අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා .
“මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ කෑලිවත් හොයන්ඩ වෙන්නෑ”
උඩම තිබුනු කෙටි පනිවිඩේ කියෙවුවා විතරයි මගෙ බඩ පපුවයි අනික් හැම තැනක්මයි කූල් වෙලා ගියා . මූ මේ කා එක්කද මැසේජ් කරගන්නේ ?. නමක් ගමක් නොතිබ්බ ඒ කෙටි පනිවිඩේ කාගෙද ? හිතේ උපන්න කුතුහලේ නිසාම මම ෆෝන් එකේ sent masg ගොඩට පැන්නා .
ප්ලීස් මට කරදර කරන්ඩෙපා !
ඔය විදියට කෙටි පණිවිඩ එකින් එක කියවාගෙන යන අතරේ මට මේ සිදුවීම ටිකෙන් ටික මීටර් වෙන්න පටන් ගත්තා . රුවන් කෙල්ලෙකුට ට්‍රයි කරන බවත් ඒ කෙල්ල රුවන්ට ඒ තරම් මනාපයක් නැති බවත් මට විජහට තේරුම් ගියා .ඒක මට අයිති නැති දෙයක් ඉතින් මම හිතින් හිනහ වෙන ගමන් ෆෝන් එක සාක්කුවේ දාගත්තා.
විනාඩි දහයක් විතර මම වැවු පිටියේ කොනක වාඩිවෙලා ඉන්න ඇති .මම දැක්කා වැවේ පිට වාන පැත්තෙන් රුවන් හෙමිහිට මම ඉන්න දිහාට ඇවිදගෙන එන හැටි. ඌ තිලකේ මාමා ගෙනද්දුන්න එකසයිස් ජම්පරේ ඇඳගෙනයි හිටියේ . ඒ ජම්පරේ තදට මට ඌව දුරට පෙනුණේ සූමෝ කෙළින ජපනෙක් වගේමයි .ඒ අතරෙම උගේ මූණ කලු ගැහිලා තියන හැටි මම දැක්කෙත් ඌ මට කිට්ටු වෙනකොට.
මගෙ අතේ ඇඟිලි අතරේ හිරවෙලා තියන ෆෝන් එක දිහා පෙරේත බැල්මට් එකක් දාන අතරේ රුවන් එහෙම කීවා .
“ෆෝන් එක දෙන්නම් ඒත් මට උඹත් එක්ක ටිකක් කතා කරලා ඉන්න ඕනෙ . මෙහෙන් පොඩියකට වාඩි ගනිංකෝ .”
මගෙ දිහාවේ බලලා හූල්ලපු රුවන් මගෙන් ෆෝන් එක උදුරගන්න ක්‍රමයක් නැති බව දන්න නිසාම තටු අකුලගත්ත උකුස්සෙක් වගේ මගේ ගාව ඉඳගත්තා . ඒත් මූණ නම් තාමත් තරහෙන් කළු වෙලා . හරියට බුම්මට්ටෙක් වගේ .
“කවුද උඹට මේ මැසේජ් එවන කෙල්ල .”
“උඹ මොකටද මගේ එවුවා බැලුවේ ? ඒ යාළුවෙක් බං .”
“උඹ නිකං මට තවුව දාන්නෙපා මල්ලි . . ! උඹට කලියෙන් මම ඉපදුණේ . කියාපියකෝ කවුද මේ බඩ්ඩ ?.”
“ඔය ධර්මේ මාමගේ දෙවනි දුව”
“මට මීටර් නෑ කවුද බං ධර්මේ මම නොදන්න ?”
“එහෙනං උඹ යකඩ බජාර් එකේ පොල් මියා අඳුනනවාද ?”
“ඕ මේ උගෙ නංඟිද ?”
“ඔවු අයියේ”
“පොල් මීයා දැනගත්තොත් උඹ වසලා අහවරයි .”
