18.7.11

නවකයෙකුට වද දුන්නෙමු .


    පහුගිය දවසක මගේ ෆෝන් එකට ආපු කෙටි පණිවිඩයකින් කියවුණේ . කසුන් කියලා කෙනෙක් මට ෆේස් බුක් ආරාධනාවක් කරලා තියන බව . මමත් කර කර හිටපු වැඩේ නවත්තලා දාලා හනි හනිකට මගේ ෆේස් බුක් පිටුවට ගිහිල්ලා , මේ මම දන්න කියන කසුන්ද කියලා බැලුවා .

ඔවු ඒ මහත මූණ ඒ අහිංසක හිනාව . මේ ඌම තමයි .

මගේ මතකය අවුරුදු කීපයක් ආපස්සට යැවුණා .. මට කසුන්ට වෙච්ච සිදුවීමක් මතකෙට ආවා . ඒ සිදුවීම ලියන්න කලින් . කසුන් ගෙන් ඒකට අවසර ගන්නත් මම අමතක කලේ නෑ .! .


ඒ මම එස්කෝලේ දහය වසරේ ඉගන ගන්න කාලේ . . . . . . . .. . . . .


දහය වසර ! ඔය වයස කොල්ලෙකුගේ ජීවිතේ කුණාටු සමය කීවොත් වැරදි නෑ . ඉගන ගන්න නෙවේ. අතල් ගන්න කියලා හිතාගෙන ඉස්කෝලේ ගියපු , ඉගනගන්න තිබුණු වටිනා කාලේ නාස්ති කරලා දාපු. කාල සීමාවක් . මොනවා කරන්නද ? ඔය කියන කාල වකවානුවේදී මම උපයාගත්තේ අද්දැකීම් ගොන්නක් සහ ජීවිතකාලෙටම අමතක නොවෙන රස්තියාදුකාර මතකයන් ටිකක් විතරමයි .දැනුමක් කියලා දෙයක් ලබා ගත්තේ නැති තරම් . . . .

අපේ ඉස්කෝලේ ගැන කීවොත් ඒක මිශ්‍ර පාසලක් . ලවු සීන් , වලි සීන් , හොර වැඩ තක්ක්ඩි වැඩ කුපාඩි වැඩ . මේ හැම දෙයක්ම අඩු නැතිව අපේ පාසලේ තිබුණා . ඉගන ගන්න එකා ඉගන ගත්තා . අයිලේ ගිය එකා කාලකණ්ණි වුණා . ඒක අපේ පාසලේ සාමාන්‍ය තත්වය .. ඔය කියන කාලේ ලවු සීන් , වලි සීන් , හොර තක්ක්ඩි වැඩ වලට අමතරව . තවත් දෙයක් අපේ පාසලට අලුතින් බෝවෙලා තිබුණා . ඒ තමයි රැග් එක හෙවත් නවක වධය ..

"නවක වධය" ඒ ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ නෑ ..මුල් කාලේ අපේ පාසල් වල ඒක නොතිබුණාට පස්සේ කාලෙක ඒක බොහෝම සැරට ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා .ඒත් එකම එක සිදුවීමක් නිසා . මුලු ඉස්කෝලේම කොල්ලෝ කෙනෙක්ව රැග් කරන්න කලින් ආයෙමත් වතාවක් හිතන්න පෙළඹුණා . ඉතින් , මේ ලියැවෙන්නේ ඒ සිදුවීම .

මට මතක විදිහට ඒ 2004අවුරුද්ද . මාසේ නම් පෙඹරවාරි මාසේ වෙන්න ඇති .


මම වාඩිවෙලා හිටියේ පන්තියේ පිටුපසම පේළියේ . මගේ ගණයටම වැටෙන අනිත් කොලු රැලත් මාත් එක්කම කෙල්ලන්ට විහිළු කරමින් පිටුපස පේළියේ කාලේ කමින් හිටියා .ඉගන්න ගන්න දක්‍ෂ වැදගත් කොලු රැළ ඉදිරිපස පේළියේ හැමවෙලේම පාඩම් කරනවා . දවසක් ඔය විදිහට ඉන්න අතරේ කොරිඩෝ එක දිගේ අඩි සද්දයක් ඇහුණා . . . . පන්තිය පුරාම හිටපු කොල්ලෝ කෙල්ලෝ සේරම දුවලා ගිහින් . තම තමගේ පුටුවේ වාඩිවෙලා , හොඳ ළමයි වගේ පොත් පෙරළගත්තා . පිටුපස පේළියේ හිටපු අපිත් ඉක්මනට පොතක් පෙරළගත්තා . අපි හැමදාමත් පෙරලගන්නේ එකම පොත . ඒ තමයි සෞඛ්‍ය පොත . ප්‍රජනනය පාඩම තියන නිසා අපි ඒ පොතට හරි ආසයි . පොත අතට ගත්ත ගමන් ප්‍රජනනය පාඩම නිකම්ම පෙරළෙන්නේ එකයි. . . . .

එක පාරටම පන්තියට තුන් දෙනෙක් ඇතුළු වුණා . එක්කෙනෙක් .පන්ති භාර සර් . ඊළඟට අපේ වයසේ සුදු තරබාරු කොල්ලෙක් සහ එයාගේ තාත්තා.! ‍‍මේ අලුතින් ළමයි භාර ගන්න කාලේ නෙවෙයි.. ඒත් අවාරෙට ගස් වලත් ඉඳලා හිටලා ඵල හටගන්න එකේ . අලුතින් ළමයෙක් පන්තියට ආපු එකත් පුදුමයක් නෙවේ ..

පන්තිය ඉදිරියට ආපු පන්ති භාර සර් කටහඬ අවදි කලා .

"ළමයි ඇහුකන් දෙන්න . මෙයා අපේ ඉස්කෝලෙට අලුතින් ආපු ළමයෙක් . එයා මීට කලින් ඉඳලා තියෙන්නේ . කෑගල්ලේ තියන අර සුප්‍රසිද්ධ පාසලට .එයාගේ තාත්තට මෙහාට මාරුවක් ලැබුණු නිසා තමයි එයා මේ ඉස්කෝලෙට ආවේ .”

"
එච්චර ලොකු ඉස්කෝලෙක ඉඳන් මෙහේ ආවේ මොකටද ? මූ අම්මා අප්පා එක්කම හැදිච්ච අහිංසක කොල්ලෙක් වෙන්න ඇති" .. මට එහෙම හිතුණා .

"
හරි මෙයාට ඩෙස්ක් එකකුයි පුටුවකුයි අපි හොයලා දෙනකම් මෙයා එක්ක තමන්ගේ ඩෙස්ක් එකයි පුටුවයි බෙදාගන්න කැමති කවුද ? පුටු දෙකක් ලං කරලා මෙයාටත් ඉඩක් දෙන්න .”

 
පන්ති භාර සර් කීවේ පන්තියේ පේළි අතරේ හිඩැසක් හොයන ගමන් . ඒත් එදා මුලු පන්තියේම හිස් වෙච්ච පුටුවක් තිබුණේ නෑ ..ඒ මදිවට එක කොල්ලෙක්වත් අත ඉස්සුවෙත් නෑ . ඉස්සහරා පේළියේ හිටියේ ඉගනීම ජීවිතය කරගත්ත කොල්ලෝ වගයක්. පිටුපස පේළියේ හිටියේ උපතින්ම හද්ද චාටර් කොල්ලෝ සෙට් එකක් . . . . අලුත් කොල්ලාගේ මූණ දිගේ දාඩිය බින්දුවක් බේරෙන්න වුණා . කමීසේ අතකින්ම පොර ඒ දාඩිය බින්දුව පිහලා දාගත්තා . ඊට පස්සේ බිම බලාගත්තා .

මම හිටි පිටි පස්ස පේළියේ මගේ ළඟින්ම වාඩිවෙලා හිටියේ "කිතුලා" . ඌ තමයි ඒ දවස් වල මගේ බොක්ක . ඌ එක පාරටම මෙහෙම කිවුවා !

"
සර් මෙතන ඉඩ තියනවා .” !

 
ඒ කතාවට වැඩිපුරම මල පැන්නේ මට .. "උඹ එහෙනම් ඌට පුටුව දීලා උඹ බිම ඉඳගෙන හිටපන් . මගේ පුටුවේ නම් යන්තම් වත් ගෑවෙන්න එන්න එපා .! මම හෙමීට කිවුවා"

"
සඳරු උඹට තේරෙන්නේ නැද්ද ? අපිට මුගෙන් මාස ගාණක් කෑව හැකි . මූ මෝරෙක් බං !කිතුලා මගේ කනට කෙඳිරුවා ..

"
හ්ම්.හ්ම් එහෙමනම් එන්න ඇරපං .”.මගේ හිතෙත් පොඩි කාරුණික හැඟීමක් ඉපදුනා ..

"
හරි පුතා ගිහිල්ලා වාඩිවෙන්න" . මොහොතකින් සර් පන්තියෙන් එළියට ගියා .

පන්තියේ කොල්ලෝ අලුත් ආපු එකාට කින්ඩි පාස් කරනවා . කෙල්ලෝ අතින් කටවල් වහගෙන හෙමීට හිනා වෙනවා . අලුත් එකා ළමයි 40 දෙනෙක් මැද තනි වෙලා . . . . !

