Showing posts with label මගේම ආදර කතාව. Show all posts
Showing posts with label මගේම ආදර කතාව. Show all posts

30.8.13

ඔයා නිසා මට බඩත් ගියා


මම අරක්කු බොන්න පටන්ගත්තේ ඉස්කෝලේ දහය වසරේ මුල් කාලයේ හෝ නවය වසරේ අග කියලා තමයි මගෙ මතකයේ තියෙන්නේ . මගෙත් එක්ක එකට උන්නු යාළු මිත්‍රයෝ නොසෑහෙන්න මත්පැන් කෙළින හැටියට මම නිතරම හිතුවා මම කොයිතරම් දුරට බීමෙන් පාලනය වුණ එකෙක්ද කියලා .ඇත්තටම මට බොන්න ඔනෑ වුණේ , මල ගෙදරක ,මගුල් ගෙදරක සහ ඇස්ටොං ගෙදරක ගියාම එහෙමත් නැතිනම් දවසෙම වැඩකරලා ඇඟපත වේදනාවක් දැනුණාම ඒත් නැතිනම් හිතට සතුටක් දැනුණාම .නැතිනම් දුකක් දැනුණාම .

මම කොයිතරම් අඩුවෙන් මත්පැන් තොලගෑවා වුණත් මගෙ පෙම්වතිය මාව දැක්කේ ලෝකේ ඉන්න ලොකුම බේබද්දා විදිහට .ඒත් මොනවා කරන්නද අරක්කු ජීවිතේට පණක් දෙන අතරේ මගේ කෙල්ල මගේ ජීවිතේ එළිය කෙරුවා . ඉතින් මට කොයිම මොහොතකවත් අරක්කු සහ පෙම්වතිය යන දෙන්නාගෙන් කෙනෙක් නැතිව ඉඳීම ගැන යාන්තමටවත් හිතන්න බැරි වුණා .

"ඔය ඔය බීම නතර නොකළොත් සත්තයි මම ඔයාව දාලා යන්න යනවා " මාව නිතරම සලිත කරවපු මගේ කෙල්ල නිතර මතුරන මන්තරය තමයි ඒ .. ඒ මන්තරයෙන් මාව දමනය කරන්න හැකි විත්තිය එයා දන්නවා.

කෙල්ලට ඔනෑ වුණේ මාව මතින් තොර සුපිරිසිදු කොල්ලෙක් කරවන්න ,ඒත් මට ඔනෑ වුණේ මට හිතුණු වෙලාවට පොඩ්ඩක් බොන්න වසර කීපයක් දිගට ඇදුණු මේ සටන පහුගිය දවසක නිමා වුණා මට ඇති තරම් බොන්න අවසර දීලා මගේ කෙල්ල පරාජය බාරගත්තා මේ ලියැවෙන්නේ ඒ කතාව .......

2013 ජූලි මාසෙ දොළොස් වැනිදා උදාවුණේ හරිම ජරා විදිහට . වෙනදා උදේ නවය දහය වෙනකම් නිදාගන්න මම එදා උදෙන්ම නැගිටුණේ . වැඩකට යන්න නම් නෙවෙයි . කක්කුස්සියට යන්න දැනුණ බොහෝම ලොකු උවමනාවක් නිසයි . යකාගේ කම්මල වගේ රිදුම් දෙන බඩ එක අතකින් තදකරගෙන මම දොළොස් වැනිදා උදේ හය හමාරේ ඉඳන් අට විතර වෙනතුරු කක්කුස්සියට වෙලා හිටියා ...

එකපිට එක වාර ගණනාවක් පාසා "බූස් බූස්" ගාලා නොකඩවා බඩ එළිය යන අතරේ මම කක්කුස්සියට වෙලා කල්පනා කෙරුවේ මොනාද මේතරම් බඩ යන්න මම කාපු ජරාව කියලයි .

සතියකින් දෙකකින් මම කිසිම මස් වර්ගයක් කෑවෙ නෑ ..

බණ්ඩිය චණ්ඩි කරන යෝගට් එකක්වත් මම කටේ තොලේ මතක ඇති කාලෙක තියලා නෑ
..
එහෙනම් කොහොමද මට මේතරම් තදේට බඩ යන්නේ ? .. කක්කුස්සියේ පැය ගාණක් ඉඳගෙන කල්පනාකළත් මට නෙවෙයි මේ බඩ යාමට හේතුවක් මතකෙට ආවේ ..

ගමේ වෙද මහත්තයාගේ පුතා වෙච්ච රණමලා මගෙ හොඳ යාළුවා . ඌට කෝල් එකක් දීලා පුංචි අත් බේතක් අහගත්තු මම යාන්තම් එදා දවල් වරුව කක්කුස්සියෙන් එපිට ගත කළා . ඒත් කරුමේ කියන්නේ බත් කටක් කෑවා විතරයි . ආයෙමත් වංඟියක් නොසෑහෙන්න බඩ එළිය යන්න පටන් ගත්තේ වක්කඩ කැඩුවා වගෙයි ..

මට නොකඩවා බඩ යනවා කියන ආරංචිය මගේ යාළු මිත්‍රයින්ට ආරංචි වෙන්න ඒ හැටි වෙලාවක් ගත වෙලා තිබුණේ නෑ .පහුවදා උදේට එළි වෙනකොට . මගේ ඇඳ වටේ යාළුවෝ රොත්තක්ම වට වෙලා හිටියා .. උන් මට බොහොම ආදරෙයි ඒ අදරේ නිසාම උන් දොස්තරලා වගේ මගෙන් නොයෙක් ප්‍රශ්න ඇහැවුවා.

"අඩේ උඹට බඩ යනවද බං ?"

"ඒ මූ ඊගාව පාර කක්කුස්සි යන්න හදනකොට අපි මූව අල්ලගම්මු ... යන්ඩ දෙන්නෙපා ."

"අපි උඹට ගස්ලබු ගෙඩියක් ගෙනාව මචං .. අපි ගැන හිතලා කෑල්ලක් කාපං "

"ගස්ලබු එපා නම් කිරි හට්ටියක් ගෙන්නද මචං
..?"

"මචං දියාරුවට යන්නේ උකුවටද
?"

"ඒ උඹ මැරෙන්න නම් එපා
.. බඩ ගිහින් ගිහින් මැරුණා කියලා ගමේ කතාව ගියොත් අපටත් ලැජ්ජාව .."

ඔන්න ඔය වගේ හිතට හයියක් වෙන යාළුවෝ සෙට් එකක් කොල්ලෙකුට ඉන්න එක කොයිතරම් දෙයක්ද ..ඒකම මදෑ ලෙඩ හොඳ වෙන්න ., කොහොමින් කොහොම හරි මගේ පාප මිත්‍රයෝ ටික අපේ ගෙදරින් යද්දී මම බාගෙට මැරිලා හිටියා .

හැන්දෑ වරුවේ ඩිස්පෙන්සරියේ මුස්ලිම් දොස්තර මහත්තයා දුන්න බේත නිසා බඩ එළිය යාම යාන්තමට නතර වුණත් . බඩේ පැත්තක් තදින් රිදෙන්න ගත්තා . කරන්නම දෙයක් නැති තැන මම ලංකාවේ තියන සුන්දරම ඉස්පිරිතාලේ වෙච්ච අම්පුරේ මහ රෝහලට ගිහින් නතර වෙන්න හිතුවා වුණත් . බඩේ අමාරුවට හොඳ කරන්න කියලා ඒ දොස්තර මහත්තුරු මගේ උණ්ඩුක පුච්චය කපා දමාවි කියලා හිතේ උපන්න ප්‍රීතිය නිසා මම බඩට කොට්ටයක් තියලා තද කරගෙන වේදනාව විඳ දරාගත්තා ..

පහුවදා උදේ මගේ පෙම්වතිය බඩේ ලෙඩින් පෙළෙන මාව බලන්න ආවේ . එයා විසින්ම මුල්වරට හදාපු තැම්බුම් හොදි බාජනේකුත් අරගෙනයි ..

"ඔයාට ගොඩක් අමාරුද ?" එයා ආපු හැටියේ මගෙන් එහෙම ඇහැවුවා

"නෑ අනේ මේ කෙළින් ඉන්න බැරි එක විතරයි .."

