29.12.10

අවංක ආදරයක පැහැය දුටිමි .



               

                     "වැස්ස" .. මම අද ගොඩාක් වෙලා බලාපොරොත්තුවෙන් හිටියා . අද දහවල් 2 මට මුහුනදෙන්න තියන වෙන්ව යාමක් අද වැස්සොත් සතියකින් කල්දාන්න මම හිතාගෙන උන්නා .. මොකද මම ඒ වෙන්වීමට තවම සූදානම් නෑ ..

මොකක්ද ඒ වෙන්වීම...?

අද තමයි මම උගන්වන පන්තියක අවසන් පාඩම යෙදිලා තිබුනු දවස . අදින් පසු ආයේ කවදාකවත් ඒ ලමයි කන්ඩායම මට එක තැනකදී දකින්න ලැබෙන්නේ නෑ..

වැස්ස එයාට පුලුවන් විදිහට එයාගේ සහය මට ලබලා දුන්නා ..ඒත් කුඩ අරගෙන එක් එක් ලමයා ඇවිදින් පන්තියේ වාඩි උනා .වෙනදා එන ළමයි සියලුදෙනාම අදත් අඩු නැතිව ආවා .වැස්සත් ,මමත් පැරදුනා .

අද මම මේ ළමයින්ට අවසන් පාඩම නේද කරන්න යන්නේ ? බව මතක්වෙනකොට හිතේ දුක පිටාරගලනවා. වචන උගුරේ හිරවෙනවා . ඒත් මම කවදාහරි මේකට මුහුනදෙන්න ඕන . ඒක නිසා මම මගේ හිත බොරුවට සනසවාගෙන හෙමිහිට ඒ පන්තියට ඇතුළු උනා .

වෙනදා කෙලින්ම පාඩමට යන මම අද මුලු පන්ති කාමරය පුරාම ඉඳගෙනහිටපු ඒ සුපුරුදු ළමයි කන්ඩායම දිහා එක වරක් බැලුවා ..වෙනදා මට විහිලු කරන ඒ හිනාවෙන මූනු අද අඳුරුයි . අඳුරෙන් පිරුනු මූනු අතරේ . හොඳටම දුකින් පිරුනු එක මූනක් මම දැක්කා . පස්වෙනි පේලියේ කෙලවරේම අසුනේ ඉඳගෙන අහක බලාගෙන කල්පනා කරන මගේ පුංචි ආදරවන්තිය.! මගේම කෙල්ලටත් මම උගන්වන අවසාන දිනය අද !

අපි දෙන්නගේ ආදරය පටන්ගත්ත තැන . එයාගේ පුංචි ලස්සන ඇස්දෙක මම මුලින්ම දැක්ක තැන. සේරම සිදු උනේ මේ පන්තිකාමරය ඇතුලේ. මම මේ ලියන මොහොත වෙනකොට මේ සේරම මතකයන් අතීතයට එකතුවෙලා ඉවරයි . මේ ළමයි හැමෝම තවම 10 වසරට පයතියන්න සූදානමින් ඉන්න ලමයි ..මේතරම් පුංචි ළමයි කන්ඩායමකට මම උගන්වපු පලවෙනි වතාව .

ටිකෙන් ටික තත්පරෙන් තත්පරේ වෙලාව ගෙවිලා ගියා. පොතට නැමිලා මෙතෙක් වේලා ලියමින් හිටපු ළමයි එක එක්කෙනා ඔලුව උස්සන්න ගත්තා . හමු වීමක් නම් වෙන්වීමකුත් ඒ ලඟම තියනවා ..!

ඉතිං ඔන්න මම එක්තරා ආදරනීය හමුවීමකට නැවතීමේ තිත තියන්න සූදානම් උනා

"ඉතිං මාස හයක් ඔයාල අපිත් එක්ක හිටියා . අපි අතින් ඔයාලට මොනවාහරි හිත් රිදීමක් උනානම් අපට සමාවෙන්න

"ඔයාලා හැමෝගෙම නම් මට මතක නැති උනත් .මට ඔයාලගේ මූනු සේරම මට හොඳට මතකයි "


ඔයාල හැමෝටම ජයවේවා !!

