23.12.11

අලියාගේ ගූ කඳ සහ විදානේ මාමාගේ සෙනෙහෙ කඳ


   පි පොඩි එවුන් සන්දියේ අපේ ගමේ විදානේ මාමලාගේ ගෙදර අලියෙක් හිටියා . අලි ඇතත්තු ඇති කරන්න තරම් විදානේ මාමා ගජ පෝසතෙක් නෙවේ . ඉතින් ඒ ලොකු අලියත් විදානේ මාමගෙ නෙවෙයි . විදානේ මාමා කවලා පොවලා දරුවෙක් වගේ හදාගත්තත් ඒ හෙණ ලොකු අලියා අයිති වුණේ අපේ ගමේ තිලෝක මුදලාලිට.

ගමේ ලොකු පෝසතෙක් වෙච්චි තිලෝක මුදලාලි කොන්තරාත් වැඩ කළා එයැයිට ලී මෝලකුත් තිබුණා. ඉතින් ඒවායේ කොට අදින්න, මුට්ට උස්සන්න තමයි මේ කියන සද්දන්ත අලියාව නිතරම පුරුදු පුහුණු කළේ .

නාටාමි ගොයියලා හැටක් කරගහන මුට්ට මේ අලියා එකපාර උස්සන හැටි බලාන ඉන්න ආසයි .කන්න බොන්නත් හොඳ හැටි දෙන නිසා මේ තබ්බදෝරු අලියා අපි කැලේදී දැක්ක අනිත් අලින්ට වඩා ලොකුවටයි අපිට පෙනුණේ .

ඒ අලි සද්දන්තයාට නමකුත් තිබුණා ඒ නම තමයි "සේන"

තිලෝක මුදලාලි ගාව වැඩ කරපු අලියා වෙච්ච සේනව බලා කියාගත්තේ මේ මුලින් කියාපු විදානේ මාමා තමයි . ඇළට උඩහින් තියන පරණ වලවුවක් වගේ ගෙදර ජීවත් වෙච්ච විදානේ මාමා හෙනම හෙණ පත සයිස් යදම් කීපයකින් මේ ලොකු අලියාව ගේ ඉස්සරහා තියන සියඹලා ගහේ ගැට ගහලා තියන හැටි අපි නිතරම දැකලා තිබුණා . සියඹලා ගහ හෙණ සද්දන්ත එකක් වෙච්ච නිසාත් ඒ යකඩ දම්වැල් බොහෝම සවි සක්තියෙන් හෙබි ඒවා බව බැලූ බැල්මට ඕනම කෙනෙකුට පෙනෙන නිසාත් කවුරුවත් ඒ ගෙදර හිටපු අලියා ගැන අමුතුවෙන් හොයා බලන්න ගියේ නෑ . ඉතින් ඒ සද්දන්ත අලියා විදානේ මාමලාගේ ගෙදර සාමාජිකයෙක්ම වුණා .

මද කිපෙන කාලෙට අලි කියන්නේ මිහිපිට ඉන්න නරුමම සත්තු කොට්ඨාසය වුණත් මේ විදානේ මාමා ගේ ගෙදර උන්නු සේන අලියා නම් හරීම අහිංසකයි .පාරේ එක්කං යද්දී වුණත් සේන අඩිය උගේ කකුල් හතර බිම තිවුවේ බොහෝම සන්සුන්වයි . කුරා කුහුඹුවෙකුටවත් කිසිම දවසක හානියක් කරපු හෝ හානියක් කරන්න උත්සාහයක්වත් නොකරාපු සතෙක් විදිහට තමයි ගමේ කොයි කවුරුත් මේ අලි සේනව හැඳින්නුවේ .

මයෙ මේ අද්දෙකෙන් මම ඒ සේන අලියට කෝලිකුට්ටු ගෙඩි කවලා තියනවා . උගෙ බඩ යටින් වරක් දෙවරක් රිංගලත් තියනවා .

මට අද වගේ මතකයි අපි ළඟට කිට්ටු වෙනකොට සේන සුවච කීකරු බලු කුක්කෙක් වගේ හැසිරුණු සේන කන් දෙක වනලා හොඬවැල දික් කරලා කෑම බීම ඉල්ලන හැටි . මගෙ ජීවිතේට මම ඒතරම් අහිංසක අලි පෙවුවෙක් වෙන කොහේදිවත් දැකලා නෑ .

අලි බලා ගන්න අලි ගොව්වෝ බොහෝමයක් දෙනා හෙණ්ඩුව කියන අලි බය ගන්නන ආවුදේ ළඟ තියාගෙන ඒකෙන් නිතර දෙවේලෙම අලින්ට ඇන්නත් විදානේ මාමා නම් සේන අලියාට නිය පිටින්වත් පාරක් ගහලා නෑ වචනෙකින්වත් සේන අලියගේ හිත රිද්දලත් නෑ . ඒ වගේමයි අහල පහළ හිටපු නැහැදිච්ච කොල්ලන්ටත් සේන අලියට කරදර කරන්න දුන්නෙත් නෑ .

ගොඩක් කොල්ලෝ කළේ සේන අලියා ඉස්සරහට ගිහින් ඌට උසුළු විසුළු කරපු එක තමයි . ඒ වෙලාවට විදානේ මාමාට මරුවා නගිනවා .

"මොකෝ බොලවු තොපි හූ කියන්නේ අලියා හෙළුවෙං නිසාද යකෝව් ? තොපිත් හෙළුවෙං තමා ඉපදුණේ !!

ඔන්න ඔය වගේ අඬහැරයන් නම් ඒ දවස් වල අඩු නැතිව මගේ කන් දෙකට ඇහිලා තියනවා .

"ගිරාම සේවක මහත්තයෝ මේ අලියා බෝම බුද්ධිමත් . මම කියන දේවල් හොඳට තේරෙනවා , මූ ඉතින් මට මගේ දරුවෙක් වගේ තමයි .

විදානේ මාමා නිතරම මගේ තාත්තත් එක්ක ඔය වගේ කතා කියන හැටි ඒ කාලේ පොඩි එකා වෙච්ච මම දොර ගාවට වෙලා අහගන උන්නු හැටිත් මට ලාවට වගේ මතකයි . මගේ තාතත් ඉතින් ඒ දවස් වල ඔය විදානේ මාමාගේ හිත රිදෙන අලි විහිළු එහෙම අනන්ත කරලා තියනවා ඒ වුණත් විදානේ මාමා මගේ තාත්තා එක්ක කවදාවත් අමනාප වුණේ නෑ . තාත්තා නම් කීවේ විදානේ මාමට පිං පඩිය හදවගන්න ඕනෙ නිසා තාත්තව යාප්පුවෙන් තියාගන්න තමයි එහෙම මුවින් නොබැණ ඉන්නේ කියලා.

විදානේ මාමට එක දුවෙක් හිටියා ඒ වුණත් ඒ කෙල්ල පොඩි කාලෙම අපේ උඩහ ගමක උන්නු සරත් මාමා එක්ක පැනලා ගියදා පටන්ම විදානේ මාමත් විදානේ නැන්දත් සේන අලියත් ඒ මහ ගෙදර තනි වුණා !. අලියා බලාගන්නවාට විදානේ මාමාට අලි හිමිකරු වෙච්ච තිලෝක මුදලාලිගෙන් හොඳ වැටුපකුත් හම්බ වුණා . ඉතින් මේ තුන් දෙනාම බොහෝම සතුටින් සාමයෙන් කාලයක් ඔය විදිහට ජීවත් වුණා .

වෙසක් පොසොන් මාස වලදී තමයි මගේ පළාතට උපරිමයෙන්ම අවු කාස්ටකේ දැනෙන්නේ . පොළව හතරට පැලිලා වගා බිම් පාළුවට ගිය බව කියමින් නියං ආධාර ඉල්ලගෙන අඬාවැටෙන මිනිස්සුන්ගේ කං කරච්චලෙන් ඉස්සර අපේ කෝටස් එක පිරිලයි තිබුණේ . ඔන්න ඔය කියන කාලේ තමයි පැණි වරකා ගහක් වගේ බොහෝම සතුටින් පීදිලා තිබුණු විදානේ මාමලාගේ ගෙදෙට්ට මහා අවාසනාවන්ත කාලයක් ලැබුවේ . ඉතින් මම මේ කියන්න සූදානම් වෙන්නේ අන්න ඒ සිදුවීම .

