30.6.11

කොස් ගෙඩි සහ අපි



         ඉතින් බත් වාරේ අහවර වෙලා ඕං ඉතින් ආයිමත් කොස් වාරේ ඇවිල්ලා ! .මගේ ගමේ බැලූ බැලූ අත පේන්න තියෙන්නේ කොස් ගෙඩි විතරයි . මුල් සති කීපයේදී දිවට රස ගෙනල්ලාදෙන , පහු පහු වෙනකොට කොහු කොහු වෙන , අල්ලපු තැන ඇලෙන , කාගෙන යනකොට එපා වෙන .කොස් ගැනයි මේ.....

.දැන් ඉතින් බස් එකකට නගින්න බෑ මිනිස්සු කොස් පටවනවා ඔඩොක්කුවේ හිටන්!. කඩේකට යන්න බෑ "අනේ අපෙනුත් කොස් ගන්න ගන්න පුතා!කිය කිය මුදලාලි හාමිනේලා බෙරිහන් දෙනවා . උදේ ඉඳන් මැරිලා මැරිලා වැඩ ඇරිලා ගෙදර ආපුවාමත් .

"අනේ පුතා අර ගහට නැගලා කොස් ගෙඩි 50 ක් 60 ක් විතර කඩා දෙන්නකෝ !” අම්මත් ඇඟට පතට නොදැනී කියලා දානවා ..සැනසීමක් නැද්ද මට ?

සඳරු ගෙදර කොස් තියනවා නේද..? මට ඔය කොස් ගෙඩියක් දෙකක් ගෙනල්ලා දෙන්නකෝ !

වැඩට කියාම බොස් ඉඳන් කියනවා

අරහෙටයි මෙහේටයි කොස් ගෙඩි කර ගහලම මගේ අලුත්ම කමිස කීපයකටත් වැඩේ හරි. ඒත් ඉතින් මොනවා කරන්නද ?. වත්තේ තියන මේ රටක් වටින කොස් ගස් කීපය කපලා දාන්න කියලෑ . අම්මා කියන විදිහට ඒවා පරම්පරාවෙන්ලුනේ පැවතගෙන එන්නේ .!

ගේ ඇතුළෙත් බැලූ බැලූ අත කොස් ගෙඩි . පුටුවක වාඩිවෙන්න බෑ හතර අතේ ඇලවෙන කොහොල්ලෑ හරියට චුංයිංගම් වගේ !. පියන ඇරලා බැලින්නං හැම වළඳකම කොස් .මටනම් දැන් කාලා කාලා එපා වෙලා මේ කරුමක්කාර කොස් !.

උදේට කොසුයි , පොලුයිනම් රෑට පොලුයි , කොසුයි

කොස් ගෙඩියට කරුමක්කාර කියන වචනේ පාවිච්චි කරපු පවට හෙට ඉඳන් මට බඩගින්නේ ඉන්න වේවිද මන්දා ?. ඒත් ඉතින් "ඕනම දෙයක් ඕනවාට වැඩිය ඕනම නෑ !” කියලා කතාවක් තියනවානේ . අතිරස වුණත් කාගෙන කාගෙන යනකොට තිත්ත වෙනවාලු ! .ඉතින් කොස් කියලා අමුතුවෙන්යැ . පළවෙනි සති දෙක යන්තම් හිතේ සතුටින් කෑවත් ඊළඟ සති දෙක කිඹුලා කිරිමැටි ගිලින්නා වාගේ ගිල්ලත් . අනිත් සතියේ පළමු දිනේම කොස් දැක්කනම් ඇති ...අඹ සරණයි . කබරයා.එනවා සුවර්

අපේ ගමේ මිනිස්සුන්ටත් ඉතින් බඩට නොකා හරි කමක් නෑ සල්ලි මඩි ගහගන්න තියනවා නම් . බොරු කියන්න මොකටද මගේ ගෙදර තත්වයත් ඕකම තමයි . කොස් වාරෙට මගේ අම්මයි නැන්දයි තරඟෙට කොස් උයනවා . අනේ අසරණ මමයි . මගේ නඟයි දෙන්නා . ඩයිජිං බීපු ගොළුවෝ වාගේ බලා ඉන්නවා .

අම්මගෙන් බේරුණත් නැන්දගෙන් බේරෙනවා බොරු. . .!

"සඳරු කාපිය මේ ටිකත් . බලපං ඉතින් උඹේ පස්ස නිකං මැස්සෝ බීලා වාගේ පොඩියි..! ඔහොම ඉඳලා අපි උඹට කටයුත්තක් හොයන්නේ කොහොමද ? ටිකක් මහතට හිටපිය . හැමදාම තොට බත් ගිල්ලවන්න අපිට සල්ලි නෑ ඉඳා. කාපිය කොස් ..!”

නැන්දා හැඳිමිට උරුක්කරගෙන ළයේ පිරුණු දරු සෙනෙහසින් මෙහෙම කියද්දී මට තුන් හිතකින්වත් පුළුවන්ද ඔය කොස් ලෝඩ් එක නොකා ඉන්න ?

හැමදාමත් මේ කොස් කාලා කාලම ඇතිවෙච්ච දවසක මම තීරණය කලා මගේ රාත්‍රී ලංච් එක කඩේකින් කාලා දාන්න . ගමේ තියන පොල් අතු බත් කඩේටම මම ගොඩවුණේ මගේ පන්තියේම එකට ඉගනගත්තු මගේම මිතුරෙක් මේ කඩේ උයන පිහන ජොබ් එක කරන නිසාමයි ..

හෙල්මට් එකත් මූණ වැහෙන්නම දාගෙන මම කඩේ ඇතුළට ගියේ .ඒ සුන්දර පොල් අතු බත් කඩේ ඇතුළේ රාත්‍රී කාලයේ පවා සැරිසරන තරබාරු නිලමැසි සේනාවගෙන් බේරෙන්නමයි .

අමරේ !! අමරයෝ !! මචං කන්න මොනාහරි ගෙනෙංකෝ . …!!!!

"සඳරු කොහොමද මචෝ ? ඉඳපන් ඉක්මනට ගේනම්". මගේ යාළුවා අනික් සේරම වැඩ දාලා ඉරිච්ච සරමේ අත දලි සහ ඉඳුල් පිරුණු අත පිහමින් කුස්සියට දුවනවා.. පවු අසරණයා ...

"සඳරු මට විනාඩියක් දියං අද ටුඩේ ඉස්පැසල් කිරි කොස් මාළුවක් තියනවා ඉඳපන් ටිකක් රත් කරගෙනම එන්නම් ..”

මම දනි පනි ගාලා එතනින් නැගිටලා ඔළුව හැරුණු අතේ දිවුවා .

මුල්ම දවස් වල වැල වරකා වලින් ආපු ස්වීට් රසයත් , මිහිරි සුවඳත් . දැන්නම් නාහෙටත් එපාවෙලා . මේ ලිපිය ලියද්දිත් මගේ මේසේ යට තියන වැල ගෙඩියට එන කෝඳුරුවෝ මගේ ඇස් දෙක වටේට කැරකෙනවා . කෝඳුරුවෝ මූණ වටේ කැරැකැවෙනකොට කාටද බොලවු මළපයින්නේ නැත්තේ !!. මගේ හිතට එන ඒ අප්‍රමාණ කෝඳුරු තරහවත් මම යවන්නේ කොස් ගෙඩියේ පිට්න් ..

