30.9.11

ඇක්මන් අයියාට අලියා ගහපු හැටි සහ කැම්පස් ඇත්තොන්ට අපි ගහපු හැටි




ඒ සිදුවීමට මම මුහුණ දුන්නේ 2008 වසරේ මුල් මාස කීපයේදී

ඔය කාලේ මට ජොබක් නෑ. හිතතේ කිසිම බරක් පතලක් නොතිබුණු මම හුළඟට පාවෙලා යන වරා මලක් වගේ ගම පුරාම කරක් ගැහුවා . මටම හරියන යාළු හිතමිත්‍රාදීන් රෑනකට මම එකතු වෙලා හිටි නිසා රවුම් ගහන එක මට පොඩ්ඩක් වත් එපා වුණේ නෑ ..!

යාලුවෙකුගේ මල ගෙදරක් , දානේ ගෙදරක් , පිරිත් ගෙදරක් කීවොතින් ඉතින් අපි හැමෝම නොවරදවාම එතනට එකතු වෙනවා .ඉතින් ඔය විදිහට රෝන්දේ ගහලා පාන්දර හයට හතට විතර ගෙදරට එන වෙලාවල් පවා තිබුණ .ඔන්න ඔහොම පමා වෙලා ගෙදර ඇවිදින් බුදිගයත්ත දවසට මම අවදි වෙන්නේ දහවල් දොළහට විතර.

පිරිත් ගෙදරක රෑ නිදි මරපු දවසක මම ගෙදර ආවේ හොඳ නින්දක් දාන්නම් කියලා හිතන ගමන් . මගේ ඇස් දෙකෙන්ම නිදිමත බේරි බේරි ආපු මම ඇඳට වැටුණා වැටුණ ගමන්ම නින්දටත් වැටුණා .ඒත් මට පැයක්වත් නිදිය ගන්න ලැබුණේ නෑ . කවුදෝ ජනේලෙට ගහන සද්දෙන් මම ඇහැරුණා .නිදිමතත් කරපිට තියාගෙන මම ජනේලේ ගාවට ගියේ "මේ වෙලාවේ මොකාද ?කියලා හිතන ගමන්

ජනේලේ ඇරියා විතරයි එතන හිටියේ හිටියේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච කිතුලා. !

"
මාර වැඩේ බං ඇක්මන් අයියට අලියා ගැහුවා !

"
නෑ ! මොකද පොරට අමාරුද කීයටද ඕක වුණේ ?

"
මේ දැන් විනාඩි දහයක් නෑ..! පොර කපෝති බං. එතනමයි. වරෙන්කෝ යන්න .

හරියට නින්දෙන් ඇහැරලා නොහිටියත්, ඉක්මනට කමිසයකුත් දාගෙන කිතුලා ආපු බයික්කෙම නැග ගත්තු මමත් මොහොතකින් හිටියේ ඇක්මන් අයියාගේ මල සිරුර ගාව .මම එතනට යනකොටත් ගමෙන් බාගයක්ම එතන එකතු වෙලා කම්මුලේ අතගහගෙන ඇක්මන් අයියා දිහා බලාගෙන හූල්ලමින් හිටියා .

පවු අප්පේ අසරණයා. හතරගාතේ දාගෙන වැටිලා මැරිලා .!

ඇක්මන් අයියා කියන්නේ මගේ තාත්තාගේ පැත්තෙන් ටිකක් දුරින් නෑදෑ වෙන කෙනෙක්. අපේ ගමේ එදා ඉඳන්ම ජීවත් වූ කෙනෙක් .කොයි වෙලේ මාව හම්බුණත් "චුට්ටෝ' කියලා පිටට තදින් පාරක් ගහන ඇක්මන් අයියා බීපු නැති වෙලාවට නම් හරිම හොඳ මනුස්සයා .ඒත් ඉතින් ඌට යන්තම් පදම් වුණාම වටේ ඉන්න හැමෝටම කන් වල ඇඟිලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ.

මොකද වෙලා තියෙන්නේ ? කියලා වටේ පිටේ කට්ටියගෙන් මම විමසලා බලද්දී ඇත්තටම වෙලා තිබුණේ මහ පුදුම දෙයක් . වෙච්ච සිද්ධිය අහපු මට ඇක්මන් අයියා මැරිලා හිටිය බවත් පොඩ්ඩකට අමතක වෙලා හිනාවකුත් ගියා . වටේ හිටපු අය කියන විදිහට වෙලා තිබුණේ මෙහෙම දෙයක්.

තනි අලියා තමන්ගේ පාඩුවේ ඇළෙන් වතුර බිබී ඉන්න අතරේදී අපේ ගමේ කෙළවරක ඉස්සර හොර රහසේ පෙරාපු මුල්ල පටස් ටිකක් බීපු ඇක්මන් අයියා සතුටින් උදම් වෙලා , මතින් මත් වෙලා මියුරු ගීතයකුත් ගයන ගමන් පොළවට මදක් උඩින් අඩිය තියමින් ඇල වෙතට ඇවිදිල්ලා තියනවා .

"
මේ ජී වනයේ...මුලු ෂංෂාරේ ...උදාරේ උදාරේ උදාරේ උදාරේ "

"
ඇක්මන් ඔය පැත්තට යන්න එපා තනියා ඇළෙන් වතුර බොනවා තව පොඩ්ඩකින් ඌ යන්න යාවි අනික් පාරෙන් යන්න .”

ඇල ගාව ගෙදර තිලකේ අයියා එහෙම කියලා කෑමොර දුන්නත් ඇක්මන් අයියා ඒ කාරුණික ඉල්ලීමට දක්වලා තිබුණේ ටිකක් විතර වෙනස් ප්‍රතිචාරයක් .

"
ඇඩෝව් මුන්ද බොල අලි ? අපිනේ එදා ඉඳන් අලි ! අපි කැපුවත් අලි යකෝව් !

ඔහොම සද්දයක් දාපු ඇක්මන් අයියා අලියා ළඟට ගිහින් ඇඳන් හිටිය සරම උස්සලා පශ්චාත් බාගේ අලියාට පෙන්නලා තිබුණේ අලියාව සමච්චලයට ලක්කරන්න හිතාගෙන මිසක් වෙන නරක චේතනාවකින් නම් නෙවෙයි.

තමන්ගේ පාඩුවේ, නිදහසේ වතුර ටිකක් බොන්න ආපු අලියා වතුර බොන අතරේදී ඇක්මන් අයියාගේ මේ නිර්වස්තර රංගනය මොහොතක් බලා ඉඳලා "කමක් නෑ මූ බීලනේ ඉන්නේ" කියලා හිතලද කොහේද මුවින් නොබැණ කිසිත් නොකියා ආපහු කැලේට යන්න හැරිලා ..!

