30.8.13

ඔයා නිසා මට බඩත් ගියා


මම අරක්කු බොන්න පටන්ගත්තේ ඉස්කෝලේ දහය වසරේ මුල් කාලයේ හෝ නවය වසරේ අග කියලා තමයි මගෙ මතකයේ තියෙන්නේ . මගෙත් එක්ක එකට උන්නු යාළු මිත්‍රයෝ නොසෑහෙන්න මත්පැන් කෙළින හැටියට මම නිතරම හිතුවා මම කොයිතරම් දුරට බීමෙන් පාලනය වුණ එකෙක්ද කියලා .ඇත්තටම මට බොන්න ඔනෑ වුණේ , මල ගෙදරක ,මගුල් ගෙදරක සහ ඇස්ටොං ගෙදරක ගියාම එහෙමත් නැතිනම් දවසෙම වැඩකරලා ඇඟපත වේදනාවක් දැනුණාම ඒත් නැතිනම් හිතට සතුටක් දැනුණාම .නැතිනම් දුකක් දැනුණාම .

මම කොයිතරම් අඩුවෙන් මත්පැන් තොලගෑවා වුණත් මගෙ පෙම්වතිය මාව දැක්කේ ලෝකේ ඉන්න ලොකුම බේබද්දා විදිහට .ඒත් මොනවා කරන්නද අරක්කු ජීවිතේට පණක් දෙන අතරේ මගේ කෙල්ල මගේ ජීවිතේ එළිය කෙරුවා . ඉතින් මට කොයිම මොහොතකවත් අරක්කු සහ පෙම්වතිය යන දෙන්නාගෙන් කෙනෙක් නැතිව ඉඳීම ගැන යාන්තමටවත් හිතන්න බැරි වුණා .

"ඔය ඔය බීම නතර නොකළොත් සත්තයි මම ඔයාව දාලා යන්න යනවා " මාව නිතරම සලිත කරවපු මගේ කෙල්ල නිතර මතුරන මන්තරය තමයි ඒ .. ඒ මන්තරයෙන් මාව දමනය කරන්න හැකි විත්තිය එයා දන්නවා.

කෙල්ලට ඔනෑ වුණේ මාව මතින් තොර සුපිරිසිදු කොල්ලෙක් කරවන්න ,ඒත් මට ඔනෑ වුණේ මට හිතුණු වෙලාවට පොඩ්ඩක් බොන්න වසර කීපයක් දිගට ඇදුණු මේ සටන පහුගිය දවසක නිමා වුණා මට ඇති තරම් බොන්න අවසර දීලා මගේ කෙල්ල පරාජය බාරගත්තා මේ ලියැවෙන්නේ ඒ කතාව .......

2013 ජූලි මාසෙ දොළොස් වැනිදා උදාවුණේ හරිම ජරා විදිහට . වෙනදා උදේ නවය දහය වෙනකම් නිදාගන්න මම එදා උදෙන්ම නැගිටුණේ . වැඩකට යන්න නම් නෙවෙයි . කක්කුස්සියට යන්න දැනුණ බොහෝම ලොකු උවමනාවක් නිසයි . යකාගේ කම්මල වගේ රිදුම් දෙන බඩ එක අතකින් තදකරගෙන මම දොළොස් වැනිදා උදේ හය හමාරේ ඉඳන් අට විතර වෙනතුරු කක්කුස්සියට වෙලා හිටියා ...

එකපිට එක වාර ගණනාවක් පාසා "බූස් බූස්" ගාලා නොකඩවා බඩ එළිය යන අතරේ මම කක්කුස්සියට වෙලා කල්පනා කෙරුවේ මොනාද මේතරම් බඩ යන්න මම කාපු ජරාව කියලයි .

සතියකින් දෙකකින් මම කිසිම මස් වර්ගයක් කෑවෙ නෑ ..

බණ්ඩිය චණ්ඩි කරන යෝගට් එකක්වත් මම කටේ තොලේ මතක ඇති කාලෙක තියලා නෑ
..
එහෙනම් කොහොමද මට මේතරම් තදේට බඩ යන්නේ ? .. කක්කුස්සියේ පැය ගාණක් ඉඳගෙන කල්පනාකළත් මට නෙවෙයි මේ බඩ යාමට හේතුවක් මතකෙට ආවේ ..

ගමේ වෙද මහත්තයාගේ පුතා වෙච්ච රණමලා මගෙ හොඳ යාළුවා . ඌට කෝල් එකක් දීලා පුංචි අත් බේතක් අහගත්තු මම යාන්තම් එදා දවල් වරුව කක්කුස්සියෙන් එපිට ගත කළා . ඒත් කරුමේ කියන්නේ බත් කටක් කෑවා විතරයි . ආයෙමත් වංඟියක් නොසෑහෙන්න බඩ එළිය යන්න පටන් ගත්තේ වක්කඩ කැඩුවා වගෙයි ..

මට නොකඩවා බඩ යනවා කියන ආරංචිය මගේ යාළු මිත්‍රයින්ට ආරංචි වෙන්න ඒ හැටි වෙලාවක් ගත වෙලා තිබුණේ නෑ .පහුවදා උදේට එළි වෙනකොට . මගේ ඇඳ වටේ යාළුවෝ රොත්තක්ම වට වෙලා හිටියා .. උන් මට බොහොම ආදරෙයි ඒ අදරේ නිසාම උන් දොස්තරලා වගේ මගෙන් නොයෙක් ප්‍රශ්න ඇහැවුවා.

"අඩේ උඹට බඩ යනවද බං ?"

"ඒ මූ ඊගාව පාර කක්කුස්සි යන්න හදනකොට අපි මූව අල්ලගම්මු ... යන්ඩ දෙන්නෙපා ."

"අපි උඹට ගස්ලබු ගෙඩියක් ගෙනාව මචං .. අපි ගැන හිතලා කෑල්ලක් කාපං "

"ගස්ලබු එපා නම් කිරි හට්ටියක් ගෙන්නද මචං
..?"

"මචං දියාරුවට යන්නේ උකුවටද
?"

"ඒ උඹ මැරෙන්න නම් එපා
.. බඩ ගිහින් ගිහින් මැරුණා කියලා ගමේ කතාව ගියොත් අපටත් ලැජ්ජාව .."

