1.6.12

ඉබි මසට ලොල් වූ මුතුබණ්ඩා



මීට අවුරුදු කීපයකට ඉස්සරදී අද මම මේ වසන ගං තුලානට හිටි හොඳම වඩු බාසුන්නැහේ තමයි මුතුබණ්ඩා මාමා. ගමේ උඩහ කෙළවරේ ඇල ඉස්මත්තේ කුඹුක් ගස් හෙවණක අටෝගත්ත වඩු මඩුවට වෙලා ලී බඩු හදමින්, කැටයම් කපමින් මුතුබණ්ඩා මාමා දවස ගත කළා. ඕනෙම හයිය ලීයක් කැටයම් කරලා ලස්සනට වාත්තු කරලා ගන්න මුතුබණ්ඩා මාමට තිබුණේ මහ පුදුම හැකියාවක්. උන්දැගේ අත ගැටෙන මොන ලීය වුණත් ඕනෙ තාලෙට නවලා හැඩ ගන්වන ක්‍රමය මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන උන්නා. ඒ හැකියාව නිසාම මිනිහගේ අතේ මිටේ නිතර සල්ලි බාගේ ගැවසුණා

මුලින් තිබුණු පොල් අතු හෙවිලි කළ වඩු මඩුව කාලයක් ගත වෙද්දී ඇස්බැස්ටෝස් හෙවිලි කළ වඩු මඩුවක් බවට පත් කරගන්න මුතුබණ්ඩා මාමට හැකි වුණේ අහල ගං හතක මිනිස්සු පවා ලී බඩු හදාගන්න මුතුබණ්ඩා මාමව හොයාන ආපු හන්දා වෙන්නැති. කාගෙ කාගෙත් හිතේ කොහු තියන්නේ නැතුව එන මිනිස්සු ඉල්ලන විදිහටම ලී බඩු හදා දෙන්න මූතුබණ්ඩා මාම හැමදාමත් සමතා

වැස්සකටවත් ඉස්කෝලෙයකට ගොඩ වැදිලා නොතිබ්බා වුණත් මුතුබණ්ඩා මාමාට ජීවිතේ වැරදුණේ නෑ . උන්දැට කවුරුවත් වඩු වැඩ කරන්න කියලා මග පෙන්නලත් නෑ . තමන්ට හිතූ දේ කරන ජාතියේ එකෙක් වෙච්ච මුතුබණ්ඩා මාමා දවසක් ගෙදර මිදුලේ පොල් අතු මඩුවක පටන් ගත්තු වඩු මඩුව ටිකෙන් ටික විශාල කරගෙන ගමේ සල්ලි කාරයෙක් වුණේ අනික් මිනිසුන්ගේ ඇස් වහ කටවහ මැදිනුයි

හාමුදුරුවනේ මේ වතාවේ පන්සලේ ලයිට් බිල් එක ගෙවාගන්න මා ගානේ ආ රුපියල් දාහක්ම .”

අතේ මිටේ සල්ලි තිබුණත් කවදාකවත් ලෝභ කුණෙක් විදිහට ජීවත් වෙන්න නොහිතපු මුතුබණ්ඩා මාමා පිං අතේ වැඩ වලට නොමසුරුව සල්ලි විසි කළේ නිකම් අනාථ පිණ්ඩික සිටු තුමා වගේමයි .ගමේ දුප්පත් මිනිස්සු කොයි කවුරුත් අතමාරුවක් කරගන්න ඕනෑ වුණාම මුතුබණ්ඩා මාමා ගාවට දුවගෙන ගියා . සල්ලි දෙන්න ඕනෙ කාටද නොදී අරින්න ඕනෙ කාටද කියලා මුතුබණ්ඩා මාමා හොඳට දැනගෙන හිටි හන්දා ගමේ උන්නු කම්මැලියොන්ටයි හොරුන්ටයි කවදාවත් මුතුබණ්ඩා මාමව තම්බන්න නම් බැරි වුණා



හැම හොඳක් එක්කම බැඳිච්ච පුංචි නරකක් මේ ලෝකේ කොතැනත් තියනවා . අපේ මුතුබණ්ඩා මාමා ළඟත් දාහක් හොඳ තිබුණට ඒ හැම හොඳක්ම මැකිලා යන ජාතියේ පුංචිම පුංචි නරකක් තිබුණා ඇත්තටම කීවොත් ඒක කැත පුරුද්දක් හෙවත් ඇබ්බැහියක් .

අතේ මිටේ කොයිතරම් සල්ලිය තිබුණත්,ලී කැටයම් කොටන්න ඉහළ කලාත්මක හැකියාවක් තිබුණත් මුතුබණ්ඩා මාමාගේ ඒ කැත පුරුද්ද ඒ හැම දේටම වඩා උඩට මතුවෙලා තිබුණා. ඒ නොහොඹිනා කැත පුරුද්ද තමයි තුන් වේලටම ඉබිමස් කන්න මුතුබණ්ඩා මාමා ඇබ්බැහි වෙලා උන්නු එක .

ඇල ඉවුරෙන්, කැලෙන් ගල් ඉබ්බෝ ඇන්න ඇවිදින් උන්ව මස් කරලා උයාගෙන තලු මරමින් කන ගමන් ඉතිරි වෙන ඉබි කටු වලින් අරුමෝසම් බඩු හදන්නත් මුතුබණ්ඩා මාමා අමතක කළේ නෑ . සල්ලි එකතු කරන කැට, සෙල්ලම් කරත්ත, තෙල් දාල පත්තු කරන පහන් මුතුබණ්ඩා මාමා ඉබි කට්ටෙන් හදන නිර්මාණ වලින් කීපයක් විතරයි.


කට්ටක් ඇතුළේ අට්ටං වෙලා පණ ගැටගහගන්න අහිංසක සතෙක් වෙච්ච ඉබ්බා අවුරුදු සිය ගාණක් ජීවත් වෙන්න වාසනාව තියන සතෙක් . ඒත් මුතුබණ්ඩා මාමගෙ ඇහැ ගැටෙන ඉබ්බට ජීවත් වෙන්න වාසනාව තිබුණේ තත්පර කීපයක් විතරමයි

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ එක වංඟියක් මුතුබණ්ඩා මාමට කරුණාවෙන් කතා කරලා ඉබිමස් නොකන්න කියලා අවවාද කළා..! බණ දේශනා කළා . ඒත් ඒ වෙලාවේ විතරක් ඔළුව හොලෝලා හාමුදුවන්ගේ කකුල් දෙක ගාව වැඳ වැටුණ මුතුබණ්ඩා මාමා පන්සල් වත්තෙන් එළියට බැහැපු හැටියේම හමුවෙන ඇල ඉවුරේ හබරල ගස් අස්සේ මඩ කමින් උන්නු ගල් ඉබි තඩියෙක්ව සරමේ දවටගෙන ගෙදර ඇන්න ගියා .

