17.1.11

මගේ පන නුඹද ?




                  මෙච්චර කාලයක් මේ බ්ලොග් එකේ මගේ හිතට ආපු ගොඩාක් දේවල් මම ඔහේ ලියලා දැම්මා . ඒත් මට තාම උඹ ගැන ලියන්න බැරි උනා . උඹ ගැන මම හිතන්නේ නැති හින්දා එහෙම නෙවේ . මට උඹව වටින්නේ නැතිවත් නෙවේ . ආදරේ කරන කෙල්ල ගැන ලීවත් , යාළුවෝ ගැන ලීවත් , වල් අලි ගැන ලීවත් . මට උඹ ගැන ලියන්න බැරි උනා . ඉතින් මට අද උඹ ගැන ලියන්න හිතුනේ මොකද ? හේතුව උඹයි මායි දෙන්නම දන්නවා


මගේ ආදරනීය නංගි අද මම ලියන්න යන්නේ උඹ ගැන.


මම හොඳටම දන්නවා උඹ ඉන්නේ මාත් එක්ක තරහෙන් කියලා . ඒක සාමාන්‍යයි මොකද මම කවදාකවත් උඹට නියම සහෝදරයෙක් උනේ නෑ. . ඒ මගේ හැටි . මගේ ලැබීම . උඹ මට හොඳ සහෝදරියක් උනාට මම කවදාකවත් නියම සහෝදරයෙක් උනේ නෑ . උඹ පුංචිම කාලේ කතාකරන්න පටන්ගත්ත දවස් වල මට කතාකෙරේ අයියා කියලා නෙවේ . තාත්තා කියලා . උඹ තාත්තව දැකලා නැති නිසානේ . දවස්වල උඹ මට කොයිතරම් ආදරේද ? මම යන යන තැන මගේ පස්සෙන්ම එනවා . මගේ ලඟට වෙලා විකාර කතා කියව කියව ඉන්නවා.



ඒත් දැං උඹ යාළුවොන්ට මාව පෙන්නන්නත් බයයි . දැං උඹ මගෙත් එක්ක ගමනක්වත් යන්න කැමති නෑ . අර ඉන්නේ මගේ අයිය කියලා යාළුවෙකුට වත් උඹ කියන්නේ නෑ නේද ? මම ඒතරමටම එපා වෙලාද දැන් උඹට ? වෙනදා නම් මම හොඳටම බීල රෑවෙලා ගෙදර ආවත් උඹ මාව බේර ගන්නවා . කවදාවත් මම බොන බවක් අම්මට දැනගන්න උඹ ඉඩ තිවුවේ නෑ . ඉදිරියටත් මාව බේරගන්න ඉන්නේ උඹම විතරයි .



තාත්තා නැතිඋන දවසේ ඉඳලා මම උඹව බලාගත්තේ මලක් වගේ . . හරියට උඹ ඉපදුනදා සතුටු උනා වගේම. උඹ දනණගානවා දැකලා මම ගොඩක් සන්තෝස උනා .උඹ වැටි වැටී ඇවිදිනවා දැකලත් මම ගොඩක් සන්තෝස උනා . උඹ ඉස්කෝලේ යන හැටි . මම පුදුම සන්තෝසෙකින් බලං හිටියේ . උඹ ශිෂත්වේ පාස් උනාම මම තවත් තව තවත් . සතුටු උනා.උඹ මට වඩා ගොඩාක් හොඳට ඉගන ගන්න හැටි දැකලා මම සෑහෙන සන්තෝස උනා



උඹ වගේ නංගි කෙනෙක් මට ඉන්න එක ගැන මම ගොඩක් ආඩම්බර උනා . අපේ මැරිච්ච තාත්තත් උඹ ගැන ගොඩාක් ආඩම්බර වේවි .. ඒක කොයිතරම් දෙයක්ද ? මට නම් කවම කවදාවත් තාත්තට ගෞරවයක් ආඩම්බරයක් වෙන්න යමක් කරන්න බැරි උනා . මම කරේ හැමදාමත් ගෙදරට ප්‍රශ්න ඇතිකරපු එකම විතරයි .




