29.11.12

අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය




දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න අතේ මිටේ සල්ලි හිඟ කම නිසාම මේ කොලනි කීපයේම මිනිස්සු ඉබි මස් නම් බෑ නොකියා දෙසා බෑවා . මම වුණත් එහෙමයි . හරක් මස් කටේ තොලේ ගෑවෙනවාට පවා අකමැති මම ඉබි මස් කන එක ගැන වෙලාවකට මටම පුදුමයි . ඒත් හැමදාමත් පොල් සම්බෝලෙයි බතුයි කන්න බැරි නිසාම නිකම් හම්බුවෙන ඉබි මසට අපේ අහල ගං කීපයේම මිනිස්සු වගේම මමත් පුරුදු වෙන්න ඇති .

රිපිටා එක අතකින් උගේ ෆෝන් එකේ ටෝච් එක මහ ඇලේ ඉවුර දිගට අල්ලමින් අනික් අතින් සරමෙ කොනක් උස්සගෙන සරුවට ඇල ඉවුරේ වැවුණ තණකොළ ගස් අතරේ ඉබ්බො හොයනවා .උගේ පාප මිත්‍රයා වෙච්චි මමත් අතේ තිබුණ පෝර කවරේ රෝල් කරලා කිහිල්ලේ ගහගෙන ඌට සහය වුණා

රිපිටා තමයි මේ මට උන්නු යාළුවෝ අතරින් පරණම එකා . උගේ තාත්තයි මගේ තාත්තයි දෙන්නම ග්‍රාමසේවක මහත්තුරු ඒ දෙන්නත් මේ අපි වගේම ගජ යාළුවෝ අද වෙනකොට නම් ඒ දෙන්නම මේ ලෝකේ නෑ හිටියා නම් අපි මෙහෙම ඉබ්බෝ අල්ලමින් රෑ පානේ කරක් ගහන්නෙත් නෑ. ජීවිතේ හැටි තමා .කොහොමින් කොහොම හරි තාත්තලා දෙන්නාගේ අතිජාත මිත්‍රත්වය අපි දෙන්නාවත් හොඳම යාළුවෝ බවට පත් කරලා තිබුණේ ඉබේටමයි

අද එළිය අඩු නිසාද මන්දා බං කිරි ඉබ්බො නෑ නේ. ? ඒකටත්තෙක්ක පඩ ඉබ්බො නං ගමකට .”
රිපිටා මඩේ උන්නු මල් ඉබ්බෙකුට පයින් වතුරට විසික්කා වෙන්න පයින් පාරක් ගැහුවා

අප්පට සිරි මම ඊයෙ දැක්කා ලාලනී අක්කලෑ රෙදි ගල යට තුන් දෙනෙක් ලැගලා ඉන්නවා . තාම ඉන්නවාද දන්නෑ බං .”
මහ පාරෙන් යද්දී රෙදි අපුල්ලන ගලක් අස්සේ හැංගිලා ඉන්නවා දැකපු ඉබ්බො කීපදෙනා මගේ මතකෙට ආවා . මම ඒක කීවා විතරයි රිපිටා අඩියට දෙකට මඩෙන් ගොඩට ඇවිල්ලා පාරට පැනගත්තා .

මොකදෑ තෝ ඕක මට කලින් නොකීවේ . ?

හරි දැං කීවනේ ..”

අපි අඩියට දෙකට ලාලනී අක්කලාගේ ගේ ඉස්සරහ ඇල ඉවුරේ දාලා තිබුණු පැතලි සිනිදු ගල් ගෙඩිය ගාවට කිට්ටු වුණා . රිපිටා සරමෙන්ම අමුඩෙ ගහගෙන එක හුස්මට ඇළට බැස්සා . ඇඟේ පතේ සේරෝම හයිය දාලා තටමලා අර මහ විශාල රෙදි අපුල්ලන ගල් ලෑල්ල එක ඌ පැත්තකින් ඉස්සුවා . මම හනි හනිකට ඒ අස්සට එබිලා බැලුවා

අප්පද බොලේ මේං ඉබ්බයි ඉබ්බියි ජෝගි නටනවා මෙතන හැංඟිලා.”

ගනී නී නී නීං හනි...කට... රිපිටා අමාරුවෙන් කෙඳිරුවා .”

අත් දෙකෙන්ම එක ඉබ්බෙක් අල්ල ගත්ත මම ඌර පෝර උරේට අත ඇරියා අප්පා උන්ගේ බර . එකෙක්ම උන්නා තුනක් විතර.ඉතින් ඒ තරමට බර අනෙක් ඉබ්බවත් මම එළියට ඇද ගන්නකොටම තමා රිපිටා දබං !! ගාලා රෙදි අපුල්ලන ගල් ගෙඩිය අතඇරියේ . ගල් ගෙඩිය වැටෙන තැනින් විසික් වෙච්ච මඩ අපි දෙන්නගේ කන් , කටවල් අස්සට පවා ඉහෙන්න ඇති . ඒත් අපිට ගාණක් නොවුනේ ඇති පදං මඩ හෝදගන්න ඇලේ වතුර තිබ්බ නිසා

මඩ හේදුවාට පවු හේදෙන්නේ නෑ නේ බං .”
මම පෝර උරේ කට කකුලකින් පාගගෙන මූණ අතපය හෝදන ගමන් රිපිටාගෙන් ඇහුවා .

මොකක්දෑ දැං පව.? ඉබ්බො කන එකදෑ පව ?

හ්ම් .

එහෙම බැලින්නං බං බොන්ඩ වතුර උණු කොරන එකත් මහ පවක් නේ . කොච්චර නම් ඇහැට නොපෙනන ජීවින් අපි මරා දානවය ? . අපි පිං කරන්නෙම නෑ බං . අපි නොකෑවනං වෙන එකෙක් මේකුංව කයි .”

නෑ මට නිකං පවු කියලා හිතුණා බං මොනා වුණත්

මතක නෑද විද්‍යාවට ආහාර දාමය ගැන අපි ඉගෙන ගත්තා ?

මතකයි .”

ඒකනේ බං පොඩි සතා ලොකු සතාගේ ගොදුර . ඒක නැත්තං මේ ලෝකේ පවතින්නෑ . හැමෝම වෙජිටේරියන් වුණොත් ගස් ටික ඉවරයිනේ .
රිපිටා උසස් පෙළට කළේ මැත්ස් . ඌ එක්ක මට හැප්පෙන්න බෑ . ඌට නරක කාලයක් ලැබුවේ නැත්තං අද අපි කාටත් වඩා ඌ ඉහළ තැනක ඉන්න විත්තිය මට විශ්වාසයි .අවාසනාවට රැකියා විරහිත කොල්ලෙක් වුණත් ඌ පට්ට මීටරේ .

