27.11.13

මේඩින් චයිනා





මේ කතාව ලියන්න පටන් ගත් දිනය 2013 පෙබරවාරි මාසයේදී බව සලකන්න

දැයට කිරුළ ප්‍රදර්ශනේ මේ වතාවේ පැවැත්වෙන්නේ අපි ඉන්න ඉසවුවෙලු . ටවුමේ හයි කරාපු සද්දන්ත බෝඩ තඩියක එහෙම ලියලා තිබුණා . ඉතින් මේ පළාතේ බොහොමයක් දෙනාට වගේම මටත් සතුටු හිතුණා . සමහරු නම් තුහ් නෙද්දකිං කියලා කෙළ ගැහුවා ඒත් වැඩි මනක් දෙනා වගේම මමත් දැයට කිරුළට නම් එකෙන්ම මනාපයි




දැයට කිරුළ බෝඩ් එක එල්ලුවාට ඒක අපේ පළාතේ පැවැත්වෙන බවට කිසිම හාවක් හූවක් තිබුණේ නෑ. ඉතින් අපිටත් ඔය කිරුළ අමතක වෙලාම ගියා . ඒත් දැන් මාස දෙකකට උඩදී කඩි මුඩියේ පාර හදන්න පටන් ගත්තායින් පස්සෙයි දැයට කිරුළ අපේ ඔළුවට වැටෙන්නබෝහෝම ළඟ විත්තිය අපිට තේරුම් ගියේ. කුරු බල්ලෙකුටවත් යන්න බැරි තරම් අබලන් වෙලා තිබුණ අපේ අත්තලා මුත්තලා ගේ කාලේ තාර දාලා හදාපු ප්‍රධාන පාරවල් වලට දවසින් දෙකෙන් කාපට් වැටෙන්න පටගත්තා . මොන දේ කරලා හරි කමක් නෑ පාර කාපට් වෙච්ච එක ලොකූ දෙයක් .! අපේ ගමේ කවුරුත් වාගේ එක හඬින්ම පාර හැදෙන එකට නම් මනාපයි . අන්න ඒකයි පාර පළල් කරද්දී පාර දෙපැත්තේ තිබුණ ඉඩම් වලින් පොඩි කොටසක් පාරට අයිති වුණත් කවුරුත් මුවින් නොබැණ ඉවසාගෙන හිටියේ .

අපි වසන ඉසවුව වෙච්චි මේ වැවුගම් පත්තුවේ අබලන් වෙච්ච පාරවල් හදන්න කොන්තරාත් සමාගම් කීයපයක්ම බාර අරගෙන තිබුණා . ඉතින් ඔය එක සමාගමක සේවක ඉංජිනේරු මහත්තුරු පිරිසක් කැලේ රිංඟලා අලි රැලකට කොටු වෙලා ඇති බවක් හදිසියේම අපි කාටත් ආරංචි වුණා . ඉතින් ගමේ වැඩිහිටියෝ සහ වෙන්නඩ වැඩිහිටියෝ එතනට හනි හනිකට එතනට දිවුවා .

අපි යනකොටත් පාර හදන උදවිය ලොකු කුඩා ගස් උඩ නැගගෙන පණ බයෙන් වෙවුලනවා . පාර මනින්න ගෙනා මිනුම් උපකරණ එකක් දෙකක් අලින් විසින් පාගලා පොළවට යටකරලා ..අපි හූ කියලා අලි වෙඩි දමලා අලි රංචුව එලෝලා දමලා මහා ගස් වල මුදුනේ නැගගෙන හිටපු ඉංජිනේරු මහත්තුරු සෙට් එකව බේරාගත්තා .

මේ මහත්තයෝ ..? මොකාට යන්ඩදෑ මහත්තයෝ මේ පාර මනින්නේ? මේ අලි මංකඩක් . මේකේ මිනිස්සු වැරදිලාවත් යන්නේ නෑ .

ගහෙන් බැස්ස මිනිහාට අලියා ගැහුවා වගේ අපේ ගමේ තිලකෙ වර්ධන අයියා ඉංජිනේරුවෝ සෙට් එකට ලෝක ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුවා ..

අපොයි මයි ගෝඩ් එතකොට මේ 26B පාර නෙවෙයිද ?

නෑ මහත්තයෝ ඒක තව හෙණ එහා .. ආං අර පේන කැටකෑල ගහ ලැඟින් තමා ඒකට හැරෙන්නේ .

ඔන්න ඔය විදිහට අපි වෙන්න ගිය මහා විනාසයක් වළක්වා ගත්තා ඇත්තටම ඒ පාර හදන උදවිය තව ටිකක් දුර පාර හදාගෙන කැලේ මැදට ගියා නම් අලි ගහලා මැරෙනවා ඒකාන්තයි . කොහොමින් කොහොම හරි ඔය සිදුවීමෙන් පස්සේ ඒ පාර හදාපු සේවකයෝ වගේම ඒ ඉංජිනේරු මහත්තුරු ගමේ අපිත් එක්ක බොහෝම සුහඳ වුණා . ඉතින් ඊට පස්සේ තමා මම කියන්න හදන කතාවට අඩිතාලම වැටුණේ .

පාර හදන ඉංජිනේරු මහත්තුරු අතරේ චීනෙං ආපු චීනෙක් හිටියා . කොණ්ඩේ බැඳලා නැතිවා වගේම ඒ හැටි වයසක් නොපෙනුනා වුණාත් පීනසටදෝ මන්දා මිනිහගේ ඉහේ කෙස් ගහක් දෙකක් අතරින් පතර ඉදිලා තිබුණා . දවසක් මම ජයසේන අත්තගේ තේ කඩේ ඉන්දෙදී තමා ඔය චීනා මාව මුණ ගැහෙන්න ආවේ . තනියම නම් නෙවේ සිංහල ඉංජිනේරු මහත්තයෙක් එක්ක තමා චීනා මාව බලන්න ආවේ. චීනා අඩවන් දෑසින් ටකරං ගහපු කඩේ දිහා අමුතු බැල්මක් දාන අතරේ උන්දැ එක්ක ආපු සිංහල ඉංජිනේරු තුමා මට කතා කලා .

මල්ලි නේද සඳරු කියන්නේ . ?

!

මේ මහත්තයාගේ නම යොන්ග් . මෙයාගේ ලැප්ටොප් එකේ පොඩි අවුලක් ඇවිදිලා අපිට කීප දෙනෙක්ම කීවා ඔයාට කොම්පියුටර් නොලේජ් එක හොඳට තියනවා කියලා . ඉතින් පුළුවන්නම් මේක පොඩ්ඩක් හදලා දෙන්න .

කඩේට බඩු ගන්න, තේ බොන්න ඇවිදින් හිටිය ගෑනු, මිනිස්සු, කෙල්ලෝ, කොල්ලෝ, දැල්ලෝ ඉස්සරා මටත් මාර පල්ලම . මමත් උදුරලා වගේ චීනා තුරුල් කරගෙන හිටපු ලැප්ටොප් පරිගණකය මගෙ අතට ගත්තා . ඔය අතරේ චීනා එක්ක ආපු සිංහල ඉංජිනේරු තුමා හෙමිහිට කඩේ පිටිපස්සට පල්ලම් බැස්සා . මම විතරක් ජීවිතේට නොදැක්ක චීනෙක් එක්ක හුදකලා වුණා .

ලැප්ටොප් එක කීප විටක්ම එහා මෙහා කරලා බැලුවා වුණත් මට ඒකේ දෝෂයක් පෙනුණේ නෑ .ඒ මදිවට ඒ ලැප්ටොප් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම තිබුණේ චීන භාෂාවෙන් .
ඔහේගේ පරිගණකයට මොකද්ද කරලා ඕනේ ? කියලා ඉංග්‍රීසියෙන් අහන්න මට පුළුවන් කමක් තිබුණෙත් නෑ .කඩේට ඇවිදින් උන්නු ඕපදූප කියෝන එවුන් එකෙක් දෙන්නෙක් කට ඇරගෙන මගෙ දිහා බලාන ඉන්නවා . උං එකෙට්ට වත් ඉංග්‍රීසි බැරි බව සහ සුද්දෙන්ම දන්න නිසා මමත් දන්න විදිහට ඉංග්‍රීසි ගැටගලා චීනගෙන් මෙහෙම ඇහුවා .

