23.12.14

ඇල ළඟ T කඩේ වෙච්චි වින්නැහිය




        මෙච්චර කාලයක් මහ ඇලේ එගොඩ මෙගොඩ යාකරලා දමලා තිබුණු මුරුංගා පාලම වෙනුවට රෝද හතරේ වාහනයකට මාරු වෙන්ඩ පුළුවන් විදිහේ අලුත් පාලමක් වැටෙනවාලු ඔය කතාව පට්ටලේ වැඩකරන නිශාන්ත අයියා හන්දියේ කඩේ ගාවදී කීවාම හැමෝගෙම හිත් වලට සතුටක් දැනුණා , නොදැනුණා

පාර මට්ටමේ ඉඳන් බලද්දි මහ ඇල හරි ගැඹුරුයි . මයෙ හිතේ මිම්මට ගත්තොතින් අඩි පාළොහක් , විස්සක් තරම් ඇති. අවුරුදු ගාණක් අපි මහ ඇලෙන් එගොඩ මෙගොඩ ගියේ අපිට හුරු පුරුදු මේ පුංචි මුරුංගා පාලමෙන් ඇත්තටම කීවොත් ඒක පාලමකටත් වඩා හැඩ හුරුකම් කීවේ මුරුංගා කරලකට ඒ නිසයි කවුරුත් ඒ පොඩි පාලමට මුරුංගා පාලම කියලා නම්බු නාමයක් දීලා තිබුණේ .පිට ගමකින් එන බයික් කාරයෙක් තමන්ගේ බයික් එක ඒ පාලමෙන් දැම්මේ බොහෝම කලාතුරකින් . මුරුංඟා කරල් වගේ හිත් ඇති මුරුංගා පාලමෙන් එගොඩ වෙන්න බැරි ඩයල් නම් හෑම වෙලේකම පාලම ගාව හිටපු රස්තියාදු කුපාඩි ළමා සමාජයේ කටගැස්ම වුණා .

"
මොනා බං අයියා උඹ කරන්නේ ? ඔය බයික්කේ සුස් ගාලා එක ජියරෙකෙන් දමාපන්කෝ මෙහෙට්ට ! " 

බයික් එක මුරුංගා පාලමෙන් දමාගන්න බැරිව තටමන ටවුමේ බයික් කාරයෙකුට පාලම ගාව කාලෙ කන කොලෙක් විටෙක එහෙම කියනවා .

"
බැරි නං අයියා දියං ඕක මං දමන්ඩ ! " 

විටෙක හොඳින් හෝ තවත් විටෙක බලෙන්ම බයික් එක උදුරාගත්තු කුපාඩි ළමයි, අසරණ බයික් කාරයාගේ බයික් එක මුරුංඟා පාලමෙන් අරගෙන දීලා බයික් කාරයාගේ පොකට් එකට තට්ටුවක් දාලා එකම එක සිගරට් එකක් ගැහුවා .

 අනේ ඒකටත් එක්ක අපි ..... විටෙක අරක්කු බීලා විටෙක මල් උරලා පයින් ගමනින් නැතිනම් බයික් හෝ පුස් බයිසිකල් කටු වලිනුත් අපි පාලම තරණය කළා . ඉඳලා හිටලා බයික් පෙරළාගෙන ඇල පල්ලේ වැටුණ අවස්ථා දෙකක් තුනක් නැතුවමත් නෙවෙයි ඒත් මුරුංඟා පාලමෙන් වැටිලා ඇඟ පතේ කැළලි විදිහට ඇඳෙන ඒ මතක සටහන්, පොඩි අඩියක් දාගත්තාම වටේටම පෙන්වලා පාලමෙන් වැටුණ හැටි කියාපාන්න සාක්කි විදිහට අපි කාටත් නොසෑහෙන්න වැදගත් වුණා .

 රෝද හතරේ වාහන නැති අපිට මහ පාලමකින් සත පහක වැඩක් නැති වුණත් කොහොමින් කොහොම හරි සංවර්ධනේ අපේ ගමටත් වඩින එක ගැන අපි නොසෑහෙන්න සතුටු වුණා . ඒ නිසාම පාලමේ වැඩ කටයුතු වලට අපි අපිට පුලු පුළුවන් විදිහට උපරිමයෙන්ම අපේ දායකත්වයත් ලබා දුන්නා .. වැඩ වලින් නම් නෙවෙයි කටින් . සතියකට දෙකකට විතර පස්සේ පාලම හදන්න ගල් වැලි ආදිය ගෙනල්ලා දැම්මා , අපේ ගමේ උදවිය රජයට පින් දීලා ගල් තාච්චි හතර පහක් (45ක්) වැලි තාච්චි දෙක තුනක් (23ක්) ඇන්න ගිහිං තමන්ගේ වත්තේ කොනක ගොඩ ගහගත්තා ... සංවර්ධනේ ගෙයි දොරකොඩට අවුදින් ඉද්දී මොකදෑ අපි නොදැක්කා වගේ ඉන්නේ ?                                                ..................

දවසක් හවස් යාමෙක මගේ යාළුවෙක් වෙච්ච ජගතා හන්දියේ කඩේ ගාවදී මට මුණගැහුනා . එවෙලේ මම හිටියේ මගේ බොක්කේ යාළුවා වෙච්ච රිපිටා එක්ක වැඩි සීනි ප්ලේන්ටියක් බොන ගමන් ..

"
සඳරුවා මම පට්ට වැඩක් දෙන්ඩ යන්නේ ඈ අදින් පස්සේ උඹලා මගේ කඩෙන් ප්ලේන්ටි බීපල්ලා මමත් හෙට ඉඳන් දානවා කඩයක් ! බුවහ් හ්හහ්හා" 

 වැඩි සීනි ප්ලේන්ටියෙන් මගේ හිත මධු මේහ තත්වයට පත් වෙලා ඉපිලෙමින් තිබුණ නිසා මම කතා කෙරුවේම නෑ . ඒත් මම යටි හිතින් හිතමින් උන්නා මූ කඩයක් දාන්නේ කොයිබද ? , මූ මොනා විකුණන්න යනවාද ? , මූ කසාදත් බඳීවිද ? , මගුල දා අපිට බොන්ඩ දේවිද ? , හිඟුරාණ අරක්කූ බොන්ඩ දැන් බෑ වගේ .. . . . මම ඔහේ විකාර හීන ලෝකෙක සැරි සරවුවා . 