"මං ඔයාට තැම්බුං හොදි ගෙනාවා මේක බොන්ඩකෝ .. මංමයි හැදුවේ"

කෙල්ල ආදරෙන් හදාගෙන ආ ජිල්බෝල හොද්දක හැඩහුරුකම් තිබුණු තැම්බුං හොද්දෙන් ෂොට් දෙකක් කසිප්පු කෙළින්නා වාගේ අප්පිරියාවෙන් කෙලපු මම ඇඳේ හතරගාතේ දාලා නිදියෑවා ..

දෙන දෙයියෝ දෙනකොට මදි නොකියන්ඩ දෙනවලු .....හවස හතර හමාර වෙනකොට මට දෙයියො බුදුං සිහි වෙනතරමට දරුණු බඩේ වේදනාවක් දැනෙන්න වුණා. කරන්න දෙයක් නැති තැන උඩින් පල්ලෙන් ලැහැත්ති වෙච්ච මම මල් වත්ත ලෙස විරුදාවලිය ලත් අම්පුරේ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්න යන්න සූදානම් වුණා . ඔන්න එතකොටම තමයි මගේ ෆෝන් එක නාද වුණේ .. කෝල් එක ආවේ මගේ කෙල්ලගෙන් ..

"හලෝ කෙල්ලේ ..මේ මම දැන් හොස්පිරිතාලේ ඇඩ්මිෂන් ගන්න යන්නේ .. හොඳටම බඩ රිදෙනවා ඉන්න බෑ ."

"ඔයා ඔහොම සඳරු ඉන්න මම දැන් ආටා එකක් අරන් එන්නම් ඒකෙම යමු .."

විනාඩි විස්සකින් විතර මගේ කෙල්ල බොහෝම වයසක අංකල් කෙනෙක් පදවාගෙන ආ ආටා එකක නැඟිලා අපේ ගෙදෙට්ටම ආවා . ඒකෙ නැගුණු මමත් අමාරුවෙන් කෙඳිරිගගා ඉක්මනට රෝහලට යන අදහසින් බඩත් දිග ඇරගෙන ඒකේ ඇතුළේ ඉඳගත්තා ..

"සඳරු .. සඳරු .. ඔයාට අමාරුයිද ? "

"නැතුව .. මං මේ ආතල් එකට කෙඳිරිගානවයැ"

"සඳරු මට ඔයාට කියන්න දෙයක් තියනවා .."

"මොකක්ද ?"

"බයින්නෑ කියලා කියන්න"

"කියන්ඩකෝ හත්වලාමේ .. බයින්නෑ .."

"අනේ බෑ බෑ බයින්නෑ කියලා පොරොන්දු වෙන්න .."

මේතරම් බඩ එළිය යන පජාත වෙලාවක වුණත් කෙල්ලෙක් හැසිරෙන්නේ හරි හුරතල් විදියට.

"බයින්නෑ කෙල්ලේ මේ වෙලේ බයින්න තියා මට අඬන්නවත් පණ නෑ "

"ඔයාගෙ ඔය බඩේ අමාරුව හැදුණේ මං හින්දා ?"

කෙල්ල කියාපු දේ ඇහිලා මට ආයෙත් බඩ එළිය යන්න ළංවුණා ..

"මොකක් කීවා ?"

"මම කතාව මුල ඉඳලාම කියන්නම් . බයින්න බෑ ඕං .."

ඉතින් ඒ ගැස්සි ගැස්සි දුවන ත්‍රීවීලර් එකේ වාඩිගත්ත මම මගේ කෙල්ල කියන්න යන කතාව කටත් ඇරගෙන අහගෙන හිටියේ බඩේ අමාරුව මොහොතකට අමතක කරලයි ..

"මම ගිය සතියේ ආෂිකී ටූ ෆිල්ම් එක බැලුවා .."

"ඉතිං මට බඩයන්නේ ඒක නිසාද ?"

"අහගන්නකෝ ..ඉතින් ඒ ෆිල්ම් එකේ කොල්ලා බීලා බීලා මැරිලා යනවා .. අන්තිමට ඒ කෙල්ල තනි වෙනවා . අනේ මටත් හිතුණා ඔයා බොන බීමේ හැටියට ඔයත් ඉක්මනටම මැරිලා යාවි මං තනිවේවි කියලා .. "
"ඉතිං .. ?" මම සෑහෙන කුතුහලයකින් උන්නත් ඒවගක් නොපෙන්වා කතා කළා ..

"ඉතින් මගේ යාළුවෙක් මට කිවුවා ඔයාගේ බීම නවත්තන්න හැකි ගුරුන්නාන්සේ කෙනෙක් ගැන විස්තරයක් . එයාගේ නම රණවීර අයියා . එයා ඉන්නේ උඩහ ගැමුණු පුරේ . එයා මන්තර ගුරුකම් හොඳටම දන්නවා . එයා ඔය අරක්කුවලට ඇබ්බැහි වෙච්ච අයව ඒකෙන් සදහටම නිදහස් කරගන්නවාලු ."

"ඉතින් මොකෝ කළේ ...?"

"මමයි මගේ යාළුවා හසිනියි යි ගියා රණවීර අයියව හම්බුවෙන්න .. එයා මට මතුරාපු තැඹිලි ගෙඩියක් දුන්නා ඔයාට බොන්න දෙන්න කියලා . ඒක බීපු ගමන් ඔයා ආයේ අරක්කු කටේ තියන එකක් නෑ කිවුවා .. ඉතින් මම පෙරේදා ඔයා අපේ ගෙදර ආවාම ඒ තැඹිලි ගෙඩිය බොන්න දුන්නා .."
එතන ඉඳන් මට සේරෝම තේරුම් ගියා. මම මේ බඩේ අමාරුව හැදෙන්න කලියෙන් දවසේ මද්දහනක මයෙ කෙල්ලගේ ගෙදර ගියා . එදා මම හිතුවේ එයා මට බොහෝම ආදරෙන් තැඹ්ලිගෙඩියක් ගෙනල්ලා පිළිගැන්නුවේ අවුවේ කරවෙලා ආපු මගේ මහන්සිය දුරුකරන්න කියලයි . ඉතින් මහන්සියෙන් හිටි මම ඒ වෙලාවේ තැඹිලි ගෙඩිය එක හුස්මට බීලා දැම්මා ... ඒ විතරක් නම් මදෑ . හිස් තැඹිලි කෝම්ඹේ කෙල්ලගේ ගෙදර ඉස්සරහා පඩිපෙළේ ගහලා පලාපු මම ඒ තැඹිලි ගෙඩියේ ලොඳත් කෑවා .. ඔවු ඊට පස්සේ තමයි මට මේ දරුණු බඩ එළිය යාම පටන්ගත්තේ ..

"මොකද්දෑ උඹ මේ කෙරුවේ ... ? .."

මම එහෙම ඇහැවුවේ තරහින් නම් නෙවෙයි .. මම මයෙ කෙල්ලට උඹ කියන්නේ ආදරේ මිසක් තරහකට නොවෙන විත්තිය මේ වැවුගම්පත්තුවම දන්නවා .. දුකෙන් වගේ මං දිහා බලාපු මයෙ කෙල්ල ආයේ කතාව පටන්ගත්තා .

"රණ වීරයියා කීවා . ඒ බේතෙන් පොඩ්ඩක් බඩ එළිය යනවා කියලා එතකොට ඔයාගේ ඇඟ ඇතුළේ එකතු වෙලා තියන අරක්කු වල විෂ අයින් වෙනවා කියලත් කීවා .."

"වෙන මොනාද ඌ කීවේ ... ? "

"ඔයාට හොඳටම අමාරුයි නවතින්නැතිව බඩයනවා කියලා මම එයාට ඊයේ ගිහින් කීවා . ඊට පස්සේ එයත් ගොඩක් බය වුණා . එයත් කීවා ඔයාව හොස්පිඩ්ල් ගෙනියන්ඩ කියලා .."

මට යකා නැග්ගේ කෙල්ලත් එක්ක නෙවෙයි රණවීර කියන බූතයා එක්ක ..

"යකෝ ඒක මාර කතාවක්නේ බේත දීපු එකා දන්නැද්ද ඒක බීවාම වෙනදේ .. ?"

