17.9.13

රාළහාමි

ටවුමට යන අතර මහදී පාරෙ අයිනේ පුංචි ගෙදරක උන්නු මන්දමානසික කොල්ලෙක්ව මම නිතරම දැක්කා .ඌ මට වඩා වයසින් සෑහෙන්න වැඩිමල් වුණත් මනසින් යාන්තමටවත් මෝරලා නැති ඌ බොහොමයක් වෙලාවට පාර අයිනට වෙලා පාරේ යන වාහන දිහාවේ කට ඇරගෙන ඔහේ බලාන හිටියා.

ළඟකදී ඉඳන් මම බයික් එකකින් ටවුන් යන විටදී මම ඒ මන්ද මානසික කොල්ලා පාර අයිනේ ඔහේ බලාන ඉන්නවා දැක්කොත් මම ඌට හිනා වෙලා සැලියුට් එකක් දාන්න පටන්ගත්තා ..මුල් දවස්වල පුදුමයෙන් මං දිහා බලාන උන්නු ඒකා පස්සේ පස්සේ මූන පුරා හිනා වෙලා ඌටම ආවෙණික අමුතුම සැලියුට් එකකින් මටත් සංග්‍රහ කෙරුවා .. මාසයක් දෙකක් ගත වුණාම ඌ මගේ සැලියුට් ෆ්‍රෙඩා බවට පත් වුණා ..

එක දවසක බයික් කටුවෙන් අම්පාර ටවුමට යන අතරේදී මම මගේ ෆ්‍රෙඩාට සැලියුට් කරනවා දැකපු බයික්කේ පිටුපස අසුනේ හිටපු උපුලා මගෙන් මෙහෙම ඇහුවා ..

"මොකදෑ සඳරු උඹ ඔය ලෝකයා හිනස්සන වැඩ කරන්නේ ?"

"නෑ බං ඌ පාර දිහෑ බලාන ඉන්නේ කිසිම අරමුණක් නැතිව ඉතින් මං දැං ටික කාලෙක ඉඳන් ඌට හෝන් ගහලා සැලියුට් දානවා . ඉතින් ඌත් දැං පාර දිහා බලාන ඉන්නේ මං එනකම් ... උඹ දැක්කේ නෑද උපුලේ උගේ මූණේ තිබිච්ච සතුට..? යකෝ ඒ සතුට ඌට දුන්නේ මම නේ .."

බියර් එකකින් සප්පායම් වෙලා හිටි මම උපුලාට ඒ විදිහට ටෝක් කෙරුවා .

"ඌට සතුටු ඇයිද දන්නවාද බං ..?. ඌ වගේ තවත් එක මොංගලයෙක් හරි මේ වැවුගම්පත්තුවේ ඉන්න එකටයි ඌට සතුටු .. උඹටත් මොංගල් බව ඌ දැනගෙන ඌට තනියක් නැති නිසා තමයි ඌට හිනා යන්න ඇත්තේ .."

උපුලා එහෙම කියලා නක්කලේට හිනා වුණාම මගෙ මොංගල් හිත ටිකක් විතර රිදුනා ..

මන්ද මානසික එවුන් ඉදිරියේ මම කොහොමත් සංවේදියි.. මගේම සමහර යාළුවෝ උන්ව පිළිකුල් කරද්දී මම උන්ට මට හැකි විදිහට කරුණාවන්ත වුණා ..කාලෙකට කලියෙන් නොතිබුණු ඒ කරුණාවන්ත කම මගේ හිතට ආවේ මේ මෑතකදී. ඇත්තටම කීවොත් මගේ මොංගල් හිතට ඒ බෝධිසත්ත කරුණාව පහළ වුණේ රාළහාමි හන්දා ...

ජීවිතේ කියන්නේ බොහොම අසාධාරණ තරඟයක් විත්තිය කවදාකවත් දැනගෙන නොහිටි. ජීවිතේ ගැන වගේ වගක් නැතිව ජීවත් වෙච්ච රාළහාමි ගැන මේ විදිහට මට ලියන්න හිතාන හිටියේ දැන් කාලෙක ඉඳලයි....

රාළහාමි කීවේ මගේ ලොකු මාමාගේ -ලොකු දුවගේ -ලොකු පුතාට . අපි කවුරුත් මිනිහට හුරතලේට කීවේ රාළහාමි කියලා . මට නම් රාළහාමිගේ මුළු ජීවිතේම පෙනුණේ චිත්‍ර කතා පොතක් වගෙයි. ඕනෙ නම් කියවලා හිනා වෙන්නත් , අවසාන කොටසට එද්දී ඕනෙ නම් අඬන්නත් පුළුවන්. මම රාළහාමිව දන්නේ ඌ උපන් දා පටන්ම.ඒ හන්දා රාළහාමිගේ ජීවිත කතාව උගේ අම්ම අප්පටත් වඩා හොඳින් මං දන්නවා.

ගිය අවුරුද්දේ හත් වෙනි මාසේට රාළහාමිගේ වයස අවුරුදු 14ක් පිරුණා . වයසින් තරුණයෙක් වුණාට රාළහාමි හිතින් බොහොම පොඩි එකෙක් . කෙටියෙන්ම කීවොත් රාළහාමි මන්ද මානසිකයි. මනස අවුරුදු හයක හතක ළමයෙකුගේ තරමටවත් මෝරලා නෑ . මට තාම මතකයි රාළහාමිගේ දෙමවුපියෝ රාළහාමිව නිතර නිතර ඉස්පිරිතාල ගානෙ එක්ක ගිය හැටි . ඒත් වැඩක් වුණේ නෑ .

නෑදෑ කම හන්දා රාළහාමිට මම මාමා වුණා. ඒත් ඌ කවදාවත් මට මාමා කියලා නම් කතා කළේ නෑ . රාළහාමි කොයි වෙලේත් මට කතා කළේ සඳරු කියලා .

