11.10.13

කොලනි කාරයෝ. අවසන් කොටස




අදට හිස් අහස බ්ලොග් එක ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා. මේ වෙනකම් බ්ලොග් එකට ආපු ගියපු කියෝපු හෑම කෙනෙකුටම ස්තූතියි !!

කොලනි කාරයෝ කතාවේ පහුගිය කොටස් නොබලපු අය ඉනවා නම් මෙහෙන් ගිහින් ඒ කොටස් කීපයත් බලලාම අවසන් කොටසට එකතු වෙන්ඩ





" නළු බට්ටෝ බැහැපියවු බිමට .තොපිත් එක්ක මට ගනුදෙනුවක් බේරගන්ඩ තියෙනවා"
නාට්‍ය බලමින් උන්නු පිරිස අතරෙන් නැගිට ගත්තු බීමත් බුවෙක් ඌ ඉඳගෙන උන්නු පුටුව වීසි කරලා නගිටලා ඇවිදින් වේදිකාව උඩටම නැග්ගා. ඒ වෙච්චි දෙයින් තක්බීර් වුණ මම මගේ ඉනේ තිබුණු දෙබස් කොලේ අතට අරගෙන ආයෙත් බැලුවේ මට දෙබස් වැරදිලා මිනිස්සු කුලප්පු වෙන කුණු හරුපයක් වත් කියවුණාදැයි කියලයි.

"මයෙ මස්ෂිනාට ගල් ගැහුවා තොපි ? අද බාවනවා තොපිව...


බීමත් බුවා පැන්න හැටියෙ වේදිකාවේ අයිනේ උන්නු පොතේ ගුරා වෙච්ච රිපිටාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා

මම දැක්කා එතකොටම අපේ ඇජෙන්ඩා ගුරුතුමා හනි හනිකට දුවගෙන අවුදින් වේදිකාවට නගින හැටි. මම හිතුවේ ඇජෙන්ඩා සර් ඇවිදිල්ලා මේ බේබදු මිනිහාව අහකට ගෙනියාවි කියලයි "ඇති යන්තම් දැන් රිපිටා බේරෙනවා" මම හිතෙන් එහෙම හිතුවා වුණාට සිද්ධ වුණේ වෙනම දෙයක් ..

ඇජෙන්ඩා ගුරුතුමා ඇවිදින් අපි හැමෝම දිහාට ඇඟිල්ල දික්කරමින් අපෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්තා ..

"ඇත්ත කීවොත් මේ අයියා තමුසෙලාට යන්ඩ දෙයි .එහෙම නැතිනම් ඉතින් ගුටි තමයි
"

අපි කවුරුත් බිම බලාගත්තා . හැංඟිලා ගල් ගැහුවා වුණාට අපි කවුරුත් ගුරු වරුන්ට පුදුම බයකින් ගෞරවයකින් උන්නා . වෙනෙකක් තියා අපි ගුරුවරයෙකුගේ මූණ දිහා බලාගෙන කෙළින් බලාගෙන කතාකරන්නත් අපි බයයි ..

"ඇත්තමයි සර් අපි ගැහුවේ නෑ ...

ගුරුන්නාන්සේ කෙනෙකුගේ චරිතයට ඇඳලා උන්නු තරිඳු එහෙම කියලා බිම බලාගත්තා .එතකොටම චටාස් ගාලා කම්මුල් පාරක් තරිඳුගේ කම්මුලකට වැදුණා . තරිඳුවාට ගානක්වත් නෑ ඉස්කෝලේ වියදම් පියවාගන්න පොල් ගස් බඩගාලා පොල් කඩාපු එකෙක් වෙච්ච තරිඳුගේ අතපය යකඩ වගේ හයියයි . කොටියෙකු තරම් හයියක් තිබුණ ඌට ඔනෑ නම් ඇජෙන්ඩා ගුරුතුමාවයි එයාගේ මස්සිනාවයි දෙන්නාම විනාඩියෙන් බිම දාන්න පුළුවන්කම තිබුණා. ඒත් ගුරුතුමා ඉදිරියේ උන්නු නිසා ඌ ගුටිකලා බලාගෙන උන්නා ..

බෙල්ල වටේ තුවායක් දමාගෙන ඉනේ සරමක් දවටාගෙන නාට්‍යයේ නමින්දුවා චරිතය ඇඟටම අරගෙන බොක්කෙන්ම රඟපාපු මගේ ගාවට ඊළඟට කිට්ටු වෙච්ච ඇජෙන්ඩා සර්ගේ මස්සිනා මගේ බෙල්ල වටේ දාගෙන උන්නු තුවායෙන්ම මාව ඇදලා අරගෙන මගෙ බඩට පාරක් ගැහුවා ..හත්තිලවුවේ එතකොට මම ඇඳගෙන උන්නු සරම ඉණෙන් ගැලවිලා වේදිකාව උඩ වැටුණා ..

එදා මගේ සීයා කල්මුණෙන් ගෙනල්ලා දුන්නු ගල් සෝට සරමට යටින් ඇඳගෙන හිටියේ නැතිනම් ..අම්මපා මට සිද්ධවෙන්නේ වහ බොන්ඩ .. "සරමට යටින් සෝට ගහගෙන දෙමළෙක් වෙන්ඩ එපා යකෝ..
කියලා මගේ යාළුවෝ මට කොයිතරම් විහිළු කෙරුවා වුණත් එදා මම නිකමට වගේ සෝටක් ඇඳගෙන උන්නා..

මොහොතකින් අපේ පණ බේරාගන්න විදුහල්පති තුමා එක්ක අපේ සිංහල ගුරුතුමා දුවගෙන ආවා ..සිංහල ගුරුතුමාගේ අතේ සංග්‍රහ කටයුතු වලට ගෙනා බිස්කට් පැකට් එකකුයි ප්ලාස්ටික් බීම බෝතලයකුයි තිබුණා .එතුමා ඒවා වීසි කරලා දාලා අඩියට දෙකට අවුදින් අපේ ඉදිරියෙන් හිටගත්තා ..

"තිරිසන් වැඩ කරන්න එපා ඉංගිරීසි මහත්තයා .ගහනවා නම් ගහන්ඩ මේ මට .විදුහල්පති තුමා මේ බලන්ඩ මේ අසරණ ළමයි නාට්‍ය කරමින් උන්නු තැනට බේබද්දෙක් ගෙනල්ලා .මේ ඉංගිරිසි මහත්තයා කරාපු වැඩක් .මේවා කවදාවත් අපේ ඉස්කෝලෙ වෙලා නෑ..


විදුහල් පතිතුමා දිහාට වෙවුලන අතපය දික්කරපු සිංහල සර් එහෙම කීවා .

ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ වෙච්ච අපෙ විදුහල්පති තුමා දෙපාරක් තුන්පාරක් එහාට මෙහාට ඇඹරුණා ..ඊළඟට ඉංග්‍රිසි උගන්වාපු ඇජෙන්ඩා සර් දිහාවට හැරිලා බයාදු හිනාවක් පාපු විදුහල්පති තුමා අපිට මෙහෙම කීවා

"හා වෙච්චි දේ වුණා ඔය දරුවෝ දැන් කල වරදට මේ ඉංග්‍රීසි සර්ට වැඳලා සමාව අරං මේ නාට්‍ය ආයේ කරගෙන යන්ඩ
"

ඒ කතාව අහලා අපේ සිංහල සර්ට එකසිය හැටට කේන්ති ගියා හරියට කාබයිට් කෑල්ලක් උණු වතුරේ දැම්මා වගේ . වේදිකාව වටේ එල්ලලා තිබුණු තිර රෙදි එක හුස්මට පැනලා කඩලා පාගලා දමාපු සිංහල සර්

"උඹලා එකෙක්වත් වඳින්ඩ එපා !! ඉඳපල්ලා . මං වඳින්නං . අනේ ඉංග්‍රිසී මහත්තයෝ අපේ නාට්‍ය කෑවාට, අපේ දවස් ගානක මහන්සියට කෙළෙවුවාට, මගේ කලා පන්තියේ ළමයින් බාගෙට බාගයක් මෙදාපාර සිංහල විෂය පේල් කරන්න මහන්සි ගත්තාට ,මට ලැජ්ජා කොලාට ඔබතුමාට බොහෝම ස්තූතියි !!


එහෙම කියවුව අපේ සිංහල ගුරුතුමා ගිහින් ඇජෙන්ඩා සර්ගේ දෙපා මුල වැඳ වැටුණා ..