හාමුදුරුවන්ට නම් ඉතින් කන්න කැමති හැම ජාතියක්ම අපි ගෙනද්දෙනවා අපිට කවුරු කන්ට ගෙනද්දෙන්නේ ? අපේ කෑම ඉතින් අපිම හරිගස්සා ගන්ට එපැයි


එදා පන්සල් වත්තෙන් එළියට බැහැපු මුතුබණ්ඩා මාමා ඉබි තඩියාවත් ඇන්න ගෙදර ගියේ හාමුදුවන්ට මග දිගටම බණිමින් සහ ඉබ්බාව සුරතල් කරන අතරෙයි. ආවාසගේ ඇතුළට වෙලා ලොකු හාමුදුරුවොත් බොහෝම දුකින් මුතුබණ්ඩා මාමා ගැන අපිත් එක්ක කියමින් දුක් වුණේ පන්සලේ ප්‍රධානම දායකයා ඉබිමස් කන කෙනෙක් වෙච්ච නිසා හිතේ උපන් අවංක දුක හින්දයි


තමන්ගේ මහන්සියෙන් ඇලවල්, දිය කඳුරු, ගස්, ගල්, අස්සේ බඩ ගාලා ඉබ්බෝ හොයාගන්න මුතුබණ්ඩා මාමා බොහෝම දක්‍ෂයා ! . ඒ විතරක් නෙවෙයි තමන්ට වැඩ වැඩි දවසට ගමේ පොඩි කොල්ලොන්ට සල්ලි දීලා ඉබ්බෙක් දෙන්නෙක් අල්ලා ගන්නත් මුතුබණ්ඩා මාමා අමතක කළේ නෑ .රුපියල් හැටක් හැත්තෑවක් දුන්නාම ගමේ කොල්ලෝ ඕනෙ එකෙක් පවු පින් බලන්නේ නැතුං මුතුබණ්ඩා මාමට ඉබ්බෝ හොයමින් කැලෑ වදින්නේ දෙමවුපියන්ගේ ගුරුවරුන්ගේ ඇනුම් බැණුම් කනකටවත් නොගෙනයි

සල්ලිද වටින්නේ ඉබ්බද ?


ගමේ කොල්ලෝ ඔහොම කියමින් මඩවගුරු වැසිකිළි වළවල් ගානේ ඇවිදිමින් මුතුබණ්ඩා මාමට ඉබ්බෝ හෙවුව කාලයක් තිබුණා . මට අද වගේ මතකයි ඉබ්බෙක් පස්සේ දුවං ඟියපු කොල්ලෙක් පාළු ළිඳකට වැටිලා ඉන්දෙද්දී ගමේ උදවිය ඌව බේරාගත්ත හැටි



එක වතාවක් පළාතේ ගොවිජන සේවා එකේ ලොකු මහත්තයා මුතුබණ්ඩා මාමා හමුවෙන්න ඇවිදින් ඉබ්බා වගාවන්ට කොයිතරම් වටිනා කියන සතෙක්ද කියලා මුතුබණ්ඩා මාමට කියාදුන්නා. ඒත් මුතුබණ්ඩා මාමා ඒ මහත්තයාගේ වචන කනකට වත් නොගෙන ගොයිජන සේවා එකේ ගේට්ටු කණුවේ ඉබි කට්ටක් එල්ලලා ආවේ ගොයිජන සේවා එකේ ලොකු මහත්තයා නෙවේ සක්කරයා ඇවිදින් කීවත් තමන් වෙනස් නොවෙන බව කියාපාමිනුයි

ඔය සක්කරයා ඇවිදින් කීවත් මගේ හිත වෙනස් කරන්නේ නෑ මම . මගේ කෑම බීම ගැන තීන්දු ගන්නේ මම ! මගේ හිතත් ඉබි කට්ට වගේ තදයි බොලවු
කවුරු හරි ඉබි මස් නොකන්න කියලා මුතුබණ්ඩා මාමට කීවොතින් උන්දෑ දක්වන ප්‍රතිචාරය ඕකයි .

ඇහුවට කේන්ති ගන්ඩ එපා මාමා ගල් ඉබි මස් හැබෑටම රහයිද
කුතුහලේ වැඩි කමටම මම දවසක උන්දැගෙන් එහෙම අහපුහාම උන්දැ මට මහ පුදුම හිතෙන උත්තරයක් දුන්නා .

කොල්ලෝ ගල් ඉබි මස් කියන්නේ අවුසදයක් අපෙ අත්තල මුත්තල හිටන් ගල් ඉබි මස් කෑවේ සාගින්දරේට නෙවෙයි ඇඟ පත හයිය කොරගන්ඩ !”

ගල් ඉබි මස් කෑවහම ඇඟපත යකඩ වගේ හයිය වෙනවාය කියලා කතාවක් ගමේ උදවිය අතරේ තවම තියනවා. ඒ කථාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මුතුබණ්ඩා මාමා බුරුත නැදුං වගේ හයිය ලී කඳන් පැය ගණං එක දිගට ඉරන්නේ ගල් ඉබිමස් කාලා අරගත්තු හයිය හත්තිය හින්ද දෝ කියලා මට වෙලාවකට හිතුණා


ඉබ්බෙක් අල්ලන්න කුණු ඇළේ බැහැලා දඟලාපු දවසක කකුලේ මලකඩ කාපු බෙලෙක්කයක් ඇනගෙන පිටගැස්මට බේත් විදගන්න ඩිස්පෙන්සරියට ගියපු මුතුබණ්ඩා මාමට ඉන්ජෙක්‍ෂන් විදින්න දොස්තර මහත්තයා දහ දොළොස් පාරක්ම දැඟලුවා කියලා ගමේ කොයි කවුරුත් දන්නවා . ගල් ඉබි මස් කන හන්දා මුතුබණ්ඩා මාමාගේ බාහු හරිම හයියි ඉන්ජෙක්‍ෂන් කටු පවා ඒ බාහුව විදගෙන යන්න බැරුව කලු ගලේ ඇන්නා වාගේ නැවිලා යන විත්තියත් කාටත් රහසක් නෙවේ

ඕක බොරු කතාවක් මුතු බණ්ඩේ තමුන් ලී ඉරන හන්දා තමා තමුන්ගේ අතපය හයිය වෙලා තියෙන්නේ එහෙම නැතුව ඔය ඉබ්බෝ කාලා නෙවෙයි අයිසේ !
ගමේ දාස ලොකු ඉස්කෝලේ මහත්තයා දවසක් එහෙම කීවේ මුතුබණ්ඩා මාමාව අනුගමනය කරමින් ඇඟපත හයිය කරගන්න කියලා ඉස්කෝලේ ළමයිනුත් ඉබ්බෝ අල්ලන් කාවි කියලා හිතේ උපන්න බයට වෙන්නැති .

