Showing posts with label කතන්දර. Show all posts
Showing posts with label කතන්දර. Show all posts

20.9.12

ලක්‍ෂ පනහක සුවඳ


කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා මට හිතාගන්න බෑ . මේ කතාව ලීවට පස්සේ මේක කියවන අය මේකෙ ඇත්ත නැත්ත මගෙන් හාර අවුස්සලා අහන එක තමා මට රුස්සනෙම නැත්තේ. එහෙම උදවියට මම මුලින්ම උත්තරයක් තියන්නම්කෝ . එක්කෝ මේක මට වෙච්ච ඇත්තම සිද්ධියක්, එකෝ මේ මම ගොතාපු කතාවක් .


මේ හැම දේකටම මුල තමයි මම වැඩ කල ආයතනයේ පොඩි මූල්‍ය අර්බුදයක් වෙලා මගේ පඩියට තට්ටු වෙච්ච එක . එදා ඉඳන් මාස ගණනක්ම මට ජීවත් වෙන්න වුණේ අම්මගෙන් ඉල්ලගන්න සල්ලි වලින් . අතට හම්බු වෙන හැම රුපියලක්ම කොයිතරම් වටිනවාද කියලා මට තේරුම් ගියෙත් මේ සිද්ධියෙන් පස්සෙයි . ගෙදරට බරක් වෙලා ඔය විදිහට ජීවිතේ ගෙවන අතරේ ගාණක් හොයාගන්න මම නොකරපු දෙයක් නැති තරම් . කොහොමින් කොහොම හරි පහු පහු වෙද්දී රුපියල් දෙදාහකින් මාසෙ ගෙවාගන්න තරම් අති දක්‍ෂයෙක් වෙන්නත් මට පුළුවන් වෙච්ච බව නම් නොකියාම බෑ .

ගෙදරට වෙලා නිකම්ම ඉන්න බැරි තැන ගමේ ගෙදරක වැඩ පලකට යාළුවෙක් එක්ක ගිහින් උදවු වෙලා ගානක් හොයාගන්නත් මම පුරුදු වුණා . පිරිත් කොටුවක් ගහලා , මගුල් ගෙදරක උදවු පදවු කර දීලා , කැඩුණු පරිගණකයක් හදලා දීලා මම මගේ ගාන හොයාගෙන ජීවිතේ ගෙවාගත්තා . මේ කියන්න යන කතාවට මුල් වුණෙත් මම සල්ලි හොයාගන්න කල එක වැඩක් . 


දවසක් මම බීඩියක් උරන්න උඩහ ඇල පැත්තට ගිහින් බිං කළුවර වැටෙන වෙලාවේ ගෙදරට එමින් හිටියා . මී හරකුන්ගේ ඇඟේ වහන ගොං හපුටෝ මගේ මූණ වටේ කරකැවෙමින් මට කරදර දෙන නිසාම මෙන්ටේරිය කොළ අත්තක් වනමිනුයි මම එන්න ආවේ . කරුණා අක්කලාගේ ගෙදර කිට්ටුව මහ සියඹලා ගහ යටට මම එනකොටම මම දන්න කියන මගේ මිත්‍රයෙක් අඩි පාරක ඉඳන් ඇවිදින් මගේ මූණටම මුණ ගැහුණා . ඒ ඇවිදින් උන්නේ මගෙ හොඳ මිත්‍රයෙක් වෙච්ච තරිඳු . අපි ඌට ආදරේට කීවේ තලයා කියලා .. !

"
සඳරුවා මම මේ උඹව හම්බුවෙන්න කියලා උඹලෑ ගෙදරත් ගිහින් එනගමන් . උඹලෑ ගෙදරින් තමා කීවේ උඹ මෙහාට ආවා කියලා ." 

තරිඳු එහෙම කීවම මම හිතුවේ සුවර් එකටම මගෙන් ගාණක් කපාගන්න මාව හොයනවා ඇති කියලයි .

"
අනේ මචං සල්ලි වලින් නම් බෑ ඕං . සෙට් වෙන්නත් බෑ මේ දවස් වල ලෙලි ගිහිං ඉන්නේ ..!"

"
කවුද යකෝ සල්ලි ඉල්ලුවේ . ? තොගෙ සල්ලිය තියාගං . තොපිට කතාකරන්න ආවට අපේ කටවල් වල හුඹස් බඳින්න් ඕනෙ ."

තරිඳුවගේ මූණටම සල්ලි ගැන කීවට මටත් ටිකක් විතර හිතට හරි නෑ . ඌ මගෙන් කීප වංගියක් සල්ලි නම් අරගෙන තියනවග ඇත්ත ඒත් ඌ ඒවා නියම වෙලාවට පියෙවුවා . සෙට් වුණ වෙලාවට වුණත් තරිඳු මටත් එක්ක සල්ලි දාලා බජට් එක සමබර කරපු වෙලාවල් අනන්තයි .