මම අවසානෙටම කියපු වචන කීපයක්.......

ඉතිං ඒක ඉවරයි ..!!

මේසේ උඩ විසිරිලා තිබුන මගේ Note ටික එකතු කරං මම පන්තියෙන් එලියට යන්න සූදානම් උනා. ළමයි එකා දෙන්නා නැගිටින සද්දේ මට ඇහුනා . වෙනදා දොරෙන් පොරකාගෙන එලියට යන ඒ පොඩි ළමයි . අද එක පේලියට මගේ ලඟට එන්න ගත්තා ...


මුලින්ම මට හිතාගන්න බැරි උනා ඇයි එයාල මගේ ලඟට එන්නේ කියලා ..පෝලිමේ මුලින්ම හිටපු ළමයා . මගේ ඉදිරියේ දනගහලා මට වැන්ඳම තමයි මට හේතුව වැටහුනේ . මම මොනවා කරන්නද කියලා මට මොහොතකට හිතාගන්න බැරි උනා . හිතේ පිරිච්ච දුක තව තවත් වැඩි උනා


පෝලිමට ආපු ළමයි අතරේ හිටපු මගේ ආදරවන්තියත් හෙමීට මගේ ලඟට ආවා .. එයත් මට වඳිනකොට .මගේ හිතේ පිරිච්ච දුක උපරිමේටම ලංඋනා . එයා මට වැඳලා නැගිටිනකොට ඒ ලස්සන ඇහැකින් වැටිච්ච කඳුළු බිංදුවක් මගේ දකුනු කකුලේ සපත්තුව උඩට වැටුනා ..! පන්ති කාමරේ සුදුපාට ලයිට් එලිය ඒ කඳුළු බිංදුවට වැටිලා රිදීපාටින් දිලිසුනා !.. කෙල්ලෙකුගේ අවංක ආදරයක පාට ඒ කඳුළු බිංදුවෙන් මම දැක්කා පලවෙනි වතාවට..

කඳුළු බිංදුව බිමට හෙලපු ඒ ඇස්දෙක . එක තත්පරේකට මගේ ඇස්දෙකත් එක්ක ගැටුනා . කඳුළු පුරවගත්ත ඒ ඇස්දෙක මගෙන් අහන ප්‍රශ්නය මට තේරුනා..

" දැන් ඉතින් අපි ආයේ කොහොමද හම්බවෙන්නේ ? "

මගේ ඇස්දෙක එයාට දීපු පිළිතුර උනේ "මම දන්නේ නෑ ..!”

ඇත්තටම ආයේ කොහොම අපි හමුවෙන්නද ?

මම තාම හිතනවා .....................

දැන් පොඩ්ඩක් දුකයි ..දුකට තිත තියන්න නම් මත් වෙන්නම වෙනවා ..

සඳරු //












26.12.10

විකටයාගේ ආදරය..


                    මේ කතාබහ සිදු උනේ මමත් මගේ ආදරනීය සුරංගනාවියත් අතරේ .හරියටම මීට දින 4කට උඩදී . මේ කතාව මගේ ජීවිතයේ පරන මතකයන් ගොඩක් ආයෙත් අවුස්සලා දැම්මා .මම මේ කතාව ලියන්න ගත්තේ මගේ හිත ඇතුලේ අපිලිවෙලට විසිරිලා තියන . පරන මතකයන් ආපහු පිලිවෙලකට ගලපගන්න අදහසින් ..

පහුගිය බදාදා මමත් ඇයත් පුරුදු විදිහටම පුරුදු තැනදීම මුනගැහුනා ! වෙනදා ගේන හිනාව .වෙනදා ගේන ආදරේ අඩු නැතුව එයා එදත් අරගෙන ඇවිදින් තිබුනා .

