27.6.12

බතලයෙකුගේ කතාවක්. 3

පලමු කොටස 
දෙවනි කොටස


 රුවන් අමාලිගේ කිට්ටුවට යනකොටම අමාලිගේ මූණ හිනාවකින් පාට වැටුණ හැටි මම දුර උන්නට හොඳටම දැක්කා . මට දැන් විශ්වාසයි මේ කෙල්ල හිඹිජ්ජි වගේ හිටියට අපේ රුවන් බතලයා ගැන මොකක් නමුත් කැක්කුමකින් ඉන්න බවට . කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි කාලා බැලුවත් කොහොමවත් තේරුම් ගන්න අමාරුයි


රුවන් විනාඩි පහකට වඩා අමාලිත් එක්ක කතා කරමින් හිටියා අමාලිගේ දෙපස උන්නු මානවිකාවෝ ඩබල පැත්තකට වෙලා ඉඳන් හාංචිපයිස් ගහලා ඉරිසියාවෙන් බලාන උන්නා . රුවන් කතාව නවත්තලා ආපහු මම උන්නු දිහාවට එන්න හැරුණේ කල්ල වඩන සෑර්ගේ කාර් පොඩිත්ත දූවිලි කාගෙන ඇවිදින් පන්තිය ඉස්සරහා නතර කළායින් පස්සෙයි

ඉතින් මොකෝ වුණේ ?

මොකුත් නෑ අපි කතා කළා . වැඩේ නම් ඒ හැටි හොඳට කෙරුණේ නෑ .
රුවන් මූණ එල්ලගෙන උත්තර දෙනකොට මටත් ටිකක් අප්සට් .

ඉතින් උඹලා ජෝඩුව අර බොහොම ලස්සන මුකුළු කර කර කතා බහ කළේ . මට පෙනුණේ නෑ උඹලා අවුලෙන් කතා කරන වගක් .

ඉතින් සඳරු අයියේ මට කෙල්ල අකමැති කොට මම අර ළමයි සේරම ඉස්සරහා අඬන්නද ? මමත් කොල්ලා වගේ ෆේස් කළා . ඒකි ඉඳන් හිනා වෙවී මට බෑ කීවා .

කමක් නෑ ඔන්න මගෙන් වෙන්න ඕනෙ හරිය මම කළා . ආයේ එහෙම මාව සල්ලි වලට ගන්න හදන්න එපා . මම මලත් ප්‍රතිපත්ති කඩන එකෙක් නෙවේ .

අනේ මම නොදන්න උඹගේ ප්‍රතිපත්ති
ඔය විදිහට වල්පල් කතා කරමින් පාරට ගියපු අපි ගෙවල් දිහාවට යන බස් කට්ටක එල්ලිලා ගෙදර ගියා . හවහට වැවු පිට්ටනියේ ව්‍යායාම එන බවට මම රුවන්ව පොරොන්දු කරගත්තේ පුදුම දහ දුකක් විඳලයි .


දවස් කීපයක්ම ඔය විදිහට මමයි රුවන් මල්ලියි ව්‍යායාම කරන්න වැවු පිට්ටනියට ගියා . මම හීතල බියර් බොන අතරේ රුවන් වැටෙමින් පෙරළෙමින් ව්‍යායාම කළා . උගේ පරුවතයක් වගේ ඇඟ නම් යන්තම්වත් අඩු වෙලා තියන වගක් මට පෙනුණේ නෑ ඒ වුණත් උගෙන් මම කලින්ට වඩා අමුතුම ප්‍රාණවත් බවක් දැක්කා . සුදුමැලි වෙලා තිබුණ මූණත් පාට වැටිලා ඇවිල්ලා . ඉස්සර ළඟින් ළඟින් තියාපු පියවර වළ පරතරය දැන් වෙනදටත් වඩා වැඩියි



දවස් ගාණක් තිස්සේ හම්බුවෙච්ච මගේ දවසේ දීමනාව නිසා . මගේ පොකැට්ටුව නම් සෑහෙන දුරට පිරිලා. මගෙ හිතත් අමුතු සතුටකින් පිරිලා . සතුටයි සල්ලියි කොයිතරම් එකතුයිද කියලා මට එදා හිතුණා



අතේ සල්ලි තියන කාලේ සතුටෙන් ඉන්න ඕනෙ. අද තියන සල්ලි හෙට වාෂ්ප වෙලා යන්නේ බිම නමාපු ආෆ්ට සේවු වගේ . අදම සල්ලි වලින් වැඩක් නොගත්තොත් හෙට වෙන්නේ හූල්ලන්න . ඒ නිසා මම පහුවදා උදෙන්ම පෙම්වතියත් එක්ක සාප්පු සවාරි යන්න වෙලාවක් වෙන් කරගත්තේ හැමදාම මට සල්ලි වලින් උදවු කරන මගේ කෙල්ලට මොනා හරි සුකුරුත්තං ටිකක් අරගෙන දීලා ඒකිගේ හිත පොඩ්ඩක් නළවන්න හිතාගෙනයි

ඉතින් එක බ්‍රහස්පතින්දා දවසක හැන්දෑ ජාමේ මමත් මගේ පෙම්වතියත් සාප්පු සවාරියක් ගියා . අතින් කටින් බඩු මලු එල්ලගෙන ගෙවල් බලා එන්න හදන වෙලාවේදී කෙල්ල මට තවත් ඩෙන්ඩර් එකක් පාත් කළා .

සඳරු මගේ කොණ්ඩේ පොඩ්ඩක් හදාගන්න ඕනෙ . අපි යමුද කුකීගේ සැලුන් එකට . ?


ගෙදර ගිහින් ඇලට් එකක් දාන්න හිතාගෙන උන්නු මට තවත් මරාලයක් පාත් වුණා . දැන් ඉතින් මෙයා කොණ්ඩේ කපලා හෝදලා වේලගෙන එනකං ඒ ගෑනු සැලුන් එක ඉස්සරහට වෙලා මට වේලි වේලි තමා ඉන්න වෙන්නේ . කුම්බලා කරෝල කෑවා නං විඳපං පූසෝ කියලා හිතෙන් කියාගෙනම මමත් එයාගේ පස්සෙන් ඇදිලා ගියා


සඳරු මම හනිකට එන්නම් ඔයා මේ එළියට වෙලා ඉන්න .

ඇයි මම ඇතුළට එන්න එපාද ?

අපෝ එපා . ඔයා අවොත් මට නිදහසේ කොණ්ඩේ කපා ගන්නවත් නෑ ඔයා හැම දේකම ඇද කුද හොයනවා නේ

අනෙ ඔයා බූ ගාගෙන ආවත් මට මොකෝ .. මම එළියෙම ඉන්නවා . !

කුකීගේ සැලුන් එකේ මිදුලේ ලෑලි වලින් හදපු පුංචි බංකු පොඩියක් තිබුණා . කෙල්ලොත් එක්ක ඇවිදින් මෙතන චාටර් වෙන අහිංසක කොල්ලෝ වෙනුවෙන්ම ඒ බංකු පොඩිත්ත හදන්න ඇති කියලා මට හිතුණා . අතේ තිබුණු බඩු මුට්ට මම ඒ බංකුව උඩින් තිවුවේ බඩු මුට්ටු උස්සගෙන හිටියොතින් මේ සැලුන් එකට එන යන කාන්තාවෝ මම නාටාඹි ගොයියෙක් කියලා සැක හිතාවි කියලා හිතලයි


සැලුන් එකට යන එන නොයෙක් වර්ගයේ පොමනේරියන් කෙල්ලෝ දිහා බලමින් මම ඒ බංකුව උඩ විනාඩි විස්සක් විතර සතුටෙන් වේලි වේලි ඉන්න ඇති .එක වරම තරමක් වේගෙන් ආපු බයික් දෙකක් මගේ ළඟම නතර කළා . . ඒ බයික් දෙකට පිටිපස්සෙන් පුට් සයිකල් දෙකකුත් ඇවිදින් නතර කළා . ඒ චාටර් බයික් සයිකල් ගැන්සිය දිහා මම බලාන හිටියේ ඔච්චමට වගේ .ඔන්න එතකොටම ඒ බයික් ගැන්සියෙන් එකෙක් ඉදිරියට ඇවිත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා


මේ බයික්කේ කාගෙද ?
කාගෙද මන්දා බයික් එකක් පෙන්වමින් ඌ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා

මගේ නෙවෙයි !”

තොගේ නෙවෙයි වුණාට කමක් නෑ මේක අයිනට දාපිය .

මොකද්ද තමුසෙ කීවේ අනුංගේ බයික් අහක දාන්න මම මොකෙක් කියලද තමුසේ හිතුවේ ?

තමුසේ එහෙනම් අපෙ කොල්ලොන්ගේ නංඟිලාට කොල්ලෝ සෙට් කරන්න දඟලන්නේ ඒ ඇයි ?


