28.12.14

දෙයියොත් මඩ ගහයි වැරදුණු වෙලාවට









රන්සිරියා ඇවිදිල්ලා මට කතා කරද්දී වෙලාව දවල් දෙකට විතර ඇති . බත් ඩිංඟිත්තක් හෙම කාලා යන්තම් ඇලවෙන්න හදවුව කෑම දිරවන අවෙලාවේදීම රන්සිරියා කඩා පාත්වුණ නිසා මම කන නිදන රාජකාරිය පොඩ්ඩකට කල් දැම්මා ..

"සඳරුවා යමං මාළු බාන්න .


"කොහේ මාළු බාන්ඩ යන්නේ ?


"නයිජීරියාව වැවට යන්නේ.. ඒකේ වතුර ටිකක් අඩු වෙලා.. යමං උපුලා , චමියා සෙට් එක හන්දියේ ඉන්නවා . ගනිංකෝ බයික්කේ ස්ටාට් කරලා .. හනික යමං .


රන්සිරි තමයි අපේ ධීවර ඇමති
දියේ ඉන්න මාළු වගේම දිය ගොඩ දෙකේම ඉන්න ඉබ්බෙක් පවා හුස්මගන්න හෝ පඩින හඬ රන්සිරිට හොඳට හුරුයි ..
අපේ ගමට කිලෝමීටර් විස්සක විතර දුරින් තිබුණු නවගිරියාව වැවට ගමේ කොල්ලෝ කීවේ "නයිජීරියාව වැව" කියලා . පළාතේ තිබුණු ලොකුම වැවු වලින් එකක් වෙච්ච නවගිරියාව වැවේ ඇස් දෙක පියාන වුණත් අල්ලන්නඩ හැකි තරමට මාළු හිටියා .වැවේ වතුර අඩු කාලෙට ඉඩක් කඩක් ලැබුණ හැටියේ ගමේ කොල්ලෝ කවුරුත් වගේ අතට අහු වෙන පිහි මන්නා බිලීපිති,කොරොස්, ඇතිලි මිරිස් තුනපහ ආදියෙ වගේම හිඟුරානෙ පෙරන රවුන්ඩප් බෝතල් කීපයකුත් අරගෙන මාළු අල්ලන්න යාම පුරුද්දක් විතරමත් නෙවෙයි සම්ප්‍රදායක්.

මම පරණ සෝටක් එක්ක පරණ ටීෂර්ට් එකක් සිලි මල්ලක දමලා රන්සිරියා අතට දීලා බයික් එකට නැගලා පොඩ්ඩක් හොලවලා බැලුවේ පැස්ටොල් බින්දුවක් වත් තියේද කියලයි .

"යමං යමං හන්දියෙන් පැට්ටොල් බෝතලයක් දාගම්මු . පරක්කු වෙලා "

රන්සිරියා මටත් කලියෙන් අවුදින් බයික්කේ ඉඳගෙනත් ඉවරයි .ඉතින් මමත් හනි හනිකට බයික් එක පණ ගන්වලා හන්දියට ගිහින් අපේ අනික් පිශමන්ලා සෙට් එකත් එක්ක එක්කාසු වුණා .

හන්දියේ කඩෙන් පැට්ටොල් බෝතලයක් වගේම පාං ගෙඩියකුත් මම සල්ලිවලට අරගත්තා . රන්සිරියා පොල්තෙල් භාගයක් සිලි මල්ලකට අරගත්තා . ඔයින් මෙයින් පස්සේ ඉර බොහෝම තදින් පායාපු ගිනිගහන මද්දහනක අපි නවගිරියාව වැවේ මාළු බාන්ඩ යන්ඩ පිටත් වුණා .

මම මාළු බාන්න බොහොම කැමතියි . පවුකාරකම කර පින්නාගෙන උපන්න නිසා වෙන්නැති දඩයමේ යන එකත් මාළු බාන එකත් මට සතුටක්ම වුණේ . ජීවිතේ විඳින්න කියලා අපිට මහ ලොකු ලොකු දේවල් නැති නිසාම උපන්දා ඉඳන් අපිට අපේ ගමේ පරිසරය විසින්ම උගන්නාපු ආතල් එක්ක තියෙන විදිහට සන්තෝස වෙන්ඩ අපිත් හැඩ ගැහුණා . ඒ නිසා කන බොන දේක පිං පවු හොයන්ඩ යන පුරුද්දක් අපිට නෑ .


ඉදිරියෙන්ම ගිය බයික් තුනක අපේ එවුන් හය දෙනෙක් වාඩිගෙන අතින් කටින් හැලි වළන් එල්ලාගෙන කිතුල් පිතිවල තංඟුස් ගැටගහලා හදාගනිපු බිලීපිතිත් එල්ලාගෙන දැයට කිරුළ ප්‍රදර්ශනයෙන් ගත්තු ඊයම්පාට තොප්පි හෙල්මට් වෙනුවට ඔලුවල දමාගෙන වෘත්තීය මාළු කාරයෝ රැළක් වාගේ ඉදිරියට යමින් උන්නා . අමතක වෙලා ගියපු වැදගත් දෙයක් මට මතක් වුණේ ඒ අතරෙයි .

"අඩේ අපි සිගරට් ගත්තේ නෑ නේ
!

මගේ කටහඬට බයික් සේටම එකපාරට නතර කෙරුණා . හැමෝම තම තමන්ගේ සාක්කු අතගාලා අහුවෙච්ච අන්තිම සතේ පවා එකතු කරලා මගේ අතින් තිවුවා .

"තීරෝස් හරි කැප්ටන් හරි අරන් වරෙන් මේ සේරෝටම .. මම මුංගේ බයික් එකක නැගලා යන්නං උඹත් එක්ක ආයේ හන්දියට ඇවිදින් හෙල්මට් නැතුං ට්‍රැෆික් බාප්පලාට මාට්ටු වුණොත් ආතල් ඉවරයි . උඹ ගිහින් වරෙන් සඳරුවා . එනකොට බන්ටෙක දිගේ එන්නැතුව කැලේ මැද්දෙන් වරෙන් .


මගේ බයික් එකේ ආපු රන්සිරියා වෙනත් බයික් එකකට නංවලා ආපහු බයික් එක හරවාගනිපු මම . සිගරට් ගේන්න ගියා .