පායන කාලෙට මිනිස්සු යන්තම් ඇඟ තෙමාගෙන හිටියට අලියෙකුට එහෙම ඉන්න බෑ . අලියාට දවසකට වතාවක් අනිවා නාන්න ඕනෙ . ඉතින් විදානේ මාමත් සේන අලියාව අපේ ගෙවල් පැත්තේ තිබුණු ඔයට නිතරම දක්කාගෙන යන හැටි ඒ දවස් වල අපි ආසාවෙන් බලාන ඉන්නවා

පොල් ලෙල්ලකින් පිට අතුල්ලලා නාවනකම් සේන බොහෝම ආසාවෙන් ඔයේ වතුර පාර උඩ බුදියාගෙන ඉන්න හැටි බලන්න ලස්සනයි . හොඬ වැලට වතුර එකක්ම අරගන්න සේන අලියා හිටි ගමන් විදානේ මාමට ලොකු වතුර පාරකුත් විදිනවා . ඒ සැර වතුර පාරට විදානේ මාමා විසි වෙලා ගියත් ඒ මනුස්සයා කවදාවත් සේන අලියත් එක්ක තරහ ගත්තේ නෑ . අහල පහළ මිනිස්සු නම් කීවේ "විදානේ අලියාව නාවනවා , අලියා විදානේව නාවනවා" කියලයි.

"හා හා ඔය මදෑ නැටුවා කලබල නොකර හිටිං පිට අතුල්ලනකං" ඔන්න ඔය විදිහේ කරුණා බරිත වදන් කියමින් විදානේ මාමා අලියා නාවන අතරේ දවසක්දා අලියා මහ එපා කරපු වැඩක් කරලා තිබුණා ..!

අලියන්ට සහ ළමයින්ට එක විදිහකට ඉන්න බෑ කොයිවෙලෙත් දාංඟලේ .! ඉතින් අපේ සේන අලියත් නාන අතරේ මහ අලුකුත්තේරු වැඩක් කරලා තිබුණා . ඒ තමයි ඔය ඉවුරේ තිබුණු කිරි මැටි ගුලි එක එක විදානේ මාමට හොරෙං අරං කටේ දාලා, හපා දාලා, ගිලලා දාලා තිබුණා

ඔයේ ගිලිලා නනා උන්නු විදානේ මාමා මේ කිරි මැටි කෙළිය දැනගෙන තියෙන්නේ පැයක් විතර ගියාට පස්සේ . ඒත් එතකොට පමා වැඩියි අලියා කිලෝ පහක විතර කිරි මැටි ගිලලා ඉවරයි !. අනේ ඉතින් මොනවා කරන්නද ? විදානේ මාමා අලියාව ඉක්මනට ගෙදර ගෙනල්ලා ගහේ බැඳලා අපේ ගෙදරට දුවගෙන ඇවිල්ලා මගෙ තාත්තට මේ කිරි මැටි කතාව කීවා .

"මම ඉතින් අලින්ට වෙදකං කරන්න දන්න එකෙක්ද බං ? ගිහිං දොස්තර මහත්තයාටවත් කියලා බලහංකෝ" තාත්තා එහෙම කියලා සේප් වුණා .

අපේ ගමට පශුවෛද්‍ය මහත්තයෙක් ඔය කියන කාලේ වෙනකොට හිටියේ නැතුව ඇති . සමහර විට හිටියාද දන්නෙත් නෑ මට හරියට මතක නෑ .අනේ ඉතින් දොස්තර මහත්තයා ගාවට පණ කඩාගෙන දුවපු විදානේ මාමව දොස්තර මහත්තයා එලවගෙන තිබුණා .

"අලින්ට බේත් කරන්න පලයං අලි වෙදෙක් ගාවට" . ඔන්න ඔහොම කියලා තමාව එළවගත්ත බවයි විදානේ මාමා අඬ අඬා කීවේ .

ඉතින් ඔය විදිහට දවසක් දෙකක් ගත වුණා . කිරි මැටි ගිල්ල අලියා කිසිම වෙනක් නැතිව සාමාන්‍ය විදිහටම හිටියා . ඉතින් විදානේ මාමත් අලියා මැටි ගිල්ල සිද්ධිය හිතෙන් අමතක කරලා දාලා නිදහසේ හිටියා . ඒත් ඒ හිතේ නිදහස රැඳිලා තිබුණේ තවත් දවස් එකහමාරක් විතරමයි .

පහුවදා දවසේ උදේ ඉඳන් සේන අලියා කුංචනාද කරන්න ගත්තා ගමම හෙලවෙන තරම් සද්දෙන් . සේන අලියා ඒ නඟපු විලාපේ අහල පහළ තිබුණු ගම් දෙක තුනක පවා ඇහෙන්න ඇති . ඉතින් මමත් ඉක්මනට ඇඳ පැළඳගෙන තාත්තා එක්ක ගියා මේ අලියාගේ විලාපෙ මොකද්ද කියලා බලන්න .

මම විදානේ මාමලෑ දිහා යනකොට ඒ ගෙදර මිදුලේ සේන අලියා බිම වැතිරිලා හිටියා . වෙද මහත්තයයි විදානේ මාමයි ඒ ළඟම බිම ඇන තියාගෙන අලියාගේ ලෙඩේ බලමින් උන්නා..! අලියාගේ අයිතිකරු වෙච්ච තිලෝක මුදලාලි නම් ඒ වෙනකොට අලියාව බලන්න යන්තම්වත් ඇවිදින් හිටියේ නැතෙයි කියලා සෝලි තියමින් තමා විදානේ මාමා නම් ඒ වෙනකොට උන්නේ .

"මොකෝ මේ වෙලා තියෙන්නේ ?

තාත්තා එහම අහද්දී විදානේ මාමා දුන්නේ අමුතු උත්තරයක් .

"බලන්න ගිරාම සේවක මහත්තයෝ මේකා කිරි මැටි කාලා බඩ වේලවාගෙන දැන් බෙටි දාන්න බැරුව කෑගහනවා !

අපිත් ඉතින් දුක් වුණා . දුක් වෙනවා ඇරෙන්න අපි වෙන මොනවා කරන්නද ?. ඔය අතරේ අලියාව පරීක්‍ෂා කරලා බලාපු අපේ ගමේ වෙද මහත්තයා මෙන්න මේ වගේ කතාවක් කීවා .

"අපි මේකට බඩඑළිය යන්න බඩ විරේකයක් දීලා බලමු !

කරන්නම දෙයක් නැතිව හිටි විදානේ මාමා එක පයින්ම ඒ යෝජනාවට කැමති වුණා . ඒත් එතන ලොකු කොස්සක් ! මිනිහෙකුට විරේකයක් දීලා මීට පෙර පළපුරුද්දක් තිබුණාට අලියෙකුට විරේකයක් දීලා පුරුද්දක් අපේ වෙද මහත්තයාට තිබුණේ නෑ . ඉතින් අලියාගේ බඩේ දිග පළල මැනගෙන කෝම හරි අන්තිමේදී තීරණය වුණා කළගෙඩි දෙකක වත් විරේක බේත් අලියාට පොවන්න ඕනෙයි කියලා .

මිදුලේ තිබුණු ලොකු කල්දේරම් කීපයක සියඹලා කරල්, සෙනේ කොළ ආදී ඔසු එක් කරලා බේත් කලවං කරන හැටි ඊළඟ මොහොතේ එහේ ගියපු මට දැකගන්න හැකි වුණා .හෙමිහිට බේත හදලා අවසන් වුණා. ඒත් අලියෙකුට බේතක් පොවන එක ලේසි පාසු කටයුත්තක්ද ?. ඉතින් ගමේ උන්නු හැඩිදැඩි ඉලන්දාරි කොලුවෝ ගොඩ දෙනෙකුගේ සහාය අරගෙන එක කල්දේරමක් යාන්තම් බිම දපලා උන්නු සේන අලියාට පොවාගත්තත් දෙවනි කල්දේරම නම් පොවාගන්න ලේසි වුණේ නෑ .

"ඌට තිබහා වෙනකම් ඉදිල්ලා ඌ තිබහ හැදුණාම එක හුස්මට ඕක ඉවර කරාවි" වෙද මහත්තයා එහෙම කීවේ බොහෝම විස්වාසෙන් .

කොහොමින් කොහොම හරි අනික් පහුවදා දවල් අපි ආයේ අලියාගේ සුව දුක් බලන්න යද්දී අලියා යාන්තම් නැගිටලා හිටියා ඒ වුණත් මම ඒ සේන අලියාගේ වෙනදා නොදැකපු මහ අමුතුම වෙනසක් දැක්කා.. සේන අලියාගේ බඩ නිකං බවුසරයක් තරම් ලොකුයි . ඌ වේදනාවෙන් දඟලනවා . කලගෙඩි කීපයක විරේක බෙහෙත් සහ දවස් කීපයක කෑම අතරේ එකතු වෙච්ච කිරි මැටි නිසා තමයි මට සේන අලියාගේ බඩ ඒ තරම් ලොකුවට පෙනෙන්න ඇත්තේ .

ඔන්න ඔය අතරේ අලියා කොන්ද නමලා තටමලා මළපහ කරන්න උත්සාහයක් ගත්තා . සමහර නැහැදිච්චි කොල්ලන් එතකොට ඇහෙන නෑහෙන ගානට "කමෝන් පුතා" කියලා චියර් කරන්නත් පටන්ගත්තා . ඒත් වැඩක් වුණේ නෑ .