ඔන්න ඔය වගේ හිතට හයියක් වෙන යාළුවෝ සෙට් එකක් කොල්ලෙකුට ඉන්න එක කොයිතරම් දෙයක්ද ..ඒකම මදෑ ලෙඩ හොඳ වෙන්න ., කොහොමින් කොහොම හරි මගේ පාප මිත්‍රයෝ ටික අපේ ගෙදරින් යද්දී මම බාගෙට මැරිලා හිටියා .

හැන්දෑ වරුවේ ඩිස්පෙන්සරියේ මුස්ලිම් දොස්තර මහත්තයා දුන්න බේත නිසා බඩ එළිය යාම යාන්තමට නතර වුණත් . බඩේ පැත්තක් තදින් රිදෙන්න ගත්තා . කරන්නම දෙයක් නැති තැන මම ලංකාවේ තියන සුන්දරම ඉස්පිරිතාලේ වෙච්ච අම්පුරේ මහ රෝහලට ගිහින් නතර වෙන්න හිතුවා වුණත් . බඩේ අමාරුවට හොඳ කරන්න කියලා ඒ දොස්තර මහත්තුරු මගේ උණ්ඩුක පුච්චය කපා දමාවි කියලා හිතේ උපන්න ප්‍රීතිය නිසා මම බඩට කොට්ටයක් තියලා තද කරගෙන වේදනාව විඳ දරාගත්තා ..

පහුවදා උදේ මගේ පෙම්වතිය බඩේ ලෙඩින් පෙළෙන මාව බලන්න ආවේ . එයා විසින්ම මුල්වරට හදාපු තැම්බුම් හොදි බාජනේකුත් අරගෙනයි ..

"ඔයාට ගොඩක් අමාරුද ?" එයා ආපු හැටියේ මගෙන් එහෙම ඇහැවුවා

"නෑ අනේ මේ කෙළින් ඉන්න බැරි එක විතරයි .."

"මං ඔයාට තැම්බුං හොදි ගෙනාවා මේක බොන්ඩකෝ .. මංමයි හැදුවේ"

කෙල්ල ආදරෙන් හදාගෙන ආ ජිල්බෝල හොද්දක හැඩහුරුකම් තිබුණු තැම්බුං හොද්දෙන් ෂොට් දෙකක් කසිප්පු කෙළින්නා වාගේ අප්පිරියාවෙන් කෙලපු මම ඇඳේ හතරගාතේ දාලා නිදියෑවා ..

දෙන දෙයියෝ දෙනකොට මදි නොකියන්ඩ දෙනවලු .....හවස හතර හමාර වෙනකොට මට දෙයියො බුදුං සිහි වෙනතරමට දරුණු බඩේ වේදනාවක් දැනෙන්න වුණා. කරන්න දෙයක් නැති තැන උඩින් පල්ලෙන් ලැහැත්ති වෙච්ච මම මල් වත්ත ලෙස විරුදාවලිය ලත් අම්පුරේ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්න යන්න සූදානම් වුණා . ඔන්න එතකොටම තමයි මගේ ෆෝන් එක නාද වුණේ .. කෝල් එක ආවේ මගේ කෙල්ලගෙන් ..

"හලෝ කෙල්ලේ ..මේ මම දැන් හොස්පිරිතාලේ ඇඩ්මිෂන් ගන්න යන්නේ .. හොඳටම බඩ රිදෙනවා ඉන්න බෑ ."

"ඔයා ඔහොම සඳරු ඉන්න මම දැන් ආටා එකක් අරන් එන්නම් ඒකෙම යමු .."

විනාඩි විස්සකින් විතර මගේ කෙල්ල බොහෝම වයසක අංකල් කෙනෙක් පදවාගෙන ආ ආටා එකක නැඟිලා අපේ ගෙදෙට්ටම ආවා . ඒකෙ නැගුණු මමත් අමාරුවෙන් කෙඳිරිගගා ඉක්මනට රෝහලට යන අදහසින් බඩත් දිග ඇරගෙන ඒකේ ඇතුළේ ඉඳගත්තා ..

"සඳරු .. සඳරු .. ඔයාට අමාරුයිද ? "

"නැතුව .. මං මේ ආතල් එකට කෙඳිරිගානවයැ"

"සඳරු මට ඔයාට කියන්න දෙයක් තියනවා .."

"මොකක්ද ?"

"බයින්නෑ කියලා කියන්න"

"කියන්ඩකෝ හත්වලාමේ .. බයින්නෑ .."

"අනේ බෑ බෑ බයින්නෑ කියලා පොරොන්දු වෙන්න .."

මේතරම් බඩ එළිය යන පජාත වෙලාවක වුණත් කෙල්ලෙක් හැසිරෙන්නේ හරි හුරතල් විදියට.

"බයින්නෑ කෙල්ලේ මේ වෙලේ බයින්න තියා මට අඬන්නවත් පණ නෑ "

"ඔයාගෙ ඔය බඩේ අමාරුව හැදුණේ මං හින්දා ?"

කෙල්ල කියාපු දේ ඇහිලා මට ආයෙත් බඩ එළිය යන්න ළංවුණා ..

"මොකක් කීවා ?"

"මම කතාව මුල ඉඳලාම කියන්නම් . බයින්න බෑ ඕං .."

ඉතින් ඒ ගැස්සි ගැස්සි දුවන ත්‍රීවීලර් එකේ වාඩිගත්ත මම මගේ කෙල්ල කියන්න යන කතාව කටත් ඇරගෙන අහගෙන හිටියේ බඩේ අමාරුව මොහොතකට අමතක කරලයි ..

"මම ගිය සතියේ ආෂිකී ටූ ෆිල්ම් එක බැලුවා .."

"ඉතිං මට බඩයන්නේ ඒක නිසාද ?"

"අහගන්නකෝ ..ඉතින් ඒ ෆිල්ම් එකේ කොල්ලා බීලා බීලා මැරිලා යනවා .. අන්තිමට ඒ කෙල්ල තනි වෙනවා . අනේ මටත් හිතුණා ඔයා බොන බීමේ හැටියට ඔයත් ඉක්මනටම මැරිලා යාවි මං තනිවේවි කියලා .. "
"ඉතිං .. ?" මම සෑහෙන කුතුහලයකින් උන්නත් ඒවගක් නොපෙන්වා කතා කළා ..