බොරළු පාරේ විනාඩි පාලොහක විතර දුරක් ගෙවලා මම කඩේට ඇවිදින් රුපියල් එකසිය පනහක කැප්ටන් දුම්වැටි ඉල්ලුවත් . හන්දියේ පුංචි කඩේ තිබුණේ කැප්ටන් සිගරට් හතයි . තවත් බොහොම දුරක් බයික් එක පැදගෙන ගිහින් දුම් වැටි අරගෙන ආපිට එනකොට විනාඩි තිහක් හතළිහක් නිකම්ම ගෙවිලා ගිහින් .

මම ඇල පාර දිගේම බයික් එක පැදගෙන කවුරුත් වැඩිය නොගැවසෙන වැවේ දකුණු පැත්තේ කෙළවරට යන්ඩ පිටත් වුණා . ගිනි මද්දහනේ ඇලේ නාන කෙල්ලෝ කීප දෙනෙක් මගේ වපර ඇහේ කෙළවරින් මම යාන්තමට දැක්කා වුණත් හිතා මතා උන් දිහෑ බලන්ඩ නොගිය නිසා මට පවු නැති බව මගේ යටි හිත කීවා .

නවගිරියාව වැව බොහොම විසාලයි . මම දන්න හැටියට මේ වැවුගම් පත්තුවේ වැවු අතරින් නවගිරියාව වැව දෙවනි වෙන්නේ සේනානායක සමුද්‍රයට විතරයි . කඳු වැටි කීපයක් අතරින් වැව පැතිරිලා තිබුණ නිසාම එක පාරට වැවේ ප්‍රමාණය ගැන කාටවත් නිගමනයකට එන්ඩ බෑ . පොලීසියේ උත්තම පුරුෂයන්ගෙන් බේරිලා, නිදහසේ මාළුවෙක් කොටලා, හීන් රවුන්ඩප් අඩියක් ගහලා, කුනුහරපයක් කියලා, වැවේ නාලා නිදහසේ ආතල් එකක් අරගෙන ආපිට එන්ඩ නම් කවුරුත් වැඩියෙ එන්නැති නිදහස් තැනක් ඔනෑ . අපේ එවුන් වැවේ දකුණු කෙළෝරේ කැලේ පැත්තටම මාළු අල්ලන්න ගියේ ඒ නිදහස අත්විඳින්නත් එක්කයි .

මම කැලේට ඇතුල් වෙන පාර පටන්ගන්නා ගල් දෙබුක්කාව ගාවට කිට්ටු වුණා . එතන අමුතුම තැනක් . ගලක් උඩ පුංචිවට අපේ අඩවිය භාර දෙයියෝ වෙච්ච පුල්‍යාර් දෙයියන්ගේ පුංචි පිළිමයක් වැඩ උන්නා . ඒ කිට්ටුවෙට වෙන්න දෙයියන්ට භාර වෙලා අතුරිකිලි එල්ලන්න හදාපු වැටහිරියා කෝටු වලින් හිටවාපු පුංචි ආධාරකයකුත් තිබුණා .

මීට ටික වේලාවකට කලින් එල්ලාපු කොහොඹ අතු කීපයකුත් තිබුණ එකෙන් මට තේරුණේ අපේ භක්තිමත් ෆිෂමන්ලා සෙට් එක කැලේ පාරෙන් ගමන ආරම්ඹ කරලා තියෙන වග . කොළ අතු එල්ලන්ඩ පමා නොවිච්චි මම හනි හනිකට මගේ ගමන පිටත් වුණා .

පිං අතේ වැඩත් ඉඳලා හිටලා කළා වුණාට මම භක්තියෙන් ඉදිමුණු බැතිමතෙක් නම් නෙවෙයි . දුර ගමනක් යනකොට මගදී හම්බෙන හිඟන්නෙකුට රුපියල් දෙකක් තුනක් දුන්නත් පාරේ තියෙන දේවාල වල පිං කැටවල සල්ලි පුරවන්නත් මගේ හිත යන්නේ නෑ . ගමන පටන් ගන්නකොට බයික් එකේ යකඩ හැඬල් එකට වඳින්නෙත් නෑ . ඒවා මට ඒතරම් හුරු දේවල් නෙවෙයි ඒ නිසයි මම අඩවි භාර දෙයියන්ට කොළ අතු එල්ලන්ඩ කියලා අමුතුවෙන් නතර වුණේ නැත්තේ .

"යකුනේ ඔය වාහන වලට වඳින්ඩ පුදන්ඩ එපා ඔවුව යකඩ ගොඩං !!!
මම ගමේ උන්ට නිතරෝම කියන දෙයක්

"අපේ ගමේ උන් නොපෙනෙන බලවේග පස්සේ දුවගෙන යද්දි ඒ කිසිම බලවේගයක් පිළිගත්තේ නැති එකම රියල් බුවා මම වෙන්නැති" මම එහමත් හිතුවා .. ඒ විදිහට හිතද්දි හිතට දැනුණ පොඩි චූන් එක බයික්කෙට වැදිලා බයික්කෙත් යාන්තමට රේස් වුණා ..

ඉර ටිකෙන් ටික සැර වෙද්දී ඒ ඉර එළිය නොවැටෙන තරමක් අඳුරු කැලයක් මැදින් සුපර් ක්‍රොස් මෝටර් සයිකල් තරඟයක් පදිනවා වාගේ මම ඉදිරියට ගියා . යන්තම් පෑදුණු අඩි පාරේ තැනින් තැන උල් ගැල් කැට වගේම පාරට වැටුණු එරමිණියා අතුත් අතරින් මම බොහොම පරිස්සමෙන් ඉදිරියට ගියා . තැනක පාර හෝදාපාළු වෙලා මහ පල්ලම් හැදිලා තිබුණු තැන් වලින් බයික් එක ඉදිරියට ගෙනියද්දී මම ඇහිපියක්වත් නොගැහුවේ පුංචි අනතුරක් වුණත් මේ වගේ කැලේකදී ලොකුවටම දැනෙන නිසයි .