"
වරෙං මචං වාඩියං" .. මගේ පේළියේම හිටපු කාටුන් අලුත් කොල්ලට ආරාධනා කළා . අළුත් එකා හෙමීට අපේ ළඟට ආවා . මුලු පන්තියම දන්නවා . අපි මේ සැරසෙන්නේ මොනවා හරි අලුත් ගේමකට තමයි කියලා ..

"
මොකද්ද බං උඹගේ නම ආ ! පොඩ්ඩකට නැගිටපං කෝ !” . ඒ මගේ හඬ

"
කසුන්" . කොල්ලා යන්තම් හිනහවක් එක්ක කිවුවා ඒ වගේමයි ඌ හෙමින් නැගිට්ටා .

"
උඹ ළඟ අඩි කෝදුවක් තියේද බං ?මම ආයෙත් ඇහුවා

"
ඔවු තියනවා"

"
ගනිංකෝ පොඩ්ඩක් ..”


කසුන් අලුත්ම කවකටු පෙට්ටියකින් ප්ලාස්ටික් අඩි රූලක් ගත්තා .

මම ආයේ කටහඬ අවදි කළා . "දැන් ඔය අඩිරූල මේ පුටු දෙක අතරට තියලා උඹ වාඩි ගනිං මචං . නැත්තං කොහොමද පුටු දෙකක් ලං කරලා උඹව තියාගන්නේ උඹගේ පස්ස තියන්න එක පුටුවක් මදි වගේ බං .!”
 
කොල්ලෝ කෙල්ලෝ "හූ" කියලා හිනහ වුණා . කෙල්ලෝ නම් බලාගෙනමයි ඉන්නේ හිනහා වෙන්නේ කොයි වෙලාවෙද කියලා .උන්ටත් ඒක මාර පල්ලම .. කසුන්ට එපා වෙන්න ඇති . ඒත් ඌ ඒක අමතක කරලා බලෙන්ම හිනහවක් මුහුණේ මවා ගත්තා . තනි එකා වෙන මොනවා කරන්නද ? අපිත් ඔන්න ඔහේ කියලා ඌට වාඩිවෙන්න තැනක් දුන්නා . කසුන් කීප විටක්ම අපි එක්ක බජනෙට එන්න උත්සාහ කළත් අපි ඌව තඹ සතේකට මායිං කලේ නෑ . "එකපාරම අලුත් එකාව ගණං ගන්න හොඳ නෑ ! එතකොට ඌ කරේ යන්න එනවා.” ඒක මම දැනගෙන හිටි කාරණයක් .

එදා දවසේ අපිට කිසිම ආතල් එකක් ගන්න බැරි වුණා . මොකද හැම පීරියඩ් එකක්ම ඉගැන්වීම් කටයුතු සඳහා වෙන් වෙලා තිබුන නිසා . ඒත් ඊට පහුවදා නම් අවසාන පීරියඩ් එක ඕෆ් වෙන බව අපි දැනගෙන හිටියා . "හෙට මූට වැඩේ දෙමු" .අපි කතා වුණා .

පහුවදාට එළි වුණා . අපිත් උදේම ඉස්කෝලෙට එකතු වුණා .. ටිකෙන් ටික වෙලාව ගෙවිලා ගිහිං අපි බලාගෙන හිටපු වෙලාව ආවා .

අපේ ගැන්සියේ නලින් කසුන් ළඟට කිට්ටු වුණා . "අඩෝ කසුන් .

"
.. ඇ යි මචං ..?

"
උඹ අලුතින් ආව එකා . උඹට බෑ මට මචං කියන්න ! . උඹ දැන් අපි දෙන වැඩ ටික කරන්න ඕන. නෑ බෑ, අනේ, අයියෝ බෑ !. අපි කිවුවද උඹ කරා .. හරිය ?


කසුන් බයෙන් ඔළුව වැනුවා . මට එදා පොඩ්ඩක්වත් ඌ ගැන පවු හිතුණේ නෑ !

"
හරි මුලින්ම උඹ කිතුලා කියන වැඩේ කරපන් ඊට පස්සේ අනික් එවුනුත් උඹට වැඩ දෙයි උඹ නෑ බෑ නොකියා ඒවා සේරම කරන්න ඕන ..හරි නේ ?

"
හරි" .

කසුන් බය නැති බව පෙන්වන්න උත්සාහ කළා ඒත් කසුන්ගේ මූණේ තිබුණු සුදු මැලි බව නිසා මම දැනගත්තා . මූ ඉන්නේ අම්බානෙට බයවෙලා විත්තිය .


කිතුලා කෙල්ලෙකුගේ වතුර බෝතලේ අරගෙන වතුර ටිකක් බිමට නැමුවා . ඊටපස්සේ වල් හිනාවක් දාලා . මෙහෙම කීවා . "කසුන් ඔන්න මචං මේ තියෙන්නේ ෆැසිපික් සාගරේ . උඹ මේ සාගරේට පැනලා පීනන්න ඕන . උඹට පීනන්න පුළුවන් නේද ? බැරිනම් කියපන් මම උගන්වන්නම් .”

කෙල්ලෝ වගේකුත් "කමෝන් කසුන් !කියලා ඇහෙන නෑහෙන ගානට කියනවා .
කසුන් ඒ වැඩේ කලා බිම බුදියගෙන පීනුවා . කසුන් විනාඩි පහක විතර ජල ක්‍රීඩාවකින් පස්සේ අවදි වෙනකොට . බිම වතුර නිසා ඇතිවෙච්ච මඩ පැල්ලම කසුන්ගේ කමිසේ සාක්කුව හරියේ ඇඳිලා තිබුණා .තව දෙයක් මම දැක්කා. ඒ තමයි කසුන්ගේ ලොකු ඇස් රතු වෙලා කඳුළු පිරිලා තිබුණා

ඊළඟට ආවේ මගේ වාරේ . . . . . මම ගිහිං පන්තිය අතුගාන කොස්ස ගෙනාවා. ඒක කසුන්ගේ අතට දීලා මම මෙහෙම කිවුවා.. "මේ තියෙන්නේ ඉස්නයිපර් එකක් උඹ මේක අරගෙන අර ඉන්න කෙල්ලට වෙඩි තියපන් ඒ ඉන්නේ කොටි කතක් කියලා හිතා ගනිං !”

කසුන් වෙවුලමින් කොස්ස අතට අරගෙන ඒක මම පෙන්වපු කෙල්ල දිහාවට දික් කලා . ඒ කෙල්ලත් නියම කටක් තිබ්බ කෙල්ලක් . "හැබැයි තමුසේ මට ඕන නැති විහිළුවක් කළොත් මම දැන්මම ගිහිං විනය භාර ටීචර්ට කියනවා .”ඒකිත් කසුන්ට එක පාරටම කිවුවා !


කසුන් කොස්ස අරගෙන වෙවුලන අතරේ අපේ ගැන්සියේ තවත් කෙනෙක් ඈවිදින් ."යකෝ ඉස්නයිපර් එකෙන් ඔහොම වෙඩි තියන්න බෑ . ගන් එක බිම තියාගෙන බිම බුදියගෙනයි වෙඩි තියන්න ඕන .තියාපිය හරි විදිහට !! .කසුන්ට තර්ජනය කරා . මමත් ඉතින් හිත පුරා හිනා වුණා ! ඔය අතරේ . පීරියඩ් එක අවසන් වුණා .

"හරි උඹ අද මේකෙන් බේරුණා ඒත් හෙට අන්තිම පීරියඩ් හතරම ඕෆ් . ! උඹ හෙට මේක ඉවර කරන්න ඕන . හරි නේ !” . මට මතක විදිහට මම එදා එහෙම කියලා කසුන්ගේ තඩි බඩට තට්ටුවක් දැම්මා . . මට හිතාගන්න බැරි වුණා අලුත ආපු අසරණ කොල්ලෙකුගේ හිත කොයිවගේද කියලා .

එදා ගෙදර යද්දී අපි කසුන් ගානේ බිස්කට් පැකට් දෙකක්ම කෑවා . කසුන් අපිට කන්න අරගෙන දුන්නේ පුදුම සතුටකින් . පර්ස් එකේ ඇතුළක හැංගිලා තිබුණු සල්ලි අරගෙන කසුන් අපි කාපු බීපු ඒවට සල්ලි ගෙවන හැටි මමත් අනිත් පස් දෙනත් හොඳටම දැක්කා. ඒ අතරෙම කසුන් ගෙන් කඩා ගත්ත තව ලොකු සල්ලි කොල්ලෙකින් දුම් වැටි කීපයක් ගත්තු අපි බස් හෝල්ට් එක පිටිපස්සට ගියා . "කසුන් ඉඳා මචං" අපේ එකෙක් දල්වපු සිගරට් එක කසුන්ට දික් කලා .

"
මම ඉස්මෝක් වලට නෑ බං"

"
අපි එක්ක ඉන්නවා නම් ඕවත් පුරුදු වෙන්න ඕන . අනික තමයි ඉංග්‍රීසි වචන අපි අතරේ බෑ හරිද !”

