17.1.11
මගේ පන නුඹද ?
12.1.11
අපොයි දැන් ඇති මයෙ දෙයියෝ !
අදට මාසෙකට විතර කලින් . හිස් අහස දිහා බලාගෙන අපේ ගමේ මිනිස්සු දත්මිටි කෑවා . බැන්නා . අහසට තර්ජනය කරා. මෙන්න මේ විදිහට
"නොදෝකින් වැහි කඳුලක්වත් නැති හැටි"
"මොන රෙද්දක්ද මේ ? අපිට විතරක් වැස්ස නෑ "
"ඇයි වැහි දෙයියනේ අපි අඩු කුලේද ?”
අපෙන් පූජාවල් ගන්න හොඳයි . වතුර ජුංඩක් දෙන්ඩ තමයි බැරි !
කොහොමද ඩෝ අපි කුඹුරු කරන්නේ ? කොහොමද අපි කක්කුස්සි යන්නේ ?
ඉතින් වැස්ස වලාහක දෙවියන්ට එක දවසක් මේ බනින හඬ ඇහුනා . දෙවියන්ට හොඳටම තද උනා . වැසි දෙවියෝ අඬ අඬාම . සක් දෙවිඳු ලඟට ගියා . ගිහින් මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරා...
"එස් කියුස් මී සර් මට පොඩ්ඩක් කතා කරන්න ඕන"
"මොකද වැහි දෙයියෝ ? ඇයි මේ ඇස් දෙකේ කඳුලු"
"සර් අර සඳරුවාගේ ගමේ එවුවො මට හොඳටම බනිනවා . උන්ට වතුර නෑලු උං ඒක වෝටර් බෝඩ් එකත් එක්ක බලා ගන්නේ නැතුව මට නරක වචනයෙන් බැන වදිනවා" .
"එහෙමද ? අපි සෙට් කරමු ඕකුන්ට එල පෝරියල් එකක් අමතක නොවෙන්නම . වෙනදා උන්ට වතුර දුන්නේ මොන බාජනෙන්ද ?”
"සර් පොල් කට්ටෙන්"
"ඒකනේ වැහි දෙයියෝ මේපාර බවුසරේම දෙන්ට" .
ඉතිං වැහි දෙයියෝ දිවය ලෝකේ තිබුනු වතුර බවුසරේ වතුර අපේ පලාතට වක්කරා …..
මාස ගානක් පායලා පායලා හතරට පැලිලා තිබුනු ආපේ ගමට පහුගිය දවස් වල ලස්සන මල් වැස්සක් වහින්න ගත්තා . අපි හොඳටෝම සතුටු උනා . දෙවියන්ට පිං දුන්නා . "නියමම වැස්ස" හැම මිනිහෙකුගේම කටින් පිට වෙච්ච වචනයක් උනා .
අපොයි දෙයියනේ ! දෙන දෙයියෝ දෙනකොට දෙන්නේ දෙපිටින් යන්න . අපේ බැනුං අහගෙන හිටපු දෙයියෝ අපිට මදි නොකියන්න වැස්ස දෙන්න ගත්තා .
දැන් අපිට දවස් හතරක් එක දිගටම වහිනවා . අත්තා මුත්තාගේ කාලේවත් අපේ පලාතට ගංවතුරක් නම් ඇවිල්ලා නෑ . මුලින්ම වැහැලා වැහැලා කුඹුරු ටික පිරෙන්න ගත්තා . . ඊලඟට වැව , ඊලඟට ඇල. ඊලඟට ටැන්කිය , අන්තිමට අපේ වැසිකිලි වල . මේ ඔක්කෝම පිටාර ගැලුවා. ගමේ තැබෑරුම අඩි හතරක් වතුරෙන් යට උනා .
වැස්ස විතරක් නම් බැරියෑ හුලඟත් මදි නොකියන්න හම්බ උනා . අපේ වහලේ පොල් අතු එකින් එක හුලඟේ යන්න ගත්තා . ගමේ පොලීසියේ ඕ.අයි.සී මහත්තායාගේ කෝටස් එකට ලොකූ ගහක් කඩාගෙන වැටුනා. . වටේ පිටේ හිටපු ගෑනු මිනිස්සු ඕ.අයි.සී මහත්තයාගෙන් ලකුණු දාගන්න හූ කියාගෙන අඬාගෙන ඒ පැත්තට දිවුවා .