කාලයක් රාළහාමියි මමයි දෙන්නම එකම ඉස්කෝලේ ඉගෙන ගත්තා . මම සාමාන්‍ය විදිහට මගේ වයසේ ළමයි එක්ක ඉගෙන ගනිද්දී රාළහාමි ඉස්කෝලේ වත්තේ කෙළවරේ කැලෑ මායිමේ තිබුණ . මනසින් දුබල ළමයි ඉගෙන ගත්ත විශේෂ පන්ති කාමරයක ඉගෙන ගත්තා . ඒත් පුළුවන් වෙච්ච වෙලාවට හෙමීට පන්ති කාමරෙන් එළියට පැනගන්න රාළහාමි මාව හොයාගෙන ආවා .

"සඳරු සල්ලි එකක් දීයන්.."

මගේ පන්තියේ කොට බිත්තිය බදාගෙන රළහාමි මගෙන් ඒ ඉල්ලන්නේ රුපියල් දෙකක් .

"මොකටද බොල තොට සල්ලි . ?"

"කූල් පැකට් එකක් ගන්ට ."

කලාතුරකින් මට රාළහාමි ගැන දුක හිතුණා . ඒ වෙලාවට මම රාළහාමිව හෙමිහිට කැන්ටිමට එක්ක ගිහින් අයිස් පැකට් එකක් අරන් දීලා ආයෙමත් ඌව උගේ පන්තියට ගෙනිහින් ඇරළුවා . ඒත් සමහර දාට රාළහාමි මගෙන් සල්ලි ඉල්ලද්දී මට අසූහාරදාට කේන්ති ගියා . ගෙදර වැඩ මග ඇරලා හෝ ගණං වරද්දලා ගුරුවරුන්ගෙන් බැණුම් අහපු, ගුටිකාපු දාට මම ඒ තරහ පිරිමැහුවේ රාළහාමිගෙන් . හැබැයි කොච්චර මම කොයිතරම් ගැහුවත් බැන්නත් රාළහාමි ඒවා හිතේ තියාන උන්නේ නෑ . ඉස්කෝලෙ ඇරෙනකොට මාව හොයාගෙන ආවා .

රාළහාමිත් මමත් දෙන්නම එකම ඉස්කෝලේ ඉගන ගත්ත නිසා කවුරු කවුරුත් රාළහාමිගේ වගකීම මට පවරලා තිබුණා . ඒ බව ඉස්කෝලේ ගුරුවරු වඩා හොඳින්ම දැනගෙන හිටියා . රාළහාමි ඉස්කෝලෙ ඇඳුමේ රුන්නහාම රාළහාමිගේ ගුරුතුමා මට එන්න කියලා පණිවිඩ එවුවා . ඒත් මම රාළහාමිට උදවු වෙන්න ගියේ ජීවිතේටම වතාවයි නැත්තම් දෙකයි අනෙක් හැම වතාවෙම මොනවා හරි කියලා මම මග ඇරියා එක්කෝ හැංගිලා හිටියා .

රාළහාමි ඉස්කෝලේ ගියේ අවුරුදු දෙකහාමාරක් හෝ තුනක් විතරයි . දිගින් දිගටම අසනීප වෙන්න ගත්ත නිසාත් ඌව ඉස්කෝලේ එවීම කාටත් කරදරයක් වීම නිසාත් අන්තිමේදී රාළහාමිගේ ඉස්කෝලේ ගමන නැවතුණා .

ඇත්තටම කීවොත් රාළහාමිගේ ඉස්කෝලේ ගමන නැවතුන එක වඩා හොඳයි . මනසින් දුබල ළමයින්ගේ පන්තිය භාරව උන්නු ගුරුතුමා වුණත් තරමක් මොංගල් වැඩ කරමින් ඉස්කෝලෙ වත්ත වටේ ඇවිදිමින් ගුරුවරියන් එක්ක මුකුළු කරමින් උන්නු නිසාම අහිංසක ළමයින් ගැන හොයන්න බලන්න යන්තම්වත් වෙලාවක් ඒ ගුරුතුමාට තිබුණේ නෑ . අදටත් මම සතුටු වෙනවා රාළහාමි ඒ පන්ති කාමරයක හැඩ හුරුකම් ගත්ත වධකාගාරෙන් ඉක්මනට නිදහස් වෙච්ච එකට .

කාලේ ගත වුණේ හෙමින් නෙවෙයි . කාලේ ටික ටික හත වෙනකොට රාළහාමි තමන්ගේ වැඩ බොහොමයක් තනියම කරගන්න පටන්ගත්තා . අවුරුදු ගාණක් මිදුල මැදම මළපහ කරපු රාළහාමි අපි වගේම කක්කුස්සි යන්නත් ඉගෙන ගත්තා ඒ ගැන කවුරුත් සතුටු වුණා . ඒත් ඒ පිටිපස්සේ දුක හිතෙන කතාවකුත් තිබුණා .

රාළහාමිගේ මූණේ දැලි රැවුල් ආ කාලේ පවා ඌ මළපහ කළේ ගෙයි මිදුලේ . ඌට කවුරුත් මොකුත් කීවේ නෑ ඒත් දවසක් රාළහාමි මිදුල මැද මළපහ කරමින් ඉන්න අතරේ කවුදෝ අසමජ්ජාතියෙක් රාළහාමිගේ පස්ස පැත්තට මිරිස් කුඩු විසි කරලා තිබුණා . එදා රාළහාමි ලතෝනි දීලා ඇඬුව හැටි මට තාමත් ඇහෙනවා වගේ . රාළහාමිට මිරිකුඩු ගැහුවේ කවුද කියලා කාටවත් හොයාගන්න බැරි වුණා . ඒත් එදායින් පස්සේ රාළහාමි කක්කුස්සි යන්න පුරුදු වුණා . ඒක වටේ පිටේ කාටත් ලොකු සැනසීමක්ම වුණා .

රාළහාමි කොයි මොහොතේ වුණත් කන්න ආසා කළේ අල කිරි හොදියි පානුයි . තුන් වේලටම වුණත් පානුයි කිරිහොදියි තියනවා නම් රාළහාමිට වෙන මොකුත් ඕනෙ නෑ . සමහර දාට මට කෝල් කරන රාළහාමි

"සඳරු පාං ගෙනෙං ." කියලා කියනවා .