ඒ තරම් ලොකු නොවුණු ඒ කැලෑ පාර ඉවර කරලා වැවු ඉස්මත්තට එන්න මට ගත වුණේ විනාඩි විස්සක් විතර . දෙතුන් වතාවක් අවුදින් තියෙන නිසා මේ වැවු ඉස්මත්ත මට ටිකක් හුරු පුරුදුයි . මාළු අල්ලන උදවිය විතරක් යන එන මේ වැවු ඉස්මත්ත හරිම පාළුයි, මස්තයි. වටේටම තිබුණේ ලොකු පොඩි කළු ගල් ගොඩං විතරයි .වැවට ඈතින් ඒ කළු ගල් අතරින් බයික් එක ගෙනියනවාට වඩා වැවේ අයිනෙන්ම සුදු වැල්ල දිගේ බයික් එක ගෙනියන එක පහසුයි . ඒ නිසාම මගේ යාළුවෝ සෙට් එකත් බයික් පැදගෙන ගිහින් තිබුණ සුදු වැල්ලේ ඇඳුණු ටයර් පාරවල් දිගේ මම හෙමි හෙමිහිට ඉදිරියට ගියා

හෝලිකේ තිසා හාමි හැංඟිලා උන්නු වාලිඹේ කන්ද නවගිරියාව වැවට උඩින් පැත්තෙන් ලං වෙලා පෙනෙනකොට මගේ හිතට පුදුමාකර නිදහසක් දැනුණා .අම්මප ඒක බලන්ඩ වටින කන්දක්.ඒත් ඒ කන්ද බොහොම පාළුයි පාළුවට ගියපු සොහොන් පිට්ටනියක් වගේ . අවුරුදු ගාණකට කලියෙන් ඒ කන්ද මුදුනේ හෝලිකේ තිසාහාමියා හැංඟිලා උන්නු හැටි හිතෙන් හිත හිතා මම ඉස්සරහට ගියා.

මාළු යාළුවෝ සෙට් එක ගිය ටයර් පාර දිගේ ඉස්සරහට ගියපු මට එක තැනකදී ෂෝට් කට් එකක් හම්බ වුණා . ඒ ෂෝට් කට් එක හැදිලා තිබුණේ අහක ඉඳන් වැහිවතුරත් එක්ක පස් ගලාගෙන ඇවිදිල්ලා වැවේ එක අයිනක් ගොඩ වීම නිසයි... පහළ තියෙන මැප් එක බැලුවාම මේ ෂෝට් කට් එක ගැන අදහසක් ගත හැකියි




බයික් එකේ තෙල් ඉතිරි කරගන්නත් සිගරට් ගේන්න ගිය නිසා පමා වෙච්චි මට හනික ආපහු යන්ඩ ඔනෑ හින්දත් මම ඒ ෂෝට් කට් එක තෝරාගත්තා .


ෂෝට් කට් එකත් විටෙක ටිකක් දුරයි කියලා කතාවක් තියෙනවා ඒත් ඒ කතාව හැමදාකමත් වගේ අමතක කෙරුව මම හැමදාකමත් වගේම එදත් මගේ ගමන යන්ඩ ෂෝට් කට් එකම තෝරගත්තා . ඒ පුංචි අවදානම් ෂෝට් කට් එක වැටිලා තිබුණේ කළුම කළුපාට ඉරිතැලිලා වේලිච්චි මඩ වගුරක් මැදින් . ඒත් ඒ පාරේ අතරින් පතර පුංචි වල් ලූණු පඳුරු පවා වැවිලා තිබුණු නිසාම මට ඒ පාරේ යන්න බයක් දැනුණේ නෑ .

කොට පාරෙන් යන ගමන් මට කවදත් අපලයි .

මීටර් කීපයක් හෙමි හෙමිහිට ඉදිරියට ගියපු බයික් එකේ ඉස්සරහා රෝදේ එක පාරටම පාතාලෙකට වැටුණා වගේ මහා ලොකු මඩ ගොඩක් මැද්දෑවේ එරුණා . බයික් එකේ පිටුපස රෝදේ ඉහළට එසෙවෙන අතරේ ගිලා බැහැපු බයික්කේ ඉස්සරහින් විසික් වෙච්ච මම මඩ ගොහොරුවක් උඩ මුනිං අතට ඇදගෙන වැටුණා .

මඩ ගොඩට වැටුණු නිසාම මට තුවාලයක් තබා හීරීමක්වත් ඇතිවුණේ නෑ . රබර් සෙරෙප්පු දෙක මඩ වගුරේ ගිලිලා අතුරුදහන් වෙද්දී මම දනි පනි ගාලා නැගිට ගත්තේ මගේ බයික් එක ගැන හොයාබලන්න හිතාගෙන .. ඒත් මට හොඳටම වැඩ වැරදිලා තිබුණා . යන්තම් නැගිට්ට ගමන් මාව ඉණ ළඟට එනකම් මඩේ එරුණා මට හෙලවෙන්ඩවත් බෑ . මම බලාන ඉන්දෙද්දිම මගේ බයික් එක බස බස ගාලා මඩ ගොහොරුව ඇතුළටම ඇදෙන්න පටන් ගත්තා .. රත්වෙලා තිබුණු බයික් එකේ එන්ජිමට වතුර ගිහින් ඇති වෙච්චි හුමාලේ පුංචි මීදුමක් වගේ උඩට ඇදුණා .. මට දෙයියො බුදුන් සිහි වුණා !

චාමර රණවකගේ සංගීත සන්දරශනයක් දවසේ මට ගහන්න පොලු අරගෙන මාර සේනාවක් වගේ කැඩගොඩ තලාවේ කොල්ලෝ 19 දෙනක් අවුදින් මාව වට කෙරුව දවසටත් වඩා එදා නම් මම බය වුණා
දෙයියම්පා එදා මම හිත ඇතුළෙන් අඬා වැටුණා ..

"දෙයි හාන්දුරුවනේ තාම ලීස් එක වත් ගෙවලා ඉවර කළේ නැති මගෙ රත්තරන් බයික්කේ
!!!

ඒත් කලබල වෙලා කොරොස් කටෙත් අත දමාගන්න බැරි නිසාම මම තත්පරෙන් තත්පරේට මඩ වගුරේ ගිලාබහින බයික් එක දිහෑ බලාගෙන කල්පනා කෙරුවා . ඊළඟ මොහොතේ අකුණක් ගැහුවා වගේ මට මතක් වුණේ මගේ ෆෝන් එක . එක තත්පරෙන් මඩ ගොඩ අස්සට අත දමාපු මම ඉනටත් පහළ මගේ සාක්කුවේ තිබුණු ෆෝන් එක මඩ අස්සෙන් එළියට ඇදලා ගනිද්දි මම හොඳටෝම පමා වැඩියි . ෆෝන් එක මඩ වතුරේ හේදිලා රොන් මඩ වලින් වැහිලා බැබළෙමින් තිබුණා . කරන්ඩ දෙයක් නෑ ඒක ආයේ තියන්ඩ තැනක් නෑ ගොඩට විහික් කරන්ඩත් දුර වැඩියි මම වංඟියක් හූල්ලලා ආයේ ඒ ෆෝන් එක සාක්කුවේම ඔබාගත්තා .