"
කියපං තරිඳු මගෙන් මොනා වෙන්න ඔනෙ ?"

"
මචං උඹගේ ෆෝන් එකවත් වැඩ නෑනේ .."

"
ෆෝන් එකේ බැටරිය සවුත්තු වෙලා බං උඹ කියපං . මොකක්ද කේස් එක ?"

"
පොඩි වැඩකට උඹව සෙට් කරගන්න කියලා .."

තරිඳුවා කොහොමත් හිත හොඳ එකා . මට මතකයි එක කාලයක් ඌට රස්සාවක් ඕනෙ වෙලා ඉන්නකොට මම ඌට මම දන්න කියන තැනක රියදුරු රැකියාවක් හොයලා දුන්නා . පස්සේ ඒ රැකියාවත් උගේම විසේ නිසා නැති කරගත්තා වුණාට මට කෙලවෙලා ඉන්න මේ කාලේදී තරිඳුවා මටත් වැඩ කීපයක්ම සෙට් කළා . ඉතින් තරිඳු අරගෙන ආපු මේ වැඩෙත් මොකක් වුණත් කරනවා කියලා මම හිත හදා ගත්තා .

"
මොකක්ද මචං වැඩේ .. ?"

"
පොඩි ගොඩ දැමිල්ලක් තියනවා හරියටම හරියාවි පරම්පරා හතක් ගොඩ , පොලිස් කේස් ආමි කේස් මුකුත් නෑ .." 

මම ගැස්සිලා ගියා . ගොඩ දැමිල්ලක් කියන වචනේ ආයේ මට තේරුම් බේරුම් කරන්න ඕනෙ වුණේ නෑ .. තරිඳු ඒ කීවේ නිධානයක් ගැන .

"
අනේ මචං ඔවුවට නම් එන්න බෑ උඹ යන්නත් එපා .මම උඹට යන්න දෙන්නෙත් නෑ ."

"
උඹට එන්න බැරි නම් අවුලක් නෑ ඒත් උඹ කාටවත් කියන්න එපා . උඹ නෙවේ කවුරු කීවත් මේ වැඩේ මම නම් කරනවා . මොකද මම දන්නවා මම මේ කරන්න යන්නේ හොර කමක්වත් වංචාවක් වත් නෙවෙයි කියලා ."

"
මොකද යකෝ හොර කමක් නොවෙන්නේ ?"

"
මචං මේක තියෙන්නේ එකෙක්ගේ ගෙදර වත්තේ .. ඌත් එක්ක අපි එකතු වෙලා තමයි මේක ගන්නේ .."

"
ඇයි වත්ත අයිති කාර ගොයියට තනියෙන් ගන්න බැරුවටද උඹලා යන්නේ ?"

"
මේ වැඩේට පිරිමි හයක් ඕනෙ . එක ගෑනියෙක්වත් ගන්න බෑලු . ඒකයි මේ වැඩේට අපිත් යන්නේ" . දෙලොවක් අතර හිරවෙච්ච මම කරකියාගන්න දෙයක් නැතිව ටිකක් වෙලා මොනවා කියන්නද කියලා හිතමින් උන්නා . අන්තිමේදී මම තීරණය කලා මේ ගැන තව ටිකක් හිතලා බලලා තීරණයක් ගන්නවා කියලා . 

එදා මම ගෙදර ගිහින් පරිගණකය ඉස්සරහාපිට ඉඳගත්තාමයි මට මතක් වුණේ මගේ අන්තර්ජාල සබඳතාවය මුදල් නොගෙවීම නිසා විසන්දි කරලා තියන විත්තිය . කන්න නැතත් බොන්න නැතත් කොහොමද අප්පා අන්තර් ජාලේ නැතිව ඉන්නේ ? . මට පිසු හැදෙන්නයි ගියේ . දැන් ඉතින් තරිඳු ගෙනාපු වැඩේට බහිනවා ඇරෙන්න ආයේ කරන්න දෙයක් නෑ . මම හිතුවාට වඩා ඉක්මනින් ලේසියෙන් මගේ තීරණය අරගත්තා . මම එවේලෙම තරිඳුවාට කෝල් එකක් දුන්නා .

"
තරිඳු කොහේ බං ඕක තියෙන්නේ ?"

"
මුලිං වචනේ දියංකෝ එනවද නැද්ද කියලා ."

"
එන්නං හැබැයි මේ මායිමේ විතරයි කැලෑ අස්සෙයි හැතැප්ම ගණං දුර ගම්මාන වලයි නම් මොනා තියනවා කීවත් මම නම් එන්නේ නෑ . අනික තමයි දැං ඔය සෙට් වෙලා ඉන්න අනික් එවුන් මට දිරෙවුවේ නැත්තම් මම ඒත් එන්නේ නෑ . "

"
තියෙන්නේ මේ ළඟපාත මම ඇරුණම උඹ තව දන්න කියන පස් දෙනෙක් තමා ඉන්නේ . තව ගුරුන්නාන්සේ කෙනෙකුයි උගේ පුතයි එනවා . උඹට මම හෙට කෝල් එකක් දුන්නාම හිච්චිලාගේ ගෙදරට වරෙන් . එතකොට සේරම දැන අඳුනගෙන කතාව කරගෙන ගිය හැකි ." 