"ඉතින් මගේ යාළුවෙක් මට කිවුවා ඔයාගේ බීම නවත්තන්න හැකි ගුරුන්නාන්සේ කෙනෙක් ගැන විස්තරයක් . එයාගේ නම රණවීර අයියා . එයා ඉන්නේ උඩහ ගැමුණු පුරේ . එයා මන්තර ගුරුකම් හොඳටම දන්නවා . එයා ඔය අරක්කුවලට ඇබ්බැහි වෙච්ච අයව ඒකෙන් සදහටම නිදහස් කරගන්නවාලු ."

"ඉතින් මොකෝ කළේ ...?"

"මමයි මගේ යාළුවා හසිනියි යි ගියා රණවීර අයියව හම්බුවෙන්න .. එයා මට මතුරාපු තැඹිලි ගෙඩියක් දුන්නා ඔයාට බොන්න දෙන්න කියලා . ඒක බීපු ගමන් ඔයා ආයේ අරක්කු කටේ තියන එකක් නෑ කිවුවා .. ඉතින් මම පෙරේදා ඔයා අපේ ගෙදර ආවාම ඒ තැඹිලි ගෙඩිය බොන්න දුන්නා .."
එතන ඉඳන් මට සේරෝම තේරුම් ගියා. මම මේ බඩේ අමාරුව හැදෙන්න කලියෙන් දවසේ මද්දහනක මයෙ කෙල්ලගේ ගෙදර ගියා . එදා මම හිතුවේ එයා මට බොහෝම ආදරෙන් තැඹ්ලිගෙඩියක් ගෙනල්ලා පිළිගැන්නුවේ අවුවේ කරවෙලා ආපු මගේ මහන්සිය දුරුකරන්න කියලයි . ඉතින් මහන්සියෙන් හිටි මම ඒ වෙලාවේ තැඹිලි ගෙඩිය එක හුස්මට බීලා දැම්මා ... ඒ විතරක් නම් මදෑ . හිස් තැඹිලි කෝම්ඹේ කෙල්ලගේ ගෙදර ඉස්සරහා පඩිපෙළේ ගහලා පලාපු මම ඒ තැඹිලි ගෙඩියේ ලොඳත් කෑවා .. ඔවු ඊට පස්සේ තමයි මට මේ දරුණු බඩ එළිය යාම පටන්ගත්තේ ..

"මොකද්දෑ උඹ මේ කෙරුවේ ... ? .."

මම එහෙම ඇහැවුවේ තරහින් නම් නෙවෙයි .. මම මයෙ කෙල්ලට උඹ කියන්නේ ආදරේ මිසක් තරහකට නොවෙන විත්තිය මේ වැවුගම්පත්තුවම දන්නවා .. දුකෙන් වගේ මං දිහා බලාපු මයෙ කෙල්ල ආයේ කතාව පටන්ගත්තා .

"රණ වීරයියා කීවා . ඒ බේතෙන් පොඩ්ඩක් බඩ එළිය යනවා කියලා එතකොට ඔයාගේ ඇඟ ඇතුළේ එකතු වෙලා තියන අරක්කු වල විෂ අයින් වෙනවා කියලත් කීවා .."

"වෙන මොනාද ඌ කීවේ ... ? "

"ඔයාට හොඳටම අමාරුයි නවතින්නැතිව බඩයනවා කියලා මම එයාට ඊයේ ගිහින් කීවා . ඊට පස්සේ එයත් ගොඩක් බය වුණා . එයත් කීවා ඔයාව හොස්පිඩ්ල් ගෙනියන්ඩ කියලා .."

මට යකා නැග්ගේ කෙල්ලත් එක්ක නෙවෙයි රණවීර කියන බූතයා එක්ක ..

"යකෝ ඒක මාර කතාවක්නේ බේත දීපු එකා දන්නැද්ද ඒක බීවාම වෙනදේ .. ?"

"මම අද උදෙන්ම මල්ලිත් එක්ක රණවීරයියා හම්බුවෙන්න ගියා එයා දේවාලේ වහලා ගෙදරත් වහලා කොහේ ගිහින්ද දන්නෑ .. ඔන්න ඕකයි වුණේ .."

"දැං ඉතින් මොනා කරන්නද ඔය රණවීර කියන හොර දෙටුවා සල්ලි එහෙම ගත්තද ?"

"ඔවු 3500ක් ගත්තා .. ඉතිරිය බීම නැවැත්තුවාට පස්සේ...."

"යකෝ ඌ බේත දීල තියෙන්නේ මාව මැරෙන්න මං මැරුණාට පස්සේ බීම කොහොමත් නවතිනවනේ .." (මම කෙල්ලට යකෝ කියන්නෙත් ආදරේට)

මම තරහෙන් එහෙම කියලා අහක බලාගත්තා .. හිතේ උපන්න තරහට මගේ බඩේ අමාරුව මොහොතකට යටපත් වුණා . මගෙන් නාහ නන්නාදුනන ගුරෙක් ගාවට ගිහින් මගේ කෙල්ල කෙරුවේ ලොකු වරදක් .. "මේකිට දඬුවමක් දෙන්නම ඔනෑ" .. බඩට වඩා රිදෙන මගේ හිත මට එහෙම කිවුවා ..

"අංකල් වීල් එක කොලොන් බෝක්කුව ගාව පොඩ්ඩකට නතරන්න .."

මෙතෙක් වෙලා කටකොනකින් හිනාවෙන ගමන් ත්‍රීවීලර් එක පදවන වයසක අංකල්ට මම එහෙම කීවා ..

කොලෙන් බෝක්කුව ගාව තමයි වැවුගම්පත්තුවේ ජනප්‍රියම තැබෑරුම පිහිටලා තිබුණේ ..හොඳම සංස්ථා ගල් අරක්කු විකුණන්න තිබුණෙත් කොලොන් බෝක්කුව ගාව තැබෑරුමේ විතරමයි. අනෙක් සේරෝම තැබෑරුම් වල තිබුණේ හිඟුරාණ දහජරාව විතරයි..!