මම සන්සුන් වෙලා කල්පනා කරන්න ගත්තා ..මෙතන ඉඳන් යාළුවෝ සෙට් එක මාළු බාන තැනට තව සෑහෙන දුරක් මට යන්ඩ තියෙනවා . වැව වටේම තියෙන කඳු නිසා මට උන්ව පේන්නේ නෑ දුවගෙන ගියත් මට උන් හම්බුවෙන්ඩ යන්ඩ පැය භාගයක්වත් ගතවෙනවා සිකුරුයි . ආයේ උන් එක්ක මෙතනට එන්ඩ විනාඩි විස්සක් වත් යාවි . එතකොට බයික් එක අඩි 8ක්වත් යට බහිනවා සිකුරුයි . ! අමාරුවෙන් හම්බුකරලා ගනිපු මගේ වටිනාම වස්තුව මඩේ ඔබලා දුවන්ඩ මට හිත දුන්නෑ .

මගේ බයික් එක ගන්ඩ මම වින්ද අපා දුක දන්නේ මමත් මගේ අතපය හතරත් මගෙ බඩත් විතරයි . මම මඩ ගොඩ මැදින් අමාරුවෙන් ඇවිදගෙන ගිහින් බයික් එක අල්ලා ගත්තේ . (එයා කොම්පෙසර් එකට) වතුර ගියෝතින් බයික්කෙට බබා හම්බුවෙන බව මතක් වුණ හන්දයි . මගේ අත් දෙකෙන් බයික් එක උස්සලා අල්ලාගත්තාට බස්සේ බයික් එකේ බරත් එක්ක මාව තවත් යට ගිලුණා .. ඒත් මගේ පපුව සීමාවට වඩා මාව මඩේ එරෙන්නේ නැති බව මට තේරුම් ගියා ..

මේක මහා ලොකු මඩ වගුරක් නෙවෙයි .. මට මේ බයික් එක ගොඩදාන්න හැකියි . මම මගේ හිතට එහෙම කියන ගමන් බයික් එක ටික ටික උඩට ඉස්සුවා .රොටී පුච්චන්න තරමට රත් වෙලා තිබුණු බයික් එකේ ඇන්ජිමේ එක තැනක මගේ අත ගෑවුණා
ඒත් මම බයික් එක අතෑරියේ නෑ මගේ අතේ හම පිච්චෙන බව මට හොඳටම තේරුණා ඒත් මම බයික් එක අතාරින්න හිතවුවෙ වත් නෑ ..


"මේකට කෙලවුණොත් ආයේ ජීවිතේට මේ බයික් එක ගොඩ දමාගන්න සල්ලි හොයනවා බොරු
එහෙම වුණොත් මේක රුපියල් දහ දාහකට විතර කල්මුණේ මට්ටයෙකුට දීලා සතියක් අරක්කුම බීලා හිත හදාගං සඳරු" ..මගේ හිත මටම කියවුවා කිය කිය අඬවුවා .


මම බයික් එක බදාගත්තා
මට කරන්න ඉතිරිවෙලා තිබුණේ එච්චරමයි


බයික් එක ඉන්සූරන්ස් කරලා තිබුණා නම් මට එදා නොසෑහෙන්න සැනසෙන්න තිබ්බා .. ඒත් මගේ බයික්කෙ ලීස් එක අහවර නැති නිසා .. මට බයික්කෙට ෆුල් ඉන්සූරන්ස් එකක් දාන්නත් සිද්ධවෙලා තිබුණා . ඒත් ඒ කාලේ රසාවට කෙලවෙලා අතේ පිච්චිය නැති එකෙක් විදිහට ජීවත් වෙච්ච මට ෆුල් ඉන්සූරන් එකට ගෙවන්ඩ නියමිත රු පහළොස්දාහක මුදල නැතිව මාස ගාණක් මම බයික් එක දීවේ හොරෙන්
ඔන්න ඔය සීන් නිසා මට නොසෑහෙන්න කෙලවෙලා තිබුණා

ගිනි රස්නෙට පායපු ඉර මගේ ඔළුවට ඉහළින් පායලා මට කොලොප්පං කරමින් හිටියා හරියට පරණ තරහක් පිරිමහ ගන්ඩ වාගේ.... .. බයික් එක අදින්න ට්‍රයි කරන ගමන් මමත් නොසෑහෙන්න මැඩවිලා හිටියා ..


වැවු ඉවුරේ සැරේට වැවිලා තිබුණ කැලෑව දිහායින් අතු කැඩෙන සද්දයක් මට ඇහුණේ ඔය අතරේදියි ..තත්පරේකදී මගේ හිතට ඇතිවුණේ පුදුම සතුටක් .. මම ඔළුව හරෝලා හතර අතේ හොයන්න ගත්තා

.. කැලේ දර එක්කාසු කරන්ඩ ආපු මිනිහෙක් හරි , මාළුව බාන්ඩ පිත්තක් කපාගන්ඩ ගිය ඔරු කාරයෙක් හරි දෙයියගෙ පිහිටෙන් දකින්නයි මගේ බලාපොරොත්තුව වුණේ .. ඒත් අඩවිය භාර දෙයියෝ මට දෙන්ඩ තීරණය කරලා තිබුණේ ඔරු කාරයෙක්වත් දර කඩන මිනිහෙක් වත් නෙවෙයි . ඊට වඩා බොහොම ලොකු දෙයක් . . . .

හත්තිලවුවේ ඒ
අලි රංචුවක් ..


හත් අට දෙනෙකුගෙන් සමන්විත අලි රංචුවක් කරඹ කැලේ කඩාගෙන එකා පස්සේ එකා වැව දිහෑවට ඇදුණා . මම උන්න තැනට මීටර් තුන් සීයක් විතර දුරින් වැවට බැහැපු ඒ අලි රංචුව දැකලා මගේ උගුර කට වේලිලා යාන්තමට වගේ මට දෙයියෝ සිහි වුණා
මට මතක් වුණා කැලේට මම ඇතුල් වෙද්දි කොළ අත්තක් කඩලා එල්ලලා .. මම දෙයියන්ට භාර නොවුන විත්තිය .

"පුල්ල්‍යාර් දෙයියනේ කොළ අත්ත නොකැඩුවාටද මට මෙච්චර කෙළින්නේ
?

