14.6.11

පච්ච කොටාගෙන. ගෙදර ගියෙමි

   ඉර උපරිමේටම පායලා ! .අහසේ එකම එක වලාකුලක්වත් නෑ . තරම් පායපු ගිනි මද්දහනක වුණත් එදා නම් මාව වෙවුලන්න ගත්තා .මොකක්වත් නිසා නෙවෙයි හිතේ දෙගිඩියාව නිසාමයි .. කාලයක් තිස්සේ හිතේ තදකරලා තියාගෙන හිටපු එක අහිංසක හැඟීමකට පණ දෙන්නයි මගේ මේ සූදානම .පපුව හයියෙන් ගැහෙන්නේ , අත් දෙක වෙවුලන්නේ . අන්න ඒ නිසයි .

දිනය 2010 / සැප්තැම්බර් මාසේ.. 8 වෙනිදා හෝ 9 වෙනිදා .! .
මගේ කතා නොකරන හිතේ ඒ කාලේ බුර බුරා නැඟුණු තවත් එක් මුරණ්ඩු සිතිවිල්ලක් තමයි පච්චයක් කොටා ගන්න එක . ඒ සිතිවිල්ල මගේ හිතට කොහොම ඇතුල් වුණාද..? කවදා ඇතුල් වුණාද ? කියලා මම තවම දන්නේ නෑ . ඒ සිතිවිල්ලට පණ දෙන්න පුදුමාකාරයේ තදියමක් තමයි මටත් තිබුණේ .

වෙනකොට මගේ වයස යන්තම් අවුරුදු 21යි. පච්චයක් කොටා ගන්න නම් ඒ වයස හොඳටම ප්‍රමාණවත් ..ඒත් ...පච්චය කොටාගෙන ගෙදර යන්න නම් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් මදි ..පච්චයත් එක්ක සමාජයට බහින්නත් ඒ වයස කොහෙත්ම ප්‍රමාණවත් නෑ .

ඉතින් කල්පනා කළා.. විටෙක උඩ බලාගෙන ..තව වතාවක මාපටඟිල්ලෙන් පොළව හාරමින් , අතේ නියපොතු කොට වෙන්නම දතින් හපමින් . මම කල්පනා කරා........

අන්තිමට තීරණයක් ..!

ඒත් හිතුවා තව පාරක් !

මේක මුලු ජීවිත කාලෙටම බලපාන තීරණයක් .!
මුලු පවුලටම බලපාන , මගේ මුලු අනාගතයටම , ජීවිතයටම බලපාන තීරණයක් ! නැතිවෙච්ච තාත්තගේ ගෞරවය ..අම්මාගෙයි නංගිගෙයි හිනාව . මේ හැමදෙයක්ම .පරදුවට තබලා ගත්තු තනි තීරණයක් .

ඔවු..! එදා මම ඒ තීරණය ගත්තා .පපුව පිරෙන්නම හොඳ හුස්මකුත් ගත්තා . ඊට පස්සේ පච්චය දකුණු අතේ කොටාගන්න හිත හදාගත්තා ..
අම්මගෙ කඳුළු , නංඟිගේ රැවිලි , නැන්දගේ කොහු පාර , ගමේ උන්ගේ නින්දා , නෑදෑයොන්ගේ පඩත්තර කතා . මේ හැමදේකම බර එකවර මගේ දකුණු අතේ එල්ලගන්නවා කියන්නේ සෙල්ලමක් නම් නෙවෙයි ..දරාගෙන ඉන්න හැකි වේවිද මට ඒ මහා ලොකු බර ? ජීවිත කාලය පුරාම ?

"හ්ම්.. පුළුවන් වේවි ..