එතකොටම මට තේරුණා මෙතන වෙන්නේ මොකක්ද කියලා . මේ ඇවිදින් ඉන්නේ පොල් මීයගේ සෙට් එක . මගේ පපුව වේගෙන් ගැහෙන්න වුණා . කොයි එකටත් කියලා මම අත ගුලි කරගත්තේ ගුටි කනවා වගේම එක ගුටියක් හරි දෙන්නත් හිත හදාගෙනයි .හිත හදාගත්ත මම හතර වටේට ඇස් හරවමින් පොල් මීයව හෙවුවා . ඒත් ඌ එතන හිටියේ නෑ

මොනාද ඩෝ බලන්නේ ? ඉඳා

එකෙක් පැන්න ගමන් මගේ මූණට දාර පාරක් දුන්නා . මම ඒ පාරට කොහෙත්ම සූදානමින් නම් නෙවෙයි හිටියේ . ඒක නිසා මාව අඩියක් විතර පස්සට තල්ලු වෙලා ගියා . හිතේ තිබුණු තරහවටයි කලබලයයි හන්දා වෙන්න ඇති මට ඒ ගහපු පාර යන්තම්වත් දැනේ නෑ


මමත් පැන්න ගමන් මට ගහපු එකාගේ මූණටම හොඳ පාරක් දුන්නා මූණ සම්බල් වෙන්නම . ඌ පස්සට විසි වෙනවාත් එක්කම මම පැන්න ගමන් උගේ බෙල්ලෙන් අල්ලාගෙන ඌට තවත් ගුටි කීපයක් දුන්නා . ඔන්න ඔය අතරේ තමයි වටේ හිටි එවුන් ටික මට නෙලන්න ගත්තේ



එකෙක් මගේ ඔළුව පිටිපස්සට හෙල්මට් එකකින් ගැහුවා . මට දැනුනෙවත් නෑ . තවත් එකෙක් මට පයින් ගැහුවා ඒත් එවේලේ තිබුණු මොකක්දෝ මන්දා අමුතු හැඟීමක් නිසා මට රිදුණේ නම් නෑ . මම වටේ පිටේ ඉන්න එවුන් ගැන යන්තම්වත් නොහිතා මට පළමු පහර ගහපු එකාගේ මූණටම ගුටි ගහමින් හිටියා .. මේ වලිය විනාඩි පහක් හයක් විතර තියෙන්න ඇති මගේ හයිය හත්තිය ටිකෙන් ටික අඩු වෙලා ගියා හතර වටින්ම වදින පාරවල් ටිකෙන් ටික මට දැනෙන්න පටන්ගත්තා


ඔය අතරේදී දූවිලි කාගෙන ආපු පල්සර් බයික් එකක් අපේ ගැටුම සිද්ධ වෙන තැනට ආවේ පුදුම වේගෙන් .ඒ බයික් එකේ උන්නු එකාව මට ඒ මොහොතේ හරියට නොපෙනුණත් මම බයික් එකේ හඬින් ඒ ආපු එකාව ඇඳින්නා .මගේ හිතට දැනුණේ පුදුම සතුටක් .එක්ක අමුතුම හයියක් . ඒ ආවේ මගෙ හොඳම මිත්‍රයා වෙච්ච කිතුලා.


කිතුලා බයික් එකෙන් බැහැලා ආවේ හරිම සන්සුන් විදිහට . ඒ කිතුලගේ හැටි බය කියනදේ අපි ඇඳින්නට ඌ බය කියන දේ අහලාවත් නෑ . හෙල්මට් එක දෑත බදලා අරන් කිතුලා වලිය මැදට පැන්නා මොනා වුණාද කියලා නම් දන්නේ නෑ වලිය නම් ඉවරෙටම ඉවරයි වලියට ආපු එවුන් ගිහිල්ලත් ඉවරයි


මම දකුණු අතෙන් ගලන ලේ පිහදාන්න බිම වැටිලා තිබුණු පත්තර කෑල්ලක් අතට ගත්තා . මගෙ අත හයියෙන් වෙවුලන්න වුණා .

සඳරුවා උඹට අමාරුද බං ?කිතුලා මගෙන් එහෙම ඇහැවුවේ ටිකක් විතර අවුලෙන් වගේ .

මට අවුලක් නෑ බං අනූ දැක්කොත් තමා කෙළිය . ඒකි කලබල වෙයි ඒක නිසා මම හනිකට ගිහින් මේ අත හෝදගෙන එන්නම් .”


ආයෙ දකින්න දෙයක් නෑ උඹගේ කෙල්ල තමා මට කෝල් කළේ . එවේලේ මම බාලිකා හන්දියේ උදයපාලගේ ගැරිජ් එකේ හිටියේ බයික්කේ චේන් එක තද කරන ගමන් . කෝල් එක ආපු ගමන් මම පැනලා බයික්කේ අරන් ආවා චේන් එක තද කර කර උන්නු උදයපාලයා බයික් එකට යට වුණාද මන්දා . හෙක් හෙක් .” 


මම ආපහු හැරිලා කුකීගේ සැලුන් එකේ ඉස්සරහා අඳුරු වීදුරුව දිහා බැලුවා . ටිකක් වෙලා ඒ දිහා බලද්දී ඒ වීදුරුව විනිවිද යන බැල්මට් එකක් දාන්න මට පුළුවන් වුණා . පර වෙච්ච මලක් වගේ මූණක් එක්ක මගේ දිහා බලාන හිටියේ මගෙ කෙල්ල . එයාට පිටිපස්සෙන් තවත් සැලුන් එකට ආපු ගෑනු පෝලිමක් කම්මුලේ අත තියාගෙන මගේ දිහා බලාන හිටියා . “වසල නෝන්ඩිය” . මම හිතෙන් මිමිනුවා


එදා රෑ නිදාගන්න ඇඳට වැටුණහම තමා මට හැන්දෑවේ අල්ලපු අඩවුවේ සැප දැන්නෙන්න ගත්තේ .මගේ ඔළුව ගෙඩි ගැහිලා තිබුණා ඒ විතරක් නම් මදෑ යටි බඩත් කොර වුණා. ඒත් පහුවදා අවදි වෙද්දී ඒ අමාරු බොහෝමයක් නැතිවෙලා ගිහින් තිබුණා . ඉතින් එදා මම වැඩට නොගිහින් ගෙදර හිටියේ ඇඟ පතේ අමාරුවෙ ආයෙමත් උත්සන්න වෙයි කියලා හිතලයි .


එදා හවස හතරට විතර කිතුලා මාව හම්බුවෙන්න ආවා. ඌ එනකොටත් මම තුවාල වෙච්ච අතේ දම්පාට බෙහෙත් ආලේප කරන ගමන් .

උඹට මම කොච්චර කියලා තියනවාද ඔය චීත්ත සීන් වලට යන්න එපා කියලා කෝ උඹ අහන එකක් යැ .

මොනා කරන්නද බං.? අර රුවන් මලයා මට සල්ලි පෙන්නුවානේ ඉතින් මම කොර වුණා. උඹ දන්නවානේ මේ දවස් වළ මගෙ අතේ සතේ නැතුව මම වේලි වේලි හිටිය විත්තිය .

ඒක නෙවෙයි සඳරු මම ආවේ උඹව යාළුවෙක් හම්බු වෙන්න එක්ක යන්න .”

කාවද ?

පොල් මීයව .”

ඒ මොකටද ඌට ඕන්නං ඇවිදින් මාව හම්බු වෙන්න කියාපං . මම මොකටද ඌ ගාවට බඩගාන්නේ ?

මචං අපිට ඔය යකඩ බජාර් එකේ එවුං එක්ක කේස් දාගෙන මේ පැත්තේ වසන්න වෙන්නේ නෑ උඹ දන්නවානේ උං එක්ක හැප්පෙන්න කවුරුත් නැති විත්තිය . ඉතින් අපි මේක ෂේප් කරමු .”

කිතුලා කීව කතාවට මගේ හිතත් අවනත වුණේ ඉබේටමයි . ඇත්ත..! යකඩ බජාර් එකත් එක්ක පැටලෙනවට වඩා උංව අපේ යාළුවෝ වගේ තියාගන්න එක ඇඟට පතට ගොඩාක් සනීපයි . හෙල්මට් එකකුත් අරගෙන කිතුලාගේ බයික් එකේ පිටිපස්ස සීට් එකේ මම ඉඳගත්තේ යකඩ බජාර් එකත් එක්ක සටන් විරාමයකට සෙට් වෙන්න කියලා හිතාගෙනයි


කිතුලා බයික් එක පැදගෙන ගිහින් ටවුමේ ප්‍රයිවට් බස්ටෑන්ඩ් එක පිටිපස්සේ තිබුණු කක්කුස්සිය ගාව නතර කළා . යාන්තමට ගැහි ගැහී මම ඒ බයික් එකෙන් බිමට බැස්සේ ආයෙ වතාවක් නම් ගුටි කන්න හයියක් මගේ ඇඟපතේ යන්තමටවත් නැති බව හොඳටම දැනගෙනයි



කක්කුස්සිය අද්දර තිබුණු අන්දර ගහක් යට පොල් මීයා වාඩි වෙලා හිටියා . යකඩ බජාර් එකේ තවත් අයියලා හත් අට දෙනෙක් ඌ එක්ක බිම ඉඳගෙන බීඩි ගහමින් සතුටු සාමිච්චියේ යෙදෙමින් හිටියා . හෙල්මට් එක අතට අරන් කිතුලා ඉස්සර වුණා


ඔන්න අපි ආවා . දැන් කියන්න තියන දේ කියපං ..!
කිතුලා පොල් මීයට ටෝක් කළ විදිහ දැකලා මට පුදුම හිතුණා . උගේ ඒ හැසිරීම ඉදිරියේ මගේ බයත් කොහෙ ගියාද මන්දා ?

