31.7.12

කංසා කෝපි කඩේ




ගමේ කෝපි කඩ කීපයක්ම තිබුණත් හැනිබල් මාමගේ කඩේට එන තරම් සෙනගක් වෙන කිසිම කඩේකට ආවේ නෑ . අනෙක් කඩවල් වළට යන්තම් පොඩි එකෙක් දෙන්නෙක් සීනිබෝලයක් ගන්න ආවා ගියා විතරයි. ඒත් හැනිබල් අප්පු මාමට නම් උන්දැගෙ කඩේ ඇතුළේ පිරිලා උන්නු සෙනග හන්දා කන්ඩ බොන්ඩ වත් වෙලාවක් තිබුණේ නැති ගානයි


ගංසභා පාර දිගේ කෙලෝරටම ගියාම හැනිබල් මාමගේ කෝපි කඩේට ගොඩවැදුණහැකි . ඒ තරම් සැප පහසුකම් ඇති කඩයක් නොවුණත් ඒ කඩේ ඇතුළේ තිබුණු පැත්ත පෙරළාපු තේකොළ පෙට්ටි උඩත් එළියේ තිබුණු බංකු උඩත් නිතරම මිනිස්සු වාඩිගෙන දුං දමන කෝපි කෝප්ප පැයගණං ලෙව කකා ඉන්න හැටි දවසේ කොයි වෙලේක ගියත් දැකගන්න හැකියි

මුල් කාලේ හැනිබල් මාමා ඒ පුංචි කඩේ විකුණුවේ තේ කහට විතරයි. පස්සේ ගමේ ඇවිදලා හොයාගත්තු පලතුරු වගේ දේවල් බොහෝම සුලු ලාභයක් තියාගෙන විකුණලා ගමේ කවුරු අතරත් හොඳ නමක් දිනාගත්තා . හැනිබල් මාමගේ කඩේ ගැන ගමේ කවුරුත් හොඳ කියද්දී ඒ කඩේ ගමේ උන් හවසට එකතු වෙන ප්‍රසිද්ධ තැනක් බවට පත් වුණේ ඉබේටමයි .

හැනිබල්ගේ තේක නම් පංකාදුයි . !!

හැනිබල් මාමා නෝමල් තේ හදලා දෙන කාලේ ගමේ එවුන් නිතරම හැනිබල් මාමගේ තේ එක වර්ණනා කළා . ඒ වගේ වෙලාවට හැනිබල් මාමා හීන් හිනාවක් දාලා මෙහෙම කියනවා

උඹල තාම මගේ වට්ටෝරුවෙන් එක තේකයි බීලා තියෙන්නේ .. හෙක් හෙක් .
එකමත් එක දවසක ගමේ වැඩි දෙනෙක් කඩේට ගොඩවෙලා හිටි වෙලාවකදී හැනිබල් මාමා පිටි කරපු කංසා පොඩිත්තක් පැහෙන වතුරට දාලා ඒ වතුරට කෝපි කුඩුත් එක්කාසු කරලා කළත්තලා ගමේ උන්ට අමුතුම පානයක් හදලා දුන්නා . එදා ඒ පාන ජතියට හිත නොගිය කෙනෙක් කඩේ උන්නු බවක් නම් මට මතක නෑ

උඹ නං දෙයියෙක් හැනිබලෝ !!

කංසා කෝපි කෝප්පෙට වසඟ වෙච්ච එවුන් හැනිබල්ට වැන්ඳේ නැතුවා විතරයි .ඔන්න එදා ඉඳන් තමා අපේ ගමේ කංසා කෝපි ඉපදුනෙත් හැනිබල් මාමගේ අතමිට සරු වුණෙත් .

කෝපි කුඩු එක්ක කංසා ඇබිත්තක් මුසු කරලා පැහෙන උණුවතුරත් ඒ උඩට වත්කරලා කෝප්පෙන් කෝප්පෙට මාරු කරලා හැනිබල් මාමා හදලා දෙන කෝපි කෝප්පේ බීවාම දෙවුලොව සැප සුටුස් ගාලා ලැබෙනවා කියලයි කවුරුත් කීවේ .ඒ නිසාම කෝපි දිහාවේ ඇහැක්වත් ඇරලා නොබලන මලබද්ද කාරයෝ පවා හැනිබල් මාමගේ කෝපි කෝප්පේ නම් උගුරට දෙකට වග කියලා දැම්මා.

හැනිබල් මාමා පිටගං කාරයා . උන්දැ කියන විදිහට නම් මේ තරම් රහට, සැරට කංසා කෝපි හදන්න උන්දැ දැන ඉගෙන ගෙන තියෙන්නේ නේපාලේ ඉඳන් ආපු හාමුදුරු නමකගෙන් . ඒ හාමුදුරුවෝ දවසක් හදා දුන්නු කෝපි වඩියක රහ වැටිච්චි හැනිබල් මාමා ඒ හාමුදුරුවෝ ගාව මාස ගණනක් ඇබිත්ත කමේ ඉඳලා මේ කෝපි සූත්තරේ ඉගෙන ගත්තා කියලයි කීවේ . ඊට පස්සේ රට පුරාම ඇවිදිමින් උන්නු හැනිබල් මාමා අපේ ගමටත් පරෙන්දුවෙලා ගමේ කාටත් අයිති නැති තැනක කඩයක් අටෝගෙන ගමටම කෝපි බෙදන්න ගත්‍තා .

පිඹිනකොට පවුඩර් වගේ විසිරිලා යන ලා කොළ පාට කංසා කුඩු මල්ලක් කොයි වෙලාවෙත් හැනිබල් මාමගේ කඩේ මුල්ලක හංගලා තිබුණා . කෝපි කුඩුත් එක්ක ඒ කංසා කුඩුත් මුසු කළාම කෝපි කෝප්පෙත් ලා කොළ පාටට හැරෙනවා . පාටින් වගේම විහිදෙන සුවඳින් ඕනෙම කෙනෙකුට කංසා කෝපිත් නිකං කෝපිත් අතර වෙනස දැන අඳුන ගතහැකි .