කොස් හින්දා දවසක් මම නියෙමට මගේ සායම ඇරගත්තා .. ඔන්න දවසක් ….

"සඳරු පොඩ්ඩකට අපේ ගෙදරට ඇවිල්ලා යන්න !”

ඔන්න නැන්දා කෝල් කරනවා !. නැන්දලාගේ ගෙදරට මොටෝ බයික්කෙන් යනවා බොරු. පාර දිගටම බැඳලා ඉන්න ගව රැළ බයික් දක්කාම පාර මැදට ඇවිල්ලා හිටගන්නවා ..ඒක නිසා යන්න වෙන්නේ පුස් බයිසිකලෙන්ම තමයි ..

නැන්දා මගේ පුස් බයිසිකලේ ළැගිජ් එකේ තඩි කොස් ගෙඩි දෙකක් විතර තියලා ගෝනි නූල් ගෑල්ලකින් යන්තමට ගැටගැහුවා . කොස් ගෙඩි දෙකේම බර කිලෝ වලින්ම ගත්තොත් සෑහෙන ගාණක් .මමත් ඉතින් කරත්තේ අදින ගොනෙක් වගේ වළවල් සහිත පාර දිගේ පුස් බයිසි කළේ පදිනවා .

පාර දෙපැත්ත බලමින් සයිකලේ පැදගෙන යනකොට මගෙන් ඉගන ගන්න කෙල්ලෝ වගයක් බස් එක එනකම් ලොකු මාර ගහ යට කදේ දාගෙන හිටියා . ලං වෙනකොටයි දැක්කේ එතන කෙල්ලොම 8 විතර . මම දාඩිය පෙරාගෙන පදිනවා. . ඔන්න ඔතනදී මම දැක්කා විතරයි කෙල්ලෝ අතින් කටවල් වහගෙන හිනාව . මම උන්ව පහු කරලා මීටර් දෙකක් තුනක් විතර ගියා විතරයි කොස් ගෙඩි දෙකම් .. "බුම් බුම්" ගලා බිම වැටුණා එකක් කුඹුරට රෝල් වුණා . අනික මාර ගහ යට හිටි කෙල්ලෝ ඉන්න පැත්තට රෝල් වුණා .!

"දෙවියනේ ඇයි මටම මෙහෙම කරන්නේ ? මම මෙච්චර පවු කාරයෙක්ද ?”

කෙල්ලෝ "හූ" කියලා හිනාව . මට යකා නැග්ගා .! මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන .මම හිතාගත්තා . මම කොස් ගෙඩි දෙකම එතන දාලා බයිසිකලේ පාගමින් ඉදිරියට ගියා .හරියට කොස් ගෙඩි මගේ නෙවෙයි වගේ .එදා කෙල්ලෝ කතා වෙන්න ඇති "ෂා අපේ පරිගණක පන්තියේ උගන්වන සේර් මාර ටෆ් මනුස්සයා" කියලා ..

කොස් වල පිටි රහ දැන් මගේ හිතත් දිවත් දෙකම ප්‍රතික්‍ෂේප කරන්න පටන් අරන් .මට හීනෙනුත් කොස් ගෙඩි පෙනිලා බයවෙලා දාඩිය දාගෙන ඇහැරෙනවා ඇත්තේ ඒකයි . අනේ මේ කොස් වාරේ ඉක්මනට ඉවර වෙනවානම් ., අනේ මගේ ගමටත් ඉක්මනට මැක් ඩොනල් කඩයක් හරි . පීට්සා හට් එකක් හරි එනවා නම් . හැමදාම නැතත් ඉඳලා හිටලා හරි එවුවා කන්න බැරියෑ .

කොස් ගෙඩි ගෙදර ගෙන්නලා විතරක් මට බේරුමක් නෑ කොස් කපන්නයි එවුවායේ ඉරි අයින් කරන්නයි , කොස් ඇට තලන්නයි සුද්ද කරන්නයි , අනේ ඉතින් මටත් තියන වැඩ , මේවා කෙල්ලෝ කරන වැඩ වුණාට අපේ ගෙදර ඉන්න පාලිකාව මගේ නැන්දා ඉදිරියේ මම මියුට් වෙන බව මගේ මුලු ගමම දන්න කාරණයක් .

දවසක්දා කොස් ඇට තලන්න කම්මැලිකම නිසා මම එවුවා වංගෙඩියේ දාලා කොටලා නැන්දාගෙන් කොහු පාරක් කෑවා! . කොස් කෑවාම මොකද කොහු පාර කෑවාම මොකද ? මම හිත හදාගත්තා .තව දවසක් කොස් ගහ යට මුත්‍රා කරන්න ගිහිලා නැන්දාගේ ඉඳුල් වතුර ප්‍රහාරයකටත් ගොදුරු වුණා .දවසක් පිගානේ තිබ්බ කොස් ටික හොරෙන්ම බල්ලෙකුට කන්න එළියට දාලා ආවා . හවස බලද්දී නැන්දා මුලු ගමටම ඇහෙන්න මට සෝලි තියනවා .අනේ අර කොස් ටික බල්ලෙක්වත් කාලා නෑ !

කොස් කනකොට ඇඟේ බර වැඩි වෙනවලු , ඇඟ මහත් වෙනවලු . අනේ කොයිතරම් දෙයක්ද . ඒත් බඩට කොයිතරම් කෑවත් වැඩක්ද හිත පිරිලානැතිනම් ! ඉතින් දෙයියනේ මේ සති කීපයට මම හිටියාටත් වඩා කෙට්ටු කොල්ලෙක් වුණා . . . මේ කොස් ගෙඩියක් මට දුන්න දුක් කන්දක මහත !

කොහොම වුණත් හවස ඉර බහින වෙලාවට, රාස්සිගේ අවුවත් එක්ක . ඇල ගාව පුවක් ගස් යටට වෙලා . ඇඟ පත යන්තමින් රත්කරගන්න ගමන් පුච්චපු කොස් ඇටයක රස බලන්න නම් මම අකැමති නැ . ඒත් ඒ වැඩේ තනියම කරනන්ත් බෑ. පාළු තැනක කොස් ඇට පූච්චං කෑවොත් රතු අප්පු නැමති යක්‍ෂයාගේ දිෂ්ටිය වැදිලා . තෙල් මතුරගන්න වෙන බව මම අත්දැකීමෙන්ම දන්න දෙයක්.. ඒ වගේ වැඩකට යනවානම් තව කීප දෙනක්ම එක්කරගෙන යන්නත් වෙනවා . .. එතකොට ඉතින් රස්සාවක් කරන මටයි එතන බරපැන දරන්න වෙන්නේ !

සමහර විට කියවන ඔබ හිතනවා ඇති "කොස් මාර රහයි මූට කන්න පින නෑ" කියලා .කාලම බලන්න එක දිගට සති කීපයක් කොස්ම විතරක් ! කොහොම අප්පිරියාව පැත්තක තියලා හරි කෑවයි කියමු ඒත් ඔබ ඔෆිස් ගිහින් . කාටත් හොරෙන් ජුංඩි අධෝ වාතයක් ඇරියොත් ඔබගේ මුලු ඔෆිස් එකම දැන ගනීවි ඔබ කොස් කාලා ආවාය කියලා ! .. බොරු කියලා හිතෙනවානම් ට්‍රයි කරලා බලලම කියන්න ..