රුවන් ගල් ඉබ්බෙක් වගේ බලාගත් අත බලන් හිටියා කතා කළේ නෑ . මගේ හිතටත් අමුත්තක් දැනී දැන්නෙන්න වුණා . ධර්මේ මාමගේ දෙවනි දුව අමාලි නම් මාර ලස්සන කෙල්ල ඉටි රූපෙට රන් ආලේප කළා වගේ තමයි ඒකිගේ ඇඟපත . ඉගෙන ගන්නත් බොහොම දක්‍ෂ ඒ කෙල්ල මගේ නංඟිගේ හොඳම යාළුවෙක් . මෙච්චර කල් කිසිම කොල්ලෙක් එක්ක හාදකම් පාලා නැති ඒකිට මේ බතලයා මොකට සයිස් කරන්න ගියාද ?
“ඔවු ගිය වංඟියේ අහද්දී හා කීවා . මේ ඕලෙවල් රිසාල්ට් ආවා විතරයි බෑ කියනවා නේ”
මට මතකයි එක වංඟියක් ටියුෂන් සර් කෙනෙක් අමාලි කෙල්ලගෙන් යාළු වෙන්න අහලා තිබුණ හැටි එදා ඒකිගේ අයියා වෙච්ච පොල් මීයා ටියුෂන් සර්ට පිටේ පලු නගිනකම් චේන් එකකින් ගැහුවා කියලයි මම අහලා තියෙන්නේ . අණක් ගුණක් නැති එකෙක් වෙච්ච පොල් මීයා යකඩ බජාර් එකේ බර කකුලක්. පළාතෙම චණ්ඩි ඕනෙ එකෙක් යකඩ බජාර් එකට බයයි . කාලෙකට කලිං යකඩ බජාර් එකේ උංගෙන් මට හම්බුවෙච්ච සබ්බුව තවම මතක තියන නිසා මම නම් යකඩ බජාර් එක දිහා ඇහැක්වත් ඇරලා බලන්න කැමති නෑ .
මම එහෙම කියද්දී රුවන් මට කින්ඩි හිනාවක් දැම්මා .
“එහෙම අතාරින්න නෙවේ බං මම ඒකිට ලවු කරේ . උඹට කියන්න අමාලිට මම රුපියල් 15000 දුන්නා ගිය අවුරුදු මාසේදී .”
මට නිකං කරකවලා අතෑරියා වගේ දැනුණා. කෙල්ලෙක්ට රුපියල් 15000ක් දෙන්න රුවන්ට බැරි කමක් නැති බව මට හොඳට විශ්වාසයි. හාල් මෝලක හිමි කාරයෙක් වෙච්ච රුවන්ගේ තාත්තා තිලකේ මාම ගොයං කැපෙන කාලෙට හොඳට සල්ලි හම්බු කරනවා .
“ඇයි සල්ලි දුන්නේ ? උඹට ඔච්චර සල්ලි කොයින්ද ?”
“මම අම්මට කීවා මගේ නුවර ඉස්කෝලේ රගර් පිට්ටනියක් හදන්න ළමයින්ගෙන් සල්ලි එකතු කරනවා ඉතින් මමත් ලොකු ගාණක් දුන්නොත් මාවත් රගර් ගහන්න කණ්ඩායමට ගනියි කියලා ඉතින් අම්මා තාත්තට හොරෙන් මට සල්ලි එවුවා .”
“ඔය කෙල්ල පස්සේ ගියොත් නම් උඹට රගර් හම්බුවෙයි වගේ .. ! ගොනෝ ඔය ගියපු සල්ලියි කෙල්ලයි අමතක කරලා ඇඟ ටිකක් බස්සගෙන ආයෙ ඉස්කෝලෙ ගිහින් ඌපෙ කරපන් . නැත්තං තොට හොම්බෙන් තමා යන්ඩ වෙන්නේ .. ! හ්ම් හ්ම් නැගිටපන් . නැගිටලා අර තියන බුරුත ගහ ගාවට හයියෙන් ඇවිදගෙන ගිහින් බුරුත ගහේ අත තියලා ආයෙ හයියෙන් ඇවිදන් වරෙන් .”
