7.3.11

නිල්වන් නෙතු සඟලකට පැරදුනෙමි .

     


           ආදරනීය සහෝදර වරුනි , සහෝදරියනි . මං අද ඔයාල කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් .! මේ කතාව මගේ ජීවිතේ අමතක නොවෙන සිදුවීමක් අද මම ලොකු කරදරේක. ඕනනම් අහන්න . පුලුවන්නම් උදවුවක් කරන්න .

සතියක් විතර එක දිගට මොනවත් ලියන්නේ නැතුව හිටියේ මෙන්න මේ ප්‍රශ්නය නිසා !. නිදා ගන්න ගියාට නින්ද යන්නේ නෑ !. කන්න කියලා ගියාට කන්න බෑ !. කක්කුස්සියට ගියාට එතන වැඩේ කරන්නත් බෑ !. මම හැම පැත්තෙන්ම හිර වෙලා . සමහරවිට හිස් අහස කියවන ඔයාලට පුලුවන් වේවි මට උපකාරයක් කරන්න . මම කතාව කියලම ඉන්නම්

මේ හැම දේම සිදු උනේ . පහුගිය සතියේ අඟහරුවාදා …..........................................

උඩින් පල්ලෙන් ඇස්දෙක ඇරලා කොට්ටෙට යටවෙලා තිබුනු ෆෝන් එකෙන් වෙලාව බැළුවා . වෙලාව උදේ 7 යි . අද වැඩට යන්න පරක්කුවෙලා . වෙනදා තරම් වැඩට යන්න පිරියක් නෑ .. . ඔන්න ඔහේ වැනි වැනී ලිඳ ලඟට ගිහිං වතුර බාල්දියක් ඇදලා මූන හේදුවා . වතුරත් වෙනදාට වඩා සීතලයි . දත් බෙහෙත්වල රසත් අමුතුයි . … ඉතින් ඕන දෙයක් කියලා සීතල වතුරෙන් නාගත්තා . බාල්දියට කක්කුට්ටෙක් ආවා ඉතින් මට අසභ්‍ය වචනයක් කියවුනා .ඔන්න මම….. නාල ඉවරයි ..

තේ බොන්න ගියාම අම්ම ගෑස් ටැංකියත් එක්ක සෙල්ලම් කරනවා . අනේ පුතා තේ හදන්න විදිහක් නෑ ගෑස් ඉවරයි . ඉතින් මල පයින්නේ නැතුව තියේවිද ? . ටිකක් තරහ ගියා . මම බුම්මගෙන ගිහිල්ලා . කිරි පිටි බෝතලේ ඇරලා . පිටි ජිංඩක් කාලා . සීනි ටිකක් කාලා .වතුර උගුරක් බීවා . මම පොඩි කාලේ ඉඳන් කන්න ආස කෑමක් ..සීනියි පිටියි ..!

"අද කෑම කඩෙන් කන්න පුලුවන් නේද ? “ අම්මා අහනවා !

බීල බීල අතේ සතේ නෑ කියලා කියන්නේ කොහොමද ? රුපියල් 1000ක් නැති උනා කියලා කියන්නේ කොහොමද ? . ඉතින් දෙයියනේ මමත් බැරි බැරි ගාතේ "හ්ම්" කිවුවා . …....

ඉතින් මම මේ වහින පොද වැස්සේ තෙමීගෙන වැඩට ගියා . මම ලඟදී වැඩකරන තැන ඇතිකරගත්ත ආරවුල මතකද ? . එදයින් පස්සේ මට වැඩට යනවා කියන එක තිත්ත කසාය බොනවා වගේ වැඩක් . ඒත් තව ටික දවසක් වැඩට යන්න හිත හදා ගත්තා . .. මම එදා රන්ඩු වෙච්ච දවසේ . ඒ සිදුවෙච්ච සිදුවීම කලු සුදු ටීවී එකක මාරු වෙන රූප රාමු වගේ විටින් විට මගේ ඇස්වලට ඉදිරියෙන් මැවිලා පේන්න ගන්නවා . ඒ සිදුවීම මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ තව තවත් තරහ වැඩි වෙනවා . අඟේ මාළු නටනවා ! .

