ආදරනීය සහෝදර වරුනි , සහෝදරියනි . මං අද ඔයාල කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් .! මේ කතාව මගේ ජීවිතේ අමතක නොවෙන සිදුවීමක් අද මම ලොකු කරදරේක. ඕනනම් අහන්න . පුලුවන්නම් උදවුවක් කරන්න .
සතියක් විතර එක දිගට මොනවත් ලියන්නේ නැතුව හිටියේ මෙන්න මේ ප්රශ්නය නිසා !. නිදා ගන්න ගියාට නින්ද යන්නේ නෑ !. කන්න කියලා ගියාට කන්න බෑ !. කක්කුස්සියට ගියාට එතන වැඩේ කරන්නත් බෑ !. මම හැම පැත්තෙන්ම හිර වෙලා . සමහරවිට හිස් අහස කියවන ඔයාලට පුලුවන් වේවි මට උපකාරයක් කරන්න . මම කතාව කියලම ඉන්නම්
මේ හැම දේම සිදු උනේ . පහුගිය සතියේ අඟහරුවාදා …..........................................
උඩින් පල්ලෙන් ඇස්දෙක ඇරලා කොට්ටෙට යටවෙලා තිබුනු ෆෝන් එකෙන් වෙලාව බැළුවා . වෙලාව උදේ 7 යි . අද වැඩට යන්න පරක්කුවෙලා . වෙනදා තරම් වැඩට යන්න පිරියක් නෑ .. . ඔන්න ඔහේ වැනි වැනී ලිඳ ලඟට ගිහිං වතුර බාල්දියක් ඇදලා මූන හේදුවා . වතුරත් වෙනදාට වඩා සීතලයි . දත් බෙහෙත්වල රසත් අමුතුයි . … ඉතින් ඕන දෙයක් කියලා සීතල වතුරෙන් නාගත්තා . බාල්දියට කක්කුට්ටෙක් ආවා ඉතින් මට අසභ්‍ය වචනයක් කියවුනා .ඔන්න මම….. නාල ඉවරයි ..
තේ බොන්න ගියාම අම්ම ගෑස් ටැංකියත් එක්ක සෙල්ලම් කරනවා . අනේ පුතා තේ හදන්න විදිහක් නෑ ගෑස් ඉවරයි . ඉතින් මල පයින්නේ නැතුව තියේවිද ? . ටිකක් තරහ ගියා . මම බුම්මගෙන ගිහිල්ලා . කිරි පිටි බෝතලේ ඇරලා . පිටි ජිංඩක් කාලා . සීනි ටිකක් කාලා .වතුර උගුරක් බීවා . මම පොඩි කාලේ ඉඳන් කන්න ආස කෑමක් ..සීනියි පිටියි ..!
"අද කෑම කඩෙන් කන්න පුලුවන් නේද ? “ අම්මා අහනවා !
බීල බීල අතේ සතේ නෑ කියලා කියන්නේ කොහොමද ? රුපියල් 1000ක් නැති උනා කියලා කියන්නේ කොහොමද ? . ඉතින් දෙයියනේ මමත් බැරි බැරි ගාතේ "හ්ම්" කිවුවා . …....
ඉතින් මම මේ වහින පොද වැස්සේ තෙමීගෙන වැඩට ගියා . මම ලඟදී වැඩකරන තැන ඇතිකරගත්ත ආරවුල මතකද ? . එදයින් පස්සේ මට වැඩට යනවා කියන එක තිත්ත කසාය බොනවා වගේ වැඩක් . ඒත් තව ටික දවසක් වැඩට යන්න හිත හදා ගත්තා . .. මම එදා රන්ඩු වෙච්ච දවසේ . ඒ සිදුවෙච්ච සිදුවීම කලු සුදු ටීවී එකක මාරු වෙන රූප රාමු වගේ විටින් විට මගේ ඇස්වලට ඉදිරියෙන් මැවිලා පේන්න ගන්නවා . ඒ සිදුවීම මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ තව තවත් තරහ වැඩි වෙනවා . අඟේ මාළු නටනවා ! .