"මම අද උදෙන්ම මල්ලිත් එක්ක රණවීරයියා හම්බුවෙන්න ගියා එයා දේවාලේ වහලා ගෙදරත් වහලා කොහේ ගිහින්ද දන්නෑ .. ඔන්න ඕකයි වුණේ .."

"දැං ඉතින් මොනා කරන්නද ඔය රණවීර කියන හොර දෙටුවා සල්ලි එහෙම ගත්තද ?"

"ඔවු 3500ක් ගත්තා .. ඉතිරිය බීම නැවැත්තුවාට පස්සේ...."

"යකෝ ඌ බේත දීල තියෙන්නේ මාව මැරෙන්න මං මැරුණාට පස්සේ බීම කොහොමත් නවතිනවනේ .." (මම කෙල්ලට යකෝ කියන්නෙත් ආදරේට)

මම තරහෙන් එහෙම කියලා අහක බලාගත්තා .. හිතේ උපන්න තරහට මගේ බඩේ අමාරුව මොහොතකට යටපත් වුණා . මගෙන් නාහ නන්නාදුනන ගුරෙක් ගාවට ගිහින් මගේ කෙල්ල කෙරුවේ ලොකු වරදක් .. "මේකිට දඬුවමක් දෙන්නම ඔනෑ" .. බඩට වඩා රිදෙන මගේ හිත මට එහෙම කිවුවා ..

"අංකල් වීල් එක කොලොන් බෝක්කුව ගාව පොඩ්ඩකට නතරන්න .."

මෙතෙක් වෙලා කටකොනකින් හිනාවෙන ගමන් ත්‍රීවීලර් එක පදවන වයසක අංකල්ට මම එහෙම කීවා ..

කොලෙන් බෝක්කුව ගාව තමයි වැවුගම්පත්තුවේ ජනප්‍රියම තැබෑරුම පිහිටලා තිබුණේ ..හොඳම සංස්ථා ගල් අරක්කු විකුණන්න තිබුණෙත් කොලොන් බෝක්කුව ගාව තැබෑරුමේ විතරමයි. අනෙක් සේරෝම තැබෑරුම් වල තිබුණේ හිඟුරාණ දහජරාව විතරයි..!

"ඇයි පුතා .. මොනාද වෙන්ඩෝනෙ ."

"අංකල් මෙන්න මේ සල්ලි අරං ගිහින් මට අරක්කු කාලක් ගෙනද්දෙන්න තරා නැතුං .."

"මොකටද පුතා තරා වෙන්නේ ..මං සුටුස් ගාලා ගෙන්නං .."

මොහොතකින් යකඩ හිනාවක් දාගෙන ආපු වීල් අංකල් ගල් අරක්කු භාගගෙ බෝතලයක්ම මගෙ අතේ තිවුවා ..

"ඇතිතරමක් බොන්ඩ පුතා . කාලෙ එවුවා හොඳ නෑ ඉතින් මං බාගයක්ම ගත්තා බඩ පිපුමට බඩේ ගායට ගල් අරක්කු තරම් හොඳ බේතක් කොයින්ද තවත්" . .. අංකල් රටක් වටින කියමනක් කියන ගමන් ත්‍රීවීලර් එක පණගැන්නුවා .. ඒ කියාපු කියමනට අංකල්ගේ කටේ ගල් අරක්කු බෝතලයක්ම හලන්න වටිනවා .

"අංකල් ආයේ හොස්පිඩ්ල් යන්ඩ ඕන්නෑ අපි මෙයාව ගෙදර ගිහින් දාමු .. "

ගල් අරක්කු බාගෙත් තුරුල් කරගෙන ත්‍රීවීලර් එකේ පැත්තක ඇලවෙලා උන්නු මම කෙල්ලත් එක්ක වචනයක් කතා කළේ එයා බහින්න ලැහැත්ති වුණාට පස්සෙයි ..

"ඔයා මාත් එක්ක තරහට නේද ඔය බොන්නේ සඳරු .. ? කඳුළු පුරෝගත්ත කෙල්ල එහෙම අහද්දි මගෙ කේන්තිය අඩු වෙලාම ගියා ."

"ඔයා දැන් මගේ බීම නවත්තන්න කියලා කොරාපු විගඩම නිසා තව ඩිංගෙන් මං මැරෙන්නත් තිබුණා . අද මම ගෙදර ගිහින් මේ ගල් බාගේ බීලා නිදියනවා. බලන්න මේ අරක්කු වල බලෙන් මට හෙට හොඳ වෙන්නැද්ද කියලා . අරක්කු ඔය හැම බඩේ අමාරුවකටම හොඳයි.."

මම මවාගත්ත කේන්තියකින් එහෙම කියද්දි කෙල්ල අඬන්න පටන්ගත්තා .කෙල්ලොන්ගේ හැටි ඔහොමයි . ඔක්කෝම ලෝකෝත්තර වැඩ කරලා කෙල්ලෝ අඬද්දී එයාලව සනසන්න කොල්ලෝ ළඟ ඉන්න ඕනෙ .හැබැයි දුකකදී නැඟෙන කඳුළු හංඟාගෙන හිතෙන් සියක් වාරයක් අඬන කොල්ලෙක්ව සනසන්න බල්ලෙක්වත් ළඟ නෑ..ඒ වෙලාවට කොල්ලෙකුගේ පිහිටට ඉන්නේ අරක්කු විතරයි.

අරක්ක්කු බීලා නිදියනවා කියලා මගේ කෙල්ලට බොරු කීවට ..මම එහෙම කරන්න ගියේ නෑ . මම ඒ ත්‍රීවීලර් එකෙන්ම ගිහින් අම්පුරේ පෞද්ගලික රෝහලකින් හොඳ දොස්තර මහත්මයෙක් චැනල් කරල සම්පූර්ණ කතාවම එයාට කියලා බේත් ගත්තා . බේත් වේල් දෙකක් බොන තැන මගෙ බඩේ අමාරුව හොඳටම හොඳ වුණා . ඒත් මම බේත් ගත්තු වගක් මගේ කෙල්ලට යාන්තමටවත් කීවෙ නෑ .

එදා ඉඳන් අද වෙනතුරු මගේ කෙල්ල හිතාගෙන ඉන්නේ අරක්කු කියන්නේ බඩේ ගායට බොහෝම හොඳ බේතක් කියලයි . ඒ නිසාම එදා ඉඳන් මම කොයිතරම් බීවත් මගේ කෙල්ල නෙවෙයි මට කටක් ඇරලා බැන්නේ . මම හිතන්නේ දැන් එයාගේ යාළුවන් ඉදිරියේ පවා දැන් එයාට බය නැතිව කියන්න පුළුවන් මගේ කොල්ලා බොන්නේ රසින් ගුණෙන් සපිරි වස විෂ නැති ගල් අරක්කුය කියල. ..



:ලි Aruna de Silva කියන මගේ හොඳ මිත්‍රයා තමයි මට මේ කතාව මතක් කරගන්න උපකාරී වුණේ උගේ ජීවිතෙත් මේ වගේම තමයි අරක්කුයි ආදරෙයි අතරේ තවමත් දෝලනය වෙනවා . මම ප්‍රාර්ථනා කරනවා ඌටත් මට වගේ බොන්න ලැයිෂන් ලැබෙන්ඩ කියලා ලැබුනේ නැතත් ඌ බලෙන් හරි ඒ ලැයිෂන් එක ගන්න විත්තියත් මම දන්නවා .

ලියාපිය ලියාපිය කියලා මාව හැමදාමත් දිරිමත් කරන දිනේෂ් උඹ නිසයි මේ බ්ලොග් එක ආයේ ලියැවෙන්නේ ..

18.12.11

චියර්ස් රත්තරන් ..!!


"බොන්න එපා අනේ !!”

එයා මගේ කනට ලං වෙලා හැමදාකම කෙඳිරිගාන ඔය බොන්න එපා බයිලේ මට ඉතින් ඇහිලාම වෙරි වගේ .ඉස්සර බීමට ජීවිතේම පුදලා හිටිය මම අද වෙනස් . ඉස්සර ටිකක් විතර වැඩියෙන් බීපු මම අද වෙනකොට මම සාමාන්‍ය පුද්ගලයෙක් තරම් යාන්තමට මත් වෙන කෙනෙක් විතරමයි . ඉතින් ඒවගේ තත්වයක් යටතේ එයා මාව අවීශ්වාස කරන එක මට දරාගන්න අමාරුයි

ඔයා අද කොහේද ගියේ ?

