22.9.11

සරුංගලේ




මම ඇහැවුවොතින් "ජීවිතේ සුන්දරම කාල සීමාව මතකද කියලා ..? වැඩි දෙනෙක් මට කියාවි පුංචි කාලේ තරම් සුන්දර කාල සීමාවක් තවත් නැතෙයි කියලා . මටත් එහෙමයි .පුංචි කාලේ මතක සටහන් මතක් කරකර මමත් තනියම හිනහා වෙච්ච අවස්ථා නම් ඕන තරම් . මේ ලියැවෙන්නේ ජීවිතේ සැහැල්ලු අවධියේ සිද්ධ වෙච්ච තවත් පොඩි සිදුවීමක් .

අගෝස්තු, සැප්තැම්බර් මාස දෙකේ ඔන්න කුඹුරු කැපෙන්න පටන් ගන්නවා . ලංකාවට වැඩිම වී අස්වැන්නක් බෙදන මගේ පළාත කුඹුරු කැපිලා ඉවර වුණු කාලට නිකම් ලාස් වේගස් ටවුම වගේ .ගමේ ගොවියෝ , මෝල් කාරයෝ (වී) , අත් ට්‍රැක්ටර් කාරයෝ , ලොරි කාරයෝ, මුට්ට කරගහන ඈයෝ .මුං හැමෝටම කුඹුරු කැපිලා ඉවර වුණාම මාරම ආතල් වැඩි හිටියොන්ට ආතල් එකක් ලැබෙනකොට ඒ ආතල් එක දෙකෙන් වැඩි වෙලා පොඩි එවුන්ට ලැබෙනවා .

ක්‍රිකට් ගහන්න , ජිල් ගහන්න , සරුංගල් අරින්න . මල් ගහන්න . ගමේ ඉන්න ගොඩක් කොල්ලෝ සූදානම් වෙන්නේ ඔන්න ඔය කියන නිදහස් මාස කීපයේදී තමයි .

මමත් ඉස්සර මාරම ආසාවෙන් ජිල් ගැහුවා .මම ජිල් බෝල චැම්පියන් කෙනෙක් ! . ඒත් පස්සේ කාලෙක නොබිය යුතු දෙයක් බීලා ඒක විස වෙලා ඇහැක ඇති වුණු වපරයක් හේතුවෙන් අද මම ජිල් ක්‍රීඩාවෙන් විශ්‍රාම අරගෙනයි ඉන්නේ .කොහොම හරි ඉතින් මේ සිදුවීම වුණේ නම් ටික කලකට ඉස්සර දවසක .එතකොට මම අට වසරේ ඉගන ගන්න කොල්ලා .

ඒ කාලේ අපේ ප්‍රියතම විනෝදාංශයක් තමයි සරුංගල් ඇරීම . හුළං සැරට තියන කාලෙට මහ ඇලේ බන්ටෙක ළඟට එකතු වෙන අපේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ සරුංගල් අරින හැටි බලන්න ගමෙන් බාගයක්ම එකතු වෙනවා .

මහ ඇලේ බන්ටෙක උඩට වේගෙන් හුළං හමනවා . ඒ සීමාවේ තියන සවි ශක්තිය උපරිම ගස් පවා ඒ හුළඟට පොළවේ ගෑවෙන්නම නැවෙන හැටි බලන්න ලස්සනයි . .බන්ටෙකට එන කෙල්ලෝ නම් පැත්තකට වෙලා ගවුම් කෙටි තද කරලා අල්ලගෙන එක පෙළට වාඩි වෙලා ඉන්නවා මිසක් බන්ටෙක දිගේ ඇවිදින්න නම් යන්නේ නෑ මොකද කීවොත් හුළඟ සැර නිසා ඇඳන් ඉන්න ගවුම් සරුංගල් බවට පත් වෙන නිසා..

ඔන්න ඉතින් ඔය කියන නිදහස් කාල වකවානුවේදී මම සහ මගේ මිතුරු කැල සරුංගල් අරින්න කියලා හිතාගෙන දවසක්දා හවස තුනට විතර අපි හැමදාමත් එකතු වෙන තැන වෙච්චි කුණු ඇල ගාවට එකතු වුණා .

අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ වැඩිහිටියෝ පවා සරුංගල් අරින්න එකතු වෙනවා . අද කාලේ නම් පොඩි එවුන්ටත් සරුංගල් අරිනවාට වඩා කරන්න වැඩ ඕන තරම් තියනවා .

කොහොමින් කොහොම හරි එදා අපි කට්ටියම ගෙවල් වලින් අරගෙන ආපු සරුංගල් වලට පොඩි අලුත්වැඩියාවක් දාමින් හිටියා . සරුංගලේ අලුත් වැඩියා කරනවා කියන්නේ ඒකේ පොඩ්ඩක්කක් විතර ඉරුණු තැන්වලට පැච් දාලා ! රැළි සමබර කරලා බොක්ක පොඩ්ඩක් විතර වැඩි කරලා හදලා ගන්න එකට තමයි . ඔය මොනවා කළත් සරුංගලේ දෙපස රැළි ගණං කලෝතින් නම් සරුංගලේ කූරියා ගහනවා කියලා අපේ ගමේ කොල්ලෝ අතරේ කතාවක් තිබුණා . මාළු ටැංකියක මාළු ගණං කළොත් මාළු මැරෙනවා වගේ තව කතා ගොඩාක් අපේ කොල්ලොන්ගේ කතා පෙට්ටි වල ඒ කාලේ නිතර වාදනය වෙන කියමන් .

අපේ ගමේ ඉන්න සරුංගල් සූරයා තමයි සුරංග අයියා . එයැයි හදන බොහෝම පුංචි සරුංගලයක් වුණත් සෑහෙන්න ඉහළ නගින බව අපි හැමෝම දැකලා තිබුණා . ඒක නිසා සුරංගට කියලා සරුංගලයක් හදාගන්න ගමේ කොල්ලෝ අතරේ පුදුම තරඟයක් තිබුණා. 

ඉතින් අපිත් එදා අපේ සරුංගල් වල අඩු වැඩිය පොඩ්ඩක් හදාගෙන සරුංගලේ ටියුන් කරගන්න හිතාගෙන .සුරංග හම්බෙන්න උගේ ගෙවල් පැත්තට ගියා . මේ හුළං කාලෙට සුරංග බරටම සරුංගල් හදනවා .වටේ පිටේ ඉන්න හොටු කොල්ලෝ සේරම සුරංග ගාව බිම ඇන තියාන ඌ සරුංගලේ හදන හැටි කෙළ බේර බේර බලං ඉන්නවා .සුරංගයා නිතරම කීවේ ඌ හදන සරුංගල් ඉහළ නගින්නේ උගේ අත් ගුණේ නිසා කියලා ..

අපි සුරංග අයියගේ ගෙදර වැට මායිමට ගියා . අපිත් එක්ක හිටපු රසික සුරංට ගෙන් කෑගහලා මෙහෙම ඇහුවා

"සුරං අයියා . අපේ සරුංගලේ පොඩ්ඩක් මෙවුවා කරලා දියංකෝ .”

