Showing posts with label ධනංජනී. Show all posts
Showing posts with label ධනංජනී. Show all posts

31.10.11

මහ වරුසාවට හේදුණු පළමු ප්‍රේමයේ මතකය. "ධනංජනී"



දා ඔක්තෝබර් මාසේ 15 වෙනිදා . වෙලාව උදේ දහයට විතර ඇති .වටින් ගොඩින් අහස කලු කරගෙන ටිකක් විතර තදින් වැස්සකුත් වැටෙමින් තිබුණා . හොඳට නොතෙමී ඉන්නට තරමට ලොකු කුඩයකුත් ඉහළ ගත්ත මම ඒ වැස්සෙම ටවුන් එක පැත්තට ගියා . කුඩේ නිසා මගේ දණහිසෙන් ඉහළ කොටසට වතුර බින්දුවක්වත් ඉහුණේ නෑ ඒත් කකුලේ ඇඟිලි නම් දියබුං ගහමිනුයි හිටියේ . සපත්තු ඇතුළට වතුර ගිහිල්ලා . ආයෙත් වැහි කාලේ ඇවිල්ලා .

උසාවිය ඉස්සරහා හැමදාම අවුවේ වේලි වේලි ඉන්න සුදු ඉරි අයියලා දෙන්නා මේ මහ වැස්සෙත් වෙනදා වගේම නොසැලී ඉන්නවා. වැහි කබා පෙරවගත්තු උන් දෙන්නා නිකම් හැරී පොටර් ෆිල්ම් එකේ මන්තර ඉස්කෝලේ ඉන්න ගුරුවරු වගේ . කොයිතරම් වැස්සත් උන් දෙන්නා කොහොමද රාජකාරිය නොකර ඉන්නේ ?. අවුව, වැස්ස රෑ දහවල් එකයිලුනේ උන්ට.!

"ආ..! සඳරු මලේ කොහේද මේ වැස්සේ ?"

ලොකු ට්රැෆික් අයියා මගෙන් එහෙම ඇහුවෙ ! ඌ හැමදාමත් මගෙන් කොම්පියුටර් ඉගන ගන්න එන බුදු ෆිට් එකක් නිසා .

"
මේ අහරෙට යනවා අයියේ ! මම එතනින් ඉක්මනට කැපුනා .”

ටවුමට ආපු මම ටවුම සිසාරා යන්න බැල්මක් හෙළුවා .මගේ ඇස් කෙනෙක්ව දැකගන්න ආසාවෙන් බලාන ඉන්නවා !

ටවුන් එකේ ඔරලෝසු කණුවට දකුණු පැත්තට වෙන්න ලොකු අන්දර ගහක් තියනවා . කෙළින්ම බැලුවාම නම් තියෙන්නේ වැව . ඉදිරියෙන්ම මැර බුවාලා ඉන්න යකඩ බජාර් එකත් . ඒ අසලම බස් නැවතුම්පලත් පේන්න තියනවා . ඒත් මගේ ඇස් හෙවුවේ එවුවයිං එකක්වත් නෙවේ .මම පණ දාගෙන මගේ බෝල ඇස් කරකවමින් හෙවුවේ එයාව .

වම් පැත්තේ අන්දර ගහ යට කුඩයක් ඉහළගෙන , තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක කතා බහ කරමින් ඉන්න ධනංජනීව අන්තිමේදී මට හමු වුණා . එකි තවමත් මාව දැකලා නැහැ ! . ඒකිගෙයි මගෙයි අතර පරතරය මීටර් සීයකට වැඩියි . කලිසමේ චූ කරගන්න පොඩි සන්දියේදී පටන් දැන අඳුනගත්තු නිතර නිතර හමු වුණු . අසල් වැසි ගෙදර ධනංජනී කෙල්ලව මට මහ වැස්සක් මැදදී විතරක් නෙවේ . සහරා කාන්තාරේ චන්ඩ වැලි කුණාටුවක් මැද්දෑවේ වුණත් අඳුනගත්තැහැකි ඒ විතරක් නෙවි. තිත්ත කළුවරක, කෙල්ලෝ සීයක් අතර හැංඟිලා හිටියත් මට ධනංජනීව අඳුනගන්න පුළුවන් .

මම අඩියට දෙකට වම් අත පැත්තෙන් තිබුණු ෂෙඩ් එකට දිවුවා .

මචං මේ කුඩේ පොඩ්ඩක් තියාගනිංකෝ මම එන ගමං ගන්නම්. මම එහම කීවම එතන තෙල් ගහන මගේ මිත්රයා හිතන්න ඇති මට පිස්සු හැදීගෙන එනවා කියලා

සයිඩ් බෑග් එකත් පිටිපස්සට කරගෙන උඩ සාක්කුවේ තිබුණු ෆෝන් එකත් ඒකටම ඔබාගෙන . මහ වැස්සෙම ධනංජනී ඉන්න දිහාවට දිවුවා . ඒත් ඒතරම් වේගෙන් නම් නෙවෙයි ටිකක් හෙමින් . මම ලැසිම ලැසිම ලැසි ගමනින් ඒ කෙල්ලෝ ඉන්න තැනට කිට්ටු වුණා . ළඟට කිට්ටු වුණාම වේග ටිකක් වැඩි කළා .

අනේ සඳරු මොකටද තෙමීගෙන ආවේ ? ඉක්මනට එනවා මෝඩයෝ කුඩේ ඇතුළට .