මල්ල බර නම් දිය ?
කිලෝ පහක් විතර බර ඉබ්බො දෙන්නා අතින් අරං මම ඇළෙන් ගොඩ එද්දී රිපිටා මට එහෙම කීවා

අවුලක්නෑ මම ගෙනියන්නං” ‍

තාර පාරට ආපුහම රිපිටා උගේ ෆෝන් එක කමීසෙ සක්කුවට ඔබා ගත්තා . අපි දෙන්නම මාර්ෂල් මාමලාගේ ගෙවල් පැත්තට යන්න හැරුණා . පොලීසියේ ජීප් එක හෝ පොලිස් පුස් බයිසිකල් බලකාය අද නම් එන බවක් පේන්න නෑ .හදිසියේවත් පොලීසිය ආවොත් ඇළට විසි කරන්න හැකි විදිහට මම පෝර කවරේ දකුණු අතට ගත්තා . ඒත් කරදරයක් නැතුං යාන්තමට අටයි කාල වෙද්දී අපි මාර්ෂල් මාමලාගේ දොරකොඩට සැපත් වුණා

මාර්ෂල් මාමා .. ! මාර්ෂල් මාමා ..!
රිපීටා තුන් වතාවක්ම කතා කෙරුවයින් පස්සේ තමා ගෙයි දොර ඇරගෙන මාර්ෂල් මාමා එළියට ආවේ .

අඩෙ ඇහුන්නෑ පුතා . පෙවුත්ති බල බලා උන්නේ .

මොකක්දෑ ඕකෙ ඔච්චර බලන්ඩ තියෙන්නේ .. අපි මේ ආයෙමත් හැරුණේ ගෙදර යන්ඩ කියලා .” රිපීටා ලොකු ටෝක්කක් දුන්නා” .

අනේ පුතා කෝ ඇඹුලා . ?මාර්ෂල් මාමා ඇඹුලය කීවේ ඉබ්බට .

මේං ..”
රිපිටා මගේ අතේ තිබ්බ පෝර මල්ල උස්සලා අරන් මාර්ෂල් මාමගේ අතේ තිබ්බා . කන කට ළඟට ගත්ත මාර්ෂල් මාමා ගෙයි ඇතුළට ගිහින් රුපියල් තුන්සිය හැත්තෑවක් ගෙනත් මගෙ අතේ තීවා .

තව කීයක් හරි දාලා දෙන්නත්තෙක්ක මේකෙන් බාගයක් ලැයින් කොරන්ඩ . මම එකෙක් උයලා තියන්නම් බයිට්ටෙකට .නවය හමාට්ට වගේ වරෙල්ලා උදුලා මල්ලිලෑ ගෙදර අත්තිවාරම උඩ සැට් මෝල් වෙමු . මම තව බෝතලයක් ලැයින් කරා .
අපි මාර්ෂල් මාමලාගේ ගෙදරින් පිටත් වෙලා කෙළින්ම ගියේ නාගන්න කියලා හිතාගෙන .

මචං අපි පොඩි ලැයින් එකක් දාන්න යන්නේ උඹත් වරෙංකෝ .”

අද දවාලේ රිපිටා මට කෝල් එකක් දුන්නම “යම් දෝ ? , නොයම්දෝ?” කියලා මම සිය වාරයක් හිතුවා . කොල්ලො සෙට් එකත් එක්ක බෝතලේකට සෙට් වෙලා ගන්න සැප තරම් සැපක් මම මගේ ජීවිතේදී කෙරුව කිසිම වැඩකින් විඳිලා නෑ . ඒත් අතේ මිටේ සල්ලි හිඟ වෙනකොට කාටද හැකි හමදාමත් සැප ගන්න . තනියම ඉදිද්දී පලතුරු බීම එකක් පවා බොන්න නොහිතෙන මට සැර බීමක සැපත් දැනුණේ තනියම ඉදිද්දී නම් නෙවෙයි යාළුවෝ ටිකත් එක්ක රැහේ වැටුණාමයි


ගමේ කොහේ හරි අකුලක් අස්සේ ඉඳගෙන බෝතල් මූඩිය උඩ ඉටිපන්දමක් පත්තු කරලා සෙරෙප්පු දෙක බිම තියලා ඒ මත්තේ ඉඳගෙන, තනි වීදුරුව රවුමට අතින් අතට යවමින් පරණ සිද්දී මතක් කර කර අපි අනන්ත බෝතල් හිස් කළා. එහෙම සෙට් වෙලා හිඟුරානෙ බාල අරක්කු අමාරුවෙන් බිවුවත් ඒ බොන මොහොතේ මට හිතුණේ මේ ලෝකෙන්ම වාසනාවත්න්තම මිනිහා මමයි කියලා . මදුරුවෝ ලක්‍ෂ ගණං ඇවිදින් අතට පයට විදලා ලේ අරං ගියත් බෝතලේ අඩිය පේනකම් අපිට නම් නෙවෙයි යාන්තමටවත් නැගිට්ටේ

ඉබ්බෙක් දෙන්නෙක් හොයලා දෙන්න හැකි නම් පොඩියට සෙට් වෙමු කියලා මාර්ෂල් මාමා කලින් දවසේ රිපිටා එක්ක කියලා තිබුණා . ඒක නිසා රිපිටා හනි හනිකට මාවත් ඒ සෙට් වීමට එක්කර ගත්තා . ඔන්න ඕකයි අපි ඉබි දඩයමේ ගියපු හේතුව

නවය හමාරට විතර මාර්ෂල් මාමා ඉබිමස් පාර්සලේකුත් අරගෙන උදුලා අලුතෙන් හදන ගෙයි අත්තිවාරම උඩට ඇවිදින් හිටියා . මමත් රිපිටාත් , මංජුලත් , උපුල් අයියත් හරි වෙලාවටම එතනට කිට්ටු වුණා . ගඩොල් කැට කීපයක් තියල රවුමට වාඩි ගත්ත අපි පැය තුනක් විතර යනකල් බෝතල් දෙකක් හිස් කළා

නැන්දගේ මස් පාර නම් ආයේ මරේ මරු උපන් හඳවියකට එහෙම මස් පාරක් කෑවේ නෑ ..
එහෙම කියවුව උපුල් අයියා මැද ඇඟිල්ලත් සූප්පු කරා ..
සෙට් වීම අහවර වුණ හැටියෙම රිපිටා බෝතල් හිස් බෝතල් ටික අතට ගත්තේ විකුණලා රුපියල් 50ක් වත් හොයාගන්න හිතාගෙන වෙන්නැති . ඔය අතරේ මංජුල ඉනේ තිබිලා මල් කිනිත්තක් අතට ගත්තා .

අනෙ අම්මේ මයෙ දෙයියා . මේං මූ මේක මෙච්චර වෙලා හංඟං ඉඳලා .. මට කීවනම් ආයෙ මුනා වෙනවා ?
මාර්ෂල් මාමා පැන්න හැටියේ මංජුලයව අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියා ..

හරි ඉඳපල්ලකොයි මම මේක ඔතලා ලැයින් කරනකම් .. දඟලන්නැතුං ..මංජුල හුරතල් වුණා .

අඩෙ කා ගාවද කොළ කෑල්ලක් තියෙන්නේ .. ?
මංජුල ආයෙමත් එහම අහනකොට තමා කට්ටිය සාක්කු වලට අත දම දමා කොළ කෑලි හොයන්න පටන් ගත්තේ .මලක් ඉඹලා දිවියලෝකේ යන්න තදියම ඉහටත් උඩින් ඒ වෙලේ කාට කාටත් දැනුණා ඒත් කාගෙ කාගෙත් කරුමෙට යාන්තම්වත් කඩදහි කෑල්ලක් හමු වුණේ නෑ ..

සඳරුවා උඹ ගාව වත් නෑ කඩදහි කෑල්ලක් . උඹ ලියන එකා නේ ?”