උපතින්ම ඉංග්‍රීසි විරෝධියෙක් වෙච්ච්ච මම කසුන්ට බැනවැදුණා . ..ඔය අතරේ ගෙදර යන්න බස් එකක් එනවා . මම දුවලා ගිහිං පුඩ් බෝඩ් එකේ එල්ලුණා . "කසුන් හෙට ලෑස්ති වෙලා ඉඳපන් .! තවම වැඩේ ඉවර නෑ" . ඈතින් යන කසුන්ට අපේ කොල්ලෙක් කෑගහලා කියන හඬ බස් එකේ ලදරං හඬ අතරින් මට ඇහුණා ..

ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි .! මිනිස් හිත කියවන්න කියවලා තේරුම් ගන්න තව කෙනෙකුට පුළුවනි නම් මේ ලෝකේ ගැටුම් ඇතිවෙන එක අඩුවේවි , ලෝකේ සුන්දර වේවි . එකාට එකෙක් ඉඳීවි . ඒත් ඒක කරන්න බෑ . අපිට කසුන්ව තේරුම් ගන්න බැරි වුණා . කසුන්ටත් එහෙමයි . අපේ දඬුවම් දරාගන්න බැරිවුණා .

පහුවදා කසුන් ඉස්කෝලේ ආවේ නෑ .දවල් වෙද්දී අපි දැනගත්තා කසුන් ජීවිතේ නැති කරගන්න හිතාගෙන. තාත්තාගේ පෙෂර් එකට ගෙනාපු බෙහෙත් පෙති බීලා රෝහල් ගත කරලා බව .මගේ බඩ පපුව දාලා ගියා . අපිව පොලීසි ගෙනියාවි කියලා පුදුම විදිහට බයත් වුණා . මගේ පේළියේ හිටපු කාටුන් තුන්වෙනි පීරියඩ් එකේදී හොරෙන්ම තාප්පෙන් පැනලා ගෙදර ගියා . අපි හතර දෙනෙක් ඉතිරි වුණා . . .

.කසුන් රෝහලේ සති දෙකක් විතර හිටියා . ඒත් අපි කවුරුවත් කසුන්ව බලන්න රෝහලට ගියේ නෑ . රෝහල තිබුණේ ඉස්කෝලේ ඉඳලා කිලෝ මීටරයක පමණ දුරකින් වුණත් . අපි හිතේ බයටම ඒ අහලකටවත් ගියේ නෑ . ඉස්කෝලේ ගුරුවරු නම් කසුන්ව බලන්න රෝහලට ගිහිල්ලා තිබුණා . ඒ අය කීවේ කසුන් කිසිම දෙයක් කීවේ නැති බව . සමහර විට ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් නිසා කසුන් මැරෙන්න උත්සාහ කරන්න ඇති කියලයි හැමෝම කතා වුණේ . ඇත්ත සිදුවීම දැනං හිටියේ අපි කීපදෙනා විතරමයි .. කසුන් අපිව පාවා දුන්නෙත් නෑ

කාලෙකට පස්සේ කසුන් ආයෙත් ඉස්කෝලේ ආවා . ඌ අපි එක්ක කතා කළේ නෑ . අපිට වැඩිය මූණ දුන්නෙත් නෑ . ඉගන ගන්න වැඩ බොහොම දක්‍ෂ විදිහට කල නිසා . ඉදිරිපස පේළියේ කොල්ලෝ කීප දෙනෙක් ඉක්මනට කසුන් එක්ක මිතුරු වුණා . ඔය විදිහට කාලයක් ගත වුණා . අපිත් කසුන්ට යන්තම් වත් කිට්ටු වුණේ නෑ .

කසුන් තවම ඉස්කෝලේ බැජ් එක සාක්කුවට තියලා මහගෙන හිටියේ නෑ . තවම අලුත් එකා නිසා ගුරුවරුත් කසුන්ට මොකුත් කීවෙත් නෑ . ඒත් දවසක් ඉස්කෝලේ අරියාට පස්සේ ගේට්ටුව ගාවදී 12 වසරේ ශිෂ්‍ය නායකයෙක් කසුන්ව නතර කළා .!

කෝ තමුසෙගේ බැජ් එක...?

 
තවම ගත්තේ නෑ මම අලුතින් ආවේ .!

"
ආ අලුතින්ද ආවේ .. එහෙමනම් පොඩ්ඩක් ඉන්නවා ඔහොම “. කසුන්ගේ මූණ ආයේ සුදුමැලි වුණා .
එදා අපි ඉස්සරහට ගිහින් කසුන් වෙනුවෙන් කතා කළා . මමත් එක්ක මගේ කණ්ඩායමේ පස් දෙනාම හිටියා . ඒත් ඔතනදී ඇතිවෙච්ච බහින්බස් වීමක් දුරදිග ගිහින් අපි අර ශිෂ්‍ය නායකයාට ගැහුවා .!! වැඩි කතා ඕනනෑ . අපි තුන් දෙනෙකුට පන්ති තහනම්.. . . කසුන්ටත් පන්ති තහනම් ..

ඒ තහනම් සතිය ඉවර වෙද්දී කසුන් අපිත් එක්ක බුදුම බුදු ෆිට් එකක් ගොඩනගාගෙන තිබුණා . අපි ගම පුරාම රෝන්දේ ගැහුවා , නීති විරෝධී බීම බිවුවා , හොරෙන් පොල් , තැඹිලි කැඩුවා ., මාළු බාන්න ගියා . රටේ නැති දේවල් කලා . කසුන් නම් ඒ වැඩ වලින් පට්ටම ආතල් එකක් ගත්තා ඒත් ඌ සිගරට් අරක්කු නම් කටේවත් තිවුවේ නෑ . අපි ඒවට ඌට බල කළෙත් නෑ . මුලු ගැන්විලා හිටපු කසුන් අපිත් එක්ක එකතුවෙලා රජ කකුලක් වුණා .

කසුන් වැඩියම ෆිට් වුණේ මාත් එක්ක . කාලයක් ගත වුණා . සාමාන්‍ය පෙළ විභාගය දවසේ අපිට කසුන්ගේ උදවු නොඅඩුව ලැබුණා . මට විද්‍යාව අරහං , ගණිතය තිත්තයි , සමාජ අධ්‍යනය අජූතයි .විභාගය අතරේ කසුන් තමන් ගැනවත් හිතන්නේ නැතුව හොරෙන්ම මට උදවු කලා .උගේ පිහිට නිසා තමයි අද මම යන්තමටවත් ඔළුව උස්සං ඉන්නේ. මට ඒ උදවු කවදාකවත් අමතක වෙන්නේ නෑ . මගේම අවාසනාවට ඉංග්‍රීසි පේපර් එක දවසේ කසුන් වෙනත් ශාලාවකට වැටුණා. ඉතින් හිතාගන්න පුළුවන් නේද වෙච්ච වැඩේ . මම ඉංග්‍රීසි ෆේල්. ! ( නමුත් මම දෙවන ට්‍රයි එකේදී ඉංග්‍රීසි ඉහළින්ම සමත් වුණෙමි )

දොළහ වසරේදී යකඩ බජාර් එකේ සිදුවීම නිසා මාව ඉස්කෝලෙන් අස්කළා . එදා මම වෙනුවෙන් යන්තම් වත් දුක් වෙච්ච අය අතරේ කසුන් ඉදිරියෙන්ම හිටියා . "සඳරු අනේ ප්‍රින්සිපල් සර්ට ආයෙත් කතා කරලා බලමු බං !කිය කිය ඇස් වල කඳුළු පුරවා ගෙන කසුන් මාත් එක්ක දිගටම හිටියා .ඔන්න ඔය හේතු නිසා කසුන් කියන චරිතය මගේ ජීවිතේටම මට අමතක නොවෙන චරිතයක් බවට පත් වුණා .

උසස් පෙළ අවසන් කරලා කසුන් ආයෙමත් කෑගල්ලට ගියා . මට ඉඳලා හිටලා කෝල් කරන්නත් කසුන් අමතක කළේ නෑ . කසුන් කැම්පස් තේරුණා කියලා ඌ දවසක් මට කීවුවා . ඊට පස්සේ . මට මූණු පොතේ පිහිටෙන් ආයෙමත් ඌව දකින්න ලැබුණා . ඊට පස්සේ තුන් ගමනක් කසුන් මාත් එක්ක චැට් එකට සෙට් වුණා . ඔය අතරේදී තමයි මම මගේ බ්ලොග් එක ගැන කියලා කසුන්ගේ කතාව මේ විදිහට මගේ බ්ලොග් එකේ ලියන්න අවසර ඉල්ලුවේ . කතාව ලියලා මුලින්ම ඊ තැපෑලෙන් කසුන්ට යැවුවට පස්සේ කතාවේ මට අමතක වෙච්ච තව තැන් කීපයක්ම හදන්නත් කසුන් අමතක කළේ නෑ .

ඉතින් මට හමුවෙච්ච යහපත් මිනිස්සු අතරින් මේ කසුන් කියන බොරු නමින් හඳුන්වාපු මගේ හැබෑ මිත්‍රයා .මට කවදාවත් අමතක නොවේවි ..


/ලි : මේ කතාව ගූගල් ටෝක් හරහා කසුන්ට යවද්දී මම කසුන්ගෙන් තව දෙයක් ඇහුවා . "මචං දැන් උඹ මොකද රැග් ගැන කියන්නේ ? උඹ දැන් කැම්පස් නේ උඹ ඔහේදී රැග් කෑවේ නැද්ද ?දන්නවාද කසුන් මට දුන් උත්තරේ ?