ඒත් ආපු ගමන්ම එයා මට අමුතුම කතාවක් කිවුවා !

මට ඔයා ගැන කේලමක් අහන්න ලැබුනා . “

පුදුමයි එයා හිනාවෙන ගමන් තමයි එහෙම කීවේ .

කියන්නකෝ බලන්න

මේක මට කීවේ අහවලා . එයාට කියලා තියෙන්නේ අහවලා .”

ඉතින් මොනවද මං ගැන කියපු කේලම් ?”

ඔයාගේ පරන ආදරයක් .***** ගැන .”

මාව පිච්චිලා ගියා වගේ . මම බිම බලාගත්තා . මගේ පරන ආදර කතාවක් දැන් මගේ පෙම්වතියගේ කනට කේලමක් විදිහට වැටිලා ඉවරයි .

අයියෝ මම ඕව ගනං ගන්නේ නෑ ඔයා කලබල වෙලානේ !” මම ඔය බොරු කේලම් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ .

ඒක බොරුවක් නෙවේ ඒක ඇත්ත .”

එහෙනම් මට කියන්නකෝ ඒ කතාව ..මට ඔයාව විස්වාසයි . මට මාර ආසයි ඔයා පිස්සුවැටිලා හිටිය කෙල්ල ගැන දැනගන්න

ඉතිං මං මගේ හිතේ හංගගෙන හිටපු ඒ පරන ආදර කතාව . මගේ අළුත් ආදරවන්තියට කියන්න තීරණය කරා. එයා මගෙන් ඇහුවේ නැත්නම් මම මේක කවදාවත් කියන්නේ නෑ .. ඒත් අර කේලමා මොනවගේ දෙයක් කියලද කියලා මම දන්නේ නෑ . ඉතිං මම මගේ පැරදුනු ආදර කතාව කිසිම අඩුවක් නැතිවම කියන්න තීරණය කරා ..එයත් . තාත්තගෙන් සුරංගනා කතාවක් අහන්න බලං ඉන්න පුංචි ලමයෙක් වගේ මගේ ලඟින් වාඩිවෙලා උනන්දුවෙන් බලාගෙන හිටියා ..

එහෙනම් මම එයාට කියපු කතාව (ටිකක් වෙනස් විදිහට) ඔයගොල්ලොත් අහගන්න ..හරියටම දින වකවානු මම කියන්නේ නෑ කොහොම හරි ඒ අවුරුද්දක අවසාන මාස කීපය ..

එතකොට මම දැන් වැඩකරන ආයතනයට වැඩට ඇවිදින් මාසයක්වත් නෑ .. මගේ Training කාල සීමාව .

අපේ පලාතට ලස්සන කාල සිමාව එන්නේ අවුරුද්දේ අගදී .අවුව එච්චර සැර නෑ . උදේට ටිකක් සීතලයි ..ගස් වැල් සේරම කොලම කොලපාටයි . හුලඟත් හමන්නේ බොහොම හෙමීට . ඉතිං ඒවගේ ලස්සනම ලස්සන උදයක අවදි වෙච්ච මම මම වැඩට ගියා ..

ජොබ් එකට ගිය අළුත .හිතේ අමුතු හැඟීම් ගොඩයි .ඉතිං මම ඒ දවස්වල වෙලාවටත් කලින් තමයි වැඩට යන්නේ

මට අද වගේ මතකයි !

එදා මම වැඩට ගිහිං ටිකක්වෙලා ජනේලෙන් පාර දිහා බලං හිටියා . …..

