16.5.16

අම්මට හුඩු ඩේ ජා වූ



එකම දේ දෙපාරක් වෙන්නෑ . ඒක ලෝක සුබාවේ . ඒත් ජීවිතේදී අපි අත්දකින සමහර පුංචි පුංචි සිදුවීම් .. මීට කලින් දැකලා තියෙනවා නේද කියලා පටස් ගාලා ඔලුවට එන අමුතුම හැඟීමක් අපි ඉඳලා හිටලා විඳිනවා.. තත්පර ගානකින් ඇතිවෙලා තත්පර ගානකින් චුත වෙලා යන මේ අරුම පුදුම මානසික කෙලිය නිසා මොහොතකට අපි පුදුම වෙනවා .. ඊළඟ මොහොතෙ ඒක අමතක කරලා දානවා ..

අන්න ඒ මානසික පෙරළියට සුද්දා දීපු නම තමයි ඩේ ජා වූ . .

පුංචිම කාලේ මට ඩේජාවූ හැදෙන්න පටන් ගත්තාම ඉක්කා වැටෙන්නා වාගේ කීප විටක්ම එක දිගට ඒක සිදු වෙන්න පටන් ගත්තා .. මේ සිද්ද වෙන දේ විස්තර කරන්නවත් බැරි තරමට මම මේ මානසික අවුලේ පැටලිලා හිටියා . ඩේජාවූ නිසා මට හිතාගන්න බැරි තරම් කරදර විඳින්න සිද්ද වුණා .. වැලේ වැල් නැතිව පැය ගණන් ඒ ගැන කල්පනා කර කර හිටියා ..

ඉතින් මේ කියන්නේ මට අමතක නොවිච්චි නිර්ලජ්ජිත ඩේජාවූ මතක සටහන්  වලින් කීපයක් විතරයි..

මං ජීවිතේ පුංචිම කාලේ ගෙවුවේ අම්පාර , පදියතලාව කියන ගම ඇතුළේ  හැංඟිලා තිබුණ කැලෑ ගම්මානයක් වෙච්චි වහව කියන ගමේ ..

වහව , ලූණු  බොක්ක , මාරාව කියන ග්‍රාමසේවා වසම් තුනේම ග්‍රාමසේවක වුණේ මගේ තාත්තා . ඊයේ පෙරේදා විදුලිය ලැබුණ මේ ගම්මානවල ඉස්සර කාලේ සුන්දරත්වේ මං අමුතුවෙන් වනන්ඩ ඕනෑ නෑ නේ ..
ඒ වනගත ජීවිතේ ගෙවපු අපි නාන්ඩ , කක්කුස්සි යන්න මේ හැමදේටම ගියේ බොහොම හොඳට වතුර තිබ්බ හරි අපූරු ඔයක් අයිනට .. දවසක් අම්මයි මමයි ඔයේ නාන්ඩ ගිය අතරේ අම්මා දිහෑවට ඇදීගෙන ආපු අමුතු සර්පයෙක්ව මං දැක්කා ..

අම්මේ මේං සර්පයා ..” කියලා කියන්ඩ ..මට තේරුමක් නෑ .බොහොම පොඩි එකෙක් වෙච්ච මගේ මනස එතකොට හරිම ළාමකයි ..දැනටත් හරිම ළාමකයි  ..

ඔන්න ඔතනදී මට මුලින්ම ඩේජාවූ හැදුණා  

අම්මා මං ඒක දැක්කා .. මං ඒක දැක්කා  . මට ඉබේම එහෙම කියැවුණා ..”

තමන්ගේ මෝඩ පුතා මේ දැක්කේ මොකක්ද කියලා බලන්න අම්මා වටපිට බලන්න ඇති ... අපේ දිහාවට ඇදිලා එන කැති මිටක් තරම් දිග සර්ප නාම්බව එයා දකින්න ඇති.. ඒ නිසාම අනතුරක් නොවී පණ  බේරගෙන යන්න අපිට පුළුවන් වුණා.. එදා මං මගේ අම්මව බේරගත්තා ..

ඒ වෙච්චි සිද්දිය මගේ හිතේ තදින්ම වැදිලා තිබුණ නිසා එදයින් පස්සේ හැම ඩේජාවූ සීන් එකක් හැදුන ගමන් “මං මේක කලින් දැක්කා “ කියලා මට ඉබේටම කියැවෙන්න පටන් ගත්තා .

ඒ සිද්දියෙන් කාලෙකට පස්සේ .. උගුරැස්ස පැහෙන කාලෙක ..මමයි මගේ තාත්තයි අපෙ පුංචි ආච්චිගේ ගෙදරට ගියා .. මතක හැටියෙට මං එතකොට ඉස්කෝලේ එක වසරේ .. පුංචි ආච්චි කියලා මං හඳුන්වවුවේ මගෙ තාත්තගේ පුංචම්මාව .එයා ඒ වෙනකොට ජීවිතේ හැන්දෑ කාලේ ගෙව ගෙවා හිටියා  .

කෙල්ල කාලේ අම්පාරේ කොරියෙ කැලේ දර කඩන්න ගියාම අලියෙක් ගහලා එයාගේ කකුල් දෙකම පණ නැතිව ගිහින් තිබුනා . ඉතින් පුංචි ආච්චි හැම දේම කළේ බිම ඉඳගෙන .. කෑවේ, බිවුවේ, නිදාගත්තේ වගේම කක්කුස්සි ගියෙත් බිම තියාපු ඇලුමිනීයම් පෝච්චියකට ..

වයසක කාන්තාවක් වුණත්, පෝච්චියට වැසිකිළි  ගියත් පුංචි ආච්චි බොහොම පිරිසිදුවට,ආඩම්බරේට උන්නා ..එයා වැසිකිළි  ගියාම එයාගේ ඇලුමිණීයම්  පෝච්චිය කවුරු හරි අස් කරනකම් ඒකේ ඇතුළේ  තියෙන මළපහ  ගොඩ කවුරුත් නොදකින විදිහට පත්තර පිටු වලින් වහනවා.. ඒ වයසක අයගේ අභිමානය .

එදා පුංචි ආච්චිගේ ගෙදර ගියපු මම කතාවක් අහන්න හිතාගෙන කෙළින්ම  ගියේ පුංචි ආච්චි ඉන්න කාමරේට ..මේ වෙලාවේ ආච්චි වැසිකිළි  ගිහිල්ලා අත පය හෝදගෙන පෝච්චියේ තිබුණ මළපහ  පත්තරේකින් වහන වෙලාව ..හරිනම් මං ආයෙත් හැරිලා නොදැක්කා වගේ යන්න ඕන වෙලාව..