"ඇයි පුතා .. මොනාද වෙන්ඩෝනෙ ."

"අංකල් මෙන්න මේ සල්ලි අරං ගිහින් මට අරක්කු කාලක් ගෙනද්දෙන්න තරා නැතුං .."

"මොකටද පුතා තරා වෙන්නේ ..මං සුටුස් ගාලා ගෙන්නං .."

මොහොතකින් යකඩ හිනාවක් දාගෙන ආපු වීල් අංකල් ගල් අරක්කු භාගගෙ බෝතලයක්ම මගෙ අතේ තිවුවා ..

"ඇතිතරමක් බොන්ඩ පුතා . කාලෙ එවුවා හොඳ නෑ ඉතින් මං බාගයක්ම ගත්තා බඩ පිපුමට බඩේ ගායට ගල් අරක්කු තරම් හොඳ බේතක් කොයින්ද තවත්" . .. අංකල් රටක් වටින කියමනක් කියන ගමන් ත්‍රීවීලර් එක පණගැන්නුවා .. ඒ කියාපු කියමනට අංකල්ගේ කටේ ගල් අරක්කු බෝතලයක්ම හලන්න වටිනවා .

"අංකල් ආයේ හොස්පිඩ්ල් යන්ඩ ඕන්නෑ අපි මෙයාව ගෙදර ගිහින් දාමු .. "

ගල් අරක්කු බාගෙත් තුරුල් කරගෙන ත්‍රීවීලර් එකේ පැත්තක ඇලවෙලා උන්නු මම කෙල්ලත් එක්ක වචනයක් කතා කළේ එයා බහින්න ලැහැත්ති වුණාට පස්සෙයි ..

"ඔයා මාත් එක්ක තරහට නේද ඔය බොන්නේ සඳරු .. ? කඳුළු පුරෝගත්ත කෙල්ල එහෙම අහද්දි මගෙ කේන්තිය අඩු වෙලාම ගියා ."

"ඔයා දැන් මගේ බීම නවත්තන්න කියලා කොරාපු විගඩම නිසා තව ඩිංගෙන් මං මැරෙන්නත් තිබුණා . අද මම ගෙදර ගිහින් මේ ගල් බාගේ බීලා නිදියනවා. බලන්න මේ අරක්කු වල බලෙන් මට හෙට හොඳ වෙන්නැද්ද කියලා . අරක්කු ඔය හැම බඩේ අමාරුවකටම හොඳයි.."

මම මවාගත්ත කේන්තියකින් එහෙම කියද්දි කෙල්ල අඬන්න පටන්ගත්තා .කෙල්ලොන්ගේ හැටි ඔහොමයි . ඔක්කෝම ලෝකෝත්තර වැඩ කරලා කෙල්ලෝ අඬද්දී එයාලව සනසන්න කොල්ලෝ ළඟ ඉන්න ඕනෙ .හැබැයි දුකකදී නැඟෙන කඳුළු හංඟාගෙන හිතෙන් සියක් වාරයක් අඬන කොල්ලෙක්ව සනසන්න බල්ලෙක්වත් ළඟ නෑ..ඒ වෙලාවට කොල්ලෙකුගේ පිහිටට ඉන්නේ අරක්කු විතරයි.

අරක්ක්කු බීලා නිදියනවා කියලා මගේ කෙල්ලට බොරු කීවට ..මම එහෙම කරන්න ගියේ නෑ . මම ඒ ත්‍රීවීලර් එකෙන්ම ගිහින් අම්පුරේ පෞද්ගලික රෝහලකින් හොඳ දොස්තර මහත්මයෙක් චැනල් කරල සම්පූර්ණ කතාවම එයාට කියලා බේත් ගත්තා . බේත් වේල් දෙකක් බොන තැන මගෙ බඩේ අමාරුව හොඳටම හොඳ වුණා . ඒත් මම බේත් ගත්තු වගක් මගේ කෙල්ලට යාන්තමටවත් කීවෙ නෑ .

එදා ඉඳන් අද වෙනතුරු මගේ කෙල්ල හිතාගෙන ඉන්නේ අරක්කු කියන්නේ බඩේ ගායට බොහෝම හොඳ බේතක් කියලයි . ඒ නිසාම එදා ඉඳන් මම කොයිතරම් බීවත් මගේ කෙල්ල නෙවෙයි මට කටක් ඇරලා බැන්නේ . මම හිතන්නේ දැන් එයාගේ යාළුවන් ඉදිරියේ පවා දැන් එයාට බය නැතිව කියන්න පුළුවන් මගේ කොල්ලා බොන්නේ රසින් ගුණෙන් සපිරි වස විෂ නැති ගල් අරක්කුය කියල. ..



:ලි Aruna de Silva කියන මගේ හොඳ මිත්‍රයා තමයි මට මේ කතාව මතක් කරගන්න උපකාරී වුණේ උගේ ජීවිතෙත් මේ වගේම තමයි අරක්කුයි ආදරෙයි අතරේ තවමත් දෝලනය වෙනවා . මම ප්‍රාර්ථනා කරනවා ඌටත් මට වගේ බොන්න ලැයිෂන් ලැබෙන්ඩ කියලා ලැබුනේ නැතත් ඌ බලෙන් හරි ඒ ලැයිෂන් එක ගන්න විත්තියත් මම දන්නවා .

ලියාපිය ලියාපිය කියලා මාව හැමදාමත් දිරිමත් කරන දිනේෂ් උඹ නිසයි මේ බ්ලොග් එක ආයේ ලියැවෙන්නේ ..

13.8.13

රණවිරුවෙකුගේ වම් කකුල .





මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට මාස තුනක් විතර ඇති . සිද්ධියක් වෙච්ච ගමන්ම ඒක ලියන එක මට කොහෙත්ම කරන්න බෑ ඒ සිද්ධිය මාස ගකීපයක් හිතේ තැම්බිලා ගානට පදම් වුණාට පස්සේ තමයි මට ඒ සිදුවීම අකුරු කරන්න හිතෙන්නේ .

