29.11.12

අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය




දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න අතේ මිටේ සල්ලි හිඟ කම නිසාම මේ කොලනි කීපයේම මිනිස්සු ඉබි මස් නම් බෑ නොකියා දෙසා බෑවා . මම වුණත් එහෙමයි . හරක් මස් කටේ තොලේ ගෑවෙනවාට පවා අකමැති මම ඉබි මස් කන එක ගැන වෙලාවකට මටම පුදුමයි . ඒත් හැමදාමත් පොල් සම්බෝලෙයි බතුයි කන්න බැරි නිසාම නිකම් හම්බුවෙන ඉබි මසට අපේ අහල ගං කීපයේම මිනිස්සු වගේම මමත් පුරුදු වෙන්න ඇති .

රිපිටා එක අතකින් උගේ ෆෝන් එකේ ටෝච් එක මහ ඇලේ ඉවුර දිගට අල්ලමින් අනික් අතින් සරමෙ කොනක් උස්සගෙන සරුවට ඇල ඉවුරේ වැවුණ තණකොළ ගස් අතරේ ඉබ්බො හොයනවා .උගේ පාප මිත්‍රයා වෙච්චි මමත් අතේ තිබුණ පෝර කවරේ රෝල් කරලා කිහිල්ලේ ගහගෙන ඌට සහය වුණා

රිපිටා තමයි මේ මට උන්නු යාළුවෝ අතරින් පරණම එකා . උගේ තාත්තයි මගේ තාත්තයි දෙන්නම ග්‍රාමසේවක මහත්තුරු ඒ දෙන්නත් මේ අපි වගේම ගජ යාළුවෝ අද වෙනකොට නම් ඒ දෙන්නම මේ ලෝකේ නෑ හිටියා නම් අපි මෙහෙම ඉබ්බෝ අල්ලමින් රෑ පානේ කරක් ගහන්නෙත් නෑ. ජීවිතේ හැටි තමා .කොහොමින් කොහොම හරි තාත්තලා දෙන්නාගේ අතිජාත මිත්‍රත්වය අපි දෙන්නාවත් හොඳම යාළුවෝ බවට පත් කරලා තිබුණේ ඉබේටමයි

අද එළිය අඩු නිසාද මන්දා බං කිරි ඉබ්බො නෑ නේ. ? ඒකටත්තෙක්ක පඩ ඉබ්බො නං ගමකට .”
රිපිටා මඩේ උන්නු මල් ඉබ්බෙකුට පයින් වතුරට විසික්කා වෙන්න පයින් පාරක් ගැහුවා

අප්පට සිරි මම ඊයෙ දැක්කා ලාලනී අක්කලෑ රෙදි ගල යට තුන් දෙනෙක් ලැගලා ඉන්නවා . තාම ඉන්නවාද දන්නෑ බං .”
මහ පාරෙන් යද්දී රෙදි අපුල්ලන ගලක් අස්සේ හැංගිලා ඉන්නවා දැකපු ඉබ්බො කීපදෙනා මගේ මතකෙට ආවා . මම ඒක කීවා විතරයි රිපිටා අඩියට දෙකට මඩෙන් ගොඩට ඇවිල්ලා පාරට පැනගත්තා .

මොකදෑ තෝ ඕක මට කලින් නොකීවේ . ?

හරි දැං කීවනේ ..”

අපි අඩියට දෙකට ලාලනී අක්කලාගේ ගේ ඉස්සරහ ඇල ඉවුරේ දාලා තිබුණු පැතලි සිනිදු ගල් ගෙඩිය ගාවට කිට්ටු වුණා . රිපිටා සරමෙන්ම අමුඩෙ ගහගෙන එක හුස්මට ඇළට බැස්සා . ඇඟේ පතේ සේරෝම හයිය දාලා තටමලා අර මහ විශාල රෙදි අපුල්ලන ගල් ලෑල්ල එක ඌ පැත්තකින් ඉස්සුවා . මම හනි හනිකට ඒ අස්සට එබිලා බැලුවා

අප්පද බොලේ මේං ඉබ්බයි ඉබ්බියි ජෝගි නටනවා මෙතන හැංඟිලා.”