සර් වට්ස්ද පොබ්ලම් දැට් ඉස් කොම්පුයිටර් .. ?

ඕ ඕ ඔ .. චීනා තටමන්න ගත්තා .

සර් වට් කැනයි ඩූ දිස් කොම්පියුටරේ ?

චීනා මට ඇඟිල්ල දික් කරලා ඩෙක්ස්ටොප් එකේ තිබුණ Autocad මෘදුකාංගය පෙන්නුවා . වරද තිබුණේ ඒ මෘදුකාංගය ක්‍රියාත්මක නොවීමයි .මම පොඩ්ඩක් දඟලලා තටමලා 2ජී සිග්නල් වලින් අන්තර්ජාල ගතවෙලා.. සීරියල් නම්බර් දීලා ක්‍රැක් එකකුත් ඩවුන්ලෝඩ් කරලා දාලා චීනව මෘදුකාංග හොරෙක් බවට පත් කරලා මට Autocad මෘදුකාංගය නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට හදන්න පුළුවන් වුණා . චීනට බොහෝම සන්තෝසයි මිනිහා සාක්කුවෙන් ගත්ත රුපියල් 500 කොළයක් මට දුන්නේ උගේ චීන ඔළුව මගේ දිහාවට නමන ගමන් .

සර් ඉටිස් ඕකේ අයි නෝ නීඩ් යුව මනි. යූ කැන් කීපිට්

ඒත් චීනා දඟල දඟල
සල්ලි ගනිං යකෝ කියලා විටක චීන භාෂාවෙනුයි තවත් විටෙක කැඩිච්ච ඉංග්‍රීසියෙනුයි කියන්න වුණා. ඒත් මම නෙවෙයි සල්ලි ගත්තේ . ඉතින් චීනා මට අතට අත දීලා මගේ පිටට තට්ටුවක් හෙමත් දාලා මගේ නමත් අහගෙන විස්තර කීපයකුත් කතා කරලා තේ කඩෙන් මට ක්‍රීම් බනිස් ගෙඩියක් සහ දුම් වැටියක් අරගෙන දීලා නැවත හමුවෙමු කියලා යන්න ගියා .

සෙහ් සුපිරි ඉංග්‍රීසි නේ ! ..කොල්ලා කොම්පීතරත් එක්කම ඉන්න නිසා තමයි ඉතින් මගේ හැකියාව ගැන කඩේ හිටි එවුං හීනිවට කොඳුරවුව හඬ මට ඇහැහුණා

චීනෙක් වචනයක් දුන්නොතින් ආයේ දුන්නම තමා . ඉතින් එදයින් පස්සේ චීනාව මාවත් මගේ යාළුවෝ සෙට් එකත් නිතරම හමුවෙන්න ආවා . අපිත් චීනාට චීනා කියලා නොකියා මිනිහාගේ ඇත්තම නම වෙච්ච යොන්ග් කියලාම කතා කරන්න පටන් ගත්තා .

යොන්ග් හරිම ප්‍රිය මනාප බුවා . හැබැයි පොරට වුණත් වැඩියෙ ඉංග්‍රීසි බෑ . ඒක නිසා අපි කවුරුත් යොන්ග් එක්ක අදහස් හුවමාරු කලේ අංග චලනයෙන් සහ බිම වැල්ලේ ඇඳපු රූප සටහන් මගිනුයි . යොන්ග් මට කතා කලේ සැන්ඩරු කියලා . ඉස්කෝලේ පිටනියේ බෝල ගහන්න යන වෙලාවටත් යොන්ග් අපිත් එක්ක ආවා . ක්‍රිකට් ගැන මෙලෝ හසරක දෙයක් නොදන්න නිසාම අපි ක්‍රිකට් ගහන දිහා යොන්ග් බලාගෙන උන්නා . විටක ඌ පිට්ටනියෙන් එපිටට යන බෝලෙ පස්සේ කඟවේනෙක් වගේ දිවුවා .. ගමේ ලොකු පොඩි කොල්ලෝ කවුරුත් යොන්ග්ට බොහොම කැමති වුණා .

සැටල් හන්දියට 3ජී සිග්නල් ආපු එක වැහි දවසක දවසක් යොන්ග් උගේ ලස්සනම ලස්සන චීන කෙල්ලට ස්කයිප් කෝල් එකක් අරන් අපි එකිනෙකාව හඳුන්වලා දුන්නා .ඔන්න එදා අපි කවුරුත් යොන්ග් කියන්නේ නියම චීන බොක්කක් කියලා හොඳටම තේරුම් ගත්තා .

යොන්ග් බෝඩිම් වෙලා හිටියේ ගමට කිලෝමීටර් තුනක් විතර එහයින් තිබුණ බිමට පිඟන් ගඩොල් ඇල්ලු ගෙදරක. ඒ බෝඩිමේ බෝඩිම් පාට්නර්ස්ලාත් එක්ක යොන්ග් ටිකක් ඔරොප්පු වෙලයි උන්නේ . ඒක නිසා නිවාඩු ලැබුණ හැම වෙලාවකම යොන්ග් ආවේ අපිව හම්බුවෙන්න . අපෙත් මොකෝ..? යොන්ග් ඉන්න නිසා ඒ දවස් ටිකේම මිල වැඩි දුම්වැටි ඇති තරම් බොන්න ලැබුණා . සමහර වෙලාවන් වලදී අපි උපන් හඳවියකට කටේ තොලේ ගාවලා වත් නැති රෙඩ් බුල් බෝතල් පවා අපිට යොන්ග් නිසා බොන්න ලැබුණා .

වැවුගම්පත්තුවේ කොලනි අංක 17 එවුන් වුණාට අපි ඇවිල්ලා නයට කන බොන උන් නෙවෙයි . අතේ සතේ නැතත් රෙස්පා තියාගෙන කාටත් සෙකන්ඩ් නොවී ඉන්ඩ අපිත් එකෙන්ම මනාපයි . චීනා ගෙන් දත ගැලෙවුවා වුණත් අපිත් අපිට හැකි විදිහට වියදම් කරලා චීනට සැලකුවා .ගමේ පොඩි කොල්ලෝ පුලු පුළුවන් වෙලාවට ගල් ඉබ්බෙක් අල්ලලා මස් කරලා හොඳට රම්පෙ කරපිංචා දාලා උයලා යොන්ග්ට කන්න දුන්නා . අපේ වයසේ උන් වැවු මාළු අල්ලලා යොන්ග්ට උයලා දුන්නා ඌත් හිස නමලා වැඳලා කරලා අපි දෙන කෑම බස බස ගාලා කාලා තැන්කිවු කියලා ස්තුති කලා .

පහු වෙච්චි දෙසැම්බර් මාසේ යාන්තමට වැහැපු එක සිකුරාදා දවසක හවස යොන්ග් මල්ලකුත් අරගෙන තරමක් විශාල කුඩයක් යටින් කඩේ ළඟට ආවා .ජයසේන අත්තගේ කඩේ ළඟ කාලෙ කකා හිටපු අපි යොන්ග් ව දැක්ක හැටියෙම බංකුවෙන් නැගිටලා කට පුරා ගුඩ් මෝර්නිං කියලා මිනිහව පිළිගත්තා . ගුඩ් මෝනින්ම කියලා අපිටත් කියාපු යොන්ග් සාක්කුවෙන් ගත්ත දුම් වැටි කීපයක් අපි කා අතරත් බෙදා දුන්නා . තැන්කිවු කියලා අපිත් ඒ දුම් වැටි දල්වාගෙනම කතාවට වැටුණා . ඔය අතරේ තමයි මගේ මිත්‍රයා රිපිටා අලුත් කතාවක් කීවේ ..

