26.2.12

කිතුලට යන මාමණ්ඩියේ



බිමෙන් නැඟ අහසට
උසස් රැකියාවට
උරුම කී ඔබ තමා
මගේ සුදු මාමණ්ඩි

විඳවලා ඇති පමණ
මල් තලා රොන් රැගෙන
පැසවලා රා ලෙසින
විකුණලා දිවි ගෙවන

ගහේ බැඳි ගැට වලට
ඔහේ පය තබ තබා
මල් තලන, රා පෙරන
මගේ සුදු මාමණ්ඩි

අතේ රැඳි මන්නයෙන්
මගේ ගෙල සිඳලන්න
කලින් අහපන් ඉතින්
මගෙ කථාවත් සොඳින්

නුඹ මදින කිතුල් මල
වගෙයි මගෙ හිත් මලත්
උඹේ කෙළි පොඩිත්තත්
මට මලක් වගේමයි

ඇගේ සිත නොම තලා
හෙමින් මම රොන් උරමි
මලින් මල පියඹලා
ඇයව නොම රිදවමි

ධන බලය නැණ බලය
ඈ සතුව නැති වුණත්
නුඹගෙ දූ සිඟිත්තට
පෙම් කරමි මම හුඟක්

කිතුල් රා මුට්ටියට
කෑදරව වහ වැටුණ
උගුඩුවෙක් කියා මට
එපා නුඹ අමතන්න

නුඹේ දුව නම් ඉතින්
නැවුම් රා මුට්ටියක්
එසේ ගෙන බැලුවොතින්
ඇත්ත මා උගුඩුවෙක් !

කිතුල් ගහ පොල් ගහත්
මගේ දෑතට හුරුයි
මන්නයත් ගස් කඳත්
මටත් කදිමට හුරුයි

නුඹෙ දුවව සරන ගමි
පවුල් බර කරට ගමි
නුඹට මගෙ සහය දෙමි
රා පොඩිත්තකුත් බොමි

නුඹේ පොඩි පැල් කොටේ
මම බින්න බහින්නම්
අරං නුඹෙ පිහි කොටේ
මමත් මල් තලන්නම්

කිතුල් මල් තලන්නම්
මමත් රා පෙරන්නම්
නුඹ කියන දෙයට මම
හැමදාම නැවෙන්නම්

දිවිය ඇති තුරාවට
මගේ පණ දෙවැනි කොට
නුඹෙ දුවව රැක ගනිමි
මගේ පණ වුව පුදමි

ඉතින් සැක දුරු කරන්
මුලු හදින් සුබ පතන්
මන්නෙ අහකට කරන්
නුඹෙ දෝණි මට දියන්



තවත් කිතුල් කයියක් මෙතනින් බලන්ට

20.2.12

පොලීසියෙන් වහං වෙච්චි හොර ගෙඩියෙක් කනප්පුවකින් ඇල්ලූ හැටි

පලමු කොටසට

ගෙවල් කිට්ටුව චූටික්කු අයියලෑගේ ගෙදර හොරකමක් වෙලා සති ගාණක් ගත වුණා . පොලීසියත් අපරාධ කරුවන් සුවඳින් අල්ලාගන්ට දක්‍ෂකම් පෑ පොලිස් බල්ලනුත් ඇවිදින් ගම මුනිං අතට පෙරළලා වැරදි කරුවන් හෙවුවත් අබමල් රේණුවක තරම්වත් හෝඩුවාවක් හොයාගන්ඩ බැරි වුණා .

මේ සිද්ධ වුණ හොරකම නිසා ගමේ උන්නු අපි පොලිස් බල්ලෙන්ව අපේ ඇස් වලින් දැකගත්තා. මීට ඉස්සර නම් පත්තර වල ටීවී එකේ ඉඳලා හිටලා මේ අති දක්‍ෂ පොලිස් බල්ලන්ව අපි දැකලා තිබුණත් හැබෑවටම උං දකින්න ලැබේවි කියලා මම වගේම මගේ ගමේ බොහොමයක් දෙනා හීනෙකින්වත් නොහිතන්න ඇති .

යකා කියන තරම් කළු නැතෙයිලු , බුරන බල්ලෝ හපන්නේ නැතෙයිලු ! ගමේ සිදුවුණු මේ හොරකම පොලිස් බල්ලන්ටත් අල්ලන්ඩ බැරි වුණාට පස්සේ ඔය අපේ ගමේ නිතර භාවිතා වුණ උපැහැරණ අතරට අළුත් උපහැරණයකුත් එකතු වුණා .

"
පොලිස් බල්ලන්ටත් වරදිනවා !”

 
ඔන්න ඕකයි අපේ ගමේ කට්ටිය අලුතෙන්ම හදාගත්තු උපැහැරනේ . ඇත්තටම එදා චූටික්කු අයියලාගේ ගෙවල් බින්ඳ හොරාගේ ඉව පාරේ ගියපු පොලිස් බල්ලෝ දෙදෙනා හොරා කියලා අල්ලගත්තේ ගමේ හිටපු බොහොම අහිංසක මිනිහෙක් වෙච්ච ගුණේ මාමව .

ගුණේ මාමා අහිංසකයා කියලා අද මම කට පුරෝලා කීවට . එදා නම් එහෙම කියන්න මගේ හිත වගේම දිවත් නම්මගන්න මට බැරි වුණා . මගේ හිතත් කීවේ "මේ පොලිස් බල්ලෝ ටක්කෙටම හරි ! මේ ගුණේ කාරයා තමයි හොර ගෙඩියා" කියලයි .

මම විතරක් නම් මදෑ ගමේ එවුං ගෙන් බාගයක්ම එදා ගුණේ මාමා දිහා බැලුවේ ගමේ ඉන්න තුච්චම කුපාඩියා දිහා බලන විදිහටයි .මම ඒ බව සිකුරටම දැනකියාගත්තේ ඔය සිදුවීම වෙච්ච සන්දියේ දවසක පාං භාගයක් ගේන්න කොනේ කඩේට ගිය මොහොතෙයි .

මම පාං භාගය ගෙදරින් අරගෙන ආපු ඉටි මල්ලක දාගෙන එතන තිබුණු බංකුව උඩ පොඩ්ඩක් වාඩි ගත්තේ ගෙදර ඉඳලා කඩේට ආපු ගමන් මහන්සියට හෙම නෙවි කඩේට හැන්දෑවට ගොඩ වෙන ගමේ මහදැන මුත්තෝ කට්ටිය කතාවෙන දේවල් උන්ගේ කටපල්ලෙන් අහං ඉඳලා පුරුද්දක් මට ඒ කාලේ ඉඳලාම පිහිටලා තිබුණු නිසයි .

"
ගුණෙයා තමයි ගේ බින්ඳ හොරා" .

ඉස්කෝලේ මුර කරන රතු මාමා එහෙම කියද්දී ගමේ උන් කීප දෙනෙක්ම ඒකට පෝර දාන්න එකතු වුණා. . . . !

"
මටත් එහෙම හිතෙනවා ඒකා කඩේටත් රුපියල් හාරසිය ගාණක් ණයයි ! මම ඕකට ණය ගෙවන්න කියලා පහුගිය ටිකේ පොඩ්ඩක් කෑගැහුවා. ඒක තමා එහෙනම් මිනිහා මේ සුද්දේ දීලා තියෙන්නේ.

කඩේ මුදලාලි මාමත් කතා කලේ වෙච්චි දේ නිකං බලා උන්නා වාගේ .ඔන්න ඔය අතරේ මගෙ ලොකු සීයා කඩේට ගොඩ වුණා .

"
දැන් උඹලට ගමේ එකාට වඩා පොලිස් බල්ලෙක් විශ්වාසයි නේ ?”
 
මයෙ ලොකු සීයා එහෙම අහගෙනම මුදලාලිගේ මේසේ උඩ තිබුණු බෝතල් අතරින් එකක් ඇරලා සීනි නාරං බිකි කීපයක් අරගෙන මගේ දෝතට දැම්මා.

"
උඹ ඔයික කාපං මම නංඟිට තව ටිකක් ගිහින් දෙන්නම්" එහෙම කියාපු ලොකු සීයා සීනි නාරං බිකි වලට සල්ලි ගෙවුවා .

"
නෑ නෑ තැපැල් මහත්තයෝ ! එක බල්ලෙක් නම් බැරියෑ බල්ලෝ දෙන්නම ඉව කරගෙන උගෙ ගෙදෙට්ටම ගියා නෙව ඉතින් කෝමද අපි කියන්නේ ඌ හොරෙක් නෙවිය කියලා ?

කඩේ මුදලාලි එහෙම කියද්දී මම ආයෙමත් ලොකු සීයගේ මූණ දිහා බැලුවා . මට දැන් මේක විවාද තරඟයකටත් වඩා අල්ලලා ගිහිල්ලා , "අනේ ලොකු සීයා දිනන්න ඕනෙ" මම එතකොට පොඩි එකා නිසා ඒ විදිහට හිතින් මිමිනුවා ! .

"
උඹලෑ ඇස් පොට්ටද ? එක බල්ලයි බං බොලවු ඉව කරගෙන ගියේ අනික් එකා ගියේ මුලිං යන එකාගේ පුක පස්සෙන්නේ උඹලට තේරෙන්නේ නැද්ද උං බල්ලෝ කියලා ?” 

ලොකු සීයා එහම කියද්දි තමයි මටත් එදා සිද්ධිය ආයෙමත් මතකෙට ආවේ . ඇත්තටම එක බල්ලයි තමයි ඉව පාරේ ගියේ අනික් බල්ලා කලේ නිකම් ඔහේ ඉදිරියෙන් යන බලු රාළගේ පිටුපසින් ඇවිදගෙන ගියපු එක විතරමයි ! ලොකු සීයා මේ බව කියාපු ගමන්ම කඩේ මෙච්චර වෙලා කියව කියව හිටි ජූරි සභිකයන්ගේ කටවල් වලට අගුල් වැටුණා .