මම කතා නොකෙරුව නිසා ජගතට පොඩ්ඩක් අවුල් ඌ හිතන්න ඇති මම ඉරිසියාවේ කියලා

"
අපි මොනා හරි කෙරුවොත් උඹලට ඇහෙන්නෙත් නෑ පෙන්නේත් නෑ . "ජගතා නොක්කඩු කීවා

"
ඌට පොඩ්ඩක් ඉන්න දියං බං ඌ උඹගේ කඩේට නමක් කල්පනා කරනවා ඌ මයිටා පාරක් කෙළලා ඔය ඉන්නේ . "මගෙ හොඳම යාළුවා රිපිටා මගෙ පැත්තට කතා කළා

ඔන්න එදායින් දවස් දෙක තුනකට පස්සේ ජගතා පාලම හදන තැන පුංචි කඩයක් දමවුවා .තනියම නෙවෙයි අපි සේරෝම දෙනා . ඒ ගොඩනැගිල්ල හදන්න ජගත්ට උදවු දුන්නා . පොල් අතුත් , කාඩ් බෝඩ් සහ පට්ටලේ යටින් අහුල ගත්තු පිට ලෑලි කෑලි එක්කාසු කරලා අපි හදාපු කඩ කාමරේ සමහරුන්ට පරණ කාලේ කක්කුස්සියක් විදිහට පෙනුණා වුණත් අපේ හිත හොඳටෝම දැනගෙන උන්නා මේක අපි වගේ කාලෙ කාල ආතල් ගන්න කොල්ලන්ටත් පාලමේ වැඩ කරන බාසුන්නැහේලා ගෝලයන්ටත් සුපර් මාකට් එකක්ම වේවි කියලා .

"
උඹලා කාටත් නොසෑහෙන්න පිං"  

ජගතා උගේ කඩේ හදන්න සප් එක දුන්න අපිට නොසෑහෙන්න පිං දුන්නා. . . . අපි උගේ පිටට තට්ටු කරලා කඩේ ඇතුළට ගිහින් බීඩි මිටියකට වැඩේ දුන්නා .

 අපේ නොමද සහයෝගය මැද ජගතගේ කඩ පොඩ්ඩ බොහෝම උජාරුවට පාලම හදන තැන රජ කළා . පාලම හදන කම්කරුවන්ට උදේ සහ දවල් කෑමත් , අත්‍යවශ්‍යම ද්‍රවය වෙච්ච බීඩි , සිගරට් , බුලත් විට , තේ .වගේම හවහට ආප්ප එක්ක කට දැවිලා යන කට්ට සම්බෝලයකුත් කඩේ ඉදිරිපස දොරින් පිවිසුණ අය ආසාවෙන් භුක්ති වින්ඳා .කඩේ පස්සා දොරින් ආපු උදවියටත් බෑ නොකියා පැල මයිටා , මුල්ල පටස් සහ, ටුඩේ ඉස්පැසල් ගල් කෝපි ,සහ ගුලි ආදියත් බෑ නොකියා විකුන්නා .

 මම ලෑලි කෑල්ලක "ඇල ළඟ T කඩේ" කියලා ලොකුවට කඩේ නම ලීවා. ලියලා ඒක කඩේ වහලට කිට්ටුවෙන් හතර දිබ්බාගෙටම පේන විදිහට සවි කළා . ජගත්ට නම් ඔනෑ වුණේ "දිය සිසිල කඩේ" කියලා දාන්න .. ඒත් මම තදින් කියාපු නිසා මම කියපු නම අන්තිමේ කඩේට දාන්න කවුරුත් කැමති වුණා

 මේ පුංචි කඩේ නිසා ගමේ කොල්ලෝ සෙට් එකටම හොඳ කල දසාවක් උදා වුණා . අපිට කයිවාරු ගහන්නත් බීඩි බොන්නත් හොඳ තැනක් සෙට් වුණා . සමහරුන්ට තමන් මෙතෙක් කල් හොරෙන් වගේ කරගෙන ගිය බිස්නස් එක කඩේ ඉඳගෙන එළිපිටම කරගන්න චාන්ස් එකක් වැදුණා . ඒකෙන් මේකෙන් අපි කාට කාටත් බිං කරුවල වැටෙන ජාමෙට බියර් ටින් එකක් හිඟුරාණ රවුන්ඩප් බෝතලයක් කෙළලා ඇඟපත පොඩ්ඩක් පදං කරගන්නත් පුළුවන් වුණා

හැමදේම හොඳින් කෙරීගෙන යන අතරේ එක දවසක මුස්පේන්තු උදේ වරුවක මම කඩේ ගාවට යද්දි එතන පොඩි කලබලයක් වෙලා තියෙන බව පෙනුණා .

"
මොනා බං උණේ ?" මම හනික විස්තර එකතු කළා

"
කවුද ඊයේ රෑ කඩේට පැනලා සීනි ගෝනි බාගේ හිල් කරලා . බඩු මුට්ටු සේරෝම එහේ මෙහේ ඇදලා දාල බං කඩේ ඇතුළේ ජෝගි නටලා .."  

මමත් හනිකට එබිලා බලවුවා . ඇත්ත තමා කඩේ පිට ලෑල්ලක් ඈත් කරලා කඩේට රිංඟාපු එකෙක් කඩේ කාබාසිනියා කරලා දාලා . බඩු සීසීකඩ විසි කරලා ගොම මැටි පිරියම් කල පොළව තැන් කීපයකින්ම හිල් කරලා .

"
මේක කරන්න ඇත්තේ 65හේ කොළණියේ හුthතිgEපුthaලා තමයි උන්ගේ පොඩි එකෙක් එදා මයිටා ඉල්ලාගෙන ආවම අපි බැනලා එලාගත්ත එකේ වාඩුව තමා මේ අරං තියෙන්නේ .." 
 අටේ ගෙදර වික්‍රම අයියා බලං උන්නා වගේ වෙච්ච සීන් එක සම්පුර්ණයෙන්ම අපිට පැහැදිලි කෙරුවා . අපේ ඇඟවල් ඇතුළේ මාළු නටවුවා ! .  

කොහොමත් අපේ කොලණියත් එක්ක එදා ඉඳන්ම වටේ කොලනි වල ඉන්න සේරෝම එවුන් පුදුම විදිහට අමනාපයි . උන් නිතරම කියන්නේ කොලනි අංක 17 කියන්නේ පඬියෝ රැළක් ඉන්න කොලනියක් කියලයි . ඔයිං මෙයිං 17කොලනියට හෑම තැනම හතුරෝ උන්නා .

"
වරෙල්ලා යන්ඩ කඩේ කඩවුව වාඩුව ගම්මු . "ඇවිස්සිලා හිටපු අපේ ගමේ බජාර් එක උදලු වල මිටවල් ගලවලා අමෝරාගෙන බයික් වල නැගලා 65 කොලියට රිටන් එක දෙන්න යන්න පිටත් වුණා .

