකිට ලොරි ටෝක් දුන්න මං දැන් සිමෙන්ති කරගහනවා දැක්කොත් වසලා හමාරයිනේ ! "

"
ලෙඩක් තමා සඳරුවා .. මං කියන්නම් .. උඹ ගෝනියක් දාගනිං ඔළුවයි පිටයි වැහෙන්න. ඇඟේ සිමෙන්ති ගෑවෙන්නෙත් නෑ කෙල්ල උඹව ඇඳින ගන්නෙත් නෑ .. වැඩෙත් වෙනවා .. "

"
හ්ම් .. ඒම කරමු .. "

ජානක හෝටලේ කුස්සියෙන් ගෙනල්ලා දුන්නු පිටි ගෝනිය හෝටලේ පිටුපස රට අඹ ගහක ගහලා පිටි අයින් කරලා අරන් මම ඒ ගෝනියේ එක පැත්තක් බොකු ගහලා ඔළුවේ ඉඳන් පිට මැදට එනකම් දමා ගත්තා . ඊට පස්සේ හෙමිහිට සිමෙන්ති මිටිය බැගින් කරේ තියාගෙන මම පුරුදු පාරෙන්ම ආයෙත් ගමන පටන්ගත්තා ..

"
අඩෝ උඹ නම් දැන් ඔරිජිනල් නාටාඹියෙක් වගේමයි .. "

ඇත්තටම යාන්තම් මූණ වැහෙන්න ගෝනිය පෙරෝගත්තාම මං හිතාන වුණේ මම නිකම් රොබින් හුඩ් වගේය කියලා . ඒත් ඉතින් ලෝකයාට මාව පේන හැබෑ විදිහ වෙනස් කරන්න බෑ නොවැ .

"
ඉඳා මේ සිමෙන්ති කුඩු ටිකත් මූණේ ගාගනිං මූණ අළුපාට වුණාම උඹව අඳුනන්න බෑ ආයේ කාටවත් ."

ජානක බලෙන්ම මගේ මූණේ සිමෙන්ති කුඩු ඉළුවේ හරියට පවුඩර ගෑවා වගේ .

තව මොහොතක් ගිය තැන ලොරියක් පුරෝලා තිබුණු සිමෙන්ති කොට්ට ලොරියෙන් බාලා ගබඩාවේ පුරවන්න අපිට පුළුවන් වුණා . විනාඩි පහක විතර පොඩි විවේකයක් අපිට හම්බුනා වුණත් මම නම් හෝටලේ ඉදිරිපසට නම් වැරදිලාවත් නොයන්න හිතාගත්තා .

"
හා හා දරුවනේ ඔය මදෑ ඉතින් විවේක ගත්තා එවාපල්ලා වැලි ටිකක් මේ වහලෙ මුදුනට .."

ලොකු බාසුන්නැහේගේ කරුණාවන්ත කතා බහ ඇහෙද්දී වැඩ කරන්ඩ නෙවේ වැඩ මරන්ඩ හිතෙනවා . ආයෙමත් ගින්දර වගේ වැඩට බහින්න සූදානමෙන් මම සවල අතට ගත්තා උඩ තට්ටුවට නැංග ජානක ලණුවක ගැට ගහපු බාල්දියක් පහලට එවුවා . මම ඒක පිරෙන්න වැලි එකක් දමලා ඉවර වුණාම ඌ හනිකට ඒ බාල්දිය උඩ තට්ටුවට ගත්තා .. මේ විදිහට අපි වැලි ගොඩෙන් බාගයක්ම උඩ යැවුවා .. මට උදේ හම්බුණු හංසි කෙල්ලව අමතක වුණා .. හවසට රුපියල් එකදාස් දෙසිය පනාක් හම්බුවෙන බව මතක් වෙලා මගේ හිත සන්තෝසෙන් පිරුණා .. ඒත් කවුදෑ හිතවුවේ සතුට එන්නේ දුකත් අරගෙන කියලා..