පැය භාගයක් තිස්සේ එක දිගටම තැටමුවත් සේන අලියට යන්තම්වත් බෙට්ටක් දෙකක් බිම හෙලාගන්න බැරි වුණා . අනේ ඉතින් විදානේ මාමා කඳුළු පෙර පෙරා බලාන ඉන්නවා "සේන දැන් බෙට්ටක් දායි දැන් බෙට්ටක් දායි" කියලා . වෙද මහත්තයා පැත්තකට වෙලා උදම් අනනවා "එක පාරක් බඩේ තියන ජරාව ටික එළියට ගියා නම් අලියා ගොඩ" කියලා ඔන්න ඔය අතරේ මහ අමුතුම සිද්ධියක් වුණා .

අලියා උගේ සකල සරීරෙම හයිය හත්තිය දාලා තටම තටම ඉන්න අතරේ ලොකු ලොරියක් ඇවිදින් ඔය හරියේ නතර කළා . සුදු සරමයි සුදු කමීසෙයි ඇඳගෙන ඒ ලොරියෙන් එළියට ආවේ අලියාගේ හිමි කරු වෙච්ච තිලෝක මුදලාලි . අලියා වටේ රවුමට වට වෙලා බලාන හිටි සෙනග එක පාරම අයින් වෙලා තිලෝක මුදලාලිට අලියා ගාවට කිට්ටු වෙන්න ඉඩ දුන්නේ තිලෝක මුදලාලිට මිනිස්සු දැක්වූ අසීමිත බය නිසාමයි . සල්ලි කාරයොන්ට මිනිස්සු බයයි !

ඔළුවේ අත ගහගෙන අඬන විදානේ මාමා ගාවට කිට්ටු වෙච්ච තිලෝක මුදලාලි මහ අමුතු කතාවක් කීවා දැන් වසර ගාණක් ගිහින් තියන එකේ මට එදා වෙච්ච දෙබස කොහෙත්ම මතක නෑ .. ඒ වුණත් ඒ සිද්ධ වෙච්ච කතාව මට මතකයි .

"විදානේ අලියා දැන් ගොඩ ගන්න අමාරුයි වගේ නේද ?

"අනේ මයෙ පුතා !!”

"විදානේ ඔහෙට ගොඩක් දුකයි කියලා මම දන්නවා . මම මේ ආවේ මේ මේ අලියාගේ නැට්ටෙන් කෙඳි ටිකක් ඇන්න යන්ඩය කියලා"

බිම ඇන තියාන උන්නු විදානේ මාමට මරුවා නැගලා එක් වරම දිග හැරුණු දුන්නක් වාගේ නැගී හිටියා

තිලෝක මුදලාලි ආයෙත් කතාව පටන්ගත්තා

"මැරිච්චි අලියක්ගෙන් කෙඳි අරං වැඩක් නෑ විදානේ මට හරියට අපලේ මේ දවස් වල අලි කෙඳි මුද්දක් දාගත්තොත් හරි යනවාය කීවේ .”

තිලෝක මුදලාලිට ඒ වචනේ කියලා කට ගන්න උණේ නෑ "තොට ඕන්නං යකෝ උගේ අහවල් එක හරි කපා ගනිං .. ඒත් ඌ මැරුණායිං පස්සේ !! පණ අදින සතාට එකෙක් කිට්ටු වුණොත් මරාගෙන මැරෙනවා යකුනේ මම . විදානේ මාමා අහස පොළව හෙලවෙන තරමට ගුගුරන්න ගත්තා

එහෙම කියලා විදානේ මාමා දිවුවේ ගේ ඇතුළට . අපි නම් හිතුවේ විදානේ මාමා මන්න පිහියක් හෝ කැත්තක් වගේ ආවුදයක් අරං එන්න ගේ ඇතුළට දුවන්න ඇති කියලයි . මාව පැත්තකින් තියාපු මගේ තාත්තා සරම කැහැපට ගහගත්තේ "පුතා ඔතනින් හෙලවෙන්න එපා !කියලා මට අවවාද කරන අතරේ. ගමේ ග්‍රාම සේවක නිසා තාත්තා ඉතින් වලි බේරන්න එපෑය මමත් පසකට වුණා .

අපි හැමෝවම පුදුමයට පත් කරමින් විදානේ මාමා ගේ ඇතුළෙ ඉඳන් අරගෙන ආවේ පොඩි පුටුවක් . !
පුටුවකින් මක් කොරන්නද ? අපිත් ඇස් දල්වාගෙන බලං උන්නේ මේ මොකද්ද පුටුවෙන් කරන්න යන විගඩම කියලා.

පුටුව ගෙනාපු විදානේ මාමා අලියාගේ පස්ස පැත්ත දිහාට කිට්ටු වෙලා පස්ස පැත්තට මුහුණලා පුටුව තියලා ඒ පුටුවට නැගගත්තා. ඊට පස්සේ අලියාගේ ගුද මාර්ගයට අත දාලා මොනවාදෝ හොයන්න ගත්තා ? සමහර ගෑනු උදවියට සහ ගෑනු වගේ පිරිමි උදවියට ඒ දර්ශනය දැකලා කලන්තේ හැදෙන්නත් ඕක්කාරයට එන්නත් පටන්ගත්තා . ඒත් විදානේ මාමා නොසැලී නිහඬව තම කාර්‍ය දිගටම කරමින් උන්නා .

මොහොතක් ගිය තැන විදානේ මාමා අලියාගේ ගුද මාර්ගේ ඇතුළේ හොයාපු දේ හමු වුණා . ගුදමාර්ගෙන් අත එළියට ගත්ත විදානේ මාමා බිමට දැම්මේ අලි බෙට්ටක හැඩය ගත් දුගඳ හමන මැටි ගුලියක් . ඊළඟට ආයෙමත් ඒ මාර්ගයටම අත දැමූ විදානේ මාමා අත පුරෝලා අරගත් තවත් බෙට්ටක් බිම හෙළුවා .

අහසින් වතුර බින්දුවක් වැටෙන්නාක් මෙන් හූල්ලමින් බලාන උන්නු පිරිසක් වගේ අලි බෙට්ටක් බිමට වැටෙන තුරාවට කටවල් ඇරගෙන බලං උන්නු අපේ ගමේ ගැමියෝ ටිකත් විදානේ මාමා අතින් අලි බෙටි එළියට දමන වාරයක් පාසා ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්නා . හරියටම කීවොත් සනත් ජයසූරිය බෝලයක් බෝලයක් පාසා හයේ පාරවල් ගහනකොට ප්‍රේක්‍ෂකාගාරේ ඉන්න ප්‍රේක්‍ෂකයෝ ඔල්වරසන් දෙන්නාක් වගේ .

"හුරේ !! විදානේ හුරේ .. තව එකක් විදානේ හුරේ .සේන තටමපිය .. තව තටමපිය හුරේ ..!!!” 

මිනිස්සු හුරේ දානවා විදානේ මාමා අලියෙක්ගේ ගුදමාර්ගය අස්සෙන් ගූ අදිනවා . අලියා තටමනවා . ඉතින් හැමෝම සතුටින් වැඩේ අවසන් වෙනතුරු බලාන උන්නා . ඒත් එකපාරම නොහිතාපු දෙයක් වුණා .,

නිසොල්මනේ උන්නු සේන එක වරම සැරෙන් තටමන්න ගත්තා ඒ එක්කම "ගොජොස් !!" ගාලා සද්දෙකුත් එක්ක මහා දියාරු, උකු දුර්ගන්ධ අලි වසුරු තොගයක් සේන අලියාගේ ගුද මාර්ගය ඇතුළෙන් එළියට නිකුත් වුණා . තත්පර තිහක් විතර එක දිගටම විද්ද ඒ ගූ කඳ මීටර් කීපයක් එහාටත් විද්ද හැටි මමයි මගෙ තාත්තයි ඈතට වෙලා බලාන හිටියා . අලියාගේ ගුද මාර්ගේ තුළට අත දම දම උන්නු විදානේ මාමාඒ විද්ද ගූ කඳට යට වුණා .නැගිලා උන්නු පුටුව පෙරළිලා විදානේ මාමා කරවටක් ගූ ගොඩේ වැටිලා පිහිනමින් හිටියා .

"සකල රෝග නිවාරණයි සේනට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්‍ෂාවයි !!වෙද මහත්තයා එහෙම කියලා යාන්තමට හිනහ වුණා .