"
වරෙන්ඩෝ සඳරුවා තෝ මොනා කරන්නේ එන්නෑද යකෝ ?" 

මගේ බයික් එකටම නැගලා ඒක මර හඬින් රේස් කරන ගමන් වෙලේ ගෙදර මහත්තයා මටත් සද්දෙ දානවා . මමත් දුවල ගිහින් ලෑලි පටියකුත් අමෝරාගෙන බයික් එකේ ඉඳගත්තා .

 අසූවට සීයට ඇදිලා ගිය බයික් සෙට් එක 65හේ කොලනියට නොගිහින් මුලින්ම ජගත්ලෑ වෙල පැත්තට ඇද්දුවා . වෙලේ අයිනක හංඟලා තිබුණ වෙලේ සුදා බෝතල් කීපයක් සප්පායම් වෙලා ජගත් ගේ කඩෙන්ම ගෙනා ලෑතර වගයක් බයිට් එකට ගත්තා . ඇඟපතට වඩා කටට පණ ගහලා එන වෙලාව ආපු ගමන් . අපේ අයියලා ආයෙමත් 65හේ කොලනියට රිටන් එක දෙන්න යන්න පිටත් වුණා . අපේ බයික් සෙට් එක වේගෙන් ගිහින් 65හේ කොළනියේ ඉන්න තුන් වැනියට ලොකුම ගණන් කාරයා වෙච්ච ගජන්තගේ වත්තට බයික් ටික හැරෙවුවා .

"
වරෙන්ඩෝ ගජංතයා එළියට !!! අද තොට ගහන්නේ වරිග තහංචියෙන් !"  

අමුතුම ආයුධයක නමක් කියාගෙන වෙලේ ගෙදර මහත්තයා ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයික්කෙන් බැස්සා. ට්‍රිබල් දාලා ආපු බයික්කේ පිටුපස හිටි මමයි රිපිටයි දෙන්නම එකපාරටම බයික්කෙත් එක්ක බිම වැටිලා කටවල් බිම ඇනුණා . බත් පිඟානක් අරගෙන එළියට බැහැපු ගජංතයාට අපේ බීමත් අයියලාගෙන් පොලු පාරවල් හතර පහක් එකදිගට වැදුණා කකා හිටි බත් එක වීසි කරලා ගජංත පිට කොන්දට වැදුණු පොලුපාරකුත් කාගෙන කැලේ පැන්නා . මමයි රිපිටයි දෙන්නා ගජංතගේ මිදුලේ වේල්ලෙන්න තියාල තිබුණ පරණ හෙල්මට් එකක් අතේ තිබුණු පොලු වලින් ගහලා කුඩු සංසාර කරලා නැති කරලා දැම්මා . කඩේ කඩපු පලිය අරගෙන අපි වීරයෝ වගේ ආපිට යන්ඩ හැරුණා

 එද්දි වෙලේ ගෙදර මහත්තයා මගේ බයික් එක බිම දමාපු එක මතකේ තිබුණ නිසා යන ගමනේදි බයික් එක පදින වැඩේ මම බාරගත්තා . මමයි රිපිටයි අසංකයි එක බයික් එකක නැගිලා කාටත් ඉදිරියෙන් තරමක වේගයෙන් ඉදිරියට ගියා .

"
අඩේ සඳරුවා ඇදපාං !!" මගේ පිටිපස්සේ හිටපු රිපිටා කෑගහපු සද්දෙ ඇහිලා ළඟ බලාන ගිය මම ඉදිරිය බැලුවා . දෙයියෝ සාක්කි පොලිස් මාමලා සෙට් එකක් හෙල්මට් නැතුං , පොලු අරගෙන , බයික් වල කට කපලා නැගලා එන අපේ නඩේ දිහෑ කටෙන් බලාන ඉන්නවා . ඒ තත්පරේම මම ක්‍රියාත්මක වුණා මම බයික්කේ වේගේ වැඩි කළා පිටුපස හිටි රිපිටා පොල්ල විසි කරලා පිටුපස අංක තහඩුව වහගත්තා . අපි තුන් දෙනා නතර වුණේ කඩේ ළඟටම ආවට පස්සෙයි 

 .. හැන්දෑ වෙද්දී ජගත් අපිව හොයාගෙන ආවා

"
මාර වැඩේ වෙලේ ගෙදර මහත්තයා පොලීසියේ !"

"
මොනා බං වුණේ කියපංකෝ "අපි කට්ටියම ජගතා වටේ වට වුණා

"
පොලීසියෙන් අත දැම්මට අනික් බයික් ඇදලා ගියා බයික් එක නතර කළාම වෙලේ ගෙදර මහත්තයා පණ්ඩිතයා වගේ බයික්කෙ නවත්තලා සීන් එක පොලීසියට කියලා ."

"
මොනා ඌ කීවේ ඌ ගම කෑවාය ?"  

ඌ කියලා . "රාළහාමි අපි ගියේ රාලහාමිලා කරන්න ඕන ඩියුටියකට . අපේ කඩේට ආපු 65 කොලනියේ පොඩි කොල්ලෙක් පැල මයිටා (gන්ja ) ඉල්ලවුවා . පොඩි එවුන්ට ඔවුව දෙන්ඩ බෑනේ රාලාමි අපි ඌව බැනලා එලවවුවා . මූ ඊයේ රෑ අවුදින් කඩේ කඩලා රාලාමි . අපි ගියේ පොඩ්ඩක් බය කරලා එන්න ."

"
මරු .. ඊට පස්සේ මොනා වුණේ ?"

"
ඊට පස්සේ උන්දෑ පොලීසි . හෙට ඇප දීලා ගන්ඩ බලන්ඩ ඕන" බීපුහාම කටට බ්‍රේක් නැති අයියලා ඔනෑ තරම් අපේ ගම් වල ඉන්නවා . වෙලේ ගෙදර මහත්තයා ඉන් එකෙක් විතරයි .  