"
අයියේ ..!!! "

අද උදේ බස් පොලේදී ඇහුණ කටහඬම ආයෙමත් මට ඇහුණා. මගේ මූණ ඉස්සරහා උන්නේ ළමාසාරියක් ඇඳගත්තු හංසි කෙල්ල .. ඒකිව දැක්ක මොහොතේම මගේ හිතට ආවේ දුකක්වත් ලැජ්ජාවක් වත් නෙවෙයි මහා තරහක් .. මගේ දුර්වල කමක් එළි වෙද්දී මට තරහ යාම සාමාන්‍යයි.
"
අද පන්ති නෑද අයියේ .. ?"

ඒකි මාව කැරකිලා වැටෙන්නම පළවෙනි ප්‍රශ්නය ඇහුවා ..

"
ඔ ඔ ඔයා මුණාද මෙහේ ... කරන්නේ ?"

"
මම මේ වෙඩින් එකේ ජයමංගල ගාථා කියන්ඩ ආවා .ඒක නෙවි ඇයි අයියේ බොරු කීවේ ..?"

ඒකිගේ මූණේ මහා කොලොප්පම් හිනාවක් ඇඳිලා ..

"
අද මේ අර මේ මට ක්ලාස් නෑ ළමයි ආවේ නෑ කවුරුත් මේ ඉතින් මං අර මගේ යාළුව හම්බෙන්ඩ ආවා ඉතින් ඌ තනියෙන් නිසා ඌට මේ උදවු කළා මං .. ඇයි වැරදිද ?"

"
යාළුවට උදවු කරන්ඩද ආවේ ..?"

"
.."

"
පුත්..තේ වැලි බාල්දිය එවහං හනිකට... මේ කොල්ලා බාල්දිය දාලා දැන් පැය ගාණක් බලං ඉන්නවා .. ඔහොම බෑ ඔහොම බෑ .. "

මෙච්චර වෙලා හොඳින් උන්නු ලොකු බාසුන්නැහෙත් මටම කෙළියා ..

"
මේ අයියේ මට ඔයාගේ බොරු අහන්ඩ ඕන්නෑ .. ආ මේ කිරිබත් කවුම් පාර්සලේ මම ගෙනාවේ ඔයාට . කනව නං කන්ඩ .. "

"
මේ නංඟි ඉන්ඩ මම ඔයාට මගේ ඔෆිස් අයිඩී එක පෙන්වන්ඩ .. මම ඇත්තටම උගන්වන කෙනෙක් .."

මම හනි හනික මම ඇඳන් උන්නු කලිසමේ පිටුපස සාක්කුවට අත දමලා මගේ පොකැට් එක හෙවුවා .. එදා දවසේ සිද්ධ වෙච්චි හෑම දේම රුවිතෙටයි වුණේ . මම ඇඳගෙන උන්නේ ජානකගේ පරණ සිමෙන්ති ගෑවිච්චි කලිසම. මගේ පොකැට් එක මගේ රෙදිත් එක්ක ජානකගේ රෙදි මල්ලේ තියෙන වග මට කල්පනාවට ආවේ ඒ මොහොතෙයි .. කලිසමේ පිටුපස සාක්කුවේදී මගේ අතට අහුවුණේ පරණ දුංකොළ කෑල්ලක් විතරයි ..

"
නංඟී මගේ පර්ස් එක මගේ රෙදි ගොඩේ ..!"

"
අපෝ මෙහෙමත් බොරු කියන කෙනෙක් .. මං හිතන්නේ ලංකාවට බොරුව ගෙනාවේ ඔයා වෙන්ඩැති .. අනේ මේ බොරු නොකියා මේක ගන්ඩ පවු හිතිලයි ගෙනාවේ තව මෙතන බොරුත් ඇද බානවා .."