මම හිස් අහස දිහෑ බලාන දෙයියන්ට කීවා
ආයේ කිසිම දවසක අඩවි භාර දෙයියන්ට භාර වෙන්නැතුං කැලේකට රිංඟන්නේ නැතිවග කියලා හිතෙන් භාර වුණා .. හිතෙන් දෙයියන්ට පොල් ගෝනි දෙක තුනක් ගැහැවුවා ..

මම දෙයියෝ යදිමින් ඉන්න අතරේ අලි සෙට් එක ටිකෙන් ටික මගේ ළඟට එන්න පටන්ගෙන තිබුණා . දෙයියන්ගේ පිහිටෙන් ඒ අලි රංචුව මම වැටිලා හිටිය මඩ වගුර පැත්තට මෙච්චර වෙලා ආවේ නෑ . උන් මාව දැක්කා නොදැක්කා ගානට තරමක් දුරට වෙලා මඩ වතුර බොමින් නාමින් හිටියා .. ඒත් උන් දැන් ටිකෙන් ටික මම ඉන්න දිහාටත් හෙමි හෙමින් කිට්ටු වෙන්ඩ පටන්අරන් ..

කරන්ඩ තිබුණේ එක දෙයයි .. බයික්කේ දාලා දුවන්ඩ විතරයි ..

ඒත් මම අන්තිම තීරණය ගත්තා .. මගේ ඇඟේ සේරෝම හයිය මගේ දකුණු අතට දුන්නා . බයික්කේ උඩට මතුවෙලා තිබුණු එකම දේ වෙච්ච පිටිපස්සේ රෝදෙන් තදින් අල්ලාගෙන ජීවිතේ කවදාවත්ම කිසිම දෙයක් ඇදපු නැති තරම් ගැම්මක් දාලා මම බයික් එක ඇද්දා . "කැඩෙනවනං අත කැඩියං අතාරින්නෑ" මම මටම කිය කියා මඩේ වැටි වැටි එක අතකින් බයික්කේ ඇද්දා ..

පුදුමයි මෙච්චර වෙලා යට බහිමින් තිබුණු බයික් එක මඩ අතරින් ඇදිලා එනවා මට දැනුණා . මම හුස්ම ගන්න එකත් නතර කළා පුළුවන් තරම් හයියෙන් බයික්කෙ ඇදගෙන මඩ වගුරෙන් එළියට යන්ඩ පටන්ගත්තා ..මඩේ මැරිච්චි කිඹුලෙක් වල්ගෙන් අල්ලාගෙන ගොඩට ගේන එකෙක් වගේ මම බයික්කේ ඇදගෙන ගොඩටම ආවා ..

මඩෙන් ගොඩට ගත්ත බයික්කේ මට පෙනුණේ . තනිකරම මඩ කන්දක් විදිහට ..මගේ ගැහෙන කකුල් දෙකත් රිදුම් දෙන වෙවුලන අත් දෙකත් උපරිමේට වැඩ කරලා තිබුණ නිසාම මට ආයේ මගේ බයික් එක ගොඩ ඉඳන් අඟලක්වත් උස්සන්න හයිය ඉතිරිවෙලා තිබුණේ නෑ .. බයික්කේ දඹ ගහක් මුලට ඇදගෙන ගියපු මම හෙමීට මගේ යාළුවෝ මාළු බාන දිහෑවට පාවෙවි යන්න ගියා ..

මට අපේ එවුන් උන්න තැනට කිට්ටු කරන්න කොච්චර වෙලා ගියාද කියන්න මට හරියට මතක නෑ . ඒත් මම ගියපු ගමන් කරපු පළමු වැඩේ මට හොඳටම මතකයි . මම රන්සිරියා ගාවට ගිහින් එක පාරම උගේ ඔඩොක්කුවේ තිබ්බ හිඟුරාණ රවුන්ඩප් අරක්කු බෝතලේ කටේ තියාගෙන එක හුස්මට බීගෙන ගියා බෝතලෙන් භාගෙකට කිට්ටු වෙනකම්ම බීගෙන බීගෙන ගියා . . .

මම මඩ නාපු කතාව එතනින්ම ඉවර වුණා . මගේ හොඳ පාප මිත්‍රයෝ හනි හනික ගිහින් මඩ ගුලි හිරවෙලා මැටි මුවා වගේ තිබ්බ මගේ බයික්කේ හෝදලා කරලා මා ගාවට ගෙනද්දුන්න වග වෙරිමරගාතේ මම දැක්කා ..

එදා ඉඳන් අද වෙනකම්ම වෙච්ච සිද්දි අතරේ මගේ ජීවිතේට ලොකුම බලපෑමක් කරවුව සිද්ධිය විදිහට මගේ මේ මඩ නෑම අපේ ගම ඇතුළේ ලැමිනේටිං වුණා මගේ හිත ඇතුළේ ඉතිහාසගත වුණා .

මේ සිද්දිය වෙලා බොහොම කාලයක් ගතවෙලා .. . .ඉතින් මම තාමත් අර එදා උන්න එකාම තමා .. පොඩ්ඩක් බීවම මොන දෙයියෙක්වත් මායිං නොකරන . කරදරයක් වෙච්ච වෙලාවට හිත ඇතුළෙන් දෙයියන්ට කන්නලවු කරන එදා උන්නු එකාම තමා .

පොඩි වෙනසකට කියලා තියෙන්නේ දැන් බයික්කෙන් දුර ගමනක් යන්න ලැහැත්ති වෙනකොට මම කාටත් හොරා හෙමිහිට මගේ බයික්කෙට වඳින එකම විතරයි .. යකඩ ගොඩං වුණත් ,යකඩ කියා හිතාන ඉන්න හිත් වුණත් වෙලාව ආවහම අමු මඩ වගේ දියාරු වෙන එක නම් සුවර්


.......................................

රන්සිරි සහ අනෙක් පිෂමන්ලා ඩියුටි යෙදී සිටින හැටි



නවගිරියාව වැවේ බයික් පැදපු තවත් තරුණයෙකුගේ අද්දැකීම් කියවන්න .




40 comments:

  1. හප්පේ කටේ තියාගෙන ප්ලේන්ටි බොන අපූරුව.......................

    ReplyDelete
  2. සඳරුවෝ එලට ලියල තියෙනවා .... තවම bike එක හොඳට තියෙනවා නේද ? ගියපාර post එකට කොමෙන්ටුවක් කොටන්නඩ හිටියට අමතක උනා බං .... ආපහු කොළඹ යන්ඩ කලින් තව මොනවා හරි ලියපං හරිය ....