ඉඳහන් බලන්ඩ .
මම සක්කුවට අත දැම්මේ වැඩි විශ්වාසෙකින් නෙවෙයි . කාලයක් තිස්සේ ලියන කියන එක අතෑරලා දාලා හිටපු මට දැන් කොළ කෑලි කඩදහි දැන් වැඩක්ම නැති ගානයි . ඉස්සර නම් මගේ සාක්කුවේ කොයි වෙලෙත් සුදු කොලේකුයි නිල් පෑනකුයි වැරදුණේ නෑ ...

ආ වාසනාවටද මන්දා එකක් තිවුණේ. මේං මේක ගනිං.”
මම සාක්කුව අත ගාලා අහම්බෙන් අහු වෙච්ච කඩදහි කෑල්ල මංජුලට දුන්නා .

සෙහ් මචං මේක ජාති කොලේ ගතියට කැපෙනවා මල් ඔතන්නම හදාපු එකක් .එහෙම කියවුව මංජුල වංඟියට දෙවංඟියට මලක් ලයින් කළා .” 

මංජුල හදාපු රොකට් එකේ නැඟිලා ආලෝකයේ වේගයෙන් පෘථිවියෙන් ඉහළට නැංඟ අපි ඇස් දෙක අඩවන් කරගෙන අභ්‍යවකාශය පුරාම සැරි සැරුවා.ග්‍රහ ලෝක මන්දාකිනි පහු කරපු අපි රොකට් එකේ ඉන්ධන ඉවර වෙන්න කිට්ටුව පොළවට පය ගැහුවේ තවත් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ... යාන්තම් පියවි සිහියට එනකොට . යාළුවෝ කට්ටියට සුබ රැයක් කියාපු මම එතනින් පිට වෙද්දී පාන්දර තුනත් පහු වෙලා

එදා උදේ දහයට විතර වෙනකම් මට නින්ද ගියා . මාව ඇහැරුණේ ළඟපාත ගෙදරක උන්නු ජගත් අයියා . මාව කූද්දන සද්දෙට ..

සඳරු මල්ලි .. අඩෙ නැගිටහං .”

ආ ඇයි ජගත් අයියා .” මම අමාරුවෙන් නැගිට්ටා ..

උඹ මගේ බයික්කේ ඊයෙ අරංගියා නේ .. ?”

. ඉතින් මම ආයේ ගෙනල්ලා තීවා පාන්දරම . බලහං ගෙයි මිදුලේ ඇබිල්ල ගහ යට ..”

නෑ බයික්කේ තියේ . කෝ ආදායම් බලපත්‍රේ ?

මම උඹලෑ ජනෙල් පඩිය උඩ යතුරයි ආදායම් බලපත්‍රෙයි , ඉන්ෂුවරන්ස් එකයි තිබ්බා ..

කෙහෙම්මල ජනෙල් පඩිය උඩ තිබුණේ යතුරයි . ඉන්ෂුවරන්ස් එකයි විතරයි . ආදායම් බලපත්‍රේ තිවුන්නෑ .. අනේ හොයලා දියන්කෝ
මම විනාඩි ගාණක් සාක්කු ඇද ඇද ජගත්ගේ ආදායම් බලපත්‍රේ හෙවුවත් ඒකට වෙච්ච දෙයක් මට මතක නෑ ... අන්තිමට ජගත් තීරණය කළා ඒක තමන් අතින්ම නැති වෙන්න ඇති කියලා ..

අනේ මන්දා මල්ලී සමහර විට වයිෆ් රෙදි හෝදනකොට ඒකත් එක්ක හෝදලා කාණුවට දැම්මද මන්දා බං මේ ගෑනි නම් තියන්න වටින්නෑ..”

ඒකනේ ජගත් අයියා . මටත් මතක මම ඉන්සූරන්ස් එකයි යතුරයි විතරක් ගෙනියනවා වගේ .. පොලීසියෙන් එහෙම නැවැත්තුවානම් මටත් බනිස් බං ...”
ජගත් අයියා හුල්ලලා යන්ඩ ගියා .. ඒත් ලාවට වගේ ජගත්ගේ ආදයම් බලපත්‍රේ මගේ අතින් නැති වුණා වගේ දැනෙනවා . ඒත් එහෙම වුණේ කොහොමද කියලා මම සෑහෙන වාර ගණනක් මතක් කළා .

ඇත්තට ඒ ආදායම් බලපත්‍රෙට මොකෝ වුණේ ? .. හුටා ඒකෙන් නේද අපි මල් ඔතලා කක්‍ෂ ගත වුණේ ? . කළුවරේ මගේ අතට ආපු ආදායම් බල පත්‍රේ මම මන්ජුලට දෙන්න ඇති . ඌ ඒකෙන් කදිමට ඔතලා සූස්තියක් හදන්න ඇති අන්තිමේට ඒක අපි කට්ටියම පාවිච්චි කරන්නත් ඇති කාපු බීපු වෙලාවට කරන කියන දේ ගණං ගන්න හොඳ නැති නිසාම මම මේ සිද්ධිය අමතක කරලා දාන්න හිතා ගත්තා. ඉතින් ..මේ ඇත්ත සිද්ධිය මට හදිසියේ මතක් වුණත් ඒක හරි ඉක්මනට අමතක වෙන්න ඉඩ තියන නිසා මම මේ කතාව අමතක නොවෙන්නම බ්ලොග් එකේ අලවලා දාන්න හිතුවා .. 

9.10.12

කුණ්ඩවාලයක් පාත් වුණදා





 තැපැල් කන්තෝරුවේ වැඩ කරවුව දාස මාමලෑ ලොකු පුතා රණවීර අයියා මගෙත් එක්ක තරහ වෙලා දැන් මාසෙකටත් වැඩියි . කාලෙකට කලියෙන් මට පණ වුණත් දෙන්න තරම් ලෙංගතු එකෙක් වෙලා උන්නු රණවීර මුලින්ම මා එක්ක තරහ වුණේ මම උන්ගේ ගෙදර උන්නු කම්මැලි නාකි බල්ලට නරියා කියලා කොලොප්පමක් කළ දවසෙයි . එදා මම විහිළුවට කීව කතාව ගෝරියක් දක්වාම ඇදිලා ගිහින් නැවතුණේ රණවීර අයියයි මායි ජම්මාන්තර තරහ කාරයෝ දෙන්නෙක් බවට හරෝලයි . අනේක විහිළු තහළු කරගෙන තිබුණ අපි දෙන්නා මේ කෙඩෑරි බලු නකුටෙක් හන්දා වෛරක්ක්කාරයෝ දෙන්නෙක් වුණේ කෝමද කියලා අපේ ගෙවල් දෙකේ උදවිය පවා කම්මුලේ අත තියාගෙන කතා වුණා . මීට මාස ගණකට කලියෙන් එදා වෙච්ච ඒ සිද්ධිය මට තාම මතකයි . මට හොඳටම විශ්වාසයි මම කල ඒ විහිළුව ඇස් රතු කරගන්න තරම් ජරා විහිළුවක් නොවන බවට. ‍‍

රණේ අයියේ උඹලෑ බලු දණ්ඩා එන්න එන්නම කෙට්ටු වෙනවානේ .! උඹලා කන්න දුන්නෑ මූට ?.
කට තියාන ඉන්න බැරිවටද මන්දා මම දවසක් උගේ ගෙදර ඉස්සරහා පඩි ගැට්ටේ ඉඳගෙන කියෙවුවා . එදා සැටලිමකට උණ ගස් කපන්න ආපු ගමේ කොල්ලො රොත්තකුත් රණවීරලෑ ගෙදර පිලේ කයිය ගහමින් හිටියා .