ඉබ්බා දියේ දැම්මාම මොනවාදෝ කීවලු ! මමත් කුඩේ යටටම රිංගුවා එතකොටම ධනංජනීගේ යෙහෙළියෝ දෙන්නා එයාට අත වනලා යන්න පිටත් වුණා.අන්තිමේදී මමයි එයයි කුඩේ යට තනි වුණා .පහළින් ගලාන යන කුණු කාණුවේ ගන්ධස්සාරේ ධංජනීගේ කොලොන් එකේ සුවඳට යටපත් වුණා .මගෙ හිතේ සතුට උතුරනවා !

එක ලඟ ගෙවල් දෙකක ජීවත් වුණත් . නිතර දෙවේලේ හමුවුණත් ඉස්සර නිතරම මේ වගේ කුඩේ යටින් ගමන් බිමන් ගියත් අපි ආයේමත් මේ වගේ ලං වුණේ කොයිතරම් කාලෙකට පස්සෙද ? මගෙ බඩ බොක්ක කූල් වෙලා ගියා .ඒත් ඒ වැහි වතුර වල සීතලට නම් නෙවෙයි .

මේ කතාව පටන්ගත්තේ මම මහ වැස්සේ ලොකු කුඩයක් යටින් එන සීන් එකෙන් නම් නෙවෙයි . කතාව පටන්ගත්තේ එදා උදේ හයට විතර !

ඒ මොහොතේ මම ඇඳේ පෙරළිලා හොඳටම බුදි . සීතල නිසා ඔළුවේ ඉඳන් පොරවං හිටපු මට ෆෝන් එක රිං වෙන එක මහම මහ කන්දොස් කිරියාවක්ම වුණා . කීප වතාවක්ම ෆෝන් එක දිහා බලනෙවත් නැතුව ෆෝන් එක කට් කරලා දැම්මත් තුන් වෙනි වතාවේ මම ෆෝන් එක දිහාවේ බැලුවා කවුද මේ තදියම් කාරයා කියලා හිතෙන් බනින ගමන් . ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ Dani කියලා වැටිලා තියනවා දැක්කා විතරයි මගේ නිදිබර සෝමාරි ගතිය අතුරුදන් වෙලා ගියා .

හලෝ

"
ඔයා අද වැඩට යනවද ?”

ඇයි ධනී ?”

මේ..! මට බඩු වගයක් ගන්න තියනවා . අනුත්තරාටයි, සඳමාලිටයි අද වෙන ගමනක් යන්න තියනවාලු ඉතින් ඔයාට බැරිද පැයකට මගෙත් එක්ක ටවුන් එකට යන්න එන්න .

"
මම එන්නම්

ඔයා එහෙනම් ටවුමට එන්න මම ඔරලෝසු කණුව ගාව ඉන්නම් .

ඒ ඉරිදා දවසක් . අනිත් අයට නිවාඩු වුණාට ඉරිදා කියන්නේ මට වැඩ වැඩිම දවස . ඒත් මේ කෙල්ලගේ ඉල්ලිම අහක දාන්න මට ඒ මොහොතේ හිත හදාගන්න නම් බැරිවුණා . ඒ මමත් අනිත් එවුං වගේම මනුස්ස පරාණයක් හින්දා වෙන්නැති..! සීතලේම වතුර බාල්දි දහයක් දොළහක් නාගත්තු මම බස් එකක එල්ලිලා පැය භාගයක් ඇතුළත ටවුන් එකට ගියා . ධනංජනීව මුණ ගැහුණා . ඉතින් මම නතරවුනේ එයාගේ කුඩේ යට .

ධනංජනී මගෙන් උදවුවක් ඉල්ලුවේ අවුරුදු දෙකකට විතර පස්සේ .ඉතින් කොහොමටවත් ඒ උදවුව නොකර ඉන්න මට පුළුවං කමක් තිබුණේ නෑ . ධනංජනී කියන්නේ මම ජීවිතේ වැඩිම කාලයක් ඇසුරු කරපු කෙල්ල. මගේ ළඟින්ම හිටපු කෙල්ල. අපි දෙන්නට තිබුණේ හරිම සුන්දර ළමා කාලයක්. මගේ ගෙවල් ගාවම තමයි ධනංජනීලෑ ගෙවල් තිබුණේ . ඒකි පොඩි කාලේ කොයි වෙලේ බැලුවත් හිටියේ මගෙත් එක්ක .මමත් එහෙමයි ඒකිත් එක්කම හිටියා . ටිකක් ලොකු වුණාමත් අපි දෙන්නා එකට හමු වුණා , නිතර කතා බහ කළා. එත් කලින් තිබුණු ලෙංගතු කම අපි දෙන්නා අතරින්ම ටික ටික ඈත්වෙලා තිබුණා . ඔය කාලෙදී මම ධනංජනීට පපුව පිරෙන්නම ආදරේ කරා . ඒත් ඒ ආදරේ මම කවදාකවත් එළියට දැම්මේ නෑ .

මේ පහුගිය දවසක දංනජනීලෑ අම්මා සහ මගේ අම්මා දෙන්නා අපි දෙන්නව ජෝඩු කරන්නත් පොඩි උත්සාහයක් ගත්තා . ඒත් ඒ වෙනකොට ධනංජනී සහ මම හිටියේ පොඩි හිත් අමනාපෙකින් ඒ වගේම . ඒක නිසා මම කෙළින්ම ඒ යෝජනාවට පයින් ගැහුවා ඊට පස්සේ මට ආයෙමත් ධනංජනීව හමුවුණේ මේ කුඩේ යටදී ..