"මචං රැග් එකේ ලොකු වරදක් නෑ . රැග් එක ඉවර වුණාම කොල්ලෝ අතර මාර ෆිට් එකක් ගොඩනැගෙනවා . මම නම් දැන් ඒකේ වරදක් දකින්නේ නෑ ..

//ලි : : මම ඉතින් ඕව ගැන දන්නෑ මම කැම්පස් නෙවෙයිනේ !



66 comments:

sameera said...

හැබැයි ඒ කොල්ලා එදා ජීවිතේ බේර ගත්තෙ හොද වෙලාවට නැත්තන් උබට මුලු ජීවිත කාලෙම ඔය සීන් එක මතක් වෙයි........ ,

කතන්දර Kathandara said...

හ්ම්!

පූසා said...

උඹටත් මාර සිද්ධි තමයි වෙලා තියෙන්නේ.....

මහජන මුත්තා said...

සදරු, කාතාවට කෑමතියි. මෙකෙ අන්තිමට ලියල තියෙන්නෙ: '' ඉතින් මට හමුවෙච්ච යහපත් මිනිස්සු අතරින් මේ කසුන් කියන බොරු නමින් හඳුන්වාපු මගේ හැබෑ මිත්‍රයා .මට කවදාවත් මතක නොවේවි .'' :-මතක නොවෙවි- කියලද????

පිස්සු පුසා said...

පට්ට කතාව බන්.

Anonymous said...

බොහොම සංවේදී කතාවක්.මගේ පාසල් සමය සිහිවුනා.

Kasun said...

ඔන්න ඔය කියන කසුන් මම නම් නෙමෙයි.

රැග් එක නම් වරදක් නෑ බං, ඒත් ඒ ඒක හරියට කරනව නම් විතරයි. උඹල කරපු වැඩේ නම් අනුමත කරන්න බෑ. කැම්පස් එකක රැග් වෙන්නෙ බැච් එකක් පිටින්ම. තමන් වගේම තමන්ගෙ බැච් එකේ අනිත් අයටත් ඒ දේවල්ම විඳින්න වෙනව. අනිත් එක ඒක කරන්නෙ තමන්ට වඩා වැඩිමල් උන්. ඒ හැමදේම කරන්නෙ බැච් එක ඇතුලෙ ෆිට් එකක් ඇතිකරන්න. තමන්ගෙම වයසෙ තනි එකෙක්ට මුලු පංතියක්ම එකතු වෙලා රැග් කරන එක නම් චාටර්.

අනිත් එක සඳරු, තරහ වෙන්න එපා කිව්වට, ඌට සිගරට් බොන්න බල කරපු එක නම් මහ පට්ටම පදිරි වැඩක්.

Kiri said...

වටින් කථාවක් බන්....
"මචං රැග් එකේ ලොකු වරදක් නෑ . රැග් එක ඉවර වුණාම කොල්ලෝ අතර මාර ෆිට් එකක් ගොඩනැගෙනවා . මම නම් දැන් ඒකේ වරදක් දකින්නේ නෑ ..”
(( ඈත්තටම මේ අදහසත් එක්ක එකගවෙනවා මචන්... අත්දෑකීමෙන්..
මට රෑග් එක දවසේ ගහන්න ආපු උන් අද මගේ හොදම යාලුවෝ... ))

මාතලන් said...

කැත වැඩ.. මම පොඩි කාළේ ඉඳලම අකමැති දෙයක්..

මමත් ඕක කාල තියෙනව කීයෙදිද දන්නවද.. 3 නේ පන්තියේදි.. දවසක ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්..

Anonymous said...

ඔහොම තමයි බං පොඩි කාලෙදී... උඹ දන්නේ නැති වුනාට අපිත් ඔහොම්ම තමයි.

නදී said...

එදා ඒ ලමයට මොනව හරි උනානම්?

අම්මෝ මේවගේ වැඩනම් අනුමත කරන්න බැහැ.අලුතින් ඉස්කෝලෙට ආව අයට කියල අපි කන්න බොන්න ගෙන්න ගත්ත.ඔයවගේ දේවල් නම් කරේ නෑ ඒකාලේ.

එයා හොද කෙනෙක් ඒකනේ ඔච්චර දෙයක් කරලත් ඔයාල එන්න ආය යාලු උනේ

චතුර.... said...

මිනිස්සු විවිධාකාරයි, කෙනෙක්ට දෙයක් කරන්න කළින් දෙපාරක් හිතන්න ඕනේ, ප්‍රශ්නය තියෙන්නේ ඔය රැග කියන එක කරන එවුන් හිතන් ඉන්නේ තමන් ඉන්න විදිය විතරයි හරි අනිත් එවුනුත් ඒ විදියටයි ඉන්න ඕනේ කියලා, ඒකයි ඔතන ප්‍රශ්නේ. ඒක නිසා තමයි රැග ඉතාමත් අති අප්‍රසන්න දෙයක් වෙන්නේ. නැතුව අළුතින් ආපු එකෙකුට රැගක් කියලා සිංදුවක් කියන්න කියන එක පොඩි විහිළුවක් කරන එක ඉන්පස්සේ ඒ පුද්ගලයාට ඒක විහිළුවක් විදියට හඳුන්වල දීල ඒ පුද්ගලායාත් සාමාන්‍ය කෙනෙක් විදියට භාර ගන්න එක සාමාන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමක්. අනිත් එක අළුතින් ආපු එකා අපිට ඉහළින් යයිද ඒකා අපිට ගරු නොකරයිද කියන දේවල් හිතලා ඒ පුද්ගලයාට වද දෙන්න යන එක පහත් මානසිකත්ව ලක්ෂණයක්. මොකද එයත් තවත් සම වයසේ ශිෂ්‍යයෙක් පමණයිනේ. ඔතන ලොකු පුද්ගලයෝවත් පොඩි පුද්ගලයොත් නෑ කවුරුත් එකයි . කාටත් තමන්ගේ අනන්‍යතාවයකින් අනුන්ට කරදරයක් නැතිව ඉන්න අයිතියක් තියෙනවා..

Hit Man said...

rag ekanam machan aniwa tiyena oniii

eth machan daragana bari ewnta dena narakaiii

eda ara kolla marunanam eka ubalata jiwita kalema hitin widawana weiii

Anonymous said...

මොනා උනත් කසුන් කියන කෙනාගේ හිත හුඟක් හොදයි වගේ..එදා ඔයාලා කරපු වැඩෙන් එයාගේ ජිවිතේට හානියක් උනා නම්... එක කවදාවත් මකන්න බැරි වෙනවා..අනික එයාලා ඔයාව පාවලා දුන්නා නම් ඔච්චර යාලු කමක් ඇති වෙන්නෙත් නැහැ නේද අයියේ. .

රත්ගමයා said...

අඩේ...මටත් ඕන ඔන්න වගේ රැග් එකක් තමා...ඊට කුජීත ඒවා දුන්නත් කමක් නෑ..හද පත්ලෙන් කොරන්නේ...අම්මපා.කෙලොන්ට බඩගාගෙන ගිහින් වෙඩි තියන්න මම හෙනම ආසයි....
අම්මපා රැග් එක මට දුන්නෙ නැතොත් කියලා හරි ඉල්ල ගන්නවා..නැති නම් කැම්පස් එක දාලා උඹ ලගට එනවා...මාව රැග් කොරපන් හොදේ....මැරෙන්නේ නෑ....අම්මපා අන්තිම කුජීත විදිහට රැග් කොරපන් අයියේ....
හැබැයි මට රැග් වෙන්න තේරෙන්නේ නෑ.....

Gizaa said...

මෙක කියවද්දි නම් මටත් මතක් උනේ අපි කාපු රෑග කනකොට රෑග දෙන උන්ව මරාගන කන්න හිතෙන පස්සේ දවසක සුන්දර මතකයක් වුන අපි රෑග දෙනකොට ගත්තු ආතල් ටික තමා :D

ඈත්තටම මම හිතන්නේ කසුන් කියන්නේ හොද යලුවෙක් ලෝකේ කාටත් හම්බ වෙන්න ඔන මටත් එහෙම ඉන්න හොද යලුවෝ මතක් උනා මේක කියවනකොට...

දුමී said...

ඔය රැග් සීන් අපේ ඉස්කෝලවලත් ලාවට තිබුනා ඒ-ලෙවල් ක්ලාස් වල. ගොඩක් වෙලාවට කොමර්ස්, ආර්ට්ස් පන්තිවල තමයි ඕව කෙරුනේ. මම මැත්ස් කරපු නිසා අපේ පන්ති වලට අළුතෙන් ආපු එවුන්ව රැග් උනේ නෑ.