බයික් එකෙන් බැහැලා හෙල්මට් එකත් අතේ අරගෙන Institute එකට ඇතුල් වෙනකොටම මොකක් හරි වැඩක් පැටවෙනවා . සමහර වෙලාවට වැඩ කීපයක් . සමහර වෙලාවට එක දිගට පැය 6 උගන්වන්න වෙනවා . එකක් ඉවර වෙනකොට තව එකක් ඒක ඉවර වෙද්දී තව එකක් . එදාට මට ජීවිතේම එපා වෙනවා . ඔන්න ඉතින් අද මට කන්නත් නෑ .! අදනම් මහ එපා ම කරපු දවසක් වේවි ! . මම තනියම හිතුවා . ඒත් මටම පුදුමයි . අද පුදුම ලස්සන දවසක් උනා . මට අමතක නොවෙන දවසක් උනා .


පහත සිදුවීම ස්ලෝ මෝෂන් ලෙසින් සිදුවූ බව සලකන්න ...

මම ෆයිල් එකක් පෙරල පෙරල හිටියා විතරයි එක පාරටම ….......! මම මේ අවුරුදු 22 ටම දැකලා තිබුන ලස්සනම ඇස්දෙක ! මගේ ඉස්සරහින් ඇවිදගෙන ගියා . මාව සීතල උනා . මට හුස්ම ගන්න අමතක උනා (මොහොතකට) මට කතාකරන්න ඕන උනත් දිව ගල් වෙලා !. අතපය හොල්ලන්න බෑ එවුවත් ගල් වෙලා !. මට මොනා වෙලාද ? . මොහොතකින් මම ගල් බවින් මිදුනා . ආපහු සාමාන්‍ය සඳරු බවට පත් උනා …..ඒත් මම කල්පනා කලා මේ මොකද මට උනේ කියලා . දිගටම කල්පනා කලා . අන්තිමට මට තේරුම් ගියා මම මගේ ජීවිතේ හතරවෙනි වතාවටත් ආදරේ කරන්න සූදානම් වෙනවා කියලා . …ඒ මගේ ඉස්සරහින් ගියේ මම මගේ ජීවිතේටම දැකපු ලස්සනම කෙල්ල . මගේ කලින් කෙල්ලත් ඒතරම් ලස්සන නෑ . ඒ ආඩම්බර ගමන . ඒ දිගම දිග කොන්ඩේ . රෝසපාට හැට්ටේ . රෝසපාට සාය .ඒත් ඒ ඔක්කොටම හපන් . ඒ නිල් පාට ඇස් දෙක …ඒ ඇස් වෙනුවෙන් මට . මොනාද කරන්න බැරි . ? ගෙදර යද්දිත් මග දිගටම හිතුවා එයා ගැන . නාන අතරේදිත් . කන අතරෙදිත් . නිදාගන්න අතරේදිත් මම එක දිගටම එයා ගැන හිතුවා . මම එයා ගැන දිගටම හිතුවා . මහ රෑ 12 වෙනකම්ම හිතුවා . හැබැයි රෑ 12ට ඇන්ජලීනා ජොලී ගැන හිතුවා ! . 12:05 ට ආයේ එයා ගැන හිතුවා . ..

අන්තිමට මම තීරණයක් ගත්තා . මම ඒ කෙල්ලට ආදරේ කරනවා! .ඔවු මම ට්‍රයි කරනවා .! එයා අපේ Institute එකේ ඉගන ගන්න කෙනෙක් නෙවේ ! ඒක නිසා මම එයාව මගේම කරගන්න ට්‍රයි කරනවා .

අන්තිමට මම තීරණය කලා මේ කතාව මට ඉන්න හොඳම මිතුරියට කියන්න කියලා එයාගෙන් උපදෙස් ගන්න . මම වහාම මූනු පොතට බැහැලා එයාව සෙට් කරගත්තා .එයාට මේක කියලා ලොකු උදවුවක් ගත්තා .උපදෙස් ගොඩක් ගත්තා . ..හරි දැන් මම ඕන දෙයකට සූදානම් .

