31.5.11

අලින්ටම ගිය අපේ ගම


මෙතුවක් කල් මම ලියපු ලියවිලි අතරින් වඩා අද ලියන මේ ලියවිල්ල තරමක් වෙනස් වේවි. මේ ලිපිය ලියන්නේ මගේ ගමත් මගේ අහල පහල ගම්වලත් ජීවත් වෙන අහිංසක මිනිස්සු ගැන හිතලා .ඒ මිනිස්සු වෙනුවෙන් උදවුවක් බලා පොරොත්තුවෙන්.! මට හොඳටම විස්වාසයි  මේ ලිපියෙන් පස්සේ මගේ ගමට , අහල ගම් වලට අලුත් එලියක් වැටෙන බවට . අපිට උදවු ලැබෙන බවට...

එහෙනම්කියවලාම බලන්න ඔබටත් හැකිද අපට උදවුවක් වෙන්න කියලා

ඔබ තමුන්නාන්සේලා හැමෝම දන්නවා මම ජීවත් වෙන්නේ අග නගරෙන් ඈත ඈතම ඈත . ගම්මානෙක බව . ගමක ජීවත් වෙන අපිට මුල් කාලේ කියාගන්න බැරිතරම් දුක් කරදර අපහසුකම් තිබුණා .ඒත් කාලයත් එක්ක ගම ටිකෙන් ටික දියුණු වුණා ඒක නිසා දැන් අපිට මහා ලොකු අපහසුතාවයන් නම් නෑ . නගරේ තියන සමහරක් පහසුකම් මදි නොකියන්න අපිටත් තියනවා.. 


කාලෙකට ඉස්සර කැලෙන් වට වෙලා කොටි කටේ හැංගිලා තිබිච්ච ගම . යුද්ධය අවසන් උණාට පස්සේ පුදුම වේගෙන් දියුණු වෙන්න පටන් ගත්තා , ගම ගිලගෙන හිටපු මහ කැලෑව ටිකෙන් ටික අඩු වෙන අතරේ .! නාගරිකයන්ගේ බාසාවෙන් "බයියෝ" වෙච්ච අපි පුදුම සෙනෙහසකින් මේ අලුත් දියුණුව වැළඳගත්තා .

"
ඉතින් ගම වටේ කඳවුරු ගහන් හිටි කොටි ඉවරයි ! අපිව හිරකරගෙන හිටපු කැලෙත් ඉවරයි .දැන් අපි කාට බය වෙන්නද ?” ..

මොහොතකට අපි එහෙම හිතන්න ඇති . ඔන්න ඔය අතරේදී තමයි තව හයි කාරයෝ ටිකක් වැඩ පෙන්වන්න පටන් ගත්තේ

"
අලි බොට්ටු" අපි උන්ව හැඳින්නුවේ එහෙමයි .


ඉස්සර නම් මාසෙකට දෙකකට වරක් ගම් වැදිලා ගියපු මේ හයිරං කාරයෝ දැන් උදේ හවා තමන්ගේ හයිය හත්තිය ප්රදර්ශනය කරන්න පටන් අරගෙන !.පාරක යන්න බෑ , මිනිසුන්ට හේනක් කුඹුරක් කරන්න බෑ, ගෙයක් දොරක් අලුතින් හදන්න බෑ .ලෙඩ වෙච්ච රෝගියෙක් හදිස්සියකට රෝහලට ගෙනියන්නත් බෑ ..නිල නොලත් අලි මුරකාරයෝ හැම තැනම .



කොහොමින් කොහොම හරි. මගේ ගම තරමක් වාසනාවන්තයි . මට මගේ ගමේ උදවියට මේ අලින්ගෙන් කරදර බාධා ඇති වෙන්නේ .පාරේ යනකොට විතරයි .මගේ ගෙදර සීමාවට දැන් අලි නොඑන තරම් .දැන් මම හිතේ සතුටින් නිදාගන්නවා .ඒත් ඉඳලා හිටලා ළඟපාතකින් අලි කුයිලක් දැනිච්ච අවස්ථාද ඕන තරම් !.අපේ අල්ලපු ගමේ අලින් ගෙන් මැරුම් කෑ උදවිය ගැන කන් වලට නොඇසුණා නෙවේ .වග කිව යුත්තෝ නිදිනම් මොනවා කරන්නද ? , මමත් නිදාගන්නවා ඇරෙන්න !

