16.5.16

අම්මට හුඩු ඩේ ජා වූ



එකම දේ දෙපාරක් වෙන්නෑ . ඒක ලෝක සුබාවේ . ඒත් ජීවිතේදී අපි අත්දකින සමහර පුංචි පුංචි සිදුවීම් .. මීට කලින් දැකලා තියෙනවා නේද කියලා පටස් ගාලා ඔලුවට එන අමුතුම හැඟීමක් අපි ඉඳලා හිටලා විඳිනවා.. තත්පර ගානකින් ඇතිවෙලා තත්පර ගානකින් චුත වෙලා යන මේ අරුම පුදුම මානසික කෙලිය නිසා මොහොතකට අපි පුදුම වෙනවා .. ඊළඟ මොහොතෙ ඒක අමතක කරලා දානවා ..

අන්න ඒ මානසික පෙරළියට සුද්දා දීපු නම තමයි ඩේ ජා වූ . .

පුංචිම කාලේ මට ඩේජාවූ හැදෙන්න පටන් ගත්තාම ඉක්කා වැටෙන්නා වාගේ කීප විටක්ම එක දිගට ඒක සිදු වෙන්න පටන් ගත්තා .. මේ සිද්ද වෙන දේ විස්තර කරන්නවත් බැරි තරමට මම මේ මානසික අවුලේ පැටලිලා හිටියා . ඩේජාවූ නිසා මට හිතාගන්න බැරි තරම් කරදර විඳින්න සිද්ද වුණා .. වැලේ වැල් නැතිව පැය ගණන් ඒ ගැන කල්පනා කර කර හිටියා ..

ඉතින් මේ කියන්නේ මට අමතක නොවිච්චි නිර්ලජ්ජිත ඩේජාවූ මතක සටහන්  වලින් කීපයක් විතරයි..

මං ජීවිතේ පුංචිම කාලේ ගෙවුවේ අම්පාර , පදියතලාව කියන ගම ඇතුළේ  හැංඟිලා තිබුණ කැලෑ ගම්මානයක් වෙච්චි වහව කියන ගමේ ..

වහව , ලූණු  බොක්ක , මාරාව කියන ග්‍රාමසේවා වසම් තුනේම ග්‍රාමසේවක වුණේ මගේ තාත්තා . ඊයේ පෙරේදා විදුලිය ලැබුණ මේ ගම්මානවල ඉස්සර කාලේ සුන්දරත්වේ මං අමුතුවෙන් වනන්ඩ ඕනෑ නෑ නේ ..
ඒ වනගත ජීවිතේ ගෙවපු අපි නාන්ඩ , කක්කුස්සි යන්න මේ හැමදේටම ගියේ බොහොම හොඳට වතුර තිබ්බ හරි අපූරු ඔයක් අයිනට .. දවසක් අම්මයි මමයි ඔයේ නාන්ඩ ගිය අතරේ අම්මා දිහෑවට ඇදීගෙන ආපු අමුතු සර්පයෙක්ව මං දැක්කා ..

“අම්මේ මේං සර්පයා ..” කියලා කියන්ඩ ..මට තේරුමක් නෑ .බොහොම පොඩි එකෙක් වෙච්ච මගේ මනස එතකොට හරිම ළාමකයි ..දැනටත් හරිම ළාමකයි  ..

ඔන්න ඔතනදී මට මුලින්ම ඩේජාවූ හැදුණා  

“අම්මා මං ඒක දැක්කා .. මං ඒක දැක්කා  . මට ඉබේම එහෙම කියැවුණා ..”

තමන්ගේ මෝඩ පුතා මේ දැක්කේ මොකක්ද කියලා බලන්න අම්මා වටපිට බලන්න ඇති ... අපේ දිහාවට ඇදිලා එන කැති මිටක් තරම් දිග සර්ප නාම්බව එයා දකින්න ඇති.. ඒ නිසාම අනතුරක් නොවී පණ  බේරගෙන යන්න අපිට පුළුවන් වුණා.. එදා මං මගේ අම්මව බේරගත්තා ..

ඒ වෙච්චි සිද්දිය මගේ හිතේ තදින්ම වැදිලා තිබුණ නිසා එදයින් පස්සේ හැම ඩේජාවූ සීන් එකක් හැදුන ගමන් “මං මේක කලින් දැක්කා “ කියලා මට ඉබේටම කියැවෙන්න පටන් ගත්තා .