බිම ඇන තියාගෙන හිටි හොටු කොල්ලෝ කීපදෙනෙක් සුරංග ළඟ ඉඳන් සුරංගට මොනවාදෝ කොඳුරන්න ගත්තා . වැට මායිමේ කඩුල්ල ළඟ හිටි මට ඒ වචන ඇහුණේ නැති වුණාට ඒ කියාපු දේවල් හිතාගන්න පුළුවනි .

"අනේ අයියේ උන්ට ඉස්සරවෙලා මගේ සරුංගලේ හදලා ඉන්න " උං කියන්න ඇත්තේ ඔන්න ඔහොම වචනයක් .

ලබ්බ තිබ්බා වගේ හිටපු සුරංග නෙවේ යන්තම් වත් හෙලවුනේ .! ඉතින් අපිත් කඩුල්ලේ උණ ලී තුනට අතරින් රිංගලා සුරංගගේ වත්තට ඇතුළු වුණා .

" සරුංගල් ටික පොඩ්ඩක් හදලා දියංකෝ බං" ඒ වතාවේ වචන මගේ

"ඇයි උඹලට අත පය නැද්ද ? ගාන රුපියල් දහයයි උඹලා සල්ලි ගෙනාපල්ලා මම වැඩේ කරන්නම් .ගනිං සල්ලි ගනිං !! සල්ලි සලී , සල්ලී

සුරංගගේ කතාවට මට මල පැන්නා ඌට කුණු හරුපයක් කියාගෙනම මම ආයෙමත් කඩුල්ල පැත්තට ගියේ ආයේ කිසිම දවසක සුරංගයාට උදවුවක් කරන්නෑ කියලා හිතාගෙනම . අනික් කොල්ලෝ ටිකත් මගේ පස්සෙන් වැටුණා .

අපි පැරදිලා පාර දිගේ යන අතරේදී "අපි අලුත් සරුගලයක් හදමු" කියන අදහස මගෙන් එළියට ආවා . අනික් අයත් එකහෙළාම ඒ අදහස අනුමත කළේ සුරංගගේ සරුංගලයට වඩා උඩ යන එකක් අපිට හදන්න පුළුවන් කියන වචනෙත් එක්ක .

"අපි කස්ටියම එකතු වෙලා හදමු ලොකූ සරුංගලයක් .! සල්ලි කීයක් ගියත් කමක් නෑ එලම කිරිවට අපි සරුංගලේ හදමු" . අන්තිමට අපි හැමෝම එහම තීරණය කලා .

අපිට දවස් තුනක්ම ගතවුණා අලුත් සරුංගලේ හදාගන්න . රතු පාට සවු කොළ ගෙනල්ලා කොළ පාටින් රැළි දාලා දිග වලිගයක් දැම්මාම සරුංගලේට නියම ලුක් එකක් ඇවිදින් තිබුණා . මට මතක විදිහට ඒ සරුංගලේ හදලා ඉවර වෙනකොට . අපේ කට්ටියටම රු 20 විතර වැය වෙලා තිබුණා . අපිට මුදල් වියදම් වුණේ නම් සවු කොළ වලටයි , සන් නූල් පන්දුවටයි විතරයි . අනික් හැමදෙයක්ම අපි වටෙන් පිටෙන් හොයාගත්ත එවා .

අපි සරුංගලේ හරි මැද . පිරිත් කොටුවේ අලවනවා වගේ ලස්සන පොඩි රටාවක් කපලා ඇලෙවුවේ . ඒක උඩ ගියාම ලස්සනට පෙනෙන්න . කොහොමින් කොහොම හරි අපි හදාපු සරුංගලේට බොහොම ලස්සන පෙනුමක් ඇවිදින් තිබුණා. කට්ටියම එකතු වෙලා හදාපු නිසා වෙන්නැති .

"අපි මේක දැන්ම යවන්නැතුව හෙට යවමු . හෙට ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අපි මේක අරගෙන ගිහින් සුරංගයට පේන්න යවමු . “සෙට් එකේ කවුරු හරි කෙනෙක් එහෙම යෝජනා කළා .

පහුවදා ඉස්කෝලේ පළවෙනි පීරියඩ් එක ඉඳලා අටවෙනි පීරියඩ් එක වෙනකම් අපි හිටියේ ඇඟිලි ගැන ගැන . ඒ කාලේ ඉස්කෝලේ අරින්නේ හවස දෙකට . ඉතින් අපි ඔරලෝසු දිහා බලමින් . සරුංගලේ ගැන පම්පෝරි ගහමින් සිහින මවමින් පන්තියට වෙලා වාඩිවෙලා හිටියා .

අපි එදා හවස සරුංගලේ අරගෙන ඇල ඉස්මත්තට එනකොට එතන තවත් විස්සක විතර කාණ්ඩයක් සරුංගල් අරින්න එකතුවෙලා හිටියා . කෙල්ලෝ කට්ටියක් වල්පල් කතා කරමින් ඇල ඉවුරේ වැවෙන කහපාට කදුරු මල් එක්ක සෙල්ලම් කරමින් සරුංගල් ඉගිලෙන දිහා බලමින් හිටියා .

අපිත් කරඬුවක් වඩම්මන්නා වාගේ බොහෝම ගෞරවයෙන් අරගෙන ආපු අපේ මහා සරුංගල් රාජයා . හෙමිහිට එළියට ගත්තා . වටේ පිටේ හිටපු හැමෝගෙම ඇස්වල බැල්ම පැහැරගන්න අපි හදාපු ලොකු සරුංගලේට පුළුවන් වුණා.

"අපොයි ඕක උඩ යන්නෑ . !!”

"බලපල්ලකෝ මෝඩයිනේ ඕකේ ලොකු , ඕකේ බොක්ක වැඩියි , අපරාදේ සල්ලි . !

ඔන්න ඔය වගේ කයි කතන්දර , ඇස්වහ කටවහ මැද අපි අපේ සරුංගලේ ගුවන් ගත කරන්න සූදානම් වුණා .

කුඹුරු පැත්තේ ඉඳලා හමාගෙන ආපු ලොකුම ලොකු සැඩ හුළඟකට අහුවෙලා සරුංගලේ උඩ ගිහින් වට දෙකක් විතර කැරකිලා ඇල ඉවුරේ තිබුණු .වරා පඳුරු ගොඩක් උඩ රැඳුණා . ! වටෙන්ම ඇහුණේ මහා හූ හඬක් !! . අපිට දැනුණේ හරියට සෙනග මැද අපේ රෙදි ගැලවුනා වාගේ හැඟීමක් .

රසික ආයෙමත් නූල ඇදං ඇල පාර දිගේ දුවන අතරේ ඔන්න දෙවියන් විසින් පිඹපු හුස්ම පොදක් වාගේ සියුමැලි හුළඟක් ආවා .! පොඩ්ඩක් අමාරුවෙන් වගේ අහසට නැගුණු සරුංගලා උඩු හුළඟට ඇහුවෙලා එකවරම ඉහළ නැඟුණා . ගොඩාක් ඉහළට ..! උපරිම ඉහළට !. අනික් හැම සරුංගලයක්ම පහු කරගනෙ ඉහළට.!