පහුවදා උදේම මම අවදි වෙලා වැඩට ගියා . මම මුලින්ම කලේ අපේ Institute එකේ වැඩකරන අක්කලා දෙන්නව හම්බවෙච්ච එක . එක අක්ක කෙනෙක් උසයි කෙට්ටුයි රිටක් වගේ, අනික මිටියි බතලයි .

මම = අක්කලා මට ඔයාලගෙන් උදවුවක් ඕන

අක්කලා = කියන්න සඳරු අපි ඔයාට නොකරන උදවුවක් නෑනේ

මම = - මට අර අඟහරුවාදට යන එන කෙල්ලව ඕනි . ඔයාලත් එක්ක එයා ෆිට් නේද ?

අක්කලා = අපිත් එක්ක නම් නියමෙට ෆිට් එයා ඔයාට හොඳටම ගැලපෙනවා . අපි උදවු කරන්නම් ..


ඔන්න ඔය විදිහට මම මගේ ආදරය බඩජාරි කෙල්ලෝ දෙන්නෙකුගේ අතේ තිබ්බා . දැං මුන් දෙන්නගේ වැඩේ මගෙන් කන්න බොන්න ඉල්ලන එක . පලවෙනි දවසෙම මුන් දෙන්නා මගෙන් සෑහෙන ගානක චොකලට් කෑවා .,... උස කෙල්ල මම යනකොටම බඩු ලැයිස්තුව දික්කරනවා .

"එයාව සෙට් කරලා දෙන්නම් මේන්න මේව ගෙනල්ල දෙන්න .”

ඕකේ දෙකයි ,ශීතකරනයේ තැබූ සුදු චොකලට් දෙකයි . ඉතින් මමත් හූල්ලලා ඕව ගිහිල්ල දුන්නා . හවසට කාලක් ගහන්නවත් දැන් අතේ සල්ලි නෑ . අද මට පේර ගේන්න කිවුවා .පේර කඩන්න ගිහිං මම ගහෙන් වැටුනා අනූ නවයෙන් බේරුනා …...

මම පේර ගහ ලඟට ගිහිල්ලා උඩ බැලුවා . පේර තියෙන්නේ ගහේ මුදුනෙම . මමත් ෆෝන් එක සාක්කුවේ දාගෙන ගහට බඩ ගෑවා අපේ ගෙදරට සමහර වෙලාවට සිග්නල් එනවා හොරයි .මම පේර ගහ මුදුනට නැග්ග හැටියේ ෆෝන් එකට සිග්නල් ඇවිල්ලා . මිස් කෝල් ඇලට් වගයක් වයිබ්‍රේට් සමගින් එන්න පටන්ගත්තා . සාක්කුවේ තිබුනු ෆෝන් එක දෙදරන කොට මට හීනි කිතියක් ආවා (දන්නෝ දනිති) . මම එහෙට මෙහෙට දඟලනකොට . මම ගහෙන් වැටුනා (පේර ගහෙන් බව සලකන්න) මම ඉක්මනට නැගිටලා බලනකොට මම වැටිලා තියෙන්නේ පොලවේ ඇනලා තිබුනු පොල් උලට අඟල් කීපයක් මෙහාට වෙන්න …. නූලෙන් බේරුනා ..!

හිස් අහස බලන ඔයාලගෙන් මම මීට කලින් උදවු ඉල්ලලා නෑ . අද මම උදවුවක් ඉල්ලනවා . මම මේ ලියවිල්ල ලීවේ ජොලියට නෙවේ ! සීරියස් . … පුලුවන්නම් මේ කෙල්ලො දෙන්නට පොඩ්ඩක් කියන්න මට උදවු වෙන්න කියලා . උං දෙන්නා මගේ බ්ලොග් එක බලනවා . ඔයාල කීවොත් එයාල පිලිගනියි . නැත්නම් මුං මොනවා කරයිද දන්නේ නෑ . උන්ට පොඩ්ඩක් අවවාද කරලා යන්න පුලුවන්නම් මට ඒක ලොකු උදවුවක් ..