ඒ සිද්දියෙන් කාලෙකට පස්සේ .. උගුරැස්ස පැහෙන කාලෙක ..මමයි මගේ තාත්තයි අපෙ පුංචි ආච්චිගේ ගෙදරට ගියා .. මතක හැටියෙට මං එතකොට ඉස්කෝලේ එක වසරේ .. පුංචි ආච්චි කියලා මං හඳුන්වවුවේ මගෙ තාත්තගේ පුංචම්මාව .එයා ඒ වෙනකොට ජීවිතේ හැන්දෑ කාලේ ගෙව ගෙවා හිටියා  .

කෙල්ල කාලේ අම්පාරේ කොරියෙ කැලේ දර කඩන්න ගියාම අලියෙක් ගහලා එයාගේ කකුල් දෙකම පණ නැතිව ගිහින් තිබුනා . ඉතින් පුංචි ආච්චි හැම දේම කළේ බිම ඉඳගෙන .. කෑවේ, බිවුවේ, නිදාගත්තේ වගේම කක්කුස්සි ගියෙත් බිම තියාපු ඇලුමිනීයම් පෝච්චියකට ..

වයසක කාන්තාවක් වුණත්, පෝච්චියට වැසිකිළි  ගියත් පුංචි ආච්චි බොහොම පිරිසිදුවට,ආඩම්බරේට උන්නා ..එයා වැසිකිළි  ගියාම එයාගේ ඇලුමිණීයම්  පෝච්චිය කවුරු හරි අස් කරනකම් ඒකේ ඇතුළේ  තියෙන මළපහ  ගොඩ කවුරුත් නොදකින විදිහට පත්තර පිටු වලින් වහනවා.. ඒ වයසක අයගේ අභිමානය .

එදා පුංචි ආච්චිගේ ගෙදර ගියපු මම කතාවක් අහන්න හිතාගෙන කෙළින්ම  ගියේ පුංචි ආච්චි ඉන්න කාමරේට ..මේ වෙලාවේ ආච්චි වැසිකිළි  ගිහිල්ලා අත පය හෝදගෙන පෝච්චියේ තිබුණ මළපහ  පත්තරේකින් වහන වෙලාව ..හරිනම් මං ආයෙත් හැරිලා නොදැක්කා වගේ යන්න ඕන වෙලාව..

පූරුවේ කරුමෙක මහත.. හදිසියේම ඔය හරියෙදි මට ඩේජාවූ හැදුණා  .. මං මේ සිදුවීමම මීට කලින් කොහෙදි හරි දැක්ක බව මගේ මනස කියන්න පටන් ගත්තා .. නොදැනීම මට මෙහම කියැවුණා ..

“මං ඒක කලින් දැක්කා !!”

හයියෝ සංසාරේ !! ආච්චි හිතුවේ මං එයාගේ මළපහ  ගොඩ දැක්කා කියලයි .

“මො .. මොකක්ද ..නෑ නෑ ..මේ මං නෙවෙයි.. මේ සතෙක් ජරා කරලා ..ඔය ඔතනින් හොර පූසෙක් ගියා ඌ තමයි ජරා කරේ ” ආච්චි බොරු කියනවා

“නෑ නෑ මේක මං කලිනුත් දැක්කා !!”

මම තාමත් කියවන්නේ ඩේජා වූ ගැන.. පුංචි එකෙක් වෙච්චි මගේ මනස මේ සංකීර්ණ මානසික අවුල ලිහන්න තරම් දියුණු මදි .. වෙච්චි දේ තේරුම් ගන්න තරම් ආච්චිගේ මනස තියුණු මදි .. !

ආච්චි අඬ අඬා මට බැනලා මාව කාමරෙන් එළියට එලෝලා දාලා දොර වැහුවා ...

තමන්ගේ මළපහ  පොඩි එකෙක් දැක්ක ..ඒ භයානක සිදුවීම තදින්ම හිතට වැදිච්චි අසරණ පුංචි ආච්චි මානසිකව වැටුනා .. එයාට මල පැන්නේ නෑ.. මලබද්ධය හැදුණා  ..

“පොඩි එකා මගේ කක්කා පෝච්චිය දැකලා .. අනේ මට වාවන්නෑ ,ඒක මතක් වෙනකොට කක්කුස්සි යන්න බෑ..”  පුංචි ආච්චි එහෙම කියමින් ඇඬුවලු..