උදේ වැඩට යන්නත් හවසට වැඩ ඇරිලා ගෙදර එන්නත් . මමත් අපේ ගමේ උදවියත් පුදුම අවදානමක් අරගන්නවා . ඒක නිකම් හරියට අතුරේ යනවා වගේ .

"
පරිස්සමෙන් ගියාද පුතා ?”

කෝල් කරන්නේ අම්මා

"
ඔවු ඔවු දැන් තමයි ඔෆිස් එකට ආවේ .”

ඉස්සරහා ඉන්න අලියා දැක දැක හෙල්මට් එක අස්සේ ගහපු ෆෝන් එකට උත්තර බඳින ගමන්! වෙවුලන අතින් බයික් එක බයික් එක හරවන ගමන් මම දවසක් අම්මට බොරු කිවුවා .ආසාවට නෙවෙයි අම්මව බය කරන්න බැරි නිසයි .ඉතින් පාර දිගේම ආයෙමත් හවසට ගෙදර එන්නයි තියෙන්නේ ..


ගමේ වී ගබඩාව .අලින්ගේ ඉදිරියේ කඩාගෙන වැටුණු හැටි මට තවම මතකයි . ගොඩ ගහලා තිබුණු වී මිටි. තමන්ගේ බූදල වගේ හොඬවැලෙන් අරගෙන යන හැටි අපි දවසක් බලාන හිටියා ! .. ඒවිතරක් නෙවේ පාරටම පාර මැදට පැන්න අලියෙක් ඉදිරියේ බයික් එක අත හැරලා දාලා දුවලා! .. ඈතට ගිහිල්ලා දවසක් බලාන හිටියා . වගේ අලි අද්දැකීම් මට නම් නොඅඩුව තියනවා .

කැමතිද මගේ එක දවසක අද්දැකීමක් බෙදාගන්න ?

දිනේ හරිට මතක නෑ. එදා මගේ බෑග් එකේ බොස් ගෙන් ඉල්ලා ගනිපු කැමරාව තිබුණා


1 )  මේ පින්තූරෙන් පේන්නේ මම උදේ හවා වැඩට යන එන පාර . පාර දෙපැත්තේම තියෙන්නේ මහා මූකළානක් ..ඉතින් අපි හැමෝම ඔය වාහන නතර කරගෙන ඉන්නේ ලොකු ඇමති තුමෙක්වත් මන්ත්රී තුමෙක්වත් එන හින්දා නම් නෙවේ . එයාලා මේ වගේ පාරවල් වල එන්නේ නෑ නේ ..අපී නවත්තගෙන ඉන්නේ ඉස්සරහින් අලි රංචුවක් අපිව පිළිගන්න මග බලන නිසා
 2) එක පාරටම "ඔන්න ඔය පැත්තෙන්" කියලා කෙනෙක් කෑ ගහන අතරේ අතේ තිබුණු කැමරාව මම පැත්තට ඇල්ලුවා ..පඳුරු අස්සෙන් අපේ දිහාට එන සද්දන්තයෙක් දැක්ක හැටියෙම නවත්තගෙන හිටි වාහන සේරම තත්පරයෙන් ඉදිරියට ඉගිල්ලුණා ..

"
ඉදිරියට කොහාටද ?”

අලි රැළ මැදටම .
3) පාර අයිනේ හිටපු තවත් එක් මුර කරුවෙක්


4) ඔය පින්තූරේ ඉන්න කෙනා අපේ බයික් දිහාවට දුවගෙන එන ගමන් .
5) අපි ගියේ ඉදිරියටඒත් තව කෙනෙක් පාර හරස් කරගෙන .. ඉස්සරහින් සහ පිටුපසින් අපි කොටු වෙලා .
6) තවත් දෙදෙනෙක් පාර මැදට එන ගමන් ..

