5.12.10

ඉතින් මම පරාදයි !





හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියලා. පුදුම පසුතැවීමකින් අද දවස අවසන් උනා ! ඉතිං ජය කවදත් දුර මගේ ජීවිතේට තවත් එක් පරාජයක් මේ විදිහට එකතු උනා .!

ඉතිං අද දවසේ මම මගේ පොඩිකාලේ ඉඳන්ම හිටපු මගේ හොඳම යාළුවෙක්ව තරහ කාරයෙක් කරගත්තා ,මහ පාර මැද ගහගත්තා ,ඇහැකුත් යන්තමට තලාගත්තා ,පොලීසියෙන් බැනුං ඇහුවා , අන්තිමට අවුරුදු ගානකට පස්සේ මම ලොකුම ලොකු පරාජයක් අත්වින්දා !

කැමතිද අහං ඉන්න ?

අද උදෙත් මම ඇඳේ වෙනදා පුරුදු පැත්තෙන්ම නැගිට්ටා . වෙනදා විදිහටම අදත් වැඩට යන්න සූදානම් උනා .....වැඩටත් ගියා ..ටික වෙලාවකින් මට කෝල් එකක් ආවා මගේ පොඩිකාලේ ඉඳන් යාලුවෙක්ගේ මල්ලිට හරකෙක් ඇනලා කියලා .! ඉතිං මමත් මගේ යාලුවා වෙනුවෙන් ඉක්මනට රෝහලට ගියා .මගේ සේරම වැඩ අතරමග දාලා .

ඇත්තටම මගේ ඒ යාළුවගේ (හිටපු යාළුව) ඇත්ත නම කියන්නේ නෑ මම . මගේ යාළුවගේ ගෙදර ලොකු හරක් පට්ටියක් හිටියා එයාලගේ තාත්තා රැකියාවට අමතරව හරක් ඇතිකරලා කිරි විකුනන එක කරා .මෙයාලගෙ මල්ලි 10 වසරේ ඉගනගන්න තරමක් එපා කරපු කොල්ලෙක් (මට විතරක් නෙවේ වටේ පිටේ හැමෝටම) ඒත් මගෙත් එක්ක කිසිම තරහක් මේ අයිය මලෝ තිබුනේ නෑ . මට ගොඩක් උදවු කරලත් තියනවා මේ දෙන්නම .

මම රෝහලට ගියේ තව යාළුවෙක් එක්ක එයාගේ නමමුදිත” . ඇත්තටම මගේ යළුවාගේ මල්ලිව මම දකින කොට එයාට ඒතරම් අමාරුවක් තිබ්බේ නෑ .තුවාල එකක් තිබුනා ඇත්තටම පොඩි එකක් .එයාට ඇනලා තිබ්බේ පැටියෙක් දාපු වැස්සියෙක්. ඇනලා තිබ්බේ කොහාටද දන්නවද ? එයාගේ පස්ස පැත්තට .ඉතිං ඒක නිසා යාළුවගේ මල්ලී පුදුම කේන්තියකින් බනින ගමන් තමයි හිටියේ .

මම ඔය වැස්සිව මරනවා ! ඕකිව තියන්නේ නෑ ! අදම මස් කඩේට විකුනලා මම ඕකිගේ මස් ගෙනල්ලා කනවා !ඒ විතරක් නෙවේ තවත් මහ අමු තිත්ත කුනු හරප වැලකිනුත් මේ අමානුෂික බැනුම් වැල සැරසුවා..

මල්ලී උඹ ඉඳපන් කරනදේ මම බලාගන්නම් !

එයාගේ අයියා ඒකියන්නේ මගේ යාළුවා ඌත් දැන් මල්ලිට දෙවනි නෑ .එයාලගේ තාත්තත් පුතාලව උසිගන්වනවා ..

මගේ කොල්ලව මරන්න හදපු ඔය වැස්සිට මොහොතක් මම ඉන්න දෙන්නේ නෑ !තාත්තා ලමයින්ට අන්තයි ..

දැං ඔහොම කියෙවුවට මොනවත් කරන එකක් නෑ ඕක තරහ නිවුනම අඩුවෙලා යාවි..මම මගේ ලඟ හිටපු මුදිතට කිවුවා පොරත් ඔලුව වැනුවා ..........

ඒත් අපි දෙන්නා හිතුවට වඩා වේගයෙන් වෛරය කියන ගින්න අර යාළුවගේ පවුලේ අයගේ හිත්වල ඇවිලිලා තිබුනා !

මට දවල් 12:45 විතර මුදිත ගෙන් කෝල් එකක් ආවා !

