මේ වෙලාව රෑ .1.45 පැනලා හයර් එකට ගත්ත වෑන් එකක නැග්ග අපි හත් දෙනෙක් ගම වටේ පොඩි රවුමක් දාන්න යනවා . වෑන් එකේ ඉස්සරහාම සීට් එකේ වාඩි වෙලා ඉන්නඅතරේ මම නිකමට පිසිපස්ස බැලුවා අපේ පාක්ෂිකයෝ බුදිද කියලා …නෑ ..එකෙක්වත් බුදි නෑ . කට්ටියම හොඳට තේරුම් අරං හිටියා අපි මේ කරන්න යන වැඩේ වැදගත්කම . අපි යන්නේ ජන්ද වැඩකට .ඇත්තටම කිවුවොත් පෝස්ටර් පාරකට.
මම පිටිපස්ස සීට් දිහාවට ඔලුව දාල බලනකොට අපි ගෙනාපු ආම්පන්න පෝලිමට පේන්න ගත්තත . පෝස්ටර් මිටි හතර , පාප්ප බල්දි දෙක . තරමක් දිග කෙකි දෙකක්. එහෙම.වාහනේ වලකට වැටෙනකොට හීනිවට බෝතල් එකට ගැටෙන සද්දයකුත් ඇහෙන්න ගත්තා . මම ඒක ඒතරම් ගනං ගත්තේ නෑ .
මම මීට කලින් කවදාකවත් මේ වගේ මැතිවරණ අපේක්ෂකයොන්ට . කඩේ ගියේ නෑ ! . කාගෙවත් පෝස්ටර් අලව අලව යන්න මගෙ ජීවිතේටම හිතුවේ නෑ ! . ඇයි ..? කිසිම අපේක්ෂකයෙක් මෙතුවක් කාලෙකට අපේ ගමටවත්, මටවත් හරිහමං උදවුවක් කරලා නෑ !.ඒත් මෙදා පාර තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ..මගේ ලොකුතාත්තගේ පුතා පුංචි ජන්දෙට ඉදිරිපත් වෙනවා . ඉතිං සඳරුත් මෙදාපාර ජන්දෙට බැහැලම වැඩ ..
මහරෑ දොලහෙන් පස්සේ .පාරවල් ගානෙ යන එක . ලයිට් කනු උඩ නැගලා බැනර් එල්ලන එක . ගස් ගල්වල .පෝස්ටර් ගහන එක . විරුද්ධ පාක්ෂිකයන්ගේ කටවුට් වලට ගොම ප්‍රහාර එල්ලකරන එක .දැන් මම මේව පුදුම කැමැත්තකින් තමයි කරන්නේ . මම මේව කරන්නේ මගේ එකා වෙනුවෙන් . මගේ එකා දිනනවනම් මට ඒ ඇති . බැනර් කපන්න පෝස්ටර් වහන්න . කටවුට් ගලවන්න ගිහිං අම්බානෙට කන්න සෙට් වෙන්නත් බැරි නෑ ! .ඒත් .අපේ එකා දිනවනකම් අපි නවතින්නෙත් නෑ ..
පහුගිය දවස් කීපයේම අපි පෝස්ටර් ව්‍යාපාරෙට සම්මාදම් උනා . පෝස්ටර් මිටියත් පාප්ප බාලිදිත් අරගෙන ෆෝන්වලින් විහිදෙන කනාමැදිරි එලියෙන් . අපි පෝස්ටර් අලවනවා ! . තුම්මං හන්දිවල . හතරමං හන්දිවල තාප්පවල බස් නැවතුම්පලවල් වල. වහල තියන කඩවල් වල. අපේ කොල්ලගේ පෝස්ටර් වරදින්නේ නෑ . . ලයිට් කනුවල . උස ගස්වල . අපේ කොල්ලගේ කටවුට් එල්ලන්නත් අපි අමතක කරන්නෙත් නෑ . සමහර තැන්වලට අපි පෝස්ටර් අලවන්න යනකොට මේ දැං තව සෙට් එකක් ඇවිල්ලා උනු උනුවේම අලවාපු දුං දාන පෝස්ටර් තියනවා පාප්ප බේරි බේරි . ! අනේ ඉතින් මොනාවා කරන්නද ?. අපිටත් ගොඩක් දුකයි !.ඒත් අපි ඒ පෝස්ටර් වලට උඩින් අපේ කොල්ලගේ පෝස්ටර් තියලා තදකරලා එනවා . පාප්ප ගන්න ඕනෙත් නෑ නිකම්ම ඇලෙනවා .!!
විරුද්ධ පාක්ෂිකයන්ගේ කොඩිවැල් කපලා . අපේ ගම පිරිසිදු කරන්නත් අපි අමතක කරන්නේ නෑ . කොඩිවැල් කපන්නම හදපු අඹ කඩන කෙක්කක් අපි නොවැරදීම අරගෙන යනවා . අපේ ඇස්වලට නොගැලපෙන ජරා පාටකින් හදාපු කොඩිවැල් තිබුනොත් අයේ කතා දෙකක් නෑ කැපුවා ! කපලා එවුවා වාහනේට පටවගන්නවා . අපේ ගෙදරට හැරෙන පාරේ තියන . පැත්තක් කැඩිච්ච වැසිකිලි වලක ඒ කොඩිවැල් ආදරෙන් තැම්පත් කරනවා !