තරිඳුගේ වැඩේ භාරගත්තාට මොකද මගේ හිතට මහ බරක් දැනෙනවා ඒත් එක්කම හිත ඇතුළෙන් අමුතු සතුටකුත් ඉඳන් හෙමිහිට හිනා වෙනවා . ඔය ඔක්කෝම නිසා ඇතිවෙච්ච පීඩනයට මන්දා මට දෙතුන් වතාවක් කක්කුස්සියට යන්නත් වුණා . ජීවිතේ තියෙන්නේ විඳින්න නම් මොකටද අපි විඳවන්නේ . කටවත් අයිති නැති දෙයක් නෙව අපි ගන්න යන්නේ . ඉතින් මොකටද තවත් කතා . ඔය වගේ කතා වලින් මම මගේ ගැහෙන හිත සනසාගත්තා . 

පහුවදා දවල් දෙක වෙනකොටත් මට තරිඳුගෙන් කෝල් එකක් නම් ආවේ නෑ . ඉවසිල්ලක් නැතිව හිටිය මම බලාන ඉඳලා බැරිම තැන ඌට කෝල් එකක් දුන්නා .

"
තරිඳු මොකෝ වැඩේ ?"

"
ආ සඳරු තව විනාඩි පහකින් විතර මම එන්නම් . ලැහැත්ති වෙලා ඉඳපන් . මගේ ෆෝන් එකේ සල්ලි නෑ ඒකයි ගන්න බැරි වුණේ ." 

ටික වෙලාවකින් තරිඳු ආවා . මමයි ඌයි දෙන්නා අපේ ගෙවල් වලට ටිකක් විතර දුරින් ඉන්න හිච්චි කියන අපේ යාලුවාගේ ගෙදරට ආවා . අපි හිච්චිලාගේ ගෙදර යනකොට ගෙයි පිළිකන්නේ තවත් කීප දෙනෙක් වාඩිවෙලා උන්නා . 

එක්කෙනෙක් තමා ගමේ කා අතරත් හොඳ නමක් තියාගෙන උන්නු රුක්මන් මහත්තයා . මිනිහා මගෙත් එක්ක නම් වැඩියෙ කතා බතා කරලා නෑ . ඒ ඇරුණාම සුනන්ද අයියත් , සේන අයියත් හිච්චිත් පිළිකන්නේ වාඩිවෙලා අපි එනකම් බලාන උන්නා . වෙනදා වගේම මමයි තරිඳුවයි තමා සෙට් එකේ බාලම එවුන් වුණේ . අපි කට්ටියම හිච්චිලගේ ගෙයි ඇතුළේ ප්ලාස්ටික් පුටුවල ඉඳගත්තාම රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .

"
දැන් ඔයාලා මෙතන වෙන දේ හොඳට දන්නවා නේ .."

"
රුක්මන් මහත්තයා ඇදලා පැදලා එහෙම කියනකොට සේන අයියා අයියා කට කැඩිච්චි කතාවක් කීවා ."

"
මොනා හරි බොන ගමන් කතා කරන්න තිබුණා නම් තමා හොඳ ."

"
රුක්මන් මහත්තයාට කේන්ති ගියා වුණත් එයා ඒ වගක් නොපෙන්වා කතා කළා"

"
වැඩේ ඉවර වෙනකම් අරක්කු කටේ තියන්නෙපා . අනික තමයි මුලින්ම මම කියන දේ හොඳට අහගෙන ඉන්න" 

රුක්මන් මහත්තයා වට පිට බැලුවේ ගෙදර කවුරුත් ඉන්නවද කියලා. හිච්චිගේ අම්මා වැඩට ගිහින් නිසා ගෙදර දවල්ට ඉන්නේ හිච්චි විතරමයි ඒ නිසාමයි ගමේ කොල්ලො කවුරුත් මලක් ඔතන්න බෝතලයක් කඩන්න පැණියක් බොන්න හදිසියකට තිප්පොල කරගෙන තිබුණේ . කවුරුත් ගෙදර නැති වග සහ සුද්දෙන්ම දැන කියා ගත්ත රුක්මන් මහත්තයා කතාව පටන්ගත්තා .

