5.10.16

බාල දක්‍ෂයෝ සහ පකිරිම්බෝ






ඔය සිද්ධිය පත්තු වුණේ මං අකමැත්තෙන් ඉස්කෝලෙ යන කාලේ .. තවත් ලං කළොත් ඒ මම දහය වසරේ ඉගෙනගන්න කාලේ ..

ඔය කීව දවස් වල මගේම පන්තියේ හිටිය එක අපූරු කෙල්ලක් එක්ක බැඳිච්චි මරු කතාවක් මට බත් කන වෙලාවට නිතරම මතක් වෙනවා . බත් කාලා අත හෝදාගත්තම ආයේ ඒ කතාව මට අමතක වෙලා යනවා .. ඉතින් ඒ නිසා ඒ කතාව ලියලා දාන්න මට හිතුණා .

හැබැයි ...අම්මපා ..!! මෙවුවා කියෝලා මදි උඹලා ඒකිව දකින්ඩම ඔනෑ...

ඒකිගේ නම නන්දනී ..

පන්තියේ හිටිය කෙල්ලන්ගෙන් ලස්සනම ඇඟපත පිහිටලා තිබුණේ නන්දනීට .කුරුලෑ ටිකක් තිබ්බට.. මූණෙත් කියන්ඩ තරම් වරදක් නම් තිබුන්නෑ .. ඒත් ඉතින් ඇඟපසඟ සහ පසුපස නම් අඩුවක් පාඩුවක් නැතුං යස අගේට තිබුණා. ඒ මදෑ සැනසෙන්ඩ ..

තේඩාව වගේ කොණ්ඩෙ ගොතලා, දණිහෙන් යාන්තමට උඩට හිටින්න ගවුම ඇන්ඳ නන්දනීට මං ආසයි .. නන්දනී පන්තිය අතුගානවා බලන්නත් මම ආසයි .

කොහු අඩු කොස්සෙන් පන්තිය අතුගානකොට නන්දනීගේ ඇඟ ලතාවට පැද්දෙනවා . බිමට පාත් වෙලා කඩදහි කොළ අතින් අහුලගනිද්දී මේ දැං හදවුව කිරිබත් තලියක් වගේ සකල සරීරෙම ගැස්සෙනවා ..ඕං එතකොට තමයි මට මයෙ පපුකැවුතු කඩාන කන්න හිතෙන්නේ ..!

ලස්සන කෙල්ලක් දැක්ක තැන පපු කැවුතු කඩාන කන්ඩ හිතෙන එක වියළි කලාපේ ජීවත් වෙනකොට ඇතිවෙන අතුරු ආබාද අතරින් එකක් මිස වනචර කමමත් නෙවෙයි..

ඉතින් ඔයිං මෙයිං දවස ගෙවුණා.. මයෙ හිතත් නියපොත්තෙන් කොනිත්තාපු ලබු දල්ලක් වගේ නන්දනීගේ පැත්තෙට හේත්තු වෙමින් තිබ්බා .

අපෙ ඉස්කෝලේ බාලදක්‍ෂ ජම්බෝරියක්ද පම්පෝරියක්ද ? කියලා මොකද්දෝ වඳුරු නැටුමක් පැවැත්තුවුණේ ඔය කියන දවස් වල .. මම නම් ඔය බාල වැඩ වලට සම්මාදං වෙන්න කවදාවත්ම කැමති වුණේ නෑ . ඉතින් ඒ නිසා මං බාල දක්‍ෂ කණ්ඩායමේ උන්නෙත් නෑ ,කවුරුත් මාව ගත්තෙත් නෑ. ඒත් හදිසියේම වගේ හෙණයක් පාත් වෙලා මටත් බාලදක්‍ෂ වැඩේට එක්කාසු වෙන්ඩ සිද්ධ වුණා . ඒකත් හරි පුදුම දෙයක් .!

සඳරු පොඩ්ඩක් මෙහෙට එනවා .”

ඔන්න දවසක් හදිසියේම බාලදක්‍ෂ වැඩ භාර බාලසූරිය සර් මට කතා කළාම මම සුදු කමීසේ හෙම පට් පට් ගාලා යට කරගන්න ගමන් උන්දැ ළඟට ගියා ..

ඇයි සර් ?”

හෙට හවස අපේ ඉස්කෝලේ බාල දක්‍ෂ කඳවුරක් තියෙනවා.. ඉස්කෝල කීපයකින්ම ළමයි ඇවිදින් ඒ වැඩ සටහනට එක්කාසු වෙනවා .”

ළමයි එන්නේ කොයි කොයි ඉස්කෝල වලින් දෑ සර් ?” මං මැදිං පැන්නා

පූජියාමා විද්‍යාලයෙනුත් එනවාලු .. ඒත් වැඩියෙන් එන්නේ මහනුවර ගුවාවා විද්‍යාලයෙ ළමයි ..”