මම හිතන්නේ ඒ මම හිතන්නේ ඒ මැයි මාසේ . අවුරුදු කාලා අතේ සතේ නැති මැයි මාසේ කියන්නේ මට වගේම කාට කාටත් අතේ පිච්චිය හිඟ වෙන කාලේ . රස්සාව නැති වුණ මුල් කාලේ නිසාම ඔය වෙනකොට මගෙ අතෙත් සතේ බෝම හිඟයි . ඒ නිසාම මම තීරණට කෙරුවා පුංචි පහේ රස්සාවක් කරන්න .

මම මගේ දන්න කියන යාළු මිත්‍රයෝ මාර්ගයෙන් රස්සා කීපයක්ම හොයලා බැලුවා . සමහර එවුවා නමට රස්සා තවත් එවුවා කරන්න මට සුදුසුකම් මදි . තව සමහරක් රස්සාවලට ගිහිං බැලිං නං එවුවට ගන්නේ කාන්තා පාර්සවේ විතරයි . ඉතින් ඔයි ජාතියේ රස්සා කීපයක්ම හොයලා බලලා අන්තිමේදී පෙම්වතුන්ගේ දෙයියා වෙච්ච හුච් දුරකථන සමාගමේ රස්සාවක් මට සෙට් වුණා . මට ඒ රස්සාව පංගරත්තු කළේ මගෙ ළඟම නෑයෙක් වෙච්ච හෙට්ටි අයියා .

හෙට්ටි අයියා කාලයක් හමුදාවේ සේවය කළා. හමුදා කඳවුරේ ඉන්න අතරේ අවේලාවේ අනව්‍ය ගමනක් ගිහින් ජොනී බට්ටෙක්ද මොකෙද්ද පෑගිලා හෙට්ටි අයියගෙ වම් කකුල සුණේ සුන් වෙලා තිබුණ හන්දා හෙට්ටි අයියා ප්ලාස්ටික් බොරු කකුලක් පැළඳගෙන හිටියා . දවසක් හැන්දෑ වරුවේ මාව හොයාගෙන ගෙදර ආව හෙට්ටි අයියා මට රස්සාවක් හොයාගත්ත සුබ ආරංචිය කියද්දී උන්දැගෙ මූණ හිනාවෙන් බැබලුණා .

"මයෙ මලයට මං අහවල් ෆෝන් කොම්පැනියේ රස්සාවක් පංගරාත්තු කළා . මලයට තියෙන්නේ ඒ මහත්තුරු දෙන බයික්කෙන් ගිහින් . සිග්නල් කුලුනු වල අඩුපාඩු බලලා හදන්න . ලස්ස ගාණක් පඩි දෙයියම්පා .. හෙටම මහ ටවුමෙ ඔෆීසියට ගිහින් විස්තර කතා කරගන්ඩකෝ ."

"ඉතින් හෙට්ටි අයියා ඒතරං ලොකු තනතුරක් මට දෙයිද ? "

"මං නියමෙට ඇනේ ගහලා තියෙන්නේ මල්ලියා. මං ඔයි කොම්පැනියම අල්ලං ඉන්නේ උන්දැල මයෙ වචනෙට පිටින් යන්නේ නෑ මයෙ මලයා .."

හෙට්ටි අයියගේ තියුණු කතාව අහලා ඇතෙක් බරට සන්තෝසේ මයෙ හිතේ පිරුණා. ඒ නිසාම ගොඩක් බලාපොරොත්තු තියාගෙන මම පහුවදා උදෙන්ම ගිහින් මල් කොම්පැනියේ අදාළ මහත්මයෙක්ව මූණටම මුණ ගැහුණා .

"ඔයාට අපි බයික් එකක් නම් දෙන්නේ නෑ ඔයා බයික් එකක් හොයාගන්න ."

මල් කොම්පැනියේ මහත්තයා මට දමා ගහපු පළවෙනි තිත්ත ඇත්තෙන්ම හෙට්ටි අයියා මගේ හිතේ හදාපු අහස් මාළිගා දෙදරලා ගියා .

"ඒතකොට සර් කොයි කොයි පැතිවල ටවර්ද මට චෙක් කරන්න තියෙන්නේ ..?"

"ටවර් චෙක් කරන්නඩ කීවා. මල්ලී ඔයාගේ ඔළුව හොඳ නැද්ද ?. ඔයාට තියෙන්නේ කඩවල් වලට , කොමියුනිකේෂන් සෙන්ටර් වලට කාඩ් , රීලෝඩ් බෙදන්න . පුළුවන්නං කරන්න නැත්තං යන්ඩ ."

"නෑ නෑ සර් මං කරන්නං .."

කරන්නම දෙයක් නැති තැන මම රස්සාව බාරගත්තා ..හෙට්ටි අයියා කියන්නේ බොරුව කියන විෂබීජේ මේ අපි වසන වැවුගම්පත්තුවට ගෙනා මිනිහා වන වග මම හොඳින්ම දැනගෙන හිටියා ඒ වුණත් මම මොහොතකට හෙට්ටි අයියගේ ලොකු කතා වලට අහු වුණා .

අද කාලේ එකෙක් ඉහළට යනකොට අහවල් එකෙන් ඇදලා ඌව බිමට දාන්න බලාන ඉන්න එවුන් වැහි වැහලා . එහෙවු එකේ හෙට්ටි අයියා ඌට හැකි විදියට හරි මට රස්සාවක් හොයා දුන්නානේ . එහෙම හිතවුව මම හෙට්ටි අයියට මෛත්‍රී කෙරුවා . ඉතින් ඔන්න ඔයි විදිහට මම මල් කොම්පැනියේ අතකොලුවක් බවට පත් වුණා .

මයෙ අලුත් රසාව ගැන කීවොත් මට පැවරිලා තිබුණේ උතුරු වැවුගම්පත්තුව අවට ගම්මාන කීපයකම තිබුණ කඩ කෑලි වලට සිම් සහ ෆෝන් කාඩ් බෙදා දෙන්න . මඩ කැන්ද, බයි කෝමාරිය, ජඩයංතලාව , සහ මජිත්පුර කියන හද්ද පිටිසර ගම්මාන ටික මට බාර දීලා අත පිහගත්ත මල් කොම්පැනියේ අමණයෝ ඒ මදිවට මහා අමුතු ටාගට් එකකුත් මට පැටෙවුවේ කිසිම හිරිකිතයකින් තොරවයි .