කොහොම හරි, කොමර්ස් කරන්න අළුතෙන් ආපු සෙට් එකක් රැග් කරනවා බලන්න ගියපු වෙලාවක රැග් කරවපු උන්, උන්ට කියලා සින්දු කියෙව්වා. ඒ ආත්මා ලියනගේගෙ "ලියතඹරා" නැගලා ගිය කාලේ, එතකොට එකෙක් ෆුල් සිරාවටම ලියතඹරා කිව්වා අහගෙන ගිටපු එවුන්ගේ කනේ වැලි යන්න. උගේ නම චමින්ද. කට්ටිය කොච්චර හොල්මන් උනාද කිව්වොත් රැග් සීන් එක එහෙම්මම නැවතිලා අරූට කියලා මුළු දවසම සින්දු කියෙව්වා. ඒ කාලේ මම ඉස්කෝලෙ නමින් බෑන්ඩ් එකක් ෆෝම් කරගෙන හිටියේ. ලඟ එන ප්‍රිෆෙක්ට් ඩේ එකට ප්ලේ කරන්න ප්‍රැක්ටිස් එහෙම කරනකොට තමයි මේ සිද්ධිය උනේ. චමින්දට සිරාවට ගිටාර් එකත් ගහන්න පුළුවං. කොහොම හරි මම චමින්දව බෑන්ඩ් එකට ගත්තා.

අද ඌ ෆුල් සිරා මියුසීෂියන් කෙනෙක්. ලංකාවෙ කාලයක් ජනප්‍රිය වෙලා තිබුන ගොඩක් වෙස්ටර්න් කරපු බෑන්ඩ් වල ඌ ලීඩ් ගිටාර් එක ප්ලේ කලා. දැන් පොර මුළු ලෝඅකෙ පුරාම තියෙන හොටෙල් වල ප්ලේ කරනවා.

ඔය රැග් සීන් එක නිසා වෙච්ච හොඳ දෙයක් තමයි ඒ.

රවින් said...

මචෝ රැග් එක කියලා දෙයක් තිබ්බට කමක් නෑ... ඒත් ගානට.. උඹලා ටිකක් විතර ඕවර් ගිහින් වගේ කියලා මට හිතෙනවා බං.. පොඩ්ඩක් හිතහන්කෝ උඹට ඔය යාලුවට වුන දේ වුනා නම්??? අනිවා උඹේ උත්තරේ වෙන්නේ මරාගෙන මැරෙනවා කියලා..මම දන්නවා.. ඒත් බං එහෙම කරන්න අමාරුයි.. ඔය කොල්ලා එදා මැරුණා නම් ඉතින් උඹට හොඳම එකෙන් විඳවන්න තමයි වෙන්නේ..

BLOG ගඩොල් said...

රැග් එක දෙන්න ඕනෙ දෙන එකාටත්, කන එකාටත් දෙන්නාටම ඒකෙන් විනෝද වෙන්න පුලුවන් විදිහට. ඔය ෆිසිකල් රැග් වලටනං මම ඉතාම විරුද්දයි.

සාතන් said...

අපිනම් දීල තියෙන උපරිම රැග් එක ඉතිං එන එකාට කියල චොකලට් රෝල් වගේ කෑම ජාති ගෙන්න ගන්න එක තමයි...

ඒ වගේම තමයි පිට පන්ති වල උන්ට ඇවිත් අපේ පන්තියෙ උන්ට රැග් කරන්න‍ දෙන්නෙත් නෑ...

සංකල්ප said...

කසුන් කියලා කියන්නේ සිරාම කොල්ලෙක්. නියම යාලුවෙක් නේ මල්ලි.
ඉගෙන ගන්නම කියල පොත බදාගෙනම ඉන්න එවුන්ට වඩා මේකා නියම කොල්ලෙක්.

මට ත්‍රී ඉඩියට් කතාවේ රංචෝව මතක් උනා. ඒ වගේ කොල්ලෙක් !!!!!

සංකල්ප said...

ආහ් රැග් ගැන කියන්න අමතක උනා. මම නම් රැග් වලට මාරම මනාපයි. රැග් වෙන එක අමාරු උනාට පස්සේ ඒවා මතක් වෙද්දි මාර ආතල් !!!!

තුන්වෙනි පංතියේ පවුලක ඉපදිලා කීවත් වෙන එකත් එක අතකට රැග් එකක් තමා මලේ. ඒ නිසා අපට මේ රැග් එක එච්චර ගානක් නෑ.

Praසන්ன said...

ඔය කාලෙට වයසෙ වැරැද්දනෙ.
යාලුවට කරදරයක් නොවුන එක හොදයි. ඒ වගේම හැම මිනිහගෙම මානසික තත්වය එක වගේ නෙමෙයි කියල උඹලත් තේරුම් ගත්තනං ඒකත් හොදයි.

දිනුක said...

සන්ඳරුවො මේක SB මාමට යවපංකො බං.හැබැයි උඹේ නම ගාවන්න එපා.උඹවත් ජෙප්පෙක් කියලා හිරේට කුදලං යයි

Lahiru Siriwardhana said...

සුපිරි කාතාව මචං

Deeps said...

පමණ ඉක්මවා ගියපු රැග් එකක් කියලා මට නම් හිතෙන්නේ..කසුන් බයේ දඟලනකොට දුක හිතුනේ නැත්තේ ඇයි ඔයාලට?

Anonymous said...

"සඳරු උඹට තේරෙන්නේ නැද්ද ? අපිට මුගෙන් මාස ගාණක් කෑව හැකි . මූ මෝරෙක් බං !”කිතුලා මගේ කනට කෙඳිරුවා .."
අනේ බන් කිතුලා ගැනත් පෝස්ට් එකක් දමපන්කො. ඌනම් එලම පොරක් වෙන්න ඕනෙ.
හැමදාම වගේ පෝස්ට් එකනම් එල. කොච්චර බිසි වුනත් කොමෙන්‍ටුවක් දාලම යන්න හිතෙනව කියෙව්වට පස්සෙ. ජය වේවා.
JH

Anonymous said...

අපොයි දන්නවද කලකට පෙර මගේ ප්‍රේමය අහිමි උනෙත් ඔය රැග් එකේදි සෙට් උන කෙල්ලෙක් නිසා තමයි මගේ කොල්ලා එකිට ලව් කලා රැග් කරාට පස්සේ පවු කියලා දුක හිතිලා මට මුලින්ම ඔය කෙල්ල ගැන කියන කොටම හිතුනා මේ අනුකම්පාව නම් හොදකට නෙමේ කියලා....පස්සේ මම හිතාගත්තා එක අතකින් එහෙම වුන එක හොදයි කියලා අද වෙනකොට අවංක ආදරේ මට හමුවෙලා.........දුකක් නැ ....එත් රැග් කරන එක නම් හොද නැ...

Anonymous said...

තනි එකෙක් 40 සෙට් වෙලා රැග් කරන කොට උට මොනව හිතෙන්න ඇත්ද.......

…මොනව උනත් මම නම් ඔය ගොඩක් උන් සෙට් වෙලා එකෙක් පජා කරනවට කැමති නෑ .

Podi Kumarihami said...

කසුන් පව් අප්පා. එයා ගැන නම් හරිම දුක හිතෙනවා. අනික් අය ගැන නම් කිසිම දුකක් හිතෙන්නේ නෑ සඳරූ....:)

duliponline said...

හික් හික් . . . . මම ගමේ ඉස්කෝලෙන් ඇවිත් O/L වලටයි A/L වලටයි ඉස්කෝල දෙකකට ගියා. ඒ ඉස්කෝල දෙකේදිම මට උඹ කිවුව ප්‍රමානෙටත් වඩා තුන් හතර ගුනයක ‍රැග් ලැබුන . . . . ගොඩක් දවස් වලට උදේට ගෙඩරින් අරං එන මූන නෙමේ ගෙදර ගෙනියන්නෙ . . . ඇස් වටේ කලු වෙච්චි, තොල් පුපුරපු, කම්මුල් ඉදිමිච්ච මූනක් තමයි ගෙදර ගෙනියන්න ඉතුරු වෙන්නෙ. හැබැයි ඒ කිසිම දේකින් බැරි උනා එකෙකුටවත් මට දන්නන්න . . . . ඔය හැම ‍රැගකදිම වැඩිම ආතල් ගත්තෙ ‍රැග් උන මමයි කීවොත් තමා වඩාම නිවැරදි . . . .

BAWANTHA said...

හෆොයි හෆොයි අළුතෙන් එන එකෙක්ට රැග් එක දීලා නෝන්ඩි කරන එකනම් හෙනම හෙන කැත වැඩක්
පස්සෙ හරි උඹලා ඌත් එක්ක යාළු වෙච්ච එකනම් හොඳයි

Dasun said...

සින්දුවක් කියන්න, ගැනු ළමයෙක්ට අහිංසක විහිලුවක් කරන්න, මොකක් හරි ගොන් පාට් එකක් කරන්න වගේ නවක වද නම් කමක් නෑ. නමුත් ශාරිරික වද හිංසා නම් අනුමත කරන්න බෑ. මමත් 10 වසරෙදි ඔය වගේම අලුත් ඉස්කෝලෙකට ගියා හැබැයි වෙලාවට එතනදිනම් නවක වදයක් හම්බවුනේ නෑ.
ඒත් කැම්පස් එකේදිනම් පොඩි පොඩි නවක වද වලට අහුවුනා.ගැණු ළමයෙක් එක්ක යුග ගීතයක් කියන්න, අක්ක කෙනෙක්ට ආදරේ කියන්න වගේ පොඩි පොඩි ගොන්පාට් තමා මට හම්බවුනේ.