"මල්ලිලා අපේ ගෙයි වත්තේ පහළ කෑල්ලක පොඩි ගලක් තියනවා. අපේ තාත්තා එහෙම ඔය ගලේ දේව රූප කොටලා තියන නිසා පහන් හිටන් පත්තු කළා . මම දවසක් නිකමට වගේ ගුරෙක් ගෙන්නලා පොඩ්ඩක් බැළෙවුවා ඌ කියනවා එතන සෑහෙන වටින දෙයක් නිධන් කරල තියනවා ඇති කියලා . ඊට පස්සේ අපි පාතාල අඳුනක් බැලුවා . ඒකෙන් කියවුණේ එතන වටින දෙයක් තියනවාය පිරිමි හය දෙනෙක් ඒ ගොඩ ගන්න දේට අත ගහලා ගොඩ ගන්න ඕනෙය කියලා . ඒකයි මම උඹලව සෙට් කරගත්තේ . මගේ නෑයොන්ට වඩා මට තරිඳු , සේනක , හිච්චි මල්ලියි සුනන්දයි ෂුවර් , අපි සෙට් එකම කතා වෙලා තමයි සඳරු මල්ලිව මේකට ගාව ගත්තේ .. මල්ලි උඹ මේවට අකමැති නම් ගිය හැකි . අපේ කිසි අවුලක් නෑ .."

"
නෑ රුක්මන් මහත්තයා මම වචනේ දුන්නා නේ මම ආයේ යන්නේ නෑ"

"
එහෙනම් එච්චරයි අපි ගන්න දේ මගේ ඉඩමේ තියන නිසා වටිනාකමෙන් භාගයක් මට අනික් බාගේ ඔයාලා බෙදාගන්න . ඒක සාධාරණයි නේද ?" 

ඔන්න ඔය විදිහට තමයි අපි කට්ටිය මහ අමුතුම වැඩකට අත ගැහුවේ මම අතගහල තියන වැඩත් එක්ක බලද්දී මේක තමා මම මගේ ජීවිතේටම කල අවදානම් වැඩිම දේ . යන්තම් වැරදුණොතින් කපෝතියි . ඒත් හරිගියොත් ගොඩම තමයි . ඒකත් නිකම්ම නිකම් ගොඩ යාමක් නෙවෙයි පරම්පරා හතක්ම ගොඩ යාමක් .

                                      මතු සම්බන්ධයි



ප/ලි - ලියන්ඩ බැරි වුණාට සමාවෙන්ඩ ඕනෙ . හිත නිදහස් නැතුව කොහොමද ලියන්නේ . දැන් නම් හිතේ නිදහස එමට තියනවා ඒකයි ආයේ ලියන්ඩ ආවේ .. පහුගිය ටිකේ කමෙන්ට් වත් ප්‍රසිද්ධ නොකර වුණට සියක් වාරයක් සමාවෙන්ඩ .

23.6.11

සමාවෙන්න දෙවියනේ !

 

       පුරුදු විදිහටම කෙටි නින්දකින් පස්සේ මම අවදි වෙලා බලනකොට බිත්තියේ කැලන්ඩරේ ඔක්තොම්බර් මාසෙට අදාළ කොලේ ඉරල දාලා .ඒ කියන්නේ අද නොවැම්බර් පළවෙනිදා වෙන්න ඇති !

.
හ්ම්.. එහෙනම්. මම මේ රෝහලේ ගෙවන එකොළොස් වෙනි මාසේ ..

මීට මාස එකොළහකට කලින් මම හොඳට කතා කරපු . අත පය හතර හොඳට හයිය තිබුණු කොල්ලෙක් .

ඒත් අද ? 


අද වෙනකොට මම කතා කරන්න තබා තොල් දෙකවත් හොලවන්න බැරි . එක ඇහැක් විතරක් පේන, කන් ඇහෙන්නේ නැති , අත පය යන්තම් වත් හොලවන්න බැරි ඇඳක් මත එකම ඉරියවුවෙන් බුදියගෙන ඉන්න. නිකම්ම නිකං සරීර කූඩුවක් විතරමයි .

කඳුළු පිරිච්ච දකුණු ඇහෙන් හැමදාමත් එකම පැත්තට කැරකෙන සිවිලිං ෆෑන් එක දිහා බලාගෙන . මීට මාස එකොළහකට කලින් ඒ මගේ ජීවිතේ වෙනස් කරපු සිදුවීම මම ආයේ ආයේ මතක් කරා ..මම මේ සිදුවීම ලක්‍ෂ වාරයක් මතක් කරන්න ඇති. මේ ඇඳේ වැතිරිලා උඩ බලාගෙන ඉන්න මම මේක මතක් කරමින් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ..?

මේ සියල්ල සිදුවුණේ පහුගිය අවුරුද්දේ උඳුවප් පෝය දවසට කලින් දවසේ රෑ . . . . . . . . . . . .

වෙලාව හරියටම මතක නැති වුණත් අහසේ හඳ පායලා තිබුණ විදිහෙනුයි , ඉඳ හිට ඇහුණු නරි බැල්ලියන්ගේ මූසල "හූ" හඬෙනුයි වෙලාව රෑ 11 ට විතර ඇති කියලා මට හිතුණා . දිරච්ච කොල අපේ කකුල් වලට පෑගෙද්දී නැගිච්ච "චොරොස්" හඬට අපිටම බය හිතුණා .