    අද මම එකද මන්දා.......

    ReplyDelete
  3. බොහොම අසාවෙන් කියෙව්වා සඳරු. මම කැමැත්තෙන්ම කියවන බ්ලොග් එක තමයි මේක. පහුගිය ටිකේ ලිපි පල උනේ නැති නිසා මම කීප සැරයක් ඇවිත් කලින් පොස්ට් කරලා තිබෙන ලිපි කියෙව්වා.

    ඔබගේ ලිපි වලට ඉතාම කැමති අයෙක්-

    ReplyDelete
  4. හිනා වෙවී කියෙව්වට බොට වෙලා තියෙන්නෙ මාර කේස් එකක්නෙ මලයො. බොගේ හිත හොඳ හින්දම වෙන්ටැ අලින්ගෙන් බොට කරදරයක් නොවුනෙ.
    අර අරන් ආපු කැප්ටන් ටිකට මොකද උනේ. ඒව බොන්න පුලුවං තත්වෙක තිබුණද.

    ReplyDelete
  5. කියවලා ඉවර කරන්න ලෝභයි බං....

    ReplyDelete
  6. අපේ මහත්තයත් රෝද හතරෙ වාහනයක් උදේට ගන්නකොට නං ඔය වැඳිල්ල කරනව මං දැකලා තියෙනව.. හැබැයි බයික් එකට වඳිනව නං දැකල නෑ... අහල බලන්නෝනෑ ඒ මොකෝ කියල.... හි හි....

    මටත් ඔය වැඩේ දැක්කම හිනා යනව... මොන ගොන් වැඩක්ද කියල... ඒත් ඉතිං අපියැ වාහන එළවන්නෙ... මේ රටේ වාහන එළවද්දි දෙයියෝ තිස්තුන්කෝටියටම වැන්ඳත් මදි වෙන්නෑ කියල හිතල කට වහන් ඉන්නව.....

    අනිත් එක මේ කන බොන දේවල පිං පවු හොයන එක.... මටත් මළ විකාරයක්... තමන්ට හිතෙනවා නං පවු කියල... නොකා හිටපන් පාඩුවෙ පැත්තකට වෙලා... අනිත් මිනිස්සුන්ට වද දෙන්නෙ නැතුව.... ඔන්න මට හිතෙන එක....

    කාලෙකට පස්සෙ සඳරුව දැක්කෙ... කොහෙද ‌අතුරුදහන් වෙලා හිටියෙ....

    ReplyDelete
  7. කාලෙකට පස්සේ දැකීමත් සතුටක් !!!

    ReplyDelete
  8. koheda ban yako uba hitiye
    meka liyanawanam ditama liyapan
    nathnam eth liyapan

    ReplyDelete
  9. සඳරු උඹේ කතා ගැන මොනා කියන්නද මචෝ .අපිත් උඹත් එක්ක ඒ අත්දැකීම විඳිනවා වාගේ මේක කියවන කොට ....පට්ටය .එලද බ්‍රා ය .අති විශිෂ්ඨය ....
    කොල අතු සිද්දිය ගැන කියවනකොට මතක් උනේ විමලරත්න කුමාරගමගේ අයියනායක කවි පන්තිය ...සඳරු මෙහෙම ලියපන් මචෝ අපි වෙනුවන් ..ජය වේවා !!!

    සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
    කාලය විිසින් හෑරුව නුග ගසක බෙනේ
    මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

    බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල
    මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
    ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ
    හැම දෙන එතැන රැුස් වෙති ගම ගෙවල් වල

    වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
    ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
    සඳ රැුස් ගලන විට තෙරපී සෙවණ මත
    එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

    දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
    පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
    මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ
    මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

    සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස් වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

    සාගත වසංගත හා එන නියඟ වලින්
    සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
    යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
    පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

    ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
    අහුමුළු නෑර සිය අණසක පතුරු වන
    බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
    මීමුන් මදින් මත් වී අං මදින තැන
    වැව් වල මිනී කන කිඹුලන් ගැනද දැන
    මේ අය රකිනු මැන යන එන සියලු තැන

    මාපිල් පිඹුරු නා පොළඟුන් සිටින තැන
    අලි කොටි වලස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදුන මේ අය ඇඳින ගෙන
    බලවත් දෙවි තුමනි දිව ? රකිනු මැන

    විමලරත්න කුමාරගම

    ReplyDelete
  10. සඳරු
    නිවාඩුව ඉවරවෙලා කොළඹ යන්න කලින් ත්ව කටන්දර ටිකක් ලියන්න.සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  11. අප්පටසිරි ඒක නම් මාර ස්ටෝරියක්. මට උඹේ බ්ලොග් එක කියවන්න පටන් ගත්ත කාලෙ ඉඳන් ඔය පැත්තෙ ඇවිත් යන්න ආසාවක් තියෙනව. සඳරු කොහොම හරි ආයෙත් ලියන්න පටන් ගත්ත එක හොඳයි. නැත්තං අපි කොහොමද ඔය වගේ මුණ දීපු පට්ට අත්දැකීම් ගැන කියවල රසවින්දින්නෙ. ජය වේවා!!!

    ReplyDelete
  12. ඈ බන් සඳරුවො පුල්ලෙයාර් දෙයියො ඉන්නෙ උඹලගෙ පැත්තෙද.මේක කියවනකොට මට අවුල්ම වුනේ ඕක.පුල්ලෙයාර් දෙයියො ඉන්නෙ නිකවරටිය වන්නි පැත්තෙ කියල මං අහල තියෙන්නෙ.
    උඹලගෙ පැත්තෙත් වැඩ බලනවද මන්ද
    දැන් දිගටම ලියන එක හොඳයි.බ්ලොග් වේලි වේලි තිබ්බෙ.හුඟක් එවුන් අවාරෙ අබ වැටෙන්නැහැ ලිය ලිය ඉන්නකොට උඹ වෙලාවට ආවෙ.

    ReplyDelete
  13. සඳරු, උඹ අහලා තියනවද කතාවක් තියනවා ලේසි වුනත්, පහසු වුනත් නොයන් ගමන් කෙටි පාරෙන් පුතුනේ කියලා... දැන්වත් හරි පාරෙ පලයන්...