එදා රෑ අටට විතර මමයි රිපිටයි දෙන්නා ඇළෙන් නාගෙන ගෙදර එන ගමන් කඩේ ගාව බංකුවේ ඉඳගෙන අතේ තිබුණ සිගරට් එකක් බොන්න ලැහැත්ති වුණා .. එතකොට තමා අපිට ජගත්ගේ කඩේ ඇතුළෙන් සර බර ගාලා සද්දයක් ඇහුනේ . අපි දෙන්නා පොලවටත් හොරෙන් අඩිය තියන ගමන් හෙමීට කඩේ ඇතුළට එබුණා . අප්පට සිරි තඩි වල් ඌරු නාම්බෙක් කඩේ ඇතුළේ බඩු මුට්ටු පෙරලනවා . මට වෙච්ච සීන් එක මුල ඉඳන්ම මීටර් වුණා . අපරාදේ වල් ඌරු නාම්බෙක් හන්දා නිකරුණේ අහිංසක (ඒතරම් අහිංසකත් නැති) කොල්ලෙක් ගුටි කෑවා . 

අපි හෙමීට ඒ ළඟම තිබුණු වනිගෙ අයියගේ ගෙදෙට්ට දීවා . වනිගෙ අයියාවත්, උන්දැගේ අච්චු තුවක්කුවත් අඬගහගෙන කඩේ ගියපු වල් ඌරා ඉන්න තැනට එන්න අපිට ඒ හැටි වෙලාවක් ගියේ නෑ . දඩයමක් කීවොත් අපේ අයියලා ඉගිල්ලිලා වුණත් ඒවි .  

ඒ තඩි ඌරු නාම්බා වනිගෙ අයියාගේ වෙඩි එක පාරින් මියැදුනා . වෙඩි සද්දෙට එතනට එක්කාසු වෙච්ච උදවියට ඌරගේ ඇඟේ තියෙද්දිම මස් කිලෝ හතර පහක් විකුණලා රවුන්ඩප් බෝතල් හතරක් ලැයින් කරන්න රිපිටා කටයුතු කළා .

 එදා රෑ එකොළහ පයිනකොට තඩි වල් ඌරු මස් හැළියක් වටේ එකමුතු වෙච්ච කොලනි අංක දා හතේ තරුණ කැල පරණ කතා, පුරසාරම් ආදිය කියමින් රවුන්ඩප් සොට් එක දෙක ලැජ්ජ නැතිව වනමින් හිටියා . තම්බාපු මඤ්ඤොක්කා හැළියක පතුල පේන මට්ටම කිට්ටු වෙද්දි , ඌරු මස් හැළියෙ බාගයක්ම අඩු වෙද්දී, බෝතල තුන හිස් වෙලා කට්ටිය නිච්චි නැතිව කියෝ කියෝ උන්නා .

"17 pa
yo බැහැපියවු එළියට චණ්ඩිනං වරෙවු !"


ගම දෙදරවාගෙන හෙණ හඬකින් පරුස වදන් වනාගෙන, 65 කොලනිය අපිව හොයාන අවුදින් තිබුනා .

 පදමට මත් වෙලා උන්නත් ඒ ඇවිදින් උන්නේ 65 කොළනියේ මැර හමුදාව කියලා අඳුනගන්න අපිට බැරි වුණේ නෑ .. අපි ඌරු මස් හැළියත් , මඤ්ඤොක්කා හැළියත් පරිස්සම් කරගෙන කැලේ මැදින් බඩ ගාමින් ගිහින් වෙල කෙලෝරේ තිබුණ ජානකගේ පැලට රිංඟගත්තා . පහුවදා උදේ වෙනකං කංසා දුම් බොමින් කමින් සද්ද නොකර උන්නා . කංසා මල් වලින් අපේ හිත් සාමකාමි නොවෙන්න අපේ අත් වලින් 65 කොළනියේ කීදෙනෙක් මියැදෙන්ඩ තිබුණද කියලා අපි කල්පනා වුණා .. සත්තයි කංසා කියන්නේ "සාමදානයේ සැතපෙන සාමකාමී පානය" බව මට ඒ මොහොතේ අවබෝධ වුණා

 පහුවදාට එළිය හතර වටින්ම වැටෙනකං බුදියෑව අපි පස්ස පැත්තට අවුව වැටුණාම අවදිවෙලා හන්දිය පැත්තට ගෑටුවා . අපි හන්ඳිය ගාවට ගිහින් එතන වෙච්ච කතා බහ කනේ තියාගෙන කෙළින්ම අපේ ඇල ළඟ T කඩේ බලන්න දීවා ....

කඩ පොඩ්ඩ කෑලි කෑලි වලට කැඩිලා ලෑලි කෑලි ඇලේ වතුරේ පාවේවී තිබුණා . හෙවිලි කළ පොල් අතු විදුලි කම්බි වල එල්ලිලා ලෙලදුනා . ආප්ප පුච්චපු තාච්චියට පිරෙන්න කවුදෝ එකෙක් හුජ්ජ කරලා තිබුණා . පිටි මුට්ට භාගයක් ඇල අයිනේ මඩ වළකට වැටිලා පිටි පිපිලා ඉදිමිලා තිබුණා . සුනාමියක් අවුදින් කෙළලා ගිහින් වගේ අපේ පොඩි කඩේ දූවිලි වෙලා තිබුණා . 65 කොළනියේ එවුන් වාඩුව අරගෙන ගෙහුන් තිබුණා .  

කොලනි වල එදා ඉඳන්ම තත්වය ඕකයි . පොඩි සිද්ධියක් ඇති මහ විසාල ගෝරියකට මුලපුරන්ඩ .. සංගීත සන්දර්සනයකදී , මගුලකදී , කොටහළු ගෙදරකදී රුස්සන්නේ නැති කොලනි කාරයෝ දෙගොල්ලක් එකට හම්බුනොත් එතන මරණයක් සුවර් . . .  

ඒත් මරණ ගෙදරකට එන්න කිසිම කොලනිකාරයෙකුට තහංචි නෑ . මරණ ගෙදරකදී පරණ තරහ අහක දමලා කට්ටියම ඕමි අතක්, සිගරට් එකක්, බුලත් විටක් , කසිප්පු වඩියක් ගහලා දුක බෙදාගන්නවා . කොලනි කාරයන්ගේ හැටි ඔහොමයි


අලුත් පාලම

 



කඩේ ළඟ විට හපන සුදූ සහ චමී
.......................................................................................................................................................

කොළඹ ගෙවෙන ජීවිතේට නිවාඩු ලැබිලා ගමට ආවේ මාස තුනකට විතර පස්සේ . පරණ පරිගණකයත්, පරණ මතයකුත් අලුත් වෙලා මේ කතාව ලියලා දාන්න කියලා මට නොකියා කීවා . කොළඹ ගියාම අගුල් වැටෙන හිතට කතා ලියන්න බෑ . ඒකයි මේ ගමේ ඉන්න සතියෙ දෙකේ හිතේ පිරිලා තියෙන කතා ටික ලියලා දාන්න හිතාගෙන ආයෙත් පරණ බ්ලොග් එකට ගොඩවෙන්න හිතුවේ ...