 "ටිකක් හෙමීට අඩිය තියපල්ලකෝ !” 



ඉස්සරහින්ම එළියක් අරගෙන යන නිශාන්ත කෙඳිරුවා ! .

ඉදිරියෙන්ම ගමන්කරපු නිශාන්තගේ අතේ තිබිච්ච චීන ෆෝන් එකෙන් විහිදුණු සුදුපාට එළිය කෑලි කපන කළුවරේ අපිට තිබුණු එකම ආලෝකය වුණා .උදැල්ලයි යකඩ ඉන්නයි දෑතටම ගත්ත රුවන් ඊළඟට ගමන් කරා . තුන් වනුවට හිටියේ "අජිත් " සෙරෙප්පු දෙකක්වත් නැතුව කුළු ගෙඩියයි සවලයි තනියම කර තියාගෙන කකුලේ ඇනෙන නිදිකුම්බා කටු ගැන යන්තම්වත් හිතන්නේවත් නැතුව නියම කොල්ලෙක් වගේ අජිත් ඉදිරියට යමින් හිටියා . අන්තිමට හිටියේ මමයි .මාලියි .වම් අතින් රුපියල් 10ක ප්ලාස්ටික් මල්ලකුත් , දකුණු අතින් මාලිගේ කෙට්ටු , සීතල අතත් අල්ලගෙන මම අනිත් උන්ගේ පස්සෙන් ඇවිදගෙන ගියා .

මගේ නම "එරන්ද”. මම මාලිගේ අතින් අල්ලගෙන හිටියට මම මාලිගේ පෙම්වතා නම් නෙවෙයි .! "මාලි" කියන්නේ මගේ ලොකුඅම්මගේ දුව . අම්මා තාත්තා නැති මාව පොඩි සංදියේ ඉඳලම හදාවඩා ගත්තේ මගේ ලොකු අම්මා . ඉතින් පුංචි කාලේ ඉඳලා මට හිටපු එකම මිතුරිය , මගේම සහෝදරිය වුණේ මාලි.

අපි කෑවේ බිවිවුවේ සෙල්ලම් කරේ එකට ඉගෙන ගත්තෙත් එකම ඉස්කෝලේ , එකම පන්තියේ . අපිට ඉස්සරහින් මේ ඇවිදගෙන යන . නිශාන්ත , රුවන් , සහ අජිත් .මේ තුන්දෙනත් අපේ පන්තියේ . අපි පස් දෙනා තමයි හැමදාමත් පන්තියේ එකටම හිටපු සෙට් එක .. .පුංචි ඉස්කෝලේ හිටපු ජනප්‍රියම ගැන්සිය .

ඒක හරිම පුදුම ගැන්සියක් .! කොල්ලෝ හතර දෙනයි එක කෙල්ලයි. ! අපි අතර රහස් තිබුණේ නෑ . අපි පස්දෙනා එකාට එකෙක් පණ වුණත් දෙන තරමට ලං වෙලා හිටියා .එක කෑම එක දිග ඇරගෙන කන අපි ඉස්කෝලේ ගියේ , පන්ති ගියේ එකට...

ආ..! තව දෙයක්... අපි කට්ටියම උසස්පෙළ විභාගය ෆේල් වුණෙත් එකටමයි .

ඇත්ත.. අපේ ගැන්සියේ කවුරුවත් උසස්පෙළ වැඩ තුන ගොඩ දාන්න තරම් වාසනාවන්ත වුණේ නෑ . ඇත්තම කීවොත් අපි අදක්‍ෂයි !.අපිට එදා ඉඳන් පුළුවන් වුණේ අතේ පයේ වැඩ විතරමයි . හේන් කොටන , වපුරන . කාලෙට අපි ඉස්කෝලේ ගියේ නෑ .ගමේ මගුලක් , මරණයක් වුණු දාටත් අපි එතන . දෙමාපියන්ටත් ළමයින්ට උගන්වන්න ඒතරම් උනන්දුවක් තිබුණේ නෑ . අවාසනාවද , නොහැකියාවද මොකක් හින්දද මන්දා අපි පස් දෙනාම විභාගය ෆේල් .

ඉස්කෝලේ දැන්වීම් පුවරුවේ දාලා තිබුණු උසස්පෙළ ප්‍රතිථල ලේඛනයේ තිබුණු අපේ ප්‍රතිථල දැකලා ඇඬුවේ මාලි විතරයි . අපිට නම් ඒතරම් දුකක් දැනුණේ නෑ .අපි හැමෝම පාසල් ගමනට ආයිබෝං කියලා ගෙදර නතර වුණා . ඉගනීමට තිත තිවුවා !. ඔය විදිහට මාස හතක් අටක් විතර ගෙවුණා...

එක දවසක් නොහිතපු විදිහට අපි පස්දෙනා ආයෙමත් වැවු කණ්ඩියේදී හමු වුණා .මුලින්ම කටහඬ අවදි කළේ අජිත් .

"උඹලා දැන් මොකද කරන්නේ ?'