කෝපි බොන්න අකමැති උදවිය වුණත් ඕනෙ තරම් මේ ගමේ හිටිය නිසා හැනිබල් මාමට ඒ උදවිය වෙනුවෙන් වෙනම පානයක් නිර්මාණය කරන්නත් සිද්ධ වුණා . නැස්ටෝමෝල්ට් සමග කංසා මුසුකරලා වෙනම පාන වර්ගයක් හැනිබල් මාමා හදවුවේ ඒ කෝපි නොබොන උදවිය වෙනුවෙන්මයි . ඒ කංසා මෝල්ට් කංසා බීවාම බලය , ජවය ශක්තිය ඩබල් වෙලා සිරුරට ලැබෙනවා .

වයස අවුරුදු දාහතේ දහාටේ කොල්ලො බොහොමයක් හැනිබල් මාමට වැඳගෙන උන්නේ උන්දැව යාප්පුවෙන් තියාගෙන ඉඳලා හිටලා හරි කංසා මුසු කරපු කෝපි කෝප්පයක් හරි කංසා මෝල්ට් කිරි වීදුරුවක් හරි බොන්න ඕනෙ කම නිසාමයි . වතුර නොබී උන්නත් හැනිබල් මාමගේ කෝපි නොබී ඉන්න බැරි වෙන තරමටම ඒවට ඇබ්බැහි වෙච්ච එවුනුත් මේ අවට ගම්මාන කීපයේම හිටියා .

කොලු කම හන්දා අපි වුණත් නිතරම හැනිබල් මාමගේ කඩේට ගොඩ වෙලා උන්දැට පොඩ් බෝලයක් බස්සලා කඩේ පිටිපස්සෙ තැග්ගැහිලා ගමේ වැඩිහිටියන්ට නොපෙනී කංසා කෝපි තොලගාපු අවස්ථා වුණත් එමට තිබුණා . රැහේ වැටුණාම ඉතින් යන්නං වාලේ පෙළට යනවා මිසක් යන මග හරිද වැරදිද කියලා කොලු කාලේ හිතෙන්නම නෑ නේ .. !

කංසා විකිණීම ලොකු වරදක් . හැනිබල් මාමා කඩේ කරන සන්දිය වෙනකොටත් ඒ තහනම ඒ විදිහටම පැවතුණා ඒත් මේ වගේ ගමක ඇතුළේ හැදෙන කංසා කෝපි කෝප්පයක සුවඳ නගරේ පොලීසියෙ මහත්තුරුන්ගේ නාස් වලට නම් නොදැනෙන තරමට දුරයි . ඒක නිසයි ගමේ මිනිස්සු කොයි කවුරුත් බය හැක අහක දාලා කංසා කෝපි බීවේ . හැනිබල් මාමව පාවලා දෙන්න තරම් මිනිහෙක් වුණත් මේ අහල ගම් කීපයේම හිටියෙත් නෑ .

දවසේ වැඩ ඉවර කරලා ඇළට බැහැලා නාන බොහොමයක් පිරිමි අය ඉන් පස්සේ හනි හනිකට දුවන්නේ හැනිබල් මාමගේ කංසා කෝපි උගුර බොන්න . උදේ ඉඳන් වෙහෙස වෙච්ච ඇඟවල්, කටවල් හැනිබල්ගේ එක කෝපි උගුරකින් නිවිලා යන බව නම් ඉර හඳ වගේ කාටත් විශ්වාසයි . ගමේ රා පොළටයි , කසිය පොළටයි එකතුවෙන සෙනග මහා සද්දෙට ගිල්ලාමුරේ තීවත් හැනිබල් මාමගේ කඩේ නම් හරිම නිහඬයි . කංසා කෝපි බොන අය ඇස් අඩවන් කරගෙන එක දිගට බිම ඉඳගෙන බලාගත්තු අතේ බලාන ඉන්නවා . එතන රණ්ඩු සරුවල් නෑ , කළ කෝලාහල නෑ . හීන් හඬින් කන වැටෙන්නේ බොයිලේරුවේ වතුර පැහෙන හඬ විතරමයි .

හැනිබල් මාමගේ කෝපි කෝප්පය කොයිතරම් රහ වුණත් ඇඟට පතට දැනෙන්න කියලා එයින් කෝපි කෝප්ප දෙක තුනක් නම් බොන්න නරකයි . හැනිබල් මාමා කාටවත් දෙවනි කෝපි වඩිය නම් දෙන්න කැමති නෑ ඒත් ඉතින් වදෙන් පොරෙන් දෙවනි කෝප්පෙත් ඉල්ලාගන්න සමහරු හතරගාතෙන් දපලා ඉන්න හැටි කඩේ පිටිපස්සට ගියාම බලාගත හැකි . කාලයක් බොහෝම හොඳින් හැනිබල් මාමගේ කෝපි වෙළඳාම නැගලා ගියා ඒත් එක දවසක් හරිම අමුතු දෙයක් සිද්ධ වුණා . එදයින් පස්සේ ගමේ අය කංසා කියන නම අහන්නවත් කැමති වුණේ නෑ.

මට මතක විදිහට එදා තරමක වැහි දවසක් හරියට කීවොතින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පැවැත්වෙන්න කලින් දවස.එදා වෙනදාටත් වඩා සෙනගක් එදා කෝපි බොන්න කඩේට එක්කාසු වෙලා උන්නා ඒ හැමෝගෙම අතේ තිබුණු කෝපි පිරුණු කෝප්ප, වීදුරු වලින් දුම් නගිමින් තිබුණා.. මමත් මගේ යාළු මිත්‍රයෝ කීප දෙනෙකුත් එදා හැනිබල් මාමගේ කඩේ ඇතුළේ පුංචි බංකුවේ හරිබරි ගැහිලා ඉඳගෙන එක කංසා කෝපි වීදුරුවක් බෙදා හදාගෙන බොමින් හිටියා . හැමදෙනාටම එක කෝපි කෝප්පය ගානේ ගන්න සල්ලි නැති වෙනකොට අපි කවුරුත් කළේ සාක්කු අතපත ගාලා එකතුවෙන පොඩි සල්ලි ටිකෙන් යාන්තම් එක කංසා කෝපි වීදුරුවක් අරගෙන බීපු එක .