රාළහාමිට අංකයක් ඔබලා ෆෝන් කෝල් එකක් ගන්න බැරි විත්තිය නොදැන ඉන්න තරම් මම අඳබාලයෙක් නෙවෙයි . ඉතින් ඒ වෙලාවට මම තේරුම් ගන්නවා මගේ අක්කා හරි අයියා හරි මම ලවුවා පාං ගෙන්න ගන්න රාළහාමි ලවුවා ගොතවුව නූල් සූතරයක් කියලා . ඒ නිසාම රාළහාමි මට කෝල් කෙරුව ගමන්ම මම ඌට පාං භාගයක් අරන් ගියා .

රාළහාමිට මම පාං අරගෙන ගිය බොහෝ වෙලාවට ඌ පාං ගිලිනකම් මම ඒ ළඟට වෙලා ඉන්නත් ඕනෑ .හරියට හපන්නේ නැතිව පාං ගිලින රාළහාමි නිතරම පාං වාටි උගුරේ හිරකරගත්තා . ඒ වෙලාවට ඌට තරු විසික් වෙන්න ඇස් වලින් කඳුළු පයින්න තරම් සැරෙන් මම උගේ පිටට මිටි ගුලි පාරවල් හත අටක් දුන්නා .මගේ මිටි ගුලි පාරවල් නිසා උගුරේ හිර වුණ පාං කෑල්ල එළියට විහික් වුණාම රාළහාමි කඳුළු මැදින් හිනහා වෙනවා .

රාළහාමි නාහෙට නාහන එකෙක් . කොයිතරම් එපා කීවත් ඒ එපා කී දේම ආයේ ආයේ කරන එකෙක් . විටෙක ගෙදර කඩුල්ලෙන් පැනලා ඔළුව හැරුණු අතේ ඇවිදින රාළහාමි කොහේ හරි ගාලක අතරමං වෙලා ඌව එක්කරගෙන යන්න කවුරුන් හෝ එනකම් අඬ අඬා උන්නා . රාළහාමි කාටත් නොකියාම ඇවිදින්න යන නිසාම මමත් ලොකු අයියත් එක්කාසු වෙලා උගේ කාමරේ දොර ගාව කටු අතු ගෙනල්ලා දැම්මා . එදායින් පස්සේ රාළහාමි කාමරේටම හිර වුණා .

රාළහාමි කාමරේට වෙච්ච එකෙන් මට උගෙන් තිබුණු කරදර සෑහෙන්න අඩු වුණා .. පාං ගෙන්න කියලා ඌ මට හැමතිස්සේම කරදර කෙරුවේ නෑ . තියෙන සේරෝම වැඩ පැත්තක දාලා නෑදෑකම ආරස්සා කරගන්ඩ ඔනෑ නිසා රාළහාමිව හොයන්න ගමේ පදුරු අකුල් අස්සේ බඩගාන්න වුණෙත් නෑ රාළහාමි හිර කරලා මම මගේ නිදහස හිතේ හැටියට භුක්ති වින්දා .

වයසින් නොමේරූ රාළහාමිට උපකාර නොකර මම නිතරම මග ඇරියා වුණත් මගෙ හිත නිතරෝම කීවේ රාළහාමිගේ වගකීම් මම ගන්න ඔනෑ වග . ඒ නිසාම රාළහාමිට කවුරුත් කොලොප්පං කරනවාටවත් හිරිහැර කරනවාටවත් මම යන්තම්වත් කැමති වුණේ නෑ ..මගෙ හිත කීවෙම මම රාළහාමිගේ ආරක්‍ෂකයා කියලයි .

ජනවාරි පළමු වැනිදා දවසක වැඩ අල්ලන්න එක්කාසු වුණ මමත් මගේ හොඳම යාළුවන් දෙතුන් දෙනෙකුත් මගෙ ලොකු බාප්පත් බෝතල් තුනකට වගකියන්න ලැහැත්ති වුණා . අලුත් ඇඳුමක් ඇඳලා උන්නු රාළහාමිත් මගේ පස්සෙන් වැටිලා එතනට ඇවිත් ඔහේ බලාගත්තු අත බලගෙන විකාර කරමින් උන්නා .

බොතලයක් දෙකක් හිස් වෙන කාලය අතරතුරේදී රාළහාමි නැගිටලා මගේ අතින් අදිමින් කොණ්ඩෙන් අදිමින් මට නොයෙක් වද දෙන්න පටන් ගත්තා ...

"මෙන්න මෙහෙට්ට වෙලා ඉඳපිය පයිං එකක් දීලා එලවන්ඩ කලියෙන් .."

මම රාළහාමිට තර්ජනය කෙරුවාම ඌ මොහොතකට සන්සුන් වෙලා අයිනක් අල්ලාගෙන වාඩිගෙන හිටියා

"ආ මයෙ කොල්ලා කාපිය .."

ලොකු බාප්පා රාළහාමිව පැත්තකට අඬගහලා කන්න දුන්න දේ මොකක්ද කියලා මම දැක්කේ නෑ . ඒත් මගේ නාහෙට ලොකු බාප්පා රළහාමිට කවුවාපු දේ සුවඳ නම් හොර නැතිව දැනුණා .. ඒ මදන මෝදක. මගේ නාහෙට බොරු කරන්ඩ බෑ ...

"ලොකු බාප්පෙ උඹ මොනාද රාළහාමියට ගිල්ලවුවේ ? "

"මේ රාළහාමියට බයිට් කෑල්ලක් දුන්න කොල්ලා .."

"පල ලොකු බාප්පේ බොරු නොකියා .මේ පොඩි එකාට උඹ ගුලි කැවුවා නේද ..?"

"සඳරුවා මයෙ කොල්ලා අපි ඉතරක් ආතල් අරං හරියෑ . මූටත් පොඩ්ඩක් ආතල් දුන්නට මූණා වෙනවා ?.අනික උඹ දැනගනිං මූ මගෙ අයියගේ දරුවා ගේ දරුවා බොට වැඩි අයිතියක් මට තියනව මූ ගැන" ..