ඒ උඹට පේන හැටි සඳරු.

නෑ බං මුං කොහොමත් පැට්ටු කාලේ තමා මහත ලොකු වෙද්දී කෙඩෑරි වෙනවා . ඒ මුංගේ වරිගේ හැටි .”

අනේ දන්න බම්බුවක් කතා කරහං සඳරු . මූ හොඳ වර්ගෙ එකෙක් අපෙ උක්කුං මාමා වාවින්නෙ ගිහින් මේකව ගෙනාවේ . මුගෙ වර්ගෙ .ම්.ම්.ම් මට මතක නෑ .

මූ ෆොක්ස් හවුන්ඩ් නේ බං . !” මම විහිළුවට කී කතාව රණවීර අයියා සිරාවට ගත්තා .

අන්න හරි බං ඒ වර්ගෙද කොහේද තමා . තව ටිකක් කල් යද්දී ඔකා හෙණ ජබ්බෙට හැදෙයි .”

හ්ම් ඒ විතරක් නෙවේ ... ! “

ඇයි උඹ නැවැත්තුවේ තව මොනා . ?

පෝය දාට හූ තියන්නත් ගනියි .

මට තේරුන්නෑ !” ‍‍

දැං උඹ පිළිගත්තා නේ මූ ෆොක්ස් හවුන්ඩ් කියලා ඒ කියන්නේ නරි බල්ල කියන එක නේ ! ආ නැද්ද ?”
රණවීර අයියලෑ ගෙදර පිලේ ඉඳන් උන්නු කොල්ලො ටික හීනිවට වගේ හූ තීවා . රණවීර අයියගේ මූණ තරහෙන් රතු වුණේ මම බලාන ඉන්දෙද්දී . දැන් මේකා පුපුරාවි , දැන් පුපුරාවි කියලා මම හිතෙන් ගණන් කළා .

සඳරු තෝ මෙතන නිකං ඉගිරිස් කෑලි දාලා කතා කළාට තෝ ඉංගිරිසි පේල්නේ .. ?

ඒ පළවෙනි පාරනේ බං මම හතරවෙනි පාර පාස් .”

ඉතින් උඹ හරි උගතා ? උඹ ඒමනේ හිතාන ඉන්නේ ?
රණවීරට නප්පියට තදවෙලා තියන විත්තිය මට විතරක් නෙවේ . එතන උන්නු කොල්ලෝ සේරටම වාගේ තේරෙන්නැති . නිලමෙ මාමගේ පුතා හනිකට නැගිටලා රණවීරව සන්සුන් කරන්න හැදුවේ ඒ අතරෙයි .

රණේ ඌ විහිළුවක්නේ බං කළේ උඹ මොකද ඕක රුවිතෙට අරං මෙතන ඩෙඟන්නේ ? අල්ලා දාපං බං . ඔවුවද අපි කරගන්න විහිළු . “

ඒත් රණවීර නෙවෙයි යන්තම්වත් සන්සුන් වුණේ . පුපුරන්න පටන් ගත්තු ගිනි කන්දක් වාගේ රණවීර තරහා අරගෙන තිබුණා . රණවීරගේ කටෙන් අමු තිත්ත කුණුහරප වැලක්ම පිට වුණා . රණවීරගේ අම්මයි නංඟියි දෙන්නා පවා ඒ හඬ ඇහිලා එළියට දුවගෙන ඇවිදින් යකා නටන රණවීරව සන්සුන් කරන්න නොගත්ත උත්සාහයක් නෑ . ඒත් මද කිපුණ අලියා වගේ කුලප්පු වෙච්ච රණවීර කට්ටිය ඉස්සරහා මට බොහොම තුච්ඡ විදිහට බනින්නත් නක්කලේ දාන්නත් ගත්තා .ඒ විතරක් නම් මදෑ මාව මරණ බවට දොරපොල්ල අතට අරන් තර්ජනය කළා

හිටි ගමන් මේ රණවීරෙට මොනා වුණාද කියලා මට හිතාගන්න බැරි වුණා . ඒ වගේමයි මොහොතකින් මගෙත් ඉවසීමේ සීමාව ඉවර වුණා . මමත් හිතේ තරහින් මොනවා කීවද කියලා මටවත් මතක නෑ . ගහ ගන්න ගිය අපි දෙන්නව කොල්ලො එකතුවෙලා දෙපැත්තට කළා . රණවීරගේ නංඟි කවීෂා අඬ අඬා මට ගෙදර යන්න කියන හැටි දැක්කාම මම කෑකෝ ගහන එක නවත්තලා පිලේ තිබුණ මැටි මල් පෝච්චියකට කුඩු සංසාර වෙලා යන්න පයින් පාරකුත් දීගෙන දකුණු කකුලේ සොත්ති ඇඟිල්ලත් තළාගෙන ගෙදර ගියා

දන්න කියන කාලේ ඉඳන් ආස්සරේ කරපු දුකට සැපට එකට හිටපු අපෙ ගෙදර සාමාජිකයෙක් වගේ උන්නු රණවීරයියා මා එක්ක ඔරොප්පු වුණේ ඔන්න ඔහොමයි . ඒත් මට කිසි දුකක් දැනුණේ නෑ . ඒ පොඩි විහිළුවට අවුරුදු ගානක යාළුකමක් කඩාදාන්න කොහෙත්ම බෑ . රණවීරයා මේක උගේ හිතේ මා එක්ක තිබුණ වෙන තරහකට කළ දෙකක් බව මම නිතරම හිතුවා

වැඩි හොඳේ දබරෙටයි කියනවානේ !”

රණවීරගෙයි මගෙයි රණ්ඩුව ගැන ආරංචි වෙච්ච අපේ අම්මා මට දවසක් එහෙම කීවා . ඇත්ත මම සමහරවිට දවසින් වැඩි හරියක් ගිහින් ඉන්නේ රණවීරලෑ ගෙදර . රණවීරත් එහෙම්ම තමා අලුත් චිත්‍රපටියක් , හම්බුණ දාට ඒකත් අරන් දුවගෙන එන්නේ අපේ ගෙදර . . ගල් සහ මල් අරගෙන අපි දෙන්නා ගුවන් ගතවෙච්ච වාර පවා එමටයි . මටත් හිතුණා අම්ම කීව කතාව හරි කියලා . ආයෙ නම් රණේ මලත් මම මළගෙදර වත් නොයා ඉන්න හිතාගත්තා

ඉතින් ඔය සිද්ධිය වෙලා මාස අටක් දහයක් ගත වුණා රණවීරයි මායි පාරෙදී කඩේදී , බස් එකේදී නිතර හමුවුණත් කතාවක් බතාවක් නිකමටවත් සිද්ධ වුණේ නෑ . ඌ දැක්ක තැන මම අහකට කෙළ ගැහුවා . ගමේ කා එක්කත් රණවීරගේ නුගුණ කිය කියා ඌට බැන්නා . මම රණවීරට බනින බව සමහරවිට ඌට ආරංචි වෙනවත් ඇති . ඒත් ඌ ආයේ මට කිසි දෙයක් කීවේ නෑ . මට දැනුණේ හරියට ඌ තමන් කළ වරද ගැන පසුතැවෙනවා වගෙයි . ඉතින් මම යටි හිතෙන් සතුටු වුණා