අනේ යන්ඩ සෑර් යන්ඩ ගුරුවරු කවද්ද කටට රහට කෑමක් කෑවේ ? ඉස්කෝල ගුරාලා පඩිය ඉතිරි කරගන්ඩ ගූ පුච්චං කන්න වුණත් ලැහැත්තිනේ !
කට කැඩිච්චි වචනෙන් මුතුබණ්ඩා මාමා ලොකු සර්ට බැණ වැදුණා . පහුවදා ඉස්කෝලේ ගිය ලොකු සර් ළමයි හැමෝවම ඉස්කෝල වත්තේ තිබුණු මහ විශාල කහට ගහ යටට ගෙන්නලා ඉබ්බන්ට අනතුරක් කරන හැම ළමයෙකුටම දැඩි දඬුවම් දෙන විත්තිය කීවේ වේවැල දකුණු අතින් වනන ගමන් .
ගමේ කොනක වාඩියක හොරට පෙරෙන කසිප්පු වඩියක් සප්පායම් වුණ දාට තුම්මං හන්දියේ තේ කඩේ ගාවට එන මුතුබණ්ඩා මාමා ඉබි මසේ රහ ගුණ ගැන ගමේ උදවිය දැනුවත් කරන්නත් අමතක කළේ නෑ .

ඉරිඟු තලප ගෙඩියක් එක්ක දුවාබාපු ගල් ඉබි මස් නම් පංකාදු පහයි ඕං !


මුතුබණ්ඩා මාම මේ උතුරු වැවුගම් පත්තුවේ මුල් පදිංචි කාරයෙක්. ඒ වගේම හණමිටි අදහස් කරපින්නා ගත්ත මුග්ධයෙක් . ඉබි මස් ඇඟට පතට සවිය ගේනවා කියලා උන්දැ හැම මොහොතකම විශ්වාස කළා. ඒ විතරක් නෙවේ ඉබි මස් කෑමට ගමේ ඉන්න තරුණ කොලු ගැටවුන්ව වත් උසි ගන්වන්න මුතුබණ්ඩා මාම අමතක කළේ නෑ .! 



ඉබ්බා කියන්නේ මෙලෝ වැඩකට ඇති සතෙක් නෙවෙයි ඌව කෑවට පාඩු නෑ . බලහල්ලා කොල්ලනේ අපි මෙච්චර වයසට ගිහිල්ලත් තවම කොන්ද කෙළින් තියාන ඇවිදින්නේ ඔය ඉබි මසේ ගුණ නිසා තමයි” 

වැවුගම් පත්තුවේ එමට තිබුණු වැවු, දිය කඳුරු, ඇල පාරවල් වල නොසෑහෙන්න ඉබ්බො හිටියා.ඉතින් කවුරු මොන දේ කීවත් මුතුබණ්ඩා මාමට හැමදාමත් ඇති පදම් ඉබි මස් ලැබුණා .කොයිතරම් ඉබ්බෝ ලැබුණත් මුතුබණ්ඩා මාමා සෑහීමකට පත් වුණේ නම් නෑ . උන්දැගෙ ගෙදර පිටුපස සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි ටැංකියේ කොයි වෙලේ බැලුවත් බියෙන් හැකිළුණු, සාගින්දරෙන් දැවුණු ඉබ්බෝ හය හතක් උන්ගේ වෙලාව එනතුරු බලන් හිටියා

කැඩුණු ටීපෝ එකට කකුලක් හයිකරගන්න මුතුබණ්ඩා මාමගේ වඩු මඩුවට ගිය දාක මට උන්දෑගේ ඉබි වදකාගාරය සියැසින්ම දැකගන්නත් ලැබුණා . සමහරු කටුව ඇතුළේ හංඟිලා ඉද්දී සමහරු සිමෙන්ති ටැංකියේ බිත්ති දිගේ උඩට නැඟිලා නිදහස හොයාගෙන යන්න නිමක් නැති උත්සාහයක් ගන්නවා .මරණයට කැප වුණ ඒ අහිංසක ඉබ්බෝ කීප දෙනා දැක්කාම මගේ හිතේ උපන්නේ මහ අමුතුම දුකක්. ඉතින් මුතුබණ්ඩා මාමට මගේ කටිනුත් පුංචි උපදෙසක් දීලා මේ ඉබ්බෝ නිදහස් කරගන්න මට එදා හිතුණා

මාම මේ . . මේ”
මොකක් පුතේ කීවේ !

අර ඉබ්බො පවු . . . නේ ද මා . . මේ උන් .. . “

කටයි පුකයි වහගෙන මෙන්න මේක ඇන්න පල !”

මුතුබණ්ඩා මාමා ටීපෝ එක මගෙ දිහාවට විහික් කළේ මහ රකුසු මූණක් මවාගෙනයි . ඒ මූණේ ඇඳිලා තිබුණු පෙනුමට මම ටිකක් බය වුණා ඒ හන්දා මමත් හනි හනිකට එතනින් පිට වෙලා ආවේ ගල් ඉබ්බෙකුගේ කට්ට වගේ අතපය හයිය මිනිහෙක් එක්ක මම කොහොමද හැප්පෙන්නේ කියලා මග දිගටම හිතමිනුයි



මුතුබණ්ඩා මාම වෙනදා වගේම ඉබි මස් කමින් ලී බඩු හදමින් තමන්ගේ පාඩුවේ උන්නා . ගමේ අනික් එවුනුත් මුතුබණ්ඩා මාමට බණ දෙසන එක පැත්තක තියලා තමන්ගේ වැඩක් පලක් කරගෙන ඔහේ ජීවත් වුණා . ඉතින් මුතුබණ්ඩා මාමත් කාගෙන්වත් බලපෑමක් නැතුව උන්දැගෙ ගෙදරට වෙලා ඉබ්බො ගිලිමින් සතුටෙන් උන්නා

දවසක්දා මුතුබණ්ඩා මාමාගේ අසල් වැසියා වෙච්ච මුදියන්සේ මාමා දවසක් හති දාගෙන දුවගෙන ඇවිත් ශාන්තගේ බාබර් සාප්පුව ළඟ රට කොට්ටම්බා ගහ ඉස්සරහා ගාල් කරලා තිබුණ ආටා එක ගාව නතර වුණා. ඒ මොහොතේ මම හිටියේ ශාන්තගේ බාබර සාප්පුවේ තිබුණු පත්තරේ කියවමින් .