මචං අපි හැමදාම මූගෙන් කනවා බොනවා මූටත් කියලා ආතල් එකක් තියෙන්ඩෙපෑය අපි අද මූට එල කැඩෙන පාටියක් දෙමු .

රිපිටා එහෙම කීවම මගේ අත කෙළින්ම ගියේ සාක්කුවට .දෙයියනේ කියලා මයෙ සාක්කුවේම තිබුණේ රුපියල් හැතෑවයි .


මගේ වෙනස්වීම දැක්ක හැටියෙම රිපිටා ට මාව තේරුම් ගියා . ඌ ඉතින් මාව මිසිහාමි ඇන්ටිගේ පෙරපාසල් ගිය කාලේ ඉඳන්ම දන්න එකානේ .. ඌට කවදාවත් මට බොරුවක් මුලාවක් කරන්න බෑ වගේමතමයි මම හැරෙද්දී ඌට පුළුවන් ඕනෙම වෙලාවක මගේ හිත කියවන්න ..

මේ මේ දාස් ගණන් පාටි දෙන්ඩ අපි පෝඩියාර්ලැයි ..? අපි මූවත් එක්කං ගිහින් හොඳ ගං කොරලි ටිකක් අල්ලලා පුංච්චලා මාපිලා බෝක්කුව යටින් බෝතල් දෙක තුනක් ගෙනල්ලා පොඩියට ආතල් එකක් ගමු .. පොඩියට..

මාපිලා බෝක්කුවට යටින් මතුවෙන මත් පැන් බෝතලයක් වැඩිම වුණොත් රුපියල් 200ක් වෙයි ඒත් දැන ඇඳුනුම් කමක් තියන එකෙක් ගියොත් ඔයි ගානට බෝතල් දෙකක්ම ගතහැකියි .ඉතින් කට්ටියම රිපිටාගේ යෝජනාව ස්ථීර කරවුව නිසා අපි චීනාවත් ඇදගෙන වැවට ගියා ..

සර් ලෙට්ස් ගෝ කැචිං සම් ෆිෂින් ඉන්ද වැවෙන් කියාපු ගමන් .. ගුඩ් අයිඩියා කියලයි චීනත් අපිත් එක්ක එකතු වුණේ

බයික් හතරක නැග ගත්තු අපි වීරගොඩ වැව ගාවට කිට්ටු වෙනකොටත් උඩහ ගමේ කීප දෙනෙක් වට පිට බලන ගමන් වීසි දැල් ගහනවා .උන් අපිව දැකලා වීසි දැල මොහොතකට හංඟා ගත්තා වුණත් අපි අහල පහළ එවුන් කියලා දැන ගත්ත හැටියේම ආයෙමත් බය සැක හැරදාලා වීසි දැල් ගහන්න පටන් ගත්තා .. වැවේ වීසි දැල් ගහලා මාළු අල්ලන එක තහනම් .ඒ වුණත් බිලී පිත්ත දමාගෙන පැය ගණන් සීතල වතුරේ තපින්න අපි කවුරුත් කමැති වුණ නිසාම කොයි කවුරුත් වාගේ අපිත් කලේ වීසි දැලක් ගහමින් මාළු අල්ලපු එක .මාළු අල්ලන අතරේ චිනා මගෙන් වැව ගැන ප්‍රශ්න තොගයක්ම ඇහුවා .

වටිස් නේම් ඔෆ් දිස් ටෑන්ක් .?

දිස් ඉස් වීරගොඩ ටෑංකි .. මම හැරෙන තැපෑලෙන් කඩුව වැනුවා .

යකෝ මේක ටැංකියක් නෙවෙයිනේ කියපන් මේක වැවක්‍ කියලා . මාළු අල්ලමින් උන්න කුරුට්ටා මා ගාවට දුවගෙන ඇවිදින් මට කීවා .

හූ බිල්ඩ් දිස් ටෑන්ක් .?

අඩා මේ වැව හැදුවේ මොකාද කියලා චීනා අහනවා .. මම මුනා බං දැං කියන්නේ ?

මෙලෝ සිහියක් නැතුව මාළු අල්ලන අපේ එවුන්ගෙන් මම එහෙම ඇහුවේ වැවේ වතුර ගැන හෝ මාළු ගැන මිසක්ක අපි කවුරුත් වැවු හදපු මිනිස්සු ගැන හොයන්න මෙතුවක් කාලෙකට හිතවුවේ වත් නැති නිසයි..

කවුද බං ඔවුවා දන්නේ ..? ආ උඹ මෙහෙම කියහන් .. මේ වැව හදවුවේ පියසේන රජතුමාය කියපන් .. ආයේ මූ හොයන්ඩ යැ..?

රිපිටා දුන්නු උත්තරේ සිංහල නොදන්නා චීනාට නියමෙට පෑහුණා .

දිස් ටෑංකි ඉස් මේඩ් බයි කිං පියසේන . ! හීස් ග්‍රේටස් කිං ඔෆ් දිස් කන්ට්‍රි ..

මම එහෙම කීවම චීනා කට පියාගත්තා ..

එදා වැවේ වතුර බොහෝම වැඩි දවසක් . යාන්තමට වැව වාන් දමනවා . වැවේ වතුර වැඩි නිසාම අපි හිතූ තරම් වැවු මාළු අපේ දැලට අහුවුණේ නෑ . ඒත් මල්ලක් පිරෙන්න තරමට වැවු ඉස්සෝ අපිට අහු වුණා . මීටරයකට වඩා දිග අඬු තියන ඉස්සෙක් පවා ඒ අතර හිටියා . පෙරළුන පිට හොඳයි කියලා හිතලා අපි කට්ටියම බයිට් එකට ඉස්සෝ ටික සූදානම් කරලා අඳුර වැටෙනකොට බෝතලයක් කඩලා චියර්ස් කියලත් ඉවරයි .. චීනත් එක්ක කොයි තරම් දුම් බීලා තිබුණත් අපි කවදාවත් පොරත් එක්ක මත් පැනට සෙට් වෙලා නම් නෑ ඉතින් තඩි වැවු ඉස්සෝ හපන ගමන් චීනෙක් එක්ක චීන අඩියකට සෙට් වුණ ඒ දවස මගේ ජීවිතේ අමතක නොවෙන මතකයන් ගොන්නට අළුත් මතකයක් එකතු කලා



 

4.11.13

සවළෙන් ගහන්නට හිතුණා නුඹට නඟේ

පහු ගිය මාසයක එක දවසක හැන්දෑ වරුවක ජයසේන අත්තගේ තේ කඩේ දී යාළුවෝ කීප දෙනෙක් එක්ක කයිය ගහලා මම ගෙදර ආවේ හවස හයත් පැන්නායින් පස්සේ . මම ගෙදර අවුදිල්ලා වතුර ටිකක් නාගන්න හදන කොටම වාගේ මට කෝල් එකක් ආවා .

"සඳරු මම අජිත් ."

"කියහන් අයියේ .. "

"මල්ලි අපේ අම්මට හොඳටම අමාරුයි බේත් ගන්ඩ සල්ලි වියදම් වුණා. මම අර එදා උඹට දුන්නු රුපියල් දාහ මට ආයේ ඉල්ලගන්න හැකි වේවිද ?"

"කවද්ද මචං ඔනෑ ..?"

"මට හෙටම ඔනෑ .."

"හෙට දෙන්න බෑ මචං මට දවසක් දියන් . මම අනිද්දා උදේ වෙනකොට උඹට සල්ලි දෙන්නම් ."