මම වැඩකරන ආයතනයේ මිදුල පුරාම වැවිච්ච තණකොල ගොල්ල උඩට ලඟ තිබුන සේපාලිකා මල් ගහෙන් මල් වැටිලා. මිදුල පුරාම වැටිච්ච සේපාලිකා මල් ඇතිරිල්ලට උඩින් අඩිය තිය තිය ගෑනු ලමයෙක් ආවා .. ඇත්තටම හරිම ලස්සන ගෑනු ළමයෙක් . එයාගේ දෙපයට පෑගෙන්නත් සේපාලිකා මල් ආසාවෙන් බලං හිටියා. ඒ දෙපයට පෑගෙන සේපාලිකා මලත් හරිම වාසනාවන්තයි නේද ? මම තනියම කල්පනාකරා . ඒත් මම කවදාවත් හිතුවේ නෑ ඒ වාසනාව මට ඇත්තටම ලැබෙයි කියලා. මගේ හදවතට මල් සුවඳක් දැනෙන්න ගත්තා.. ඇත්ත ඒ මොහොතේ පටන් මම ඒ නොදන්නා ගෑනු ලමයට අදරේ කරන්න ගත්තා ..

එයා ආවේ අපේ ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරන්න .සතියකට දවස් දෙකක් එයා පන්ති ආවා . දවස් දෙක එනකං මම ඇඟිලි ගැන්නා . ඒත් එයාව දැකපු හැටියේ මම ගොළුවෙනවා .

කොහොමින් කොහොම හරි සති තුනකුත් ගෙවිලා ගියා ..මම එයාට තවම එක වචනයක්වත් කතාකරලා නෑ . හිනා වෙලත් නෑ . හැබැයි ඒයාගේ නම නම් මම දැනං හිටියා ..

දවසක් මේ ලස්සන ගෑනු ලමයා . අපේ ආයතනයේ තිබුනු පරිගණකයක් ඉදිරියේ වාඩි වෙලා මොකක්දෝ වැඩක් කරමින් හිටියා .

ඔන්න එදා පලමුවෙනි වතාවට මෙයා මට කතාකලා ..

මට මේක අහගන්න Headphone එකක් දෙන්න පුලුවන්ද ?”

මාව මොහොතකට සීතල උනා . එයා මට කතාකලා . මම ඉක්මනට ලඟ තිබුනු වෙනත් පරිගණකයකින් Headphone එකක් ගලවගෙන එයා හිටපු පරිගණකයට හයිකරා .

එදා මම ගෙදර ගියේ පුදුම සතුටකින් . ගෙදර ගිහිං මම එයා ගැන ගොඩාක් වෙලා හිතුවා . අන්තිමට මම හිතුවා එයාව මගේ යාළුවෙක් කරගත්තොත් හොඳයි ඊට පස්සේ ආදරය ගැන හිතනවා කියලා . ඉතිං මම තීරණය කරා එයාට Friend කෙනෙක් විදිහට Email එකක් යවන්න .

එයාට ඔය තියන පිතූරේ තමයි මම Email කරේ ..සමහරවිට එයාට තවම ඒක මතක ඇති ..

පහුවදා උදේ එයා පුරුදු විදිහටම පන්ති ආවා ..

හෙමිහිට මගෙ ලඟට ඇවිදින් එයා මගෙන් මෙහෙම ඇහුවා

සඳරු කියන්නේ කවුද ?

මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා ..

සඳරු කියන්නේ මම ..

ඔයාද මට Email එකක් එවුවේ .

ඔවු වෙවුලන කටහඩින් මම ඉත්තර දුන්නා .

එයා ලස්සනට හිනා උනා .....

ඇයි ඔයා මේක මට එවුවේ .?

නිකම් ..මට නඩු දාන්න නම් එපා ඕං !

මම නම් . නඩු දන්නේ නෑ . ඒත් ..********දැක්කොත් නම් නඩු දායි ..

වීදුරුවක් වගේ මගේ හදවත කුඩුවෙන සද්දේ මට ඇහුනා . කියන්නේ මෙයාට අයිතිකාරයෙක් ඉන්නවා .. හදවතෙන් දුක දෝරේ ගලන්න උනා . මට කතාකරගන්න බැරිව ගියා ..