බයික් එකට නැගලා හෙල්මට් එකත් තද කරගෙන . සමරේ ගැරිජ් එකේ නන්දනව හම්බ වෙන්න ගිය මොහොත මට තවම මතකයි .
මුලු පළාතෙන්ම පච්ච කොටන වැඩේ කළේ "සමරේ ගැරිජ් එකේ නන්දන" විතරමයි ..නන්දන පච්ච කොටන්න පටන්ගත්තේ මේ මෑතකදී .ඊට කලින් පන්සල් වල චිත්‍ර ඇන්දා , පෝස්ටර් කටවුට් ඇන්ඳා , හරකුන්ට හණ ගැහුවා .! අන්තිමටම පච්ච කොටන ව්‍යාපාරයට බැස්සා..ඉතින් ඔන්න මමත් නන්දනගේ කස්ටමර් කෙනෙක් වෙන්නයි සූදානම .

ඉතින් පච්චය කොටන්නයි සූදානම .. නන්දන එයාගේ පච්ච මැසිමට වැඳලා .. මැසිමේ ගැලවෙලා තිබුණු තැනක් සුපිරි ගම් වර්ගයක් යොදලා ඇළෙවුවා . සිදුවීම දැකලා මගේ හදවත පොඩ්ඩක් ගැස්සුණා .!

"මොකද්ද බං ඔය කරන්නේ ? ඕක කබල් වෙලානම් කියපං අලුත් එකක් ගන්නකම් මම මේ පැත්ත පළාතේ නෑවිත් ඉන්නම් ..

"
නෑ නෑ මල්ලී මේ දැන් හරි ..

නන්දන ඒ පච්ච උපකරණයේ තිබුණු කළු පැහැති උල් කටුව ඉටිපන්දම් දැල්ලකින් පුච්චලා .පුළුන් කෑල්ලකින් පිහිදැම්මා ..

"මචං මේ ඔය කට්ට අලුත් එකක් නෙවෙයිද ? මට මොන සමාජ රෝගෙ හැදෙයිද දන්නෑ බං අලුත් එකක් දාමු . මම ගාන දෙන්නම් ..
"අලුත් කටු නෑ සඳරු මලේ .. මේකෙන් තමයි බං මම ආරොං මාමාගෙයි , චාර්ලිස් සීයාගෙයි බුලට් ගෙයි. ඔය හැම ඩයල් එකකගෙම පච්ච කෙටුවේ ..උන්ට කිසි ලෙඩක් නෑ නේ උං යහතින් ඉන්නවානේ ..

" වුණාට බුලට් මැරුණනේ බං !

" බෙල්ලේ වැල දාගෙන නේ බං ...පිස්සු නැතුව කොටමු ..!

නන්දනගේ තර්ක විතර්ක ඉදිරියේ . මම පසු බැස්සා මේ තරම් දුරට හිත ගලක් කරගෙන ඉඳලා . මේ අවසාන මොහොතේ කට්ටක් හින්දා ගත්තු තීරණය වෙනස් කරන්න මට හිතුණෙම නෑ ..
නන්දන මගේ දකුණු අත ඩෙඩෝල් වතුරෙන් යන්තම් හෝදලා . මම තෝරලා දිපු ඩිසයින් එක ටිෂූ කොළේක ඇඳලා මගේ අතේ ඇළෙවුවා ..ඊට පස්සේ තත්පර දහයකින් විතර ඒක ගලවලා දැම්මා . එතකොට ඒ ටිෂූ කොලේ තිබුණු ඩිසයින් එක මගේ අතේ ලාවට වැදිලා තිබුණා ..

දැන් ඉතින් කොටන්නයි තියෙන්නේ !
දෙදරන පච්ච මැසිම මගේ අතට ලං වුණා .."රිදෙයිද ? මගේ හිත මගෙන්ම ආහනවා ..රිදිච්ච දෙන්" . මම තදින් හුස්ම අල්ලගත්තා . ! බ්ලේඩ් තලයකින් අත කපනවා වාගේ සියුම් රිදීමක් මට දැනෙන්න වුණා ..මම කාගෙන හිටියා .මොහොතකින් ඒ රිදීම මට ආතල් එකක් වුණා .. සමහරුන්ට රිදෙන එක ආතල් එකක් ...