පූරුවේ කරුමෙක මහත.. හදිසියේම ඔය හරියෙදි මට ඩේජාවූ හැදුණා  .. මං මේ සිදුවීමම මීට කලින් කොහෙදි හරි දැක්ක බව මගේ මනස කියන්න පටන් ගත්තා .. නොදැනීම මට මෙහම කියැවුණා ..

මං ඒක කලින් දැක්කා !!”

හයියෝ සංසාරේ !! ආච්චි හිතුවේ මං එයාගේ මළපහ  ගොඩ දැක්කා කියලයි .

මො .. මොකක්ද ..නෑ නෑ ..මේ මං නෙවෙයි.. මේ සතෙක් ජරා කරලා ..ඔය ඔතනින් හොර පූසෙක් ගියා ඌ තමයි ජරා කරේ ” ආච්චි බොරු කියනවා

නෑ නෑ මේක මං කලිනුත් දැක්කා !!”

මම තාමත් කියවන්නේ ඩේජා වූ ගැන.. පුංචි එකෙක් වෙච්චි මගේ මනස මේ සංකීර්ණ මානසික අවුල ලිහන්න තරම් දියුණු මදි .. වෙච්චි දේ තේරුම් ගන්න තරම් ආච්චිගේ මනස තියුණු මදි .. !

ආච්චි අඬ අඬා මට බැනලා මාව කාමරෙන් එළියට එලෝලා දාලා දොර වැහුවා ...

තමන්ගේ මළපහ  පොඩි එකෙක් දැක්ක ..ඒ භයානක සිදුවීම තදින්ම හිතට වැදිච්චි අසරණ පුංචි ආච්චි මානසිකව වැටුනා .. එයාට මල පැන්නේ නෑ.. මලබද්ධය හැදුණා  ..

පොඩි එකා මගේ කක්කා පෝච්චිය දැකලා .. අනේ මට වාවන්නෑ ,ඒක මතක් වෙනකොට කක්කුස්සි යන්න බෑ..”  පුංචි ආච්චි එහෙම කියමින් ඇඬුවලු..

මල බද්දය උත්සන්න වෙලා පුංචි ආච්චිට වස්ති කරන්න සිද්ද වුණා .වස්තියෙන් වස්තිය යද්දී පුංචි ආච්චිට අන්තිම වුණා .. පවුලේ වැඩිහිටියෝ අදටත් මතක් කරන විදිහට පුංචි ආච්චි මලේ මං ගැන මලෙන් (තරහෙන්) !!
යාළුවොත් එක්ක බිලා පාන්දර ජාමේ දඩයන් තලාව පාලම ගාවින් තනිවම එද්දි මට ඉඳ හිට පුංචි ආච්චිගේ කක්කුස්සි පෝච්චිය මැවිලා පේනවා .. හීතල පාන්දරක වුණත් ඇඟට හීන් දාඩිය දානවා .. “මං මොනවා කරන්නද ? ..වෙච්චි දේ වුණා එතකොට මං හිත හදාගන්නවා ...

කාලේ ගත වෙලා මං ඇටෙන් පොත්තෙන් එළියට එන්න හදන දඩබ්බර කාලේ මුල් අවදිය ඇරඹුනා ..

එතකොට මං ඉස්කෝලේ පහ වසරේ .. මගේ වයසේ අනික් උන් වගේම මමත් මහා දරුණු සිස්සත්ත විබාගෙට ලියන්න විභාග ශාලාවේ ඉඳගෙන හිටියා .. ශාලාවේ ටීචර් කෙනෙක් බෙද බෙදා යන භයානක සිස්සත්ත පේපරේ මගේ ළඟට එනකම් මං වෙවුලමින් බලාගෙන හිටියා .

ප්‍රශ්න සේරටෝම ලියන්න ඕන, කෑගහන්න බෑ .. උවමනාවක් නම් මේසෙට තට්ටුවක් දාන්න මං එනවා ..
පේපරේ මගේ අතට දුන්නු නපුරු පෙනුමක් තිබුනු ගුරුවරියක් එහෙම කිවුවා ..ඔන්න එතකොටම මට ඩේජා වූ හැදුණා  ..

මං ඒක කලින් දැක්කා ..”

හිතේ තිබුණ පීඩනේ වැඩි කමට, ශිෂ්‍යත්ව පේපරේ මගෙ අතට ලැබෙන තත්පරේදිම මට එහෙම කියැවුණා ..
මොකක්ද දැක්කේ .. ඔය ළමයා මේ පේපරේ කලින් කරාද ? .. කොහෙන්ද ? අම්මා හරි තාත්ත හරි චීචර්ස් ලද ?”

පේපරේ ප්‍රශ්න මදිවට මට තවත් ප්‍රශ්න එකතු වෙලා . මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මට ශාලාධිපති තුමා ගාවට ගාටන්න සිද්ද වෙලා..

ඔය පුතා මේ පේපරේ කලින් දැක්කේ කොහේදිද ?”

මං දැක්කේ නෑ සර්”

නෑ නෑ බොරු ..පේපරේ දැක්කා කියලා ඔය ළමයගෙ කටින්ම අහු වුණා ..”

වෙච්චි දේ තේරුම් කරන්නේ කොහොමද ?. වෙච්චි දේ කියන්න වචන ඒ වෙනකොටත් මගෙ හෝඩියේ නෑ .විනාඩි විස්සක ප්‍රශ්න කිරීමකින් පස්සේ මට ආයෙත් විභාගේ ලියන්න යන්න ලැබුණා .ඒත් මාව සැක කරපු ඒ දරුණු ටීචර්.මා ගාවම පුටුවක් තියාගෙන ඉඳගෙන මගේ මූණ දිහෑ බලාන පේපරේ ඉවර වෙනතුරුම ඔරවගෙන හිටියා.මං පේපරේ උඩින් පල්ලෙන් ලියලා බුම්මගෙන උන්නා.. කාලි මෑණියන්ගේ පෙනුමට සමාන ඒ ගුරු මෑණියෝ මගේ සිස්සත්ත විභාගේ බිල්ලට ගත්තා ..