"මොකදඩෝ යන්නේ බයද ?” කියලා අහපු ඇක්මන් අයියා අලියට ගලකින් පාරක් කෙළලා තිබුණු බවයි ඇසින් දුටු අය කියන්නේ . සමහර අය කියන විදිහට නම් ඇක්මන් අයියා අලියට පොල්ලකින් ගැහුවලු .කොහොම හරි කමක් නෑ අලියට වුණත් තියන එක විදිහක ඉවසීමේ සීමාවක් . ඉවසලා බැරිම තැන ඒ තනි අලියා ඇක්මන් අයියව හොඬ වැලෙන් අරං වමට එකයි ! දකුණට එකයි ! ගහලා එරමිණියා ලන්දකට විසික්කා කරලා දාලා යන්න ගියාලු

පවු. ඇක්මන් අයියට මල මුත්‍රා පිටවෙලා තිබුණා .! ,නහයේ හොටු බෝලයක් පිම්බිලා තිබුණා !

.
කොහොමහරි ඉතින් ඔන්න ඔය විදිහට අපේ ගමට වටින කියන මිනිහෙක් නැති වුණා .ඇත්තටම කීවොත් කතාව මේක නෙවෙයි . කතාව පටන්ගත්තේ ඇක්මන් අයියාගේ මල ගෙදර දවසේදීයි
ඇක්මන් අයියට දරුවෝ හිටියේ නෑ .ඇක්මන් අයියගේ තාත්තත් වයසයි ඉතින් ඇක්මන් අයියාගේ මල ගෙදර සියලූම වැඩ කටයුතු කළේ ඇක්මන් අයියාගේ මල්ලිලා දෙන්නා විසින් .

ඇක්මන් අයියාගේ ලොකු මල්ලී හොඳට ඉගනගත්තු කැම්පස් තේරුණු දක්‍ෂ කොල්ලා .! බාල මල්ලි නම් ඉතින් ගන්න දෙයක් නෑ ! ඌ හිටියේ අපිත් එක්ක. තමන්ගේ පොඩි අයියා කැම්පස් යනකොට මල්ලී තෝරාගෙන තිබුණේ ලොකු අයියා වෙච්ච ඇක්මන් අයියා ගමන් කල අඩිපාරේ ගමන් කරන එක . ඒ තමයි කන පැලෙන්න බොන එක .

ඇක්මන් අපේ නෑදෑයෙක් නිසා මමත් මල ගෙදරට ගිහින් මගේ උපරිම සහයෝගය ලබා දුන්නා . වත්ත පිටිය සකස් කරන ඒවා, වල කපන වැඩ , සැරසිලි කටයුතු මේ සේරම කරන්න ගමේ කොල්ලෝ සෑහෙන්න මහන්සි වුණා ඇත්තටම මලගෙදරක් වුනහම එතනට එකතුවෙන්නේ බොහොමයක් තරුණ කොල්ලෝ !

ඇකමන් අයියාගේ ලොකු මල්ලිගේ නම සුගත් . එයා ඉගන ගන්නේ ලංකාවේ තියන ලස්සනම සුන්දරම පළාතක තිබුණු කැම්පස් එකක .

ඇක්මන් අයියාගේ පොඩි මල්ලිගේ නම පියල් . ගමේ අය නම් කීවේ වෙන නමක් ඒත් ඒ නම මෙතන සඳහන් කරන එක සුදුසු නෑ . පියල් නම් මල ගෙදර දවසේ උදේ ඉඳන්ම හිටියේ බීලා . එයා බීලා හිටියේ අයියා මියැදිච්ච දුකටමත් නෙවේ බොන්න ඕන නිසා

එදා පියල් ගෙදරට එනකොට ආවේ ලොකු බූලියකුත් කර තියාගෙන .ඉස්සර ගම්මාන වල රට අරක්කු වැඩිය ප්‍රසිද්ධ නෑ . ගමේම හදන දේශීය දේවල් වලට . පිරිතකදී , මගුලකදී , මරණෙකදී මුල් තැන දෙනවා වැඩියි . නූගත් කම තමයි ඕකට මුල .අද නම් ඕව ටිකක් විතර අඩුයි !

පහුවදා දවල් දහය විතර වෙනකොට ඇක්මන් අයියගේ මිනිය මල් ශාලාවේ ඉඳලා ගෙදර ගෙනාවා . මිනී පෙට්ටිය ගෙට ගන්නවත් බැරි තරමට මල ගෙදර පිරිමි ටික බඹරු වගේ මතින් මත් වෙලා හිටියා .පියල්ගේ බූලියේ සෙතේ තමයි .! මම නම් ඔය වේලාවේ මලගෙදර හිටියේ නෑ . වටේ පිටේ අය මල ගෙදර ඒ මොහොතේ වෙච්ච සිදුවීමක් විස්තර කළේ මෙන්න මෙහෙමයි .

ඇක්මන් අයියාගේ ලොකු මල්ලී සුගත් හොඳ උගත් එකා නේ..! මිනිහා ඔය මත් පැනට පොඩ්ඩක්වත් ලැදි නෑ. ඒ වගේමයි මිනිහට තරහා ගියොත් නිකම් යකා වගේ . අනික මිනිහා උන්නෙත් ලංකාවේ තියන වලියට ටිකක් විතර බර කැම්පස් එකක .

සුගත් අයියා තමයි තව කෙනෙක් එක්ක එකතු වෙලා මිනී පෙට්ටිය ගෙට අරගෙන තියෙන්නේ . ඉතින් ඔය විදිහට මිනී පෙට්ටිය ගෙට අරගෙන හරි ගැස්සුවාට පස්සේ .වෙරි පිට හිටපු පියල් එකපාරටම දුවගෙන ඇවිල්ලා "අනේ මයෙ බුදු රත්තරන් ලොකු අයියා !!” කියාගෙන මිනී පෙට්ටියට පැනලා . ! වටේ පිටේ හියපු අය කොයිතරම් උත්සාහ කළත් පියල්ව අල්ලගන්න බැරි වෙලා . පියල් නිකම් අර ඩොල්ෆින් කෙනෙක් පිම්මක් පනිනවා වාගේ බල්ටියකුත් ගහලා තමයි පෙට්ටියට පැනලා තියෙන්නේ ! මම නම් දැක්කේ නෑ හැබැයි වටේ අය කියන්නේ එහෙමයි .

පියල්ගේ පිම්ම නිසා ඇල්බීසිය ලෑලි වලින් හදාපු බාල මිනී පෙට්ටිය දෙකටම කැඩිලා ගිහින් මිනිය වැටිලා නැතෑ බිමට .ඒත් පියල්ට මෙලෝ සිහියක් නෑ කෑගහමින් අඬනවා .! . හොඳ සිහියෙන් හිටපු සුගත් පැන්න ගමන් පියල්ට පයින් පාරක් දීලා බෙල්ලෙන් අල්ලලා එළියට ඇදලා දැම්මලු . ඊට පස්සේ යන්තම් පුටුවක් අඩේට තියලා මිනී පෙට්ටිය ආයෙත් කෙළින් කරලා යාන්තමට වැඩේ පිළිවළක් කර දැම්මලු.