අපිට දැනුණේ වචනෙන් කියන්න බැරි තරම් අමුතු හැඟීමක් . සතුට එකතු වුණු ආත්ම ශක්තිය කැටි වුණු සල්ලි වලට ගන්න බැරි අපූරුම හැඟීමක් තමයි ඏඒක . සරුංගලේ උඩ ගියා විතරයි හැමෝම ඒක දිහා බලමින් සතුටුවෙන්න ගත්තා . ඒ ගැන කතා වෙන්න ගත්තා . කලින් අශුභවාදී අදහස් දුන්නු අයත් අපේ සරුංගලේ බලමින් සතුටු වුණා .

අපිටත් සතුටුයි .

ඒත් සතුට කොතනද එතන දුකකුත් රැඳිලා ඇති .. !

අපේ සරුංගලේ කන්ට්‍රෝල් කරේ අපි කට්ටියම මාරුවෙන් මාරුවට . අපේ කවුරුහරි කෙනෙක් සරුංගලේ යව යවා ඉන්න අතරේ අපි නොහිතපු දෙයක් සිදුවුණා .

සරුගලේ සෑහෙන්න ඉහළ ගියා . පදවන්නා අතේ තිබුණු නූල් පන්දුව ටිකෙන් ටික හිස් වෙන්න ගත්තා . සන් නූල් බෝලේ අන්තිම හරියට වෙනකම් නූල් අඩු වුණා . . . . ! ඒ සන් නූල් බෝල වල අවසානයේ ගැටයක් දාලා නෑ නූල තියෙන්නේ නිකම්ම . ඉතින් අපේ සරුංගලෙත් . නූල අරං එකවරම ඈතට ඇදිලා ගියා .

අපිට දැනුණේ හරියට අපේ ඇඟේ කෑල්ලක් අපිට නැතිව ගියා වාගේ . වටේ හිටපු වැඩිහිටියෝ ඒ සරුංගලේ පස්සේ දුවලා ඒකේ නූල අල්ලගන්න ගොඩාක් උත්සහ කළා . ඒත් ඒ සරුංගලේ අපිව දාලා යන්න ගියා . බයිසිකල් වල නැගිලා ගම වටේම සරුංගලේ හොයන්න ඇවිදපු අපිත් හවස හයට විතර බඩගිනි දැනුණ නිසාම ගෙදර ගියා .

පහුවදා නිවාඩු දවසක් .

මම උදේ පාන්දර මූණ හෝදන අතරේ .මාව හම්බවෙන්න දුවගෙන ආපු මගේ සරුංගල් මිතුරෙක් කීවේ . අල්ලපු ගමේ කොල්ලෙක් ගාව අපේ සරුංගලේ තියනවා කියලා දැනගන්න ලැබුණු බව . මමත් ඉක්මනට තේක බීලා අනික් අයත් එක්ක අල්ලපු ගම බලා බයිසිකල් වලින් පිටත් වුණා .

අපි ඒ කීව ගෙදරට යනකොටත් සරුංගලේ ඒ ගෙදර මිදුලේ ක්‍රෝටන් ගහක එල්ලි එල්ලී තිබුණා ඒ සරුංගලේ රැළි එක්ක සෙල්ලම් කරමින් හිටියේ අමු හෙළුවෙන් හිටපු පොඩි එකෙක් !! ඌ අපිව දැක්ක හැටියේ ගේ ඇතුලට දිවුවා .

සරුංගලේ දැක්කම අපිට දැනුණේ පුදුමාකාර සතුටක් .

"ගෙදර කවුද ? ගෙදර කවුද ?

අපිත් ගෙදර අයට කතා කළේ සරුගලේ ඉල්ලගෙන යන එක නොකියාම අරගෙන යනවාට වඩා හොඳ නිසා .

"..! මොකද ?

ගෙදරින් එළියට ආවේ මම කවදාවත් දැකලා නැති ටිකක් අහංකාර ගැමි බුවෙක් .!

"මාමා මේක අපේ සරුංගලේ අපි ආවේ මේක ගෙනියන්න ආවේ ගන්නද ? “

"මොකක් !! මේ මේ ළමයි මගෙන් ගුටි නොකා යනවද ? මේක මේ අපේ පොඩි එක්කෙනාට මම හදා දීපු සරුංගලේ .ආවද ඒකට අයිතිවාසිකම් කියන්න .

අපේ සෙට් එකේ රසිකට ඇඬෙන්න වගේ .

"මේ තියෙන්නේ අපි කපලා අලවාපු කැටයම් ටික එහෙම්ම මේක අපේ සරුංගලේ .” රසික කඳුළු පුරෝගෙන එහෙම කීවත් . ගෙදර මහ එකා නෙවෙයි යන්තම්වත් අපි කියන දේ පිළිගත්තේ .

"පලයවු යන්න ගුටි නොකා . !ඒ වෙනකොට අපි අටවසරේ . ඉතින් ඔළුව නමාගෙන එළියට බහින එක තමයි අපිට කරන්න තිබුණු එකම දේ .. ඒත් .. අපි කාටත් දෙවනි නෑ පොඩිකාලෙත් එහෙමයි අදත් එහෙම්මයි .

"අපි සරුංගලේ ඉරලා දුවමු බං .! " ඒ අදහස මගෙත් එක්ක හිටි මිතුරා කණිශ්කගේ .!

"රායිට්.!! අන්න එහෙම කරමු" . මමත් එක පයින්ම ඒ යෝජනාවට කැමති වුණා .

එකපාරටම සරුංගලේ ළඟට පැනපු අපි දෙන්නා . සරුගලේට මිටි ගුලි ගුස්ති පාවල් දෙකක් දුන්නා ඒක සුණේ සුන් වෙන්නම . අපි ආදරෙන් හදාපු සරුංගලේ , අපිට සතුටක් දුන්න සරුංගලේ ඔය කිසිම දෙයක් අපි ඒ මොහොතේ හිතුවේ නෑ . "අපිට නැතිනම් උඹලටත් නෑ !!” අපි හිතුවේ ඔච්චරයි .

ගෙදර පොඩි එකා කෑගහලා අඬන සද්දේ අපිට ඇහෙනවා .. අපිට ආතල් ..පට්ට ආතල්

අපි පණ කඩාගෙන දිවුවා . මුලින්ම දිවුවේ මම. මම දුවලා ගිහින් කඩුල්ලට උඩින් පැන්නා . රසිකත් පැන්නා .අනික් අයත් පැන්නා

දුවල ගියපු මම මම බයිසි කලේට නැංගේ හැටට හැටේ පාගන්නම් කියලා හිතාගෙන . ඒත් එකපාරටම "දඩාස්..!!” ගාලා සද්දයක් ඇහුණා .

කණිෂ්ක වැටේ වැදිලා කැරකිලා බිම වැටුණා .ඌට කඩුල්ල උඩින් පැනගන්න බැරි වෙලා ! . උගේ පස්සෙන් දුවගෙන ආපු ගෙදර බුවා . කණිශ්කගේ පිට මැදට අත පුරෝලා සොට් හතරක් දුන්නා . කණිෂ්ක අඬන්න ගත්තා . . . . ! උගේ කකුලෙන් ලේත් එනවා .

අපි ආපු පාරෙන්ම ගිහින් කණිශ්කගේ ගෙදර අයට මේ සිදුවීම අකුරක් නෑර කීවා . අපි දැනගෙන හිටියේ නෑ අපි ඒ කළේ කොයිතරම් වරදක්ද කියලා . අපි වාචාලයෝ වගේ . අපේ හිතේ තිබුණු දේ කියාගෙන ගියා .ඔන්න එතකොටම කණිශ්කගේ අයියලා දෙන්නා . බයික් එකට නැගලා බොහෝම වේගෙන් කණිෂ්කට ගහපු කෙනා හොයාගෙන ගියා ..