මං කොහොමත් ව්භාග ෆේල් වෙන නැකතකින් උපන් එකෙක් නිසා ඒ ශිෂ්‍යත්වේ ෆේල් වුණා කියලා අමුතුවෙන් නැති වෙන්නවත්, ඇති වෙන්නවත් දෙයක් මට තිබුණේ නෑ .. අරළු පෙති බීලා බඩඑළිය ගියා වගේ ඒ සිදුවීමත් බුරුස් ගාලා යන්න ගියා ..

දැලි රැවුල් මතුවෙන, මොරාල් අප් වෙන කාලේ පහු කරමින් සාමාන්‍යපෙළ පන්තිවලටත් මම අමාරුවෙන් බඩගාගෙන වගේ ආවා .. ජීවිතේ තදින්ම රිදිච්චි ඩේ ජා වූ අත්දැකීම මං එතනින් අරගත්තා ..

ඒ වෙසක් මාසේ එක දවසක් .. ඉගෙනගන්න එක පැත්තක තියෙලා මමත් මගේ පන්තියේ කෙල්ලෝ සහ කොල්ලෝ ඔක්කෝමත් එකතු වෙලා වෙසක් කුඩු හදමින් .. පන්තියේ බාල්ක වල එල්ලමින් බොදු බැතියෙන් ඔකඳ වෙන ගමන්, දැහැමෙන් සෙමින් ගණිත පීරියඩ් එක කට් කරමින් උන්නා . අද කාලේ ඕ ලෙවල් පොඩි එවුන් කුණු හරුප රැප් කරනකොට ඒ කාලේ වෙසක් කූඩු හද හදා හිටි අපි ගැන ලියන්නත් ලැජ්ජයි .. 

සුදු පාටින් කොළ අලවලා, පාට පාටින් රැළි දාන වෙසක් කූඩු වහලේ බාල්ක වල එල්ලන්න මම ඩෙස්ක් එකක් උඩ නැගලා හිටියා .. බිම උන්න පන්ති නායිකාව මට උපදෙස් දෙමින් හිටියා.. ඒකිගේ නම බුද්දිකා .

සඳරු ඒ ඔහොම නෙවේ .. ඔය රැළි පැටලිලා .. නෑ නෑ ඒ ඔහොම අදින් එපා නූල කැඩෙයි .. කෝ පැත්තක් ඇදයිනේ ..!”

ඔන්න ඔහේ තෝම කරපිය ..මං බහිනවා බිමට ..”

ඌරු ජුවල් නැග්ග නිසා මං ඩෙස් එකෙන් බැහැලා පැත්තකට වුණා ..
හ්ම් මං ම කරලා පෙන්වන්නම්කෝ ..”

බුද්ධිකා කෙල්ල අමාරුවෙන් ඩෙස් එක උඩට නැංඟා .. හොඳින් එල්ලලා තිබ්බ වෙසක් කූඩුවම ආයෙත් ඒකිට ඔනෑ විදිහට හදලා .. ඒකි ඩෙස් එකෙන් බිමට පැන්නා ..

බුද්ධිකා බිමට පැන්නා .. ඒකිගේ ගවුම පැරචුට් එකක් වගේ ඉහල ගියා .නිවුටන්ගේ නියමයක් සඵල වුණා උඩ ගිය ගවුම අස්සෙන් බැබළුණ  චූඩාමාණික්‍යක් නිල් පාටින් දිස්නෙ දුන්නා .. ඇස් තියෙන කොල්ලොන්ට ඉස්ම යන තරමට දිස්නෙ දුන්නු ඒ ආලෝක පූජාව දකින්න මමත් පවු කරලා තිබුණා ..

ඒ අස්සේ මට ඩේ ජා වූ හැදුණා  !!

අම්මට හුඩු මං ඒක කලින් දැක්කා !!”  කීවා නෙවෙයි මට කියැවුණා ..

පන්තියෙ කොල්ලන්ගේ , කෙල්ලන්ගේ කටවල් ඇරිලා හකු පැන්නා ...

 “මොකද්දෑ සඳරුවෝ තෝ කීවේ ..තෝ කොහොමද ඒක කලින් දැක්කේ .. කියාපිය කියාපිය .. උඹලා දෙන්නගේ ජිංගි චිකා ..ඈ ඈ”

වෙසක් කූඩු හැදිල්ල පැත්තක දාපු පන්තියේ උන් බුද්ධිකාටත් මටත් වෙඩින් කාඩ් හදන්න කොන්ත්‍රාත්තුව බාර ගත්තා ..

බුද්ධිකාට ඩෝං ගියා ඒකි කෙළින්ම  ගිහින් උසස් පෙළ පන්තියක උන්නු ඒකිගේ බෝයි මහත්තයා හෙවත් අජිත් සේන කියන චණ්ඩියාට මේ කතාව කියලා තිබුණා .. ආලෝක පූජාව බලපු පවු මට පඩිසන් දුන්නා.. අජිත් සේන උගෙ ගැන්සියත් එක්ක අවුදින් මගෙ තොල් පැලෙන්න අඩි දුන්නා ..  බුද්ධිකා දින්නා ..

හරියටම ඊට දවස් දෙකකට පස්සේ මං (අපි) අජිත සේනගෙන් පලිගත්තා ..

මගේ හොඳම බොක්ක සහ වරලත් බොඩිගාඩ් කිතුලා ඉස්කෝලේ කුණු වල ගාවදී අජිත සේනට කැරකිලා වැටෙන්න පාරක් ගැහුවා .. මමත් නිකම් හිටියෙ නෑ ..පරණ වෙච්චි බත් පාර්සලකින් අජිත සේනගේ හොම්බටම දමලා ඇරියා .. අජිත සේන හොම්බෙන් ගියා .. මං දින්නා ..

පිස්සු හැදෙන තරම් සතුටින් අම්පාරේ ගත කළ වසන්ත කාලේ  මටත් හොරෙන් ඉවර වෙලා තිබුණා ..සිංහල රයිටරයෙක් විදිහට කොළඹ ජොබක් ලැබුණාට  පස්සේ මට ඩේජාවූ අමතක වුණා 

කොළඹ ජීවිතේ ගතකරන ජීවිතේ එකම හොඳ විදිහට මට දැනුනේ විවිධ ජාතියේ රට අරක්කු හිතේ හැටියට බොන්න හොඳ චාන්ස් එකක් ලැබිච්චි එක .. කොළඹ ඔෆිස් එකේ උදවිය ගමේ උන් වගේ ගල් අරක්කු බොනවා හරිම අඩුයි .. නොබොනවත් නෙවෙයි ..