සඳරු වාඩියං පොඩ්ඩක් අපි ටිකක් ආස්සරේ කරමු .


මමත් කිතුළත් පොල් මීයා ඉඳගෙන උන්නු අන්දර ගහ යට ඉඳගත්තා සාක්කුවෙන් කැප්ටන් සිගරට් පැකට් එක අතට ගත්ත පොල් මීයා ඒකෙන් එකක් සහ ගිනි පෙට්ටියක් මගේ දිහාවට පාස් කළා . මගේ සිගරට් එකෙන් දුම් නගින්න ගත්තාට පස්සේ පොල් මීයා කතාවට බැස්සා . ඒ කතාව රතු ඉන්දියානු නායක සියැටල්ගේ කතාව තරම්ම උත්කෘෂ්ටයි.

සඳරු උඹගේ නංඟිට කවුරුහරි කොල්ලෙක් ටෝක් කළොත් උඹ මොකද කරන්නේ ? මම හොඳටම දන්නවා බං උඹ කරන දේ . උඹ ඌව බය ගන්නන්න හදයි බැරිම වුනොතින් නෙළයි . මමත් කළේ ඒ වැඩේ තමයි . අපේ පොඩි කෙල්ලෝ තාම උසස්පෙළ කරන වයසේ බං කොළඹ නුවර එවුන් මේ කාලේ වෙනකොට කරන්න ඕනෙ වල් වැඩ සේරම කරලයි ඉන්නේ ! ඒත් මේ අම්පාර බං ඉස්කෝලේ යන කාලේ ලවු කරන එක මේ පළාතට මැජික් ! . ඔවුවායිං වෙන්නේ කෙල්ල චා වෙන එක.අම්පාරෙදී කෙල්ලෙකුට කැත කතාවක් හැදුණොත් ආයෙ කිරි කළ හතකින් නාවලාවත් ගෙට ගන්න බෑ යකෝ . නැද්ද මං අහන්නේ ?” 

හ්ම්

අපි ඉස්කෝලේ යන කාලේ ගන්න තියන හැම ආතල් එකක්ම අරගත්තා . ඒත් අන්තිමට අපිට වුණේ කාලකණ්ණි වෙන්න .අපි මොකටද බං ඒ වැඩේ අපේ පවුලේ අනික් එවුන්ටත් වෙන්න දෙන්නේ ? සඳරුවා මම උඹට මේ හොඳින් කියන්නේ උඹ ආයේ ඔය වගේ සීන් වලට සම්මාදං වෙන්ඩ නම් එපා .” 

හරි මගේ අතිනුත් වරදක් වුණා . මට සමාවෙයං . මම ආයේ ඔය වගේ සීන් වලට යන්තමවත් ගෑවෙන්නේ නෑ .”

හරි උඹ එක්ක අපි ෂේප් ! ඒත් තව පොඩි වැඩක් කරන්න තියනවා . ඔය මගේ නංඟිට අවලං මැසේජ් ගහන තඩියාව මට හොයාගන්න ඕනෙ . හොයාගෙන උගේ ගෙදර මහ එකාලට සද්දයක් දාලා ඌට දෙකක් නෙලන්නත් ඕනෙ . එහෙම කරන්නේ ආය ඌ ඒ වගේ වැඩ නොකරන්න .” 

ඕන දෙයක් කරගනිල්ලා හැබැයි මගෙන් නම් අහන්න එපා ඌ ඉන්න තැන මම කියන්නේ නෑ .

උඹට උගේ විස්තර දෙන්න බැරිනං හංඟා ගනිං . මට මගේ නංඟි ඌ ගැන සේරම ඩීටේල් දුන්නා . මට තියෙන්නේ වෙලාවක උගේ ගෙදෙට්ට ගිහින් පොඩි සද්දයක් පාත් කරන්න විතරයි . මම ඒක කරනවා .

පොල් මීයටයි උගේ සේනාවටයි ඕනෙ දෙයක් කරගන්න ඇරලා මමයි කිතුළයි එතනින් හෙමිහිට මාරු වුණා . ආයේ නම් සල්ලි නෙවෙයි මුතු මැණික් දෙනවා කියලා කීවත් මම මේ වගේ වැඩ වලට සම්මාදම් නොවී ඉන්න තදින්ම හිතා ගත්තා . පොල් මීයාගේ පැත්තෙන් බැලුවාම ඌ සීයට සීයක්ම හරි . ඌ අද ඉන්න තැන මම උන්නා නම් මම කරන්නෙත් ඔය දේම නේද කියලා මට නිතරම හිතුණා 

******

දවස් දෙක තුනක් ගත වුණා රුවන් නොවරදවාම ව්‍යායාම වලට නම් සහභාගී වුණා ඒ වගේමයි ඌ අමාලිට මැසේජ් යවන එක සහ මිස් කෝල් ගහන එකත් නතර කරලා තිබුණේ නම් නෑ . ඌට ඒ වැඩේ නොකර පාඩුවේ ඉන්න කියලා මම වැන්දේ නැති ටික විතරයි . ඒත් පහන් දැල්ලක් පස්සේ දුවන පලගැටියෙක් වගේ ඌ ඒ කෙල්ල පස්සේ එළවමින් හිටියා . දවසක් රෑ එකොළහමාරට විතර මගෙ ෆෝන් එකට රුවන්ගෙන් කෝල් එකක් ආවා

සඳරු අයියේ පොල් මීයා සෙට් එකක් එක්ක ඇවිදින් අපේ තාත්තට බනිනවා . මම පිටිපස්ස ජනේලෙන් පැනලා වැවට ආවා . අනේ උඹත් පොඩ්ඩකට වරෙං .


අඳුරෙම අතපත ගාලා සෙරෙප්පු කටු දෙකකුත් හොයාගත්ත මම ෆෝන් එකේ ටෝච් එකත් දල්වාගෙන වැව පැත්තට දිවුවා . වැවේ පිටවාන ගාව කඩාන වැටිලා තිබුණු තිඹිරි ගහක කඳක් උඩ රුවන් වාඩි වෙලා හිටියා .ඌ ඒ ඉන්න විදිහ දැක්කාම මගේ හිතට නම් පොඩ්ඩක්වත් දුකක් නම් දැනුණේ නෑ

උඹ විහින් දාගත්ත කරදර හන්දා නේ මල්ලි මේ සේරම . දැන්වත් ඔය කෙල්ලව අමතක කරපං එයා තමයි උඹ ගැන සේරම විස්තර පොල් මීයට දීලා තියෙන්නේ . ඒකි උඹට ආදරේ නෑ මල්ලී .”
රුවන් හයියෙන් අඬනවා මම කළුවරේම දැක්කා. ඒ අඬන ගමන් මොනවාදෝ කියන්නත් උත්සහ කරනවා ඒත් ඒ වචන පැහැදිලි නෑ .

අඬන එක නවත්තලා ගෙදර යං .දැන් පොල් මීයා සහ පිරිවර ගිහිං ඇති කියලා හිතුණ නිසා මම එහෙම කීවා .
රුවන් උන්නු තැනින් නැඟිටලා කලිසමේ තිබුණු වැලි පිහදාගෙන මගේ ෆෝන් එකේ එළියෙන් ගෙවල් පැත්තට ගෑටුවා . යන අතරේදී ඌ නාහෙන් අඬන්නත් ගත්තා

තාත්තා මට බණියි බං . හෙටම මාව නුවර ගිහිල්ලා දමාවි බං . !

ඉතින් මල්ලී මේ සේරම අවුල් අමතක කරලා උඹ නුවර ගිහින් හොඳට ඉගෙන ගනු .

මට බෑ මට බෑ බං අමාලිව දාලා යන්න මේ ගමේ ඉද්දී ඒකි මට යන්තම් හරි දකින්න ඇහැකි ඒත් මම නුවර ගියාම මම කෝමද ඒකිව බලන්නෙ ?

අනේ මන්දා බං
මම රුවන්ව උගේ ගෙදර ගෙට්ටුව ගාවටම එක්කරගෙන ආවා . ගෙදර පිලේ ඉඳගෙන හිටි තිලකේ මාමා හනි හනිකට අපි ගාවට දුවගෙන ආවා .

සඳරු පුතේ මේකා කොයිබද උන්නේ ?

වැවේ උන්නා මාමේ මම එක්කරගෙන ආවා . බනින්න හෙම එපා හෙමීට කරුණු කාරණා කියාදෙන්න පොඩි එකා නේ !

අනෙ මූ හරි හොඳ පොඩි එකා. අර යකඩ බජාර් එකේ උං එක්කයි මූ පෑහෙන්න හදන්නේ . උඹ දන්නවානේ උං මැරයෝ කියලා උං එක්ක පෑහෙන්න අපි හෙහ් .. තෝ හෙටම නුවර යන්න ලැහැත්ති වෙයං . සකලසූරිය බස් එකට මම කෝල් එකක් දීලා සීට් බුක් කළා තෝ හෙටම පල නුවර නැත්තම් මම තෝව පට්ට ගහනවා” 

ඒ දෝස්මුරේ අහගෙන උන්නු රුවන් මීයෙක් වගේ ගෙට රිංඟුවාට පස්සේ මමත් ගෙදර ගියා . මේ හැම ප්‍රශ්නයක්ම හෙට උදේ රුවන් නුවර ගියායින් පස්සේ අවසන් වෙනවා එහෙම හිතාන ඇඳට වැටුණ මට වෙනදාට වඩා හොඳට නින්ද ගියා .