වටේ පිටේ උන්නු කීප දෙනෙක් ගූ ගොඩේ දඟලමින් හිටි විදානේ මාමාව නැගිට්ටුවා . ඇස් කන් නාස් සහ කට මේ හැම තැනක්ම අලි වසුරු වලින් වැහිලා තිබුණත් විදානේ මාමා අලියා ගාවට දුවලා ගිහින් "දැන් උඹට කෝමද මයෙ සේනයෝ" කියලා අහද්දී මගෙ ඇස් දෙකට නම් කඳුළු ඉනුවා .තිලෝක මුදලාලි නම් අමනාප වෙලා ආපහු හැරිලා යන්න ගියා . ‍‍

මගෙ ගමේ මිනිස්සු අලින්ට ජාති ජාතිත් වෛර කළා . ඒත් අපේ ගමේම අපිත් එක්කම හැදුණු සේන අලියාට ගමම ආදරේ කළා . විදානේ මාමා නම් තමන්ගේ පණටත් වඩා සේන අලියාට ආදරේ කළා . ඒ ආදරේ කොයිතරම් ප්‍රබලද කියනවානම් . අලියෙකුගේ කැත කුණු අතින් අදින්න තරමටම ඒ ආදරේ අන්ධ වෙලා තිබුණා ..

මිනිස්සුන්ගේ හැටි ඔහොමයි .තිලෝක මුදලාලි වගේ සමහරු සතෙක් මරාගන්න ආසාවෙන් ඉන්නවා , සමහරු තිරිසන් සතෙක් දවසක් හෝ ජීවත් කරගන්න සටන් වදිනවා . ඉතින් මෙන්න මේ සිදුවීම් අතරේ සතා මොකාද මිනිහා මොකාද කියලා හිතාගන්නත් අමාරුයි ... !

මේක මම මුහුණ දුන්නු ඇත්තම ඇත්ත අද්දැකීමක්. අපේ ගම් පළාතට ඇවිදින් බැලුවොතින් විදානේ මාමා අලියාව බැඳලා තිබුණු ඒ සියඹලා ගහ නම් දැකගන්න හැකි වේවි .. මේ ගැන මිනිස්සු කියන කතා අහගන්නත් පුළුවන් වේවි . ඒ වුණත් එදා හිටි සේන අලියාව වත් විදානේ මාමා වත් කාටවත් දැකගන්න ලැබෙන එකක් නම් නෑ
ප/ලි  ... පලමුවැනි පින්තූරය සොයාගැනීමට උපකාර කල හර්ශන මිත්‍රයාට ස්තූතියි !!  
             දෙවන පින්තූරය  -  බුද්ධංගල පන්සලේදී දක්නට ලැබෙන දැන්වීමකි  !

92 comments:

Observer said...

අලියට මොකද වුනේ සඳරු, සිහිවටනයක් වගේ දැන්වීමක් තියෙන්නෙ පස්සෙ කාලෙක ඌ මිය පරලොව ගියාද?
කතාව ඇත්තටම සේන ගැන නෙමේ මිනිස්සු ගැන කියල හිතුන

Observer said...

පින්තුරෙ ලොකු කරල කියෝල බැලුව, එතනත් කතන්දරයක් තියෙනව

Raj said...

මිනිස් අම්මලා තාත්තලා දරුවන්ට කරන දෙවල් අහන දකින කොට මේ විදානේ මාම ඒ අයට හොඳ ආදර්ශයක් මචන්...

Anonymous said...

Ela storya.

Anonymous said...

පට්ටයි මචං ..!!,සැහෙන්න වැදුනා ..!! එල අහ

- පොඩ්ඩා -

Anonymous said...

හිත විතරක් පොහොසත් මිනිස්සුත් ඉන්නව මචං! :'( :)

කිරිමැටි ගැන කිව්වට ස්තූතියි! කෑවොත් සොරිම තමයි :D

Praසන්ன said...

නියම කතාවක් සඳරු මලේ.
ගොඩක් සල්ලිකාරයො වගේම ගොඩක් දෙනෙක් ඔය වගේ අන්ධ විශ්වාස වලට පන අදින අලින්ගෙ කෙඳි ගලවන්න යනව. ඒ සතාව ජීවත් කරවන්න උත්සාහ ගන්නෙ ටික දෙනෙක් විතරයි.

අර දෙවෙනි ෆොටෝ එක කොහේ තියෙන එකක්ද?

Anonymous said...

ඊට පස්සේ සේනටයි විදානේටයි මොකද මලයෝ උනේ?

කසුන් said...

මොකද උනෙ බන් අන්තිමට..සිරා කතවක් බන්..පින්නවල අලි ගාල තියෙන්නෙත් අපෙ ගෙවල් ලග..අලි මිනිස්සු තරමට බුදිදිමත් නොඋනට..උන්ටත් ගොඩක් දෙවල් තේරුම් ගන්න පුලුවන්..මම එකට ගොඩක් උදාහරන දෑකල තියනව බන්..

Unknown said...

සදරුවෝ... මෙි පාර මම පලමුවෙනියා කියලා කියන්නේ නැහැ......

මෙි පාර පෝස්ටි එක එල. සේන අලියෙක් විතරක් නෙමෙයි මනුස්සයෙක්ට වඩා වටිනවා කියන එකයි මට කියන්න තියෙන්නේ, මොකද අද අපි අතරේ ඉන්න ගොඩාක් මිනිස්සුන්ට අමතක වෙචිච මිනිසත්කමෙි අගය මෙි වගේ සමහර තිරිසන් සත්තු ලග තියෙනවා මම අත්දැකිමෙන්ම අත්විදලා තියෙනවා. මෙි පෝස්ටි එක කියවන් යනකොට හිනා ගියත්, ඒ කතාව ඇතුලේ තියෙන්නේ අපි වගේ මිනිස්සුන් අතරේ ඉන්න සමහර තිරිසන් මිනිස්සු ගැන දැන ගන්නත් එක්ක උබ ඒක ගානට ලියලා තියෙනවා කියලයි මට හිතෙන්නේ....

කොහොම උනත් උඹට ජය වෙිවා....!!!!

Janaka Rathnayaka said...

මිනිසත්කම ගැන පාඩමක්.එල පොස්ට් එක සදරු."තිලෝක මුදලාලි වගේ සමහරු සතෙක් මරාගන්න ආසාවෙන් ඉන්නවා , සමහරු තිරිසන් සතෙක් දවසක් හෝ ජීවත් කරගන්න සටන් වදිනවා . ඉතින් මෙන්න මේ සිදුවීම් අතරේ සතා මොකාද මිනිහා මොකාද කියලා හිතාගන්නත් අමාරුයි ... !"විදනේ මාමා නම් අදහන්න වටින කෙනෙක්...

Podi Kumarihami said...

හපොයි මේ ඇත්තම ඇත්තද?

Dr. R. A. R. P. Susantha (Ph.D) said...

ලස්සන කථාවක්. ඔබගේ හැකියාව ගැන නම් නැවතත් කියන්න දෙයක් නැහැ.
මේ කථාව කියවද්දී මට මතක් වුනේ අර හම්බන්තොටදි දැන් සෑහෙන කාලෙකට කලින් අපේ හිටපු ජනාධිපති කෙනෙක් ගැන කථාවක්. මෑන් කතරගම ගිහින් එත්දි මළ ගෙයක් දැකලා. බැලින්නම් වෙද මහත්තයෙක් මැරිලා. මෑන කෙලින්ම මළ ගෙදරට ගිහින්. දැන් මිනිස්සු වටකරගෙන ඇයි අප්පා රටේ රජතුමානෙ. ඉතිං මේ රජ්ජුරුවෝ මෙතැන කථාවකුත් කලාලු. මෙහෙම මම මේ වෙදමහත්තයා ගාවට බේත් ගන්න එනකොට මම හරි පොඩි එකා. අපේ තාත්තා තමයි මාව එක්ක එන්නේ කියලා. මිනිස්සු එලෝ කෝටියට හිනාලු. ආපසු එත්දි තමයි වැඩේ මීටර වෙලා තියන්නේ. මේ වෙද මහත්තයා මිනිස්සුන්ට නෙමේ හරක්ට වෙදකම් කරන කෙනෙක්.

රාජ් said...

කාලෙකිං අහපු හොදම කතාවක්. කියන්න දෙයක් නෑ.

සාතන් said...

හිනා කාල පන යනව... මොනව වුනත් විදානෙ මාම එල පොරක්...

ක්සැන්ඩරයා said...

සැහෙන්න හිතන්න පුළුවන් දේවල් මේ කතාවේ තියනවා. වෙනද වගේම මම කතාව කියවන ගමන් ඒ සිද්දිය දිහා බලා හිටිය කියල හිතෙනවා,.. ඒ තරම් පන පිහිටුවල ලියල තියනවා.. එන්න ඕනේ උඹලගේ ගමට.. ඔය සියඹලා ගහ දකින්න අලි මන්කඩවල් බලන්න ගමේ නාකි ලොක්කෙක් එක්ක ඉඳගෙන විටක් හප හපා කතා අහන්න එන්නම ඕනේ.

නචියා said...

ආදර්ශමත් කතාවක් සඳරුවෝ.. අලියටයි විදානෙ මාමාටයි මොකද උනේ ඊට පස්සෙ.

අර මුදලාලියට කතා කරපු විදියනම් නියමයි. මම හිතුවෙ එහෙම කතා කරලා ඉවර වෙලා අලියා මැරෙනකල් මුදලාලිට බලන් ඉන්නෙ පුටුවක් ගෙනත් දුන්නා වත් ද කියලා..........