අහ වලා ගේ ගෙදර

ඔයා එහේ ගිහිං බිවුවා නේද
 
න් නෑ .
 
අනේ මෙයා බීලා මම අම්මට කියනවා ..
 
සෑහෙන කාලයක් නිදහසේ මේ නැගෙනහිර හිස් අහසේ ඉගිලෙමින් හිටි මම නැමති කුරල්ලාට වෙච්ච දේ ඔන්න ඕකයි. තටු කැපිලා ගියා , අතට පයට වගේම තොලට කටටත් විලංගු වැටුණා . ඒත් ඒක වුණේ බොහෝම හෙමීට . හීන් නූලෙන් වැඩේ දෙන්න කාන්තාවෝ බොහෝම දක්‍ෂ බව තේරුම්ගන්න බැරි වෙච්ච මටයි වැරදුණේ .

ඒත් මම කියලා නිකම්ම පරාජය බාර ගන්න කැමති වුණෙත් නෑ ...! 

කෙල්ලෙක් නැතිව ජීවිතයක් ගෙවන්න කොල්ලෙකුට බෑ .! ඒ වගේම ආතල් නැති ජීවිතයක් ගෙවන්නත් කොල්ලෙකුට බෑම තමයි . කෙල්ල කෝල් එකක් දුන්නාම කොයිතරම් වීරයෙක් ගේ වුණත් කඳයි බෙල්ලයි නිකම්ම පාත් වෙන්නේ අන්න ඒකයි .

මම දන්න තරමට මමත් එක සාමාන්‍ය මනුස්ස පරාණයක් විතරයි.. ඉතින් මමත් ඒ ඇත්තිගේ දණ්ඩ නීති සංග්‍රහයට මැදි වෙලා .යට වෙලා තව ඉස්සරහට මොනවයිං මොනා වේවිද ?

කොල්ලොත් එක්ක කෝම කතාබහ කළත් කෙල්ලක් එක්ක කතා බහ කරද්දී මගෙ කතාව කෙළින් . ඉතින් ඒක නිසා මම මගේ පෙම්වතියගෙන් එදා යාළු වෙන්න අහද්දී බය නැතිව කීවා . "කෙල්ලේ මම ටිකක් බොනවා . ඒ වුණත් ඔයාට ඒකෙන් කරදරයක් වෙන්න තියන්නේ නෑමයි කියලා"

"
ඔයා නොකීවත් ඔයා බොන බව මට මූණෙන් පේනවා" එයාගේ පිළිතුර වුණේ ඔන්න ඕකයි

එදා මම සතුටු වුණා උපරිමයෙන්ම . ඒ මොකෝ කියනවා නම් මගේ ඉඳලා හිටලා යාන්තම් සිද්ධ වෙන මධුපැන් තොලගෑමට එයාගේ ඒ හැටි විරුද්ධත්වයක් නැති නිසා. ඒත් කාලයත් එක්ක එයා වෙනස් වුණා . මගේ යාන්තම් බීමත් එයාට ලොකු ප්‍රශ්නයක් වුණා . මගේ ඇස් දෙක යට ගිහිං , තොල් කලු වී ඇති බවත් , මම කෙට්ටු බවත් නිතරම කියන එයා තව එක වතාවක් හෝ මම මත් වතුර ඩිංගක් කටේ තිවුවොත් අපේ සම්න්බන්දෙට නැවතීමේ තිත එයා විසින්ම තියන බව මට නොකියා කීවා .

හිතේ දුකට මම එදා බිවුවා

ඒ රෑ පුරාම නින්දත් නොනින්නදත් අතර එහේට මෙහේට පෙරළුණු මගේ හිතේ මහ විකාර කවි කෑලි කීපයක් ඇඳුණා . අනික් පහුවදා උදේ මම ඒවා කොළේකට ගොනු කරලා . එයාට ගිහින් දුන්නේ ඇයි කියලා මම තවම දන්නේ නෑ සමහර විට ඒ මොහොත වන විට මම හරිහමං විදිහට නින්දෙන් අවදි වෙලා නොහිට් නිසා වෙන්නැති .

කවිය කියවලා බලපු එයාගේ මූණේ ඇඳුණේ මම බලා පොරොත්තු වුණා වාගෙම පොඩි හිනා මලක් .
ඔයාට කවිත් ලියන්න ඇහැකිද
 
ලාවට විතර
 
ඊළඟට එයා ලොකු හුස්මක් ඉහළට ඇද්දා ...................................................................... 

මම ඔයාගේ ජීවිතේට දුකක් දෙන්න නෙවේ අනේ ආවේ ඔයා ඉඳලා හිටලා බොනවා නම් විතරක් මම මොකුත් කියන්නේ නෑ . ඒත් !
 
ඇයි ඒත්
 
බොන වෙලාවට අනිවා මගෙන් කෝල් කරලා අහන්න ඕනෙ .
 
ඕකේ
 
තව දෙයක් .. 
 
ඒ මොකක්ද ?
 
එයා ඊළඟට අහපු වචෙනේ තමා වචනේ මේ ලියැවෙන මොහොතේ පවා මගේ මූණේ ඇඳෙන හිනා රැල්ල මේ කියැවෙන දේට සාක්කි

මටත් එක පාරක් බීලා බලන්න ඕනෙ . ...
 
ඉතින් කෙල්ල්ගේ ආසාවනේ කියලා මමත් මට ගත හැකි ඉස්තරම්ම දේවල් වලින් සුලු ප්‍රමාණයක් සාක්කුවේ දාගෙන ගියා දවසක එයාව මුණ ගැහෙන්න . .

"
කොහොමද මේක බොන්නේ ?ඔන්න මධුපැන් ස්වල්පයක් ඉදිරියේ එයා අහපු පළමු ප්‍රශ්නය .

චියස් !! කියලා උගුරටම හලා ගන්න ඇඟේ හලා ගන්න විතරක් එපා . .. ! 
 
චියර්ස් කියන්නම ඕනෙද
 
ඔවු !
 
ඇයි ඒ
 
නැත්තම් වස් වදිනවා !! 
 
එහෙනම් චියස්

එයා ඒ සැර ලෝදිය උගුර කටට හලා ගන්න මත්තෙන් එක පාරක් රහසින් වගේ "චියස්" කීවා . ඊළඟ මොහොතේ පෙනෙන්න තිබුණේ එයා මූණ දෙකක් කරගෙන කඳුලැලි පිරුණු නෙත් අගින් මා දිහා බලාන ඉන්නවා . මම දන්නෑ ඇයිද කියන්න නොබීපු මගේ බඩ පපුවත් දාලා ගියා .

ආ ඉක්මනට මෙන්න මේක කන්න
 
මම ඉක්මනට රුපියල් පහේ බයිට් පැකට් එක කඩලා එයාගේ අත්ලේ තිවුවා . විනාඩි පහක් විතර ගියාට පස්සේ එයා ආයෙමත් යථා තාත්වයට පත් වුණා . සුදුමැලි වෙලා තිබුණු කම්මුල් ආයෙමත් රෝස පාට වුණා . කඳුළු පිරුණු ඇස් ආයෙත් හිනා වෙන්න අරං ...

කෝමද ? සැරද
 
අපෝ මගෙ උගුර පිච්චුනා .. මේ මොන ජරාවක්ද ? මගෙ බඩත් දනවා
 
එතකොටයි මට මතක් වුණේ සැන්ඩි නෑ නේ කියලා ... 

ආ කමක් නෑ තව පොඩි වෙලාවකින් ඕක ඇරිලා යාවි ..දැං අපි ගෙදර යමු
 
මේ ගෙදර යන්න කලින් ඔයාට කියන්න බඩ්ඩක් තියනවා
 
ඒ පුංචි මත් පැන් මූඩිය එයාව දොඩමළු කරන්න සමත් වෙලා .. ! දැන් එයා ගොඩක් කතා කරනවා

.
මොකද්ද බඩ්ඩ
 
මම දවසක් අපේ ගෙදර තිබ්බ බෝතලයකින් පොඩ්ඩක් වෙන්න බිවුවා .. හික් හික්

අපෝ මහා බේබද්දියක් වගේ ..