"
අනේ මට ඔන්නෑ ඔයාගේ කැවුම ඒක ඔයාම ගෙනියන්ඩ .. මොකෝ මම කන්ඩ අහේනියක් තියෙන එකෙක් කියලා හිතුවද ? "

"
දූ පැටියෝ .. ඕකාට කන්ඩ පින නැති වුණාට අපිට කන්ඩ හැකියි ..දාපං මයෙ දුවේ ඔය කැවිලි මල්ල මේ බාල්දියට .."

කට පියාගෙන ඉන්ඩ බැරි වයසක දැල්ලෙක් වෙච්ච ලොකු බාසුන්නැහේ වහලෙ උඩ ඉඳන් ලණුවක ගැට ගහපු තවත් බාල්දියක් පහළට එවුවා මට ඔරවලා ලොකු බාසුන්නැහේ එක්ක හිනා වෙච්චි කෙල්ල කැවිලි මල්ල බාල්දිය ඇතුළෙන් තිවුවා .. ලොකු බාසා ඒක සුටුස් ගාලා උඩට ඇදලා ගත්තා ..

"
ඔයා අර ලොරියෙන් සිමෙන්ති බානවත් මම බලාගෙනයි හිටියේ .. ගෝනි බ්ල්ලෙක් වගේ ගෝනි දාගත්තම හිතුවද ඔයාව අඳුන්නන බෑ කියලා .. හ්ම් .. මීට පස්සෙවත් ඇත්ත කියන්ඩ ඉගෙන ගන්ඩ."

ගස්සාගෙන පද්දාගෙන මගෙන් ඈතට ඇදිලා ගිය ගිනි බෝම්බයක් වගේ කෙල්ල දිහා මොහොතක් බලාන උන්නු මම අහකට කෙළ පාරක් ගහලා මගේ හිතෙන් වාඩුව ගත්තා ..අතේ තිබුණු සවළෙන් ඒකිට පන්න පන්න ගහන්න තරම් මගේ හිතේ තරහක් ඇති වුණත් .. කෙල්ලෙක් නිසා මම අමාරුවෙන් ඉවසාගෙන් උන්නා ..

එදා හවස වැඩ අවසන් වුණාම මට එක්දාස් දෙසිය පනහක මුදලක් අතට ලැබුණා . කෙළින්ම ගෙදර ගිහින් නා කියාගෙන අජිත් අයියගේ ණය ගෙවාපු මම ඉතිරි මුදලෙන් බියර් එකක් ගහලා දවල් වෙච්ච ලැජ්ජා සහගත සිදුවීම අමතක කළා ..

එදා මම පැය ගාණක් කල්පනා කෙරුවා .. ඒදා මගේ ඇඟට වැදුණු බියර් එකේ සැර බැහැලා ගියේ මගේ ඔළුවට අලුත් අදහසකුත් එක්කාසු කරලයි ..

මම පටන් ගන්නවා මගේම කියලා බිස්නස් එකක් .. කාටවත් නැවෙන්න ඔනෑ නෑ .. කාටවත් වග උත්තර බඳින්ඩ ඔනෑ නෑ .. හරිගියත් මට වැරදුණත් මට .

ටික ටික වෙරි බැහැගෙන යද්දී හිතේ උපන් අලුත් අදහසට තව තවත් පණ ලැබුණා .. ඉතින් එදා මම හිතා ගත්තු මගේම පුංචි ව්‍යාපාරය අරඹන්න තව බොහෝම ටික කාලයක් ඉතිරි වෙලා තියෙනවා ..ඒ ටික කාලෙත් ගෙවිලා ඉවර වෙනතුරු මම ඇඟිලි ගනිමින් බලාන ඉන්නවා ... මේ කතාව මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ මගේ හිතට පුදුම හයියක් දැනෙනවා .. මේ මගේ රුවිතෙට ගිය ජීවිතේට අලුත්ම අරමුණක් පෙන්වාපු සිදුවීම කීවොත් වැරදි නෑ .


ප:ලි - කියවන ඔබේ අවධානය පිණිසයි !