ඔලුවේ වතුර ලේන්සුවෙන් පිහින ගමන් මම හොරැහින් ධනංජනී දිහෑ බළුවා .දෙයියනේ ඒකි ලස්සන වෙලා . කොණ්ඩෙත් ලස්සනට කඩා හැලෙනවා . මේ වගේ කෙල්ලක් එක්ක කුඩේ යටින් යන මාව දකින කොල්ලෝ මට ඉරිසියා කරාවි !. ඒ තරම්ම ධනංජනී ලස්සනයි. දකින ඕන කොල්ලෙක්ගේ බැල්ම පැහැරගන්න තරම්ම ඒකි ලස්සනයි. ඒත් මම මේ කෙල්ලට ආසා කළේ මේකි හොටු පෙරාගෙන මඩ ගාගෙන සොල්ලම් කරන පුංචි කාලෙදීමයි..

"
අපි යමුද ?

මගේ කල්පනා ලෝකේ සවාරිය ඉවර වුණේ . ධනංජනී එහෙම ඇහුවට පස්සෙයි

"
සඳරු ඔයා අද වැඩට යනවා නේද ?

"
නෑ අද මට එන්න වෙන්නේ නෑ අසනීපයි කියලා මම උදෙන්ම කෝල් එකක් දුන්නා .

"
බොරු කියන්න දන්නෙම නෑ !

"
නැතුව බෑ නේ කෙල්ලෙක් එක්ක ටවුන් ආවා කියලා නිවාඩු ගන්නයැයි"

"
ඒකත් ඇත්ත .

"
ඉතින් ඔයාට මොනාද ගන්න තියන බඩු . මිරිස් ගල් , වංගෙඩි වගේ බර දෙයක් ගෙදර ගෙනියන්න ඕන ඇති ඒකනේ ඔයා මට එන්න කීවේ .

"
ඒව නම් නෑ ඒත් මට බඩු ගොඩක් ගන්න ඕන"

"
තාත්තගේ පඩියට විදින්න ලැජ්ජ නැද්ද ?”

"
හන්නකෝ ලබන මාසේ මම බඳිනවා .! ඉතින් බඩු ගන්න තියනවා .

මහ හඬින් ගොරවලා අකුණක් ගැහුවා .හැබැයි ඒ වැහි බර අහසේ නම් නෙවේ මගේ පපුව ඇතුළේ.එහෙනම් ඒකද අවසානේ ?

ධනංජනීගේ කටින් පිටවුණු ඒ කියත් පටියක් වගේ තියුණු උත්තරේට . මාව සම්පූර්ණයෙන්ම ගොළු වුණා . හිත කඩාගෙන වැටුණා .එක අතකින් මට මෙහෙම වෙන්න ඕන . හැමදේකටම වැරදි කාරයා මම . මම කවදාවත් මගේ ආදරේ එයාට කියලා නෑ .එයාලෑ ගෙදරින් යෝජනාවක් ගෙනාවම ඒකටත් පයින් ගැහුවා . ඉහළට ඇද ගත්තු හුස්මක් හෙමිහිට පහළ දාන අතරේ මම හිත හදාගත්තා .

අපි දෙන්නම රෙදි කඩයක් ඇතුළට ගියා . එළියේ මහ වැස්සක් වහිනවා . අහසත් අඬනවාද මන්දා ? ධනංජනීගේ මූණෙන් අමුතු දුකක්වත් අමුතු සතුටක් වත් පේන්නේ නම් නෑ .ධනංජනී පැයක් විතර ඒ කඩේ ගත කරලා රෙදී මීටර කීපයක් අරගත්තා .

මේවා ජනෙල් දොරවල් වලට දාන්නයි ගත්තේ. එයා එහෙම කියනවා .

ඊළඟට ධනංජනීගේ දෙපා නතර වුණේ රත්තරන් බඩු කඩේක.

"
මේ ඔයා මේවත් ගන්න සල්ලි ගෙනාවද ?

"
අපෝ නෑ අම්මා මට කිවුවා ඩිසයින් එකක් තෝරගෙන එන්න කීවා මම මේ ඒකට යන්නේ .

"
මම එළියේ ඉන්නම් . ! “

"
හ්ම් ඔයාගේ කැමැත්තක්"

ධනංජනී එතනත් පැයක් විතර ගත කළා . කිසිම රත්තරන් බඩුවක් මිලට ගත්තේ නැතත් කඩේ තිබුණු හැම අස්සක් මුල්ලක් නෑරම එයා අවුස්සලා බැලුව බව නම් මම දැක්කා . ඊට පස්සේ අපි ආයෙමත් පිටත් වුණා .ධනංජනීගේ අතේ තිබුනු බර රෙදි මල්ල මම අතට ගත්තා . කෙල්ලෙකුට බර පටවලා කෝමද ?

"
දැන් ඉතින් මට වෙඩින් කියන්නේ නැද්ද ?” හිතේ ඇවිලෙන කෝටියක් දුක් ගින්දර තද කරන් මම එහෙම ඇහුවේ එන්න කියලා කීවත් නොගිහින් ඉන්න කලින්ම තීරණය කරගෙනමයි.

"
මොකද නැත්තේ ? තවම කාඩ් ගහලා නෑ මම ඔයාට වෙනම කියන්නයි හිටියේ .

"
දැන් ඉතින් කිවුව නේ ආයේ කාඩ් ඕන නෑ"

ධනංජනී නිහඬ වුණා .ඔන්න එතකොටම ධනංජනීගේ ෆෝන් එක නාද වෙන්න ගත්තා .