ඉතින් කෝම හරි මල ගෙදර වැඩ කටයුතු ටික සාමදානයෙන් අවසන් වුණා . ඊට පස්සේ එළඹුණේ හත් දවසේ දානේ වැඩ කටයුතු ටික . ඔන්න ඔය දානේ වැඩ වලට උදවු දෙන්න සුගත් අයියගේ කැම්පස් එකේ කොල්ලෝ 15 විතර ගමට ආවා . ගමේ සෙට් එක වෙච්ච අපිත් ඉතින් දානේ ගෙදර දවසේ බැහැලම වැඩ කැම්පස් කට්ටියත් අපිත් එක්ක හරි හරියට වැඩ .

වයසක උදවිය ඉවුම් පිහුම් බාරගෙන තිබුණා ,අපේ අය ගේ ශුද්ධ පවිත්‍ර කරන එක සහ අනෙකුත් දේවල් වලට උදවු දෙමින් හිටියා . ඔන්න ඔය අතරේ කසිප්පු බූලියක් කරපින්නා ගත්තු පියල් වැටෙන් පැනලා ගෙදරට එනවා මම දැක්කා . මිනිහා .හෙමීට ඇවිල්ලා බූලිය ලෑලි ගොඩක් අසේ හැංඟුව හැටිත් මම වගේම තව කීප දෙනෙක් දැක්කා . මමත් ඉතින් මෑන්ස්ට ඇහැක් ගහලා නිකම් හිටියා .වැදගත් තැනකදී මත්පැන් බීම මගේ සිරිත නොවුණත් මම ඒකට තදින්ම විරුද්ධ වුණත් මට පියල්ට උපදෙස් දෙන්න නම් හිත දුන්නේ නෑ ! . බීමතින් ඉන්න එකෙකුට කෝමද උපදෙසක් දෙන්නේ ?

දානේ කටයුතු පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි අවසන් ජවණිකාව පටන්ගත්තේ .

"තෝ මොකටද මේ ජරාව මෙතනටත් ගෙනාවේ ..?”

"ට ඕනි හින්දා ඩෝ ගෙනාවේ මේක මගේ ගෙදර තෝ පල කැම්පස්! !”

ගජරාමෙට උනුසුම් වචන හුවමාරුවක් වෙනවා . අපිත් ඉක්මන් කරලා ඒ පැත්තට ගෑටුවා .මළම කෙලියයි . අයියා මලෝ දෙන්නා ගජරාමෙට බැනගන්නවා . පියල් ගෙනාපු කසිප්පු බූලිය සුගත් දැකලා ඉතින් මත් පැනට කොහොමටත් විරුද්ධ සුගත් පියල් එක්ක රණ්ඩු වෙනවා

එක පාරටම ඉදිරියට පැනපු සුගත් බූලිය පියල් අතින් උදුරලා අරගෙන වීසික් කරලා දැම්මා . මල කෙලියයි . බූලිය ගිහින් වැදුණේ මිදුලේ බැඳපු ලිපේ පොලොස් හට්ටිය හැඳිගාමින් හිටි ජොසපින් ආච්චිගේ පිටේ . බූලිය වැදිච්ච පාරේ සැරට ආච්චි අම්මා පොලොස් හැළියත් පෙරලගෙන වැටුණා . තුනුරුවන්ගේ සරණින් ආච්චම්මට කිසිම කරදයක් නම් වුණේ නෑ .

කොහොමහරි බූලිය වීසි කල තරහට පියල් පැන්න ගමන් සුගත්ට පාරක් ගැහුවා . සුගතයත් පියල්ට බිම දාගෙන දෙන්න පටන්ගත්තා . ඔය අතරේ ගමෙ පියල්ගේ පැත්තේ ගමේ කොල්ලෝ ටික සුගත්ව අල්ලගෙන තල්ලු කළා .එතකොටම කැම්පස් එකේ කොලු රැළ එතනට පැනලා ගමේ එකාලට නෙලන්න පටන් ගත්තේ නැතෑ !

ගමේ එවුන්ට ගහනවා බලන් ඉන්න බැරි නිසා අපි හැමෝම අතට අහුවෙච්ච දේවල් වලින් කැම්පස් ඇත්තන්ට ගහන්න පැන්නා .වෙලාවටම මගේ අතට අහු වුණේ කිරි ගොට්ටක් !

මමත් කිරි ගොට්ට අරං කෑගහගෙන වලියට පැන්නා .! කැම්පස් එකේ හිටියේ හොඳට කාපු බීපු පුෂ්ටිමත් කොලු රැළක් . ! අපේ ගමේ හිටියේ නිකං කැඳ බීල්ලා වගේ පාණ්ඩු පාට සෙට් එකක් . ටිකක් හරි ඇඟ පත තියන එකෙකුට හිටියේ මම විතරමයි. .

වලිය නැගලාම යන අතරේ අපේ ගමේ පුස්පෙට කැම්පස් අයියාකෙනෙක් බිම දාගෙන නෙලන්න ගත්තා . අපේ එකා අලුත් බැඳපු එකෙක්. තමන්ගේ බ්‍රෑන්ඩ් නිවු වයිෆ් ඉස්සහරා ගුටි කනකොට දැනෙන හැඟීම කෝමද ? ඒ වුණත් අපේ එකාගේ අලුත්ම වයිෆ් මෝල්ගහක් ආරගෙන වලිය මැදට දුවගෙන ආවා . "එකෙක්වත් මගේ පුස්පෙට අත තියන්නෙපා! කියලා කෑගහන්න ගත්තා. පුස්පේ නැගිටිනවා බොරු ! ඒ මෝල්ගහම උදුරගත්ත කැම්පස් අයියා කෙනෙක් ඒකෙන් හැමෝටම නෙලන්න ගත්තා .

කැම්පස් එකේ ඇත්තෝ අපේ අයට එළවා එළවා ගැහුවා . අපේ අයත් පණ එපා කියලා දිවුවා . අපේ අය දුවන පස්සෙන් මමත් දිවුවා ..වල් ඌරෝ රබං පලනකොට ජපං කුකුලන්ට මගුල් කියනවාලු !කට්ටිය දුවන අතරේ අතරේ උඩහ ගෙදර අප්පු මාමා පියල්ගේ බූලිය සරම අස්සේ ගහගෙන දුවන හැටි ගමේ කීප දෙනෙක්ම දැකලා තිබුණා .