මොහොතකින් ඔය කෝපි බීව කොයි කවුරුත් එක එක විකාර දේ කියමින් විලාප තියන්න ගත්තේ ගමටම ඇහෙන තරම් සද්දෙන් .

මට හුස්ම ගන්න හැටි මතක නැතෝ කෝමෙයි මම හුස්ම ගන්නේ කියාපියෝ !

තවත් සමහරු මෙහෙමත් කෑගෑවා

අපොයි මාව ඉස්පිරිතාලේ ගෙනිපල්ලා මේ ලෝකෙ කැරකෙනවා බොලං .

කංසා කෝපි නොබීපු සිහි කල්පනාව හොඳ හැටියට තිබුණු එවුන් එතන හිටියේ කීප දෙනයි .

සමහරු හුස්මගන්න හැටි අමතක වෙලා කෑමොර දෙන්න ගනිද්දී තවත් අය බිම මුනිං අතට පෙරළිලා මඩ ගාගෙන දඟලන්න වුණා . එක වීදුරුවක් බෙදා හදාගෙන බිවුව නිසාද මන්දා අපිට නම් කියන්න තරම් වෙනසක් දැනුණේ නෑ . වටෙන් පිටෙන් මිනිස්සු කඩේට වට වෙනවා දැක්කම අපි හෙමින් සීරුවේ කැලේට පරෙන්දු වුණා . ගමේ වැඩිහිටියන්ට අහුවුනොතින් අහගන්න වෙන දෝස්මුරේ රහ අපි දන්න නිසාමයි අපි ඒ විදිහට කැලේ පැන්නේ .

ඒ වෙලේ මේ සේරෝම දිහා බලාගෙන උන්න හැනිබල් මාමා නම් කළේ හනිකට සල්ලි ලාච්චුව අරං සරමට හලාගෙන පස්ස දොරෙන් පැනලා කැලේට දිවුව එක . එදයින් පස්සේ හැනිබල් මාමා නම් ආයේ ගම ආවේ නෑ . ඒත් මට ආරංචියි ම්නිහා මේ ලංකාවේ කෙළවරක යහතින් ඉන්න විත්තිය .

හැනිබල් මාමා හදලා දුන්නු කංසා කෝපි ජෝගුවට වැඩිපුර කංසා මුලක් වැටිලා තියන බවයි ගමේ අය කතා වුණේ . එදා විකාර කරපු සමහරු ඉස්පිරිතාලෙත් උන්නා . තවත් සමහරු ගොඩගන්න මාස ගාණක් අත් බේත් කරන්නත් වුණා .

ආශාවෙන් තොල ගෑවත් කවුද හිතුවේ කෝපි කෝප්පයක් ඒ තරම් හදියක් කරාවිය කියලා . කවදාකවත් කංසා කෝපි කටේ තියන්නේ නෑ කියලා මමත් මගේ යාළු මිත්‍ර සෙනගත් තදින්ම හිතාගෙන උන්නට ඇඟපත වෙහෙසලා වැඩ පල කරලා සසර කළ කිරුණු දවසකදී අපිට හැනිබල් මාමගේ කංසා කෝපි උගුරේ සුවඳ නම් හීනිවට දැනෙනවා

-------------------------------------------------------------------------------------------------------------------------------------

/ලි - රැකියා විරහිත තරුණයෙක් වුණාම ඇඟට පතට දැනෙන හැඟීම නම් මම පහුගිය කාලේ සැපට විඳගත්තා.ඉතින් කෝමද හිතේ සැනසීමෙන් දෙයක් ලියන්නේ ?. ඕනෙවාට එපාවට ලියලා දාන්ඩ බැරි හන්දයි නොලියා උන්නේ . එහෙම නැතුව මට පට්ටම් තාන්න මාන්න ලැබිලා නම් නෙවෙයි .පොඩි පොඩි වැඩ කරමින් අහුවෙන හැම සතයක් පස්සෙම දුව දුව උන්නාම කොයින්ද ලියන්න වෙලාවක් .

මම ගැන හොයලා බලලා ඊමේල් එවාපු ෆෝන් කෝල් දීපු ෆේස්බුක් මැසේජ් එවාපු සෙට් එකටම තුති .කුණු හරපෙන් බැනලා ආයෙත් බ්ලොග් එක ලියාපි නැත්තං ###$@$@ කරපිය කීව එකාටත් ඩබල් තුති .

මේ කථාවත් මම කලින් ලියලා රැජින පත්තරේට දීපු කථාවක ලෝං වර්ෂන් එක . මේ කරදර සේරම අහවර වුණාම මම ආයෙමත් බ්ලොග් එක ලියනවා වෙනදා වගේම .


27.6.12

බතලයෙකුගේ කතාවක්. 3

පලමු කොටස 
දෙවනි කොටස


 රුවන් අමාලිගේ කිට්ටුවට යනකොටම අමාලිගේ මූණ හිනාවකින් පාට වැටුණ හැටි මම දුර උන්නට හොඳටම දැක්කා . මට දැන් විශ්වාසයි මේ කෙල්ල හිඹිජ්ජි වගේ හිටියට අපේ රුවන් බතලයා ගැන මොකක් නමුත් කැක්කුමකින් ඉන්න බවට . කෙල්ලො කියන ජාතිය ඔහොම්මයි කාලා බැලුවත් කොහොමවත් තේරුම් ගන්න අමාරුයි


රුවන් විනාඩි පහකට වඩා අමාලිත් එක්ක කතා කරමින් හිටියා අමාලිගේ දෙපස උන්නු මානවිකාවෝ ඩබල පැත්තකට වෙලා ඉඳන් හාංචිපයිස් ගහලා ඉරිසියාවෙන් බලාන උන්නා . රුවන් කතාව නවත්තලා ආපහු මම උන්නු දිහාවට එන්න හැරුණේ කල්ල වඩන සෑර්ගේ කාර් පොඩිත්ත දූවිලි කාගෙන ඇවිදින් පන්තිය ඉස්සරහා නතර කළායින් පස්සෙයි

ඉතින් මොකෝ වුණේ ?

මොකුත් නෑ අපි කතා කළා . වැඩේ නම් ඒ හැටි හොඳට කෙරුණේ නෑ .
රුවන් මූණ එල්ලගෙන උත්තර දෙනකොට මටත් ටිකක් අප්සට් .