ඔහොම සතියක් විතර ගත වුණා . පොලීසියත් මේ සිදුවීම ලේසියෙන් අතෑරලා දාන්න සූදානම් වුණේ නෑ . පොලීසියේ රාලහාමිලා ගමේ හැම ගෙයක් ගානෙම ගිහින් එක එක්කෙනාගෙන් ප්‍රශ්න කලා . ඉතින් ඔය කියන කාලේ මගේ ගම උන්නු මිනිස්සු තරමක් වෙනස් වුණා, එකාට එකෙක් නැති ගානට වැටුණා . කෙනෙකුගේ ගෙදරට පොලීස් රාළහාමි කෙනෙක් වතුර උගුරක් බොන්න ගියත් ගමේ උං ඒ ගෙදර එකාව සැක කලා .මේ සිදුවීම මුල් කරගෙන ගමේ තැන් තැන් වල ගෝරි කීපයකුත් ඒ දවස් වල ඇති වුණ හැටි මට තාම මතකයි .

හොර කම වෙන්න කලින් එකමුතුවට උන්නු මිනිස්සු හොරකමට පස්සේ වෙනස් වෙච්ච හැටි පුදුමෙනුත් පුදුමයි . චූටික්කු අයියාගේ ගේ බින්ඳ හොරා ගමේ මිනිසුන්ගේ එකමුතු කමත් හොරකම් කරං ගිහිං තිබුනු විත්තිය මට වැටහුනේ ගොඩක් පහුවුණාමයි .

එක දවසක් හැන්දෑවේ තුම්මං හන්දියේ ඉස්සර තිබුණු ලොකු සියඹලා ගහ යටට අමුත්තෙක් ආවා . සුදු පාට සරමක් ඇඳන් ඉණ වටේ රතු පටියක් ගැටගහගෙන උන්නු එයා . කට්ටඬියෙක් හෝ ගුරෙක් කියලා එක මම එක බැල්මකින්ම තේරුම්ගත්තා .

මගේ හිතිවිල්ල හරියටම හරි ඒ ඇවිදින් උන්නේ ගුරුන්නාන්සේ කෙනෙක් . ! මමත් හනි හනිකට ඇඟ වැහෙන්න ඇඳුමක් කැඩුමක් දාගෙන ඒ පැත්තට පැද්දුවේ පුදුම උනන්දුවකින් . මම යනවිටත් ගමේ අයගෙන් වැඩි දෙනෙක් හනි හනිකට තම තමන්ගේ වැඩ කටයුතු නතර කර දාලා එතනට එකතු වෙන හැටි මම දැක්කා . එතනට එකතු වුණ අයගෙන් වැඩි දෙනා මේ මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කොල්ලෝ බවත් නොකියාම බෑ .

අද වගේ තමයි ඒ කාලෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් , අංගම් ඉස්මුදුනින්ම විශ්වාස කරන අය වගේම නොකරන අයත් හිටියා . ඒත් ඒ විශ්වාස නොකරන උදවිය උන්නෝ බොහෝම ටික දෙනෙක් විතරමයි

අපි සියඹලා ගහ යටට එකතු වෙනකොටම ගුරුන්නාන්සේ එයාගේ කටහඬ අවදි කලා . ගුරෙකුටම ඔබින ගොරහැඩි ඒත් හොඳ පැහැදිලි කටහඬකින් ගුරා මෙන්න මේ වගේ කතාවක් කීවා .

"
මාව මෙහෙට ගෙන්නුවේ . පල්ලමේ ගෙදර උදවිය . ඒ අයගේ ගෙදර කඩපු හොරුන්ව අල්ලගඩයි මම ආවේ .”
ගුරා එහෙම කියනකොට ගමේ උදවිය මූණෙන් මූණ බලාගත්තා . පල්ලමේ ගෙදර කීවේ මීට දින ගණනකට උඩදී හොරකමක් වෙච්ච අපේ චූටික්කු අයියලෑ ගෙදරට

පොලීසිය දවස් ගාණක් උත්සාහ කළත් හොරු කවුද කියලා අල්ලගන්න බැරි වුණ නිසා චූටික්කුලෑ ගෙදර උදවිය කෙම් පාරේ ගිහිං හොරු අල්ලන්ඩ හිතන්නැති ! . ගමේ උදවියගෙන් බොහෝ දෙනා මේ වැඩේ කෙළින්ම අනුමත කළා .

"
ඔය පොලීසියට කියන්න කලින් අඳුනක් බැළෙවුවා නම් ඉවරයිනේ !”

"
අංගමක් පිම්ඹානම් හොරා දුවගෙන එයි නාහෙන් කටින් ලේ දමාගෙනම ,”

"
දැන්නම් ඉතින් පමා වැඩියි සක්කරයටවත් ආයේ හොරාව අල්ලන්ඩ බෑ "
 
ඔන්න ඔය වගේ කතා බහ එදා අපේ ගමේ උදවිය එදා කතා වුණු හැටි මට අද වගේ මතකයි

එතනට එකතු වුණු ගමේ ගෑනු මිනිස්සුන් අහපු ප්‍රශ්න සේරෝටම කෙළින් උත්තර දීපු ගුරුන්නාන්සේ හොරකම වෙච්ච චූටික්කු අයියලෑ ගෙවල් පැත්තට යන්ඩද කොහෙද පල්ලම් බැස්සා . මමත් මගේ වයසේ කොල්ලෝ කුරුට්ටෝ කට්ටියත් හෙමිහිට ඒ පැත්තට ගෑටුවේ හවස පහට ටීවී එකේ යන කාටුන් එක බලන්ඩ නොහැකි වීම ගැන දෙගිඩියාවෙන් . ඒත් අදනම් මම මේ සිද්ධිය වෙච්ච ස්ථානයට ගිහින් මගේ ඇස් දෙකෙන්ම මේ සිද්ධිය බලාගන්න හැකි වීම ගැන අනේක වාරයක් සතුටු වෙනවා.

චූටික්කූ අයියලාගේ සාලේ මැද කකුල් තුනේ කනප්පුවක් හිටෝලා තිබුණා . ඒක මම ඔබ නිතර දකින ජාතියේ කනප්පුවක් නෙවෙයි .බොහෝම පැරණි මෝස්තරේක කනප්පුවක් . ඒ අසලම තෙල් පුරෝලා තිරයක් දාලා හදාපු පහනක් සහ මල් වර්ග කීපයක් සහිත මල් බුලත් තට්ටුවක් හදලා තිබුණා . දුම් ඇල්ලීම සඳහා ගිනියම් වෙච්ච පොල්කටු අඟුරු දාපු අඟුරු කබලකුත් ඒ ළඟම දිලිසි දිලිසි තිබුණා .

"
දැන් මෙතන ගමේ උදවිය හැමෝම වාගේ ඉන්නවා නේද ?”
 
ගුරුන්නාන්සේ ඉන වටේ තිබ්බ රතු පාට රෙදි කෑල්ල ආයෙමත් තදකරලා ගැටගහගන්න අතරේ එහෙම ඇහුවා .

"
හැමෝම නම් මෙතන නෑ . උදයපාල ඉස්කෝලෙ මහත්තයල නෑ , සරුවත් සිල්වා මල්ලිලා නෑ , රජේ රස්සා කරන ගොඩක් දෙනා මෙතන නෑ .” 

ගමේ කටකාරි වෙච්ච චිත්‍රා නැන්දා එහෙම උත්තර දුන්නා .

"
හා හා කමක් නෑ අහල පහළ ගොඩ දෙනෙක් මෙතන ඉන්නවා නේ ? දැන් මම මේ කනප්පුවට මතුරනවා . එතකොට කනප්පුවට යක්‍ෂයෙක් ආරූඪ වෙනවා . ඒ යකා අපිව හොරාව ටක්කෙටම පෙන්නා දේවි “
 
ගමේ හිටි වැඩිහිටි මාමලා දෙන්නෙකුට කතා කල ගුරා උන් දෙන්නට කනප්පුව දෙපසින් අල්ලගන්ඩ කීවා. ඊළඟට මල් බුලත් තට්ටුව පිළියෙල කරලා කනප්පුවට දුම් අල්ලන ගමන් තේරෙන නොතේරෙන භාෂාවෙන් ගුරා මන්ත්‍ර වගයක් ජප කරන්න වුණා . මොහොතක් ගියත් කනප්පුව හෙලවුනේවත් නෑ . වටේ පිටේ හිටි උදවිය කසුකුසුවක් පටන්ගත්තා .ඔය අතරේ කනප්පුව වටේ වටයක් දෙකක් කැරකැවිච්චි ගුරුන්නාන්සේ දකුණු පැත්තෙන් කනප්පුව අල්ලාගෙන සිටි පාල මාමා ගාවට ආවා .

"
මේ උන්නැහේ ඔය කනේ තියන බීඩි කොටේ විහික් කොරලා ඉන්නවද ?” 
 
ගුරුන්නාන්සේ ටිකක් තදින් එහෙම කියනකොට වටේ පිටේ හිටිය අපිටත් තැන නොතැන අමතක වෙලා බකස් ගාලා හිනා ගියා . ලැජ්ජාවෙන් වගේ කනේ තිබුණු බීඩි කොටේ අහකට විසි කොරපු පාල මාමා ආයෙත් කනප්පුව අල්ලගත්තා . ගුරා ආයෙමත් මන්ත්‍ර ජප කරන්න පටන්ගත්තා .