ඒ ලස්සන කෙල්ලව මට සෙට් උනොත් බ්ලොග් අවකාසේ ඉන්න වාසනාවන්තම කොල්ල මම වේවි . එයා මට සෙට් උනොත් මම මගේ බ්ලොග් එකේ නම වෙනස් කරනවා . "නිල් අහස" කියලා මොකද මේ කෙල්ලගේ නම පටන් ගන්නේ "නි" යන්නෙන් . තව දෙයක් මට මේ ලස්සන නිල් මැනික සෙට් උනොත් . මම මටම පොරොන්දු වෙනවා . මම අරක්කු බොන එක නතරකරනවා කියලා . මගේ අම්මාපල්ල!! . මම මේ කියන්නේ බොරුවක් නෙවේ . කමෙන්ට් එකක් නොදැම්මත් මොකෝ හැමෝම එක හිතකින් ප්‍රාර්ථනා කරන්න . මට මේ ආදරේ ලැබෙන්න කියලා . මට ඒ ඇති .


සඳරු ..//


















1.3.11

බොස් මට බැන්න දෙවනි දවස .




මේ හිස් අහස ලියන මාව මගේ කතා නොකරන හදවත දැන් බොහොම දෙනෙක් අඳුරනවා . එකමත් එක දවසක පරිගණක වල අලුත්ම තොරතුරු එකතුකරලා තාක්‍ෂණික බ්ලොග් එකක් ලියන්න මම පටන්ගත්තා ඒත් මගේ අත දැන් තව දුරටත් මට අවනත නෑ . මගෙ හිතත් මට අවනත නෑ . හිත එයාට ඕන දේ කියනවා , අත ලියනවා . බලන අය බලනවා .ඉතින් මම මගේ අම්මටවත් නොකියන මගේ ජීවිතේදී මට වෙච්ච හැමදෙයක්ම මම මේ බ්ලොග් එකේ ලියුවා .. ඉතින් අද මම මුහුන දුන් තවත් සත්‍ය සිදුවීමක් ගැන සටහනක් මේ …. තවත් එක වලියක්

අද උදේ මම ඇඳෙන් නැගිටිද්දී මම නිකමටවත් හිතුවේ නෑ . අද මම වැඩ කරන ආයතනය ඇතුලේදීම ලොකු රන්ඩුවකට පැටලෙයි කියලා !!

අදත් මම වෙනදා පුරුදු විදිහටම වැඩට ගියා . දැන් මම මේ IT institute එකේ වැඩට ඇවිල්ලා අවුරුදු දෙකහමාරක් විතර ඇති . මේ මගේ පලවෙනි ජොබ් එක .  මේ මම මගේ ජීවිතය එකලස් කරගත්ත තැන . මේ අවුරුදු දෙක හමාර ඇතුලත මම ගොඩක් දේවල් ඉගන ගත්තා . ගොඩාක් යාලුවෝ අඳුන ගත්තා . එකම එක වෛරක්කාරයෙක් හදාගත්තා . !

අද මම institute එකට එනකොට වෙලාව හරියටම උදේ 7:55 යි . කිසිම කෙනෙක් ඇවිල්ලා නෑ තවම . මම මගේ ලඟ තිබුන යතුරෙන් දොර ඇරලා පුටු එකින් එක පිළිවෙලකට හදලා ජනෙල් ඇරලා . අපේ Staff එකේ අනික් අය එනකම් බලන් හිටියා . මම වැඩකරන institute එක බොහොම පොඩියි . මමත් මගේ ලොක්කත් ඇරුනාම තව දෙන්නෙක් විතරයි මේ institute එකේ දැන් මාස කිහිපයක් තිස්සේ වැඩකලේ . ඊයේ පෙරේදා තවත් අළුත් සුන්දර කාන්තා මූනක් අපේ Staff එකේ මූනු අතරට එකතු උනා . . ඉතින් දැන් අපි ඔක්කෝම පස් දෙනයි