පැනලා දුවපු අපේ ගමේ සෙට් එක වෙල් යාය මැදදී එකතු වෙලා වෙච්ච දේ ගැන සිංහාවලෝඛනයක යෙදෙන්න පටන්ගත්තා .
 
අපේ ගමේ කරුණාපාල මාමා තමයි මුලින්ම කටහඬ අවදි කළේ

"ඕකුං හෙට යද්දී අපි රිටන් එක දෙන්න ඕන !.නැත්තං අපි කෝමද රෙද්දක් ඇඳන් මේ ගමේ ඉන්නේ ?! තොපි ලැහැත්ති වෙයවු !

"
එහෙයි මාමා !”අපිත් නියෝගය ඉහළින්ම පිළිගත්තා

කරුණාපාල මමා කියන්නේ දේශීය සටන් කලාවේ කෙළ පැමිණිය කෙනෙක් . මරුවල්ලී හටන, ඌරා වළේ හටන , අංගම්පොර , නිල ශාස්ත්‍රය ආදී හැම දෙයක් ගැනම හසළ දැනුමක් තිබුණු කෙනෙක් තමයි කරුණාපාල මාමා . තුම්මුල්ල පැනලා පොළොවෙන් අඩි අටක් උඩට ගිහින් පා පහරක් ගහන්න පුළුවන් වුණෙත් කරුණාපාල මාමට විතරමයි .

පහුවදා කැම්පස් එකේ ඇත්තෝ ගෙවල් බලා යන්න හදන කොට අපි කස්ටිය සරම් කැහැපට ගහගෙන අවි ආයුධ අරගෙන බස් නැවතුම් පල වෙත යන පාරේ රැකලා හිටියා .කරුණාපාල මාමා ඉන්න නිසා අපිට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් තිබුණේ නම් නෑ .. ගුරු පාරේ වංගුවෙන් කැම්පස් අයියලා ටික එයාලගේ බෑග් උස්සගෙන එන හැටි අපිට පේනවා .අපිත් සන්නද්ධ වුණා .

"අද නම් කැපස් කොල්ලෝ ටික ගමේ උන්ගෙන් කනවා මදි නොකියන්න . කරුණාපාල මාමා තුම්මුල්ල පැනලා ගහන පා පහරින් කොල්ලෝ කී දෙනෙක් බිම වැටේවිද ? පට්ටම ගති" මම හිතින් ඉමැජින් කලා .

"
මම කියන්න කලින් තොපි එකෙක්වත් ගහන්නෑ හරී“ අපේ ලීඩර් කරුණා පාල මාමා නියෝගේ දුන්නා

කැම්පස් එකේ මල්ලව පොර ක්‍රීඩා කරලද මන්දා යෝධ ඇඟවල් තමා කැම්පස් ඇත්තොන්ට තිබුණේ . මම හිතන්නේ මොනවා හරි විසේස ආහාර වර්ගයක්වත් කැම්පස් එකෙන් දෙනවා ඇති සිසුන්ගේ ශරීර ශක්තිය වර්ධන වෙන්න

කට්ටිය ටික ටික ලං වුණා මම පොඩ්ඩක් වට පිට බැලුවා . අපේ කට්ටිය ටික ටික කැලේ පැත්තට ගියා . මමත් උපක්‍රමශීලීව කාණුවට පසු බැස්සේ අපේ අයත් ප්‍රතිවාදීනුත් අතර පරතරයක් තියාගන්න එක හොඳ නිසා .ළඟටම කිට්ටු වුණාට පස්සේ කැම්පස් අයියලා අතරින් කෙනෙක් අපෙන් මෙහෙම ඇහුවා .

"ආ මොකෝ මෙතන ?”

"
මේ අපි අහරෙට යන්න කියලා මහත්තයෝ . මහතැන්ලා යනවයි !?”

කරුණාපාල මාමා මෙන්න මුං එක්ක කතාව . මුගෙ අ*@#!*&@%

"
ඔවු යන්න කියලා තුන් මාසේ දානෙට ආයෙමත් එනවා !

"
හොඳා හොඳා මහත්තැන්ලට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !! පරිස්සමින් ගිහින් එන්න . ආයිත් එන්නකෝ”

ඔන්න ඔය විදිහට තමයි අපි ලංකාවේ හොඳම කැම්පස් එකක සෙට් එකකට රිටන් එක දුන්නේ ! කරුණාපාල මාමා කියාපු විදිහට අතින් පයින් සටන් කරනවාට වඩා වචන වලින් සටන් කරන එක බලවත් . කොහොම හරි අපි ආපහු ගෙවල් බලා ආවේ වීරයෝ වගේ . !!

"
අනේ උඹලා අර මල් වගේ කොල්ලොන්ට ගැහුවද ?

ගමේ ගෑනු අය එහෙම අහද්දී . අපි උජාරුවෙන් "හෙහ්" කියලා ලෙස්සලා ගියා . ! . අපි කිසිම කෙනෙක් මේ ගැන ආයෙත් කතා කලේ නෑ . කාලයත් එක්කම මේ ගැන හැමෝටම අමතක වෙලා ගියා .හැබැයි කරුණාපාල මාමාගේ හයිරං ගමේ අපට විතරක් බවත් අපට මේ සිදුවීමෙන් පස්සේ තේරුම් ගියා .

දැන් ඉතින් කාලයක් ගත වෙලා තියන නිසා මේ කතාව ලියා දාන එකේ වරදක් නෑ . ඔන්න ඔහොම මම මුහුණ දීපු තවත් එක කතාවක් මේ වගේ නිමා වෙනවා මේ කතාවේ අතින් පයින් දැමිලි නෑ . ගෙදරට වෙලා බීවත් මලගෙවල් වල දානේ ගෙවල් වල ගිහින් නොබී ඉන්න මම තීරණය කරලා ගොඩක් කල් . මත්පැන් බොන පුරුද්දත් දැන් මගේ ජීවිතයෙන් හෙමිහිට ඉවත් වෙමින් යනවා .

අහලා ඇති නේද කතාවක් “අපේ අරක්කු අපිටම ගහනවා" කියලා මේ සිදුවීමෙන් පස්සේ එහෙම කියන්නේ කට කහනවට නොවන වග මට හොඳාකාරවම තේරුම් ගියා .


/ලි: මේ වලියට ආපු අයත් සමහර විට මේ බ්ලොග් එක කියවනවාද මන්දා ?

//ලි . කතාව සිහිපත් කර දුන් කිතුලාට මාගේ ප්‍රණාමය !


කසිප්පු කවි




නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට
ජීවන බර දැනෙයි මහතුනි උපරිමට
සතියේ දින හතම වෙහෙසිය යුතු කලට
මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට

ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ නැති
බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී
ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී
කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී

පිටරට බෝතලය ගන්නට සල්ලි නැත
සැන්ඩි කරලන්ට කෝලා, සෝඩ නැත
බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත
ගමේ අපිට කසිප්පු පමනකි සැපත

නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?
පිටරට බීම ඔබ හට රස ඇති නේද ?
"කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?
ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?

