17.9.13

රාළහාමි

ටවුමට යන අතර මහදී පාරෙ අයිනේ පුංචි ගෙදරක උන්නු මන්දමානසික කොල්ලෙක්ව මම නිතරම දැක්කා .ඌ මට වඩා වයසින් සෑහෙන්න වැඩිමල් වුණත් මනසින් යාන්තමටවත් මෝරලා නැති ඌ බොහොමයක් වෙලාවට පාර අයිනට වෙලා පාරේ යන වාහන දිහාවේ කට ඇරගෙන ඔහේ බලාන හිටියා.

ළඟකදී ඉඳන් මම බයික් එකකින් ටවුන් යන විටදී මම ඒ මන්ද මානසික කොල්ලා පාර අයිනේ ඔහේ බලාන ඉන්නවා දැක්කොත් මම ඌට හිනා වෙලා සැලියුට් එකක් දාන්න පටන්ගත්තා ..මුල් දවස්වල පුදුමයෙන් මං දිහා බලාන උන්නු ඒකා පස්සේ පස්සේ මූන පුරා හිනා වෙලා ඌටම ආවෙණික අමුතුම සැලියුට් එකකින් මටත් සංග්‍රහ කෙරුවා .. මාසයක් දෙකක් ගත වුණාම ඌ මගේ සැලියුට් ෆ්‍රෙඩා බවට පත් වුණා ..

එක දවසක බයික් කටුවෙන් අම්පාර ටවුමට යන අතරේදී මම මගේ ෆ්‍රෙඩාට සැලියුට් කරනවා දැකපු බයික්කේ පිටුපස අසුනේ හිටපු උපුලා මගෙන් මෙහෙම ඇහුවා ..

"මොකදෑ සඳරු උඹ ඔය ලෝකයා හිනස්සන වැඩ කරන්නේ ?"

"නෑ බං ඌ පාර දිහෑ බලාන ඉන්නේ කිසිම අරමුණක් නැතිව ඉතින් මං දැං ටික කාලෙක ඉඳන් ඌට හෝන් ගහලා සැලියුට් දානවා . ඉතින් ඌත් දැං පාර දිහා බලාන ඉන්නේ මං එනකම් ... උඹ දැක්කේ නෑද උපුලේ උගේ මූණේ තිබිච්ච සතුට..? යකෝ ඒ සතුට ඌට දුන්නේ මම නේ .."

බියර් එකකින් සප්පායම් වෙලා හිටි මම උපුලාට ඒ විදිහට ටෝක් කෙරුවා .

"ඌට සතුටු ඇයිද දන්නවාද බං ..?. ඌ වගේ තවත් එක මොංගලයෙක් හරි මේ වැවුගම්පත්තුවේ ඉන්න එකටයි ඌට සතුටු .. උඹටත් මොංගල් බව ඌ දැනගෙන ඌට තනියක් නැති නිසා තමයි ඌට හිනා යන්න ඇත්තේ .."

උපුලා එහෙම කියලා නක්කලේට හිනා වුණාම මගෙ මොංගල් හිත ටිකක් විතර රිදුනා ..

මන්ද මානසික එවුන් ඉදිරියේ මම කොහොමත් සංවේදියි.. මගේම සමහර යාළුවෝ උන්ව පිළිකුල් කරද්දී මම උන්ට මට හැකි විදිහට කරුණාවන්ත වුණා ..කාලෙකට කලියෙන් නොතිබුණු ඒ කරුණාවන්ත කම මගේ හිතට ආවේ මේ මෑතකදී. ඇත්තටම කීවොත් මගේ මොංගල් හිතට ඒ බෝධිසත්ත කරුණාව පහළ වුණේ රාළහාමි හන්දා ...

ජීවිතේ කියන්නේ බොහොම අසාධාරණ තරඟයක් විත්තිය කවදාකවත් දැනගෙන නොහිටි. ජීවිතේ ගැන වගේ වගක් නැතිව ජීවත් වෙච්ච රාළහාමි ගැන මේ විදිහට මට ලියන්න හිතාන හිටියේ දැන් කාලෙක ඉඳලයි....