එයා හිනා වෙනවා .. ! මමත් හිනා වෙනවා ..මේ ජීවිතය අපි දෙන්නගෙමයි . මෙතන අපි දෙන්නෙක් උන්නේ නෑ එක්කෙනයි උන්නේ . මම බොනකොට එයාට වෙරි වෙනවා . එයා හිනා වෙනකොට මගේ හිතට සතුට දැනෙනවා .. මම හිතන්නේ මම එයාට සිරාවට ආදරේ කරන්න පටන් ගෙන වගේ ..

මේ ඉඳලා හිටලා බොන එකත් නතර කරලා දාන්න කාලෙ හරි වගේ ...කහ ඉරෙන් පාර මාරුවෙන්න කලින් එයාගේ හීතල කෙට්ටු අත අල්ලගත්ත වෙලේ මට එහෙම හිතුණා .....

********

අකුර අකුර ගලපාගෙන
පදවැල් එකිනෙක අමුණා
මා ලියනා මේ සියල්ල
සොඳුර නුඹ නිසයි

නුඹේ අතින් කන බත් කට‍
නුඹෙන් ලැබෙන ආදර පද
සමඟින් මුසු වූ සිනහව
මගේ දුක නිවුවේ

නුඹගෙන් තිළිණ වෙන හාදුව
නුඹෙන් පිදෙන ගතමනාව
මගෙ බේබදු ජීවිතයට
සවිය ගෙනාවේ

ඒත් කෙල්ලෙ නුඹ දැන් මට
අමුතු දුකක් දෙන්න අරං
මගේ ජීවිතේ සතුටක්
මරන්න යනවා

බොන්න එපා බොන්න එපා
අනේ එපා රත්තරනේ
එකම පදේ නුඹ දිගටම
ගගහ අඬනවා

කෝල් කරත් අඳෝනාව
කෙටි පණිවිඩයත් එහෙමයි
බොන්න එපා නවත්තන්න‍
කියා අඬනවා

හමු වීලා සත් මසකින්
නුඹ මගෙ ජීවිතය වුණත්
බෝතලෙ මගෙ ගිනි නිවුවේ
කුඩා කල ඉඳන්

උඹේ මතට තිත තියපං
මිතුරන් කොතෙකුත් කීවා
ගුරුවරු ගහ බැණ කීවත්
මම බඩු දැම්මා

අන්තිමේදි ඒ හැමගෙම
කට රිදිලා හිත රිදිලා
බොන්නට අවසර දීලයි
මා අත හැරියේ

ඉතින් කෙල්ලෙ නුඹ කොහොමද
මගේ මතට තිත තියන්නේ
මගේ හිතට ගිනි තියන්නෙ
යළිත් ඒ ලෙසින්

නුඹ නොදන්නවා වුණාට
පිරිමි ගතට ජවය දෙන්න
මත් පැන් බිඳුවක් ඕනැයි
ලොවම දන්නවා

නුඹට ආදරේ තරම්මට
බෝතලෙටත් මම කැමතියි
බෝතලයයි හැමදා මගෙ
පළමු පෙම්වතී

බෝතලයත් නුඹත් මෙමට
මගෙ ඇස් දෙක වගෙම තමයි
එක ඇහැකින් කෝමද මම
ලොවම දකින්නේ

බීගෙන මම කෑගැහුවත්
වෙරි පිට වැනි වැනි නැටුවත්
කවදාවත් නෑ නුඹ මට
මතක නැති වුණේ

නුඹගේ මිතුරන් ඉදිරියෙ
බීගෙන මම පච වුණාට
සමා වෙයං හැමදාටම
මගේ රත්තරන්

ටික දොහකින් අපි බැඳලා
ලාවට අඩියක් දාලා
සිත දුක් නැති අර දමලා
සැපෙන් ඉඳිමුකෝ


/ලි ..මේක ලිවුවේ කවුද දන්නෑ.... වැසි දිය පිරී ගිය කාණුවක් දිගේ පාවී ආ දින පොතක පිටු පෙරළුවාම මට මේ ලිපිය සහ කවිය හම්බුනා . මෙය ඇත්තක් නොවන බව මෙන්ම බොරුවක්ද නොවන බව මේ ලිපිය පහළින් ලියා තිබුණා .

17.11.11

කක්කුස්සියේ ඉපිද බස් නැවතුම්පළෙන් අවසන් ගමන් ගිය මගේ පළමු පෙම් පත



මම නවය වසර පන්තියේ ඉගන ගන්න කාලේ .ඒ පන්තියටම හිටපු සීදේවි පෙනුමක් තිබුණු එකම කෙල්ල තමයි උංගි . පන්තියේ හිටපු කෙල්ල්ලෝ බොහෝම දෙනෙකුගේ සරීර කූඩු නිකම් ලබ්බට කෝටු ගැහුවා වාගේ අවලක්‍ෂණ වුණත් . උංගිට නම් බෝම හැඩ රූ සපුවක් තිබුණා .හරියටම ඉදිච්චි දෙළුම් ගෙඩියක් වගේ.උංගි ගේ මූණ රෝසපාටයි, ඇඟ සුදුම සුදු පාටයි . ගිනි කූටක අවුව වැටෙන අපේ ගම් පළාතේ ඒ වගේ කෙල්ලක් කොහොම ඉපදුණාද මන්දා ? . කතා දෙකක් නෑ එහෙම කෙල්ලක් මුලු ඉස්කෝලෙටම හිටියේ නෑ .

පන්තියේ හිටපු හැම කොල්ලම උංගිට ලයින් දාන බව මම දැනගෙන හිටියා . අපේ පන්තියේ විතරක් නෙවේ අහල පහළ පන්ති වල කොල්ලෝ පවා ඒ දවස් වල අපේ පන්තිය පැත්තේ කැරකි කැරකි හිටියේ උංගිව බලලා යන්තම් හරි හදවත සනසා ගන්න වෙන්නැති . වයසේ වැරැද්ද !

උංගි ගොඩාක් ආඩම්බරයි . උංගිගේ වටේ පෙරේත කපුටෝ වගේ කොල්ලෝ කැරකැවෙන බව උංගිත් දැනං ඉන්න ඇති . අනිත් කෙල්ලෝ ඉඳලා හිටලා පන්තියේ පිරිමි ළමයි එක්ක කතා බහ කළත් . පොත් පත් හුවමාරු කරගත්තත් උංගි නෙවේ ඒවට ගියේ . වලව්වුව කුමාරිහාමි කෙනෙක් වගේ ඒකි හැමදාමත් අපිට ගස්සමින් පොළවට අඟල් කීපයක් උඩින් හැමදාමත් ගමන් කරමින් හිටියා . හැබැයි ඒ ගැස්සිල්ලට, ඒ ගමනට පන්තියේ හිටපු කොල්ලෝ හැම එකාම පණ ඇරල ආසාවෙනුයි හිටියේ .

ඔය කියන කාලේ තමයි අපේ හැඟීම් කල එළි බහින්න පටන්ගෙන තිබුණු කාලේ . කෙල්ලෙක් ඇඟේ ගෑවුණොත් “චික් විතරක්”කියපු ඒ පොඩි කාලේ අපෙන් දුරස් වෙලා ගිහින් කෙල්ලෙක් ඇඟේ යන්තම් ගෑවුණත් සතියක් දෙකක් ඒ ගෑවුන තැන සෝදන් නැතුව ඉන්න තරමට අපි වෙනස් වෙලා තිබුණා . මදකිපෙන කාලෙට සද්දන්ත අලි ඇත්තු පවා වෙනස් වෙන එකේ නවය වසරේ පොඩි කොල්ලෝ වෙච්ච අපි සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර වුණු එකේ අරුමයක් නෑ !

නවය වසරේදී අපේ ඉස්කෝලෙන් දීපු අච්චු පොත් අතරේ අපි කැමතිම එක පොතක් තිබුණා . ඒ තමයි සෞඛ්‍ය පොත . පොතක් පතක් නිකමටවත් කියවන්න අකමැති කොල්ලෝ පවා මහ රෑ ඇහැරගෙන සෞඛ්‍ය පොත කට පාඩම් කරන්න ගත්තා.අපි කාටත් හොරා සෞඛ්‍ය පොත අපේ ජීවන අත් පොත බවට පත් වෙලා තිබුණා . ඒ විතරක් නෙවෙයි අපි හැමෝම ඔය කියන කාලේ වෙනකොට දෑත අත වෙහෙසලා වැඩ කරන්නත් ඉගන ගනිමින් හිටියා . ඔය නව යවුවනේද මොකද්ද කියනවා නේ !