විනාඩි හතළිස් පහකින් විතර පච්චය කොටලා ඉවරයි . යන්තම් මතුවෙච්ච ලේ බින්දු සමග පච්චයේ තින්ත එකතු වෙලා මගේ දකුණු අතේ සුන්දර රටාවක් මැවිලා තිබුණා .මගේ හම සුදු නිසා පච්චය නියමෙට කැපිලා පේන්න පටන්ගත්තා.. මමත් කණ්ණාඩියෙන් ඒ දිහා බලලා . බයික් එකේ නැගිලා ගෙදර ගියා ..

දැන් කළුවර වැටිලා .. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ! ...
ගෙදරට ගිය ගමන්ම මම ඉක්මනින්ම නාගෙන ඉක්මනින්ම නිදාගත්තා ..පහුවදා මම ළිඳ ගාව නාද්දී .මට දුර ඈතකින් කවුදෝ කෑගහන සද්දයක් ඇහුණා ..මම හැරිලා බැලුවා ඒ කෑමොර දෙන්නේ මගේ නැන්දා .. මාව පාලනය කරන කෙනා , ගෙදර ජේලර් තුමිය .!

"සීවරං දෙයියනේ !! .. මෙන්න මූ පච්ච කොටලා ! .. නංගී එළියට වරෙං .. සඳරු මම තෝව අද තියන්නේ නෑ ! හම ගහනවා මම තෝව" . !!
නැන්දා ගස්ලබු ඉත්තක් වන වනා මගේ ළඟට දුවගෙන එනවා ! ..ඇත්තම කියන්නම්. මම බය නෑ කාටවත් .මට ගහන්න සීයක් ආවත් මම දුවන කෙනෙක් නෙවෙයි .ඒත් නැන්දා ඉදිරියේදී මම අත දරුවෙක් විතරයි . මම බාල්දිය විසිකරලා දිවුවා වත්ත වටේ ..

අල්ලපු ගෙදර මිනිහා එබිකම් කරනවා ..! ඇයි අයියේ එබෙන්නේ ඔයාට හාල්ද ? ඌ ගෙට වුණා

කොහොම හරි මම නැන්දාගෙන් බේරුණා ..
ටිකක් වෙලා ගිහින් හැම දේම යහපත් අතට හැරුණා කියලා මට දැනුනාට පස්සේ මම හෙමින්ම ගිහිල්ලා ආයෙමත් මගේ නෑම සම්පූර්ණ කරගත්තා ..ඊට පස්සේ තමයි මම යන්තම් ගෙට ගියේ ..

අම්මා අඬ අඬා තේ හදනවා . නංගිට නම් කිසිම ගාණක් නෑ .හිනා වෙවී ඉන්නවා මුල්ලකට වෙලා .මමත් හෙමීට අම්මා ළඟට කිට්ටු වෙලා ..

"නැන්ද ගියයි ?

"ඔවු අන්න යන්නම යනවා කියලා ගියා ..

"ඔය ගියාට ආයේ ඒවි ..

අම්මා මගේ දකුණු අතේ තිබුණු පච්චය දිහා බැලුවා ..පපුව ආයෙමත් ඩිග් ඩිග් ගෑවා . ගහයි , බණියි කියලානම් නෙවෙයි අම්මා ආයෙමත් කෑ ගහලා අඬන්න ගනීවි කියලයි ..
අම්මගේ ඇස්වලට හැමදාමත් කඳුළු ගෙනාවේ මම . හැමදාකම මම කරේ වැරදිම විතරයි .ගහමරාගෙන ගෙදර එනකොට , බීලා ගෙදර එනකොට . අම්මා හැමදාම කළේ අඬන එක . ඊටපස්සේ මම බීගෙන වලි දාගත්ත දාට . ගෙදර එන්නේ නැතුව වෙන වෙන තැන්වල නතර වුණා . අම්මට කඳුළු දෙන්න බැරි නිසාමයි ..පච්චයක් නිසා මම ආයෙම වතාවක් එයාව ඇඬෙවුවා ..

"මේක නිකං අන්නාසි මලක් වගේනේ .. වෙන ලස්සන මෝස්තරයක් තිබුණේම නැද්ද ?