ෂා !! ගුවාවා විද්‍යාලේ ළමයිත් එන එක අපිට කොච්චර ආඩම්බරයක්ද

හ්ම් හ්ම් එහෙනං උඹත් හෙට පන්තියේ කොල්ලෝ ටිකක් එක්කාසු කරගෙන වරෙන්

සර් මං ඔයි බාල දක්‍ෂ වැඩ වල නෑ නේ ! මොකට මං එන්නේ ..?“

.. අපේ ඉස්කෝලේ බාල දක්‍ෂ කණ්ඩායමේ ළමයි අඩුයි .. ඉතින් උඹලත් ඇවිත් ඉස්කෝලේ වෙනුවෙන් පෙනෙන්න ඉඳගෙන හිටපල්ලා වෙන මුකුත් කොරන්න ඔනෑ නෑ !. “

ඉස්කෝලේ ඇඳුමින්ම එන්ඩ ඔනෑද ?”

“ඕන්නෑ ...”

ආ...!! හෙනං අපි එන්නං සර් .. “

බාලසූරිය සර්ට පොරොන්දු වෙච්ච විදිහටම මමයි අපේ පන්තියේ පකිරිම්බො සෙට් එකයි පහුවදා දවල් වරුවේ ඉස්කෝලේ නෑවිදින් ඉඳලා ,හවස නාලා, දත් එහෙමත් හොඳට මැදලා, කිට මරලා ආයෙමත් ඉස්කෝලෙට යද්දි වෙලාව හැන්දෑවේ හතරකුත් ගානට විතර ඇති .

මහනුවර ගුවාවා ඉස්කෝලෙන් කෙල්ලොත් එනවැයි කියලා හිතාගෙන අපි බොහොම සුමටව සියුමැලිව අපේ හැඟීම් පාලනේ කරගෙන ඇඳ පැළඳගෙන සීරුවෙන් වගේ ඉන්න හිතට ගත්තා ..

පිට ඉස්කෝල වලින් නොසෑහෙන්න කොල්ලෝ අවුදින් හිටියා ඒත් දෙයිහාමුදුරුවනේ එකම එක ඉස්කෝලෙකින්වත් කෙල්ලෝ ඇවිත් හිටියේ නෑ .. බැලූ බැලූ අත හිටියේ කොල්ලෝ යායක් විතරයි .. මම හිතාගෙන උන්නේ මහ නුවර පැත්තේ පින්න ඉහුණ බාබන්ඩේසියා මල් බන්දේසියක් වගේ බාලදක්‍ෂිකාවන් රෑනක් අපේ ඉස්කෝලෙටත් ඒවිය කියාලා ..ෂිහ් !!

ගමට හුළං විතරක් හිමි හන්දා… නගරේ පුහුලං අපිට කොයින්දා ? .. අපි හිත හදාගත්තා

හ්ම්..අතරින් පතර අපේ ඉස්කෝලේ කෙල්ලෝ ටික නං හිටියා .. නොහිටියා ..අපි උන් දිහෑ බලාගෙන හිත් නලෝගත්තා .. ලේ කෝප කරගත්තා ....

රිපිටයි , ලපයයි , බත් ඇටයයි, මමයි යන ෆෝ මස්කචියර්ස් ලා තුන් දෙනා එකට හිටි හින්දාදෝ හිතට අමුතු ජවයක් දැනුණා . ඒ විතරක් නෙවෙයි එහෙන් මෙහෙන් ඇවිදලා, හිනා වෙලා, පොඩ්ඩක් උඩ දාලා යන නන්දනීව දැකපු හැටියේම මගේ හිත පිනුම් ගැහැවුවා .

අඩෝ මේ පිටිං ආපු එවුන් ඉස්සරහා අපි හාල් වෙන්ඩ බෑ මේ අපේ වැයික්කිය ඒක හිතට ගනියවු.පිට ඉස්කෝලෙ එවුන්ට පදිරි වෙන්ඩෙපා !!”

රිපිටා අපි හැමෝටම මෝඩිවේසන් ඉන්ස්ට්‍රක්සන් දුන්නා ..

හිරේ ගියත් ගේමක් නෑ ඩෝ!! අපි නැගෙනහිර පකිරිම්බෝ !”

මම ඒ වගේ බැල්මට් එකක් මවාගෙන පිට ඉස්කෝල වලින් ඇවිදින් උන්නු එවුන් දිහාවට කෂඩ බැල්මට් එකක් දැම්මා . මගෙත් එක්ක උන්නු සෙට් එකත් "පස්ස ගාතේ කනවා ඩෝ !!" කියන බැල්ම දාගෙන, " ඉස්කෝලේ..." ගැම්ම පපුවටම අරගෙන, පපුව උඩටම අරගෙන බෝම ආඩම්බරෙන් ඉස්කෝලේ වටේ රවුමක් යන්න පටන්ගත්තා… විතරයි....!!