*****

අයියේ අයියේ නැගිටිනවා හනිකට .. !”
මගේ නංඟිගේ කෑගැහිල්ල ඇහිලයි මම පහුවදා උදේ අවදි වුණේ .

මොකෝ ?

අන්න තිලකේ මාමගේ පුතා හාල් මෝලට අත දාලා අත තුවාල කරගෙන ! උඩහ ලොකු නැන්දලාගේ ත්‍රීවිල් එකෙන් ඉස්පිරිතාලේ ගෙනිච්චා .

අර මොකෝ මෝලට අත දාන්න ගිහින් තියෙන්නේ ?

රුවන් උදේ අමාලිට කෝල් අරගෙන ඒක දැක්ක තිලකේ මාමා ෆෝන් එක අරන් මෝලට දාලා රුවන් ඒක ගන්න අත දාලා

ගොඩක් අමාරුද ඌට ?

වම් අතේ ඇඟිලි දෙකක් කැඩිලා ගිහිල්ලලු ? ආයෙ හදන්නේ කොහොමද නේද ඉතින් ?

මම ලොකු හුස්මක් පිට කරලා ආයෙමත් ඇඳේ මුනිං අතට පෙරළුණා . හිත කෑගහලා කියනවා මේ සිද්ධ වෙච්ච දේට මමත් වැරදි කාරයෙක් කියලා .රුවන්ට පොතේ පතේ දැනුම තිබුණට කෙල්ලො සම්බන්ධ දේවල් වලදී නම් ඌ අමුම අමු මෝඩයෙක් නැත්තම් කෙල්ලෙක් නිසා උගෙ අනාගතේම කාලකණ්ණි කරගනීවිද ?. 


රුවන් වමත් කාරයා. ඌ අකුරු ලීවේ වමින්. දැං ඉතින් ඌ ලියන්නේ මොන අතින්ද ? මම උගෙන් සල්ලි අරන් ඌට බ්‍රෝකර් වැඩ කරන්න ගියා කියලා තව ටික දවසකින් මේ ගමම දැන ගනිවී ඊට පස්සේ රුවන් කාට කාටත් රත්තරන් පුතෙක් වෙන අතරේ මාව හැමෝටම කටගැස්ම වේවි


ඉතින් රුවන් ආයේ කවදාකවත් ව්‍යායාම කරන එකක් නෑ. ආයේ නුවර ඉස්කෝලෙට යන එකකුත් නෑ . උගේ අනාගතේ ඌම කාලකණ්ණි කරගත්තා මමත් ඒකට පංඟු කාරයක් වුණා .


එදා ඉර ගල පයින ජාමෙට බෝතල්කුයි වීදුරු කීපයකුයි අරන් මම වැවු පිටියට ගියා . මම වැවු පිටියට එනකොටත් කිතුළයි මගෙ තවත් හොඳම මිත්‍රයෙක් වෙච්ච මොරටුයි දෙන්නා .බයිට් සහ සෝඩා එක්ක ඇවිදින් හිටියා . ගිනි වතුරෙන්වත් හිත හෝදලා දාලා යන්තම්වත් පිරිසිදුවෙන්නයි මට ඕනෑ වුණේ . බෝතලේ ඉවර වෙද්දී මේ කැලතිලා තියන හිත සන්සුන් වුණත් ආයේ රුවන් දකින දකින වාරයක් ගානේ මට මේ පවුකාර හැඟීම දැනෙන බව මම දන්නවා ..


හැන්දෑ අඳුර වැවු පිටියට වැටෙන අතරේ වතුර නැතිව හිඳිලා ගියපු වැව පුරාම පැතිරුණේ මහ මුස්පේන්තු බවක්. ඒකත් හරියට මගෙ හිත වගේ !..


ලොකු හුස්මක් අල්ලපු මම වීදුරුව පිරෙවුවා . !





ඉවරයි !









හරක් බලන පාල මාමා බන්ටෙක උඩ ඉඳන් අපි දිහෑ බලාන උන්නු හැටි මගේ කැමරාවේ වැදුනේ මෙහෙමයි ! 

23.6.12

බතලයෙකුගේ කතාවක් 2




අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා .

මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ කෑලිවත් හොයන්ඩ වෙන්නෑ

උඩම තිබුනු කෙටි පනිවිඩේ කියෙවුවා විතරයි මගෙ බඩ පපුවයි අනික් හැම තැනක්මයි කූල් වෙලා ගියා . මූ මේ කා එක්කද මැසේජ් කරගන්නේ ?. නමක් ගමක් නොතිබ්බ ඒ කෙටි පනිවිඩේ කාගෙද ? හිතේ උපන්න කුතුහලේ නිසාම මම ෆෝන් එකේ sent masg ගොඩට පැන්නා .

අනේ මම ඔයාට කවදාවත් දුකක් දෙන්නේ නෑ.

මම ආයෙත් ඉන්බොක්ස් එකෙට පැන්නා .

ප්ලීස් මට කරදර කරන්ඩෙපා !


ඔය විදියට කෙටි පණිවිඩ එකින් එක කියවාගෙන යන අතරේ මට මේ සිදුවීම ටිකෙන් ටික මීටර් වෙන්න පටන් ගත්තා . රුවන් කෙල්ලෙකුට ට්‍රයි කරන බවත් ඒ කෙල්ල රුවන්ට ඒ තරම් මනාපයක් නැති බවත් මට විජහට තේරුම් ගියා .ඒක මට අයිති නැති දෙයක් ඉතින් මම හිතින් හිනහ වෙන ගමන් ෆෝන් එක සාක්කුවේ දාගත්තා



විනාඩි දහයක් විතර මම වැවු පිටියේ කොනක වාඩිවෙලා ඉන්න ඇති .මම දැක්කා වැවේ පිට වාන පැත්තෙන් රුවන් හෙමිහිට මම ඉන්න දිහාට ඇවිදගෙන එන හැටි. ඌ තිලකේ මාමා ගෙනද්දුන්න එකසයිස් ජම්පරේ ඇඳගෙනයි හිටියේ . ඒ ජම්පරේ තදට මට ඌව දුරට පෙනුණේ සූමෝ කෙළින ජපනෙක් වගේමයි .ඒ අතරෙම උගේ මූණ කලු ගැහිලා තියන හැටි මම දැක්කෙත් ඌ මට කිට්ටු වෙනකොට


දැන්වත් මගෙ ෆෝන් එක දියං සඳරු අයියේ .”
මගෙ අතේ ඇඟිලි අතරේ හිරවෙලා තියන ෆෝන් එක දිහා පෙරේත බැල්මට් එකක් දාන අතරේ රුවන් එහෙම කීවා .

ෆෝන් එක දෙන්නම් ඒත් මට උඹත් එක්ක ටිකක් කතා කරලා ඉන්න ඕනෙ . මෙහෙන් පොඩියකට වාඩි ගනිංකෝ .
මගෙ දිහාවේ බලලා හූල්ලපු රුවන් මගෙන් ෆෝන් එක උදුරගන්න ක්‍රමයක් නැති බව දන්න නිසාම තටු අකුලගත්ත උකුස්සෙක් වගේ මගේ ගාව ඉඳගත්තා . ඒත් මූණ නම් තාමත් තරහෙන් කළු වෙලා . හරියට බුම්මට්ටෙක් වගේ .

කවුද උඹට මේ මැසේජ් එවන කෙල්ල .

උඹ මොකටද මගේ එවුවා බැලුවේ ? ඒ යාළුවෙක් බං .

උඹ නිකං මට තවුව දාන්නෙපා මල්ලි . . ! උඹට කලියෙන් මම ඉපදුණේ . කියාපියකෝ කවුද මේ බඩ්ඩ ?.”

ඔය ධර්මේ මාමගේ දෙවනි දුව

මට මීටර් නෑ කවුද බං ධර්මේ මම නොදන්න ?

එහෙනං උඹ යකඩ බජාර් එකේ පොල් මියා අඳුනනවාද ?

ඕ මේ උගෙ නංඟිද ?

ඔවු අයියේ

පොල් මීයා දැනගත්තොත් උඹ වසලා අහවරයි .


රුවන් ගල් ඉබ්බෙක් වගේ බලාගත් අත බලන් හිටියා කතා කළේ නෑ . මගේ හිතටත් අමුත්තක් දැනී දැන්නෙන්න වුණා . ධර්මේ මාමගේ දෙවනි දුව අමාලි නම් මාර ලස්සන කෙල්ල ඉටි රූපෙට රන් ආලේප කළා වගේ තමයි ඒකිගේ ඇඟපත . ඉගෙන ගන්නත් බොහොම දක්‍ෂ ඒ කෙල්ල මගේ නංඟිගේ හොඳම යාළුවෙක් . මෙච්චර කල් කිසිම කොල්ලෙක් එක්ක හාදකම් පාලා නැති ඒකිට මේ බතලයා මොකට සයිස් කරන්න ගියාද

දැං ඒකි උඹට හා කීවද ?