Apurva said...

සඳරැ ඔබේ ලිවීමේ හැකියාව විශිෂ්ටයි

Akhila said...

පට්ට කතාව!!

අකීකරු හිත said...

විදානේ මාමා වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා දකිද්දි සතුටුයි මලේ...

පූසා said...

ඔව් ඔබා මාමා කිව්වා වගේ මේ ලියලා තියෙන්නේ මිනිස්සු ගැන! නියම ලියවිල්ලක් මචං!

පොඩි මෑන් said...

මෙතන එක කතාවද කතාකතා දෙකද... ඔබාමා කියපු එක තමයි මටත් හිතුනෙ...

Observer said...

වෙද මහත්මයා කියාපු කතාව මාත් කාලෙකට ඉස්සර අහල තියෙනව, ඇත්තම කතාවක් විය හැකියි කියල හිතෙනව, ඒ ජනාධිපති තුමා සහ ආර්යාව ගැන සෑහෙන්න කතා තියෙනව.

Sammani said...

//ඇස් කන් නාස් සහ කට මේ හැම තැනක්ම අලි වසුරු වලින් වැහිලා තිබුණත් විදානේ මාමා අලියා ගාවට දුවලා ගිහින් "දැන් උඹට කෝමද මයෙ සේනයෝ"//

නියම මනුස්සකම තියෙන මේ වගේ මිනිස්සු හරි අඩුයිනෙ දැන්..

විදානේ මාමටයි සේනටයි ඊට පස්සෙ මොකද උනේ කියලත් කියන්න...

මාධව විදුරංග said...

මාර පොරක් බං ඒ මාමා! අර මුදලාලියාට දෙකක් ඇන්නනම් හොදයි කියලා හිතුනා කතාව කියවද්දි! උඹලගෙ ගමේ මාර මාර දේවල්නේ වෙලා තියෙන්නේ බං! උපරිමයි!

පිණිබිඳු... said...

මිනිස්සුන්ගෙ තාමත් මනුස්සකම් ඉතුරු වෙලා තියෙනව නේද. අලියට මොකද උනේ ඊට පස්සෙ.

widanarala said...

උඹේ ලිවීම් හැමදාම කියනවා වගේ එල.
අලියට විරේකයක් දෙන්න ඕනෙ කියල කල්පනා වෙන්න දවස් 2 ක් ම ගත උනු එක නම් සාධාරන නෑ.

පරිකල්පන said...

/* ඉතින් මෙන්න මේ සිදුවීම් අතරේ සතා මොකාද මිනිහා මොකාද කියලා හිතාගන්නත් අමාරුයි ... ! */

ඔය ටික තේරුං අරගෙන ජීවත්වෙන්න පුළුවන්නං මිනිස්සු මිනිස්සු වෙයි...

මන්තරකාරි said...

හරි පුදුමයි. සඳරුට මේ කතාව මතක් උනේ කණ්ඩුල දැකලා නේද?
ඉතින් ඊට පස්සේ සේන විදානෙ මාමාටම අයිති උනාද?

Anonymous said...

හරිම සතු‍ටුදායක අවසානයක්! මම හිතුවෙ සේන මැරෙයි කියලා.. නියමෙටම ලියලා තියෙනවා සඳරු.

Amila Chathuranga said...

හරි සෝක්..

චතුර විජේකෝන් said...

හාස්‍යය මුසු වුණු සංවේදී කතාවක්.. විදානේ මාමා ගැන කියවද්දී මගේ ඇසුත් කඳුළින් තෙමුණා.. අපි අතරින් ගිලිහෙන මිනිසත් කම යළි මතු කරන්ට උඹ දෙන ශක්තියට.. බොහොම පිං!

ගැමියාගේ පත් ඉරුව said...

හම්මා මැවිලා පේනවා කේස් එක මරු ඈ සදරු අයියා මාර පිනක් කරලා තියෙන්නේ මේ වගේ සිදුවීම් වෙන අහල පහල ඉන්න කථාවනම් මල් 7x7 ඔයා මේ මාසේට කථා 7ක් දායි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා

දුමී අයියාගේ TV පෝස්ට් එකට කොමෙන්ට් එකක් විදියට දාලා තිබුනේ TV කථාවක් මතක් වුනා කියලා ඒකත් එනකන් බලාගෙන ඉන්නවා දිගටම ලියන්න සුපිරි ඈ.......

Sindu said...

හැමදාමත් වගේ හිතට වැදෙන කතාවක් මල්ලි.....

D-tec Creations said...

WELL DONE brother...

D-tec Creations said...

<<<<<>>>>

අසරණයා said...

මොකක්ද බං ඒ දෙන්නට උනේ.මුදලාලිගෙන් ඊට පස්සේ ප්‍රශ්නයක් උනේ නැද්ද?.

Nimal (Desertfrog) said...

විදානෙ මාමා උත්තමයෙක්. උන්දැට වැඳුම් පිඳුම් කලාට පව් නෑ
කතාව දිග හැරපු විදිහට හිත බරවුනා. මනුස්සකමේ අගය....
අදත් මෙහෙම අය ඉන්නවා මගේ මවිබිමේ....
බෙදා දුන්නාට ඔබට පිං.

Nimal (Desertfrog) said...

ඔබා මහත්තය කියපු දේ දැකල මමත් බැලුවේ පින්තුරේ ලොකු කරලා.
එතනත් මාර සන්වදී කතාවක් නේන්නම් තියෙන්නේ

saumiya said...

niyama story eka.... niyamai sandaru....

Dinesh said...

බැදීම් කියන දේ හරිම අපූරු දෙයක් සදරුවෝ.. මිනිස්සු මිනිස්සු අතරේ ඇතිවෙන බැදීම් වලට වඩා මේ වගේ බැදීම් හරි අපුරුයි කියලා උඹේ කතාවෙන් හොදට තේරෙනවා..

කුසින් වදාපු දරුවත් විදානේ මාමලා දාලා ගිය කොට මෙහෙම සතෙකුට දරුවෙක්ට වගේ ආදරේ කරලා රැඅ බලාගැනීම පුදුමයක් නෙමෙයි...

HSS said...

මම හිතුවේ අර මුදලාලියා අලි කෙන්දක් ගන්න ගිහින් වසුරු ගොඩට යට වුණා කියලයි.

Buddhi said...

අලියෙකුගේ කැත කුණු අතින් අදින්න තරමටම ඒ ආදරේ අන්ධ වෙලා තිබුණා .. //

ඒ වෙලාවෙ නම් ආදරේ අන්ධ වෙච්ච එක හොඳට ගිහිල්ලා නේද..

uwiniran said...

මාර කතාව මචං,
හිනා වෙලා තව ඩිංගෙන් මටත් ගූ යනව බං...
සිරාවටම ඇස් දෙකට කඳුලු ආව හිනා ගිහින්.

අන්තිම ටික ජීවිතයට දෙයක් ලං කෙරුවා.

sAm (සෑම්) said...

සදරැ- අයේ කියන්න දෙයක් නැහැ මචෝ. දැන් කාලේ වන ජීවී එකෙනුත් අලි මරන සීන් වෙන්නේ. විදානේ මාමා දෙයියෙක්..

ජය ශ්‍රී.. තව ලියන්න ශක්තිය ලැබේවා..

ඉඳුනිල් said...

අපේ අලින්ට තියෙන ප්‍රසන කියලා වැඩක නැහැ.මැටි ගිලපු දෙපා අලි රෑනක්ම ඉන්නවා, උන්ගේ ගුදේ අත දාන්න කවුරුවත් නැහැ.සිවුපා අලින්ට තියෙන ප්‍රශ්න කියලා වැඩක් නැහැ. ඔය කවුරුත් දන්නා අලි-මිනිස් ගැටුමට එපිටින් යන මහා නින්දිත ක්‍රියාවලියක් තියෙනවා මේ කියවන අය සමහර විට දන්නවා ඇති. හීලෑ අලින්ගේ දුකත් එහෙමමයි. උන්ව රැක බලාගන්න උන්ටත් ප්‍රශ්න නැතිවා නෙවෙයි. ඒත් දැන් විදානෙලා වගේ ඇත් ගොව්වෝ හිඟයි.අලි හිමියෝ අති බහුතරය ගැනනම් කියලා වැඩක් නැහැ.සේවකයෝ සමහර විට කරන්නෙත් ස්වාමියට උවමනා දේ..

මම දැකලා තියෙනවා මිනීමරු අලියෙක් අඬනවා.අඬන්න හේතු තිබුන බවත් දන්නවා, ඒත් මම අහලා නා අලි අඬනවා කියන එක. ඒ වෙන විට මිනිසුන් තුන්දෙනෙකු මරලා තිබුන අලියා ඉන් පසුව කවදාවත් එවැනි දෙයක් කලේ නැහැ. නමුත් වතාවක් මම දුටුවා, ඌට විහිළු කල නොසන්ඩාලයෙක් හොඬවැලෙන් ඔසවාගෙන වනලා බිමට අත ඇරලා සමාව දෙනවා.. ඒ මිනිහාගේ කලිසම නම් තෙමිලා තිබුන බවක් මතකයි.