ඒ දුරකථන ඇමතුමෙන් පස්සේ කඩේ ගාවදී කයිය ගහලා හිනා වෙලා කොල්ලොත් එක්ක ජොලියේ ඉඳලා එකතු කරගනිපු ආතල් සේරම කුඩු වෙලා ගියා .

සුවිප් ටිකට් විකුණලා සල්ලි හම්බු කරපු අජිත් අයියගෙන් මම සල්ලි හදිස්සියකට රුපියල් දාහක් ඉල්ලගෙන මාසෙකටත් කිට්ටුයි. ඒත් මට ඒ මුදල ආපහු දෙන්න බැරි වුණා . හම්බ කරන මුදල අනික් පැත්තට ඉගිල්ලිලා යනකොට ණය ගන්න වෙන එක සාමාන්‍යයි . රට වටේටම ණය වුණේ නැතත් මම මගේ මිත්‍රයන් බොහොමයක් දෙනෙකුට ඒ කියන දවස් වලදී ණය වෙලා උන්නා .

ණයක් වුණා නම් ඒ ණය කොහොම හරි ගෙවන්න ඔනෑ . එහෙම නැතිනම් ලබන ආත්මේ හරකෙක් වෙලා හෝ ඒ නය කාරයාගේ නය ගෙවන්න වෙනවා කියලා කතාවක් මම අහලා තියෙනවා. හරකෙක් වෙනවානම් ඒක වෙන්නේ ලබන ආත්මේ නිසා ඒ ගැන හිතේ බයක් නැති වුණාට අජිත් අයියගේ අම්මගේ අසනීප තත්වය ගැන මම දැනගෙන උන්නු නිසා මට කොහොමින් කොහොම හරි මේ ණය මුදල ගෙවලා ඉවර කරන්න ඔනෑ වුණා . ඉතින් එදා රෑ නින්දත් නොනින්දත් අතර පෙරළෙමින් උන්නු මට පාන්දර ජාමෙට බොහොම තදින් නින්ද ගියා .

පහුවදා උදේ මම අවදි වුණේ ලිපේ තිබුණු කේතලේ වතුර උතුරන විසිල් සද්දෙට . නැගිටලා විනාඩියක් ගිය තැන පහුවදා රෑ පුරාම මගේ හිතට වද දුන්නු කාරණේ ආයෙමත් මගෙ මතකෙට ඇවිල්ලා බොකු බඩවැල් ඇඹරිලා හිත දුකින් පෙඟිලා ගියා .

"හ්ම් එහෙනම් රුපියල් දාහක් හොයන්ඩ ඔනෑ අද දවස ඇතුළත ."

ඇඳ උඩ මුනිං වැතිරිලා මම පැයක් හමාරක් කල්පනා කළා . ඔය කියන කාලේ මම මගේ රැකියාවට සමුදීලා තිබුණේ නෑ . ඒත් බොහෝම ලොකු මූල්‍ය අර්බුදයකට මුණපාලා තිබුණු මම වැඩකළ ආයතයෙන් මට මගේ වැටුප් ඉල්ලන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ .ඒත් පුරුද්දට වගේ මම දිගටම පඩි නොමැති වැඩට ගියා ..

"උඹ ඔය බස් එකට දවසට වියදම් කරන ගාන එකතු කරලා තියාගත්තා නම් මාසේ අන්තිමට රුපියල් තුන්දාහක්වත් එකතු වෙනවා . ඇයි බං අතිං වියදං කරං ඔහොම නිකං වැඩට යන්නේ "

මගේ යාළුවෝ මට අනන්තව එහම කියන්න ඇති . ඒත් පුරුද්ද අත හැර ගන්න බැරි කම නිසා වගේම රැකියා විරහිතයෙක් වෙන්න තිබුණ අකමැත්ත නිසා මම අතින් සල්ලි දීගෙන වැඩට ගියා . ඉතින් රුපියල් දාහක් හොයන්ඩ දුක් වින්ඳ ඒ දවසේත් මම වෙනදා වගේම වැඩට යන්න පිටත් වුණෙ හිතේ කිසිම පිරියකින් නම් නෙවෙයි .

අම්මගෙන් සල්ලි ඉල්ලලා ඉල්ලලාම තවත් වතාවක් අම්මගෙන් සල්ලි ඉල්ලන්න තරම් මට කැමත්තක් තිබුන්නෑ . ඔෆිස් එකට ගිහිල්ලා හරි යාළුවෝ කීපදෙනෙකුට කෝල් කරලා ණයක් ගන්න බලනවා කියලා හිත හදාගත්ත මම ටවුමට යන්න කියලා බස් නැවතුමට කිට්ටු කළා ..

හැමදාමත් වගේ උදේට සුන්දර කෙලිච්චියන්ගෙන් පිරිච්චි බස් නැවතුම එදත් මගේ කැළඹුණු හිතට ගෙනාවේ පට්ටම හීතලක් . ගිනි ගහන්න පායන පළාතක් වුණත් මෙහේ ලස්සන කෙල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ . පෙට්ටි කිකිළියෝ රෑනක් වගේ උදේට එළියට බහින මගේ ගම් පළාතේ කෙල්ලො ගැන පුදුම අභිමානයක් මගේ පපුවට දැනුණා .මමත් ලොකු හුස්මක් අරන් හිත හෑල්ලු කරගත්තා

මට මතක හැටියට එදා සඳුදා දවසක් . ටවුමේ රස්සා වලට යන්න බස් එක එනතුරු මග බලන කෙල්ලෝ අතරින් ලස්සන කෙල්ලෝ කීදෙනෙක් ඉන්නවාද කියලා මම හෙමි හෙමිහිට රබර් ඇහින් ගණන් කෙරුවා . මගේ හිතේ මිම්ම අනුව මම ඒ කෙල්ලන්ගේ විවිධ හැඩ හුරුකම් වලට නේක හැසිරීම් වලට හිතින් ලකුණු දුන්නා .

වෙලාව යනවා දැනුණෙ වත් නෑ විනාඩි දහයක් විතර බස් නැවතුමේ ජෝගි නටන කෙල්ලෝ දිහා බලාන උන්නු මම වෙලාව බලන්න කියලා සාක්කුවට අත දමලා ෆෝන් එක අතට ගත්තා . වෙලාව උදේ හතහමාරට කිට්ටුයි . මම ආයෙමත් මගේ ෆෝන් එක සාකුවේ ඔබාගෙන පාර දිහෑ බලාගත්තා .

"අයියේ !!"

මගේ පිටුපසින් ඇහිච්චි කිංකිණි නාදේ නිසා මම සුටුස් ගාලා පිටුපස හැරිලා බැලුවා . මගේ පිටුපසින් උන්නේ කෙලිච්චියෝම තුන්දෙනෙක්. මට කතා කරවුව කෙල්ල නම් වීනස් දෙවුව් දුව වගේ හැඩයි. අනික් එවුන් දෙන්නා නම් ඒබරං භූතයාගේ දූවලා දෙන්නා වගෙ හැඩයි. මුන් තුන් දෙනා නම් මගේ රේඩාර් එකට අහුවෙච්චි එවුන් නෙවෙයි මේ දැන් ටිකකට කලින් මෙතනට පාත් වෙච්චි එවුන්...ඒත් මුං මොකදෑ මට කතා කරන්නේ.

"ඇයි නංඟි ?" කුතුහලය බේරෙන කටින් මම එහෙම ඇහුවේ මට අයියේ කියාපු ගිනි කිකිළියක් වගේ කෙල්ලගෙන් .

"අනේ අයියේ විනාඩියකට කෝල් එකක් ගන්න පුළුවන්ද ? චූටි හදිස්සියක් අයියේ"

"විනාඩියකට නම් බෑ ..!" මම සූටි ජෝක් පාරක් දාලා කෙල්ලව නලෝලා සාකුවෙන් ගත්තු ෆෝන් එක ඒකිගේ අත උඩින් තිවුවා . නුහුරු විදිහට ෆෝන් එකේ අංක ඔබලා කෙල්ල ෆෝන් එක කනේ තියාගත්තා .