අනේ සඳරු හනික ඔය පිට්ටනියේ ඉන්න හරක් රංචුව එලෝලා දානවා ..”

චිහ් විතරක් !! කිරි හැලියට ආච්චිගේ රෙද්ද වැටිච්චි කීවාලු ... !! ක්ලයිමැක්ස් කුඩු !! ..බාල සූරිය මගේ නම්බුව කෑවා .පිටිං ඇවිල්ලා හිටි එවුන් සේරෝම මං දිහා බලවුවා . මං අහක බලවුවා .

 සඳරු ළමයෝ කං ඇහෙන්නැද්ද ? අර හරක් ටික ගේට්ටුවෙන් එළියට යවනවාකෝ .”

ආයෙත් බාලසූරිය සර්ගේ හඬ ..

හ හා සර් ! “

දී හරකා දී !! හුයි ! හුයියා හුයි හුයි ! .

අපි කට්ටියම එකතු වෙලා ඉස්කෝලේ පිට්ටනියේ ස්ථිර පදිංචි කාරයෝ වෙච්ච හරක් රංචුවක් ඉස්කෝලෙ වත්තෙන් එළියට එලවවුවා . හරක් අපිට කිණ්ඩියටත් එක්ක ගොම දාගෙන දිවුවා .

හරක් එලෝලා ඉවර වෙලා අපි පිට්ටනියේ ගොමත් ඇද්දලා පිට්ටනිය සුද්ද බුද්ද කළා . නුවරින් ආපු කොල්ලෝ බලාන උන්නා . අපි මූණ හංඟාගෙන ගොම ඇද්දා .

අපේ ඉස්කෝලේ ඇත්තම බාල දක්‍ෂ ළමයි සෙට් එක හොඳට ආතල් ගත්තා.. උන් බාලසූරිය සර් එක්ක එකතු වෙලා පිට ඉස්කෝල වලින් ආපු එවුන් එක්ක අතට අත දෙමින්, සතුටු සාමිච්චියේ යෙදෙමින් බාලදක්‍ෂ වැඩ ගැන කතා වෙවී උන්නා .. අහසින් පාත් වුණ පකිරිම්බෝ වෙච්චි අපිට ගොම අදින්න උනා .!!

චිහ් බලහං බං මේ බාලසූරිය කාරයා කරපු වැඩේ .. අර බාල දක්‍ෂ පැටවු ටික බබ්බු වගේ තියාගෙන අපිට කියලා මේ ගූ වැඩ ටික කරවනවා ..”

මෙවුවා දමලාගහලා යමු යන්ට .”

කෂ්ටියටම යකා නැගලා ..

මේ මේ දැං යන්ට බෑ ලොක්කා බලං ඉන්නවා ..”

පොඩ්ඩ ඇත්තං මල පයින ලොකු සර් අපි දිහා බලාන උන්න නිසා අමු කුණුහරපෙන් බැණ බැණ අපි ඔහේ උන්නා ..

අපිට දැනී … අනික් එවුන්ට නොදැනී රෑ බෝ වුණා . . බාල දක්‍ෂයෝ කට්ටිය එකතු වෙලා ඉස්කෝලේ වත්තේ තඩි ගිනිමැලියක් ඕගනයිස් කරලා ඒක පත්තු කරගන්න බැරිව තැටමුවා .


ඔහොම එක උඩ ලී ගහලා මැලේ අවුලන්ට බෑ .. ඉන්ට මං අවුලන්ට ...”

මගේ බැජියා වෙච්චි අපෙ ලපයා මැදිහත් වුණේ බාල දක්‍ෂයන්ට වැඩ පෙන්වන්ට හිතාන නෙවෙයි .. හේන් කොටලා ,ගිනි මැළ අවුලලා, පැල් රැකලා, ගිනි තැපලා ඌට හොඳට හුරු හන්දයි ..

මේක බාලදක්‍ෂ ක්‍රමේට හදන ගිනි මැලේ.. ඔයා පොඩ්ඩක් අහකට වෙනවා .. මෙතන බූමිය ඇදයි ඒකයි මේ අවුලන්ට අමාරු .. හා හා ඔය පුතාලා කරගෙන යන්ට .”

බාලසූරිය සර් කාරයට බාලගිරියා වත් වැහිලාද .. ? මේ හොඳ හිතින් උදවු වෙන අපිට අරින්ඩම හදන්නේ ..

ඔනෑ දෙයක් ..කොරගන්ට මයෙ මොකෝ .. ! “ ලපයා හීන් සීරුවේ අහකට වුණා ...