සමහරු වාහනයක් ගන්නට, ගෙයක් දොරක් හදාගන්නට සිහින දකිති, තවත් සමහරු ඉහළ රැකියාවක් ලබා ගන්නට, තමාගේ සිත දිනූ කෙනා සමග සම්බන්ධයක් ඇති කරගන්නට සිහින දකිති. මෙවන් වූ වටපිටාවක අසරණ යශෝධා සිහින දකින්නේ පරිත්‍යාග ශීලීන්ගේ පින්බර මුදලින් තමාගේ ඉලක්කය සපුරාගෙන සිරුරට දැනෙන පීඩාව නිමකරගන්නට බරපතල ඝනයේ සැත්කමකට මුහුණ දෙන්නටය. ඉතිං ඒ අහිංසක බලාපොරොත්තුවට පියඹායන්නට හැකි ඉක්මනින් අත්තටු දෙමුද ? තීරණය ඔබේ අතේ...

උදවුවක් අවැසි වෙලා ඉඳින අපේම සහෝදරියක් ගැන මාවත් දැනුවත් කලේ සිරාගේ බ්ලොග් එක ලියන සිරා සහෝදරයා. මිල මුදලින් ඒ හැටි ලොකු ආධාරයක් කරන්න නොහැකි වුණත් මම මට හැකි විදිහට පොඩි ආධාරයක් කලා ඇය වෙනුවෙන් .. ඉතින් හිස් අහස බ්ලොග් එක කියවන ඔබටත් පුළුවන් අසරණ කෙල්ලෙකුගේ බලාපොරොත්තුවක් වෙනුවෙන් උපකාරයක් වෙන්න ..
ගිහින් බලන්න පුලුවන් උදවුවක් දෙන්න ..


45 comments:

  1. සඳරුවා එල හැ

    ReplyDelete
  2. දිගටම ලියන්න අයියේ.. :)

    ReplyDelete
  3. "මම පටන් ගන්නවා මගේම කියලා බිස්නස් එකක් .. කාටවත් නැවෙන්න ඔනෑ නෑ .. කාටවත් වග උත්තර බඳින්ඩ ඔනෑ නෑ .. හරිගියත් මට වැරදුණත් මට . "

    සදරුගේ සිතුවිල්ල ඉහලයි...
    ජයග්‍රහනය ලගමයි...

    ReplyDelete
  4. සවලෙංම කෙලල අරින්න එපැයි එතනම සෙත්තපෝච්චි වෙන්න... :D

    කුජීත එකෙත් ලොකුම එකෙං තමයි වෙන්නෙ නේද

    ReplyDelete
  5. අන්න හරි බං! පටන් ගනින් උඹේම කියලා බිස්නස් එකක්! කාටවත් දෙකට නැමෙන්න ඕනේ නෑ බං! අනිත් ඔය ගෑනු කියන ජාතිය කියන කරන දේවල් ගණන් නොගෙන ඉදින්!

    ReplyDelete
  6. නියමයි මචං....දිගටම ලියන්න....

    ReplyDelete
  7. සදරු මල්ලි කතාව වෙනද වගේම ඉතා හොදයි.මමත් ඔය "පොන්ටි" එකේ(හැබැයි හරි නම ඕක නෙමෙයි නේද?) නිතරම නතර වෙනවා අ..... රෝහලට ආපු වෙලාවට.ඕක දියුනු උනේනම් හැබැයි සුනාමියෙන් පස්සෙ නේ...
    දිගටම ලියන්න..ජය වේවා...
    ඉන්දික KSA

    ReplyDelete
  8. මොනවා කරත් කමක් නෑ මචන් ඒත් හොරුන්ට අහුවෙන්න එපා..... ජයෙන් ජය....

    ReplyDelete
  9. මම බොහොම වින්ඳ කතාවක් සහෝදරයා...ඒකේ තියෙනවා පුදුම ලෙන්ගතු බවක් මටම..ජයවේවා

    ReplyDelete
  10. අවුලක් නෑ හිත දන්නවනෙ බොරුවක් කලේ නෑ කියල. එච්චරයි..
    මොකක් හරි පටන් ගනින්.. තමන්ගෙම. !