මගේ හිතටත් දැනුණේ පොඩි සතුටක් . ෆෝන් පාවිච්චි කරලා හුරු එකියක් නම් කොට්ටෝරුවා ගහට කොටන්නා වගේ සටපට ගාලා ෆෝන් එක ඔබනවා ඒත් මේකි ෆෝන් ඒතරම් අල්ලලා පුරුදු නැති කෙල්ලක් ඒ කියන්නේ කොල්ලෙක් නැති කෙල්ලක් .. හ්ම් .. හ්ම් ,..

"අයියේ ඔයාගේ ෆෝන් එකේ සල්ලි නෑ නේ ! "

"මොක කීවා ...?" මට දැනුණේ මගේ කනට ගැහුවා වගේ මම හනිකට ෆෝන් එක මගේ අතට අරගත්තා .

"නංඟි මේ සිම් වන් එකේ කෝල් යන්නේ නෑ ඒක මයෙ ඩේටා සිම් එක මේල් බලන්ඩ හෙම තමා ඒක තියෙන්නේ .. ඔයා සිම් ටූ එකෙන් කෝල් ගන්ඩ . කෝ දෙන්ඩ මම අරන් දෙන්ඩ . "

කෙල්ලගේ අතින් ෆෝන් එක අරගත්තු මම ඒකි කියන නම්බරේ ඔබලා කෝල් එක අරගෙන දුන්නා .

කෙල්ල තරමක් වෙලා ෆෝන් එකෙන් කතා කෙරුවා ..

"තැන්කිවු අයියේ.. කීයක් කැපිලද අයියේ..?"

කෝල් එක අවසන් කරවුව චූටි කෙල්ල ඒකිගේ අත් බෑග් එකෙන් පර්ස් එක එළියට අදින්න රඟපාන ගමන් මගෙන් එහෙම ඇහුවා . කෙල්ලෝ රඟපානකොට මටත් රඟපාන්න හිතෙන්නේ ඉබේටමයි . කෙල්ලෝ ඉදිරියේදී නම් මමත් සමානනීය නළුවෙක් ..

"ඉන්න නංඟි බලන්න ආ .. රුපියල් දාහතරයි සත දහයක් කැපිලා .. පාළොහක් දෙන්ඩකෝ .. "

රෝස පාට මූණු ඩිංග ඒ මොහොතෙම කළුපාට කරගත්තු කෙල්ල පර්ස් එක අවුස්සන්න ගත්තා .

"පික්සුද නංඟි මම විහිළුවක් කෙරුවේ .. සල්ලි ඕන්නෑ ... "

ඒකිත් හිනා වෙලා ආයෙමත් පර්ස් එක මල්ලට දාගත්තා . මගෙන් වියදම් වුණ රුපියල් දාහතරට හරියන්න මම ඒකිත් එක්ක විනාඩි ගාණක් කතා කරන්නත් අමතක කෙරුවේ නෑ මොකද ඒක මගේ අයිතියක් .

"අයියා කොහෙද වැඩ කරන්නේ ?"

කතා බතා අතරෙදී කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් අනිවා අහන ප්‍රශ්නයක් මේ කෙල්ලත් මගෙන් ඇහුවා මේස් සපත්තුත් දමලා , කමිසය යට කරලා බෙල්ට් එක දමාගෙන උන්නු මගේ දිහා බලලා කෙල්ල එහෙම අහද්දී මට පුදුම සතුටක් හිතට ආවා ..

"මම අහවල් ආයතනයයේ උගන්වනවා නංඟී .. අයිටී තමා උගන්වන්නේ !"

ඔන්න ඕකයි මගේ පඩි නොමැති රැකියාවේ තිබුණ වැදගත් කම . "මොකක්ද රස්සාව..?" කියලා කවුරුන් හෝ ඇහුවාම කියන්න දෙයක් තියෙන්ඩෝන . විශේෂයෙන්ම කෙල්ලෙක් ඒ ඒ විදිහට අහනකොට රස්සාවක් නැතෙයි කියලා රෙදි ඇඳගෙන කීව හැකිද බෑ .. ඒ නිසාමයි මම පඩි නොලැබුණත් රස්සාව ආරස්සා කරන්න පුදුම විදිහට දැඟලුවේ .

"නංඟිගේ නම මොකක්ද ?"

"මම හංසි"

"ලස්සන නම .."

"අනේ මටත් කොම්පියුටර් ක්ලාස් එක්කට නම් යන්ඩ ඕනේ .. ඔයාලෑ එකේ මට හරියන කෝස් එකක් තියේවිද ..?"

මගේ ඉහේ ඉඳන් දෙපතුල් දිහා අභිමානයෙන් බලාපු කෙල්ල තවත් කිට්ටු වෙලා මගෙන් එහෙම ඇහුවා . එක ළමයෙක් හරි අපේ ආයතනයට ගෙන්වා ගන්න තියෙනවානම් මට ඊට එහා දෙයක් තිබුණේ නෑ ..ඉතින් මමත් හනි හනිකට කෙල්ලව අපේ ආයතනයට බාගන්න දැල එළුවා .

"මොකදෑ නැතුං..? අපි පරිගණක උපාධිය දක්වාම උගැන්වීම් කටයුතු කරනවා ! අපි තමා මේ පරිගණක උගන්වන ආයතන අතරින් ලංකාවෙන් උඩින්ම තියෙන ආයතනය . ඔය ටීවී රේඩියෝ වල කයිය ගහන ඊ සුප් එහෙම තියෙන්නෙත් අපිට පහළින් .."

A අකුරින් පටන්ගන්න මගේ පළාතේ නම නිසා මගේ ආයතනය හෑමදාකම තිබුණේ ලැයිස්තු වල මුලට වෙන්න ඉතින් මම කීවේ බොරුවක් නෙවෙයි ..

"මම එන්නම්කෝ අයියේ ලබන සතියේ විතර. අයියා ඉන්නවා නේද ?"

"නැතුං නැතුං ..ආ ඒනං මං තමයි ඔයාටත් ඉස්සරහට උගන්නේ !"

මං පැණි හිනාවක් දාලා කෙල්ලව ලැයින් කෙරුවා .

"අයියලට නම් ඉතින් සෝයි එකට ඒසී යට ඉන්ඩ තමා තියෙන්නේ .."

මම නිහතමානීව හිනා වුණා ...

ඈතින් ආපු බස් එක අපේ ළඟ නතර කරාට පස්සේ අපි කවුරු කවුරුත් බස් එකේ නැංඟා . බස් එකේ මැද හරියටම වෙන්න මම ගිහින් හිටගත්තාම මගෙන් ෆෝන් එක ඉල්ලාපු කෙල්ලත් හෙමි හෙමිට අවුදින් එතනටම පැක් වුණා . මමත් ඉතින් හෙමි හෙමිහිට ජැක් එක තිවුවා ,, !!

බස් එක වළවල් වල වැටි වැටී මගදී හම්බුවෙන රුපියලේ දෙකේ දුර යන මගීන්ට පවා නවත්තමින් ගිය නිසා අපිට ටවුමට යන්ඩ විනාඩි තිස් පහක් විතර ගත වුණා . ඒ විනාඩි තිස් පහම මට හේත්තු වෙලා හිටිය සුන්දරී එයාගේ මුලු ජීවිත කතාවම මට කියලා ඉවර කළා .. ! ලබන සතියේ අවුදින් මගේ පරිගණක පන්තියේ රෙජිස්ටර් වෙන බවට මගේ අත උඩ එයාගේ සුදු අත තියලා පොරොන්දු වෙච්චි එයා මම බහින්න හෝල්ට් දෙක තුනකට කලින් බස් එකෙන් බැහැලා යන්න ගියා .