රාළහාමි කීවේ මගේ ලොකු මාමාගේ -ලොකු දුවගේ -ලොකු පුතාට . අපි කවුරුත් මිනිහට හුරතලේට කීවේ රාළහාමි කියලා . මට නම් රාළහාමිගේ මුළු ජීවිතේම පෙනුණේ චිත්‍ර කතා පොතක් වගෙයි. ඕනෙ නම් කියවලා හිනා වෙන්නත් , අවසාන කොටසට එද්දී ඕනෙ නම් අඬන්නත් පුළුවන්. මම රාළහාමිව දන්නේ ඌ උපන් දා පටන්ම.ඒ හන්දා රාළහාමිගේ ජීවිත කතාව උගේ අම්ම අප්පටත් වඩා හොඳින් මං දන්නවා.

ගිය අවුරුද්දේ හත් වෙනි මාසේට රාළහාමිගේ වයස අවුරුදු 14ක් පිරුණා . වයසින් තරුණයෙක් වුණාට රාළහාමි හිතින් බොහොම පොඩි එකෙක් . කෙටියෙන්ම කීවොත් රාළහාමි මන්ද මානසිකයි. මනස අවුරුදු හයක හතක ළමයෙකුගේ තරමටවත් මෝරලා නෑ . මට තාම මතකයි රාළහාමිගේ දෙමවුපියෝ රාළහාමිව නිතර නිතර ඉස්පිරිතාල ගානෙ එක්ක ගිය හැටි . ඒත් වැඩක් වුණේ නෑ .

නෑදෑ කම හන්දා රාළහාමිට මම මාමා වුණා. ඒත් ඌ කවදාවත් මට මාමා කියලා නම් කතා කළේ නෑ . රාළහාමි කොයි වෙලේත් මට කතා කළේ සඳරු කියලා .

කාලයක් රාළහාමියි මමයි දෙන්නම එකම ඉස්කෝලේ ඉගෙන ගත්තා . මම සාමාන්‍ය විදිහට මගේ වයසේ ළමයි එක්ක ඉගෙන ගනිද්දී රාළහාමි ඉස්කෝලේ වත්තේ කෙළවරේ කැලෑ මායිමේ තිබුණ . මනසින් දුබල ළමයි ඉගෙන ගත්ත විශේෂ පන්ති කාමරයක ඉගෙන ගත්තා . ඒත් පුළුවන් වෙච්ච වෙලාවට හෙමීට පන්ති කාමරෙන් එළියට පැනගන්න රාළහාමි මාව හොයාගෙන ආවා .

"සඳරු සල්ලි එකක් දීයන්.."

මගේ පන්තියේ කොට බිත්තිය බදාගෙන රළහාමි මගෙන් ඒ ඉල්ලන්නේ රුපියල් දෙකක් .

"මොකටද බොල තොට සල්ලි . ?"

"කූල් පැකට් එකක් ගන්ට ."

කලාතුරකින් මට රාළහාමි ගැන දුක හිතුණා . ඒ වෙලාවට මම රාළහාමිව හෙමිහිට කැන්ටිමට එක්ක ගිහින් අයිස් පැකට් එකක් අරන් දීලා ආයෙමත් ඌව උගේ පන්තියට ගෙනිහින් ඇරළුවා . ඒත් සමහර දාට රාළහාමි මගෙන් සල්ලි ඉල්ලද්දී මට අසූහාරදාට කේන්ති ගියා . ගෙදර වැඩ මග ඇරලා හෝ ගණං වරද්දලා ගුරුවරුන්ගෙන් බැණුම් අහපු, ගුටිකාපු දාට මම ඒ තරහ පිරිමැහුවේ රාළහාමිගෙන් . හැබැයි කොච්චර මම කොයිතරම් ගැහුවත් බැන්නත් රාළහාමි ඒවා හිතේ තියාන උන්නේ නෑ . ඉස්කෝලෙ ඇරෙනකොට මාව හොයාගෙන ආවා .

