පහුගිය දවසක මගේ ෆෝන් එකට ආපු කෙටි පණිවිඩයකින් කියවුණේ . කසුන් කියලා කෙනෙක් මට ෆේස් බුක් ආරාධනාවක් කරලා තියන බව . මමත් කර කර හිටපු වැඩේ නවත්තලා දාලා හනි හනිකට මගේ ෆේස් බුක් පිටුවට ගිහිල්ලා , මේ මම දන්න කියන කසුන්ද කියලා බැලුවා .
ඔවු ඒ මහත මූණ ඒ අහිංසක හිනාව . මේ ඌම තමයි .
මගේ මතකය අවුරුදු කීපයක් ආපස්සට යැවුණා .. මට කසුන්ට වෙච්ච සිදුවීමක් මතකෙට ආවා . ඒ සිදුවීම ලියන්න කලින් . කසුන් ගෙන් ඒකට අවසර ගන්නත් මම අමතක කලේ නෑ .! .
ඒ මම එස්කෝලේ දහය වසරේ ඉගන ගන්න කාලේ . . . . . . . .. . . . .
දහය වසර ! ඔය වයස කොල්ලෙකුගේ ජීවිතේ කුණාටු සමය කීවොත් වැරදි නෑ . ඉගන ගන්න නෙවේ. අතල් ගන්න කියලා හිතාගෙන ඉස්කෝලේ ගියපු , ඉගනගන්න තිබුණු වටිනා කාලේ නාස්ති කරලා දාපු. කාල සීමාවක් . මොනවා කරන්නද ? ඔය කියන කාල වකවානුවේදී මම උපයාගත්තේ අද්දැකීම් ගොන්නක් සහ ජීවිතකාලෙටම අමතක නොවෙන රස්තියාදුකාර මතකයන් ටිකක් විතරමයි .දැනුමක් කියලා දෙයක් ලබා ගත්තේ නැති තරම් . . . .
අපේ ඉස්කෝලේ ගැන කීවොත් ඒක මිශ්‍ර පාසලක් . ලවු සීන් , වලි සීන් , හොර වැඩ තක්ක්ඩි වැඩ කුපාඩි වැඩ . මේ හැම දෙයක්ම අඩු නැතිව අපේ පාසලේ තිබුණා . ඉගන ගන්න එකා ඉගන ගත්තා . අයිලේ ගිය එකා කාලකණ්ණි වුණා . ඒක අපේ පාසලේ සාමාන්‍ය තත්වය .. ඔය කියන කාලේ ලවු සීන් , වලි සීන් , හොර තක්ක්ඩි වැඩ වලට අමතරව . තවත් දෙයක් අපේ පාසලට අලුතින් බෝවෙලා තිබුණා . ඒ තමයි රැග් එක හෙවත් නවක වධය ..
"නවක වධය" ඒ ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ නෑ ..මුල් කාලේ අපේ පාසල් වල ඒක නොතිබුණාට පස්සේ කාලෙක ඒක බොහෝම සැරට ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා .ඒත් එකම එක සිදුවීමක් නිසා . මුලු ඉස්කෝලේම කොල්ලෝ කෙනෙක්ව රැග් කරන්න කලින් ආයෙමත් වතාවක් හිතන්න පෙළඹුණා . ඉතින් , මේ ලියැවෙන්නේ ඒ සිදුවීම .
මට මතක විදිහට ඒ 2004අවුරුද්ද . මාසේ නම් පෙඹරවාරි මාසේ වෙන්න ඇති .