උංඟි අපි දිහෑ එක බැල්මක් හෙලුවොත් ඒ දවස් වල අපිට සතියකම කන්න බොන්න ඕන නෑ . එක හිනා පොදක් දුන්නොත් ? එහෙම වුණොත් නම් මලත් සැපයි කියලා අපිට ඒ වෙනකොට හිතිලා තිබුණා . ඒත් වටිනා කියන දේවල් ලබා ගන්න එක ඒ තරම් ලේසි නෑ . උංගි ගේ ආදරේ දිනාගන්න එවකට එකොළහ වසරේ ලොකු පන්තියක හිටපු රංකැටි අයියා සමත් වෙලා තිබුණා .

රංකැටි කියන ආදර නාමයෙන් හඳුන්වාපු අපිට වඩා වසර තුනක් වැඩිමහල් වෙච්ච ඒ අයියා . මුලු ඉස්කෝලෙම ජනප්‍රිය කෙනෙක් . ඉස්කෝලේ අරින වෙලාවට, ඉන්ටර්වල් එකට සහ පීරියඩ් එකක් අවසන් වෙනකොට බෙල් එක ගහන්න පැවරිලා තිබුණේ රංකැටි අයියට . ඉතින් ඌ මුලු ඉස්කෝලෙම ජනප්‍රිය තරුවක් බවට පත් වුණා . ඇත්තටම කීවොත් ඒ කාලේදී කොල්ලෙකුට ඉස්කෝලේ බෙල් එක ගහන්න වරම් ලැබෙනවා කියන්නේ හරියට රජ වුණා හා සමානයි . ඉතින් රංකැටිගේ පෙම්වතිය වෙන්න පොඩි පන්තිවල කෙල්ලෝ පවා පෝලිම් හැදිලා හිටියා. ඒ පෝලිමේ ඉදිරියටම ගිහින් රංකැටි එක්ක හාද වෙන්න වාසනාව ගත්තෙ අපේ පන්තියේ උංගි !

අපේම ඉඩමේ පිපුණු මලක් අල්ලපු වත්තේ එකා ඇවිත් කඩාගෙන යද්දී අපිට දැනෙන හැඟීම කොහොමද ? අපි හැමෝම කාලයක් පුදුම විදිහට දුක් වුණා . අන්තිමේදී පන්තියේ කොල්ලෝ හැමෝම උංගි ගැන හීන දකින එක නතර කළා . ඒකි ගැන හොරෙන් හොරෙන් කතා වෙන එකත් නතර කළා . මම හිතන විදිහට හැම කොල්ලෙක්ම එහෙම කරන්න තිබුණු එකම හේතුව තමයි . අපට වඩා දෙවසරක් වයසින් වැඩිමල් වෙච්ච කොල්ලෙක් එක්ක හැප්පෙන්න තිබුණු බය .

කවුරු උංගි ගැන හීන දකින එක නැවැත්තුවත් එකම එක කොල්ලෙක් ඒකි ගැන හීන දකින එක නතර කරලා තිබුණේ නෑ . ඒ කොල්ලා තමයි මම . පොඩි කාලේ කෙල්ලක් දැක්කාම හිතට එන්නේ , දැනෙන්නේ ආදරේ නම් නෙවෙයි. ඒකට කියන්නේ කෑදරේ ! ඉතින් ඒ වෙනකොට පොඩි එකා වෙච්ච මටත් උංගි ගැන හිතට වද දුන්නේ කෑදරේ වෙන්නැති .උදේ ඇහැරුනු මොහොතේ සිට ආයෙමත් රෑට නිදාගන්න යන මොහොත දක්වාම මගේ හිතේ උංගි ගැන නානාප්‍රකාර සිතිවිලි ඇඳෙන්න වුණා . උංගි එක්ක කතා බහ කරන්න, ඒකිගේ අතින් අල්ලං ගමේ පාරවල් දිගේ ඇවිදින්න, හින්දි චිත්‍රපටි වල නළුවෝ වගේ කෙල්ලව බදාගෙන කොළ ගොඩක රෝල් වෙලා යන්න .ඒවා තමයි මගේ හිතේ ඇඳුණු හීන .සමහර විට ඒක විකාරයි . සමහර විට ඒක සාමාන්‍ය දෙයක් වෙන්නැති .

ඒ දවස් වල මම ඒ තරම් පිළිවෙළකට ඇන්ඳ පැළැන්ඳ කෙනෙක් නම් නෙවේ . ආවට ගියාට ඇඳුමක් කැඩුමක් ඇඟේ දවටගෙන. බාටා සෙරෙප්පු කටු දෙකකුත් දාගෙන යන්නං වාලේ ඉස්කෝලේ ගියපු එකෙක් තමයි මම . ඉතින් උංගි මගෙත් එක්ක ඉස්කෝලේ කාලෙටම කතාබහ කරලා තිබුණේ වචන විස්සකටත් අඩුවෙන් . එහෙවු එකේ උංගිව යාළු කරගන්න එක මට ලොකුම ලොකු අභියෝගයක් වුණා .

හිත පිරෙන්නම උංගිට කැමැත්තෙන් හිටියත් මගේ හිතේ තිබුණු හැඟීම මට එළියට දාන්න විදිහක් තිබුණේ නෑ . මට දැනෙන දේවල් මට හිතෙන දේවල් කියන්න මට ඒ දවස් වල හරිහමං මිතුරෙක්වත් හිටියේ නෑ . මම ඉස්සර මගේ හිතේ තියන දේවල් වැඩිය එළියට පිට කරන කෙනෙක් නම් නෙවෙයි . ඒක නිසා මම හැම දෙයක්ම සැලසුම් කරේ තනියම .

ඉර අවරට ගිහිං තිබුණු එකමත් එක දවසක හැන්දෑවේ මම ගෙදර ඉස්සරහා පිලේ ගැට්ට උඩින් වාඩි වෙලා උංගි ගැන හිතමින් උන්නා . ඔන්න ඔය වෙලාවේ තමයි ඒ කාලකණ්ණි අදහස මගේ හිත ඇතුළට පාවෙලා ආවේ . හිතලා හිතලා හෙම්බත් වෙලා හිටි මම මගේ හිතේ ඉපදුණු ඒ අලුත් අදහස ඉස් මුදුණෙන්ම පිලි අරගෙන ඒ අදහස ක්‍රියාවට නංවන්න සූදානම් වුණා .

මගේ හිතට ආපු අදහස තමයි සෙනේ කොළයක් ලියන එක . ටෙලිපෝන් කියලා උපකරණයක් පත්තර, වලින් පොත් වලින් විතරක් දැකලා තිබුණු ඒ කාලේ හැම ආදර වන්තයාම ආදර සයුර තරණය කළේ සෙනේ කොලේ කියන ඔරුවේ පිහිටෙන් තමයි .

හිත ඇතුළේ තැම්බි තැම්බි තියන හැඟීම් සබ්බ සකල මනාවම එකට මුසු කරලා කලතලා අරගෙන , ඒ හැඟීම් අකුරු වලින් සුවඳ කොළේක අමුනලා, ලස්සනට හරි හතරැස්ව නවලා, ඉස්තිරික්කෙන් මැදලා, අත් දෙකෙන්ම ගිහින් දුන්නෝතින් සමහර විට උංගි මට කැමැත්ත දේවි ! ඊට පස්සේ රංකැටිව අතෑරලා දාවි . ඔන්න ඕක තමයි මගේ හිත ආපු අදහස . ආයෙමත් සැරයක් හිතන්න මතන්න ගියේ නෑ මම මේ අදහස ක්‍රියාවට නංවන්න එක හිතෙන්ම සූදානම් වුණා . හරි ගියෝතින් මම දිනුම් ! වැරදුණෝතින් මට නැති වෙන්න කියලා ඒ හැටි දේකුත් නෑ . ඉතින් මම කරන්න යන වැඩේ ගැන හිතේ බයක් නම් ඉපදුණේ නෑ .