මගේ පලවෙනි කතාවේ ඉඳලම මේ බ්ලොග් එකේ ලියලා ඇති මට මේ ආයතනය ඇතුලේ තරහකාරයෙක් හිටිය බවත් මිනිහා පහු වෙද්දී වැඩට නෑවිත් නතර උනා කියලත්. මිනිහා ගියාට පස්සේ සේරම සාමකාමී උනා . ඒත් මේ හැමදේම හිතුවෙවත් නැති විදිහට වෙනස් උනේ මගේ තරහා කාරයා . මේ institute එකේ Visiting Lecture කෙනෙක් විදිහට ආයෙමත් එන්න පටන්ගත්තට පස්සේ .

හරියටම උදේ 8:00 විතර තාත්ත කෙනෙක් ඇවිල්ලා තමන්ගේ දුවව අපේ institute එකේ පාඨමාලාවකට එකතු කරා. අලුත් ලමයගේ ඒ වැඩ ටික ඉවර වෙනකොටම . ඔන්න මගේ ජන්මාන්තර වෛරක්කාරයා පාරේ තිබ්බ ගොමරිටි වලට උඩින් පනිමින් .මන්ද බුද්ධිකයෙක් වගේ ගේට්ටුවෙන් ඇතුල්වෙන හැටි මම දැක්කා !. මම මිනිහට චමින්ද කියන නම දාල කතාව කියන්නම් . චමින්ද institute එක ඇතුලට ඇවිල්ලා . කෙලින්ම ගිහින් Computer lab එකේ තිබ්බ පිරිසිදු ප්ලාස්ටික් පුටුවකට පස්සපැත්ත තියලා ඉඳගත්තා . පරිගණකයක් ඔන් කරගෙන තමන්ගේ ගෙදර වගේ වැඩ පටන්ගත්තා . මමත් අහක බලාගෙන මගේ වැඩක් කරන්න පටන්ගත්තා . ටිකෙන් ටික අපේ Staff එකේ මූනු එකින් එක අන්න අර දොරෙන් මතුවෙන්න පටන්ගත්තා ….වෙලාව 8.30යි අපි වැඩ පටන්ගත්තා ..

මගේ මුල්ම වැඩේ උනේ අලුතින් පන්ති ආපු ගෑනු ළමයෙකුට සහ පිරිමි ළමයෙකුට ඒ අයට මග ඇරුනු පාඩම් කියාදෙන එක . ටිකෙන් ටික රවුම් ඔරලෝසුවේ කටු කැරකෙන්න පටන්ගත්තා . වෙලාව 9.45 යි . මට ටිකක් උස් හඬින් කෙනෙක් කතාකරන සද්දෙ ඇහෙන්න පටන්ගත්තා . …..... මම පන්තිය අතරමග නතර කරලා ඒ දිහාවට ගියා . අද institute එකේ තරමක් වැඩ අධික දවසක් . practical වලටයි පන්තිවලටයි ආපු ළමයින් ඉස්සරහා මේසය වටේ පිරිලා . ළමයි ඉන්න බවක් තඹ සතේකට මායිම් නොකරන චමින්ද . මහ හයියෙන් කෑ ගහ ගහ එයාගේ යාලුවෙකුට සහතිකයක් හදලා දෙන්න කිය කිය බලකරනවා . Reception එකේ ඉන්න අක්කා හොඳටම බයවෙලා මුගේ කටේ සද්දෙට . අපේ ආයතනයේ නීතිරීති වලට අනුව සහතියක් ගන්නනම් අදාල පුද්ගලයාම එන්න ඕන . අන්න ඒ නීතිනිසා අපිට හිතුමනාපෙට සහතික හදලාදෙන්න බෑ කිසිම කෙනෙකුට . මුගේ සද්දෙ අඩු කරන්න ඕන නිසා මම මගේ කටහඬ අවදි කරා …

"ඔයාට ප්‍රශ්නයක් නම් ගිහින් සර් එක්ක විසඳගන්න"

"හරි මම සර්ට කියලා Action එකක් ගන්නම්"