හැබැයි සඳරු, කසුන් කියන උඹේ යාලුවා හොඳ කෙනෙක් වෙන්නම ඕන. නැත්නම් උඹලා ඌට කරලා තියෙන දේවල් වලට උඹලාගෙන් පළිගන්නවා වෙන කෙනෙක්නම්.

DragonD said...

අපේ ඉස්කොලේට එන්නෙ ලඟ පාත ඉස්කොල වල අය විතරයි
අවුරුදු දෙක තුනකට කලින් අපේ පන්තියෙ හිටපු චන්ඩියෙක් අලුතෙන් ආපු 10ට ගනින්න වත් බැරි කොල්ලෙක් ට රැග් එක දුන්න.
එදා හවස ඌ අරුගේ අය්යගෙන් නස්තාර් වෙන්න කෑවා.[උගෙ අය්යා පාතාලෙ ඩයල් එකක් ලු.]
අම්මෝ....අපි නම් රැග් දෙන එක තියා ඒ ගැන හිතන්නෙ වත් නෑ දැන්...

මරු කතාව....
ඔයත් ඒ කාලෙ හෙන චන්ඩියෙක් නෙහ්... :P

හිස් අහස said...

@sameera = අපිටත් අපි ගැනම එපා වුණේ ඔය සිද්දියෙන් පසේ බං .
.............................................................................................................................
@කතන්දර = හ්ම් x 2
.............................................................................................................................
@පූසා = නැතුව නැතුව
.............................................................................................................................
@මහජන මුත්තා = ස්තූතියි මුත්තේ . මම ඔන්න ඒ වරද හැදුවා . අප්පා නියම තැනක් මට මිස් වෙලා තිබ්බේ . ස්තූතියි ආයෙමත්
.............................................................................................................................
@පිස්සු පුසා = තැන්කුයි !
.............................................................................................................................
@Anonymous = සුලඟට අසුවූ පහන් සිලක් මෙන් සැඟව ගියා දෝ අප බාලේ //
.............................................................................................................................
@Kasun = ඒ කසුන් අද මට කෝලෙ එකක් දුන්නා . පොර වැඩිය ඔය බ්ලොග් එක්ක ඉන්න කෙනෙක් නෙවේ . අපි පොඩි උන් බං ඒ දවස් වල අපේ පන්තියෙන් පස් දෙනයි ඔය වැඩේට සෙට් වුණේ ඊට පස්සේ අපි ඉස්කෝලෙන් අයින් වෙනකම්ම ආයේ ඒවගේ පජාත වැඩ කලේ නෑ ..
.............................................................................................................................
@Kiri = රැග් එක නම් කොයිවගේද කියන්න දන්නේ නෑ කිරී ඒත් අපි අතින් තව ඩිංගෙන් මහා විනාසයක් වෙනවා . මට කවදාකවත් නිදාගන්න බැරි වෙනවා එහෙනම්
.............................................................................................................................
@මාතලන් = මමත් දැන් ඒක දකින්නේ නොකල යුතු දෙයක් විදිහට මිත්‍රයා . මගේ මිත්‍රයා මට සමාවදුන්නා
.............................................................................................................................
@prasanna86k = උඹත් රැග් කාලා තියේද ?
.............................................................................................................................
@ගලායන ජීවිතය = හොඳ කියන්නේ ඌ හොඳ අතින් උපරිමයි . නැත්තං එදා රැග් එකට මුල් වෙච්ච මට . විභාගය දවසේ උදවු කරාවිද . මමත් ඒතරම් හිතුවේ නෑ ඔය ගැන
.............................................................................................................................
@චතුර = මොනවා කියන්නද මමත් ඔබ කියන දේ පිලිගන්නවා .ඒත් නොදන්නා කම නිසා මමත් ඒකට නොදැනීම සම්මාදම් වුනා . අන්තිමේදී වරද තේරුණා

@Hit Man = මොනවා කරන්නද අපියි මෝඩ අපිට අපේ කසුනාව තේරුනේ නෑ . ඌ අපිට විභාගය දවසේ හෙල්ප් කරනකොට මට නිකං මං ගැනම ලැජ්ජා හිතුනා
.............................................................................................................................
@නිම්ශා = මේක බලලා කසුන් මට අද දවාලෙත් කෝල් කරා . පොර හිනා වෙනවා . මට නඩුවක් දාන්න වුණත් දැන් පොරට සාක්කි තියනවාලු උගේ හිත හොඳයි
.............................................................................................................................
@රත්ගමයා = උඹට ලැබෙයි එල රැග් එකක් . උඹට රැග් කරන්න නම් වෙනම තැනක් හදලා ඒකට පිරිස වෙනම ට්‍රේන් කරන්න වෙයි
.............................................................................................................................
@Gizaa = කසුන්ගේ හිතේ කැත නෑ බං ඒකයි ඌ කැම්පස් ගියත් තාම මට කෝල් කරලා නිතරම කරදර කරන්නේ . ඌ වගේ යාලුවෙක් ලැබෙන්න පිනක් කරලා තියෙන්න ඕන .
.............................................................................................................................
@දුමී =දුමි අයියා අපේ ඉස්කෝල වලට රැග් ආවේ ටිකක් ප්‍රමාධ වෙලා . ඔයාලට වෙලා තියෙන්නේ නම් එලම කිරි දෙයක් ඒකෙන් කොල්ලට තමන්ගේ අනාගත රැකියාව තෝරගන්නත් අවස්ථාව ලැබිලා තියනවා වගේ . පොර නිසා අනිත් උන් රැග් වෙලා වගේ
.............................................................................................................................
@රවින් = මම කවදාකවත් රැග් වෙලා නෑ මොකද කියනවා නම් මචං මම ගියේ . එදා ඉඳන්ම එකම ඉස්කෝලේ .මටත් දැන් තමා හිතෙන්නේ .අපි ඕනෑවට වැඩියි .

හිස් අහස said...

@blog gadol = දහය වසරනේ බං අපිට රත් වුණේ කසුන් ඉස්පිරිතාලේ නතර වුණට පස්සේ . එදයින් පස්සේ අපි කිසිම දවසක ඒවා කරන්න ගියේ නෑ
.............................................................................................................................
@සාතන් = මමත් හිතන්නේ ඒවා තමයි නියම රැග කියලා . අපිට පොඩ්ඩක් වැරදුනා . ඒත් අන්තිමේට කසුන්ම අපේ ඇස් ඇරියා .
.............................................................................................................................
@මධුරංග = රංචෝ නම් එල කොල්ලා ඒත් බලහංකෝ බං අයියේ ෆිල්ම් එකේ රැග් කරන්නේ එකම එක පුද්ගලයයි නේ . අන්න කතාව තුන්වන පන්තියේ රැග් එක අපි හැමදාම කනවා ඒත් අපි දන්නේ නෑ ඒක
.............................................................................................................................
@Praසන්ன = මේ සිද්දියෙන් පස්සේ තමයි ප්‍රසන්න අයියේ අපි හරි දේ තේරුම් ගත්තේ ඒකයි මම මේ කතාව මගේ යාලුවාගේ අවසරය ගත්තාට පස්සේ පල කලේ . නැත්තම් මම මහ අමනයෙක් වෙනවා .ඌත් මේක බලලා මට කෝල් කරා
.............................................................................................................................
@දිනුක ජයකොඩි = අපෝ බං මගේ බ්ලොගේ හැක් වෙයි එතකොට
.............................................................................................................................
@Lahiru Udayanga = ස්තූතියි අයියේ ..
.............................................................................................................................
@deeps= අනන්ත හිතුනා අක්කේ මේ දැනුත් මට හිතෙනවා ඒත් බං අක්කේ අපි එදා වැඩිය හිතුවේ නෑ . අද නම් දන්නවා කොතනද හරි කොතනද වැරදි ලා .
.............................................................................................................................
@JH = කිතුලා ඔන්න දැන් . බ්‍රෝකර් ජොබ් එකක් කරනවා . ගොඩ කාලෙකින් හම්බ වුණේ නම් නෑ ඒත් මිනිහා ගැන කතා ටිකකුත් තියනවා ඒවත් මම ඉක්මනටම ලියන්නම් මතක් කල එකට ස්තූතියි .
.............................................................................................................................
@Anonymous = හපොයි එහෙමත් වැඩක් . බලාගෙන යනකොට අහක හිටි ඔයානේ රැග් වෙලා තියෙන්නේ. කමක් නෑ අන්තිමට තමන්ට ගැලපෙන කෙනා ලැබුනා නේ .
.............................................................................................................................
@බීටා = හතලිස් දෙනාගෙන් විසි ගානක්ම කෙල්ලෝ බං එතනිනුත් ඉගන ගන්න කොල්ලෝ දහයක් විතර උන්නා . අපි පස් දෙනා තමයි මේ ගොං කාර්‍යට උර දුන්නේ . අන්තිමේට අපි හරි වැරැද්ද මොකද්ද කියලා මෙතනින්ම දැන ඉගන ගත්තා .
.............................................................................................................................
@Podi Kumarihami = අනික් අය කීවේ මේ අපි ගැනද අක්කේ . අපිත් පවු තමයි ..
.............................................................................................................................
@ඕනයා = අම්මපා උඹ ගැන හිතද්දී අයියේ මට ඒක මැවිලා පේනවා . උඹගෙන් කමෙන්ට් ආවත් අපි බයවෙන එකේ උඹට රැග් කරපු එකේ මෝඩ කම අයියලාට තේරෙන්න ඇති . උඹනම් ....උඹ ගැන මම අහලා තියනවා කතා කන්දක්ම අබේ පාල මාමා ගෙන්
.............................................................................................................................
@BAWANTHA = අන්තිමේට අපි හැමෝම උගේ පැත්තට එකතු වුණා . අපි ආයේ කාටවත් රැග් කරන්න ගියෙයෙත් නෑ අපි එතනින් හැදුනා .
.............................................................................................................................
@නිර්මල .= කසුන් නම් මට අදත් කතා කලා ඌ වගේ හිත හොඳ එවුං කීප දෙනයි මම මගේ ජීවිත කාලේදී ඇසුරු කරලා තියෙන්නේ . ඉතින් බං උඹ අක්කා කෙනෙක්ට ආදරෙයි කීවද ?
.............................................................................................................................
@DragonD = මම ඒකාලේ හරීම පොඩි මිනිහෙක් .යන යන තැන යාලුවෝ ඒත් දැන් මේ ජොබ නිසා යාලුවෙක් ආසාවට දකින්න වෙන්නෑ . අම්මට සිරි ඔය තියෙන්නේ රැග් දීලා කරගත්තු වින්නැහියක් එලිපිටම . අපෝ බං මම මං දන්න කියන කෙනෙකුට වුණත් ඕවා කරන්න අනුබල දෙන්නේ නෑ ආයෙමත් .