අනේ කොල්ලෝ හනික ආටා එක ඉස්ටාට් කරගෙන යමු මුතුබණ්ඩේ සැටල් හන්දියේ බෝක්කුව අස්සේ හිර වෙලා !

ඒ කතාව ඇහැහුණ හැටියේම බාබර් සාප්පුව ගාව කාලෙ කන්න ඇවිදින් හිටි කොල්ලො කවුරුත් තමන්ගේ බයිසිකල් වළ නැගිලා ඇඟේ පතේ තිබ්බ හයිය හත්තිය කකුල් වලට දීලා බයිසිකලේ උපරිම වේගෙන් පාගාගෙන සැටල් හන්දිය පැත්තට ගියේ විදුලි වේගෙන් ! . උන් එක්ක එක්කාසු වෙච්ච මමත් විනාඩි කීපයකින් නතර වුණේ සැටල් හන්දියේ තිබුණු බෝක්කුව ගාවයි



සැටල් හන්දියේ බෝක්කුව දිගේ තමා පුංචි ඇළෙන් කුඹුරු යායට වතුර ගලා බහින්නේ . නිතරම වතුර ගලා බහින නිසා ඔය බෝක්කුව කොයි වෙලේත් රොන් මඩින් පිරිලා හිර වෙන වෙලාවල් එමටයි . ඒ වගේ වෙලාවට ගොවියෝ දිග උණ ලීයක් ගෙනත් ඒ බෝක්කුව සුද්ද කරලා ආයෙමත් වතුර ගන්නවා . මිනිහෙකු තියා බල්ලෙකුටවත් රිංඟන්න බැරි ඒ බෝක්කුව අස්සේ මුතුබණ්ඩා මාමා කොහොම ඉන්නවා ඇත්ද ? ඒ ගැන හිතනකොටත් මගේ ඇඟපත හිරි වැටිලා ගියා

මම බෝක්කුව ගාවට කිට්ටු වෙද්දී එතන තිහක හතළිහක විතර සෙනගක් වට වෙලා පස් කපමින් බෝක්කුව කඩා දමමින් එතන යකා නටනවා . ගෑනු වගයක් එතන වට වෙලා ඇඳන් උන්නු සාය හැට්ට වළ හොටු පිහිමින් ලතෝනි දෙනවා ! මමත් හනි හනිකට එතනට කිට්ටු වුණා

මම එතනට කිට්ටු වෙනකොට දැක්ක දසුනෙන් මගේ බඩ පපුව හීතල වෙලා ගියා . ගමේ උන් කුළුගෙඩි පාරවල් දීලා පැත්තක් කඩා දාපු බෝක්කුව අස්සෙන් මුතුබණ්ඩා මාමාගේ කකුල් දෙක මම දැක්කා . දම්පාටින් දිලිහෙන රොන් මඩ අතරේ මුතුබණ්ඩා මාමා තදින් හිරවෙලා . උන්දැ හෙලවුනේවත් නෑ . ගමේ එවුන් හනි හනිකට කකුල් දෙකෙන් ඇදලා මුතුබණ්ඩා මාමව ගොඩට අරං තුන්සක් රියේ පටවාගෙන මහ ඉස්පිරිතාලෙට ගෙනිච්චා

පැයක් යන්න මත්තෙන් මුතුබණ්ඩා මාමා මියැදිලා කියන ආරංචිය අපි කාගෙ කාගෙත් කන් වළ දෝංකාර දුන්නා . ගමේ කවුරුත් කොඩිවැල් අදින්න , හට් ගහන්න එකතු වුණා . කවුරු කවුරුත් මුතුබණ්ඩා මාමා උන්නු කාලේ කළ හොඳ වැඩ ගැන මෙනෙහි කරන්න වුණා . කටින් උන්දැගෙ ගුණ වැයුවත් හිතින් අපි කවුරුත් ඇත්ත දැනං උන්නා . මුතුබණ්ඩා මාම මැරුණේ .ඉබ්බෝ හොයමින් බෝක්කුව ඇතුළේ බඩගාමින් යන අතරතුරේදි ඉස්මොළේ මඩ ගිහිල්ලයි.

ගමේ කාටත් මුතුබණ්ඩා මාමව අහිමි වුණේ ඔන්න ඔහොමයි . ගං හතකට හිටි දක්‍ෂ වඩු බාසුන්නැහේ උන්දැගෙම කරුමෙ පඩිසං දීම හන්දා මියැදුනා . ගමේ වැදගත් මිනිසුන්ගේ අවවාද පිළිගත්තානම් අදත් මුතුබණ්ඩා මාමා මේ ගමේ වඩු බාසුන්නැගේ වෙලා ඉන්නවා . ඒත් කෑදර කමට ගිහින් මුතුබණ්ඩා මාමගේ වළ උන්දැ විසින්ම කපා ගත්තා

මේ ජීවිතේදී කරන පවු මේ ආත්මේදිම පඩිසං දෙන බව ඔය පිංවත්තු කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි . ! අනුන්ගෙන් පින් ගන්ට බලාගෙන මැරෙන්නැතුං යනකොට ගෙනියන්න තමන්ගේ පින් තමන් විසින්ම කර ගන්න ඔහෙලත් හිතට ගන්නවා හොඳයි” 

මුතුබණ්ඩා මාමගේ අවසන් කටයුතු වලට ඇවිදින් උන්නු පන්සලේ ලොකු හාමුදුරුවෝ එහෙම කියලා පැන් වඩන ගතාව කියන්න පටන් ගත්තා . මල ගෙදරට ඇවිදින් උන්නු කවුරුත් පැන් වඩන්න එකතු වෙද්දී මමත් පැන් බාජනේට අත ලං කළේ මොන දේ කළත් මුතුබණ්ඩා මාමා ගමට කල එක හොඳක් හරි මුල් වෙලා උන්දැ හොඳ තැනක උපත ලබන්න කියලා හිතෙන් මතුරන අතරෙයි



සිතුවම- නිරෝශන් කරුණාතිලක ගෙන්
රැජින පතරේට මම ලියූ කතාවක්

28.5.12

අසික්කිත සීඩී තැටිය


අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි .

"ආයේ එහෙම කරන්නෑ අම්මා "

වැරදි පිට වැරදි කරලා හැමදාමත් මම දෙන ඒ පිලිතුර අම්මා බාර ගන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා . ඒත් මොනවා කරන්නද .? මේ මම එදා පටන් ජීවත් වෙච්ච හැටි . කණට දෙකක් ගහලා "තෝ ගෙදරින් එලියට බැස්සොතින් අඬු කඩනවා" කියලා බනින්න තාත්තා උන්නා නම් අද මම මීට වඩා දහ ගුණයක් හැදිලා . අම්මගේ කටින් කවදාකවත් බැනුමක්, පරුෂ වචනයක් එලියට ඇවිදිල්ලා නෑ . කවමදාකවත් මට මහ සද්දෙන් කතා කරලත් නෑ . මම වගේ නාහෙට නාහන එකෙක් අයිලේ යන එක නවත්තන්න ඉතින් අම්මට හැකි වුණෙත් නෑ .

*******

දවසක් උදේ ඉස්කෝලේදී ජොන්ටි ගෙනද්දීපු අසික්කිත සීඩී තැටිය මගේ බෑග් එකට දාගන්න කලියෙන් මට මගේ අම්මව මතකෙට ආවා . එයා මම කරන හැම වරදකටම සමාව දෙන හැටිත් මම නිසා කඳුලු හලන හැටිත් මට සීඩී තැටියේ දිලිසෙන පැත්තෙන් මැවිලා පෙන්න වුණා .

"තෝ ඕක රහ කර කර තියාන ඉන්නැතුං දාගිය බෑක්කෙට ”

ජොන්ටිගේ තරවටුව ඇහිච්ච හැටියෙම මගේ දකුණු අත දුන්නක් වගේ ක්‍රියාත්මක වුණේ ඉබේටමයි . මම හනිකට ඒ අසික්කිත සීඩී තැටිට මගේ බෑග් එකේ තිබුනු පොතක් අස්සේ නිධන් කළා . ඒත් මගෙ හිත තාමත් මට බනිනවා .

"ජොන්ටියා මේක අහුවුණෝතින් නම් අපි කපෝතියි බං ..!”

"පික්සුද මස්ෂිනා. මෙවුවා අපි පුරුදු වෙන්ඩ කරන වැඩයෑ ?

"තෝ නං කියාවි දැන් මේක තියෙන්නේ මයෙ බෑග් එකේනෙ . මම එපෑ විඳවන්න .”

"සඳරුවා ඉතින් නූල් සූත්තරේ දන්න එකා කියලා අපි දන්නවානේ බං ඒකනේ අපි උඹගේ බෑග් එකේ මේ වගේ වස්තු තැන්පත් කරන්නේ .

"අඩෝ මේ කැ* වැඩ කරන්නෙපා . මාව අහුවුණොතින් තොපි ඔක්කොමල්ලාගේ නං ගං ගෙහුං කියනවා මං පිනාට .”

"අඩෝ අඩෝ තොට තරහ ගියාද ? ඕකනේ ඉතින්..... හරි හරි ඉස්කෝලෙ ඇරෙන්න තව පැය හතර හමාරයිනේ බං තියෙන්නේ . .. ! එතකං හොඳ එකා වගේ ඔය ගණ රාජයා පරිස්සං කරහං මයෙ දෙයියා .”

"හ්ම් .හැමදාමත් වගේ අවසානෙට මගේ කටින් හ්ම් හඩ පිට වුණා .

ඉස්කෝලේ සමිති සමාගම් වලදී , පන්තියේ උගන්වන වෙලාවේදී කවදාවත් මුල් තැනක් ගත්තේ නැති මම දහදුරා වැඩ කරද්දී නම් හැමදාමත් පෙරමුණ ගත්තා . ඇත්තටම කීවොත් ඒක සුදුස්සාට සුදුසු තැන ලැබීම කියලයි මගේ වටේ හිටිය පාප මිත්‍රයෝ කොයි කවුරුත් කීවේ . හොරෙන් තැඹිලි කඩන්න ගියත් අහල ගෙදරක වත්තට පැනලා අල ගලවන්න ගියත් , ඉස්කෝලෙන් පයින්න ගියත්,මල් ඔතන්න ගියත් අනික් එවුන් ඉන්නේ මම ඉස්සර වෙනකම් .

මදන විසේ ඉහට ගහලා තිබුන කාලේ නිසා වෙන්නැති හරි කොතැනද වැරදි කොතැනද කියලා මම ඒ වෙනකොට දැනං උන්නේ නෑ . ඉතින් එදත් මගේ මිත්‍රයෙක් රුපියල් තුන්සීයක් දීලා කොහේදෝ මන්දා ඈත දීපංකරේකින් ගෙනාපු අසික්කිත සීඩි එකක් මගේ බෑග් එකේ හංඟාගන්න මට සිද්ද වුණා .

මගෙ මිත්‍රයා ජොන්ටි කවදාවත් ඉස්කෝලෙ එනකොට බෑග් එකක් ගෙනාවේ නෑ . පුස් බයිසිකලේ පැදං එනකොට ගොයිජන සේවා එක ගාව තියන මහා පල්ලමෙදී බ්‍රේක් කරන්න අමාරුයි කියලා ඌ හැමදාමත් පොත් ටික ඉස්කෝලේ බංකුවක් අස්සේ හංඟලා ගෙදර ගියා ඉතින් ඌට බෑග් එකක් කවදාවත් උවමනා වුණේ නෑ .

සීඩී එකක් බලන්න හයිය තිබුනත් ඒක හංඟලා තියාගන්න හිත හයිය නැති මගේ ගැන්සියේ හිටි කොල්ලෝ සෙට් එකත් අමුතු අමුතු කතා කියලා සීඩී එක මගේ මල්ලටම පැටෙවුවා . ඒක බලන්න කැමැත්තත් මගේ හිතේ කොනක තටමමින් තිබුණ හන්දා මමත් සීඩී එක මගේ භාරයේ තියනවාට අකමැති වුණේ නෑ . කවුරුවත් එක වරම කඩා පැනලා මගේ බෑග් එක ඇතුලට අත දාලා සීඩි එක මගෙන් උදුරලා ගනීවි කියලා මට බයක් තිබුනෙත් නෑ .