ඉතින් උඹලා ජෝඩුව අර බොහොම ලස්සන මුකුළු කර කර කතා බහ කළේ . මට පෙනුණේ නෑ උඹලා අවුලෙන් කතා කරන වගක් .

ඉතින් සඳරු අයියේ මට කෙල්ල අකමැති කොට මම අර ළමයි සේරම ඉස්සරහා අඬන්නද ? මමත් කොල්ලා වගේ ෆේස් කළා . ඒකි ඉඳන් හිනා වෙවී මට බෑ කීවා .

කමක් නෑ ඔන්න මගෙන් වෙන්න ඕනෙ හරිය මම කළා . ආයේ එහෙම මාව සල්ලි වලට ගන්න හදන්න එපා . මම මලත් ප්‍රතිපත්ති කඩන එකෙක් නෙවේ .

අනේ මම නොදන්න උඹගේ ප්‍රතිපත්ති
ඔය විදිහට වල්පල් කතා කරමින් පාරට ගියපු අපි ගෙවල් දිහාවට යන බස් කට්ටක එල්ලිලා ගෙදර ගියා . හවහට වැවු පිට්ටනියේ ව්‍යායාම එන බවට මම රුවන්ව පොරොන්දු කරගත්තේ පුදුම දහ දුකක් විඳලයි .


දවස් කීපයක්ම ඔය විදිහට මමයි රුවන් මල්ලියි ව්‍යායාම කරන්න වැවු පිට්ටනියට ගියා . මම හීතල බියර් බොන අතරේ රුවන් වැටෙමින් පෙරළෙමින් ව්‍යායාම කළා . උගේ පරුවතයක් වගේ ඇඟ නම් යන්තම්වත් අඩු වෙලා තියන වගක් මට පෙනුණේ නෑ ඒ වුණත් උගෙන් මම කලින්ට වඩා අමුතුම ප්‍රාණවත් බවක් දැක්කා . සුදුමැලි වෙලා තිබුණ මූණත් පාට වැටිලා ඇවිල්ලා . ඉස්සර ළඟින් ළඟින් තියාපු පියවර වළ පරතරය දැන් වෙනදටත් වඩා වැඩියි



දවස් ගාණක් තිස්සේ හම්බුවෙච්ච මගේ දවසේ දීමනාව නිසා . මගේ පොකැට්ටුව නම් සෑහෙන දුරට පිරිලා. මගෙ හිතත් අමුතු සතුටකින් පිරිලා . සතුටයි සල්ලියි කොයිතරම් එකතුයිද කියලා මට එදා හිතුණා



අතේ සල්ලි තියන කාලේ සතුටෙන් ඉන්න ඕනෙ. අද තියන සල්ලි හෙට වාෂ්ප වෙලා යන්නේ බිම නමාපු ආෆ්ට සේවු වගේ . අදම සල්ලි වලින් වැඩක් නොගත්තොත් හෙට වෙන්නේ හූල්ලන්න . ඒ නිසා මම පහුවදා උදෙන්ම පෙම්වතියත් එක්ක සාප්පු සවාරි යන්න වෙලාවක් වෙන් කරගත්තේ හැමදාම මට සල්ලි වලින් උදවු කරන මගේ කෙල්ලට මොනා හරි සුකුරුත්තං ටිකක් අරගෙන දීලා ඒකිගේ හිත පොඩ්ඩක් නළවන්න හිතාගෙනයි

ඉතින් එක බ්‍රහස්පතින්දා දවසක හැන්දෑ ජාමේ මමත් මගේ පෙම්වතියත් සාප්පු සවාරියක් ගියා . අතින් කටින් බඩු මලු එල්ලගෙන ගෙවල් බලා එන්න හදන වෙලාවේදී කෙල්ල මට තවත් ඩෙන්ඩර් එකක් පාත් කළා .

සඳරු මගේ කොණ්ඩේ පොඩ්ඩක් හදාගන්න ඕනෙ . අපි යමුද කුකීගේ සැලුන් එකට . ?


ගෙදර ගිහින් ඇලට් එකක් දාන්න හිතාගෙන උන්නු මට තවත් මරාලයක් පාත් වුණා . දැන් ඉතින් මෙයා කොණ්ඩේ කපලා හෝදලා වේලගෙන එනකං ඒ ගෑනු සැලුන් එක ඉස්සරහට වෙලා මට වේලි වේලි තමා ඉන්න වෙන්නේ . කුම්බලා කරෝල කෑවා නං විඳපං පූසෝ කියලා හිතෙන් කියාගෙනම මමත් එයාගේ පස්සෙන් ඇදිලා ගියා


සඳරු මම හනිකට එන්නම් ඔයා මේ එළියට වෙලා ඉන්න .

ඇයි මම ඇතුළට එන්න එපාද ?

අපෝ එපා . ඔයා අවොත් මට නිදහසේ කොණ්ඩේ කපා ගන්නවත් නෑ ඔයා හැම දේකම ඇද කුද හොයනවා නේ

අනෙ ඔයා බූ ගාගෙන ආවත් මට මොකෝ .. මම එළියෙම ඉන්නවා . !

කුකීගේ සැලුන් එකේ මිදුලේ ලෑලි වලින් හදපු පුංචි බංකු පොඩියක් තිබුණා . කෙල්ලොත් එක්ක ඇවිදින් මෙතන චාටර් වෙන අහිංසක කොල්ලෝ වෙනුවෙන්ම ඒ බංකු පොඩිත්ත හදන්න ඇති කියලා මට හිතුණා . අතේ තිබුණු බඩු මුට්ට මම ඒ බංකුව උඩින් තිවුවේ බඩු මුට්ටු උස්සගෙන හිටියොතින් මේ සැලුන් එකට එන යන කාන්තාවෝ මම නාටාඹි ගොයියෙක් කියලා සැක හිතාවි කියලා හිතලයි


සැලුන් එකට යන එන නොයෙක් වර්ගයේ පොමනේරියන් කෙල්ලෝ දිහා බලමින් මම ඒ බංකුව උඩ විනාඩි විස්සක් විතර සතුටෙන් වේලි වේලි ඉන්න ඇති .එක වරම තරමක් වේගෙන් ආපු බයික් දෙකක් මගේ ළඟම නතර කළා . . ඒ බයික් දෙකට පිටිපස්සෙන් පුට් සයිකල් දෙකකුත් ඇවිදින් නතර කළා . ඒ චාටර් බයික් සයිකල් ගැන්සිය දිහා මම බලාන හිටියේ ඔච්චමට වගේ .ඔන්න එතකොටම ඒ බයික් ගැන්සියෙන් එකෙක් ඉදිරියට ඇවිත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා


මේ බයික්කේ කාගෙද ?
කාගෙද මන්දා බයික් එකක් පෙන්වමින් ඌ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා

මගේ නෙවෙයි !”