අම්මා එහම ඇහුවේ කඳුළු අතරින් නැගුණු පුංචි හිනාවක් හංගන්න උත්සහ කරන ගමන්මයි ..මට පුදුම හිතුණා..!
මම වැරදි ඇති .. මට ඕනෑ වුනේ පච්චයක් ගහගෙන පොරක් වෙන්න නෙවේ .! , මම කොහොමටත් පොරක්නේ මට එදා ඕනෑ වුනේ .මගේ ජීවිතේ හැමදාමත් මම ඒ සතුටින් ගතකරපු දවස් අමතක නොවෙන්න මගේම කරගන්නයි .

මේ පච්චයට දැන් අවුරුද්දකුත් වෙන්න ළඟයි . මම මීට කාලෙකට කලින් ගතකරපු ඒ ජීවිතේ , එදා සිද්ධ වෙච්ච සිදුවීම් . මේ හැම දෙයක්ම මගේ දකුණු අත දිහා බලන විට මට මතකෙට එනවා ..! මම මැරෙන කල්ම මේ පච්චය මගෙත් එක්ක ඉඳීවි . මම තරුණ කාලේ කරපු කියපු හැමදෙයක්ම මට ආයෙමත් මතක් කරලා දේවි ..ජීවිත කාලෙ පුරාවටම මගෙත් එක්ක ඉඳීවි ..
මේ හැමදෙයක්ම ඉවර වෙච්ච දවසට . . . . . .
ඔවු ! ඇඟේ පතේ හයිය හත්තිය ඉවර වෙච්ච දවසක. ගහක් යට හීල් හෙවණකට වෙලා. හීනිවට අඩියක් දාගෙන මේ පච්චය දිහා බලලා මම මතක් කරන්නම් .. මගේ ගෙවුණු තරුණ කාලේ ගැන ..

"සත්තයි" මට ඕනෑ එච්චරයි ..!


9.6.11

ආදරබර Network එක හෙවත් ගල් කොරියේ ලවු එක. 2.අවසාන කොටස


කතාව ඉක්මනටම ලියලා දාලා හිත නිදහස් කරගන්න හිතුවත් .බ්ලොගර් වල විටින් විට මතුවෙච්ච ගැටලු හින්දා ලියපු කතාව ප්‍රසිද්ධ කරගන්න මට බැරිව ගියා .අද තමයි යන්තම් ඒකට ඉඩක් ලැබුණේ !

මගේ ගල් කොරියේ ආදර කථාවේ මුල් කොටස ඔයා නොබැලුවානම් ඒකත් බලලම මේ අන්තිම කොටසට එක් වෙන්න ..

ඔන්න ඉතින් කට්ටියටම මතක ඇති මම එදා ගල් කොරියේ මොනවද කලේ කියලා...
මම බයික් එකත් පණ ගන්වාගෙන ..දෙවනි ගල් කොරිය බලා පිටත් උනා . මගේ රාජකාරිය අවසාන වෙන්න නම් . මේ ගල්කොරි දෙකේම පරිගණක ජාලය නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන ..මම පළවෙනි ගල් කොරියේ නෙට්වර්ක් එක නම් පුදුම වෙහෙසක් දරලා දාඩිය පෙරාගෙන හදලා අවසන් කරා. ඊට පස්සේ මම සැර අවුකූටකේ මැදින් දෙවනි ගල් කොරියටත් ළඟා වුනා .


මම ඒ ආපු කිලෝමීටර 10 ම මග දිගටම මට අර මහත කෙල්ලව නිතරම මතකෙට ආවා . ඒකිගේ ඩිජිටල් වොයිස් එක . ඒ බෝල ඇඟිලි තුඩුවල ස්පර්ශය . ඒ හැම දෙයක්ම මගේ හිතේ නොමැකෙන්නම තැන්පත් වෙලා තිබුණා .ඉතින් මම දිගින් දිගටම ඒ මහත කෙල්ල ගැන හිතුවා .