චමින්ද ෆෝන් එකත් අරගෙන එලියට ගියා .. මමත් ඉතින් ආයේ මගේ පන්තියට ගියා . ඒත් විනාඩි දෙකකින් විතර මට ආයෙමත් චමින්දගේ කක්කුස්සි වල වගේ ශ්‍රීමුඛයේ සද්දේ ඇහෙන්න ගත්තා . මේපාර සද්දෙ තවත් වැඩියි වගේ .. මම කෙලින්ම එතනට ගියා . තවම චමින්ද Reception එකේ ඉන්න අක්කට බනිනවා . ගෑනියෙකුට බනින එක මොන පිරිමිකමක්ද ? මගෙ ජීවිතේට මම නම් කිසිම විදිහකින් ඒවගේ පහත් වැඩක් කරන්න හිතන්නෙවත් නෑ . ඒත් මේ පෙරේතයා මගේම සහෝදරියක් තරම් මට වටින මේ අසරන කෙල්ලට පලු යන්න බනිනවා !! . මගේ ඇඟේ ලේ නටන්න පටන්ගත්තා ! ඒත් මම ඉවසුවා .!

"මේ ඉරේශා තමුසේට මෙතන දේවල්වලට ඇඟිලිගහන්නේ නැතුව ඉන්නවා " චමින්ද අන්තිමටම කිවුවා .

මගේ ඉවසීමේ සීමාව ඒ මොහොතේදී මට අමතකවෙලා ගියා . .

“එයා මෙතන වැඩ කරන කෙනෙක් මොකද එයාට මේව ගැන හොයන්න අයිතියක් නැත්තේ ? “ ඒ මගේ හඬ ..!

“ මේ සඳරු තමුසේ ගිහිං තමුසෙගේ පාඩම කරනවා ! “ ඒ උගේ හඬ

"උඹ මොකාද යකෝ ඒක මට කියලා දෙන්න ? “ එහෙම අහපු මම මගේ දකුණු අත පුරුවලා පාරක් චමින්දගේ මූනට අතඇරියා . මට වෙන කරන්න දෙයක් තිබුනේම නෑ . ඌ කියන දේ අහලා පැත්තකට වෙන්නද ? ඒක මම මැරුනොත් මිසක් සිද්දවෙන්නේ නෑ ! .

අපේ වලිය පටන්ගත්තා . මම ඌට පාරක් දෙකක් ගැහුවා ඌත් මාව හයියෙන් බදාගන්න ඇති . වටේම හිටපු ළමයි . Reception එකේ අක්කා . institute එකේ මැනේජර් අයියා . මේ හැමෝම වලිය බේරන්න දැඟලුවා . අද මුලින්ම ආයතනයට ආපු පිරිමි ළමයෙකුත් අපේ වලිය මැදට පැනලා අපිව වෙන්කරන්න උත්සහ කරා .. ඒත් මගේ හිත තිබුනේ තරහින් පිරිලා . මට මාවම අවනත නොවන තත්වයකයි මම හිටියේ ..

විනාඩි දෙකකදී විතර මේ වලිය අවසන් උනා . මාව බදාගෙන හිටපු මැනේජර් අයියයි .අක්කයි මේ දෙන්නා නිසා මට අතපය වනන්න ලැබුනේ බොහෝම හෙමීට . කෙල්ලෝ ඉන්න තැන ගහගන්න නොයන්න මම ආයේ ප්‍රවේසම් වෙනවා . මෙයාල පැනල අපිව අල්ලගන්නවා . ප්‍රතිවාදියා ඉඳන් අපිට නෙලනවා . වෙලාවට මට නම් එච්චර වැදුනේ නෑ එකක් දෙකක් විතර තමයි වැදුනේ …! ඉතින් එහෙම සිදුවීමක් සිදු උනා .! . මගේ ලස්සන කමිසේ අන්තිම බොත්තම් 2 ඇරෙන්න අනික් ඒව සේරම කැඩුනා . හැබැයි මමත් චමින්දට අමතක නොවෙන්නම දුන්නා ...