24.1.14

Facebook කපුවාගේ කතාව 2. අවසන් කොටස







"අඩෝ රණා මේ පැත්තට සිග්නල් කඳුළක් නෑනේ බං . ඉතින් මල් කුමාරි ෆේස්භුක් ගියේ කොහොමද . මට නම් මේක අල්ලන්නෑ බං " බයික් එකෙන් බහින්න කලින් මම රණමල් ගෙන් ඇහුවා .

මල් කුමාරි ටවුමේ කොමිනිකේෂන් එකක වැඩ බං ඒකෙ ඉන්න වෙලාවට තමා ෆේස්බුක් එන්නේ . උඹටත් මොනවදෑ සැක නැත්තේ . ?

මල් කුමාරිගේ ගෙදර උදවිය අපිව බොහොම ඉහළින් පිළිගත්තා එදා අපිව පිළිගන්න කෙල්ලගේ වටේ පිටේ උන්න නෑදෑයෝ බොහොමයක් ඒ පුංචි ගෙදර එක්කාසු වෙලා අපි එනකම් මග බලාන උන්නා. වෙල්කම් ඩ්‍රිංක් එක හැටියට කෙල්ලගේ නෑදෑ වෙච්චි අක්කා කෙනෙක් අසෝක වීදුරු පුරෝලා ගෙනද්දීපු පැනිදොඩම් අපි එක හුස්මට බීවා .

"උඹ ඔක්කෝම බොන්ඩ එපා ඔයි පැනිදොඩම් වීදුරුවෙන් බාගයක් මල් කුමාරිට දියන් සිරිත් විරිත් දන්නැද්ද බං ?.


රිපිටා රණමලාගේ කනට කරලා කියාපු බයිලේ මට ඇහිච්චි නිසා හොඳා නැත්තම් විහිළු නොදන්න රණමලා අපි හැමෝමගෙම රෙදි ගැලවෙන්න එදා රිපිටා කියපු ගොබ්බ වැඩේ හැබෑවටම කරනවා .

කෙල්ලගේ ගෙදර මහ එවුං අපි ගෙනාපු අයිසිං කේක් ගෙඩිය අපි ඉස්සරදීම කපලා අපටම දුන්නු මොහොතේ අපේ හිත් ඒතරම් තැළුණේ නැති වුණත් කේක් කපාපු පිහේ තිබුණු වැලි අයිසිං එක්ක මිශ්‍ර වෙලා අපේ දත් අස්සෙයි විදුරුමහේ ඇමිණෙද්දී අපි හැමනියං කාලෙකදීම මේ ගමට වැස්ස වැටෙන්න කියලා ප්‍රාර්ථනා කෙරුවා .

මොහොතකින් කෙල්ලගේ මාමා (කෙලීගේ පියාගේ අයියා) ගෙදර උදවියව අපිට අඳුන්වා දුන්නා ඊට පස්සේ රණමලා උගේ පාප මිත්‍රයන් වෙච්ච අපිව කෙල්ලගේ ගෙදර උදවියට අඳුන්වා දුන්නා .

"මේ සාගර , මේ පුස්පෙ , මේ රිපිටා , මේ ජානක , එතකොට මෙයා තමයි සඳරු මෙයා නිසා තමයි මල් කුමාරිටයි මටයි අඳුනගන්න ලැබුණේ .


"ආ එතකොට මෙයා කපු මහත්තයා නේ !


කෙල්ලගේ පැත්තේ උන්නු නාකි ලොක්කෙක් මට අමු ටොකක් දුන්නා

"නිකං නෙවේ ෆේස්බුක් කපුවා !
රිපිටා හීන් හඬින් කොඳුරද්දී අපේ එවුන් හෙමි හෙමිහිට හිනා වුණා

"ආපිට ගියාම මම තෝව මරන එක මරනවා !" රිපිටා එක්ක මලේ මල පැන්න මම හිතෙන් හිතාගත්තා

මොහොතකින් ඇතුළු කාමරේක ඉඳන් විලි ලැජ්ජාවෙන් ගැහෙමින් මල් කුමාරි අපි ඉස්සරහට ආවා. මල් කුමාරි කැත කෙල්ලක් නෙවෙයි ඒත් . අවුවේ වැඩ පල කරලා නිසාදෝ ඒකි බොහොම කළුයි ඒත් ඒ කලු කෙල්ල ගාව සුදු කෙල්ලෝ සියක් දෙනෙක් ගාව නැති අමුතු සුන්දරත්වයක් තිබ්බා.කඩාදාපු කොණ්ඩේ මාගලක් වගේ දිගයි . අර කප් මේකප් නැති මූණෙන් අහිංසක කම බේරෙනවා. ඒකි දැක්ක මොහොතේ මට ඇති වුණේ පුදුමාකාර දුකක් මල් කුමාරි දියෙන් ගොඩ දාපු ගප්පි පැටියෙක් වගේ ගැහෙනවා . බොහෝම හෙමින් බිම බලාගෙන ඇවිදං ආපු මල් කුමාරි ඒ පුංචි ගෙදර සාලේ ලෑලි බංකුවක ඉඳගත්තා .

විනාඩි කීපයක් ගත වුණා . කවුරුත් කතා නෑ . කට්ටියම බකමූණු බිත්තර ගිල්ලා වගේ !

"රණමල් උඹ නංගිත් එක්ක එළියට ගිහින් කතා කරහන්කෝ .


මම එහෙම කීවාම රණමල් නැගිට්ටා. උගේ පස්සෙන් මල් කුමාරිත් හෙමීට එළියට ඇදුණා . උන් දෙන්නා මිදුලේ ටිකක් දුරින් තිබුණු දෙළුම් ගහක් මුල කතාවට වැටුණා . ‍

"අම්මපා කපු මහත්තයා නම් රාජකාරිය දේවකාරියක් ගානට කරනවා . හබෑවට කොම්පීතරෙන් කපුකම් කරනවා කියලා අපි දන්නේ අද . කොම්පීතරෙන් සාත්තර බලන විත්තිය දැන උන්නාට කපුකම් කරනවා කියලා දන්නෑ නොවැ .


කෙල්ලගේ ගෙදර හිටි තරුණ පහේ කොල්ලෙක් ආයෙත් වංඟියක් මට ඇදලා ඇරියා .

"මේ මම කපුවෙක් නෙවෙයි අයියා . මම කොම්පිවුටර් පන්ති කරන කෙනෙක් .