ඔය විදිහට මහත කෙල්ල ගැන හීන දකිමින් මම දෙවනි ගල් කොරියට ඇතුළු වුනා ! .හැම ගල් කොරියකටම ආවේණික සුපුරුදු ගල් කුඩු සුවඳ සමගින් හමාගෙන එන දූවිලි සුළඟ එතනදීත් මම හද පුරාම විඳගත්තා . ඇස් දෙකම දැවිල්ල ගන්නත්. මුළු ඇඟම කසන්නත් පටන්ගත්තා .! ඒත් බාරගත්ත වැඩේ අවසානයක් වෙනකල්ම මට විවේක ගන්න බෑ . මම ඉතින් ගාට ගාට ගිහින් එතන තිබුණු ඔෆිස් එකට ඇතුළු උනා ..දොර ලඟම සිකුරුටි මහත්තයෙක් !

" මම ආවේ ඔයාලගේ කම්පියුටර් ටික සෙට් කරලා දෙන්න මම අනිත් ගල් කොරියේ නම් කම්පියුටර් ටික හරිගස්සලයි ආවේ" ..මම මගේ අයිඩී එක එතන ආරක්‍ෂක නිලධාරියාට පෙන්වන ගමන් කීවා !

" ! මහත්තයා යන්න ඇතුළට .. ප්ලාස්ටික් වලින් නිමවාපු වටිනා කියන දොරක් ඇරලා එයා මට ඇතුළු වෙන්න ඉඩ දුන්නා !


මම නැවත වැඩ පටන්ගත්තා . කාඩ්බෝඩ් පෙට්ටිවලට වෛර බඳින ගමන් . මම ඒවයේ තිබ්බ පරිගණක එළියට ගත්තා .මේසවල යට හිටපු මකුළුවන්ට කුණුහරපෙන් බනින ගමන් .වයර් හයිකරන්න බිම දිගේ මේස යට බඩගෑවා ..කිලෝ ගණං බර CRT මොනිටර උස්සාගෙන මම කාමරෙන් කාමරේට ගියා ..අන්තිමටම .නෙට්වර්ක් කේබල් ටික සවිකරලා මම මොහොතකට සැනසුම් සුසුමක් හෙළුවා . ඒත් මොහොතකටම විතරයි.

ඊළඟට මම මේ නෙට්වර්ක් කරපු ආයතන දෙක එකට සම්බන්ධ කරන්න උත්සාහ කලා .ඒත් ..!! ඇත්තමයි ඒ මොහොතේ මට තරු පෙනුණා !!

මම කලින් නෙට්වර්ක් එක හදලා ආපු ගල් කොරියෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ . කිහිප වතාවක්ම උත්සාහ කළත් මට ඒ නෙට්වර්ක් එක සම්බන්ධ කරගන්න බැරි උනා ..ඉතින් මම තීරණය කලා මේ පරිගණක ටික මෙහෙම්ම තියෙන්න ඇරලා . ආයෙමත් කලින් නෙට්වර්ක් එක හදාපු ආයතනය වෙත යන්න ..මොකක්ද චරද කියලා හොයලා බලන්න .


ආයෙමත් ගිනි කූටක අවුවේ පිච්චෙමින් ගල්කුඩු සුවඳ විඳිමින් මට ආයෙමත් දහ දුක් විඳින්න වෙනවා . ඒත් ඒ සේරම දුක් ගින්දර අමතක වෙනවා එතන ඉන්න අර ඩිජිටල් කටහඬ සහිත මහත කෙල්ලව මතකෙට එනවිට .ඉතින් මම දූවිලි පිහදාගෙන යන්න සූදනම් වුනා !

"මේ පරිගණක එකක්වත් ඕෆ් කරන්න එපා මම ආයෙම එනවා !

එතන හිටි එකම පුද්ගලයා වෙච්ච ආරක්‍ෂක නිලධාරියාට මම අවවාද කලා !
බයික් එකට නැගිලා නැවතත් පළමු ගල් කොරිය බලා පිටත් උනා ..වෙලාව දවල් එකට විතර ඇති . ඉර හරියටම මගේ ඔළුවට උඩින් ..හෙල්මට් එක දාගෙන හිටියත් බයික් එකේ ගමන් කරමින් හිටියත් මගේ කම්මුල් දිගේ දාඩිය බේරෙන්න පටන්ගත්තා .හමාගෙන එන හුළඟත් ගින්දර වගේ රස්නෙයි ..තවත් මට ඉවසන්න බෑ ..