බාලදක්‍ෂයෝ ටික කොච්චර දැඟලුවත් ගිනි නෙවෙයි ඇවිලුනේ ... හැබැයි යහමින් දුම දැම්මා . ඒ දුම වැදිලා වෙන්නැති බාලසූරිය සර්ගේ ඇස් දෙක රතු වෙලා තිබුණා .

දුං කකා ඉන්න බැරි තැන මමයි ලපයයි දෙන්න ගිහින් ප්‍රින්සිපල් සර්ගේ හොන්ඩා බයික්කෙන් පැට්ටොල් පොල්කට්ටක් ඇදලා ගෙන ඇවිත් ගිනි මැලේ අවුලලා දැම්මා . බාලාංශ පන්තියක පොඩි එවුන්ගේ ඩෙස් එකක් පොළවේ ගහලා, පළලා ලෑලි ගෙනද්දාලා ගින්න තව තව බෝ කරා ..අපෙ අත් ගුනේද මන්දා ගිනි මැලේ යහමින් ඇවිලුණා..

බාලදක්‍ෂ අත් පොතේ ක්‍රමේට ගිනි මැලේ අවුලන්ට බැරි වුණ එක තමා හිතේ දුක ..” බාලසූරිය සර් කම්මුලේ අත තියාන රඟනවා ..

බල දක්‍ෂ හරි බාලාංශ හරි මොකක් හරි ක්‍රමේකිං ගිනි ගොඩක් අවුලාපු එක නොවැ වැදගත් මේ අඳ බාලයන්ට ඒක නොතේරෙන හැටි..

අපි අවුලාපු ටික ගිනි මැලේ වටේ වාඩි වෙලා බාල දක්‍ෂයෝ මහ බහුබූත සින්දු කියන්ඩ පටන් ගත්තා . මට අපේ මුතුබණ්ඩා මාමා මතක් වුණා .. පොරත් බීවාම ඕං ඔය වගේ සින්දු තමා කියන්නේ .. විකාර විතරයි මෙලෝ රහක් නෑ ..

තුහ් නෙද්දකිං .. සඳරුවා .. බලහං කොච්චර ආතල් ගන්න පුළුවන් වයසක්ද බං මුං මේ බාල දක්‍ෂයෝ වෙලා නිස්කාරනේ නාස්ති කරන්නේ ..”

රිපිටා එහෙම කීවේ දුකෙන් වගේ ..

ඇයි ..?”

දැන් බලහං අපි නං සිගරට් පාරක් ඇදලා. බියර් දෙකතුනක් ගහලා , මස් ටිකකුත් පුච්චලා, අසංක ප්‍රියමන්තගේ සින්දු දෙකතුනකුත් ඇදලා, වෙරි වෙලා හූ කියලා, නටලා, අමර ආතල් එකක් ගන්නවානේ .ඒකට මෙවුං ..”

රිපිටාට උත්තර දෙන්න හදනකොට අමුතු දෙයක් දැකලා මයෙ පපුව පත්තු වුණා ..

නන්දනීට පිට ඉස්කෝලෙන් ආපු කොල්ලෙක් චොක්ලට් කෑලක් දුන්නා .. කවුරු නොදැක්කත් ඒක මං දැක්කා ..

අඩෝ ආං අරූ නෝට් කරහං .. ඌ කෙල්ලට සීන් කෙරුවා !!” මං හනිකට කෑ ගහලා වෝනිං දුන්නා ..!

නන්දනීට චොකෝ මෝල්ට් දුන්න කොල්ලාව නෝට් කරගෙන මං සුබ වෙලාවක් බලලා බාලසූරිය සර් ගාවට කිට්ටු කළා ..

සර් ..”

ඕ සඳරු ..”

සර් අර කොණ්ඩෙ පස්සට පීරලා තොප්පිය ඉනේ ගහගෙන ඉන්න ළමයා .. අපේ පන්තියේ ගෑල්ළමයෙක් එක්ක පොඩ්ඩක්.. අනේ මන්දා.... මං දැන් දැක්කා මිනිහා හත් අට පාරක්ම ගෑල්ලමයට අතට අත දුන්නා .. අතේ මුනා හරි තිබ්බත් වගේ...අර ගෑල්ළමයි මත් කරන මත් ද්‍රවය……..”

අනේ මේ සඳරු..! කෙනෙක් තවකෙකුට අතට අත දෙන්නේ ..දැන අඳුනගන්න ..”

එතකොට අපි කෙල්ලෙක්ගේ අතින් අල්ලවුවොත් .. විනය කැඩෙන්නේ කොහොම ?”

තොපි අල්ලන්නේ වල් කමට නේ ! “

හැබෑද ? “

මං හෙමීට අහකට විසි වුණා ..