"ඔයා දවසකට දහදාහක් ටාගට් කවර් කෙරුවොත් ඔයාට අපි හෙලිකොප්ටර් සවාරියක් දෙනවා ."

"සර් දහදාහක් තියා දාහක් වත් ටාගට් ගහන්ඩ බෑ අනික ඒ පළාත් වලට මල් සිග්නල් නෑ නේ ?" මං ගොං කතාවක් කීවා

"පිස්සුද හලෝ අපි ලංකාවටම තීජී හිටං දුන්නා අනික් එකෙක්ටවත් බැරි වුණා ඒම කරන්ඩ ."

"ඒකත් ඒමද. ඒක සර් නෙමේ මම ටාගට් ගැහැවුවොත් මට ලැබෙන හෙළි කොප්පර ගමන නොගිහිං මට අතට සල්ලි ගන්ඩ බැරිද ?" මං ආයෙ ගොං ප්‍රශ්නයක් ඇහැවුවා

"පිස්සුද ? එහෙම්බෑ . ගොං කතා කියන්න එපා" .

සුසුමක් හෙළාපු මම හද්ද පිටිසර ගම්මාන වල මල් ෆෝන් කාඩ් විකුණන්න පටන්ගතේ ඕං ඔය විදිහට .

මම ගිය ඒ දුප්පත් ගම්මාන වලට කිසිම දුරකථන සිග්නල් එකක් හරියාකාරව නැති බව මට හොඳටම තේරුණා. ඒ ගම්මාන වල අසරණ මිනිස්සුන්ට , කොල්ලන්ට, කෙල්ලන්ට ෆෝන් කනේ ගහගෙන මල් කඩනවාට වඩා කරන්න වැඩ එමට තිබුණා . ඉතින් සමහර දාට කාඩ් කීපයක් මගේම මුදලින් ගන්න මම දවසේ ටාගට් එක මගේ අතින්ම දාලා කවර් කරලා දැම්මේ කරන්න දෙයක් නැති කම නිසාමයි .

ඔය විදිහට මගේ අතින් කයිට් ජොබ් එකේ හිර වෙලා හිටි මම එක දවසක හවස් වරුවේ සියලුම වැඩ ඉවර කරලා මුදල් බාරදෙන්න මහ ටවුමේ මල් ඔෆිස් එක වෙත බයිසිකයල පදවමින් උන්නා . ඔය අතරේ තමා මම දැක්කේ මට මේ රස්සාව ලබා දෙන්න දාඩිය මුගුරු , ලේ, කඳුළු වගුරුවාපු අපේ හෙට්ටි අයියා හුරි මාර ගහක් යට ඉඳගෙන බුලත් හපමින් බස් එකක් එනකම් මග බලන හැටි.

"ආ හෙට්ටි අයියා . බෑරක් යන්ඩ ?"

"ඕ මලයා . කෝමද ජොබ් එක මොකෝ මේ මූණ එල්ලං ?"

"ටවර් බලාගන්ඩ කියලා උඹ මාව යවුවට උන් මට දුන්නේ කාඩ් බෙදන්න බං . ඒකත් අර හද්ද ඩොටේ සයිඩ් එකට බං සෙහ් .."

"අනේ මලයා මොකක් නමුත් වැරදීමක් වෙන්ඩැති . මං ආයේ කතා කරලා බලන්නම් මං ඔය කොම්පැනියේ ලොක්කෝ සොක්කෝ සේරමලා අල්ලං ඉන්නේ උඹ බය වෙන්ඩෙපා මයෙ මලයා."

"හරි හෙට්ටි අයියා උඹ දැන් කොහේ යන්ඩ මේ ඉන්නේ ?"

මම එහෙම ඇහැවුවේ මොනා වුණත් කකුලක් නැති රණවිරුවා වෙච්ච වෙච්චි හෙට්ටි අයියා ගැන හිතේ උපන්න කැක්කුම නිසයි .

"මං ටවුමට යන්ඩ මලයා"

"ආ නැගහන් අයියේ මමත් මේ මල් කොම්පැණියට සල්ලි ටික දෙන්න යන ගමන් ."

අඳුනන ගෙදරකින් හෙල්මට් කෑල්ලකුත් ඉල්ලගත්ත මම හෙට්ටි අයියාවත් බයික් එකේ නංඟා ගත්තේ අවලං ගමනක් ගිහිං කකුල කඩා ගත්තා වුණත් රට ජාතිය ගැන හිතලා නිකමට හරි හෙට්ටි අයියා හමුදාවට බැඳුණ අපේ එකෙක් නිසයි .

"අපි වෙනුවෙන් අපි හෙට්ටි අයියා .. උඹ හයියෙන් අල්ලං නේද ඉන්නේ ?" බයික් එක පදවන්න කලින් මම හෙට්ටි අයියා ගැන හොයා බැලුවා .

"අපි වෙනුවෙන් අපි මලයා . මං ලෙසටම අල්ලං ඉන්නේ පිඹලා යමං වැස්සක් එනවා ."

අපි මහ ටවුමට ළඟා වෙනකොට වෙලාව හවස පහකුත් ගාණක් . ගෙවල් බලා යන අක්කලා නංඟිලාගෙන් මුලු මහ ටවුමම පිරිලා . පාර දෙපැත්තෙම හුරුබූහුටි කෙල්ලෝ වැහි වැහැලා . මල් සමාගමෙන් දුන්නු ටීෂර්ට් එක ඇඟලාගෙන බයික් එක පදින මං දිහාත් කෙල්ලො කීප දෙනෙක්ම බැලුවා . මගෙත් හිතේ, ගතේ, වතේ, අතේ, හැමතැනම මල් පිපිලා ..

"දඩිං බිඩිං ඩෝ ....!!"