මම උදේ එනකොට පාර අයිනේ හිටපු හරක් දැන් බඩ පිරින්න කාලා ගස් හෙවන් වල දිග ඇදිලා . උනුත් මම තරම් මෝඩ නෑ ! ඒකටත් එක්ක මම ! මේ මහ අවුවේ වැඩ කරන්න තරම් මම මෝඩයෙක් !. ඒත් රැකියාවට ආපු මුල් කාලේ ඕව මට පෙනුණේ නෑ ..ජොබ් එක ඔළුවේ තියාගෙනයි මම වැඩ කලේ.

පාරේ අයිනේ කුඹුක් ගහක් යට බයිසිකලය නතර කරගෙන තැඹිලි විකුනන අංකල් කෙනෙක්ව දැක්කත් ..තැඹිලි ගෙඩියක් බොන්නවත් සල්ලි එදා මගේ පර්ස් එකේ තිබුණේ නෑ . මම දුප්පත් නිසා නම් නෙවෙයි .වෙන මොනවා හෝ හේතුවක් හින්දා එදා මා ගාව සල්ලි තිබුණේ නෑ ..අහක බලාගෙන යනවා ඇරෙන්න මට වෙන කරන්න කිසිම දෙයක් තිබුනෙම නෑ ..


මම ආයෙමත් පළමු ගල් කොරියට ආවා ..මේ වතාවේ නම් කලින් තරම් හුස්ම ගන්න අපහසුවක් තිබුණේ නෑ .කල් කුඩු දූවිල්ලත් ගොඩක් දුරට අඩුවෙලා තිබුණා ..මමත් ආසාවෙන් ඇතුළේ තිබුණු ඔෆිස් එක වෙතට ගියා ..


මම බලාපොරොත්තු වෙච්ච කෙනා ඒ විදිහටම එතන හිටියා .. මම අර කියපු ඩිජිටල් කඩහඬක් තිබ්බ කෙල්ල ..ඔවු බොලවු ! ඒ මහත කෙල්ල.

"දැන් සේරම හරිද සර්"

හිතයි තවත් තැනකුයි හිරිවට්ටලා යන තරම් සුරතල් කටහඬකින් ඒකි මගෙන් ඇහුවා !

"නෑ මෙහේ මොකක් හරි අවුලක් ..

ඇඟේ පතේ තිබ්බ අමාරුවටයි අවු කූටකේ ඇවිල්ලා මට දැනෙන මහන්සියයි හින්දා වෙන්න ඇති මම පුටුවක ඉඳගත්තා .

"සර්ට මම බොන්න මොනා හරි ගේන්නද ?

"නෑ කමක් නෑ

දිව ගිලෙන්න තරම් තිබහක් තිබුණත් ඒකිව එළියට යවන්න මට හිතුණෙම නෑ ..

"මිස් ඔයාගේ නම මොකක්ද ? ඒ මම

"සර් මගේ නම .චම්පිකා ! සර් ගේ නම ?

"සඳරු"

ඔය විදිහට මම එයාගේ නම දැනගත්තා .... තවමත් මගේ ඉහින් කණින් දාඩිය බේරෙනවා.

"අනේ සර් ෆෑන් එකවත් නෑ නේ ! ඔහොම පොඩ්ඩක් ඉන්න ..

එයා මේසේ උඩ තිබුණු ෆයිල් කවරක් අරගෙන මට පවන් සැලුවා ..

උඹලා හිතනවා ඇති මම මේ බයිලා ගහනවා කියලා නෑ බොලවු නෑ ! ඒකි මට පවන් සැලුවා ඇත්තටම ! මටත් මුලදී නිකම් විචිකිච්චාවක් වගේ ඇතිවුනත් මම කාගෙන හිටියා .මොහොතක් යනතුරු ..

"ඔයා මොන අවුරුද්දෙද ..?