    ReplyDelete
  11. සාදුක්කාරෙ පුදපු හැටියෙ කපි යකා නේද බොලෙ

    ReplyDelete
  12. සියළු සිතුම් පැතුම් ඒ අයුරෙන්ම ඉටුකරගන්න සුබ පැතුම්!!!!

    පස්ට කතාව ඇ....

    ReplyDelete
  13. එළ එළ. ගොඩක අය නොහිතන්නෙත් ඔය විදියටමයි. අලුත් බිස්නස් එකට සුභ පැතුම්. ඉක්මනටම පටන් ගනින්... (කසුන්)

    ReplyDelete
  14. අයියේ කියද්දි මුලින්ම මං හිතුවෙ උඹලගෙ නංගි තමයි මොකක් හරී සීන් එකක් පටලගෙන එන්න ඇත්තෙ කියල. ටයිටල් එක බැලුවමත් එහෙම එකක්නෙ හිතෙන්නෙ.

    ReplyDelete
  15. හී මේකද අර ලියනවා කියලා කිව්වෙ.. හරිම ෂෝයි.. ලාස්සනයි . අපිත් කියෙව්වා :D
    :)

    ReplyDelete
  16. මම අවුරුදු ගානක් බ්ලොග් බැලුවට මොකද හිස් අහසට ආවෙ සතියකට විතර කලින්. ඒ අවෙත් ලක්බිම පත්තරෙ කොමෙන්ට් එකක් නිසා. බ්ලොග් ලොකේ ලොක්කො වගේ පෙනී ඉන්න කුහකයො මල්ලිගෙ No.1 බ්ලොග් එක වසන් වෙන විදියට තමයි වැඩ කරන්නෙ.. Uන් ඉරිසියාකාර කොමෙන්ට් මේ සයිට් එකෙත් දාලා තිබුනා.. මුලදි මම විශ්වාස කලේ නෑ මේක ලියන්නෙ අවු විසිගනනක කොල්ලෙක් කියලා. අග ඉඳලා මුලට එද්දි මට තෙරුනා ඒක ඇත්ත කියලා..

    මේ කතාව ගැන කියනවා නම් ජගත්ගෙ කෝල් එකෙන්ම කතාවෙ ඉතුරුටික හිතාගන්න පුලුවන් උනා..(ටිකක් අසාර්තකයී) අනිත් එක තමයි ජැක් කතාව නොලිය හිටියා නම් හොඳයි.. පට්ට කෙල්ලෙක් පැනල ෆෝන් එක ඉල්ලගෙන ලඟටම ඇවිල්ල ජැක් එක දුන්නා කිව්වම ටිකක් ෆැන්ටසි ගතිය වැඩියි.. ටිකක් වල් ගතියත් වැඩියි..

    ReplyDelete
  17. අලුත් ගමනට සුභපැතුම් මිත්‍රයා

    ReplyDelete
  18. එල මචන් දිගටම ලියපන්, ජැක් කතාව ටිකක් අවුල් තමා

    ReplyDelete
  19. දකින දෙයින්ම එකපාරටම තීරණයකට එන්න හොද නැහැ.මොකද දකින දේ නෙමෙයි සමහර විට එතැන ඈත්ත තත්වෙ. අලුත් වැඩේට සුබ පතනවා

    ReplyDelete
  20. ඔයාගෙ නිර්ව්‍යාජත්වය අගය කරනවා මල්ලි.....

    ReplyDelete
  21. ජයවේවා කිව්ව එහෙනම් ...

    ReplyDelete
  22. කෙල්ලට වැරැද්දක් කියන්න බෑ.ඒකිගෙ පැත්තෙන් ඒකි හරි..
    ඊලඟ දවසෙ , අයිඩෙන්ටිය එල්ල ගෙන වැඩ කරහන් හෙහ් හෙහ් හෙහ්.. :-)

    ReplyDelete
  23. මේක රචනයක් විතරයි නේද මචන්?. මම දන්න විදියට උඹට බදින්න කෙල්ලෙක් ඉන්නවනේ?.