අනේ මේ කුඩේ පොඩ්ඩක් අල්ලගන්න

ධනංජනී එයාගේ හෑන් බෑක්කේ අවුස්සන්න ගත්තා . එයා බෑග් එක අස්සේ අත දාගෙන එහේට මෙහේට දඟලන දිහා මම ආසාවෙන් බලාන හිටියා .මේ තමයි අවසාන වතාව ආයේ මම මැරෙන තුරාවට මේ කෙල්ලට මේ තරම් ළඟින් ඉන්න බැරි වේවි .මේ සුවඳ මට විඳගන්න බැරිවේවි .අවුරුදු දහසයක් පරණ සම්බන්ධයක අවවසානයට මම ටික ටික කිට්ටු වෙලා .

"
හලෝ …… ඔවු ඔවු ………ආවා ආවා .. හ්ම් ..හ්ම් "

ඕක තමයි එයාගේ කෙටි දුරකථන සංවාදය ..ඊළඟට වෙන්න යන දේ මට ඉවෙන් වගේ දැනුණා . කමක් නෑ මම බබා වගේ ඉන්නම් ..මම එහෙම හිතන ගමන් හිත හදාගන්න ලොකු උත්සාහයක යෙදුණා .

"
මේ මේ සඳරු . අයියා මට බෑංක් එක ගාවට එන්න කියනවා මම යන්නද ?

"
එයා බෑංක් එකේද වැඩ . ?”

"
"

"
යමු මමත් එන්නම් මේ බඩු ටික ගෙනියන්නත් එපෑය "

"
අනේ එපා සඳරු ඒක හරි නෑ එයා ටිකක් වෙනස් ඔය ටික මම ගෙනියන්නම් "

"
හෙමද ? එහෙනම් මේ ටික ගන්නකෝ මම යන්නම් .

හිතේ තිබුණු ආදරයයි ඒ ආදරය උඩටම වැටුණු වෛරයයි . ලැජ්ජාවයි මේ තුනම වහින වැස්සට හේදිලාම පලයං කියලා හිතාගෙන මම කුඩෙන් එළියට ආවා. මොරසූරන මහ වැස්ස මැදටම.

"
සඳරු මම ඔයාව එහා පැත්තට ගිහින් දන්නම් තෙමෙන්න ඕන නෑ "

"
නෑ ධනී ආවෙත් නාගෙන නේ නාගෙනම යන්නම් ..

බෑග් එකේ තියන ෆෝන් එක තෙමෙන්නේ නැති බව මට විශ්වාසයි . මම ආපු පාර දිගේ වැස්සෙම ඇවිදගෙන ගියා . “තව වැස්ස වැඩි වෙයං තව වැඩිවෙයං” මම හිතෙන් මිමිනුවා .

මට හිතෙනවා මම ජීවිතේ කොහේ හරි තැනක් වරද්ද ගත්තා කියලා . ඒත් ඒ වරද ආපහු හදන්නවත් ඒ වරද මොකද්ද කියලා හිතන්නවත්. මට පුළුවන් කමක් නෑ . මම ධනංජනීව අවුරුදු ගාණක්ම ඇසුරු කළා . කාලයක් පපුව පිරෙන්න ආදරේ කළා තව කාලයක් වෛර කළා .අපි දෙන්නගේම ගෙවල් වල උදවිය හිතුවේ අපි දෙනට දෙන්නා දෙන්නා ආදරේ කරාවි කියලයි .ඒත් එහෙම වුණේ නෑ. දැන් මට ඒ කෙල්ලට ආයේ බනින්නවත් අවස්ථාවක් නෑ . ලබන මාසේ දවසක ඒකි වෙන ගෙදරක පදිංචියට යාවි . කමක් නෑ මම ආයේ ඒකිට වෛර කරන්නෙත් බැඳගෙන ආදරේ කරන්නෙත් නෑ .

එදා ඒ වැටෙන වැස්සේ තෙමීගෙන යන අතරේදී මම තීරණය කළා ධනංජනීගේ මගුල් ගෙදර නොගිහින් ඉන්න . කෙල්ලෙක් නිසා දුක් වෙන කෙනෙක් නම් නෙවෙයි මම ඒ වුණත් මේ ලියන මොහොතෙත් මේ ගතවුණු සතිය පුරාමත් මගේ පපුව ඇතුළේ දඟලන අමුතුම හැඟීමට දෙන්න නමක් නම් මට හිතාගන්න බෑ ..! මම හැම අතකින්ම හිරවෙලා . මට පපුව පිරෙන්න ආදරේ කරන කෙල්ලෙක් මට දැන් ඉන්නවා ඉතින් ආයේ ධනංජනීට ළංවෙන්නත් මට බෑ .

දවසක්දා මම මටම පොරොන්දු වුණා ධනංජනීට කලින් මම කසාද බැඳලා ඒකිගෙන් පලි ගන්නවා කියලා . ඒත් පැරදුනේ මම .පරාජය භාරගත්තු මම මම මේ පැතුම කරන්නේ පිරිසිදු හිතකින් නම් නෙවේ නොකර බැරි නිසා.මගේ හිතේ දුකක් නෑ මේ ලිපිය ලීවෙත් මේ මාසෙට ලිපි හතක් නොතිබුණොත් ඒක අඩුවක් වගේ දැන නිසාම විතරයි .

සුබ මංගලම් ධනංජනී ..!!!

/ලි . හඬන සිත නිවන මල්පැනි නැතුව බැරි හැඩයි . !


24.8.11

ධනංජනී ගෙන් පළි ගැනීම .!