වෙලාව ගත වුණා .. ගිනි මැලේ නැගලම ගියා , විකාර කතා සහ අමුතු මති මතාන්තරත්, ජනාධිපති පදක්කං සහ ලොග් පොත් ගැන කයිවාරු අස්සේ වෙලාවත් ගියා .. මං හෙමීට නන්දනී ළඟට ගියා ..

ආ නන්දී .. “

ආ සඳරූ .. ඉතින් කොහොම ? අපේ බාල දක්‍ෂ කඳවුර ?”

හොඳා ..ඒක නෙවෙයි ඔයා අද රෑ මෙහේ ඉන්නවද ?”

පිස්සුද ? අන්න තාත්තා ඇවිලා ගේට්ටුව ගාව පඩිපෙළේ බුදි .. මම තව පැයකින් විතර යනවා .. කෙල්ලොන්ට පුළුවනෑ රෑ ඉන්න..?

ඒක හැබෑව ඔය ගුවාවා විද්‍යාලේ කොල්ලෝ සුවර් නෑ ..උන්ගේ චොකෝමෝල්ට් කෑව වගේ නෙවෙයි .. දිරවගන්ඩ අමාරු වුණාම ..” මං කෙළින්න තියෙන දේට කෙළින්ම ඇදබෑවා..

කෑවේ නෑ බං මං ඒ චොකෝ බල්ලන්ට දුන්නා .. අපෝ නැත්තං රූපයියා මාව මරයි ..!”

මොකා රූපයියා .. ?”

ඇයි කොමස් එකේ .. රූපදේව අයියා !!”

... උඹ ඌත් එක්ක සෙට් ද ?”

කටෙන් මුකුත් කියන්ඩෝන්නෑ ..කෙල්ලගේ ඇඹරිල්ලෙන් මට ඔක්කොම තේරුං ගියා .. තත්පරේකට මගේ පපුවත් මටත් නොකියම නාය ගියා ...

..රෙඩ්බුල් ගහැව ඇතා වගේ නන්දනීට සීන් කරන්ඩ ගියවුව මං ලෑතර කෑව රිළවා වගේ ආපිට ඇවිත් යාළුවෝ ගාවින් ඉඳගත්තා .. නෙවෙයි ඉන්ඳ වුණා .හිතේ දුක වැඩි හන්දා වෙන්ඩැ මට අතුල ශ්‍රී ගමගේ ගේ සින්දු සේරෝම වාගේ මතක් වුණා ..

රෑබෝ වුණා .. උයලා තිබුණ බත් හැලි පිටින් බාල දක්‍ෂ බුවාලා කෙලින්ඩ පටන් ගත්තා .. නන්දනීලෑ බාල දක්‍ෂිකා ගැන්සිය නම් බත් ඔතාගෙන ගෙදර යන්ඩ ලැහැත්ති වුණා .. කන එවුන්ගේ කටවල් දිහෑ බලාන අපි කට්ටිය මදුරුවෝ තලමින් උන්නා ..

එනවලා කන්ඩ ..”

ලෝක පුදුමයක් !! අපේ ළඟටම ආව බාලසූරිය සර් අපිට කන්ඩ කතා කළා .. බත් කන්ඩ ඔනෑ නෑ ඒ වචනෙට මගේ බඩ පිරුණා .

බාලසූරිය සර්ගේ කීමට නන්දනී සහ අනෙකුත් කෙල්ලෝ තුන් හතර දෙනා අපිට බත් බෙදලා ගෙනාවා .. බාල දක්‍ෂ බුවාලට වඩා දක්‍ෂ විදිහට අපි කෑම පිඟන් අතුරුදහන් කළා ..බත් කාපු පිඟාන හෝදන්න ටැප් එක ළඟට ගියාම මට ගුණත්ව හම්බුනා ...

ගුණත් කියන්නේ ජර්මන් සෙපඩ් වර්ගයට දුරින් නෑකම් කියන විශාල දඩෝරි බල්ලෙක් .. ගුණත් ගේ තාත්තා පොලිස් බල්ලෙක්.. ගමේ මිනිස්සු කියන විදිහට ගුනත්ගේ තාත්තා පොලීසියෙන් පලා ඇවිල්ලා ගමේ බැල්ලියෝ සේරෝටම හදි කොරලා තියෙනවා .. ඉතින් ඒ හදියෙන් ජාතක වෙච්ච ගුණත් බලු රාළත් තාත්තට නොදෙවනි සද්දන්ත ඇඟපතකට අයිතිවාසි කං කීවා ..

ගමේ උදවිය සහ ඉස්කෝලේ අපි කවුරුත් මේ දැවැන්ත බලුරාළට “ගුණත්” කියලා නම දැම්මේ පොලීසියේ හිටපු ගුණවත් අයිපී මහත්තයෙක් සිහිවෙන්ඩයි ..

චිප් ගුණත් අහකට ..!!

මං ගුනත්ව පැත්තකට එලෝලා ආයෙත් පිට්ටනියට ගියා ..