මම උඹට ගොඩක් බනින්න ඇති . ඉඳලා හිටලා ගහන්නත් ඇති . ඒ මොන දේ කලත් මම ඒ දේවල් කලේ උඹත් එක්ක දශමෙකවත් තරහකින් නෙවේ . මම උඹට කොයිතරම් ගැහුවත් බැන්නත්. උඹ මං එක්ක තරහ වෙලා නෑ .. ඒත් අද මොකද ඔයා තරහ වෙලා ?



නංගියේ අද මම හින්දා උඹ ගොඩක් දුක් වෙන්න ඇති සමහර විට මං නිසා උඹේ යාළුවෝ ඉස්සරහා උඹ ලැජ්ජා වෙන්නත් ඇති . ඒත් මගේ පැත්තෙන් අද මම වැරදි නෑ ..



මගේ නංගි අද මාත් එක්ක තරහ වෙලා ඉන්න හේතුව මම ලියලා දාන්නයි යන්නේ .



මගේ නංගි අද දවල් ටියුෂන් පන්තියකට ගිය වෙලේ තමයි මේ සිදුවීම උනේ . එයා ගිය පන්තියේ සර් හදිසි වැඩකට යන්න තියනවා කියලා . ලමයි හැමෝටම පේපර් දීලා . සර්ගේ පරන ගෝලයෙකුට පන්තිය බලාගන්න කියලා සර් යන්න ගිහිං .



ඉතිං . ලමයි පේපර් එකක් ලියලා ඉවර වෙලා . තමන්ගේ නමත් පේපර් එකේ ලියලා . මේසේ උඩින් ගෙනෙල්ලා තිවුවලු . ඊටපස්සේ පන්තියේ සර්ගේ පරන ගෝලයා . මේ පේපර් එකින් එක අරං හෙමීට බලන්න පටන් ගත්තලු . ටික වේලාවකින් මගේ නංගිගේ පේපර් එක අතටගත්ත මේ මනුස්සයා . මගේ නගාගෙන් අහලා තියනවා .



"කෝ මේ පේපර් එකේ සම්පූර්න නම ලියලා නෑ නේ .. කෝ මුල් අකුරු ?



ඉතින් නංගි කීවලු එයාට මුල් අකුරු නෑ කියලා .



ඇත්තටම අපිට නමකුත් හොඳ වාසගමකුත් තිබ්බට අපේ නම් වලට මුල් අකුරු යෙදුනේ නෑ . ඒකට හේතුවනම් මම දන්නේ නෑ .



ඉතිං අර මනුස්සයා එක පාරටම කිවුවලු .


මුල් අකුරු නැත්නම් . තාත්තෙකුත් නැතිවෙන්න ඕන කියලා .


නංගිගේ යාළුවෙක් කිවුවලු "එහෙම කියන්න එපා ! එයාගේ තාත්ත නැති වෙලා" කියලා .


ඊටපස්සේ අර ගෝලයා අහනවලු "තාත්ත නැති වෙලාද නැත්නම් හැංගිලාද කියලා ? මේක අහපු ගමන් මගේ නංගි හොඳටම අඬන්න පටන් අරං .


මේ පන්තියේ ඉන්නවා මගෙන් ඉගන ගන්න එන පොඩි කොල්ලෙක් . එයා මට ඒ වෙලාවෙම කෝල් එකක් අරං මේ විස්තරේ හෙමීට කියාගෙන ගියා . කාගේ වෙලාවට දන්නේ නෑ අද මම වැඩට නොගිහින් හිටපු දවසක් . මේ වගේ දෙයක් ඇහුනහම අත් දෙක බැඳ ගෙන පැත්තක වෙලා . හිනාවක් දාලා ඕක අමතක කරලා දාන්න මට පුලුවන් කමක් තිබ්බේ නෑ . තමන්ගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරියට මේ වගේ දෙයක් සිද්ධ උනාම . මේ ලෝකේ හැම අයිය කෙනෙක්ම වගේ ගන්න තීරනය මාත් අරගත්තා ..


මම විනාඩි හතරක් ඇතුලත පන්තිය ලඟට ගියා . මට කාගෙන් වත් අවසරයක් ඕන උනේ නෑ මම කෙලින්ම පන්තිය ඇතුලට ගියා . ලමයි තවම මේසෙට එබිලා පේපර් එකක් ලියනවා .