රණවීරයි මායි අමනාප වුණාට මොකද අපේ පවුල් වළ උදවිය නම් වෙනදා වගේම හොඳින් උන්නා . රණවීර අපෙ අම්මට දකින තැනදී “නැන්දේ” කියලා හිනාවෙලා කතා කළා . මම වුණත් උන්ගේ ගෙවල්වල උදවියට හොඳින් සැලකුවා . ඔන්න ඔය හේතුව නිසාම තමයි මේ පහුගිය දවසක රණවීරලාගේ ගෙදර ඉඳන් අපේ ගෙදරට බුලත් අතක් උඩින් ආරාධනා කාඩ් එකක් ආවේ . රණවීරගේ ලොකු නංඟී කවීෂා කසාද බඳිනවා කියලා ඒ කාඩ් එකේ ලියවිලා තිබුණා . “ඕනෙ කෙනෙක් යයිනේ මම නම් ආයේ උන්ගේ මගුලට තියා මරණෙකට වත් යන්නේ නෑ .. ! “මම තනියම හිතාගත්තා . ඒත් ඒ හිතිවිල්ල පුස්සක් වුණේ මම හීනෙකින් වත් හිතුවේ නැති විදිහට

පහුගිය සතියක සඳුදා දවසක හැන්දෑවේ පහට විතර මම ගෙදර එන වෙලාවට සාලේ ප්ලාස්ටික් පුටුවක රණවීර ඉඳගෙන හිටියා . ගෙට ඇතුල්වෙනකොටම මම ඌව දැක්කා වුණත් නොදැක්ක ගානට කුස්සිය පැත්තට පල්ලම් බහින්නයි හැදුවේ . ඒත් එතකොටම මාස ගානකින් මට රණවීරගේ හුරු පුරුදු කටහඬ ඇහුණා 

සඳරු මල්ලි වැඩක්ද උඹ ?
උගෙ කටහඬට මගේ තරහ හිත නිවිලා ගියේ කොහොමද කියන්න මම තාම දන්නෑ .

නෑ

මේ එළියට පොඩියක් වරෙන්කෝ .
රණවීර මාවත් අඬගහගෙන එළියට ආවා . උගේ මූණේ තිබුණේ මම දකින්න පෙරුම් පුරපු පසු තැවීමක හැඟීමක් . “කොහොම හරි මේකා මගේ කකුල් දෙක ගාවටම ආවනේ ඒකම මදෑ” මම යටිහිතින් හිනා වුණා .

සඳරු එදා වෙච්චදේ අල්ලා දාපන් . මට එදා ගෙදර අයත් එක්ක පොඩි ප්‍රශ්නෙකට තරහ ගිහින් තිබ්බේ ඒ තරහ තමයි සඳරු උඹගේ පිටින් ගියේ . උඹ අවුලක් ගන්න එපා ඈ

දැං උඹට ඕක කියන්න මෙච්චර කල් ගියේ ඇයි ?

අනේ බං ඔන්න ඕක අල්ලා දාපංකෝ හරස් ප්‍රශ්න අහන්නේ ?
රණවීර මගේ බෙල්ල වටේට අතක් දාලා උගේ පරණ යාළු කම පෑවා .

හ්ම් . අවුලක් නෑ රණෙ අයියේ .

ඔන්න ඕමනේ ඉන්න ඕනෙ . යමු ටින් එකක් බොන්න .”

ඉඳහන් සල්ලි කීයක් හරි ගේනකම්

මොන සල්ලිද අද මම ගානේ . යං යං
ඔන්න ඔයි විදිහට තමා රණවීරයි මායි ආයේ අපේ හිත මිතුරුකම ආරම්භ කළේ .එදා අපි බීව බියර් වලින් හේදිලා හිත්වල තිවුණ පරණ තරහා මරහා මැකිලා යද්දී රණවීර මට ආරාධනාවක් කළා .

සඳරු අපෙ කවීෂා ගේ වෙඩින් එක ලබන සිකුරාදා උඹ එදාට එන්ඩෝන . උඹ එනවනේ ?

හ්ම් . උදවු එහෙම ඕනෙද ?

අනේ ඔවු ගෙයි ඉටිරෙදි සීලිම ගහන්න ඕනෙ බිම පොලිස් කරන්නයි තීන්ත ගාන්නයි ඕනෙ තව වැඩ යමරෙට බං උඹත් ඇවිදින් පොඩි සප් එකක් දෙනව නේ ..?

මම එන්නැතුං ඉන්නවද ?
එදා ඉඳන් දවස් කීපයක්ම හැන්දෑ වරුවේ මම රණවීරලෑ ගෙදර උදවුවට ගියා ...

 කෝම හරි මගුල හෙටයි කියලා මමත් තවත් කීප දෙනෙකුත් එකතු වෙලා රණවීරයියලාගේ ගේ වත්ත පිටිය සුද්ද පවිත්‍ර කළා .හවස වැඩ ඉවර වෙලා නාකියාගෙන රෑ වෙලා ඉටිරෙදි සීලිම ගහන්නත් පටන් ගත්තා . රණවීර නම් මට උදවුවට හිටියේ නෑ . ඌ මගුල් පෝරුවක් හදන්න කොන්ත්‍රාත්තුව දෙන්න කොහේදෝ ගිහින් උන්නා . මගෙත් එක්ක වැඩ කරමින් උන්නු කොල්ලො එකා දෙන්නා රෑ බෝවෙද්දී හීනිවට මල් උරලා වැඩිසීනි ප්ලේන්ටිය බීලා මිදුලේ වාඩිගෙන ඔහේ කල්පනාව .ඒත් මොට කියතකින් රීප්ප පටි කපමින් මම තනියම වැඩ කළා

තේකක් බොමු නේ සර්
මගෙ පිටිපස්සෙන් අහුණ හුරු පුරුදු හඬකින් මම හැරිලා බැලුවා. ඒ කතා කෙරුවේ කවීෂා ඒකි මට තේ කෝප්පයක් ගෙනල්ලා . මම පළාතේ පොඩි පරිගණක පන්තියක උගන්වන නිසා කවීෂා මට සිරික්කිය දාන්න නිතරම භාවිතා කළ වචනය වුණේ “සර් .”

ආ මේ මිසිස් කවී නේ

අනේ යනවා යන්ඩ තාම මිස් .
ඒකිගෙ මූණ ලැජ්ජවට රතු වෙලා .ගෙයි සාලේ සුදු පාට සී එෆ් එළ බලුප් එළියට මට ඒක හොඳට පෙනුණා

උදවුවක් ඕනෙද මගෙන් ?

එහෙනං මට ආං අර ඉටිරෙදි ටික මේ ගාන මේ ගාන තීරු වලට කපා දෙනවද ?