මම වාඩිවෙලා හිටියේ පන්තියේ පිටුපසම පේළියේ . මගේ ගණයටම වැටෙන අනිත් කොලු රැලත් මාත් එක්කම කෙල්ලන්ට විහිළු කරමින් පිටුපස පේළියේ කාලේ කමින් හිටියා .ඉගන්න ගන්න දක්‍ෂ වැදගත් කොලු රැළ ඉදිරිපස පේළියේ හැමවෙලේම පාඩම් කරනවා . දවසක් ඔය විදිහට ඉන්න අතරේ කොරිඩෝ එක දිගේ අඩි සද්දයක් ඇහුණා . . . . පන්තිය පුරාම හිටපු කොල්ලෝ කෙල්ලෝ සේරම දුවලා ගිහින් . තම තමගේ පුටුවේ වාඩිවෙලා , හොඳ ළමයි වගේ පොත් පෙරළගත්තා . පිටුපස පේළියේ හිටපු අපිත් ඉක්මනට පොතක් පෙරළගත්තා . අපි හැමදාමත් පෙරලගන්නේ එකම පොත . ඒ තමයි සෞඛ්‍ය පොත . ප්‍රජනනය පාඩම තියන නිසා අපි ඒ පොතට හරි ආසයි . පොත අතට ගත්ත ගමන් ප්‍රජනනය පාඩම නිකම්ම පෙරළෙන්නේ එකයි. . . . .
එක පාරටම පන්තියට තුන් දෙනෙක් ඇතුළු වුණා . එක්කෙනෙක් .පන්ති භාර සර් . ඊළඟට අපේ වයසේ සුදු තරබාරු කොල්ලෙක් සහ එයාගේ තාත්තා.! මේ අලුතින් ළමයි භාර ගන්න කාලේ නෙවෙයි.. ඒත් අවාරෙට ගස් වලත් ඉඳලා හිටලා ඵල හටගන්න එකේ . අලුතින් ළමයෙක් පන්තියට ආපු එකත් පුදුමයක් නෙවේ ..
පන්තිය ඉදිරියට ආපු පන්ති භාර සර් කටහඬ අවදි කලා .
"ළමයි ඇහුකන් දෙන්න . මෙයා අපේ ඉස්කෝලෙට අලුතින් ආපු ළමයෙක් . එයා මීට කලින් ඉඳලා තියෙන්නේ . කෑගල්ලේ තියන අර සුප්‍රසිද්ධ පාසලට .එයාගේ තාත්තට මෙහාට මාරුවක් ලැබුණු නිසා තමයි එයා මේ ඉස්කෝලෙට ආවේ .”
"එච්චර ලොකු ඉස්කෝලෙක ඉඳන් මෙහේ ආවේ මොකටද ? මූ අම්මා අප්පා එක්කම හැදිච්ච අහිංසක කොල්ලෙක් වෙන්න ඇති" .. මට එහෙම හිතුණා .
"හරි මෙයාට ඩෙස්ක් එකකුයි පුටුවකුයි අපි හොයලා දෙනකම් මෙයා එක්ක තමන්ගේ ඩෙස්ක් එකයි පුටුවයි බෙදාගන්න කැමති කවුද ? පුටු දෙකක් ලං කරලා මෙයාටත් ඉඩක් දෙන්න .”
පන්ති භාර සර් කීවේ පන්තියේ පේළි අතරේ හිඩැසක් හොයන ගමන් . ඒත් එදා මුලු පන්තියේම හිස් වෙච්ච පුටුවක් තිබුණේ නෑ ..ඒ මදිවට එක කොල්ලෙක්වත් අත ඉස්සුවෙත් නෑ . ඉස්සහරා පේළියේ හිටියේ ඉගනීම ජීවිතය කරගත්ත කොල්ලෝ වගයක්. පිටුපස පේළියේ හිටියේ උපතින්ම හද්ද චාටර් කොල්ලෝ සෙට් එකක් . . . . අලුත් කොල්ලාගේ මූණ දිගේ දාඩිය බින්දුවක් බේරෙන්න වුණා . කමීසේ අතකින්ම පොර ඒ දාඩිය බින්දුව පිහලා දාගත්තා . ඊට පස්සේ බිම බලාගත්තා .
මම හිටි පිටි පස්ස පේළියේ මගේ ළඟින්ම වාඩිවෙලා හිටියේ "කිතුලා" . ඌ තමයි ඒ දවස් වල මගේ බොක්ක . ඌ එක පාරටම මෙහෙම කිවුවා !
"සර් මෙතන ඉඩ තියනවා .” !