ගනී නී නී නීං හනි...කට... රිපිටා අමාරුවෙන් කෙඳිරුවා .”

අත් දෙකෙන්ම එක ඉබ්බෙක් අල්ල ගත්ත මම ඌර පෝර උරේට අත ඇරියා අප්පා උන්ගේ බර . එකෙක්ම උන්නා තුනක් විතර.ඉතින් ඒ තරමට බර අනෙක් ඉබ්බවත් මම එළියට ඇද ගන්නකොටම තමා රිපිටා දබං !! ගාලා රෙදි අපුල්ලන ගල් ගෙඩිය අතඇරියේ . ගල් ගෙඩිය වැටෙන තැනින් විසික් වෙච්ච මඩ අපි දෙන්නගේ කන් , කටවල් අස්සට පවා ඉහෙන්න ඇති . ඒත් අපිට ගාණක් නොවුනේ ඇති පදං මඩ හෝදගන්න ඇලේ වතුර තිබ්බ නිසා

මඩ හේදුවාට පවු හේදෙන්නේ නෑ නේ බං .”
මම පෝර උරේ කට කකුලකින් පාගගෙන මූණ අතපය හෝදන ගමන් රිපිටාගෙන් ඇහුවා .

මොකක්දෑ දැං පව.? ඉබ්බො කන එකදෑ පව ?

හ්ම් .

එහෙම බැලින්නං බං බොන්ඩ වතුර උණු කොරන එකත් මහ පවක් නේ . කොච්චර නම් ඇහැට නොපෙනන ජීවින් අපි මරා දානවය ? . අපි පිං කරන්නෙම නෑ බං . අපි නොකෑවනං වෙන එකෙක් මේකුංව කයි .”

නෑ මට නිකං පවු කියලා හිතුණා බං මොනා වුණත්

මතක නෑද විද්‍යාවට ආහාර දාමය ගැන අපි ඉගෙන ගත්තා ?

මතකයි .”

ඒකනේ බං පොඩි සතා ලොකු සතාගේ ගොදුර . ඒක නැත්තං මේ ලෝකේ පවතින්නෑ . හැමෝම වෙජිටේරියන් වුණොත් ගස් ටික ඉවරයිනේ .
රිපිටා උසස් පෙළට කළේ මැත්ස් . ඌ එක්ක මට හැප්පෙන්න බෑ . ඌට නරක කාලයක් ලැබුවේ නැත්තං අද අපි කාටත් වඩා ඌ ඉහළ තැනක ඉන්න විත්තිය මට විශ්වාසයි .අවාසනාවට රැකියා විරහිත කොල්ලෙක් වුණත් ඌ පට්ට මීටරේ .

මල්ල බර නම් දිය ?
කිලෝ පහක් විතර බර ඉබ්බො දෙන්නා අතින් අරං මම ඇළෙන් ගොඩ එද්දී රිපිටා මට එහෙම කීවා

අවුලක්නෑ මම ගෙනියන්නං” ‍

තාර පාරට ආපුහම රිපිටා උගේ ෆෝන් එක කමීසෙ සක්කුවට ඔබා ගත්තා . අපි දෙන්නම මාර්ෂල් මාමලාගේ ගෙවල් පැත්තට යන්න හැරුණා . පොලීසියේ ජීප් එක හෝ පොලිස් පුස් බයිසිකල් බලකාය අද නම් එන බවක් පේන්න නෑ .හදිසියේවත් පොලීසිය ආවොත් ඇළට විසි කරන්න හැකි විදිහට මම පෝර කවරේ දකුණු අතට ගත්තා . ඒත් කරදරයක් නැතුං යාන්තමට අටයි කාල වෙද්දී අපි මාර්ෂල් මාමලාගේ දොරකොඩට සැපත් වුණා

මාර්ෂල් මාමා .. ! මාර්ෂල් මාමා ..!
රිපීටා තුන් වතාවක්ම කතා කෙරුවයින් පස්සේ තමා ගෙයි දොර ඇරගෙන මාර්ෂල් මාමා එළියට ආවේ .