තොගේ නෙවෙයි වුණාට කමක් නෑ මේක අයිනට දාපිය .

මොකද්ද තමුසෙ කීවේ අනුංගේ බයික් අහක දාන්න මම මොකෙක් කියලද තමුසේ හිතුවේ ?

තමුසේ එහෙනම් අපෙ කොල්ලොන්ගේ නංඟිලාට කොල්ලෝ සෙට් කරන්න දඟලන්නේ ඒ ඇයි ?


එතකොටම මට තේරුණා මෙතන වෙන්නේ මොකක්ද කියලා . මේ ඇවිදින් ඉන්නේ පොල් මීයගේ සෙට් එක . මගේ පපුව වේගෙන් ගැහෙන්න වුණා . කොයි එකටත් කියලා මම අත ගුලි කරගත්තේ ගුටි කනවා වගේම එක ගුටියක් හරි දෙන්නත් හිත හදාගෙනයි .හිත හදාගත්ත මම හතර වටේට ඇස් හරවමින් පොල් මීයව හෙවුවා . ඒත් ඌ එතන හිටියේ නෑ

මොනාද ඩෝ බලන්නේ ? ඉඳා

එකෙක් පැන්න ගමන් මගේ මූණට දාර පාරක් දුන්නා . මම ඒ පාරට කොහෙත්ම සූදානමින් නම් නෙවෙයි හිටියේ . ඒක නිසා මාව අඩියක් විතර පස්සට තල්ලු වෙලා ගියා . හිතේ තිබුණු තරහවටයි කලබලයයි හන්දා වෙන්න ඇති මට ඒ ගහපු පාර යන්තම්වත් දැනේ නෑ


මමත් පැන්න ගමන් මට ගහපු එකාගේ මූණටම හොඳ පාරක් දුන්නා මූණ සම්බල් වෙන්නම . ඌ පස්සට විසි වෙනවාත් එක්කම මම පැන්න ගමන් උගේ බෙල්ලෙන් අල්ලාගෙන ඌට තවත් ගුටි කීපයක් දුන්නා . ඔන්න ඔය අතරේ තමයි වටේ හිටි එවුන් ටික මට නෙලන්න ගත්තේ



එකෙක් මගේ ඔළුව පිටිපස්සට හෙල්මට් එකකින් ගැහුවා . මට දැනුනෙවත් නෑ . තවත් එකෙක් මට පයින් ගැහුවා ඒත් එවේලේ තිබුණු මොකක්දෝ මන්දා අමුතු හැඟීමක් නිසා මට රිදුණේ නම් නෑ . මම වටේ පිටේ ඉන්න එවුන් ගැන යන්තම්වත් නොහිතා මට පළමු පහර ගහපු එකාගේ මූණටම ගුටි ගහමින් හිටියා .. මේ වලිය විනාඩි පහක් හයක් විතර තියෙන්න ඇති මගේ හයිය හත්තිය ටිකෙන් ටික අඩු වෙලා ගියා හතර වටින්ම වදින පාරවල් ටිකෙන් ටික මට දැනෙන්න පටන්ගත්තා


ඔය අතරේදී දූවිලි කාගෙන ආපු පල්සර් බයික් එකක් අපේ ගැටුම සිද්ධ වෙන තැනට ආවේ පුදුම වේගෙන් .ඒ බයික් එකේ උන්නු එකාව මට ඒ මොහොතේ හරියට නොපෙනුණත් මම බයික් එකේ හඬින් ඒ ආපු එකාව ඇඳින්නා .මගේ හිතට දැනුණේ පුදුම සතුටක් .එක්ක අමුතුම හයියක් . ඒ ආවේ මගෙ හොඳම මිත්‍රයා වෙච්ච කිතුලා.


කිතුලා බයික් එකෙන් බැහැලා ආවේ හරිම සන්සුන් විදිහට . ඒ කිතුලගේ හැටි බය කියනදේ අපි ඇඳින්නට ඌ බය කියන දේ අහලාවත් නෑ . හෙල්මට් එක දෑත බදලා අරන් කිතුලා වලිය මැදට පැන්නා මොනා වුණාද කියලා නම් දන්නේ නෑ වලිය නම් ඉවරෙටම ඉවරයි වලියට ආපු එවුන් ගිහිල්ලත් ඉවරයි


මම දකුණු අතෙන් ගලන ලේ පිහදාන්න බිම වැටිලා තිබුණු පත්තර කෑල්ලක් අතට ගත්තා . මගෙ අත හයියෙන් වෙවුලන්න වුණා .

සඳරුවා උඹට අමාරුද බං ?කිතුලා මගෙන් එහෙම ඇහැවුවේ ටිකක් විතර අවුලෙන් වගේ .

මට අවුලක් නෑ බං අනූ දැක්කොත් තමා කෙළිය . ඒකි කලබල වෙයි ඒක නිසා මම හනිකට ගිහින් මේ අත හෝදගෙන එන්නම් .”


ආයෙ දකින්න දෙයක් නෑ උඹගේ කෙල්ල තමා මට කෝල් කළේ . එවේලේ මම බාලිකා හන්දියේ උදයපාලගේ ගැරිජ් එකේ හිටියේ බයික්කේ චේන් එක තද කරන ගමන් . කෝල් එක ආපු ගමන් මම පැනලා බයික්කේ අරන් ආවා චේන් එක තද කර කර උන්නු උදයපාලයා බයික් එකට යට වුණාද මන්දා . හෙක් හෙක් .” 