මොහොතකින් කනප්පුව හෙල වුණා . ඒ එක්කම ඒ කනප්පුව ගෙදර ඉස්සරහා දොරින් පිට වෙලා වත්තට බැස්සා . වත්තට බැහැපු කනප්පුව හෙමිහිට ගියේ කඩුල්ල ගාවට ගමේ එකක් හනි හනිකට කඩුල්ලේ තිබුණු උණ ලී ටික අහකට දමපු හැටියෙම කනප්පුව ඒ කඩුල්ලෙන් එළියට බැහැලා . ඇල පාරට හැරුණා .

කනප්පුව වරෙක වමට බර වුණා , වරෙක දකුණට බර වුණා . එහෙට මෙහෙට බර වෙවී කනප්පුව ඇල පාර දිගේ ගොඩක් දුර ගියා . ඔහොම පාර දිගේ ගිය කනප්පුව තුම්මං හන්දියටත් සේන්දු වුණා . තුම්මං හන්දියේ තත්පර කීපයක් නතර වෙලා උන්නු කනප්පුව ගං සභා පාරට හැරුණා . ඉතින් ඔන්න ඔය මොහොතේ තමයි අපේ කථාවේ අවසාන ජවනිකාව සිද්ධ වුණේ

කනප්පුව ගං සභා පාරෙන් හැරිලා ටිකක් දුර හෙමිහිට ඉදිරියට යන අතරේ . කනප්පුව පිටුපසින් අපේ ගමේ තිහක හතළික විතර කාණ්ඩයක් ගමන් කරමින් උන්නා . ඒත් ඔහොම ටික දුරක් යනකොට අපේ කාණ්ඩේ උන්නු ජයතිස්ස මාමා හෙමිහිට පාරෙන් එහාට මාරු වෙලා කැලෑව පැත්තට මාරුවක් දාන හැටි කවුරුන්හෝ කෙනෙකුගේ ඇහැට අහුවෙලා තිබුණා . ඇස් දෙකකට වැලි ගැහුවට ඇස් ගොඩකට වැලි ගහන එක ලේසි නෑ ! ඉතින් ජයතිස්ස මාමට ලේසියෙන් ලෙස්සලා යන්ඩ බැරි වුණා.

"
ජයතිස්සයියා . . !! උඹ කොයිබද ඔය කැලේ පද්දන්නේ ?”
 
එකෙක් එහෙම කෑගහද්දී මුලු කාණ්ඩෙම ගමන නවත්තලා ඒ දිහාවේ බැලුවා

"
.. . . . මම මෙ . . . මෙ. . . . මේ වැස්සි කැ . . ලේ පැනලා ඒකිව හොයාන එන්ඩ .. . කි . කි යලා
 
ඒ වෙවුලන කහඬත් බයෙන් මිරිකුණු මුහුණත් ජයතිස්ස මාමගේ හොර කමේ රහස එළිකලා .ගමේ ලොකු එවුන් කීප දෙනෙක් අඩියට දෙකට ජයතිස්ස මාමා ළඟට දුවද්දී ඌ කැලේ කඩාගෙන දුවන්න ගත්තා . ගමේ පිරිමි කීප දෙනෙකුත් ඒ පිටුපසින් එළෙවුවා .

"
ජනා වරෙං වරෙං

මමත් මගේ මිත්තරයට අඬගහන ගමන් කැලේ දිහාවට දුවන්න අඩිය ඉක්මන් කලා . ඒත් ඒ එක්කම කවුදෝ මගේ අතකින් තදින් අල්ලගත්තා . දෙවියනේ ඒ මගේ නැන්දා ! මට තිබුණු කුතුහලේට හදිසියට මට මගේ නැන්දා මේ පිරිස අතරේ ඉන්න විත්තිය යාන්තමටවත් සිහියට නැඟුණේ නෑ .

ඉතින් මම කපෝතියි !!

"
තෝ කොහේද දුවන්නෙ ? තෝ පල ගෙදර !

"චටස් පටස්" ගාලා කස පුපුරන හඬින් කෝටු පාරවල් දෙකක් මගේ තට්ටමට වැදුණා හතර විලි ලැජ්ජාවයි ! කොල්ලෝ සෙට් එක බකස් ගාලා හිනාවක් තිවුවා ! හොරෙක් කියලා ඔප්පු වෙච්ච ජයතිස්ස මාමට දැනුණ ලැජ්ජවම ඔන්න ඔහොම වෙනත් විදිහකින් මටත් ලැබුණා .

කනප්පුව තමන්ගේ රාජකාරිය තිතටම ඉටු කලා ! කනප්පුවට ආයෙමත් මන්ත්‍ර මතුරාපු ගුරුන්නාන්සේ කනප්පුව නතර කලා . ඉතින් පොලිස් බල්ලන්ගේ තියුණු ඉවට අහු නොවිච්චි හොර ගෙඩියෙක් හිත් පිත් නැති කනප්පුවක් අල්ලගත්තේ මෙන්න මේ විදිහටයි.

කනප්පුව හරි පාර දිගේ තමන්ගේ ගෙවල් දෙසට යනකොට තමන් සිකුරටම අහුවෙන බව දැනගත්ත ජයතිස්ස මාමා හෙමිහිට මාරු වෙලා ගමෙන් පැනලා යන්න උත්සහ කළත් එයා ගමේ එවුන්ගේ අතටම අහුවුණා . කනප්පුව නොනැවතී ඉදිරියටම ගියා නම් ඒ පාර කෙළවර තිබුණු ජයතිස්ස මාමලාගේ ගෙදරටම ගිහින් නවතින බව ගමෝ ගොඩ දෙනෙක් කීවා . ඒ විතරක් නෙවි කනප්පුව ගමනාන්තයටම ගියා නම් මමත් නොපෙනෙන බලවේග ගැන ඉහළින්ම විශ්වාස කරන්න පෙළඹෙන්න තිබ්බා .

කනප්පුවක් ඇවිද්ද බව කියාපු ගමන් සමහරවිට කෙනෙකුට ඒක වීශ්වාස කරන්න බොහොම අමාරු වේවි . මේ මොන කෝලමක්ද ? කියලා සමහරවිට හිනහා වේවි . ඇත්තටම මේ සිදුවීම ඇස් දෙකටම දැක්ක මමත් විශ්වාසයත් අවිශ්වාසයත් අතර හිර වෙලා . කොහොම වෙතත් මම මේ ගමේ ගත කරාපු අරුවුදු 23 කාලය ඇතුළේ විස්තර කරන්න බැරි අමුතු සිදුවීම් කිහිපයක් මම අත්විඳලා තියනවා . ඉතින් කනප්පුවක් කල මේ වික්‍රමය මම කවදාකවත් විකාරයක් විදියට සලකන්නේ නෑ .


පින්තූරේ නම් මගේ එකක් නෙවෙයි පින්තූරේ අයිති මෙතැනට 
http://my.opera.com/MYLANKA/albums/showpic.dml?album=6376481&picture=97202351

15.2.12

ගමක් කාපු පොලිස් බල්ලෝ


සිදුවීම නම් මට කවදාකවත්ම අමතක වෙන එකක් නෑ . ඒ ඇයි කියලා කීවොත් මගේ ජීවිතේට මම අත් විඳලා තියන සිදුවීම් එක්ක බැලුවහාම මේ වගේ සිදුවීමක් නම් මම කිසි දිනෙක විඳලා නැති නිසා වෙන්නැති .මේ සිදුවීම මගේ හිතේ කාලාන්තරයක් තිස්සේ කැලතෙමින් තිබුණා ඒත් ඒක අකුරු කරගන්න විදියක් නැතිව මම දවස් ගාණක් කල් මැරුවා. අන්තිමේදී තීරණයක් අරගෙන මේ සිදුවීම ලියලා දාන්න හිතාගත්තා

පායන කාලෙට මගේ ගම් පළාත හරිම වෙනස් .වැහි කාලෙට පිරිලා තිබුණු ගස් වැල් සහ මිනිස්සුන්ගේ මූණු පායන කාලෙට මැලවිලා යන හැටි බලන්න දුකයි . කොළ හැළුණු ගස් වැල් සමහරක් මැරිලා යද්දී ඒ අතරින් එරමිණියා පතොක් වගේ කටු ගස් වර්ග වැවෙන්න පටන් ගන්නවා . ගස් කොළන් වල විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ වුණත් ගතිගුණ මේ කාලෙට වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්.

කුඹුරු ගොයි තැන් පාළු වෙන කොට සමහරු හොර වැඩ පටන් ගන්නවා . වැලක වනලා තියන රෙදි කෑල්ලේ ඉඳන් අල්මරියේ තියන සල්ලි ටිකටත් උපරිම ආරක්‍ෂාව දෙන්න මේ පළාතේ මිනිස්සු පායන කාලෙට සූදානම් වෙන බවත් නොකියාම බෑ . ඉතින් මේ ලියැවෙන්නේ අපේ ගමේ හිටි එක හොරගෙඩියෙක් දුන්න රොබරියක් නිසා මගේ ගමම පච වෙච්ච කතාවක් .

 අවුරුද්ද නම් හරියටම මතක නැති වුණත් . ඒ අගෝස්තු මාසේ එක සිකුරාදා දවසක් බව මට ටක්කෙටම කීව හැකි .පහුවදා ඉස්කෝලේ නිවාඩු දවසක් බව මට හොඳට මතක නිසා මට දවස හරියටම කියන්ඩ පුළුවන්

ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අම්මා බෙදලා දුන්න බත් එක කටට දෙකට ගිලලා දාන එක මගේ හැටියක් .රහ ගුණ බලන්න ඒ තරම් උවමනාවක් නැති ඒ කාලේ බඩ පුරුවා ගන්න මැටි ගුලියක් වුණත් ගිලින්න පායන පළාතේ අපි අනුවර්තනය වෙලා හිටියා . ඉතින් එදත් කඩිමුඩියේ බත් එක ගිල දාන අතරේ මගේ පිඟානට අඩු වැඩි සපයන්න මගේ ගාවට ආපු අම්මා පොල් කටු හැන්ඳකින් මගේ බත් පිඟානට හොදි ටිකක් වක්කරන ගමන් මම ඉස්කෝලේ ඉන්න අතරේ ගමේ වෙච්ච කතාවක් මට කියාපෑවා .