ඉතිං ඔයාගේ Email එකත් මට දෙන්නකෝ මමත් ඔයාගේ Friend කෙනෙක් වෙන්න

මමත් මගේ Email ලිපිනය එයාට දිලා පැත්තකට වෙලා හිටියා .. හවස මම බලනකොට මට එක Email පනිවිඩයක් තිබුනා ,, පින්තූරයක් අමුනලා එවලා තිබුනා
 

මේක මම එයාගෙන් ලද පලමු හා අවසන් පනිවිඩය .. ඊට පස්සේ කවදාකවත් එයා මට. Email එවුවේ නෑ .

ඒත් එයා මාත් එක්ක නිතරම කතා කරා .නිතරම හිනා උනා , මට විහිලු කරා , මමත් දවසින් දවස එයාව මගේම කරගන්න පෙරුම් පිරුවා . අමුතු ගෑනු ලමයා . කොයි මොහොතෙත් හිටියේ හිනාවෙච්ච ගමන්මයි . හරිම සන්තෝසසෙන් . මම නිතරම එයාට Email යැවුවා එයා ඒව බලනවද ? නැද්ද ? මට වැදගත් උනේ නෑ .මම මේ හොරකං කරන්න හදන්නේ අනුන්ගේ ආදරයක් නේද ? මට එදා එහෙම හිතුනේ නෑ. මට ඕන උනේ එයාව මගේ පැත්තට නම්මගන්න විතරයි

මාස කීපයක් ගත උනා ....

මට එයාව එක දශමයක් වත් මගේ පැත්තට නම්ම ගන්න බැරි උනා . මම පරාද උනා කියලා මම තේරුම් ගත්තා .ඒත් මගේ හිත පරාජය බාරගෙන පැත්තකට වෙන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ .

මම ඒ අසරන ලමයට නිර්නාමික වලින් Email මගේ ආදරේ කිවුවා ..එයා හොඳටම දැනං උන්නා මේ Email එවන්නේ මම කියලා ..ඒත් ඒ හිතේ තියන අහිංසක කමට එයා ඒ බව කාටවත් කීවේ නෑ . ඇත්තටම එයා ඒක කීවනම් මම එදා ලොකු අමාරුවක වැටෙනවා .

ඇත්තටම කිවුවොත් මම එයාට වදයක් උනා . වටේ ඉන්න අයට මාව ජෝකර් කෙනෙක් උනා .


දවසක් මම එයා එනකම් බලං හිටියා . එයා ආවේ නෑ , ලඟ දවසෙත් බලං හිටියා . ඒත් ආවේ නෑ . එයා ආපහු කවදාවත්ම ආවේ නෑ .


එයා අනික් හැමෝටම කියන්න ඇති එයා යන බව ..ඒත් මට කීවේ නෑ ..ඒක තමයි වදයක් වෙච්ච මට එයා දීපු දඬුවම ..මට නොකියම යන්න ගියා .

අද එයා මේ ලෝකේ කොහේ ඉන්නවද කියලා මම දන්නේ නෑ ...කොහේ හිටියත් එයා පන වගේ ආරක්‍ෂා කරගත්ත එයාගේ ආදරේ දිනෙන් දින වැඩිවෙන්න කියලා අද මම හිතෙන් ප්‍රාර්ථනා කරනවා .!

අපි වෙනුවෙන්ම මවපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවා.. ඒයා අපිට හමු උන දවසට කාටවත් එයාව අපෙන් වෙන්කරන්න බෑ ! .

මට මවපු කෙනා මට දැන් හමු වෙලා ඉවරයි ..මම දැන් ආදරේ කරන්නේ එයාටම විතරයි .. ඒත් අර අමුතු ගෑනුලමයා මට උගන්වපු පාඩම මැරෙන තුරාවටම මට අමතකවෙන එකක් නෑ

අපි කාගෙන් හරි ඉල්ලීමක් කරනවානම් ඒක කරන්න ඕන තුන් පාරක් විතරයි .හතර වෙනි වතාවෙදි ඉල්ලුවොත් අපි බාල්දු වෙනවා . මම නම් හොඳටම බාල්දු උනා ...