ඒ කතාවට වැඩිපුරම මල පැන්නේ මට .. "උඹ එහෙනම් ඌට පුටුව දීලා උඹ බිම ඉඳගෙන හිටපන් . මගේ පුටුවේ නම් යන්තම් වත් ගෑවෙන්න එන්න එපා .! මම හෙමීට කිවුවා"
"සඳරු උඹට තේරෙන්නේ නැද්ද ? අපිට මුගෙන් මාස ගාණක් කෑව හැකි . මූ මෝරෙක් බං !”කිතුලා මගේ කනට කෙඳිරුවා ..
"හ්ම්.හ්ම් එහෙමනම් එන්න ඇරපං .”.මගේ හිතෙත් පොඩි කාරුණික හැඟීමක් ඉපදුනා ..
"හරි පුතා ගිහිල්ලා වාඩිවෙන්න" . මොහොතකින් සර් පන්තියෙන් එළියට ගියා .
පන්තියේ කොල්ලෝ අලුත් ආපු එකාට කින්ඩි පාස් කරනවා . කෙල්ලෝ අතින් කටවල් වහගෙන හෙමීට හිනා වෙනවා . අලුත් එකා ළමයි 40 දෙනෙක් මැද තනි වෙලා . . . . !
"වරෙං මචං වාඩියං" .. මගේ පේළියේම හිටපු කාටුන් අලුත් කොල්ලට ආරාධනා කළා . අළුත් එකා හෙමීට අපේ ළඟට ආවා . මුලු පන්තියම දන්නවා . අපි මේ සැරසෙන්නේ මොනවා හරි අලුත් ගේමකට තමයි කියලා ..
"මොකද්ද බං උඹගේ නම ආ ! පොඩ්ඩකට නැගිටපං කෝ !” . ඒ මගේ හඬ
"කසුන්" . කොල්ලා යන්තම් හිනහවක් එක්ක කිවුවා ඒ වගේමයි ඌ හෙමින් නැගිට්ටා .
"උඹ ළඟ අඩි කෝදුවක් තියේද බං ?” මම ආයෙත් ඇහුවා
"ඔවු තියනවා"
"ගනිංකෝ පොඩ්ඩක් ..”
කසුන් අලුත්ම කවකටු පෙට්ටියකින් ප්ලාස්ටික් අඩි රූලක් ගත්තා .
මම ආයේ කටහඬ අවදි කළා . "දැන් ඔය අඩිරූල මේ පුටු දෙක අතරට තියලා උඹ වාඩි ගනිං මචං . නැත්තං කොහොමද පුටු දෙකක් ලං කරලා උඹව තියාගන්නේ උඹගේ පස්ස තියන්න එක පුටුවක් මදි වගේ බං .!”
කොල්ලෝ කෙල්ලෝ "හූ" කියලා හිනහ වුණා . කෙල්ලෝ නම් බලාගෙනමයි ඉන්නේ හිනහා වෙන්නේ කොයි වෙලාවෙද කියලා .උන්ටත් ඒක මාර පල්ලම .. කසුන්ට එපා වෙන්න ඇති . ඒත් ඌ ඒක අමතක කරලා බලෙන්ම හිනහවක් මුහුණේ මවා ගත්තා . තනි එකා වෙන මොනවා කරන්නද ? අපිත් ඔන්න ඔහේ කියලා ඌට වාඩිවෙන්න තැනක් දුන්නා . කසුන් කීප විටක්ම අපි එක්ක බජනෙට එන්න උත්සාහ කළත් අපි ඌව තඹ සතේකට මායිං කලේ නෑ . "එකපාරම අලුත් එකාව ගණං ගන්න හොඳ නෑ ! එතකොට ඌ කරේ යන්න එනවා.” ඒක මම දැනගෙන හිටි කාරණයක් .
එදා දවසේ අපිට කිසිම ආතල් එකක් ගන්න බැරි වුණා . මොකද හැම පීරියඩ් එකක්ම ඉගැන්වීම් කටයුතු සඳහා වෙන් වෙලා තිබුන නිසා . ඒත් ඊට පහුවදා නම් අවසාන පීරියඩ් එක ඕෆ් වෙන බව අපි දැනගෙන හිටියා . "හෙට මූට වැඩේ දෙමු" .අපි කතා වුණා .