මට මල පැනලා කියලා තේරිලාද මන්දා ඊට පස්සේ එකෙවත් මට කපුවා කීවේ නෑ .

දවල් කෑම වෙලාව ලං වෙද්දී පිරිමි විතරක් ගෙයි සාලේ ඉතුරු කරපු ගෑනු හැමෝම කුස්සියට රිංගවුවා . හිටි ගමන්ම ගෙයි මුල්ලකින් තුවක්කුවක් ඇදලා ගත්තු මල් කුමාරිගේ තාත්තා සරමත් උස්සගෙන එළියට පනිද්දී මම හිතුවේ අපේ රණමලා මල් කුමාරිට අවැඩක් කරලා ඒක මල් කුමාරිගේ තාත්තට පෙනුණා කියලයි ඒත් මම වැරදියි .

ඩෝං ගාලා ඇහුණු ෂොට් ගන් එකේ වෙඩි සද්දෙට ගෙයි ටකරං වහලෙ දෙදරුම් කෑවා . මොහොතකින් ලේ බේරෙන වලි කුකුළෙක් අතින් අල්ලගත්ත මල් කුමාරිගේ තාත්තා කිසිම ගාණක් නැතිව ගෙයි මැදින් කුස්සියට ගියා . අපේ එවුන් මූණට ගලාපු දාඩිය කමිස අත් වලින් පිහිදමන්ඩ පටන්ගත්තා .

"ඒ මුං පුදුම මිනිස්සුනේ බං ?


රිපිටා මගේ කනට කොඳුරවුවා

වලි කුකුල් මසුයි , කතුරුමුරුංගා කොළ මැල්ලුමකුයි . උකුවට හදාපු කවුපි හොද්දයි බෝල බටුත් ,මල් පපඩමුත් එක්ක ගෙදර මිනිස්සු අපිට රජ කෑම වේලක් ලැහැත්ති කරලා තිබුණා . කලු ගල් වගේ හයිය වලි කුකුල් මස් කෑලි අතරේ තිබිලා මට මූනිස්සමක් මට හැපුණාම මම ඒක හොරෙන්ම රිපිටාගේ බත් පිඟානට දමාපු හැටි කවුරුත් දැක්කේ නෑ .

බත් කාලා ඉවර වුණ අපිට අපිම ගෙනාපු දිගාමඩුලු මීකිරි කන්ඩත් බඩ දිග ඇරගන්ඩ සිද්ද වුණා . ඔය අතරේ දිගාමඩුලු කිරි ගැන අභිමානයක් දැනිලා අපේ සෙට් එකේ උන්නු සාගර අයියා ලොකු ටෝක් එකක් දෙන්ඩ ගිහින් අපි කවුරුත් පච වුණා .

"දිගාමඩුලු මීකිරි මුලු ලංකාවෙම ප්‍රසිද්ධයි . රුහුණේ මිකිරිත් කිරිද ? දිගාමඩුලු මීකිරි තමා අම්මාපල්ල මීකිරි !


සාගර අයියා බොහෝම ආඩම්බරෙන් මල් කුමාරිගේ ගෙදර උදවියට දිගාමඩුල්ලේ අභිමානය දෙසාබෑවා .

"ඒ පැත්තේ වැස්සියෝ රට වටේම කිරි පොවුව පොවුවා යන නිසා ගමේ වස්සන්ට පිටින් කිරි බොන්ඩ වෙලා වෙන්ටැ නේද ? .


ඉඳලා ඉඳලා කතා කරපු මල් කුමාරිගේ තාත්තා අපි කවුරුත් ඉදිරියේ ලෝක කුණුහරුපයක් කීවා .

"මොකක්ද්ද බං අර මිනිහා කීව වඳුරු කුණුහරුපේ ?. ඒකිගේ දූ අහල පහළ ඉන්නවා කියලාවත් හිතවුවේ නෑනේ ඒකා . . මහ ජඩයෙක් ඌ නම්"

"කට වහං ඉඳින් . වලි කුකුළට වෙච්චි දේ දැක්කානේ .


මම එහෙම කීවාම මගේ කනට කොඳුරමින් උන්නු සාගර හෙමීට සයිඩ් වුණා .

නොකෑ එකා දරණ ගහනවා කෑ එකා යන්ඩ ඇදෙනවා . සතා සරුපයාගේ වුණත් සුබාවේ ඒකයි . ඒ බව හොඳ හැටි දන්න නිසා අපි කවුරුත් කාලා බීලා මොහොතක් ගත වුණාම ගෙදර මිනිස්සුන්ට සමු දීලා හොඳ හිතින් යන්ඩ පිටත් වුණා . අපිව ඇරලවන්නත් පෙරමගට ආපු ඒ හොඳ මිනිස්සු අපිට ගෙදර ගෙනියන්ඩ බඩ ඉරිඟු සහ ගස් ලබු මලු දෙකක් පිරෙන්ඩම තෑගි කරන්ඩත් අමතක කළේ නෑ .

රණමලාට මල් කුමාරිව යමින් කැපෙනවා . උන් දෙන්නාට දෙන්නා බොහොම ආදරෙයි . ෆේස්බුක් ගිණුමකින් පටන් ගත්තු ආදරයක් මේතරම් ලස්සන වේවි කියලා මම කවදාවත් හිතවුවේ නෑ . අපි ගෙදර පරෙස්සමින් ආවාදැයි බලන්න රණමලාගේ ෆෝන් එකට කෝල් කරපු මල් කුමාරි අපි ආපු එකට අපට නොසෑහෙන්න ස්තූති කරන්ඩ අමතක කළෙත් නෑ . ෆේස්බුක් ගිණුමක් රණමලාට හදාල දුන්නු මටත් මල් කුමාරි බොහොම පින් දුන්නා . ගෙදරදී ලැජ්ජා කාරි වුණාට ඒකි ෆෝන් එකෙන් බොහොම කටකකාරයි .. !

දින සති ගෙවෙනකොට මල් කුමාරිගේ ගෙදර උදවිය අපේ ගම් පළාත වෙච්චි වැවුගම්පත්තුවට අවුදින් රණමලාගේ දෙමවුපියන් මුණ ගැහෙන්න දින දමා ගත්තා . රණමලාගේ අම්මා අප්පා ඩබලත් පදියතලාවේ ඇත්තෝ මුණ ගැහෙන්න කැමති වුණ නිසා රණමලා උන්නේ බොහෝම සන්තෝසෙන් . ඉතින් අපටත් බොහොම සන්තෝසයි .