අඩෙ ඇහුන්නෑ පුතා . පෙවුත්ති බල බලා උන්නේ .

මොකක්දෑ ඕකෙ ඔච්චර බලන්ඩ තියෙන්නේ .. අපි මේ ආයෙමත් හැරුණේ ගෙදර යන්ඩ කියලා .” රිපීටා ලොකු ටෝක්කක් දුන්නා” .

අනේ පුතා කෝ ඇඹුලා . ?මාර්ෂල් මාමා ඇඹුලය කීවේ ඉබ්බට .

මේං ..”
රිපිටා මගේ අතේ තිබ්බ පෝර මල්ල උස්සලා අරන් මාර්ෂල් මාමගේ අතේ තිබ්බා . කන කට ළඟට ගත්ත මාර්ෂල් මාමා ගෙයි ඇතුළට ගිහින් රුපියල් තුන්සිය හැත්තෑවක් ගෙනත් මගෙ අතේ තීවා .

තව කීයක් හරි දාලා දෙන්නත්තෙක්ක මේකෙන් බාගයක් ලැයින් කොරන්ඩ . මම එකෙක් උයලා තියන්නම් බයිට්ටෙකට .නවය හමාට්ට වගේ වරෙල්ලා උදුලා මල්ලිලෑ ගෙදර අත්තිවාරම උඩ සැට් මෝල් වෙමු . මම තව බෝතලයක් ලැයින් කරා .
අපි මාර්ෂල් මාමලාගේ ගෙදරින් පිටත් වෙලා කෙළින්ම ගියේ නාගන්න කියලා හිතාගෙන .

මචං අපි පොඩි ලැයින් එකක් දාන්න යන්නේ උඹත් වරෙංකෝ .”

අද දවාලේ රිපිටා මට කෝල් එකක් දුන්නම “යම් දෝ ? , නොයම්දෝ?” කියලා මම සිය වාරයක් හිතුවා . කොල්ලො සෙට් එකත් එක්ක බෝතලේකට සෙට් වෙලා ගන්න සැප තරම් සැපක් මම මගේ ජීවිතේදී කෙරුව කිසිම වැඩකින් විඳිලා නෑ . ඒත් අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට කාටද හැකි හමදාමත් සැප ගන්න . තනියම ඉදිද්දී පලතුරු බීම එකක් පවා බොන්න නොහිතෙන මට සැර බීමක සැපත් දැනුණේ තනියම ඉදිද්දී නම් නෙවෙයි යාළුවෝ ටිකත් එක්ක රැහේ වැටුණාමයි


ගමේ කොහේ හරි අකුලක් අස්සේ ඉඳගෙන බෝතල් මූඩිය උඩ ඉටිපන්දමක් පත්තු කරලා සෙරෙප්පු දෙක බිම තියලා ඒ මත්තේ ඉඳගෙන, තනි වීදුරුව රවුමට අතින් අතට යවමින් පරණ සිද්දී මතක් කර කර අපි අනන්ත බෝතල් හිස් කළා. එහෙම සෙට් වෙලා හිඟුරානෙ බාල අරක්කු අමාරුවෙන් බිවුවත් ඒ බොන මොහොතේ මට හිතුණේ මේ ලෝකෙන්ම වාසනාවත්න්තම මිනිහා මමයි කියලා . මදුරුවෝ ලක්‍ෂ ගණං ඇවිදින් අතට පයට විදලා ලේ අරං ගියත් බෝතලේ අඩිය පේනකම් අපිට නම් නෙවෙයි යාන්තමටවත් නැගිට්ටේ

ඉබ්බෙක් දෙන්නෙක් හොයලා දෙන්න හැකි නම් පොඩියට සෙට් වෙමු කියලා මාර්ෂල් මාමා කලින් දවසේ රිපිටා එක්ක කියලා තිබුණා . ඒක නිසා රිපිටා හනි හනිකට මාවත් ඒ සෙට් වීමට එක්කර ගත්තා . ඔන්න ඕකයි අපි ඉබි දඩයමේ ගියපු හේතුව