ඔවු ගිය වංඟියේ අහද්දී හා කීවා . මේ ඕලෙවල් රිසාල්ට් ආවා විතරයි බෑ කියනවා නේ

මට මතකයි එක වංඟියක් ටියුෂන් සර් කෙනෙක් අමාලි කෙල්ලගෙන් යාළු වෙන්න අහලා තිබුණ හැටි එදා ඒකිගේ අයියා වෙච්ච පොල් මීයා ටියුෂන් සර්ට පිටේ පලු නගිනකම් චේන් එකකින් ගැහුවා කියලයි මම අහලා තියෙන්නේ . අණක් ගුණක් නැති එකෙක් වෙච්ච පොල් මීයා යකඩ බජාර් එකේ බර කකුලක්. පළාතෙම චණ්ඩි ඕනෙ එකෙක් යකඩ බජාර් එකට බයයි . කාලෙකට කලිං යකඩ බජාර් එකේ උංගෙන් මට හම්බුවෙච්ච සබ්බුව තවම මතක තියන නිසා මම නම් යකඩ බජාර් එක දිහා ඇහැක්වත් ඇරලා බලන්න කැමති නෑ

ඹ ඕක අතෑරලා දාපං .”
මම එහෙම කියද්දී රුවන් මට කින්ඩි හිනාවක් දැම්මා .

එහෙම අතාරින්න නෙවේ බං මම ඒකිට ලවු කරේ . උඹට කියන්න අමාලිට මම රුපියල් 15000 දුන්නා ගිය අවුරුදු මාසේදී .”
මට නිකං කරකවලා අතෑරියා වගේ දැනුණා. කෙල්ලෙක්ට රුපියල් 15000ක් දෙන්න රුවන්ට බැරි කමක් නැති බව මට හොඳට විශ්වාසයි. හාල් මෝලක හිමි කාරයෙක් වෙච්ච රුවන්ගේ තාත්තා තිලකේ මාම ගොයං කැපෙන කාලෙට හොඳට සල්ලි හම්බු කරනවා .

ඇයි සල්ලි දුන්නේ ? උඹට ඔච්චර සල්ලි කොයින්ද ?

මම අම්මට කීවා මගේ නුවර ඉස්කෝලේ රගර් පිට්ටනියක් හදන්න ළමයින්ගෙන් සල්ලි එකතු කරනවා ඉතින් මමත් ලොකු ගාණක් දුන්නොත් මාවත් රගර් ගහන්න කණ්ඩායමට ගනියි කියලා ඉතින් අම්මා තාත්තට හොරෙන් මට සල්ලි එවුවා .”

ඔය කෙල්ල පස්සේ ගියොත් නම් උඹට රගර් හම්බුවෙයි වගේ .. ! ගොනෝ ඔය ගියපු සල්ලියි කෙල්ලයි අමතක කරලා ඇඟ ටිකක් බස්සගෙන ආයෙ ඉස්කෝලෙ ගිහින් ඌපෙ කරපන් . නැත්තං තොට හොම්බෙන් තමා යන්ඩ වෙන්නේ .. ! හ්ම් හ්ම් නැගිටපන් . නැගිටලා අර තියන බුරුත ගහ ගාවට හයියෙන් ඇවිදගෙන ගිහින් බුරුත ගහේ අත තියලා ආයෙ හයියෙන් ඇවිදන් වරෙන් .”

කථාවෙන් කථාවෙන් වෙන්නේ බිං කළුවර වැටෙන එක විතරයි . ගෙදර යද්දී රුවන්ට දාඩිය පොල්ලක් දාලා නොතිබුණොත් මගෙ ගතමන්ට් එක හම්බවෙන එකක් නෑ කියලා මට බය හිතුණා . ඒකයි මම රුවන්ව වියායමෙට යැවුවේ .

මම දුවලා යන්නම් .

එපා තෝ දුවලා ගියොත් මම පන්නං ඇවිත් කනට ගහනවා තොට ඔය ජම්පරේම රෙවෙන්න .” දුවලා ගියොතින් මූ වැටිලා අතපය කඩා ගනියි කියලා මට බය හිතුණා . අනික එක තැන උන්නු එකෙක් එකපාරම දුවන්නත් හොඳ නෑනේ ඒක නිසා රුවන්ව සැරෙන් ඇවිද්දවන එක හොඳයි කියලා මට හිතුණා .

රුවන් තරමක් වේගෙන් අඩිය තිය තිය වැවු බැම්මෙන් එපිට තිබුණු බුරුත ගහ දිහාවට යද්දී වැවු බැම්ම උඩ සරුංඟල් අරිමින් හිටි පොඩි කොල්ලො සෙට් එක එක හඬින් හූ තියන්න පටන් ගත්තා . වාඩි වෙලා උන්නු තැනින් නැගිටපු මම අඩියට දෙකට වැවු බැම්මට ගොඩ වෙද්දී හූ කියපු ගැන්සියේ එකෙක් දෙන්නෙක් හෙමීට පල්ලම් බැස්සා

කාටද යකෝ හූ කීවේ ?හූ කියපු ගැන්සියෙන් මම එහෙම අහද්දී ඒ ගැන්සියේ උන්නු කටකාර පොඩි කොල්ලෙක් මට පැන්න ගමන් උත්තර දුන්නා .

නෑ නෑ අයියේ ඔයාට නෙවේ .”

හෙනං කාටද ?

තඩියට බං හූ කීවේ

ඇයි ඌ හෙලුවෙන්ද ඉන්නේ ?

නෑ මේ .”

ආයේ එක වතාවක් හරි හූ කියලා තිබුණොත් ..ඇට කඩනවා

නෑ නෑ අපි හූ කියන්නේ නෑ .

පොඩි එවුන් ටික ෂේප් කරගෙන ආයේ මම හැරෙද්දී රුවන් මල්ලි මම මම වාඩි වෙලා උන්නු තැන බිම ඉඳගෙන හති අරිමින් උන්නා . ඌට ඇවිදලා මෙච්චර හති නම් දිවුවොත් නම් මැරෙයි කියලා මට ඒ වෙලාවේ හිතුණා . ඒත් කකා බ්බී එක තැනම ඉඳලා හොර අලියෙක් වෙලා ඉන්න රුවන්ව තව ටිකක් මඩවන්න මට හිතුණා

දැං උඹ එක තැන දුවපං විනාඩි දෙකක් .”

අනේ තව බෑ මට හති . ගෙදර ගිහින් පාඩම් කරන්නත් තියනවා පරක්කුත් වෙලා”

මොකද්ද බං උඹ ගෑනියෙක්ද ? අර කෙල්ල වුණත් උඹට අකමැති වෙන්න ඇත්තේ උඹගේ ඔය තබ්බදෝරු ශරීර කූඩුව හින්දා . දැංවත් මොළේ හදාගන්න එක පොඩ්ඩකට පමා කරලා ඔය ඇඟ බස්සගෙන මනුස්සයෙක් වෙයං. මනුස්ස පරුවතයක් වෙන්නැතුං .” 

මගේ තරවටුව රුවන් සද්ද නැතුව අහගෙන හිටියා . උගේ හිත දන්නවා ඇති මම කියනදේ ඇත්ත බව . මම කතා කරපු විදියෙන් රුවන්ගේ හිත රිදෙන්න ඇති . ඒත් මට තවත් මූව හුරතල් කරන්න හිත දෙන්නේ නෑ.

සඳරු අයියේ මම කම්මැලි නෑ . ඒත් මට අමාලි නැති වුණා නේද කියලා හිතෙනකොට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ ආයේ නුවර යන්න මට බෑ බං . මම තාත්තට කියලා මෙහේ ඉස්කෝලෙකට යනවා . මම කොහොම හරි අමාලිව ආයේ සෙට් කරගන්නවා .”

උඹ ඕනෙ දෙයක් කරගනිං . ඒත් විනාඩි දෙකක් එක තැන දුවලා ඉවර වෙලා ..

රුවන් නැගිටලා එක තැන දුවන්න පටන්ගත්තා . මමත් ඉඳගෙන උන්නු තැනින් නැගිට්ටේ කකුල් දෙක හිරි වැටෙන්න ගත්තු හන්දයි. රුවන් මොන දේ කළත් ඒවට සම්මාදම් නොවී මගේ වැඩේ කරලා ලැබෙන ගාන සාක්කුවේ දාගෙන පාඩුවේ ඉන්න මම දැනටමත් හිත හදාගෙන ඉවරයි . නැත්තම් ලවු හුටපට වලට උදවු කලා කියලා මටයි අන්තිමේට මේ ගමේ ඉන්න බැරි වෙන්නේ

දැන් ඇති රුවන් අපි ගෙදර යමු .
මදුරු හෝහපුටු රංචු රංචු අපිව වට කරගන්න පටන්ගත්ත නිසා . මම රුවන් එක්ක ගෙදර දිහාවට යන්න හැරුණා . ගොඩ දුරක් යනකම්ම රුවන් කතා කළේ නෑ . මොකක්දෝ මන්දා දුක්බර ඉංග්‍රීසි සින්දුවක් හෙමීට මුමුණන ගමන් ඌ බිම බලාගෙන මගේ පිටිපස්සෙන් ආවා .