තව මාසෙකින් විතර කොස් වාරේ ඉවර වේවි .ඊට පස්සේ සුපුරුදු පරිදි ගෙදර වෙන වෙන එළවලුත් හැදේවි .. විෂ්ණු දෙයියන්ටත් හත් අවුරුද්දක් බට කොළ කන්න වුණානේ . ඉතින් මට මාසයක් දෙකක් කොස් කන්න බැරිද ? .. ඉවසලා බලමු ..



/ලි - මම යනවා පාං බාගයක් ගේන්න ..බීලූණු ගෙඩියක් සුද්ද කරගෙන කන්න බැරියෑ ..




28.6.11

වැවු බැම්ම මතදී දුටු සිහිනය

 

දවසක් දා වැවු බැම්මේ
සූස්තියක් උරණා විට
දිය මත පාවෙන බුජුමක්
මා නෙත ගැටුණා..!


සරම ලියා ගොඩින් තියා
අමුඩෙ ගහං බැහැල වැවට
පීනාගෙන බුජුම ළඟට
මං ළඟා වුණා 


පෙනුමෙන් ඇන්ටික් ගතියත්
මලකඩ බැඳි කළු පැයත්
අතරින් විහිදුණු දිස්නෙට
මං වසඟ වුණා !

බුජුමේ බර වැඩි නිසාම‍
ලිස්සන ගතියත් නිසාම
බුජුම ඉනේ ගැටගහගෙන
ගොඩට පීනුවා 


දියෙන් ගොඩට ආ හැටියෙම
"
බුජුමේ තියෙන්නේ මොනවද.?” 
කුතුහලයෙන් තෙරපුණු මම
එය විවර කළා 


මූඩිය ගැලැවුණු සැනින්ම
අහස පොළව ගුගුරාගෙන
හරි ලස්සන කෙලි පොඩ්ඩක්
එයින් මතු වුණා 


කෙල්ල බියුටි ෆුල් නිසාම
මම අමුඩෙ පිටින් හින්දම
කොහිල ගාලකට පැන මම
සැඟවී ගත්තා

"
අනේ අලෝ ගොඩට එන්න
මම නෑ මොකවත් හිතන්නේ
යූ ආර් මයි හීරෝ නේ "
 කෙල්ල කියනවා 


ලැජ්ජාවෙන් රතු පැහැ වී
ජම්බු ගහෙන් බිමට වැටුණු
යෞවන කෙල්ලක් විලසින්
මම ගොඩ ආවා

"
යක්‍ෂයෙකුගෙ මන්තරයෙන්
මම බෝතලේ හිරවුණානෙ
ඔයා මාව බේරුවානේ"
 කෙල්ල කියනවා

"
මා බේරාගත් නිසාම
ඔයා හරි කියුට් හින්දම
උම්ම එකක් දෙන්න හිතයි !" 
කෙල්ල කියනවා


සම්මජ්ජාතියක මාව
කෙල්ලෙක් නම් ඉඹල නෑනෙ
එහෙවු එකේ මටත් මේක
පල්ලමක් වුණා


උම්ම එකට රෙඩි වෙන්නට
දත කට මැදගත්ත මෙමා
හෙමින් හෙමින් කෙල්ල ළඟට
යාත්‍රා කළා 


මාස්මෙලෝ වගේ සිනිදු
රෝස පාට තොල් දෙකකින්
මගෙ සියොළඟ ඉඹිමින් ඈ
මා ඔකඳ කලා


දෙන දෙයියෝ දෙනකොට නම්
ටොකු ඇන ඇන දෙවනවාලු
නොහිතපු විලසින් උම්මා
තොගයක් ලැබුණා

ඒ වගෙ රටආතල් නම්
මම කිසිදින විඳල නෑනෙ
අනේ ඉතින් කෙල්ල මාව
අපහරණෙ කලා !


හිත සතුටින්, ඇගේ අතින්
අපහරණය වන අතරේ
බඩට වැදුණු තඩි සොටකින්
මම අවදි වුණා 


ඇඩ්ඩිං මාමගෙ එළු දෙන
මගේ මූණ ලෙවකනවා
තව එළු රංචුවක් මදෙස
බලා සිටිනවා 


මල් උරලා වැඩිවීලා
වැවු බන්ටෙක මත නිදලා
මම ලොකු හීනයක් දැකපු
බව හැඟී ගියා 


එදා පටන් අද වන තුරු
නෑ මම මල් දුම් ඉරුවේ
දැන් මම මල් දකින කොටත්
වමනෙට කරනවා





/ලි . මගේ මිතුරෙකු හට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මම ලියූ මෙවුව එකකි !

//ලි . බුජුම යනු ගුරුලේතුවක් බඳු මෙවුව එකකි

Image [ http://www.spraygraphic.com/ViewProject/19697/normal.html ] 


 

23.6.11

සමාවෙන්න දෙවියනේ !

 

       පුරුදු විදිහටම කෙටි නින්දකින් පස්සේ මම අවදි වෙලා බලනකොට බිත්තියේ කැලන්ඩරේ ඔක්තොම්බර් මාසෙට අදාළ කොලේ ඉරල දාලා .ඒ කියන්නේ අද නොවැම්බර් පළවෙනිදා වෙන්න ඇති !

.
හ්ම්.. එහෙනම්. මම මේ රෝහලේ ගෙවන එකොළොස් වෙනි මාසේ ..

මීට මාස එකොළහකට කලින් මම හොඳට කතා කරපු . අත පය හතර හොඳට හයිය තිබුණු කොල්ලෙක් .

ඒත් අද


අද වෙනකොට මම කතා කරන්න තබා තොල් දෙකවත් හොලවන්න බැරි . එක ඇහැක් විතරක් පේන, කන් ඇහෙන්නේ නැති , අත පය යන්තම් වත් හොලවන්න බැරි ඇඳක් මත එකම ඉරියවුවෙන් බුදියගෙන ඉන්න. නිකම්ම නිකං සරීර කූඩුවක් විතරමයි .

කඳුළු පිරිච්ච දකුණු ඇහෙන් හැමදාමත් එකම පැත්තට කැරකෙන සිවිලිං ෆෑන් එක දිහා බලාගෙන . මීට මාස එකොළහකට කලින් ඒ මගේ ජීවිතේ වෙනස් කරපු සිදුවීම මම ආයේ ආයේ මතක් කරා ..මම මේ සිදුවීම ලක්‍ෂ වාරයක් මතක් කරන්න ඇති. මේ ඇඳේ වැතිරිලා උඩ බලාගෙන ඉන්න මම මේක මතක් කරමින් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ..?

මේ සියල්ල සිදුවුණේ පහුගිය අවුරුද්දේ උඳුවප් පෝය දවසට කලින් දවසේ රෑ . . . . . . . . . . . .

වෙලාව හරියටම මතක නැති වුණත් අහසේ හඳ පායලා තිබුණ විදිහෙනුයි , ඉඳ හිට ඇහුණු නරි බැල්ලියන්ගේ මූසල "හූ" හඬෙනුයි වෙලාව රෑ 11 ට විතර ඇති කියලා මට හිතුණා . දිරච්ච කොල අපේ කකුල් වලට පෑගෙද්දී නැගිච්ච "චොරොස්" හඬට අපිටම බය හිතුණා .

 "ටිකක් හෙමීට අඩිය තියපල්ලකෝ !” 



ඉස්සරහින්ම එළියක් අරගෙන යන නිශාන්ත කෙඳිරුවා ! .