අපිත් ගෙදර ගියා .. !

පහුවදාට එළි වෙනකොට . අපේ ගෙදරට පොලීසියෙන් ඇවිත් .පොලීසියේ අය ඇවිදින් තිබුණේ මගෙන් කට උත්තරයක් ගන්න .ඒත් මගේ අම්මා පොඩ්ඩක්වත් ඒකට කැමති වුණේ නෑ මාව කාමරේට දාලා දොර වහලා අම්මා කොහොම හරි පොලීසියේ අයව පිටත් කරලා ඇරියා .

කණිශ්කගේ අයියලා දෙන්නා ගැමි බුවාට නෙලලා එන අතරේ ඒ ගමේ සෙට් එක එකතු වෙලා ආයෙමත් උන් දෙන්නට නෙලලා බයික්කේ කුඩු කරලා .!! ඊට පස්සේ අපේ ගමේ ඇයෝ සේරමල්ල ගිහින් උන් එක්ක ගහ මරාගෙන .

සරුංගලයක් ගිය දුරක් !!

ගම්මාන දෙකක් ගහ ගත්තා . බඩු මුට්ටු කඩා ගත්තා .අත පය කඩාගත්තා .පොලීසි ගියා ., උසාවි ගියා . කවුද හිතුවේ රුපියල් විස්සකට හදාපු සරුංගලයක් මේ තරම් වින්නැහියකට මුල වේවි කියලා .

හැමෝම දෝස්මුරේ දැම්මේ අපිට.

ඔය සිදුවීමෙන් පස්සේ වැඩිහිටියෝ ළමයින්ට සරුංගල් ඇරීම තහනම් කළා ! .අල්ලපු ගමට බේතක්වත් හොයාන එන්න යන එකටත් නතර කළා . මහ රෑ අලි ඇවිදින් ඒ ගමේ උන් හූ කියලා කෑගැහුවත් අපේ ගමේ උං නෙවේ යන්තම්වත් ඒ පැත්තට හැරිලාවත් බැලුවේ .. අදටත් මගේ ගමෙයි අල්ලපු ගමයි අතරේ තියෙන්නේ පුදුම වෛරයක් .ඊට පස්සේ කීප විටකදීම අපේ ගමත් ඒ අල්ලපු ගමත් අතරේ ගුටි කෙළි කීපයක්ම ඇවිලුණා මට හිතෙන විදිහට තව අවුරුදු ගණනාවකට ඒ රණ්ඩු සරුවල් නම් අවසන් වෙන එකක් නෑ . !

මේ කතාව ඇතුළේ ලොකු දෙයක් නෑ ඒත් ගම්මාන දෙකක් අමනාප කරවපු මේ සරුංගල් සෙල්ලම මට ලේසියෙන් අමතක කරන්න බැරි නිසාම මේ කතාව ලියලා දාන්න හිතුණා .. !

ආයෙමත් සරුංගලයක් යවන්න ආසයි ..! මට තවම සරුංගල් හදන විදිහත් මතකයි .ඒත් ඉතින් ආයේ නම් සරුංගල් යැවිලි නෑ මොකද කීවොතින් මම දැන් ඉන්නේ සරුංගල් යවන වයසක නොවන නිසා.

"කාලය මැවු වෙනසක අරුමේ !!

16.9.11

මුහුණ වසාගත් කැම්පස් තරුණියගේ අභිරහස 2



පලමු කොටස

මා කල ගවේශන 1


පහුගිය කොටස අවසන් වුණේ මම ජනාලැයි ගෙදර ගිය වෙලාවේ ජනා සහ මම අතර වෙච්ච දෙබසකින් .

"
සඳරු මල්කාන්ති වෙන එකෙකුට ගිහිල්ලා නම් මට ඉඳලා වැඩක් නෑ සඳරු . මම ඒකිගේ ගේ ඉස්සහටම ගිහිං මගේ ටී56 න් වෙඩි වෙඩි තියාගෙන මැරෙනවා ! “

අද එතන සිට ..


#@^!** උඹ මෝඩ වැඩ කරන්න හදන්න නම් එපා හරී.! මේක මම බලාගන්නම් .උඹ නිකං ගොං වැඩ කරලා නරි ආතල් අරං රට්ටු හිනස්සවන්න විතරක් හදන්නෙපා .

ඒ තරවටුවට ජනාගේ හිත පොඩ්ඩක් හැදුණා මම මේක හොයා බලනවා කීවාම ඌට සතුටුයි . ලවු කේස් වලදි මම මගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැති බව මේ ගමේ ඕන එකෙක් දන්නවා මගේ අවුරුදු ගානක පාසල් ගමනත් නැතිවෙලා මම පාසලෙන් ඉවතට වීසි වුණේ ඔය වගේ යාළුවෙකුගේ ලවු හුටපටේකට උදවු දෙන්න ගිහින් කියන වග මේ ගමේ හැමෝම දන්නවා .

එදා හැන්දෑවේ අපි තුන් දෙනෙකුගෙන් යුත් රස්තියාදු බලාකායේ ප්‍රධාන කතාබහ වුණේ . මල්කාන්ති බඩ වීම කියන කාරණාව . මමයි ජනයි , රවීන් මලයයි . ඒකිගේ ගෙවල් පැත්තට හෙම්ට ගෑටුවා .

මල්කාන්තිගේ ගෙවල් තියෙන්නේ පොඩි පල්ලමක පාරේ ඉඳන් බැලුවාම පහළ වෙන දේවල් යසට බලාගත හැකි . අපි තුන් දෙනාටම ඕනෑ වුණේ මල්කාන්ති ගෙදර ඉන්නවාද නැද්ද කියලා හරියටම දැනගන්න. අපිත් ඉතින් කතාවෙන් කතාවෙන් මල්කාන්තිලෑ ගෙවල් කිට්ටුවටම ආවා .

"
මේ සඳරු අයියා අපි මල්කාන්ති අක්කලෑ ගෙදරට ගිහිං අහමු නේද ඒයා ආවද නැද්ද කියලා නේ ?ඒ මෝඩ අදහස රවීන් මල්ලිගේ

වයස අඩු හින්දම මුගේ මොළේ ටිකක් අඩුයි . මම එහෙම හිතලා පස්ස පැත්තෙන් හිනා වෙලා මූට මෙහෙම කිවුවා

"බොල නරියෝ . මැට්ටෝ ! කෙල්ලගේ ගෙදරින් ඒකිව හංගං ඉන්නවා නම් අපි ගියාම කියාවිද "මේං ඉන්නවා කියලා..? " . කෙල්ල ගමේ ආව බව අපි දන්නවා කියලා ගෙදර උන් දැනගත්තොත් ඒකිව ආයේ වෙන කොහාට හරි මාරු කරයි . අපි මචං ටොප් සීක්‍රට් රහස් පරීක්‍ෂක ගේමක් දෙමු .”

රවීන්ට හිනාවක් ගියා ."අඩෝ මට චූ බරකුත් එනවා බං මේ අභිරහස් ගතියට" රවීන් කියනවා ඌ කොහොමත් රහස් වැඩ වලට ආසයි .