"
පුතේ චූටික්කු අයියලෑ දිහාට ඊයේ රෑ හොරු පැනලා"

"
මොහක් ..”

කටේ බත් පුරුවාගෙන හිටපු මම කලබලයෙන් එහෙම අහනකොට අම්මට ටිකක් කේන්ති ගියා .

"
ඉස්සර වෙලා කාලා ඉන්නවද මම කතාව කියන්නම් ඊට පස්සේ .” 

බත් එක ඉක්මනට ගිල දාලා කාලා ඉතුරු කල බත් පිඟාන මේසේ උඩ අතෑරලා යන්තම් අතත් හෝදගත්ත මම කුස්සියේ තිබුණු මැටි කළේ උස්සලා අරගෙන ඒකෙන්ම වතුර ටිකකුත් බීවේ කෝප්පෙකට වතුර ටිකක් නවා ගන්න තිබුණු කම්මැලි කම නිසාමයි . ඊට පස්සේ හෙමිහිට දෙර රෙද්ද අතරින් සාලෙට එබිකං කරපු මම අම්මට හොරෙන් පිටි පස්ස දොරෙන් පැනලා මගේ මිත්‍රයෙක් වෙච්ච ජනාව හමුවෙන්න ගියා

අම්මගෙන් මේ සිදුවීම ගැන කරුණු දැනගන්නවාට වඩා ජනා එක්ක ඒ හොරකම වෙච්ච තැනටම ගිහින් ඒ සිද්ධියේ අලගිය මුල ගිය තැන ඉඳන් හාරාවුස්සලා දැනගන්න මගේ හිතේ ආශාවක් තිබුණා . ටීවී එකේ ඒකාලේ නිතරම ගියපු පුංචි වීරයන්ගේ රහස් පරීක්‍ෂක කතා බළලාම ඔය වගේ සිද්ධියක් වෙච්ච හැටියේම අපිත් එතනට එක් රොක් වුණේ සීනි ගෝනියට එකතු වෙන ඇඹලයෝ රොත්තක් වගේ .
මම ජනාලාගේ ගෙදර යනකොටත් ඌ හිටියේ උගේ තාත්තගේ පුට් සයිකලේට හුළං ගන ගමන් .

"
..ඒ සඳරු මෙන්න මේ පොම්ප බටේ ටිකක් තද කරලා අල්ල ගනිං .”
 
මම ළඟට කිට්ටු වෙනකොටම ජනා කීවේ පුදුම සතුටකින් . මොකද කීවොතින් ජනා උඩ පැන පැන බයිසිකලේට හුළං ගැහුවත් ඒ කැඩුණු පොම්ප බටේ අතරින් හුළං පාරවල් එළියට පැනලා හතර අතේ විහිදෙනවා . තව කෙනෙකුගේ උපකාරයක් නැතුව මේ විදියට හුළං ගහන්න ගියොතින් ඌට තව සුමාන දෙකක්වත් ඒ බයිසිකලේට හුළං ගහන්න වෙන එකනම් සිකුරුයි කියලා මට හිතුණා .ඉතින් මමත් හනි හනිකට ගිහින් ඒ කැඩුණු පොම්ප බටේ කීප පොලකටම අත තියලා තද කරගත්තා . ඉතින් මගේ උදවුව නිසා විනාඩි කීපයක් ඇතුළත බයිසිකලේට හුළං ගහගන්න ජනාට පුළුවන් වුණා .

"
චූටික්කු අයියලෑ ගෙදෙට්ට ඊයේ හොරු පැනලා නේද බං . ?”

"
ඔවු වොවු ! මමත් මේ එහේ යන්ඩ තමා මේ .”

"
යමු දෙන්නම යමු එහෙනම් .”
 
ජනාව සයිකලේ පොල්ලේ ඉන්ඳවාගත්තු මම බයිසිකලේ පදින්න පටන් ගත්තා . ජනා මට වඩා ඇඟපතින් තරබාරු කොල්ලෙක් වුණත් ඌ හුළං ගහන්න මහන්සි වෙච්ච නිසා මම බයිසිකලේ පැදගෙන අපේ චූටික්කු අයියලෑ ගෙවල් දිහාට ගියා

චූටික්කු අයියා වැඩ කළේ සමූපකාරේ . ඉතින් ඒකෙන් බඩු මුට්ටු අරගන්න ගමේ ඕනෙම එකෙක් චූටික්කු අයියාව හොඳට අඳුනනවා . ඉතින් අපි දෙන්නා චූටික්කු අයියලෑ ගෙවල් පැත්තේ ගාටනකොටත් ගමේ සෑහෙන දෙනෙක් චූටික්කු අයියලෑ ගෙදරට එකතු වෙලා හිටියා

ගමක තත්වය ඕකයි.. දානයක් , බණක් , මගුලක් වගේ දෙයකදී විතරක්ම නෙවෙයි මරණයක් , හොරකමක් වගේ කරදරයකට හිරිහැරයකට ගම්වැසියෙක් මුහුණ දුන්නොතින් ගමේ භාගයක් දෙනා මොන වැදගත් වඩේ තිබුණත් ඒක අහක දාලා එතනට විජහට එකතු වෙනවා . පුළු පුළුවන් විදිහට විපතට පත්වූ එකාට උපකාර කරනවා . සල්ලිය බාගේ විය පැහැදම් කරලා උපකාර කරන්න බැරි නම් වචනයකින් හරි සවියක් වෙන්න ගමේ එවුං කවදාවත් පසුබට වුණේ නෑ .

චූටික්කු අයියලෑ ගෙදරට ලං වෙද්දිම මම දැක්කේ පපුව හීතල වෙලා යන දසුනක් . ගෙදර ප්‍රධාන දොර කඩා දාලා ! ඒ විතරක් නම් මදෑ . ගේ ඇතුළේ තිබුණු ලස්සන විදුලි පහන ඉස්සරහා පිල් ගැට්ටේ ගහලා කෑලි වල කඩා දාලා . ඒ අතරෙම මිදුලේ තැනින් තැන මුනිං අතට හරවලා තිබුණු මුට්ටි කීපයකුත් මම දැක්කා .

"
අඩෝ මල්ලියා . බලාපං අපිට වෙච්ච දේ “

එකපාරටම පිටු පසින් ඇහුණු වේදාත්මක හඬකින් මම ගැස්සිලා ගියා . ඒ චූටික්කු අයියා .

"
මොකද බං අයියේ මේ උඹලට උණේ ?”

"
අඩෝ මල්ලියා එක තඹ සතයක් උං ඉතිරි කරලා නෑ බං . සාක්කු වල තිබුණු දේවල් පවා අරං ගිහිං බං .”

"
අයියේ හොර ගෙඩියෝ මෙච්ච හරියක් කරද්දී උඹලා බතල තැම්බුවැයි ?”මම එහෙම අහද්දී ජනාට පොඩි හිනාවකුත් ගියා .

"
නෑ බං උං අපි නිදාගෙන ඉන්දෙද්දී වහලේ උළු අයිං කරලා අපිට නිදි බේත් ඉහලා ! ඉතින් අපි අද උදේ නැගිටිනකොට සේරම සුද්ද කරලා දාලා බං .”

"
පොලීසියෙන් ආවේ නැතෙයි බං ?”

"
මොකෝ නැත්තේ .මේ මිදුල පුරා තිබුණු අඩි පාරවල් කීපයක් මුට්ටි වලින් වහලා තිබ්බේ පොලීසියෙන් තමා . හවසට ආයේ පොලීසිය මේ පැත්තේ ඒවි . ඒත් බං දැන් පොලීසිය මොනා කරන්නද ?”
 
එහෙම කියාපු චූටික්කු අයියා ආයෙමත් ගේ පිටිපස්සට ගියා .

"
මේ හොරු නම් ගමේ එවුං වෙන්ඩ බෑ කතා දෙකක් නෑ මුං අල්ලපු ගමෙන් ආපු කාණ්ඩයක් තමා !

 “ගමේ කීප දෙනෙක් එගෙම කතාවෙන හැටි මම එක කනකින් අහගෙන හිටියා . මටත් ඒ කතාව හොඳටම විශ්වාසයි . මගේ මේ ගමේ හොර තක්කඩි හිටියේ බොහොම අඩුවෙන්. දෑත වෙහෙසලා හේන් කුඹුරු වැඩ කල බහුතරයක් දෙනා අතරේ ඉඳලා හිටලා කසිප්පු පෙරන්නෙක්, ගංජා හේනක සාඩම්බර හිමි කරුවෙක්,කැලෑ පාළුවෙක් දෙනෙක් උන්නත් හොරෙක් මංකොල්ල කාරයෙක් මේ ගමේ බෝම කාලෙකට ඉහත ඉඳන් නොහිටිය බව මට සහසුද්දෙන්ම කීව හැකි . ඒත් අවට ගම් වල නම් නම් දරාපු හොර ගෙඩියෝ රෑනක් ඒවෙනකොට හිටි බව මට හොඳට මතකයි.

