මේ කතාවේ පළමු කොටස නොදැකපු කෙනෙක් ඉන්නවා නම් පළමු කොටසත් බළලාම කතාවට එකතුවෙන්න .. පලමු කොටස !/
දවස් තුනක් ගෙවිලා මම නොයිවසිල්ලෙන් බලාන හිටපු සිකුරාදා දවස එළඹුණා . ! . ඒ සිදුවීම මතකෙට එනකොට දැන් නම් මට . තනියම හිනහා යනවා .
දවස් තුනක් ගෙවිලා මම නොයිවසිල්ලෙන් බලාන හිටපු සිකුරාදා දවස එළඹුණා . ! . ඒ සිදුවීම මතකෙට එනකොට දැන් නම් මට . තනියම හිනහා යනවා .
වෙනදා වෙලාවටත් කලින් පන්තියට එන බිසෝ මැණිකේ මිස් එදා 10:45 වෙනකොටත් ඇවිල්ලා හිටියේ නෑ . ! ඉතින් මගේ තත්වය හිතාගන්න පුළුවන් නේද ? ඇත්තටම කීවොත් කමිසේ උඩ සාක්කුවේ ෆාම් බිත්තරයක් තියාගෙන හිටියොත් . ඒක විනාඩි දෙකෙන් ක්‍ෂෙනිකව තැම්බෙන තරමටම මගේ පපුවේ ගින්දරක් ඇවිලිලා තිබුණා ..
බිසෝ මැණිකේ මිස් ක්ලාස් එකට ඒවිද ?
එයා එක්ක ශානිකාත් ඒවිද ?
මේ ගෑනු දෙන්නම නෑවිත් ඉඳීවිද ?
ඒ තරම් ලොකු ප්‍රශ්න කන්දක් හිතේ තියාගෙන හිටි මම . වාඩිවෙලා හිටපු ප්ලාස්ටික් පුටුවේ ඇන්ද උඩ වයිට් බෝඩ් පෑනකින් කුරුටු බලි අඳින අතරේ . පාර දිහාවෙන් ඇහුණු සෙරෙප්පු අඩි සද්දයක් නිසා එකපාරම ඔළුව උස්සලා බැලුවා .. හිතට දැනුණ සතුටක තරම ..ඒ එන්නේ බිසෝ මැණිකේ මිස් සමග එයාගේ හුරුබුහුටි දූ සිඟිත්ත .
ටික කාලෙකට ඉස්සර ඉස්කෝලේ දහය පන්තියේදී ශානිකා කාලා විසී කරපු ආදර ගෙඩියක ඇටේකින්. මගේ හදවතේ පැළවුණු . පුංචි ආදර පැළයක් වතුර නැතුව මැරිලා ගිහින් කාලයක් ගතවෙලා. . . ! ඒත් නොහිතපු විදිහට වැටුණු පුංචි පොද වැස්සක් . ඒ පුංචි පැළයට ආයේ ජීවය දීලා...ඔන්න.. පරණ ආදරේ ආයෙමත් දළුලන්න හදනවා .. . ආදරෙන් හෝ කෑදරෙන් ඔකඳ වෙච්ච මගේ හිතට එහෙම හිතුණා.
ශානිකයි බිසෝ මැණිකෙයි ඉන්ස්ටිටියුට් එකේ දොර ගාවට එනකම් ආවා .. ඒත් . දොර ගාවදී මැණිකේ මිස් ගේ කනට කරලා මොනවාද මන්දා කොඳුරාපු ශානිකා . මගේ දිහා යන්තම් වත් නොබලා . ඉක්මනින්ම ආපහු හැරිලා ගියා . “කමක් නෑ.! ශානි මාව දැක්කේ නැතුව ඇති. දැන් පන්තිය ඇරෙන වෙලාවට ආයේ එනවානේ එතකොට අල්ලගමු” එහෙම හිතලා මම හිත හදාගත්තා.