දවල් ඉඳන් බාල දක්‍ෂ ඇඳුමින් සැරසිලා උන්නු ගුවාවා විද්‍යාලයේ බාලදක්‍ෂ විෂය භාර ගුරුතුමා බාල සුබ්‍රමනියම් සර් ඒ ඇඳුමින් නිදහස් වෙලා නා කියාගෙන සරමක් හෙම ගහගෙන ඇවිදින් නිදැල්ලේ උන්නා ..

ඔය අතරේ කොහේදෝ උන්න ගුණත් ඇවිදින් පැත්තකින් තියලා තිබුණ හිස් කෑම හැළියකට ඔළුව දැම්මා .. බල්ලංගේ හැටි ඔහොම තමයි හැදියාව බින්දුවයි.. ගුණත් ගේ ඔළුව ලොකු නිසා හැළිය ඔළුවේ හිර වුණා .. මහ දැන මුත්තාගේ කථාවේ එළුවා වගේ ගුණත් හැළිය බිම දිගේ තල්ලු කරගෙන ඇවිදින්න ගත්තා .. ඒක දැකලා අපි කවුරුත් බඩ අල්ලං හිනා වෙන්න පටන්ගත්තා ..


ඒ ෂතාට අපි උදවු කරන්ඩ ඕනෙ අප්පා

එහෙම කියවුව ගුවාවා විද්‍යාලයේ බාලදක්‍ෂ ගුරු බාලසුබ්‍රමනියම් මහත්තයා .. පොඩි පොලු කෑල්ලක් අරගෙන ගිහින් ගුණත්ට පොඩි තට්ටුවක් දාලා ඉංග්‍රීසි සහ ද්‍රවිඩ බසින් පොඩි විස්තර කථනයකුත් කළා ..

ඩොගී .. ගෝ ගෝ අවේ .. …පෝ පෝ පෝඩ් අවේ

ඔළුවේ හැළිය හිර වෙලා බීත වෙලා හිටිය ගුණත් තමන්ගේ පිටිපස්සට වදින තට්ටුවට තවත් බය වුණා . ගුණත් වැරදාලා ඇදලා මුට්ටියෙන් ඔළුව නිදහස් කරගත්තා ..ඌ ඊළඟට දත් විලිස්සාගෙන බාලසුබ්‍රමනියම් සර්ගේ ඇඟට පැන්නා .. බාලෙ සර් පස්සට පැන්නා .. ඒත් එතකොටම උන්දැට උන්දැගෙම සරම පෑගුණා . සරම ගැලවිලා දෙපාමුල වැටෙද්දී සර් බිම පතබෑ වුණා ..ගුණත් බාලෙ සර්ගේ ඇඟට පැනලා හොඳ හැටි හපා කන්න ගත්තා ..

මහා දූවිලි ගොඩක් ඇවිස්සිලා අහසට නැංඟා .. කෙල්ලෝ බය වෙලා හූ තීවා , බාල දක්‍ෂයෝ බීත වෙලා උන්නා.. බාලසූරිය සර් ඔළුවේ අත ගහගෙන ඉන්දෙද්දි අපි කෂ්ටිය ගේමට බැස්සා ..

මම ලාවට දැල්වෙමින් තිබ්බ ගිනි මැලෙන් ගිනි පෙල්ලක් අරන් දුවලා ගිහින් නරුම බල්ලාගේ පිට මැදටම කෙළියා..

ගිනිපෙල්ලෙන් මල්වෙඩි විසි වුණා..ඒත් දඩෝරි බල්ලට ගානක්වත් නෑ .. අපි කෂ්ටිය බලු දණ්ඩාට ගල් මුල් වලින් ගහමින් බාල සුබ්‍රමනියම් සර්ව ඇදලා ගත්තා . මම එල්ලේ බලලා බල්ලට ගහපු වැලි අහුරක් බාලසුබ්‍රනියම් සර්ගේ මූණ පුරා වැදුණා ..

එතකොටම ලපයා අපි දවාලේ ගොම ඇදපු විල් බැරෝව වේගයෙන් තල්ලු කරගෙන ආවා .. ඌ හනි හනිකට ඒ විප්බැරෝව ගුනත්ගේ ඇඟේ හැප්පුවා විල් බැරෝ එක වැදුණ නිසා බය වෙච්ච ගුණත් බලුරාල වැටි වැටී දීවා ..

සර්ගේ කෙනෙකුගේ බයිකෙකක් අරගත්තු අපි බාලසුබ්‍රමනියම් සර්ව පටෝගෙන ගිහින් පිඹගෙන ගිහින් උන්දැව මහරෝහලේ ඇඩ්මිට් කෙරුවා ..