ට්‍රැෆික් එක වැඩි දවසක, හැන්දෑවෙ හවසක නුගේගොඩ හන්දියේ රොමියෙල් කියලා තැබෑරුමක අපි මතට සෙට් වුණා..මගේ සහෝදර සිංහල රයිටරයෙක් වෙච්ච ගිහාන් මං එක්ක එකතු වුණා .. ඒ වෙලාවේ තමයි මගේ හිතේ පිස්සු නටමින් තිබුණ මේ සිදුවීම් ගැන මම ගිහාන් ගෙන් ඇහුවේ ..

අඩේ ගිආන් ෂමහර ශීන්ස් දැක්කම ..ඉක්..ඉක්..  මට ඉතෙනවා බං මං ඒවුවා කලින් දැකලා තියෙනවා කියලා ..මට අධි මානසික මෝලක්වත් තියේද දන්නෑ බං ..මචං.. ඈම් අ සම් කයින්ඩ සූටබල් ගායිද ..අයි ඩෝන්නෝ බට් අයි බිකෝස් සම්තිං මචං ”

හරි හරි බං ඒක නෝමල් බං . ඒකට කියන්නේ ඩේ ජා වූ කියලා !..”

ගිහාන් මට ඩේ ජා වූ ගැන කියා දුන්නා .. මං කට ඇරගෙන අහගෙන හිටියා ..

අන්තිමේට මට හිනා ගියා .. ගුලි  කාපු එකෙක් වගේ හිනා ගියා .ඉංග්‍රීසියෙනුත් හිනා ගියා. අමාරුවෙන් හිනාව තද කරගෙන මං වීදුරුවේ තිබ්බ අරක්කු සොට් එක ගුඩුස් ගාලා ඇදලා ඇරියා .. පොඩ්ඩක් විතර ඇඟේ හලාගත්තා..

වෙරි පිට නිදාගත්ත එදා රෑ මට මහා අමුතු හීනයක් පෙනුණා  ..

පදියතලාවේ ඉඳන් ආපු සර්පයෙක් වැසිකිළි  පෝච්චියක දරණ ගහගෙන හිටියා .. උගේ ඇඟට උඩ විසාල අසූචි ගොඩක් තිබුණා .. පහ වසරේ ශිෂ්‍යත්ව පේපරේකින් ඒ අසූචි ගොඩ වහන්න වයසක ආච්චි කෙනෙක් උත්සහ කරමින් ඉඳින අතරේ .. මගේ ඕලෙවල් පන්තියේ පන්ති නායිකාව බුද්ධිකා පැරචුට් එකක් දාගෙන ඇවිත් මේ අසූචි ගොඩ උඩට පැන්නා .. බුද්ධිකාගේ .....



නෑ නෑ..මට මතක එච්චරයි ..

29.4.16

නිල්පාට තට්ටම්

මචංලා ගොඩ කාලෙකට ඉස්සල්ලා අපේ රටේ තිබුණා දැයට කිරුළ කියලා පොඩි එක්සිබිසන් එකක් .. මට තාම මතකයි අපේ ගං වල අය ඩීමෝ බට්ටා ලොරියේ ඉඳන් කුබෝටාවේ පවා නැගලා ඈත පළාත් වල පැවැත් වුණ දැයට කිරුළ බලලා ඇවිල්ලා ගමේ ඉඳන් ආතල් ගත්ත හැටි ..

කොහොම හරි සීන් එක පටන් ගත්තේ දැයට අපේ  කිරුළ අපේ පළාතටත් එනවා කියලා නිල වසයෙන් තීන්දු කරලා ඉවර වෙච්ච කාලේ .  ඔන්න ඔය කාලේ තමයි අර මේඩින් චයිනා සීන් එකත් සිද්ද වුණේ .

ඒ දවස් වල ගමේ පාරවල් වල ගන්ඩම දෙයක් තිබුණේ නෑ .. පයින්වත් යන්ඩ බැරි තරමට පාර චාටර් වෙලා තිබුණා .. ඔලුවිල් වල අලුතෙන් හැදෙන වරායට ගල් වැලි ඇදපු සද්දන්ත ටිපර් දාස් ගානක් එක දිගටම ගිහිල්ලා ගිහිල්ලා .. වෙන වාහනයකට යන්ඩ බැරි තරමට පාර නැති නාස්ති වෙලා තිබුණා ..

දෙයියනේ කියළා දැයට කිරුළට පින්සිද්ද වෙන්න ඒ පාරවල් ටික ගින්දර වගේ හැදෙන්න පටන්ගෙන තිබුණා .. ඒත් පාර හදනකොට වදින දූවිල්ල නිසා යන්තම් පාරට බැහලා රවුමක් ගිහින් ආවත් ආයෙත් ගෙදර යද්දි අපේ හැඩ හුරුකම් සෙල්ල කතරගමට බාරයක් ඔප්පු කරන්ඩ බිම දිගේ බඩ ගාගෙන ආපු එකෙකුට සමාන වුණා ..

දවසක් මමයි .. මගේ යාළු මිත්‍රයෝ හය දෙනෙකුයි එක්කාසු වෙලා පොඩි මීටිමක් හෙම සාර්තකව ඉවර කරගෙන අඩවන් දෑසින් තීරණයක් ගත්තා අපේ ගමෙන් ටිකක් ඈත පාරවල් නොහැදෙන නිස්කලංක පැත්තක පොඩි දිය කඩිත්තක් හොයාගෙන ගිහින් නාලා එන්ඩ ඕනෑය කියලා ..

සමීර , ගලප්පත්ති , තාපසයා , රත්නායක , අමරෙ සහ සඳරු කියන අපි හය දෙනාගෙන් යුත් කණ්ඩායම මේ කාලකණ්ණි ගමන යන්න සෙට් වුණා ..

සිලි සිලි බෑග් කීපයක දාගත්ත රෙදි කීපයක් අරගෙන අපි හය දෙනෙක් බයික් තුනක නැගිලා .. අම්පාරෙන් කිලෝමීටර් කිහිපයක් ඈත සුන්දර පළාතක් වෙච්චි පොල් වගා ජනපදය බලා පිටත් වුණා ..


පම්පෝරි ගහනවා නෙවෙයි මචං.. අම්පාරේ තියෙන ලස්සනම ඒරියා එක තමයි අම්පාරෙ පොල් වගා ජනපදය. ඒකට හේතුව තමයි ගල් ඔයේ වතුර ටික ගලා බහින්නේ ඔය පොල් වගා ජනපදය මැදින් වීම .