පන්තිය ඉස්සරහා මේසේ උඩ ඉඳගෙන කකුල් දෙක දෙපැත්තට දාගෙන හිටපු පතෝල කරලක් වගේ ඩයල් එක්කක් ගෑනු කටහඬකින් මගෙන් අහනවා ..


"උයා කාව හම්බු වෙන්ඩද ?


මම හදිස්සි උනේ නෑ මම කෙලින්ම ගියේ හතරවෙනි පේලියේ මැද හිටපු මගේ නංගි ගාවට .. මම එයාගෙන්ම මේ ගැන අහලා ඉන්න එක හොඳයි කියලා මට හිතුනා


මේ මේසේ උඩ ඉන්න එකා ඔයාට බැන්නද ?


නංගි කතා නෑ . බිම බලාගෙන ඉන්නවා


"ඔයාට තාත්ත ගැන කියලා බැන්නද ? මම ආයෙමත් ඇහුවා .


ප්‍රශ්නෙට නම් මට උත්තර හම්බ උනා . නංගි අත් දෙකෙන්ම මූන වහගෙන ඉකි ගගහ අඬන්න ගත්තා . ඒ කියන්නේ මූ මගේ නංගිව ඇඬෙවුවා ..නංගි බංකුව උඩ තියාගෙන හිටපු ගණිතය අච්චු පොත මම අතට අරං අර අලුකුත්තේරුවා ලඟට එන කොට කියනවා
 

"මේ ඔයා මේක අහගන්න හරිද ?


මට එයාගෙන් අහගන්න දෙයක් තිබුනේ නෑ . අතේ තිබුනු පොතෙන් මම ඒකගේ මූන හරහට පහරවල් ටිකක් දීගෙන දීගෙන ගියා . මේසෙන් අනිත් පැත්තට වැටුනා . මගේ අත වැදිලා හිටවලා තිබුනු White Board එක උගේ ඇඟ උඩට වැටුනා .


නංගි අඬ අඬා මගේ අතින් අදිනවා .. මම ඒක දැක්කේ ගොඩ වෙලාවක් ගියාට පස්සේ . නංගි මගේ අත හූරලා . මගේ අතින් ලේ එන්නම හූරලා . . ගෙදර යමු කිය කිය අඬනවා


ඉතින් මමත් නංගිව ඇදගෙන ගෙදර ආවා .


ආපු ගමන් නංගි අඬාගෙන ඇඳට දුවපු එක තමයි මුලින්ම කරේ .. ඒ වෙලාවේ ඉඳලා මේ වනතුරු නංගි මාත් එක්ක කතාකරන්නේ නෑ . අම්මත් මට බනිනවා . බලාගෙන යනකොට මම මහ පුදුම වැරදි කාරයෙක් නෙව ඔන්න මට වෙන දේවල් ..


නංගි උඹ නොදන්නව උනාට මගේ ඇඟේ දුවන්නෙත් උඹේ ඇඟේ දුවන ලේම තමයි . උඹට රිදෙන කොට ඊට වඩා සිය ගුනයක් මට රිදෙනවා . මම කෙල්ලෙකුට ආදරේ කරනවා තමයි මොකටද බොරු කියන්නේ මට ඒ කෙල්ල වෙනුවෙන් පන දෙන්න බෑ . හැබැයි උඹ වෙනුවෙන් මම පන උනත් දෙන්න ලෑස්තියි .


උඹ වෙනදා මට තේ හදලා මගේ අතටම ගෙනල්ලා දෙනවා . අද තමයි උඹ මගේ මේසේ පැත්තකින් තේ එක තියලා . අහක බලාගෙන ගියපු පලවෙනි දවස . උඹ හිතුවේ ඒ තේ එක මම බිවුවා කියලද ? ඊලඟ දවසෙත් ඔය විදිහටම මට සලකන්න හිතාගෙන ඉන්නවනම් . ඔය ගේන තේ එකට වහ ටිකකුත් එකතු කරලා අරගෙන වරෙං . මම උඹ ගැන හොයන්නේ බලන්නේ නැතුව ඉන්නනම් මට කරන්න තියෙන්නේ එච්චරයි ..


සඳරු //

























12.1.11

අපොයි දැන් ඇති මයෙ දෙයියෝ !