පහුවදාට එළි වුණා .. උදේ ඉස්කෝලේ ගණිත පීරියඩ් එකයි ඊළඟට තියෙන ඉංග්‍රීසි පීරියඩ් එකයි කට් කරන්න ඕනෑ නිසාම අපි නිකාං බොරුවට වගේ බාල සුබ්‍රනියම් සර්ව බලන්න මහ රෝහල පැත්තේ ගියා ..

රෝහල ඉස්සරහා කඩේකින් ප්ලේන්ටියක් ගහලා බ්‍රිස්ටල් දෙකක් බෙදාගෙන ගහලා හෙමීට හෙමීට වාට්ටුව පැත්ත ඇවිදලා පොඩ්ඩක් කාලේ කාලා මෝචරිය පැත්තෙත් ඇවිද්ද අපි අන්තිමේදී.. බාල සුබ්‍රනියම් ලොක්කව බලන්ඩත් ගියා ..

බාල සුබ්‍රනියම් සර් ඇඳේ ඉඳගෙන උඩ බලාන ඉන්නවා .. අපිව දැක්ක මිනිහගේ ඇස් දෙක උඩ !!.. කන කටේ !!... ඒ මදිවට බුවාට ජෙට් ආතල් !! .

.ඔන්න ඔයි මොහොතේ ඉතිහාසේ වෙනස් වුණා අපේ ගැන්සිය දැක්කලා සන්තෝස වෙච්ච මේ ලෝකේ හිටපු එකම ගුරු තුමා විදිහට මහ නුවර ගුවාවා විදුහලේ බාලදක්‍ෂ විෂය භාර බාලසුබ්‍රනියම් සර් ඉතිහාස ගත වුණා .. අපි බාලෙ සර් එක්ක කතාවක් පටන්ගත්තා ..

සෑර්ට දැන් කොහොම ? මේං අපි සෑර්ට හැලපයක් ගෙනාවා ! ..

රිපිටා ඉටවල් එකට කන්න ගෙනාපු කුරක්කන් හැලපෙයක් අරං බාල සුබ්‍රමනියම් සර්ට පූජා කළා !! මිනිහගේ ඇස් වල ජිල් බෝල සයිස් කඳුළු ගුලි දිස්නෙ දෙනවා මං දැක්කා ..දෙමළ කඳුළු නුහුරු වෙච්චි මගෙ හිතත් ඒ කඳුළෙන් සසල වෙච්චි.. !!

අඩෙ අප්පා දරුවනේ මාව බේරපු දරුවනේ ..හෙට ටිකට් කපයි. මට ගොඩාක් සතුටුයි අප්පා !

සන්තෝසේ බල්ලා කෑ හන්දද ?”

අඩෙ නෑ අප්පා ..! මේ දරුවන් මාව බලන්ඩ ආවනේ අප්පා ඒකයි !”

අපි ඒමයි සර් අපේ බොක්ක හොඳයි ..

අපේ ඉස්කෝලේ ළමයි ටික ආපහු ගිහින් .. එයාලා මාව බලන්ඩ ආවෙත් නෑ අප්පා ...

අල්ලලා දාන්ඩප්පා අපි ආවනේ .අප්පා .

බාලසුබ්‍රමනියම් සර්ව පොඩ්ඩක් නලෝලා හෙම අපි බස් ටෑන්ඩ් එකේ ඩියුටිත් කරලා ඉස්කෝලෙ අරින වෙලාවට ගෙදර ගියා ...

--------------------------------------------------------

පහුවද උදේත් අපි පරක්කු වෙලා ඉස්කෝලේ ගියේ උදේ රැස්වීම මග අරින අදහසින් .. ඒත් ඒ රැස්වීම මග ඇරපු නිසා අපිට ජීවිතේ කිසිම දවසක ලබන්න බැරි දෙයක් මිස් වෙලා තිබුණා ...

බාල සුබ්‍රමනියම් සර් ටිකට් කපාන ඇවිදිල්ලා ... උදේ රැස්විමේදී අපේ ගුණ වර්ණනා කරලා තිබුණා ..ලු

බාල දක්‍ෂ දිනය දා වත්ත පිටිය සුද්ද කරපු , හරක් එළවලා ගොමත් ඇදපු , ගිනිමැළෙත් අපූරුවට අවුලාපු .. දරුණු ගණයේ බල්ලෙකුගෙන් තමාවත් බේරාගත්තු .. ඉස්කෝලෙටම උන්න පකිරිම්බෝ සෙට් වෙච්චි අපි තමයි නියම බාල දක්‍ෂයෝ කියලා හඳුන්වලා දීලත් තිබුණා ... ලු

ඒත් අප්පා ඒ අසරණ දෙමළ මුනියා අපි කාගෙවත් නමක් ගමක් දැනං උන්නේ නෑ ...ලු .... ඉතිං ඒක නිසා ... ඒ මනුස්සයා දන්න සිංහලෙන් මෙහෙම කියලා තිබුණා ...ලු