ඒ ජනවාරි පළමු වැනිදා රාළහාමි නිසා මමත් මගෙ බාප්පත් නොසෑහෙන්න ගුටි ගහගත්තා ..

"හ්ම් පවුලේ පවුලේ එවුන් කා කොටා ගත්තාට අපිට කමන්නෑ .."

වන් වන් නයින් ජීප් එකෙන් ආපු මහත්තුරු එහෙම කියලා ලොකු බාප්පවත් මාවත් සාමදාන කෙරෙවුවා . මදන මෝදකේ කාපු අසරණ රාළහාමි බකමූණු බිත්තර ගිල්ල එකෙක් වාගේ බලාගත්ත අත බලාගෙන නිච්චි ඔහේ නැතිව උන්නා

ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දවසකදී රාළහාමිට හොඳටෝම අසනීප වුණා . කාලයක් තිස්සේ සෙම් රෝගය නිසා දුක් වින්ද රාළහාමි එදා නම් උගුරේ සෙම හිරවෙලා හුස්ම ගන්ඩ බැරිව ඇඳේ දඟල්ලන්න ගත්තා . හනිකට වාහනයක් කතා කරගෙන අපි රාළහාමිව ඉස්පිරිතාලේ ගෙනිච්චා වුණත් රාළහාමිව ජීවත් කරවන්න කාටවත් බැරි වුණා . රෝහලට අරගෙන යන අතර මගදීයි රාළහාමි මියැදුණේ ..

අපේ පවුලම එක්කාසු වෙලා රාළහාමිගේ අවසන් කටයුතු අපිට හැකි තරම් ඉහළින් සංවිධානය කළා .රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටිය උස්සන්න මොහොතකට කලින් මම මල ගෙදර පැත්තක වෙලා බීඩියක් උරමින් උන්නා රාළහාමි මළා වුණාට මගෙ හිතේ දුකක් කියලා නාමයක්වත් තිබුණේ නෑ .. ඒත් හදිසියේම මා ළඟට ආපු රාළහාමිගේ අම්මා වෙච්ච මගෙ ලොකු මාමගේ දුව මගේ හිතත් දුකින් පිරිලා ඉතිරිලා යන ජාතියේ කතාවක් කීවා ..

"මල්ලී .. රාළහාමි නැති වෙනන්න කලියෙන් උඹ ගැන මතක් කෙරුවා .."

රාළහාමිව රෝහලට ගෙනගිය වාහනය පිටුපස්සේ තරමක් පමා වෙමින් බයික් එකෙන් ගිය නිසාම රාළහාමි මල බව පවා මම දැනගත්තේ පහු වෙලා

"මොනාද අක්කේ රාළහාමි කීවේ ?"

"රාළහාමි උගුරේ සෙම හිරවෙලා දඟලද්දී අපි සෙම පිටට එන්න කියලා එයාගේ පිටට ගැහුවා .. උඹලා ගහලා බෑ .. සඳරු වරෙන් මගේ පිටට ගහපන් කියලා රාළහාමි අමාරුවෙන් කීවා මල්ලී ..ඒ ටික කියලා රාළහාමිට ආයේ කට වහන්න බැරි වුණා .."

මගේ උගුරත් මොහොතකට හිර වුණා .. ගිනියම් වෙච්චි යකඩ කඳක් මගෙ පපුව ඇතුළට බැස්සුවා වාගේ .මෙලෝ සංසාර දුකක් නැතිව හිටි මම ඒ අවසාන මොහොතේ ඉඳන් මගේම දරුවෙක් මළා වාගේ දුක් වුණා .

රාළහාමිගේ මිනී පෙට්ටිය ගෙයින් එළියට ගත්තු මොහොතේම ඒ පෙට්ටියේ එක කොනක බර කරට ගත්තු මම ඒ බර මගෙන් ගන්න කාටවත්ම ඉඩ නොදී කැරකොප්පුවට යනකල්ම කරගහගෙන ගියා .

රාළහාමි ජීවත් වෙලා ඉන්දෙද්දී ඌව මට මහා බරක් වුණාට රාළහාමි වැතිරිලා උන්නු මිනී පෙට්ටියේ බර නම් මගේ කරට යාන්තම්වත් දැනුණේ නෑ . ජීවත් වෙලා ඉන්න ටිකේ මම රාළහාමිට සලකාපු හැටියට මේ මිනී පෙට්ටිය මගෙ ජීවිත කාලෙම මම තනිවම උස්සාගෙන ගියත් රාළහාමිට නපුරු වෙච්ච පව මට ගෙවලා අහවර කරන්න බැරි බව මට ඒ මොහොතේ තේරුම් ගියා . .

රාළහාමි මට ලොකු පාඩමක් කියලා දුන්නා . ඌ ජීවත් වෙලා ඉන්න කාලෙ මට කියන්න උත්සාහ කෙරුව ඒ පාඩම මට තේරුම් ගියේ ඌ මළාට පස්සෙයි . ආයේ කිසිම දවසක මන්ද මානසික කොල්ලෙක් කෙලෙක්. ඇණයක් කියලා නොහිතා මට හැකි විදිහට උන්ට උදවු කරන්නත් මම හිතාගත්තා .

                                             ප:ලි
රාළහාමි නැතිවෙලා තුන් මාසයක් ගිය තැන රාළහමිගේ ගෙදර උදවිය සහ මගේ නෑදෑ පරපුරම එක්කාසු වෙලා පන්සලට ලොකු දානයක් දුන්නා .ඒ දානෙට සහභාගි වුණ මමත් මගේ අතින්ම පිරිකරක් පූජා කළා වුණත් මගෙ දුකින් පසුතැවීමෙන් අඬන හිතට සැනසීමක් ලැබුණේ නෑ .. ඒ නිසාම මම මට හැකි විදිහට ගමේ තිබුණු මන්ද මානසික ළමයින්ගේ ළමා නිවාසයට මට හැකී විදිහට උපකාර කළා .