බිසෝ මැණිකේ මිස් ඇතුළට ඇවිල්ලා . කාඩ් එකත් ලකුණු කරගෙන පන්තියෙන් වාඩිවෙලා එයාගේ අලුත් ගුරුතුමා වෙච්ච මම එනතුරු බලාන හිටියා . මමත් තීරණයක් ගත්තා .! “මම කොහොම හරි මේ වයසක ගෑනිට පරිගණක දැනුම ලබා දෙනවා .! මේ ලෝකේ ඉන්න වයසකම පරිගණක ප්‍රෝග්‍රැමරී බවට පත් කරනවා .! ඊට පස්සේ මම මෙයාව මගේ නැන්දම්මා කරගන්නවා .! පැත්ත ගියත් .මම ඒක කරනවා . අන්තිම පනකෙන්ද තියනකම් !.මගේ ඉස්න්ටිටියුට් එක පල්ලා !” මම එදා දිවුරුවා
ගුඩ් මෝනිං මිස් .
“ගුඩ් මෝනිං සර් !”
බිසෝ මැණිකෙත් හිනා වෙලා මාව පිළිගත්තා . මම පරිගණක පාඩමට සූදානම්
"මිස් ඔයාට නෝට් එක ලියාගෙන කාලේ නාස්ති කරන්න ඕනෑ නෑ !. ඒක නිසා මම ඒ මුලු නෝට් එකම ප්‍රින්ට් කරා . මේ තියෙන්නේ ඒක.! මිස්ට වැදගත් තැන් පොඩ්ඩක් හයිලයිට් කරගන්න . මම පැට්‍රිකල් ටිකක් වැඩිපුර වෙන්න කියලා දෙන්නම් ..”
මගේ වෙන්ඩ නැන්දම්මා . ඔළුව හෙල්ලුවා විතරයි !
මම පරිගණකය ගැන එහි කොටස් ගැන පොඩි හැඳින්වීමක් කරලා . මිස්ගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා . බොහොම සරල ප්‍රශ්න . ඇත්තෙන්ම කීවොත් උත්තරේ කටටම දීලා තමයි ප්‍රශ්නේ යොමු කළේ .. ඉතින් බිසෝ මැණිකෙත් හිටු කියලා ඒවට උත්තර දුන්නා . ඉතින් එයාටත් අලුත් සර් ගැන පුල් සැටිස් !
ඊළඟට අපි දෙවනි චැප්ටර් එකට ඒ කියන්නේ Operating systems කියන කොටසට ආවා . දැන් ඉතින් බිසෝ මැණිකෙට පරිගණකයක් සමග වැඩ කරන්න වෙනවා . මම පොඩි උදවුවක් කළා
"මිස් මේ තියෙන්නේ මවුස් එක ! මේක උඩ අත තියාගන්න !”
මැණිකේ මිස් අත් දෙකම මවුස් එක උඩ තියාගන්න උත්සහ කළා !!!!! ..
"නෑ නෑ තනි අතින් ! මේ බලන්න මෙන්න මෙහෙම අල්ලගන්න .. ඔය තරම් තද කරන්න එපා ! ලාවට අල්ලගන්න .”.
මමත් රටේ නැති එවුව කියමින් උපදෙස් දුන්නා බිසෝ මැණිකෙට මවුස් එක හුරු කරන්න මට විනාඩි 18 විතර යන්න ඇති .
ඊළඟට තමයි ආතල්ම මොහොත උදා වුණේ . . .
"මිස් මෙන්න මේ බට්න් එක එක ළඟ දෙවරක් ඔබනවාට කියන්නේ ඩබල් ක්ලික් කරනවාය කියල ! හරි මිස් මෙන්න මේ අයිකන් එක උඩට මවුස් එක ගෙනෙල්ලා ඩබල් ක්ලික් කරන්නකෝ බලන්න.”
මොනිටරේ හතර වටේම අයාලේ ඇවිදපු මවුස් එක . අන්තිමේදී මම පෙන්වපු තැනට ළඟා වුණා ! . කමක් නෑ අපිත් හුරු පුරුදු වෙන කාලේදී මේ වගේ තමයි . මම ආයෙමත් හිත හදා ගත්තා .
"හරි මිස් එහෙනම් ඩබල් ක්ලික් කරන්න . මතකයි නේ ! වම් බට්න් එක එක ළඟ දෙවරක් .”