ඒක බලාන ඉන්න අමාරු දසුනක් හරියට තාත්තා කෙනෙක් පුතෙකුට වඳිනවා වගේයි..රිපිටා උගේ අතේ තිබුණු කවි පොතෙන් මූණ වහගත්තා . සින්දු කියන්න හිටපු කෙල්ලෝ තුන් දෙනා අඬන්න පටන්ගත්තා . තරිඳු කුටු කුටු ගාමින් කුණුහරප මුමුණන අතරේ .. මම හෙමි හෙමිහිට සරම ඇඳගත්තා .

ඇජෙන්ඩා ගුරුතුමා උන්දැගෙ නල්ලමලේ මස්සිනාවත් ඇදගෙන ගුරු නිවාසය දිහාවට ගියා .සිදු කියපු කෙලිච්චියෝ ටික ගෙදර යවාපු අපි කට්ටිය අපේ සිංහල ගුරුතුමාව එක් කරගෙන එතුමාගේ ගෙදරට පයින්ම ගියා ..

සිංහල ගුරුතුමාගේ නෝනා අපිට නාගන්ඩ වතුර සබන් තුවා ආදිය ලැහැත්ති කරලා .අපිට හිතේ හැටියට කන්න කන්න කියලා දඩ මස් උයලා රොටී පුච්චලා තිබුනා . රොටී කන්න කලියෙන් අපේ සිංහල ගුරුතුමා අපි කාට කාටත් එතුමාගේ අල්මාරියේ හංඟාගෙන හිටපු ෆ්‍රෑන්ක්ලින් බ්‍රැන්ඩි බෝතලයක් කඩලා ඉන් එක වීදුරුව බැගින් බොන්න දුන්නා . ගුරුතුමා ඉදිරියේ බොන්නැතුව හෙමීට එකා බැගින් අඳුරු මුල්ලකට ගිහින් ඒ වීදුරුව ඉවර කරලා ආවාට පස්සේයි අපි කවුරුත් රොටී කෑවේ ..

අපි කෑම කාලා ඉවර වෙලා අපේ සිංහල ගුරුතුමාට වැඳලා යන්ඩ පිටත් වෙනමොහොතේ .. එතුමා අපිට බොහෝම දුක් බර කතාවක් කීවා ..

"මම ඉංග්‍රීසි සර් එක්ක එකට එක කරන්න හැදුවේ නෑ කොල්ලනේ.. මම එදා ඉඳන්ම කීවා අපේ ලොකු සර්ට මට මේ ළමයි දම්මලා නාට්‍යක් කරන්න ඕනෙයි කියලා . ඒත් සිලබස් එකෙන් පිට යන්ඩ එපාය කියලා ලොකු සර් මට ඒ වැඩේ කරන්ඩ අවසර දුන්නෙම නෑ .ඒත් මේ අද ඊයේ ආපු ඉංග්‍රීසි සර්ට වැඩියෙ සලකනවා දැකල මම හිතුවා හොඳින් හරි නරකින් හරි මම මේ නාට්‍ය කරනවා කියලා .උඹලා හරි ලස්සනට රඟපානවා දැකලා මට ඇඬුණා . මම උඹලගේ රඟපෑම් පෙන්නන්න විදුහල්පතිතුමා එක්ක එන්නඩ ගිය ටිකට සේරම විනාස වුණා ..


"දුක් වෙන්ඩ එපා සර් . අපි ආයේ වතාවක් මේ නාට්‍ය කරමු ..


"අනේ ඔවු සර් කරමු කරමු .
අපි කවුරුත් එක හඬින්ම පින්සෙන්ඩු වෙද්දී සිංහල ගුරුතුමා කමිස අතෙන් කඳුළු පිහදාගත්තා ..

"ආයේ නාට්ටි කොරන්ඩ වෙන්නේ නෑ මම
කොළනිකාරයෝ" නාට්‍ය පිටපත ලිපේ දැම්මා . උඹලා ඔය කාපු රොටී පිච්චුනේ ඒ ගින්නෙන් . මමත් මේ ඉස්කෝලෙන් මාරුවක් ගන්නවා ..මට දැන් මේ අහලකවත් ඉන්ඩ පිරියක් නෑ ..

ගුරුවරයෙකුට උපදෙස් දෙන්ඩ, ගුරුවරයෙකුගේ හිත හදන්ඩ අපි මොක්කුද ? .. අපි ඔහේ බලාන උන්නා . බකමූණු බිත්තර ගිල්ල එව්වුවෝ වගේ කතා කරගන්ඩ බැරිව අපි ගොළුවෙලා උන්නා .ඔහොම ගොළුවෙලා ඉඳලා අන්තිමේදී රෑ දොළහත් පැන්නාට පස්සෙයි අපි කවුරුත් ගෙවල් බලා යන්ඩ පිටත් වුණේ ..

පයින්ම ගෙදර යන්න පිටත් වෙච්ච අපි කාගෙත් හිත් මහා දුකකින් වැහිලා තිබුණා .කවුරුන්ටත් වඩා වැඩිපුරම දුක් වුණේ මම . මගේ ගල් ගැහිල්ල නිසා තමයි මේ හෑම දෙයක්ම මේ විදිහට අවසාන වුණේ . හෑම සුබ වැඩකම හෙනහුරා මම කියලා මගේ හිතට දැනෙනකොට මට මැරෙන්ඩ තරම් දුකක් ඇති වුණා ..

"දැං අපි ගෙදර ගිහින් නිදියා ගන්නවාය ?
පිටිපස්සෙන්ම ඉරටු කූරක් වන වනා ආපු තරිඳුයි අපෙන් එහෙම ඇහුවේ

"නැතුං මෙතන නිදියාගන්නවය ?
රිපිටා එහෙම ඇහුවා

"නෑ නෑ . බොලවු මට පොඩි වැඩක් මතක් වුණා .අපි ආයේ වතාවක් ගල් පාරක් කෙළිමු ගුරු නිවාසෙට .අර අපිට ගහපු ඇජෙන්ඩා සර්ගේ මස්සිනා කාරයත් අද රෑ නිදියනවා ගුරු නිවාසේ .. ඌට වදින්න කියලා හිතාගෙන හරි ගහමු බං . මොකටද අපි වෙන එකෙකුට පදිරි වෙන්නේ . ගුරුවරයෙකුගෙන් නම් ගුටි කෑවත් දුක නෑ ඒත් ඌ මොකාද ?


"ඒක නම් කරන්න වටින වැඩක් ..කෙළිමු බං ..ඉස්ම යන්ඩ කෙළිමු"

රිපිටා යෝජනාව ස්ථීර කෙරුවා ..

"පොඩ්ඩක් ඉඳහල්ලකෝ තවත් පොඩි වැඩක් දෙමු .මම එනකම් උඹලා ඔහොම්ම ඉඳහල්ලා කොහේවත් යන්ඩ එපා මම විනාඩි පහෙන් එනවා ..


තරිඳු කළුවරේම ඉස්කෝලේ පැත්තට දිවුවා .අපි කට්ටිය තරිඳු එනකම් පාරේ අයිනක වාඩි වෙලා දුම් වැටියක් අතින් අතට මාරු කරන අතරේ තරිඳු ගියේ මොකටද කියලා නොදැන කුතුහලයෙන් බලාන උන්නා . විනාඩි දහයකට විතර පස්සේ තරිඳු ආවේ තඩි පොහොර උරයකුත් බිම දිගේ ඇදගෙනයි .

"උඹ මල්ලක් පිරෙන්ඩ ගල් ගෙනාවය ..?


තරිඳු ගෙනා මල්ල දිහා බලන අතරේ මං එහෙම ඇහුවා .

"යකෝ මේ ගල් නෙවෙයි ..බලාපියවු ..මල්ලට ඔළුව දාලා ..


තරිඳු ගෙනාපු පොහොර මල්ලට එබිලා බලාපු අපි දැක්කේ කිලෝ පහක විතර තරබාරු තලගොයෙක් ඒ මල්ල ඇතුළේ දඟලමින් ඉන්නා හැටි .

"මොකෙදෑ මේ තලගොයි නාම්බෙක් උස්සං ඇවිල්ලා .


"මේකා උන්නේ ඉස්කෝලේ පරණ වතුර ටැංකියේ... අපි මෙහෙම කරමු අපි මේ තලගොයාගේ නැට්ටට ලණුවක් දාලා මේකාව ඔළුව පහළට හිටින විජිහට ගුරු නිවාසේ උළුවස්සේ එල්ලමු. ඊට පස්සේ ගල් ගහමු .දොර ඇරගෙන එළියට එන එකාගේ බෙල්ලම මූ බදාගනීවි
"

තරිඳුවාගේ අදහස ඇහිලා මගේ කන් දෙකෙන් දුම් පිට වුණා ..