රාළහාම් වගේ අසරණ ළමයි සෑහෙන ගාණක් වැටිලා ඉන්න තැනක් වෙච්ච ඒ ලමානිවාසයට ඇතුළු වෙනකොටම මටත් මගේ යාළුවා රිපිටාටත් ඒ ලමානිවාසයේ අපිරිසිදු බවත් අප්පිරියාවත් දරාගන්න බැරිව ඕක්කාරෙට ආවා ..

30.8.13

ඔයා නිසා මට බඩත් ගියා


මම අරක්කු බොන්න පටන්ගත්තේ ඉස්කෝලේ දහය වසරේ මුල් කාලයේ හෝ නවය වසරේ අග කියලා තමයි මගෙ මතකයේ තියෙන්නේ . මගෙත් එක්ක එකට උන්නු යාළු මිත්‍රයෝ නොසෑහෙන්න මත්පැන් කෙළින හැටියට මම නිතරම හිතුවා මම කොයිතරම් දුරට බීමෙන් පාලනය වුණ එකෙක්ද කියලා .ඇත්තටම මට බොන්න ඔනෑ වුණේ , මල ගෙදරක ,මගුල් ගෙදරක සහ ඇස්ටොං ගෙදරක ගියාම එහෙමත් නැතිනම් දවසෙම වැඩකරලා ඇඟපත වේදනාවක් දැනුණාම ඒත් නැතිනම් හිතට සතුටක් දැනුණාම .නැතිනම් දුකක් දැනුණාම .

මම කොයිතරම් අඩුවෙන් මත්පැන් තොලගෑවා වුණත් මගෙ පෙම්වතිය මාව දැක්කේ ලෝකේ ඉන්න ලොකුම බේබද්දා විදිහට .ඒත් මොනවා කරන්නද අරක්කු ජීවිතේට පණක් දෙන අතරේ මගේ කෙල්ල මගේ ජීවිතේ එළිය කෙරුවා . ඉතින් මට කොයිම මොහොතකවත් අරක්කු සහ පෙම්වතිය යන දෙන්නාගෙන් කෙනෙක් නැතිව ඉඳීම ගැන යාන්තමටවත් හිතන්න බැරි වුණා .

"ඔය ඔය බීම නතර නොකළොත් සත්තයි මම ඔයාව දාලා යන්න යනවා " මාව නිතරම සලිත කරවපු මගේ කෙල්ල නිතර මතුරන මන්තරය තමයි ඒ .. ඒ මන්තරයෙන් මාව දමනය කරන්න හැකි විත්තිය එයා දන්නවා.

කෙල්ලට ඔනෑ වුණේ මාව මතින් තොර සුපිරිසිදු කොල්ලෙක් කරවන්න ,ඒත් මට ඔනෑ වුණේ මට හිතුණු වෙලාවට පොඩ්ඩක් බොන්න වසර කීපයක් දිගට ඇදුණු මේ සටන පහුගිය දවසක නිමා වුණා මට ඇති තරම් බොන්න අවසර දීලා මගේ කෙල්ල පරාජය බාරගත්තා මේ ලියැවෙන්නේ ඒ කතාව .......

2013 ජූලි මාසෙ දොළොස් වැනිදා උදාවුණේ හරිම ජරා විදිහට . වෙනදා උදේ නවය දහය වෙනකම් නිදාගන්න මම එදා උදෙන්ම නැගිටුණේ . වැඩකට යන්න නම් නෙවෙයි . කක්කුස්සියට යන්න දැනුණ බොහෝම ලොකු උවමනාවක් නිසයි . යකාගේ කම්මල වගේ රිදුම් දෙන බඩ එක අතකින් තදකරගෙන මම දොළොස් වැනිදා උදේ හය හමාරේ ඉඳන් අට විතර වෙනතුරු කක්කුස්සියට වෙලා හිටියා ...

එකපිට එක වාර ගණනාවක් පාසා "බූස් බූස්" ගාලා නොකඩවා බඩ එළිය යන අතරේ මම කක්කුස්සියට වෙලා කල්පනා කෙරුවේ මොනාද මේතරම් බඩ යන්න මම කාපු ජරාව කියලයි .

සතියකින් දෙකකින් මම කිසිම මස් වර්ගයක් කෑවෙ නෑ ..

බණ්ඩිය චණ්ඩි කරන යෝගට් එකක්වත් මම කටේ තොලේ මතක ඇති කාලෙක තියලා නෑ
..
එහෙනම් කොහොමද මට මේතරම් තදේට බඩ යන්නේ ? .. කක්කුස්සියේ පැය ගාණක් ඉඳගෙන කල්පනාකළත් මට නෙවෙයි මේ බඩ යාමට හේතුවක් මතකෙට ආවේ ..

ගමේ වෙද මහත්තයාගේ පුතා වෙච්ච රණමලා මගෙ හොඳ යාළුවා . ඌට කෝල් එකක් දීලා පුංචි අත් බේතක් අහගත්තු මම යාන්තම් එදා දවල් වරුව කක්කුස්සියෙන් එපිට ගත කළා . ඒත් කරුමේ කියන්නේ බත් කටක් කෑවා විතරයි . ආයෙමත් වංඟියක් නොසෑහෙන්න බඩ එළිය යන්න පටන් ගත්තේ වක්කඩ කැඩුවා වගෙයි ..

මට නොකඩවා බඩ යනවා කියන ආරංචිය මගේ යාළු මිත්‍රයින්ට ආරංචි වෙන්න ඒ හැටි වෙලාවක් ගත වෙලා තිබුණේ නෑ .පහුවදා උදේට එළි වෙනකොට . මගේ ඇඳ වටේ යාළුවෝ රොත්තක්ම වට වෙලා හිටියා .. උන් මට බොහොම ආදරෙයි ඒ අදරේ නිසාම උන් දොස්තරලා වගේ මගෙන් නොයෙක් ප්‍රශ්න ඇහැවුවා.

"අඩේ උඹට බඩ යනවද බං ?"

"ඒ මූ ඊගාව පාර කක්කුස්සි යන්න හදනකොට අපි මූව අල්ලගම්මු ... යන්ඩ දෙන්නෙපා ."

"අපි උඹට ගස්ලබු ගෙඩියක් ගෙනාව මචං .. අපි ගැන හිතලා කෑල්ලක් කාපං "

"ගස්ලබු එපා නම් කිරි හට්ටියක් ගෙන්නද මචං
..?"