වෙලාව ගත වෙලා ඔරලෝසු කටු කැරකිලා පීරියඩ් එකින් එක ඉවර වුණා . පන්තියට ආපු ගණිත සර් කළු ලෑල්ලේ මොකක්ද මන්දා බයිලයක් කරලා මට හුණු කොට්ටෙනුත් පතබාලා යන්න ගියා . ඉංගිරීසි ටීචර් කලු ලෑල්ලේ ලියාපු එකම වචනයක්වත් මට කියෝගන්න බැරි වෙච්ච නිසා හිත හොඳටම රිදිලා ඒ අසරණීත් පන්තියෙන් යන්න ගියා . විද්‍යාව උගන්වාපු සෑර් නම් මට පන්තියට ඇතුලු වෙනකොටම ආදරෙන් කතා කරලා "පුතා ඔයාට නිදි මතයි නම් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .

විවේක කාලය ඉවර වෙලා පටන් ගත්තේ සිංහල පීරියඩ් එක . කෑම දිරවන වේලාවට පන්තියේ බොහොමයක් ළමයි ඉගෙන ගන්න අකමැතියි .ඒ වෙලාවට සමහරු වැසිකිලියේ පැලපදියං වෙන අතරේ තව සමහරු ස්වේච්චාවෙන්ම පාසල් වත්ත සුද්ද පවිත්‍ර කරන්න පටන් ගන්නේ වැටෙන සැර අවුවවත් ගණනකට නොගෙනයි .

එදා සිංහල පීරියඩ් එකේදී කවුරු පන්තියෙන් කට්ටි පැනලා ගියත් මම පන්තියේම රැඳිලා හිටියේ සීඩි එක පරෙස්සම් කරගන්න හිතාගෙන නම් නෙවේ . ඉස්කෝලේදී උගන්නාපු විශයන්ගෙන් මම කැමති වුණ මට තේරුණු එකම විශය සිංහල වෙච්ච හන්දයි .

"කෝ අද මේ පන්තියේ දරුවෝ උන් කොහා පනං වුණාද ?

සිංහල උගන්වන්න ආපු අශෝක සෑර් පොත් මිටිය මේසේ උඩ අත අරින අතරේ පන්තිය පුරාවටම බැල්මක් දාලා මගෙන් එහෙම ඇහැවුවා .

"වීදි සංචාරයේ ගිහිං වගේ සෑර් !”

"එතකොට මේ දැරිවියෝ ටිකයි සඳරුයි විතරයි පන්තියේ ?

""

"උඹ මේ දැරිවියෝ මුර කරනව වෙන්ටැ ?

"අනෙ නෑ සෑර් මම ඉතින් හිංඟල මිනිහා නේ"

හඬ නඟා හිනා වෙච්ච අශෝක සර් මගේ පිටට තට්ටුවක් දාලා ලේසුවෙන් අත පිහගත්තා .

මුලු ඉස්කෝලෙන්ම මට වැඩියෙන්ම ආදරේ කරපු ගුරුතුමා වුණේ අශෝක සර් . එතුමා උගන්වන සිංහල වදන් මගේ පපුවේ හිට්ටේ ගලේ කොටාපු අකුරු වගේ .

"ළමයිත් නැති එකේ මම යනවා යන්න . මුන්ට ඉගෙන ගන්න ඕනෙ නැත්තං මං මොනාට මෙහෙට්ට වෙලා කාලෙ කන්නේ ?

එහෙම කියාපු අශෝක සර් පොත් මිටියත් අරන් පන්තියෙන් එලියට බැහැලා ගුරු විවේකාගාරය දිහාට ඇවිදගෙන ගියා . සිංහල සර් පන්තියෙන් ගියා විතරයි වීදි සංචාරයේ නිරත වෙලා උන්නු කොල්ලෝ හැම එකෙක්ම ආයෙ පන්තියට දුවගෙන ආවා .

"අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ !

පද්මේ සින්දුවකුත් කියාගෙන ඇවිදින් මගේ මූණ ඉම්බා . මම උගේ අහවල් එකට පා පාරක් දෙන්න හැදුවා විතරයි ඌ ඩෙස් පුටු පෙරලාගෙන මගේ ලඟින් ඈත් වුණා . අද සීඩ් එක බලන නිසා පන්තියේ කොල්ලෝ කවුරුත් හිතේ පුදුම සතුටකින් ඉන්න වග මට හොඳටම තේරුණා . ඒත් කවුද හිතුවේ ඒ සතුට ගෝනි බිල්ලෙක් අරගෙන යාවි කියලා .

තිබහක් හැදුන නිසාම මම කෙල්ලෙකුගේ වතුර බෝතලෙන් වතුර උගුරු දෙකක් බොන්න ලැහැත්ති වුණා විතරයි උසස්පෙළ පන්තියේ ජෙමා කියන නසරාණි ශිෂ්‍ය නායකයා අපේ පන්තියට කඩා පැන්නේ තවත් ටයි පොලු එල්ලගත්ත සහයක ඩැනීලා දෙදෙනෙකු සමගිනුයි .

"බෑග් පෙන්නහල්ලා හැමෝම !

ජෙමාගේ හඬට මෙච්චර වෙලා මරිය කඩේ වගේ තිබුණ පන්ති කාමරේ මෝචරිය වගේ නිහඬ වෙලා ගියා .

"බෑග් විතරද ?

ජොන්ටි එහෙම අහද්දී ජෙමා උගේ මූනට එබුණා

"ඔවු ඩෝ !”

ජොන්ටි පැත්තක වුණා

පන්තිය පුරාම තිබුණ කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ බෑග් මලු සහ ඩෙස් පියන් අතර සෝදිසි මෙහෙයුමක් දියත් කරපු ත්‍රිපුද්ගල ශිෂ්‍ය නායක කණ්ඩායම මගේ බෑග් එක ගාවටත් ආවා . මගේ බෑග් එක ඇවිස්සුවොත් සීඩි එක අහුවෙන බව මම හොඳාකාරවම දැනං උන්නා . ඒ සීඩි එක අහුවුණෝතින් මට මගේ ජීවිතේට අලෝගත හැකි අමුම අමු ජරා නාමය වන වනචරයා කියන නාමය ලැබෙන බවත් ගුරුවරු ගුරුවරියෝ මගේ දිහා බලලා කෙල ගහන තත්වෙට මම වැටෙන බවත් මට තත්පරෙන් තේරුම් යද්දී ජෙමා මා ගාවට කිට්ටු කලා .

"බෑග් එක ඇරහං සඳරු !

"ඇයි ඒ ? මයෙ බෑග්ගෙට එහෙම අත දැම්මොත් අත කඩනවා .”