මට උදවුවක් කරන්න කෙල්ල බලාන හිටි නිසාම මම කවීශට පොඩි වැඩක් පැවරුවා . ඒකිත් පුංචි ටීපෝ කෑල්ලක වාඩිගෙන නිල් පාටයි සුදු පාටයි ඉටිරෙදි තීරු කරන්න වුණා . සැටියේ වාඩිවෙලා තේ බොන ගමන් මම මගේ ඉස්සරහා තිබුණ ඔපදමාපු කණ්ණාඩි මේසෙක පිහිටෙන් කවීෂා දිහා හොරෙන් බැලුවා

දෙයියම් පල්ල ඒකි නම් පට්ට ලස්සනයි . !!

කවීෂා කොයිතරම් ලස්සන වුණත් සුන්දර වුණත් මගේ හිත යාන්තමට වත් ඒකිව ඉල්ලනේ නම් නෑ . සමහරවිට දැන් මම ආදරේ කරන එකී මගේ හිත සින්නකරේටම ලියවාගෙන නිසා වෙන්නැති ඉස්සර වගේ දකින දකින කෙල්ල ගාව මගේ හිත ඔකඳ වෙන්නේ නැත්තේ.

දැන් එතකොට කවීෂා අම්පාර දාලා කෑගල්ලට යනවා ?
තේ කෝප්පේ ඉතිරි තේ මණ්ඩි ටික ජනේලෙන් එළියට හලපු මම නිල්මිනීගෙන් එහෙම ඇහුවේ ආයි ඒකිව කතාවට අල්ලගන්න මට ජීවිතේටම ඉඩක් නොලැබේවි කියලා හිතලයි .

යන්න වෙලා .”

කොල්ලා ලස්සනද ?

පෙන්නන්නං ඔයාට ?

හ්ම්
කවීෂා ෆෝන් එක අරගෙන ඒකෙ තිබුණ ටිකක් විතර වයස පේන බුවෙකුගේ පින්තූරයක් මට පෙන්නුවා . මූ මහ නාකි දැල්ලෙක් නේ කියලා කියන්න හිතුණත් ඒ හිතිවිල්ල හිත ඇතුලෙම වළ දාලා මම බොරුවක් කීවා .

කොල්ල හොඳයි .”

හෙට ආවම බලාගන්නකෝ ෆොටෝ එක ටිකක් කළුවරයි.

එතකොට කවීෂා අපිව දාලා ගියාම අපිව අමතක වේවි ආයේ වැරදිලාවත් මෙහේ එන එකක් නෑ
කවීෂා මූණ අඳුරු වුණා . යන්තම්වත් කතාබහක් නැතිව ඒකි මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න විනාඩි ගාණක් කල් අරගත්තා .

මෙහේ අමතක වෙන්න නම් මැරිලා උපදින්න වෙයි . ඒක නෙවේ ඉතින් ඔයා කවද්ද මිසිස්ව ගේන්නේ . ? අපිටත් මගුල් කියනවද ?

මොන මගුල්ද මම ඒකිව පොතේ ලියලා ගෙදර ගේනවා . “
කයිය ගැහුවට සීලිම හැදෙනවයැ . මම ආයේ වැඩ පටන් ගන්න හිතාගෙන කියත අතට ගත්තා .එතකොටම තමයි මට බයික් එකක හඬ ඇහුණේ .

අයියා ආවා.. මම නිදාගන්න යනවා
එහෙම කියාපු කවීෂා දනි පනි ගාලා ගෙට දුවලා ඇඳට පනින හඬ මට ඇහුණා

එදා මම මහ රෑ වෙනකම් වැඩ කරලා රණවීර අයියලෑ ගෙදර කැත නෑ කියලා කට පුරෝලා කියන්න පුළුවන් ජාතියේ සීලිමක් ගැහුවා . එදා ගෙදර ඇවිදින් ඇඳට වැටෙනකොට පාන්දර හතර හමාරත් පැනලා . දුම් ගඳ යන්න මූණ හෝදගෙන ඇඳට වැටුණ මට ඇහැරුණේ උදේ නවය හමාරට විතර . එදා තමා කවීෂා මගුල

මම මගුල් ගෙවල් වල යන්න අඳින දිස්නෙ දෙන කමීසෙ අත් නවලා ඩෙනිමට උඩින් දාලා බාටා සෙරෙප්පු දෙක දාගෙන මගුල් ගෙදර දිහාට ගියා . බෝතල් ගැටෙන හඬ වටින් පිටෙන් ඇහුනත් මම ඒ දිහා නොබලා එහෙට මෙහෙට දුව පැනලා මට හැකි විදිහට මගුල් ගෙදරට උදවු පදවු කළා . මගුල් ගෙදර වැඩ කටයුතු වුණත් බොහොම ලස්සනට සිද්ධ වුණා .දාහතේ මහතුං මාමා උන්දැගෙ බත් පිඟානෙම කබරයා දගනිපු එක ඇරෙන්න වෙන කිසිම අවුලක් සිද්ධ වුණේ නම් නෑ .

අවුව පායලා හොඳ එළියක් තිබුණ නිසා මගුල් ගෙදරට තවත් දිස්නෙ වැටෙන පෙනුමක් ඇවිදින් තිබුණා. ඒත් වෙනසකට කියලා තිබුණේ කවීෂා අඳුරු වෙච්චි මූණු ඩිංග විතරයි . මගුල දා නිල් මැණිකක් වගේ දිලිහි දිලිහි තියේවි කියලා මම හිතාන උන්නුත් ඒකිගේ මූණ කේතලේ වගේ කලු වෙලා හිනා පොදක්වත් නෑ. ඒත් කවීෂා මූණත් තහඩුව දිහා බලාන ඉන්න මට මොහොතකවත් වෙලා තිබුණේ නෑ . මට කරන්න සෑහෙන වැඩ තොගයක් තිබුණා . මට යාන්තම් නිදහසක් හම්බුනේ මගුල් ගෙදර අවසානේ වයසක බුවාලා කතා පවත්වන්න පටන් ගත්තාමයි .

අයිස් කෝපි එකක් අතට ගත්ත මම ප්ලාස්ටික් පුටු කෑල්ලක ඉඳගෙන අවසාන ජවනිකාව බලන්න සූදානම් වුණා කොහොමින් කෝම හරි ස්තුති කතා, පම්පෝරි, අවසන් වෙනකොටම ඔන්න මම බලාන උන්නු අවමංගල්ලේ පටන් ගත්තා . මගුල් ගෙදරක අවසානෙට කෙල්ලගේ පැත්තේ එවුන් හූ කිය කිය අඬා වැටෙන එක මට නම් දිරවන්නෙම නෑ . මටනම් ඔය වගේ වෙලාවට මටත් නොදැනීම හිනහා යනවා . ඒත් එදා නම් මට හිනහ වෙන්න බැරි වුණා

මගුල් ගෙදර අවසාන වෙන්න කිට්ටුව ඉකි ගහමින් අඬාපු කවීෂා මල් කලඹ මිදුල මැද අතෑරලා ඒකිගේ කාමරේට දිවුවා . නෑදෑ පරපුර ඒකිගේ පස්සෙන් දිවුවා . වෙච්ච දේ මොකක්ද කියලා හිතාගන්න බැරිව මමත් පොඩියක් උන් තැනින් නැගිටලා විපරම් කරලා බලන්න සුදානම් වුණා විතරයි එතකොටම ගේ ඇතුළෙන් එළියට ආ රණවීර මා ගාවට දුවගෙන ආවා

සඳරු අර කුස්සියේ තියන භාජන ටික ධර්මේ අයියගේ කුබෝටාවේ දාගෙන හතේ ගෙදරට ගිහින් දීලා වරෙන්කෝ .”