අදට මාසෙකට විතර කලින් . හිස් අහස දිහා බලාගෙන අපේ ගමේ මිනිස්සු දත්මිටි කෑවා . බැන්නා . අහසට තර්ජනය කරා. මෙන්න මේ විදිහට


"නොදෝකින් වැහි කඳුලක්වත් නැති හැටි"


"මොන රෙද්දක්ද මේ ? අපිට විතරක් වැස්ස නෑ "


"ඇයි වැහි දෙයියනේ අපි අඩු කුලේද ?


අපෙන් පූජාවල් ගන්න හොඳයි . වතුර ජුංඩක් දෙන්ඩ තමයි බැරි !


කොහොමද ඩෝ අපි කුඹුරු කරන්නේ ? කොහොමද අපි කක්කුස්සි යන්නේ ?


ඉතින් වැස්ස වලාහක දෙවියන්ට එක දවසක් මේ බනින හඬ ඇහුනා . දෙවියන්ට හොඳටම තද උනා . වැසි දෙවියෝ අඬ අඬාම . සක් දෙවිඳු ලඟට ගියා . ගිහින් මේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරා...


"එස් කියුස් මී සර් මට පොඩ්ඩක් කතා කරන්න ඕන"

"මොකද වැහි දෙයියෝ ? ඇයි මේ ඇස් දෙකේ කඳුලු"


"සර් අර සඳරුවාගේ ගමේ එවුවො මට හොඳටම බනිනවා . උන්ට වතුර නෑලු උං ඒක වෝටර් බෝඩ් එකත් එක්ක බලා ගන්නේ නැතුව මට නරක වචනයෙන් බැන වදිනවා" .


"එහෙමද ? අපි සෙට් කරමු ඕකුන්ට එල පෝරියල් එකක් අමතක නොවෙන්නම . වෙනදා උන්ට වතුර දුන්නේ මොන බාජනෙන්ද ?


"සර් පොල් කට්ටෙන්"


"ඒකනේ වැහි දෙයියෝ මේපාර බවුසරේම දෙන්ට" .



ඉතිං වැහි දෙයියෝ දිවය ලෝකේ තිබුනු වතුර බවුසරේ වතුර අපේ පලාතට වක්කරා ..



මාස ගානක් පායලා පායලා හතරට පැලිලා තිබුනු ආපේ ගමට පහුගිය දවස් වල ලස්සන මල් වැස්සක් වහින්න ගත්තා . අපි හොඳටෝම සතුටු උනා . දෙවියන්ට පිං දුන්නා . "නියමම වැස්ස" හැම මිනිහෙකුගේම කටින් පිට වෙච්ච වචනයක් උනා .


අපොයි දෙයියනේ ! දෙන දෙයියෝ දෙනකොට දෙන්නේ දෙපිටින් යන්න . අපේ බැනුං අහගෙන හිටපු දෙයියෝ අපිට මදි නොකියන්න වැස්ස දෙන්න ගත්තා .


දැන් අපිට දවස් හතරක් එක දිගටම වහිනවා . අත්තා මුත්තාගේ කාලේවත් අපේ පලාතට ගංවතුරක් නම් ඇවිල්ලා නෑ . මුලින්ම වැහැලා වැහැලා කුඹුරු ටික පිරෙන්න ගත්තා . . ඊලඟට වැව , ඊලඟට ඇල. ඊලඟට ටැන්කිය , අන්තිමට අපේ වැසිකිලි වල . මේ ඔක්කෝම පිටාර ගැලුවා. ගමේ තැබෑරුම අඩි හතරක් වතුරෙන් යට උනා .


වැස්ස විතරක් නම් බැරියෑ හුලඟත් මදි නොකියන්න හම්බ උනා . අපේ වහලේ පොල් අතු එකින් එක හුලඟේ යන්න ගත්තා . ගමේ පොලීසියේ .අයි.සී මහත්තායාගේ කෝටස් එකට ලොකූ ගහක් කඩාගෙන වැටුනා. . වටේ පිටේ හිටපු ගෑනු මිනිස්සු .අයි.සී මහත්තයාගෙන් ලකුණු දාගන්න හූ කියාගෙන අඬාගෙන පැත්තට දිවුවා .