මම ෂර්ලොක් හෝම්ස් පොත් සෙට් එකම කියවලා තියන නිසා මම මේ සිදුවීමේ මූලිකත්වය ගත යුතු බව මමම ඒක මතිකව තීරණය කළා . අනෙක් දෙන්නගෙනුත් කිසිම විරෝධයක් පල වුණේ නැති නිසා මම කරන්න ඔන්න දේවල් සහ ගහන්න ඕන ප්ලෑන් ගැන අනෙක් දෙන්නට විස්තර කරන්න පටන්ගත්තා .උන් දෙන්නත් ඉතින් මගේ කට පල්ලෙන් අහං ඉන්නවා .

"
ජනා උඹගේ බයිසිකලේ චේන් එක පන්නවපං .. “

"
ඇයි බං ඒ .?”
 
"එතකොට අපිට චේන් එක දානවා වගේ රඟ දක්වමින් ටිකක් වෙලා මෙතන කල් ගන්න පුළුවන්. අනික එතකොට පාරේ යන එවුවෝ අපි ගැන කැත හිතින් බලන්නෙත් නෑ. උඹ චේන් එක දාන අතරේ මම ගෙවල් පැත්ත බලන්නම්. රවීන් උඹ වට පිට බලපන් . මොකෙක් හරි පාර දිගේ එද්දී . අපි තුන් දෙනාම චේන් එක දාමු .. හරිනේ ..!”

මම එහෙම කියලා චේන් එකේ තිබුණු මජං ටිකකුත් අතේ ගාගත්තේ කාටවත් සැක නොහිතෙන්න. මම විනාඩි කීපයක්ම පහළ තිබුණු මල්කාන්තිගේ ගෙදර දිහා බලාන හිටියා . ගෙදර දොරවල් දෙකම වහලා . වීදුරු ජනේලත් සේරම වහලා . ඒත් උංගේ ගෙදර තිබුණු බටකොල ඇන්ටනාවේ රතු බලුප් එක දැල් වෙනවා . දක්‍ෂ රහස් පරීක්‍ෂකයෙක් වුණාම හැම දෙයක්ම නිරීක්‍ෂණය කරන්න එපෑය ! "හ්ම්..ඒකෙන් කියවෙන්නේ ගේ ඇතුළේ කවුරු නමුත් ටීවී බලමින් ඉන්නවා .”

අපි තුන් දෙනා මල්කාන්තිගේ ගේ ඉස්සරහා පාර ඉඳගෙන පැයගාණක් එබිකම් කෙරුවත් මල්කාන්ති ගැන යන්තමින්වත් හෝඩුවාවක් දැනගන්න අපිට නම් බැරි වුණා . ඉවසලා ඉවසලා බැරිම තැන . බලෙන්ම පන්නවාපු බයිසිකලේ චේන් එකත් අමාරුවෙන් දාගෙනම අපි ගෙවල් බලා යන්න පිටත් වුණා

මම හිටියේ බර කල්පනාවක . ජනත් බිම බලාගෙන හෙමීට ගාට ගාට එනවා . රවින් බයිසිකලේ තල්ලු කරනවා . බොරළු පාර දිගේ ආපු අපි තුන්දෙනා කටු කුසුම් ඇන්ටිලාගේ වත්තෙන් පැනලා සෝට්කට් එකක් දාගෙන ඇල පාරට ආවා .

"
සඳරු අපි හෙටත් පොඩ්ඩක් විපරම් කරලා බලමුද ?”
 
ජනා මගෙන් බැගෑපත්ව එහෙම ඇහුවත් ඒ වෙද්දී මට මේ කරදරේ තිත්ත වෙලා තිබුණා . එක පාරක් මේ වගේ දේකට ගෑවිලා වින්ද දුක දන්න නිසාම මට මේ කේස් එකෙන් පැනලා යන්න හිතයි .ඒත් එදා මගෙන් ආදරේට උදවු අරගෙන මාව පාවා දීපු එකා වගේ නෙවෙයි ජනා ඌ මට පණ වගේ, මගේම සහෝදරයා වගේ . ඒවුණත් ඒ යාළු ෆිට් එකෙත් හිතේ තදකරගෙනම

"
මට හෙට වැඩ නේ මචං .” මම බෑ නොකියා බෑ කීවා !

"උඹත් නැත්තම් කවුද බං මට උදවු කරන්න ඉන්නේ ?.අනික් එවුන් නිකං කතාවට විතරයි ඉන්නේ උඹ එහෙමද ? එදා මම අරකිව මට ඕන කියාපු ගමන් උඹ මට ඒකිව ගෙනල්ලා දුන්නා මට මේ පාරත් උදවු කරපන් සඳරු ..

"මම හෙට නොගිහින්ම බෑ මචං . මම කියන්නම් . මම හෙට හතරට විතර ඔෆිස් එකෙන් පැනලා එන්නම් . උඹලා දෙන්නා දවල්ට පොඩ්ඩක් ඔළුව දාලා බලපල්ලා . මොනවා හරි විශේෂ දෙයක් වුනොතින් මට කෝල් එකක් අර කියපල්ලකෝ .!

"
හ්ම් එහෙනම් එහෙම කරමු බං. ජනත් බැරි බැරිගාතේ "හා" කිවුවා .

එදා ගෙදර ගියත් මට නිදහසේ නින්දක් දාගන්න නම් බැරිව ගියා . ඒ මොකද කියනවා නම් ජනා මොනවා හරි පිස්සු වැඩක් කලෝතින් ඒකෙන් කොටසක් මගේ ඇඟේ පතේ පටවන්න මගේ තරහා කාරයෝ කීපදෙනෙකුත් බලං ඉන්න බව මතකෙට ආපු නිසාමයි .

මල් කාන්තිට හිතින් ලවු කරපු තවත් එක සත්‍ය ප්‍රේම බුංගයෙක් තමා වික්ටර්

වික්‍ටර් ඇවිල්ලා අපිට වඩා වසර කීපයකින් වැඩිමල් . නගර සභාවේ තේ හදන, ෆයිල් ට්‍රාන්ෆර් කරන පියන් ජොබ් එක තමයි මිනිහා කරේ . ඒත් ඉතින් මිනිහා හිතාන වුන්නේ මිනිහා ඉන්නේ දිසාපති තුමාටත් ඉහළින් කියලයි .

මල්කාන්තිව මම ජනාට සෙට් කරපු බව අපේ කොල්ලෙක් වික්ටර්ට කියාපු දවසේ ඌට මල පැනලා මට ගමේ හෝල් හන්දියට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා . ඒ එන්න කියලා තිබුණේ වලියට .මමත් පස්ස ගැහුවේ නෑ . ජනාවයි තව අපේ කොල්ලෝ කීප දෙනෙකුවයි එකතු කරගත්තු මමත් කියා තිබුණු වේලාවට කලින්ම එතනට ගිහිං වික්ටර් අයියා එනතුරු බයික් හරස් කරගෙන වාඩි වෙලා හිටියා . ඒත් වික්ටර් ආවේ නෑ. ආවානම් එදා ඌට ගහන්න හිටියෙත් මම නෙවෙයි ජනා. ඒ වුණාට එදයින් පස්සේ පාරෙ තොටේ කඩපිලේ කොහේදි මාව දැක්කත් කාරලා කෙළ පාරක් ගහලා තමන්ගේ හිතේ මං වෙනුවෙන් කැකෑරෙන වෛරය එළියට දාන්නත් වික්ටර් අමතක කළේ නෑ .දැන් ගම පුරාම පැතිරිලා යන "මල්කාන්ති බඩ වීම" කියන කටකතාවත් පතුරුවන්න මූලික වෙන්න ඇත්තේ වික්ටර් ගොයියම තමයි .