එතනට ආපු ගමේ ගෑනු මිනිස්සුන්ගේ කටවල් දිහෑ බලාගෙන කටපල්ලෙන් වැටෙන නොයෙක් වචන අහුලමින් හිටි අපි දෙන්නා ගෙදර යන්න පිටත් වුණේ හවස බිං කළුවර වැටෙන්න කිට්ටු වුණාට පස්සෙයි

පහුදාට එළි වුණා . එදා සෙනසුරාදා දවසක්. සෙනසුරාදාට පස්ස පැත්තට ඉර එළිය වැටෙන තුරු නිදාගන්න මට එදා නම් ඉක්මනින් අවදි වෙන්න වුණා .

"
පුතා ඉක්මනට නැගිටින්න .චූටික්කුලාගේ හොරකම ගැන හොයන්න අන්න පොලිස් බල්ලෝ වගයක් ඇවිදිල්ලා ! බලන්න උං හරිම විශාලයි"

මමත් හනිකට අවදි වෙලා මූණේ වතුර ටිකක් ගාගෙන හනිකට පාර දිහෑට ගියේ උපන්තේකට නොදැක්ක පොලිස් බල්ලෝ නෙත් පුරා දැක බලාගන්න හිතාගෙනයි !

හන්දියේ මාළු ලෑල්ල ගාව පොලිස් ජීප්පුවක් නතරකරලා තිබුණා ගමේ ලොකු පොඩි බොහොම දෙනෙක් ඒ ජීප් එක වටේ එක්රැස් වෙලා උන්නේ නිකම් නියං ආධාර බෙදන්න ආපු වාහනයක් වටේ එකතු වෙන පීඩිත පන්තියේ ජන සමූහයක් වගෙයි .

එතන වට වෙලා උන්නු ගමේ උං අස්සෙන් රිංගලා මමත් කෝම හරි ඒ ජීප් එක ගාවට කිට්ටු වුණා . එතකොටම ජීප් එකෙන් තඩි පොලිස් බල්ලෝ දෙන්නෙක් බිමට බැස්සා . උන්ගේ කරපටි වලින් අල්ලාගෙන රාලහාමිලා දෙන්නෙකුත් ඒ අය සමගම හිටියා .

"
හප්ප්පුච්චියේ !! ඒ බල්ලොන්ගේ ලොකූ , . . . . !”

"
කිරි අත්තේ උංඟේ පත .. . . . . ! “

"
මයෙ අම්මා මෙහෙමත් බල්ලෝ . . . . !“

"
මුං බල්ලොද අලිද ...?”

ඔන්න ඔය වගේ ජොලි කියමන් ගමේ බොහෝ දෙනෙකුගේ කටින් එළියට විසික් වුණේ ඉබේටමයි . ඇත්ත . . . !‍ ජීප් එකෙන් බිමට බැහැපු පොලිස් බල්ලෝ දෙදෙනා නම් ගොඩාක් තරබාරුයි . අපි නිතර දෙවේලේ පාර තොටේදී දකින වල් බල්ලොන්ට , ලොං හැලිච්ච සිමෙන්ති බල්ලොන්ට , සිරුර පුරා තුවාල පිරුණු අච්චරු කුකන්ට වඩා උන් ගාම්භීරයි , උඩඟුයි ! ඒ විතරක් නෙවෙයි පොලිස් නිලධාරින්ටම හිමි චණ්ඩ සැර පරුෂ පෙනුමත් ඒ බල්ලෝ දෙන්නාට නොඅඩුව පිහිටලා තිබුණා .

පොලිස් බල්ලෝ දෙන්නා සමග පොලිස් නිලධාරින් පිරිසක් චූටික්කු අයියලෑ හොරු බිඳපු නිවස වෙත ගාටද්දී ගමේ සාමාන්‍ය ජනතාවත් ඒ පිටිපස්සේ බයෙන් බයෙන් ගමන් කලා . ඔන්න ඔහොම සිද්ධිය වූ ස්ථානයට ගමන් කරපු පොලිස් රාලහාමිලා සමග උන්නු පොලිස් බල්ලෝ දෙන්නා වහ වහා තමන්ගේ රාජකාරිය ආරම්භ කලා. 

චූටික්කුලෑ ගේ ඇතුළටත් වටේටත් ගියපු පොලිස් සුනඛ ඩබලගේ නාස් දෙකට මොකක්දෝ මන්දා සරොම් කඩාමල්ලක් එක් පොලිස් රාළහාමි මහත්තයෙක් ගාවන විදිහ මම ඈතක ඉඳන් බලාන හිටියා . ඒ සරොම් කෑල්ල්ලේ සුවඳ බලාපු පොලිස් නිල සුනඛ ජෝඩුව දෙපැත්තකට ගමන් කළා .

ගමේ උදවියත් කාණ්ඩ දෙකකට බෙදිලා ඒ පොලිස් බල්ලන් පිටුපසින් ගමන් කරන්න උත්සහ කළත් පොලිස් නිලධාරී මහතෙක් මම ජීවිතේට අහලා තිබුණු සුන්දරම බස් වහරකින් රැස්ව සිටි පිරිස අමතලා ආපසු ගෙවල් බලා යන්න කීව නිසා ගමේ උදවිය සමගම මමත් ගෙදර යන්ඩ ආපහු හැරුණා 

ගෙදර ගියපු මම උදේ වරුවේදී ජීප් එකෙන් බැහැපු පොලිස් බල්ලෝ දෙදෙනා ගැන අම්මට විස්තරයක් කරමින් ඉන්න අතරේ පාර පැත්තෙන් ඇහුණු කලබලයක් නිසා මට ඒ වැඩේ මොහොතකට නවත්තන්න සිද්ධ වුණා ! ඒ කලබලේ මොකද්ද බලන්න එළියට බැහැපු මම දැක්කේ පාර දිගේ ගෑනු පිරිමි රොත්තක් කොහේදෝ දුවන හැටියි .

"
චන්ද්‍රා අක්කේ කොහේද දුවන්නේ ?”

අම්මා පිලේ ඉඳන් කෑගහලා එහෙම අහද්දී පාර දිගේ දුවමින් සිටි අය අතරේ හිටි චනද්‍රා නැන්දා ආපහු හැරිලා අපේ වත්තට දුවගෙන ආවා . එයාගේ කොණ්ඩේ අවුල් වෙලා ඇස් දෙක එළියට පැනලා .මට එයාව පෙනුණේ නොමළ ගෙයකින් අබ ටිකක් හොයාන දිවුව කිසාගෝතමී වාගේ .

"
කොහේද බං මේ පණ කඩාගෙන දුවන්නේ ?”

අම්මා ආයෙමත් එහම අහද්දී බයෙන් ගැහෙමින් හිටි චන්ද්‍රා නැන්දා කටහඬ අවදි කලා !

"
අනේ නංඟියේ ගුණේ මල්ලිලෑ ගෙදරට තමයි පොලිස් බල්ලෝ දෙන්නා ඉව අල්ලගෙන ගිහින් තියෙන්නේ අන්න පොලීසියෙන් ගේ පෙරලනවා .” 

ඒ කතාව ඇහුණා විතරයි මම අඩියට දෙකට ගුණේ මාමලෑ ගෙදරට දිවුවා මම යනකොටත් අහලපහල හිටි බොහෝමයක් දෙනා ගේ අවට එකතු වෙලා ඉන්න හැටි මම දුර තියාම දැක්කා . ඒ එක්කම මම මගේ ජීවිතේට මගේ මේ ඇස් දෙකෙන් දැක්ක දුක්බරම සිදුවීමත් එදා දැකගත්තා .

ගුණේ මාමාව පොලීසියෙන් වටකරගෙන උන්නා . එයා අපිට මූණ දෙන්න බැරිවද කොහෙද බිම බලාගෙන කඳුළු හලමින් උන්නා . ඒ අතරම ගේ ඇතුළේ බඩු මුට්ටු සී සීකඩ විසුරුවමින් ගේ ඇතුළේ හොර බඩු හොයන පොලීස් නිලධාරින් කීප දෙනෙකුත් මම දැක්කා . ඒත් මම දැක්ක දුක්බර සිදුවීම ඒ එක නම් නෙවෙයි

ගුණේ මාමගේ අම්මා තමයි පුංචි හාමි ආච්චි . එයා ගේ වයස එතකොට අවුරුදු 80 විතර වෙන්නැති . ඒ මහලු කාන්තාව බිම වැතිරිලා කඳුළු වගුරුවමින් කාටදෝ වඳිමින් හිටියා . මමත් වටේ හිටි උදවිය අතරින් රිංගලා එතනට කිට්ටු වුණා . ඔන්න එතකොට මගේ ඇස් දෙකට කඳුළු උණාපු ඒ අමුතුම සිද්ධිය මම දැක්කා . පුංචි හාමි ආච්චි වඳිමින් හිටියේ පුවක් ගහක ගැටගහලා උන්නු පොලිස් බල්ලෙකුට .

"
අනේ බුදු මහත්තයෝ , අනේ මගේ පුතා හොරෙක් නෙවෙයි මහත්තයෝ. අනේ මේ අයට ඇත්ත හොරාව පෙන්නාදෙන්න මහත්තයෝ. අපි එදා වේල හොයාගෙන පාඩුවේ ජීවත් වෙන මිනිස්සු මහත්තයෝ .” 

බල්ලෙකුට "මහත්තයෝ" කියමින් වඳින කාන්තාවක් ජීවිතේට දැකලා තියනවාද ? මම හිතන්නෑ ඔබ කවුරුත් මම එදා ඒ දැකපු දසුනට සමාන දසුනක් ජීවිතයේ කවදාකහෝ දැකලා ඇතෙයි කියලා . එදා ඒ සිදුවීම දැකලා ගමේ යකඩ හිත් තිබුණු පිරිමි පවා ඇඬුවා . ගමෙන්ම වැඳුම් පිදුම් ලද බොහෝම වයස් ගත කාන්තාවක් ජර්මන් සෙප්පඩ බල්ලෙක් ඉදිරියේ වැඳ වැටිලා ඇඬුවා . ඒත් ඒ ආඩම්බර කාර පොලිස් බලු තඩියා පුංචි හාමි ආච්චිගේ අඳෝනාව කනකටවත් ගත්තේ නෑ . ඌ දක්වාපු එකම ප්‍රතිචාරය තමයි කකුලක් උස්සලා ඌව ගැටගහලා හිටි පුවක් ගහට මුත්‍රා කරපු එක.