සංගීතයක් බලන්න ගිහිං මම එදා ගෙදර එනකොට පාන්දර 3 විතර ඇති ..සොරි වෙන්න අරගෙනත් හිටි නිසා මට ඇඳට වැටුණ ගමන් නින්ද ගියා පහුවදා.. උදේම මම ඇහැරුණේ උඩ වීසි වෙලා !!

"අයියා අයියා අන්න ඔයාට ප්‍රපෝසල් එකක් !!

මට හීනෙන් වගේ නංගිගේ කට හඬ ඇහුණා !”

"නැගිටපංකෝ !! අන්න උඹට කෙල්ලෙක්ව කතා කරනවා.. හපෝ උඹ ළඟ ගඳ !!” නඟා දෙවනි පාරටත් කෑගැහුවා

"මොකක් ? මට ප්‍රපෝසල් එකක් කවුද ?”

හිකි හිකි ..ඔයාගේ සක්කර වට්ටම ධනංජනී..!!නඟා මට කින්ඩි කෝටියක් පාස් කරලා යන්න ගියා

නඟා කියපු දේ ඇහුන හැටියේ මගේ නින්දයි යන්තම් වෙරි මතයි ශීඝ්‍රයෙන් පහළ බැස්සා .මම ඇඳේ මුනිං අතට පෙරළිලා ධනංජනී ගැන හිතන්න ගත්තා .. ! උඩ අතට බුදියගෙන ඔවුවා හිතන්න බෑ නේ.. දන්නෝ දනිති !

අපි හිටපු ගෙදරට ගෙවල් දෙකකට එහාහින් තමයි ධනංජනී ලෑ ගෙවල් තිවුණේ. අපි මේ ගමේ මුල් පදිංචි කාරයෝ වුණාට ධංනංජනීලා නම් මේ ගමට පිටින් ආපු උදවිය ..

මට ඒ දවස් යාන්තමට වගේ මතකයි . අපේ ගෙවල් ගාව පදිංචියට ආපු අලුත කෙහෙල් ඇවරියකුත් අරං ධංනංජනීගේ පවුලේ උදවිය අපේ ගෙදර ආපු හැටි !

ධනංජනී එතකොට පොඩි කෙල්ල .සාය කොටයක් ඇඳගෙන "චූස් චූස්" ගාන සපත්තු දෙකකුත් දාගෙන අමාගේ ගවුමේ එල්ලිලා අපේ ගෙදර ආව හැටි ඇවිත් මගෙ දිහා හොරෙං බලං හිටපු හැටි. හප්පා !! මට නම් ඒවා මලත් අමතක වෙන්නෑ .

එදා පළමු වතාවට අපේ ගෙදර ආව ධනංජනී ඊට පස්සේ නිතරම වගේ මට හම්බ වුණා ..එයාව බරදුන්නෙත් මම ගිය මොන්ටිසෝරියටමයි ..ඊට පස්සේ ඉස්කෝලේ ගියෙත් මම ගිය ඉස්කෝලෙටමයි , මගේ පන්තියටමයි .. ඉතින් ඒ පුංචි කාලේදී අසල්වැසි අපි දෙන්න පුදුම විදිහට යාළුවෝ වුණා .. විටක වැලි ගහගත්තට , බැනගෙන රණ්ඩු වුණාට ,අපි දෙන්නට දෙන්නා නැතිව බැරි තරමට ළංවෙලා හිටියා .හ්ම් අපි දෙන්නා කොයිතරම් ළඟින් හිටියද ?

මොන්ටිසෝරි කාලේ ගැන මට වැඩි මතකයක් නැතත් ඉස්කෝලේ 1වසරේදී සිද්ධ වෙච්චි සිදුවීමක් මගේ හිතේ කොනක නොමැකෙන්නම ඇඳිලා තියනවා අදටත්..

එතකොට අපිව 1 වසරට බාරදුන්නු අලුත . මට මතකයි පන්තියේ හිටපු කොල්ලෙක් ධනංජනීට කලු ලෑල්ල මකන කොට්ටෙන් දමලා ගැහුවා ! ..ඒකිගේ ඇස් දෙකට රටහුණු ගිහිල්ලා දැවිල්ල අරං අඬන්න පටන්ගත්තා . ! මට ඒ වෙලාවේ දැනුණේ පුදුම තරහවක් හරියට මේ මගේ ඇස් දනවා වගේ. අතේ තිබුණු වතුර බෝතලේ ලොකු රවුම් මූඩිය ගලවලා අරං මම අර කොල්ලට ගහගෙන ගහගෙන ගියා ..

"ගහපිය අනේ ඕකට.. ගහපිය ! අනේ ගහපිය .. . !”

ධංනංජනී මට චියර් කරන්න පටන්ගත්තා !!

කෙල්ලත් චියර් කරනවා නම් ආයේ මොනාද ? මමත් ඇරසෝලා ! අරූට ගැහුවා ..තොල පැලිලා ලේ එනකම්ම ගැහුවා..! පන්තිභාර ටීචර් දුවගෙන ඇවිල්ලා මාව ඇදලා ගන්නකම් ගැහුවා .!!

.එදා මගේ අතට පුංචිම පුංචි වේවැල් පාර දෙකක් වැදුණා .. මට යන්තම්වත් රිදුන්නෑ ..ඒත් මට පුදුම විදිහට දුක හිතුණා .ඒ මම පන්තිය ඉස්සහරා ගුටි කාපු පළමු වතාව ..ධනංජනී බය වෙලා අඬන්න ගත්තා .. ඒක දැකලා මමත් ඇඬුවා . ඔන්න මම අඬාපු අවස්ථා වලින් මට මතක එක අවස්ථාවක් ..