ඉදිරියෙන්ම ගමන්කරපු නිශාන්තගේ අතේ තිබිච්ච චීන ෆෝන් එකෙන් විහිදුණු සුදුපාට එළිය කෑලි කපන කළුවරේ අපිට තිබුණු එකම ආලෝකය වුණා .උදැල්ලයි යකඩ ඉන්නයි දෑතටම ගත්ත රුවන් ඊළඟට ගමන් කරා . තුන් වනුවට හිටියේ "අජිත් " සෙරෙප්පු දෙකක්වත් නැතුව කුළු ගෙඩියයි සවලයි තනියම කර තියාගෙන කකුලේ ඇනෙන නිදිකුම්බා කටු ගැන යන්තම්වත් හිතන්නේවත් නැතුව නියම කොල්ලෙක් වගේ අජිත් ඉදිරියට යමින් හිටියා . අන්තිමට හිටියේ මමයි .මාලියි .වම් අතින් රුපියල් 10ක ප්ලාස්ටික් මල්ලකුත් , දකුණු අතින් මාලිගේ කෙට්ටු , සීතල අතත් අල්ලගෙන මම අනිත් උන්ගේ පස්සෙන් ඇවිදගෙන ගියා .

මගේ නම "එරන්ද”. මම මාලිගේ අතින් අල්ලගෙන හිටියට මම මාලිගේ පෙම්වතා නම් නෙවෙයි .! "මාලි" කියන්නේ මගේ ලොකුඅම්මගේ දුව . අම්මා තාත්තා නැති මාව පොඩි සංදියේ ඉඳලම හදාවඩා ගත්තේ මගේ ලොකු අම්මා . ඉතින් පුංචි කාලේ ඉඳලා මට හිටපු එකම මිතුරිය , මගේම සහෝදරිය වුණේ මාලි.

අපි කෑවේ බිවිවුවේ සෙල්ලම් කරේ එකට ඉගෙන ගත්තෙත් එකම ඉස්කෝලේ , එකම පන්තියේ . අපිට ඉස්සරහින් මේ ඇවිදගෙන යන . නිශාන්ත , රුවන් , සහ අජිත් .මේ තුන්දෙනත් අපේ පන්තියේ . අපි පස් දෙනා තමයි හැමදාමත් පන්තියේ එකටම හිටපු සෙට් එක .. .පුංචි ඉස්කෝලේ හිටපු ජනප්‍රියම ගැන්සිය .

ඒක හරිම පුදුම ගැන්සියක් .! කොල්ලෝ හතර දෙනයි එක කෙල්ලයි. ! අපි අතර රහස් තිබුණේ නෑ . අපි පස්දෙනා එකාට එකෙක් පණ වුණත් දෙන තරමට ලං වෙලා හිටියා .එක කෑම එක දිග ඇරගෙන කන අපි ඉස්කෝලේ ගියේ , පන්ති ගියේ එකට...

..! තව දෙයක්... අපි කට්ටියම උසස්පෙළ විභාගය ෆේල් වුණෙත් එකටමයි .

ඇත්ත.. අපේ ගැන්සියේ කවුරුවත් උසස්පෙළ වැඩ තුන ගොඩ දාන්න තරම් වාසනාවන්ත වුණේ නෑ . ඇත්තම කීවොත් අපි අදක්‍ෂයි !.අපිට එදා ඉඳන් පුළුවන් වුණේ අතේ පයේ වැඩ විතරමයි . හේන් කොටන , වපුරන . කාලෙට අපි ඉස්කෝලේ ගියේ නෑ .ගමේ මගුලක් , මරණයක් වුණු දාටත් අපි එතන . දෙමාපියන්ටත් ළමයින්ට උගන්වන්න ඒතරම් උනන්දුවක් තිබුණේ නෑ . අවාසනාවද , නොහැකියාවද මොකක් හින්දද මන්දා අපි පස් දෙනාම විභාගය ෆේල් .

ඉස්කෝලේ දැන්වීම් පුවරුවේ දාලා තිබුණු උසස්පෙළ ප්‍රතිථල ලේඛනයේ තිබුණු අපේ ප්‍රතිථල දැකලා ඇඬුවේ මාලි විතරයි . අපිට නම් ඒතරම් දුකක් දැනුණේ නෑ .අපි හැමෝම පාසල් ගමනට ආයිබෝං කියලා ගෙදර නතර වුණා . ඉගනීමට තිත තිවුවා !. ඔය විදිහට මාස හතක් අටක් විතර ගෙවුණා...

එක දවසක් නොහිතපු විදිහට අපි පස්දෙනා ආයෙමත් වැවු කණ්ඩියේදී හමු වුණා .මුලින්ම කටහඬ අවදි කළේ අජිත් .

"උඹලා දැන් මොකද කරන්නේ ?'

"මම නම් කොහොම හරි කරලා ට්‍රැක්ටක් එකක් ගන්න හිතාගෙන ඉන්නේ කුඹුරු ටික හාලා හොඳ ගාණක් හොයන්න පුළුවන්." ඒ නිශාන්ත

"උඹලා නම් ඉතින් ට්‍රැක්ටර් ගනීවී මම මේ අපේ කුඹුර උගසින් බේරගන්නේ කොහොමෙයි කියලා හිතනවා " හැමදාමත් වගේ නාහෙන් අඬන ගමන් රුවන් කියාගෙන ගියා .

ඉතින් මචෝ උඹ මක්කෙයි කරන්නේ ?

අජිත් ඇහැවුවේ මම දිහා බලන ගමන් .

"මම හිතාගෙන ඉන්නේ කොළඹ යන්න .ගිහින් මොනාහරි දෙයක් කරන්න ” ඒ තමයි මගේ පිළිතුර "

"උඹලා දන්නවාද මම කරන්න යන දේ .?” ඔන්න අජිත් අන්තිමට කියන්න යනවා තමන් ගැන

"මම නිධානයක් ගොඩ දාන්නයි ඉන්නේ ..”

අපි සේරමලා අජිත් දිහා පුදුමෙන් බැලුවා .

"මොනවද බොලවු කන්න වගේ බලන්නේ ! මම කිවුවොත් කිවුවා .”

"උඹ ඔය කියන්නේ ඉස්කෝලේ කෝටස් ගෙවල් පිටි පස්සේ කැලේ තියන නිධානේ ගැනද ?මම ඇහැවුවා

"අන්න හරි උඹට තේරුණා ..ඒකම තමයි . ඒකේ කෝටි ගානක බඩු තියනවාලු බං . මොකද කියන්නේ උඹලත් එනවද ?

ඒ යෝජනාවට කැමති වෙනවද කියලා මම දෙපාරක් හිතුවා .

"එහෙමනම් වෙන කාවවත් ගාව ගන්නේ නැතුව අපි විතරක් මේ වැඩේ කරමු .ඒ එක පයින්ම කැමති වුණේ නිශාන්ත .

වැඩි කතා ඕනනෑ. ඔන්න ඔය විදිහට අපි දුර දිග නොබලා තීරණයක් ගත්තා . අපි ඉගනීම අතින් දුර්වල තැනක හිටි නිසාද මන්දා අපි දෙයක් කරද්දී ඒ ගැන වැඩි දුර හිතන්න ගියේ නෑ . අපි බැලුවේ ළඟ විතරයි .හරි හමං ඉගනීමක් නොලැබීමේ විපාකෙ ..අපිට ඕනෑ වුණේ මේ නිධානේ අරගෙන අපේ සිතුම් පැතුම් , සිහින මේ සේරම සම්පූර්ණ කරගන්න .

"මම ගිහිං මේක ගමේ හැමෝටම කියනවා .!”