මුදිත මගේ යාළුවෙක් වෙලා අවුරුදු දෙකක් විතර ඇති..දහම් පාසලේ උගන්වන කොල්ලෙක් .හරිම හිතහොඳ කොල්ලා

මචං සඳරු අරුං දෙන්නා පුදුම වැඩක් නේ කරන්න යන්නේමුදිත කියවගෙන යනවා

ඇයි මොකද ?” මමත් ඉක්මනටම ඇහුවා

අර පෙරේතයෝ දෙන්නා අර වැස්සීව කකුල් ගැට ගහලා බිම දාලා වද දෙනවා ! පවු බං

අපි මොනවා කරන්නද බං උංගේ වැස්සිනේ

එහෙම කියන්න එපා බං ! මම ගිහිං උංට එපා කිවුවා ..උං ගනං ගන්නේ නෑ උඹ ඇවිල්ලා කියපංකෝ පොඩ්ඩක්.

මට වැඩ ගොඩයි බං !ඇත්තටම මම වැඩ ගොඩක හිටපු වෙලාව ..

උඹ පොඩ්ඩක් ඇවිල්ලා බලපං මචං උඹ ආවනම් ඔහොම කියන්නේ නෑ

මුදිතගේ කටහඬ අමුතුයි ! ඔවු මිනිහා අඬනවා ..

හරි මම එන්නම් උඹ එනවද මාව ගන්න ?

හරි මම එන්නම්

ඉතිං මුදිත බයික් එකත් අරං මාව ගන්න ආවා ..බොස් එදා වේලාසනින් ගිහිං හිටපු නිසා මට යන්න පුලුවන් උනා නැත්නම් මම කීයටවත් යන්න්නේ නෑ !

යන අතරේ මුදිත මට මේ මෙහෙම කියනවා !

මචං උඹ දන්නවද අරූට වැස්සී ඇනලා තියෙන්නේ ඇයි කියලා ?”

නෑ..! කියපංකෝ බලන්න .

අරූගේ මල්ලී අර ඉපදිලා දවස් 5ක් වෙන වහු පැටියගේ ඉස්සරහා කකුල් දෙකෙන් අල්ලලා උස්සලා දෙපයින් පල කියලා.ඉතිං ඒ පැටියගේ අම්මා කඹේ කඩාගෙන ඇවිලා පිටිපස්සෙන් මුගේ පු*ට ඇනලා !

ඉතිං යකෝ වැස්සි සාදාරනයිනේ හිනාවෙන ගමං මම කීවා ! ..ඒත්

ඉතිරි ටික අහලා මගේ හිනාව අතුරුදහන් උනා !

උං දෙන්නා (අයියයි මල්ලියි) වැස්සි බිම දාලා කකුල් ගැට ගහලා . මිරිස් කුඩු වැස්සිගේ ඇස්දකේ ගාලා. වැස්සිගේ වල්ගේ මිටියකින් තලනවා මම යනකොට.

මුන් දෙන්න පුදුම තිරිසන්නු ! මට එකපාරම හිතුනා. මම මේක කොහොම හරි නවත්වනවා මම හිතාගත්තා. මොහොතකින් අපි අර අසරන වැස්සි ඉන්න තැනට ආවා !

දෙවියනේ ! මට මගේ මුලු ජීවිතේම එපා උනා! මම මේ වගේ දෙයක් දකින්න පවු කරා නේද ? මටම හිතුනා ඒ අහිංසක සතා වේදනාවෙන් මර හඬ දෙනවා මුං දෙන්නා (තුවාල වෙච්ච මල්ලි ලඟ ඉන්නවා) අයියා වැස්සිගේ බෙල්ලට දාපු ලනුවකින් ඇදගෙන පාරට ගන්න හදනවා .මස් කඩේට ගෙනියන්න .වැස්සිගේ දවස් 5 ක පැටියා කොහේද දන්නේ නෑ ? මුං කොහේ හරි ගැට ගහන්න ඇති.ඕක නවත්තපං මචං ! මම කීප වතාවක්ම මගේ යාලුවට කීවා .