මීට වඩා බරපතල අලි කතා ඔබේ ප්‍රදේශයේ නොඅඩුව ඇති. මල්ලේ පොල් වගේ උනාට මට මේ කතාව කියවලා කලින් කියපු දේවල් මතක් වුනා.

තිලෝකයගෙන් වැඩක නැහැ. :) අනිත් දෙන්නට මොකද වුනේ ?

Weni said...

විනාඩි විස්සකට තිහකට විතර මේ දැන් ඉන්න පුටුවෙන් සහ වායු සමනය කරන ලද කාර්යාල කාමරයෙන් ඔබ මාව රැගෙන ගියේ කොහාටද ? පුංචිම උන් විදියට මහා සද්දන්න්තයින්ට ආදරය කරපු අතීතයට.. ලං කර ගන්න බැරි වෙච්ච ඒ ආදරය විඳින - ඒ ගැන මදක් ඉරිසියා කරපු - ලබන අය විදියට මහා ලොකු ගෞරවයක් හිමි කරගත් අලි බලනා මාමලා දිහා මහා ලොකුවට බලපු ලමා කාලයට...එවන් මිනිසකු සහ අලියකු අතර ගොඩ නැගෙන සෙනෙහස ආදරය ගැන එකතු වෙන සිද්ධීන් ගොඩකට..සතුට, දුක, කඳුල, මිනිස් නොමිනිස් කම් සියල්ල දිගේ ගලා ගිහින්..එක පාරටම හිනාවක් මුවගට නැගුනත්..."දැන් උඹට කොහොමද සේනයො?" කියලා අහන විදානෙ මාමා නිසා ඇහැට කඳුලක් උනපු එක හංගන්නෙ ඇයි මමත්..කියවලා බි.පෙ.සි ඉන්න පුළුවන් සිද්ධිය යටින් ගලා ගෙන ගිය සංවේදීබව මල්ලි අර ගෙන තියෙනව උපරිමයෙන්ම..ඒක වචන වලට පෙරලලා තවත් හිතක් කම්පනය කරන්න උඹේ තියෙන හැකියාව අගයන්න මගේ හිතට එන හැඟීම් කියන්න භාශාව ප්‍රමාණවත් මදි...උඹේ මෙන්න මේ සංවේදී කම හැමදාම රැඳිලා අපිවත් මේ විදියට කම්පනය කරන්න ශක්තිය ධෛර්‍යය ලැබෙන්නයි කියලා මන් පතන්නම් ! දුකයි හිතට..මොකද මන් ආයිමත් මේ පුටුව උඩ සුවපහසුයි කියන බොරුවෙ වැලලිලා කරුමෙ ගෙවනවා..

ලොකු පුතා said...

උඹටනම් තියෙන්නේ හරි අපුරු මතකයන් සඳරු...
කතාව මැවිලා පේන ගානට ලියල තියෙනවා.
මේ දෙන්නට අන්තිමට මොකද උනේ කියලත් ලියපන්...

විදානේ මාම කරපු ඔය වැඩේම වගේ බොහෝ දේවල් පශු වෛද්‍ය වරුත් කරනවා (සමහරු සල්ලි නිසා තවත් සමහරු ඇත්තටම සත්තුන්ට ආදරේ නිසා)
උන්ව රැකගන්න ඕනේ කමටත් මේ වගේ දේවල් කරනවා

විදානේ මාමගේ දරුපවුල රැකගන්න උදව් උපකාර කල සේන අලියා ගැන විදානේගේ හිතේ ලෙන්ගතු බවක් තිබීම සාමාන්‍යයි කියල මට හිතෙනවා.
ඒ ලෙන්ගතුකම නිසා මේ වගේ දෙයක් කරපු විදානේ මාම කොයිතරම් උතුම් මනුස්සයෙක්ද......

සෙන්නා said...

මරු කථාව මචන්... මේ මුළු ලෝකෙම, විදානෙලාගෙන්, තිලොකලාගෙන් සහ සේනලාගෙන් පිරිලා.. අන්තිම පින්තුරේ වෙනමම කථාවක් තියනවා.

ස්තූතියි කියලා තමා කියන්ඩ තියෙන්නෙ, උඹේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට.

හසී said...

නියමයි.. විදානේ මාමා ඇත්තටම නියම මනුස්සයෙක්...

හිස් අහස said...

@Observer - අයියේ ඔය බෝඩ් එක මේ සිද්දියට අදාල එකක් නම් නෙවේ . මේක අපේ බුද්ධංගල පන්සලේ තියන බෝඩ් එකක් . එකේ තියන දේ හිතට වදිනවා නේද ?
.............................................................................................................................
@Raj = කියලා වැඩක් නෑ බං එහෙම මිනිස්සුත් ඉන්නවා හැබැයි අතරින් පතර
.............................................................................................................................
@Anonymous = තෑන්ක්ස් වේවා මිත්‍රයා
.............................................................................................................................
@පොඩ්ඩා = උඹටත් ස්තූතියි පොඩ්ඩෝ
.............................................................................................................................
@තනි අලියා = උඹගේ නම දකිද්දිත් බය හිතෙනවා . කිරි මැටි කෑවොත් ඉතින් සොරි තමා
.............................................................................................................................
@Praසන්ன = දෙවනි ෆොටෝ එක තියෙන්නේ බුද්ධංගල පන්සලේ අයියේ .
.............................................................................................................................
@Anonymous =අවුරුදු කීපයක් ගිහින් දෙන්නම මලා මචෝ .
.............................................................................................................................
@කසුන් = අලි ගොඩාක් බුද්ධිමත් . උන් උන්ට කරන හැම දෙයක්ම මතක තියාගන්නවා උන්ට විහිලුවක් කලත් උදවුවක් කලත් උන් ඒ හැම දේම මතකේ තියාගන්නවා .
.............................................................................................................................
@Sihina = දවසක වරෙන් ඔය කීව දේවල් උඹම ඇස් දෙකෙන් දැකගෙන යන්න මේ පැත්තට
.............................................................................................................................
@Janaka Rathnayaka = සහතික ඇත්ත බං
.............................................................................................................................
@Podi Kumarihami =ඇත්ත කතාවක් අක්කේ
.............................................................................................................................
@වෙද ගෙදර මහ වෙදනා = නියම කතාව රජිඳාට පොලෝතලේ පලාගෙන නන්නපුරාවේ යන්න සිත දෙන්නැති .. හිකි හිකි .
.............................................................................................................................
@රාජ් = ස්තූතියි රජෝ

හිස් අහස said...

@සාතන් = විදානේ මාමා ඉස්සර මට බඩ තුවක්කු පවා හදා දුන්නා බං ඒත් දැන් පොර නෑ
.............................................................................................................................
@ක්සැන්ඩර් = වරෙං මචෝ ඕනෑ වෙලාවක ඇවිදින් යන්ඩ වරෙං .
.............................................................................................................................
@නචියා = පුටුවෙන් වෙච්ච දේ මම කිවුවානෙව නචියෝ . කෝමද වෙච්ච දේ
.............................................................................................................................
@Apurva = ස්තුතියි මචෝ
.............................................................................................................................
@Akhila = උඹටත් ස්තූතියි අකිල
.............................................................................................................................
@අකීකරු හිත = වටින් කියන එවුන් වඳවෙලා යනවා සහෝදරී
.............................................................................................................................
@පූසා = ස්තූතියි පූසෝ උඹ දන්නවා නෙව මේ පලාත ගැන ගොඩක් හොඳින්
.............................................................................................................................
@පොඩි මෑන් = එක කතාවක් තුල කතා ගොන්නක් තියෙන්නත් හැකියි නේද පොඩි එකෝ
.............................................................................................................................
@Observer =ඔබා අයියේ එයිං කතාවක් දෙකක් ලියාලා දාපංකෝ අපිටත් බලන්ට

@Sammani=විදානේ සහ අලියා ගැන කියන්න දෙයක් නෑ සමානි ඒ දෙන්නම කාලයත් එක්ක . එලොව ගියා .
.............................................................................................................................
@මාධව =ගමක් කියන්නේ අපූරු කතා වලින් පිරුනු කතා පොතක් බං

@පිණිබිඳු. = අසනීපයක් හේතුවෙන් ඒ අලියා මැරුණා අක්කේ මැරිච්ච කාලේ නම් මතක නෑ ඒවුණත් අවුරුදු ගානක් ගිහින් තමා ඌ මලේ
.............................................................................................................................
@widanarala= ඒක නම් ඇත්ත හරිහමං වෙදෙක් නොහිටපු එක තමා ඒකට හේතුව . ස්තූතියි මචෝ
.............................................................................................................................
@පරිකල්පන = ඕක තේරුම් ගන්න බැරි නිසා තමයි අපි වුණත් වෙලාවකට සත්තු වෙන්නේ
.............................................................................................................................
@මන්තරකාරි = නෑ අයිති වුණේ නම් නෑ ඒ වුණත් තව කාලාන්තරයක් ඒ දෙන්නා සතුටෙන් හිටියා මැරෙනකම්ම
.............................................................................................................................
@විසිතුරු = සේන වාසනාවන්ත වුණා විදානේ මාමා වගේ දෙවියෙක් යටතේ ඉන්න තරම්
.............................................................................................................................
@amila chathuranga = තෑන්ක්ස් බොහෝ
.............................................................................................................................
@චතුර විජේකෝන් = ස්තූතියි මිත්‍රයා . බොහෝමත්ම
.............................................................................................................................
@ගැමියාගේ පත් ඉරුව = හතක් ලියන එක මෙදා සැරේනම් සුවර් නෑ මචෝ මට හෙන කරදර බෝමයි ඉතින් බලමු නේද .. ස්තූතියි කියෝලා ගියාට
.............................................................................................................................
@ලෝකයේ කොනක = ස්තූතියි යාලු

හිස් අහස said...