ඔන්න ඔය වගේ පොඩි පොඩි සිදුවීම් වලින් අපි දෙන්න අතර තිබුණු බැඳීම තව තව වැඩි වුණා ..අපේ බැඳීම කොයිතරම්ද කීවොත් ගුරුවරුත් අපිට විහිළු කළා .."නෝනයි මහත්තයයි" කියලා .ඒත් අපි නෙවෙයි සැලුණේ ..!

අපි දෙන්නා එක එක පිඟානෙන් කෑම කාලා තියනවා .එක බේසමේ බැහැලා නාලත් තියනවා...ආයේ මොනාද මම ධනංජනීව වඩාගෙනත් ඉඳලා තියනවා .

ඒ පුංචි කාලේ හැමදාම තියෙන්නේ නෑ නේ !.. ඔන්න ටිකෙන් ටික අපි ලොකු මහත් වෙන්න පටන්ගත්තා. ධනජනීත් අනිත් කෙල්ලෝ වගේම ගෙට වුණා ! ඊට පස්සේ ඒකි අපේ ගෙදර එන එක ටිකක් අඩු කළා ..ඉඳලා හිටලා මිසක් වෙනදා වගේ නිතරම අපේ ගෙදර ආවේ නෑ ..මමත් වැඩේ තේරුම් අරං හිටි නිසා මට එයාගේ වෙන්වීම දරාගන්න පුළුවන් වුණා .

ඒත් දවසක්දා ධනංජනී මගේ යන්තම් තරුණ හදවතට තට්ටු කළේ අමුතුම විදිහටක මම හිතන්නේ මේ සිදුවීම වෙනකොට මම අට වසරේ !

මම දවසක් පුස් බයිසිකලෙන් කොහේදෝ ගිහින් එනකොට ධනංජනී තනියම ඇළ පාර දිගේ එනවා ..බින්දු බින්දු වැටිච්ච නිල් පාට ගවුමක් ඇඳලා හිටපු ධනංජනී ගෙන් දැන් අමුතුම ලස්සනක් පේනවා . පොඩි කාලේ මාත් එක්ක හිටි හොටු පෙරාගත්ත කෙල්ල වෙනුවට දැං ඉන්නේ පින්නේ පිපුණු මලක් වගේ ලස්සනම ලස්සන පුංචි කෙල්ලක් ..

"නගින්න ධනී මගෙත් එක්ක යමු ..!”

"අනේ අම්මෝ මට බෑ ! සඳරු තමුසේ යනවා ..මං පයිං එනවා !”

මට පුදුමයි මෙච්චරකල් මගේ බයිසිකලේ ගියපු හිටිගමන් මාවත් දාගෙන පැදපු මේ කෙල්ල මගෙත් එක්ක යන්න බෑ කියනවා ..දැන් ඉතින් මේකි ලොකු කෙල්ලක් නේ . මටත් අහපු එක ගැන මාරම ලැජ්ජාවක් හිතුණා ..

"හෙහ් ! අපෝ උඹට එන්න බැරි නම් හිටපං උඹව මේකේ පටෝගන්න වැඩේමයි .”.මම ආපහු යන්න හැරුණා

"නෑ නෑ ඉතින් ඉන්නවා මාත් එනකං එහෙනම්..

ඔන්න ධනංජනී ඇවිත් මගේ බයිසිකලේ මැද පොල්ලේ ඉඳගත්තා .. ඉතින් වළවල් වලින් පිරුණු ඒ පාර දිගේ ධනීවත් තියාගත්තු මම හෙමිහිට බයිසිකලේ පැදගෙන ගියා ..

ඇල ඉස්මත්තෙන් හමාගෙන ආපු හීතල හුළඟ විසින් ධනංජනීගේ කෙස් වැටිය මගේ මූණ පුරාවටම විසුරුවා හැරියා .. තෙත කොණ්ඩේ මගේ මූණේ වදින අතරේ , ධනංජනී මගේ ඇඟේ ගෑවෙන අතරේ මට අමුතුම අමුතු හැඟීමක් දැනෙන්න ගත්තා , පළමුවෙනි වතාවට ..ඔව් අන්න එදා මම පළමු වරට ඔකඳ වුණා ..

එදා ගෙදර ගිය මොහොතේ ඉඳන් දවස් ගාණක් මම බලාගත්තු අත බලාගෙන හිටියා .. මම තනියම කල්පනා කළා .. කප්පරක් හිතුවිලි මගේ හිත ඇතුළේ පැටලැවිලා ..බලන බලන අත මට පේන්නේ ධනංජනී විතරයි ! ඇහෙන්නේ ඒකිගේ කතාව විතරයි මට ඒ දවස් වල හිතුණෙම මම ජීවත් වෙන්නේ ඒකි හින්දමයි කියලා …

මම ආයේමත් ඇඳේ අනික් පැත්තට හැරුණේ මුනිං අතට ඉඳලාම ශරීරාංග කීපයක් රිදුම් දෙන්න පටන් ගත් නිසාමයි ..

සති දෙකකට පස්සේ මට තේරුම් ගියා මම ධනංජනීට ආදරේ කරනවා කියලා ..! මම එහෙම හිතලා සතුටු වුණා ඇත්තටම එදා මගේ හිත ඇතුළේ ඇඳුණු ඒ හැඟීම පොඩි කොල්ලෙක්ට කෙල්ලෙක්ව නිතර දැක්කාම දැනෙන ආකර්ෂණය බව තේරුම් ගන්න තරම් මගේ මනස මෝරලා තිබුණේ නෑ !