පැයක් දෙකක් ගේ දෙවනත් කරමින් බඩු මුට්ටු සීසීකඩ විසුරුවමින් හෙවුවත් ගේ ඇතුළේ තිබිලා හොර බඩුවක් තබා රුපියලක්වත් වත් හොයාගන්න පොලීසියට බැරි වුණා . ඒ වුණත් පොලීසිය ගුණේ මාමව කුදලාගෙන පොලීසියට ගෙනිච්චා 
 .
සතියක් පුරාම පොලිස් රාලහාමිලත් පොලිස් බල්ලෝ දෙදෙනාත් හොර බඩු හොයමින් ගම පුරාම කරක් ගැහුවා ඔය කියන දවස් වල ගමේ තිබුණු තත්වය මට තාම මතකයි .

පොලිස් බල්ලෝ වැරදීමකින් හෝ තම වතු වලට ඇතුලුවේවි කියලා හිතාපු මිනිස්සු තමන්ගේ වත්ත වටේට කහ වතුර ඉහින්න ගත්තා , ගෙවල් වල තිබුණු කරවල උම්බලකඩ වගේ දේවල් කැලේට විසිකළා. යන්තම්වත් මේ මස් මාළු වල සුවඳ වැදිලා පොලිස් බල්ලෙක් තමන්ගේ ගේ දිහාවට ඒවි කියන බය හැම ගැමියෙකුගේම හිතේ මුල් බැහැගෙන තිබුණ නිසාම ඒ දවස් කීපයේම ගමේ ගෙවල්වල මිනිස්සු කෑවේ බතුයි එළවළුයි විතරමයි . කවදාවත් හොරකම් නොකරපු ගුණේ මාමට වෙච්ච දේ එක්ක බලද්දී බය සාධාරණයි . ගමේ මිනිස්සු වත්තට දිවගෙන එන වල් බල්ලෙක් දැක්කත් සිහිමුර්ජා වෙලා බිම ඇදවැටෙන තරම්, රෙද්දේ රෙවෙන තරම් බෙලහීන වෙලා තිබුණා

බඩුත් එක්ක ඇත්තම හොරාව අල්ලගන්නා තුරුම අපේ ගමේ උදවිය ගතකළ ඒ දුක්බර කාල සීමාව මට කවදාකවත් අමතක වෙන එකක් නෑ . මේ සේරම දේවල් සිද්ධ වුණේ එක වැරදි ඉවක් නිසා .තිරිසනෙකුට මිනිහෙක් පරදින්න හැටි මම එදා මයෙ මේ ඇස් දෙකෙන්ම දැක්කා .

ගුණේ මාමා හැබෑවටම හොරෙක් කියලා ඔප්පු වුණා නම් මම මේ කතාව කිසි දවසක නොලියන්න ඉඩ තිබුනා ඒත් රට ඉඳන් ආපු දක්‍ෂ පොලිස් බල්ලන්ට අල්ලන්ඩ බැරි වුණ ගෙවල් බින්ඳ හොරා හිත් පිත් නැති කනප්පුවක් විසින් අල්ලගත්තා .ඒ අරුම පුදුම කථාවත් මම දවසක ලියාදාන්නම්



ඒ කනප්පුවේ අරුම පුදුම කතාව දැනකියාගන්ඩ මෙතනින් යූ ටර්න් එකක් ගන්ට

 
ප/ලි මෙම කතාව සත්‍ය බවත් මෙහි එන සියලු නම් මනංකල්පිත බවත් පොලිස් බල්ලන් කියා මා මෙහි සඳහන් කර ඇත්තේ පොලිස් සුනඛයන්ට වන අතර මේ කතාව මගින් කිසිවෙකුට අපහාස කිරීමට හෝ චෝදනා කිරීමට මා උත්සාහ කර නොමැති බවත් කරුණාවෙන් සලකන්න .

2.2.12

ලෝක විනාශය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මාමා

"මේ අවුරුද්දේ ලෝක විනාසේ වෙනවා කියන කතාව සහතික ඇත්ත ! “

වික්ටර් මාමා එහෙම කියාගෙන උදැහැනැක්කෙම තුම්මං හන්දියේ පොල්ලතු කඩේට ගොඩ වෙද්දී මමයි මගෙ ගෝලයා උක්කුවයි හිටියේ කඩේ නැන්දා හදාපු ලැවරිය එකක් හපන ගමන් .

"ඇයි බං ප්‍රවෘත්ති වලටවත් කීවයි එහෙම කතාවක් ?”

තේ කෝප්පයක් "ටිලි ටිලි" හඬින් හැඳිගාමින් උන්නු කඩේ නැන්දා එහෙම කියන කොට කට පුරා ලැවරිය ගිල ගිල උන්නු මමත් බඩට සැප දීම පසක තියලා කනට සැපක් දෙන්න හිතාගෙන් කඩේට ආපු ගමේ අයගේ කතා බහට කන්දෙන්ඩ කට පල්ලෙන් ඇන්ටෙනා පාරක් දැම්මා .

"මේවා මම පොත් පත්තර අවුස්සලා කියෝලා හොයාගත්ත දේවල් නංඟියේ. උඹට කියන්ඩ ඉස්සර මේ ලෝකේ ඉඳලා තියනවා මායා දන්න මිනිස්සු කොටසක් උන් ගලක කොටලා තිබුණලු ලෝකේ අවසාන වෙන දවස . මේ ළඟදී තමයි ඒ ගල පරීක්‍ෂකයෝ හොයාගෙන තියෙන්නේ .. ඉතින් කාගේ කාගෙත් කාලේ නම් ඉවරයි !”

"සීවරං දෙයියනේ ! !” කඩේ නැන්දා බයෙන් සලිත වෙන අතරේ කඩේට ආපු තලතුනා මාමලා සෙට් එක්කුත් තක්බීර් වුණා

උනාපාන මාමට එයා හපමින් හිටි වණ්ඩුව හිර වුණා . , සරත් මාමා සරමේ උණු තේ කහට හලාගත්තා , ඉස්කෝලේ මුර කරන දාස මාමාගේ රොටිය අතරින් බේරුණු ලුණු මිරිස එයාගේ සුදු කමිසේ දිගේ බේරිලා ගියා .

කට්ටියම කලබල වෙලා .

දෙකොනින් හිනාවෙවී තවත් ලැවරි කටක් හපාපු මම උක්කුවා දිහා බැලුවා . ඌත් අන්දුන් කුන්දුන් වෙලා .

උක්කුවා තමයි අපේ ආයතනයට අලුතින් ආපු පියන් .තරමක් දුප්පත් වෙච්ච අපේ උක්කුවාට නිතරම මම කන්න බොන්න අරන් දෙන එක සාමාන්‍ය දෙයක් ඉතින් අදත් සුපුරුදු පරිදිම අපි දෙන්නා උදේට කන්න හිතාගෙන හන්දියේ පොල්ලතු කඩේට ගොඩ වුණා විතරයි අපිට අහන්න ලැබුණේ ලෝක විනාශය ගැන කන්කලු පුවතක් .

"සඳරු මල්ලි ඇත්තද බං ඔය කතාව ?”

උක්කුවා මගෙන් සද්ද කරලා එහෙම අහද්දී මම ඩිම් වුණා . ඒ ලෝක විනාශයට බයෙන් නම් නෙවෙයි . කඩේට ආපු එවුන් සේරෝමල්ලා මං දිහාවේ බලන්න ගත්ත නිසයි .

"සඳරු පුතේ ඔයි කතාව ඇත්තද ?”

මදෑ හැංඟිලා ඉන්ඩ හැදුවා.! දැන් ඉතින් බේරෙනවා බොරු ..! දර කෑල්ලක් පලමින් උන්නු කඩේ මාමත් කොහේදෝ ඉඳන් කඩේට ගොඩ වැදිලා මගෙන් එකපාරම එහෙම අහද්දී මම තවත් අසරණ වුණා .මේ කතාවට මැදිහත් නොවී හෙමීට ලෙස්සලා යන්නම් කියලා හිතාන හිටපු මමත් අන්තිමේටම ඒ ප්‍රශ්නෙට අහු වුණා .

පළාතටම තියන එකම නම ගිය පරිගණක පන්තියේ උගන්වන එකා වෙච්ච මට සමහර වැඩිහිටියෝ ගොඩාක් ගරු කරනවා .එයාලට මාව පේන්නේ උපාධි හැටක් විතර ගහපු ආචාර්ය වරයෙක් වගෙයි .ඒත් ඉතින් වින්ඩෝස් ගැනයි ඔෆිස් පැකේජ් එක ගැනයි එකම දේ හැමදාම කියවන මගේ තත්වය මම නම් හොඳටම දැනගෙන උන්නා.

"මම නම් හිතන්නේ ඒ කතාව බොරුවක් කඩේ මාමේ . ! “

උණු ප්ලේන්ටියෙන් උගුරක් බීලා මම එහෙම කියාපුහාම වික්ටර් මාමට හොඳටම ඩෝං ගියා !