මම ආපහු හැරිලා කුකීගේ සැලුන් එකේ ඉස්සරහා අඳුරු වීදුරුව දිහා බැලුවා . ටිකක් වෙලා ඒ දිහා බලද්දී ඒ වීදුරුව විනිවිද යන බැල්මට් එකක් දාන්න මට පුළුවන් වුණා . පර වෙච්ච මලක් වගේ මූණක් එක්ක මගේ දිහා බලාන හිටියේ මගෙ කෙල්ල . එයාට පිටිපස්සෙන් තවත් සැලුන් එකට ආපු ගෑනු පෝලිමක් කම්මුලේ අත තියාගෙන මගේ දිහා බලාන හිටියා . “වසල නෝන්ඩිය” . මම හිතෙන් මිමිනුවා


එදා රෑ නිදාගන්න ඇඳට වැටුණහම තමා මට හැන්දෑවේ අල්ලපු අඩවුවේ සැප දැන්නෙන්න ගත්තේ .මගේ ඔළුව ගෙඩි ගැහිලා තිබුණා ඒ විතරක් නම් මදෑ යටි බඩත් කොර වුණා. ඒත් පහුවදා අවදි වෙද්දී ඒ අමාරු බොහෝමයක් නැතිවෙලා ගිහින් තිබුණා . ඉතින් එදා මම වැඩට නොගිහින් ගෙදර හිටියේ ඇඟ පතේ අමාරුවෙ ආයෙමත් උත්සන්න වෙයි කියලා හිතලයි .


එදා හවස හතරට විතර කිතුලා මාව හම්බුවෙන්න ආවා. ඌ එනකොටත් මම තුවාල වෙච්ච අතේ දම්පාට බෙහෙත් ආලේප කරන ගමන් .

උඹට මම කොච්චර කියලා තියනවාද ඔය චීත්ත සීන් වලට යන්න එපා කියලා කෝ උඹ අහන එකක් යැ .

මොනා කරන්නද බං.? අර රුවන් මලයා මට සල්ලි පෙන්නුවානේ ඉතින් මම කොර වුණා. උඹ දන්නවානේ මේ දවස් වළ මගෙ අතේ සතේ නැතුව මම වේලි වේලි හිටිය විත්තිය .

ඒක නෙවෙයි සඳරු මම ආවේ උඹව යාළුවෙක් හම්බු වෙන්න එක්ක යන්න .”

කාවද ?

පොල් මීයව .”

ඒ මොකටද ඌට ඕන්නං ඇවිදින් මාව හම්බු වෙන්න කියාපං . මම මොකටද ඌ ගාවට බඩගාන්නේ ?

මචං අපිට ඔය යකඩ බජාර් එකේ එවුං එක්ක කේස් දාගෙන මේ පැත්තේ වසන්න වෙන්නේ නෑ උඹ දන්නවානේ උං එක්ක හැප්පෙන්න කවුරුත් නැති විත්තිය . ඉතින් අපි මේක ෂේප් කරමු .”

කිතුලා කීව කතාවට මගේ හිතත් අවනත වුණේ ඉබේටමයි . ඇත්ත..! යකඩ බජාර් එකත් එක්ක පැටලෙනවට වඩා උංව අපේ යාළුවෝ වගේ තියාගන්න එක ඇඟට පතට ගොඩාක් සනීපයි . හෙල්මට් එකකුත් අරගෙන කිතුලාගේ බයික් එකේ පිටිපස්ස සීට් එකේ මම ඉඳගත්තේ යකඩ බජාර් එකත් එක්ක සටන් විරාමයකට සෙට් වෙන්න කියලා හිතාගෙනයි


කිතුලා බයික් එක පැදගෙන ගිහින් ටවුමේ ප්‍රයිවට් බස්ටෑන්ඩ් එක පිටිපස්සේ තිබුණු කක්කුස්සිය ගාව නතර කළා . යාන්තමට ගැහි ගැහී මම ඒ බයික් එකෙන් බිමට බැස්සේ ආයෙ වතාවක් නම් ගුටි කන්න හයියක් මගේ ඇඟපතේ යන්තමටවත් නැති බව හොඳටම දැනගෙනයි



කක්කුස්සිය අද්දර තිබුණු අන්දර ගහක් යට පොල් මීයා වාඩි වෙලා හිටියා . යකඩ බජාර් එකේ තවත් අයියලා හත් අට දෙනෙක් ඌ එක්ක බිම ඉඳගෙන බීඩි ගහමින් සතුටු සාමිච්චියේ යෙදෙමින් හිටියා . හෙල්මට් එක අතට අරන් කිතුලා ඉස්සර වුණා


ඔන්න අපි ආවා . දැන් කියන්න තියන දේ කියපං ..!
කිතුලා පොල් මීයට ටෝක් කළ විදිහ දැකලා මට පුදුම හිතුණා . උගේ ඒ හැසිරීම ඉදිරියේ මගේ බයත් කොහෙ ගියාද මන්දා ?

සඳරු වාඩියං පොඩ්ඩක් අපි ටිකක් ආස්සරේ කරමු .


මමත් කිතුළත් පොල් මීයා ඉඳගෙන උන්නු අන්දර ගහ යට ඉඳගත්තා සාක්කුවෙන් කැප්ටන් සිගරට් පැකට් එක අතට ගත්ත පොල් මීයා ඒකෙන් එකක් සහ ගිනි පෙට්ටියක් මගේ දිහාවට පාස් කළා . මගේ සිගරට් එකෙන් දුම් නගින්න ගත්තාට පස්සේ පොල් මීයා කතාවට බැස්සා . ඒ කතාව රතු ඉන්දියානු නායක සියැටල්ගේ කතාව තරම්ම උත්කෘෂ්ටයි.