මෙච්චර වෙලා කපා දාපු පරණ කෙහෙල් කොටයක් උඩ ඒදණ්ඩේ යනවා වාගේ එහාටයි මෙහාටයි ඇවිදිමින් හිටි මාලි කිවුවා !

"ඔයා කියන්නේ නෑ කියලා අපි හැමෝම දන්නවා " මම හිනහ වෙන ගමන් එහෙම කිවුවා .

"මාවත් එක්කං නොගියොත් මම කියනවද නැද්ද කියලා ඔයාලට බලාගත්තැහැකි .”

අපි කොයි තරම් එපා කීවත් කොයිතරම් පෙරත්ත කෙරුවත් මාලිව වළකන්න බැරි වුණා එයා අපිත් එක්ක මේ ගමන එන්න දැනටමත් ලැහැත්ති වෙලා ඉවරයි . අපි සීයක් ජාති කිවුවත් මේ කෙල්ලගේ දරදඬු හිත වෙනස් කරන්න බැරි වුණා . මට හිතුණා මාලි ඉස්සරහා මේ ගමන ගැන කතාව ඇදලා ගත්තේ අපරාදේ කියලා .ගෙදර ගියාට පස්සේ . මම මාලිගේ ළඟට කිට්ටු වෙලා එයාව මේ නිදන් වැඩෙන් අයින් කරන්න හිතුවා .

"මාලි ඔයාට මම ගේන කොටසින් බාගයක්ම දෙන්නම් ඔයා ගෙදර නවතින්න .”

"මට බෑ ! මම කිවුවොත් කිවුවා එකෝ මේ ගමන කැස්සල් . නැතම් මාත් එක්ක යමු !”

එදා ඉඳන් මම මාලිව දන්නවා .ඒකිගේ නොනැමෙන ගල් හිත ගැනත් දන්නවා .ඒක හින්දා අක්මැත්තෙන් මම මාලිවත් ගෙනියන්න කැමති වුණා .. . . . අනේ මම වගේ මෝඩයෙක් ..

ඉතින් ඔන්න ඔය විදිහට මම අරගත්ත බොළඳ තීරණයක් නිසා මේ කෑලි කපන ගන කළුවරේ අපි පස් දෙනා හොරෙන් ගෙදරින් පැනලා නිධානයක් ගන්න ගෙවල් ළඟ තිබුණු පුංචි කැලෑවකට ගාටනවා .

මාලිගේ පිටේ එල්ලගෙන හිටපු ස්කූල් බෑග් එකේ . හඳුන් කූරු පෙට්ටියකුයි , මැටි පහනකුයි පොල් තෙල් කුප්පියකුයි තිබුණා , මගේ මල්ලේ තිබුණේ හිස් පොහොර ගෝනි කීපයක් විතරමයි .

අපි මීට කලින් නිධාන ගැන අහලා තිබුණා විතරයි. ඒව ගන්නේ කොහොමද , ඒව ගනිද්දී කරන වත් පිළිවෙත් මොනවාද ? මේ කිසිම දෙයක් අපි දැනං හිටියේ නෑ.. අපේ සැලසුම වුණේ නිධානේ පිහිටලා තියන කලු ගල කඩලා ඒක අරගන්න එක .ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් !. නිධානේ ගන්න අදහස අජිත්ගේ වුණාට මේ ඉසවුව ගැන හොඳින්ම දැනගෙන හිටියේ මේ ඉදිරියෙන්ම ගමන් කරන නිශාන්ත .

අපි අඩියෙන් අඩිය ගමනේ අවසානයට ළඟාවුණා .ගමන පටන්ගත් මොහොතේ ඉඳන්ම මම මාලිගේ අත අතහැරියේ නෑ තදින් අල්ලගෙන හිටියා .පණ්ඩිත කමට ආවට ඒකි හිටියේ හොඳටම බය වෙලා ! ඒකිගේ අත එදා අයිස් කඳක් වගේ හීතල වෙලා තිවුණේ ඒකයි .

නිධානේ පිහිටලා තිබුණු කළු ගල උඩට නැගුනු අපි ඒ ගල මුදුනේ තිබුණු ගෝනෙකුගේ අඩි සටහන් පෙළක් දිගේ ඉදිරියටම ගියා . ගල මෘදු වෙන්න බෙහෙත් වර්ගයක් දාලා ඒ මත විවිධ සලකුණු තියන එක නිධානයක් තැන්පත් කරන ඈත අතීත කාලේ කරන ක්‍රියාවක් බව මගේ සීයා මට පොඩි කාලේ කියලා දුන්නා මතකයි. .අන්තිමේදී අපි එතනට ළංවුණා .

අජිත් අපි කට්ටියටම එකට ලං වෙන්න කියලා මෙන්න මෙහෙම මුමුණන්න වුණා ..

.
"මේවා ගන්නකොට කියන මන්තර සාත්තර අපි දන්නේ නෑ නේ බං . අපි දෙවියන්ගෙන් මෙහෙම ඉල්ලමු . මේවා පොළවේ වැළලිලා කාටවත් වැඩක් නැති විදිහට තියනවාට වඩා අපි වගේ දුප්පත් මිනිස්සු මේවා අරගෙන සතුටෙන් ඉන්නවාට කැමති වෙන්න කියලා . අපි මේවා විකුණලා ගන්න මුදලින් වැඩි කොටසක් දුප්පත් මිනිස්සු වෙනුවෙන් වෙන් කරනවා කියලත් බාර වෙමු. අපිට වරදින්නේ නෑ"

ඔළුව හොල්ලනවා ඇරෙන්න මට නම් වෙන කරන්නදෙයක් තිබුණේ නෑ . මගේ හිත සතුටින් පිරුණා . හෙට ඉඳන් මගේ හැම හීනයක්ම සැබෑ වෙනවා . කොල්ලෝ ටික තමන්ගේ බලා පොරොත්තු සේරම සම්පූර්ණ කරගනීවි . මාලිත් තමන්ගේ දෑවැද්ද හදාගෙන හොඳ කොල්ලෙක් එක්ක දීග යයි.

ඔන්න ඔතනදී මම මාලිගේ සීතල අත අතහැරියා..දෙවියනේ !! ඒකිගේ අත අතහැරපු පව නිසාද අද මගේ අත් දෙකේ යන්තම් වත් පණ නැත්තේ ?

මාලිගේ පිටේ තිබුණු බෑග් එකෙන් පහන අරගෙන තිරේකුත් දාලා , යන්තමට පොල් තෙලුත් දාලා මම සාක්කුවෙන් ගිනි පෙට්ටිය අතට ගත්තා . වෙවුලන අතින් ගිනිකූරු කීපයක්ම ගැහුවත් ඒවා හුළඟට නිවුණා . මගේ ළඟින් දන ගහගත්ත මාලි එයාගේ දෝතින්ම පහන වහගෙන ඒ හමන සීතල හුළඟ යන්තමට නතර කරා ඒ වතාවේ මම ගහපු ගිනි කූර දැල්වුණා . මම පහන පත්තු කරා ..

ඉතින් ..


ඒ පත්තු කරපු පොල් තෙල් පහණේ එළියෙන් මම මාලිගේ සුදුමැලි මූණ දැක්කා .. දෙයියනේ..! මම හීනෙකින්වත් හිතුවේ නෑ ඒ මොහොත.... මගේ රත්තං කෙල්ලගේ ...... මගේ රත්තරං සහෝදරීගේ . මුහුණ දකින අවසන් වතාව වේවි කියලා …

දීප්තිමත් පහන් දැල්ලන් මම මාලිගේ මූණට අමතරව තව දෙයක් දැක්කා .වම් පැත්තේ හිටගෙන හිටපු කළු තඩි මිනිහෙක්..