"අනේ ..!! අද ඊයේ කලිසන් ඇන්ඳ කජුකිරි කොල්ලෙක්නේ බං උඹ . උඹ කොහොමද හරියටම ලෝක විනාසේ වෙන්නේ නැතෙයි කියලා කියන්නේ මොකෝ උඹ සක්කරයයෑ ?.”

වික්ටර් මාමා මව විවාදයකට කැඳවන බව මට ඉවෙන් වගේ තේරුම් ගියා . ඒ එක්කම මම දැක්කා කඩේ ඇතුළේ උදේ කෑම ගනිමින් හිටි මගේ ගමේ උදවියත් කාණ්ඩ දෙකකට බෙදුන හැටි . කාණ්ඩෙයක් මගේ පැත්තට පක්‍ෂවත් , තවත් කාණ්ඩයක් වික්‍ටර් මාමට පක්‍ෂවත් .

"සඳරු පුතා නිතරම කොම්පීතර එක්ක ඉන්න එකා ඌ මේවා ගැන හොඳට දන්නවා"

කඩේ මාමත්, නැන්දත් , උනාපාන මාමත් මගේ පැත්තට සෙට් වුණා

"වික්ටර් අයියා ඉතින් නොදන්න දෙයක් නෑ ඌ කොච්චර කල් මේ ගෙන්දගම් පොලේ පය ගහලා හිටි එකෙක්ද ?”

එහෙම කියලා සරත් මාමත් , දාස මාමත් කඩේට ඒ මොහොතේ ආපු පාං මුදලාලිත් වික්ටර් මාමගේ පැත්තට සහය දුන්නා .

උක්කුවා නම් අපක්‍ෂපාතීයි ඌ ලැවරිය ඉවර කරලා රොටියකට වග කියනවා . ඌටත් මොකෝ ? මමනේ සල්ලි ගෙවන්නේ ඌට තියෙන්නේ ගිලින්න විතරයිනේ !.

"හරි සඳරු පුතා උඹ කෝමද කියන්නේ ලෝකෙ විනාශ වෙන්නේ නෑ කියලා..? මොකෝ මේ හැමදෙයක්ම පවතින දේවල්ද..? උඹලා නම් ඉතින් හිතාන ඇත්තේ හැමදාම ජීවත් වෙන්න ඒත් ඒම බෑ පුතා .. ! සියලු සංස් කාර ධර්මයන් නැෂෙන ෂුලුයි ..!”

වික්ටර් මාමා පඬි කතාවක් කීවා .

මමත් අතේ ඉතිරි වුණු ලැවරිය පළුව කටේ දාගෙන කඩදහි කොළේකින් අත පිහදාලා විවාදයට සූදානම් වුණා .

"ඇත්ත මාමේ මේ කිසිම දෙයක් හැමදාම තියෙන්නේ නෑ . නැති වෙනවා.! ඒත් ඉතින් ඒ දවස කවදා එයිද කියලා අපි කෝමද කියන්නේ ?”

හිතුවක්කාරයි නුඹනම් සොඳුර .
මහ වැස්සක් වාගේ.. //

කඩේ මාමාගේ රේඩියෝ එකේ ගීතයක් වාදනේ වෙන්න ගත්තා ... උපරිමේට මල පැනලා හිටි වික්ටර් මාමා ඇඟේ පතේ සේරම හයිය දාලා ඒක වහලා දැම්මා .

මම ටිකක් පස්සට වුණා .....

"පුතේ උඹ දන්නවද මායා ජාතිය ගැන ? නෑ නේ ..! අපි නොදන්න ගොඩක් දේ උන් දැනං හිටියා. ඒකනේ ගොනෝ අපිට කලින් උන් කැලන්ඩරේ හැදුවේ . ඉතින් උන් කැලන්ඩරේ හැදුවා වගේම ලෝකය විනාශ වෙන දිනයත් කෙළින්ම ඒකේ සඳහන් කළේ ඉදිරියට එන බුද්ධිමත් මිනිස්සුන්ට මේ බව දන්වන්න .අද කාලේ උඹලා වගේ හරක් බිහි වෙයි කියලා උන් නිකමටවත් හිතුවේ නැතිව ඇති ..”

වික්ටර් මාමා මට හරකා කීවට මට ඒතරම් මල පැන්නේ නෑ . මල පැන්නත් කරන්න දේකුත් නෑ. ගමේ කොල්ලක් මට මෙහෙම කීවා නම් ඌට හරහා වැටෙන්න පතබාන එක මට සුලු දෙයක්. ඒත් මේ ගමේ වැඩිහිටියෙක්. අනික වයස ගියත් උගේ ඇඟපත යක්ඩ වගේ කියලා තමා වික්ටර් මාමා නම් නිතරම කියන්නේ .අන්න ඒ කරුණු හින්දම මම තවත් කෙස් පැළෙන තර්කයකට අර ඇද්දා

"මාමා අහන්ඩකෝ මම කියන එකත්"

"කියහං බලන්ට"

"කවුද දන්නේ ඔයා මායා කස්ටිය මේක ආතල් එකට කළාද කියලා ?”

"මොකක් ?”

"ඔවු මාමා . සමහර විට ඉතින් උන්ට හිතෙන්න ඇති අපි මේ කැලඩරේ හද හදා හිටියොත් වෙන කරන්න දෙයක් නැතිව යනවා ඒක නිසා අපි මේක මගින් නවත්තමු කියලා .නැත්තං අනාගතේදී එන අපිව පොඩ්ඩක් බයිට් කරන්න හිතාගෙන කැලන්ඩරේ බාගෙට හැදුවද දන්නෙත් නෑ නේ .. “

කීප දෙනෙක් හිනා වුණත් වික්ටර් මාමා නෙවෙයි යන්තම්වත් හිනා වුණේ . ඔය අතරේ තමා කඩේ මාමත් මගේ පැත්තට පොඩි තල්ලුවක් වදින කතාවක් කීවේ .

"ඒක නේන්නං සඳරු පුතේ . උං කැලැන්ඩර් හද හදා උන්නම කවුද උංඟේ ගෑනුන්ට දරුවන්ට කන්ඩ දෙන්නේ ?. උන් ඕක 2012 වෙනකම් විතරක් හදලා පාඩුවේ ඉන්ඩැති . “

කඩේ නැන්දා දුම් දාන ආප්ප ටිකකුත් වට්ටියක තියාගෙන ආවේ කථාවෙන් කථාවෙන් අපිට ආප්පයක් දෙකක් ගිල්ලවලා සම්තින් එකක් හොයාගන්න වෙන්නැති .මට නම් හොඳටම විශ්වාසයි ඒ ආප්ප වල කිරි අඩුයි කියලා .මේ වාදය මැද්දේ ගොම තැම්බක් ගැඹුරු තෙලේ බැදලා දුන්නත් එක කටට ගිලදාන අපේ එවුන් ආප්ප වල ලුණු කිරි බලාවිද ? , ඔන්න ඔහේ කියලා මමත් ආප්පයක් ගත්තා .

"මේ සඳරු පුතා නිකං කෑගැහුවට උඹ ඇස් ඇස්සීත් ෆේල් නේ . ඒක නිසා උඹ කියන ඔය කට කැඩිච්චි කතා මම ගණං ගන්නේ නෑ . !”

ඒ කියාපු කතාවට නම් මට උපරිමේට යකා නැංගා . මට විතරක් නෙවෙයි මගේ ගෝලයා උක්කුවාටත් නප්පියට තද වුණා .

"මේ වික්ටර් මාමා ! ඔයා කට කැඩිච්චි කතා කියන්ඩෙපා . විභාග ටික පේල් වුණාට සඳරු අයියා ඉන්ටර්නැට් එකෙන් ගොඩ දේ කරනවා එයා ඒකෙන් බලලා තමා කියන්නේ ලෝක විනාසේ වෙන්නේ නෑ කියලා .”

අප්පා...! ඒ කතාවට උක්කුවාගේ කටට මසුරමක් දාන්නද නැත්තං උගේ කටේ රෙන්ඩද කියලා මට හිතාගන්න බැරි වුණා.

"ආ ඉන්ටැර් නැට් එකේ තියන ඒවා වැරදියි පේන්නැද්ද ළමයින්ගේ ප්‍රතිඵල වැරදුණ හැටි ඔය කොම්පීතර වලටත් වරදිනවා.”

පාං මුදලාලි කතාව මැද්දට පැනලා වික්ටර් මාමට ජැකක් ගැහුවා . ඒ ජැක් එක වැදිලා වික්ටර් මාමා කදිමට ෆෝම් වුණා .

"හරි යමං අපි සේරෝමල්ලා උඹලාගේ කොම්පීතර පන්තියට යමු. ගිහින් බලමු ඔය ඉන්ටර් නැට්ටේ දාලා තියේද කියලා ලෝක විනාසේ මේ අවුරුද්දේ වෙන්නැද්ද කියලා . දැං යමු .. මේ දැං යමූඌඌඌ" .

වික්ටර් මාමා එහෙම කියද්දී මට හීනිවට දාඩිය දැම්මා.මේ පිස්සෝ ටිකත් එක්කරගෙන මම වැඩ කරන තැනට ගියෝතින් මුං එතන දෙවනත් වෙන්න කෑගහන බව නම් ෂුවර් .පරිගණක ගැන මෙලව හත්තිලවුවක් නොදන්න අයට අන්තර්ජාලය ගැන එකවරම කියා දෙන එක තරමක් අවදානම් කියලා මට හිතුණා.එතනට එන මගෙන් ඉගන ගන්න ළමයි ඉදිරියේ මුං මට ගොනා කීවොත් ? .එහෙම වුණොත් මගෙ රෙදි ගැළවෙනවා .