දෙයි හාමුදුරුවනේ !!
බිසෝ මැණිකේ මිස් පුදුමාකාර වෙසෙසක් දැරුවා. පුටුව උඩ බාගෙට ඉඳගෙන . කට තද කරගෙන . වම් අත මිටි මොලවා ගෙන . බිසෝ මිස් ඩබල් ක්ලික් කරන්න උත්සහ කළා .. ඒත් සිංගල් ක්ලික් එකක් ඇරෙන්න ඩබල් ක්ලික් එකක්නම් එතන සිදු වුණේ නෑ ..
ඔය අතරේ මම දැක්කා මවුස් පොයින්ටර් එක ඩෙක්ස් ටොප් එක මත නළියන හැටි ! . "හ්ම් එහෙනම්. මේ වයසක උන්දෑගේ අත වෙවුලනවා ! නහින දෙහින කාලේ එනවා පරිගණක ඉගන ගන්න" . මට යටි හිතින් කේන්තියක් ආවා . ඇත්තමයි ඒක සාධාරණ කේන්තියක් .මම පැය භාගයක් උත්සහ කළා .මවුස් එකේ ඩබල් ක්ලික් වේගය අඩුම කරලා පවා උත්සහ කළා .ඒත් බැරි වුණා . යන්තම් දහ දොළොස් වතාවක් වැරදිලා වගේ ඩබල් ක්ලික් වුණත් හරි විදිහට ඩබල් ක්ලික් කරන්න මිස්ට බැරි වුණා .
ඒ වයසක උන්දෑ ගැන විටෙක දුකකුත් විටෙක මරාගෙන කන්න තරම් කේන්තියකුත් මගේ කන්ට්‍රෝල් නැති හිතේ මාරුවෙන් මාරුවට ඉපදුනා . මමත් මනුස්සයෙක් . කොයිතරම් කියාදුන්නත් වැඩක් හරියට නොකරන කොට මටත් පුදුම කේන්තියක් එනවා .! මොනවා කරන්නද ? මම මේක ඉල්ලගෙන කන කට්ටක් ! . "කුම්බලා කරවල කෑවානම් විඳවපන් සඳරුවෝ !” .. මමත් මටම කියාගනිමින් . ආයෙමත් පාඩමට බැස්සා .
පන්තිය ඉවර වෙන්න වෙලාව හරි . ඒත් දැන්ම පන්තිය ඉවර කළොත් මිස් යන්න යාවි ඒත් එක්කම එයාගේ සුදුම සුදු දෝනිත් මට නොපෙනීම යන්න යාවි .. මගේ කැත හිතේ ඉපදුණු පුංචි සිතිවිල්ලක් . මම ක්‍රියාවට යෙදෙවුවා .
"මිස් පන්තියනම් ඉවරයි ඔයා තව ටිකක් පුරුදුවෙන්න තව පැය බාගයක් විතර පුරුදුවෙන්නකෝ !..මම කියාදීපු දේවල් ටික ආයෙමත් එකින් එක කරලා බලන්න ..”
එහෙම කියාපු මම පන්ති කාමරයෙන් එළියට ආවා .! එළියට ආපු ගමන්ම මම දැක්කා ශානිකා ඉස්සරා තියන පුටුවක වාඩිවෙලා ඉන්න හැටි .එදානම් මගේ හිත පිරෙනකම් මම එයා එක්ක කතා කළා ..! ඔය කතා කරපු වචන අතරේ රත්තරන් පාටින් දිලිසෙන මෙන්න මේ වචනය මට කවදාකවත් අමතක නොවේවි ! .
"ඉතින් ශානිකා . දැන් බෝයිෆ්‍රෙන්ඩ් මහත්තයෙක් එහෙම හොයාගෙන ඇති නේද ? මොකද්ද ඒ මහත්තයා කරන ජොබ් එක ! ?”
"අපෝ පිස්සුද ?. මට එහෙම කෙනෙක් නෑ ! ..”