"අඩෝ තොගේ මොළේ තමා මොළේ
ඒත් මේ ගොයා උයලා නම් කන්ඩම තමා හිත"

මම කට හොල්ලන්ත් කලියෙන් අපේ නළුවෝ ටික තරිඳුවාට ප්‍රශංසා කරන්න පටන්ගත්තා . මමත් එක පයින්ම තරිඳුගේ යෝජනාවට කැමති වෙච්ච නිසා ආයේ වාද විවාද නොකර අපේ සැලැස්ම ක්‍රියාවට නංවන්න අපි එදා රෑම කටයුතු කෙරුවා .

තලගොයා යමක් බදා ගත්තොත් ඌව ආයේ ඒකෙන් ගලවා ගන්නවා බොරු . බිම බඩගාගෙන යන සතෙක් වුණාට තලගොයි කියන්නේ බොහෝම හයිය හත්ති තිබුණු සත්තු ජාතියක් . රිපිටා අපි හැමෝටම කියලා දුන්නා ඉස්සර කාලෙක දීඝවාපිය පන්සලේ ඉඩමේ අනවසරයෙන් ගෙවල් හදාගෙන උන්නු මට්ටයෝ කීපදෙනෙක් එළවන්න දීඝවාපියේ සිංහල මිනිස්සු වගයක් මේ විදිහටම තලගොයි ගැටහපු කතාවක්


අපි කීපදෙනෙක් එකතු වෙලා මල්ල ඇතුළේ දඟලන තලගොයාව තදකරලා අල්ලාගෙන ඉන්න අතරේ . මල්ලෙන් තලගොයාගේ නැට්ට අමාරුවෙන් එළියට ගත්තු තරිඳු සාක්කුවෙන් ගත්තු රෙදි පටියකින් උගේ නැට්ට තදින් වෙළුවා ..

විනාඩි කීපයක් ගිය තැන අපි තුන් දෙනෙක් තලගොයා දමාගත්තු මල්ලත් උස්සාගෙන හෙමි හෙමිහිට ගුරු නිවාසය ළඟට කිට්ටු කළා . වත්ත හතර මායිමේ ඔත්තු බලන්න අපේ අනික් නළුවෝ කීපදෙනා හිටපු නිසා කිසිම හිතේ බයක් නැතිවයි අපි ගුරු නිවාසයට කිට්ටු කෙරුවේ .

"උඹලා ඔහොම බිම ඉඳපල්ලා මම මේ කණුව දිගේ නැගලා මේ එළියට ඇවිත් තියන පරාලෙන් තලගොයාව ගැටගහන්නම් .. උඹලා පොඩ්ඩක් ඕකව මල්ල පිටින් උඩට උස්සලා සපෝට් එක දියල්ලා" ..

බිම ඇවිදිනවාට වඩා හොඳට ගස් උඩ බඩගාලා පුරුදු තරිඳු . කිසිම අමාරුවක් නැතිව උළුවස්ස කෙළින්ම වහලේ අගුවෙන් එළියට ආපු පොල් ලීයක තලගොයාව ගැට ගැහුවා . අපේ වාසනාවට අපි කාටවත් තලගොයාගෙන් නියපොතු පාරවල් නම් කන්න වුණේ නෑ . තලගොයාව ගැටගහලා ඉවර වෙලා හිස් පොහොර මල්ලත් අරගෙන අපි හනි හනිකට ගුරු නිවාසෙන් ඈත් වුණා ..

වෙලාව මැදියම් රැයත් ගෙවිලා ගිහින් . පළාතම කට්ට කරුවලයි . ගුරු නිවාසෙන් එළියට බහින එකෙකුට කිසිම විදිහකින් තලගොයාව නොපෙනෙන බව නම් අපිට විශ්වාසයි . ඉතින් අපි කවුරුත් එක්කාසු වෙලා අවසන් ජවනිකාව රඟදක්වන්න සූදානම් වුණා .

ඉවසුම් නැතිව හිටි මම ගලක් ගුවන් ගත කරලා මුදුනා වෙන්න ලැහැත්ති වෙනකොටම රිපිටා මාව නැවැත්තුවා ..

"පොඩ්ඩක් ඉඳපල්ලා කලබල වෙන්ඩ එපා. ඇජෙන්ඩා සර් එදා රැස්වීමේදී කීවා නේද අපි එදා ගහපු ගල් වැටුනේ ඇජෙන්ඩා සර්ගේ ඇඳට අඟල් ගාණක් දකුණින් කියලා ..


රිපිටා කියන්නේ බොහෝම සුළු දේවල් ගැන පවා හොයලා විමසිල්ලෙන් වැඩ කරන එකෙක්

"කීවා නේන්නම් ...‍


"එහෙනම් බොලවු .. මෙදා පාර ගහපිය එදාට වඩා වම් පැත්තට බර කරලා"

"එකයි දෙකයි තුනයි ගහපල්ලා ..!!


තරිඳුගේ ගනං කිරීමත් එක්කම අපි කවුරුත් ගල් පාරවල් සෑහෙන ගාණක් ගුරු නිවාසෙ වහලට කෙළින්න ගත්තා . එකවරම ගුරු නිවාසේ ඇතුළෙන් කෑ ගහලා බනින හඬකුත් එක්ක කවුරු හරි කෙනෙක් ටෝච් එකක් දල්වාගෙන එළියට බහින්න දොර ඇරියා ..

බුදු අයියේ !!! මම නැතෝ මාව බේරගනියෝ

ඒ ඇහුණු කෑ ගැහිල්ලෙන් තලගොයා සිප වැළඳගෙන තියෙන්නේ කාවද කියලා අපි කාටත් තේරුම් ගියා . ඒත් තව මොහොතක්වත් එතන නාට්‍ය බලන්න නොහිටි අපි කවුරුත් නතර වුණේ ගෙවල් වලට ඇවිත් ඇඳන් වලට පැනලා ඔළුවේ ඉඳන් රෙදිත් පෙරවාගෙනයි ..

අපි මීටර් ගාණක් ඈතර දුවනකල්ම අපිට තලගොයා බදාගෙන උන්නු එකාගේ විලාපය ඇහුණා ..ඒ විලාප හඬ අපේ ඉංග්‍රීසි ගුරුතුමාගේ හඬ නම් නෙවෙයි .. ඒ කෑ ගැහුවේ ඉංග්‍රීසි ගුරුතුමාගේ මස්සිනා පොඩ්ඩ . අපිට හැන්දෑවරුවේ තග දාපු බීමතින් අවුදින් අපේ නාට්‍ය විනාස කරපු උන්දෑගේ මූණ තලගොයා තදින්ම මිරිකාගෙන .

පහුවදා උදේ තේ බොන වෙලාව වෙනකොට මට වටින් ගොඩින් ආරංචි ගලාගෙන එන්න වුණා . ඇජෙන්ඩා ගුරුතුමාගේ මස්සිනාගේ මූණ බදාගෙන උන්නු තලගොයාව ගලවා ගන්න හැකි වෙලා තියෙන්නේ වටේ පිටේ ගෙවල් කීපයකම මිනිස්සු ඇවිදින් මේස පුටු තියලා උඩ නැගලා වහලේ පොල් ලීයක දවටලා තිබුණු රෙදිපටිය කපා දැම්මාටත් පස්සේලු .ඒ වගේම මට ආරංචි වුණා මෙදා සැරේ අපි ගහපු ගල් ඉලක්කෙටම වැදිලා තියන බව.

පහුවදා ඉස්කෝලේ නොගිය නිසාම කවුරු කවුරුත් දැන ගන්න ඇති මේ අවලං වැඩේට වග කියන්න ඕනේ අපි බව . අපේ සිංහල ගුරුතුමා වෙන ඉස්කෝලෙකට මාරු වෙලා යන බවත් . කලින් දවසේ හැන්දෑ වරුවේ අපේ නාට්‍ය කඩා කප්පල් කරපු එකට ආදි ශිෂ්‍ය සංගමය විදුහල් පති තුමාට නෝක්කාඩු කියාපු නිසාත් අපෙන් කවුරුත් ප්‍රශ්න කරන්න ආවේ නෑ ඒ මදිවට කවදාවත් අපේ ඇජෙන්ඩා සර් අපේ පන්ති පළාතේ ආවේ නෑ ..