නවය හමාරට විතර මාර්ෂල් මාමා ඉබිමස් පාර්සලේකුත් අරගෙන උදුලා අලුතෙන් හදන ගෙයි අත්තිවාරම උඩට ඇවිදින් හිටියා . මමත් රිපිටාත් , මංජුලත් , උපුල් අයියත් හරි වෙලාවටම එතනට කිට්ටු වුණා . ගඩොල් කැට කීපයක් තියල රවුමට වාඩි ගත්ත අපි පැය තුනක් විතර යනකල් බෝතල් දෙකක් හිස් කළා

නැන්දගේ මස් පාර නම් ආයේ මරේ මරු උපන් හඳවියකට එහෙම මස් පාරක් කෑවේ නෑ ..
එහෙම කියවුව උපුල් අයියා මැද ඇඟිල්ලත් සූප්පු කරා ..
සෙට් වීම අහවර වුණ හැටියෙම රිපිටා බෝතල් හිස් බෝතල් ටික අතට ගත්තේ විකුණලා රුපියල් 50ක් වත් හොයාගන්න හිතාගෙන වෙන්නැති . ඔය අතරේ මංජුල ඉනේ තිබිලා මල් කිනිත්තක් අතට ගත්තා .

අනෙ අම්මේ මයෙ දෙයියා . මේං මූ මේක මෙච්චර වෙලා හංඟං ඉඳලා .. මට කීවනම් ආයෙ මුනා වෙනවා ?
මාර්ෂල් මාමා පැන්න හැටියේ මංජුලයව අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියා ..

හරි ඉඳපල්ලකොයි මම මේක ඔතලා ලැයින් කරනකම් .. දඟලන්නැතුං ..මංජුල හුරතල් වුණා .

අඩෙ කා ගාවද කොළ කෑල්ලක් තියෙන්නේ .. ?
මංජුල ආයෙමත් එහම අහනකොට තමා කට්ටිය සාක්කු වලට අත දම දමා කොළ කෑලි හොයන්න පටන් ගත්තේ .මලක් ඉඹලා දිවියලෝකේ යන්න තදියම ඉහටත් උඩින් ඒ වෙලේ කාට කාටත් දැනුණා ඒත් කාගෙ කාගෙත් කරුමෙට යාන්තම්වත් කඩදහි කෑල්ලක් හමු වුණේ නෑ ..

සඳරුවා උඹ ගාව වත් නෑ කඩදහි කෑල්ලක් . උඹ ලියන එකා නේ ?”

ඉඳහන් බලන්ඩ .
මම සක්කුවට අත දැම්මේ වැඩි විශ්වාසෙකින් නෙවෙයි . කාලයක් තිස්සේ ලියන කියන එක අතෑරලා දාලා හිටපු මට දැන් කොළ කෑලි කඩදහි දැන් වැඩක්ම නැති ගානයි . ඉස්සර නම් මගේ සාක්කුවේ කොයි වෙලෙත් සුදු කොලේකුයි නිල් පෑනකුයි වැරදුණේ නෑ ...

ආ වාසනාවටද මන්දා එකක් තිවුණේ. මේං මේක ගනිං.”
මම සාක්කුව අත ගාලා අහම්බෙන් අහු වෙච්ච කඩදහි කෑල්ල මංජුලට දුන්නා .

සෙහ් මචං මේක ජාති කොලේ ගතියට කැපෙනවා මල් ඔතන්නම හදාපු එකක් .එහෙම කියවුව මංජුල වංඟියට දෙවංඟියට මලක් ලයින් කළා .” 