මම ඒ ඉකමණින් පැත්තට හැරෙන කොටම . යකඩ ඉන්නක පළල් පැත්‍තෙන් තව කවුද කෙනෙක් මගේ ඔළුවට ගැහුවා .මම කැරකිලා මුනිං අතට බිම වැටුණත් ඇඟේ තිබ්බ සේරම හයිය දාලා ආයෙමත් උඩු අතට හැරුණා . මම යන්තමට දැක්කා මාලි තව මිනිහෙක්ගෙන් බේරෙන්න දඟලන හැටි . මගේ යාළුවෝ කිසි කෙනෙක් මම දැක්කේ නෑ . නළලට වැදුණු තව වේගවත් පාරක් සමග මගේ ඇස් දෙක පියැවුණා . මට මතක එච්චරයි ..

මම ඇස් ඇරලා බලන කොට මම හිටියේ මේ රෝහලේම ඇඳක .මට අහන්න ප්‍රශ්න ගණනාවක් තිබුණත් . මගේ දිව මට අවනත නෑ .අතපය හතර මට යන්තමටවත් හීලෑ නෑ .මාව බලන්න ඉඳ හිට පොලීසියෙන් ආවා . මාලිගේ ෆොටෝ එකක් මට පෙන්වමින් මොනවාදෝ කිවුවා .ඒ අය කතා කරන දේවල් මට තේරුණේ නෑ …මම තනියම ඇඬුවා .දවස් ගාණක් ඇඬුවා .අන්තිමේ මම හති වැටුණා .

දවසක් මම වීදුරු බෙහෙත් බෝතලේකින් මගේ මූණ දැක්කා . ඒ හිටියේ එදා හිටපු ලස්සන මූණක් සහිත එරන්ද නෙවේ .මටවත් අඳුරන්න බැරි අමුතුම ජීවියෙක් .



මාලිට මොනවා වුණාද

එයා ඉන්නවද මැරිද ?

"
කෝ මගේ යාළුවෝ ? , උන්ද මට මේ වැඩේ කරේ ?”

 කෝටි ගණං ප්‍රශ්න මගේ ඔළුවේ පිරිලා .මට දැන් ඕන මැරෙන්න .මගේ එක අතකවත් පණ තිබුණානම් . මම ඒක කරනවා .ඒත් මට දැන් කිසිම දෙයක් කරන්න බෑ . මේ පරඬැලක් වගේ ඇඟ ඇතුළට මම කොටුවෙලා . ...එහෙනම් දෙවියනේ දෙවියන්ට අයිති දේ ගන්න ගියපු දුප්පතෙකුට දෙවියෝ දුන්න දඬුවම මේකද ? ....මට සමාවෙන්න දෙවියනේ !

හැමදාකම නිදාගන්න කලින් මම හිතනවා . මම අවදි වෙනකොට මාලි මගේ ළඟින් ඉඳීවිය කියලා ..ඒත් මාස එකොළහක් තිස්සේ ඒක සිතිවිල්ලක් විතරමයි... . . . ඒ සිතිවිල්ල බලාපොරොත්තුවක් වෙලා මාව ජීවත් කරවනවා. . . . . ඒත් ඒ අඳුරු මතකය නම් මාව නොමරා මරනවා..!

මම ඇස් තද කරලා පියාගෙන ආයෙමත් සැරයක් නිදගන්න උත්සහ කරා...
ඉවරයි.


ප/ලි - ඔන්න ඉතින් මටත් හිතුනා කතාවක් ලියා දාන්න . වැඩිය හිතන්න එපා .සඳරුට නෝමල් එකේ කවි , කතා ලියන්න බෑ . රට ඉන්න යාළුවෙක් ගෙනාපු කියවන්න බැරි අමුතු නමක් තියන රන්වන් බෝතලක් තමා මේ කතාව ලියන්න සඳරුට උදවු දුන්නේ . දැන් ඉතින් පළු යන්න බැනපල්ලා .

ප/ප/ලි - මේක ඉවරයි කීවේ ඉවරටම ඉවරයි ආයේ නෑ. නිමි 

21.6.11

සිංක් එක සහ කොමඩ් එක අතර වෙනස කිම ?

        පට්ටම චාටර් විදිහට ගමේ ගතවෙන මේ කරුම ජීවිතේට දැන් අවුරුදු විසි දෙකක් . මේ අවුරුදු විසි දෙකක කාලයේදී . මම ගැමියෙක් වීම නිසා ලැජ්ජා වින්දේ එකම එක අවස්ථාවකදී විතරයි . කවමදාකවත් අමතක නොවෙන්නම කලු ගලක කෙටුවා වගේ ඒ .පට්ට පදිරි සිදුවීම මගේ හිතේ නොමැකෙන්නම සටහන් වෙලා තියනවා ..අදටත් ඒ සිදුවීම මතකයට එද්දී මම මගේ යටි තොල විකාගෙන ඒ සිදුවීමට මුහුණ දෙනවා ..

ඉතින් මම කියලා දාන්නම් ඒ සිදුවීම ..

ඔය අවුරුද්ද මට මතක නෑ මතක් කරන්න මට උවමනාවකුත් නෑ . වෙනකොට මම යන්තම් ඉස්කෝලේ දහය වසරට පය ගැහුවා විතරයි .මම සුදු දිග කලිසමක් පළවෙනි පාරට ඇන්ඳේ දහය වසරේදී . ඒවගේමයි ක්‍රිකට් ටීම් එකට තේරුනෙත් දහය වසරේදී . කතාව පටන් ගන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම අග නගරේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ වදින්න තේරුනාට පසුවයි
.
පළුවක් ගැල වෙච්ච ලෙදර් බෝලෙකින් හා ඉස්කෝලෙටම තිබිච්ච ගෙවිලා ගියපු බැට් පිති දෙකෙන් . කාන්තාරයකට සමාන බොරළු පිට්ටනියක ක්‍රිකට් ගහපු අපේ කණ්ඩායම රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ කරන්න යනවා !!.ඇත්තමයි මුලු ඉස්කෝලෙටම ඒක අරුමයක් වුණා !

දවසක් පාන්දර හතර හමාරට විතර සරණපාලයියගේ තනි දොරේ බස් එකේ නැගිච්ච අපේ ක්‍රිකට් කණ්ඩායම දෙමවුපියන්ගේ , යාළුවන්ගේ , ගුරුවරුන්ගේ .ජය ඝෝෂා සහ හූ හඬ මැදින් අග නගරේ බලා පිටත් වුණා . පාසලේ විදුහල්පති තුමා , ක්‍රීඩා භාර සර් , නැටුම් ටීචර් , සමාජ අධ්‍යනය සර් , කෘෂිකර්මය ටීචර් , ඉස්කෝලේ බෙල් එකෙ ගහන රම්පාල අයියා . මෙන්න මේ අය අපේ ආරක්‍ෂාව සඳහා අපිත් එක්ක එන්න පිටත් වුණා .

අපේ ක්‍රිකට් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයොත් සමග සේරම කොල්ලෝ 14 දෙනෙක් විතර ඉන්න ඇති . නගරෙට යන්න. නගරේ ඉන්න සද්දන්ත , ඉංග්‍රීසි කතාකරන . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ .ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන්න මම ඇතුළු මුලු ක්‍රිකට් කණ්ඩායමම සැදී පැහැදී හිටියා .