“මම දුවලා යන්නම් .”
“එපා තෝ දුවලා ගියොත් මම පන්නං ඇවිත් කනට ගහනවා තොට ඔය ජම්පරේම රෙවෙන්න .” දුවලා ගියොතින් මූ වැටිලා අතපය කඩා ගනියි කියලා මට බය හිතුණා . අනික එක තැන උන්නු එකෙක් එකපාරම දුවන්නත් හොඳ නෑනේ ඒක නිසා රුවන්ව සැරෙන් ඇවිද්දවන එක හොඳයි කියලා මට හිතුණා .
රුවන් තරමක් වේගෙන් අඩිය තිය තිය වැවු බැම්මෙන් එපිට තිබුණු බුරුත ගහ දිහාවට යද්දී වැවු බැම්ම උඩ සරුංඟල් අරිමින් හිටි පොඩි කොල්ලො සෙට් එක එක හඬින් හූ තියන්න පටන් ගත්තා . වාඩි වෙලා උන්නු තැනින් නැගිටපු මම අඩියට දෙකට වැවු බැම්මට ගොඩ වෙද්දී හූ කියපු ගැන්සියේ එකෙක් දෙන්නෙක් හෙමීට පල්ලම් බැස්සා .
“නෑ නෑ අයියේ ඔයාට නෙවේ .”
“හෙනං කාටද ?”
“තඩියට බං හූ කීවේ”
“ඇයි ඌ හෙලුවෙන්ද ඉන්නේ ?”
“නෑ මේ .”
“ආයේ එක වතාවක් හරි හූ කියලා තිබුණොත් ..ඇට කඩනවා”
“නෑ නෑ අපි හූ කියන්නේ නෑ .”
පොඩි එවුන් ටික ෂේප් කරගෙන ආයේ මම හැරෙද්දී රුවන් මල්ලි මම මම වාඩි වෙලා උන්නු තැන බිම ඉඳගෙන හති අරිමින් උන්නා . ඌට ඇවිදලා මෙච්චර හති නම් දිවුවොත් නම් මැරෙයි කියලා මට ඒ වෙලාවේ හිතුණා . ඒත් කකා බ්බී එක තැනම ඉඳලා හොර අලියෙක් වෙලා ඉන්න රුවන්ව තව ටිකක් මඩවන්න මට හිතුණා .
“අනේ තව බෑ මට හති . ගෙදර ගිහින් පාඩම් කරන්නත් තියනවා පරක්කුත් වෙලා”
“මොකද්ද බං උඹ ගෑනියෙක්ද ? අර කෙල්ල වුණත් උඹට අකමැති වෙන්න ඇත්තේ උඹගේ ඔය තබ්බදෝරු ශරීර කූඩුව හින්දා . දැංවත් මොළේ හදාගන්න එක පොඩ්ඩකට පමා කරලා ඔය ඇඟ බස්සගෙන මනුස්සයෙක් වෙයං. මනුස්ස පරුවතයක් වෙන්නැතුං .”
“සඳරු අයියේ මම කම්මැලි නෑ . ඒත් මට අමාලි නැති වුණා නේද කියලා හිතෙනකොට කිසි දෙයක් කරන්න හිත දෙන්නේ නෑ ආයේ නුවර යන්න මට බෑ බං . මම තාත්තට කියලා මෙහේ ඉස්කෝලෙකට යනවා . මම කොහොම හරි අමාලිව ආයේ සෙට් කරගන්නවා .”
“උඹ ඕනෙ දෙයක් කරගනිං . ඒත් විනාඩි දෙකක් එක තැන දුවලා ඉවර වෙලා ..”