පහුවදාට එළි වුණා . අපිත් උදේම ඉස්කෝලෙට එකතු වුණා .. ටිකෙන් ටික වෙලාව ගෙවිලා ගිහිං අපි බලාගෙන හිටපු වෙලාව ආවා .
අපේ ගැන්සියේ නලින් කසුන් ළඟට කිට්ටු වුණා . "අඩෝ කසුන් .”
"ඇ.. ඇ යි මචං ..? “
"උඹ අලුතින් ආව එකා . උඹට බෑ මට මචං කියන්න ! . උඹ දැන් අපි දෙන වැඩ ටික කරන්න ඕන. නෑ බෑ, අනේ, අයියෝ බෑ !. අපි කිවුවද උඹ කරා .. හරිය ?”
කසුන් බයෙන් ඔළුව වැනුවා . මට එදා පොඩ්ඩක්වත් ඌ ගැන පවු හිතුණේ නෑ !
"හරි මුලින්ම උඹ කිතුලා කියන වැඩේ කරපන් ඊට පස්සේ අනික් එවුනුත් උඹට වැඩ දෙයි උඹ නෑ බෑ නොකියා ඒවා සේරම කරන්න ඕන ..හරි නේ ?”
"හරි" .
කසුන් බය නැති බව පෙන්වන්න උත්සාහ කළා ඒත් කසුන්ගේ මූණේ තිබුණු සුදු මැලි බව නිසා මම දැනගත්තා . මූ ඉන්නේ අම්බානෙට බයවෙලා විත්තිය .
කිතුලා කෙල්ලෙකුගේ වතුර බෝතලේ අරගෙන වතුර ටිකක් බිමට නැමුවා . ඊටපස්සේ වල් හිනාවක් දාලා . මෙහෙම කීවා . "කසුන් ඔන්න මචං මේ තියෙන්නේ ෆැසිපික් සාගරේ . උඹ මේ සාගරේට පැනලා පීනන්න ඕන . උඹට පීනන්න පුළුවන් නේද ? බැරිනම් කියපන් මම උගන්වන්නම් .”
කෙල්ලෝ වගේකුත් "කමෝන් කසුන් !” කියලා ඇහෙන නෑහෙන ගානට කියනවා .
කසුන් ඒ වැඩේ කලා බිම බුදියගෙන පීනුවා . කසුන් විනාඩි පහක විතර ජල ක්‍රීඩාවකින් පස්සේ අවදි වෙනකොට . බිම වතුර නිසා ඇතිවෙච්ච මඩ පැල්ලම කසුන්ගේ කමිසේ සාක්කුව හරියේ ඇඳිලා තිබුණා .තව දෙයක් මම දැක්කා. ඒ තමයි කසුන්ගේ ලොකු ඇස් රතු වෙලා කඳුළු පිරිලා තිබුණා
ඊළඟට ආවේ මගේ වාරේ . . . . . මම ගිහිං පන්තිය අතුගාන කොස්ස ගෙනාවා. ඒක කසුන්ගේ අතට දීලා මම මෙහෙම කිවුවා.. "මේ තියෙන්නේ ඉස්නයිපර් එකක් උඹ මේක අරගෙන අර ඉන්න කෙල්ලට වෙඩි තියපන් ඒ ඉන්නේ කොටි කතක් කියලා හිතා ගනිං !”
කසුන් වෙවුලමින් කොස්ස අතට අරගෙන ඒක මම පෙන්වපු කෙල්ල දිහාවට දික් කලා . ඒ කෙල්ලත් නියම කටක් තිබ්බ කෙල්ලක් . "හැබැයි තමුසේ මට ඕන නැති විහිළුවක් කළොත් මම දැන්මම ගිහිං විනය භාර ටීචර්ට කියනවා .”ඒකිත් කසුන්ට එක පාරටම කිවුවා !