මෙවුවගේ තව අල පරිප්පු එහෙම්මයිනේ බං ? මෙවුවා කාලා පස්සේ භාජං ටික ගෙනියමු .” එතනට දුවගෙන ආපු අල්ලපු ගෙදර ජගත් කෑම වලට බැල්ම දැම්මා”

අනේ බං ජගත් ඉතිරි ටික හලපං හලන්න දුකනං උඹ මල්ලක දාං ගිහිං ගෙදර ඉඳන් කාපං බඩේලිය යනකම් හරි කාපං .සඳරු අනේ හනිකට මෙවුවා ගිහින් දීලා වර .”
මමත් හනි හනිකට රණේ පෙන්නාපු ඇලුමිනියම් භාජන හත අටක් එකතු කරලා කුබෝටාවට පැටෙවුවේ තවත් කොල්ලෝ කීප දෙනෙකුගේ පිහිටෙන් . කොට කොටා ගිය කුබෝටාව හතේ ගෙදෙට්ට යන්න විනාඩි 15ක් වත් ගන්නැති මයෙ හිතේ . ගෙයි මිදුලෙන් භාජන ටික බාපු මම . ටිකක් සද්දෙට ගෙදර අයට කතා කළා

තිලකා නැද්දේ . මාමෝ .! මේං භාජං ටික මිදුලෙන් බෑවා ! හරිද බලන්ඩෝ . අඩුනම් දැම්ම කියන්ඩෝ . !
මගේ කෑගැහිල්ල ඇහුණාම තමා හතේ ගෙදර අය එළියට ආවේ . උන් මං දිහා පුදුමයෙන් බලද්දී මට හිතුණා මට කොතැන හරි වැරදිලා කියලා .

සඳරු පුතේ මේ අපේ භාජං නෙවි .” හතේ ගෙදර තිලකා නැන්දා එහෙම කියද්දී මට පුදුම හිතුණා

මට රණවීරයියා කීවා මෙවුවා මෙහෙන් ගෙනබ්බාන්න කියලා .

අනේ බං රණවීරට පිස්සුයැ . මෙවුවා අපේ නෙවි මෙවුවා උන්ගෙම ගෙදර හට්ටි මුට්ටි . මට හොඳට මතකයි වංගියක් අපිත් මෙවුවා මෙහ දානෙකට ඇන්න ආවා . මෙවුවා අපේ නෙවි . ගිහින් දාපං තිබ්බ තැනටම . “

මම ආයෙමත් ඒ භාජන ටික කුබෝටාවේ පටවාගෙන රණවීරලෑ ගෙදරටම ගෙනිච්චා . මම එහෙට යනකොට කවීශාගේ මගුල් පෙරහැර පිටත් වෙලා . මමත් හනි හනිකට භාජන ටික තිබ්බ තැනම ගිහින් බාලා . පුටු මේස ටික පිළිවෙළක් කරලා දාලා ඉතිරිවෙලා තිබුණ ගල් බෝතලේකුත් ඉනේ ගහගෙන හෙමිහිට ගෙවල් දිහාට මාරු වුණා

හය හමාරට හතට විතර මගෙ ෆෝන් එක නාද වෙද්දී මම උන්නේ සැප නින්දේ . ඒත් ෆෝන් එක උස්සලා කනේ තියාගත්තාම අනෙක් පැත්තෙන් මට රණවීරයියගේ කටහඬ ඇහුණා .

සඳරු අද රෑ හතට විතර පොඩ්ඩක් අපෙ ගෙවල් පැත්තේ වරෙන් වැඩත් ඉවර එකේ අපි පොඩ්ඩක් සෙට් වෙන්න කියලා හැදුවේ උඹත් වරෙන් . “

එක හිතෙන්ම ඒ ආරාධනාව පිළිගත්ත මම නාගෙන කරගෙන ඒ පැත්තට හෙමිහිට ගෑටුවා . මම යනකොටත් රණවීර උන්ගෙ ගෙදර බකිනි ගහ යටට මේසෙයක් අරන් ඒ මේසේ උඩ බෝතල් කීපයක් සහ වීදුරු කීපයක් තියලා සරසලා තිබුණා . මම ආවා විතරයි බෝතල් එකිනෙක සට පට ගාලා කැඩෙන්නත් වීදුරු එකට ගැටෙන්නත් පටන් ගත්තා

වෙලාව ටිකෙන් ටික ගත වුණා මට මතක හැටියට රෑ දොළහටත් කිට්ටුයි . රණවීරට ටිකක් බඩු වැඩියි වගේ . ටිකක් එහා පුටුවක උන්නු රණවීර හෙමින් මා ගාවට ආවා .

අඩා ! තිළිණයා ඔය පුටුව මට දිය දැං මං සඳරුවා ගාව වාඩි ගන්නවා . . පල අහකට

මගේ ළඟ හිටපු තිළිණ මල්ලියාව අහකට පන්නපු රණවීර මේ මං ගාවට එන්නේ හොඳකට නෙවෙයි කියලා මට ඉවෙන් වගේ තේරුණා . මගෙ බෙල්ල බදාගෙන තවත් අතකින් වීදුරුවකුත් ගත්ත රණවීර වෙරි පිට ලොකු කතාවක් පටන්ගත්තා . රණවීරයා බීපුහාම උගේ ළඟ රහස් නෑ මම ඒක හොඳට දැනගෙන හිටියා

උඹාලාට මං කතාවක් කීනවා ආගනියවු . අරි . ඔය අපේ ලොකු නඟා කවීෂා ඉන්නවා නේද ? . ඕකි අද ගිය මගුලක් කරගෙන ගෙදරින් ගිය එක මට මාර සතුටක්. දැන් මං නිදහස් . උඹලා දන්නෑ අපි ඕකිට ඔය කසාදේ කොරලා දුන්නා බලෙන්ම . ඔවු අපි එහෙමයි කෙල්ලො හදන්නේ.”

අඩේ කවීෂා කැමැත්තෙන් නෙවේද බං බැන්ඳේ ?
ඉස්කොලෙ කඩේ වස්තු තමා එහෙම ඇහුවේ .!

ඒකි කැමැත්තෙන් හිටියේ වෙන එකෙට්ට. කාටද දන්නවාද ? උඹලා දන්නවාද ?

නෑ නෑ දන්නෑ . අපි දන්නෑ

සඳරු උඹ දන්නවාද ?

නෑ බං මං කොහොම දන්නේ ?

මූ දන්නෙත් නෑ තොපි දන්නෙත් නෑ . මං ඉතයි දන්නේ . කවීෂා මෙන්න මූට යකෝ කැමැත්තෙන් උන්නේ . “
මාව ගල් ගැහිලා ගියේ රණවීර මගෙ බෙල්ලෙන් අල්ලලා අනෙක් එවුන් දිහාවට මාව තල්ලු කළ නිසයි .

මොකද්ද බං ඒ කැත කතාව .”