මල බද්දය උත්සන්න වෙලා පුංචි ආච්චිට වස්ති කරන්න සිද්ද වුණා .වස්තියෙන් වස්තිය යද්දී පුංචි ආච්චිට අන්තිම වුණා .. පවුලේ වැඩිහිටියෝ අදටත් මතක් කරන විදිහට පුංචි ආච්චි මලේ මං ගැන මලෙන් (තරහෙන්) !!
යාළුවොත් එක්ක බිලා පාන්දර ජාමේ දඩයන් තලාව පාලම ගාවින් තනිවම එද්දි මට ඉඳ හිට පුංචි ආච්චිගේ කක්කුස්සි පෝච්චිය මැවිලා පේනවා .. හීතල පාන්දරක වුණත් ඇඟට හීන් දාඩිය දානවා .. “මං මොනවා කරන්නද ? ..වෙච්චි දේ වුණා” එතකොට මං හිත හදාගන්නවා ...

කාලේ ගත වෙලා මං ඇටෙන් පොත්තෙන් එළියට එන්න හදන දඩබ්බර කාලේ මුල් අවදිය ඇරඹුනා ..

එතකොට මං ඉස්කෝලේ පහ වසරේ .. මගේ වයසේ අනික් උන් වගේම මමත් මහා දරුණු සිස්සත්ත විබාගෙට ලියන්න විභාග ශාලාවේ ඉඳගෙන හිටියා .. ශාලාවේ ටීචර් කෙනෙක් බෙද බෙදා යන භයානක සිස්සත්ත පේපරේ මගේ ළඟට එනකම් මං වෙවුලමින් බලාගෙන හිටියා .

ප්‍රශ්න සේරටෝම ලියන්න ඕන, කෑගහන්න බෑ .. උවමනාවක් නම් මේසෙට තට්ටුවක් දාන්න මං එනවා ..
පේපරේ මගේ අතට දුන්නු නපුරු පෙනුමක් තිබුනු ගුරුවරියක් එහෙම කිවුවා ..ඔන්න එතකොටම මට ඩේජා වූ හැදුණා  ..

“මං ඒක කලින් දැක්කා ..”

හිතේ තිබුණ පීඩනේ වැඩි කමට, ශිෂ්‍යත්ව පේපරේ මගෙ අතට ලැබෙන තත්පරේදිම මට එහෙම කියැවුණා ..
“මොකක්ද දැක්කේ .. ඔය ළමයා මේ පේපරේ කලින් කරාද ? .. කොහෙන්ද ? අම්මා හරි තාත්ත හරි චීචර්ස් ලද ?”

පේපරේ ප්‍රශ්න මදිවට මට තවත් ප්‍රශ්න එකතු වෙලා . මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මට ශාලාධිපති තුමා ගාවට ගාටන්න සිද්ද වෙලා..

“ඔය පුතා මේ පේපරේ කලින් දැක්කේ කොහේදිද ?”

“මං දැක්කේ නෑ සර්”

“නෑ නෑ බොරු ..පේපරේ දැක්කා කියලා ඔය ළමයගෙ කටින්ම අහු වුණා ..”

වෙච්චි දේ තේරුම් කරන්නේ කොහොමද ?. වෙච්චි දේ කියන්න වචන ඒ වෙනකොටත් මගෙ හෝඩියේ නෑ .විනාඩි විස්සක ප්‍රශ්න කිරීමකින් පස්සේ මට ආයෙත් විභාගේ ලියන්න යන්න ලැබුණා .ඒත් මාව සැක කරපු ඒ දරුණු ටීචර්.මා ගාවම පුටුවක් තියාගෙන ඉඳගෙන මගේ මූණ දිහෑ බලාන පේපරේ ඉවර වෙනතුරුම ඔරවගෙන හිටියා.මං පේපරේ උඩින් පල්ලෙන් ලියලා බුම්මගෙන උන්නා.. කාලි මෑණියන්ගේ පෙනුමට සමාන ඒ ගුරු මෑණියෝ මගේ සිස්සත්ත විභාගේ බිල්ලට ගත්තා ..

මං කොහොමත් ව්භාග ෆේල් වෙන නැකතකින් උපන් එකෙක් නිසා ඒ ශිෂ්‍යත්වේ ෆේල් වුණා කියලා අමුතුවෙන් නැති වෙන්නවත්, ඇති වෙන්නවත් දෙයක් මට තිබුණේ නෑ .. අරළු පෙති බීලා බඩඑළිය ගියා වගේ ඒ සිදුවීමත් බුරුස් ගාලා යන්න ගියා ..