ඔය අතරේ මම තැනට සුදුසු උපායක් කල්පනා කළා.බඩට වැටුණු ලැවරියයි,අමුවෙන්ම ගිල්ල ආප්පයයි ,වැඩි සීනි ප්ලේන්ටියයි බඩ ඇතුළේ එකට කැලතිලා මට අමුතුම ජීව ශක්තියක් ලබා දුන්නා .ඒ ජීව ශක්තිය නිසාද කොහෙද මගේ මොළේට අදහස් කඳක් ගලාගෙන එන්න පටන් ගත්තා . හරියට නිකම් වක්කඩ කැඩුවා වාගේ .

"හරි මම ඔයාලව එක්කං යන්නං හැබැයි එකක් . මට කිසිම වගකීමක් බාරගන්න බෑ “.

"වගකීමක් මොකද්ද අපි උක්කුං බොන බබ්බු කියලා උඹ හිතුවද ?”

"නෑ නෑ මාමා . ඔවුවා ගැන එහෙම තදියමේ හොයන්ඩ ගිහිං උඹ හයිපර් ටෙක්ස්ට් ට්‍රාන්ෆර් ප්‍රෝටොකෝල් එකටවත් අහුවුනෝතින් . නැන්දව බලාගන්නේ මමද ? ඈ පාං මාමේ උඹගේ පාං වාහනේ පැද පැද පාං විකුණන්නේ මමද ? මම උඹලව එක්ක ගිහිං ඉන්ටර් නෙට් දාලා දෙන්නම් උඹලා බලපල්ලා . මම නෑ ඕං . !”

"අනේ බොලං මට නම් ඔය නොදන්නා ඒවා කරන්න තේරෙන්නේ නෑ.ඔය කොම්පීතර වලින් මොනාද මගඩියක් කොරලා නේද බටිල්ලගේ කොල්ලා රහස් පොලීසියෙන් කුදලාගෙන ගියේ . අනේ මේ මම නම් එන්නේ නෑ උඹලට ඕන්නං පලයල්ලා .”

පාං මාමා බල බිඳගෙන එහෙම කියද්දී මට හිතුණා මම බයෙන් වුණත් විද්ද ඊතලේ නම් ඉල්ලකෙටම වැදුණා කියලා .

"සඳරු මලේ උලුඳු වඩේ එකකුත් කමු නේ ?”

උක්කුවාට නම් කෑමෙන් තොර ලොවක් නෑ . මූ මගෙන් කමුද කියලා අහන්නේ මට ගිල්ලවන්න තියන රුදාවකට නෙවෙයි . ඌට ගිලින්න ඕනෙ නිසා .

"කාපං කාපං උක්කුං අයියේ .. ! උඹ අරං කාපං ! බඩ යනකම් හරි කමන්නෑ කාපං..!”

මම උඩ සාක්කුවේ තිබුණු රුපියල් සීය දිහා බලාගෙන හූල්ලමින් කිවුවා .

මට තරහ ගිහින් වගේ දැනුණු නිසාද කොහෙද උක්කුවා අතට ගත්ත උලුඳු වඩේ එක එහෙට මෙහෙට හරවලා බලලා ඉඹලත් බලලා ආපහු තිබ්බා .මට ටිකක් දුක හිතුණා.ඒත් උදේම අම්මගෙන් හොරකම් කරගෙන ආපු රුපියල් සීයෙන් රුපියලක් හරි ඉතිරි වෙච්ච නිසා මම සැනසුම් සුසුම් හෙළුවා .

මම වටපිට බැලුවා ! . 
කඩේ කට්ටිය ටිකක් විතර සාමකාමි වෙලා .බිත්තිය කෙළෝරේ තිබුණු බොයිලේරුවේ වතුර ටිකත් පැහෙන්න අරං ඒකෙන් පිටවෙන සිහින් හඬත් මට හිතුණේ මට ඔච්චමට නැගෙන හඬක් කියලයි .කඩේ නැන්දා අපි කාපු බීපුවායේ ගාන හදනවා.පාං මුදලාලි පාං ගෙඩි ටික මේසේ උඩ අඩුක් කරනවා .ඔය අතරේ වික්ටර් මාමා මගේ දිහා බලාගෙන කපටි හිනාවක් දැම්මා .

"සඳරු පුතේ උඹ තරහද ?”

"මෙ මොන පිස්සුද මාමේ .!” හිත යටින් අමු තිත්ත කුණු හබ්බ මතක් වුණත් මල් මල් හිනාවකින් මූණ වහගෙන මම එහෙම කිවුවා . ඔය අතරේ ටිකක් නිහඬ හිටි උනාපාන මාමා අමුතුම කතාවක් කීවා.!

"උඹලා දෙන්නා ඔට්ටුවක් අල්ලපල්ලා !”

උනාපාන මාමා එහෙම කියද්දී මම ගල් ගැහුණා ඇයි දෙයියනේ අතේ තියන තුට්ටු දෙක විදින්න මයි මේ හැම එකමා බලාන ඉන්නේ .

"ඔට්ටුවක් ? අනේ මාමේ මම මේ කාපු බීපුවයේ සල්ලි ගෙවන්න තියනවා . අතේ තියෙන්නම රු 100.”

"අහගනිංකෝ මේකයි ඔට්ටුව"

තවත් ගිනිගෙඩියකට පිච්චෙන්න මම හිත හදාගත්තා .

"මේකයි ලෝකෙ මේ අවුරුද්දේ විනාසේ වුණේ නැත්නම් වික්ටර් අයියා උඹ උඹගේ පු * උණු තාර ගාගන්න ඕනෙ !”

"මොකක් ?”

"ඔවු ඔවු උඹට ඔච්චර ෂුවර් නම් ඔට්ටුවක් අල්ලන්ඩ බැරි කමක් නෑනේ"

කඩේ මාමත් ඔට්ටුවේ පැත්තට සුපිරි සවියක් දුන්නා

"මට විශ්වාසයි උඹලාවගේ ගොං කඳන් වලට තමයි මේ හැමෝටම පේන දේ නොපෙනෙන්නේ . “
වික්ටර් මාමත් සෙකන්ඩ් වුණේ නෑ .

"හැබැයි මාමා උඹ ඔට්ටුව පැරදිලා හැංඟිලා හෙම ඉන්ඩ බෑ අපි උඹව හොයාගෙන ඇවිදිල්ලා උඹට ගූ ගහලා යනවා .”

උක්කුවත් උගේ කටේ බලේ පෙන්නුවා .

මම අපේ ගමේ ගොඩ දෙනෙක් ගැන දන්නවා මේ මිනිස්සු මම වගේ නෙවෙයි වචනයක් දුන්නොත් දුන්නමයි . එක අතකින් ඒක එඩිතරයි . තව පැත්තකින් මෝඩ කමක් . *කේ තාර ගා ගැනීම , ගූ ගස්සවා ගැනීම ,රෙදි ගලවාගෙන පාරේ යාම වගේ අමුතුම ඔට්ටු ඇල්ලිම මේ පළාතේ සමහරුන්ගේ සිරිතක් .කොයිතරම් ඉතින් මේවගේ ඔට්ටු ඇල්ලුවත් ඒව ඉටු කරන අය නම් ඉන්නේ කීප දෙනෙක් විතරයි .

"දැන් මාමා එතකොට ලෝකේ විනාශ වුනොතින් මම මොනාද කරන්න ඕනෙ ?”

"එහෙම වුනොතින් ඉතින් උඹ පු * තාර ගා ගනිං .!”

මුලු කඩේම හිනා හඬින් පිරුණා . වික්ටර් මාමත් යාන්තමට හිනා වුණා . ඒත් ඒ හිනාව ස්වභාවික හිනාවක් නෙවෙයි බලෙන් මවාගත් හිනාවක් කියලා මට හොඳටම තේරුණා .

ඉතින් ඔය මොහොත වෙනකොට මගේ හිතේ අබමල් රේණුවක තරම්වත් තරහක් තිබුණේ නෑ දවසම වුණත් මැරීගෙන වැඩ කරන්න තරම් මගේ හිත ගත සවිමත් වෙලා තිබුණා . මම හිතන්නේ ඒ මම කාපු කඩයප්පං වල පෝෂ්‍ය ගුණය නිසා නම් නෙවෙයි උදෑසනම මේ කඩේට ගොඩ වෙලා ටිකක් කෝප වෙලා ලේ පුංච්චගෙන , ගොඩක් හිනාවෙලා ආයෙමත් ලේ පිරිසිදු කරගත්ත නිසා වෙන්නැති .

උදේ වැඩට යන්න කලියෙන් මේ පුංචි කඩේට ගොඩවදින එක මට දැන් පුරුද්දකට ගිහින් . ගෙදරින් උදේට කාලා ආවත් මේ වයසක දෙන්නාගේ පොඩි පෙට්ටි කඩේට ගොඩවෙලා මම ගිල දාපු කෑම ජාති වල රස අපේ ටවුමේ තියන සුපිරිම හෝටලේ වේච්චී හාමුගේ කඩෙදී නම් මට ලබාගන්න බැරි වුණා .

උක්කුවයි මම දෙන්නම කාපු කෑම බීම වලට රුපියල් 85 ගෙවලා අපේ ගමේ මාමලා කට්ටියගෙන් සමු අරගෙන මම වැඩකරන පරිගණක පන්තිය බලා පිටත් වුණේ කාපු බීපු තැන්වල සතා සරුපයාවත් ඉන්නේ නැතෙයි කියලා මම දන්න නිසයි .

පින්තූරය ඇන්ඳේ - Edwin Batawala
පින්තුරය ගත්තේ http://www.theserendibgallery.com/Gere18.html


මගේ පරිගණක අබලන් වෙලා නිසා මේ ටිකේ මට පෝස්ට් එකක් දාගන්ට බැරි වුණා. තව දින කීපයකින් අලුත් ලිපියක් පල වේවි ..