"මචං දියාරුවට යන්නේ උකුවටද
?"

"ඒ උඹ මැරෙන්න නම් එපා
.. බඩ ගිහින් ගිහින් මැරුණා කියලා ගමේ කතාව ගියොත් අපටත් ලැජ්ජාව .."

ඔන්න ඔය වගේ හිතට හයියක් වෙන යාළුවෝ සෙට් එකක් කොල්ලෙකුට ඉන්න එක කොයිතරම් දෙයක්ද ..ඒකම මදෑ ලෙඩ හොඳ වෙන්න ., කොහොමින් කොහොම හරි මගේ පාප මිත්‍රයෝ ටික අපේ ගෙදරින් යද්දී මම බාගෙට මැරිලා හිටියා .

හැන්දෑ වරුවේ ඩිස්පෙන්සරියේ මුස්ලිම් දොස්තර මහත්තයා දුන්න බේත නිසා බඩ එළිය යාම යාන්තමට නතර වුණත් . බඩේ පැත්තක් තදින් රිදෙන්න ගත්තා . කරන්නම දෙයක් නැති තැන මම ලංකාවේ තියන සුන්දරම ඉස්පිරිතාලේ වෙච්ච අම්පුරේ මහ රෝහලට ගිහින් නතර වෙන්න හිතුවා වුණත් . බඩේ අමාරුවට හොඳ කරන්න කියලා ඒ දොස්තර මහත්තුරු මගේ උණ්ඩුක පුච්චය කපා දමාවි කියලා හිතේ උපන්න ප්‍රීතිය නිසා මම බඩට කොට්ටයක් තියලා තද කරගෙන වේදනාව විඳ දරාගත්තා ..

පහුවදා උදේ මගේ පෙම්වතිය බඩේ ලෙඩින් පෙළෙන මාව බලන්න ආවේ . එයා විසින්ම මුල්වරට හදාපු තැම්බුම් හොදි බාජනේකුත් අරගෙනයි ..

"ඔයාට ගොඩක් අමාරුද ?" එයා ආපු හැටියේ මගෙන් එහෙම ඇහැවුවා

"නෑ අනේ මේ කෙළින් ඉන්න බැරි එක විතරයි .."

"මං ඔයාට තැම්බුං හොදි ගෙනාවා මේක බොන්ඩකෝ .. මංමයි හැදුවේ"

කෙල්ල ආදරෙන් හදාගෙන ආ ජිල්බෝල හොද්දක හැඩහුරුකම් තිබුණු තැම්බුං හොද්දෙන් ෂොට් දෙකක් කසිප්පු කෙළින්නා වාගේ අප්පිරියාවෙන් කෙලපු මම ඇඳේ හතරගාතේ දාලා නිදියෑවා ..

දෙන දෙයියෝ දෙනකොට මදි නොකියන්ඩ දෙනවලු .....හවස හතර හමාර වෙනකොට මට දෙයියො බුදුං සිහි වෙනතරමට දරුණු බඩේ වේදනාවක් දැනෙන්න වුණා. කරන්න දෙයක් නැති තැන උඩින් පල්ලෙන් ලැහැත්ති වෙච්ච මම මල් වත්ත ලෙස විරුදාවලිය ලත් අම්පුරේ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්න යන්න සූදානම් වුණා . ඔන්න එතකොටම තමයි මගේ ෆෝන් එක නාද වුණේ .. කෝල් එක ආවේ මගේ කෙල්ලගෙන් ..

"හලෝ කෙල්ලේ ..මේ මම දැන් හොස්පිරිතාලේ ඇඩ්මිෂන් ගන්න යන්නේ .. හොඳටම බඩ රිදෙනවා ඉන්න බෑ ."

"ඔයා ඔහොම සඳරු ඉන්න මම දැන් ආටා එකක් අරන් එන්නම් ඒකෙම යමු .."

විනාඩි විස්සකින් විතර මගේ කෙල්ල බොහෝම වයසක අංකල් කෙනෙක් පදවාගෙන ආ ආටා එකක නැඟිලා අපේ ගෙදෙට්ටම ආවා . ඒකෙ නැගුණු මමත් අමාරුවෙන් කෙඳිරිගගා ඉක්මනට රෝහලට යන අදහසින් බඩත් දිග ඇරගෙන ඒකේ ඇතුළේ ඉඳගත්තා ..

"සඳරු .. සඳරු .. ඔයාට අමාරුයිද ? "

"නැතුව .. මං මේ ආතල් එකට කෙඳිරිගානවයැ"

"සඳරු මට ඔයාට කියන්න දෙයක් තියනවා .."

"මොකක්ද ?"

"බයින්නෑ කියලා කියන්න"

"කියන්ඩකෝ හත්වලාමේ .. බයින්නෑ .."

"අනේ බෑ බෑ බයින්නෑ කියලා පොරොන්දු වෙන්න .."

මේතරම් බඩ එළිය යන පජාත වෙලාවක වුණත් කෙල්ලෙක් හැසිරෙන්නේ හරි හුරතල් විදියට.

"බයින්නෑ කෙල්ලේ මේ වෙලේ බයින්න තියා මට අඬන්නවත් පණ නෑ "

"ඔයාගෙ ඔය බඩේ අමාරුව හැදුණේ මං හින්දා ?"

කෙල්ල කියාපු දේ ඇහිලා මට ආයෙත් බඩ එළිය යන්න ළංවුණා ..

"මොකක් කීවා ?"

"මම කතාව මුල ඉඳලාම කියන්නම් . බයින්න බෑ ඕං .."

ඉතින් ඒ ගැස්සි ගැස්සි දුවන ත්‍රීවීලර් එකේ වාඩිගත්ත මම මගේ කෙල්ල කියන්න යන කතාව කටත් ඇරගෙන අහගෙන හිටියේ බඩේ අමාරුව මොහොතකට අමතක කරලයි ..

"මම ගිය සතියේ ආෂිකී ටූ ෆිල්ම් එක බැලුවා .."