දැලි රැවුල් මතුවෙන, මොරාල් අප් වෙන කාලේ පහු කරමින් සාමාන්‍යපෙළ පන්තිවලටත් මම අමාරුවෙන් බඩගාගෙන වගේ ආවා .. ජීවිතේ තදින්ම රිදිච්චි ඩේ ජා වූ අත්දැකීම මං එතනින් අරගත්තා ..

ඒ වෙසක් මාසේ එක දවසක් .. ඉගෙනගන්න එක පැත්තක තියෙලා මමත් මගේ පන්තියේ කෙල්ලෝ සහ කොල්ලෝ ඔක්කෝමත් එකතු වෙලා වෙසක් කුඩු හදමින් .. පන්තියේ බාල්ක වල එල්ලමින් බොදු බැතියෙන් ඔකඳ වෙන ගමන්, දැහැමෙන් සෙමින් ගණිත පීරියඩ් එක කට් කරමින් උන්නා . අද කාලේ ඕ ලෙවල් පොඩි එවුන් කුණු හරුප රැප් කරනකොට ඒ කාලේ වෙසක් කූඩු හද හදා හිටි අපි ගැන ලියන්නත් ලැජ්ජයි .. 

සුදු පාටින් කොළ අලවලා, පාට පාටින් රැළි දාන වෙසක් කූඩු වහලේ බාල්ක වල එල්ලන්න මම ඩෙස්ක් එකක් උඩ නැගලා හිටියා .. බිම උන්න පන්ති නායිකාව මට උපදෙස් දෙමින් හිටියා.. ඒකිගේ නම බුද්දිකා .

“සඳරු ඒ ඔහොම නෙවේ .. ඔය රැළි පැටලිලා .. නෑ නෑ ඒ ඔහොම අදින් එපා නූල කැඩෙයි .. කෝ පැත්තක් ඇදයිනේ ..!”

“ඔන්න ඔහේ තෝම කරපිය ..මං බහිනවා බිමට ..”

ඌරු ජුවල් නැග්ග නිසා මං ඩෙස් එකෙන් බැහැලා පැත්තකට වුණා ..
“හ්ම් මං ම කරලා පෙන්වන්නම්කෝ ..”

බුද්ධිකා කෙල්ල අමාරුවෙන් ඩෙස් එක උඩට නැංඟා .. හොඳින් එල්ලලා තිබ්බ වෙසක් කූඩුවම ආයෙත් ඒකිට ඔනෑ විදිහට හදලා .. ඒකි ඩෙස් එකෙන් බිමට පැන්නා ..

බුද්ධිකා බිමට පැන්නා .. ඒකිගේ ගවුම පැරචුට් එකක් වගේ ඉහල ගියා .නිවුටන්ගේ නියමයක් සඵල වුණා උඩ ගිය ගවුම අස්සෙන් බැබළුණ  චූඩාමාණික්‍යක් නිල් පාටින් දිස්නෙ දුන්නා .. ඇස් තියෙන කොල්ලොන්ට ඉස්ම යන තරමට දිස්නෙ දුන්නු ඒ ආලෝක පූජාව දකින්න මමත් පවු කරලා තිබුණා ..

ඒ අස්සේ මට ඩේ ජා වූ හැදුණා  !!

“අම්මට හුඩු මං ඒක කලින් දැක්කා !!”  කීවා නෙවෙයි මට කියැවුණා ..

පන්තියෙ කොල්ලන්ගේ , කෙල්ලන්ගේ කටවල් ඇරිලා හකු පැන්නා ...

 “මොකද්දෑ සඳරුවෝ තෝ කීවේ ..තෝ කොහොමද ඒක කලින් දැක්කේ .. කියාපිය කියාපිය .. උඹලා දෙන්නගේ ජිංගි චිකා ..ඈ ඈ”

වෙසක් කූඩු හැදිල්ල පැත්තක දාපු පන්තියේ උන් බුද්ධිකාටත් මටත් වෙඩින් කාඩ් හදන්න කොන්ත්‍රාත්තුව බාර ගත්තා ..

බුද්ධිකාට ඩෝං ගියා ඒකි කෙළින්ම  ගිහින් උසස් පෙළ පන්තියක උන්නු ඒකිගේ බෝයි මහත්තයා හෙවත් අජිත් සේන කියන චණ්ඩියාට මේ කතාව කියලා තිබුණා .. ආලෝක පූජාව බලපු පවු මට පඩිසන් දුන්නා.. අජිත් සේන උගෙ ගැන්සියත් එක්ක අවුදින් මගෙ තොල් පැලෙන්න අඩි දුන්නා ..  බුද්ධිකා දින්නා ..