එකපාරටම බයික් එකට පිටුපසින් ඇහුණු සද්දයක් නිසා මම කලබල වෙලා පිටුපස බැලුවා . හත් දෙයියනේ !! . හෙට්ටි අයියා බයික් එකෙන් බිමට වැටිලා . හෙට්ටි අයියා වැටිච්ච පාරේ සැරට උන්දැගෙ බොරු කකුල ගැලවිලා පාර දිගේ තවමත් රෝල් වෙනවා . අන්දුන් කුන්ඳුන් වෙච්ච මම බයික් එක මහපාර මැද්දෑවෙම නතර කෙරුවේ මේන් ස්ටෑන්ඩ් එක අටවලයි .

මම බයික් එකෙන් බැහැලා හෙට්ටි අයියා දිහා බලනකොට ඌ තමන්ගේ බොරු කකුල ගාවට බඩගාගෙන යන්න ලොකු උත්සාහයක යෙදෙනවා . පාර දෙපැත්තේ ඉන්න උදවියට මැජික් වගේ.

"බුදු අම්මේ මෙන්න මිනිහෙකුගේ කකුල ගැලවිලා වීසික්කා වෙලෝ...!"

කවුද එකෙක් කෑදුන්නු ඒ සද්දේට ටවුන් එකම හෙල්ලුණා . මම හනිකට හෙට්ටි අයියා ගාව දිවුවා . පාර දෙපැත්තේ උන්නු ගෑනු මිනිස්සු ලතෝනි දෙන හඬ අතරින් මම හෙට්ටි අයියට කතා කළා .

"හෙට්ටි අයියා උඹට අමාරුද . ?"

"අම්මා .. මයෙ අත තුවාල වුණා මලයා ඉන්ඩ බෑ කැක්කුම.."

"ඔහොම ඉඳින් .."

මම පුළුවන් හයිය දාලා හෙට්ටි අයියව අත් දෙකෙන්ම උස්සලා වඩා ගත්තා . සිමෙන්ති කොට්ට, යට ලී, බාල්ක.. වගේ බර දේවල් කාලයක් කරගහලම මට බර ඉසිලීමේ හොඳ හැකියාවක් තිබුණා . ඒ පිහිටෙන් මම හෙට්ටි අයියාව උස්සාගෙන ගිහින් බයික් එක උඩ ඉන්ඳෙවුවා .

"මල්ලියා මයෙ කකුල ..."

"ඉඳින් අයියා මං ගෙන්නං .."

මම හනිකට හෙට්ටි අයියාගේ බොරු කකුල ගාවට දිවුවා . ඔන්න එතකොටයි මට වටේ පිටේ පිරිලා උන්නු අයගේ බයෙන් මිරිකුණු මූණු හරියට පෙනුණේ . මම හෙට්ටි අයියාගේ බොරු කකුල අතට ගත්තා..

"අනේ බුදු මල්ලියේ ඔය කකුල අයිස් කැට දමාපු මල්ලක දමාපං මයෙ මල්ලියේ. . . ඔහොම ගන්න හොඳනෑ මල්ලියේ . මම හොස්පිරිතාලේ නර්ස් කෙනෙක් මල්ලියේ .."

තරබාරු නර්ස් අක්කා කෙනෙක් දුවගෙන ඇවිත් මගෙ කරේ එල්ලුණා .

ඒ මොහොතේ මම බොහොම කලබල වෙච්ච නිසා මගෙ අතින් හෙට්ටි අයියාගේ බොරු කකුල බිම අතෑරුනා. ඒක දැකපු නංඟිලා දෙන්නෙක් දඩි බිඩි ගාලා කලන්තේ දාලා ලස්සන ඈන්ගල් එකට බිම ඇදං වැටුණා . පාර දෙපැත්තේ බලං හිටි හැඩි දැඩි ජෙනුයින් අයියලා, මල්ලිලා බොහොමයක් දෙනා අත් වලින් මූණ වහගත්තා ..

"මේක ඇත්ත කකුලක් නෙවි බොරු කකුලක් ... දෙයියනේ ..!!"

එදා මම හෙට්ටි අයියගේ කකුල අතට අරගෙන කාටත් පේන්න ඉහළ ඔසවාගෙන මහ හයියෙන් ටවුන් එක මැද ඉඳන් කෑ ගැහුවා . ..

"එහෙනං ඔය ලේ එන්නේ කොයින්ද ? ඔහේ අර අහිංසකයා හප්පලා බොරු කියලා පැනලා යන්නද හදන්නේ ?"

කවුද මන්දා බුද්ධිමතෙක් මාව නිරීක්‍ෂණය කරලා නිගමනයකට ඇවිල්ලා . මට අසූ හාරදාහට මල.

"ලේ එන්නේ නේද ? ලේ එන්නේ ඔහෙගෙ ගෑ @#$!#$!* න්"

මම හිතේ උපන්න තරහට එහෙම කෑ ගහලා . හෙට්ටි අයියා ගාවට ගිහින් බොරු කකුල ආයෙත් ඌට හයි කළා . ඔන්න ඊට පස්සේ වැවුගම්පත්තුව ටවුමේ කුලප්පු කාරයෝ ටිකත් සන්සුන් වුණා ..

මම හෙට්ටි අයියව ප්‍රයිවට් දොස්තර කෙනෙක් ගාවට එක්ක ගිහින් ඌගේ තුවාල වලට බෙහෙත් දම්ම ගත්තා ..

"ගාන 350යි"

දොස්තර මහත්තයාගේ සහයක තුමා පැන්න ගමන් එහෙම කියද්දී මට හෙට්ටි අයියව එතන දාල දුවන්න හිතුණා බැලුණා. හෙට්ටි අයියා බිම බලාගෙන මගෙන් මෙහෙම ඇහැවුවා ..

"මල්ලි උඹ ගාව සල්ලි කීයක්වත් නෑ ?"

"ඉඳින් හෙට්ටි අයියේ මං දෙන්නං .."

උදේ ඉඳන් කාඩ් විකුණාපු සල්ලි වලින් රුපියල් තුන්සිය පනහක් පට් පට් ගාලා ඇදලා අරගෙන දොස්තර ගාස්තුව ගෙවලා හෙට්ටි අයියත් එක්ක මම එළියට බැස්සා .