මකුළුවා..... said...

රැග් එකත් ඔන්න ඔය වගේ තමා බං.....

ඕකට තමා යාළුකම කියන්නේ......

පිසාචයා said...

"මචං රැග් එකේ ලොකු වරදක් නෑ . රැග් එක ඉවර වුණාම කොල්ලෝ අතර මාර ෆිට් එකක් ගොඩනැගෙනවා . මම නම් දැන් ඒකේ වරදක් දකින්නේ නෑ"

කතාවෙ ම0 ආසම කොටස මේක......

Photoshop Online said...

මචං උබලා කරලා තියෙන්නෙ හෙන චා වැඩක්......කැම්පස් එකේ රැග් එක ඔහොම නෙවෙයි.ඒකෙන් තමා කොල්ලෙක් නියම මිනිහෙක් වෙන්නෙ.....උබලගෙ රැග් එකනම් අනුමත කරන්න බෑ............

දැන් උබලා බේරිලා ඉන්න එක ගැන මම සතුටු වෙනවා...

චතුවා said...

අපේ බැච් එකටත් ආවා ගිය සතියේ අවාරෙට පොල් වැටෙනවා වගේ, අලුත් පොරක්. ඉන්ටවල් එකේ අපිත් එක්ක හිටපු අයියා කෙනෙක් අලුත් මනුස්සයා ලගට ගිහින් වාඩිවෙලා පොඩ්ඩක් පිට අල්ලලා, අත අල්ලලා, කකුල උඩින් අත තියාගෙන ඇහුවා "මල්ලී කොහේද මෙච්චර කාලයක් හැංගිලා හිටියේ.. කලින් ආවානම් උඹ මගේනේ" කියලා.

ඉන්ටවල් ඉවර වෙද්දී ඌ ක්ලාස් එකේ නෑ. තාමත් ක්ලාස් එකට ආවෙත් නෑ. ආරංචි විදියට ඌ කුරුණෑගල අපේ institute එකට මාරුවක් අරගෙන.. :D :\

හිස් අහස said...

@මකුළුවා = හ්ම්ම් දැන් ඒ අතීතය ගැන පසු තැවෙනවා මචෝ !

@පිසාචයා = ඒක මගේ අතිජාත මිතුරාගේ වචනයක් .. මචෝ

@Fx මැක්ස් = වෙන්ඩ ඇති . අපි කලේ චා වැඩක් ඒත් අපි අපේ වරද හදාගත්තා .

@චතුවා (ළමයා) = අන්න ඒකයි මචං එක එක අයගේ හිත වෙනස් . මම නම් අපේ ඉන්ස්ටිටියුට් එකට එන කිසිම පොඩි එකෙකුට යන්තමින් වත් සැර කරන්නේ නෑ . මම උන් හැමෝටම කතා කරන්නේ මල්ලි කියලා . අපේ එකා නම් දැන් එල කකුලක් . දැන් ඌට රැග් කරන්න එකෙක් නෑ ..ඌ කැම්පස් එකේදී නියමෙට පදං වෙලා

Chamath N. Kirinde said...

මොනා උනත් පවු බං කසුන්... රැග දෙද්දි නම් ඉතිං ඕක දැනෙන්නෙ නෑ, හැබැයි සිරාවටම මේ කතාව කියපු එකටනම් ගරු කරනවා !

Anonymous said...

රෑග් එක කියන්නේ වැරදි දෙයක් නෙමේ..ඒකේ හුදෙක්ම අරමුණ වෙන්නේ නවකයෙක් සමාජගත කිරීම..

වැරැද්ද තියේනේ රැග් කරන විදියෙයි.සින්දුවක්,දෙකක් කියවන එක වැරැද්දක් විදියට දකින්න අමාරුයි.නමුත් අද ගොඩක් නවක අනුරූපිතා වැඩ සටහන් වල(රැග් කියන එකම තමා ඔය හැඩ වැඩ දාපූ වචනෙන් කියන්නෙත්) දකින්න තියෙන්නේ කායික වද දිම්,පෞද්ගලික පලි ගැනීම් වගේ දේවල්..අන්න ඒ දේවල්නම් කොහෙත්ම අනුමත කරන්න බෑ..

අතේ ඇගිලි පහ වගේ මිනිස්සු විෂමයි.හැම කෙනෙක්ම අන්න ඒක අවබෝධ කර ගන්න ඕනා.නැත්තම් සමහර විට අනුරූපීතාව පැත්තක දාලා සුදු කොඩි එල්ලන්නත් වෙන්න බැරි නෑ..

Anonymous said...

විකිපීඩියාවෙ නිවැරදි බව ගැන තර්ක තියෙනව තමා... එත් හුඟ දෙනෙක් ඕනම දෙයක් ගැන මූලික අදසක් ගන්නෙ ඕකෙන් නොවැ...

මේං අපේ කැරැට්ටුව....

//Ragging is a practice in educational institutions in India and Sri Lanka that involves existing students baiting or bullying new students. It is similar to the American phenomenon of hazing. It often takes a malignant form wherein the newcomers may be subjected to psychological or physical torture..Currently, Sri Lanka is said to be the worst affected country in the world.//

නවකයෙක් වුණු පලියට මිනිහෙක් මිනිහෙකුට වධයක් දෙනව කියන එක ... අමන කමක්.... ( තව ගොඩක් වචන ලියල මැකුව .. උඹ නිසා..)

කස්ස said...

හික්..ඉස්කෝල කාලේ කරපුව ගැනනම් ඉතින් කුමන කතාද! එක පාරක් අපි අලුතින් ආපු උන් ගෙ ඇස් පිහාටු දෙකම අතින් ඇරල සිද්ධාලේප තලි තලි ගෑව.ඕව ඉස්කෝල කාලේ නො කලොත් තමා දුක බන්.බලපන් දැන් මතක් කරන්න කියලනම් කොච්චර දේවල් තියනවද?

සමනළී... said...

හරිම නපුරු,දුෂ්ට වැඩක්...

Thilina said...

dan matath blog ekak Start Karanna hithenava ban . ubata nadu dannath dan mata sakshi thiyanava harida

ela machan dan thama mama danne me blog eka takketama ubage kiyala

පිණිබිඳු... said...

රැග් එකට නම් මගෙ අමනාපයක් නෑ. හැබැයි ගානකට. රැග් එක නිසා ඒ ඇති වෙන ෆිට් එක ආයෙ කැම්පස් එකෙන් යනකල්ම නැති වෙන්නෙ නෑ. ඒ නැතත් කාලෙකදි මතක් කරලා හිනාවෙන්න හරි තියෙන්නෙ ඔය රැග් එක තමා. රැග් එකේ මුවාවෙන් මානසික අසහනකාරයොත් ඉන්නවා. ඒත් ඇත්තටම රැග් එක දෙනවා නම් ඔය ලමයි අතර තියෙන මහන්තත්ව කම් ලොකු කම් නැති වෙලා ඔක්කොම එකම සහෝදර රොත්තක් වෙනවා. මේ පෝස්ට් එක කියවද්දි අපේ කැමපස් එකේ රැග් කාලෙ වෙච්ච සිද්දි ටිකක් මතක් උනා. මමත් පෝස්ට් එකක් දාන්නම්කො.