ගල් ඔය තමයි අම්පාරේ හදවත .. නියගෙටවත් ලේසියෙන් හිඳෙන්නැති ගල් ඔයේ වතුර ටික තියෙන නිසා තමයි නැගෙනහිර අපිත් අද ඩයල් වගේ රඟාගෙන ඉන්නේ ..

පොල් වගාජනපදයට යන පාරත් පට්ට ලස්සනයි.. පාර දෙපැත්තෙන් කොයි පැත්ත බැලුවත් ඇත් දල පාට කකුල් තියෙන කෙල්ලෝ රංචු පිටින් ඇලේ නාන විසුවල් ඕනෑ තරම් .. ඒ මදිවට .. ඇළ ඉවුර දිගේ .. අඹ ගස් ,කජු ගස් , පොල් ගස් එක විමාණයයි මාර සරුසාර පොළොව ..අන්ඩවෙයාර් එක හිටෙවුවත් පැලවෙනවා ..

ඉතින් ඔන්න වගේ මග දෙපස සුන්දර සීන් බල බලා .. ඉස්සරහට ගියපු අපි බොහෝම සාමකාමී තැනක පුංචි දිය කඩිත්තක් හොයාගෙන නා කියාගත්තා .. පිරිමි නාන්ඩ ගියාම ගෑනුන්ට එහා .. පැය ගානක් නාලා නාලා තමා ගොඩ එන්නේ ..

හීතල වතුරෙන් නා කියාගෙන අපි ආයෙත් යන්න පිටත් වෙද්දි වෙලාව පහමාරට කිට්ටුයි ..

දවාලේ තිබ්බ ඉර අවුවත් බැහැලා ගිහින් .. බයික් වල යද්දී වදින හුලං පාරට සිතුවිලි නන්නත්තාර වෙනවා .. අපි පොල් වගා ජනපදේ පහුකරගෙන ටික දුරක් ඉදිරියට යමින් උන්නා .. ඔන්න ඔය අතරේ තමයි අපි හය දෙනා වසරේ මැජික් එක දැක්කේ ..

මොකද්ද ඒ මැජික් එක ..

තට්ටු දෙකේ බස් එකේ බස් එකක් අපේ ඉස්සරහට එනවා .. !! ඒ විතරක්  නෙවෙයි ඒ බස් එක පුරෝලා කෙල්ලෝ... 100% පියෝ කෙල්ලෝ !! ..

ටීවී එකෙන් ඇරුනාම මම නම් තට්ටු දෙකේ බස් එකක් කවදාවත් දැකලා තිබුණේ නෑ .. ඒ මදිවට ඒකේ කෙල්ලෝ .. උන් ට්‍රිප් එකක් යනවා වගේ ජොලි කර කර ගෙදර යනවා ..

ඔවු ..! ඒක ගාමන්ට් ගෑල්ලමයි වැඩ ඇරිලා ගෙදර යන බස් එකක්.. අම්පාර දැයට කිරුළ පැවැත්වෙන නිසා ඒකට විසේසෙන්ම ගෙන්වාපු බස් එකක් ..

පලවෙනි වතාවට අම්පාරෙ ගමන් අරඹපු ඒ බස් එකේ බඳේ දැයට කිරුළ කියලා ලොකුවට ලියා තිබුණා .මහින්ද මහත්තයගේ චුට්ටං ෆොටෝ එකකුත් සයිඩ් එකේ අලෝලා තිබුණා ..

ඉතින් නෝනෝ , මහත්තයෝ .. !

ඒ බස් එකේ ගිය කෙල්ලො සෙට් එක අරන් තිබුණ රිස්ක් එක උඹලා දන්නෑ .. ඔය කෙල්ලන්ගේ ගාමන්ට් එක අයිති ලොක්කා තද යූ ඇන්පී කනුවක් .. නම නොකීවට උඹලා දන්නවා ඇති .. උන්දෑගේ ගාමන්ට් එකේ ළමයින්ට වෙනම බස් සේවයක් තියෙනවා .. ඒත් ඒ බස් සේවේ අතෑරලා මහින්ද මහත්තයාගේ තට්ටු දෙකේ බස් එකේ නට නටා යන්න තරම් ගැම්ම තියෙන මේ කෙල්ලො සෙට් එක ගැන මට පට්ට රෙස්පට් එකක් උපන්නා .. ඉතින් ඒ රෙස්පට් එක නිසාම අපේ බයික් ඉබේටම නැවතුණා .. !

අඩෝ ඒ .. කෙල්ලො සෙට් එකක් යන්නේ .. ආපහු හරෝලා යමං .. ලැයින් පාරක් දැම්ම හැකි ..”

සමීරගේ යෝජනාව අහක දාලා කොල්ලන්ගේ හිත රිද්දන්න බැරි කමට මමත් ආපිට බයික් එක හරෝ ගත්තා.. ඔය කියන සන්දියේ මට කෙල්ලක් උන්න නිසා තවත් ලැයින් දාන්න කොහොමත් මට ඔනෑ වුණේ නෑ .. අනික තට්ටු දෙකේ බස් වල යන කෙල්ලන්ට ලැයින් දාන එක කෝමත් මගේ ඉස්ටයිල් එක නෙවෙයි ..

කලකට පස්සේ ඇළකට බැහැලා හීතල වතුර නාලා කොන්ඩේ පැත්තට පීරලා ප්‍රෙස් පිට හිටපු ගමේ කොල්ලන්ගේ කඩවසම් බව ඒමොහොතේ උච්චතම තලයක තිබුණා .. කඩවසම් බවේ පල නෙලාගන්න මේ තමයි හොඳම වෙලාව .

කෙල්ලන් ගේ බස් එක පස්සෙන් ගාඩ් එකට යන බයික් තුනක් වගේ අපි කට්ටියත් හෙමි හෙමීට තට්ටු දෙකේ බස් එකට ලං වුණා ..

බයික් වල පාස් ලයිට් දල්වලා හීනිය හෝන් පාරක් ගැහුවම කෙල්ලො සෙට් එකටත් පට්ට ආතල් .. උනුත් කිචි බිචි හඬින් ඇහෙන නෑහෙන ගානට මොන මොනාදෝ කියන්ඩ පටන්ගත්තා . අපිට පේන්න නොපෙනෙන්න වගේ නට නටා උන්නා ..

මගේ බයික්කේ පිටිපස්සේ උන්න ගලප්පත්ති .උගේ හෙල්මට් එක ගලෝලා මට දුන්නා ..