මල් කුමාරිගේ ගෙදර උදවිය එන නිසාම රණමලා අපිත් එක්ක එක්කාසු වෙලා ගේ දොර කල එළි කරලා වත්ත පිටිය පිරිසිදු කරලා ගන්ඩ බොහොම මහන්සි ගත්තා . අපේ එකාට බොක්කෙන්ම උදවු දීපු අපිත් බෑ නොකියා මහන්සි වෙලා රණමලාගේ ගේ පොඩ්ඩ දිව්‍ය මාලිගාවක් වගේ හැඩ වැඩ ගැන්නුවා .

රණමලාගේ කෙල්ලගේ පැත්තේ නෑයෝ වැවුගම්පත්තුවට එන දවස උදා වුණාම ඒ උන්දෑලට මග පෙන්වන්න මමත් රිපිටත් බයික් බයික් එකෙන් උහන හන්දියට වෙලා කට්ටිය එනතුරු මග බලාන උන්නා. මහඔය, මංගල ගම, පියංගල, පහුකරලා උහනට එනකම් ආපු ඩීමෝ බට්ටා ලොරියක මල් කුමාරිගේ නෑදෑ පිරිස අවුදින් තිබුණා මල් කුමාරි නම් එදා අවුදින් හිටියේ නෑ. අපේ බයික් එක ඉදිරියෙන් ගිහින් රණමලාගේ ගෙදරට එනකම් ඒ ලොරියට මග පෙන්නවුවා .

"බලහං මචං අතපය දිග ඇරලා ලොරියක් පුරෝලා තෑගි බෝග ගෙනත් අපිට කොයින්ද බං මේ වගේ කෙල්ලෝ ලබන්ඩ වාසනාවක් . අනේ මටත් ෆේස්බුක් එකක් හදාල දියංකෝ පදීතලාවේ කෙල්ලක් සෙට්කරගන්ඩ .


මගේ බයික් එකේ පිටුපස උන්නු රිපිටා තමා එහෙම කීවේ . !

අලුත මුණ ගැහුණ නෑදෑයෝ බොහෝම සුහඳව කතා බහ කරනවා හිනා වෙනවා දැකලා මට දැනුණේ පුදුම සැනසීමක් . ජීවිතේ එක වතාවක් හරි මගේ අතින් පටන්ගත්තු වැඩක් බොහොම ලස්සන අවසානයකට කිට්ටු වෙනවා කියලා මට හිතුණා .සත්තයි ! අවංකවම මම එදා ගොඩක් සන්තෝස වුණා ..

"සඳරු පුතේ අරවා ගෙනාවද ?


කඩිමුඩියේ මාගාවට දුවගෙන ආපු රණමල්ගේ තාත්තා මට කලින් කියපු පයිණ්ඩයක් ගැන විතර ඇහැවුවා .

"ගෙනාවා මාමා !


එහෙම කියාපු මමයි රිපිටයි අපි දෙන්නාගේ ඉනේ හංඟාගෙන උන්නු හිඟුරානේ පෙරන රවුන්ඩප් ! බෝතල් එක හමාර හෙමිහිට රණමලාගේ තාත්තා අතට දුන්නා .

"අච්චර දුර ඉඳන් ආපු ඈයින්ට නොසලකා කෝමද ? . සඳරු පුතේ අර උගුරැස්ස පඳුර යට ඉස්ටූල් එකකුයි පුටු තුන හතරකුයි තියලා පොඩ්ඩක් ලයින් කරහන්කෝ මේ වැඩිහිටි අයට සලකන්ඩ .


රණමල්ගේ තාත්තගේ අණ පරිදි රණමලාගේ යාළුවෝ වෙච්ච අපි . උගුරැස්ස පඳුරක් යට මධුවිතට සෙට් වෙන්න හැකිවෙන්ඩ බොහොම පොඩි පොට් එකක් ගොඩ නගලා පදියතලාවෙන් ආපු නෑයින්ට එතනට ආරාධනා කෙරුවා .

වැඩිහිටියන්ට රවුන්ඩප් කෙලින්ඩ දීලා අපි නිදහසේ පදියතලාවෙන් ආපු මල් කුමාරිගේ නෑදෑ කෙල්ලන්ට ඇහැ දැම්මා . ඉතින් වෙලාව යනවා දැනුනෙවත් නෑ . පදියතලාවේ උදවිය අපිට කරපු සංග්‍රහයට නොදෙවනි සංග්‍රහයක් පදියතලාවේ උදවිය වෙනුවෙන් රණමලාගේ ගෙදරත් ලැහැත්ති කරලා තිබුණා .

යාන්තම් බත් දීසිය මේසෙට ගෙනාවා විතරයි . !

"අඩෝ කවුද Paකෝ මට පැස්ටොල් පෙවුවේ . ? මුන් මට පැස්ටොල් පෙවුවා තිරිසන්නු .!මේ අරක්කු නෙවේ මේ පැස්ටොල් ! ! !


මහ හයියෙන් කෑදෙන්නේ කවුද කියලා බලන්න රණමලයි, මායි, රිපිටයි දෙන්නා ගෙයි පිටිපස්සට දිවුවා .අපි දැක්කේ ජීවිතේට එක වතාවක් විතරක් බලන්න ලැබෙන බොහොම වටිනා දර්ශනයක් .

මල්කුමාරිගේ තාත්තා සරම ගලවලා කරේ දාගෙන අමු හෙළුවෙන් පපුව අතගගා කුස්සිය පැත්තෙන් ගෙඩ ගොඩ වෙන්න හදනවා . රණමලාගේ තාත්තා බිම වැටිලා . ගෑනු විලාප තියෙනවා හොදි හැළියක් බිම ඉහිරිලා .

"මොකෝ මේ ?


අපි හනිකට එළියට පැනලා ඇහැවුවා .

"මුන් මට පැස්ටොල් පෙවුවා අරක්කු කියලා . මයෙ පපුව දනෝ මයෙ පස්ස දනෝ . ඉන්ඩ බැරෝ . වතුර දියෝ . !


මම පට් පට් ගාලා ගිහින් ගුටියක් වැදිලා බිම වැටිලා උන්න රණමලාගේ තාත්තව නැගිට්ටෙවුවා
පදියතලාවේ නෑදෑයෝ ඉක්මනට ක්‍රියාත්මක වෙලා කලබල කරන මල්කුමාරිගේ වයසක තාත්තව අතපය ගැට ගහලා ලොරියේ ඉන්දෙවුවා

"අනේ අපෙ මහත්තයට අසනීපයි මොළේ ටිකක් හොඳනෑ . එයා බිවොත් අසනීපේ වැඩිවෙනවා ඇකිරියං කුඹුරෙ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා මෙයාට වැරදිලාවත් අරක්කු බොන්ඩ එපා කීවා .