උඹට තේරෙන්නේ නෑ බං ! මූ මහ මිනීමරු සතෙක් ..මගේ කීමට කිසිම තැනක් නෑ

උගේ මල්ලී පස්සෙන් කොර ගගහා එනවා අයියා වැස්සිව ඇදගෙන යනවා.. මුදිතයි මායි මේ පස්සෙන් ටිකක් දුර පාරට ආවා ..අනේ අර වැස්සි ඇස්දෙක දැවිල්ල නිසා වැල්ලේ මූන අතුල්ලන්න උත්සහ කරනවා ඒ ඇස්වලින් කදුලු බේරෙනවා .හිතන්න අපිට සබන් ටිකක් ඇහැට ගියාම කොයිතරම් අමාරුද ? මිරිස් ඇස් දෙකටම දැම්මොත් කොහොමට තියේවිද ? වැස්සි ඇදං යන කෙනා වැස්සිව තාර පාරට ඇද්දා

මෙතන අතුල්ලපිය මූනකියන ගමං

මුදිත අහක බලාගත්තා !

මගේ ඉවසීමත් එතනින් ඉවර උනා ! මගේ ෆෝන් එක මුදිත ගේ අතට දීපු මම අහිංසක තිරිසන් සතෙක් වෙනුවෙන් මගේ හොඳම යාළුවෙකුට එරෙහි වෙන්න තීරනය කරා.!

ඉතිං කෙලින්ම ගිහිං වැස්සට පිරිලා තිබුනු වතුර වලකින් වතුර දෝතක් අරං අර සතාගේ මූන එකපාරක් හේදුවා .! අනේ ඒ සතා තව වතුර ඉල්ලලා මූන දික්කරනවා ඒ ඇස්දෙක තවම පියවිලා.

.මුදිත තව වතුර දෝතක් අරං වැස්සිගේ මූනට අත් දෙක ලං කරද්දිම .කඹේ අල්ලං හිටපු පවුකාරයා මුදිතගේ අත්දෙකට පයිං ගැහුවා !! ..කුනු හරප වැලක් දෙසන ගමං .මුදිතගේ අතේ තිබ්බ වතුර උඩ විසි උනා . මම බලං හිටියා ඇති කියලා මට හිතුනා . ඉතිං මගේ අත මගේ යාලුවෙක් වෙලාහිටි මේ පවුකාරයාගේ කනට ගාවන්න මට සිද්ද උනා

ඉතිං අපේ ගුටි බැට හුවමාරුව මම හිතන්නේ විනාඩි 1තත්පර 30ක් විතර තියෙන්න ඇති..කඹේ ඔතාගෙන හිටපු අර අතෙන් මගේ ඇහැකට පාරක් වැදුනම තමයි මගේ ඇඟේ හයිය ඉවර උනේ . මට මොනවත් පෙන්නේ නැතිව ගියා මොහොතකට ..ඒත් මම දිගටම අරූටත් ගැහුවා !

ටිකක් ඈත කහ ඉර ලඟ හිටපු ට්‍රැෆික් කෙනෙක් දුවගෙන මෙතෙන්ට ආවා .

මොකද මේ තමුසෙලා පිස්සෝ වගේ හැසිරෙන්නේ

මගේ හතුරා (තව දුරටත් යාලුවෙක් නෙවේ ) එයාගේ පැත්තෙන් කතාව කීවා ඒක අහපු නිලධාරියා මගෙන් මෙහෙම ඇහුවා !

තමුසෙට මේ හරකව ඕනද ? එහෙනම් සල්ලි වලට මේ සතාට ගන්නවා !

“50000 දුන්නොත් මම සතාව දෙනවා !අරූ ඉඳන් කියනවා ..

මම ලඟ පනස් දාහක් මට කීයටවත් ඒ ගාන දෙන්න බෑ ! ඒත් තිබුන නම් මම කීයටවත් අතාරින්නේ නෑ !

ඉතිං මමත් මුදිතත් නිරායාසයෙන්ම නිහඬ උනා !

සල්ලි දීලා ගන්න බැරිනම් තමුසෙලා පන්ඩිත කමට අනුංගේ දේවල් ගන්න හැදුවේ මොකටද ?

මට කියන්න දෙයක් නෑ ! මගේ කමිස කොලර් එකෙන් අල්ලපු ඒ නිලධාරීතුමා
පවු නොදී යනවා අයිසේ ! තමුසේ තව පාරක් මෙහෙම හැසිරිලා තිබ්බොත් බලාගන්න පුලුවන් !කිවුවා .

ඉතිං අර පවු කාර ජෝඩුව අහිංසක කිරි අම්මා කෙනෙක් ඇදගෙන මස් කඩේට ගියා ! ඒ සතාගේම මසුත් අදම අරං එනවා ඇවිල්ලා කනවා කියලා හෙමීට මට කියන ගමං ..
...................................................................................................................................................................
....................................................................................................................................................................
ඉතිං මගේ ඇහෙන් කඳුලු වැටුනේ නම් නෑ ඒත් හිත හොඳටම රිදුනා මම හිතෙන් ගොඩක් ඇඬුවා!