සඳරුවා මේක අතේ එල්ල ගනින් ..මාත් නොම්බර් එකක් අල්ලන්ඩ යන්නේ .. ”

අල්ලන ලබ්බක් අල්ලහං වැටෙන්ඩ විතරක් එපා ..”

ගලප්පත්ති හෙල්මට් එක ගලෝලා කොණ්ඩෙ නිකං විවේක් ඔබරෝයි වගේ පැත්තට පද්දලා බයික් එකේ හිට ගත්තා ..

මචලා .. මේ බයික්කේ උඩ හිට ගත්තා කියන්නේ .. ඔය ටැමිල් ෆිල්ම් වල දාන ඇඩ්වාන්ස් වැඩ කෑල්ලක් නම් නෙවෙයි නෙවෙයි.. අපේ ගමෙන් එහෙම වැඩ්ඩො බිහිවෙන්නේ ගොයං කැපෙන කාලෙට විතරයි .. ගලප්පත්තියා කළේ බයික්කේ ඉඳන් හිටි ඉරියවුව මාරු කරලා මගේ කරට බර දීලා නැගිටපු එක විතරයි .. ඒක බෝම ආරක්‍ෂිත ඉරියවුවක් ..

වලවල් බහුල පාරේ ඇද කුද  නුපුරුදු සද්දන්ත දෙමහල් බස් එක ඉදිරියට ඇදුනේ පැයට කිලෝමීටර් විස්සකටත් වඩා අඩු වේගයක් .. බයික් වල ගිය අපේ ගෑනු කිච්චෝ කීපදෙනාට ඒක දෙයියෝ දුන්න චාන්ස් එකක් වුණා.. මමත් අඩියෙන් අඩියෙ  බයික්කේ බස් එකට කිට්ටු කළා ...

ගලප්පත්ති බයික්කෙ උඩ හිටං උගේ ලේන්සුව අරන් බෙල්ල වටේ ගැට ගහ ගත්තා .. ගලප්පත්තිට සප් එක දෙන්න රත්නායකගේ බයික් එකේ උන්න සමීරයත් නැගිට්ටා .. අන්තිම බයික්කේ උන්න තාපසයා නම් යන්තම්වත් හෙල්ලුනේ නෑ .. ඌ ලබ්බ තිබ්බා වගේ වාඩි වෙච්ච විදිහට ගුලි වෙලා උන්නා .. ඒ උගෙ හැටි .!

ගලප්පත්ති අත් දෙක උඩට උස්සලා උදාර ලීලාවෙන්.. සිංහ සෙයියාවෙන් උගේ නම්බර් එක ඇල්ලුවා ..

වන්ටූ තී .. වන්ටූ තී
ආයු බෝ වේවා !! මහ ... රජා නනේ !!

මට බකස් ගාලා හිනා ගියා .. බස් එකේ උන්නු කෙල්ලො ටිකකත් ගුලි කාලා වගේ හිනා වෙනවා .. බස් එකේ කොන්දා පවා ෆිට් එකක් දාලා අපිට සප් එක දුන්නා .. ඉතින් හැමෝටම ආතල් ..

ඔය බස් එකේ හිටියා .. ගලප්පත්තියාටම ගැලපෙන පොඩි කෙල්ලක් .. ඒකිගේ කටත් ගලප්පතිටම දෙවනි නැති බව අපිට තේරුම් යන්ඩ වැඩි වෙලාවක් ගියේ නෑ ..

ටික වෙලාවකින් ගලප්පත්ති සමාන හැකර කටක් එක්ක, ආස්මි පාට හමක් තිබ්බ ඒ කෙලිපොඩ්ඩ ගලප්පත්තිගේ සින්දුවට සප් එක දුන්නා ..

ආයි බූ වීවා !!..

කෙල්ල නාසික්‍ය රාගයෙන් ගීතය වළඳනවා ..

.. ෆට්ට ආතල් බං .. උනුත් සින්දු කියනවා .. අපේ උනුත් සින්දු කියනවා .. අපි හෝන් ගහනවා . උන් යාන්තමට නටනවා .. බස් එක ගැස්සෙනවා .. කෙල්ලො බොරුවට කෑගහගෙන වැටෙනවා .අපි හිනා වෙනවා.. ආයේ ඒකාත්මික වෙනවා ..අඩෝ ඒ වගේ රට ආතල් ක්ලබ් වල නෑ ..

පාර දෙපස ඇළ මායිමේ ගස් කොළං බෝමයි .. නෝමල් බස් එකක් නම් මේ වගේ ගස් වල වදින්නෑ .. ඒත් මේ හදිසියේ ආපු දෙමහල් බස් එක අනික් බස් වගේ දෙගුණයක් උසයි .. ඒ නිසා ගස් වල අතු අතර වැදෙමින් පැටලෙමින් බස් එකට ඉස්සරහට යන්ඩ පොඩි ගේමක් දෙන්ඩ වුණා ..

ටිකෙන් ටික ඉස්සරට ගිය දෙමහල් බස් එක පාරට හුඟක් ඉහළින් තිබුන අඹ ගහක අතු වල වැදීගෙන ඉස්සරහට ගියා .. ගහෙන් කඩා හැලුන අඹ මල් වැස්සට අපිව නැහැවුණා .. හින්දි ෆිල්ම් පරාදයි ... සමීරයි විසිල් පාරක් ගැහුවා  ..

ජීවිතේට එන ලස්සන සීන් ඇස්පිය ගහන ඉක්මනට සුං වෙලා යනවා .. ඉතින් ඊළඟට ...

ඊළඟට බස් එකේ වහල බකිනි ගහක පැටලුණා .. දැවැන්ත බස් එක  බකිනි ගහේ අතු රිකිළි කඩාදාගෙන ඉස්සරට ගියා ..  තියරියට අනුව නම් සුවඳවත් බකිනි මල් වැස්සකින් පස්සෙන් එන අපි නෑහැවෙන්ඩ ඕන..  ඒත් එහෙම වුණේ නෑ දෙයියෝ ..

බකිනි ගහේ තිබුන දෙබර කූඩුවක පළුවක්  කැඩිලා බස් එක සහ බයික් අතර මැද පාරෙට වැටුනා .. ආයුබෝ වේවා ගීතය..දෙබර නාදය එක්ක රීමික්ස් වුණා ..