මේ සිදුවීම් සේරෝම අවසාන වුණත් අපේ හිතේ අපි දිනුවා කියලා හැඟීමක් නම් ඉපදුණේ නෑ . අපි හොඳටම දැනගෙන උන්නා අපි පැරදුන වග . රටක් වටින සිංහල ගුරුතුමෙක් අපේ පාසලෙන් ඉවත්වෙලා වෙනත් පාසලකට මාරු වෙලා ගියා . ඒ අතරෙම කොලනි කාරයෝ නට්‍ය ආයේ කිසිම දාක එළියට නොඑන විදිහට අළු බවට පත් වෙලා ගියා .හිතාගන්නවත් බැරි තරම් සුන්දර කතා පුවතක් තිබුණු කොලනි කාරයෝ නාට්‍ය උපන් ගෙයිම මියැදුනා ..

ජීවිතේ පළවෙනි සහ අවසාන වතාවට මම රඟපාපු "නමින්දුවා" චරිතය මගේ හිතේ තාම ජීවත් වෙනවා . දෙවරක් චක්කරේ වත් , ඉංග්‍රීසි හෝඩිය වත් කටපාඩම් නොහිටින මට අදටත් මම රඟපාපු නමින්දුවා චරිතයේ හෑම දෙබසක්ම, කවියක්ම කවදාකවත් අමතක
නොවෙන්න මගේ හිතේ රැඳිලා තියෙනවා

මේ සිදුවීම වෙලා දැන් අවුරුදු ගාණක් වෙනවා. දැන් නම් වේදිකා නාට්‍යක් බලන්න තබා ඒ ගැන අහන්නවත් මට ආසාවක් නෑ කොලනි කාරයෝ නාට්‍යත් එක්කම මහේ හිතේ උපන් වේදිකා නාට්‍ය ගැන කැක්කුම කොලනි කාරයෝ නාට්‍යත් එක්කම මැරිලා ගියා ..

මේ කතාව ලියන්න කලියෙන් මම මගේ සිංහල ගුරුතුමාගේ අවසර අරගන්නත් අමතක කෙරුවේ නෑ ..
ගුරු දිනේ කල් පැනලා තිබ්බා වුණාට කමක් නෑ මම හිතනවා මම මේ ලීව කතාව මගේ සිංහල ගුරුතුමාට උපහාරයක් වෙච්චාවේ කියලා ..

"උඹගේ කතාව එක්ක අපේ පොටෝ එකකුත් දමාපං" කියලා ගුරුතුමා ඉල්ලා හිටපු නිසා මම මේ පහළින් මගෙ සිංහල ගුරුතුමාගේ සහ රිපිටාගේ පින්තූරයක් පල කරන්නම් "


කොලනි කාරයෝ නාට්‍ය අවසාන වෙන මොහොතේදී නමින්දුවා කියන මේ කවි කීපය එදා මට වේදිකාව උඩදී බොහෝම සංවේදී විදිහට ගායනා කරන්න මගේ සිංහල ගුරුතුමා මට පුහුණු කෙරුවා, ඒත් මට කවදාවත් ඒ කවි කියන්ඩ ලැබුණේ නෑ


කුම්භස් තලය මුදුනින් කලු දුම පිඹින
ඇතෙක් දුටිමි දම්වැල් දෙපයක් තිබෙන
හෙණ්ඩුවක් නැතත් දෙන අණ පිළිපදින
අමතයි ඌට බුල් ඩෝසර යන යමින

නාලා ගිරි ඇතා උව බියවෙන ලෙසට
ඇන්ජින් හඬ නගයි ගස් පෙරලනා විට
ගම් බිම් අතැර සිදුවේවී ද පැනයන්ට
මද කිපෙනා කලට බුල් ඩෝසර් ඇතුට

ගියර් කඩන හඬ සවනට සුවය ගෙනේ
පැස්ටොල් පුසුඹ රැඳි දුම හදවතට දැනේ
ලොවක් මවිත කල ජර්මන් තාක්‍ෂනේ
මලත් සැපයි බුල් ඩෝසරයක් සෙවණේ

නිමි ..............! 


10.10.13

කොලනි කාරයෝ. 2 කොටස




"අපිත් සංවිධානය කරමු වේදිකා නාට්‍යක් මම ගොඩ කාලෙකට කලින් ලියවුව නාට්‍ය පිටපතක් තියනවා .. අද මේ පන්තියේ ඉන්න මේ ගෑනු දැරිවියෝ තුන් දෙනයි මේ කොල්ලෝ කට්ටියයි විතරක් ඒකට සම්මාදම් වුනානම් ඇති .නාට්ටිය හොඳට සංවිධානය කෙරුවොත් ,හොඳට රඟපෑවොත් මම හොඳවයින් ලකුණුත් දෙනවා ..තව දෙයක් අහගනියවු.. අපේ නාට්‍යයේ නම තමයි.."කොලනි කාරයෝ" හෙනං උඹලා හැමෝම ලැහැත්ති වෙල්ලා නළුවෝ වෙන්ඩ..”

 "නියමයි , මරු , කියලා වැඩක්නෑ …" වගේ වදන් පන්තිය වටෙන්ම ඇහුණා ….

"මං දැන්ම ගෙහුං උඹලට පෙර පුහුණුවීම් කරන්ඩ විදුහල්පති තුමාගෙන් වේදිකාව ඉල්ලාගන්නම් ....අපි හෙට ඉඳන්ම පටන් ගනිමු..

ඔන්න ඔය විදිහට ඉංග්‍රීසි ගුරුතුමාට එරෙහිව අපේ එඩිතර සිංහල ගුරුතුමා කැරැල්ලක් සංවිධානය කෙරුවා . ඇත්තටම කීවොත් අපි කලා විෂය හදාරන එවුන්. අපිට ඉංග්‍රීසි ඉහළටම ඉගෙන ගන්නවාට වඩා කලා විෂයන් ඉගෙන ගන්නයි ඔනෑ වුණේ .ඒත් ඒ බව නොතේරුණු ඇජෙන්ඩා සර් උත්සාහ කළේ මුලු පාසලම ඉංග්‍රීසියෙන් ඔකඳ කරවන්නයි ..

අපි වැඩක් පටන් ගත්තොත් ඒක උපන් ගෙයිම හබක් වෙන එක සුවාබාවිකයි ...සිංහල ගුරුතුමා හිතූ විදිහට විදුහල්පති තුමා ඉස්කෝලේ වේදිකාව අපිට දෙන්න සූදානම් වුණේ නෑ ..

"අනේ සිංහල මහත්තයෝ … ඒක නම් කොහොමටවත් කරන්ඩ බෑ අච්චර දුරක ඉඳන් මේ හද්ද පිටිසර බූටෑවේ ඉංග්‍රීසි උගන්වන්න ආපු මහත්තයා පළවෙනි වතාවට මේ ඉස්කෝලේ ඉංග්‍රීසි දිනයක් සමරන්නයි හදන්නේ ඒක කඩාකප්පල් කොරන්ඩ නාකයි. අපි ඒක ඉවර වුණාම ඔය සිංහල නාඩගම නටෝමු වේදිකාව නම් ඉල්ලන්ඩ එපා ..

ඉතින් එහෙම කියවුව විදුහල්පති තුමා අපේ සිංහල සර්ව ආපහු හරෝලා යවලා තිබුණා . ඒත් පරාජය වෙන්න අකමැති සිංහයෙක් වෙච්ච අපේ සිංහල සර් .. අපිව එක්කාසු කරලා අලුත් වැඩසටහනක් සංවිධානය කරා ..

"විදුහල්පති තුමා මට වේදිකාව දෙන්න බෑ කීවා .මොකද මහ ලොකු ඉංගිලිස් ඩේ එකක් එනවලු ලබන සුමානේ . එතකං ඉන්ඩලු මට හුහ් එවුව නං වානා . අපි ගහමු වේදිකාවක් මේ ගහක් යට .ඊට පස්සේ ආදි සිස්සයෝ සහ දෙමවුපියෝ ඉදිරියේ අපි පෙන්නමු අපේ නාට්ටිය. අපි මේ වැඩේ බොහොම කලාබරව හොඳින් ඉවර කරමු. එහෙම නේද ළමයි …?"

අපෙ ගුරුතුමා අපෙන් එහෙම ඇහැවුවේ සිංහ හඬින් ...

"එහෙයි සර් අපි කොරමු ? ඒක නෙවෙයි ඔය ඉංග්‍රීසි ඩේ එකටත් ගේමක් දෙමුද සර් අළු හුළඟේ යන්ඩ …?” වලියටම බර තරිඳු එහෙම ඇහුවා ..