සඳරු අයියේ මට අමාලිව දාගන්න උදවු කරපංකෝ .”
අපි ඩිස්පෙන්සරිය පහු කරද්දිම රුවන්ගේ කට ඇරුණා .

මට බෑ රුවන් තරහ වෙන්න එපා . යාළුවන්ගේ ලවු හුටපට වලට මම උදවු පදවු කරන්නේ නෑ කියලා මම හිතාගෙන ඉවරයි මම මැරුවත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ .
මම තදින්ම එහෙම කියද්දී රුවන්ගේ මූණ දුකින් බර වුණා . ඒත් ඊලඟ මොහොතේ රුවන් කියපු කතාවට මූණ බර වුණේ මගෙයි .

මම උඹට රුපියල් හත්දාහක් දෙන්නම් . උඹ මටයි අමාලිටයි තනියම විනාඩි දහයක් කතාකරන්න වැඩේ සෙට් කරලා දියං .”

රුවන් මගේ දුර්වලම තැන ඉලක්ක කරා . මම සලලි මත්තේ නැහෙන කෙනෙක් නෙවෙයි . ඒ වුණත් පහුගිය දොහේ ඇති වෙච්ච උද්දමනයත් එක්ක අතේ පිච්චියක් නැතිව වත මිලින වෙලා උන්නු මට කුට්ටිය පිටින් ලැබෙන රුපියල් හත්දාහක් කියන්නේ මහ මෙරක් තරම් . ඉතින් රුපියල් හත්දාහක් ඉදිරියේ ප්‍රතිපත්ති කන්නද කියලා මට හිතුණා

රුවන් මම අමාලිව අඳුනන්නේ නෑ නේ. මම ඒකි පන්ති ඇරිලා යන වෙලාවක උඹව ඒකි එන මගට ගිහින් දාන්නම් මට කරන්න පුළුවන් එච්චරයි !”

ඒ විතරක් මදි සඳරු අයියේ . උඹ පොඩ්ඩක් මගේ ළඟින් ගැවසිලා ඉන්නත් ඕනෙ . හදිස්සියේවත් පොල්මීයා ආවොත් . මම දුවන්නයැ”

හ්ම් ..”

ඉඳා සඳරු අයියේ මේක ගනිං එහෙනම් .”

රුවන් උගේ සාක්කුවට අත දාලා පොකැට් එකක් අරං ඒකෙන් ගත්ත මොනර කොළ හතක් මගේ අතේ තිබ්බා .ඒ සල්ලි කොළ දාඩියට පෙඟිලා තෙත් වෙලා තිබුණ නිසා වෙන්නැති මම දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලිත් රුවන්ගෙන් ගත්ත සල්ලිත් අතර මට වෙනසක් නොදැනුණේ

***********

එදා සෙනසුරාදා දවසක් සතියේ දවස් හතම වැඩ කරන මට සෙනසුරාදා කියන්නෙත් වැඩ දවසක්. ඒත් රුවන්ගේ ආරක්‍ෂාවට ඌ එක්ක අමාලි නංඟි පන්ති ඇරිලා එන පෙර මගට යන්න ඕනෙ හන්දා එදා මම කලින්ම ගෙදර ආවා . හිත ඇතුළේ මොකද්දෝ මන්දා අමුතු හැඟීමක් හිරවෙලා ඒ හැඟීම නිසා වෙන්නැති මගේ පොකැට් එකේ තියන සල්ලි වළ සතුට මට නොදැනෙන්නේ


මම මූණ කට හෝදගෙන රුවන්ගේ ගෙදර ගාවට යද්දී රුවන් අලුත්ම ඇඳුමක් ඇඳගෙන ඩෙක් සූස් දෙකකින් සැරසිලා අවු කණ්ණාඩියක් ඉනේ එල්ලගෙන හිටියා . මේ දාන ඇඩ් එකේ හැටියට මූට කෙල්ලෙක් කැමති වුනොතින් තමා පුදුමේ කියලා මට හිතුණා


සඳරු අයියේ උඹ දන්නවැයි අමාලි අද ගියපු පන්තිය තියන දිහෑ

අමාලි අද යන්නේ කල්ල වඩන සෑර්ගේ බිස්නස් පන්තියට අපිත් එහාට යමු


රුවනයි මායි පයින්ම කල්ල වඩන සෑර් ගේ බිස්නස් පන්තිය ගාවට කිට්ටු වුණා . මේ වැවුගම්පත්තුවේ කෙල්ලන්ට කොල්ලන්ට ඕලෙවල් ප්‍රතිඵල ආ හැටියෙම වෙන කිසිම සැරේක නොතිබුණ තරම් කොමස් පිස්සුවක් මෙදා වංඟියේ ඉහට ගහලා . ඒක නිසා බයෝ, මැත්ස්, ආට් පන්ති වළට ළමයි යාන්තමට ඉතිරි වෙද්දී කොමස් පන්තිවල ළමයි පිරුණේ ටැක්ටර් වලින් අදින්න තරම් . පළාතේ නමගියපු බිස්නස් ගුරුතුමා තමයි කල්ල වඩන සෑර් . පාං භාගයක් ළූණු ගෙඩියක් එක්ක කාගන්න බැරිව හිටිය මෑන්ස්ට ප්‍රාඩෝ එකක් ගන්න තරම් චෑන්ස් එකක් ඒකෙන් වැදුණු බව නම් නොකියාම බෑ


කල්ල වඩන සෑර්ගේ පන්තියට හැරෙන තැන ලොකු අකුරෙන් “නැට්ට කැපූ සාමාජිකයන්ට පමණයි !!කියලා බෝඩ් එකක් ගහලා තිබුණා . ඒ බෝඩ් එක යට හෙවනේ කෙල්ලො කොල්ලො රංචු පිටින් කිචි බිචි ගාමින් උන්නා .මම ඒ උන්නු ළමයි අතරේ අමාලිව හෙවුවා . අනේ ඒ කෙල්ල අද පන්ති ඇවිදින් නැත්තම් කොයිතරම් හොඳද ? මගේ පපුව ඩිග් ඩිග් ගාලා බොහොම වේගෙන් ගැහෙන්න ගත්තා


සඳරු අයියේ අන්න ඉන්නවා බඩ්ඩ ! අර අතන ආං

ඇඟිල්ල දික්කරන්න එපා හරකෝ ඔළුවෙන් පෙන්නහං
රුවන් මට ඔළුවෙන් පෙන්නපු කෙල්ල ගාව මගේ ඇස් දෙක නතර වුණා . මල් මල් ගවුමක් ඇඳන් ඒ ගවුමට උඩින් කබායකුත් ඇඳන් අමාලි තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක කදේ දාගෙන හිටියා .
හ්ම් පල උඹ ගිහින් කතා කරපං මම මෙතන ඉඳන් බලා ඉන්නං .

පොල් මීයා ආවොත් ?

ආවොත් ඒක මං බලාගන්නං උඹ පලයං
රුවන් එහාට මෙහාට පැද්දෙමින් බෝලෙයක් වගේ පෙරළෙමින් අමාලි ළඟට යන හැටි මම ගැහෙන හදින් බලාගෙන හිටියා


............................................................................................................................................


21.6.12

බතලයෙකුගේ කතාවක්



එදා හැන්දෑ වරුවේදී මම ගෙදර දිහාවට එද්දී තිලකේ මාමා අපේ ගෙදර සාලේ පුටුවක වාඩිගෙන ටීපෝ එක උඩ තිබුණ පත්තරයක් කියවමින් උන්නා . උන්දැගේ කකුල් දෙක ලඟ වැටිච්ච බිස්කට් කුඩු කන්න ඕනෑ හන්දම අපේ ගෙදර උන්නු පූස් තඩියත් ඒ ලඟම දවටෙමින් උන්නා .

මේ යකා අවේලාවේ මොකට කඩා පාත් වුණාද මන්දා” හිතෙන් හිතන දේවල් පිටට ඇහෙන්නේ නැති නිසාම හිතෙන් බනිමිනුයි මමත් ගේ ඇතුලට ඇතුළු වුණේ .

ආ සඳරු පුතා මම මේ උඹ හම්බෙන්ඩ කියලාමයි ආවේ”

මම ගෙදරට ඇතුල් වෙච්ච හැටියෙම තිලකේ මාමා මගේ ඇඟේ එල්ලෙන්න ගත්‍තු එකට නම් මට ටිකක් කේන්ති ගියා මොකද කීවොත් දවසෙම නැහිලා නැහිලා ගෙදර එන වෙලාවෙත් ටිකක් නිදාගන්න තියන චෑන්ස් එක මම පොඩ්ඩක්වත් නැති කරගන්න මම අකමැතියි .

මාමා ගොඩක් වෙලාද ඇවිදින්

ගෙදෙට්ට ආපු එකා යකා වුණත් ඒකව ආයේ යවන සිරිතක් නෑ නේ. ඒක නිසා මමත් යාප්පුවෙන් එහෙම ඇහුවා .

නෑ මම දැන් මේ ටිහකට කලියෙන් ආවේ”

ටිකකට කලින් ආවා වුණත් ක්‍රීම් ක්‍රැකර් පැකට් එකෙන් බාගෙකටම වැඩේ දීලා තියන හැටි දැක්කාම මගෙ බඩ පපුව හීතල වෙලා ගියා. ගෙයි සාලේ තිබුනු මේසේ උඩට අතේ තිබුණ බෑග් එක විසි කරපු මම කකුලේ තිබුනු සෙරෙප්පු දෙක මේසේ යටට විහික් කලා .