    ReplyDelete
  24. අලුතෙන් පටන් ගන්න ඉන්න වැඩේට සුබ පැතුම් සදරු අයියේ.

    ReplyDelete
  25. මචන් උබේ post එක blog රොල් වල​ update වෙලා නැ ... දිගටම ලියපන් කොල්ලො, උබට ජය ...

    ReplyDelete
  26. බෝනික්කො වගේ සැන් පවුඩර් ගාගෙන ඉන්න කොල්ලන්ට වැඩිය දහඩිය මහන්සියෙන් වැඩක් කරන්න පුලුවං කාටවත් ණයක් වෙන්නැති කොල්ලෙක්ගෙ අගේ දන්නැති ඔය වගේ කෙල්ලො වැඩක් නෑ මල්ලි.

    උඹ අලුතෙන් පටංගන්න යන වැ‍ඩේ සාර්ථක වෙන්න කියල බොක්කෙන්ම සුබ පතනව.

    (උඹේ මේ පෝස්ට් එක කිසිම තැනක අප්ඩේට් වෙලා නැත්තෙ ඇයි කියල බලහං)

    ReplyDelete
  27. උඹ කියන කතාව ඇත්ත. නිකන් බොරුවට වෙන එකෙක්ට චාටර් වෙන එකනම් ඉවසන්න පට්ටම අමාරුයි බන්.

    මේ කතාවත් හොදටම ලියලා තියෙනවා. එල.

    ReplyDelete
  28. Blog lokye hamdamt uba mage viraya una. uba dawasaka dinanawa.

    ReplyDelete
  29. උඹටමයි මේවා වෙන්නේ.... මොනවා උනත් ඒකි උඹට කැවුම් ගෙනාවනේ බං... ඕක අර කියනවා වගේ කොච්චර තේරුම් කලත් තේරුම් කරලා දෙන්න බැරි දෙයක් .... උඹට තිබුණේ එවෙලාවෙ දුක හිතෙන විදිහට ඇක්ට් කරන්න...

    ReplyDelete
  30. තනි ඇහැට අඬන්න පුළුවන් කතාවක් මලේ. උඹ පටන් ගන්න ව්‍යාපාරය ගැන මට කිව්වා නේද? උඹට හරි යනවා ෂුවර්. ණයට දෙන්න එපා එච්චරයි.

    ReplyDelete
  31. මගේ එකම හීනෙත් ඕකම තමයි... ඒත් මට හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා...

    ReplyDelete
  32. මචං වෙනදා වගේම ලිවිල්ල සුපිරි! ඔහොම මරාල අපිටත් වැටෙනවා බං!!! සුපිරි සුපිරි!! හිකිස්!

    උඹලගෙ පැත්තෙ සිරා ලස්සන කෙල්ලො ඉන්නවා බං! ඒක බොරු නෙමෙයි! මාත් පිළිගන්නවා!

    අලුත් බිස්නස් එකට සුභ පතනවා මචං! සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා සුභ පතනවා!

    ReplyDelete
  33. ado mamath kaallakata try kara... ekith ampare.... suduma sudui ban... dan eki inne colombo... mamath colombo kollek

    ReplyDelete
  34. හිස් අහස බලන්න පටන් ගත්තෙ ලඟදි. අත්දැකිම්, එවා ලියන ආකරය, අව්‍යාජ බව, උපහාසයෙන් පිරි අතිශයොක්තිය..නිර්මානත්මක බව අති විශිටයි..
    තව තවත් නිර්මාන කිරිමට දහිරිය ලැබෙවා.. හොඳ මත් වතුර අඩුවෙන් බොන්න ලැබෙවා.. අග හිඟයක් නොවේවා.. බොරු සොබ්බෙ නැති, මල්ලිගෙ වැඩවලට උපරිම සහය දෙන උගත් ගමේ කෙල්ලෙක් ලැබේවා..