"පිස්සුද ජඩයිනේ උඹලට..? මම කියාපු දේ ඉතරක් කරපියවු ? ගෙහුං හදාපියවු වේදිකාවක් ! “

සිංහල සර්ගේ මග පෙන්වීම යටතේ අපි සිංහ පැටවු වගේ ඉස්කෝලේ වත්තේ නිදහස් තැනක අපේම කියලා පුංචි වේදිකාවක් හදන්න පටන්ගත්තා . ඉස්කෝලේ වත්ත පිටුපස තිබුණ මහ කැලේට රිංගලා උණ ගස්, කොහොඹ ගස් ඉවක් බවක් නැතිව කපාගෙන ආපු අපි පතෝල මැස්සක හැඩ හුරුකම් ගත්තු බොහෝම සුන්දර වේදීකාවක් ගොඩ නැංවුවා.

අපි වේදිකාව හදලා අහවර වෙද්දී අපේ සිංහල ගුරුතුමා බොහෝම ලස්සන වගේම ගීතවත්ව ලියාපු "කොලනි කාරයෝ" නාට්‍යයේ පිටපත අත් දෙකෙන්ම ගෙනල්ලා මගේ අතට දුන්නා ..ජීවිතේ පළමුවෙනි වතාවට වේදිකා නාට්‍ය ගැන පපුව මැදින්ම අමුතුම ආදරයක් කැමත්තක් , කැක්කුමක් ඉනුවේ මගේ සිංහල ගුරුතුමා ලියාපු "කොලනි කාරයෝ" නාට්‍යයේ පිටපත කියෙවුවාට පස්සෙයි ....

ඩී එස් ඒනානායක මහත්තයා ගල් ඔය ව්‍යාපාරේ පටන් ගනිපු අලුත දකුණු පළාතේ ඉඳන් අලුත් දිගාමඩුල්ලේ කොලණියකට පදිංචියට ආපු ගමක ගැමියෝ කණ්ඩායමක් දිගාමඩුල්ලේ දුෂ්කර, වනගත පරිසරයත් සමග ගැටිලා ජීවිතේ ගොඩ නංවාගන්න හැටි ඒ නාට්‍යයෙන් කියැවුණා .."කොලනි කාරයෝ" වේදිකා නාටකයේ මට ලැබුණේ ගල් ඔය ව්‍යාපෘතියේ බුල් ඩෝසර රියදුරෙක් වෙන්න හීන මවාපු "නමින්දුවා" කියන කොල්ලාගේ චරිතය.

නාට්‍ය පෙන්වන්න සූදානම් කරලා තිබුණේ බදාදා දවසක හවස හතකුත් ගානට...ඉතින් ඊට කලින් දවසේ සිංහල ගුරුතුමා ගමේ අයට අපේ නාට්‍ය බලන්න එන්න කියලා ආරාධනා කරන්න ගෙයින් ගෙට ගියා .. කඩිමුඩියේ රඟපාන්න පුහුණු වෙච්ච අපේ නළු නිළියෝ පිරිසත් බයෙන් ගැහෙමින් මර බයින් වෙවුලමින් නාට්‍ය පටන්ගන්න වෙලාව එනතුරු බලාන උන්නා ..

එදා හවස් වරුවේ අපේ වේදිකා නාටකයේ පෙර පුහුණුවීම් අතර තුරේදී අපේ සිංහල ගුරුතුමා මගෙ ළඟට දුවගෙන ආවා ..

"සඳරු කොල්ලෝ .. මාර වැඩේ වේදිකාවට ලැයිට් එකක් දාගන්ඩ විජිහක් නෑ නෙවැ..බලාපන් මම වයර් එකක් ඇදලා ලයිට් ගන්ඩ හිතාන උන්නේ ගුරු නිවාසෙන් ..ඒත් ඉංග්‍රීසි සර් කරන්ටෙක දෙන්ඩ කැමති නෑ.උන්දැ හිතං ඉන්නේ ගුරු නිවාසේ උන්දැගෙ බූදලයක් කියලා.දැං ඉතින් කරුවලේ කොහොමද නාට්ටි පෙන්වන්නේ ?..”

ඔය කියන කාලේ වෙනකොට ඉස්කෝලේ ලැයිට් දීලා තිබුණේ ගුරු නිවාසයට විතරමයි . විදුලි පංකාවක් පවා නැති නිසාත් දවාලෙට විදුලියෙන් කරන්ඩ දෙයක් නැති නිසාත් ඉස්කෝලෙට ලැයිට් ඕනෑ වුණේ නැති තරම් .. ඉතින් මගෙ හිතේ උපන්නේ පුදුම තරහක් .ඇජෙන්ඩා සර් අපේ වේදිකාවට එක බලුප් එකක් දාන්න අකමැති වෙච්ච එක නම් මහාම මහා කුහක කමක් . මම ගන්න පුළුවන් හොඳම තීරණය ගත්තා ..

"සර් බය වෙන්ඩෙපා අපි ගිහින් පැස්ටොල් ලාම්පු දෙක තුනක් ඇන්න අවුදින් එල්ලන්නං ..”

"එහෙනම් අද රෑ උඹලා කොයි දීපංකරෙන් හරි පැස්ටොල් ලාම්පු තුනක් ඇන්න වරෙල්ලා .. හෙට හවස හය වෙනකොට මුළු ගමම එයි අපේ නාට්ටිය බලන්න ..”

එදා පෙර පුහුණු වීම් අවසාන කරලා මමත් , අපේ නාටකේ පොතේ ගුරා වෙච්චි රිපිටාත් , අපේ අසහාය නළුවෝ කට්ටියත් පැස්ටොල් ලාම්පු තුනක් හොයන්න ගම වටේ ඇව්දිමින් උන්නා .. අපේ වාසනාවට රෑ එකොළහ විතර වෙනකොට අපිට යාන්තම් පැස්ටොල් ලාම්පු තුනකුත් ලන්තෑරුම් දෙකකුත් හොයාගන්ඩ පුළුවන් වුණා ..

ඒ අඩුම කුඩුමත් අතේ අරගත්තු අපි ආයෙමත් ඉස්කෝලෙ වත්තට ගොඩ වැදුණේ එකතු කරගත්තු ලාම්පු එල්ලන්න වේදිකාව වටේ උණ ගස් තුන හතරක් හිටවන්ඩ හිතාගෙනයි .. අපි ගුරු නිවාසේ පහුකරගෙන ඉස්කෝලේ පිට්ටනිය දිහාට ගාටමින් ඉන්න අතරේදී එදත් අදත් මගේ ජාති ජාති මිත්‍රයා වෙච්ච රිපිටා එක ලාම්පුවක් උගේ සරමෙන් පිහින්න පටන් ගත්තා..

"මොකද්දෑ බං රිපිටෝ ඔය කරන්නේ ?

"මචං මේ පහන ඇතිල්ලුවාම බැරි වෙලාවත් ඇලඩිංගේ පහණේ වාගේ බූතයෙක් ආවොත් ..අම්මපා මචං බූතයෙක් අවුදින් මගෙන් ඇහුවොත් //උඹට මුනා ඕනේ ?// කියලා මම නම් මුලින්ම ඉල්ලන්නේ අපේ මේ ඉංග්‍රීසි සර් කාරයාව එංගලන්තේ ට පිටුවහල් කරන්න කියලයි ..ඇයි බං අපි ඉඳලා ඉඳලා කරන නාට්ටියට බලුප් එකක් දාගන්ඩ ඉඩ දුන්නැහැනේ .. සෙහ් මෙහෙවු ගුරුවරු ..”
"අඩේ අහපියවු .. ඔයි වැඩේ කරන්ඩ බූතයෙක් ඔනෑ නෑ ..අපි කට්ටිය ඉතරක් උන්නම ඇති ..ගල් පාරවල් ටිකක් කෙළිමු ඇජෙන්ඩා සර්ගේ කෝටස් එකට ..

මගේ හිත ඇතුළේ තෙරපුණු පවුකාර අදහසක් මම එළියට පන්නවුවේ ඒ විදිහට ..මම අදහස දුන්නා විතරයි අපේ නළුවෝ කීපදෙනා ගල් කැට අහුලාගෙන ඔඩෙක්කේ පුරෝගෙනත් ඉවරයි ..

"අඩෝ වහලේ කැඩිලා තිබුණු උළු හැදුවේ අපි .. වහලේ සුද්ද කළේ අපි , ඉතින් අපිට බැරිද බොලවු අපි හදාපු දේ කඩාදමන්න ..! පොඩි ගල් නම් ගහන්ඩ එපා ගහන එකත් ගමු පැණි බේරෙන්ඩ ..!

එක වසරේ ඉඳන් අපේ ඉස්කෝලේ මැරයා වෙච්ච තරිඳු දෙල් ගෙඩි විතර ගල් එක්කාසු කරන්න පටන් ගත්තා ..තවත් මොහොතක් යද්දී අපි කට්ටියම ගල් මුල් වලින් සන්නද්ධ වෙලා . ඇජෙන්ඩා සර් උන්නු ගුරු නිවාසේ ඉදිරියේ එකතු වෙලා උන්නා .