"ඉතිං මට බඩයන්නේ ඒක නිසාද ?"

"අහගන්නකෝ ..ඉතින් ඒ ෆිල්ම් එකේ කොල්ලා බීලා බීලා මැරිලා යනවා .. අන්තිමට ඒ කෙල්ල තනි වෙනවා . අනේ මටත් හිතුණා ඔයා බොන බීමේ හැටියට ඔයත් ඉක්මනටම මැරිලා යාවි මං තනිවේවි කියලා .. "
"ඉතිං .. ?" මම සෑහෙන කුතුහලයකින් උන්නත් ඒවගක් නොපෙන්වා කතා කළා ..

"ඉතින් මගේ යාළුවෙක් මට කිවුවා ඔයාගේ බීම නවත්තන්න හැකි ගුරුන්නාන්සේ කෙනෙක් ගැන විස්තරයක් . එයාගේ නම රණවීර අයියා . එයා ඉන්නේ උඩහ ගැමුණු පුරේ . එයා මන්තර ගුරුකම් හොඳටම දන්නවා . එයා ඔය අරක්කුවලට ඇබ්බැහි වෙච්ච අයව ඒකෙන් සදහටම නිදහස් කරගන්නවාලු ."

"ඉතින් මොකෝ කළේ ...?"

"මමයි මගේ යාළුවා හසිනියි යි ගියා රණවීර අයියව හම්බුවෙන්න .. එයා මට මතුරාපු තැඹිලි ගෙඩියක් දුන්නා ඔයාට බොන්න දෙන්න කියලා . ඒක බීපු ගමන් ඔයා ආයේ අරක්කු කටේ තියන එකක් නෑ කිවුවා .. ඉතින් මම පෙරේදා ඔයා අපේ ගෙදර ආවාම ඒ තැඹිලි ගෙඩිය බොන්න දුන්නා .."
එතන ඉඳන් මට සේරෝම තේරුම් ගියා. මම මේ බඩේ අමාරුව හැදෙන්න කලියෙන් දවසේ මද්දහනක මයෙ කෙල්ලගේ ගෙදර ගියා . එදා මම හිතුවේ එයා මට බොහෝම ආදරෙන් තැඹ්ලිගෙඩියක් ගෙනල්ලා පිළිගැන්නුවේ අවුවේ කරවෙලා ආපු මගේ මහන්සිය දුරුකරන්න කියලයි . ඉතින් මහන්සියෙන් හිටි මම ඒ වෙලාවේ තැඹිලි ගෙඩිය එක හුස්මට බීලා දැම්මා ... ඒ විතරක් නම් මදෑ . හිස් තැඹිලි කෝම්ඹේ කෙල්ලගේ ගෙදර ඉස්සරහා පඩිපෙළේ ගහලා පලාපු මම ඒ තැඹිලි ගෙඩියේ ලොඳත් කෑවා .. ඔවු ඊට පස්සේ තමයි මට මේ දරුණු බඩ එළිය යාම පටන්ගත්තේ ..

"මොකද්දෑ උඹ මේ කෙරුවේ ... ? .."

මම එහෙම ඇහැවුවේ තරහින් නම් නෙවෙයි .. මම මයෙ කෙල්ලට උඹ කියන්නේ ආදරේ මිසක් තරහකට නොවෙන විත්තිය මේ වැවුගම්පත්තුවම දන්නවා .. දුකෙන් වගේ මං දිහා බලාපු මයෙ කෙල්ල ආයේ කතාව පටන්ගත්තා .

"රණ වීරයියා කීවා . ඒ බේතෙන් පොඩ්ඩක් බඩ එළිය යනවා කියලා එතකොට ඔයාගේ ඇඟ ඇතුළේ එකතු වෙලා තියන අරක්කු වල විෂ අයින් වෙනවා කියලත් කීවා .."

"වෙන මොනාද ඌ කීවේ ... ? "

"ඔයාට හොඳටම අමාරුයි නවතින්නැතිව බඩයනවා කියලා මම එයාට ඊයේ ගිහින් කීවා . ඊට පස්සේ එයත් ගොඩක් බය වුණා . එයත් කීවා ඔයාව හොස්පිඩ්ල් ගෙනියන්ඩ කියලා .."

මට යකා නැග්ගේ කෙල්ලත් එක්ක නෙවෙයි රණවීර කියන බූතයා එක්ක ..

"යකෝ ඒක මාර කතාවක්නේ බේත දීපු එකා දන්නැද්ද ඒක බීවාම වෙනදේ .. ?"

"මම අද උදෙන්ම මල්ලිත් එක්ක රණවීරයියා හම්බුවෙන්න ගියා එයා දේවාලේ වහලා ගෙදරත් වහලා කොහේ ගිහින්ද දන්නෑ .. ඔන්න ඕකයි වුණේ .."

"දැං ඉතින් මොනා කරන්නද ඔය රණවීර කියන හොර දෙටුවා සල්ලි එහෙම ගත්තද ?"

"ඔවු 3500ක් ගත්තා .. ඉතිරිය බීම නැවැත්තුවාට පස්සේ...."

"යකෝ ඌ බේත දීල තියෙන්නේ මාව මැරෙන්න මං මැරුණාට පස්සේ බීම කොහොමත් නවතිනවනේ .." (මම කෙල්ලට යකෝ කියන්නෙත් ආදරේට)

මම තරහෙන් එහෙම කියලා අහක බලාගත්තා .. හිතේ උපන්න තරහට මගේ බඩේ අමාරුව මොහොතකට යටපත් වුණා . මගෙන් නාහ නන්නාදුනන ගුරෙක් ගාවට ගිහින් මගේ කෙල්ල කෙරුවේ ලොකු වරදක් .. "මේකිට දඬුවමක් දෙන්නම ඔනෑ" .. බඩට වඩා රිදෙන මගේ හිත මට එහෙම කිවුවා ..

"අංකල් වීල් එක කොලොන් බෝක්කුව ගාව පොඩ්ඩකට නතරන්න .."

මෙතෙක් වෙලා කටකොනකින් හිනාවෙන ගමන් ත්‍රීවීලර් එක පදවන වයසක අංකල්ට මම එහෙම කීවා ..