මට ආපු තරහව වැඩිකමට මට දත්මිටි හැපෙන්න ගත්තා .

පහුවදා උදේම වැඩට ගියත් මම හිටියේ හොඳටම කලබල වෙලා . මම හැට පාරකට වඩා මල්කාන්තිට කෝල් කරන්න ඇති . ඒත් ඒ ෆෝන් එක මම අමතන කොයි මොහොතේත් ඕෆ් වෙලා තිබුණා.

කොහොමද මල්කාන්තිව කන්ටෑක් කරගන්නේ .? ලඟපාතකවත් කැපස් එකතිබුණා නම් ගිහිං බලන්න තිබුණා . ඒත් පැය 8ක දුරකින් පිහිටි තැනකට යනවා සහ ආයේ එනවා කියන්නේ සෙල්ලමක් නෙවේ . ඒක නිසා මල් කාන්තිව හොයාගෙන යන අදහස මම අමතක කරලා දැම්මා .

"දැන් ඉතින් මොකද කරන්නේ..?" හිතමින් ඉන්න අතරේ ඔන්න මට නියම අදහසක් කල්පනාවට ආවා .
මල්කාන්තිගේ යාළුවෙක්ගේ ෆෝන් නම්බර් එකක් හොයාගත්තා නම් වැඩේ හරි . එයාට කෝල් කරලා බැලුව හැකි මල්කාන්තිට මොකද වුණේ කියලා .

මම ඒ මොහොතේ පටන් සේරම වැඩ පැත්තක දාලා මගේ ෆෝන් එකේ තිබුණු දන්න අඳුන අයගේ අංක ඩයල් කරන්න පටන්ගත්තා .ඔන්න ඔහොම යනකොට එක යාළුවෙක් මට අහවල් කැම්පස් එකේ ඉන්න තමන්ගේ මිතුරෙකුගේ අංකයක් ලබා දුන්නා . මමත් හනි හනිකට ඒ අංකයට කතා කළා .

"
හලෝ !” 

"හලෝ මම මේ සඳරු කියලා කෙනෙක් කතා කරන්නේ ඔයාගේ නම්බර් එක මට දුන්නේ අහවලා . මගේ යාළුවෙක් ඉන්නවා ඔයි කැම්පස් එකේ මට පොඩ්ඩක් එයාට පයිණ්ඩයක් දෙන්න පුළුවන්ද ? එයාගේ ෆෝන් එක වැඩ නෑ"

"
හා මම බලන්නම් මොකද්ද නම ?

"
නම මල්කාන්ති. අහවල් අවුරුද්දේ කෙනෙක් අහවල් සබ්ජෙක්ට් තමා කරන්නේ"

"
හරි හරී මට පොඩ්ඩකින් කෝල් එකක් ගන්න මම බලලා කියන්නම් මම දැන් ඉන්නේ බෝඩිමේ .”

"
එළකිරි මචං මම තියන්නම් .”

ඊට පස්සේ මගේ ඇඟට ලේ ටිකක් ඉනුවා . ඒත් මගේ ගාව තිබුණු පරිගණකයේ නොටිෆිකේෂන් ඒරියා එකේ වැටිලා තිබුණ වෙලාව දැක්ක හැටියේ මගේ ඇඟට ඉනුව ලේ සේරම ඇසිල්ලකින් පිච්චිලා ගියා .

වෙලාව තුනයි හතළිස් පහයි ! ! ! 


තත්පර දෙකකින් මම උන්නේ බොස්ගේ මේසේ ළඟ.

"
සර් මගේ නෑදෑයෙක් මැරිලා මම පොඩ්ඩක් ගිහිං එන්නද ?

"
නෑ..! සඳරු කවුද නෑදෑයා ?

"
සර් අපේ දුරින් නෑ , වෙන කෙනෙක් .”

"
හා හා ගිහින් එන්න . අතේ සල්ලි තියනවාද ?

"
තියනවා සර්"

"
ආ සඳරු අපේ ඉන්ස්ටිටියුට් එකේ සාතිෂ්‍ය සංවේගය කියලා ගහපු බැනර් එකත් අරං ගිහිං එල්ලන්න . අර පිටිපස්සේ ඇති .

"
නෑ ස් සර් කම්ම ක් න් නෑ"

"
නෑ නෑ ගන්නවා ඒක . අරං යන්න . අපිත් එන්නම් හවස් වෙලා .

"
සර් එයා අපේ ළඟම නෑයෙක් නෙවේ ඉතින් මමත් මේ දැන් පොඩ්ඩකට ගිහිං එනවා සර්ලා එන්ඩ ඕන නෑ .!

"
හරි එහෙනම් අපි එන්නෑ ඒ වුණාට බැනර් එක අරං යන්න ..! ගිහිං ඒක එල්ලන්න . එනකොට ආයේ ඒක අරං එන්න .

"
හරි සර් !”

බලෙන්ම පටවාපු බැනර් එකත් අරං බයික් එකට නගිනකොට මගේ ඉහිං කනිං දඩිය බේරෙනවා
.බොස් ඉස්සරහා බොරු කියන්න ගිහිං තව පොඩ්ඩෙන් මගේ ජොබ් එක නැත්තටම නැතිවෙනවා .ඒ මදිවට "අහෝ දුකකි !” බැනර් එකකුත් අරං යන්න මට සිද්ධ වුණා නෙව. අනේ මන්දා මටත් වෙන දේවල්. මේ වගේ ලවු වලට උදවු දෙන්න ගිහිං මම කවද්ද පාඩමක් ඉගනගන්නේ ?

මමත් බයික් එකේ නැගිලා ඊයක වේගෙන් ගෙදර පැත්තට ඉගිල්ලුණා . අතරමගදී පාර පැන්න මුගටියෙක් බේරගන්න ගිහිං පාර පාර මැද පතබෑවෙන්නත් ගිහිං මම නූලෙන් බේරුණා .

එදා මම ගෙදර නොයා කෙළින්ම ගියේ ජනා හොයාගෙන. මම යනකොටත් ජනා සහ රවීන් ඇල ළඟ මං එනකම් බලාන ඉන්නවා . මාව දැක්ක ගමන් ජනා වාඩිවෙලා හිටපු තණකොළ ගොල්ලෙන් නැගිට්ටේ අලුත් පණක් ලැබුණ එකෙක් වගේ

"
මොකද බං මේ මරණ දැන්වීමක් අරං මම වෙඩිතියාගෙන මැරුණා කියලා උඹ හිතුවද ? ඒක නෙවේ සඳරු මල් කාන්ති ගෙදර ඉන්න බව දැන් මම සුවර් එකටම දන්නවා" . 