@D-tec Creations= තෑන්ක්ස් මචං
.............................................................................................................................
@අසරණයා = එහෙම ගැටළුවක් නම් ඇති වුණේ නෑ අලියා මැරෙන කම්ම මාමා එක්ක උන්නා සතුටෙන්
.............................................................................................................................
@වැලිමැඩියා = පින් එපා කියවලා යන එක මට මදෑ ! ස්තූතියි මැඩියෝ
.............................................................................................................................
@saumiya = හැමදාම වගේ ඔබත් අදත් ස්තූතියි මිත්‍රයා
.............................................................................................................................
@Dinesh = සත්තු කන්න බොන්න දුන්න කෙනාව අමතක කරන්නේවත් දාලා යන්නේවත් නෑ කවදාවත්
.............................................................................................................................
@Balal hamine= එහෙම වුණා නම් ජොලිම ජොලි නේ :)
.............................................................................................................................
@බුද්ධි= කියලා වැඩක් නෑ අයියා ඒ අන්ධ බව නිසා නේන්නම් ජීවිතයක් බේරුනේ
.............................................................................................................................
@uwiniran = ඒක තමා මට බ්ලොග් එක පැත්තෙන් ගඳක් ආවේ :) හෙමිං හිනාවෙයං මචෝ
.............................................................................................................................
@සෑම් = ස්තූතියි සෑම් . බොහෝමත් ස්තූතියි
.............................................................................................................................
@ඉඳුනිල් = මාමා සහ අලියා යන දෙන්නම අවසන් ගමන් ගියා වසර කිහිපයකින් ඉතින් මචෝ අලියා කියන්නේ බෝම බුද්ධිමත් සතෙක් . ඌ ඇවිල්ලා . මතකයේ ගොඩක් දේ තියාගන්නවා .
.............................................................................................................................
@Weni = ස්තූතියි වෙනි අයියා .මම දැක්ක ඒ සිද්දිය මට අමතක වුණේ නෑ වසර ගානක් ගිහිල්ලත් ඉතින් ඒක බ්ලොග් එකේ නිකම්ම ඒ කීවේ අමුවෙන්ම ලියාදැම්මා . ඉතින් ඒක කියවන ඔයාලට ඇල්ලුවා නම් මට සතුටුයි
.............................................................................................................................
@ලොකු පුතා = අපිත් වෙලාවකට තිරිසන්නු වගේ හැසිරෙනවා . ඒක අපේ හැටියක් බං . ඒ වුණාට ඒ හැසිරීම් රටාව යටපත් කරගෙන ඉන්න හැකිනම් එතන මනුස්ස කම එලියට එනවා . සමහරු සතුන් සේරෝටම ආදරෙයි . සමහරු සතුන් කීපයකට විතරක් ආදරෙයි
.............................................................................................................................
@Senna = ස්තූතියි මචෝ ආවට බලලා අදහසක් දීලා ගියාට

Abeetha Edirisinghe said...

උඹ ඉන්නවා දැක්කම පොඩි ආතල් එකක් ආවා..

BLOG ගඩොල් said...

කාලෙකින් මේ පැත්තෙ ආවෙ සහෝ. කියවන්න බැරිවුන ලිපි ටික කියවන්න ඕනෙ. විදානේ කියන්නෙ නියම මනුස්සයෙක්. අදහන්න වටිනවා

Mithuru said...

කොහොමත් මට නම් සත්තුන්ට හරි ඉක්මනට ආදරේ හිතෙනවා.හේතුවක් හරියටම පැහැදිලි කරන්න බැරි උනත් මිනිස්සුන්ට වැඩිය අවංකකම තියෙන නිසා වෙන්න ඇති.

මටත් මගේ නැතිවුණු බලු පැටියාව මතක් උනා.ඒත් අලියෙක් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල බුද්ධිමත් සතෙක්.දන්න විදියට අලි ආත්මයක් ලැබෙන්නේ මනුස්ස ආත්මයක් ලබන්න තරම් පින්වලට පොඩ්ඩක් අඩුවෙන් පින එකතු වූ භවයකට.ඒක නිසා අලියෙක් සහ ඇත්ගොව්වෙක් අතර ඇතිවන ලෙන්ගතුකම ගොඩක් වැඩි ඇති.

Anonymous said...

නියම කතාවක් සදරු
සමහරු මිනිස්සු ඔහෝම්ම තමා බං. පන අදින කොට කිට්ටු වෙනවා...

Kasun said...

අප්පොච්චියේ එහෙම දෙයක් කරන්න කොයිතරම් නම් ආදරයක් තියෙන්න ඕනද?

ලහිරු said...

අලි බලන්නයි බලි බලන්නයි එපා වෙන්නෑ කියන්නේ ඔය නිසා වෙන්ටෑ!

Anonymous said...

Duppath minissunge hadawath koitharam posath da ? Anduna saho anthima hariyedi nam .

Chathu said...

ජය වේවා !

Charith Samarakoon said...

ඔය පින්තූරෙ මමත් බුද්ධංගල ආරන්‍යයෙදි දැක්ක...ඒකෙ කතාවත් හිත සසල වෙන එකක්... නියමයි සඳරුවො,වෙනද වගේම නියමයි තමා...

අලි වද විඳින උඹ මෙහෙම උපේක්ශාවෙන් අලියෙක් ගැන ලියපු එකත් වටිනව... විදානෙ මාම අපූරු මනුස්සයෙක්....

පැන්ඩා said...

සමන් දේවාලෙ ට එහෙම ගේන අලි ඒ කාලෙ අපේ වත්තෙ ලොකු කොට්ට ගහක බැඳල තියෙනව මටත් මතකයි..ඒ හින්ද මාත් ටිකක් අලි ගැන නම් දන්නව සඳරු වො..අලි බාස් ලා අලි වැඩෙ වන කර ගත්තම හුගක් වෙලාවට ඔහොම අත දාල සපොර්ට් එකක් දෙනව මම නම් දැකල තියේ..මම කල්පනා කලේ විදානෙ මාම ට ඕක මතක් වෙන්න ඔච්චර වෙලා ගියේ ඇයි කියල

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

සදරු,

තවත් සංවේදී කථාවක්..., සුන්දරව ලියලා තියෙනවා...

ලොකු පුතා said...

කමෙන්ට් ගොඩකට පිළිතුරු දෙන්න සිද්ධ උනත් උඹ වචනෙකින් හරි හැමෝටම උත්තර දෙනවා.
උඹේ ඒ මනුස්ස කමත් මම ගොඩක් අගේ කරනවා සඳරු.
හිස් අහසට වගේම උඹටත් ජය.....!!

මාතලන් said...

ඔන්න ඊ ළඟ දවසෙත් අලියා කෑ ගහනවල්ලු. විදානේ මාමට අත දාන්න කියලා. මේකේ කතා ගොඩයි. දේශපාලන ප්‍රහසනයකුත් තියෙනවා. අලියගේ බඩ සුද්දවීම ගැන.

ගොඩයා said...

ආ..... සඳරුත් ලියලා තියෙන්නේ අලි ගැන. මාත් ලීවා සඳරුලාගේ ගමේ අලි ගැන..... හැබැයි ඔය ආදරෙන් හදාගත්තු අලි නෙවෙයි..... උඹලට පේන්න බෑයි කියපු අලි ගැන.... ආදරයට ජාති භේද වගේම තිරිසන්ද නැද්ද කියලා ප්‍රශ්නෙකුත් නෑ බං......

දිනුක said...

අර නිව්ටන් ලොක්කා සැරයක් කිව්වලුනෙ "මම මිනිසුන් ගැන දන්නා තරම වැඩිවෙන තරමට මගේ බල්ලා කෙරේ ඇති මගේ ප්‍රේමය එන්න එන්නම වැඩි වේ" කියලා.ඇත්තටම සත්තු ගැන දැනගන්න දැනගන්න මිනිස්සු එපා වෙනවා බං.සිරා කතාව.