මම ඔෆිස් එකට ගිහින් මගේ අතේ තිබුණු යතුරෙන් දොර ඇරලා අතුපතු ගාලා දැම්මා . මුල්ලක පුටුවක් තියාගෙන වාඩිවෙලා පාළුවට ගිය ඒ ආයතනය වටේම ඇහැ යැවුවා . දිග හුස්මක් පහළ හෙළාපු මම ෆෝන් එක අතට ගත්තේ කාගෙන් හරි රුපියල් දාහක් ණයට ඉල්ලගන්න හිතාගෙන ..

ෆෝන් බුක් එකේ නම් අතරින් ජානකගේ නම්බරේ මම මුලින්ම ඩයල් කරේ ඇයිද කියලා මම තාම දන්නෑ මම හිතන්නේ ඒක අහම්බයක් නම් නෙවෙයි ඒක දෛවය විසින්ම කරවුව දෙයක් ..

"හලෝ ජානක .. මම සඳරු කතා කරන්නේ මචං !"

"කියහන් සඳරු .."

"මට හදිසියකට රුපියල් දාහක් ඔනෑ කරලා තියෙනවා මචං !"

"අඩෝ මා ගාව තියෙන්නෙම රුපියල් අසූවයි .."

"හරි සුදා අවුලක් නෑ .. මං තියන්නං .."

"අඩෝ සඳරුවා පොඩියක් ඉඳින් .."

මම ෆෝන් එක තියන්න හදානකොටම ජානක ආයෙත් කතා කෙරුවා ..

"මේ පොඩි වැඩක් තියෙනවා දවසට රුපියල් එක්දාස් දෙසිය පනාක්ම දෙනවා .. මමත් මේ දැන් ඒ වැඩ පොළේ ඉන්නේ .. මෙතනට තව කට්ටිය මදියි උඹත් වරෙන් එකෙන්ම"

"අම්මට සිරි මොකක්ද බං වැඩේ ... ? "

"මචං මේ ටවුමේ පොන්ටි හොටෙල් එකේ අලුතින් තට්ටු දෙකේ බිල්ඩිමක් හදනවා ඉතින් අද ස්ලැබ් එක දාන දවස . කොන්ක්‍රීට් දෙන්ඩ තමා තියෙන්නේ ..මේ කුඹුරු වැඩ කාලේ නිසා අත් උදවුවට කට්ටිය නෑ බං .. එනව නං දැන් වරෙන් සතියක වැඩ අල්ලා දෙන්නම් .. යකෝ එකදාස් දෙසිය පනායි පඩි .."

"මචං ඒත් වැඩට අඳින්න ඇඳුමක්වත් ගෙනල්ලා නෑනේ .. "

"වරෙන් මා ගාව තියෙනවා ඊයේ ඇන්ඳ කිට් එක ඒක දෙන්නම් ..

"එහෙනං මං එන්නම් මචං .."

"එළ හොටෙල් එක ගාවට ඇවිල්ලා මට කෝල් එකක් දාපං .. "

කාටවත් ණය වෙන්ඩ ඕනෑ නෑ .. මෙතන නිකම් ඉඳන් කාලේ කන එකේ මම ගිහින් එතන වැඩ කරලා රුපියල් දාහක් හොයාගන්නවා එහෙම හිතාපු මම කෙළින්ම ගිහින් නතර වුණේ පොන්ටි හෙටෙල් එකේ ඇතුළෙයි..

පළාතටම තිබුණු ලස්සනම විශාලම හෝටලේ තමා පොන්ටි හෝටලේ .පළාතේ හිටපු සල්ලි කාරයෝ විවාහ මංගල්‍යක් කරද්දී අනිවා තේරුවේ පොන්ටි හෝටලේ .. ඉතින් දවසින් දවස ඒක දියුණු වුණා .. දවසින් දවස හෝටලේ තට්ටු ගණන වැඩි වෙලා අහස උසට ඉහළ නැංඟා ..

"
දැං මචං ඉතින් ආයේ ගිනි කෂයා වාගේ වැඩ කරමු .. ඉඳා මේක දාගනිං .. ඔය සපත්තු මේස් බෙල්ට් පටි එහෙම ගලෝලා මේ මල්ලටම දාපං .."

මගේ මිත්‍රයා ජානක හනි හනිකට අවුදින් මාව වැඩට ඔබින ස්මාට් විදිහට ලැහැත්ති කළා ..

"
අර ඉන්නේ හෙඩ් බාස් .. හරි හොඳ බුවා . ඌ කියන විදිහට වැඩ කරහන් නෑ බෑ කියන්න එපා ඌට හරි වැරදි පෙන්නා දෙන්න එපා ඌ කියන දේට එහෙයි කියාපං .."

මට තවත් උපදෙස් දීලා දැනුමින් සන්නද්ධ කරපු ජානක මාවත් එක්කරගෙන හෙඩ් බාස් ළඟට කිට්ටු කළා ..

"
ආ මෙයාද අළුත් කෙනා ..?"

"
ඔවු බාසුන්නැහේ"

"
අනේ වෙලාවට ආපු එක ලොකු දෙයක් දරුවෝ .. අපිට මේ කට්ටිය අඩු වෙලා දඟලනවා .. හා හා ඉතින් එහෙනං දෙන්නා එක්ක ගිහින් වැඩ පටන්ගන්නකෝ .. "

ඇඟ වෙහෙසලා වැඩ කිරීම මට කවදත් ගෙන ආවේ ආතල් එකක් . දවසෙම වැඩ කරලා හවසට නාලා බියර් එකක් බොනකොට ඇඟට දැනෙන්නේ පුදුම හයියක් .දවසක් මහන්සි වුණා නම් සෝමාරි කම කුසීත ගතිය සතියකටවත් ආයේ ඇඟට දැනෙන්නේ නෑ . ඉතින් එහෙට මෙහෙට දුවමින් මමත් ජානකත් රොබෝලා වගේ වැඩ කළා ..

වෙලාව උදේ නවයට කිට්ටු වෙද්දී පොන්ටි හොටෙල් එකේ සෙනඟ පිරුණා . ලස්සන වෛවාරණ ඇඳුම් ඇඳ ගත්‍තු ගෑනු පිරිමි පොඩි එවුන් හොටෙල් එකට කිට්ටු කළා .

"
අද වෙඩින් එකක් වගේ නේද මචං? .." ජානක මගේ කනට කෙඳිරි ගෑවා ..

සිමෙන්ති පටවගත්තු ලොරියක් හෝටලේ ගේට්ටුවෙන් ඇතුළු වෙලා හෝටල් මිදුලේ ඉඩ කඩ තියෙන තැනක නතර කෙරුවේ ඔය අතරේදී.

"
දරුවනේ සිමෙන්ති ටික බාලා මේං මේ පැත්තට ගෙනාවානම් .. ඔය තණ කොළ පාගන්ඩ එපා සිමෙන්ති ගේනකොට පරෙස්සමෙන් ඔය ඇවිත් ඉන්න නෝනලා මහත්තුරුන්ගේ ඇඟේ හැප්පෙන්නත් එපා .මේ කණ්ඩියේ අල්ලා තියෙන ටයිල් පාගන්නත් එපා . හරියටම මේං මේ අයින දිගේ ඇවිල්ලා හෝටලේ පිටිපස්සෙ ගබඩාවේ අට්ටි ගහපල්ලා .."

ලොරියේ හිටපු ගෝල බාලයෝ අපේ කර පිට සිමෙන්ති පටවන්න සූදානම් වුණා ..

"
මොකද කියන්නේ සඳරු .. තරඟෙට ගෙනියමුද ? ජානකට මාර ෆන් .. "

"
පිස්සුද බං සෙනග වැඩියි වෙන වෙලේක කරමු .."