රාළහාමිත් මමත් දෙන්නම එකම ඉස්කෝලේ ඉගන ගත්ත නිසා කවුරු කවුරුත් රාළහාමිගේ වගකීම මට පවරලා තිබුණා . ඒ බව ඉස්කෝලේ ගුරුවරු වඩා හොඳින්ම දැනගෙන හිටියා . රාළහාමි ඉස්කෝලෙ ඇඳුමේ රුන්නහාම රාළහාමිගේ ගුරුතුමා මට එන්න කියලා පණිවිඩ එවුවා . ඒත් මම රාළහාමිට උදවු වෙන්න ගියේ ජීවිතේටම වතාවයි නැත්තම් දෙකයි අනෙක් හැම වතාවෙම මොනවා හරි කියලා මම මග ඇරියා එක්කෝ හැංගිලා හිටියා .

රාළහාමි ඉස්කෝලේ ගියේ අවුරුදු දෙකහාමාරක් හෝ තුනක් විතරයි . දිගින් දිගටම අසනීප වෙන්න ගත්ත නිසාත් ඌව ඉස්කෝලේ එවීම කාටත් කරදරයක් වීම නිසාත් අන්තිමේදී රාළහාමිගේ ඉස්කෝලේ ගමන නැවතුණා .

ඇත්තටම කීවොත් රාළහාමිගේ ඉස්කෝලේ ගමන නැවතුන එක වඩා හොඳයි . මනසින් දුබල ළමයින්ගේ පන්තිය භාරව උන්නු ගුරුතුමා වුණත් තරමක් මොංගල් වැඩ කරමින් ඉස්කෝලෙ වත්ත වටේ ඇවිදිමින් ගුරුවරියන් එක්ක මුකුළු කරමින් උන්නු නිසාම අහිංසක ළමයින් ගැන හොයන්න බලන්න යන්තම්වත් වෙලාවක් ඒ ගුරුතුමාට තිබුණේ නෑ . අදටත් මම සතුටු වෙනවා රාළහාමි ඒ පන්ති කාමරයක හැඩ හුරුකම් ගත්ත වධකාගාරෙන් ඉක්මනට නිදහස් වෙච්ච එකට .

කාලේ ගත වුණේ හෙමින් නෙවෙයි . කාලේ ටික ටික හත වෙනකොට රාළහාමි තමන්ගේ වැඩ බොහොමයක් තනියම කරගන්න පටන්ගත්තා . අවුරුදු ගාණක් මිදුල මැදම මළපහ කරපු රාළහාමි අපි වගේම කක්කුස්සි යන්නත් ඉගෙන ගත්තා ඒ ගැන කවුරුත් සතුටු වුණා . ඒත් ඒ පිටිපස්සේ දුක හිතෙන කතාවකුත් තිබුණා .

රාළහාමිගේ මූණේ දැලි රැවුල් ආ කාලේ පවා ඌ මළපහ කළේ ගෙයි මිදුලේ . ඌට කවුරුත් මොකුත් කීවේ නෑ ඒත් දවසක් රාළහාමි මිදුල මැද මළපහ කරමින් ඉන්න අතරේ කවුදෝ අසමජ්ජාතියෙක් රාළහාමිගේ පස්ස පැත්තට මිරිස් කුඩු විසි කරලා තිබුණා . එදා රාළහාමි ලතෝනි දීලා ඇඬුව හැටි මට තාමත් ඇහෙනවා වගේ . රාළහාමිට මිරිකුඩු ගැහුවේ කවුද කියලා කාටවත් හොයාගන්න බැරි වුණා . ඒත් එදායින් පස්සේ රාළහාමි කක්කුස්සි යන්න පුරුදු වුණා . ඒක වටේ පිටේ කාටත් ලොකු සැනසීමක්ම වුණා .

රාළහාමි කොයි මොහොතේ වුණත් කන්න ආසා කළේ අල කිරි හොදියි පානුයි . තුන් වේලටම වුණත් පානුයි කිරිහොදියි තියනවා නම් රාළහාමිට වෙන මොකුත් ඕනෙ නෑ . සමහර දාට මට කෝල් කරන රාළහාමි

"සඳරු පාං ගෙනෙං ." කියලා කියනවා .