ඉතින් මාම

මම කෙලිම කාරණේට බැස්සේ මේ කතාබහ අහවර කර දාලා හනිකට ඇඳට පැනලා නින්දක් දාන්න කියලා හිතාගෙනයි. අම්මා ගෙනාපු තේ කෝප්පෙන් උගුරක් හෙම ඇදලා කමිස කරේ කට පිහගෙන තිලකේ මාමා කතාව පටන්ගද්දී මට හිතුණා හඳ පායයි කියලා . !

පුතා දන්නවානේ අපෙ ලොකු කොල්ලා රුවන් ?”

තිලකේ ගොයියා ආයෙ ඉතින් මගෙන් ප්‍රශ්න අහනවා ! ගෙවල් හතරකට පහකට උඩහින් ඉන්න මේ තිකකේ ගොයියගේ මුලු හත්මුතු පරම් පරාව ගැනම මට කීව හැකි ජාතකෙත් එක්කම .

මම මොකෝ නොදන්නේ රුවන් මල්ලියාව ! ඇයි පොරට මක් වෙලාද ?

ඌට වෙන්න තියන හොඳම වැඩේ වෙලා පුතේ ඌ දැන් නිවාඩුවට ගෙදර ඇවිල්ලා අන්න ඌ දැන් බෙර කොටයක් වගේ මහත් වෙලා”

නෑ! ගිය වංඟියේ දකිද්දිත් මේකා මහතයි නේ දැන් දැන් තව මහත් වෙලාද ?”

නැතුං බෝඩිමෙන් දෙන කෑම කාලා කාලා මේකා දැන් ඌරෙක් වගේ .ඒ මදිවට ඇඟ වෙහෙසලා වැඩක් පලක් කරන්නෙම නෑ සෝමාරිකම ඇඟ පුරාම . ඉස්සර නම් නිදි මරාගෙන පාඩම් හරි කොලා දැන් කොහෙද කොයි වෙලේත් නිදන්නමයි තනන්නේ . වෙද මහත්තයත් කීවේ ඇඟ පොඩ්ඩක් අඩු කරගත්තා නම් හරි කියලයි .”

මට රුවන් මල්ලියා ගැන පවු කියලා හිතුනා . ඌ මට වඩා අවුරුදු කීපයකට බාලයි හරියටම කීවොතින් ඌ මයෙ නඟාගේ වයසේ . අපි ඉස්සර පිට්ටනියේ බෝල ගහද්දී ඌත් අපිත් එක්ක හරි හරියට සෙල්ල්මේ වැටිලා හිටියා . ඒ දවස් වළ කොහු මිටක් තරම් ඇට කෝටු කොල්ලෙක් වෙච්ච රුවන් අද වෙනකොට බතල ගෙඩියෙක් වෙලා .

අපි එක්ක රැහේ වැටිලා උන්නත් රුවන් අපි වගේ කාලකන්ණි වුණේ නම් නෑ. පහේ සිස්සත්ත විභාගෙදී ගමේ පුංචි ඉස්කෝලෙන් වැඩිම ළකුනු ගත්ත ඒකා කන්ද උඩරට තියන හොඳම ඉස්කෝලෙකට යන්න තරම් වාසනාවන්ත වුණා . මේ පට්ට පදිරි පලාතේ ඉඳන් වේලිලා කරකුට්ටං වෙච්ච මහ පොලවට වෛර කරමින් ඉන්න ජාතියේ එකෙක් නොවී සීතල කාමරේක ටයි දාගෙන කරන රස්සාවක් කවදා හරි ඌට හම්බු වෙයි කියලා මම හිතෙන් සතුටු වුණා . මම විතරක් නෙවේ ගමේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න බොහොමයක් උන් රුවන් මලයා නගරෙට යන දවසේ සුබ පතපු, කඳුලු හලපු හැටි මට තවම මතකයි .

නුවර ඉස්කෝලේ බෝඩිං කාමරේට වෙලා ඒකෙන් දෙන කෑම කකා එක තැනටම වෙලා තැපගෙන උන්නු රුවන් මල්ලියා පුස් ඌරෙක් වගේ මහත් වෙලා ඉන්න හැටි දැක්කාම මට ඌ ගැන හොඳටෝම දුක හිතුණා . ගමේම උන්නා නම් ඌට මෙහෙම දෙයක් වෙන්නේ නෑ කීයටවත් .

පුතා උඹ මට උදවුවක් කරන්න ඕනෙ .

තිලකේ මාමා එහෙම කියද්දී තමා මම රුවන් ගැන හිතන එක නතර කරවුවේ .

මොකක්ද මාමා මගෙන් වෙන්න ඕනෙ . ? මම මාමට හැකි උදවුවක් කරන්නම් .”

තිලකේ මාමා මගෙන් ඉල්ලන්න හදන උදවුව ගැන කුතුහලයක් හිතේ තද කරන් මම එහෙම ඇහුවා .

සඳරු පුතේ අපෙ රුවන්ව පොඩියක් මේ හැන්දෑ වරුවේ පිට්ටනිය පැත්තට එක්ක ගිහිං උගෙ ඈඟ ටිකක් වෙහෙස කරලා ගනිංකෝ .. !” ‍‍

අප්පට සිරි !”

මට බකස් ගාලා හිනාවක් ගියා සාලේ කොනක ඉඳන් අපේ කතාව අහගෙන උන්නු මගේ අම්මා මට රවන හැටි දැක්කාම මගේ හිනාව හෙමින් හෙමින් මැකිලා ගියා .

බැලින්නං මේක එක්සයිස් කෝස් එකක් . මගේ හිත ඇතුලට ගොඩක් සිතිවිලි ගලාගෙන එන්න වුණා . ඉස්සර රුවන් පොඩි කාලේ ඌව සෙල්ලමට අඬගහගෙන ගියා කියලා තිලකේ මාමා මට පලු යන්න බැන්න හැටි මට ආයෙත් මතකෙට ආවා . තිලකේ ගොයියට එහෙනම් මාව ආයෙත් ඔනෑ වුණා ..!

අනෙ බෑ කියලා නම් කියන්න එපා පුතේ මම උඹගේ මාන්සිය හෑල්ලු කරන්නේ නෑ මම දන්නවා උඹ දවසෙම නැහිලා නැහිලා මෙතනට එන්නේ කියලා . මම උඹට ගානක් කාරිය ගෙවන්නම් .”

තිලකේ මාමා එහෙම කියද්දී මගේ හිත ඇතුලෙන් තවත් හිනාවක් ගියා . ඒ අදහස නම් නරකම නෑ මොකද මේ දවස් වළ මගේ අතේ පිච්චිය නෑ . ඉතින් සම්තින් එකක් හොයාගන්න ගූ වුණත් එක්කාසු කරන්න මම සූදානමින් තමා උන්නේ .

සල්ලි නං නැතත් මොකෝ මාමා !”

මම එහෙම කීවත් මගෙ හිත තිලකේ මාමට තේරුණා .

නෑ නෑ මගෙ ගාව ලොස් නෑ පුතා මම උඹට දවසට 100 ක්ම ගෙවන්නම් .”

ඉතින් තිලකේ මාමේ රුවන් මල්ලියාට පිට්ටනියට ගිහින් වටයක් දෙකක් දුවලා කරලා එන්න බැරිද ඔය තනි නොතනියට ඉතින් මාමට වුණත් යන්න බැරියැ ?

අනේ මම ඕකව වංගියක් වදෙන් පොරෙන් වැවු පිට්ටනියට එක්කරගෙන ගියා විනාඩියක් ඌ වියායාම කරනකොට ගමේ ඉන්න කුපාඩි කොල්ලෝ හැත්ත වරිගෙන එතනට පැනලා මැජික් බලනවා වගේ බලන්න ගත්තා . ඒ විතරක් නම් මදෑ මුං හූ කියන්නත් ගත්තා . දැං රුවන් ගෙදරින් එලියට බහින්න බෑ කියලා ගෙටම වෙලා ඉන්නවා . ඒකයි මම මේ වැඩේ උඹටම බාර දුන්නේ .”

ඔය ගමේ එකාලට ඕනෙ විදියට අපිට ඉන බෑනේ මාමා . මම රුවන්ව එක්ක ගිහින් ව්‍යායාම කරවන්නම් .

අනේ උඹට පින් සිද්ද වෙනවා පුතේ . උඹ ඒනං හෙට හැන්දෑවේ එනව නේ අපේ ගෙවල් දිහා ?”

ඕ ඕ මං ඒ පැත්තේ එන්නම් .”

එපා කියද්දිම කුස්සියට ගෙහුං උන්දෑ තේ බීපු කෝප්පේ හෝදලා තියවුව තිලකේ මාමා ගෙයිං එලියට බැස්සේ රටක් අල්ලපු රජෙක් වගෙයි . ගෙයි දොරකඩට ගියපු තිලකේ මාම ආයිමත් වංඟියක් මට කතා කලා .