කසුන් කොස්ස අරගෙන වෙවුලන අතරේ අපේ ගැන්සියේ තවත් කෙනෙක් ඈවිදින් ."යකෝ ඉස්නයිපර් එකෙන් ඔහොම වෙඩි තියන්න බෑ . ගන් එක බිම තියාගෙන බිම බුදියගෙනයි වෙඩි තියන්න ඕන .තියාපිය හරි විදිහට !! .”කසුන්ට තර්ජනය කරා . මමත් ඉතින් හිත පුරා හිනා වුණා ! ඔය අතරේ . පීරියඩ් එක අවසන් වුණා .
"හරි උඹ අද මේකෙන් බේරුණා ඒත් හෙට අන්තිම පීරියඩ් හතරම ඕෆ් . ! උඹ හෙට මේක ඉවර කරන්න ඕන . හරි නේ !” . මට මතක විදිහට මම එදා එහෙම කියලා කසුන්ගේ තඩි බඩට තට්ටුවක් දැම්මා . . මට හිතාගන්න බැරි වුණා අලුත ආපු අසරණ කොල්ලෙකුගේ හිත කොයිවගේද කියලා .
එදා ගෙදර යද්දී අපි කසුන් ගානේ බිස්කට් පැකට් දෙකක්ම කෑවා . කසුන් අපිට කන්න අරගෙන දුන්නේ පුදුම සතුටකින් . පර්ස් එකේ ඇතුළක හැංගිලා තිබුණු සල්ලි අරගෙන කසුන් අපි කාපු බීපු ඒවට සල්ලි ගෙවන හැටි මමත් අනිත් පස් දෙනත් හොඳටම දැක්කා. ඒ අතරෙම කසුන් ගෙන් කඩා ගත්ත තව ලොකු සල්ලි කොල්ලෙකින් දුම් වැටි කීපයක් ගත්තු අපි බස් හෝල්ට් එක පිටිපස්සට ගියා . "කසුන් ඉඳා මචං" අපේ එකෙක් දල්වපු සිගරට් එක කසුන්ට දික් කලා .
"මම ඉස්මෝක් වලට නෑ බං"
"අපි එක්ක ඉන්නවා නම් ඕවත් පුරුදු වෙන්න ඕන . අනික තමයි ඉංග්‍රීසි වචන අපි අතරේ බෑ හරිද !”
උපතින්ම ඉංග්‍රීසි විරෝධියෙක් වෙච්ච්ච මම කසුන්ට බැනවැදුණා . ..ඔය අතරේ ගෙදර යන්න බස් එකක් එනවා . මම දුවලා ගිහිං පුඩ් බෝඩ් එකේ එල්ලුණා . "කසුන් හෙට ලෑස්ති වෙලා ඉඳපන් .! තවම වැඩේ ඉවර නෑ" . ඈතින් යන කසුන්ට අපේ කොල්ලෙක් කෑගහලා කියන හඬ බස් එකේ ලදරං හඬ අතරින් මට ඇහුණා ..
ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි .! මිනිස් හිත කියවන්න කියවලා තේරුම් ගන්න තව කෙනෙකුට පුළුවනි නම් මේ ලෝකේ ගැටුම් ඇතිවෙන එක අඩුවේවි , ලෝකේ සුන්දර වේවි . එකාට එකෙක් ඉඳීවි . ඒත් ඒක කරන්න බෑ . අපිට කසුන්ව තේරුම් ගන්න බැරි වුණා . කසුන්ටත් එහෙමයි . අපේ දඬුවම් දරාගන්න බැරිවුණා .
පහුවදා කසුන් ඉස්කෝලේ ආවේ නෑ .දවල් වෙද්දී අපි දැනගත්තා කසුන් ජීවිතේ නැති කරගන්න හිතාගෙන. තාත්තාගේ පෙෂර් එකට ගෙනාපු බෙහෙත් පෙති බීලා රෝහල් ගත කරලා බව .මගේ බඩ පපුව දාලා ගියා . අපිව පොලීසි ගෙනියාවි කියලා පුදුම විදිහට බයත් වුණා . මගේ පේළියේ හිටපු කාටුන් තුන්වෙනි පීරියඩ් එකේදී හොරෙන්ම තාප්පෙන් පැනලා ගෙදර ගියා . අපි හතර දෙනෙක් ඉතිරි වුණා . . .