කොලෙන් බෝක්කුව ගාව තමයි වැවුගම්පත්තුවේ ජනප්‍රියම තැබෑරුම පිහිටලා තිබුණේ ..හොඳම සංස්ථා ගල් අරක්කු විකුණන්න තිබුණෙත් කොලොන් බෝක්කුව ගාව තැබෑරුමේ විතරමයි. අනෙක් සේරෝම තැබෑරුම් වල තිබුණේ හිඟුරාණ දහජරාව විතරයි..!

"ඇයි පුතා .. මොනාද වෙන්ඩෝනෙ ."

"අංකල් මෙන්න මේ සල්ලි අරං ගිහින් මට අරක්කු කාලක් ගෙනද්දෙන්න තරා නැතුං .."

"මොකටද පුතා තරා වෙන්නේ ..මං සුටුස් ගාලා ගෙන්නං .."

මොහොතකින් යකඩ හිනාවක් දාගෙන ආපු වීල් අංකල් ගල් අරක්කු භාගගෙ බෝතලයක්ම මගෙ අතේ තිවුවා ..

"ඇතිතරමක් බොන්ඩ පුතා . කාලෙ එවුවා හොඳ නෑ ඉතින් මං බාගයක්ම ගත්තා බඩ පිපුමට බඩේ ගායට ගල් අරක්කු තරම් හොඳ බේතක් කොයින්ද තවත්" . .. අංකල් රටක් වටින කියමනක් කියන ගමන් ත්‍රීවීලර් එක පණගැන්නුවා .. ඒ කියාපු කියමනට අංකල්ගේ කටේ ගල් අරක්කු බෝතලයක්ම හලන්න වටිනවා .

"අංකල් ආයේ හොස්පිඩ්ල් යන්ඩ ඕන්නෑ අපි මෙයාව ගෙදර ගිහින් දාමු .. "

ගල් අරක්කු බාගෙත් තුරුල් කරගෙන ත්‍රීවීලර් එකේ පැත්තක ඇලවෙලා උන්නු මම කෙල්ලත් එක්ක වචනයක් කතා කළේ එයා බහින්න ලැහැත්ති වුණාට පස්සෙයි ..

"ඔයා මාත් එක්ක තරහට නේද ඔය බොන්නේ සඳරු .. ? කඳුළු පුරෝගත්ත කෙල්ල එහෙම අහද්දි මගෙ කේන්තිය අඩු වෙලාම ගියා ."

"ඔයා දැන් මගේ බීම නවත්තන්න කියලා කොරාපු විගඩම නිසා තව ඩිංගෙන් මං මැරෙන්නත් තිබුණා . අද මම ගෙදර ගිහින් මේ ගල් බාගේ බීලා නිදියනවා. බලන්න මේ අරක්කු වල බලෙන් මට හෙට හොඳ වෙන්නැද්ද කියලා . අරක්කු ඔය හැම බඩේ අමාරුවකටම හොඳයි.."

මම මවාගත්ත කේන්තියකින් එහෙම කියද්දි කෙල්ල අඬන්න පටන්ගත්තා .කෙල්ලොන්ගේ හැටි ඔහොමයි . ඔක්කෝම ලෝකෝත්තර වැඩ කරලා කෙල්ලෝ අඬද්දී එයාලව සනසන්න කොල්ලෝ ළඟ ඉන්න ඕනෙ .හැබැයි දුකකදී නැඟෙන කඳුළු හංඟාගෙන හිතෙන් සියක් වාරයක් අඬන කොල්ලෙක්ව සනසන්න බල්ලෙක්වත් ළඟ නෑ..ඒ වෙලාවට කොල්ලෙකුගේ පිහිටට ඉන්නේ අරක්කු විතරයි.

අරක්ක්කු බීලා නිදියනවා කියලා මගේ කෙල්ලට බොරු කීවට ..මම එහෙම කරන්න ගියේ නෑ . මම ඒ ත්‍රීවීලර් එකෙන්ම ගිහින් අම්පුරේ පෞද්ගලික රෝහලකින් හොඳ දොස්තර මහත්මයෙක් චැනල් කරල සම්පූර්ණ කතාවම එයාට කියලා බේත් ගත්තා . බේත් වේල් දෙකක් බොන තැන මගෙ බඩේ අමාරුව හොඳටම හොඳ වුණා . ඒත් මම බේත් ගත්තු වගක් මගේ කෙල්ලට යාන්තමටවත් කීවෙ නෑ .

එදා ඉඳන් අද වෙනතුරු මගේ කෙල්ල හිතාගෙන ඉන්නේ අරක්කු කියන්නේ බඩේ ගායට බොහෝම හොඳ බේතක් කියලයි . ඒ නිසාම එදා ඉඳන් මම කොයිතරම් බීවත් මගේ කෙල්ල නෙවෙයි මට කටක් ඇරලා බැන්නේ . මම හිතන්නේ දැන් එයාගේ යාළුවන් ඉදිරියේ පවා දැන් එයාට බය නැතිව කියන්න පුළුවන් මගේ කොල්ලා බොන්නේ රසින් ගුණෙන් සපිරි වස විෂ නැති ගල් අරක්කුය කියල. ..



:ලි Aruna de Silva කියන මගේ හොඳ මිත්‍රයා තමයි මට මේ කතාව මතක් කරගන්න උපකාරී වුණේ උගේ ජීවිතෙත් මේ වගේම තමයි අරක්කුයි ආදරෙයි අතරේ තවමත් දෝලනය වෙනවා . මම ප්‍රාර්ථනා කරනවා ඌටත් මට වගේ බොන්න ලැයිෂන් ලැබෙන්ඩ කියලා ලැබුනේ නැතත් ඌ බලෙන් හරි ඒ ලැයිෂන් එක ගන්න විත්තියත් මම දන්නවා .

ලියාපිය ලියාපිය කියලා මාව හැමදාමත් දිරිමත් කරන දිනේෂ් උඹ නිසයි මේ බ්ලොග් එක ආයේ ලියැවෙන්නේ ..