මල්කුමාරිගේ අම්මා එහෙම කීවාම අපිට මල්කුමාරිගේ තාත්තාගේ අමුතු හැසිරීමට හේතු කාරණා සේරෝම තේරුම් ගියා .

"ඉතින් හත්තිලවුවේ අපි දන්නවාය .? බොනවදෑ කියලා අහපුහාම බොමුය කීවානේ. හාහා ඒකෙන් මේකෙන් කමක් නෑ වෙච්ච දේ අපි අමතක කරමු අපි කවුරුත් මිනිස්සුනේ අපි කවුරුත් ලෙඩ වෙනවා නොවැ. කට්ටියම හොඳ හිත නරක් කරගන්නැතුං කෑම කමු .


රණමලාගේ තාත්තා බොක්කෙන්ම එහෙම කියද්දී පදියතලාවේ නෑයොන්ට ඇඬුණා .

රණමලා ගිහින් පිස්සු තදවෙච්චි මල්කුමාරිගේ තාත්තට බත් කැවුවා . අතපය ගැටදාලා ලොරියේ ඉන්දවලා තිබුණු නිසාම රණමලා බය නැතුං ගිහින් පොරට බත් ගුලි ගිල්ලෙවුවා .කවුරුත් කාලා බීලා ඉවර වුණාම රණමලාගේ දෙමවුපියෝ රණමලාටයි මල්කුමාරියි දෙන්නගේ සම්බන්දෙට අවසර දුන්නා .
ඉතින් හැමෝම බොහොම සන්තෝසෙන් යන්ඩ ගියා . ඉතිරි වෙච්ච ගල් බාගයක් ඉනේ ගහගෙන රණමලාගේ ගෙදරින් බත් එකකුත් ඔතාගත්ත මායි රිපිටයි දෙන්නත් හෙමීට කැලේ පැත්තට පද්දවුවා .
                                                   *******

කල් ගතවෙනකොට අපි කාටත් ඔය කෙළි අමතක වෙලා ගියා මටත් රණමලාව වැඩියෙ හම්බුනේ නෑ . ඒත් පහුගිය සතියේ දවසක මට නොදන්නා කෙනෙක් ෆේස්බුක් පණිවිඩයක් එවලා තිබුණා . මමත් හොඳට ළංවෙලා බලවුවා . හත්තිලවුවේ ඒ මල් කුමාරි .

"සඳරු අයියේ රණමල් මට කෝල් කරන්නේ නෑ . එයා ෆේස්බුක් එකට එන්නෙත් නෑ . අනේ මට කෝල් කරන්ඩ කියන්ඩ .


මල් කුමාරි එවාපු මැසේජ් එක දැකලා පොඩ්ඩක් කලබල වෙච්ච මම එදා හවස් වරුවේ රණමලා හොයාගෙන ගියා . කැටකෑල ගහක් යට ඉඳන් දුම් වැටියක් බොන ගමන් රණමලා මට උගේ ආදර කතාවේ අවසානය කිවුවා .

"මම මල් කුමාරිව අතෑරියා බං .! . මට ඒකි ළොවෙත් හොඳයි කිසි අඩුවක් නෑ . ඒත් බං ඒකි මට නිතරම කියනවා අපි දෙන්නා එකතුවෙලා අන්තිම සතේ හරි වියදම් කරලා තාත්තව සනීප කරමු කියලා .


"ඉතින් පවුනේ බං "

"පවු තමා බං . යකෝ ඒකිගේ තාත්තව ගොඩ දාන්න වියදං කරන්ඩ මට සල්ලි කෝ .තාත්තට බෙත් කරන්ඩ උන් මුලු සේසතම දිය කරලාලු තියෙන්නේ . මමත් රුපියල් හත්දාහක් දුන්නා එක වතාවක් බං . මේක හරියන්නෑ මෙහෙම ගියොත් සඳරු මල්කුමාරිගේ තාත්තගේ පිස්සුව හොඳ වෙද්දී මට පිස්සු හැදිලා තියේවි .


"උඹට හරියි කියාල හිතෙන දෙයක් කරහන් රණා .


"අපි කියලා සල්ලි කාරයෝ නෙවෙයිනේ සඳරු . ඒකි ඒකිගේ දෙමවුපියෝ ගැන හිතනවා වගේ මම මගේ දෙමවුපියෝ ගැන හිතන්ඩ ඔනෑ . මම හම්බුකරන තුට්ටු දෙක උන්ට වියදම් කරන්ඩ මට බෑ බං. ඒක මට යාදින්නෑ .


"හ්ම්. උඹ හරි රණා .. ඒත් උඹ ඒ බව මල්කුමාරිට කියහන් .


"අපෝ බෑ සඳරු ආයේ ඒකිත් එක්ක කතා කරන්ඩවත් මට බෑ මට ඒකිව දැක්කොත් ආයේ ආදරේ හිතෙනවා . උඹ මයෙ ෆේස්බුක් එකවුන්ට් එක මකලා දමාපං . මම සිම් එකත් තළලා ඇළට විහික් කෙරුවා .


"හ්ම් . මං එහෙම කරන්නම් .


"ආ සඳරුවා තව උදවුවක් කරහන් .


"මොකක් ?


රණමලා මට උගේ සාක්කුව ඇදලා මල් කුමාරිගේ පොටෝ එකක් දුන්නා

"මේක පුච්චාපිය . දැන්ම පුච්චාපිය .


රණමලා දුක්බර හඬින් එහෙම කියද්දි මම අතේ තිබුණු සිගරට් එකෙන් මල් කුමාරිගේ ෆොටෝ එකේ ඇස් දෙකයි කටයි පුච්චවුවා අන්තිමේට ෆොටෝ එකම පුච්චලා දමවුවා .

ඉතින් ඔය විදිහට මම මුල් වෙච්චි තවත් එක සිදුවීමක් කඳුලකින් අවසන් වුණා . රණමලා ටික දවසක් මූඩ් ගහලා ඉඳලා ආයෙමත් පුරුදු විදිහට වැඩ කරන්ඩ පටන් ගනීවි .මල් කුමාරිත් ටික දවසකින් රණමලාව අමතක කරලා දමාවි. ඉන් පස්සේ ආයෙමත් හෑම දෙයක්ම හරියාවි .දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් සල්ලි වලටම විතරයි .දුප්පත්කම අස්සේ අවංක ආදරේට කිසිම තැනක් නෑ.! මම ඒ වග මේ කතාවෙදිත් හොඳට තේරුම් ගත්තා .