උෂ ළමයා මාව බේරගත්තා , කලු ළමයා මාව උෂ්ෂා ගත්තා , මිටි ළමයා බයික් එකේ මාව හොෂ්පිට්ල් ගෙනාවා ... ආඬවනේ අප්පා පහුවද ඒ ළමයින් මාව බලන්ඩ හෙලපත් අරන් ආවානේ අප්පා

ආදී වචන කියලා අපිට නොසෑහෙන්න පිං දුන්නා ..ලු

අපි එනකම් පැය කීපයක් ඉස්කෝලෙට වෙලා බලාගෙනත් ඉඳලා .. බස් එක පමා වෙන නිසා බැරිම තැන යන්න ගිහින් තිබුණා ... ලු

ඒ තමයි අපි අපේ පාසල් ජීවිතේ ගුරුවරයෙකුගෙන් ලබාපු මුල්ම සහ අවසානම ඇගයීම .. නමුත් ඒ ඇගයීම අපිට ලැබුණේ නෑ ... අපේ ඉස්කෝලේ හිටි බාල දක්‍ෂ කණ්ඩායම මේ හැමදේකම ගෞරවය ආතල් එක කික් එක නිල වශයෙන්ම අරගෙන තිබුණා ...

විදුහල්පති තුමාගේ කාමරයට වී අයි පී විදිහට ගියපු අපේ ඉස්කෝලේ බාල දක්‍ෂයෝ ටික වෙන වෙනම ගරු නම්බු අරගෙන තිබුණා ..වෙච්චි සීන් එක වෙනම වර්ෂන් එකක් උන්ගේ ලොග් පොතේ පවා ලියලා තිබුණා.

අපි හැමදාමත් වගේ පදිරිවෙලා පැත්තකට වෙලා චොර වෙලා උන්නා ...

මේ අව නඩුව කියා පාන්න ආයෙමත් එක දවසක බාල සුබ්‍රනියම් ලොක්කා ආයෙ දවසක අපේ ඉස්කෝලෙට එනකම් අපේ කොල්ලෝ කීපදෙනා මග බලාන උන්නා ..

හැබැයි මං නං නන්දනී දිහෑ බලාන උන්නා ... බලාන ඉඳලා බැරිම තැන මං හොරෙන්ම ගිහින් ඒකිගේ ඩෙස් එක උඩ රතු පෑනකින් කවියක් ලිවුවා ...

එහෙන් මෙහෙන් ඇවිදිං යන
ඇඹුල් කෙහෙල් කැන් පරදන
නන්දනී ඔයා හරියට
බෙර කඳක් වගේ …

ඇති පදමට කිරි වැටිච්චි
කෙහෙල් දල්ල මත වැටිච්චි
ඔය දියාරු ඇඟපත මට
කිරි බතක් වගේ..

(මෙතනටත් පද හතරක් තිබුණා දැන් එවුවා මට මතක නෑ )

ඉතිං උඹ ඇවිත් යනකොට
විටිං විට මගේ පපුවට
දැනෙන්නේ හැඟෙන්නේ මට
ඩයිබිටික් වගේ..

වල් වැදිච්චි හිත පල්ලේ
උඹ නිදං වෙලා කෙල්ලේ
ඇයි ඉතිං මගේ අල්ලේ
රටා නැති කළේ … ?


මං ආතල් එකට ලියාපු මේ විකාර කවි කෑල්ල හිතාගන්න බැරි විදිහට ජනප්‍රිය වුණා .. මුලු ඉස්කෝලෙම සහ හතර වටේ තිබ්බ හෑම ඉස්කෝලෙකම ළමයි සහ ගුරු මණ්ඩලේ මේ කවිය ගැන කතා වුණා ....ඒත් දෙයියෝ මේ කවියේ කොපිරයිට් අයිතිය .. මට හිමි වුණේ නෑ ...

නන්දිනීගේ කොල්ලා වෙච්ච රූපදේව ගොයියා මේ කවිය ලීව කියලා වරදවා වටහාගෙන අට වසරේ පොඩි කොල්ලෙකුට නිකරුණේ තඩිබලා තිබුණ නිසා .. මේ කවියේ හිමිකම මට අහිමි වෙලා ඒ කොහෙවත් හිටි පොඩි එකාට හිමි වුණා ..

රූප දේවයාගෙන් ගුටි කාපු අට වසරේ පොඩි එකා .. ෆුල් ආතල් සොමිබර කවියෙක් විදිහට මුලු පළාතෙම ප්‍රචලිත වුණා ...


බක්තියෙන් ලවු කරලා, ලොරි ගණං දුක් වින්ඳ මට… අන්තිමේ ලොරි කැඳ විතරක් ඉතිරි වුණා ..