7 ) පාර දෙපැත්තේම යන එන උදවිය හිරවෙලා



8 ) කූල් වෙලා යන අවස්ථාවක් ..
9)එක්කෙනෙක් නම් අපි ගැන අනුකම්පා ඇතිවෙලාද කොහෙද කැලේට පියමැන්නා . ඒත් අනිකා ,,,,?
10 )හොඬවැල කටේ ඔබාගෙන අලියෙක් තමා දිහාට එනවානම් ... කිසි දවසක දුවලා නැති වේගෙන් දුවන්න ..පය පටලවා ගන්නේ නැතිව නැතුව සිහියෙන් දුවන්න .බයික් එකේ ඉන්නවානම් කලබල නොවී හරවන්න. පේනවා ඇතිනේ එක්කෙනෙක් ගල් වෙලා බලාන ඉන්න හැටි ! . අනිකා නම් සිහි කල්පනාව ඇතුව බයික් එක හරව ගත් හැටි ..
11 )පුදුම වේගෙකින් දුවගෙන ගියපු ඒ හයි කාරයා බයික් සේරම ඈතට එලෙවුවා ..! යන්තම් කාටවත් අනතුරක් උනේ නෑ 

12 )  අපේ පිහිටට ආවේ බස් එකක් ..! සද්දන්තයන් බස් එක ඉදිරියේ පසු බයින අතරේ අපි හැමෝම යනකම් බස් එකේ රියදුරා බස් එක හරස් කරගෙන හිටියා ..අපි යන්තම් එතනින් මාරු උනා

ඔය පින්තූර එක්ක දාලා තියෙන්නේ . මම මුහුණ දීපු අද්දැකීමක් . මීට වඩා දරුණු අද්දැකීම් මගේ අහල පහළ ගම් වල මිනිස්සු දිනපතා විඳිනවා ඇති ..

මේ කරදර අපි කාට කියන්නද ? වග කිව යුත්තෝ කිසිම කෙනෙක් කවම දාකවත් මේ ගැන හොයා බලන්නේ නෑ .වනජීවී කාර්යාලයෙන් ඇවිත් "හූ" කියලා යාවි. අලි වෙඩිල්ලක් දාලා යන්තම් කැලෑව ඇතුළට අලි එළවලා දාවි .. ඒත් ආයෙමත් මොහොතකින් අලි රංචු පාර පුරාම ..


මම ජීවත් වන ගම්මානෙට සහ අවට ගම් වලට තර්ජනයක් වුණු මේ අලි රැළ ඉවත් කරන හැටි .කාටද මේ ගැන දැනුම් දෙන්න ඕන . ඔය කිසිම දෙයක් අපි දන්නේ නෑ .. කාලෙකට ඉහත වගකිව යුතු ස්ථානයක මේ පිළිබඳව දැනුම් දුන්නත් තවම පිළියමක් නම් ලැබුණේ නෑ ..මේ ගැන දන්න කියන කෙනෙක් ඉන්නවානම් කරුණා කරලා අපිව දැනුවත් කරන්න .
.


ඇඟේ වහලා ලේ බිඳක් බොන මදුරුවාට ගහන එක සාමාන් දෙයක් නම්අපිව මරන්න හදන අලියෙක්ව මරන එක පවක්ද මහත්වරුනි ? ඒකට කියන්නේ පව නෙවේ ."ජීවත් වීමට දරන උත්සාහය" කියලයි . මීට කලින් මේ වගේ හැසිරිච්ච අලි කිහිපදෙනෙකුම අවසන් ගමන් ගියා . සමහර විට මේ රංචුවේ අලි කීප දෙනෙකුටම යළි නොඑන ගමනක් යන්න වේවි ..!

මේ ලියුවේ තවත් එක ලිපියක් නම් නෙවේ !

..
වේදනාවෙන් පිරිච්ච තුවාලයක් හිමි මිනිහෙක් බෙහෙතක් ඉල්ලලා කරපු එක ආයාචනයක්



පලි: පෝස්ට් එකේ පින්තූර ගොඩක් අඩංගු වීම නිසා අනෙක් අයගේ බ්ලොග් රෝල් වල යාවත්කාලීන වන්නේ නැත ඒ ගැන සමාව ඉල්ලා සිටිමි