ඔය විදිහට මගේ පැරදුනු ආදරේ ඉවර උනා .. ූ

මේ කතාව මුල ඉඳන්ම අහගෙන හිටපු මගේ ආදරී ..හිනාවෙන ගමන් මට මෙහෙම කිවුවා.

ඔයාට හොඳ වැඩේ !! හොඳම වැඩේ !

මටත් හිතුනා එදා එහෙම උන එක හොඳයි කියලා ..ඒකනේ අද මම මේ තරම් ආදරේ කරන කෙනෙක් මට ලැබුනේ .

කොහොමහරි මේ කතාව අවසන් වෙද්දී මම ගොඩක් දෙනෙකුට විහිළුකාරයෙක් වෙලා තිබුනා ..!

සඳරු //


22.12.10

බ්ලොග් අවකාසේ මෑතකදී වෙච්ච වෙනස්කම්...!


දැනට මාස කිපයකට උඩදී තමයි මම බ්ලොග් ලියන්න එකතු උනේ . මුලින්ම ලියන්න එනකොට . හිතාගෙන ආවේ තාක්ෂනික පැත්තට බර බ්ලොග් එකක් කරනවා කියලා . ඒත් මටත් නොදැනීම මගේ යටි හිත එයාගේ සිතුවිලි බ්ලොග් එක පුරාම ලියන්න පටන්ගත්තා . මමත් එයාට ඉඩදීල බලාගෙන හිටියා ..තවමත් බලං ඉන්නවා ..


බ්ලොග් ලියන ගොඩ දෙනෙක් වගේ . තමන්ටත් නොදැනීම තමන්ගේ යටි හිත කතාකරන්න පටන්ගත්තම . ආයේ නවත්තගන්න අමාරුයි . වගේම යටි හිතේ සත් හැඟීම් හරිම අමුතුයි ..හරිම සුන්දරයි


මේ බ්ලොග් අවකාසේ මෑතකදී වෙච්ච වෙනස් කම් කීපයක් ..!


******************************************************************************************


යටි හිතට ඉඩදීල බොක්කෙන්ම ලියපු බ්ලොග් අඩවියක් දැන් අපෙන් ඈත් වෙලා ..ගොඩ දෙනෙක් තවම දන්නේ නැතුව ඇති . සුන්දර සිතිවිලි වලින් පිරිනු මේ බ්ලොග් අඩවිය . මගේ ජීවිතයම වර්ණවත් කරපු බ්ලොග් අඩවියක්... නමින්ම හැඳින් වූවොත්


෴සොඳුරු සිත෴


මේ සොඳුරු සිත හිමිකාරිය "වත් " මොන හේතුවක්උඩ. තමන්ගේ ලස්සන හිතිවිලි වලට වැට බැන්දද දන්නේනෑ . සමහරවිට කෙටි කලට . අපෙන් ඈත් උනා වෙන්නත් පුලුවන් . "වත්" අක්කව අඳුරන කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවානම් . පොඩ්ඩක් අහල බලන්න . එයාට උදවුවක් ඕන නම් . උදවුව කරන්න ..


ඉතින් මේ හිස් අහස කරන ආරාධනය . ඇහෙන පෙනෙන මානයක ඉන්නවානම් . පුළුවන් කමක් තියනවානම් ආයෙත් සොඳුරු සිත අවදිකරන්න...


******************************************************************************************


මගේ හොඳම යාළුවෙක් ඇත්තටම කීවොත් මගේ හොඳම බොක්කක් . අමුතුම ආකාරයක බ්ලොග් එකක් දියත්කරා .. ඒක දැක්ක හැටියේ මම පුදුමෙනුත් පුදුම උනා . මේ මගේ යාළුවගේ අදහස්මද ?


ඔයාලත් ගිහිං බලන්න අමුතුම ආකාරයක කෙනෙක් . .ඇත්තටම කීවොත් මිනිහා මිත්යාදෘෂ්ඨිකයෙක් !!!