ආ මේ තව එකක් සඳරු පුතා . අපෙ එකා දැන් වස කම්මැලියා වෙලා ඌ වියායාම කොරන්න බෑ කීවොතින් උඹ බැනලා හරි ගහලා හරි ඌව එක්ක පල දැං උඹට ඔනෑ හැටියට ඕකව ආම්බං කරගන්න ඕනෙ මම වචනයක් කියන්නෑ උඹට .

මාම බයගන්න එපා මං රුවන්ව මාසෙන් හදලා ගන්නවා බැරි වුණොතින් මකලා හරි ගන්නවා !!”

හෙහ් හෙහ් .. යන්නං ඒනං මං

තිලකේ මාමා පිටිපස්ස ගේට්ටුවෙන් පැනලා උගෙ පරන පුට් සයිකලේ පාගමින් ගෙදර පැත්තට ගියා . අතට ගානක් ලැබෙන නිසා හිතේ ඇතිවෙච්ච සතුටෙන් මමත් ඇඳට පැනලා පෙරලුනේ පොඩි නින්දක් දාන්න හිතාගෙනයි .”

*****

පහුවදා මම වැඩ ඇරිලා ගෙදර එන්න බස් කියලා හිතාගෙන බස් පොලට ආවා . බස් එකක් එනකල් මේ බස් නැවතුමේ වරු ගනං තැපලා මට හොඳට හුරුයි . ඒත් හිටගෙන ඉන්න ගියාම තමා සසර කළ කිරිලා හිත හුදකලා වෙන්නේ .

සුං ! ගාලා ආපු ආටා එකක් මගෙ කකුල් දෙක ගාව “බ්‍රාස්” ගාලා බ්‍රේක් ගහද්දී මම පොඩ්ඩක් ඈතට වුණේ මගෙත් එක්ක කොක්ක දාගත්තු යකඩ බජාර් එකේ ගැන්සියක්වත් මට සලකන්න ඇවිදින්ද කියලා හිතන ගමන් .

ආ සඳරු පුතා නගින්ඩ .”

ආටා එකේ ඇතුලෙන් තිලකේ මාමාගේ කටහඬ ඇහුනු ගමන් තමා මගෙ ඇඟට ආයේ ජීව ශක්තියක් ලැබුණේ .

මාමා මොකෝ මේ වෙලාවේ ?

උඹ නැගහං මමත් ගෙදෙට්ට තමා යන්නේ ! උඹව ගේ ගාව බස්සලා යන්නං

ඉතින් මමත් හනි හනිකට ඒ ආටා එකේ එල්ලුනේ නිකං දෙනවා නං මොකද්ද එක වුණත් ගනිං කියලා අපෙ ගමේ පඬියෙක් කියාපු කියුමක් මතකෙට ආ හන්දයි .

මම මේ අපෙ රුවන්ට වියායාමෙට අඳින්න ජම්පරයක් ගත්තා . තව ඌට දුවන සපද්දෙකකුත් ගත්තා . ඇඟ බහින කිරි පිටි එකකුත් ගත්තා බං මේ ! ඒක නෙවේ උඹ අද හවස එනවා නේද ?”

අනිවා එනවා

අතින් කටිං බඩු එල්ලාගෙන ආටා එකේ උන්නු තිලකේ මාමා ගැන මට ඇත්තටම දුක හිතුණා . තමන්ගේ පුතාගේ යහපත ගැන හිතන මුං කොච්චර උතුම් තාත්තලාද? කියලා මට ආයෙ ආයේ හිතුණා . මම බාරගත්ත වැඩේ හරියට නොකෙරුවොතින් මේ අසරණ මනුස්සයා මටත් එක්ක සාප කරාවි අන්තිමේදී ලබන ආත්මේ මට මේ තිලකේ මාමාගේ ගොන්නාම්බෙක් වෙලා උගෙ බර අදිමින් ණය ගෙවන්නත් වේවි . ඒක හන්දා මම මුගෙන් ගන්න සල්ලිවලට හරියන්න මම මුගේ පුතන්ඩියාගේ බර කොහොම හරි අඩු කරන්න ඕනෙ කියලා මම තදින්ම හිතාගත්තා .

එදා හැන්දෑ වරුවේ මම තිලකේ මාමාගේ ගෙවල් පැද්දට පැද්දුවේ රුවන් මලයාව අඬගහගෙන පොඩ්ඩක් ඇඟ වෙහෙස කරන වියායාමයක් කරන්න හිතාගෙනයි . ගෙදර දොරකොඩටම ගියපු මම ගේ ඇතුලට පොඩ්ඩක් ඇහැදාලා බැලුවා . රුවන් ගේ ඇතුලේ වාඩිගෙන උගේ හෑන්ඩ් ෆෝන් එක මිරිකමින් ඉන්නවා.

අඩෝ රුවන් මල්ලී !

මම කතා කළ සද්දෙට රුවන් ගැස්සිලා ගියා . ඌ හනිකට ඇඳන් උන්නු සරමත් ගැටගහමින් මා ගාවට ආවා . අප්පා එහෙමත් මස් පරුවතයක් මං මයෙ ජීවිතේට දැකලා තිබුනේ නෑ . උගෙ එක ගාතයක් ගැඹුරු තෙලේ බැදලා මාසයක් කෑහැකි . පස්ස පැත්තේ තට්ටමේ එල්ලේ පිට්ටනියක් හැදුව හැකි . ඒ තරම් ඌ ජොල් වෙලා .

ආ සඳරු අයියේ ඉතින් එන්න ගෙට

ගෙට වෙලා ඉඳලා හරියන්නෑ වර අපි යමු පොඩ්ඩක් සෙල්ලං කරන්න .”

අනේ සඳරු අයියේ අපෙ තාත්තා ඔයාව කුලියට ගත්තාට මට කරන්න දෙයක් නෑ . ඔයයි එයයි ඔයාලගේ වැඩක් බලාගන්න මට මගේ පාඩුවේ ඉන්නදීලා මෙතනින් යන්ඩ .”

මුගෙ කතාව බලකෝ ! ඇටෙං පොත්තෙන් එලියට ආවා විතරයි ඇඟ පත මහත් වුණා කියලා මූ මටත් සද්දේ දාන්න පටන් අරං . මගෙ ඇඟේ මාලු නටන්න ගත්තා . මම පැන්න ගමන් උගෙ බෙල්ලෙන් අල්ලාගෙන ඇදගෙන යන්න කියලා හිතුවත් උගෙ බෙල්ල මට පෙනුනේ නෑ . ඔලුව කෙලින්ම උගේ කඳට සවිවෙලා වගෙයි මට පෙනුනේ . ඉතින් මම පැන්න ගමන් උගෙ අතේ තිබුනු ෆෝන් කට්ට උදුරලා ගත්තා .

අනෙ සඳරු අයියේ බලු වැඩ කරන්න එපා ! ෆෝන් එක දියන්”

ෆෝන් එක හම්බෙයි උඹ වැව පැත්තට ආවොත් .”

මට එපා උඹම තියාගනිං ඒනං .”

හා මම මේක තලලා වැවට දාන්නං . ආ ඊට කලින් මේකේ තියන ඇස් ඇම් ඇස් ටික බලලා ඉන්ඩත් එපෑය හිකි හිකි .. !

අනේ මගෙ මැසේජ් කියවන්ඩ එපා සඳරු අයියේ .”

එහෙනං අර අලුත් එක්සයිස් ජම්පරේ දාකියාගෙන වර මං යනවා .”

ෆෝන් එක සාක්කුවේ දමාගත්තු මම වැව පැත්තට අඩිය ඉක්මන් කලේ රුවන් මලයා කුප්පමේනියා පැලයකට දැපනේ වැටුනු බලලෙක් වගේ මේ ෆෝන් එක පස්සෙන් එන බව ඉර හඳ වගේ දැනගෙනයි .

පායන පෑවිල්ලට වැව හිඳිලා වැව මැද පොලවේ හෙන සයිස් ගසුත් වැවිලා . හැන්දෑ වරුව ඉරගල පැන්නාම මේ හිඳිච්ච වැවු පිටිය ඇඟට පතට දෙන සැප නං කියලා ලියලා නිම කරන්න බෑ .  

මම ගිහින් හොඳ හෙවන තියන තැනක් බලලා ඉඳගත්තා . සාක්කුවේ තිබුනු රුවන් මල්ලියාගේ ෆෝන් එකට එස් එම් එස් ගලා එන්නේ නිකං වක්කඩ කැඩුවා වගේ . මූට කෙල්ලෙක් වත් ඉන්නවාද ? හිතේ උපන්න ඒ සැකේ නිසාම මම ෆෝන් එක අතට අරන් ඒකේ තිබුනු කෙටි පනිවිඩ එකින් එක කියවන්න වුණා .

අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා .

මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ කෑලිවත් හොයන්ඩ වෙන්නෑ

උඩම තිබුනු කෙටි පනිවිඩේ කියෙවුවා විතරයි මගෙ බඩ පපුවයි අනික් හැම තැනක්මයි කූල් වෙලා ගියා . මූ මේ කා එක්කද මැසේජ් කරගන්නේ ?. නමක් ගමක් නොතිබ්බ ඒ කෙටි පනිවිඩේ කාගෙද ? හිතේ උපන්න කුතුහලේ නිසාම මම ෆෝන් එකේ sent masg ගොඩට පැන්නා