මංජුල හදාපු රොකට් එකේ නැඟිලා ආලෝකයේ වේගයෙන් පෘථිවියෙන් ඉහළට නැංඟ අපි ඇස් දෙක අඩවන් කරගෙන අභ්‍යවකාශය පුරාම සැරි සැරුවා.ග්‍රහ ලෝක මන්දාකිනි පහු කරපු අපි රොකට් එකේ ඉන්ධන ඉවර වෙන්න කිට්ටුව පොළවට පය ගැහුවේ තවත් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ... යාන්තම් පියවි සිහියට එනකොට . යාළුවෝ කට්ටියට සුබ රැයක් කියාපු මම එතනින් පිට වෙද්දී පාන්දර තුනත් පහු වෙලා

එදා උදේ දහයට විතර වෙනකම් මට නින්ද ගියා . මාව ඇහැරුණේ ළඟපාත ගෙදරක උන්නු ජගත් අයියා . මාව කූද්දන සද්දෙට ..

සඳරු මල්ලි .. අඩෙ නැගිටහං .”

ආ ඇයි ජගත් අයියා .” මම අමාරුවෙන් නැගිට්ටා ..

උඹ මගේ බයික්කේ ඊයෙ අරංගියා නේ .. ?”

. ඉතින් මම ආයේ ගෙනල්ලා තීවා පාන්දරම . බලහං ගෙයි මිදුලේ ඇබිල්ල ගහ යට ..”

නෑ බයික්කේ තියේ . කෝ ආදායම් බලපත්‍රේ ?

මම උඹලෑ ජනෙල් පඩිය උඩ යතුරයි ආදායම් බලපත්‍රෙයි , ඉන්ෂුවරන්ස් එකයි තිබ්බා ..

කෙහෙම්මල ජනෙල් පඩිය උඩ තිබුණේ යතුරයි . ඉන්ෂුවරන්ස් එකයි විතරයි . ආදායම් බලපත්‍රේ තිවුන්නෑ .. අනේ හොයලා දියන්කෝ
මම විනාඩි ගාණක් සාක්කු ඇද ඇද ජගත්ගේ ආදායම් බලපත්‍රේ හෙවුවත් ඒකට වෙච්ච දෙයක් මට මතක නෑ ... අන්තිමට ජගත් තීරණය කළා ඒක තමන් අතින්ම නැති වෙන්න ඇති කියලා ..

අනේ මන්දා මල්ලී සමහර විට වයිෆ් රෙදි හෝදනකොට ඒකත් එක්ක හෝදලා කාණුවට දැම්මද මන්දා බං මේ ගෑනි නම් තියන්න වටින්නෑ..”

ඒකනේ ජගත් අයියා . මටත් මතක මම ඉන්සූරන්ස් එකයි යතුරයි විතරක් ගෙනියනවා වගේ .. පොලීසියෙන් එහෙම නැවැත්තුවානම් මටත් බනිස් බං ...”
ජගත් අයියා හුල්ලලා යන්ඩ ගියා .. ඒත් ලාවට වගේ ජගත්ගේ ආදයම් බලපත්‍රේ මගේ අතින් නැති වුණා වගේ දැනෙනවා . ඒත් එහෙම වුණේ කොහොමද කියලා මම සෑහෙන වාර ගණනක් මතක් කළා .

ඇත්තට ඒ ආදායම් බලපත්‍රෙට මොකෝ වුණේ ? .. හුටා ඒකෙන් නේද අපි මල් ඔතලා කක්‍ෂ ගත වුණේ ? . කළුවරේ මගේ අතට ආපු ආදායම් බල පත්‍රේ මම මන්ජුලට දෙන්න ඇති . ඌ ඒකෙන් කදිමට ඔතලා සූස්තියක් හදන්න ඇති අන්තිමේට ඒක අපි කට්ටියම පාවිච්චි කරන්නත් ඇති කාපු බීපු වෙලාවට කරන කියන දේ ගණං ගන්න හොඳ නැති නිසාම මම මේ සිද්ධිය අමතක කරලා දාන්න හිතා ගත්තා. ඉතින් ..මේ ඇත්ත සිද්ධිය මට හදිසියේ මතක් වුණත් ඒක හරි ඉක්මනට අමතක වෙන්න ඉඩ තියන නිසා මම මේ කතාව අමතක නොවෙන්නම බ්ලොග් එකේ අලවලා දාන්න හිතුවා ..