රුවන් නැගිටලා එක තැන දුවන්න පටන්ගත්තා . මමත් ඉඳගෙන උන්නු තැනින් නැගිට්ටේ කකුල් දෙක හිරි වැටෙන්න ගත්තු හන්දයි. රුවන් මොන දේ කළත් ඒවට සම්මාදම් නොවී මගේ වැඩේ කරලා ලැබෙන ගාන සාක්කුවේ දාගෙන පාඩුවේ ඉන්න මම දැනටමත් හිත හදාගෙන ඉවරයි . නැත්තම් ලවු හුටපට වලට උදවු කලා කියලා මටයි අන්තිමේට මේ ගමේ ඉන්න බැරි වෙන්නේ .
මදුරු හෝහපුටු රංචු රංචු අපිව වට කරගන්න පටන්ගත්ත නිසා . මම රුවන් එක්ක ගෙදර දිහාවට යන්න හැරුණා . ගොඩ දුරක් යනකම්ම රුවන් කතා කළේ නෑ . මොකක්දෝ මන්දා දුක්බර ඉංග්‍රීසි සින්දුවක් හෙමීට මුමුණන ගමන් ඌ බිම බලාගෙන මගේ පිටිපස්සෙන් ආවා .
“සඳරු අයියේ මට අමාලිව දාගන්න උදවු කරපංකෝ .”
අපි ඩිස්පෙන්සරිය පහු කරද්දිම රුවන්ගේ කට ඇරුණා .
“මට බෑ රුවන් තරහ වෙන්න එපා . යාළුවන්ගේ ලවු හුටපට වලට මම උදවු පදවු කරන්නේ නෑ කියලා මම හිතාගෙන ඉවරයි මම මැරුවත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ .”
මම තදින්ම එහෙම කියද්දී රුවන්ගේ මූණ දුකින් බර වුණා . ඒත් ඊලඟ මොහොතේ රුවන් කියපු කතාවට මූණ බර වුණේ මගෙයි .
“මම උඹට රුපියල් හත්දාහක් දෙන්නම් . උඹ මටයි අමාලිටයි තනියම විනාඩි දහයක් කතාකරන්න වැඩේ සෙට් කරලා දියං .”
රුවන් මගේ දුර්වලම තැන ඉලක්ක කරා . මම සලලි මත්තේ නැහෙන කෙනෙක් නෙවෙයි . ඒ වුණත් පහුගිය දොහේ ඇති වෙච්ච උද්දමනයත් එක්ක අතේ පිච්චියක් නැතිව වත මිලින වෙලා උන්නු මට කුට්ටිය පිටින් ලැබෙන රුපියල් හත්දාහක් කියන්නේ මහ මෙරක් තරම් . ඉතින් රුපියල් හත්දාහක් ඉදිරියේ ප්‍රතිපත්ති කන්නද කියලා මට හිතුණා .
“ඒ විතරක් මදි සඳරු අයියේ . උඹ පොඩ්ඩක් මගේ ළඟින් ගැවසිලා ඉන්නත් ඕනෙ . හදිස්සියේවත් පොල්මීයා ආවොත් . මම දුවන්නයැ”
“හ්ම් ..”
“ඉඳා සඳරු අයියේ මේක ගනිං එහෙනම් .”
රුවන් උගේ සාක්කුවට අත දාලා පොකැට් එකක් අරං ඒකෙන් ගත්ත මොනර කොළ හතක් මගේ අතේ තිබ්බා .ඒ සල්ලි කොළ දාඩියට පෙඟිලා තෙත් වෙලා තිබුණ නිසා වෙන්නැති මම දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලිත් රුවන්ගෙන් ගත්ත සල්ලිත් අතර මට වෙනසක් නොදැනුණේ
එදා සෙනසුරාදා දවසක් සතියේ දවස් හතම වැඩ කරන මට සෙනසුරාදා කියන්නෙත් වැඩ දවසක්. ඒත් රුවන්ගේ ආරක්‍ෂාවට ඌ එක්ක අමාලි නංඟි පන්ති ඇරිලා එන පෙර මගට යන්න ඕනෙ හන්දා එදා මම කලින්ම ගෙදර ආවා . හිත ඇතුළේ මොකද්දෝ මන්දා අමුතු හැඟීමක් හිරවෙලා ඒ හැඟීම නිසා වෙන්නැති මගේ පොකැට් එකේ තියන සල්ලි වළ සතුට මට නොදැනෙන්නේ .