රාළහාමිට අංකයක් ඔබලා ෆෝන් කෝල් එකක් ගන්න බැරි විත්තිය නොදැන ඉන්න තරම් මම අඳබාලයෙක් නෙවෙයි . ඉතින් ඒ වෙලාවට මම තේරුම් ගන්නවා මගේ අක්කා හරි අයියා හරි මම ලවුවා පාං ගෙන්න ගන්න රාළහාමි ලවුවා ගොතවුව නූල් සූතරයක් කියලා . ඒ නිසාම රාළහාමි මට කෝල් කෙරුව ගමන්ම මම ඌට පාං භාගයක් අරන් ගියා .

රාළහාමිට මම පාං අරගෙන ගිය බොහෝ වෙලාවට ඌ පාං ගිලිනකම් මම ඒ ළඟට වෙලා ඉන්නත් ඕනෑ .හරියට හපන්නේ නැතිව පාං ගිලින රාළහාමි නිතරම පාං වාටි උගුරේ හිරකරගත්තා . ඒ වෙලාවට ඌට තරු විසික් වෙන්න ඇස් වලින් කඳුළු පයින්න තරම් සැරෙන් මම උගේ පිටට මිටි ගුලි පාරවල් හත අටක් දුන්නා .මගේ මිටි ගුලි පාරවල් නිසා උගුරේ හිර වුණ පාං කෑල්ල එළියට විහික් වුණාම රාළහාමි කඳුළු මැදින් හිනහා වෙනවා .

රාළහාමි නාහෙට නාහන එකෙක් . කොයිතරම් එපා කීවත් ඒ එපා කී දේම ආයේ ආයේ කරන එකෙක් . විටෙක ගෙදර කඩුල්ලෙන් පැනලා ඔළුව හැරුණු අතේ ඇවිදින රාළහාමි කොහේ හරි ගාලක අතරමං වෙලා ඌව එක්කරගෙන යන්න කවුරුන් හෝ එනකම් අඬ අඬා උන්නා . රාළහාමි කාටත් නොකියාම ඇවිදින්න යන නිසාම මමත් ලොකු අයියත් එක්කාසු වෙලා උගේ කාමරේ දොර ගාව කටු අතු ගෙනල්ලා දැම්මා . එදායින් පස්සේ රාළහාමි කාමරේටම හිර වුණා .

රාළහාමි කාමරේට වෙච්ච එකෙන් මට උගෙන් තිබුණු කරදර සෑහෙන්න අඩු වුණා .. පාං ගෙන්න කියලා ඌ මට හැමතිස්සේම කරදර කෙරුවේ නෑ . තියෙන සේරෝම වැඩ පැත්තක දාලා නෑදෑකම ආරස්සා කරගන්ඩ ඔනෑ නිසා රාළහාමිව හොයන්න ගමේ පදුරු අකුල් අස්සේ බඩගාන්න වුණෙත් නෑ රාළහාමි හිර කරලා මම මගේ නිදහස හිතේ හැටියට භුක්ති වින්දා .

වයසින් නොමේරූ රාළහාමිට උපකාර නොකර මම නිතරම මග ඇරියා වුණත් මගෙ හිත නිතරෝම කීවේ රාළහාමිගේ වගකීම් මම ගන්න ඔනෑ වග . ඒ නිසාම රාළහාමිට කවුරුත් කොලොප්පං කරනවාටවත් හිරිහැර කරනවාටවත් මම යන්තම්වත් කැමති වුණේ නෑ ..මගෙ හිත කීවෙම මම රාළහාමිගේ ආරක්‍ෂකයා කියලයි .

ජනවාරි පළමු වැනිදා දවසක වැඩ අල්ලන්න එක්කාසු වුණ මමත් මගේ හොඳම යාළුවන් දෙතුන් දෙනෙකුත් මගෙ ලොකු බාප්පත් බෝතල් තුනකට වගකියන්න ලැහැත්ති වුණා . අලුත් ඇඳුමක් ඇඳලා උන්නු රාළහාමිත් මගේ පස්සෙන් වැටිලා එතනට ඇවිත් ඔහේ බලාගත්තු අත බලගෙන විකාර කරමින් උන්නා .