"ආ උඹ ලොකු සීන් ද ? මෙහෙ දිය බැග් එක"

ජෙමා මගේ බෑග් එක උදුරන්න හදනකොටම මම මගේ බෑග් එක ජොන්ටි ගාවට වීසි කලේ ආලෝකයේ වේගයෙන් ! . ජොන්ටිත් ඒක වෙන එකෙක් ගාවට පාස් කලා .

"කීවම අහලා බෑග් එක දාපං !

ජෙමා කෑගෑවේ ඉස්කෝලෙන් බාගයකටම ඇහෙන තරම් මහ හයියෙන් ජෙමාගේ සද්දේ හන්දා අහල පන්තියක උගන්වමින් හිටි ගුණපාල සර් අපේ පන්තියට දුවගෙන ආවා .

"මොකෝ මේ සද්දෙ මම කොහොමද යකුනේ උගන්නන්නේ ?

"සෑර් මේ පන්තියේ ළමයි බෑග් එකේ සීඩී පීස් තියාන ඉන්නවා කියලා ආරංචියක් ආවා. සඳරු එයාගේ බෑග් එක බලන්න දෙන්නෙ නෑ . අනික් අය සේරමලා බෑග් බලන්න දුන්නා .

"සඳරු තෝ මහ ඒජන්තද ? දීපිය සුනඛයා තොගේ ඔලොඟුව මෙහෙට්ට !

ගුණපාල සර් මගේ බෑග් එක උදුරලා අරන් ඒක මුනිං හරෝලා ඒකේ තිබුන දේවල් ගුරු මේසේ මතට හැලුවා . දඩබඩ ගාලා මේසේ උඩට වැටිච්ච බඩු මුට්ටු දිහා මුලු පන්තියම ඇසිපිය නොහෙලා බලාන හිටියා .

"දඩස්" හඬින් මේසේ උඩට වැටිච්ච මගේ නකල් එක සිංහල පොතට යට වුණා , ගිණි කූරක් මේසේ දිගේ රෝල් වුණා , රුපියල් පහට ගන්න මැදැඟිල්ලේ රඳවන පණාවක් මේසේට වැටිලා බම්පර් වෙලා බිමට පැන්නා . ඔය අතරේ මල්ලේ සැඟවිලා තිබ්බ අසික්කිත සීඩී තැටිය මේ බඩු මුට්ටු ගොඩ උඩින්ම වැටිලා නතර වුණා . පන්ති කාමරේ උලු වහලේ හිලකින් වැටිච්ච අවු රැල්ලක් ඒ සීඩී එකේ දිලිසෙන පැත්තට වැටිලා ලස්සනට දිස්නෙ දෙන්න ගත්තා . ඒ දිස්නෙ වැදිලා ගුණපාල සර් ගේ ඇස් දෙක රතු වුණා .

"මොනාද යකෝ මේ තැටියේ ?”

ගුණපාල සර්ගේ ප්‍රශ්ණයට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ . ඉතින් මම බිම බලාගත්තා .

"උඹට කියන්න බැරි නම් මම දැන් ගිහින් කෝටස් එකේ තියන මගේ අලුත් ජී එල් සීඩී ප්ලේයර් එක ගෙනල්ලා ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකේ තියලා මේක දාන්නම් ! මොකෝ කියන්නෙ දාන්නද ?

". . එපා සෑර් ! “

මට කියවුණේ එච්චරයි .

"හ්ම් එපා නේ . එහෙනං හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර ! උඹගේ කැරැට්ටුව කියලා දෙන්න ඕනෙ දෙමවුපියෝ ඉස්සරහා . හැබැයි උඹ හෙට ඉස්කෝලේ නාවොත් මම මේකත් අරං පොලීසි යනවා

එදා ගෙදර යද්දී මම පුදුම විදිහට බය වෙලා හිටියා . අම්මා බෙදාපු බත් එක කන්නවත් බැරි තරමට වෙනදා ගෙදර ආ හැටියෙම බලන කාටුන් සීඩී නොබලා ඉන්න තරමට මම නොසන්සුන් වෙලා හිටියා .

"හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර !” ගුණපාල සර් ඒ කියාපු දේ මගේ හිතේ දෝංකාර දෙනවා . තාත්තා දන්නවානම් මිණී වලෙන් නැගිටලා ඇවිත් මට ගහනවා . අම්මට මේක කීවොත් ඒ අසරණ ගෑනි කොයිතරම් අඬාවිද ? ඒත් මම දැන් මොකද කරන්නේ ? ඔලුව බදාගෙන මම පැයක් විතර හිතන්න ඇති .හැබැයි අන්තිමේදී මම තීරණයක් ගත්තා . හිත හයිය කරගෙන අම්මා ගාවට ගියපු මම මහා බේගලයක් ඇදබෑවා !

"අම්මේ හෙට ඔයාව ඉකෝලෙට එක්කං එන්න කියලා ගුණපාල සර් මට කීවා "

"ඒ මොකද ඔයා මොනාද මේ වතාවේ කලේ ?

"මොකුත් නෑ මේ අපේ පන්තියේ ළමයි හැමෝම කලින් ගෙදර යන්න ගිහින් අහු වුණා ඒක කියන්න ඔය එන්න කියන්නේ !”

"මොකට කරනවාද ඔය මෝඩ වැඩ මොකද කලින් ආවේ ?

"අනේ අනේ ඔයා හෙට එන්නකෝ "

මම හෙමීට එතනින් ලිස්සලා ගිහින් සාලේ ටීවී එකත් ඔන් කරගෙන බෲස් ලී රඟන හටන් සීඩ් එකක් බලන්න ගත්තා .

"ඔය සීඩී බලන නිසා පුතා ඔයා කිසිම පාඩම් වැඩක් දැන් කරන්නේ නෑ මම ඔය ටීවි එක හෙටම විකුණලා දානවා .

සාලෙට ආපු අම්මා මට දෝස්මුරේ දාලා යන්න ගියා

පහුවදා මම ඉස්කෝලෙට ගියේ මස් කඩේට දක්කන හරකෙක් වගේ . මුලු පන්තියේම හිටපු කොල්ලෝ කෙල්ලෝ හැමෝම මගේ වටේ වට වෙලා මගේ අවසන් ගමන සංවිධානය කරමින් හිටියා . සමහරු "අනේ මචං අපේ අම්මා නම් වයසයි ඒක හන්දා මගේ නම කියන්න එපා" කියමින් නාහෙන් අඬන්න වුණා. "මැරුවත් පාවා දෙන්නේ නම් නෑ "මම නම් තදින්ම හිතාගෙනයි උන්නේ . ඒක එදා වගේම අදත් මා ගාව තියන ප්‍රථිපත්තියක් !