මට බේරගන්න බැරි උන ඒ අහිංසක සතා වෙනුවෙන් තමයි මම මේ පෝස්ට් එක ලියන්නේ. මම දන්නවා ඒ සතා දැං මැරිලා ඇති අර පවුකාර ජෝඩුව ඒ මස් කාලත් ඇති සමහර විට .

ඉතිං ඔය විදිහට මම අන්ත පරාජයක් ලැබුවා මට කරන්න දෙයක් තිබ්බේ නෑ ! මට පිනක් කරගන්න ඕන උනේ නෑ. මට ඕන උනේ අසරන ජීවිතයක් බේර ගන්න විතරයි . ඒත් මට ඒක කරන්න බැරි උනා. ඒ සතා තිරිසන් ආත්මයක ඉපදිලා තමන් කරපු අකුසලයක් මේ විදිහට ගෙවාගත්තා.ඒත් තව දෙන්නෙක් ලොකුම ලොකු අකුසලයක් ජීවිත වලට එකතුකරගත්තා .

අද හවස SMS එකක් ආවා මගේ පවුකාර මිතුරාගෙන් ඒකේ තිබ්බේ

අපේ ගේම තාම ඉවර නෑ මම උඹව අල්ලගන්නම් ..පරිස්සමෙන් පාරට බැහැපං කියලයි !

මූ අවුරුදු ගානක් යාලුවෙක් කරගෙන උන්නට මට ගොඩක් හොඳ දඬුවම ..මමත් අතාරින්නේ නෑ ..මමත් ලෑස්තියි ! උඹව මටත් හම්බවේවිනේ ඒ වෙලාවට බලමු...එහෙම කියලා මමත් Reply කරා

මේ මහ හෑල්ල ලීවේ හිතේ තිබ්බ තරහටත් දුකටත් පරාජයටත් හැම දේකටම. තිරිසන් සතෙක් හින්දා මගේ හිතට මේතරම් දුකක් දැනෙන පලවෙනි වතාව. ..ලොකු අමුත්තක් හිතට දැනෙනවා .ඇයිද මන්දා ?

ප:ලි

අපේ පැන්ඩා මරනයට කැපවෙච්ච ගවයෙක් නිදහස් කරගන්න සූදානම් වෙනවා.ඒ මනුස්සයගේ රත්තරන් වැඩේට පුලුවන් විදිහට මමත් දායක වෙන්න තීරනය කලා ! ඔයගොල්ලොත් පැන්ඩයියට තමන්ගේ සහයෝගය පුලුවන් හැටියට දෙන්න බලන්න ! පින ගැන හිතලා නෙවේ අහිංසක ජීවිතයක් ගැන හිතලා !


1.12.10

දුම් වැටිය නුඹයි මගෙ දිවිය.....






හිස් අහස ලියන මම සඳරු අහලම බලන්න ඇයි මම දුම් බොන්නේ ! මොකක්ද හේතුව .? ඔන්න මම ඒ හේතුවත් කියන්නයි යන්නේ. මම හිතන්නේ මට සාධාරන හේතුවක් තියනවා !

අනිත් අය දුම් බොන්නේ මොකටද කියලා මම දන්නේ නෑ ඒත් මම දුම් බොන්නේ ආතල් එකක් ගන්න හිතාගෙන නම් නෙවේ. ඒක දැන් මගේ ජීවිතේම කොටසක් . සතියකට සැරයක් පටන් ගත්ත දුම් වැටිය මගේ ජීවිතේට ගොඩාක් ලං උනා . දැන් දවසකට 5/6 වගේ

දුම් වැටිය හරිම පුදුමයි එයා විනාඩි කීපයකට මාව මේ ලෝකේ තනිකරලන්න සමත් වෙනවා . කාගෙන් වත් කරදරයක් නැතිව , මම හැමදාම ඉන්න කැමති තරම් නිහඩවම මොහොතකට මට ඉන්න ලැබෙනවා දවසෙම වින්ද කරදර දුක් මේ හැම දෙයක්ම . ඒ ඉවතට යන දුම් රැල්ලත් එක්ක පාකරලා යවන්න මට වැඩි අමාරුවක් නෑ . හරිම සුන්දර නිදහස් හැඟීම් පෙලක්ම මට මගේ ඇස්දෙක අද්දර මවාගන්න පුලුවන් බොහෝම ලේසියෙන් .ඇත්තටම හිත සන්සුන් කරගන්න මට තියන හොඳම ක්‍රමයක් තමයි දුම් බීම කීවොත් මම වැරදි නෑ !