මම දුර තියා බයික්කේ හරවා ගත්තට .. අනික් බයික් තුන සංගීතයෙන් මත් වෙලා බ්‍රේක් නැතුව ගිහින් ඇවිස්සුන දෙබර රංචුව මැද්දෑවේ හිර වුණා ... ඉස්සරහින් ගිය රත්නායක කලබල වුණා ... උගේ පල්සර් 135 බයික්කේ පාර මැද පෙරළුණා  .. පිටිපස්සේ සින්දු කීව සමීර බිම දිගේ රෝල් වුණා .. ක්ලච් එක මිස් වෙලා අමරෙගෙ බයික් එකත් නතර වුණා ..

බස් එකේ උන්න කෙල්ලෝ විලාප දුන්නත් බස් ඩ්‍රයිවර් මොළේ ඇතුව බස් එක රේස් කරලා දුම් දාගෙන ඉස්සරහට ගියා .. ඒ දුම නිසා සහ බස් එකේ දොර ජනෙල් නිසා දෙබර ඇටෑක් එකෙන් කෙල්ලො බේරුණා .. කෙල්ලො ඉතින් මල් වගේ නොවැ .. දෙඹරන්ගෙන් බේරගන්ට එපෑ ....

අපිට මොකෑ වුණේ ..?

මමයි ගලප්පත්තියයි බයික්කේ නතර කරලා දුවගෙන ගිහින් එක තැන කැරැකැවෙමින්, දඟලමින් උන්න සමීරවයි රත්නායකවයි ඇදලා අරං දුවන්න ගත්තා .. කුරුම්බැට්ටි වගේ විසාල දෙබරු දෙතුන් දෙනෙක් ඇඟේ හැප්පුණා වුණත් එකෙක්වත් මට විද්දේ නෑ ..

අපි එතන තිබ්බ පස් කණ්ඩියක් මුදුනිං පැනලා ගම මැදට දිවුවා .. පස්සෙන් ආපු දෙබර රැල ගලප්පත්තිට විදගෙන විදගෙන ගියා .. ඌ කෑගැහගෙන මෙන්ටේරියා පඳුරු යායකුත් කඩා ගෙන  වෙන කොහේද දිවුවා ..

ලංකාවේ ඉන්න ලෝඩ් පකීර්ලා කවුරු වුණත් කෙල වුණ ගමන් දුවන්නේ පන්සලට .. ඉතින් අපිත් ඇස් මානේ  තිබුන පන්සලට දිවුවා .. රත්නායක පන්සලේ කම්බි වැටට උඩින් පැන්නා .. මං වැටට යටින් බඩ ගාගෙන ආවා .. විනීත විදිහට පන්සලේ ගේට්ටුවෙන් යන්න දුවපු තාපසයා සුපිරි දෙඹර ප්‍රහාරයකට ලක් වුණා ..

පන්සලේ පොඩි හාමුදුරුවෝ ඝාන්ඨාර  කුළුණ ගාව වළඳක් හෝදනවා .. ..

සුවාමින් වහන්ස !! .. දෙඹරු ඇවිත් ... !!”

ඔච්චර වෙලා කට පියාන හිටි අපේ තාපසයා... ලතෝනි දීලා කෑගැහුවා ..
පිංවතුණි.. පිංවතියනි අහිතක් හිතන්ඩ එපා ..ඒ මර ළතෝනියට  බය ගත්තු පොඩි හාමුදුරුවෝ ආවාස ගෙට පැනලා දොර වහගත්තා ..

පන්සල් වත්ත පාළුවට ගිහින් .. පූස් පැටියෙක්වත් පේන්ඩ නෑ .. පොඩි සාදු දොර අරින්නෙත් නෑ ..

කෙල්ලො නැමති මිරිගුව පස්සේ ලුහු බැඳලා ..කරුමය නැමති දෙඹරුන්ගෙන් බැට කාලා , සංසාරේ සෙත්ත පෝච්චි වෙච්චි අපි වගේ අයියලාට පන්සලෙත් පිහිටක් නැති හැටි ..

අපි පන්සල් වත්ත වටේ දුවන්න පටන්ගත්තා ... බෝමළුවෙන් චෛත්‍යට , එතනින් පසු බුදු මැදුරට , වැලි මළුවෙන්, වැසිකිළියට.... අපි නොනවත්වා දුවමින් උන්නා ..

චෛත්‍ය පහු වෙනකොටම .. මට දෙබරු තුන් දෙනෙක් විද්දා .. උරහිසට පිටට සහ ඔළුවට .. ටීෂර්ට් එක ගසා දාලා මම තවත් හයියෙන් දීවා ..පන්සල් වත්තෙන් එපිට ග්‍රාමසේවා කාර්‍යාලේ ගාවට කිට්ටු වෙනකොට දෙඹරුන්ට අපිව මිස් වෙලා උන්නා ..

සමීරට සහ රත්නායකට දෙබරු හොඳට විදලා උන්නත් උන්ට එච්චර අමාරු නෑ.. නැතිනම් අමාරුව පෙන්නුවේ නෑ .. යන්තම් දෙබර පැටවු දෙන්නෙක් විතර විදලා හිටපු තාපසයට මැරෙන්ඩ වගේ අමාරුයි .. ගලප්පත්ති කොහෙ ගියාද දන්නෑ ..

ත්‍රීවීල් එකක් කතාකරගත්තු අපි .. වැහි ආවර්ණ දාගෙන කවර් වෙලා ආයෙත් බයික් තිබුන තැනට ගියා .. ගමේ අය එකතු වෙලා .. පොල් අතු පුච්චලා දෙබරු එලෝනවා ..

ඔයාලත් එක්ක ආපු කෙනෙක් වෙන්නැති අන්න හොඳටම දෙබරු විදලා”

ගමේ එකෙක් එහෙම කියද්දි මට ඉක්ක වැටුනා ..

දෙබරු විද්ද අපේ ඈයොන්ගේ හැඩ රුව බලන්ඩ ලස්සනයි.. ඇඟපුරාම ලාවුලු ගෙඩි වගේ ඉදිමුං ගෙඩි .. මට පූතිගත්ත තිස්ස  තෙරණුවෝ  සිහි වුණා ..

ගමේ අයත් එක්ක එකතු වෙලා ..අපි ගලප්පත්තිව වීල් එකකට දාගත්තා . අමාරුවෙන් හිටපු සමීරත් තාපසයත් , අමරෙවත් ඒ වීල් එකේම පටෝලා.. රත්නායකයි මායි බයික් එකක් අරගෙන වෙඩිල්ල වගේ රෝහලට ගියා .. ඒ ගමන මගේ ජීවිතේටම අමතක නොවේවි ..