එදා ඉඳන් මාස ගණනාවක් මම ධනංජනීට හිතින් පෙම් කරන්න පටන්ගත්තා ..

"ධනී ඔයා මට කැමතියිද ?"
"ධනී ඔයා මට ආදරෙයිද
?"

මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිං කී ගමනක් නම් තනියම එහෙම අහන්න ඇතිද ? . ඒත් ධනංජනී ඉස්සරහා හිටගත්තහම මම ගොළු වෙනවා ධනංජනීට "ඔයා" කියන්න තරම් වත් හයියක් මට තිබුණේ නෑ ! ඒකයි මම එයාට හැමදාමත් "උඹ" කීවේ ..ඉතින් හැමදාමත් මම හිතින් විතරක් පෙම් කරමින් ඈතට වෙලා බලං හිටියා ..

මගේ අම්මයි ධනංජනීගේ අම්මයි ගෙදර සාලේ මැද ඉඳන් කතාකරනවා මට යාන්තමට ඇහෙනවා ..ඒ හඬින් මම ආයෙමත් පියවි සිහියට ආවා ..

"මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ නංගී ..ඒ දෙන්නා ඉස්සර ඉඳන් හරි එකතුයි නේ ..එයාලා තමන්ගේ දියුණුව හදාගනීවි .අපිත් උදවු කරමු ..ඒ හඬ ධනීගේ අම්මා වන සීලවතී නැන්දගේ.

මම හෙමීට නැගිටලා සාලේ පැත්තට යන්නයි හැදුවේ ..ඒත් මේ අරක්කු ගඳ සීලවතී නැන්දට ආවොත් ඒකිට සිහි මුර්ජා වේවිද .. ? ඒකනම් බැරියෑ අම්මා මගේ ටීෂර්ට් සේරම වැලේ වනලා ..අතේ තියන පච්චෙත් පෙන්නගෙන සාලෙට ගියොත් "මූ වගේ පෙරේතයකුටද මම දූව දෙන්න ආවේ" කියලා සොක් එක ඇවිදිල්ලා ..සීලවතී නැන්දා පපුව පැලිලා මැරුණොත් ?

මම ආයෙමත් ගිහිං ඇඳ උඩ වාඩි වුණා .කොට්ටෙට ඔළුව තියාගෙනම .ආයෙමත් හිතින් අතීතයට ඇදුණා ..

මම එතකොට නවය වසරේ A පන්තියේ. ධනංජනී හිටියේ මගේ පන්තියේ නෙවේ .එයා හිටියේ B පන්තියේ .. ඉතින් මම ධනංජනීව දකින්න තියන ආසාව නිසාම නිතරම B පන්තියට රිංගනවා ඒකේ ඉන්න කොල්ලෙත් එක්ක නිකං බොරුවට වල් පල් කතා කරනවා .. ධනීට පේන්න විහිළු කරනවා ..මගේ විහිළුවකට ධනංජනී හිනහා වුණ දවසට මට කෑම ඕන්නෑ මගේ බඩ පිරෙනවා ..! ඇත්තට මම ඒකිගේ හිනාවට පුදුම විදිහට ආස කළා ..

ඔය අතරේ දවසක් ධනංජනීලෑ පන්තිභාර ටීචර් කවුරුත් නොහිතපු විදිහට ප්‍රසූත්‍ර නිවාඩු ගත්තා ..! අපේ ඉස්කෝලේ ඒ කාලේ වෙනකොට ටීටර්ලා හරිම අඩුයි ..ඉතින් B පන්තියේ ළමයි සහ Aපන්තියේ ළමයින්ව එකම හෝල් එකකට වැටුණා. ටික දවසකට ..

ධනංජනීයි මායි එක පන්තියට වැටුණ එකට මට නම් හරිම සතුටුයි !! ඒත් ඒ සතුට වැඩි කල් තිබුණේ නෑ..! ඒ සතුට යන්න ගියේ මගේ හිතේ තිබ්බ ආදර ගින්නත් නිවාගෙන..

..මේ සිදුවීම වුණේ පන්ති දෙක එක්කාසු කරලා දෙවනි දවසේ. මට තාම මතකයි ..ඒ ගෙවුණේ සමාජ අධ්‍යනය පීරියඩ් එක . ස්කෝලේ හිටපු සැරම සැර යක්‍ෂණියක් කියලා නම් දරාගෙන හිටපු "බුරියානි මිස්" තමයි ඒ මොහොතේ පන්තියේ හිටියේ .ටීචර් එදා උගන්වපු පාඩම භූ විෂමතාවය ..මට ඔවුවා අදටත් මතකයි ..

ටීචර් පොඩ්ඩක් පන්තියෙන් එළියට යනකම් හිටපු මම නිකමට ධනංජනීගේ අතින් අල්ලලා මගේ පැත්තට ඇදලා ගත්තා ..මට එහම කරන්න හිතුණේ ඇයිද කියලා මම අද වෙනතුරු දන්නේ නෑ ..! මම දන්නේ මම එහෙම කළේ වනචර කමට නොවන බව විතරමයි ..