වැස්ස තව තව දරුණු උනා ! . අනාගතය අදයි කුලුන අකුනක් ගහලා ක්රියා විරහිත වෙලා ගියා . මට ජාල පහසුකම් නැතිව ගියා .


කොයිතරම් වැස්සත් අපේ බොස් අපිට කම්මැලි කමක් දැනෙන්න දුන්නේ නෑ . කොහොමහරි වැඩට එන්න කීවා . ඉතින් අපි වැඩට ආවා . බොස් නම් ආවේ නෑ . මදිවට මගේ හුරුබුහුටි කෙල්ලට හෙම්බිරිස්සාවයි උනයි හැදිලා . මම හිතෙන් ඉක්මන් සුව ප්රාර්ථනා කරා !


ඊයේ දවසේ බයානකම පුවතක් අහන්න ලැබුනා . වැවු බැම්ම කැඩෙන්න ලඟයි කට්ටිය උදවුවට එන්න කියලා පනිවිඩයක් අවා . අපේ ඔෆිස් එකේ කට්ටියත් ඉක්මනට ගියා . වැවු බැම්ම කැඩුනොත් අපේ ඔෆිස් එකත් ඉවරයි . ගමේ අයයි හමුදාවේ අයයි . වැලි කොට්ට වැවු බැම්ම දිගේ අතුරනවා වැඩට එන්න ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම . අපිත් තෙමීගෙන වැලි කොට්ට . ගොඩ ගහලා යන්තම් බැම්ම අටවා ගත්තා . ඒත් හෙට දවසම වැස්සොත් බැම්ම ඉතුරු වෙන එකක් නෑ . පොලීසියෙන් වටේ පිටේ ඈයෝ ගෙවල් වලින් ඉවත් කරා .


මදිවට දවසකට දහපාරකට වැඩිය කරන්ට් එක යනවා . මොනවා කරන්නද දෙවියෝ කෝප කරගත්තම ඕක වෙනවා . ගමේ මිනිස්සුන්ට දැන්නම් වැස්ස එපා වෙලා ඉන්නේ . මටත් වැස්ස එපා වෙලා .


අප්පා මේ වගේ වැස්සක් නම් ආයේ කවදාකවත් මට එපා !. ඇඳුමක් තියා යට ඇඳුමක්වත් වේලගන්න විදිහක් නෑ . වැසිකිලි වල උතුරලා දුර්ගන්ධය මුලු ගෙදර පුරාම. මුලු වත්තම කහම කහ පාටයි.



තාර පාර පුරාම තියන තඩි වලවල් වල . මාලු පිරිලා . කොල්ලෝ මාලු කොටනවා . ලොකූ පොලු අරං මාලුවා දැක්ක ගමං "දේයි ! ගාල වතුරට පතබානවා . මාළු කොටන්න ගෙහුං මගේ ඇඟට වතුර ඉහපු කොල්ලෙක් කන අල්ලගෙන ඉන්නවා මගේ යාළුවෙක් දැකලා තිබුනා.


දෙන්නෙක් ජීවිත වලින් සමුගත්තා ..සෑහෙන දෙනෙකුගේ ගෙවල් යට උනා . ගොවියොන්ට තමයි ලොකුම අලාබහානිය උනේ මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතුව . වතුරෙන් යට වෙච්ච . කුඹුරු දිහා බලාගෙන හූල්ලනවා .


මොනවා කරන්නද අපට සොබාදහම වෙනස් කරන්න බෑනේ . මම හෙට උදේ නැගිටිනකොට වැස්ස පායලා . සියල්ල සාමාන් තත්වයෙන් තියෙන්න කියලා ප්රාර්ථනා කරගෙන මේක ඉවර කරනවා. මේක ලියන්නෙත් බොහොම හදිස්සියෙන් . මොකද කොයි වෙලාවේ කරන්ට් එක යාවිද මන්දා . සමහර විට ඔයාලට අහන්න ලැබෙයි . අහවල් පලාතේ වැවු බැම්මක් කඩාගෙන ගිහිල්ලා කියලා . අන්න පලාතේ තමයි මම ජීවත් වෙන්නේ . ලංකාවේ තියන අන්තිම චාටර් පලාතක් …‍


අනේ වැහි දෙයියෝ දැං නම් හොඳටෝම ඇති

වැස්සට තෙමුනු මීපැටියා

සඳරු//