    නමුත් මේ ලිපියෙ ප්‍රාර්තනාව පරිදි ව්‍යාපාරිකයෙක් නොවෙවා... හේතුව ආත්මාර්තකාමියි.. මල්ලි බිස්නස් වලට බැස්සාම.. මෙව්වා ලියන්නෙ කවුද? සල්ලි අතට එන්න ගත්තාම මෙව්ව අමතක වෙනවා.. නිර්මානශිලිකම නැතිවෙනවා.. අපිට බලන්න බ්ලොගයක් නැතිවෙනවා..

    ReplyDelete
  35. හිකිස් ඕනැ නෑ.. හරිම කැත වැඩක්නේ වෙලා තියෙන්නේ.හැබැයි රස්සාවේ තත්වය කියන එක අපිම හදාගත්ත ඒවානේ.එහෙම නැත්නම් වංචා කරන දොස්තරට වඩා හොද කොන්දොස්තර කෙනෙක් ඉහලයිනේ... ඔය දේවල්වලින් අපි අපිව මනින්න යන්න නරකයි මට හිතෙන විදියට!

    ReplyDelete
  36. අද තමයි ඉතිං වෙලාවක් ලැබුනෙ මේ පැත්තට එන්න....යශෝධා ගැනත් මතක් කලාට ස්තූතියි සදරු...හැබෑටම බොලට වෙන්නෙම මේ වර්ගයේ වැඩම තමයි නේද...මට කථාවෙ මැදක් යද්දි තේරුනා හංසි කෙල්ල හෝටලේට ඒවි කියලා..අම්පාරෙ ලස්සන කෙල්ලො එමට ඉන්නවා නම් මටත් එකක් බලහංකො බන් ඔය පැත්තෙන්ම...උත්සාහවන්ත වෙලා වැඩ කරගෙන පලයන්...අද විදින දුක තමයි හෙට මතක් කරලා සතුටු වෙන්න පුලුවන් අතීත මතක සටහන්...ජය !

    ReplyDelete
  37. පොන්ටි හොටෙල්....... නියම නම, මගේ මගුලත් එකේම ගන්න බලන්න ඕන..............

    ReplyDelete
  38. ඔයාගේ ලියවිල්ලේ රටාවට මං හරිම කැමති ,, ගොඩක් අව්‍යාජයි .. අද තමයි කොමෙන්ට් කරන්න හම්බුනේ , ෆෝන් එකෙන් කියෝලා තිබ්බ ඔයාගේ කතා ,

    ReplyDelete
  39. අරේවා සඳරු භයියා!!!!!!!!!

    සොරි අයියණ්ඩියේ මට හිනාව නවත්තගන්න බැරි වුනා!!

    ඔව්වා ගනන් ගන්න එපා දෝස්ත්....!!

    හික්Z!!!!!!!!

    බෝල්ට් ඇණ ගිලපු අපිට කොහිල කටු මොනා ද?!

    බොහොත් අච්චා පෝස්ට් හේ!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  40. මට මේක එහෙම් පිටින්ම මගෑරිලනෙ සඳරුවො.. අද අහම්බෙන් දැක්කෙ.

    අන්තිම ටික කියවලා මාර සතුටක් දැනුනා බන්.. උඹට අපි සුබ පතනවා. හදවතින්ම.. උඹ බ්ලොග් ලෝකය දික්විජය කළා වගේ ව්‍යාපාර ලෝකයත් දික්විජය කරන්න ලැබෙනවා. අනිවා.. අවන්කව මහන්සිවෙලා වැඩ කරහන්.. ජය නියතයි.. උඹට ජය !!

    ReplyDelete
  41. මෙහෙම ඉදලා හිටලා හරි ලියහං බං

    ReplyDelete
  42. සුපිරියට ලියලා තියනවා..!!

    ReplyDelete
  43. එළකිරි ආ

    ReplyDelete

තැන්කූ බං