"අනේ එපා සඳරු”කියලා හුරතල් වෙච්ච කෙල්ල මගේ අත ගසා දාලා ආයෙමත් ගිහිං එයාගේ පුටුවේ ඉඳගත්තා . කොල්ලෝ සෙට් එක නම් මට නියම විසිල් පාරක් දුන්නා ..ධනංජනීටත් හිනහයි මම හොඳටම දැක්කා ඒකි හිනා වෙනවා ..ඒත් ..

ඔන්න ඔය අතරේ බුරියානි මිස් පන්තියට ආවා .. ටීචර් ගුරු පුටුවෙන් ඉඳගන්නත් කලින් ධනී ටීචර් ගාවට ගියා ..මම හිතුවේ පොත පෙන්වන්න යනවා ඇති කියලා ..ඒත් මම හිතුවා වැරදියි ..

"සඳරු මෙහෙ වර !! තෝ .තෝ.!” මට ඒ එදා ටීචර් කතාකරපු ගිනියම් වචන ටික තවම මතකයි ..

මම ඉස්සරහට ගිය ගමන්ම බුරියානි ටීචර් පැන්න ගමං මගේ පිට හරහා පාරවල් හතරක් ගැහුවා .. මට රිදුනා ..මට වාර්තා පොතෙනුත් ගැහුවා. ඒකත් මට රිදුනා .. මගේ කනෙං ඇදලා ආයෙම පිටට ගැහුවා .ඒකනම් හොඳටම රිදුනා ..!

"වර යන්න තෝ ලොකු සර් ගාවට ..” 

ටීචර් මාව ඇදගෙන ලොකු සර් ගාවට යන හැටි පොඩි පන්තිවල ළමයි පන්ති කාමර වල පුංචි දැල් අතරින් බලං හිටියා ..ඒත් මගේ වෙලාවට ලොකු සර් ඔෆිස් එකේ හිටියේ නෑ. මම බේරුණා.. ඒත් ..මට දැනුණේ ලොරියකට යට වුණා වගේ හැඟීමක්..මගේ තොල් දෙක වෙවුලුවා .උගුර කට වේලිලා .. මට මේ කිසිම දෙයක් අදහාගන්න බැරුව මම මොකෙද්ද එකෙක් වගේ කල්පනා කළා ..!

එදා කලු ලෑල්ලේ ලියැවුණු කිසිම දෙයක් මම දැක්කේ නෑ . කලු ලෑල්ලේ කළුපාට පසුබිමේ ධනංජනීයි මායි සෙල්ලම් කරපු අපේ අතීතය මට මැවිලා පේන්න ගත්තා ..එදා ධනංජනීව බේරගන්න ගිහිං මම ගුටි කාපු හැටිත් ..අද ධනංජනී නිසාම ගුටි කාපු හැටිත් ..

එදා මට වැදුණු ගුටිවල වයිර පාර මගේ පිටේ නොහිටියාට ඔය සිදුවීම මගේ හිතට වයිර පාරක්ම වුණා.. එදා ඇතිවෙච්ච කැළල මගේ හිතේ තවම තියනවා .. ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක දුරලු . ඒ කතාව ඇත්ත ගුටි කාපු දවසේ ඉඳන් මම ධනංජනීට වෛරකලා .ඒකිව මතක් වෙන වාරයක් පාසා මම දත් මිටි කෑවා ..ඒකිගෙන් පලි ගන්න ඕන..!

හිතා ගන්න බෑ අච්චර ආදරේ කරපු කෙල්ලෙකුට කොහොමද මම එච්චර වෛර කළේ ? අදටත් මම ඒක දන්නෑ..

පස්සේ කාලෙක මම ඔය හැම දෙයක්ම අමතක කරලා දාලා ධනංජනී එක්ක හොඳින් කතා බහ කළා .ඒත් මම ඒ කතා කළේ කපන්න බැරි අත ඉඹින්න මිසක් වෙන මගුලකට නෙවේ .... කෙල්ලක් නිසා මට ඒකිට ගහන්නත් බෑ ..ඒත් ඒකි එදා කරපු වැඩේ මතක් වෙද්දී මට එන තරහව තවම මට යටපත් කරගන්නත් බෑ ..

සීලවතී නැන්දා පිටවෙලා ගියාම මම ඇල්බම් එක අරගෙන මගෙයි ධනංජනීගෙයි ෆොටෝ බැලුවා ..එතන තිබුණු එකම එක ෆොටෝ එකක් දිහා මම මොහොතක් ආදරෙන් බලං හිටියා ..මොන්ටිසෝරියේදී ධනංජනී මගේ අතින් අල්ලං දුවන හැටි ඒ පින්තුරේ සටහන් වෙලා තිවුණා ....

හ්ම්..මම නම් එයාගේ අතින් ඇල්ලුවේ වනචර කමට නෙවෙයි පොඩි කාලේ ඉඳන් තිබුණු ලෙංගතු කමට ..ඉතින් ආයේ වතාවක් ඒ අතින් අල්ලන්න මගේ කිසීම කැමැත්තක් නෑ ..මම දැන් ධනංජනීට කැමති නෑ ..! මට දැන් ඉන්න කෙල්ල රටක් වටිනවා .මම ඒකිව දවසක මගේ මේ ගෙදරට ගේනවා ධනංජනීට පේන්න ..අන්න එහෙමයි මම ධනීගෙන් පලි ගන්නේ ..!


පින්තුරේ අතට අරං මම ඇල්බම් එක වහලා දැම්මා ..!











ප.ලි = ඔය උඩ ඉන්න කොල්ලා මම.. ඔය මගේ අතින් අල්ලං දුවන්නේ ධනංජනී.....( මගේ නම හැර අනෙක් නම් අසත්‍යයි)