බොතලයක් දෙකක් හිස් වෙන කාලය අතරතුරේදී රාළහාමි නැගිටලා මගේ අතින් අදිමින් කොණ්ඩෙන් අදිමින් මට නොයෙක් වද දෙන්න පටන් ගත්තා ...

"මෙන්න මෙහෙට්ට වෙලා ඉඳපිය පයිං එකක් දීලා එලවන්ඩ කලියෙන් .."

මම රාළහාමිට තර්ජනය කෙරුවාම ඌ මොහොතකට සන්සුන් වෙලා අයිනක් අල්ලාගෙන වාඩිගෙන හිටියා

"ආ මයෙ කොල්ලා කාපිය .."

ලොකු බාප්පා රාළහාමිව පැත්තකට අඬගහලා කන්න දුන්න දේ මොකක්ද කියලා මම දැක්කේ නෑ . ඒත් මගේ නාහෙට ලොකු බාප්පා රළහාමිට කවුවාපු දේ සුවඳ නම් හොර නැතිව දැනුණා .. ඒ මදන මෝදක. මගේ නාහෙට බොරු කරන්ඩ බෑ ...

"ලොකු බාප්පෙ උඹ මොනාද රාළහාමියට ගිල්ලවුවේ ? "

"මේ රාළහාමියට බයිට් කෑල්ලක් දුන්න කොල්ලා .."

"පල ලොකු බාප්පේ බොරු නොකියා .මේ පොඩි එකාට උඹ ගුලි කැවුවා නේද ..?"

"සඳරුවා මයෙ කොල්ලා අපි ඉතරක් ආතල් අරං හරියෑ . මූටත් පොඩ්ඩක් ආතල් දුන්නට මූණා වෙනවා ?.අනික උඹ දැනගනිං මූ මගෙ අයියගේ දරුවා ගේ දරුවා බොට වැඩි අයිතියක් මට තියනව මූ ගැන" ..

ඒ ජනවාරි පළමු වැනිදා රාළහාමි නිසා මමත් මගෙ බාප්පත් නොසෑහෙන්න ගුටි ගහගත්තා ..

"හ්ම් පවුලේ පවුලේ එවුන් කා කොටා ගත්තාට අපිට කමන්නෑ .."

වන් වන් නයින් ජීප් එකෙන් ආපු මහත්තුරු එහෙම කියලා ලොකු බාප්පවත් මාවත් සාමදාන කෙරෙවුවා . මදන මෝදකේ කාපු අසරණ රාළහාමි බකමූණු බිත්තර ගිල්ල එකෙක් වාගේ බලාගත්ත අත බලාගෙන නිච්චි ඔහේ නැතිව උන්නා

ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දවසකදී රාළහාමිට හොඳටෝම අසනීප වුණා . කාලයක් තිස්සේ සෙම් රෝගය නිසා දුක් වින්ද රාළහාමි එදා නම් උගුරේ සෙම හිරවෙලා හුස්ම ගන්ඩ බැරිව ඇඳේ දඟල්ලන්න ගත්තා . හනිකට වාහනයක් කතා කරගෙන අපි රාළහාමිව ඉස්පිරිතාලේ ගෙනිච්චා වුණත් රාළහාමිව ජීවත් කරවන්න කාටවත් බැරි වුණා . රෝහලට අරගෙන යන අතර මගදීයි රාළහාමි මියැදුණේ ..

අපේ පවුලම එක්කාසු වෙලා රාළහාමිගේ අවසන් කටයුතු අපිට හැකි තරම් ඉහළින් සංවිධානය කළා .රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටිය උස්සන්න මොහොතකට කලින් මම මල ගෙදර පැත්තක වෙලා බීඩියක් උරමින් උන්නා රාළහාමි මළා වුණාට මගෙ හිතේ දුකක් කියලා නාමයක්වත් තිබුණේ නෑ .. ඒත් හදිසියේම මා ළඟට ආපු රාළහාමිගේ අම්මා වෙච්ච මගෙ ලොකු මාමගේ දුව මගේ හිතත් දුකින් පිරිලා ඉතිරිලා යන ජාතියේ කතාවක් කීවා ..