අනේ ඉතින් එදා මම සතුටු වෙච්ච හැටි .! අනේ අපොයි මම බලා පොරොත්තු තියාගත්ත තරම් ! . ගොබ්බයෙක් වගේ හිතින් හිනහා වෙච්ච හැටි .හිතේ සතුටට ස්ටාෆ් එකේ උන්ට අයිසිං කේක් ගෙඩියක් ගිල්ලාවාපු හැටි ! අයියෝ සල්ලි !!! කොහොම හරි ඔය විදිහට සති දෙකක් විතර ගෙවුණා . ගම්බාර දෙයියන් වහන්සේ පවා මගේ පැත්තට පුදුම සහයෝගයක් දුන්නා . ශානි ගෙන් ආදරේ ඉල්ලනත් හදලා . මම කීප වතාවක්ම හිතට ආපු වචන ගිලගත්තා .!
දින සති මාස ඉක්මනටම ගෙවිලා ගියේ . මට හිතාගන්නවත් බැරි තරම් වේගෙන් . ආයෙමත් සාණි හම්බවෙන්නේ කවදද කියලා කල් බලමින් හිටි මට මාස ගෙවිලා යන හැටි යන්තමටවත් නොදැනුණු හැටි පුදුමයක් නෙවේ ..! .
එක දවසක් . බිසෝ මැණිකේ මිස් පන්තියේදී .එයාගේ අත් බෑග් එකෙන් ගත්තු බ්‍රවුන් පේපර් මල්ලක් මේසේ උඩින් තිබ්බා .!
"පුතේ මේ අපේ ගෙදර හදපු කෑම වගයක් . යාළුවොන්ටත් දීලා කන්න ..”
දැන් ඉතින් බිසෝ මැණිකේ මිසී මට "පුතා" කියලා කට පුරෝලා කියන ලස්සන . ඒ කියන්නේ මමත් මිස් කියන එක අත හැරලා "අම්මේ" කියන දවස වැඩි ඈතක නෑ වගේ ! . මම එතනම බෑග් එක ඇරලා බැලුවා .
ගෙදර හදාපු කේක් වගේකුයි . කිරි ටොපියි .වගයක් ඒ මල්ලේ තිබුණා . ශානිගේ උපන්දිනේ වත් ද ?. මමත් කේක් කෑල්ලක් අරං කන ගමන් මැණිකේ මිස් ගෙන් මෙහෙම ඇහුවා .!
"ඇයි මිස් ගෙදර මොනවා හරි උත්සවයක් හෙම තිබුණද ? “ සමහර විට මම ඒ ප්‍රශ්නේ අහන්නේ නැතුව ඉන්න තිබුණා . ඒ මෝඩ ප්‍රශ්නේ අහපු එකට මම අදත් දුක් වෙනවා .
"ශානි යාළු වෙලා ඉන්න ඒ පුතාලගේ ගෙදර අය ඊයේ අපේ ගෙදර ආවා .ඒකයි පුතේ මේවා හැදුවේ .”
තූහ් තූක් කියලා කටින් වීසිකරන්න හිතුණත් .මේ වයසක ගෑනු කෙනාට එහෙම කරලා මම මොනවා ලබාගන්නද ? මම කේක් කෑල්ල්ම ගිල්ලා ! හපන්නෙත් නැතුවම ගිල්ලා
එදා මම කියලා දුන්න දේවල් වලින් මෙලව හසරක දෙයක් බිසෝ මැණිකේ මිස්ට තේරුණේ නැති බව මම දන්නවා . මට ඕන වුණේ ඉක්මනින් හිත නිදහස් කරගන්න . එදත් ශානි ආවා .ඒත් මට එයා එක්ක කතා කරන්න දෙයක් තිබුණේ නෑ . ඒයා කරපු විහිළුවකට බොරුවට මවාගත්ත හිනහවක් දීලා මම ඉක්මනටම එතනින් අයින් වුණා .