නිතරම හපාපු බුලත් හපේට අමතරව අපේ විදුහල්පති තුමාගේ කටේ තිබුණේ එකම දෙයයි .

"උඹලා කෝම අරි කප්පෙක ගෙනෙල්ලා .!! උඹලා අවුවේ පිච්චිලා ගල් උඩ වැටිලා , පොල් ගස් බඩගාලා පුරුදු කොල්ලෝ උඹලට මේක සිම්පල් !

"චිරිස්" ගහලා බුලත් කෙළ පාරක් බස් එකේ වීදුරුවෙන් එළියට විදින ගමන් ලොක්කා කියවාගෙන යනවා .

අපේ සෙට් එකට ඕන වුණේ මැච් එක දිනන්න නෙවේ . රට තොට බලාගෙන එන්න . ලොකු සර් මොන පම්පෝරිය ගැහුවත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කොල්ලෝ එක්ක අපට හැප්පෙන්න කොහෙත්ම බැරි බව මමනම් හොඳටම දැනගෙන හිටියා .

කොට කොටා ආපු බස් එක පැය 14 ක විතර ලොකූ ගමනකින් පස්සේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහම තිබුණු නිවාඩු නිකේතනයක් වගේ ලස්සන ගෙදරක් ඉස්සරහ නතර කරා . ඒකේ තමයි අපිට රෑ ගතකරන්න යෙදිලා තිබුණේ .

ත්‍රිකෝනාකාරව වැවිච්ච ලොකූ නත්තල් ගස් . ලස්සනට කපාපු තණකොළ සහිත පාර. මෙවුවා දැක්ක අපිට නම් මේක තරු පහේ හෝටලයක් කියලා හිතුණා.

ඔය අතරේ විදුහල්පති තුමා අපේ ළඟට ආවා .

'තොපි අහගණියවු ! එකෙක්වත් මේ මල් ගස් වල කොළ කඩලා අහුවෙනවා නෙවෙයි . වැදගත් විදිහට ඉඳපල්ලා . .. වගේමයි එකෙක්වත් රෑට සරං එහෙම අඳින්න එපා . ඇඳපියවු කොට කලිසං .

අපිත් කරත්තේ බඳින ගොන්නු වගේ "හ්ම් සර්" කීවා .. වෙලාව ගතවුණා...

ගමට වගේ නෙවෙයි නගරෙට බොහොම ඉක්මනින් කළුවර වැටුණා .අපිත් නාලා කාලා එහෙම .කාමරේකට පැක් උණා . අපි දහ හතර දෙනයි රම්පාලයියයි කාමරේ ඇතුළේ බිම පැදුරු එළාගෙන බුදිය ගත්තා . ලොකු සර්ගේ ලෝභ කමටද මන්දා අරගෙන තිබුණේ කාමර තුනයි . එකක ටීචර්ලත් . අනිකේ සර්ලත් නිදාගත්තා (අපිට කීවේනම් එහෙමයි ) අන්තිම කාමරේ අපි 15 දෙනා බුදිය ගත්තා ..

පහුවදා උදේ මුලින්ම අවදි උනේ මම . පොඩි කාලේ ඉඳලාම මට නගරෙට යන්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති . එදා නම් මගේ හිත සතුටින් පිරිලා . ඉතින් මට උදේම ඇහැරුණා . මම ගිහිල්ලා ජනෙල් රෙදි ඈත් කරලා . පාර දිහා බැලුවා . පාරෙන් එහා පැත්තේ හන්දියක තිබුණු මාර්ග සංඥා එළි දිහා මම ගොඩක් වෙලා බලාන හිටියා .ඔන්න එතකොටම හිටගෙන හිටපු නිසාද නැත්තං උදේ නිසාද මන්දා මට බරක් හැදුණා . ! "අර අපි කාටත් උදේට හැදෙන බර" . මම ඉක්මනට කාමරේ තිබුණු නාන කමරේට රිංග ගත්තේ අනික් එවුං ආවොත් මේක බදුගන්න හින්දමයි .

වෙනදා ගෙදර "වල කක්කුස්සියට" ගිහිල්ලා පුරුදු මට මේ නවීන නාන කාමරේ මහම මහ අමුතු විදිහට පෙනුණා . හත්තිලවුවේ !! මේ නාන කාමරේ තියෙන්නේ අමුතුම විදිහේ "කක්කුස්සියක්" . අපි උපන්දා ඉඳන් කක්කා කරපු "වල කක්කුසිය" මේකේ නෑ නේ ..! මේකේ තියෙන්නේ පුටුවක් වගේ වාඩි වෙලා කක්කා කරන්න හදපු අර "කොමඩ්" කියන ධනපති පන්තියේ උපකරණය විතරමයි .

ඇත්තමයි මම පුදුම විදිහට බය වුණා !. මේ කොමඩ් කියන උපකරණය ක්‍රියාත්මක කරන අන්දම මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ . ඒකේ වාඩිවෙන්නේ කොහොමද . ඒකට වතුර ගහන්නේ කොහොමද.? මේ කිසිම දෙයක් මම දැනං හිටියේ නෑ . මම පොඩි කාලේ ඉඳන්ම ඇලේ දොලේ ගලේ මල පහ කරපු පීඩිත පන්තියේ ගැමි කොල්ලෙක්.

මම මටම කතා කරා ..

"සඳරු අනික් එවුන් එන්න කලින් වැඩේ කරලා පැනගනිං ඉක්මනට .

හරි මමත් ඉක්මනින් මේ කොමඩ් උපකරණය ක්‍රියාත්මක කරන හැටි හොයන්න ගත්තා. මට ඕනෑම උපකරණයක් වැඩ කරන හැටි "සුටුස්" ගාලා අල්ලගන්න පුළුවන්. විනාඩි දෙක තුනකට පස්සේ . මම හොයාගත්තා මුලින්ම මේ කොමඩ් යන්තරේ උඩ තියන පියන අරින්න ඕන කියලා . ඊට පස්සේ ඒකේ රවුම් දාරෙට අඩිය තියලා ඒක උඩ නැගලා ඒකේ උඩ ඇන තියාගෙන වාඩිවෙන්න ඕන කියලා .

හරි ! මම ගෙදර තිබුණු වල කක්කුස්සියේ වාඩි වුනා වගේම මේ කොමඩ් උපකරණ උඩ වාඩි උණා . ඒකේ හයිය මදිද කොහෙද ..? පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙන්නත් ගත්තා . වෙලාවට කැඩුණේ නෑ . රයිට් !! මම සාර්ථකව මගේ වැඩේ අවසන් කරලා . බිත්තියත් අල්ලගෙනම කොමඩ් එකෙන් බිමට බැස්සා.

ඊළගට තමයි මට දෙයියෝ සිහි වුණේ . මේකට දාපු මළපහ ටික එහෙම්ම තියනවා ඒවා එතන සිදුරෙන් ගිහිල්ලා නෑ .

"චිහ් මොකා හොයාගත්තද මන්දා මේ නොදියුණු ක්‍රමය ?. ගමේ වල ලැට් එක කොයිතරම් හොඳඳ ?

මම වතුර බාල්දියක් පුරවලා අරගෙන ඒක ගැහුවා . කොහෙද ඒවා එහෙම්මයි . වතුර බාලිදි පහක්ම ගැහුවා ! යන්තම් ඒවා නොපෙනී ගියා ..මම සැනසුම් සුසුමක් හෙළුවා ..