"මම නම් කොහොම හරි කරලා ට්‍රැක්ටක් එකක් ගන්න හිතාගෙන ඉන්නේ කුඹුරු ටික හාලා හොඳ ගාණක් හොයන්න පුළුවන්." ඒ නිශාන්ත

"උඹලා නම් ඉතින් ට්‍රැක්ටර් ගනීවී මම මේ අපේ කුඹුර උගසින් බේරගන්නේ කොහොමෙයි කියලා හිතනවා " හැමදාමත් වගේ නාහෙන් අඬන ගමන් රුවන් කියාගෙන ගියා .

ඉතින් මචෝ උඹ මක්කෙයි කරන්නේ ?

අජිත් ඇහැවුවේ මම දිහා බලන ගමන් .

"මම හිතාගෙන ඉන්නේ කොළඹ යන්න .ගිහින් මොනාහරි දෙයක් කරන්න ” ඒ තමයි මගේ පිළිතුර "

"උඹලා දන්නවාද මම කරන්න යන දේ .?” ඔන්න අජිත් අන්තිමට කියන්න යනවා තමන් ගැන

"මම නිධානයක් ගොඩ දාන්නයි ඉන්නේ ..”

අපි සේරමලා අජිත් දිහා පුදුමෙන් බැලුවා .

"මොනවද බොලවු කන්න වගේ බලන්නේ ! මම කිවුවොත් කිවුවා .”

"උඹ ඔය කියන්නේ ඉස්කෝලේ කෝටස් ගෙවල් පිටි පස්සේ කැලේ තියන නිධානේ ගැනද ?” මම ඇහැවුවා

"අන්න හරි උඹට තේරුණා ..ඒකම තමයි . ඒකේ කෝටි ගානක බඩු තියනවාලු බං . මොකද කියන්නේ උඹලත් එනවද ?”

ඒ යෝජනාවට කැමති වෙනවද කියලා මම දෙපාරක් හිතුවා .

"එහෙමනම් වෙන කාවවත් ගාව ගන්නේ නැතුව අපි විතරක් මේ වැඩේ කරමු .”ඒ එක පයින්ම කැමති වුණේ නිශාන්ත .

වැඩි කතා ඕනනෑ. ඔන්න ඔය විදිහට අපි දුර දිග නොබලා තීරණයක් ගත්තා . අපි ඉගනීම අතින් දුර්වල තැනක හිටි නිසාද මන්දා අපි දෙයක් කරද්දී ඒ ගැන වැඩි දුර හිතන්න ගියේ නෑ . අපි බැලුවේ ළඟ විතරයි .හරි හමං ඉගනීමක් නොලැබීමේ විපාකෙ ..අපිට ඕනෑ වුණේ මේ නිධානේ අරගෙන අපේ සිතුම් පැතුම් , සිහින මේ සේරම සම්පූර්ණ කරගන්න .

"මම ගිහිං මේක ගමේ හැමෝටම කියනවා .!”

මෙච්චර වෙලා කපා දාපු පරණ කෙහෙල් කොටයක් උඩ ඒදණ්ඩේ යනවා වාගේ එහාටයි මෙහාටයි ඇවිදිමින් හිටි මාලි කිවුවා !

"ඔයා කියන්නේ නෑ කියලා අපි හැමෝම දන්නවා " මම හිනහ වෙන ගමන් එහෙම කිවුවා .

"මාවත් එක්කං නොගියොත් මම කියනවද නැද්ද කියලා ඔයාලට බලාගත්තැහැකි .”

අපි කොයි තරම් එපා කීවත් කොයිතරම් පෙරත්ත කෙරුවත් මාලිව වළකන්න බැරි වුණා එයා අපිත් එක්ක මේ ගමන එන්න දැනටමත් ලැහැත්ති වෙලා ඉවරයි . අපි සීයක් ජාති කිවුවත් මේ කෙල්ලගේ දරදඬු හිත වෙනස් කරන්න බැරි වුණා . මට හිතුණා මාලි ඉස්සරහා මේ ගමන ගැන කතාව ඇදලා ගත්තේ අපරාදේ කියලා .ගෙදර ගියාට පස්සේ . මම මාලිගේ ළඟට කිට්ටු වෙලා එයාව මේ නිදන් වැඩෙන් අයින් කරන්න හිතුවා .

"මාලි ඔයාට මම ගේන කොටසින් බාගයක්ම දෙන්නම් ඔයා ගෙදර නවතින්න .”

"මට බෑ ! මම කිවුවොත් කිවුවා එකෝ මේ ගමන කැස්සල් . නැතම් මාත් එක්ක යමු !”

එදා ඉඳන් මම මාලිව දන්නවා .ඒකිගේ නොනැමෙන ගල් හිත ගැනත් දන්නවා .ඒක හින්දා අක්මැත්තෙන් මම මාලිවත් ගෙනියන්න කැමති වුණා .. . . . අනේ මම වගේ මෝඩයෙක් ..