දැන් මම මේ ගැන සෑහෙන්න පසුතැවෙනවා . මම ළමයි ඉදිරියේ ගහගත්ත එක වැරදි. ඒත් වෙන මොනවා කරන්නද . ? මම මට පුලුවන් උපරිම ඉවසුවා . අනික මම වෙච්ච රන්ඩුවට හොඳ හේතුවකුත් තියනවා .ඉතින් ඊටපස්සේ . ඈත පලාතකට ගිහිල්ලා හිටපු මගේ බොස්ට මේ රන්ඩුව ආරංචි උනා . එයා හවසම ආපහු ආවා .

මම මේ ආයතනයේ පරනම සේවකයා . මම මෙහෙන් ගොඩක් දේවල් ඉගනගත්තා . මගේ මහන්සියත් මම මෙතනට ගොඩක්ම කැපකරා . ඒත් දැන් හොඳටම ඇති . මට මෙහෙන් අස්වෙන්න හිතුනා . මමයි මැනේජර් අයියයි සර් එනකම් බලාගෙන හිටියා . සර් මට බනීවිද ? මගේ හිතේ පොඩි ගැටලුවක් තිබුනා ඒත් බයක් තිබුනේ නෑ . වැඩිම උනොත් මාව අස්කරයි එච්චරයි ..

හවස 5.30ට විතර සර් ආවා …. ආපු ගමන් මගෙන් ඇහුවා

"මොකද උනේ සඳරු ? " මමත් මගේ පැත්තෙන් කතාව කිවුවා . අපි චමින්දත් ආවාම මේ ගැන හෙට කතාකරමු . බොස් එහෙම කිවුවා . පේන විදිහට මගේ පැත්තට අවාසියි වගේ …. කමක් නෑ .මම හෙට වෙනකම් ඉවසනවා .යන්න කිට්ටු වෙලා බොස් මට මෙහෙම කිවුවා !

"සඳරු මොකටද ගහමරාගත්තේ ?. ආයතනයේ ගරුත්වය බල්ලට දාන්න . තමන්ගේ ගරුත්වය ගැන වත් හිතන්න තිබුනා නේද ? “ ඔහොම කියලා මට ටිකක් බැන්නා 

ගෑනියෙකුට සද්දෙ දාන පොන්සියෙක් ඉස්සරහා පදිරි වෙන එකද ඔය කියන ගරුත්වය කියලා මට අහන්න හිතුනා ඒත් මම ඒ සිතිවිල්ල වචනවලට පෙරලුවේ නෑ … .

ඉතින් හෙට ..නෑ ඇත්තටම දැන් වෙලාව රෑ 12 . පැනලා ඒ කියන්නේ අද . අද තමයි බොස් තීන්දුව දෙන්නේ . මට එක වචනයකින් හරි බැන්නොත් මම අස්වෙලා යන්න තීරනය කරා . …. කමක් නෑ එතකොට මම ගෙදර ඉඳගෙන පැයෙන් පැයට බ්ලොග් ලියනවා . මට කිසිම දුකක් නෑ . බලමු බොස් කොයි පැත්තට හැරේවිද කියලා ….! ඌද මමද ?

ඉතින්.! හතරැස් බෝතලේකින් බාගයක්ම මගේ හිතේ අමාරුව අඩුකරන්න පාවිච්චිකරන්න සිද්ද උනා . දැං ටික ටික සැර බැහැල ගිහිල්ලා …මම රන්ඩුවලට අකමැතියි.ඒවගේම කාටවත් යටත් වෙන්නත් අකමැතියි. පුලුවන්නම් මේක කියවලා මට මගේ පැත්තට හයියක් වෙන්න . සමහරු ඉතින් මට බනීවි . ඒත් මම හොඳටම දන්නවා අද මම සාදාරණයි . මම රන්ඩු උනේ හේතුවක් ඇතිව . මගේ තැන අද ඔයා හිටියොත් ඔයත් මේ තීරණය ගන්න බව මට හොඳටම විශ්වාසයි ..!




සඳරු ..//