වැස්ස තව තව දරුණු උනා ! . අනාගතය අදයි කුලුන අකුනක් ගහලා ක්රියා විරහිත වෙලා ගියා . මට ජාල පහසුකම් නැතිව ගියා .
කොයිතරම් වැස්සත් අපේ බොස් අපිට කම්මැලි කමක් දැනෙන්න දුන්නේ නෑ . කොහොමහරි වැඩට එන්න කීවා . ඉතින් අපි වැඩට ආවා . බොස් නම් ආවේ නෑ . ඒ මදිවට මගේ හුරුබුහුටි කෙල්ලට හෙම්බිරිස්සාවයි උනයි හැදිලා . මම හිතෙන් ඉක්මන් සුව ප්රාර්ථනා කරා !
ඊයේ දවසේ බයානකම පුවතක් අහන්න ලැබුනා . වැවු බැම්ම කැඩෙන්න ලඟයි කට්ටිය උදවුවට එන්න කියලා පනිවිඩයක් අවා . අපේ ඔෆිස් එකේ කට්ටියත් ඉක්මනට ගියා . වැවු බැම්ම කැඩුනොත් අපේ ඔෆිස් එකත් ඉවරයි . ගමේ අයයි හමුදාවේ අයයි . වැලි කොට්ට වැවු බැම්ම දිගේ අතුරනවා වැඩට එන්න ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම . අපිත් තෙමීගෙන වැලි කොට්ට . ගොඩ ගහලා යන්තම් බැම්ම අටවා ගත්තා . ඒත් හෙට දවසම වැස්සොත් බැම්ම ඉතුරු වෙන එකක් නෑ . පොලීසියෙන් වටේ පිටේ ඈයෝ ගෙවල් වලින් ඉවත් කරා .
ඒ මදිවට දවසකට දහපාරකට වැඩිය කරන්ට් එක යනවා . මොනවා කරන්නද දෙවියෝ කෝප කරගත්තම ඕක වෙනවා . ගමේ මිනිස්සුන්ට දැන්නම් වැස්ස එපා වෙලා ඉන්නේ . මටත් වැස්ස එපා වෙලා .
අප්පා මේ වගේ වැස්සක් නම් ආයේ කවදාකවත් මට එපා !. ඇඳුමක් තියා යට ඇඳුමක්වත් වේලගන්න විදිහක් නෑ . වැසිකිලි වල උතුරලා දුර්ගන්ධය මුලු ගෙදර පුරාම. මුලු වත්තම කහම කහ පාටයි.
තාර පාර පුරාම තියන තඩි වලවල් වල . මාලු පිරිලා . කොල්ලෝ මාලු කොටනවා . ලොකූ පොලු අරං මාලුවා දැක්ක ගමං "දේයි ! ” ගාල වතුරට පතබානවා . මාළු කොටන්න ගෙහුං මගේ ඇඟට වතුර ඉහපු කොල්ලෙක් කන අල්ලගෙන ඉන්නවා මගේ යාළුවෙක් දැකලා තිබුනා.
දෙන්නෙක් ජීවිත වලින් සමුගත්තා ..සෑහෙන දෙනෙකුගේ ගෙවල් යට උනා . ගොවියොන්ට තමයි ලොකුම අලාබහානිය උනේ ඒ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතුව . වතුරෙන් යට වෙච්ච . කුඹුරු දිහා බලාගෙන හූල්ලනවා .
මොනවා කරන්නද අපට සොබාදහම වෙනස් කරන්න බෑනේ . මම හෙට උදේ නැගිටිනකොට වැස්ස පායලා . සියල්ල සාමාන්‍ය තත්වයෙන් තියෙන්න කියලා ප්රාර්ථනා කරගෙන මේක ඉවර කරනවා. මේක ලියන්නෙත් බොහොම හදිස්සියෙන් . මොකද කොයි වෙලාවේ කරන්ට් එක යාවිද මන්දා . සමහර විට ඔයාලට අහන්න ලැබෙයි . අහවල් පලාතේ වැවු බැම්මක් කඩාගෙන ගිහිල්ලා කියලා . අන්න ඒ පලාතේ තමයි මම ජීවත් වෙන්නේ . ලංකාවේ තියන අන්තිම චාටර් පලාතක් …
අනේ වැහි දෙයියෝ දැං නම් හොඳටෝම ඇති …
වැස්සට තෙමුනු මීපැටියා
සඳරු//