වැඩේට ඕනෑ කරණ කළමනා එකතු කරන්න මම අනෙක් පහුදාම සූදානම් වුණා . සෙනේ කොළයක් හෙවත් ලවු ලෙටර් එකක් ලියනවා කියන එකත් ඒතරම් සෙල්ලම් වැඩක් නෙවෙයි .ඒකට නොයෙක් වර්ගයේ කළමනා රැසක්ම උවමනා වෙනවා . කොපි පොතක කොළයක් කඩලා හිතේ ඉපදුණු හැඟීම් ටික ලියා දාලා ඉඳා මේං කියලා ගිහින් දෙන්න තිබුණා වෙන කෙල්ලෙකුට නම් . ඒත් මේ උංගි කෙල්ල ආඩම්බරයි , පණ්ඩිතයි , කාටත් වඩා ලස්සනයි , ඉතින් ඒ ආඩම්බර කාරිට ගිහින් දෙන ලියමන එසේ මෙසේ එකක් වෙලා කොහොමද ?

අම්මේ හෙට ඉස්කෝලෙට රුපියල් පනහක් ගේන්න කීවා !

මම අනික් පහුවදා උදේ පාන්දරම අලි කෙබරයක් ඇදබෑවා

ඇයි ඒ මොකෝ රුපියල් පනහක් ?

. අම්මත් ඒ වෙලාවෙම ඕනෑ නැති ප්‍රශ්නයක් ඇහුවා . මම මෙහේ ආදරෙන් ඔකඳ වෙලා ඉන්නවා . අම්මා මගෙන් ප්‍රශ්න කරනවා . අනේ දෙයියනේ වැදූ අම්මට කොහොමද කටක් ඇරලා බොරුවක් කියන්නේ . ? ඒත් දෙවියනේ කොහොමද ඇත්ත කියනෙත් ?

අම්මා මම මයෙ පන්තියේ ඉන්න අර සුදුම සුදු බෝල ගෙඩියක් වගේ කෙල්ලට ලවු ලියමනක් දෙන්න යනවා

එහෙම කීවොත් මොනවයි මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි නිසා . මම හිත ගල් කරගෙන මයෙ අම්මණ්ඩිට බොරුවක් කිවුවා .

බලන්න අම්මා ඉස්කෝලේ ටොයිලට් එකක් හදනවා නෙව අපෙන් සල්ලි එක්කහු කරගෙන .

මම හිතන්නේ ඒ බොරුව කීවට මට පවු නෑ . ආදරයේදී සහ යුද්ධයේදී හැම දෙයක්ම සාධාරණයි කියලා .අනගාරික ධර්මපාල තුමාත් කවුද උගතෙකුත් කියලා තියනවා නේ .!

වැඩි කතාබහක් නැතුවම අම්මා මට සල්ලි දුන්නා . ඉතින් මම එදා උදේ ඉස්කෝලේ යන්න පිටත් වුණේ හරිම සතුටකින් . මොකද කීවොත් මම කෙල්ලට පළමු ලියමන දෙන්නයි යන්නේ .! මගේ ඇඟට එදා නම් අමුතුම අමුතු වෙනස්කම් ගණනාවක් දැනෙන්න පටන්ගෙන තිබුණා . රුපියල් පනහා සාක්කුවේ හිර කරගත්තු මම හිත දැඩි කරගත්තා .

වෙනදා ඉස්කෝලෙ ඇරුණාම මම කෙළින්ම දුවන්නේ ගෙදර . ඒත් එදා මම කාටත් හොරෙන් ටවුමේ පොත් කඩේට හැරුණා .

මම අතේ තිබුණු සල්ලි වියදම් කරලා නිල් පාට ලස්සන කඩදහි කොළ කීපයකුයි , හොඳ සුරුවමට බෝල අකුරු ලියන්න හැකි රෙනෝල්ඩ් පෑනකුයි, පාට පාට හදවත් තියන වෛවරණ ඉස්ටිකර් කොලේකුයි මිලදී ගත්තා . ඒ දේවල් තමයි මගේ පළවෙනි සෙනේ කොලේට උවමනා වෙච්චි අඩුම කුඩුම .

එදා ගෙදර ආපු විගහින්ම මම දනිපනි ගාලා මේසේ උඩ බෙදා තිබුණු බත් එකත් කිඹුලා කිරිමැට්ට ගිලිනවා වාගේ ඔහෙන් මෙහෙන් ගිලදාලා මගේ ප්‍රථම රාජකීය පෙම් හසුන ලියන්න ලකලෑස්ති වුණා . ඒත් ආදරයට කොතනද බාධා නැත්තේ ?

මට මොහොතකින් තේරුම් ගියා මේ මගේ චූටි ගේ ඇතුළේ ඉඳගෙන ලස්සන කොළේක, ලස්සන පෑනකින් යමක් ලියද්දී අම්මා හරි සීයා හරි නැන්දා හරි ඇවිදින් මේ ආදර හසුන ලියන්න බාධා කරන බව . .. මට හිත නිදහසේ තියාගෙන හදවතට වැටෙන හැඟීම් බින්දුවෙන් බින්ඳුව එක්කහු කරගෙන මගේ සෙනේබර සෙනේ කොලේ ලියන්න මට යන්න තිබුණේ එකම තැනටයි .

කක්කුස්සිය !

ඇත්තටම ගෙදර තිබුණු නිදහස්ම තැන එතන . මටෙයි කියලා කාමරයක් නොතිබුණු නිසා . මට මේ ලිපිය නිදහසේ ලියාගන්න කක්කුස්සිය වෙත යන්නම සිදු වුණා .

මට අද වගේ මතකයි . මම කක්කුස්සිය ඇතුළේ ඉඳන්, ඒකේ වළෙන් විහිදුණු දුර්ගන්ධය ඉවසා දරාගෙන, කවදත් කැත මගේ අකුරු අමාරුවෙන් වටකුරු කරමින් ඒ ආදර හසුන ලියාපු හැටි .
මහා දුක් කන්දරාවක් විඳ දරාගෙන කොහෝම හරි හිත පිරෙන්නම මගේ හැඟීම් පුරුවලා මම මගේ සෙනේ කොලේ සම්පූර්ණ කරගත්තා. හිතේ තිබුණු හැඟීම් ඔක්කෝම ඒකේ ලියලා , මම ගෙනාපු ස්ටීකර් අලෝලා ඒ සෙනේ කොලේ හැඩ වැඩ කළා !. ඉතින් අනිත් පහුවදා මම ඉස්කෝලේ ගියේ මගේ මේ පෙම් හසුනත් අරගෙන .

කොයිතරම් හැඩ වැඩ දලා ලීවත් මේ සෙනේ කොලේ උංගි ගේ අතට දෙන්න නම් මට තිබුණේ පුදුමාකාර බයක් . මම ඒ වෙනකොට පොඩි එකා උංගි වගේ ආඩම්බර , අති පණ්ඩිත කෙල්ලක් ඉස්සරහට ගිහිං ලියුමක් දෙන්න තරම් මගේ හිත ඒ වෙනකොට මෝරලා තිබුණේ නෑ.

සෙනේ කොලේ සාක්කුවේ හංගාගෙන පන්තියට ගියපු මම උංගි යන්තම් එහා මෙහා වෙනතුරු ඉවසං ඉඳලා හෙමීට ඒකිගේ පැන්සල් පෙට්ටිය ඇතුළට ඒක දැම්මා . ඒත් මගේ හිතට සතුටක් දැනුණේ නෑ . ආයේ ඒක අරගනිං ආයේ ඒක ගනිං කියලා මගේ හිත මොරදෙන්න පටන්ගෙන තිබුණා . උංගි මේ සෙනේ කොලේ ටීචර්ට දුන්නොතින් ? මයෙ අප්පේ ...!! එහෙම දෙයක් වුනෝතින් නම් අද කාලේ ස්ත්‍රී දූෂණයකදී ලැබෙන දඩුවම් වලට සමාන දඬුවමක් මට ලැබෙනවා ඒකේ දෙකක් නෑ !

පන්තියෙන් එළියට ගිහිං ආපු උංගි ඒකිගේ මේසය වෙත ඇවිදින් වාඩි වුණාම මගේ පපුව මහ සද්දෙන් ගැහෙන්න ගත්තා . ඒ හඬ මටම ඇහෙන්නත් ගත්තා . ටික වෙලාවකින් මොකද්දෝ මන්දා විෂයක් උගන්වන්න ගුරුතුමෙක් පන්තියට ආපු නිසා පෑන ගන්නද කොහෙද උංගි පැන්සල් පෙට්ටිය ඇරියා !. මම දාඩිය බේරෙන මූණත් තහඩුව අතින් පිහින ගමන් ලාවට ඇරුණු ඇස් වලින් ඒ දිහා බලාන හිටියා .