Jeew said...

නියම අලි කතාවක්නේ ලොක්කෝ...

Ravi said...

අපි අලිබෙටි පිච්චුව මතකයි මදුරු කරදරෙන් බේරෙන්ට ඒ දවස්වල......

මම හිතන්නෙ විදානෙ මාමගෙ ඇඟේ ඉම්පස්සෙ එක මදුරුවෙක්වත් වහන්ට නැතුව ඇති....හෙහ්, හෙහ්,

දුමී said...

නියම කතාව මල්ලි, උඹ මේ කතා ලියනකොට දක්වන දක්ශ කම ගැණ නම් කියලා වැඩක් නෑ... නිකන් චිත්‍ර පටියක් බැළුවා වගේ ඔක්කොම සීන් ටික මැවිලා පේනවා....!

pasindu mihiranga said...

අය්යෙ !! ඔය බෝඩ් එක තියෙන්නේ ගිරිහඩු සෑය ගාව නේද ??

ඉන්දික උපශාන්ත said...

මම දන්න පොරකගෙ ගෙදර පාරෙ තාර දානකොට ඒ සුවඳට බල්ල අසනීප වෙලා මිනිහ බල්ලව තමන්ගෙ ඇඳේඉ තියන් බෙහෙත් දීල හොඳකරගත්තෙ කියල කිව්වම මට හිතුනෙ ඌට පිස්සුද කියල. ඒත් මාත් පස්සෙ බල්ලෙක් හදත්තියි අපි සතාට කොච්චර ආදරෙයිද කියල තේරුනේ. තමන්ට පණගැටගහගන්නත් උදව් දෙන දරු කමටත් ඉන්න අලිය ගැන ඒ මණුස්සයට ඔහොම නොහිතුනානං තමා පුදුමෙ!

duliponline said...

මට මතක් උනේම අර සාල වනේ හිටපු ඇතාට සපෝට් කරන්න ගිය වඳුරව . . .
අහල තියනව නේද . . ඒ වදුර තමයි අන්තිමටම කියන්නෙ "අලි මොනවදෝ කරද්දි මැදට පනින අපි තැලෙනව" කියල

Anonymous said...

ekatath ekka dan inna ali un mara gannawa ath gaal kada gannawa

Shaggy said...

හිතට වදින කතාවක් තවත් හිතට වදින විදියට ලියලා තියෙනවා... තමන් ආදරේ කරන සතෙකුට ලෙඩක් දුකක් හැදුනම අපි විදින දුක මම අත්දැකීමෙන්ම දන්නවා, අපිට අලි නැතත් බල්ලො බලල්ලු ඉන්නවා, මගේ වස්තු ඒ කියන්නෙ වැඩිමල් පූසා මේ වන විට 5 වතාවක් සිහිසුන් කර ශල්‍යකර්ම වලට ලක් කර තියෙනවා, තාමත් ඌ ඉන්නෙ අපිත් එක්ක අපේ ගෙදර පොඩි එකෙක් වගේ, අපේ අම්ම කියන්නේ පුතේ අපිට කරදරයක් උනාම මෙතන රිදෙනවා කියල කියන්න පුලුවන් උන් කොහොමද කියන්නෙ කියලා.

සංකල්ප said...

කතාව සෑහෙන්න ආසාවෙන් කියවගෙන ගියාට අන්තිමේදි සේනගේ ෆොටෝ එකක් බැනර් එකේ තියෙනවා දැක්කම දුක හිතුනා. විදානේ මාමා කරලා තියෙන්නේ උතුම් ක්‍රියාවක්.

සංකල්ප said...

ඔය අලි ඇත්තු ඊලඟට මනුස්ස ආත්මයක් අරගෙන උපදිනවා කියලා කතාවක් අහලා තියෙනවා. ඇත්තද මන්දා. එහෙම උනා නම් ඌ ඊලඟ ආත්මේ මනුස්සයෙක් වෙලා ඉපදිලා ඇති.

Harshana said...

එල පොස්ට් එකක් මචං ...... දැන් තමයි මේ පැත්තට එන්න ලැබුනේ

Anonymous said...

නියමයි .....ලියලා තියෙන නිර්ව්‍යාජ බාසාව ඊටත් වඩා නියමයි....අලි කෙදි ගැන නං මතක් කරන්නා එපා,මගේ පෝස්ට් එකක් තියෙනව මමත් අලි කෙන්දක් කපන්න ගිහිල්ලා වෙච්ච දෙයක්....

jhothishalanka said...

මෙන්න බොලව් කතා.කතාව කියවල ඉවර වුනාම මිනිහ කවුද සතා කවුද කියලා හොදට තේරුණා මලේ.

Anonymous said...

pattama kathawak. bokkatama wadinawa. tawath liyanna sandaru male!! jaya!

Anonymous said...

කියවගෙන යත්දි අලි බෙටි ගඳ දැනෙනව දැනෙනව වගෙ වුනා. උඔගෙ ලිවිල්ල තමයි බන් ලිවිල්ල. ජය වේවා.
JH

හා පැටික්කි (MS) said...

"මම මිනිසුන් ගැන දන්නා තරම වැඩිවෙන තරමට මගේ බල්ලා කෙරේ ඇති මගේ ප්‍රේමය එන්න එන්නම වැඩි වේ" සත්‍යම සත්‍ය කතාව මේකයි..... උඩ දිනූක අයියගේ/මල්ලිගේ කමෙන්ට් එකෙන් මේ ටික ගත්තේ........

ඒ වගේම සත්තුන්ට ආදරේ කරන කෙනෙක් බොහොම සංවේදීයි. මිනිස්සු එපා වෙන්නේ ඇයි කියන්න නම් දන්නැ. ඒත් එහෙම තමා.......


විදානේ මාමටයි සේනටයි පහු කාලෙකදි මිය ගියා කිව්වට මට හිතුනේ මුලින් මිය ගිය කෙනා පිළිබඳ ශොකයෙන් අනිකා මිය යන්න ඇති කියලමයි. මොකද ඔය වගේ ආදරයක අවසානේ බොහෝවිට ඒක නිසා.......

සඳරුගේ ලිවීම ගැන ඉතිං කියන්ට දෙයක් නැහැනේ......

වර්ණා said...

අනේ ගොඩාක් දුක හිතුනා..

පැණි දොඩම් said...

මාර කතන්දරනේ කොල්ලො උඹට නං තියෙන්නේ... ඕව නෑනෙ අපිට.. මම උඹේ බස් රේඩියෝව ඇහුවා..මගෙත් යාළුවෙක් ඉන්නව මොණරාගල පැත්තේ.. ඒකාගෙ කතාවත් ඔය වගේම සුමට ගලාගෙන යන ඇක්සන්ට් එකක් තියෙන්නේ...නියමයි .. උපරිමයි.

Pavithra said...

මේ බ්ලොගය ප‍ටන් ගත්ත දවසෙ ඉදන් කියවන කෙනෙක් උනත් කමෙන්ටුවක් දාන්න බැරිවුන එක ගැන ‍ම‍ට සමාවෙන්ඩ ඕන. ගොඩක් ලැජ්ජයි ඒ ගැන. කතාව උපරිමයි. ගොඩක් දැනුන.

පිස්සා පලාමල්ල said...

කාලෙකින් ගොඩ වැදුනෙ.. හිනා ගියේ නෑ බන් මට නම්. හුඟක් සංවේදි කතාවක්...

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුනැත..

Chandi said...

සංවේදි ලස්සන කතාවක් සඳරු මල්ලි. කාලෙකින් එන්න බැරිඋනාට මේක කලින්ම කියෙවා. ඒ උනාට වචනයක් නොලීව එක අඩුවක් වගේ හිතුනා. අලියත් මිනිසාත් දෙන්නම හරිම සංවේදී අය. දෙන්නාටම එකවගේ දේවල් දැනෙන්නෙ කියලයි අහල තියෙන්නෙ. මගෙ ලඟ මෙහෙනින්වහන්සේ කෙනෙක් ලියාපු ලස්සන කතාවක් තිබුනා ඒකෙ එක ඇතින්නක් කතා කරනවා එයාගෙන් වෙන් වෙච්ච අලියෙක් ගැන. ඒක කියෙව්වාම කොයි තරම් දේ සතෙක්වුනු ඇතින්නට දැනෙනවද කියල පුදුමයි.

ටීම් ට්‍රැවලර්ස් said...

අලි කියන්නේ සම්පතක් සඳරුවෝ...
විදානේ මාමාට මාගේ උපහාරය!

shaminda srinath said...

"දැන් උබට කෝමද මයේ සේනයෝ" කියල අහනකොට උබට විතරක් නෙමෙයි සදරු,මටත් ඇස් වලට කදුළු ආව මචෝ.....සිරාවටම

Unknown said...

සංවේදී කතාවක්
ගත යුතු දේ බොහොමයි :)

Post a Comment

තැන්කූ බං