අහපල්ලා අපෙ නඟා සඳරුවට කැමතියි ඒත් අපි තියා අපෙ හත්මුතු පරම්පරාවම සඳරුවාට කැමති නෑ . ඒක නිසයි මම සඳරුවත් එක්ක තරා වෙලා උන්නේ එහෙම නැතුං මූ අපෙ බලු දණ්ඩාට බැනපු නිසා නෙවි මූ එක්ක මම ආයේ හාද වුණේ කවීෂා මල් ඇට කාලා මැරෙන්න හදපු නිසා .ඒව මේවා කෝම හරි දැන් මං නිදහස් . සඳරුවෝ උඹට කවුද බං කෙල්ලො දෙන්නේ ? . අපිත් එක්ක නම් ඒ විජ්ජාවල් හරියන්නෑ පුතෝ ..”

රණවීරගේ කතාව අහපුහාම මගේ සරුවාංගෙම රත් වෙලා ගියා පපුවත් ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා .

මොනා රණේ අයියේ උඹ මට මේ කියන කතා. මම උඹලෑ ගෙදර ආවේ උඹව හම්බුවෙන්න විතරයි ඒක මේ ගමම දන්නවා . අනික උඹත් හොඳට දන්නවා මට එකියක් ඉන්න විත්තිය . මම උඹගේ නංගි ගැන යන්තම්වත් හිතලා නෑ . දෙයි හාමුදුරුවන් පල්ලා . !! .” 

මට පුළුවන් විදිහට මම කීවත් රා කළ හතක් බීපු නාලාගිරියා වගේ හිටි රණවීර මෙල්ල වුණේ නම් නෑ . ඒ අතරේ මට හිතුණා මූ මට භාජන වගයක් දීලා මාව වෙන අහක යැවුවේ මොකටද කියලත් මට තේරුණා . සමහහර විට මම ඉන්න නිසා කවීෂාට පිටගං යන්න දුක හිතෙන්නැති.

අනෙ උඹද මිනිහා. ඇයි උඹ තාපසයද ? උඹ තමා මේ ඔකෝම කළේ . තොට දෙනවා මං . ඔළු පැලෙන්නඩ හිටපිය .. . . . .තෝ ..”

රණවීර මට ගහන්න බෝතලයක් අරන් පැන්නා . කිසිම සූදානමකින් නොහිටි මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා අනික මම බීවෙ හිඟුරාණ ස්පෙෂල් නිසා මාව හීනිවට කැරකෙනවා ගහගන්න තබා මට කෙළින් ඉන්නවත් බැරිතරම් .මගෙ වෙලාවටද කොහෙද ඉස්කෝලෙ කඩේ වස්තු හනිකට පැනලා එක පාරින්ම රණවීරව බිම දැම්මා .අම්මප වස්තු නොහිටින්න අද මම බෝතල් පාරක් කාලා දැඩිසත්කාරේ

මේසෙ යට වැටිලා උන්නු රණවීරව නැගිට්ටුවන්න කිසි කෙනෙක් හිටියේ නෑ .ගමේ උන් හැමෝම මාවත් ඇදගෙන රණවීරලාගේ ගෙදරින් එළියට ආවා . ඒ විතරක් නෙවේ . මාව ගෙදරටම ගෙනිහින් දැම්මා .

මල්ලී ආයේ රණේ එක්ක ඇයි හොඳයි තියාගන්න එපා . ඒක නෙවේ උඹයි කවීශයි ඇත්තටම ලවුද ? .”
ඉස්කෝලෙ කඩේ වස්තු අයියත් මගෙන් එහෙම අහද්දී මට ඇඬෙන්න වගේ ආවේ මම බීලා උන්න නිසා වෙන්නැති .

අනෙ නෑ වස්තු අයියේ . මම ඒකි මට කැමතියි කියලා දන්නෙවත් නෑ . අනික ඒකිගැන මගෙ තුන් හිතකවත් නෑ . උඹලටත් මාව විස්සාස නෑ ..”

හරි හරි මලයා උඹ දැන් ගිහින් බුදියගනිං .”

මෙච්චර හරියක් වුණාම කොහෙ බුදියන්නද . මම ගිහින් ගෙදර දොරමුල්ලේ හංඟලා තිබුණ ගල් බෝතලෙන් අඩියක් දෙකක් අමුවෙන්ම දාගත්තේ හිතේ අමාරුව මැකෙයි කියලා හිතාගෙන. ඒත් අන්තිමේදී මට සිද්ධ වුණේ වත්ත වටේට කබරයා දාන්නයි

එදා රෑ මම නින්දත් නොනින්දත් අතර හිරවෙලා හීන ගොඩක් දකිමින් එළිවෙනකම්ම ලොකු දුකක් වින්දා . එක හීනෙක මම කවීෂාව දැක්කා , තවත් හීනෙකදී මම රණවීරත් එක්ක ගහ ගත්තා . මම එළිවෙනකම්ම ඔය හීන අතරේ හිරවෙලා උන්නා . ඉස්සර නම් ලස්සන කෙල්ලක් හීනිවට හිනා වුණා නම් මම ඒ පැත්තට නැවුණේ නියපොත්තෙන් කොනිත්තාපු ලබු දල්ලක් වගේ. ඒත් දැන් මගෙ හිත ඒ තරම් බොළඳ නෑ . කෙල්ලෝ කොයිතරම් නෙළුම් කරටි ඇඹරුවත් මම නෙවේ ආයේ ඒවට අහුවෙන්නේ

කවීෂාගේ යාළුවෝ කීප දෙනෙක්ම පස්සේ මට කීවා කවීෂා මට කැමති වග ගෙදරට අඟවලා තියෙන්නේ එයාට ගෙදරින් ගෙනාපු මගුලෙන් ගැලවෙන්න මිසක්ක මගෙ ගැන වෙන යමක් හිතිලා නොවෙන වග .ඒත් මම ඔවුවගෙ ඇත්ත නැත්ත හොයන්න ගියේ නෑ . වෙනදා උන්නා වගේම මගේ පාඩුවේ ඉන්න උත්සාහ කළා .. ඒත් ඊයේ හැන්දෑවේ මට මගේ අනාගත බාරිගෙන් කෝල් එකක් ආවා . “මොන දේ වුණත් දැන් මට ඉන්නේ මේකි විතරයිනේ” සන්තෝසෙන් එහෙම හිතපු මම ෆෝන් එකට හලෝ කීවා ..ඒත් එතකොටම හෙණ ගහන්නා වාගේ . අහක තිවුණ කුණ්ඩවාලයක් මටම පාත් වුණා

ඔයා හරි නාකයි ඔයා අර කවීෂා කියන කෙල්ලට ලයින් දලා මගේ යාළුවෙක් මට දැන් සේරම විස්තරේ කීවා. චික් ඔයා නම් හරි නරකයි , හරිම කැතයි .. මම තරහයි .”

මේ හත්තිලවුවේ ඇත්ත කතාව පොඩ්ඩක් අහගන්න මම එහෙම දෙයක් කළේ නෑ .. .”
ඒත් මගේ කතාව අහන්න අකමැති ෆෝන් එක කට් වුණා .හිත දුකෙන් තරහෙන් පිරෙද්දී දොර මුල්ලේ හැඟිලා උන්නු ගල් අරක්ක්කු බාගේ මගේ දිහා හොරෙන් බලන හැටි මම දැක්කා .