"මම 1987 අවුරුද්දේ සර් !"
  මොහොතේ මට මොනවා හිතෙන්න ඇත්ද ? මේ කෙල්ල මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් .!! ඒත් ඒ බව මූණෙන් කියන්න බෑ . බෝල ගෙඩියක් වගේ මහත සුදුම සුදු මේ කෙල්ල මට වඩා වැඩිමල් කියලා මගේ මෝඩ හිතට ඒත්තු ගන්වන්න මොහොතක් කල් ගතවුණා මොහොතකින් පස්සේ මම හිත හදා ගත්තා. ආයේ මම එයාගෙන් ආදරයක් පතන්නේ නෑ . මගේ හිතේ තිබුණු සේරම හඟීම් අතුරුදහන් උනා .

මම ආයෙමත් වැඩ පටන් ගන්න උන් තැනින් නැගිට්ටා .

"සර් මම කාරණයක් කියන්නම් සර් අමනාප වෙන්න එපා !

මට හීන් දාඩිය දැම්මා ආයෙමත් !!

මේකි මට ආදරෙයි කියන්නවත් යනවද ? "අප්පට සිරි එහෙමනම් මම මේකිව පන්නගෙන යනවා . වයස කීය උණත් කමක් නෑ" මම එහෙම හිතාගෙන දත කට මැදගෙන රෙඩි උනා
" මේ ඔෆිස් එක කම්පියුටර් කරාම මට මෙහෙන් යන්න වෙනවා සර් .මහේ වැඩකරන්න මාව ගත්තේ මාස පහකින් කම්පියුටර් පුරුදු වෙන්න කියලා . ඒත් මට තවම ඉගනගන්න බැරි උනා . ඉතින් මාව හෙට අනිද්දාම අස්කරාවි මම විතරක් නෙවේ අපේ ඔෆිස් එකේ ඉන්න ගොඩ දෙනෙක්ව අයින් කරාවි . මෙහේට කම්පියුටර් පුළුවන් අය අලුතින් ගන්නවා කියලා ලියන මහත්තයා අපිට කිවුවා . මට පුළුවන් පොතේ ලකුණු කරන වැඩ විතරයි සර්" ..

මම ගල් ඉබ්බෙක් වගේ බලාගෙන හිටියා !. මොකුත්ම හිතාගන්න බැරිව ! මේසේ උඩ පෑන් ඉරි අඳිමින් අහගෙන හිටියා..
"අනේ සර් මට බනින්න එපා ! ඉස්සල්ලා සර් මෙහෙන් ගිය ගමන් මම අර ස්විච් එක නිවුවා ! සර්ගේ බයික් එකේ සද්දේ ඇහෙනකොටම මම ආපහු ඒක දැම්මා . දැන් මට සර් මෙච්චර අවුවේ මහන්සි වෙනකොට ආයේ ඒ වැඩේ කරන්න බෑ


රවුටර් එක දිහාට අත දික්කරන ගමන් චම්පිකා කියාගෙන ගියා . එහෙනම් ඒකයි නෙට්වර්ක් එක වැඩ නොකලේ ! ..මම ආයෙමත් පරීක්‍ෂා කළා .දැන් සේරම තිතට වැඩ ..ඒත් මේ කෙල්ලගේ ඉල්ලීම ! මම ඒකට මොකද්ද කරන්නේ .?