කටවුට් ගැලවීම මීට වඩා ගොඩක්ම වෙනස් . ගොඩක් අපේක්ෂකයො කරන වැඩක් තමයි . බොහෝම අමාරුවෙන් හිනාවෙලා එහෙම නැත්නම් වැඳගෙන ඉන්න පින්තූරයක් දාලා . ලොකුම ලොකු කටවුට් එකක් හදලා . විරුද්ධ පාක්ෂිකයකුට ලඟාවෙන්න බැරි තැනක එල්ලන එක . අනිත් කාරනාව නම් ඔය තරම් ලොකු කටවුට් හයි කරපු තැනකින් ගලවන්න අමාරුයි . ! ඒව බාන්නත් අපි ලඟ පිලියම් තියනවා . අහගන්නකෝ එක පිලියමක් ..
බොහෝමයක් අපේක්ෂකයෝ කටවුට් එල්ලන්නේ තමන්ගේම අධාරකරුවෙකුගේ ගෙදරක් ඉස්සරහා පාරේ ! . එල්ලලා විතරක් නිකම් ඉන්නේ නෑ .අධාරකරුවගේ ගෙදරින් වයර් එකක් ඇදලා රෑට කටවුට් එක ලස්සනට පේන්න බලුප් එකකුත් දානවා . හරියට තොරන වගේ . ඔහොම එකක් දැක්කොත් අපි කරන්නේ .අපේ කන්ඩායමේ ඉන්න ගස් නගින්න එකාව යවනවා . මිනිහා ගහට නැගලා . කටවුට් එක ලඟට කිට්ටු වෙලා .අපේක්ෂකයාගේ මූන රවුමට කපනවා .කපලා සාක්කුවේ දාගන්නවා .අපේක්ෂකයාගේ මනාප අංකයත් කපාගන්නවා . ඔන්න ඔච්චරයි අපි කරන්නේ . වැඩිය කඩන අය නෙවේ අපි ! ඉතින් අනිත් පහුවදාට අයිතිකාරයොම ඒ කටවුට් එක බාලා ..
ඉතින් ඔන්න ඔය විදිහට මැතිවරණ ප්‍රචාරනේට ගිහිල්ලා පාන්දර ජාමෙට මම ගෙදර එනවා . ඇවිල්ලා අනිත් පැත්තට වැඩට යනවා .! මම වැඩට යනකොට ඇස්දෙක බාගෙට පියවිලා . ඒත් පාර දිගට අපි හදාපු සැරසිලි පෝස්ටර් කටවුට් . දකිනකොට ආසාවේ බෑ ! ඒත් හවස වැඩ ඇරිලා ගෙදර එනකොට . අලවපු ඒවගෙන් 99% ක්ම බිම සමහර එවුවගේ බාගයයි . ඉතින් ගෙදර ඇවිල්ලා ආයේ පටන්ගනවා . ….
මේ දවස් ටිකේම මහ රෑ අපි ඇවිදින හින්දා අයියා අපි වෙනුවෙන්ම ඉස්තරම් වර්ගයේ බෝතල් ගෙනැවිත් දෙනවා .! ආයේ ඉතින් මොන කතාද ? ලංකාවම උනත් පෝස්ටර්වලින් වහන්නම් මේ විදිහට බොන්න ලැබෙනවානම් . මහ රෑ ඇවිදලා පින්න වැදිලා මට දැන් හොඳටම හෙම්බිරිස්සව . ඒත් මම මගේ සහෝදරයා දිනනකම් මේ ගේම අතාරින්නේ නෑ ..
අයියා දිනන එක මට ගොඩක් වැදගත් . මගේ ගමටත් ගොඩක් වැදගත්. අයියා දින්නාම මම මුලින්ම කරන්න හිතාගෙන ඉන්නේ .ගෙදරට එන පාර හොඳට හදාගන්න එක . ඊලඟට ඉතින් හෙල්මට් එකක් නැතුව උනත් බයික් එකේ ගිය හැකිනේ ! .. ඕනම වලියකට බය නැතුව සම්මාදම් උන හැකි . මගේ වටේ ඉන්න යාලුවෝ සෙට් එකටම ජොබ් සෙට් කරන්න ඕන . මට නොමිලේ ත්‍රීපෝෂ ඉල්ලගන්නත් පුලුවන් :) අයියට වාහනයක් ලැනොත් අප්පේ ! මට ඒක අරගෙන කෙල්ලෙක් එක්ක රවුමක් ගියහැකි .. වන ජීවී එකට අයිය ලවුවා සද්දෙයක් දාලා වල්අලි ටික ඈතකට එලවලා දානවා . මට බලපත්‍රයක් සහිතව තුවක්කුවක් ගන්න බැරිවෙයිද දන්නේනෑ ? (ආත්මාරක්ෂාවට )
දැං ඉතින් මගේ දිහා නපුරු විදිහට බලන්න එපා ! මේවට තමයි මැතිවරණ කියන්නේ ! ඕනෑම අපේක්ෂකයෙක් දිනුවාම එයාගේ පවුලේ අයට ලැබෙන Benefit තමයි මේ මම ලියලා තියෙන්නේ ! මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ .. ඉතින් අයියා දිනුවොත් . මම දිනුම් . මම දිනුවොත් ගම දිනුම් !
ඉතින් හිස් අහස කියවන සහෝදර සහෝදරියනි .සඳරුගේ අයියාට ජය පතන්න . ! අයියා දිනපු දවසට මම දාන සද්දෙන් බ්ලොග් අවකාසෙත් අහල ගම් හතකුත් හෙල්ලෙයි .! ….
ජය වේවා !!!
සඳරු //