.කසුන් රෝහලේ සති දෙකක් විතර හිටියා . ඒත් අපි කවුරුවත් කසුන්ව බලන්න රෝහලට ගියේ නෑ . රෝහල තිබුණේ ඉස්කෝලේ ඉඳලා කිලෝ මීටරයක පමණ දුරකින් වුණත් . අපි හිතේ බයටම ඒ අහලකටවත් ගියේ නෑ . ඉස්කෝලේ ගුරුවරු නම් කසුන්ව බලන්න රෝහලට ගිහිල්ලා තිබුණා . ඒ අය කීවේ කසුන් කිසිම දෙයක් කීවේ නැති බව . සමහර විට ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් නිසා කසුන් මැරෙන්න උත්සාහ කරන්න ඇති කියලයි හැමෝම කතා වුණේ . ඇත්ත සිදුවීම දැනං හිටියේ අපි කීපදෙනා විතරමයි .. කසුන් අපිව පාවා දුන්නෙත් නෑ
කාලෙකට පස්සේ කසුන් ආයෙත් ඉස්කෝලේ ආවා . ඌ අපි එක්ක කතා කළේ නෑ . අපිට වැඩිය මූණ දුන්නෙත් නෑ . ඉගන ගන්න වැඩ බොහොම දක්‍ෂ විදිහට කල නිසා . ඉදිරිපස පේළියේ කොල්ලෝ කීප දෙනෙක් ඉක්මනට කසුන් එක්ක මිතුරු වුණා . ඔය විදිහට කාලයක් ගත වුණා . අපිත් කසුන්ට යන්තම් වත් කිට්ටු වුණේ නෑ .
කසුන් තවම ඉස්කෝලේ බැජ් එක සාක්කුවට තියලා මහගෙන හිටියේ නෑ . තවම අලුත් එකා නිසා ගුරුවරුත් කසුන්ට මොකුත් කීවෙත් නෑ . ඒත් දවසක් ඉස්කෝලේ අරියාට පස්සේ ගේට්ටුව ගාවදී 12 වසරේ ශිෂ්‍ය නායකයෙක් කසුන්ව නතර කළා .!
කෝ තමුසෙගේ බැජ් එක...?
තවම ගත්තේ නෑ මම අලුතින් ආවේ .!
"ආ අලුතින්ද ආවේ .. එහෙමනම් පොඩ්ඩක් ඉන්නවා ඔහොම “. කසුන්ගේ මූණ ආයේ සුදුමැලි වුණා .
එදා අපි ඉස්සරහට ගිහින් කසුන් වෙනුවෙන් කතා කළා . මමත් එක්ක මගේ කණ්ඩායමේ පස් දෙනාම හිටියා . ඒත් ඔතනදී ඇතිවෙච්ච බහින්බස් වීමක් දුරදිග ගිහින් අපි අර ශිෂ්‍ය නායකයාට ගැහුවා .!! වැඩි කතා ඕනනෑ . අපි තුන් දෙනෙකුට පන්ති තහනම්.. . . කසුන්ටත් පන්ති තහනම් ..
ඒ තහනම් සතිය ඉවර වෙද්දී කසුන් අපිත් එක්ක බුදුම බුදු ෆිට් එකක් ගොඩනගාගෙන තිබුණා . අපි ගම පුරාම රෝන්දේ ගැහුවා , නීති විරෝධී බීම බිවුවා , හොරෙන් පොල් , තැඹිලි කැඩුවා ., මාළු බාන්න ගියා . රටේ නැති දේවල් කලා . කසුන් නම් ඒ වැඩ වලින් පට්ටම ආතල් එකක් ගත්තා ඒත් ඌ සිගරට් අරක්කු නම් කටේවත් තිවුවේ නෑ . අපි ඒවට ඌට බල කළෙත් නෑ . මුලු ගැන්විලා හිටපු කසුන් අපිත් එක්ක එකතුවෙලා රජ කකුලක් වුණා .