    මමත් කවදාවත් යකඩ වලට වදින්නෑ බන්... ඕක පුල්ලෙයාර් කරපු කෙහෙම්මලක් නෙමෙයි උඹ දුර දිග නොබලා කරපු ගොන් කමේ ප්‍රතිපලය...

    ReplyDelete
  14. මට ආන්ඩු පෙරලනවට වඩා සතුටුයි උඹ ආයේ බොග දාන එක.. හේතුව කියන්න ඕන නෑ නේ.. උඹ පිම්බිලා මැරෙයි..

    ReplyDelete
  15. මලේ, අප්‍රමාණ සන්තෝසයි උඹ ලියන් මහත්තයෙක් වෙච්චි එක ගැන. ඔය රස්සාව හොඳින් කරගෙන යන්න සුභ පැතුම්!

    හොඳ ලියන්නෙක් කියන්නෙ රහට ලියල හවහට බීල හතරගතෙන් යන මදාවියෙක් නෙමෙයි, රහට ලියල, ඉඳහිට බීල ජීවිතේ විඳින මණුස්සයෙක්. ඒක මතක තියාගං කොල්ලො.

    වාහනවලට වඳින එක ගැන මගෙ තියෙන්නෙ වෙනස් හැඟීමක්. වාහනේට වඳිනව කියන්නෙ, ඒක නියම දාට සර්විස් කරල, හරියට මේන්ටේන් කරල, ඔරොත්තු දෙන සහ ගැලපෙන තැන් වල විතරක් එයා එක්ක ගිහින් මිස, බොරුවට අත්දෙක එකතු කරල ස්ටියරින් එකට වැඳල හරි පඬූරු ගැටගහල හරි නෙමෙයි බං.

    ReplyDelete
  16. බ්ලොග් ලියන්න හිතලවත් නැති දවස්වල ඉදලම කියවන උඹේ බ්ලොග් එකත් ,මාව බ්ලොග් වලට වහ වට්ටවන්න හේතුවුන බ්ලොග් එකක්.
    ඔය හිඟුරාන ඒවා විතරක් විකුණන බාර් එකක් අම්පාර ටවුමේ තිබුනා.ඒක තාමත් තියනවද?
    ජය වේවා.....

    ReplyDelete
  17. සිරා කොලුවා ඔය පැත්තට ආවම ඔය කියන ඉසව් වලට එක්කගෙන යනවා නේද බොලං...අපිත් හොද සොමියක් ගමු...මගේ නඩේ ඉතින් අනුරාධපුර පළාතෙ දෙන්නෙක්ම ඉන්නවා නොවැ....බොලා ඔය හට්ටි මුට්ටි උස්සගෙන යන්නෙ මාළු අල්ලන තැනදිම උයන්නද ? සීදුවෙ ගල් බෝතල් ටිකක් ලැයින් කොරගෙන වැව අයිනෙ ගහක් යට ළගදිම සෙට් වෙමු කොලුවො...

    ReplyDelete
  18. මමත් ඔය දෙයියව නම් ගණන් ගන්නේ නෑ සත දෙකකටවත්.... අපිට ඉන්නේ අපි විතරයි බන්... උබේ එදා කට්ට කාගෙන බයික් එක ගොඩට අදින්නේ නැතුව දෙයියා ඇවිත් බේර ගන්නකම් හිටියනම් වැඩේ ලොල් නේ... "දෙයියා පල්" වෙන ෆිල්ම් එකක් තියෙනවා PK කියලා.... අන්න ඒක බලහන්...

    ReplyDelete
  19. සඳරුවෝ දම්බරාවෙ වැවේ මගේ බයික්කෙටත් ඔහොම සංගෙඩියාවක් උනා. හැබැයි මෙච්චරටම බරපතල කේස් එකක්නම් නෙවෙයි.

    මමත් වාහනවලටවත්, කොම්පියුටර් වලටවත් වඳින්නෙනම් නෑ. තවම මට්ටු වෙලත් නෑ. බලමුකො ඉස්සරහට.

    සුපිරියි මචෝ. කවදත් උබේ ලිවිල්ල ඉස්තරම්.

    ReplyDelete
  20. අම්මප ඇත්ත. බොට පවු නෑ...

    ReplyDelete
  21. සඳරු මල්ලිගේ අනර්ඝ පෝස්ටුව දැකලා මට මතක් වුනු අනික් කවිය තමා දෙවියන් මැරීම.


    දෙවියන් මැරීම

    බුද්ධිය මිත‍්‍රයෙකැයි, සිතු මම
    දිනක් මග රැක සිට
    මගේ දෙවියන් මරා හෙලීමි,
    දැවැන්තයකු වන බුද්ධිය
    අඳුරෙහි මහ අඩි තබමින්
    මා පිටි පසින් එනු
    මට ඇසෙයි.

    එහෙත් දෙවියන් සිටි කල මෙන්
    දැන් මට
    සැක හැර ගමන් කළ නොහැක
    මා වැටුණු කල
    දැන් දෙවියන් නැති හෙයින්
    මම
    නැඟී සිටිය යුතු ය.

    යළිත් දෙවියන් සොයා ගිය මට
    උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
    මඟ අසල,
    නුග ගස යට තිබී සම්බ විය
    ස්වාමීනි, යළිත් නැඟී සිට
    මා හා පෙර මෙන්
    එනු මැනවයි මම කීමි
    උන්වහන්සේ නැඟී නොසිටින්නේ
    බුද්ධියතම
    දත් දෙපළ පෙන්නා
    විලිස්සමින්
    මා පිටිපස සිටින හෙයින් බව
    මම දනිමි

    එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
    ඔහු මා අතහැර නොයයි.

    ජී බී සේනානායක
    පලිගැනීම පද්‍ය සංග‍්‍රහයෙන් 1946

    ReplyDelete
  22. දෙයියොත් වෙලාව බලලා ගානට උඹට කෙලියා නේද..

    මං මේ කල්පනා කොරන්නෙ බොටම මොකද මේ වගේ අලකලංචි වෙන්නෙ කියලා.. :-D

    ReplyDelete
  23. සදරු ඔය වගේම වඑඩක් උනා මගෙ මස්සිනාට මට මේක කියවපු ග්මන්ම මතක් උනේ ඒ වඑඩේ . උබ හිතට වදින්න ලියන්න දක්සයෙක් කියවන්න කඑමති නැති මාව කියවන්න පුරුදු කරපු එකෙක් . දිගටම ලියන්න

    ReplyDelete
  24. මං නං කවදාවත් වාහනවලට වැඳලාත් නැත, වඳින්ට අදහසකුත් නැත!