මම එක සිමෙන්ති මිටියක් කර තියාගෙන ලොකු බාසුන්නැහේ පෙන්නපු පාර දිගේ හෝටලේ පිටුපසට යන්ඩ පටන්ගත්තා .කිලෝ පනහක් බර වුණත් හරි විදිහට සිමෙන්ති කොට්ටේ කර තියා ගත්තොත් අතින් අල්ලන්නේ වත් නැතිව කිලෝමීටරයක් වුණත් ගෙනිච්ච හැකි ..

සිමෙන්ති කර ගහගෙන කීප වතාවක් ජානකත් මමත් එහා මෙහා ගියා .. හෝටල් මිදුලේ රැස් වෙලා හිටපු සෙනග අපි ලං වෙනකොට අප්පිරියාවෙන් වගේ ඈත් වෙච්ච නිසාම කාගෙවත් ඇඟේ වැදී ප්‍රශ්නයක් ඇති කර නොගන්න තරම් අපි වාසනාවන්ත වුණා .

මම හය වෙනි සිමෙන්ති මිටිය කරගහගෙන සෙනග අතරින් හෝටලේ පිටුපසට යද්දී දැකපු දෙයකින් මට මගේ ජීවිතේම එපා වුණා

මම උදේ බස් නැවතුම් දී දැකලා ඇඳින ගත්ත හංසි කෙල්ල ළමා සාරියක් ඇඳලා පවුඩර් උලාගෙන තවත් ළමා සාරි කෙල්ලෝ තුන් හතර දෙනෙක් එක්ක හෝටලේ ඇතුළු වෙන තැන ඉන්නවා මම දැක්කා .. ජංජාලයයි ! සිමෙන්ති මිටිය කරේ තියාන මම පුදුම වේගෙකින් ගිහින් හෝටලේ පිටුපස නතර වුණා .. මගේ ඇඟෙන් දාඩිය ගලන්න ගත්තේ සිමෙන්ති මිටි වල බරට නම් නෙවෙයි ...!

"
මොකෝ සඳරුවා .. උඹ ජෙට්ටෙක වගේ ආවේ ..?"

මගේ ළඟට ආපු ජානකයි මගෙන් එහෙම ඇහුවේ

"
මාර වැඩේ ජානක උදේ බස් එකේදි මට පට්ට ලස්සන කෙල්ලක් හම්බුනා වුණා ..ඉතින් මම ඒකිට කීවා මම උගන්වන්නේ අහවල් තැන කියලා !"

"
ඉතින් ඒක වැරදියැ ?"

"
ඒත් බං උදේ ඒකිට ලොරි ටෝක් දුන්න මං දැන් සිමෙන්ති කරගහනවා දැක්කොත් වසලා හමාරයිනේ ! "

"
ලෙඩක් තමා සඳරුවා .. මං කියන්නම් .. උඹ ගෝනියක් දාගනිං ඔළුවයි පිටයි වැහෙන්න. ඇඟේ සිමෙන්ති ගෑවෙන්නෙත් නෑ කෙල්ල උඹව ඇඳින ගන්නෙත් නෑ .. වැඩෙත් වෙනවා .. "

"
හ්ම් .. ඒම කරමු .. "

ජානක හෝටලේ කුස්සියෙන් ගෙනල්ලා දුන්නු පිටි ගෝනිය හෝටලේ පිටුපස රට අඹ ගහක ගහලා පිටි අයින් කරලා අරන් මම ඒ ගෝනියේ එක පැත්තක් බොකු ගහලා ඔළුවේ ඉඳන් පිට මැදට එනකම් දමා ගත්තා . ඊට පස්සේ හෙමිහිට සිමෙන්ති මිටිය බැගින් කරේ තියාගෙන මම පුරුදු පාරෙන්ම ආයෙත් ගමන පටන්ගත්තා ..

"
අඩෝ උඹ නම් දැන් ඔරිජිනල් නාටාඹියෙක් වගේමයි .. "

ඇත්තටම යාන්තම් මූණ වැහෙන්න ගෝනිය පෙරෝගත්තාම මං හිතාන වුණේ මම නිකම් රොබින් හුඩ් වගේය කියලා . ඒත් ඉතින් ලෝකයාට මාව පේන හැබෑ විදිහ වෙනස් කරන්න බෑ නොවැ .

"
ඉඳා මේ සිමෙන්ති කුඩු ටිකත් මූණේ ගාගනිං මූණ අළුපාට වුණාම උඹව අඳුනන්න බෑ ආයේ කාටවත් ."

ජානක බලෙන්ම මගේ මූණේ සිමෙන්ති කුඩු ඉළුවේ හරියට පවුඩර ගෑවා වගේ .

තව මොහොතක් ගිය තැන ලොරියක් පුරෝලා තිබුණු සිමෙන්ති කොට්ට ලොරියෙන් බාලා ගබඩාවේ පුරවන්න අපිට පුළුවන් වුණා . විනාඩි පහක විතර පොඩි විවේකයක් අපිට හම්බුනා වුණත් මම නම් හෝටලේ ඉදිරිපසට නම් වැරදිලාවත් නොයන්න හිතාගත්තා .

"
හා හා දරුවනේ ඔය මදෑ ඉතින් විවේක ගත්තා එවාපල්ලා වැලි ටිකක් මේ වහලෙ මුදුනට .."

ලොකු බාසුන්නැහේගේ කරුණාවන්ත කතා බහ ඇහෙද්දී වැඩ කරන්ඩ නෙවේ වැඩ මරන්ඩ හිතෙනවා . ආයෙමත් ගින්දර වගේ වැඩට බහින්න සූදානමෙන් මම සවල අතට ගත්තා උඩ තට්ටුවට නැංග ජානක ලණුවක ගැට ගහපු බාල්දියක් පහලට එවුවා . මම ඒක පිරෙන්න වැලි එකක් දමලා ඉවර වුණාම ඌ හනිකට ඒ බාල්දිය උඩ තට්ටුවට ගත්තා .. මේ විදිහට අපි වැලි ගොඩෙන් බාගයක්ම උඩ යැවුවා .. මට උදේ හම්බුණු හංසි කෙල්ලව අමතක වුණා .. හවසට රුපියල් එකදාස් දෙසිය පනාක් හම්බුවෙන බව මතක් වෙලා මගේ හිත සන්තෝසෙන් පිරුණා .. ඒත් කවුදෑ හිතවුවේ සතුට එන්නේ දුකත් අරගෙන කියලා..

"
අයියේ ..!!! "

අද උදේ බස් පොලේදී ඇහුණ කටහඬම ආයෙමත් මට ඇහුණා. මගේ මූණ ඉස්සරහා උන්නේ ළමාසාරියක් ඇඳගත්තු හංසි කෙල්ල .. ඒකිව දැක්ක මොහොතේම මගේ හිතට ආවේ දුකක්වත් ලැජ්ජාවක් වත් නෙවෙයි මහා තරහක් .. මගේ දුර්වල කමක් එළි වෙද්දී මට තරහ යාම සාමාන්‍යයි.
"
අද පන්ති නෑද අයියේ .. ?"

ඒකි මාව කැරකිලා වැටෙන්නම පළවෙනි ප්‍රශ්නය ඇහුවා ..

"
ඔ ඔ ඔයා මුණාද මෙහේ ... කරන්නේ ?"

"
මම මේ වෙඩින් එකේ ජයමංගල ගාථා කියන්ඩ ආවා .ඒක නෙවි ඇයි අයියේ බොරු කීවේ ..?"

ඒකිගේ මූණේ මහා කොලොප්පම් හිනාවක් ඇඳිලා ..

"
අද මේ අර මේ මට ක්ලාස් නෑ ළමයි ආවේ නෑ කවුරුත් මේ ඉතින් මං අර මගේ යාළුව හම්බෙන්ඩ ආවා ඉතින් ඌ තනියෙන් නිසා ඌට මේ උදවු කළා මං .. ඇයි වැරදිද ?"

"
යාළුවට උදවු කරන්ඩද ආවේ ..?"

"
.."