උංගි පැන්සල් පෙට්ටිය ඇරියා . ඇරලා මම දැම්ම ලියුම එක වරටම අතට ගත්තා . ඒක යන්තම දිගෑරලා බොහෝම ඉක්මනට ආපහු පැන්සල් පෙට්ටියටම දාලා වැහුවා . වහලා ඒ පැන්සල් පෙට්ටිය බෑග් එකට දාගත්තා . මම සැනසුම් සුසුමක් හෙළුවා !

මම දිනුම් .!! මගේ හිත සතුටින් කෑමොර දෙනවා . උංගි මගේ සෙනේ කොලේ අරගත්තා .! අවුරුදු ගානකින් පපුවට දැනුණු ඒ සන්තෝසේ කියාගන්න බැරි තරම් .. ඒත් මගේ ජීවිතේදී මට සතුට ඒතරම් ළඟ නෑ . කන්දක් නැංගොතින් පල්ලමක් අහුවෙනවා , හිනා වුණොත් කඳුලකටත් ඇහැ හැඩගස්වා ගන්න වෙනවා .

එදා ඉස්කෝලේ ඇරිලා මම ගෙදර යන්න සූදානමින් තාර පාරට බැස්සා . මම ටිකක් දුර යනකොට . මගේ පන්තියේම එකෙක් ආපහු දුවගෙන ආවා .

"
මේ සඳරු උඹ උංගිට ලියුමක් දුන්නද ?

"
මේ මේ ම...ම න් න් නෑ ...!” වෙවුලන හඩින් මම උත්තර දුන්නා

"
මොකද නැත්තේ අන්න උංගිගේ කොල්ලා රංකැටි ඌ උඹේ ලියුම ගිහිං බස් හෝල්ට් එකේ ඇළෙවුවා"

මට නිකං වෙරි වගේ . මොහොතක් යනතුරු කිසිම දෙයක් හිතා ගන්න බැරිව මම මොකෙද්ද එකෙක් වගේ ඔහේ බලාගෙන හිටියා . ඊට පස්සේ මගෙ හිතට දැනුණේ මහ කියන්න බැරි තරම් පරාජිත , ලැජ්ජා සහගත හැඟීමක් .

බස් හෝල්ට් එක ගාවට හෙමීට කිට්ටු වෙච්ච මම එතන තිබුණු ලොරියකට අස්සෙන් එබිලා හොරෙන් ඒ බස් හෝල්ට් එක දිහෑවේ බැලුවා . මම දැක්ක දෙයින් මගෙ බඩ පපුව පිච්චිලා ගියා . .රංකැටියා මගේ සෙනේ කොලේ බස් හෝල්ට් එකේ අලෝලා !

ඉස්කෝල කීපයකම ළමයි බස් එක එනතුරා රැඳිලා ඉන්න ඒ බස් නැවතුම්පොළේ ඇතුළේ බිත්තියක මගේ ලස්සන ලියමන ඇලවිලා තිබුණා . කිචි බිචි ගගා හිනහා වෙන අක්කලා කීප දෙනෙක් සහ කොල්ලෝ රැළක් මගේ ලියමන හඬනගා කියවමින් හිටියා .

දෙනෝදාහක් මැද්දේ රෙදි ගැලවුනා වගේ හැඟීමක් මගේ හිතට එද්දී මම වෙන පාරකින් හැතැක්ම ගාණක් පයින්ම ගිහින් බස් එකක් අල්ලගත්තා .ගෙදර ගිය ගමන් කෑවෙත් නැතුං මම ඇඳට පැන්නා . මට ඇඬුණේ නැතත් මම පුදුම විදිහට අන්දුං කුන්දුං වෙලා හිටියා . ඇඳේ පෙරළිලා වහල දිහෑ බලාගෙන හිටපු මට ටිකෙන් ටික හැම දෙයක්ම තේරුම් යන්න පටන්ගත්තා .

උංගි කෙල්ල මම දීපු ලියමන කියවලා කෙළින්ම ගිහිං ඒක ඒකිගේ කොල්ලගේ අතට දෙන්නැති . ඌ ගිහිං ඒක බස් හෝල්ට් එකේ ඇළෙවුවා . අපොයි මම වගේ මෝඩයෙක් .!! මම අත මිටිගුලි කරලා ඔළුවට වේගවත් පාරවල් කීපයක්ම ගහගත්තා .

පහුවදා කාටත් උදෙන්ම ඉස්කෝලෙ යන්න ගෙදරින් පිටත් වෙච්චි මම බස් හෝල්ට් එක වෙත ඉක්මනින්ම ඇවිදං ගියා . මගේ සුන්දර සෙනේ බර ආදර හසුන ඒ වෙනකොටත් බස් හෝල්ට් එකේ බිත්තිය තදින් බදාගෙන හිටියා . ඉක්මනින්ම ගලවලා අරගෙන කීතු කීතු වලට ඉරලා ටිකක් එහාට වෙන්න තිබුණු කුණු කාණුවකට මගේ ප්‍රථම පෙම් හසුනේ කෑලි ටික වීසි කළාට පස්සේයි හිතට යාන්තමට සහනයක් දැනුණේ !

එදා පටන් දින ගණනක් යන තුරුම මේ සිදුවීම මුල් කරගෙන ඉස්කෝලෙන් බාගයක්ම ළමයි මට හිනා වුණා .ඒ විතරක් නම් මදෑ මට නමකුත් පට බැන්ඳා . මේ මුලු කතාවම කීවත් ඒ මට ලැබුණු නම ලියා දාන්න මගේ හිත දෙන්නේ නෑ .

ඔන්න ඔය විදිහට මගේ සෙනේ කොලේ කතාව අවසාන වුණා . කාලයක් ගියාට පස්සේ කාට කාටත් ඒ සිදුවීම අමතක වෙලා ගියා . මටත් මේ සිදුවීම අමතක වෙලාම ගියේ මම මේ සිදුවීම අමතක කරලා දාන්න ලොකූ උත්සාහයක් ගත්ත නිසාම වෙන්නැති .

මට මේ සිදුවුණු මුලු සිදුවීම මහා ජැජ්ජාවක් , දුකක්. දෙවියනේ..! මේ ලෝකේ මොන පෙම්වතාද කක්කුස්සියේ ඉඳන් ලියුම් ලීවේ ? .. ඒ වගේම ලියාපු ලියමන බස් හෝල්ට් එකක ප්‍රදශනය වෙන්න ඉඩ හැරියේ ? මේ ලෝකේ ඉන්න බිලියන ගණනක පෙම්වතුන්ගේ බූට් කතා , ආදර කතා අතරින් මගේ මේ කතාව වෙනස් වෙන්නේ ඔන්න ඔය හේතුව උඩ .

රොමියෝ ජුලියට්ලා , සාලිය අශෝකමාලා , රාමලා සීතලා , ජාලිය ක්‍රිෂ්ණජිනාලා . වගේ පෙම්වතුන් ආදරේ කරද්දී මම වින්ඳ තරම් දුකක් නම් කිසිම දවසක විඳලා නැතුව ඇති . ........! හී සැර දහසකට පපුව දුන්නත් ඒ සුපිරි පෙම්වතුන්ට අපේ කක්කුස්සියේ එක විනාඩියක් ඉන්න බැරිවේවි . ඒත් මම ඒ දුක වින්දා කක්කුස්සියේ හැංගිලා ලියමනක් ලීවා, බයේ ගැහි ගැහී ඒ ලියමන කෙල්ලටත් දුන්නා . අන්තිමට විඳින්න පුළුවන් ඉහළම ලැජ්ජාවත් අත්වින්දා ..

පළමුවැනි පෙම් හසුන මට උගන්වාපු පාඩම මගේ හිතේ තදින්ම වැදිලා තිබුණු හන්දාම මම ඊට පසුව කවම කවදාකවත් කෙල්ලෙකුට ලියුමක් දෙන්න නම් ගියේ නෑ .


කතාව සිහිපත් කළ කතන්දර කාරයාට ස්තූතියි !!