මම ඉක්මනට එළියට ගියා (හෝදගත්තාට පසු) .. ඔන්න එතකොට තමයි අපේ කට්ටිය එකා දෙන්නා ඇඟමැලි කඩමින් අවදි වෙන්න පටන්ගත්තේ .ඔන්න ඉතින් පිළිවෙළට එක්කෙනා දෙන්නා කක්කුස්සියට ගියා .සමහරු ගිය පයින්ම ආපහු අවා . සමහරු ගොඩක් වෙලාව අරගෙන ආපහු ආවා ඉතින් අන්තිමේට අපි ක්‍රිකට් තරඟයට යන්න අපේ ක්‍රීඩා ඇඳුම් ඇඳලා සපත්තු දාලා ලක ලැහැත්ති වුණා . ඔන්න එතකොටම අපේ ප්‍රින්සිපල් සර් සහ . මේ නිවාඩු නිකේතනය භාරකරු අපේ කාමර වලට ආවා .ලොකු සර් ලොකු කිරි කෝප්පෙකුත් බිබී තමයි අපේ ළඟට අවේ !

"අනේ පවු පුතාලා පැදුරුවලද නිදගත්තේ ? . මට කීවා නම් මෙට්ට ටිකක් දාලා ලස්සනට බිම හදලා දෙනවනේ ! නිවාඩු නිකේතනය භාරකරු එහෙම කියනවා

"අපෝ මුන් ගමේ ගොඩේ පදම් වෙච්ච කොල්ලෝ මුන්ට මේවා වැඩ නෙවේ . ලොකු සර් පොර ටෝක් එකක් දුන්නා
 
මම එක දෙයක් දැනගත්තා .මේ නිවාඩු නිකේතනයේ ප්‍රධානියා ආවේ අපිව බලලා යන්න නෙවේ . කාමරේ අඩුපාඩු බලලා යන්න . මූ හිතන්න ඇති අපි ගමේ ඉඳන් ආපු නිසා අපි කාමරේ තිබ්බ බඩු මුට්ටු කීපයක් ගල් කරන්න ඇති කියලා .

"හැමෝම එහෙනම් ඔය පැදුරු අකුළලා ගන්නවලා..! තම තමගේ සේරම බඩු ගන්න ඕනේ. ආයේ අපි මෙහේ එන්නේ නෑ. මැච් එක ගහලා එහෙම්ම යනවා.. හෙ ..හෙහ් කප් එකත් අරං !!

ලොකු සර් දෙන ලොකු ටෝක් වල ඉවරයක් නෑ

ඔන්න හෙමීට ලොකු සර් සහ නිවාඩු නිකේතනයයේ ප්‍රධානියා . නාන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා . ලොකු සර්ගේ ලොකූ කිරි වීදුරුව තවම එයාගේ අතේ.

මොහොතකින් ..

"මොන මගුලක්ද යකෝ තොපි මේ කරලා තියෙන්නේ ? කවුද මේ ගොබ්බ වැඩේ කරපු අසික්කිතයා ?

අපි හැමෝම නාන කාමරේට දිවුවා ! . මම නම් හිතුවේ මම දාපු වැඩ කෑල්ලක් මාට්ටු කියලයි . ඒත් ඉක්මනට නාන කාමරේට ගියාම මම දුටු දෙයින් මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා ..

ලොකු සර් සහ නිවාඩු නිවාඩු නිකේතනේ ලොක්කා එතන තිබ්බ මූණ හෝදන සිංක් එක දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා . ලොකු සර් බුම්මගෙන . නිවාඩු නිකේතනේ ලොක්කගේ කට ඇරිලා . නිකං අලියා "හක්ක පටස් කෑවා" වගේ

මමත් එබිලා බැලුවා . හත් දෙයියනේ ..කවුදෝ එකෙක් සිංක් එකට කක්කා කරලා .."හෙන සයිස් කක්කා ලෝඩ් එකක් "

"කොහොමද යකුනේ මෙච්චර උස සිංක් එකකට නැගලා කක්කා කරේ ? කවුද මේක කරේ ?

මම කොමඩ් එක නොදන්නවා වුණාට සිංක් එක නම් හොඳට අඳුරනවා .ඒක නිසා මේක මම කරපු වැඩක් නොවන බව මට දිවුරලා කියන්න පුළුවන් .

"ඇදපල්ලා උඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩ ඔක්කෝම" එහෙම කියලා ලොකු සර් ලොකූ කිරි උගුරක් බිවුවා ! .ගූ ගොඩ දිහා බලාගෙනම .

ඉතින් හෝටලේ හිටපු සේවකයෝ වේටර්ලා . රූම් බෝයිලා .සේරම එතන පිරුණා ..අනේ ඉතින් අපි බුදු රජුන්ගේ කාලේ හිටපු සුනීත ගූ ඇද්දා වගේ .අපිත් පැය බාගයක් විතර නැහිලා නැහිලා . මේ ලොකූ කක්කා ගොඩ අයින් කරලා දැම්මා .. නිවාඩු නිකේතනේ හිටපු ලස්සන බෝනික්කියක් පෙනුණ පිළිගැනීමේ නිලධාරී තුමියත් එතනට ඇවිල්ලා .අපි කක්කා අදින හැටි බලාන හිටියා . ඒක දැකලා මට හොඳටම දුක හිතුණා .පපුව පැලෙන්න වගේ ආවා !

කතාව එතනින් ඉවරයි ..

අපි වින්ද ලැජ්ජාව නිසා අපි මානසිකව වැටුණා. ගේම් එක චේන්ජ් කරන්න වුණා. මැච් එක අපි උඩින්ම පැරදුණා . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හිටපු කොල්ලෝ අපිට ගැහුවේ බෝල පැලෙන්න ..අපි ලකුණු 25 කට ඕල් අවුට්
 
අපි ආපහු ගමට ආවා . සිංක් එකේ සීන් එක කාටවත් කියන්නේ නැතුව ඒක අපි අපේ හිත් වලම හංගලා තියාගත්තා .අපිට කවදාකවත් මේ වැඩේ කළේ කවුද කියලා දැනගන්නත් බැරි වුණා ..කවුරු හරි බය වෙච්ච කොල්ලෙක් ඒ වැඩේ කරන්න ඇති . ලොකු සර් වුණත් ඒ කතාව ආයේ කවමදාකවත් ඇදලා ගත්තේ නෑ..

ඉතින්.ඔය තමයි අපි.. හැබෑවටම අපි . කොළොම්පුරේ තියන සමහරක් දේවල් අපේ පිටිසර ගම් වලට එන්න ටිකක් කල් ගත වෙනවා අහලා ඇතිනේ කොළඹට කිරි ගමට කැකිරි . සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස එදා අපේ කොල්ලොන්ට අඳුරගන්න බැරි වුණාට අද අපේ ගමේ ඉන්න පොඩි උන් පවා ඒ දෙක අතර වෙනස දන්නවා ..

අවුරුදු 22 වෙච්ච මට අදටත් කොමඩ් එකක් පාවිච්චි කරන්න බෑ .. කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි මාවත් කොමඩ් එක උඩ තියන්න බෑ ...මට පුරුදු එදා පටන් පාවිච්චි කරපු වල කක්කුස්සියම තමයි .

වල කක්කුස්සියේ එලි බහින මම .
\ සඳරු  /