මිනිහගේ හැමදේකම අමුත්තක් තියනවා .. ටිකක් විතර පන්ඩිතයෙක් .ඒත් මගේ හොඳම බොක්ක..මිනිහා තමන්ව හඳුන්වන්නේ මේ මේ විදිහට


මාගේ විශ්වාසය පදනම් වී ඇත්තේ හුදෙක්ම මාගේ දැනුම මතය. කෙනෙක් සර්ව සාදාරණ පදනමක් මත සිට දෙයක් විස්වාස කිරීමට උත්සහ කරන්නේ නම් ඔහුටද, විශ්වයේ කෙලවර සෙවීමට උත්සහ කල මුගලන් තෙරුන්ට සමාන ප්රතිඵලයක් අනිවාර්යන්ම අත් වේ"


පිළිගන්න ....මිත්යාදෘෂ්ඨිකයාගේ සටහන් "


******************************************************************************************


බ්ලොග් අවකාසෙට තවත් තරුවක් ලඟදී පෑයුවා කඩාවැටෙන්න නොදී ඒ තරුවටත් ඔයාලගේ සහයෝගය ලබාදෙන්න..!


පිළිගන්න "තරු ඇසක් අමා දහරක්"


******************************************************************************************


වගේම බ්ලොග් මම කියවන බ්ලොග් නිසා මම අමාරුවේ වැටුනු වාර ගනනත් ටික ටික වැඩි වෙමින් යනවා .


දුමීගේ කට කැඩිච්ච කතා අහලා උන්හිටි තැන් අමතක වෙච්ච මට හයියෙන් හිනාගිය මට ගිය සතියේ බොස් බැන්නා !!


"සඳරු Office එක ඇතුලේ මෙච්චර සද්දෙන් හිනාවෙන්නේ මේක කෝලම් මඩුවක් ලියලා හිතාගෙනද ?” පිං සිද්දවෙනවා දුමියට


අකේලේ හම් ලියන දිනේශ් ! ඔයාට අපේ ඉස්ටාෆ් එකේ කෙනෙකුගෙන් පනිවිඩයක් තියනවා !!


ඔන්න දවසක් හිස් අහස බ්ලොග් එකේ Link එකක් අස්සෙන් අකේලේ හම් වලට ගියපු අපේ Institute එකේ පිළිගැනීමේ නිළධාරිනිය . මට මට මෙහෙම කීවා


"අකේලේ හම් ලියන කොල්ල මහ කුපාඩියෙක් "


"ඒමොකද ? ඔයා එහෙම කියන්නේ "


"බලන්න අර ලියලා තියන දේවල් ..


"මමත් බැලුවා .. ඇයි ඔයා දැක්කේනැද්ද ? කොල්ලන්ට වඩාත් සුදුසුයි......!!! කියලා දාල තියනවා "


" උනාට කෙල්ලන්ට නුසුදුසුයි කියලා දාලා නෑ නේ ඉතිං මම බැළුවා ..


"එහෙනම් නොදැක්ක වගේ ඉන්න ..


"ටිකකින් මෙයා මගෙන් අහපි .."සඳරු මල්ලි ඔයා ගාව ලියන කෙනාගේ නම්බර් එක තියනවද ?


"නෑ මූනු පොතේනම් ඉන්නවා !


"එයා පවු තනියම ඉන්න නිසා වෙන්න්ඩ ඇති .ඕව ලියන්නේ නම්බර් එක ඉල්ලගන්නකෝ මම වෙලාවක කතාකරන්න ඕන !


මොකෝ


නෑ මේ නිකං එයාගේ හිත හදන්න


බලන්න මේ කෙල්ලොන්ගෙත් හැටි ...නේද ?


යන්නම් :


ඇත්තටම මම මේක ලීවේ අර උඩ ඉන්න අළුත් තරු දෙකට (තරු ඇසක් අමා දහරක්, මිත්යාදෘෂ්ඨිකයාගේ සටහන් ) අත්වැලක් වෙන්න හිතාගෙන ..මම පගාවක් එහෙම ගත්තේ නෑ ඕං


ජයවේවා !!