හිල් වූ සරම ඉණ වටකර දවටගෙන
දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන
පතරොම් තුවක්කුව අතකින් දරාගෙන
කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන

හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද
ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද
ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද
උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද

රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්
නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්
උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්
පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන්

සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා

තරු හතරේ පහේ හෝටල වල වැදිලා
පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා
මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා
ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා

ගමේ දේට ගැමියන් කවදත් ළැදිය
රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය
ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය

කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය

  

ප/ලි : ලියන්නා කෙසේ ලීවත් බලන්නා ..................................................

 Image = http://lankagazette.com/security/cavsf-busts-illicit-liquor-den-in-gin-oya/

27.9.11

පාසැලක්ම ගඳ ගැස්සවූ නයා මහත්තයාගේ කිරි වීදුරුව.




"නයා මහත්තයා මේ වතාවේ අපේ ඉස්කෝලෙට එනවැයි කියන්නේ !

ඉස්කෝලේ ස්ටාෆ් රූම් එක ගාව ටකරේ ගහමින් හිටපු අපි කස්ටියට මේ කතාව ඇහුණේ ස්ටාෆ් රූම් එකේ කැඩිච්චි ජලේලෙකින් .

"එහෙනම් ගුරුවරුන්ටත් මොනවා හරි තෑගි බෝග දේවි නේද ?

"මම කොහොමද බං දන්නේ ? මම නයා මහත්තයාගේ ගෑනියැයි !”

"නරක් වෙලා හිටීවි ඒ වගේ රජෙකුගේ ගෑනි වෙන්න ලැබුනොතින් .”

අපේ ඉස්කෝලේ ටීචර්ලා කීප දෙනෙක් අතරේ වෙච්ච මේ දෙබස අපි කට්ටිය හොරෙන් අහගෙන හිටියේ අතින් කටවල් වහගෙන හොරෙන් හිනා වෙන ගමන් ..

නයා මහත්තයා තමයි මගේ පළාතට හිටිය ලොකූම ලොකු සල්ලි කාරයා .මම අහලා තිබුණ විදිහට එතුමා ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයො අතරිනුත් එක්කෙනෙක් .එතුමා ගේ උපන් ගම වුණේ මම මේ ඉන්න පළාත .

ජන්දයක් අත ළඟටම එනකොට සල්ලි කාරයෝ බොහෝමයක් දෙනා ඔකඳ වෙන්න පටන්ගන්නවා . පාරේ යන එන මිනිස්සු එක්ක බලෙන්ම කතා කරන්න පටන්ගන්නවා , කැහි හොටු පෙරාගත්ත කොල්ලෝ කෙල්ලෝ දිහා දයාවෙන් පිරී ගිය දෑසින් බලමින් හිස අත ගාලා අතට ටොපියක් දෙනවා , ගමේ පන්සල අලුත් වැඩියා කරන්න පටන්ගන්නවා , තමන්ගේ මුදලින් පාර හදනවා .

ඒ දවස්වල පොඩි ජන්දේ ළංවුණා විතරයි නයා මහත්තයාටත් ඔය කියන ජනතාව වෙනුවෙන් ඔකඳ වෙන ලෙඩේ වැලඳිලා තිබුණා . මට මතකයි ඒ දවස් වල නයා මහත්තයා ප්‍රදේශවාසීන්ගේ මනාපය දිනාගන්න අනික් අපේක්‍ෂකයොන්ට වඩා වෙනස්ම ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරපු හැටි .

තමන්ගේ බස් කීපය යොදවලා නොමිලේ ප්‍රවාහණ සේවයක් ලබා දුන්නා .. අපි වෙනුවෙන් .!

තමන්ගේ ගෝල බාලයෝ රොත්ත එකතු කරගෙන ගමේ කැඩිලා තිබුණ අලි වැට රෙපෙයාර් කරන්නත් පටන්ගත්තා .. ඒකත් කළේ අපි වෙනුවෙන් .!

ගමේ පාසල් වලට බලෙන්ම ඇවිල්ලා . පොත් පෑන් පැන්සල් පුරවාපු ලොකූ පාර්සල් බලෙන්ම ප්‍රදානය කළෙත් අපි වෙනුවෙන්ම තමයි .

නයා මහත්තයාට ඕන තරම් සල්ලි තිබුණා . දවසට ලක්‍ෂයක් වියදම් කළත් එතුමා බංකොලොත් වෙන්න අවුරුදු 70 යනවා කියලා දවසක් අපේ සීයා මට කීවා මතකයි .එතුමාගේ පෞද්ගලික ලේකම් විදිහට කාලයක් මගේ සීයා කටයුතු කල නිසා සීයට පුළුවන් වුණා නයා මහත්තයා හැරෙනකොට එතුමා ඊළඟට මොකද්ද කරන්න ඉන්නේ කියලා දැනගන්න .

වටේ පිටේ තිබුණු හැම පාසලක් වෙතටම ගිය නයා මහත්තයා ඒ ඉස්කෝල වල ළමයින්ගේ අතට කරට වෛවාරණ බඩු මුට්ටු තෑගි දීලා තිබුණු බව අපිට ආරංචි වෙලා තිබුණා . ඉතින් නයා මහත්තයා අපේ පාසලටත් එනතුරු අපිත් මග බලං හිටියා ..හබැයි අපිටත් වඩා නයා මහත්තයා එනකම් බලාන හිටියේ අපේ ගුරුවරු .

අපේ ඉස්කෝලේ වැඩිහරියක්ම හිටියේ දුප්පත් දෙමාපියන්ගේ ළමයි . පොත් පත් ගන්න අලුත් රෙදි ගන්න සපත්තු ගන්න සල්ලියබාගේ යහමින් නොතිබුණු ළමයි .! කොයි කරුවුරු හරි කමක් නෑ අපිට පිනට යමක් ගෙනල්ලා දෙනවා නම් අපිට ඒ මිනිහාව පෙනුවේ සර්ව බලධාරී දෙයියෙක් වගේ . ඉතින් පන්තිවල කොට බිත්ති වලින් එපිට බලාගෙන අපිත් නයා මහත්තයා සහ එයාගේ තෑගි මල්ල අරගන්න හීන මැවුවා .