මම බයික් එක නතර කරපු ගමන්ම මගේ බයික් එකේ ක්ලච් එක තදකරන ගමන් ජනා කියාගෙන ගියේ වෙවුලන කටහඬින් .

"
උඹ කෝමද හරියටම දන්නේ ?”

"
මචං ඒකි නිතර අඳින නිල්පාට ගවුම වැලේ දාලා තිබ්බා ..! උඹට මතක ඇති අර ඒකි නිතරම අඳින ගවුම අර.. මචං !” 

"මේ ජනා මට ඔය කෙල්ලන්ගේ රෙදි මතක නෑ බං . ඒ වුණාට රෙද්ද දැක්ක පලියට කියන්න බෑ කෙල්ල් ගේ ඇතුළේ කියලා පොඩ්ඩක් විමසිලිමත් වෙයල්ලකෝ . උඹලටත් ෂර්ලොක් හෝම්ස් පොතක් කියවන්න කියන්නේ ඔන්න ඕකයි . ඒවා බැලුවා නම් උඹලාට තේරේවි ඔහොම ක්‍ෂෙනික තීරණ ගන්න එකේ වරද ?

"
හරි දැන් අපි මොනා කරන්නේ ?”

"
යමු අදත් ගිහිං ඒකිගේ ගෙදර වටේ වටයක් දාමු .!” 

මමයි ජනයි බයික්කෙට නැග්ගා රවීන් උගේ පුස් බයිසිකලේ නැගලා ජනාගේ අතින් අලගෙන අපී පිටිපස්සෙන් හෙමීට ආයාසයකින් තොරවම එන්න පටන්ගත්තා . අපි මල් කාන්තිලෑ ගෙදරට ගාවට කිට්ටු වෙනකොටම මගේ ෆෝන් එක වදින්න ගත්තා .

"
හලෝ ..!”

"
හලෝ ඔයා නේද මල් කාන්ති කියලා කෙනෙක් ගැන අහලා දවල් මට කෝල් කළේ ?

"
ආ ඔවු මචං"

"
යි ඔයා එයා ගැන හොයන්නේ ?”

"
මේ ඒ මගේ යාළුවෙකුගේ වැඩකට මම අහවලාගේ යාළුවා එයා තමා මට ඔයාගේ නම්බරේ දුන්නේ !” 

"ආ මේ එයා මේ කැම්පස් එකේ ඉන්නවා . මම ඇහුවාම කීවා නේ සඳරු කියලා කෙනෙක්ව එයා දන්නෑ කියලා . ඔයා මට ඇත්ත කියන්න මොකටද මල්කාන්ති ගැන හොයන්නේ ? මම ආයේ මල්කාන්ති ගැන ඔයාට කිසිම විස්තරයක් කියන්නෑ"

මට මල පැනගෙන ආවා ඇයි යකෝ මමත් වැරදියි තමා ඒත් මම අහිතකින් නෙවේ මේ කෙල්ල ගැන හෙවුවේ .

"
මේ මට ඕන නෑ ඔයාගේ මල්කාන්තිව ඔයා එයාට කියන්න හැංගිලාම ඉන්න ගමේ එන්න එපා කියලා .! “තරහෙන් පිපිරුණ මම ෆෝන් එක කට් කළා .

"
සඳරු මොකද අවුල ? මොකෝ බං ? ඇයි ?ජනා මගේ ළඟටම වෙලා මට ඇඟිල්ලෙන් අනිනවා .

"
ඒකි කැම්පස් එකේ ඉන්නවාලු බං ! “

"
එතකොට මේ කවුද බං ඉන්නේ ගේ ඇතුළේ ? වෑන් එකේදී මම දැක්කේ මල්කාන්තිව තමා සත්තයි බං මම දැක්කේ එකිව . “

"
ඒකිට නිවුන් සහෝදරියක් නෑ නේද බං ?රවීන් ඒ අතරේ කතාවට පැන්නා

"
යකෝ ඉන්නවානම් උඹත් දැනගන්න එපෑ ඇයි උඹ උන්නේ මේ ගමේ නෙවේද ?

මම මොහොතක් කල්පනා කළා .ෂර්ලොක් හෝම්ස් නම් මේ වෙලාවේ කරන්නේ මොකද්ද ? මිනිහා නියම වේලාවේදී කඩාගෙන බිඳගෙන ඇතුළට යනවා . ආයේ ලිහන්න තියන මල්ල ඔබ ඔබා බලන සිරිතක් නෑ .

"
අපි යමු ගේ ඇතුළට ජනා , රවීන් කවුරු බැන්නත් කමක් නෑ අපි මේ ගමේ එවුං අපිට ගමට එන අය ගැන හොයන්න අයිතියක් තියනවා . අපි ගේ ඇතුළටම යමු .”

"
සඳරු ඒක හරිද බං ?

"
උඹට බැරිනං හිටහං රවීන් , ජනා අපි දෙන්නා යමු .”

මම ටිකක් තදින් කතා කළාම ජනා සහ රවීන් දෙන්නාම මගෙත් එක්ක ගේ ඇතුළට යන්න කැමති වුණා . මට කිසිම හොර වැඩකට ප්ලෑනක් තිබුනේ නෑ මට ඕන වුණේ කෙළින්ම ගිහිං ඉස්සරහා දොරට ගහලා දොර ඇරගෙන එන කෙනාගෙන් මල් කාන්ති ගැන අහන්නයි . ආයේ මේ රහස තම්බ තම්බ ඉන්න දෙයක් නෑ .

මල්කාන්තිලෑ ඉස්සරහා දොර හදලා තිබ්බේ බුරුත ලීයෙන් . මම "දාං දාං බාං බාං බෝං ඩෝං" ගාලා කීපවතාවක්ම ඒ දොරට තඩිබෑවා . ජනා නම් කියන්නේ මම එදා "ටික් ටික්" ගාලා දොරට තට්ටු කළා කියලයි .

ඔන්න මොහොතකින් දොර බාගෙට විවර වුණා . දොර ඇරියේ ආච්චි කෙනෙක් මම නම් ඒ ආච්චිව මීට කලින් අපේ ගමේදී දැකලා නෑ . ඒත් මම කහඬ ආචාරශීලී කොරගෙනම ආච්චිගෙන් මෙහෙම ඇහුවා

"
ආච්චම්මේ මල්කාන්ති අක්කි ඉන්නවාදැ ?මම ඒම ඇහුවේ අක්කා කීවාම ආච්චි සැක නොහිතෙන්න

ආච්චි එයාගේ ලොඹු කට අරින්න හදනකොටම එතකොටම බාගෙට ඇරිලා තිබුණු දොර ෆුල්ම අරුණා

දොර ඇරගෙන ආවේ මල් කාන්ති . ඒකිගේ මූණ පුරාම මොනාදෝ බේතක් ගාලා දෙහි සුවඳ මගේ නාහෙට එනවා .

"
සඳරු මොකද මේ . ?

ජනා සහ රවීන් දුවන්න සෙට් වෙලා මිදුලේ බාගයක්ම දුර ගිහිල්ලා .ඒත් මේ සඳරු , ගල්පරුවතයක් වගේ සවිශක්තිමත් හිතක් ඇති සඳරු, කුණාටුවකටවත් නොසැලෙන ගල් හිතක් ඇති සඳරු ඉද්ද ගැහුවා වාගේ උන් තැනම හිටියා අඩියක්වත් පස්සට ගියේ නෑ .