"මල්ලී .. රාළහාමි නැති වෙනන්න කලියෙන් උඹ ගැන මතක් කෙරුවා .."

රාළහාමිව රෝහලට ගෙනගිය වාහනය පිටුපස්සේ තරමක් පමා වෙමින් බයික් එකෙන් ගිය නිසාම රාළහාමි මල බව පවා මම දැනගත්තේ පහු වෙලා

"මොනාද අක්කේ රාළහාමි කීවේ ?"

"රාළහාමි උගුරේ සෙම හිරවෙලා දඟලද්දී අපි සෙම පිටට එන්න කියලා එයාගේ පිටට ගැහුවා .. උඹලා ගහලා බෑ .. සඳරු වරෙන් මගේ පිටට ගහපන් කියලා රාළහාමි අමාරුවෙන් කීවා මල්ලී ..ඒ ටික කියලා රාළහාමිට ආයේ කට වහන්න බැරි වුණා .."

මගේ උගුරත් මොහොතකට හිර වුණා .. ගිනියම් වෙච්චි යකඩ කඳක් මගෙ පපුව ඇතුළට බැස්සුවා වාගේ .මෙලෝ සංසාර දුකක් නැතිව හිටි මම ඒ අවසාන මොහොතේ ඉඳන් මගේම දරුවෙක් මළා වාගේ දුක් වුණා .

රාළහාමිගේ මිනී පෙට්ටිය ගෙයින් එළියට ගත්තු මොහොතේම ඒ පෙට්ටියේ එක කොනක බර කරට ගත්තු මම ඒ බර මගෙන් ගන්න කාටවත්ම ඉඩ නොදී කැරකොප්පුවට යනකල්ම කරගහගෙන ගියා .

රාළහාමි ජීවත් වෙලා ඉන්දෙද්දී ඌව මට මහා බරක් වුණාට රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටියේ බර නම් මගේ කරට යාන්තම්වත් දැනුණේ නෑ . ජීවත් වෙලා ඉන්න ටිකේ මම රාළහාමිට සලකාපු හැටියට මේ මිනී පෙට්ටිය මගෙ ජීවිත කාලෙම මම තනිවම උස්සාගෙන ගියත් රාළහාමිට නපුරු වෙච්ච පව මට ගෙවලා අහවර කරන්න බැරි බව මට ඒ මොහොතේ තේරුම් ගියා . .

රාළහාමි මට ලොකු පාඩමක් කියලා දුන්නා . ඌ ජීවත් වෙලා ඉන්න කාලෙ මට කියන්න උත්සාහ කෙරුව ඒ පාඩම මට තේරුම් ගියේ ඌ මළාට පස්සෙයි . ආයේ කිසිම දවසක මන්ද මානසික කොල්ලෙක් කෙලෙක්. ඇණයක් කියලා නොහිතා මට හැකි විදිහට උන්ට උදවු කරන්නත් මම හිතාගත්තා .

                                             ප:ලි
රාළහාමි නැතිවෙලා තුන් මාසයක් ගිය තැන රාළහමිගේ ගෙදර උදවිය සහ මගේ නෑදෑ පරපුරම එක්කාසු වෙලා පන්සලට ලොකු දානයක් දුන්නා .ඒ දානෙට සහභාගි වුණ මමත් මගේ අතින්ම පිරිකරක් පූජා කළා වුණත් මගෙ දුකින් පසුතැවීමෙන් අඬන හිතට සැනසීමක් ලැබුණේ නෑ .. ඒ නිසාම මම මට හැකි විදිහට ගමේ තිබුණු මන්ද මානසික ළමයින්ගේ ළමා නිවාසයට මට හැකී විදිහට උපකාර කළා .

රාළහාම් වගේ අසරණ ළමයි සෑහෙන ගාණක් වැටිලා ඉන්න තැනක් වෙච්ච ඒ ලමානිවාසයට ඇතුළු වෙනකොටම මටත් මගේ යාළුවා රිපිටාටත් ඒ ලමානිවාසයේ අපිරිසිදු බවත් අප්පිරියාවත් දරාගන්න බැරිව ඕක්කාරෙට ආවා ..