ඔන්න ඉතින් දවසක්දා අපි බලාන හිටි දවස එළඹුණා .! සඳුදා දවසක උදේ රැස්වීමේදී කියැවුණේ තව දවස් දෙකකින් නයා මහත්තයා අපේ පාසලට වඩින බවත් , එතුමාව පිළිගන්න හැම ළමයෙක්ම සැදී පැහැදී ,නැවී බරවී සිටිය යුතු බවත් .අපේ විදුහල්පති තුමාගේ අණ පරිදි එතැන් සිට ගතවුණු දින දෙකක කාලය පාසල හා ඒ අවට පිරිසිදු කිරීමටත් . නයා මහත්තයා පිළිගන්න ගීතයක් නිර්මාණය කිරීමටත් . මකර තොරණක් ගැසීමටත් . පාසලට අවැසි බඩු මුට්ටු ලැයිස්තුවක් සැකසීම සඳහාත් ගත කළයුතු වුණා .

ඔය කාලය තුළ පිරිමි ළමුන්හට පාසැල සුද්ද බුද්ද කිරීමේ වැඩ කටයුතු භාර වුණු අතර . ගැහැණු ළමුන්ට සැරසිලි කටයුතු භාර වුණා . ගුරුවරුන්ට භාර වුණේ නයා මහත්තයාගෙන් ඉල්ල්ලා සිටීමට පාසලේ අඩු පාඩු ලැයිස්තුවක් සැකසීම. එතකොට ගුරුවරියන්ට පිළිගැනීමේ ගීතයක් ලිවීමත් නයා මහත්මයා ඉදිරියේ ඒක ගායනා කිරීමත් භාර වුණා .

දවස් දෙකක් විතර වෙහෙසිලා අපි අපේ පාසලට සුපිරි පෙනුමක් ලබා දුන්නා .! පාසලට එන පාර දෙපස මල් හබරල ගස් හිටවලා ඒවා මේ අද ඉයේ හිටවාපු බව නොපෙනෙන්න ඇළෙන් සුදු වැලි ගෙනල්ලා පාර දිගටම දැම්මා ..

දැන් හැම දේම සූදානම් . නයා මහත්තයා ආවට පස්සේ හැසිරෙන්න ඕන හැටි ගැන අපිට ගුරුවරු කීප දෙනෙක් විසින් විශේෂ පුහුණුවකුත් ලබා දුන්නා . ඒ වගේම මේ පුහුණුව පිළිබඳ කිසිම තොරතුරක් පිටතට නොයවිය යුතු බවටත් අපෙන් පොරොන්දුවක් ගත්තා . ඒක නිසා මම ඒ පුහුණුව ගැන වචනයක්වත් මෙතන සඳන් නොකර ඉන්න ප්‍රවේසම් වෙනවා ..

දවස් දෙකකට පස්සේ අපි ඇඟිලි ගනිමින් හිටි දවස උදා වුණා .! අපි හැමෝම වෙනදාටත් වඩා උදෙන්ම පාසල් ගියේ අමුතුම හැඟීමක් හිත දරාගෙන . වෙනදානම් සඳුදා දිනවල පමණක් පැවැත්වෙන උදේ රැස්වීම එදා නයා මහත්තයා වෙනුවෙන්ම සූදානම් කෙරිලා තිබුණා .

අපි පෙරමග බලාන ඉන්න අතරේ එකපාරටම පිඹගෙන ආපු මාළු පාන් ගෙඩි වගේ හුරතල් වාහන පෙළක් අපේ පාසලේ කැඩිච්ච ගේට්ටුව ගාව නතර වුණා . අපි පාරට දාපු සුදු වැලි ඒ වාහන ආපු වේගය නිසා දූවිල්ලක් ඇවිස්සුලා සුදු පාට දුමාරයක් වගේ අහසට නැග්ගා ..

මට හොඳටම මතකයි මේ අද වාගේ ! නයා මහත්තයා ඒ දූවිලි පාර මැදින් එකවරම මතුවුණු හැටි . හරියට ඇක්‍ෂන් ෆිල්ම් එකක වීරයා අන්තිම සටනට එනවා වාගේ තමයි එතුමා දූවිල්ල මැදින් මතු වුණේ . මැසින් තුවක්කුද බයිනෙත්තුද . කර පින්නාගත්ත සහායක ඩැනීලා දෙදෙනෙක් දෙපස තියාන නයා මහත්තයා අපි දිහාට ආවා ..

එතකොටම පෙරමඟට දුවලා ගියපු අපේ ටීචර්ලා කට්ටිය . පිළිගැනීමේ ගීය ගායනා කරන්න වුණා .මේ සිදුවීම වෙලා දැන් කොයිතරම් කාලයක් ගත වෙලාද ? ඉතින් මට හරියටම පිළිගැනීමේ ගීතය මතක නෑ මතක හැටිය තමා මම මේක සඳහන් කරන්නේ ..

හත් වලාමේ පාසල් පොජ්ජ අපෙ දුප්පත්ව ඇත මිරිකිලා //
ඒ අපේ දුක ගෙනියන්න එන ඔබ අපේ ගැලවුම් කරු තමා
නයා මහතුනි ඔබේ ගුණ කඳ කවියකින් ගයනෙමි මෙසේ
කවිය අසලා දෙන්න අපහට ඔබේ ආධාරය උඩින් //
උඩින් ... උඩින් //




පිළිගැනීමේ ගීතය කියලා ඉවර වෙලා ටීචර්ලා තමන්ගේ අතේ තියාගෙන හිටපු පොඩි පොඩි මල් මාලා නයා මහත්තයාගේ ගෙල වටේ දාන්න පටන්ගත්තා . එතුමාගේ නළල තෙක් ඒ මල්මාලා පිරුණා .බකස් ගාලා අපිට හිනාවක් යන්න ආවත් අපි ඒ හිනාව තදකරගෙන හිටියේ පුදුම අමාරුවකින්.

ඉස්ටේජ් එකක් වාගේ හදලා තිබුණු අපේ ගඩොල් ගොඩ උඩට නැගපු අපේ නයා මහත්තයා අපි වෙනුවෙන් කතාවක් කරන්න පටන්ගත්තා ..ඒ කතාවේ වැදගත් හරිය විතරක් මම සඳහන් කරන්නම් . මට මතක හැටියට .

විදුහල්පති තුමනි, ගුරුවරුනි, දරු දැරියනි !