"
මල්කාන්ති ඇයි මොකෝ ලෙඩින්ද මොකෝ ෆෝන් එක ගත්තේ නැත්තේ ?

"
අනේ මට කම්මුල් ගාය . දැන් ඔයාලත් මේකේ අස්සේ ආවානම් බෝවුණා බෝ වුණා කියලා මට සෝලි තියන්න නම් එපා හරිද ? මගේ ෆෝන් එක මට උණ විකාරේ හදිස්සියේ බෝඩිමේ දාලා ඇවිදින් “

"
එතකොට මට කෝල් කළේ කවුද ඔයා කැම්පස් එකේ කියලා .?”

"
කවුද කීවේ සඳරු ?. " ල් කාන්ති අලි අහක්ක ගාපු මූණ ලේන්සුවකින් වහගන්න ගමන් මගෙන් පුදුමෙන් ඇහැවුවා .

"
අහවල් කැම්පස් එකේ ඉන්න මෙන්න මේ පුග්ගලයාගෙන් තමා ඇහැව්වේ .ඒත් මේ
 
"අනේ මෝඩ සඳරු මම ඉන්නේ කිං කන්ට්‍රි කැම්පස් එකේ මිසක් ඔය කැම්පස් එකේ නෙවේ ඔයා කොහාටද මේ කෝල් කරලා තියෙන්නේ දැන් තමුසේ ආවානම් කම්මුල් ගායත් හදාගෙනම ගෙදර යනවා .”


"ආ මලී මට නම් අවුලක් නෑ මට කම්මුල්ගාය හදිලා තියනවා" . ජනා උගේ මනමාල හිනාව දාගෙන ඉස්සරහට ආවා . "මටත් දැන් අවුරුදු දෙකකට විතර කලින් හැදුණා අක්කේ රවීන් මලයත්" ඉස්සරහට ආවා .

මම !

"
මට හැදිලා නෑ යකුනේ !මම හෙමින් හෙමින් මල්කාන්තිගේ වැට මායිමට උපක්‍රමශීලීව පසු බැස්සා

"
එහෙනම් සඳරු අයියේ උඹට බැස්ටිය. රවීන් නම් පොලේ හැපි හැපී හිනාව . මගේ කකුල් දෙකත් ගල් වෙලා .! තොල කට වේලිලා ගියා .

මම ගල් වෙලා ඉන්න අතරේ. රවීනුයි ජනයි සිද්ධ වෙච්ච හැම දෙයක්ම මලීට පැහැදිලි කරන්න පටන්ගත්තා . ඒ පැහැදිලි කිරීම අවසානයේ මල්කාන්ති හිනා වෙලා මෙහෙම කීවා .

" අනික සඳරු අපේ අම්මා උඹලෑ ගෙදරින්ම තමා මගේ මූණේ ගාන්න අලි හක්ක කෑල්ලක් ගෙනල්ලා තිවුණේ .! අම්මා ඔයාට කීවේ නැද්ද ඒක .ඇයි අනික උඹලා දැක්කේ නැද්ද මේ උළුවස්සේ නූලකින් එල්ලලා තියන අඹ කොළ ටික .? ඒකෙන් කියැවෙන්නේ බෝවෙන රෝගියෙක් ගෙදර ඉන්නවා අනික් අයට එන්න එපා කියන එක නේ !

"
අපි නම් දැක්කා අක්කේ ඒත් අපේ රහස් පරීක්‍ෂක තුමා ඒක නිරීක්‍ෂණය කළේ මේ දැන් .. හික් හික් .” රවීන් එහෙම කියනකොට ජනා උඩ පැන පැන හිනා වෙන්න ගත්තා

සෙහ් මටත් නෝන්ඩි කෝටියයි..! ..කමක් නෑ කෝම හරි කේස් එක වෙඩි තැබීමකින් තොරවම නිමා වුණ එකම මදෑ .මමත් ලැජ්ජාව වහගන්න යටි හිතින් එහෙම හිතුවා .

මල්කාන්තිගේ දෙමවුපියන් එන්න කලින් අපි කට්ටිය .ඉක්මනට මරු වුණා . අපි පාර දිගේ ගෙදර යනකොටත් ජනා සහ රවීන් මට කඩන එකේ ඉවරයක් නෑ ..

අපි ඇල පාර දිගේ ආපහු යනකොට එහා ඉවුර පැත්තේ පාරේ හිටි කොල්ලෙක් කෑගහලා අපෙන් මෙහෙම ඇහුවා .

"
ඒ මල්කාන්තිට ඇසිඩ් ගහලා කියන්නේ ඇත්තද බං ? !! !! !! “
 
මම කතා කරන්න කලින්ම ජනා ඒ ප්‍රශ්නෙට නියමෙට කෑගහලා උත්තර බැන්ඳා .. ඒත් ඒ උත්තරේ මෙතන ලියන එක මට කීයටවත් කරන්න බෑ

ඉතින් ඔන්න ඔය විදිහට තවත් එක පජාත සිදුවීමක් අවසන් වුණා . ! ඔය සිදුවීමෙන් හරිටම දවස් පහකට පස්සේ මට කම්මුල්ගාය හැදිලා ඇඳෙන් නැගිටගන්න බැරිව ගියා සතියක් යනකම් බත් කටක් කන්න බැරිව ගියා .

. ජනාගෙයි මල්කාන්තිගෙයි ලවු එක නම් අද වෙනකොට හෙමිහිට දිය වෙලා ගිහිල්ලා . ඒ ආදරේට මොනවා වුණාද ? ඇහුවාම වෙච්ච දේ උන් දෙන්නාවත් දන්නේ නෑ . ඒත් අද උන් දෙන්නාම සතුටින් . රවීන් උගේ ගෙදර අයත් එක්ක තරහ වෙලා පැදුරටත් නොකියා දවසක් දා රෑ ගම දාලා යන්න ගිහින් ඌ අද කොහේද කියන්න මම දන්නෑ

. මේ සිදුවීම නිසා කාලයක් යනකම් මට ගමේ කොල්ලෝ නමකුත් දාලා තිබුණා . සීඅයිඩී සඳරු කියලා . අද වෙනකොට නම් ඒ නමත් මේ සිදුවීමත් දෙකම කාලයට යට වෙලා වැළලිලා ගිහින් .

හ්ම්.. කාලය කියන හුළඟේ පාවෙලා යන පරඬැල් වෙච්ච අපි හැමෝටම මේ වාගේ සිදුවීම් ඕනෑ තරම් වෙලා ඇති .සමහරුන්ට ඒවා මතකයි සමහරු ඒවා අමතක කරනවා .

තමන් මුහුණ දෙන සොඳුරු ජීවිත අද්දැකීම් අමතක කරන්න එපා .! එවුවා රත්තරන් වගේ වටිනවා . පරණ වෙද්දී පරණ වෙද්දී .මතක්කරන්න තියෙන්නේ , මරන මංචකේදී සිහිපත් කරන්න තියෙන්නේ එච්චරම විතරයි .

කතාව පිනිස්

බස් රේඩියෝ කතාBuzz හතරවෙනි පියවර  සමඟ සඳරු කරපු ඉන්ටර්විවු එක අහන්න ඕන නම් මෙතනින් ඇහුවැකි