භාවනා කරලා හිත සන්සුන් කරගන්න මට කවදාවත් බෑ සමහරවිට මම පවුකාරයෙක් නිසා වෙන්න ඇති . ඉතිං මගේ භාවනාව තමයි දුම් වැටිය .මගේ හිත නිවන්නේ දුම් වැටිය .

හිරු විසින් කොයිතරම් බලයක් ෂක්තියක් යොදලා මේ ලෝකෙට එලිය දුන්නත් .මේ මුලු ලෝකෙම එකවරම එලිය කරන්න කවදාවත් ඒ හිරුට බෑ ! මේ ලෝකේ හිරු එලිය නොවැටෙන තැනුත් කොයිතරම් තියනවාද ? . ඉතිං මේ ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සුන්ගෙත් ජීවිත හරියටම ඔය කතාවට සමානයි . සමහර අයගේ ජීවිතවල කාටවත් කියන්න බැරි තරම් අඳුරක් හැංගිලා තියනවා . සමහර අය ඒ අඳුරෙන් එලියට යනවා .

ඒත් ! සමහරු !

 කට්ටියක් තමන්ගේ අඳුරු කතාව කාටවත් කියාගන්න බැරිව මැරෙනකම්ම විඳවනවා.......

තව කටියක් තමන්ගේ අඳුරු කතාව කියලා ඉවර වෙලා විඳවනවා ....මූ මේක කාගේ කනේ තියාවිද ? කියලා 

මම ඔය දෙවර්ගයේම නෙවේ මම විඳවන්න කැමතිත් නෑ සමහර දේ කාටවත් කියන්න කැමතිත්  නෑ ! ඉතිං මම කැමතියි මගේ සමහර අඳුරු මතකයන් මගේ හිත ඇතුලෙම පුච්චල දාන්න . මොහොතකට විතරක් මම දිනනවා  ! ඒක දිනුමක්මද කියන්න මම දන්නේ නෑ .හැබැයි ඒ මොහොත මට සැනසීමක් . 

දවසකට සිගරට් කීයක් බීවත් මම කවදාවත් පොඩි ලමයකුට පේන්න සිගරට් බොන්නේ නෑ . ලමයෙක් ලඟට ආපු මොහොතක. මම ආදරේ කරන දුම් වැටිය මගේම සපත්තුවට පාගන්නත් මම පසුබට වෙන්නේ නෑ..සිගරට් බීම මට විලාසිතාවක් නම් නෙවෙයි ! 

මේ ඉවර වෙන දුම් වැටියත් එක්ක මගේ ජීවිතෙත් ටිකෙන් ටික ඉවර වෙනවා නේද ? එහෙමත් මට හිතෙනවා . ඒත් මම හොඳටම දන්නවා දුක හිතේ තියාගෙන පිච්චුනත් සිගරට් එකෙන් ජීවිතේ පිචිචුවත් ඒදෙක අතර වැඩි වෙනසක් නැති බව . කොහොමත් අපි හැමදාම ඉන්නේ නෑ නේ ..


ජීවිතේ පලමුවෙනි වතාවට මම සිගරට් එකක් දල්වපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඇත්තටම ඉස්කෝලේ එක දවසක් මමත් යාලුවෝ එක්ක සිගරට් බිවුවා නුහුරු ගතියක් දැනුනත් මම එදා සිගරට් එකම ඉවර කරා ...පන්තියේ වාඩි උනාට පස්සේ වහලේ යකඩ බාල්ක මගේ ඔලුවට පාත් වෙනවා වගේ මට පෙනුනා ..පැය ගානක් ගියා මට සාමානය තත්වෙට එන්න ..ඒ පලමු මතකය .........එදයින් පටන්ගත් දුම් වැටිය අද දක්වාම මාත් එක්ක ඇවිත් ..

 
 ඉතින් දුම් වැටියේ !

නුඹෙන් සමුගැනීමක් ..
.
සිතනු බෑ මට දිනක කිසියම්

දුම් වැටිය නුඹ මෙමට

කිසිදු දිනකදි දුකක් දී නැත

ආව නැත නුඹ බලෙන් මාවෙත !

මමයි ආවේ සෙමෙන් නුඹ වෙත !



 නුඹ මගේ ලඟට බලෙන් ආවේ නැත . නුඹ ලඟට පැමිනියේ මමයි ! ඉතින් නුඹට එරෙහිව නැගෙන සියලු චෝදනා වලින් නුඹ නිදහස් ..


                             නුඹට ජය !