කසුන් වැඩියම ෆිට් වුණේ මාත් එක්ක . කාලයක් ගත වුණා . සාමාන්‍ය පෙළ විභාගය දවසේ අපිට කසුන්ගේ උදවු නොඅඩුව ලැබුණා . මට විද්‍යාව අරහං , ගණිතය තිත්තයි , සමාජ අධ්‍යනය අජූතයි .විභාගය අතරේ කසුන් තමන් ගැනවත් හිතන්නේ නැතුව හොරෙන්ම මට උදවු කලා .උගේ පිහිට නිසා තමයි අද මම යන්තමටවත් ඔළුව උස්සං ඉන්නේ. මට ඒ උදවු කවදාකවත් අමතක වෙන්නේ නෑ . මගේම අවාසනාවට ඉංග්‍රීසි පේපර් එක දවසේ කසුන් වෙනත් ශාලාවකට වැටුණා. ඉතින් හිතාගන්න පුළුවන් නේද වෙච්ච වැඩේ . මම ඉංග්‍රීසි ෆේල්. ! ( නමුත් මම දෙවන ට්‍රයි එකේදී ඉංග්‍රීසි ඉහළින්ම සමත් වුණෙමි )
දොළහ වසරේදී යකඩ බජාර් එකේ සිදුවීම නිසා මාව ඉස්කෝලෙන් අස්කළා . එදා මම වෙනුවෙන් යන්තම් වත් දුක් වෙච්ච අය අතරේ කසුන් ඉදිරියෙන්ම හිටියා . "සඳරු අනේ ප්‍රින්සිපල් සර්ට ආයෙත් කතා කරලා බලමු බං !”කිය කිය ඇස් වල කඳුළු පුරවා ගෙන කසුන් මාත් එක්ක දිගටම හිටියා .ඔන්න ඔය හේතු නිසා කසුන් කියන චරිතය මගේ ජීවිතේටම මට අමතක නොවෙන චරිතයක් බවට පත් වුණා .
උසස් පෙළ අවසන් කරලා කසුන් ආයෙමත් කෑගල්ලට ගියා . මට ඉඳලා හිටලා කෝල් කරන්නත් කසුන් අමතක කළේ නෑ . කසුන් කැම්පස් තේරුණා කියලා ඌ දවසක් මට කීවුවා . ඊට පස්සේ . මට මූණු පොතේ පිහිටෙන් ආයෙමත් ඌව දකින්න ලැබුණා . ඊට පස්සේ තුන් ගමනක් කසුන් මාත් එක්ක චැට් එකට සෙට් වුණා . ඔය අතරේදී තමයි මම මගේ බ්ලොග් එක ගැන කියලා කසුන්ගේ කතාව මේ විදිහට මගේ බ්ලොග් එකේ ලියන්න අවසර ඉල්ලුවේ . කතාව ලියලා මුලින්ම ඊ තැපෑලෙන් කසුන්ට යැවුවට පස්සේ කතාවේ මට අමතක වෙච්ච තව තැන් කීපයක්ම හදන්නත් කසුන් අමතක කළේ නෑ .
ඉතින් මට හමුවෙච්ච යහපත් මිනිස්සු අතරින් මේ කසුන් කියන බොරු නමින් හඳුන්වාපු මගේ හැබෑ මිත්‍රයා .මට කවදාවත් අමතක නොවේවි ..
ප/ලි : මේ කතාව ගූගල් ටෝක් හරහා කසුන්ට යවද්දී මම කසුන්ගෙන් තව දෙයක් ඇහුවා . "මචං දැන් උඹ මොකද රැග් ගැන කියන්නේ ? උඹ දැන් කැම්පස් නේ උඹ ඔහේදී රැග් කෑවේ නැද්ද ?” දන්නවාද කසුන් මට දුන් උත්තරේ ?
"මචං රැග් එකේ ලොකු වරදක් නෑ . රැග් එක ඉවර වුණාම කොල්ලෝ අතර මාර ෆිට් එකක් ගොඩනැගෙනවා . මම නම් දැන් ඒකේ වරදක් දකින්නේ නෑ ..”
ප/ප/ලි : : මම ඉතින් ඕව ගැන දන්නෑ මම කැම්පස් නෙවෙයිනේ !