"ඔබ සැම දෙනාම දන්නවා මම කවුද මොනවද කරන්නේ කියන වග . මම මේ හැම දෙයක්ම කරන්නේ ඔබලාට සැප දීමටයි . අදත් මම ආවේ ඔබ සැම දෙනාටම සැපක් දීලා යන්න . මම අද ඔබ සියලු දෙනාටම තෑගි ගොඩාරියක් පිරි නමනවා . දයාබර දුවේ පුතේ මේ වගේ තෑගි හැමදාම ඕන නම් ඔබේ අම්මට තාත්තට ගිහිං වද කරන්න . අනේ තාත්තේ , අනේ අම්මේ නයා මහත්තයාව ජන්දෙන් දිනවන්න කියලා , ගිහින් අඬන්න … කොහොම හරි මාව දිනවලා දෙන්න ..! ඉතින් ගන්න මේ තෑගි පාර්සල් දිනවන්න මාව “

පැයක් හමාරක් පැවැත්වුණු නයා මහත්තයාගේ කතාව හරිම හැඟුම් බරයි ඒ කතාවට අපි කාගෙත් නෙත් තෙමීගියා ..එතුමා දීපු පොත් පෑන් පැන්සල් අපිට රටක් වටින බව නම් නොකියාම බෑ (සිරාවට)

එතුමා ආයෙත් කතාව පටන්ගත්තා ,,

"මගේ කතාව අහගෙන මෙතන පැය ගාණක් හිටගෙන හිටි ඔය දරුවන්ට මම පොඩි සංග්‍රහයක් කරන්න කැමතියි"

එහෙමෙ කියලා නයා මහත්තයා අතින් පොඩි සිග්නල් එකක් දුන්නා . එතකොටම ලොකූ බවුසරයක් පස්සට පස්සට රිවර් කරමින් ඇවිල්ලා අපේ පාසල් වත්ත ඇතුළේ නතර වුණා ..!

"මේ යකා අපිට වතුර පොවන්නද යන්නේ ? “

මට වගේම අනික් ළමයින්ටත් ඇතිවෙච්ච ගැටලුවක් තමයි ඒක . ඒත් ප්‍රශ්නයට විනාඩියකින් උත්තර ලැබුණා .

"යන්න ළමයි පෝලිමට ගිහින් අර බවුසරන් කිරි කෝප්පයක් බොන්න ..මේ පාසල හරිම දුෂ්කර පාසලක් . කොළඹ ළමයි වගේ මේ ළමයි සැප විඳින්නේ නෑ නේ . හැමෝම කියනවා කොළඹට කිරි ගමට කැකිරි කියලා ඉතින් ඔන්න මම ඔයාලටත් කිරි ගෙනාවා යන්න දරුවනේ බොන්න ..”

අපි කොල්ලෝ සෙට් එකම ප්ලාස්ටික් කෝප්ප අරගෙන පෝලිමේ කිරි බවුසරේ ගාවට ගිහිං සමූපේ බඩු ගන්න ඉන්න ගැමියෝ වගේ පෝලිමේ තෙරෙපෙමින් හිටියා . කෙල්ලෝ ටිකත් වෙනම පෝලිමක් හදාගෙන ත්‍රීපෝස ගන්න පෝලිමේ පොදිකන අම්මන්ඩිලා වාගේ නොයිවසිල්ලෙන් බලාන හිටියා ..

චිහ් ! කොහේ ගියත් අසාධාරණේ... පීඩිත පන්තියේ එකා කොතන ගියත් තැලෙනවා !!

අපි කිරි පෝලිමේ ඉන්න අතරේ අතරේ එතන වෙච්ච අසාධාරණයක් ගැනත් නොකියාම බෑ .

ගුරුවරුන්ගේ ළමයින්ට ගුරුවරු කිරි කොප්ප දෙක තුන පොවමින් හිටියා .. "අනේ අම්මේ මට ඇති" කියද්දී පවා "බිපිය මේක ආයේ මේවා ලැබෙන්නෑ" කියමින් ගුරුවරියෝ තම දරුවන්ට බඩවල් පැලෙන්න කිරි පොවන්න ගත්තේ අනික් ළමයි පෝලිමේ වේලෙන බව අමතක කර දමමිනුයි ..

උත්සවේ ඉවරයි කිරි බවුසරෙත් ඉවරයි !. අපි අපේ තෑගි පාර්සලුත් අරගෙන පන්තියට ගියා . ඒ කාලේ හැටියට රුපියල් දාහක් විතර වටින තෑගිමල්ලක් එතන තිබුණා . මොන චේතනාවෙන් දුන්නත් ඒ තෑගි මල්ල වෙනුවෙන් අපි නයා මහත්තයාට හදවතින්ම ස්තූති කළා

විනාඩි තිහක් විතර ගත වුණා . මම හිටියේ මට හම්බුවෙච්ච අලුත් කවටු පෙට්ටියේ හැඩ බලමිනුයි .ඒත් එතකොටම මට අමුතුම හැඟීමක් දැනෙන්න පටන්ගත්තා . ඒ හැඟීම මට නිතරම දැනුනත් මේ තරම් තදට ඒ හැඟීම දැනෙන්නේ නම් කලාතුරකින් තමයි ..

කෙටියෙන්ම කීවොත් මගේ බඩ රිදෙන්න ගත්තා .මම මොහොතක් ඉවසලා බැලුවා මේ වේදනාව අඩු කරගන්න හැකි වේවිද කියලා කොහෙද ? බඩ රිදීම තත්පරෙන් තත්පරේ වැඩි වුණා විතරයි අඩු වුණේ නම් නෑ .මම වට පිට බැලුවා . මට හීන් දාඩිය දැම්මේ එතකොට

මම ඉන්නේ පන්තිය මැද මේ පන්තිය මැද්දෑවෙදී මට එළි බහින්න ඕනෑ වුණොත් ? දෙයියනේ මම මොකද කරන්නේ .. කලිසමේ මල පහ වුණොත් ? මම හිත හිතා හිටියේ නෑ . තත්පරයක්වත් පමා වුණෙත් නෑ

තනිරූල් පොතක මැද පිටු කීපයක් කඩාගත්ත මම කුරුල්ලෙක් වගේ ඉගිලුණා ළඟ තිබ්බ කැලෑ රොදට . අපේ පාසල වටේටම තිබුණේ මහා ගල් පරුවතවලින් ගහන කැලෑරොදක් . මුලු පාසලටම කියලා තිබුණේ එකම එක කක්කුස්සියක් විතරමයි . ඒකත් භාවිතා කළේ ගුරුවරුම විතරයි යතුර තිබුණේ ලොකු සෑර් ගේ අතේ .. ඉතින් ඒක නිසා මම එළි බහින්න දිවුවේ වැට මායිමේ තිබුණු කැලෑවට ..

කිසිම ප්‍රශ්නයක් නැතුව මම නිදහසේ විනාඩි පහළොවක් විතර මගේ කාරිය කරලා දැහැමෙන් සෙමෙන් ආයෙමත් පාසල වෙතට පිය මැන්නා ..මම මගේ පන්තිය වෙතට යද්දී මම වෙනදා නොදුටු වෙනසක් දුර තියාම දැකගත්තා ..