ඉගිනියාගල පාරේ කොණ්ඩුවටුවාන කෑම්ප් එක පහුවෙනකොට .. රත්නායකට සෙම වමනේ ගියා ..ඌ වේගයෙන් හුස්ම ගන්න පටන්ගත්තා ..මම පුළුවන් තරම් වේගෙන් බයික්කේ පැදගෙන ගියා .. රෝහලේ ගේට්ටුව ළඟදි රත්නායක අන්තිම වතාවට වමනේ කළා .. එච්චරයි ... !

එතනින් එහා කේස් නෑ බං රත්නායකට අවුලක් වුණේ නැ .. හැබැයි දවස් හයක් දැඩි සත්කාරේ තපින්ඩ සිද්ද වුණා ..

පුවක් ලෙල්ලක් පොඩි කරලා උලාගත්තට පස්සේ මගේ දෙබර අමාරුව හොඳ වුණා .. ඒත් මං මගේ යාළුවෝ සෙට් එක බලන්ඩ හැම දවසකම වගේ රෝහලට ගියා ..

විදින තරමක් දෙබරු විදලා තිබුණේ ගලප්පත්තිගේ තට්ටං දෙකට .. සිල්ක් රෙද්දෙන් මහපු කලිසමක් ඇඳගෙන උන්න නිසා වෙන්නැති උගේ පස්ස වංගෙඩියක් තරමට වෙනකම් ඉදිමිලා තිබුණා ..මට තාම මතකයි ඇඳේ මුනිං අතට දපලා ඉන්න ගමන් ඌ කොච්චරවාත් සිගරට් ඉල්ලමින් මට වාත වෙච්ච හැටි ..

සඳරුවා හොරෙන් බොන්ට බ්‍රිස්ටල් ගෙනෙංකෝ ..”

ඒ ගලප්පත්තිගේ හැටි . තට්ටං කපලා ඉවත් කරත් ඌට ඕන සිගරට්  ..

ගලප්පත්ති රෝහලේ උන්නු දෙවනි දවසේ ඌව බලන්ඩ අමුත්තියක් අවුදිං හිටියා .. රෝහල ඇතුළට යන්ඩ පාස් නැති නිසා ඒ අමුත්තිය සහ එයාගේ සහයට ආපු පරිවාර ඉස්තිරික්ක තුන රෝහලේ සිකුරුටි කාමරේ නැංගුරං දාගෙන හිටියා ..

ගලප්පත්තිට සිගරට් ගේන්න හිතාන ඔතනින් එළියට යමින් උන්න මට රෝහල් සිකුරුටි මහත්තයා කතා කළා .

මල්ලී .. ඔයා නේද දෙබරු විදපු අය බලන්ඩ ආවේ ..”

ඕ ..”

මේං මේ නංගිලත් ඇවිත් ඉන්නේ එයාලව බලන්ඩ .. ඔයාගේ පාස් එකෙන් එක්කෙනෙක් ඇතුළට එක්ක යන්න පුළුවන් ..”

ඒ ඇවිදිං හිටියේ තට්ටු දෙකේ බස් එකේ නාහෙං සින්දු කියපු .. ආස්මිපාට හමක් තිබ්බ පුංචි නංඟි ..

අයියී අර අයියීලට දැන් හුඳයිද ?” ඒකි ඇහුවෙ නාහෙන් ..  

ඔය අපූරුවට ඉන්නේ..”

අර ගලප්පත්ති අයියට කොහොමද ?”

අප්පා මේකි උගේ නමත් දන්නවා .. මං නම් දන්නෑ ඒ කොහොමද කියලා ..
ඌට නංගී හොඳට ඇවිදින්න පුළුවන් .. ඒත් ඉඳගන්න බෑ .. පස්ස පැත්ත නිල් වෙන්ඩ දෙබරු විදලා ..”

මට බලන්ඩ පුළුවන්ද ?”

මොකද්ද ..උගේ පස්ස පැත්තද ?”

චිකේයියා !! නෑ හලෝ .. එයාව .. ”

යං මං එක්ක යන්නම් ..”

ගලප්පත්තිගේ නිල් වෙච්චි, තටටම බලන්ඩ ඒ ගෑල්ලමයා ආපු ගමන ටිකක් දුරදිග ගියා .. නාහෙන් කතාකරන ගාමන්ට් නංඟි සහ මගේ යාළුවා ගලප්පත්ති හඳ පානේ පැනලා ගිහින් කසාද බැන්ඳා ..


කරුම පිට කරුම .. කෝටියක් ආවත් කමක් නෑ .. අන්තිමට හරි පුංචි ආතල් එකක් දැනුනනම් ඒ මදෑ බං ජීවත් වෙන්න ..

ගලප්පත්තිගේ කසාද පාටියේදී මං ඉස්ම යන්ඩ බීලා . පිස්සු නටලා .. ගලප්පත්තිට අත මිට මොලවපු ලියුම් කවරේ ඇතුළේ රුපියල් දාහකුත් එක්ක මං වෙරි පිටම ලියපු මේ කවියත් තිබුණා..


අරුමයක් හොයං අපි ජීවිතේ ගෙවනවා
බුරුමයක් වගේ එක තැනම කැර කැවෙනවා
උරුමයක් තිබුණොතින් පැරදුණත් දිනනවා
කරුමයක් ගෙවෙන තැන ..සැමරුමක් තියෙනවා ..

               සුබ වෙඩිමක් මස්සිනා !!!  



ඊට අවුරුදු එක හමාරකට පස්සේ ගලප්පත්තිලා අසල්වැසි ග්‍රාමාරක්‍ෂක නිලධාරියෙක් එක්ක ඇති කරගත්ත ආරවුලක් දුරදිග ගිහින් තිබුණා .. අන්තිමේට ඒ ග්‍රාමාරක්‍ෂක නිලධාරියා තමන්ගේ රාජකාරි ගිනි අවියෙන්ම ගලප්පත්තිට වෙඩි තියලා මරලා දාලා ජීවිත කාලෙටම හිරේ ගියා ..

-------------------------------
ප.ලි

බ්ලොග් නොලියා හිටි අපිව ආයේ ලියන්ඩ ඇදලා ගත්ත බ්ලොග් වසන්තයට සප් එකක් දෙන්න . ඔබ කැමති ලිපි 5කට මනාපෙ දීලා එන්න ..