හරියටම ඊට දවස් දෙකකට පස්සේ මං (අපි) අජිත සේනගෙන් පලිගත්තා ..

මගේ හොඳම බොක්ක සහ වරලත් බොඩිගාඩ් කිතුලා ඉස්කෝලේ කුණු වල ගාවදී අජිත සේනට කැරකිලා වැටෙන්න පාරක් ගැහුවා .. මමත් නිකම් හිටියෙ නෑ ..පරණ වෙච්චි බත් පාර්සලකින් අජිත සේනගේ හොම්බටම දමලා ඇරියා .. අජිත සේන හොම්බෙන් ගියා .. මං දින්නා ..

පිස්සු හැදෙන තරම් සතුටින් අම්පාරේ ගත කළ වසන්ත කාලේ  මටත් හොරෙන් ඉවර වෙලා තිබුණා ..සිංහල රයිටරයෙක් විදිහට කොළඹ ජොබක් ලැබුණාට  පස්සේ මට ඩේජාවූ අමතක වුණා …

කොළඹ ජීවිතේ ගතකරන ජීවිතේ එකම හොඳ විදිහට මට දැනුනේ විවිධ ජාතියේ රට අරක්කු හිතේ හැටියට බොන්න හොඳ චාන්ස් එකක් ලැබිච්චි එක .. කොළඹ ඔෆිස් එකේ උදවිය ගමේ උන් වගේ ගල් අරක්කු බොනවා හරිම අඩුයි .. නොබොනවත් නෙවෙයි ..

ට්‍රැෆික් එක වැඩි දවසක, හැන්දෑවෙ හවසක නුගේගොඩ හන්දියේ රොමියෙල් කියලා තැබෑරුමක අපි මතට සෙට් වුණා..මගේ සහෝදර සිංහල රයිටරයෙක් වෙච්ච ගිහාන් මං එක්ක එකතු වුණා .. ඒ වෙලාවේ තමයි මගේ හිතේ පිස්සු නටමින් තිබුණ මේ සිදුවීම් ගැන මම ගිහාන් ගෙන් ඇහුවේ ..

“අඩේ ගිආන් ෂමහර ශීන්ස් දැක්කම ..ඉක්..ඉක්..  මට ඉතෙනවා බං මං ඒවුවා කලින් දැකලා තියෙනවා කියලා ..මට අධි මානසික මෝලක්වත් තියේද දන්නෑ බං ..මචං.. ඈම් අ සම් කයින්ඩ සූටබල් ගායිද ..අයි ඩෝන්නෝ බට් අයි බිකෝස් සම්තිං මචං ”

“හරි හරි බං ඒක නෝමල් බං . ඒකට කියන්නේ ඩේ ජා වූ කියලා !..”

ගිහාන් මට ඩේ ජා වූ ගැන කියා දුන්නා .. මං කට ඇරගෙන අහගෙන හිටියා ..

අන්තිමේට මට හිනා ගියා .. ගුලි  කාපු එකෙක් වගේ හිනා ගියා .ඉංග්‍රීසියෙනුත් හිනා ගියා. අමාරුවෙන් හිනාව තද කරගෙන මං වීදුරුවේ තිබ්බ අරක්කු සොට් එක ගුඩුස් ගාලා ඇදලා ඇරියා .. පොඩ්ඩක් විතර ඇඟේ හලාගත්තා..

වෙරි පිට නිදාගත්ත එදා රෑ මට මහා අමුතු හීනයක් පෙනුණා  ..

පදියතලාවේ ඉඳන් ආපු සර්පයෙක් වැසිකිළි  පෝච්චියක දරණ ගහගෙන හිටියා .. උගේ ඇඟට උඩ විසාල අසූචි ගොඩක් තිබුණා .. පහ වසරේ ශිෂ්‍යත්ව පේපරේකින් ඒ අසූචි ගොඩ වහන්න වයසක ආච්චි කෙනෙක් උත්සහ කරමින් ඉඳින අතරේ .. මගේ ඕලෙවල් පන්තියේ පන්ති නායිකාව බුද්ධිකා පැරචුට් එකක් දාගෙන ඇවිත් මේ අසූචි ගොඩ උඩට පැන්නා .. බුද්ධිකාගේ .....



නෑ නෑ..මට මතක එච්චරයි ..