බයික් එකෙන් බැහැලා හෙල්මට් එකත් අතේ අරගෙන Institute එකට ඇතුල් වෙනකොටම මොකක් හරි වැඩක් පැටවෙනවා . සමහර වෙලාවට වැඩ කීපයක් . සමහර වෙලාවට එක දිගට පැය 6 උගන්වන්න වෙනවා . එකක් ඉවර වෙනකොට තව එකක් ඒක ඉවර වෙද්දී තව එකක් . එදාට මට ජීවිතේම එපා වෙනවා . ඔන්න ඉතින් අද මට කන්නත් නෑ .! අදනම් මහ එපා ම කරපු දවසක් වේවි ! . මම තනියම හිතුවා . ඒත් මටම පුදුමයි . අද පුදුම ලස්සන දවසක් උනා . මට අමතක නොවෙන දවසක් උනා .
පහත සිදුවීම ස්ලෝ මෝෂන් ලෙසින් සිදුවූ බව සලකන්න ...
මම ෆයිල් එකක් පෙරල පෙරල හිටියා විතරයි එක පාරටම ….......! මම මේ අවුරුදු 22 ටම දැකලා තිබුන ලස්සනම ඇස්දෙක ! මගේ ඉස්සරහින් ඇවිදගෙන ගියා . මාව සීතල උනා . මට හුස්ම ගන්න අමතක උනා (මොහොතකට) මට කතාකරන්න ඕන උනත් දිව ගල් වෙලා !. අතපය හොල්ලන්න බෑ එවුවත් ගල් වෙලා !. මට මොනා වෙලාද ? . මොහොතකින් මම ගල් බවින් මිදුනා . ආපහු සාමාන්‍ය සඳරු බවට පත් උනා …..ඒත් මම කල්පනා කලා මේ මොකද මට උනේ කියලා . දිගටම කල්පනා කලා . අන්තිමට මට තේරුම් ගියා මම මගේ ජීවිතේ හතරවෙනි වතාවටත් ආදරේ කරන්න සූදානම් වෙනවා කියලා . …ඒ මගේ ඉස්සරහින් ගියේ මම මගේ ජීවිතේටම දැකපු ලස්සනම කෙල්ල . මගේ කලින් කෙල්ලත් ඒතරම් ලස්සන නෑ . ඒ ආඩම්බර ගමන . ඒ දිගම දිග කොන්ඩේ . රෝසපාට හැට්ටේ . රෝසපාට සාය .ඒත් ඒ ඔක්කොටම හපන් . ඒ නිල් පාට ඇස් දෙක …ඒ ඇස් වෙනුවෙන් මට . මොනාද කරන්න බැරි . ? ගෙදර යද්දිත් මග දිගටම හිතුවා එයා ගැන . නාන අතරේදිත් . කන අතරෙදිත් . නිදාගන්න අතරේදිත් මම එක දිගටම එයා ගැන හිතුවා . මම එයා ගැන දිගටම හිතුවා . මහ රෑ 12 වෙනකම්ම හිතුවා . හැබැයි රෑ 12ට ඇන්ජලීනා ජොලී ගැන හිතුවා ! . 12:05 ට ආයේ එයා ගැන හිතුවා . ..
අන්තිමට මම තීරණයක් ගත්තා . මම ඒ කෙල්ලට ආදරේ කරනවා! .ඔවු මම ට්‍රයි කරනවා .! එයා අපේ Institute එකේ ඉගන ගන්න කෙනෙක් නෙවේ ! ඒක නිසා මම එයාව මගේම කරගන්න ට්‍රයි කරනවා .
අන්තිමට මම තීරණය කලා මේ කතාව මට ඉන්න හොඳම මිතුරියට කියන්න කියලා එයාගෙන් උපදෙස් ගන්න . මම වහාම මූනු පොතට බැහැලා එයාව සෙට් කරගත්තා .එයාට මේක කියලා ලොකු උදවුවක් ගත්තා .උපදෙස් ගොඩක් ගත්තා . ..හරි දැන් මම ඕන දෙයකට සූදානම් .
පහුවදා උදේම මම අවදි වෙලා වැඩට ගියා . මම මුලින්ම කලේ අපේ Institute එකේ වැඩකරන අක්කලා දෙන්නව හම්බවෙච්ච එක . එක අක්ක කෙනෙක් උසයි කෙට්ටුයි රිටක් වගේ, අනික මිටියි බතලයි .
මම = අක්කලා මට ඔයාලගෙන් උදවුවක් ඕන
අක්කලා = කියන්න සඳරු අපි ඔයාට නොකරන උදවුවක් නෑනේ
මම = - මට අර අඟහරුවාදට යන එන කෙල්ලව ඕනි . ඔයාලත් එක්ක එයා ෆිට් නේද ?