එදා හැන්දෑවේ මම වැඩ ඇරිලා ගෙදර යන්න හදනකොටම . මගේ ෆෝන් එක කෑගහන්න ගත්තා . ඒ ආවේ කෙටි පණිවිඩයක් ..
sandaru mama chanaka gana oyata nokiva nisa oya tharahada ? ane sorry
මම ඒකට ප්‍රතිචාර දෙන්නවත් කෝල් කරන්නවත් ගියේ නෑ කියෝලා බලලා ආයෙමත් ෆෝන් එක සාක්කුවට දාගත්තා .මම අමතක කරලා දානවා මේ හැමදෙයක්ම ..! .ඇත්තෙන්ම හිතට පොඩ්ඩක් අවුල් . එදා ඉඳන් අද වෙනතුරු ආයේ කෙටි පණිවිඩ ආවෙත් නෑ . .. .
කොයිතරම් අමතක කරන්න උත්සහ කළත් අමු අමුවෙන්ම නම් මේ ගැටලුවට විසඳුමක් හොයන්න බැරි වග මට තේරුම් ගියා . ඒක නිසා . හැන්දෑවේ යාළුවෝ කට්ටියත් එක්ක පොඩ්ඩක් එකමුතු වෙන්නත් සිද්ධවුණා . බාල බෝතල්වලින් ගෙනාපු සිරුරට අහිතකර බීමකුයි , කොකා බෝතලේකුයි අපේ සහයට එකතු වුණා .!
එදා ඉඳන් මගේ හොඳම යාළුවා රවීන් මේ කතාව අහගෙන ඉඳලා මෙහෙම කීවා. "ඔවුවා අමතක කරපන් මචෝ ! කෙල්ලෙකුට පදිරි වුණේ උඹ විතරක් නෙවෙයිනේ .. අල්ලලා දාපන් බං ! .”
ඒ දුඹුරු පාට සිරුරට අහිතකර දියරයෙන් මගේ වීදුරුව පිරුණා !. .. කට්ටියගේ කටවල් වලටත් අමුතු පණක් ඇවිල්ලා . මගේ හිතටත් එහෙමයි. . .
සතුටින් නිදැල්ලේ
අවසර ලද ඇසිල්ලේ // …...........අපේ සෙට් එකේ ජනා මගේ පිටට තට්ටු කරන ගමන් පටන් ගත්තා !
මේ අඳුරින් මිදීල
ඉගිලීයන් කුරුල්ලෝ // …..................අපිත් එකතු වුණා ..!
සත්තයි ! හිතේ තිබුණු ටොන් ගාණක් බරක් නිදහස් වුණා එක ඇසිල්ලකින් ..
සතුටින් නිදැල්ලේ
අවසර ලද ඇසිල්ලේ // …...........අපේ සෙට් එකේ ජනා මගේ පිටට තට්ටු කරන ගමන් පටන් ගත්තා !
මේ අඳුරින් මිදීල
ඉගිලීයන් කුරුල්ලෝ // …..................අපිත් එකතු වුණා ..!
සත්තයි ! හිතේ තිබුණු ටොන් ගාණක් බරක් නිදහස් වුණා එක ඇසිල්ලකින් ..
ගිනි වතුරේ පිහිටෙන් හදවතට දැනුණු ඒ මෝඩ ආදර හැඟීම පුච්චලා දාගත්තු මම . ආයෙමත් පරණ පුරුදු සඳරු බවට වුණා . දැන් හිතේ දුකවත් පසු තැවීමවත් කඳුලක්වත් නෑ . ආයෙමත් ශානිකා ගැන හිතන්නෙවත් නෑ . කතාවට යන්නෙත් නෑ .
එතකොට බිසෝ මැණිකේ ? එයාට මොකද වෙන්නේ .?
තවමත් අඟහරුවාදටයි සිකුරාදටයි උදේ 10:30 ඉඳන් 12:30 වෙනකම්..අපේ දෙවනි පන්ති කාමරයෙන් . "ටික් ටික්" සද්දයක් ඇහෙනවා .. "ඔවු" .. බිසෝ මැණිකෙයි මමයි තවම ඩබල් ක්ලික් කරනවා ..මම බලෙන්ම බාර ගත්තු වැඩේ මමම ඉවරයක් කරනවා ..කොහොම හරි ..!
කතාව ඉවරයි !
නම් ගම් අසත්‍යයි .