ඉතින් ඔන්න ඔය විදිහට මම අරගත්ත බොළඳ තීරණයක් නිසා මේ කෑලි කපන ගන කළුවරේ අපි පස් දෙනා හොරෙන් ගෙදරින් පැනලා නිධානයක් ගන්න ගෙවල් ළඟ තිබුණු පුංචි කැලෑවකට ගාටනවා .

මාලිගේ පිටේ එල්ලගෙන හිටපු ස්කූල් බෑග් එකේ . හඳුන් කූරු පෙට්ටියකුයි , මැටි පහනකුයි පොල් තෙල් කුප්පියකුයි තිබුණා , මගේ මල්ලේ තිබුණේ හිස් පොහොර ගෝනි කීපයක් විතරමයි .

අපි මීට කලින් නිධාන ගැන අහලා තිබුණා විතරයි. ඒව ගන්නේ කොහොමද , ඒව ගනිද්දී කරන වත් පිළිවෙත් මොනවාද ? මේ කිසිම දෙයක් අපි දැනං හිටියේ නෑ.. අපේ සැලසුම වුණේ නිධානේ පිහිටලා තියන කලු ගල කඩලා ඒක අරගන්න එක .ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් !. නිධානේ ගන්න අදහස අජිත්ගේ වුණාට මේ ඉසවුව ගැන හොඳින්ම දැනගෙන හිටියේ මේ ඉදිරියෙන්ම ගමන් කරන නිශාන්ත .

අපි අඩියෙන් අඩිය ගමනේ අවසානයට ළඟාවුණා .ගමන පටන්ගත් මොහොතේ ඉඳන්ම මම මාලිගේ අත අතහැරියේ නෑ තදින් අල්ලගෙන හිටියා .පණ්ඩිත කමට ආවට ඒකි හිටියේ හොඳටම බය වෙලා ! ඒකිගේ අත එදා අයිස් කඳක් වගේ හීතල වෙලා තිවුණේ ඒකයි .

නිධානේ පිහිටලා තිබුණු කළු ගල උඩට නැගුනු අපි ඒ ගල මුදුනේ තිබුණු ගෝනෙකුගේ අඩි සටහන් පෙළක් දිගේ ඉදිරියටම ගියා . ගල මෘදු වෙන්න බෙහෙත් වර්ගයක් දාලා ඒ මත විවිධ සලකුණු තියන එක නිධානයක් තැන්පත් කරන ඈත අතීත කාලේ කරන ක්‍රියාවක් බව මගේ සීයා මට පොඩි කාලේ කියලා දුන්නා මතකයි. .අන්තිමේදී අපි එතනට ළංවුණා .

අජිත් අපි කට්ටියටම එකට ලං වෙන්න කියලා මෙන්න මෙහෙම මුමුණන්න වුණා ..

.
"මේවා ගන්නකොට කියන මන්තර සාත්තර අපි දන්නේ නෑ නේ බං . අපි දෙවියන්ගෙන් මෙහෙම ඉල්ලමු . මේවා පොළවේ වැළලිලා කාටවත් වැඩක් නැති විදිහට තියනවාට වඩා අපි වගේ දුප්පත් මිනිස්සු මේවා අරගෙන සතුටෙන් ඉන්නවාට කැමති වෙන්න කියලා . අපි මේවා විකුණලා ගන්න මුදලින් වැඩි කොටසක් දුප්පත් මිනිස්සු වෙනුවෙන් වෙන් කරනවා කියලත් බාර වෙමු. අපිට වරදින්නේ නෑ"

ඔළුව හොල්ලනවා ඇරෙන්න මට නම් වෙන කරන්නදෙයක් තිබුණේ නෑ . මගේ හිත සතුටින් පිරුණා . හෙට ඉඳන් මගේ හැම හීනයක්ම සැබෑ වෙනවා . කොල්ලෝ ටික තමන්ගේ බලා පොරොත්තු සේරම සම්පූර්ණ කරගනීවි . මාලිත් තමන්ගේ දෑවැද්ද හදාගෙන හොඳ කොල්ලෙක් එක්ක දීග යයි.

ඔන්න ඔතනදී මම මාලිගේ සීතල අත අතහැරියා..දෙවියනේ !! ඒකිගේ අත අතහැරපු පව නිසාද අද මගේ අත් දෙකේ යන්තම් වත් පණ නැත්තේ ?

මාලිගේ පිටේ තිබුණු බෑග් එකෙන් පහන අරගෙන තිරේකුත් දාලා , යන්තමට පොල් තෙලුත් දාලා මම සාක්කුවෙන් ගිනි පෙට්ටිය අතට ගත්තා . වෙවුලන අතින් ගිනිකූරු කීපයක්ම ගැහුවත් ඒවා හුළඟට නිවුණා . මගේ ළඟින් දන ගහගත්ත මාලි එයාගේ දෝතින්ම පහන වහගෙන ඒ හමන සීතල හුළඟ යන්තමට නතර කරා ඒ වතාවේ මම ගහපු ගිනි කූර දැල්වුණා . මම පහන පත්තු කරා ..