උදේ දහය හමාර වෙනකොට ශිෂ්‍ය නායකයෙක් ඇවිදින් මාව විදුහල්පති තුමාගේ කාමරේට දක්කාගෙන ගියා . කොට බිත්ති උඩින් එබීගෙන උන්නු මගේ මිතුරු මිතුරියෝ සෙට් එක මගේ දිහා බලාන හිටියේ පෝරකේට ගෙනියන ස්ත්‍රී දූෂකයෙක් දිහා බලන්නා වගෙයි !

විදුහල්පති තුමාගේ කාමරයේ පුටුවක අම්මා ඉඳගෙන හිටියා . විදුහල්පති තුමා රජා වගේ මහ පුටුවේ ඈඳිගෙන හිටියා . කාමරේ කොනක ඉඳන් මගේ දිහා හිනා වෙවී බලාන උන්නේ ප්‍රධාන ශිෂය නායක ජෙමා සහ ගුණපාල සර් ! මම කාමරයට ආවා විතරයි විදුහල්පති තුමා නඩුව විභාග කරන්න ගත්තා .

"සඳරුගේ අම්මේ සඳරු ඉස්කෝලේ දෙන වැඩ ගෙදර ගිහින් කරනවාද ?

"ඔවු සර් සමහර දාට නම් කරනවා ඔය රචනා එහෙම රෑ වෙනකම් ලියනවා .”

"හ්ම් හ්ම් මට අශෝක මහත්තයා කීවා මේකා සිංහලේට ආසයි කියලා .

ඒ කතාවෙන් මගේ හිතට පුදුම හයියක් ආවා . ඒත් ඊලඟට අහපු ප්‍රශ්ණයට මගේ පපුව නතර වුණා වගේ මොහොතකට මට දැනුනා .

"සඳරුගේ අම්මේ සඳරු ගෙදර ඉන්නකොට වැඩිපුරම මොකද කරන්නේ ?”

"අනේ ඉතින් මෙයා ඉතින් ඔය රස්තියාදුවේ එහෙම වැඩියෙ යන්නේ නෑ සර් ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදරමයි ගෙදර ඉඳන් ඔය සීඩී බලන එක තමා මෙයා වැඩියෙන්ම කරන්නේ !

"ඈ සීඩී ?

විදුහල්පති තුමා මේසේ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා . ඊට පස්සේ මොහොතක් එයා ඔලුව කසමින් ඉඳලා මෙහෙම කීවා .

"හරි සඳරුගේ අම්මා ගිහින් එන්න . මෙයාට තව තව පාඩම් කරන්න බල කරන්න . උනන්දුව නම් හොඳටම මදි "

අම්මා ගියාට පස්සේ ප්‍රින්සිපල් සර් මා ගාවට ආවා .

"ඇත්ත කියාපන් කොල්ලෝ උඹ මේවා බලන විත්තිය අම්මා දන්නවයෑ .”

"අනෙ සර් මම ඕවා එකක්වත් බලලා නෑ සර් "

"එහෙනං අර අම්මා කීවේ ගෙදර ඉඳන්ම බලනවය කියලා "

"ඒ සර් කාටුන් , චිත්තරපටි වගේ සීඩී නේ ! අනික සර් ඕක මගේ නෙවෙයි . වෙන කෙනෙක් දීපු එකක් .”

"උඹ මේවා බලනවා කීවොත් උඹගේ අම්මා ඒක කොහොම ඉවසයිද ? ඒකයි මම මේ ගැන වගක් නොකීවේ අදට මම මේ සීඩී එක කඩා දානවා හැබැයි ඊගාව වතාවේ මම උඹ මේ වාගේ වැඩක් කරලා අහුවුනොත් පොලීසිට බාර දෙනවාමයි "

ලොකු සර් කීප වංඟියක්ම තටමමින් ඒ සීඩි එක කඩන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුණා .

"මොනාගෙන් හදලද මන්දා මට කඩන්න බෑ මේව ආ උඹම කඩහං මේක "

මගේ අතින් ඒ සීඩි එක එදා කැඩුනේ බෝංචි කරලක් කැඩෙන්නාක් වගේ .. !

"රං පාල ! රං පාල මේ තැටියේ කෑලි දෙක අරං උදළු බන්ඳෙන් ගහලා කුඩු කරලා කුඩු ටික පුච්චලා දාපං .නැත්තං ඕක ආයේ හදලා අරං ළමයි බලන්න බැරි නෑ .

ප්‍රින්සිපල් සර් පාසල් මෙහෙකරු රං පාල අයියට කතා කරලා එහෙම කීයලා මට පන්තියට යන්න අණ කලා .....!

රටක් රාජ්ජයක් දිනාපු එකෙක් වගේ මම විදුහල්පති තුමාගේ කාර්යාලයෙන් එලියට බහිද්දී ජෙමා සහ ගුණපාල සර් මා දිහා පුපුරමින් බලාන හිටියා . විදුහල්පති තුමා එදා නොහිටියා නම් මුන් දෙන්නා මගේ ආත්මෙම ගිනිතියලා දාන්න සූදානමින් හිටි වගත් මම දැනගත්තා . කොහොමින් කොහොම හරි එදත් මම බේරුණා ..

අද මේ කතාව හිනා වෙලා ලීවත් එදා මගේ අම්මා ඉදිරියේ විදුහල්පති තුමා මාව අසරණ කළා නම් මට මොනවා වේවිද, මොනවා හිතේවිද ? කියලා අද නම් මට හිතන්නත් බයයි . යක්‍ෂයෝ යක්‍ෂනියෝ වගේ ගුරුවරු අතරේ දෙවියෙක් වගේ විදුහල්පති තුමෙක් ටික කාලෙකට හරි මගේ ඉස්කෝලේ උන්නු හන්දා ජීවිතේදී විඳින්න ගිය මහා අවමානයකින් මම බේරුණා . එදයින් පස්සේ මම කිසිම දාක ඉස්කෝලේදී අසික්කිත සීඩී එකක් අල්ලන්න තියා එයින් එකක් තියන අහලකවත් හිටියේ නෑ. . . ! 
 

ප/ලි බෝම කාලෙකට කලින් මට වෙච්ච මේ සිදුවීම හදිසියේම මාව බලන්න ආපු මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්‍රයෙක් මට මතක් කර දුන්නා . ඉතින් ඒ කතාවත් අකුරු වෙලා බ්ලොග් පිටුවේ ඇලවුණා.

මාව බේරගත්ත මේ රත්තරන් විදුහල්පති තුමා ගැන මීට කලින් වතාවකුත් මම ලීවා මතකයි ...!