කොල්ලෝ පණ කඩාගෙන දුවනවා කෙල්ලෝ ඩෙස් එකට ඔළුව තියාගෙන අඬනවා .එතකොට මට තේරුම් ගියා මේ බඩේ ගාය වැලඳිලා තියෙන්නේ මට විතරක් නොවෙන වග . මට එකපාරම මතකෙට ආවේ වුණේ නයා මහත්තයා දුන්න කිරි කෝප්පේ !. හරි අපි හැමෝම කිරි බීවනේ දැන් කස්ටියටම බඩ යනවා නන්ස්ටොප් ..!

ගුරුවරු පේන්නවත් නෑ .. කෙල්ලොන්ට පන්තියෙන් නැගිට ගන්න බැහැ ඇඳුම් වලම ගිහිල්ලා . සමහර කොල්ලන්ගේ තත්වයත් ඒකමයි . බොහොමයක් කොල්ලෝ මම වගේ ළඟ පාත තිබුණු කැලෑවට දුවන්න ගත්තා .

ඔන්න ඔය අතරේ ආයෙමත් මගේ බඩ දෙදරවාගෙන එන්න ගත්තා .. මම ආයෙමත් ගිහින් නතර වුණේ කැලෑ රොද ඇතුළේ . ඒත් මේ වතාවේ මම හිටියේ තනියම නෙවේ අපේ පාසලේ ලොකු පොඩි කොල්ලෝ හැමෝම තැන් තැන්වල ඉඳගෙන මූණ ලේන්සුවෙන් වහගෙන හෝ ගාලා වැඩ . මොනවා කරන්නද මමත් මූණ වහගෙන හිස් තැනක් බලලා ඉඳගත්තා ..අපිට ලැජ්ජ්ජා වෙන්න කිසිම හේතුවක් තිබුණේ නෑ අපි මූණ වහගෙන නෙව හිටියේ !

පස් වතාවක් විතර කැලේට ගෑටුවාට පස්සේ මගේ බඩේ ලෙඩේ නතර වුණ .පන්තියේ ගෑනු ළමයි ගැන මම මෙතන සඳහනක් කරන්න කැමති නෑ . ඒ අයට සෑහෙන ලොකු දුකක් විඳින්න වුණු බව නම් නොකියාම බෑ . හැබැයි ඔය අතරේ සමහර කොලෝ කීප දෙනෙක් හිටියා ගානක්වත් නැතුව . උන් උපතින්ම ජරාව කාලා බඩවල් ඕන දේකට හැඩ ගස්සවාගෙන හිටපු එවුන් වෙන්න ඇති .

ඔය අතරේ බඩ ගිහිං ගිහිං අන්තිමට නැගිට ගන්නවත් බැරි කොල්ලෝ කීප දෙනෙකුත් හිටියා එයාලා තමයි අර ගුරුවරුන්ගේ දරුවෝ .එකක් කෝප්පයක් බීව මට මෙහෙම නම් අම්මලා බලෙන්ම පොවාපු කිරි කෝප්ප තුන හතරක්ම බඩට වැටුණම කොහොමට තියේවිද කියන එක මට තේරුම් ගන්න පුළුවන් වුණා මට උන් ගැන ඇත්තටම දුක හිතුණා

ඔය විදිහට මහා ඛේදවාචකයක් අවසන් වුණා . අපේ විදුහල්පති තුමා අවංකවම අපි ගැන දුක් වුණා කිරි නොබී නිසා එතුමාට කිසිම අපහසුතාවයකට ලක් වෙන්න සිදුවුනෙත් නෑ . එතුමා නයා මහත්තයාව හොයාගෙන ගිහිල්ලා අමු සිංහලෙන් බැණ වැදුණු බවත් අපිට පසුව ආරංචි වුණා .

ඇත්තටම වෙලා තිබුණේ නයා මහත්තයාගේ වරදක් නෙවෙයි . කිරි කොම්පැනිය අපිට කල් ඉකුත් වෙච්ච කිරි බවුසරයක් ලබා දීපු එකයි .කිරි කාරයන්ගේ නොසැලකිල්ලට නම් එයාලට දඬුවම් ලැබුණා නයා මහත්තයා විසින් නඩුවක් දාලා ඒ කිරි කොම්පැනි කාරයාගේ බලපත්‍රය අහෝසි කළා ..ඉතින් අපි කිසිම කෙනෙක් නයා මහත්තයා ගැන අහිතක් හිතුවේ නෑ ..මේ බඩේ ලෙඩේ පිටින් දාලා අපි දවස් ගණක් ඉස්කෝලෙ නොගිහින් ගෙදරට වෙලා ජොලියේ හිටියා .

අන්තිමට හැමෝම ඉස්කෝලේ අපු දවසක උදේ රැස්වීමේදී මේ කතාව මතක් කරලා අපිව ආයෙමත් හිනා ගස්සන්නත් අපේ ලොකු සර් අමතක කළේ නෑ ..අහල පහළ ඉස්කෝල වල කොල්ලෝ අපේ ඉස්කෝලෙට අලුත් නමකුත් පට බැන්ඳා ඒත් අපිවත් අපේ ඉස්කෝලේ ගුරුවරුවත් යන්තම්වත් දුක වුණේ නෑ .. අපිට මේ සිදුවීම මතකෙට එන එක ජොලියක්ම වුණා …!

නයා මහත්තයා ජන්දෙන් පරාද වුණේ අපි කවුරුවත් නොහිතපු විදිහට .. ඒත් නයා මහත්තයා මහ පුදුම මිනිහෙක් ජන්දෙන් පරාද වුණත් තමන්ගේ පෞද්ගලික ධනය යොදවලා ගමට පළාතට සේවය කරන්න පටන්ගත්තා . අදටත් ඒ මනුස්සයා මගේ ගමට සිදු කරන සේවයේ නම් අඩුවක් නෑ .. ජන්දෙකින් දිනන්න ඕන අන්න ඒ වගේ රත්තරන් මිනිස්සු ..

මේ සිදුවීම ටයිප් කරන අතරේ මම කී ගමනක් හිනා වෙන්න ඇත්ද ? . මම යාළුවෝ කීප දෙනෙකුටත් කෝල් කරලා මගේ පරණ මතකය අප්ඩේට් කරගෙන තමයි මේ කතාව ලීවේ . මොන දේ වුණත් මම ඒ පරණ අතීතයට ආසයි . මේ ලියැවුණේ තවත් එක පරණ පාසල් මතකයක් . පාසලේ මතකයන් නම් ඕන තරම් . එත් ලියන්න පුලුවන් තරමේ ඒවා තියෙන්නේ අතලොස්සක් විතරමයි ..



/ලි . අතින් පයින් පොඩි පොඩි දේවල් ටිකක් දාලා කතාව සමබර කළත් . මේක මම ගොතාපු කතාවක් නෙවේ මේ මම ඉස්කෝලේ දහය වසරේ ඉද්දී මුහුණ දීපු සත්‍ය සිදුවීමක් .

නම් ගම් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර ..කතාව සම්පූර්ණ සත්‍යකි .