    ReplyDelete
  25. වෙනද වගේම සුපිරියි .... බුදුන් වැඳලා දෙවියන්ට පින් දෙන එකයි කරන්න ඕන දේ...

    ReplyDelete
  26. උඹටත් වෙන අකරතැබ්බ....
    ඔය ගානින් ගොඩ ගිය එක ලොකු දෙයක්, එතන ගොඩක් ගැඹුරු උනානම් බයික් එක විතරක් නෙමේ උඹත් හබක්.
    ඔය වගේ වැව් තාවුල්ලක ලැගගෙන නිදහසේ ඉන්න ඇත්නම්...
    ගොඩ කාලෙකින් එහෙම සැපක් ගන්න ලැබුනේ නැහැ. දැන් ඉතින් ගොඩ වෙලාවට ෆැමිලි ට්‍රිප්.

    ReplyDelete
  27. සිරා, පත්තර, බුට්, සින්දු, කම්මල අපි තව සැට් එකක් පෙරැම් පුරාගෙන බලාගෙන ඉන්නවා..
    බ්‍රෑන්ඩ් එක ගල්
    මමත් වාහනේට වැදලා ස්ට්රියන් විල් එක ඉබලා තමයි වාහනේ ගන්නේ..
    ලියපං මචං..පක්කං පදිරි..සන්නහා සන්නද්ධ වෙන්න.

    ReplyDelete
  28. අනිත් ආය දාන කමෙන්ට් වලට රිප්ලයි දාන්න පුලුවන් විදිහට හදපන්..

    ReplyDelete
  29. මේ තමයි මම ආසාවෙන්ම කියවන කතා තියෙන සිංහල බ්ලොග! අපූරුවට ලියනවා සඳරු!

    ReplyDelete
  30. ඩිස්කවරි එකේ යන මෑන් වර්සස් වයිල්ඩ් කියන වැඩසටහනේ පෙන්නුවා හෙලකට වැටුනම ගොඩ එන විදිය. දැඟලුවොත් තව තවත් පහලට යනවා. කරන්න හොඳම දේ තමයි හෙල කෙලවර තියෙන පොලවට අත් දෙක තියලා උඩට එසේවෙන එක. නැතිනම කැලෑවක වගේනම් එළියේ ගහක අත්තක් අල්ලන් ඇදෙන එක. කකුල් දෙක චලනය නොකර එකයි කරන්න ඕනේ. දෑතේ වීරියෙන් ගොඩ එන්න ඕනේ. ආවට පස්සේ ඉතිං බයික් එක ගොඩ ඩා ගන්න බැරියැයි.

    ReplyDelete
  31. "ජීවිතේ විඳින්න කියලා අපිට මහ ලොකු ලොකු දේවල් නැති නිසාම උපන්දා ඉඳන් අපිට අපේ ගමේ පරිසරය විසින්ම උගන්නාපු ආතල් එක්ක තියෙන විදිහට සන්තෝස වෙන්ඩ අපිත් හැඩ ගැහුණා . "
    මටනම් එහෙම හිතෙන්නේ නැහැ බන් .මට හිතෙන්නේ උබල ජිවිතේ විදිනවා බන් .!! බොරු පඩෂෝ නැතිඋනාට උබල හිත සැහැල්ලුවෙන් කියල මට හිතෙනවා.!!
    කොහොම උනත් කමක් නැහැ .! බං ,ආයිත් බොග කියවන්න පටන් ගත්ත උබ ලියන නිසා .! මම කියවන්නේ උබගේ බොගයි , සෑම ගේ බොගයි ඉතරයි .!උබල දෙන්නගේ එකිනෙකට වෙනස් ස්ට්යිල් දෙකක් තියෙන්නේ .!! හැබැයි දෙකම නියමයි ..!!

    ReplyDelete
  32. මම නං කවදාවත් වදින්නේ නැහැ. උදේට නැගිට්ට ගමන්ම ඔක්කෝම හරිද චෙක් කරල මගේ වැඩ ටික පටන් ගන්නවා. එතකොට අන්තිම මොහොතේ කරදර නැහැනේ.. බොටත් මාර කේස් නෙව වෙන්නේ.. උඹ ලියන එක ගැන මට හරිම මෙව්වෙකයි බං...

    ReplyDelete
  33. දෙය්යන්ගේ අඩවියේ කට වැරැද්ද ගත්තා හින්ද මටත් පොඩි පොඩි සිද්දි ටිකක් වෙලා තියෙනවා. අලිටිකට දුක හිතිලවත්ද ලගට ආවේ නැත්තෙ. හක හක .

    ReplyDelete
  34. අනේ ඔව් යන තැනක වැඳලා කරලා පලයන්! තෝ නැති උනොත් කවුද මේ වගේ රහ බ්ලොග් එකක් කොටන්නේ!

    ReplyDelete
  35. හෙනම කාලෙකින් නෙහ්

    ReplyDelete
  36. වාහන වලට වැඳීමක් නං නැත. කතාව නං මරු.
    //ගිනි මද්දහනේ ඇලේ නාන කෙල්ලෝ කීප දෙනෙක් මගේ වපර ඇහේ කෙළවරින් මම යාන්තමට දැක්කා වුණත් හිතා මතා උන් දිහෑ බලන්ඩ නොගිය නිසා මට පවු නැති බව මගේ යටි හිත කීවා //
    මේක තමයි මරු!

    ReplyDelete
  37. තව ඩින්ගෙන් කියන්න වෙන්නේ මඩේ එරුණ සඳරුට අලියා ගැහැව්වා වගේ කියල.
    ඉක්මන් කොටයි . හැබැයි ඉතින් ඔය වෙලාවට ඔව්ව මතක් වෙන එකක්යැ . අර ධිවර ඇමති නම් මරු. ලඟදි සත්තු වත්තක් බලන්න ගියහම ඉබ්බෙක් දැකල මලයව මතක් වෙලා හිනාත් ගියා අපිට. ''සඳරුව නම් දන්නවා ඇති මේකාගේ මස් හය්යද කියල ''

    ReplyDelete
  38. වෙරි නයිස් ටු සි යු රයිටින්ග් අගෙන් බ්‍රෝ ... දිගටම ලියපන්

    ReplyDelete
  39. Hammiyoooo 😱😱 madei oin giya

    ReplyDelete
  40. Hammiyoooo 😱😱 madei oin giya

    ReplyDelete

තැන්කූ බං