සඳරු උඹගේ නංඟිට කවුරුහරි කොල්ලෙක් ටෝක් කළොත් උඹ මොකද කරන්නේ ? මම හොඳටම දන්නවා බං උඹ කරන දේ . උඹ ඌව බය ගන්නන්න හදයි බැරිම වුනොතින් නෙළයි . මමත් කළේ ඒ වැඩේ තමයි . අපේ පොඩි කෙල්ලෝ තාම උසස්පෙළ කරන වයසේ බං කොළඹ නුවර එවුන් මේ කාලේ වෙනකොට කරන්න ඕනෙ වල් වැඩ සේරම කරලයි ඉන්නේ ! ඒත් මේ අම්පාර බං ඉස්කෝලේ යන කාලේ ලවු කරන එක මේ පළාතට මැජික් ! . ඔවුවායිං වෙන්නේ කෙල්ල චා වෙන එක.අම්පාරෙදී කෙල්ලෙකුට කැත කතාවක් හැදුණොත් ආයෙ කිරි කළ හතකින් නාවලාවත් ගෙට ගන්න බෑ යකෝ . නැද්ද මං අහන්නේ ?” 

හ්ම්

අපි ඉස්කෝලේ යන කාලේ ගන්න තියන හැම ආතල් එකක්ම අරගත්තා . ඒත් අන්තිමට අපිට වුණේ කාලකණ්ණි වෙන්න .අපි මොකටද බං ඒ වැඩේ අපේ පවුලේ අනික් එවුන්ටත් වෙන්න දෙන්නේ ? සඳරුවා මම උඹට මේ හොඳින් කියන්නේ උඹ ආයේ ඔය වගේ සීන් වලට සම්මාදං වෙන්ඩ නම් එපා .” 

හරි මගේ අතිනුත් වරදක් වුණා . මට සමාවෙයං . මම ආයේ ඔය වගේ සීන් වලට යන්තමවත් ගෑවෙන්නේ නෑ .”

හරි උඹ එක්ක අපි ෂේප් ! ඒත් තව පොඩි වැඩක් කරන්න තියනවා . ඔය මගේ නංඟිට අවලං මැසේජ් ගහන තඩියාව මට හොයාගන්න ඕනෙ . හොයාගෙන උගේ ගෙදර මහ එකාලට සද්දයක් දාලා ඌට දෙකක් නෙලන්නත් ඕනෙ . එහෙම කරන්නේ ආය ඌ ඒ වගේ වැඩ නොකරන්න .” 

ඕන දෙයක් කරගනිල්ලා හැබැයි මගෙන් නම් අහන්න එපා ඌ ඉන්න තැන මම කියන්නේ නෑ .

උඹට උගේ විස්තර දෙන්න බැරිනං හංඟා ගනිං . මට මගේ නංඟි ඌ ගැන සේරම ඩීටේල් දුන්නා . මට තියෙන්නේ වෙලාවක උගේ ගෙදෙට්ට ගිහින් පොඩි සද්දයක් පාත් කරන්න විතරයි . මම ඒක කරනවා .

පොල් මීයටයි උගේ සේනාවටයි ඕනෙ දෙයක් කරගන්න ඇරලා මමයි කිතුළයි එතනින් හෙමිහිට මාරු වුණා . ආයේ නම් සල්ලි නෙවෙයි මුතු මැණික් දෙනවා කියලා කීවත් මම මේ වගේ වැඩ වලට සම්මාදම් නොවී ඉන්න තදින්ම හිතා ගත්තා . පොල් මීයාගේ පැත්තෙන් බැලුවාම ඌ සීයට සීයක්ම හරි . ඌ අද ඉන්න තැන මම උන්නා නම් මම කරන්නෙත් ඔය දේම නේද කියලා මට නිතරම හිතුණා 

******

දවස් දෙක තුනක් ගත වුණා රුවන් නොවරදවාම ව්‍යායාම වලට නම් සහභාගී වුණා ඒ වගේමයි ඌ අමාලිට මැසේජ් යවන එක සහ මිස් කෝල් ගහන එකත් නතර කරලා තිබුණේ නම් නෑ . ඌට ඒ වැඩේ නොකර පාඩුවේ ඉන්න කියලා මම වැන්දේ නැති ටික විතරයි . ඒත් පහන් දැල්ලක් පස්සේ දුවන පලගැටියෙක් වගේ ඌ ඒ කෙල්ල පස්සේ එළවමින් හිටියා . දවසක් රෑ එකොළහමාරට විතර මගෙ ෆෝන් එකට රුවන්ගෙන් කෝල් එකක් ආවා

සඳරු අයියේ පොල් මීයා සෙට් එකක් එක්ක ඇවිදින් අපේ තාත්තට බනිනවා . මම පිටිපස්ස ජනේලෙන් පැනලා වැවට ආවා . අනේ උඹත් පොඩ්ඩකට වරෙං .


අඳුරෙම අතපත ගාලා සෙරෙප්පු කටු දෙකකුත් හොයාගත්ත මම ෆෝන් එකේ ටෝච් එකත් දල්වාගෙන වැව පැත්තට දිවුවා . වැවේ පිටවාන ගාව කඩාන වැටිලා තිබුණු තිඹිරි ගහක කඳක් උඩ රුවන් වාඩි වෙලා හිටියා .ඌ ඒ ඉන්න විදිහ දැක්කාම මගේ හිතට නම් පොඩ්ඩක්වත් දුකක් නම් දැනුණේ නෑ

උඹ විහින් දාගත්ත කරදර හන්දා නේ මල්ලි මේ සේරම . දැන්වත් ඔය කෙල්ලව අමතක කරපං එයා තමයි උඹ ගැන සේරම විස්තර පොල් මීයට දීලා තියෙන්නේ . ඒකි උඹට ආදරේ නෑ මල්ලී .”
රුවන් හයියෙන් අඬනවා මම කළුවරේම දැක්කා. ඒ අඬන ගමන් මොනවාදෝ කියන්නත් උත්සහ කරනවා ඒත් ඒ වචන පැහැදිලි නෑ .

අඬන එක නවත්තලා ගෙදර යං .දැන් පොල් මීයා සහ පිරිවර ගිහිං ඇති කියලා හිතුණ නිසා මම එහෙම කීවා .
රුවන් උන්නු තැනින් නැඟිටලා කලිසමේ තිබුණු වැලි පිහදාගෙන මගේ ෆෝන් එකේ එළියෙන් ගෙවල් පැත්තට ගෑටුවා . යන අතරේදී ඌ නාහෙන් අඬන්නත් ගත්තා

තාත්තා මට බණියි බං . හෙටම මාව නුවර ගිහිල්ලා දමාවි බං . !