මම මූණ කට හෝදගෙන රුවන්ගේ ගෙදර ගාවට යද්දී රුවන් අලුත්ම ඇඳුමක් ඇඳගෙන ඩෙක් සූස් දෙකකින් සැරසිලා අවු කණ්ණාඩියක් ඉනේ එල්ලගෙන හිටියා . මේ දාන ඇඩ් එකේ හැටියට මූට කෙල්ලෙක් කැමති වුනොතින් තමා පුදුමේ කියලා මට හිතුණා .
“අමාලි අද යන්නේ කල්ල වඩන සෑර්ගේ බිස්නස් පන්තියට අපිත් එහාට යමු”
රුවනයි මායි පයින්ම කල්ල වඩන සෑර් ගේ බිස්නස් පන්තිය ගාවට කිට්ටු වුණා . මේ වැවුගම්පත්තුවේ කෙල්ලන්ට කොල්ලන්ට ඕලෙවල් ප්‍රතිඵල ආ හැටියෙම වෙන කිසිම සැරේක නොතිබුණ තරම් කොමස් පිස්සුවක් මෙදා වංඟියේ ඉහට ගහලා . ඒක නිසා බයෝ, මැත්ස්, ආට් පන්ති වළට ළමයි යාන්තමට ඉතිරි වෙද්දී කොමස් පන්තිවල ළමයි පිරුණේ ටැක්ටර් වලින් අදින්න තරම් . පළාතේ නමගියපු බිස්නස් ගුරුතුමා තමයි කල්ල වඩන සෑර් . පාං භාගයක් ළූණු ගෙඩියක් එක්ක කාගන්න බැරිව හිටිය මෑන්ස්ට ප්‍රාඩෝ එකක් ගන්න තරම් චෑන්ස් එකක් ඒකෙන් වැදුණු බව නම් නොකියාම බෑ .
කල්ල වඩන සෑර්ගේ පන්තියට හැරෙන තැන ලොකු අකුරෙන් “නැට්ට කැපූ සාමාජිකයන්ට පමණයි !!” කියලා බෝඩ් එකක් ගහලා තිබුණා . ඒ බෝඩ් එක යට හෙවනේ කෙල්ලො කොල්ලො රංචු පිටින් කිචි බිචි ගාමින් උන්නා .මම ඒ උන්නු ළමයි අතරේ අමාලිව හෙවුවා . අනේ ඒ කෙල්ල අද පන්ති ඇවිදින් නැත්තම් කොයිතරම් හොඳද ? මගේ පපුව ඩිග් ඩිග් ගාලා බොහොම වේගෙන් ගැහෙන්න ගත්තා .
“ඇඟිල්ල දික්කරන්න එපා හරකෝ ඔළුවෙන් පෙන්නහං”
රුවන් මට ඔළුවෙන් පෙන්නපු කෙල්ල ගාව මගේ ඇස් දෙක නතර වුණා . මල් මල් ගවුමක් ඇඳන් ඒ ගවුමට උඩින් කබායකුත් ඇඳන් අමාලි තවත් කෙල්ලෝ දෙන්නෙක් එක්ක කදේ දාගෙන හිටියා .
“හ්ම් පල උඹ ගිහින් කතා කරපං මම මෙතන ඉඳන් බලා ඉන්නං .”
“පොල් මීයා ආවොත් ?”
“ආවොත් ඒක මං බලාගන්නං උඹ පලයං”
රුවන් එහාට මෙහාට පැද්දෙමින් බෝලෙයක් වගේ පෙරළෙමින් අමාලි ළඟට යන හැටි මම ගැහෙන හදින් බලාගෙන හිටියා .
............................................................................................................................................