අක්කලා = අපිත් එක්ක නම් නියමෙට ෆිට් එයා ඔයාට හොඳටම ගැලපෙනවා . අපි උදවු කරන්නම් ..
ඔන්න ඔය විදිහට මම මගේ ආදරය බඩජාරි කෙල්ලෝ දෙන්නෙකුගේ අතේ තිබ්බා . දැං මුන් දෙන්නගේ වැඩේ මගෙන් කන්න බොන්න ඉල්ලන එක . පලවෙනි දවසෙම මුන් දෙන්නා මගෙන් සෑහෙන ගානක චොකලට් කෑවා .,... උස කෙල්ල මම යනකොටම බඩු ලැයිස්තුව දික්කරනවා .
"එයාව සෙට් කරලා දෙන්නම් මේන්න මේව ගෙනල්ල දෙන්න .”
ඕකේ දෙකයි ,ශීතකරනයේ තැබූ සුදු චොකලට් දෙකයි . ඉතින් මමත් හූල්ලලා ඕව ගිහිල්ල දුන්නා . හවසට කාලක් ගහන්නවත් දැන් අතේ සල්ලි නෑ . අද මට පේර ගේන්න කිවුවා .පේර කඩන්න ගිහිං මම ගහෙන් වැටුනා අනූ නවයෙන් බේරුනා …...
මම පේර ගහ ලඟට ගිහිල්ලා උඩ බැලුවා . පේර තියෙන්නේ ගහේ මුදුනෙම . මමත් ෆෝන් එක සාක්කුවේ දාගෙන ගහට බඩ ගෑවා අපේ ගෙදරට සමහර වෙලාවට සිග්නල් එනවා හොරයි .මම පේර ගහ මුදුනට නැග්ග හැටියේ ෆෝන් එකට සිග්නල් ඇවිල්ලා . මිස් කෝල් ඇලට් වගයක් වයිබ්රේට් සමගින් එන්න පටන්ගත්තා . සාක්කුවේ තිබුනු ෆෝන් එක දෙදරන කොට මට හීනි කිතියක් ආවා (දන්නෝ දනිති) . මම එහෙට මෙහෙට දඟලනකොට . මම ගහෙන් වැටුනා (පේර ගහෙන් බව සලකන්න) මම ඉක්මනට නැගිටලා බලනකොට මම වැටිලා තියෙන්නේ පොලවේ ඇනලා තිබුනු පොල් උලට අඟල් කීපයක් මෙහාට වෙන්න …. නූලෙන් බේරුනා ..!
හිස් අහස බලන ඔයාලගෙන් මම මීට කලින් උදවු ඉල්ලලා නෑ . අද මම උදවුවක් ඉල්ලනවා . මම මේ ලියවිල්ල ලීවේ ජොලියට නෙවේ ! සීරියස් . … පුලුවන්නම් මේ කෙල්ලො දෙන්නට පොඩ්ඩක් කියන්න මට උදවු වෙන්න කියලා . උං දෙන්නා මගේ බ්ලොග් එක බලනවා . ඔයාල කීවොත් එයාල පිලිගනියි . නැත්නම් මුං මොනවා කරයිද දන්නේ නෑ . උන්ට පොඩ්ඩක් අවවාද කරලා යන්න පුලුවන්නම් මට ඒක ලොකු උදවුවක් ..
ඒ ලස්සන කෙල්ලව මට සෙට් උනොත් බ්ලොග් අවකාසේ ඉන්න වාසනාවන්තම කොල්ල මම වේවි . එයා මට සෙට් උනොත් මම මගේ බ්ලොග් එකේ නම වෙනස් කරනවා . "නිල් අහස" කියලා මොකද මේ කෙල්ලගේ නම පටන් ගන්නේ "නි" යන්නෙන් . තව දෙයක් මට මේ ලස්සන නිල් මැනික සෙට් උනොත් . මම මටම පොරොන්දු වෙනවා . මම අරක්කු බොන එක නතරකරනවා කියලා . මගේ අම්මාපල්ල!! . මම මේ කියන්නේ බොරුවක් නෙවේ . කමෙන්ට් එකක් නොදැම්මත් මොකෝ හැමෝම එක හිතකින් ප්‍රාර්ථනා කරන්න . මට මේ ආදරේ ලැබෙන්න කියලා . මට ඒ ඇති .
සඳරු ..//