ηiRσ said...

blog gadol කියපු විදියටම රැග් එක දෙන කෙනාටයි කන කෙනාටයි දෙන්නටම විනෝදයක් නැත්නම් ඒක අනුමත කරන්න බැහැ. මමත් කැම්පස් ගියා තමයි. නමුත් අපි ඒ වසරේ පළමු බැච් ඒක නිසා අපිට රැග් කරන්න කව්රුත් හිටියේ නෑ. එහෙමයි කියල අපි අතරේ ෆිට් එකේ කිසි අඩුවක් වෙලා නැහැ. ඉස්කෝලෙදි නම් කිසිම රැග් කිරීමක් කොහෙත්ම තිබුනේ නැහැ. නමුත් ඉස්කෝලේ කාලේදී සහ කැම්පස් කාලේදී තිබුන යාළුකම් තාමත් අද ත් ඒ වගේමයි. ඉතින් කොහොමද කියන්නේ ෆිට් වෙන්න රැග් වෙන්න ඕනේ කියල?
මට තේරුණ හැටියට නම් කසුන් ඔයාලත් එක්ක ෆිට් උනේ රැග් ඒක නිසා නෙවෙයි. එයාට වෙන කෙනෙක් (Prefect) රැග් කරන්න හදද්දී ඔයාල බේරගත්ත නිසා. ඔයාල කලින් එයාට රැග් කරද්දී එයා සිය දිවි නසා ගන්නත් ගියානම් රැග් ඒක කියන්නේ හොඳ දෙයක් කියල කොහොමද කියන්නේ? අමානුෂිකව රැග් කිරීම නිසා රැග් වීමට ලක් වෙන කෙනා කොච්චර වධයකට පත් වෙනවද? තව කෙනෙක් ගේ දුකක් දැකල සතුටු වෙන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නෑ.

හීනියට.... said...

වැඩේ නම් අනුමත කිරීමට නොහැක බොල කොලුවො.....ඒත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ කොයි උරුලෑවද බොල නහෙට අහන දේවල් කොරන්නේ....

උඹට ජය! (අර වැඩේ නැගල යනවද???හික් හික්)

කිඩෝ said...

මොක කරත් අවුලක් නෑ ඉස්සරහා ගැනත් හිතලා කරන්න ඕනේ පව් අර අහිංසකයා මැරුනනං...හැම දේම වෙන්නේ හොදටලු...

සොඳුරු ආගන්තුකයා said...

මල්ලි මම තාම උඹ් බ්ලොග් එක කියවන ගමන්. මම තාම බ්ලොග් කලාවට අලුත් කෙනෙක් තමා. ඒත් දැනට මම කියවලා තියන ඒවයින් සිරාවටම බොක්කටම වැදුන දේවල් තමා මේකේ තිබ්බේ. ඒ මෙවා ලියලා තිබ්බ විදිය නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද කියල මට තේරුම් ගන්න අමාරුයි.කොයි දේ නැතිවුනත් සතුටුවෙන්න පුලුවන් එක දෙයක් මේ බ්ලොග් එකෙන් උඹට ලැබිලා තියනවා.ඒ තමා මේක හරහා හම්බකරගනිපු මනුස්සකම. ඒක කවදාවත් උඹට නැතිවෙන්නේ නෑ.අවුරුදු 22 කියන්නෙ ජීවිතෙන් කාලක් විතරයි. ඒ කාලෙදි උඹට නැතිවුන දේවල් වලට වඩා හොද දේවල් අනිත් තුන්කාලෙදි ලැබෙන්න පුලුවන් ඒකට ධර්‍ය්මත්ව මුහුන දියන්. ජයෙන් ජයම වේවා!!

(හොඳටම දන්න එකෙක්ට කියනව වගේ මෙහෙම කිව්වට මාත් එක්ක අමනාප වෙන්න එපා! සිරාවටම හිතට වැදුන නිසයි මෙහෙම ලියවුනේ..)

සොඳුරු ආගන්තුකයා said...

මේ පෝස්ට් එක ගැන කියන්න බැරිවුනානෙ. ඉස්කෝලෙ කාලෙ නම් මෙහෙම රැගක් මට නම් කන්න වෙලා නෑ. එත් කැම්පස් ආවම නම් ලැබුනා ඇති පදමිං. හැබැයි ඒ ගැන දැන්නම් මතක් කරද්දිත් එන්නෙ පට්ටම ෆන් එකක්. කවදාහරි කැම්පස් එකෙන් යද්දි ගෙනියන හොඳම මතක සටහන් ගොන්නට ඒකත් උඩින්ම එකතුවෙනවා.. හැබැයි බොලා මූට දීපු වද නං මට අනුමත කරන්න බෑ ඕං.. ඒකව මරං කාල නැති ටික විතරනෙ.. හහ් හහ්.....

Salinda said...

maru maru....

Chamila said...

උඹ් ලියන විදිහ මාරයි මචං... මං දැකපු හොඳම බ්ලොග් කීපයෙන් එකක්...

Observer said...

මටත් සඳරු දහයෙ පන්තියෙදි ඉස්කෝල මාරු කරන්න සිද්ධ වුනා. අලුතින් ගිය ඉස්කෝලේ වැටිච්ච ක්ලාස් එකේ කොල්ලන්ගෙන් කිසි අස්පෙට් එකක් වුනේ නැහැ, එහා පන්තියක අපොස අනාගෙන එහෙම හිටපු චාටර් පොරක් පොඩි කේස් එකකට මාත් එක්ක වලියකට ආව. මූ ඉස්කෝලෙ වයිස් ප්‍රින්සිපල්ගේ නෑදෑ කෙනෙක්, ඒ වගේම රෙස්ලින් ටීම් එකෙත් ඉන්න පොරක් කියල, මං දැනගත්තෙ හැබය් පස්සෙ.
මාත් ඉස්සෙල්ල හිටපු ඉස්කෝලෙ බොක්ෂින් ටීම් එකේ හිටිය, හැබය් රෙස්ලින් ගැන නං මොන මගුලක් වත් දැනන් හිටියෙ නැහැ. පොර ඉස්කෝලෙ චන්ඩියෙක් කියල මට යන්තං දැනිල තිබුන අනිත් එවුන්ගේ කතා බහ වලින්. කොහොම හරි වලිය යනකොට මූ මාව බදාගෙන බිම දාන්න ට්‍රය් කොරන බව තේරිලා, ඊට ඉස්සෙල්ල ඌට මං මූනට දෙක තුනක් ඇන්න. මේක ගුටිකාගෙනම පැනල මගේ වම් අතේ උඩ හරිය හැපුවනේ ලේ එනකං.
අවරුදු හතලිස් පහකට විතර ඉස්සර මේක වුනේ, හැබය් පොරගෙ දත් පාර තවම තියෙනව මගෙ වම් බාහුවෙ.

සඳරුගෙ පෝස්ට් එක හින්ද ඉස්කෝලෙ වලි මතක් වුනා.

පන්සල් හංදිය said...

රැග් එක තියෙන්න ඕන, ඒත් අමානුෂික විදියට නෙමේ .......

කොහොම උනත් කසුන් කියන්නෙ එල කොල්ලෙක්, නැත්නම් ඌට තිබුනා උඹලා ගැන පොලිසියට උනත් කියන්න, එහෙම උනානම් උඹට අද ඉන්න වෙන්නෙ මහ උළු ගෙදර .........

Anonymous said...

rag ekata man sampurnayen viruddai. thawat pudgalayekuge pahat manasika thatwayan pennum karana kriyawak. oya mona vachanyaen kiwat rag eka rag ekamai eke kisi wenasak na

priyantha said...

රැග් එක ගැන නම් මම මොනවත් කියන්න කැමති නෑ. ඕකේ දෙපැත්තක් තියන නිසාත්, මම දෙපැත්තම දකින නිසාත්.
මොනවා උනත් කතාවනම් පට්ට....

පිස්සා පලාමල්ල said...

සිරාවට පව් බන්.... නවක වධය කියන දේ නම් තිරිසන් ක්‍රියාවක් මිසක් වෙන මොකුත් නෙමෙයි. ඇස් බී ලොක්කගෙ මොනා නැතත් රැග් එකට වලිය අදින එකට මම ඌට ගරු කරනවා...

ශ්‍රී said...

එල කතාව මල්ලි! සිරාවට ෆීල් වෙන්න ලියලා තියනවා...

මටත් ඉස්කෝලෙ කාලෙ මතක් උනා...

මාධව විදුරංග said...

sinduwak kiyala natumak natala pennanna kiyanawa wage punchi ahinsaka rag ekak arenna oya wada dena rag walata man viruddai bn! mona unath kathawa patta! mmmm :) danenawa maaratama! mm :)

හිම කුමාරි said...

hmm sanwedi kathawak...
mona wunath es rathu wena rag nam hada ne..

buma said...

rag thama ela machan hamadama mathakai a kapu hama dema...

Sanjaya Appu said...

niyamai :)

ටීම් ට්‍රැවලර්ස් said...

තවත් පට්ටම ස්ටෝරියක් සඳරුවාගෙං.
මම නම් රැගට කැමති නෑ මචං. මම රැග් කරන්නෙත් නෑ. අනිත් උංට කරන්න දෙන්නෙත් නෑ. AL ඉවර වෙලා මම Open University ගියා. මම චන්ඩියෙක් නම් නෙමෙයි. ඒත් නුගේගොඩ ක්ලාස් ගොහිල්ල හදා ගත්ත යාළු ගැන්සියක් නම් හිටියා. මමයි OUSL ගිය මගේ යාලුවෝ සෙට් එකටයි නම් එකෙක්වත් රැග් කරන්න ආවේ නෑ. අපි කරන්න දුන්නෙත් නෑ.

නවෝ!

Post a Comment

තැන්කූ බං