"අනේ මලේ මට දැන් ගෙදර යන්න ඕනැ මාව ගෙදර ගිහින් දාපං මට මාර අමාරුයි කැක්කුමයි ." හෙට්ටි අයියා අමාරුවෙන් කෙඳිරි ගෑවා .

"අපි මේ සල්ලි ටිකයි ඉතිරි කාඩ් ටිකයි ෆෝන් කොම්පැණියට දීගෙන අත්සන් කරලා ගෙදර යමු අයියේ .. මම එහෙම කියලා බයිසිකලේ හෙමිහිට පදවාගෙන මල් කොම්පැණියට ගියා ."

හෙට්ටි අයියව එළියෙන් ඉන්ඳවලා මම ලේ තැවරුණු ඇඳුම් පිටින් ඇතුළට ගියා . මට වැඩ භාර දෙන බොසා තව කීප දෙනෙක් එක්ක ඔෆිස් එක ඇතුළේ ඉඳන් මැච් එකක් බලනවා ..

"සෑර් මේ"

"ආ මම තමුන් එනකං තමා උන්නේ .මොකද්ද අර පාරේ පික්ෂුවක් නටලා තියෙන්නේ . තමුන් මොන පික්ෂුව නැටුවත් මට කමන්නෑ ඒත් අපේ කම්පැනි ටීෂර්ට් ඇඳන් එහෙම කරන්ඩ බෑ . තමුන් මේ කම්පැනියට අවනම්බු කෙරුවා .."

ලොක්කා කීව දෙයින් මට ආයෙත් කේන්ති ගියා ..

"සර් ඔයා එහෙම කියඩෙපා . මම අපේ හෙට්ටි අයියට උදවු කළේ . ඔයාලගෙත් හොඳ යාළුවෙක් නේද හෙට්ටි අයියා .."

"අනෙ මම අඳුනන හෙට්ටියෙක් නෑ අයිසේ . තමුන් අපෙ නම කෑවා කෑව කෑවා වා වාවා"

ලොක්කා පිස්සෙක් වගේ කෑගහනවා .

"අනේ මේ සර් ඔහේලෑ නල්ල මලේ කොම්පැනිය දුවන්නේ අර මාසෙට දෙසීයක් දාලා මල් කඩන පොඩි කෙල්ලෝ කොල්ලෝ නිසා . එහෙ නැතුං ඔහේලෑ මොන නම්බුවක්ද ? .. මං ආයේ එන්නේ නෑ වැඩට වෙන කෙනෙක් හොයාගෙන අර ඩොටේ ගම්මාන වල චාටර් කන්ඩ යවන්ඩ.."

"මොකක් කීවේ තමුසේ ?"

"ආ මෙන්න සල්ලි .. මෙන්න කාඩ් . ඔතන තුන්සිය පනහක් අඩුයි . එවුවා පස්සෙ දෙන්න . මං යනවා යන්ඩ.."

මම වීරයෙක් වගේ එළියට බහින්න සූදානම් වුණත් කොම්පැනියේ බොසා මට නිකම්ම යන්න ඇරියේ නෑ .

"මේ අයිසේ ඔය ටීෂර්ට් එක දීලා යනවා .. ඕකෙ කම්පැනි නම තියනවා තමුසෙ අපෙ නම කනවා ඔක ඇඳන් .."

"ආ ගන්න සෑර් අරං ඇඳගන්න ."

මම මල් සමාගමේ ටීෂර්ට් එකත් ගලෝලා දාලා තරහෙන් ගැහි ගැහී එළියට බැස්සා . මාව දැකපු හෙට්ටි අයියගේ මූණ දෙක වෙලා ..

"මොකෝ මලේ මේ කෝ ටීෂර්ට් එක ?. වැඩ ඇරිලා ගෙදර යනකොට ඒකත් ගලෝලා තියන්න ඔනෑද ?"

"ටීෂර්ට් එකත් නෑ රස්සාවත් ඕන්නෑ මම ඒ දෙකම දමලා ගහලා ආවේ බං යමං .."

"අනේ මලේ කලබල වෙන්න එපා මං පොඩ්ඩක් කතා කරන්නං ඒ මහත්තුරුත් එක්ක . ඔය සේරෝමලා මං අල්ලං ඉන්නේ . මං කීවොත් .."

හෙට්ටි අයියා මගේ හිත හදන්න උත්සාහ කළා වුණත් මගේ හිත හැදුණේ නෑ. මගේ හිත තව තවත් තරහෙන් පිරුණා .

"මේ යකෝ දැං උඹ බයික්කෙට නැග්ග වෙලෙත් කීවේ අල්ලං ඉන්නවා කියලා නේද ?. කොයි වෙලේ බැලුවත් අල්ලං ඉන්නේ අල්ලං ඉන්නේ .. මොකක්ද බොල තෝ අල්ලං ඉන්නේ ? iයද ? . අනේ තොගේ කට විතරයි කට වහගෙන යමං ."

හෙට්ටි අයියා ආයේ මගෙත් එක්ක කතා කෙරුවේ නෑ . එදා ඉඳන් දවස් ගාණක් යනකල්ම මමත් හෙට්ටි අයියාව මුණ ගැහෙන්නේ නැතුව මග ඇරියා . මගේම ලොකු අයියාට වගේ මම හෙට්ටි අයියාට ගරු කළේ ඉතින් හෙට්ටි අයියාට කැත වචනයන් බැන්න එකට මගේ හිත මටම දොස් කීවා .. එදා ඉඳන් අද වෙනකම් හෙට්ටි අයියා මට කතා කෙරුවේ නෑ . අඩුම තරමේ උදේට ගුඩ්මෝනිං කියලා සුබ පැතුවේවත් නෑ . හෙට්ටි අයියා මා එක්ක හැබෑවටම අමනාප වෙලා ..

ඔයිකෙන් මේකෙන් වුණේ මට රස්සා එපා වෙච්ච එක .. ඒත් කාලකණ්ණි මං ගැන විශ්වාසය තියලා මට රස්සාවක් දෙන්න බ්ලොග් ලියන්නෙක් ඉදිරිපත් වුණා ...ඊට පස්සේ වෙච්ච ජරමර සහ වැඩි විස්තර ඊගාව ලිපි වලින් කියන්ඩ බැරියෑ ..