"
පුත්..තේ වැලි බාල්දිය එවහං හනිකට... මේ කොල්ලා බාල්දිය දාලා දැන් පැය ගාණක් බලං ඉන්නවා .. ඔහොම බෑ ඔහොම බෑ .. "

මෙච්චර වෙලා හොඳින් උන්නු ලොකු බාසුන්නැහෙත් මටම කෙළියා ..

"
මේ අයියේ මට ඔයාගේ බොරු අහන්ඩ ඕන්නෑ .. ආ මේ කිරිබත් කවුම් පාර්සලේ මම ගෙනාවේ ඔයාට . කනව නං කන්ඩ .. "

"
මේ නංඟි ඉන්ඩ මම ඔයාට මගේ ඔෆිස් අයිඩී එක පෙන්වන්ඩ .. මම ඇත්තටම උගන්වන කෙනෙක් .."

මම හනි හනික මම ඇඳන් උන්නු කලිසමේ පිටුපස සාක්කුවට අත දමලා මගේ පොකැට් එක හෙවුවා .. එදා දවසේ සිද්ධ වෙච්චි හෑම දේම රුවිතෙටයි වුණේ . මම ඇඳගෙන උන්නේ ජානකගේ පරණ සිමෙන්ති ගෑවිච්චි කලිසම. මගේ පොකැට් එක මගේ රෙදිත් එක්ක ජානකගේ රෙදි මල්ලේ තියෙන වග මට කල්පනාවට ආවේ ඒ මොහොතෙයි .. කලිසමේ පිටුපස සාක්කුවේදී මගේ අතට අහුවුණේ පරණ දුංකොළ කෑල්ලක් විතරයි ..

"
නංඟී මගේ පර්ස් එක මගේ රෙදි ගොඩේ ..!"

"
අපෝ මෙහෙමත් බොරු කියන කෙනෙක් .. මං හිතන්නේ ලංකාවට බොරුව ගෙනාවේ ඔයා වෙන්ඩැති .. අනේ මේ බොරු නොකියා මේක ගන්ඩ පවු හිතිලයි ගෙනාවේ තව මෙතන බොරුත් ඇද බානවා .."

"
අනේ මට ඔන්නෑ ඔයාගේ කැවුම ඒක ඔයාම ගෙනියන්ඩ .. මොකෝ මම කන්ඩ අහේනියක් තියෙන එකෙක් කියලා හිතුවද ? "

"
දූ පැටියෝ .. ඕකාට කන්ඩ පින නැති වුණාට අපිට කන්ඩ හැකියි ..දාපං මයෙ දුවේ ඔය කැවිලි මල්ල මේ බාල්දියට .."

කට පියාගෙන ඉන්ඩ බැරි වයසක දැල්ලෙක් වෙච්ච ලොකු බාසුන්නැහේ වහලෙ උඩ ඉඳන් ලණුවක ගැට ගහපු තවත් බාල්දියක් පහළට එවුවා මට ඔරවලා ලොකු බාසුන්නැහේ එක්ක හිනා වෙච්චි කෙල්ල කැවිලි මල්ල බාල්දිය ඇතුළෙන් තිවුවා .. ලොකු බාසා ඒක සුටුස් ගාලා උඩට ඇදලා ගත්තා ..

"
ඔයා අර ලොරියෙන් සිමෙන්ති බානවත් මම බලාගෙනයි හිටියේ .. ගෝනි බ්ල්ලෙක් වගේ ගෝනි දාගත්තම හිතුවද ඔයාව අඳුන්නන බෑ කියලා .. හ්ම් .. මීට පස්සෙවත් ඇත්ත කියන්ඩ ඉගෙන ගන්ඩ."

ගස්සාගෙන පද්දාගෙන මගෙන් ඈතට ඇදිලා ගිය ගිනි බෝම්බයක් වගේ කෙල්ල දිහා මොහොතක් බලාන උන්නු මම අහකට කෙළ පාරක් ගහලා මගේ හිතෙන් වාඩුව ගත්තා ..අතේ තිබුණු සවළෙන් ඒකිට පන්න පන්න ගහන්න තරම් මගේ හිතේ තරහක් ඇති වුණත් .. කෙල්ලෙක් නිසා මම අමාරුවෙන් ඉවසාගෙන් උන්නා ..

එදා හවස වැඩ අවසන් වුණාම මට එක්දාස් දෙසිය පනහක මුදලක් අතට ලැබුණා . කෙළින්ම ගෙදර ගිහින් නා කියාගෙන අජිත් අයියගේ ණය ගෙවාපු මම ඉතිරි මුදලෙන් බියර් එකක් ගහලා දවල් වෙච්ච ලැජ්ජා සහගත සිදුවීම අමතක කළා ..

එදා මම පැය ගාණක් කල්පනා කෙරුවා .. ඒදා මගේ ඇඟට වැදුණු බියර් එකේ සැර බැහැලා ගියේ මගේ ඔළුවට අලුත් අදහසකුත් එක්කාසු කරලයි ..

මම පටන් ගන්නවා මගේම කියලා බිස්නස් එකක් .. කාටවත් නැවෙන්න ඔනෑ නෑ .. කාටවත් වග උත්තර බඳින්ඩ ඔනෑ නෑ .. හරිගියත් මට වැරදුණත් මට .

ටික ටික වෙරි බැහැගෙන යද්දී හිතේ උපන් අලුත් අදහසට තව තවත් පණ ලැබුණා .. ඉතින් එදා මම හිතා ගත්තු මගේම පුංචි ව්‍යාපාරය අරඹන්න තව බොහෝම ටික කාලයක් ඉතිරි වෙලා තියෙනවා ..ඒ ටික කාලෙත් ගෙවිලා ඉවර වෙනතුරු මම ඇඟිලි ගනිමින් බලාන ඉන්නවා ... මේ කතාව මතක් වෙන මතක් වෙන වාරයක් ගානේ මගේ හිතට පුදුම හයියක් දැනෙනවා .. මේ මගේ රුවිතෙට ගිය ජීවිතේට අලුත්ම අරමුණක් පෙන්වාපු සිදුවීම කීවොත් වැරදි නෑ .


ප:ලි - කියවන ඔබේ අවධානය පිණිසයි !

සමහරු වාහනයක් ගන්නට, ගෙයක් දොරක් හදාගන්නට සිහින දකිති, තවත් සමහරු ඉහළ රැකියාවක් ලබා ගන්නට, තමාගේ සිත දිනූ කෙනා සමග සම්බන්ධයක් ඇති කරගන්නට සිහින දකිති. මෙවන් වූ වටපිටාවක අසරණ යශෝධා සිහින දකින්නේ පරිත්‍යාග ශීලීන්ගේ පින්බර මුදලින් තමාගේ ඉලක්කය සපුරාගෙන සිරුරට දැනෙන පීඩාව නිමකරගන්නට බරපතල ඝනයේ සැත්කමකට මුහුණ දෙන්නටය. ඉතිං ඒ අහිංසක බලාපොරොත්තුවට පියඹායන්නට හැකි ඉක්මනින් අත්තටු දෙමුද ? තීරණය ඔබේ අතේ...

උදවුවක් අවැසි වෙලා ඉඳින අපේම සහෝදරියක් ගැන මාවත් දැනුවත් කලේ සිරාගේ බ්ලොග් එක ලියන සිරා සහෝදරයා. මිල මුදලින් ඒ හැටි ලොකු ආධාරයක් කරන්න නොහැකි වුණත් මම මට හැකි විදිහට පොඩි ආධාරයක් කලා ඇය වෙනුවෙන් .. ඉතින් හිස් අහස බ්ලොග් එක කියවන ඔබටත් පුළුවන් අසරණ කෙල්ලෙකුගේ බලාපොරොත්තුවක් වෙනුවෙන් උපකාරයක් වෙන්න ..
ගිහින් බලන්න පුලුවන් උදවුවක් දෙන්න ..