"හරි හැමෝමත් එක්ක ගෙයි දකුණු පැත්තට ගහපල්ලා ..ඒ පැත්තේ තමා ඇජෙන්ඩා සර් ඇත්තේ . ආයේ හැරි හැරී ඉන්ඩ බෑ ගල් ඉවර වෙනකම් ගැහුවා දීවා ..!!

පොතේ ගුරා වෙච්ච රිපිටා බොහොම ලස්සනට අපිට ආරම්භයක් අරගෙන දුන්න්නා .. පළවෙනි ගල් ගෙඩිය ඌ වැර දාලා ඇජෙන්ඩා සර්ගේ ගෙයි දකුණු පැත්තේ වහල මුදුනටම එල්ල කලා ..ඒත් එක්කම සට පට ගාලා අපිත් ගල් මුල් වීසි කෙරුවේ තරඟෙට වගේ .. හිතේ තිබුණු ආවේගේ කොයිතරම්ද කියනවානම් තව පොඩියෙන් මම මගේ වම් අතේ තිබුණු ලන්තෑරුමත් වීසි කරලා ගහනවා ..

"දුවපාං !!!” උළු කැට කීපයක් කැඩිලා වැටෙන සද්දෙ අතරින් රිපිටා කෑ ගැගහලා දුවන්න ගත්තා ...උගේ පස්සෙන් අපිත් දිවුවේ ඔලිම්පික් උලෙළේ මීටර් සියය තරඟයටම ඔබින වේගෙකින් ..

ඇජෙන්ඩා සර් උන්නු ගුරු නිවාසෙට ගල් ගෙඩි වලින් කෙළිය අපි .. පූස් පැට්ටු වගේ ගිහින් අපේ වේදිකාවේ අවසාන වැඩ කටයුතු ටිකත් නිමා කරලා ගෙවල් වලට ගිහින් නිදියෑවා …

පහුවදා ඉස්කෝලේ උදේ රැස්වීමේදී පන්සිල් අරගන්නත් කලියෙන් රැස්වෙලා හිටපු ළමයි හැමෝම ඉදිරියේ අපේ ඇජෙන්ඩා ගුරුතුමා කතාවක් පැවැත්තුවා .

"මේ ඉස්කෝලේ ඉගෙන ගන්න වනචාරී ළමයි කණ්ඩායමක් ඊයේ රෑ මගේ කෝටස් එකට ගල් ගැහුවා .මගේ වාසනාවට ඒ ගල් වැටුණේ මම නිදාගෙන උන්නු ඇඳට අඟල් කීපයක් දකුණු පැත්තට වෙන්න .මම දන්නවා ඒ වැඩේ කළේ කවුද කියලා .. ඔවු මම ඒ වැඩේ කල එවුන්ට අමතක නොවෙන දඩුවමකුත් ඉක්මනටම සූදානම් කරනවා ..”

ඒ කතාව ඉවර වුණායින් පස්සේ උදේ රැස්වීමත් හනි හනිකට ඉවර වුණා ..හිතේ සතුටක් පුරෝගෙන අපි හැමෝම පන්තියට ගියේ ..ඇජෙන්ඩා සර්ට අපිව අඳුනාගන්ඩ බැරි වුණ බව හිතමිනුයි..

"ඇජෙන්ඩා සර්ට අපිව කොහොමටවත් අඳුනා ගන්ඩ බෑ බං .. ඔය උදේ රැස්වීම තිවුවේ අපිව බය කරලා අපේ කටින්ම ඇත්ත දැන ගන්න .. අපි කොහේද බං ඔවුවට අහුවෙන්නේ …"

රිපිටා එහෙම කීවාම අපි කවුරුත් සැනසුම් සුසුම් හෙළුවා ..

එදා හැන්දෑවේ හත වෙනකොට . ඉස්කෝලේ වත්තේ අපි හදාපු වේදිකාව උඩ . කොලනි කාරයෝ වේදිකා නාට්‍ය රඟදක්වන්න සේරෝම වැඩ කටයුතු සූදානම් වෙලා තිබුණා . වේදිකාව හතර කොනේ එල්ලපු පැට්ටොල් ලාම්පු හතරත් ප්‍රේක්ෂකයෝ වාඩි වෙන පුටු බංකු වලට පිටුපසින් එල්ලා තිබුණු ලන්තෑරුමත් නිසා බලුප් දැම්මාට වඩා එළියක් ලැබිලා වේදිකාව රන්වන් පාටට බැබලුණා ..

අපේ පන්තියේ උන්නු ඉංග්‍රීසි විරෝධී කොල්ලෝ හෑම එකෙකුටම මේ නාට්‍යයේ මොකක් හරි චරිතයක් දෙන්න අපේ සිංහල ගුරුතුමා කටයුතු කරලා තිබුණු නිසාම හැමෝම හිටියේ නාට්‍යට උචිත අඳුම් අඟලාගෙන වගේම බයෙන් ගැහෙමිනුයි . ඉංග්‍රීසියට අකමැති කෙලිච්චියෝ තුන් දෙනෙක් විතරක් මේ නාට්‍යට ඉතිරි වුණ නිසාම උන් තුන් දෙනාට නාට්‍යයේ ගීතමය කොටස් තිරය පිටුපස ඉඳන් තාලෙට කියන්න අවස්ථාව දීලා තිබුණා …මීට කලියෙන් කිසිම දාක රඟපාන්න හීනෙකින් වත් හිතවුවේවත් නැති අපි වේදිකාව උඩට නගින්න වාරු නැතිව වේදිකාව පිටුපස්සේම කල් මැරුවා .ඔය අතරේ අපේ සිංහල සර් අපිව හොයාගෙන වේදිකාව පිටුපසට ආවා …

"මොකද ළමයි ප්‍රශ්නේ … අපි නාට්‍ය පටන්ගන්නේ නැද්ද ?

"බයයි සර් …" අපි කවුරුත් එක හඬින් කියද්දී අපේ සිංහල ගුරුතුමාට පොඩි හිනහවක් ගියා …

"උඹලා බය නැතිව මේක ඉවර කෙරුවොත් මගේ ගානේ උඹලට මම තෑගි අරගෙන දෙනවා ..මං වෙනුවෙන් මේක කරපල්ලා මයෙ දරුවනේ .මේක කෙරුවොත් මම මයෙ පපුව ගලෝලා උණත් උඹලට දෙනවා ඉඳා ගනිල්ලා කියලා …"

අපේ බය ලැජ්ජාව කොහෙන් ගියාද නෑ … පොතේ ගුරාට ඇඳගෙන උන්නු රිපිටා අඩියට දෙකට වේදිකාවට ගොඩ වෙලා උගේ ගැඹුරු කටහඬින් නාට්‍ය බලන්න ඇවිත් උන්නු පිරිසට කවියකින් ආචාර කරලා පිළි අරගෙන නාට්‍ය ගැන හැඳින්වීමක් කෙරුවා .. විනාඩි කීපයකින් අපි හැමෝම වේදිකාව උඩට ගොඩවෙලා අපේ රංඟනයන් ඉදිරිපත් කෙරුවේ බොහොම ආඩම්බරෙන්. නාට්‍ය බලන්න ආපු සෙනග කටවල් ඇරගෙන අපේ දිහාවේ බලාන ඉන්නවා දැකපු මට දැනුණේ පුදුම සතුටක් …

ගොඩ දෙනෙක් දන්නවා මට යන්තමට හෝ හරි ගියොත් කෙලවීමකුත් ඒ ළඟම තියන වග ….

 මතු සම්බන්ධයි..!

9.10.13

කොලනි කාරයෝ


මේ ලියැවෙන කතාව සිද්ධ වෙච්චි දින වකවානු ආයේ ආයේ මතක් කරන එක මල කරදයක් නිසා මම ලේසියට මෙහෙම කියන්නම්..ඒ මාව ඉස්කෝලෙන් බලෙන්ම දොට්ට දමාපු අවුරුද්ද... කෙටියෙන්ම කීවොත් .. ඒ මම දොළහ වසරේ ඉගෙන ගත්තු කාලේ ..