ඉතින් මල්ලී මේ සේරම අවුල් අමතක කරලා උඹ නුවර ගිහින් හොඳට ඉගෙන ගනු .

මට බෑ මට බෑ බං අමාලිව දාලා යන්න මේ ගමේ ඉද්දී ඒකි මට යන්තම් හරි දකින්න ඇහැකි ඒත් මම නුවර ගියාම මම කෝමද ඒකිව බලන්නෙ ?

අනේ මන්දා බං
මම රුවන්ව උගේ ගෙදර ගෙට්ටුව ගාවටම එක්කරගෙන ආවා . ගෙදර පිලේ ඉඳගෙන හිටි තිලකේ මාමා හනි හනිකට අපි ගාවට දුවගෙන ආවා .

සඳරු පුතේ මේකා කොයිබද උන්නේ ?

වැවේ උන්නා මාමේ මම එක්කරගෙන ආවා . බනින්න හෙම එපා හෙමීට කරුණු කාරණා කියාදෙන්න පොඩි එකා නේ !

අනෙ මූ හරි හොඳ පොඩි එකා. අර යකඩ බජාර් එකේ උං එක්කයි මූ පෑහෙන්න හදන්නේ . උඹ දන්නවානේ උං මැරයෝ කියලා උං එක්ක පෑහෙන්න අපි හෙහ් .. තෝ හෙටම නුවර යන්න ලැහැත්ති වෙයං . සකලසූරිය බස් එකට මම කෝල් එකක් දීලා සීට් බුක් කළා තෝ හෙටම පල නුවර නැත්තම් මම තෝව පට්ට ගහනවා” 

ඒ දෝස්මුරේ අහගෙන උන්නු රුවන් මීයෙක් වගේ ගෙට රිංඟුවාට පස්සේ මමත් ගෙදර ගියා . මේ හැම ප්‍රශ්නයක්ම හෙට උදේ රුවන් නුවර ගියායින් පස්සේ අවසන් වෙනවා එහෙම හිතාන ඇඳට වැටුණ මට වෙනදාට වඩා හොඳට නින්ද ගියා .

*****

අයියේ අයියේ නැගිටිනවා හනිකට .. !”
මගේ නංඟිගේ කෑගැහිල්ල ඇහිලයි මම පහුවදා උදේ අවදි වුණේ .

මොකෝ ?

අන්න තිලකේ මාමගේ පුතා හාල් මෝලට අත දාලා අත තුවාල කරගෙන ! උඩහ ලොකු නැන්දලාගේ ත්‍රීවිල් එකෙන් ඉස්පිරිතාලේ ගෙනිච්චා .

අර මොකෝ මෝලට අත දාන්න ගිහින් තියෙන්නේ ?

රුවන් උදේ අමාලිට කෝල් අරගෙන ඒක දැක්ක තිලකේ මාමා ෆෝන් එක අරන් මෝලට දාලා රුවන් ඒක ගන්න අත දාලා

ගොඩක් අමාරුද ඌට ?

වම් අතේ ඇඟිලි දෙකක් කැඩිලා ගිහිල්ලලු ? ආයෙ හදන්නේ කොහොමද නේද ඉතින් ?

මම ලොකු හුස්මක් පිට කරලා ආයෙමත් ඇඳේ මුනිං අතට පෙරළුණා . හිත කෑගහලා කියනවා මේ සිද්ධ වෙච්ච දේට මමත් වැරදි කාරයෙක් කියලා .රුවන්ට පොතේ පතේ දැනුම තිබුණට කෙල්ලො සම්බන්ධ දේවල් වලදී නම් ඌ අමුම අමු මෝඩයෙක් නැත්තම් කෙල්ලෙක් නිසා උගෙ අනාගතේම කාලකණ්ණි කරගනීවිද ?. 


රුවන් වමත් කාරයා. ඌ අකුරු ලීවේ වමින්. දැං ඉතින් ඌ ලියන්නේ මොන අතින්ද ? මම උගෙන් සල්ලි අරන් ඌට බ්‍රෝකර් වැඩ කරන්න ගියා කියලා තව ටික දවසකින් මේ ගමම දැන ගනිවී ඊට පස්සේ රුවන් කාට කාටත් රත්තරන් පුතෙක් වෙන අතරේ මාව හැමෝටම කටගැස්ම වේවි


ඉතින් රුවන් ආයේ කවදාකවත් ව්‍යායාම කරන එකක් නෑ. ආයේ නුවර ඉස්කෝලෙට යන එකකුත් නෑ . උගේ අනාගතේ ඌම කාලකණ්ණි කරගත්තා මමත් ඒකට පංඟු කාරයක් වුණා .


එදා ඉර ගල පයින ජාමෙට බෝතල්කුයි වීදුරු කීපයකුයි අරන් මම වැවු පිටියට ගියා . මම වැවු පිටියට එනකොටත් කිතුළයි මගෙ තවත් හොඳම මිත්‍රයෙක් වෙච්ච මොරටුයි දෙන්නා .බයිට් සහ සෝඩා එක්ක ඇවිදින් හිටියා . ගිනි වතුරෙන්වත් හිත හෝදලා දාලා යන්තම්වත් පිරිසිදුවෙන්නයි මට ඕනෑ වුණේ . බෝතලේ ඉවර වෙද්දී මේ කැලතිලා තියන හිත සන්සුන් වුණත් ආයේ රුවන් දකින දකින වාරයක් ගානේ මට මේ පවුකාර හැඟීම දැනෙන බව මම දන්නවා ..


හැන්දෑ අඳුර වැවු පිටියට වැටෙන අතරේ වතුර නැතිව හිඳිලා ගියපු වැව පුරාම පැතිරුණේ මහ මුස්පේන්තු බවක්. ඒකත් හරියට මගෙ හිත වගේ !..


ලොකු හුස්මක් අල්ලපු මම වීදුරුව පිරෙවුවා . !





ඉවරයි !









හරක් බලන පාල මාමා බන්ටෙක උඩ ඉඳන් අපි දිහෑ බලාන උන්නු හැටි මගේ කැමරාවේ වැදුනේ මෙහෙමයි !