මේ දවස් වල මමත් මගේ රැකියාවට පණ දීගෙනයි හිටියේ .මට ඒකත් ඕන . මේ කෙල්ලගේ වචනේ අහක දාන්නත් බෑ ...මමත් ඒකිත් දෙන්නම අසරණයි.
මම පරිගණක සේරම නිවලා දාලා වචනයක්වත් කතා නොකර එළියට බැස්සා ..මට ඒ මොහොතේ කෙල්ලට වැඩිය රැකියාව ලොකුයි. මාස ගාණක් මහන්සි වෙලා හදාපු මෘදුකාංගය අමතක කර දාන්න මට නම් බෑ .ජොබ් එකට ආව අලුතම ලොක්කාගෙන් බැණුම් අහගන්නත් බෑ .මගේ යන්තම් පඩිය නැති කරගන්නත් බෑ . ඉතින් මම මගේ පැත්ත ගැන හිතුවා . චම්පිකා ගැන අමතක කලා ...
අනික් පහුවදා මමත් මගේ ලොක්කත් දෙන්නම ආපහු මේ ගල් කොරියට ආවා . අද ගොඩ දෙනෙක් වැඩ .මමත් මගේ ලොක්කත් . අපිට ලැබෙන්න තිබුණු චෙක් එක ගේනකම් බලාන හිටියා .ඇත්ත අපි ඉල්ලපු ගණන අඩු නැතිවම බින්දු ගණනාවක් යොදපු චෙක් එකක් අපිට ලැබුණා බොස්ට නම් සතුටුයි !! . මොහොතේම බාටා සෙරෙප්පු දෙකක් දාගෙන කොළපාට ගවුමකින් සැරසුණු මහත කෙල්ලක් "චටස් පටස් " ගාමින් එතනින් ඇවිදලා ගියා . ඒ ගියේ චම්පිකා ..


සාක්කුවේ තිබුණු ෆෝන් එක බොරුවට රිං කරපු මම ෆෝන් එකත් කනේ ගහගෙන ලොක්කට සැක නොහිතෙන්න එළියට පැනගත්තා . චම්පිකා එළියේ තිබුණු ටැප් එකකින් මූණ හෝදනවා . මම දැනගත්තා ඒ මූණ හෝදන්නේ මොකටද කියලා . එයා උත්සහ කළේ ඇස්වලින් ගලාපු කඳුළු මගෙන් හංගන්නයි . ඒත් වතුර බින්දුයි , කඳුළු බින්දුයි , චෙක් එකේ තිබුණු බින්දුයි අතර වෙනස මම හොඳට අඳුරනවා ...මට පුදුම දුකක් දැනුණා .එච්චරයි .

"මම ලබන සතියේ අයින් වෙනවා සර්" එයා කියපු දේවල් වලින් අද මට මතක එච්චරයි ..
සතියකින් පස්සේ එයා රැකියාවෙන් ඉවත් වෙලා ගියාලු ..ඒත් ඊටපස්සේ එයාට වෙච්චදේ මට ඉඳලා හිටලා මතකෙට එනවා .. එහෙම දෙයක් වෙයි කියලා හිතෙනවා නම් මම ගත්ත තීරණය වෙනස් වෙන්න තිබුණා ..


මම මේ කතාව මෙතනින් නතර කරනවා . මේ කතාව මග නවත්තලා මෙතනින් එහාට වෙච්ච දේවල් ඔයාලගෙන් වහං කරාට සමාවෙන්න. එහෙම කලේ හේතුවක් ඇතුවයි .යම්කිසි දවසක මගේ ගමේ කෙනෙක් මේ බ්ලොග් එක ගැන දැගත්තොත් එදාට චම්පිකා කියලා මම බොරු නමකින් හඳුන්වාපු මේ කෙල්ලව අඳුරගන්නත් එයාලට පුළුවන් වේවි.. මම දන්න කියන කීපදෙනෙක්ම මේ කතාව ලියන්න එපා කියලා මට බල කලා ..ඒත් මේ තාක් දුරට මම මේක ලිවුවා ..


ඊටපස්සේ මොකද උණේ කියලා මගෙන් අහන්න එපා ! මම කීවේ මේ කථාවේ මම සම්බන්ධ වෙච්ච කොටස විතරයි . අහින්සක කෙල්ලෙකුගේ අඳුරු ජීවිතයක් ආයෙමත් එළියට ඇදලා ගන්න මට ඕන කමක් නෑ . මට තවමත් උදේ හවා මුන ගැහෙන චම්පිකා ගැන මට ටිකක් දුකයි

.දවසක මට හිතුණොත් ආයෙත් මේක ලියන්න.. සත්තයි !! බෙල්ල ගහලා ගියත් මම මේක ලියනවා ..

සඳරු //


Image - http://www.clmartinandsons.com/blastingrockwork.html