ඉතින් ..


ඒ පත්තු කරපු පොල් තෙල් පහණේ එළියෙන් මම මාලිගේ සුදුමැලි මූණ දැක්කා .. දෙයියනේ..! මම හීනෙකින්වත් හිතුවේ නෑ ඒ මොහොත.... මගේ රත්තං කෙල්ලගේ ...... මගේ රත්තරං සහෝදරීගේ . මුහුණ දකින අවසන් වතාව වේවි කියලා …

දීප්තිමත් පහන් දැල්ලන් මම මාලිගේ මූණට අමතරව තව දෙයක් දැක්කා .වම් පැත්තේ හිටගෙන හිටපු කළු තඩි මිනිහෙක්..

මම ඒ ඉකමණින් පැත්තට හැරෙන කොටම . යකඩ ඉන්නක පළල් පැත්‍තෙන් තව කවුද කෙනෙක් මගේ ඔළුවට ගැහුවා .මම කැරකිලා මුනිං අතට බිම වැටුණත් ඇඟේ තිබ්බ සේරම හයිය දාලා ආයෙමත් උඩු අතට හැරුණා . මම යන්තමට දැක්කා මාලි තව මිනිහෙක්ගෙන් බේරෙන්න දඟලන හැටි . මගේ යාළුවෝ කිසි කෙනෙක් මම දැක්කේ නෑ . නළලට වැදුණු තව වේගවත් පාරක් සමග මගේ ඇස් දෙක පියැවුණා . මට මතක එච්චරයි ..

මම ඇස් ඇරලා බලන කොට මම හිටියේ මේ රෝහලේම ඇඳක .මට අහන්න ප්‍රශ්න ගණනාවක් තිබුණත් . මගේ දිව මට අවනත නෑ .අතපය හතර මට යන්තමටවත් හීලෑ නෑ .මාව බලන්න ඉඳ හිට පොලීසියෙන් ආවා . මාලිගේ ෆොටෝ එකක් මට පෙන්වමින් මොනවාදෝ කිවුවා .ඒ අය කතා කරන දේවල් මට තේරුණේ නෑ …මම තනියම ඇඬුවා .දවස් ගාණක් ඇඬුවා .අන්තිමේ මම හති වැටුණා .

දවසක් මම වීදුරු බෙහෙත් බෝතලේකින් මගේ මූණ දැක්කා . ඒ හිටියේ එදා හිටපු ලස්සන මූණක් සහිත එරන්ද නෙවේ .මටවත් අඳුරන්න බැරි අමුතුම ජීවියෙක් .



මාලිට මොනවා වුණාද ? 

එයා ඉන්නවද මැරිද ?

"
කෝ මගේ යාළුවෝ ? , උන්ද මට මේ වැඩේ කරේ ?”

 කෝටි ගණං ප්‍රශ්න මගේ ඔළුවේ පිරිලා .මට දැන් ඕන මැරෙන්න .මගේ එක අතකවත් පණ තිබුණානම් . මම ඒක කරනවා .ඒත් මට දැන් කිසිම දෙයක් කරන්න බෑ . මේ පරඬැලක් වගේ ඇඟ ඇතුළට මම කොටුවෙලා . ...එහෙනම් දෙවියනේ දෙවියන්ට අයිති දේ ගන්න ගියපු දුප්පතෙකුට දෙවියෝ දුන්න දඬුවම මේකද ? ....මට සමාවෙන්න දෙවියනේ !

හැමදාකම නිදාගන්න කලින් මම හිතනවා . මම අවදි වෙනකොට මාලි මගේ ළඟින් ඉඳීවිය කියලා ..ඒත් මාස එකොළහක් තිස්සේ ඒක සිතිවිල්ලක් විතරමයි... . . . ඒ සිතිවිල්ල බලාපොරොත්තුවක් වෙලා මාව ජීවත් කරවනවා. . . . . ඒත් ඒ අඳුරු මතකය නම් මාව නොමරා මරනවා..!

මම ඇස් තද කරලා පියාගෙන ආයෙමත් සැරයක් නිදගන්න උත්සහ කරා...
ඉවරයි.


ප/ලි - ඔන්න ඉතින් මටත් හිතුනා කතාවක් ලියා දාන්න . වැඩිය හිතන්න එපා .සඳරුට නෝමල් එකේ කවි , කතා ලියන්න බෑ . රට ඉන්න යාළුවෙක් ගෙනාපු කියවන්න බැරි අමුතු නමක් තියන රන්වන් බෝතලක් තමා මේ කතාව ලියන්න සඳරුට උදවු දුන්නේ . දැන් ඉතින් පළු යන්න බැනපල්ලා .

ප/ප/ලි - මේක ඉවරයි කීවේ ඉවරටම ඉවරයි ආයේ නෑ. නිමි