මම ගියවුව ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වාපු ගුරුතුමී එතුමියගේ දුෂ්කරක්‍රියා සමය නිමා කරලා අපෙන් සමු අරගෙන එතුමියගේ ගම් පළාතේ ඉස්කෝලෙක වැඩ බාරගත්ත දවසේ පටන් අපේ ඉංග්‍රීසි පීරියඩ් එක ක්‍රියා විරහිත වුණා .සුද්දගෙ ඉංග්‍රීසියට වෛර කරපු වැදි පැටවු වෙච්ච මමයි මගේ යාළුවෝ සෙට් එකටයි ඒ කාල වකවානුව නිකම් නත්තල් කාලේ වගේ දැනුණා .

අක්‍රිය වෙච්චි ඉංග්‍රීසි පීරියඩ් එක අපි හැඳින්නුවේ සිගා පීරියඩ් එක කියලයි .ඉස්කෝලේ මුල්ලකට වහං වෙලා බාල දුම් වැටි පැකට් පිටින්ම ඒ පීරියඩ් දෙක අතරේ ඉවර කරවුව අපි අපේ බොක්කේ ඉඳන්ම එළියට ඇදිලා යන දුම් වවලු දෙයියන්ට පුදලා හෑම විටෙකම පැතුවේ ඉස්කෝලෙට ඉංග්‍රීසි ගුරුවරයෙක් නම් එන්ඩ එපා කියලයි ..

කාලකන්නියෝ වෙච්චි අපි ඉංග්‍රීසි ගුරුවරයෙක් නැතිව සතුටුවෙන අතරේ අපේ උසස් පෙළ පන්ති කීපයේ තවත් දිරිය දරුවන් පිරිසක් ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති දුකින් තැවෙමින් උන්නා . ඉගෙන ගන්න පට්ටම අසා කරවුව ඉදිරිපස පේළියේ බ්‍රයිට් කොල්ලෝ කෙල්ලෝ ටික කීප විටක්ම විදුහල්පති තුමා හමුවෙලා ඉස්කෝලෙට උසස්පෙළ ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති අවනඩුව කීප විටක්ම කියාපෑවා ..

හැමදාම නත්තල් නෑ ..!

ඉගෙන ගන්න ආසා කරපු ඉදිරිපස පෙළේ එවුන්ගේ කන් කරච්චලේ ඉවසා ගන්න බැරිවද කොහෙද . අපේ ඉස්කෝලෙටත් අලුත් ඉංග්‍රීසි ගුරුවරයෙක් ආවා . වැදගත් පළාතක ඉඳලා මාරුවක් අරගෙන අපේ අවුවට කරකුට්ටං වෙච්ච ඉස්කෝලෙට ආපු අලුත් ඉංග්‍රීසි ගුරුතුමාව විදුහල්පති තුමා මල් මාලා දාලා, තොරන් ගහලා සාදරයෙන් පිළිගත්තා .

මට තාම මතකයි අපේ අලුත් ඉංග්‍රීසි ගුරුතුමා වැඩ ඇල්ලු හැටියේම උදේ රැස්වීමේදී ළමයි හැමෝම අමතලා කරපු කතාව .. අම්මාපල්ල ඒ කතාව තාමත් මගේ කන් අස්සේ හිරවෙලා වගෙයි ..මේ පහළින් ලියලා තියෙන්නේ අළුත් සර් කරපු කතාව මට මතක විදිහට ..

"මම අලුත් ඇජෙන්ඩා එක්කට අනුව හැමෝටම පට් පට් ගාලා ඉංග්‍රීසි උගන්වනවා . මගේ ඇජෙන්ඩා එකට මේ ළමයි හැමෝම හැඩ ගැහෙන්ඩ ඕනේ . මම කලින් වැඩ කළේ ඉංග්‍රීසියට දක්‍ෂ ළමයි උන්නු කොලේජියක ඒ ඉස්කෝලේ ළමයි .. අම්මපා!! උන් තමා ළමයි .. ඒ ළමයි සිංහල කතා කරන්නෙම නැති තරම් .. ඉංග්‍රීසි ඒ ළමයින්ගෙ කටවල් පල්ලෙන් බෙරේනවා.ඒ ළමයි ඉංග්‍රිසියෙන් අමතනවා නෙවේ වැලපෙනවා!!. මගෙ ඇජෙන්ඩා එකට අනුව මම ඔය ළමයින්වත් ඉංග්‍රීසියට දක්‍ෂයෝ කරලයි පස්ස බලන්නේ ..”

සමහරු අලුත් ඉංග්‍රීසි සර්ගේ අර්ධ සිංහල කතාවට උඩ පැනලා අත්පුඩි ගහන අතරේ තවත් සමහරු දත්මිටි කෑවා .ඔය අතරේ පාසලේ ඉංග්‍රීසි විරෝධී ශිෂ්‍ය බල මණ්ඩලය අලුත් සර්ට "ඇජෙන්ඩා සර්" කියලා නම රෙජිස්ටර් කෙරුවා ..

"කළා පන්තියේ ඉන්න අපිට මුනාට බොල ඉංග්‍රිසී ?

රිපිටා රැස්වීම ඉවර වෙලා පන්තියට යන අතරේදියි මගෙන් එහෙම ඇහුවේ

"කවුද්දං ?මං එහෙම කියලා නිකං උන්නා .

අක්‍රිය වෙලා තිබිච්චි ඉංග්‍රීසි පීරියඩ් එක අළුත් සර් ආ දවසේ ඉඳලා හරියටම ක්‍රියාත්මක වෙන්ඩ පටන් ගත්තා .. ඉංග්‍රීසි අකුරක්වත් ජීර්ණය නොවුණු අපි ඒ වෙලාවේ පන්තියෙන් පැනලා යන්න උත්සාහ කෙරුවා ඒත් ඉංග්‍රීසි පාඩම් මග හරින ඉංගිරිසි විරෝධීන්ට මුලු ඉස්කෝලෙම ඉදිරියේ ඇජෙන්ඩා සර් දඬුවම් දෙන්න පටන් ගත්තායින් පස්සේ කවුරු කවුරුත් අකමැත්තෙන් වුණත් ඉංග්‍රීසි පීරියඩ් එක වෙලාවේ පන්තියේ ඉඳගෙන උන්නා ..

ඉංග්‍රීසි සර් ඉස්කෝලෙට ආවායින් පස්සේ ඉංග්‍රීසි ඉගෙනගන්න ආසා කරපු දක්‍ෂ එවුන්ගේ මූණු පොඩි වලට අළුත් එළියක් වැටුණා . පිළිවෙළට ඇඳ පැළඳගෙන ඉස්කෝලෙට එන ඉංග්‍රීසි සර්ට විදුහල්පති තුමා වුණත් දැක්කුවේ පුදුම ගෞරවයක් වගේම අමුතු බයක්..

ටික දවසක් ගිය තැන ඉස්කෝලේ පැත්තක ජරාවාස වෙලා තිබුණු ගුරු නිවාසය අපේ අසරණ අත් වලින්ම අළුත් වැඩියා කරවා ගනිපු ඉංග්‍රීසි සර් . එතුමාගේ වයිෆ් සමගින් ඒ ගුරු නිවාසයේ බින්න බහින්න සූදානම් වුණා .. ඉස්කෝලේ ඇඟ වෙහෙසලා වැඩ කරන නමුත් මොළේ වෙහෙසන්න අකමැති එවුන් වෙච්ච අපි දවස් කීපයක්ම බිං කළුවර වැටෙනකම් නොසෑහෙන්න මහන්සි වෙලයි ගුරු නිවාසේ මනුස්ස වාසයට ගැලපෙන විදිහට යාන්තම් හරිගස්සවුවේ .

ගුරු නිවාසේ අලුත් වැඩියා කරලා ඉවර කරපු දිනයේදී අපි කවුරුත් ගුරු නිවාසේ ඇතුළේම බිම ඉඳගෙන පොඩි කයියක් ගැහුවා ..මම මගේ අතේ තිබුණ සිගරට් මගේ යාළුවෝ කීප දෙනාටත් බෙදා දීලා මමත් එකක් කටේ හිටවා ගත්තා ..

"මචං ඇජෙන්ඩා සර්ගේ ඉංග්‍රීසියට දක්‍ෂ කොලු කෙලිච්චියෝ ටික මොකෝ මේ පැත්ත පළාතේ නාවේ?

"උන්ට මචං ඉංගිරිසියෙන් කීවොත් තමාලු එන්නේ සිංහලෙන් කීවම නෝ අඩස් ටෑං "

"අඩේ ඇජෙන්ඩා සර්ගේ වයිෆා මේ පළාතෙලු බං ..?

"ඒක තමා එහෙනං ඇජෙන්ඩා සර් අච්චර හොඳ කොලේජ් එක දාලා මෙහෙට්ට පද්දවුවේ ..!”

කයියට බර වුණොත් කොල්ලො කෙල්ලොන්ටත් අන්තයි .. මෙලෝ සිහියක් නෑ .. අපි ඔහේ කයිය ගහමින් දුම් අදිමින් ඉන්නා අතරතුරේ අපි යාන්තමටවත් දැක්කේ නෑ අපි පිරිසිදු කරවුව ගුරු නිවාසයට ඇජෙන්ඩා සර් සහ එතුමාගේ බිරිඳ අවුදින් ඉන්න වග .. අපි හිතන්නත් කලියෙන් අපේ පෙනහලු වල පිරිලා තිබුණු දුම් එළියට පිඹින්නත් කලියෙන් පරල වුණු ඇජෙන්ඩා සර් .. අලුත ගෙනාපු ඉදලෙන් අපිට පන්න පන්නා ගැහුවා ..

"තොපි ජරා හැත්ත .. තොපි ළමයි නෙවෙයි බහිරවයෝ ..”

ඉඳලෙන් එක ගුටිය බැගින් කාපු අපි හෙමි හෙමීට ඈතට යද්දී අපේ ඉංග්‍රීසි ගුරුතුමා අපිට සුද්ද සිංහලෙන් බැණ වැදුණා ..

පහුවදා ඉස්කෝලේට අපි ගියේ කලින් දවසේ වෙච්ච සිදුවීම සම්පූර්ණයෙන්ම අමතක කරලා දමලයි.. ඒත් පන්තියේ දෙවනි පීරියඩ් එක පටන් ගන්න හදනකොටම පන්තියට කඩා වැදිච්ච විදුහල්පති තුමා කලින් දවසේ ගුරු නිවාසේ ඇතුළේ දුම් බීපු අපි හැමෝටම මදි නොකියන්න අඩි දුන්නා ..

"තොපි මහා ජරා ජාතියක් .. නැකතින් ගිනි දල්වලා කිරි උතුරුවන්ඩ තිබ්බ ගුරු නිවාසේ ..අස්සේ සිගරට් පත්තු කළා තොපි ..දණ ගහපියවු ගිහින් අර පිට්ටනිය මැද්දෑවේ ..

කඩං වැටිච්ච හිත් අතේ අරං දුම් බී අත් අඩංගුවට පත් වුණු අපි හය දෙනෙක් ගිහින් පිට්ටනිය මැද්දෑවේ දණ ගැහුවා ..හරියටම කීවොත් කැප්පෙටිපොළ නිලමෙ තුමා ඉංග්‍රීසින් විසින් හිස ගසාදාන්න කලියෙන් දං ගෙඩිය ඉස්සරහා දන ගැස්සෙවුවා වාගේ..

"අඩේ මුනා බං මේ අපිට වුණේ ?

දණ ගහපු හය දෙනාගේ සෙට් එකේ හිටපු රිපිටා මගෙනුයි එහෙම ඇහුවේ

"අඩි දුන්නානේ බං අපිට ..”

"අඩෝ හෙණ බලු වැඩේ බං අපි කට්ටිය දවස් ගාණක් මහන්සි වෙලා ඔය බූත බංගලාව වගේ තිබ්බ කෝටස් එක එළිය කරලා ගත්තේ මේ බල මයෙ අත් දෙකම ලෙලි ගිහින් ..අඩෝ එහෙවු කෙරුව අපිට මෙහෙවු සලකාවි කියාල කවුදෑ හිතවුවේ ?

සෙට් එකේ උන්නු ළපටි සුදා එහෙම කියද්දී උගේ ඇස් දෙකේ කඳුළු කැට දිලිසුණ හැටි කවුරුත් දැක්කා ..

උදේ නවයයි ගාණකට පිට්ටනිය මැද්දෑවේ දන ගහාපු අපි ගිනි කූටක අවුවට පිච්චි පිච්චි උදේ එකොළහ විතර වෙනකම් දන ගහගෙන උන්නා ..අඩිය තියාලා ඇවිදින කාලේ පටන්ම අවුවේ සෙල්ලං කරලා හුරු නිසාම අපි කාටවත් අවුවේ උන්නාය කියලා කරදරයක් වුණේ නෑ.. ඒත් අපේ හිත් වල ඇජෙන්ඩා සර් ගැන මහා අප්පිරියාවක් ගොඩ නැගුණා ..

සතියක් දෙකක් ගෙවුණා …........................

ඇජෙන්ඩා සර් කිවුවා වගේම මුලු ඉස්කෝලේ පුරාවටම ඉංග්‍රීසි වපුරුවන්න පටන් ගත්තා .එතුමා ඉස්කෝලෙ වත්ත පුරාම තිබුණු කොහොඹ , ඉපිල් , හුරිමාර, මයිල ආදී ගස් වල ඉංග්‍රීසි නම ලියැවුණු බෝඩ් එල්ලුවා ..ඒ ඉංග්‍රීසියෙන් කියැවෙන දිව උල්ලුකු වෙන වචන උච්චාරණය කරගන්න බැරි නිසාම ඉස්කෝලේ ගුරුවරු පවා ඒ ගස් යටින් හනි හනිකට අහකට ඇවිදං ගියේ හරියට දූරියන් ගහ යටින් මර බයේ දුවන වල් අලි වාගෙයි .

ගස් කොළන් වල බෝඩ් එල්ලලා නතර නොවිච්චි ඇජෙන්ඩා සර් ඉස්කෝලේ ඉංග්‍රීසි තරඟ ,ඉංග්‍රීසි සමිති, ඉංග්‍රීසි නාට්‍ය වගේ දේවල් නිතරම සංවිධානය කෙරුවා ..ඉතින් පාළුවට ගිහින් තිබුණු ඉස්කෝලේ වේදීකාව කොයි වෙලේත් ඇහුණු ඉංග්‍රීසි සද්ද බද්ද වලින් පිරිලා ඉතිරිලා දෙදරුම් කෑවා .. කළා විෂය හදාරන අපේ පන්තියෙත් ළමයින් බාගෙට බාගයක් ඉංග්‍රීසියට නම්මවා ගන්න අපේ ඇජෙන්ඩා නිකම්ම සර්ට පුළුවන් වුණා ..දොළහ වසර කළා පන්තිය ටිකෙන් ටික හිස් වෙලා අන්තිමේදී ඉංග්‍රීසියට අකමැති කාලකණ්ණි ටික වෙච්ච අපි විතරක් පන්තියේ ඉතිරි වුණා ..

සිංහල විෂය උගන්වන අපේ හිත හොඳ සිංහල ගුරුතුමා එක පන්තියට පොත් මිටියත් අරගෙන එනකොට පන්තියේ උන්නේ .. ඉංග්‍රීසි විරෝධී ශිෂ්‍ය බල මණ්ඩලයේ කොල්ලෝ කීප දෙනා සහ කෙල්ලෝ තුන් දෙනෙක් විතරයි ..

"හත්තිලවුවේ .. කොහේදෑ මේ පන්තියේ අනික් එවුන් ?

" ඒ අය ඉංගිලිස් ඩේ එක ළඟ එන නිසා ඉංග්‍රීසි සර් එක්ක නාට්ටියක් සංවිධානය කරනවා ..”

"මොක කීවා ? ඉංගිරිසි නාට්ටි ? යකෝ මේක දොළහ වසර කළා පන්තිය නේද ?

"ඔවු සර් ..!”

"ඉඳපල්ලා ඕකුං ආවොත් වද්ද ගන්නෑ පන්තියට ..

ඇජෙන්ඩා සර්ගේ ඉංග්‍රීසි හමුදාවට ඉස්ම යන්ඩ සුද්ද සිංහලෙන් බැනපු සිංහල සර් පීරියඩ් එක ඉවර වෙලා යන්ඩ ලැහැත්ති වෙලා . අපිට පොඩි යෝජනාවක් කෙරුවා ..

"අපිත් සංවිධානය කරමු වේදිකා නාට්‍යක් මම ගොඩ කාලෙකට කලින් ලියවුව නාට්‍ය පිටපතක් තියනවා .. අද මේ පන්තියේ ඉන්න මේ ගෑනු දැරිවියෝ තුන් දෙනයි මේ කොල්ලෝ කට්ටියයි විතරක් ඒකට සම්මාදම් වුනානම් ඇති .නාට්ටිය හොඳට සංවිධානය කෙරුවොත් ,හොඳට රඟපෑවොත් මම හොඳවයින් ලකුණුත් දෙනවා ..තව දෙයක් අහගනියවු.. අපේ නාට්‍යයේ නම තමයි.."කොලනි කාරයෝ" හෙනං උඹලා හැමෝම ලැහැත්ති වෙල්ලා නළුවෝ වෙන්ඩ..”